Monday, September 28, 2020

අවසානයක් නොවේ - දා හතර වන කොටස

පළවෙනි කොටස

තුන් වෙනි කොටස

දහ තුන් වෙනි කොටස

බිම අඩ දණින් වැටුණු ඇඩම් හති ලෑවේ ය. තම මුහුණ කෙලින් පහත් වූ ගැහැණු අතක්... බීම පිරවුණු සම් මල්ලක් අල්ලාගෙන සිටි ගැහැණු අතක්... ඔහු හිස ඔසවා බලද්දී, දුටුවේ සුන්දර සිනහවක් රැඳුණු තරුණියකගේ මුහුණකි. දුන්න වමතින් අත නොහළ ඇඩම්, දකුණත දිගු කර සම් මල්ල අල්ලා ගත්තේ ය. එය මුවට ළං කරද්දී ඉන් නැඟුනු මීපැණි සහ කුළු බඩුවල සුවඳින් පමණක් හෙතෙම සෑහෙන තරමට ප්‍රකෘතිමත් විය. දෙතොලින් ඇතුල් වී දිව තෙමාගෙන උගුර හරහා ගළා ගිය මීඩ් පානයේ රසය ඔහු දෑස් පියාගෙන වින්දේ ය.

ඔහු නැවත දෑස් විවර කරද්දී, තරුණිය තමා ඉදිරිපිට තණපත් මත වාඩිවී සිටිනු දුටුවේ ය. 

"නුඹට මේ මිටියාවතෙන් පිට වීමට උවමනා බව මම දන්නවා..." ඇය ඉතා පහත් හඬින් මිමිණුවා ය. "...මම ඇස්ගාඩ් සිට මෙහි ආවේ නුඹට උපකාර කිරීමටයි."

"ඇස්ගාඩ්?" 

"ඔව්. වික්‍රමාන්විත ක්‍රියා, දේශ ගවේෂණ, ආදී නොයෙක් දේ නුඹගේ ඉදිරි ජීවිත කාලයේ දී හමු වේ වි. නුඹට ලෝකී ලබා දුන් බලය නිසා ඒ සියල්ලට නිර්භීතව, මුහුණ දෙන්නට සහ ඒ වික්‍රමයන් රසවිඳින්නට නුඹට හැකියි. ඒ සියලු දේ අතර, නුඹ ගේ ඉළක්කය විය යුත්තේ අමරණීයත්වය..."

තිගැස්සී අවදි වූ ඇඩම් වටපිට බැලී ය. හාත්පස පැතිරි සීතල දැනුණ ද, ඔහු සිටියේ දහදිියෙන් තෙත්වූ ගතිනි. මිට මෙළවූ දෑතින් දෑස් පිස දමා ආපසු බලද්දී, ධනසේකර වළව්වේ තමා රඳවා තිබූ කුටිය ඔහුට හඳුනා ගත හැකි විය... මේසයක් ලෙස ඇඩම් භාවිත කළ කනප්පුව මත තැබූ පිත්තල පොල්තෙල් පහනක මන්දාලෝකය මළාණික ලෙස හාත්පස පැතිර තිබුණි.

ස්ස්ස්... හඬ නැඟුනේ කුටියේ පැවති එකම කවුළුවට පිටතිනි. ස්කැන්ඩිනේවියානුවා ක්ෂණිකව නැගිට්ටේ ය. තවත් එක්වරක් ඒ හඬට කන් දුන් ඔහු, තමා නිදා සිටි ලී මැස්ස - එය ලී දඬුු වලින් තමන් විසින් ම තනාගත් එකක් විය - යට තිබූ මැටි කෝප්පය ගෙන කණප්පුව උඩින් තැබී ය. හම් කොපුවක රඳවා මැස්සෙහි ඉහ ඉද්දර කණුවෙහි එල්ලා තිබූ කිණිස්ස කොපුවෙන් ඇද ගත් ඇඩම්, සිය කළවයෙහි මැද කොටස වැසුනු කපු රෙද්ද මෑත් කර එතැන කිණිසි තුඩින් ඇන කුඩා තුවාලයක් කළේ ය. ඉන් ගළන්නට වූ ලෙය ඔහු එකතු කරගත්තේ මැටිකෝප්පයට ය. සුලු වේලාවකින් ම තුවාලය වටා සම ලියලා'විත් ලේ දහර නැවතිණ.

මැටිකෝප්පය වමතට ගත් ඇඩම් ජනේලය වෙත ගියේ ය. කවුළුවේ පියන පිටතට විවර කරද්දී, එය උළුවහු කඳට සවි කරන ලද මී හරක් හම් කැබලි වලින් හඬක් නොනැගුනි. ගළා ආ සඳ රැසින් එළිය වුණු හාත්පස ඔහු කිහිප විටක්ම හොඳින් නිරීක්ෂණය කර, කිසිවෙකුත් ඔහු නොදුටු බව හැක හැර ගත්තේ ය. ජනේල පඩි කඳ මත ඔහු සීරුවෙන් මැටිකෝප්පය තැබුවේ ඉනික්බිත්තෙනි.

තත්පර දෙක තුනක් යාමට මත්තෙන් සට සට හඬින් පියාපත් ගැටෙනු ඇසිණ. ලොකු බස්සෙක් වැනි කුරුල්ලෙක් අඩ අඳුරේ පහත් වී මැටි කෝප්පය අසළ ජනෙල් පඩිය මත වැසී ය. ඇඩම් අපේක්ෂා කළ පරිදි ම ඒ ස්ට්‍රිජ් පක්ෂියෙක් විය. ඌ මැටි බඳුනට පහත් වී එහි වූ ලේ රස විඳිද්දී, නාවුකයා සීරුවෙන් උගේ දකුණු කකුලේ ගැට ගසා තිබූ කුඩා පාච්මන්ට් රෝල ලෙහා ගත්තේ ය.

බඳුනේ ලේ සියල්ල අවසන් වන තෙක් උරා බිව් ස්ට්‍රිජ් කුරුල්ලා ආපසු පියාඹා ගියේ වැඩි හඬක් නො නගමිනි.

https://i0.wp.com/cdn.shopify.com/s/files/1/1601/3103/files/Baleful_
Strix_Playmat_-_Featured_1600x.jpg?resize=400%2C320&ssl=1


මැටිකෝප්පය සෝදා වතුර විසි කර, කවුළු පියන වැසූ ඇඩම් ඇන්ඩර්සන්, පාච්මන්ට් රෝල කණප්පුව මත දිග හැරියේය. ඒ මත පියවි ඇසට දැකිය හැකි කිසිදු සළකුණක් නොවී ය. ඔහු නාවික දුර දක්නය ගෙන, යන්තමින් දිගු වන සේ ඇද, එය තුළින් පාච්මන්ට් රෝල දෙස බැලීය. දුරදක්නයේ දිග ඉතා සියුම් ලෙස වෙනස් කරමින් බලද්දී, ලියවිල්ලේ අකුරු මතු වී පෙනෙන්නට පටන් ගත්තේ ය.

"මව්බිම සමඟ සබඳතා නැවත ස්ථාපිත යි. මම මුදාහැරුණා. ට්රැන්කියුබාර් හි නව පාලකයා කපිතන් සිවාඩ්ට් ඇඩෙලර්. ඔබේ ගවේෂණයේ තත්ත්වය වාර්තා කරන්න. ඩි බොෂුවේ ගැනත් තොරතුරු සොයන්න - එස්කිල්ඩ් ඇන්ඩර්සන් කොංස්බාක්"

කිහිප විටක් පණිවුඩය කියවූ ඇඩම් එය අනෙක් පිට හැරවීය. තම දුරදක්නයේ ඉහළ කොටස කරකවා ගලවා ගැනීමට ඔහුට වැය වුණේ තප්පර කීපයකි. එහි කාචය ගලවා අතට ගත් ඔහු එය දෙපලු කර කණප්පුව උඩ තබා ගත්තේ ය. සිය ලියවිලි අතර වූ දිගු පාත්ත පිහාටුවෙහි තුඩ ඒ කාචයේ කොටසක කීප විටක් ඇතිල්ලූ ස්කැන්ඩිනේවියානුවා, ඉන් නොපෙනෙන කෙටි පණිවුඩයක් පාච්මන්ට් එකෙහි සටහන් කළේ ඉතා කඩිසර සහ පළපුරුදු ලීලාවෙනි.

නැවත කවුළු පියන විවර කළ ඔහු "ස්ස්ස්..." හඬ නැඟී ය. ස්ට්‍රිජ් පක්ෂියා ආපහු පියාහඹා විත් ජනෙල් පඩි කඳ මත වැසුවේ ඉතා නිහඬව ය. පාච්මන්ට් රෝල නැවත උගේ වම් කකුළේ ගැට ගැසූ පසු කුරුල්ලා නැවත පියාඹා ගියේ ය. සඳරැසින් උගේ පියාපත් ලා කහ පැහැයෙන් දිළිසෙනු ඇඩම් ගේ නෙතට ලක්විය.

----------------------------

රෝස කිරිගරුඬ ගලින් කෙරුණු බිත්ති මත රැඳවුණු, කැකුණ තෙලින් පෙඟවුණු පන්දම්වල එළියෙන් හාත්පස දීප්තිමත්ව ආලෝකවත් වී තිබුුණි. ශාලාවේ දෙපැත්තක බිත්ති වල රැඳවුණු, සුමටව කළු ගලිින් ඉදි කෙරුණු රාක්ක තට්ටු මත පුස්කොළ පොත් දස දහස් ගණනක් අසුරා තිබුණි. එහි බිම ඔප දැමුණු කලු ගල් පොළොව මත පළස් අතුරා, ආසන පණවා තිබුණේ සිව් දෙනෙකුට මුහුණින් මුහුණ බලා සාකච්ඡා කළ හැකි වන පරිදි ය. කුළවතුන් ගේ වස්ත්‍රයෙන් සැරසීගත් ස්ත්‍රියක් සහ පුරුෂයන් තිදෙනෙක් එහි අසුන් ගෙන සිටියහ. 

සුමන සාකච්ඡාව ආරම්භ කළේ ය. "මිත්‍රටත් මටත් වාර්තා කරන්න සහ සැක හැර ගන්න තොරතුරු කිහිපයක් තියෙනවා. අග්නි සහ ඉන්ද්‍රට ත් අපට එකතු කරන්න දේ ඇති..."


ඉතිරි කොටස...

27 comments:

  1. පෙරපර දෙදිග ඇදහුම් හා විශ්වාස
    කරනව වගෙයි මේ ගැදියේ සහවාස
    අගෙයි ඩ්රැකී, ඔහෙගේ මේ අභිලාශ
    කෙලෙස හෙළි වෙයිද අවසන් අබිරහස?

    ReplyDelete
    Replies
    1. නිදි මෙය අගය කරනා බව වැටහෙන්නේ
      ඒකයි ඔබේ කවි පද මෙහි ලියවෙන්නේ
      එය මට මුව නොසෑහෙන සේ වටින්නේ
      දිගටම ලියන්නට දිරි ඔබගෙනි ලැබුණේ

      (මේ ලොකු අයියෙ, මට කවි ලියන්ඩ තේරෙන් නෑ. අඩුපාඩු ඇතොත් සමාව බාජනේකට දාල තියන්ඩ...)

      Delete
  2. ඩ්‍රැකී ගෙ අදහස මේ කතාවෙ Strix වගේ සුපර්නැචුරල් / මිතොලොජිකල් දේවල් එහෙමම තියන්නද එහෙම නැත්නම් ඒවාට පසුව ස්වාභාවික පැහැදිලි කිරීමක් කරන්නද?

    මම මිතොලොජි, ෆැන්ටසි කතාවලට කැමතියි ෆැන්ටසි විදිහට කියවන්න. හුගක් ෆැන්ටසි කැමැත්තෙන් කියවනවා.හැබැයි ඒ ෆැන්ටසි විදිහට. ඒත් අයිතිහාසික වගේ ලියන ඒවාගේ අද්භූත දේවල්වලට පසුව ස්වාභාවික පැහැදිලි කිරීම් තියනකොට කැමතියි. මම ගේම් ඔෆ් ත්‍රෝන්ස් (පොත් හා ටීවී සීරීස් දෙකම )ට කැමතියි. ඒක ෆැන්ටසි තමයි ඒත් හුගක් අයිතිහාසික පැරලල් තියන කතාවක් නිසා තියන අත්භූත දේවල්වලට ස්වාභාවික පැහැදිලි කිරීමක් තියනව නම් වඩාත් කැමතියි. හැබැයි ලෝඩ් ඔෆ් ද රින්ග්ස් , නාර්නියා, හොබිට්, හැරී පොටර්, පර්සි ජැක්සන්, His Dark Materials වගේ ඒවට එහෙම අවශ්‍ය නෑ

    මම කියන්න ගියෙ ෆුලි අයිතිහාසික කතාවලට ස්වාභාවික පැහැදිලි කිරීම් තියන එකට කැමතියි කියන එකයි. හැබැයි ඩ්‍රැකී මේක සම්පූර්න අයිතිහාසික නෙමෙයි ෆැන්ටසිත් විදිහට ලියනවනම් (මට හිතෙන්නෙ එහෙම යයි කියලයි) ඒක අවශ්‍ය නෑ.
    Historical fiction and Fantasy genres සහ ඒවාගේ වෙනස්කම් පිලිබඳව මගේ පුද්ගලික රුචිකත්වය කිව්වෙ, අපැහැදිලිකමට සමාවෙන්න

    ReplyDelete
    Replies
    1. කිරි අප්පට බස්සො කොටපි! ප්‍රාජේ වැටවල් ගැහිල්ල නවත්තලා. Hallelujah!

      - ඉස්සර බ්ලොග් කොටපු කුරුල්ලෙක්-

      Delete
    2. ආ කතාව හොදයි, ඒත් අද කොටස කොටයි. ඔහොම ගියොත් කපුටො කොටයි. බ්ලොගර් මට කමෙන්ට් කරන්න දෙන්නෙ නැත.

      - ඉස්සර බ්ලොග් කොටපු කුරුල්ලෙක්-

      Delete
    3. අද උදේ හිටං එකසීරු වැඩ. ඒකයි උත්තර දෙන්ඩ පරක්කු උනේ. ඒ උනාට කමෙන්ට් එකක් දාල, කෝල් එකකුත් දුන්නම, මේ උත්තරේ දාලම ආපහු වැඩ පටං ගන්න හිතුණා.

      උඩ කමෙන්ට් එකෙන් පේන්නෙ අපි දෙන්නටම ඉතා සියුම් විදිහට සමාන වුණු රසිකත්වයක් තියෙන බව.

      මට මුලින්ම ඕනෙ උනේ ලක්ෂ්මි හෙවත් නොනැසෙන රැජිණ වගේ කතාවක් ලියන්න. නමුත් අර සයිලන්ට් සහන්ගෙන් අල්ලගත්ත මුලක් නිසා මේක මම වඩාත්ම ආස කරන යුරෝපීය දේව කතා පැත්තට කළවම් වේගෙන යනව. මේකෙදි මට ඕනෙ වුණා පුළුවන්තරම් මිතිකල් සත්තු සහ චරිත කළවම් කරගන්න අර ශ්‍රෙක් ෆිල්ම් එකේ වගේ. ඒත් ඒ හැම දේකම යථාර්ථවාදී පැහැදිලි කිරීමක් හෝ යථාර්ථවාදී පසුබිමක් එක්ක නිරූපණය කරන්න උවමනාව තියෙනව.

      අපි මෙහෙම කියමුකො... මේකෙ තියෙනව, ශ්‍රෙක්, ෆැන්ටෑස්ටික් බීස්ට්ස්, ලක්ෂ්මි සහ හැන්කොක් කියන කෘති හතරෙම ආභාෂයෙන් හැදෙන මික්ස් එකක්.

      අර කෝල් එකක් දීල මතුකරපු දේ හරි. ඒක මං වෙනස් කරනව... ගොඩක් ස්තූතියි මේ කතාව පෝෂණය කරනවට. විශේෂයෙන්ම පහුගිය කොටසෙ කමෙන්ට් කරපු ලිංක් එකට. මං ඒක දිගේ ගිහිං දැනගෙන නොහිටපු ගොඩක් දේ දැනගත්ත...

      Delete
    4. පෙම්බර භක්ෂාන, බෝ කියන කතා දෙකම සිරා. ප්‍රා වගේ කෙනෙක්ගෙ හිත ඇදගන්න ලියන්න පුළුවන් ප්ලොට් එකක් ලැබුණ එක ගැන මං අමන්දානන්දයට පත් වෙලා ඉන්නෙ.

      මේක කොටයි තමයි. ඊයෙ මහ රෑ ලිව්වෙ. ඔය තරම ලියල බලනකොට පාන්දර 3:25. ඉතුරු ටික නිවීහැනේ ලියන්න ඕනෙ. මං ඒක ළඟදිම දාන්නං...

      Delete
    5. ආ ලෝඩ් බැස්ටියන්,
      අපි වැටවල් ගහනව. ඔබතුමා ඉතින් බර්ඩ්ස් අයි විව් කරනව මිසක් බ්ලොග් එකක වැටකවත් වහන්නෙ ඉතා කලාතුරකින්නෙ.


      මෙතන ෆනී දේ තමයි සමහරු කියනවා//The appearance and calls of owls, such as the Eurasian scops owl, may have influenced Greek ideas of the blood-drinking strix.//
      ඇත්ත වෙන්න ඇති, ලෝඩ් බැස්ටියන් ලෑන්ඩ් කලානෙ හදිසියෙම මෙතන !

      Delete
    6. මමත් හරිම කැමතියි පැරණි කතා වලට, විශේෂයෙන්ම යුරෝපියන් මෙඩීවල් ටයිම්ස් වලට.අර තානායම් වල ලී කෝප්ප පුරෝලා කස්ටිය කරටි කැඩෙන්න ගහන්නෙ. තව ගිණි උදුන ගාව එල්ලෙන සොසේජස්, මස් ගාත. බැදපු තාරාවො ගිලලා වයින් වලින් උගුර හෝදලා දාන එක එහෙම.

      ඒත් ඇත්තටම මට මෙඩීවල් ටයිම්ස් වලට යන්න චෑන්ස් එකක් ලැබුනොත්? ප්‍රාජේ නං යාවි, ඒත් අපි නඳ් අහුවෙයි එව්වට. මෙඩීවල් ටයිම්ස් එච්චරම සුන්දර නොවීමට් තියෙන ඉඩකඩ වැඩියි.

      ඔන්න ඔය නිසා මං කැමති එව්වා ෆැන්ටසි විදිහටම තියාගන්න. දැන් මං මේ ලෝකෙ අනිත් පැත්තෙ ඉදන් කොමෙන්ට් එක කොටනවා, ඒක බලලා ඔහෙලා පටස් ගාලා උත්තර දෙනවා. මෙඩීවල් ටයිම්ස් වල ඊමේල් පරෙයියා...දැන් තේරෙනවා නේද මං කියන්න යන දේ?

      =බස්තියං-

      Delete
    7. මං යයි ලෝර්ඩ් බැස්ටියන් හරි ආසාවෙන් , කියවල තියන දේ ඇත්තද බලන්න, වටිනා දෙයක් අරගෙන එන්න හැබැයි ආපහු එන්න පුලුවන් නම්. නැතුව ඒ කාලෙ ඉන්න අමාරුයි. පොත් සහ මූවීස් ලේසියි. එහෙම නැත්නම් දශක කීපයකට විතර ආපස්සට ගිහිල්ලා මීට වඩා ආස රස්සාවක් කරමින් ඒකට හරියන රටක ඉන්න ඒක යූස් කරන්න නම් කැමතියි

      Delete
    8. ඇත්තට ප්‍රා ජේ අර ස්ට්‍රීජ් ගෙයි බස්සගෙයි සම්බන්ධෙ කිව්වට පස්සෙ තමා මටත් මතක් වුනේ. මෙඩීවල් කාලසීමාවට අපි සංකල්පයක් විදිහට ආශක්ත වුණත්, ඒකෙ ජීවත්වෙන්න නම් අමාරු වෙයි. මොකද අපි දන්න කියන කිසිම දෙයක් නෑ එහෙ ... විශේෂයෙන් වැසිකිලි පහසුකම් එහෙම.

      Delete
  3. මේකට ස්ට්‍රිජ් සම්බන්ධ කලේ තව මොකක්දෝ ගිනි විජ්ජුම්බරයකට වෙන්නැ. දිගටම අපේ කුතුහලය නම් තදින් ගැට ගහනව. බොහොම රසවත් සහ අලංකාරයි.

    ReplyDelete
    Replies
    1. මේකනෙ අපෙ හාමුදුරුවනේ... පනිවුඩ හුවමාරුව රහසිගතව කෙරෙන්නත් ඕනෙ. ලෝං ඩිස්ටන්ස් වෙන්නත් ඕනෙ. ඒකට පරවිය හරියන්නෙම නෑ. බස්සෙක් වගේ එකෙක් තමා යොදාගත්තොත්.

      ගොඩක් ස්තූතියි ඔබවහන්සෙ නොවරදවා මේ පැත්තෙ සැපත්වෙලා කියවලා අදහස් දැක්වීමට...

      Delete
  4. අස්ගාඩියා අර මිලියනර් රුසියානුව හදපු ස්පේස් වර්ල්ඩ් එක නේද
    https://asgardia.space/en/
    නැත්නම් අස්ගර්ඩියන්ස් ද

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් තියෙනව කියලත් දැනගත්තෙ මේ කමෙන්ට් එකෙන් තමා. ගොඩක් ස්තූතියි. අපට බෑද ඒකෙ සාමාජික වෙන්න?

      මං ඇස්ගාඩ් කියල කිව්වෙ ඔරිජිනල් එක. අර යිග්ඩ්‍රස්සිල් ගහේ උඩ අත්තෙ තියෙන්නෙ... දේදුනු පාළමෙන් ඇවිත් බහින්නෙ පොළොවට... ආං ඒක.

      Delete
    2. ඕන කෙනෙකුට පුළුවන්. මායි ළමයි දෙන්නයි සාමාජිකයෝ හෙවත් සිටිසන් ලා . මම ඕවගේ ගොන් වැඩ කරනවා. අර බිට් කොඉන් ආපු කාලේ මට මතක නැහැ 2005 විතර දහයක් අරන් තිබ්බ. ඊයේ පෙරේදා ගණන් වැඩි වුනහම (පවුම් 70000 විතරනේ ) හෙව්වා පු..ඉරාගෙන . පාස්වඩ් ඔක්කොම පරණ කොම්පියුටරේ, හාඩ් ඩිස්ක් එක වැඩ කරන්නේ නැහැ. මොන හේතුවකින් අහරි කොපි කරගෙන නැහැ , පරණ සර්විස් ප්‍රොවයිඩර් යටතේ. ඌ බැන්ක්‍රප්ට්. හේ හේ

      Delete
    3. ඔන්න බලන්න ඒකෙත් හැටි කියන්නෙ... මගෙ තිබ්බා වයිල්ඩ් ටැංජන්ට් එකෙන් දීපු වයිල්ඩ් කොයින් වගෙයක්. මේ ළඟදි මතක් වෙලා යූආර්එල් එක ගැහුයම, ඒ සයිට් එක නෑ...

      අර ඔයාගෙ බිට් කොයින් ටික මාරු කරගත්තනං ලොතරැයියක් ඇදුන වගේ තමා ඈ... තව නෙලුම්යායක් කරන්න තිබුණා ස්පොන්සර් නැතුව.

      මේ ඒක නෙවෙයි ලොකු අයියෙ. අපි ගෙට්ටුවක් ලෑස්ති කරමුකො. මොකද කියන්නෙ?

      Delete
    4. මනුස්පයෝ බිට් කොයින් කතාව බොරුවක් නෙමේ. මගේ කොම්පැනියේ එවුන් පවා ට්‍රයි කරා අරන් දෙන්න. ඔහොම දේවල් ජිවිතේ වෙනවා. නෙලුම් යාය කරන්න ආසාවක් නැහැ ඔඩ්ඩි මස්සිනේ දැන්. ඔයාල කරන්න. නෙලුම් යාය වෙබ් එක කොහොමත් ලංකානිව්ස්වෙබ් එකට අයිතිනේ. සූම් එකෙන් කරන්න පුළුවන් උත්සවය. කොළඹ ගමයා උත්සයක් නම් තියත හැකි. හේ හේ

      Delete
    5. නෑ නෑ තරහ ගන්න එපා. බිට් කොයින් කතාව මම අවිශ්වාස කරලා මරිසියක් ලිව්ව නෙවෙයි. ඇත්තටම මට අසූස් ටීවී කාඩ් එකක් ගනිද්දි ගේම් වගේකුත් එක්ක වයිල්ඩ් කොයින් කූපන් එකක් හම්බුණා. ඒක ගැන කිව්වෙ...

      ඊයෙ තට්ටයගෙ කොළම ලියන අයිය මාත් එක්ක කතා කළා ගෙට්ටුවක් තියමු කියල. කලින් අපි සහභාගි වුණු එව්වයෙ මතකයන් හරි වටිනව. ඉතිං ආපහු එකක් කරමු කියල සංවිධායක කණ්ඩායමක් ලෑස්ති කරගන්න අදහසක් තියෙනව. මුට්ටිය දාල බැලුවෙ...

      නෙලුම්යාය සංවිධානය කරපු විදිහ අන්තිම ඉහළයි. ඉතින් අජිත් අයියගෙ, කළණගෙ එහෙම උදව් / උපදෙස් එක්ක අපට ලස්සන වැඩක් කරන්න පුළුවන් වෙයි.

      Delete
    6. අජිත් Asgardia එකේ මාත් රෙජිස්ටර් වුණා. හෙහ් හෙහ් ...
      අර බිට් කොයින් කතාව අහල හාට් එක නතර වුනා වගේ ... මමත් ඕක ඩොලර් 5 ට විතර තියෙන කාලේ අරන් දාන්න හිතල තේරුමක් නැති වෙයි කියල ගන්නේ නැතුව හිටියා.. දැන් ඉතින් මොනවා කරන්නද...

      නෙලුම් යාය වගේ එකක් නැති එක අඩුවක්. ආයේ පටන් ගන්න පුළුවන් නම් ලොකු උදව්වක් වෙයි බ්ලොග් ලියන අයට ..

      Delete
    7. මගේ තවම පවුම් පනහක ගත්ත ටිකක් තියනවා. රුපියල් 10000 නේ. දැන් ඒක ඕන් පවුම් 1000 වෙලා. දැන් බලු වැඩේ කියන්නේ උන් සල්ලි ගන්න දෙන්න නැහැ. බිට් කොයින් කඩවලින් පවුම් දාහක බඩු ගත්ත හැකි. නෙලුම් යාය වගේ එකක් පටන් ගන්න මගේ කොහෙත්ම අදහසක් නැහැ. විවේචන හෙම එනකොට තනියම මුහුණ දෙන්න ඕනේ. ඒකට හේතුව හැබැයි වෙන අවුට්ලෙට් එකකුත් තිබුන නිසා කියල මම දන්නවා. හැබැයි හොඳම සංවිධායකයා සුමිත් කලනසිරි තමා. ආයේ නැහැ නේවි එකේ විනයට වැඩේ දෙනවා. සුමිත් සමහරවිට කැමති වෙයි. මම පැත්තක ඉඳන් පුළුවන් සපෝර්ට් එකක් දෙන්නම් බට් සංවිධායක වෙන්න බැහැ.

      Delete
    8. ගොඩක් ස්තූතියි අජිත් අයියෙ. මම ගෙට්ටුවක් ගැන එෆ්බී එකේ යෝජනා කරන්නම්... අපි එකක් කරමු කැසිල්ල හොඳ වෙන්නත් එක්ක.

      අර බිට්කොයින්වල බලු වැඩේ, මයෙ හිතේ බිට් කොයින් ප්‍රචලිත කරවන්න කරන උපායක්. කොහොමත් මේ ලෝකෙ අනාගත විනිමය මාධ්‍යය වෙන්නෙ ක්‍රිප්ටො කරන්සි තමා.

      Delete
  5. මම වැඩිය කැමති ලංකාවේ තියෙන අපේ මිත්‍යා කතා මේකේ ලියවෙනවට . බහිරවයෝ , දෙවියෝ භූතයෝ වගේ සීන්. අපි විදෙස් මිත්‍යා ගැන දන්නවා වුනාට දේශීය දේවල් ගැන දන්නේ හෙන අඩුවෙන් නේ ..

    කොහොම වුනත් කතාව නැගල යනවා .

    ReplyDelete
    Replies
    1. ඔව් පැත්තා. ලංකාවෙ මිත්‍යා ක්ෂේත්‍රය වැඩිය ඇඩ්වෙන්චර් කැටගරියට ටච් වෙලා නෑ. ඒ වගේම මට ඒක කරන්න උවමනාවත් තියෙනව. ඒකත් එක හේතුවක් මේක ලියන්න. වැඩේ තියෙන්නෙ, ඇඩමගෙ මුල සහ උන්දැ මේ තත්ත්වයට පත්වුණේ කොහොමද, ඒ වගේම එයාගෙ අරමුණ මොකද්ද කියන එක ට නෝර්ඩික් පදනමක් දෙන්න ඕනෙ. මොකද උන්දැ ලංකාවට එනකොටම, එන්නෙ යටි අරමුණක් ඇතුව. ඒ අරමුණ එයාට ලැබෙන්නෙ ස්කැන්ඩිනේවියාවෙදි...

      මට හිතෙන්නෙ මේ කොටසින් පස්සෙ ඒ ස්කැන්ඩිනේවියානු කතා ටික ඉවර වෙලා, ආපහු ලංකාව ඉස්මතු වෙන්න පටන් ගන්නව. සමහර විට තව අවස්ථාවකදි හරි දෙකකදි හරි ආපහු නෝර්ඩික් පැත්ත බොහෝම පොඩ්ඩක් ටච් වෙයි. ඒ ඇරුණහම තනිකර නාථ, පත්තිනි, සුමන සමන්, යම, කන්දෙ යකා, රීරි යකා ආදී උදවියගෙ ඇක්ෂන් තමා මේකෙ අන්තිම වෙනකල්...

      Delete
  6. Replies
    1. මටනම් බොක්කට වැදුනේ නැහැ...ඒත් උබ ලියන එක වටිනවා...මට නම් පැට්ලෙනවා බන් කියවගෙන යනකොට මුල නම් මතක නැහැ

      Delete
    2. ඔව් මෙන්ඩා. මේක මෙහෙම දුව දුවා, මාසෙකට කොටස බැගින් කියවන්න බෑ. ගොඩ දෙනෙකුට ක්ලික් වෙන්නෙත් නෑ. මම ට්‍රයි කරනව බං, මේක සතියකට සැරයක් ලියලා, ඒ අතර මැද ගජබින්න, ජනකතා ආදියත් ලියන්න. නැත්තං මගෙ පාඨක ජනතාවගෙන් බොහොමයක් මට මගෑරෙනව අන්තිමේ...

      උඹ දකින්න ලැබීම සතුටක් බං. මොකද වෙලා තිබුණෙ පහුගිය ටිකේ?

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි