Saturday, August 13, 2016

ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් කතා...

පිදුම

අතීත කාමයෙන් ලියන්ඩ, ලියන්ඩ කියලා දිරිමත් කරන නමුණුකුළින් ඒහා ඉන්න බාගි නගාට...

එක්තරා කාලෙයක් තිබුණ, මගෙ හිතේ ඒ ලංකාවෙ සමාජය යන්තං වැඩවසම් ක්‍රමයෙන් එපිටට පරිවර්තනය වෙමින් ආව කාලෙ - ඉස්කෝලෙ මහත්තුරු කියල ජාතියක් බිහි වුනා. එයිට කලිං ගමේ වැදගත්තු විදිහට හිටියෙ නිලලත් චණ්ඩි.

චණ්ඩි කිව්වහම මතක් උනා කතාවක්. ඕං එක්තරා ගමක උන්න ගිරිගෝරිස් කියල චණ්ඩියෙක්. ඒ කාලෙ චණ්ඩි කියන්නෙ අර හතර පෝයට සිල්ගන්න, අහිංසක (දියයටිං ගින්දර ගෙනියන) උදවියට “හනේ” කියල කම්මුලේ අත තියාගන්න පුළුවං වැඩ - ඒ කියන්නෙ ඉබිමස් කන, බිලී බාන, රා බීල පාර පුරා පෙරළි පෙරළි ලතාවකට එන ගමං ඒ කාලෙ වෑර්ලස් නොතිබ්බ එකේ පාඩුව මකපු, ඕනෙ වලියකදි ගම වෙනුවෙං ඉස්සරහට එන, තොයිලෙයක් මළගෙයක් වගේ දේකදි උර දීල වැඩ කරන, අවුරුදු උස්සවේදි කොට්ට පොර, කඹ ඇදිල්ල, ගමහරහා දිවිල්ල වගේ එව්වයෙ කප් එක උස්සන  - ඒ විදිහෙ උදවිය. එහෙම චණ්ඩියෙක් වටේට, කොහෙ ගියත් පස්සෙං යන උප චණ්ඩි හතර පස් දෙනෙකුත් ඉන්නවමයි.

ඔය ගිරිගෝරිස් වහ වැටුන ගමේම හිටපු ලස්සනම කෙල්ලට. කෙල්ලගෙ නම ඩීලිං.

වැඩේ කියන්නෙ කෙල්ලගෙ ගෙදරිං එකපයිං විරුද්ධයි තමංගෙ දුව චණ්ඩියෙකුට දෙන්ඩ.

ගමක චණ්ඩි ඉන්නෙ ඒ වගෙ චාටර් වෙන්ඩයැ. ගිරිගෝරිස් කළේ, සගයො හතර දෙනෙකුත් එක්ක සෙට්වෙලා, අමාවක දවසක අර කෙල්ලව උස්සගෙන තමංගෙ ගෙදෙට්ට ගෙනා එකයි. ගෙනාවට පස්සෙ චණ්ඩියා යාළුවන්ට හොඳට කන්ඩ බොන්ඩ දීල, එහෙනං ගිහිං වරෙල්ල කියල පිටත් කළා.

ඒ උනාට යාළුවන්ට ඒක හරි මදි.

හොරෙං ගෙනාවට බං, අපිත් සිංහල කොල්ලොනෙ. අපි පෝරුවක් හදල, අෂ්ටක කියල. උඹල දෙන්න බන්දනව” කියල අර උප චණ්ඩි එකහෙලාම කියා සිටිය. උංගෙ වදෙන් බේරෙන්ඩත් එක්කල ගිරිගෝරිස් කැමති උනා.

ඉතං හදිස්සියෙ පොඩිවට පෝරුවක් වගේ එකක් හදල, නව යුවළ නැග්ගුව. එකෙක් දන්න දන්න අෂ්ටක හැටක් විතර කිව්ව. ඇඟිලිත් බැඳල, වතුරත් වක්කළා.

දැංවත් ඉවරද කියල පෝරුවෙං බහින්ඩ යද්දි එකෙක් කියනව,

ඉඳපල්ල, ඉඳපල්ල... අපි ස්තූති පත්‍රයකුත් කියන්ඩ ඕනෙ.”

මොකක්?”

ස්තූති පත්‍රයක් බං... ඔය හැම තැනම කොරන්නෙ එහෙම තමා”

මෙ මහ රෑ කවුද බං ස්තූති පත්‍ර හදන්නෙ?”

ඒක කවියෙං නෙ බං කියන්නෙ. අපිත් එකා එක එක පදේ කියල කවියක් කියමු” කියල එක හොරෙක් කිව්ව.

ඕනෙ මගුලක් කොරහල්ල බං, එළිවෙන්ඩ කලිං...” ගිරිගෝරිස් ගිගිරුවා.

“...සැරදෙ ගිරිගෝරිස්” එක චණ්ඩියෙක් පළවෙනි පදේ කිව්ව.

“...ඩීලිං හොරෙං ගෙන ආ” දෙවෙනියත් කිව්ව.

“...ඒ සුභ මඟුල සඳහා...” තුං වෙනියත් පදේ පිරෙව්ව.

හතරවෙනියට හදිස්සියට පදයක් හදා ගන්ඩ බැරි උනා. ඌට එකපාරටම මතක් උනේ ගමේ පංසලේදි ඉගෙන ගත්ත සිදත් සඟරාවෙ අන්තිම කවි පදේ.

කරනෙමි සිදත් සඟරා...” ඌත් කියල දැම්ම.

නිලලත් චණ්ඩි කියල මං අදහස් කළේ ගම්මුලාදෑණි, ආරච්චිල, වෙල්විදානෙ, ඒ අයගෙ දරුවො වගේ උදවිය. ගොඩක් ම දුප්පත් මිනිස්සුංගෙ ඉඩකඩං කොල්ලකාගෙන, මහ වළව් හදා‍ගෙන, හැම වැඩපළක්ම දුප්පත් මිනිස්සුංගෙන් රාජකාරි ක්‍රමයට කරවගෙන, වැජඹුන මේ උදවියගෙ දරුවො හැබැයි සමාජයෙ ඉහළ ස්තරයෙ රැඳුනෙ නෑ ගොඩක් වෙලාවට. පොඩිකාලෙ ඉඳන්ම සමාජයෙන් ලැබුණු සත්කාර නිසා නරක් වුන ළමයි සමහරු චණ්ඩි වුනා, සමහරු බේබද්දො, සූදු කාරයො වුනා.

ඒ අතරෙ පීඩිත ගොවියන් (මුලින්ම ගොවිගම උදවිය තමා නැගිට්ටෙ. අනික් කුළවලට නැගිටින්න දුෂ්කරතා එමට ඉස්මතු වුනා.) ගෙ දරුවො මහන්සියෙන් ඉගෙනගෙන ඉස්කෝලෙ මහත්තුරු වුනා.

මේ පරිවර්තනය ගොඩක්ම පිළිබිඹු වෙනව කඩුල්ල ටෙලිනාට්‍යයෙ මුල් කොටසින්. ඒ වගේම ඒ ටෙලිනාට්‍යයෙ පුරාවටම යන්නෙ ඒ එක්කම මුදලාලි පෙළක් බිහිවීම. ඒ කියන්නෙ වැඩවසම් යුගය ක්‍රමිකව අභාවයට යමින් ධනවාදයේ නැගිටීම.

ඊටත් වඩා, මං මේ කියන පරිවර්තනය පිළිබිඹු වෙනව කේ. ජයතිලකගෙ “පිතාමහ”, “කාලො අයං තෙ” සහ “චරිත තුනක්”පොත් වල.

ඉගෙනගැනීම ගැන සමාජයෙ තිබුණ දුර්මත (“ඉගෙන ගත්තම කැත්තෙ උදැල්ලෙ වැඩ කරන්නෙ කවුද?” “අපේ වතුවල ගහක ගෙඩියක්කත් කඩාගන්ඩ එකෙක් නැතුව යනව ඔහොම ගියොත්” ආදී...) අතරින් ඉස්මතු වෙලා ඉගෙන ගත්තනං, ගැමි දරුවෙකුට ලේසියෙන්ම යන්ඩ තිබුණ  රස්සාව තමා ගුරුකම. සිලෝන් සිවිල් සර්විස් ගියෙ රදළයන් සහ මුදලාලි වරුන්ගෙ රට ගොහිං ඉගෙනගත්ත දරුවො.

මෙහෙම පොඩිතැනිං මතුවෙලා ඉහළට ආව ඉස්කෝලෙ මහත්තුරු සහ ඉස්කෝලෙ හාමිනේල වැඩිහරිය මුල අමතක කරපු  බව පේනව. එහෙම නැත්තං, ඒ අය සහ ඒ අයගෙ තාත්තලගෙ පංතියෙ සමාජය අතරෙ පරතරයක් ඇති උනා.

ඒ වගේම, එතෙක් සමාජයෙ තිබුණ ආර්ථික ක්‍රමයෙ වෙනස්කම් ඇති‍ වුනා. එතෙක් තිබුණෙ හේනෙ කුඹුරෙ වැඩකරල, දඩයමක් කාරිය කරගෙන, කිතුලක් මැදගෙන, එදා පරිභෝජනය සරිකරගත්ත ආර්ථිකයක්. ගොඩක් වෙලාවට පොලේ යාමෙං කීයක් හරි හම්බකරගත්තම, පොළෙන්ම උවමනා කරන, ගමේ හැදෙන්නැති පාරිභෝගික භාණ්ඩ ගන්ඩත්, තුවක්කු ලයිසන්, මීරා ලයිසන් සහ ඇඟබද්ද ආදී රජයේ ගාස්තු ගෙවන්නත්, ඒ වෙනුවෙන් ගම්මුලාදෑණින්ට දෙන පගාව ගෙවාගන්ඩත් පුළුවන් වුනා. ගම තුළ පැවතුනේ ගොඩක්ම හුවමාරු ආර්ථිකයක්. ඒවගේම ශ්‍රමදායකත්වය (අත්තම් ක්‍රම වගේ) දකින්ඩ ලැබුණ. රාළාමිගෙ වත්තෙ වැඩකළාමත් කුළියට ලැබෙන්නෙ පොල් ගෙඩියක් දෙකක්, වී ටිකක්, පරණ ඇඳුං වගේ දේවල්.

ඒ වෙනුවට, ඉස්කෝලෙ මහත්තුරුන්ට මාසික පඩියක් ලැබුණ. ඒ කාලෙ පරිභෝජන රටාවල සරළකම නිසා, ඒ අයට පඩියෙන් සෑහෙන කොටසක් ඉතුරු කරන්ඩත් පුළුවන් උනා. සිදාදියෙ තැපැල් කන්තෝරුවට  ගියාම ඉතිරිකිරීමේ  පාස්පොතේ නියමිත මුද්දර අළවල, ඒ වැඩේ කරගන්ඩ පුළුවන් උනා. ඒ විදිහට, ඉස්කෝල මහත්තුරු සල්ලිකාරයො උනා. ඊටපස්සෙ මේ අය කළේ, ගමේ දුප්පත් මිනිස්සුංගෙ ඉඩකඩං සල්ලිවලට ගත්ත එකයි. (ඒක ඊට කලිං පරම්පරාවෙ රාළාමිල වගේ කඩාවඩාගැනීමක් උනේ නෑ. ඒත්, සල්ලි හදිස්සියට, මරණාසන්න තාත්තට සළකගන්ඩ, මගුල්ගෙයක් ගන්ඩ, වගේ උවමනාවලට ගැමියො ඉඩං වික්කෙ කුණුකොල්ලෙට. ඒ වගේම ඉඩකඩං වල ගණං ගැනත්, සල්ලි හුවමාරුව ගැනත් ඒ හැටි හුරුවක් නොතිබුණු ගැමියො සූරාකෑමට ලක් නොවුනා කියන්න අමාරුයි.

ඉස්කෝලෙ මහත්තුරු ඉඩකඩං අත්පත් කරගැනීමෙං පස්සෙ ලොකු ගෙවලුත් හදාගත්ත. රාළාමිලගෙ ගෙවල් වළව් උනාට, ඉස්කෝලෙ මහත්තුරුංගෙ ගෙවල් වළව් උනේ නෑ. ඒ කියන්නෙ ගැමියො ඉස්කෝලෙ මහත්තුරුන්ට අර තරම්ම වැඩවසම් ගෞරවයක් ලබා දුන්නෙ නෑ. මොකද, ඒ අය තමංගෙම පංතියෙන් නැගිටල ආව උදවිය කියන හැඟීම ගැමියො තුළ තිබුණ. මුදලාලි පැළැන්තියටත් උනේ ඒ වගේ දෙයක්.

ඊටත් පස්සෙ, ඉස්කෝලෙ මහත්තුරු බහුතරය ලොකු දෑවැද්දක් එක්ක කසාදෙයක් කරගෙන, දරුවන්ටත් උගන්නගෙන, වැඩිහරිය ගමේ ළමයින්ටත් අධ්‍යාපනය දීගෙන, කවියක් පොතක් ලියාගෙන, වත්තෙ පිටියෙ වැඩත් කරගෙන උන්න.

අදටත් අපේ ගමේ තියෙන ලොකුම ඉඩම්, ඉස්කෝල මහත්තුරුන්ට යි ජයකොඩි හාමුටයි අයිති වෙලා තිබුණ එව්ව.

ඔය ඉස්කෝල මහත්තුරු හරි අපූරු විදිහට ජීවිත ගෙවපු උදවිය කියල, ගැමියො අතරෙ තියෙන කතා වලින් පේනව. ගොඩක්ම ඔය වගේ කතා හැදෙන්ඩ හේතුව, ඒ අය තමං නැගිටල ආව පංතියෙන් ඈත් වෙලා ජීවත් වුන නිසා කියල මට හිතෙනව. එතෙක් ගැමියො ස්පර්ෂ නොකරපු උවමනාවල් - ඉගෙනගැනීම, වාහන ගැනීම, ඉඩකඩං රැස් කිරීම, ලොකු ගෙවල්, අමුතු ඇඳුං..., ආදී - වලින් පිරුණු ජීවිත ගත කිරීම අතිං ඉස්කෝලෙ මහත්තුරු ගැමියංගෙං වෙනස් උනා. ඒ වගේම පොඩි කාලෙ ඉඳංම කැත්ත උදැල්ලෙං - වත්ත පිටියෙං ඈත් වෙලා, පොත පතේ ඇලී ගැලී ඉගෙන ගත්ත උදවිය ප්‍රායෝගික වැඩක් කරන්ඩ ගියාම පුවත් මැව්ව.

ඉස්කෝලෙ මහත්තුරු ගමේ සමාජෙ ජීවත් වුන විදිහ අනුව ඒ අය හැඳින්වුන නම වෙනස් වෙනව. හොඳිං සමාජයෙ ජීවත් වුන, මඟුලට මරණෙට ආව, දරුවන්ගෙ ඇස්පාදපු උදවිය ඇති නැති ඕනෙම තැනක හැඳින්වුනේ කට පුරා “මහත්තෙය” කියන විශේෂණයෙන්. පොළොවට අඟලක් විතර උඩිං ගියපු, නූගත් ගැමියන්ට හිරිහැර වෙන විදිහට හිටපු උදවිය හැඳින්වුනේ, “ගුරා”, “ඉස්කෝලෙය” ආදී නං වලින්.

උපුටා ගැනීම - පරණ ශ්‍රී සඟරාවකිනි.
ඉස්කෝලෙ මහත්තුරු, ඉස්කෝලෙ හාමිනේලගෙං ගැමි සමාජයට ලැබුණු සේවාවල් ගොඩයි. මඟුලකදි මරණෙකදි මූලාසනේ ගැනීම, කතා පැවැත්වීම, (මයික් එක අත නෑර එල්ලීගෙන සිටීම) ටැලිග්‍රෑම් එකක්, ලිවුං කරදහියක් කියවලා තේරුං කර දීම, කඩපිලේ තියෙන පත්තරේ කියවල අලුත් ආරංචි මිනිස්සුන්ට දැනුං දීම, ගමේ ළමයි ගෙ ඇස් පෑදීම, උස්සව අවස්ථාවලදි ගමේ වැදගතෙක් විදිහට තැනකට එක්කරගෙන යන්ඩ පුළුවං වීම, කොච්චර ලොකු මහත්තේක්  උනත් මගතොටේදි දැක්කම හිනාවෙලා ආයිබෝං කීම.

අපි පොඩි කාලෙ අපේ ගමේ අහල පහල උන්න ඉස්කෝලෙ මහත්තුරු හතර දෙනෙක්. පොද්දල්ගොඩ මහත්තෙය, ජයසිංහ මහත්තෙය හෙවත් හැටං මහත්තෙය, පියදාස මහත්තෙය සහ දිවංගත කවිපති කටුවාලමුල්ලේ වයි. ජිනදාස මුළු දිවයිනටම සාමවිනිසුරු මහත්තෙය තමයි ඒ හතර දෙනා. ඔය හතරදෙනාම දැන් ජීවතුන් අතර නෑ.

මෙයිං ජිනදාස මහත්තෙය අපේ තාත්තගෙ බාප්ප. ඒ නෑකම මෙහෙමයි. කොයි කවුරුත් හොඳින් දන්න අඳුනන අපේ සුවාත‍ගෙ අයිය තමා විජයාතා කියන්නෙ. එයාගෙ එකම පුතා තමයි මේ කියන ජිනදාස මහත්තෙය. මේ ජිනදාස මහත්තෙයට තිබුණලු කාර් එකක්. ඒක අපි පොඩිකාලෙදිම විකුණල වෙන්ඩැති, අපි නං දැකල නෑ. හැබැයි, ඒ කාර් එක වෙනුවෙං හදපු ගැරේජ් එක තාම තියෙනව, ජිනදාස මහත්තෙයගෙ “කවිකුසුම” කියන ගෙදර මිදුලෙ. අපි පොඩිකාලෙ මේ ගැරේජ් එක ඇතුලෙ ජිනදාස මහත්තෙයයි එයාගෙ නෝන මුතුකුඩ ටීචරුයි පංති කළා.

ජිනදාස මහත්තෙය මේ කාර් එකේ එන‍කොට කොච්චර උජාරුයිද කියනවනං, දවසක් පාරෙ මඩවළක් තිබිල, ජිනදාස මහත්තෙය හෝන් එක ගැහුවලු මඩවලට, පාරෙං අයිං වෙන්ඩ කියල.

අපි පොඩි කාලෙ අපේ තාත්ත ජිනදාස මහත්තෙය එක්ක තරහයි. ගෙට ගල් ගැහුවයි කියල බොරු චෝදනාවක් කරල, අපේ බාප්පයි, හයියෙං අඩියක් උස්සගන්ඩවත් බැරි සිරිපාල මාමයි (“...පෙම්බර සිරිපාල – නුඹ නැති කටුවාල...”), ලප සාන්ති මාමයි ඇතුළු කට්ටියක් රිමාන්ඩ් කරවපු සීන් එකකට.මේකට මලපැනල තාත්ත මුන්දැගෙ ගේට්ටුව පද්ද පද්ද බැණ අඬගැහුවම, එවෙලෙම කාර් එක අරං පොලිසි ගිහිං “සේපාලත් හවුල් අර වැඩේට” කියල අපේ තාත්තවත් අල්ලල පැමිණිල්ල අලුත් කළා ලු. ඊට පස්සෙ නඩුත් ගිහිං දඩත් ගෙවල බේරුණා කියල තාත්ත කියනව. ඒ නඩුවට හිටපු නඩු කාරෙය “ලුමුම්බා” කියල මහත්තයෙක් ලු.

කොහොමිං හරි ඔය සිද්ධිය නිසා අපේ ගෙදර අපි පොඩි කාලෙ බල්ලෙක් හැදුව, “ජින්න” කියල. අපේ තාත්ත ඌට අඬගහන්නෙ ඔය ජනදාස මහත්තෙය පාරෙ යන කොට විතරයි. “ජින්න ඉඦ... ඉඦ...!!” කියල ඇහුනොත් ඉස්සරහ මිදුල පැත්තෙං, අපි දන්නව අන්න ජිනදාස මහත්තෙය පාරෙ යනව කියල.

තව දවසක් අපේ බාප්පගෙ පුතා මට කියනව ජිනදාස මහත්තෙයව පෙන්නල,

ඔය යන්නෙ චූටි කුකූගෙ අයිතිකාරෙය – ජිම්පප්ප...” කියල.

තව දවසක් මං ඇහුව මල්ලිගෙං, “තමුසෙ දන්නවද පාකිස්ථානයෙ පියා?”

ඌ ඔළුව දෙපැත්තට වැනුව.

අලි ජින්න. ඔය යන්නෙ පාරෙ...” මං කිව්ව.

මං ඒලෙවල් කරන කාලෙ බෝඩ් ඇන්දනෙ. ඒ දවස්වල තමා ජිනදාස මහත්තෙයට සාමවිනිසුරු තනතුර ලැබුණෙ. ඉතිං, ගේ ඉස්සරහ එල්ලගන්ඩ බෝඩ් එකක් ඇඳගන්ඩ අපේ දිහා ආව. එයා පසුකාලීනව අපේ තාත්තගෙ හොඳ යාළුවෙක් වෙලා හිටියෙ. මොකද, එයාට ගමේ කඩපිළේදි ශාස්ත්‍රීය දේවල් කතා කරන්ඩ ලැබුණෙ අපේ තාත්ත එක්ක විතරයි. බාප්ප හැමතිස්සෙම මොකක් හරි ප්‍රශ්නෙයක් අහල පොරව මඩෝනව.

මට මතකයි අපේ මහප්පගෙ දුවගෙ මගුල් ගෙදරදි, බාප්ප ජිනදාස මහත්තෙයගෙං ඇහුව,

මහනෙල් සුවඳමය – කුඩමසු පිළී ගඳමය
දෙකට එක දියමය – හොඳට නරකට දෙකට කටමය” කියන කවියෙ තෙරුම මොකද්ද කියල.

ජිනදාස මහත්තෙය කිව්ව දිව තමයි හොඳ නරක දෙකටම මුල කියල. බාපප කිව්ව “නෑ, මේකෙ කොහෙවත් දිවක් ගැන කියල නෑ. දිය ගැන කියල තියෙන්නෙ. ඒ කියන්නෙ මානෙල් මලයි කුඩමස්සයි දෙකම හටගන්නෙ වතුරෙය. කොහෙද දිවක් ගැන කියන්නෙ” කියල ඇහුව. ඔය වාදෙ දිගින් දිගටම ඇදිල ගියා. පස්සෙ බැරිම තැන,

තමුසෙ එක්ක කතා කරන්ඩ බෑ ඕයි. තමුසෙ බීල ඉන්නෙ” කියල ජිනදාස මහත්තෙය නැගිටල යන්ඩ ගියා.

ඉතිං මං කිය කිය හිටිය විදිහට, අර බෝඩ් එක ඇඳගන්ඩ එයා මං ගාවට ආව. ඒකෙ සයිස් එකේ හැටියට, ඒ කාලෙ උද්ධමනයත් එක්ක, මං හිතාගත්තෙ රුපියල් තුන්සීයක් විතර කියන්ඩ. ඒත් ඉතිං වැඩිහිටියනෙ. ඉතිං මං ගාණ ඉස්සර කළේ නෑ.මායි අපේ මල්ලියි (බාප්පගෙ පුතා) ඇන්ද, බෝඩ් එක. දවස් දෙක තුනකට පස්සෙ ජිනදාස මහත්තෙය ආව බෝඩ් එක ගෙනියන්ඩ. කළුපාට බෝඩ් එකේ, සුදුපාට අකුරු වලිං මං ඇඳල තිබුණ,

කටුවාලමුල්ලේ වයි. ජිනදාස
මුළු දිවයිනටම සාමවිනිසුරු” කියල.

අපේ තාත්ත හරි උනන්දුයි ඔය කලා කටයුතු වලට. ඉතිං මං බෝඩ් එකක් අඳිනකොට එතෙන්ට ඇවිත් බලං ඉන්නව. එයා කිව්ව, බෝඩ් එකට බෝඩරයක් අඳින්ඩ කියල කොළපාටිං. මාත් ඉතිං ඇන්ද. කළු සුදු දේකට, අවුට්ලයින් දැම්මම, තද කොළපාටිං, ඒකෙ මාරම ගතියක් එනව. ඒ කොලිටිය මාත් හරියටම දැක්කෙ එදයි.

ඉතිං ජිනදාස මහත්තෙය ඇවිත් බෝඩ් එක දිහා හොඳට බලල,

පුතා මට දෙන්ඩකො කොළයක්. අපේ වැඩත් ඉතිං ඔය වගේම තමයි, එකපාරටම එන අදහස් එවෙලෙම ලියන්ඩ ඕනෙ...” කියල කිව්ව.

මාත් ඉතිං කවියක් නිර්මාණය වෙන හැටි ලයිව් බලාගන්ඩ පුළුවං කියල හිතල, දුන්න කොළෙයක්.

මෙන්න මෙයා එක හුස්මට කවියක් ලියල, සාක්කුවෙං රුපියල් සීයකුත් අරං, දෙකම මට දෝතිම්ම පිළිගැන්නුව. “හොඳයි පුතා... හොඳයි පුතා...” කියල කියන ගමං.

ඒ කියල බෝඩ් එකත් කිහිල්ලෙ ගහගෙන ගියා යන්ඩ.

මං බැලුව අර කොලේ. මෙන්න මෙහෙම ලියල තිබුණ.

“...යම්දවසකදි බැබලී මේ සිහල රටේ
පුතුගෙන් අපේ පරපුරටම එළිය වැටේ
දුටුවිට අකුරු ටික මනසෙහි සතුට ගැටේ
මේ වැඩ කලා ලොව ඉහළම තැනට වැටේ...”

මේක මං පෙන්නුව අපේ මලයට. පෙන්නල මං කිව්ව,

මං ඇඳපු බෝඩ් ඔක්කොම ගහන්ඩ වෙන්නෙ එවරස්ට් කන්ද මුදුනෙ තමයි” කියල.
එතකොට මල්ලි කියනව,

බෝඩ් ගෙනිහිං ගහන්ඩ බෑ. හෙල්කොප්ටරේකිංවත් අරං ගිහිං අතාරින්ඩ තියෙන්නෙ. මේ කියල තියෙන්නෙ, ලොව ඉහළම තැනට වැටේ කියල.”

බෝඩ් ඒක අරං ගියපු ජානදාස මහත්තෙය හැරෙන තැපෑලෙං  අාපිට අාව අපේ ගෙදර. අැවිදිං කියනව,

“පුතා බොහොම ලස්සනයි බෝඩ් ඒක. ඒ් වුනාට මේ කොළපාට බෝඩරේ ගැළපෙන්නෙ නෑ නේද? අනේ ඔය අතිම්ම මේකට වෙන පාටක් ගාල දෙන්ඩ.”

මං ඉතිං තාත්තගෙං අැහුව, වෙන හරියන පාටක් තියෙයිද කියල. මොකද, කොළපාට බෝඩරේ ගැන මට ලොකු තෘප්තියක් තිබුණ.

තාත්ත කිව්ව, “ඒහෙනං කහපාට ගාන්ඩ. කොස්ලීයෙ පාටනෙ...” කියල.

ඉතිං මාත් කලිං ඒක අැඳපු අතිම්ම (මං දකුණත්. කොහොමත් වමතිං අඳින්ඩ හුරු නෑ...) කහපාට ගෑව.

ජිනදාස මහත්තෙය ගියාට පස්සෙ තාත්ත කියනව,

“මෙහෙං යද්දි කොළපාටට කැමතිවෙලානෙ ගියෙ. ගෙදර ගිහිං නෝනට පෙන්නුවහම ඒයා කියන්ඩ අැති යූඅැන්පී පාටනෙ කියල.”

ගමේ පළවෙනියටම ලෑන්ඩ්ෆෝන් එකක් ගත්තෙ  ඔය ජිනදාස මහත්තෙයයි, පියදාස මහත්තෙයගෙ පුතයි දෙන්න. පියදාස මහත්තෙයගෙ පුතා සාන්ති අයිය. ඔය පියදාස මහත්තෙය, අපේ සුවාතගෙ පුතෙක් වෙච්ච ජේමිස් ආතගෙ දුව බැන්දෙ. එයා ලලිත කියල ඉස්කෝලෙ හාමිනේ කෙනෙක්. ඉතිං සීයගෙ නම මුණුපුරාට ව්‍යවහාර කිරීමේ ගැමි සම්ප්‍රදායට අනුව සාන්ති අයිය ජෙමා නමින් හැඳින්වුනා. පස්සෙ එයා කඩෙයක් දාගත්ත. ඊටපස්සෙ එයා කුණු ජෙමා උනා.

ඉතිං ෆෝන් එක ගත්ත මුල්ම දවස්වල, ජිනදාස මහත්තෙය කඩේ යන්ඩ ගෙදරිං පිටත් වෙන්ඩ කලිං කෝල් එකක් ගන්නව සාන්ති අයියට. ඒ කල්ල හි‍ටං කියනව,

මේ... සාන්ති, මං දැං කඩෙ එනව. මට හාල් කිලෝවකුයි, සීනි දෙසීය පණහකුයි, තේකොළ සීයකුයි ගන්ඩ ඕනෙ...”

සාන්ති අයියත් “හා හොඳයි මහත්තෙය” කියල ෆෝන් එක තියනව. තිබ්බට පස්සෙ කුණුහරුප දෙකක් - තුනක් කියල, කඩේ ඉන්න උදවියට විස්තර කරනව වෙච්ච වැඩේ.

කල්ල හිටං” කිව්වහම තව කතාවක් මතක් උනා.

ඕං දවසක්, අපේ ලප සාන්ති මාමගෙ අයිය, මහත්තෙය මාම, තරුණ කාලෙ කසිප්පු වගෙයක් එක්ක අහුවුනා. ගෙදර කාමරේක හංගගෙන ඉද්දි තමා පොලිසියෙං පැන්නෙ. කොස්සො දෙන්න මහත්තෙය මාමගෙ අතිං අල්ලගෙන, “වරෙං යන්ඩ” කිව්වහම, උන්දැ වෙවුල වෙවුල කියනවලු,

... ... මම නෙමෙයි රා... රාළහාමි. අම්ම කොල්ල පැනල ගියා ජනේලෙං...” කියල.

තමුං බේරෙන්ඩ, මේක කළේ තමුං නෙමෙයි, අම්මය කියලයි කිව්වෙ.

ඉතිං එදා ඉඳං උන්දැට ගමේ උදවිය කිව්වෙ “අම්ම කොල්ල” කියල.

අැයි අර අපේ තාත්තල බාප්පල, කන්තලේ ගස් කපන්ඩ ගිය කාලෙ, වාඩියෙ උයන්ඩ අරං ගියෙ ඔය කියන මහත්තෙය මාම. ඒහෙ ඉඳං ඒයා අම්මට ඒවපු ලියුමක අන්තිමට අාශීර්වාද පාඨය හැටියට ලියල ඒව්වලු,

“අම්මා සියලු දෙවියන්ගේ පිටේ යයි...!” කියල

ඒ කිව්වහම තව කතාවක් මතක් උනා.

අපේ ගමේ උන්න “සිරිමහත්තෙය” කියල හාදයෙක්. මිනිහගෙ දෙමව්පියො යමක් කමක් තිබුණ උදවිය. එයාගෙ අක්කල එහෙම හොඳට ජීවත් වෙනවමෙයාගෙ නම සිරිසේන. ගෙදර හුරතලේට අම්මල දාපු නම තමා සිරිමහත්තෙයඅම්මයි තාත්තයි මැරුණට පස්සෙ මිනිහ බීමට ඇබබැහි වෙලා තියෙනව. අපේ අම්ම කියනව, ඒ කාලෙ එයා ගෙදර තිබ්බ ඇඳි පුටු එහෙම උස්සගෙන ඇවිත් විකුණල බොනවයි කියල. අපි දන්න කාලෙක ඉඳං එයාට ගෙයක් තිබුන් නෑ. හොඳට වෙරි වෙලා කොහෙ හරි පිලක වැටිල නිදාගන්නව. උදෙම්ම මහත්තෙයමාම ගාවට ගිහිං ණයට කසිය ෂොට් එකක් දාගන්නව. ඊට පස්සෙ කොහෙ හරි කුළී වැඩක් කරනව. නැත්තං කාගෙ හරි ගෙදරකට ගිහිං,

හුදු අක්කෙ / හුදු මල්ලියෙ / හුදු අයියෙ (ගෙදර ඉන්න කෙනා අනුව ආමන්ත්‍රණය මේ තුනෙන් එකක් වෙනව) බඩ්ඩිංගක් දියංකො”

කියල ඉල්ලං කනව.

පලෙයං යන්ඩ. උඹ වැඩ කරල හම්බුකොන්නව නේද? ඊයෙත් සිරිපාලෙයලැ ගෙදර ගෙපල් කැපුව නේද? ගිහිං කඩෙං කාපං...” වගේ එකක් කියල බැන්නොත්.

අනේ නිකං කෑ නුගහ ඉඳහං හුදු අක්කෙ. උඹල අපේ උං. මං තමා උඹලට ‍මේ ගේ හදල දුන්නෙ (ඒ කියන්නෙ මේ ගේ හදනකොට ඇවිත් කුළී වැඩ කරල බීල කාල ගිහිං. මුන්දැ කුළියක් ගන්නෑ. ඔන්නොහෙ කීයක් හරි දෙන ගාණක් අරං ගිහිං බොනව.) මේ හුදු අක්කෙ. අනේ බං කන්ඩ ටිකක් දියංකො...” කියල පිංසෙණ්ඩු වෙනව.

දවසක්ද සිරිමහත්තෙය අපේ ගෙදර ඇවිත් පේමන්ට් එකේ වාඩිවෙලා, (කියන්ඩ ආව කතාව මේක නෙමෙයි... මතක් උන වෙලේ කියන්ඩ ඕනෙ. ඒකයි මෙතන දාන්නෙ...) කියෝ කියෝ ඉන්නව. බඩගින්නෙත් නෙමෙයි. නිකං කාලෙ කන්ඩ. මායි සෝබනයයි, (මූ මගෙ ක්ලාස්මේට්. ඇත්තම නම සෝබන ශ්‍රියන්ත.) එතනිං යනකොට,

හුදු පුතේ, අනේ බං කීයක් හරි දියංකො...” කියල අත දික් කළා.

සෝබනයත් පැනපු ගමං, “ඕං දැම්ම පහක්” කියල. අත දිගඇරල, අරූගෙ අල්ලට දැම්ම පහක්.

ඉතිං කියන්ඩ ආව කතාව වෙන එකක්. ඒක මං පස්සෙ කියන්නංකො. සෝබනය කරළියට ආව වෙලේ ඌ ගැන තව කතාවක් කියන්ඩමයි හිත.

දවසක්ද, අපේ යාළුවෙක් වෙච්ච සාගලයගෙ ගෙදර තොයිලෙයක් තිබ්බ. ඔය සාගල, අපේ සෙට්එකෙන් පේරෙ ගිය එකම එකා. එහෙදි අමානුෂික විදිහට රැග් එක කාල (රැග් එක අමානුෂික වෙන්ඩ උගෙ පොර සංකල්පය බලපෑව බවයි විද්වත් මතය.) පොඩ්ඩක් මානසික සමතුලිතය නැති උනා. ඒකට තමා ‍ඔය තොයිලෙ නැටුවෙ.

තොයිලෙ නැටුවෙ, කොස්සින්න පංසලේ දේවාලෙ ප්‍රධාන කපුමහත්තෙය වෙච්ච ලෙස්ලි අයිය. එයා ඊට කලිං හිටපු ඩාලිං කපුමහත්තෙයගෙ එක්කුසේපං පුතා. (කොපිරයිට් ශ්‍රංග)

ඔය ලෙස්ලි කපුමහත්තෙය මතක් උනාම තව කතාවක් මතක් උනා. ලෙස්ලි අයිය කැඩුං බිඳං වෙදකමකුත් කළා ඒයාගෙ ගෙදර. අපේ විකුම් සැරෙයක් කකුල කැඩිල ගියා උන්දැගං වෙදකං ගන්ඩ. යනකොට ගෙදර මිදුලෙ පුටුවලයි ගස්වලයි බැඳල ඉන්නවලු ලෙඩ්ඩු. (ඩෙංගු මර්දනේට ආවෙ නෑ කියල නෙමෙයි.) පත්තු බැඳල, හෙල්ලෙන් නැති වෙන්ඩ කියල උං ගස් බැඳල.

ඉතිං විකුමටත් පත්තුවක් බැඳල, ලෙස්ලි අයිය කිව්වලු,

මේ බැන්දෙ පුරාණ වෙදපොත්වල එන පත්තුවක්. මේක බැඳල ටික වෙලාවකිං ඇට කෑලි දෙක හාවෙන්ඩ ගන්නව. එතකොට පොඩ්ඩක් කසන්න ගන්නව. කැසුවෙ නැත්තං, පත්තුව හරි ගිහිං නෑ. එහෙම උනොත් ආපහු එන්ඩ”

විකුම ගෙදර ගියාලු ඉතිං. මග යනකොට ම ඔන්න කහන්ඩ ගත්තලු ඉන්ඩ හිටින්ඩ බැරි වෙන්ඩ. අරූ දෙකට නැමිල ඇඹරිල යනවලු ඉතිං වෑන් එකේ ඉඳගෙන. මොකද බැඳපු පත්තුවට යටිං කොහොම කහන්ඩද? ඇරත් පොඩ්ඩක් හරි කකුල හෙල්ලුනොත් අර හාවෙන ඇට කෑලි දෙක රුයිතෙට යයිද දන්නෑනෙ.

කොහොම කොහොම හරි ඉවසගෙන දත්මිටි කාගෙන ගෙදරට ආවලු ඉන්ඩම බෑලු  කැසිල්ල. බැරිම තැන විකුම ඕනෙ මගුලක් කියල ලෙහුවලු පත්තුව. ලෙහල බැලින්නං, පත්තුවෙ තියෙනවලු හොඳට ඇඹරිච්ච නැති කහඹිලිය කොල කෑලි.

ඉතිං අර සාග‍ලෙයට නැටුව තොයිලෙ කූටප්‍රාප්තිය හෙවත් ක්ලයිමැක්ස් එක විදිහට, ලෙස්ලි අයිය අපිට කිව්ව, හදල තියෙන පෙරේත තටු දෙකයි, කුකුලයි, පැදුරකුයි උම්බලකඩ, දුම්මල හට්ටියයි අනික් උපාංගයි අරං එයාගෙ පස්සෙං එන්ඩ කියල. බොහොම භයානක විදිහට උගුර යටිං ඒක කියල එයා ආවේසෙන් නට නටා ඔන්න පාර දිගෙ යනව.

ආසිරියයි කේපියයි උස්සගත්ත ලොකු පෙරේත තටුව දෙපැත්තෙං. මං ඉතිං වෘෂභ ලග්නෙ හින්දද කොහෙද, මං අනික් පොඩි පෙ‍රේත තටුව යටිං රිංගල, උරිස් දෙකට සෙට් වෙන්ඩ උස්ස ගත්ත. සෝබනය ගත්ත පැදුරයි, කුකුලයි තව මොනවදෝ වගේකුයි. අරගෙන, පැදුර කිහිල්ලෙ ගහගෙන, කුකුලව කකුල් දෙකෙං අල්ලල පැද්දුව. පොඩ්ඩක් වනපුහාම කුකුල තටු දෙක විහිද ගත්ත. ඒගමන ඒක මට පෙන්නල සෝබනෙය කියනව,

භේරුණ්ඩ පක්ෂියා”

මට නේද, අර තඩි තට්ටුව කරේ ති‍යාගෙන හිනා. මැරෙන්ඩ හිනා බොලව්. මේ දැං ලියන ගමනුත් හිනා.

අර ලෙස්ලි අයිය පස්සෙං පාර දිගේ ගිහිං, අතුරු පාරෙං ගිහිං කනත්තටත් ගියා. ඒ යන ගමනුත් අපිට හිනා.

ලෙස්ලි අයිය අලුත් මිනී වළවල් දෙකක් අතරෙ පැදුර එළල, ඒකෙ දිගාවෙන්ඩ යන ගමං පස්ස හැරිල රවල බැලුව. කොහෙද, ඒත් හරි ගියෙ නෑ හිනාව නවතින්නෙම නෑ.

ඉතිං අර සිරිමහත්තෙය ගැන කියන්ඩ ආව කතාව...

අපේ අල්ලපු ගමේ ඉන්නව හෝතඹෙය කියල මාමෙක්. කවුරුත් එයාට මූණට කියන්නෙ වෙන නමක්. මට දැං ඒක මතකෙට එන් නෑ. (මතක් උනේම නෑ. අම්මගෙං අැහුව. අම්ම තමයි කිවවෙ නම. හේමන්ත මාම...) එයා බැන්දෙ අර කසිප්පු මහත්තෙය මාමගෙ නංගි. පොරගෙ ගෙට පැනල හොරාකන පූසෙක් උන්න. දවසක් මේ මාම පොඩ්ඩක් ඩෝප් එක දාල කුස්සියට ගියාම කෑම කන්ඩ, අතේ මාට්ටු මේ හොර පූසව. අතට අහුවෙච්ච දර පොල්ලකිං දීල ඇදල. පූසගෙ කරුම වෙලාවට, පූසගෙ ඔළුවට වැදිල, ඌ මැරිල.

ඒගමන, පූස හමගහල, ඒ පැත්තෙ උන්න අයිරා කියල මල් නැන්දෙක්. එයාට දීල උයවල. සිරිමහත්තෙයව එක්කං ගිහිං උන්දැට කන්ඩ දීල. අරුත් ඉතිං බඩ දිගෑරෙන්ඩ කාල, මස් එක්ක බත්. කාල ඉවර වෙලා සිරිමහත්තෙයගෙ පුරුද්දක් තියෙනව, චූස් චූස් ගාල දිවෙං සූප්පු කර කර දත් සුද්ද කරන එක. එහෙම චූස් චූස්ගගා ඉද්දි හෝතඹෙය මාම කිව්වලු, “උඹ දැං ඔය කෑවෙ බළල් මස්” කියල.

සිරිමහත්තෙය එතන ඉඳං පාරට හෙමිහිට ඇවිත්, පාර දිගට මහහයියෙං බැණ බැණ ආවලු කුණුහරුප තිස් ගාණක් කියල.

එදා ඉඳං සිරිමහත්තෙය දකින දකින පාරට ගමේ කොල්ලො “ඥාව්” ගාන්ඩ පටං ගත්ත.

අරූටත් “ඥ” යන්න ඇහුනනං ඇති . පටං ගන්නව. ඉතිං පාර දෙපැත්තෙ ඉන්න ඕනෙම කෙනෙකුට කර්ණ රසායන භාව පූර්ණ ගී අඩපැයක් රසවිඳින්න හැකි වෙනව.

ඉතිං ඉස්කෝලෙ මහත්තුරු ගැන කිය කියා ආව කතාව පිටපැන්න පොඩ්ඩක් විතර.

දවසක් ජිනදාස මහත්තෙය මාළු බයිසිකලෙයක් නැවැත්තුව. නවත්තල අහනව,

ළමයා...” (ඒක ටිකක් දිගට අදිනව) “සාලය ග්‍රෑම් පන්සීයක මිළ  කීයද?”

සාලය ගන්ඩ මහත්තෙය. පන්සීය විස්සයි” (අසූ ගණං වල) කියල මාළු කාරෙය තරාදියත් අරං, පන්සීයෙ පඩිය දාල එකපැත්තකට, කිරන්ඩ ලෑස්තිය.

මළ කෙලියයි!” ජිනදාස මහත්තෙයට කියවුනා. “එතකොට හුරුල්ල?”

, හුරුල්ල ද මහත්තෙය? මළකෙලි දෙකයි...!” මාළු කාරය එහෙම කියල, පඩියත් අයිං කරල, තරාදියත් පෙට්ටියට දාගත්ත.

ඉස්කෝලෙ මහත්තුරු ගැන තව කතා සෙට් එකක් තියෙනව. ඒත් දැනටම මේ පෝස්ටුව දිග වැඩියි.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...