Saturday, June 20, 2020

අවසානයක් නොවේ - නව වන කොටස

පළවෙනි කොටස

තුන් වෙනි කොටස


https://d2urhn0mmik6is.cloudfront.net/site/age_of_signs
/images/content_images/four-riders/FourRiders4.jpg

"රාසිං දෙවියන් ගේ වාසලට තමුුන්නාන්සේ ගේත්, තමුන්නාන්සේ ගේ භාරයේ සිටින රැඳවියාගේත් පැමිණීම අණ කර සිටිනවා!" 

රජවාසලේ පණිවුඩකරු ධනසේකර මුදලිතුමා වෙත සැළකර සිටියේ ය. 

යටිකයට ඇඳි සුදු පැහැ ධෝතියත්, ඉණ පටියේ පැළඳි කැටයම් කළ මිට සහිත කඩුපතත් දැරූ අශ්වාරෝහක දූතයා පෑවේ නිසග තෙදවත් බවකි.

වෙද මුදළි තුමා පණිවුඩකරු ගෙනැවිත් තිබූ අමතර අශ්වයා දෙස බලා මඳහසක් හෙළුවේ ය.

"මට නං දැන් අශ්වයො පිට යන්න තරම් ජවයක් නෑ..."

"නෑ මේ අශ්වයා ඔබගේ රැඳවියා ට." දූතයා පිළිතුරු දෙමින් සිය අසු හරවා ගත්තේ ය. "ඔහු දැන්ම කැඳවාගෙන එන්නටයි අණ. ඔබතුමා විවේකීව ඔබතුමාගේ තිරික්කලයෙන් ඒම ප්‍රමාණවත් "

කතාබහ ඇසී එතනට පැමිණි ඇඩම්, වෙද මුදළි දෙස බැලුවේ ගමනට අවසර ගැනීමට ය. ධනසේකර මුදළිතුමා හිස සැලීමකින් අනුමැතිය දුන්නේ ය.

"ඔබ ඉක්මණට යනවනම් හොඳයි" ටිකිරි බණ්ඩාර තිරික්කලය සූදානම් කරගැනීමට වළව්ව පිටුපස ට යන ගමන් කීවේ ය. "රාසිං දෙවියෝ ප්‍රමාදය ට අනුකම්පා කරන් නෑ. අනික පණිවුඩය එවල තියෙන්නෙත් සාමාන්‍ය පයිංඩකාරයෙක් අතේ නෙවෙයි. ඔබට යම් සැළකිල්ලක් දක්වලා තියෙනවා කියලා එයින් පේනවා."

මිනිත්තු කිහිපයක ඇවෑමෙන් අද්මිරාල් සිය යුරෝපීය ඇඳුම ඇඟලාගෙන'විත් අසු පිටට නැග්ගේ ය. පණිවුඩකරු ඔහුට තමා පසුපසින් එන ලෙස සන් කර, මගට පිළිපන්නේ ය. දූතයාගේ වේගයට ම බුහුටි ලෙස සිය අශ්වයා ද මෙහෙයවූ නෝඩික් ජාතිකයා ඉක්මණින් ම වළව්වේ කඩුල්ල පැන මහ මාවතට පිළිපන්නේ ය.

අවරට හැරුණු හිරු ගේ රන්වන් කිරණින්, ඇඩම් ගේ රන්පැහැ කෙස්, රන්වන් නූලෙන් වැඩ දැමූ කොළරය, පුළුල් බඳ පටිය හා ලෝහමය බොත්තම් මත වූ දිස්නය ඔප් නැංවිණ. සුදුවන් කළිසමත් තද නිල්පැහැ කබායත් පරණ වී තැන් තැන්වලින් ඉරී තිබුණි. එහෙත් එය අද්මිරාල්ගේ උත්තුංග පෙනුමට ලොකු හාණියක් කළේ නැත.

රැඳවියෙකු බවට පත්ව තමා පයින් ඇවිදගෙන ආ මඟ දිගේ ආපිට අශ්වයෙකු පිට යාමට සිදුවීම නාවිකයාගේ සිතෙහි ඇති කළේ සංකීර්ණ හැඟීමකි.

වෙදාණන්ගේ වළව්වේ සිට ඊසාන දෙසට වැටුණු පාර දිගේ අසරුවෝ දෙදෙනා මඳ වේගයෙන් අසුන් මෙහෙයවාගෙන ආහ. ඉදිරියේ ඇති තෙමංසලේ තවත් අසරුවෙක් සිටිනු තරමක දුරක සිට ම ඇඩම්ගේ විමසිලිමත් දෑසට ලක් විය. ඒ තවත් වංශවත් දූතයෙක් බව ළං වද්දී ඔහුගේ ඇඳුමින් සහ පැළඳුමින් සළකා ගත හැකි විය. පළමුවැනි පණිවුඩකරු සිය අසුගේ රැහැන් පටි යන්තමින් ඇද, මඳක් පමා කර, රැඳවියා හා සමපාත කර ගත්තේ ය. හන්දියේ දී දෙවන දූතයා ද ඔවුන් හා ගමනට එක් විය. ස්වදේශිකයන් දෙදෙනා යන්තම් හිස සැළීමකින් පමණක් ආචාර කරගත් බව අද්මිරාල් නිරික්ෂණය කළේ ය.

තෙමංසලෙන් තවත් ඊසාන දෙසට යොමු වූ පාරේ පියවර විස්සක් විතර ඉදිරියෙන් තවත් හතර මං හන්දියක් හමුවිය. කිසිදු කතාබහකින් තොරව හැල්මේ ආ, අසරුවෝ තිදෙනා එතැනින් ගිණිකොන දෙසට වූ පාරට හැරුණ හ. මෙතෙක් පසුකරගෙන ආ මාර්ගයේ දෙපස කඩපිල්, දෙමහල් මහ මැදුරු, උද්‍යාන ආදියෙන් ගැවසුණ ද, දැන් දැන් පාර විහිදෙන්නේ ගොවිබිම්, පඳුරු, පැල්පත් ආදියෙන් හෙබි, ජනාකීර්ණ නොවූ ප්‍රදේශයක් මැදිනි. තවත් පියවර විස්සක් තිහක් යන විට පාර වංගුවක් ගසා, නැවත ඊසාන දෙසට හැරුණි. අවට හුදෙකළා පාලු බව තවත් දැඩි වූයේ එතැන් පටන් පටු වූ පාර දෙපසින් වැවුණු ළඳු කැළෑවෙනි. පාරේ පළල ප්‍රමාණවත් වූයේ එක් අසරුවෙකුට පමණි. එහෙයින්, රජවාසල දූතයන් දෙදෙනා ඉස්සර වෙද්දී, නෝඩික් නැවියා පසුවිය.

නොනැවතී මෘදු රිද්මයකට අනුව සෙමෙන් සෙමෙන් දිව යමින් සිටි අශ්වයන් තුන්දෙනා එක්වරම කළබල වූහ. හිස් ඔසවමින් උඩු හුළඟ ඉව අල්ලන්ට වූ උන්, රැහැන්පටෙහි විධානයට අකීකරු වන්නට සූදානම් බව පෙණින. ළඟ පාතින්ම කන් බිහිරි කරවනසුළු කුංචනාදයක් ඇසුණේ එක් වරමය.

සිය අශ්වයා එක් වරම වේගයෙන් දුවන්නට පටන් ගනිද්දී, ඇඩම් හිස හරවා වම් උරහිසට උඩින් පිටු පස බැලුවේ ය. අඩි කීපයක් පිටුපසින්, දැවැන්ත අලියෙක් ළඳු කැළෑවෙන් පාරට පැන්නේ ය. උගේ ඉහළට එසවුණු හොඬවැලෙන් නිරාවරණය වූ දළ දෙක, අගිස් කපා නොතිබෙන්නට, අඩි දහයක් පමණ දිග වන්නට ඇතැයි විදේශිකයා ට සිතුණි. 

කුපිත වූ බව සෑම රෝම කූපයකින්ම පාහේ පිළිබිඹු කළ දැවැන්ත තිරිසනාගේ තේජාන්විත සුන්දරත්වය යුරෝපීයයාගේ සිතෙහි සටහන් විය. ක්ෂණිකව රැහැන්පටි තද කරගනිමින් සිය අසුගේ පාලනය සියතට ගත් ඔහු, ඉදිරිපසට නැඹුරු වෙමින්, දැනටමත් වේගයෙන් අසුන් පිට පළා යමින් උන් ස්වදේශිකයන් දෙදෙනා පිටුපසින් අසු මෙහෙයවන්නට ගත්තේ ය. 

අස් කුර, පාලු පාරේ පස්, ගල් මත වේගයෙන් වදින හඬින් හාත්පස හෙල්ලුම්කෑවේ ය. එයින් තව තවත් කුපිත වූ බව පෙන්නුම්  කළ හස්තියා වල්ගය රිටක් සේ කෙලින් කර ගෙන, සොඬට අසුවන අසුවන පඳුරු, ගල් කැට උගුල්ලා විසි කරමින් සැළකිය යුතු වේගයකින් අසරුවන් පිටුපස හඹා එන්නට ගති.

එක්වරම අනපේක්ෂිත ලෙස... තමන් භාරව ආ දූතයා සමබරතාව ගිළිහී වම් පසට ඇළ වී යනු අද්මිරාල් දුටුවේ ය. ඇඩම් වමතින් රැහැන් පටිවල මැද හරියෙන් අල්ලා ගෙන අසු මෙහෙයවමින් ම, රැහැනෙහි ඉතුරු කොටස දකුණතින් ගෙන දෙපසට වනමින්, සිය අශ්වයාගේ දෑළට පහර දෙද්දී, අසු ගේ වේගය තව තවත් තීව්‍ර විය. මොහොතකින් ඔහු ආපදාවට පත් අසරුවා ගේ දකුණු පසින් සමාන්තරව තම අසු මෙහෙයවමින් උන්නේ ය. ඒ අතර අනෙක් ස්වදේශිකයා ද ඔවුන්ට ළං විය.

සිය අශ්වයාගේ රැහැන් පටි දෙ වන දූතයා වෙත විසි කළ අද්මිරාල්, සිය දකුණු පය අසු ගේ පිට හරහා වම්පසට ඇද ගත්තේ ය. ඔහුට සෑදලය මත හරහට වාඩි වී සිටින්නට හැකි වූයේ මොහොතක් පමණි. වේගයෙන් දිවෙන අසු ගේ ගැස්සීම්වලට අනුරූපී වෙමින් ඔහු වම් පාදය හැකිතරම් ඉහළට ඔසවා, ආපදාවට මුහුණ පෑ අසු පිටට පැන, දූතයා ට පිටුපසින් වාඩි විය. ඒ ගමන් ම ඔහු පැත්තකට ඇළ වුණු අසරුවා කෙළින් කොට ඔහුගේ සිරුර දෙපසින් සිය අත් දිගු කර රඳවා ගත්තේ ය. ස්වදේශිකයා සිහිසුන්ව සිටි බව පෙනුණි. අශ්වයාගේ රැහැන්පටි තවමත් ඔහුගේ අතෙහි විය. එය මුදවාගත් අද්මිරාල්ට, අසු සිය පාලනයට නතු කර ගැනීමට හැකි විය. මේ සියල්ලට මිනිත්තුවකට වඩා කාලයක් ගත නොවී ය.

ඉදිරියෙන් බටහිර දෙසට වංගුවක් පසු කරද්දී, ලඳු කැළෑව කෙළවර වූ අතර, එතැන් සිට පාර විහිදුණේ, වෙල් යායේ මහ නියර මතිනි. හිස ඔසවා බැලූ ඇඩම් ට, ඈතින් පිහිටි දළදා මැදුරත්, ඇතුල් නුවර ගොඩනැගිලිවල කොත් පංතියත් වෙල්යාය ඉස්මත්තෙන් දිස් විය. එසැණින් පසුපස බැලූ ඔහු දුටුවේ, තමන් ආ අශ්වයා ද කැටිව හැල්මේ එන ස්වදේශික අසරුවා පමණකි. කුපිත වූ හස්තියාගේ සේයාවකුදු දකින්නට නොවීය. 

අශ්වයාහට වේගය අඩු කරගැනීමට ඉඩ හරිමින් යුරෝපීයයා මහ නියර දිගේ ඇතුල් නුවර දෙසට අසු මෙහෙයවීය. අසරුවෝ දෙදෙනා ගේ වේගවත් ගමනට විරාමයක් ලැබුණේ, වෙල් යායේ මැද පිහිටි මහ කමතට ළඟා වූ විට ය. ඇඩම්, මහනියරට වම් පසින් ගළා ගිය ඇළ පාර මත්තෙන් අසු පන්නවා කමතට පිවිසුණි. ඒ පසුපසින් ම කමතට ආ දූතයා, අසු පිටින් බැස, තවමත් සිහිසුන් ව සිටි තම සගයා අසු පිටින් බස්සවා ගැනීමට රැඳවියා හට උදව් විය. මහ ඇලෙන් දිය පොදක් ගෙන මුහුණට ඉස්ස විට ස්වදේශිකයා පියවි සිහියට එළඹියේ ය.

"ඔබ මගේ ජීවිතය බේරුවා ට පින් සිදුවේවා...!" සිහි එළඹි දූතයා ඇඩම් ගේ මුහුණ බලා, මඳ සිනහවක් පාමින් කීයේ ය. "දැන් යමු ඇතුල් නුවරට..."

සිය සගයාගේ අත වැරෙන් අල්ලාගත් හෙතෙම නැගිට පැන්නේ ය. ඔහු අද්මිරාල් ගේ අතින් රැහැන්පටි ගෙන අසුපිටට නැග්ගේ කිසිදු අමාරුවක් නොදක්වමිනි. ඒ අනුව අසුන් පිටට නැගි ඇඩම් සහ අනෙක් ස්වදේශිකයා ඔහු පිටුපසින් නැවතත් මහනියර මතට අසුන් පැන්නවූ හ. 

පළමුවැනි දූතයා, සිය සගයා හට ඉදිරියට යාමට ඉඩ හැර, මඳක් සුනංගු වී අද්මිරාල්ගේ අශ්වයා හා නැවතත් සමපාත විය.

"මම උඩුමුල්ලෙ නිළමෙ..." ඔහු රැඳවියා හට තම පපුවට තට්ටු කර දැක්වී ය. "කිට්ටුවන්තයො මට කියන්නෙ මිත්‍ර." 

මඳ සිනහවකින් යුරෝපීයයාගේ සූර්යතාපයෙන් රැළිගැසුණු ඇස් සිහින් කෙරුණි. ඔහු සිය නළල මතට වමතෙහි ඇඟිලි තුඩු දිගු කර ආචාර කළේ ය.

"මම ඇඩම් ඇන්ඩර්සන්... කිට්ටුවන්තම උදවිය මට කියන්නෙ ඩ්‍රේක්" ඔහු රැහැන්පටි වමතට මාරු කර ගෙන, සිය දකුණත මිත්‍ර දෙසට දිගු කළේ ය. පණිවුඩකරු, උඩුකය මඳක් හරවා, දකුණත දිගු කර එය අල්ලාගති. 

වෙල්යාය කෙළවර වූයේ බස්නාහිර - නැගෙනහිර අතට විහිදුණු මාවතකි. අසරුවෝ ති දෙන මහ මාවතට ගොඩ වී නැගෙනහිර දෙසට හැරෙද්දී, මාළිගාවේ හේවිසි හඬ ඔවුන්ට පැහැදිළිව ඇසුණි. අඩි කිහිපයක් ගොස් උතුරු දෙසට වංගුව හැරෙනවාත් සමඟම, ඔවුන් ඉදිරියේ වූයේ මුරකාවලකි. 

"තමුුන්නාන්සෙලා කොහෙටද යහපත් වෙන්නෙ?" හෙල්ල ගත් මුර සෙබළු ප්‍රශ්න කළහ. 

මිත්‍ර සිය ඉණතුරේ වූ කිණිස්ස ඇද, එහි මිට මුරකාවලේ ප්‍රධානියා හට පෙන්වී ය. ඒ දුටු සෙබළු දෙපසට වී, අසරුවන් ති දෙනා හට ඇතුල් වීමට ඉඩ හැරිය හ. සත්ත්ව අඟකින් සෑදුණු ඒ කිිණිස්සේ මිටෙහි වූ ඉපැරණි සූර්ය කැටයම කොහේ දී හෝ දැක පුරුදු බව ඇන්ඩර්සන් හට මතක තිබුණි. එහෙත්, ඒ කෙතැකදී දැයි සිහිපත් කර ගත නොහැකි විය. වටාපිටාව සිතෙහි ඇඳ ගනිමින් විමසිලිමත්ව ගමන් ගත් ඔහුගේ සිහියට එය සිහිපත් කර ගැනීමට තරම් විවේකයක් නොවීය. එහෙත් එය ඒ තරම් සුභදායක මතකයක් නම් නොවූ බව පමණක්, මතක තිබුණි.

මුරකාවලේ සිට පටු මාවත නැගෙනහිර දෙස ට විහිදුණි. මාවත දෙපස වූයේ මනාව නඩත්තු කරන ලද උද්‍යානයකි. ඈතින් ඇසුණු හේවිසි හඬෙහි යම් හුරු පුරුදු බවක් ඇඩම් ට හැඟුණේ ය. දින කීපයකට කලින් ටිකිරි බණ්ඩාර සමඟ නාථ දේවාලයේ පූජාවන්ට සහභාගි වෙද්දී දළදා මැදුරෙන් නැඟුණු තේවාවේ හේවිසි හඬ ට එය බොහෝ සමපාත විය. 

විමසිලිමත් වූ යුරෝපීයයාගේ දෑසට, ඉදිරියෙන් ම වාගේ ඈතින් දළදා මැදුරේ වළාකුළු බැම්ම හඳුනා ගත හැකි විය. මීට පෙර ඔහු මෙම ඉසව්වට පැමිණියේ වෙනත් මාවතකිනි. සිතෙහි වූ මතකයන් සමඟ වටාපිටාව සසඳමින් බලද්දී ඊසාන දෙසින් වැවුණු දැවැන්ත ගස් අතරින් තමන් පසුගිය සති දෙකකට පමණ පෙර ටිකිරි බණ්ඩාර සමඟ දිවාකාලය ගත කළ නාථ දේවාලය සහ ඊට මෙපිටින් වූ පත්තිනි දේවාලය දැක ගත හැකි විය. 

මුරකාවල පසුකර අඩි දහයක් යන්නට ලැබුණේ නැත. කලින් ගත කළ නාවුක ජිවිතයේ දී ලබා තිබූ පළපුරුද්ද විසින්, යම් කිසිවක් වරදින්නට යන බව හෝ, සිදුවීම්වල යම් කෘත්‍රිම බවක සේයාවක් අද්මිරාල්හට දැනෙමින් පැවතිණ. දෙවියන් විසින් යක්ෂයාගෙන් සොරකම් කරන ලද මරණය පිළිබඳ ඉව ඇන්ඩර්සන් තුළ ද ක්‍රියාත්මක වෙමින්... 

"විදුව!" 

කෙටි නියමය අනුව හතර වටින් ම ගුවනට මුදාහැරුණු ඊතල සිය ගණනක් සිහින් සිවුරුහඬ නඟමින් තමන් දෙසට ඇදී එනු අසරුවන් ති දෙනාට ඇසුණි... පෙනුණි.

දහ වෙනි කොටසට...

----------------------------------
සංලක්ෂය - 
කතාවේ ශෛලියට, කාලයට සහ යතාර්ථයට ගැළපෙන පරිදි ස්කැන්ඩිනේවියානු අද්මිරාල් ගේ නම ඇඩම් - ඩ්‍රේක් ඇන්ඩර්සන් ලෙස වෙනස් කරන ලදි.

මේ පිළිබඳව ඉතා උනන්දුවෙන් සිය අගනා කාලය මා හා ගත කරමින් ලබා දුන් පෝෂණය සම්බන්ධයෙන් හිතවත් Pra Jay මහතාට කෘතඥවෙමි.

වැඩිපුර බලපු ලිපි