Monday, October 5, 2020

අවසානයක් නොවේ - පහළොස් වෙනි කොටස

පළමුවෙනි කොටස

තුන්වෙනි කොටස

දා හතර වෙනි කොටස

සුමන සාකච්ඡාව ආරම්භ කළේ ය. "මිත්‍රටත් මටත් වාර්තා කරන්න සහ සැක හැර ගන්න තොරතුරු කිහිපයක් තියෙනවා. අග්නි සහ ඉන්ද්‍රට ත් අපට එකතු කරන්න දේ ඇති...

"පළමුවෙන් ම ලක්දිවට ආ විදේශිකයන් ගැන. ප්‍රංශ තානාපතිවරු වුණු බ්වාෆොන්ටීන්, නෝක්ලෑ ද ලා නෙරෝල් සහ ඔවුන්ගේ සහචරයන් පහසුවෙන්ම අපේ විමසුමෙන් ඉවත් වුණා. ඔවුන් කිසිම ආකාරයක සැක සහිත චර්යාවක් පෙන්වූයේ නෑ. ඒ වගේම මෙතෙක් අප පරංගීන්ගෙන් දැක තිබෙන විනෝදකාමී ගතිය සහ මුරණ්ඩු ගතිය ඔවුන් තුළ සාමාන්‍ය පමණින් තිබෙන බව නිරීක්ෂණය වුණා. ඊට පස්සේ කොට්ටියාරම බද කැලෑව තුළ අතරමං වුණු දෙන්නෙක් උඩරටට ආවා නේ..."

"ඔව්. ඒ ගැන මටත් යමක් කියන්න තියෙනවා." එතෙක් නිහඬව සිටි, එතැන හුන් එකම කාන්තාව හඬ අවදි කළා ය. "...ඔබගේ වාර්තාවෙන් පසුව මම ඒ ගැන කියන්නම්."

සුමන ඈ දෙස බලා, හිස පහත් කොට එකඟතාව දැක්වීය.

"උඩරට ට ආ දෙන්නාගෙන් ප්‍රධානියා ප්‍රංශ නැව් කණ්ඩායමේ එක නැවක අද්මිරාල්. නම, ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන්. වාසගමෙනුත් පෙනෙන විදිහටම නෝර්ඩික් ජාතිකයෙක්. මැද නමේ තේරුම - මකරා - අනුව, ඔහු රණශූරයෙක් මෙන්ම හිතට එන අදහස් නොපැකිළව ක්‍රියාත්මක කරන පුද්ගලයෙක් කියා පේනවා. දැනට ධනසේකර වෙද මුදළි තුමා භාරයේ ඉන්නවා. පහුගියදා ධනසේකර කුමාරිහාමි බහිරවයාට බිළි දීමේ දී මේ පුද්ගලයා තනිවම ඇය බේරාගන්න ඉදිරිපත් වුණා. ඔහු බහිරවයා සමඟ සටන් කළා. මාරාත්මක තුවාල ලැබුවා. ඒ වගේම මිනිත්තු කිහිපයක් ඇතුළත එය සුවපත් වුණා..."

ඉන්ද්‍ර, අග්නි දෙදෙනාගේම තියුණු ඇස් බැල්ම සුමන වෙත යොමු වූයේ ය.

"ඔව්. ඒක අපටත් පුදුමයක් වුණා. ඒ නිසාම ඔහු ඉතා සමීපව නිරීක්ෂණය කිරීමට අපි දෙන්නා අදහස් කළා. මේ පුද්ගලයා උඩරට සමාජයට ඉතා ටික කාලයකින්ම අනුගත වුණා. ඔහු අපේ ඇදහිලි ක්‍රම, විශ්වාස ආදිය ගැන ලොකු උනන්දුවක් දක්වන බව සමාජයේ හැසිරෙමින් ඔහු ගැමියන්ගෙන් අහන ප්‍රශ්නවලින් තේරුම් යනවා. ඒ වගේම වෙද මුදළිගේ වළව්වේ පවත්වාගෙන යන රෝහලේ වෙදකම්වලටත් මොහු හවුල් වෙමින් යම් කිසි දැනුුමක් ලබාගන්න උත්සාහ කරන බව පේනවා..."

"ටිකිරි බණ්ඩාර ඔහු ගැන හිතන්නේ මොනවද?" ඉන්ද්‍ර විමසී ය.

"ටිකිරි බණ්ඩාර ට ඔහු ගැන අවිශ්වාසයක් නැහැ. ඇත්තටම මේ නෝර්ඩික් නාවිකයා, ධනසේකර පවුලේ ම විශ්වාසය දිනාගෙන අවසන්. එය තීව්‍ර වීමට ඔහු ධනසේකර කුමාරිහාමි බේරාගන්න තම ජීවිතය අවදානමක හෙළීමත් හේතු වෙලා තියෙනවා." කියූූ මිත්‍ර, සුමන දෙස හැරී ඔහුගේ විස්තරය කරගෙන යන ලෙස සංඥා කළේ ය.

"ඉතින් අපි දෙන්නා ඇඩම් ඇන්ඩර්සන් වාසලට ගෙන්වාගෙන පරීක්ෂා කළා. ඔහු අසුුන් හැසිරවීමේ දක්ෂයෙක්. ඒ වගේම මිත්‍ර ඉතා ලස්සනට මවා පෑ හදිසි අනතුරකින් ඔහු මිත්‍ර බේරාගත්තා. මාළිගාව අසළදී අපි දුනුවායන් යොදවා හදිසි ප්‍රහාරයක් එල්ල කරද්දී, ඔහු අසු වේගයෙන් දුවන්නට සළස්වමින්, අසුගේ එක් ඇළයක එල්ලීගෙන ප්‍රහාරයෙන් ආරක්ෂා වුණා. එවැන්නක් අපි මීට පෙර කිසිම දාක දැක තිබුණේ නෑ.  

"ඉතින් අපි රහස් දූරයේ ආධුනික සාමාජිකත්වය ඇඩම්ට පිරිණැමුවා..."

"මම එකඟයි" ඉන්ද්‍ර කීයේ ය. "අපට මේ පුද්ගලයා යම් යම් කටයුතු වල යොදවා තව දුරටත් පරීක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම ළඟට ගත්ත තරමට අපට ඔහුගේ තොරතුරු දැනගන්න පුළුවන් වේවි."

"මට එකඟ වෙන්න අමාරුයි." අග්නි කීවා ය. "සුමන සහ මිත්‍රට කියන්න තියෙන දේ අපි අහලා ඉමු..."

"අපි ඔහුගෙන් විමසූ පළමු තොරතුර තමයි, ඔහු ගේ තුවාල ඉතා ඉක්මණින් සුවපත් වීම... ඇඩම් ඒ ගැන කියන්න පටන් ගත්තේ තරමක පැකිළීමකින් වුනත්, පස්සෙ අපි ඔහු අවිශ්වාස නොකරන බව දැනගෙන ඉතා උනන්දුවෙන් අපට විස්තර කිව්වා. මිත්‍ර ඒ මුළු කාලය පුරාම ඔහුගෙ නාඩි අල්ලගෙන හිටියා..." 

ඒ කියමනට සිවුදෙනාගේම මුවෙහි මඳ සිනාවක් නැඟුනි. 

"ඔහු අපට බොරු කිව්වේ නැති බව මට විශ්වාසයි. ඒත් සමහර විස්තර ඔහු නොකියා මඟඇරපු බව දැණුනා..." මිත්‍ර කීය. 

"මොනවද ඉතින් මේ ඇඩම් කියන නැවියා කිව්වේ?" ඉන්ද්‍ර ඇසීය.

"ඔහු සැක්සනියේ තිබුණු යුද්ධයකදී ඩෙවි වැදිලා, ඔහු හිතනවා තමන් මියයාමට ආසන්න තත්ත්වයට ම ආවා කියලා. ඔහු සැක්සනියේ පේගන් දේවතාවිය, ෆ්‍රේයියා විසින් අරගෙන ගිහින්. එතනදී ලෝකී ගේ දූතයෙක් ඔහුට බෙහෙතක් පොවලා. එහි ප්‍රතිඵලයක් විදිහට ඔහුගේ සිරුරට සුවපත්වීමේ බලයක් ලැබිලා තියෙනවා."

"වැදගත් දේ, ඔහු කිව්වා, ඔහුට ඇහුණාලු අර දූතයා කියනවා, ලෝකී කිව්වා කියලා..." මිත්‍ර කතාවට බාධා කළේ ය. "ඇස්ගාඩ් දෙවිවරුන්ගේ පැවැත්ම තර්ජනයට ලක් වෙලා තියෙන නිසා, මිය යන්න ආසන්න මනුස්සයෙක් මඟින් ඊට පිළියමක් සොයාගත යුතුයි කියලා..."

"ඔව් ඉතින්... අපෙත් පැවැත්ම කලින් වගේ නෙවෙයි තමයි. රෝමක ඇදහීම් යුරෝපයේ මුල්බැසගැනීම ඇස්ගාඩ් වාසීන්ට තදින් බලපෑවා..." ඉන්ද්‍ර කීය.

"ඒ වගේම, සුවපත් වුණු පසුව ෆ්‍රේයියා ඇඩම් ගෙනිහින් දාලා තියෙනවා අවුරුදු හාරසීයක් අතීතයට... ඒ කියන්නේ දැන් අපි අතරෙ ඉන්න නෝර්ඩික් නැවියා, අවුරුදු විසිපහක - තිහක ශරීරයක් තිබුණත්, ස්වභාව ධර්මයට අනුව අවුරුදු හාරසිය පණහකට ආසන්න වයසක් ඇති පුද්ගලයෙක්."

"ඒ කොටසත් ඇත්ත කියලා මිත්‍ර, ඔබට විශ්වාස ද?" අග්නි ඇසුවා ය. 

"ඒ කොටස කියද්දී ඔහුගෙ නාඩි සාමාන්‍ය ක්‍රමයට වඩා වෙනස් වේගයකින් ගැහුණේ නෑ." මිත්‍ර මඳ සිනාවක් පෑවේ ය. "ඔහු ඒ අතීතයේදි... දුටු පමණින් වසඟ වෙලා, විවාහ කරගත් තරුණිය ගැන කියද්දී හැර..."

සිව්දෙනාටම සිනා සීමට මඳ වේලාවක් ඉඩහළ  සුමන කාන්තාව දෙසට හැරුණේ ය. "අග්නි, ඔබට කියන්න ඇති දේ අපි දැන් අහමු..."

"ඔය නාවිකයන්, කොට්ටියාරම අසළ කැළෑවේ අතරමං වී එළියට එද්දී දෙන්නෙක් වුණාට, කැළෑවට ඇතුල් වෙද්දි පස් දෙනෙක්. ඒ අය ගමන් කළේ සිතියමක් සහ සටහන් පොතක් බලමින්, කොම්පාසුවකුත් අරගෙන. ඒ කියන්නෙ..." ඇය අනෙක් සාමාජිකයන් ගේ දෑස් දෙස මැරුවෙන් මාරුවට බැලුවා ය. "ඔවුන් කැළැව ඇතුලේ මොනවා හරි හෙව්වා. ඒ වගේම ඒ ගැන විස්තර ඔවුන් ළඟ තිබුණා."

"ඉතින් ඒ මොකක්ද කියලා හොයාගන්න පුළුවන් වුණා ද?"

"ඉන්ද්‍ර, මගේ ප්‍රමුඛතාව තියෙන්නේ, අනවසර ඇතුල් වන්නන් වැළැක්වීම නේ. මම ඔවුන් බිය ගන්වා ගැමියන් අතරට එළවා දැමුවා... මට උවමනා වුණේ රජුගේ අඩස්සියට ඔවුන් පත්කර ලා, පසුව තොරතුරු දැනගැනීම. ඒක සුමන සහ මිත්‍ර පටන් ගෙන තිබෙන බව මට පේනවා."

"පස් දෙනාගෙන් අහු වුණේ දෙන්නයි නේ. අනික් තුන් දෙනාට මොකද වුණේ?" ඉන්ද්‍ර අසද්දී මිත්‍ර ගේ මුවෙහි සිනා රැල්ලක් ඇති වී නැති වී යනු අග්නි නෙත් කොණින් දුටුවා ය.

"මිත්‍ර හිනා වෙන්න දෙයක් නෑ. මම දෙන්නෙක් ගිණි තිබ්බා. එකෙක් හොඳටම බය වෙලා කැලේ දෙවනත් කරගෙන දිව්වා. මම ඔහු අල්ලාගත්තා. තවමත් පැහැදිළි සිහියක් නැහැ. දිගුකාලීන මානසික ප්‍රතිකාර අවශ්‍යයි. හොඳ සිහියට එළඹුණු පසුව අපට තවත් තොරතුරු ලබා ගන්න පුළුවන් වෙයි."

"අග්නි තවමත් වැඩ කරන්නේ ඉස්සර කාලේ විදිහටම යි" මිත්‍ර කීය. 

"මම නුඹලා වගේ ශිෂ්ඨ සම්පන්න මිනිස්සු එක්ක නෙවෙයි ඉන්නෙ... මගෙ ප්‍රමුඛතාව අනවසර ඇතුල් වන්නන්. මේ ලන්දේසි ජාතිකයන් එක්ක ඒක සෑහෙන අසීරු සහ පුළුල් කටයුත්තක් වෙලා තියෙන්නෙ..."

"දැන් මේ රහස් දූරයේ සාමාජිකත්වය දීම ගැන..." ඉන්ද්‍ර කතාව නැවත පටන් ගත්තේ ය. "මේ නාවිකයන් ගැන දැනගත හැකි සියලු තොරතුරු අපි දැනගත යුතුයි. ඔවුන් මේ රටේ හොයන්නේ මොනවද කියන දේ විශේෂයෙන්."

"ආසියාකරේ නෝර්ඩික් ගවේෂණයක් ටික කාලයක ඉඳන් පවතිනවා." මිත්‍ර කීය. "මතකද ඩි ‌බොෂුවේ?" 

"මීගමුවෙ මහ රාළ..." ඉන්ද්‍ර කීය. "එයා ලන්දේසි ජාතිකයෙක්." 

"ඔව්. නමුත් ඔහු ලන්දේසීන් එන්න කලින් මෙහෙ ආවෙ. සෙනරත් රජතුමාට හිතවත් වෙලා මීගමුව නීන්දෙ ලබා ගත්තා. උඩරට හමුදාවෙ ප්‍රධානියෙක් වුණා. නාවික හමුදාව පිහිටුවන්න මුල් වුණා. පස්සෙ පරංගීන් එළවගන්න උදව් ඉල්ලන්න යුරෝපයට ගියා. තමන්ගෙ මවුබිම වුණු ඕලන්දයට ගිහින් ගිවිසුමකට එළඹෙන්න බැරිවුණු තැන ඩේන් රජු ළඟට ගියා. ඒ අනුව මෙහෙ ආව ඩේන් අද්මිරාල් ට අප එක්ක ගිවිසුමකට එළඹෙන්න බැරි වුණු ගමන, ගියේ තන්ජෝරයට. එහෙ නායික් ගෙන් ඉඩමක් ලබාගෙන ට්රැන්කියුබාර් බලකොටුව හදාගත්තා. ඩේන්වරුන්ට යටත්විජිත හෝ කුළුබඩු වෙළෙඳාම තුළ කිසිම අවස්ථාවක් ලැබුණෙ නෑ. ඒත් දැන් ආපහු තන්ජෝරය සහ ඩේන් මවුබිම අතර සම්බන්ධතා පටන් අරගෙන"

"හොඳයි. අපි රුද්‍ර ගෙන් ඒ ගැන විමසමු." ඉන්ද්‍ර කීය. "අපිත් ඔහුට අභ්‍යන්තර ගැටළු වලදි උපකාර වෙලා තියෙනව අතීතයේ. ඇරත් මේක අපේ රටට විතරක් සීමාවෙන ගැටළුවකුත් නෙවෙයි කියලා පේනවා.

"ඒ අතරේ, අපි ඇඩම් ට කෙටි රාජකාරියක් පවරලා බලමු. එයින් ඔහු තවදුරටත් පරීක්ෂා කරන්න වගේම, අපට ඔහුට සමීප වෙන්නත් පුළුවන්. අග්නි මොකද හිතන්නෙ? විරුද්ධත්වයක් තියෙනවද?"

"හොඳයි." කාන්තාව කීවා ය. "එහෙනම් එවන්න කොළඹට ආසන්න කුරුඳු කැලේට. භාණ්ඩාගාරය සඳහා උසස් තත්ත්වයේ කුරුඳු උවමනා ඇති. කුරුඳුලිහිණියන් ගෙන් කුරුඳු ඩැහැගන්න මම ඔහුට උදව් වෙන්නම්. 

"යුරෝපා මිනිස්සු කාන්තාවන්ට සළකනවා." ඇය මිත්‍ර දෙස යටැසින් බැලුවා ය. "මට නාඩි අල්ලන්නේ නැතුව ඔහුගෙන් තොරතුරු දැනගන්න පුළුවන් වෙයි..."

පුරුෂයන් තුන්දෙනාම එම කතාවට සිනාසුණහ.

https://www.pinterest.it/pin/783344928913140827/?nic_v2=1a4OvlzW4

"හොඳයි... ඊළඟට ඇඩම් නම් නාවිකයා සමඟ කන්ද උඩරටට ආ අනෙක් නැවියා ගැන..." සුමන නැවත කතාව පටන් ගත්තේ ය. "ඔහු කන්තලේ දිසානායක රටේ මහත්තයාට භාර දුන්නා. නම, ටිරෙල් ඕඩින්සන්. ඔහු ගැන තොරතුරු අපට නිතර ලැබෙනවා..."

"ඔව්." මිත්‍ර කිවේ ය. "අපේ ඔත්තු කාරයන් ට අනුව, ඔහු හොඳ කල්කිරියාවෙන් පසු වෙනවා. කන්තලේ කුඩා ගොවිතැනක් කරන ගමන් ඔහු පන්සලේ හාමුදුරුවරුන් සමඟ එකතු වී ප්‍රදේශයේ පොදු වැඩට පවා හවුල් වෙනවා. සිංහල කාන්තාවක් විවාහ කරගෙන එහි පැළපදියම් වෙලා ඉන්නෙ."

"මේ තරම් ඉක්මණට?" ඉන්ද්‍ර ඇසී ය. "ඔහු ගේ කල්කිරියාව පමණටත් වඩා හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?"

"අපි කොහොමත් ඔහු ගැන දිගටම සොයා බලමු" මිත්‍ර යෝජනා කළේ ය.

--------------

උදෑසන හිරු එළිය සමඟ පිපි කුඩා වනමල් පින්නෙන් වැසීගෙන තණපත් අතරින් හිස ඔසවාගෙන සිටියේය. සිය නිරුවත් දෙපයට පෑගෙන තණපත් සහ පිනි බිඳුවල සුවදායි බව ඇඩම් වින්දේ අපූර්වත්වයකිනි. නෝර්ඩික් ජාතිකයන් දවස පටන්ගැනීමට පුරුදුව සිටියේ රම් හෝ පෝට්වයින් පානයකින් මඳ වශයෙන් මත් වීමෙනි. එහෙත් පාරාදීසයේ ස්ථාවර වූ දා සිට ඔහුට උණුසුම් එළ කිරි පාත්‍රයක් පානය කරමින් පිනි මුසු තණපත් මත සක්මන් කිරීමේ සුවදායක උදෑසණ චර්යාව විඳින්නට ලැබුණේ ය. උණු කිරිවලින් නැඟුණු සුවඳ, කුඩා කුරුල්ලන්ගේ ප්‍රබෝධමත් කිචි බිචිය, සියොළඟ දැවටෙන සුවඳවත් සිහිල් සුළඟ... පෙරදිග වැසියෝ කෙතරම් සුවයක් අත්විඳින්නෝදැ'යි නාවුකයා ට සිතුණේ වරක් හෝ දෙවරක් නොවේ.

කිරි බඳුන අවසන් වෙද්දී, ඇඩම් සක්මන් කරමින් සිටියේ ධනසේකර වළව්වේ ගෙවත්ත කෙළවර වූ ඔසු වනය අසල ය. කීස් හඬ නඟමින් ඊයක් ඔහුගේ දෙපා මුළ බිම ඇණුනේ ය. එතෙක් ගැළී සිටි වින්දනාත්මක ආලස්‍යයෙන් මිදුණු ඩ්‍රේක් ක්ෂණිකව බිමට පහත් වී, හිස පහත් කොටගෙන වටපිට බැලීය. කෙටි බැලුම් කිහිපයකින් හාත්පස සෑම අඟලක්ම නිරීක්ෂණය කළ හෙතෙම, කිසිදු අනතුරක් නොමැති බව සැක හැර ගත්තේ ය. ඊගස වටා බැඳුණු තල්පත ඔහු දුටුවේ ඉන් පසුව ය.

ඉක්මණින් තල්පත ලෙහාගත් ඇඩම්, එතැනම බිම වාඩි වී එය දිගහැරියේ ය. එහි වූයේ ලතින් අකුරින් සටහන් කළ කෙටි පණිවුඩයකි. 

ඉතිරි කොටස...

29 comments:

  1. දැං ඉතිං පහලෝම මුල ඉඳල කියවන්න එපැයි හිටං.

    ReplyDelete
    Replies
    1. බෝ මෙහෙමවත් දැකපු එකම මදැයි. පාලුවෙ හිටියෙ. ටෝච් එක කොහෙ දාලද නෑ...

      Delete
    2. එහෙනං අලුත් එකක් ගන්න ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කොරහං.

      Delete
    3. ටෝච් එකක් ඉල්ලන්න බං මට අනුයුක්ත වාහනේකුත් ඉල්ලන්න වෙනව. ඒකට තව අවුරුදු එකොළහක් රාජකාරි කරන්ඩ වෙනව. එතකල් බූමිතෙල් ටිකකුයි කොස්සකුයි ඉල්ලලා ලියුමක් ගැහුවා...

      Delete
  2. දැන් නම් ඩ්රැකී ගොඩක් home work කරමින්, ඉතිහාසය පීරමින් ලියනවා වගේ! ජයෙන් ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. හෝම් වර්ක් කරන්නෙ ඔපිස්සෙකේදි ලොකු අයියෙ... ඉතිහාසය පීරනවටත් වඩා, මට උනේ නොදන්න කරුණු ගොඩක් කියවන්න ලැබුණු එක. වැඩේ තියෙන්නෙ, මට හිතට ආව හිතළුවට ගැළපෙන කාරණා ඉතිහාසයෙන් හොයාගන්න ලැබුණු එක. ඒකට ගොඩක්ම ප්‍රාජේ ගෙ හයිය ලැබුණා...

      Delete
    2. ඩ්රැකී, සොයන්නාට සම්බවේ කියන කතාවේ ලොකු සැඟවුණු අරුතක් තියෙන බවයි මම අදහන්නේ.

      මං කලිනුත් ලියලා තියෙනවා 'චිත්ත තරංග තමයි වඩාත්ම වැදගත්' කියල. (මං හිතන
      පිළිගන්න විදිහට හොඳේ.)

      යමක් ගැන අපේ උනන්දුව, කැපවීම, සිත යොමු කිරීම සිදු වෙද්දී ඊට අදාළ දේවලුත් නිකම්ම වගේ කිට්ටු වෙනවා.

      මං ඕවා ඉගෙනගත්තේ නම් සුමනදාස සමරසිංහ මහත්තයාගෙ 'මිනිස් සිතේ හාස්කම්' පොත්වලින්.

      Delete
    3. මං ඒක ඉ‌ගෙන ගත්තෙ සුමනදාස මහත්තයගෙ අනුප්‍රාප්තිකයා වන සාන්ත ජයසුන්දර මහත්තයා ටීවී එකේ කියපු දේකිං. ඒකම බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ "මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා - මනෝමයා" කියලා. ජේසු තුමා කියල තියෙන්නෙ "සැබැවින් ම මම ඔබට කියමි, කවරෙක් නමුත් මේ කන්දට, ‘ඉදිරීගොස්, මුහුදෙහි පතිත වේ වා’යි කියා, තමා කියන ඒ දේ සිදු වන්නේ ම යයි නිසැක සිතින් අදහන්නේ නම් එය සිදු වන්නේ ම ය. 24 එබැවින් මම ඔබට කියමි, ඔබ යාච්ඤාවෙන් අයැදින කවර දෙයක් වුව ද, එය ඔබට ලැබුණේ යයි අදහන්න. එවිට එය ඔබට ලැබෙන්නේ ම ය."
      (මාක් 11:20-24 / මතෙව් 21:20-22)

      ඔය දේ, දුක්විඳලා මහන්සි වෙලා තමන් දැන් ඉන්න හොඳ තත්ත්වයට පත් වුණු කෙනාට තේරෙනවා...

      Delete
  3. ප්‍රංශ නම
    de la Nérolle

    https://medium.com/@udithadevapriya/review-the-odyssey-and-living-legacy-of-sieur-de-la-n%C3%A9rolle-e52e4686acea

    ReplyDelete
    Replies
    1. මම දැන උන්නෙ අර විදිහයි. උච්ඡාරණ විලාසයත් හොයල බැලුවා. කෝකටත් උදිතගෙ ලිපිය කියවලම කමෙන්ට් එකක් දාන්නං. ගොඩක් ස්තූතියි ලොකු අයියෙ.

      Delete
    2. උදිත ගෙ ලිපිය කියෙව්වා. "ඩි ලා නෙරෝල්" කියලා ම තමයි මට කියවෙන්නෙ. වෙන විදිහක් තියෙනවද?

      ඔය ලැනරෝල් ගේ පරම්පරාවෙන් තමයි කොළඹ යුගයේ සාහිත්‍ය කරුවෙක් වන වික්ටර් දුකී හෙවත් වී. ඩී. ද ලැනරෝල් පැවතෙන්නෙ. මයෙ හිතේ සමන්ති ලැනරෝල් ලුත් ඒ පරම්පරාවෙ.

      Delete
    3. ලංකාවෙ - ඩි ලැනරෝල්
      ඔරිජිනල් ප්‍රංශ - ඩි ලා නෙරෝල්

      Delete
    4. මං සාමාන්‍යයෙන් බටහර වචන ලියන කොට උච්ඡාරණය අහල බලනවා. උඩ මං ටිකක් වැරදියටයි ලියල තියෙන්නෙ. හරි ගස්සන්නං...

      Delete
  4. මීගොමුවේ මහ රාළ ගැන ලින්ක් එක දාපු එක හොඳා. අර කුරුඳු ලිහිණි ගැන කතාව පැහැදිලි නෑ, පිංතූරෙ අනුව අනුමාන කලේ, ලිහිණියා ගාව හොඳම කුරුඳු තියනවා. පහල ඉන්න හාදයා "කුරුඳු වලට හිලව්වට ගල් ගෙඩි කීයක් ඕනෙද?" බිසිනොස් එකක් කරන බවයි.

    බ්ලොගර් මගෙ ප්‍රොෆයිල් කමෙන්ට් බ්ලොක් කරන නිසා,පුදුම දුකක් විඳින්න ඕනෑ කමෙන්ට් එකක් දාන්න :(

    -බස්සා-

    ReplyDelete
    Replies
    1. පව් අහිංසක පස්සියා.
      ඉතින් මොනව කරන්නද,.... කමෙන්ට් කරන්න අපා දුක් විඳින්න වෙන එකේ තමංගෙම බ්ලොග් එකවත් ලියාගෙන ඉන්න එක තමයි.
      ඒකෙ අපිට කමෙන්ට් කොරන්න බැරි‍යැ

      Delete
    2. https://en.wikipedia.org/wiki/Cinnamon_bird
      කුරුඳු ලිහිණි
      අහිංසක බස්ස වගේම මිතොලොජිකල් පස්සියෙක්

      Delete
    3. බකුස්...

      ඔය මං දාපු නමක්. බටහිර නම cinnamologus. ඕකා ගැන වැඩි විස්තර ඊළඟ කොටසෙ දානව. ඔය පිංතූරෙ තියෙනව වගේ ගල් නෙවෙයි හුවමාරු කරගන්නවයි කියන්නෙ, අලි, අස්සයො වගේ සත්තු ලොකු කෑලි වලට කපලා බිම දාල තියෙන කොට ඌ අරගෙන යනවලු කූඩුවට. ඒ මස් කෑලි වල බරට උගෙ කූඩුව කැඩෙනවලු...

      ප්‍රා,

      පවුනේද බස්සා. කොයිතරං නං දේවල් ලියලා අපිව පෝෂණය කරපු පස්සියෙක්ද? බැයිද උදව්වක් කරන්න?

      ආයෙත් ප්‍රා,

      ඕකා තමා... ඕකුං දෙන්නම එකයි.

      Delete
  5. මං කැමතිම ප්‍රබන්ධ ජාතියක් තමයි විකල්ප ඉතිහාස (alternative history )ප්‍රබන්ධ.

    හැරී හැරිසන්ගේ The Hammer and the Cross trilogy ට ඩ්‍රැකී කැමති වෙයි.
    ඒකෙ තියෙන්නෙ ක්‍රිස්තියානි ආගමෙන් නෝර්ස් ආගම යටපත් නොවී දෙකම සම තත්වයෙන් සිට තරග කරන යුරෝපයක් පිලිබඳ හිතලුවක්.
    https://www.goodreads.com/series/50385-hammer-and-the-cross

    ඩයිනෝසර් වඳ නොවී dominant species වෙන ලෝකයක මිනිසුන් ගැනත් Harry Harrison පොත් ත්‍රිත්වයක් තියනව

    ReplyDelete
    Replies
    1. ඇත්ත. විකල්ප ඉතිහාසය මාත් හෙණ උනන්දු ක්ෂේත්‍රයක්. මට මේ කතාවෙදිත් කීප විටක්ම ඒක අත්හදා බලන්න හිතුණා. සමහරවිට ඉදිරියෙදි වෙන්නත් පුළුවන්. වැඩේ කියන්නෙ මගෙ උපන් ගතියක් තියෙනව තදින්ම "තිතටම හරි සහ ඔරිජිනල්" දේ හොයන. ඉතින් අභියෝගය එන්නෙ මගෙන් ම යි.

      Delete
    2. ඉතින් වඩාත් හොඳයිනේ!

      Delete
    3. ඔව් නේ? උදාර ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ට නෙ තමන්ට තමන් මිස වෙන අභියෝගයක් නැති වෙන්නෙ...

      Delete
  6. අනේ මන්දා මෙව්වාට කොමෙන්ට් කොරාන්න තරම් මගේ පිටරට ඉතිහාස දැනුම මදි ඉතිං නිහඩව ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. එහෙම විශේෂ දැනුමක් ඕනෙ නෑනෙ අසංග... සහෝදර සාහිත්‍යකාරයෙක් විදිහට සාහිත්‍යමය ගුණදොස් දැක්වීම ඉහටත් උඩින් වටිනව.

      Delete
  7. බහිරවයා+නාථ දෙය්යො+ධනසේකර කුමාරිහාමි+ රහස් දුරය+ඩ්‍රේක්= 'කයිරා මාලා ගුණේ බහූ'

    ReplyDelete
    Replies
    1. ඔබ වහන්සේ ගෙ ගාතා පාඨය මම මිට කලින් අහලා තිබුණෙ නෑ. හොයාගෙන යනකොට පහත ලියවිල්ල හම්බ වුණා...

      https://mahamegha.lk/2017/11/06/nuwanethiyange-punya-nidanaya/

      "...භාග්‍යවතුන් වහන්සේ මේ අපූරු සිදුවීම සිදුවන විට වැඩ සිටියේ ඒ ජේතවනාරාමයේ.

      මේ සැවැත් නුවර ම සිටියා එක්තරා බ්‍රාහ්මණයෙක්. මෙයා හරි ම අහිංසකයි. ආර්ය මහා සංඝරත්නය කෙරෙහි මහත් වූ සිතේ පැහැදීමකින් සිටිය කෙනෙක්. මනුස්සකම පිරී තිබුණා. මොහු භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයත් ටිකෙන් ටික තේරුම් ගන්න මහන්සි ගත්තා. මේ අතරවාරයේ ම තමයි, මොහු තමන්ගේ ජීවිතයට පින් රැස්කර ගන්න මහන්සි ගත්තේ.
      බුදුරජාණන් වහන්සේ පින ගැන වදාළ උතුම් ගාථාවක් නිතර මොහුගේ මතකයේ තිබුණා.

      යථා’පි පුප්ඵරාසිම්හා – කයිරා මාලා ගුණේ බහූ
      ඒවං ජාතේන මච්චේන – කත්තබ්බං කුසලං බහුං

      “දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් ගොඩක් එකතු කරලා මල් මාලා ගොඩක් ගොතනවා වගේ, මිනිස් ලෝකෙ ඉපදිච්ච කෙනා ඒ විදිහටම පුළුවන් තරම් කුසල් ම යි කරගන්න ඕනෙ...”


      දැනුම ලබා දීම ගැන ඔබ වහන්සේට පිං සිදුවේවා!!!

      Delete
  8. ඔබට අලුත් දෙයක් දැනගැනීමේ උද්යෝගය නොඅඩුව ඇත. මන් ඒ ගාථාවෙ තිබෙන උපමාව විතරයි ගත්තෙ ඔබේ ප්‍රතිභාව අගයන්න.

    ReplyDelete
    Replies
    1. මට තියෙනවා අපෙ හාමුදුරුවනේ දැනුම ගැන පිපාසයක්. ඒ වගේම විචාරයන් ගේ උදව්වෙන් වැරදි හදාගන්න උවමනාවක්.

      ගොඩක් ස්තූතියි අගය කිරීමට. මට ඔබවහන්සේ ගෙ උපමාව මුල් වටයේදිම වැටහුණා.

      Delete
  9. උබ මෙහම හරි මේවා ඇදගෙන යන එක ගැන මට තියෙන්නේ උබ ගැන බක්තියක් සහ මට වෙලාවක් නැති එක ගැන දුකක්...
    මම තවමත් බ්ලොග් වලට ආදරේයි බන්...
    ඉක්මනට ආයමත් මට එන්න ප්ලුවන් උනොත්

    ReplyDelete
    Replies
    1. කියවන ටිකදෙනෙක් වෙනුවෙන් ලියනව බං. ඒ උදවිය නිසා තමයි මේ කතාව දැන් සතියකට සැරයක් දාන්නෙ. නැත්තං කලින් නං මාසෙකට එකයි.

      දැන් ඉතිං ඇඳිරි නීතිය නිසා, මම ලියන්න අරං නතර කරපු කතන්දරයක් තියෙනව, ඒක අද හෙටම දාන්නං උඹටයි පොඩි මෙන්ඩටයි හිනාවෙන්න.

      හැකි ඉක්මණිංම ආපහු වරෙං බ්ලොග්වලට. උඹල නැතුව පාලුයි.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි