Friday, November 27, 2020

අවසානයක් නොවේ - 20

පළමුවෙනි කොටස

තුන්වෙනි කොටස

දහ නව වන කොටස

"ඩේන්වරු තන්ජෝරයේ බළකොටුව ආපහු පිළිසකර කෙරුවා." රුද්‍ර කී ය. "ඔවුන්ගේ නිරීක්ෂක දූතයන් නිතරම එහෙමෙහ යනවා. ඔවුන් උනන්දුයි ස්වදේශික ඇදහිලි සහ බෙහෙත් ක්‍රම ගැන. ඒ වගේම හිමාලය ට ආසන්න ප්‍රදේශවල තියෙන ඖෂධීය ගුණයක් තියෙන උල්පත් ගැනත් ඔවුන් සොයන බව පේනවා...

"මට කතා කරන්න තියෙන තවත් කාරණයක් තමයි... තන්ජෝරයේ බළකොටුව මේ තාක් කල් බොහොම දුෂ්කරතා මැද පවත්වාගෙන ආවා, ඒකෙ අණදෙන නිලධාරියා. මෑතක ඩේන් රටේ සිට ආධාර එක්ක අලුත් පාලකයෙක් ආවා. හිටපු පාලකයා ආපිට මවු රටට යනවා වෙනුවට, භාරතයේ කඳුකර ඉසව් සහ දාර්ශනිකයන් ගැන ගවේෂණය කරන්න පටන් ගත්තා. 

"ඒ ගැන අපට සෙවිල්ලෙන් ඉන්න පුළුවන්. ඔබේ සහාය උවමනා වෙන්නේ..." රුද්‍ර සිය කොන්ද සෘජුව තබාගනිමින් ගෙළ හරවා තම සංග්‍රාහකයින් තිදෙනාගේ මුහුණු දෙස මාරුවෙන් මාරුවට බැලි ය.

"මේ හිටපු පාළකයා කුරුල්ලන් යොදාගෙන පණිවුඩ හුවමාරු කරගන්න බව අපට පෙනුණා. සාමාන්‍යයෙන් යුරෝපා මිනිස්සු ඒ වැඩේට පරවියන් යොදාගත්තත්, මේ මනුෂ්‍යයා ළඟ ඉන්නේ තරමක ලොකු බස්සන් වගේ කුරුල්ලන් ජාතියක්."

"ඔබ පශුපති නේ..." මිත්‍ර කීවේ ය. "සතුන් ගැන අපටත් අහගන්න වෙන්නේ ඔබෙන් නේ..."

"ඔව්. මම දන්නවා ඒ කුරුල්ලන් මොකුන්ද කියා. ඒ ගැන නොවෙයි මට ගැටළුව තියෙන්නේ. ඒ කුරුල්ලෙක් ලංකාවට ඇවිත් ගියා දැන් වාර කීපයක්..."

"මෙහේ ඉන්න නෝඩික් ජාතිකයන්, තන්ජෝරයේ නෝඩික් වැසියන් එක්ක සබඳතා පැවැත්වීම පුදුමයක් නෙවෙයි." සුමන කීවේ ය. "ඒත්, ඒකට නිශාචර කුරුල්ලන් යොදාගැනීමේ යම් රහසක් තියෙනවා."

"මතකනේ..." රුද්‍ර සිය ඇස් සිහින් කළේ ය. "සින්දිබදු, ඇලෙක්සැන්ඩර්, ෆාහියන්, ඉබ්න් බතුතා, මාර්කෝ පෝලෝ... ඒ හැමෝම භාරතයේ යම් කිසිවක් හොයලා, ඔබේ රටටත් ආවා."

"ඒකම තමයි මේ හමුවීම යොදාගත්තේ..." ඉන්ද්‍ර පැවසී ය. "මේ මනුෂ්‍යයන්ට උවමනා මොකක් වෙන්න පුළුවන් ද?" 

රුද්‍ර වට්ටියේ තිබූ අවසාන මසන් අහුරත් කටේ ලා ගෙන සෙමෙන් සපන්නට විය. ඔහුගේ දෑස සෙමෙන් පියවී ගියේ නිතැතිණි.

නිහඬව ගෙවුණු මිනිත්තු කිහිපයකට පසු රුද්‍ර දෑස් පියාගත් වන ම සෙමෙන් කතා කරන්නට පටන් ගති. 

"ඔබත්, අපිත් දෙගොල්ලන්ගේ ම ඖෂධීය දැනුම කැටි කරලා, දිය උල්පතක් මත ගෑවා මීට බොහෝම කාලයකට කලින්... ඒක තිබුණේ ලක්දිව ප්‍රධානම කඳුවැටියක් මුදුනේ. එය නියම පදමට මත ගෑවෙන්නට කලින් විවිධාකාර දේ නිර්මාණය වුණා..."

"ඔව්. එයින් සැදුණු විෂ සහිත ඖෂධය ඔබ බීවා නේ..." මිත්‍ර සිහිපත් කළේ ය.

රුද්‍ර දෑස් විවර කරත්ම, සුමන මිත්‍රගේ හිසට අවවාදාත්මකව තට්ටු කරනු දුටුවේ ය.

"මම අදහස් කළේ... අපේ මහා ඖෂධය බේරගන්න ඔබ තමන්ම කැප කරලා ඒ විෂ බීවා. ඒක අහකට විසි කළා නම් එය වැටුණු තැන පවා විනාශ වෙන්න තරම් දැඩි විෂක්..." මිත්‍ර තම ප්‍රකාශය නිවැරදි කළේ ය.

"ඔව්.  ඒ හළාහල විෂ මගේ සිරුරට සහ මනසට සදාකාලික බලපෑමක් කළා. දැනටත් සමහර වෙලාවට ම‌ගේ ගෙළ වටේ නාගයෙක් දරණ ගසාගෙන තදකරනවා වගේ දැනෙනවා. මා බේරුණේ අග්නි ගේ වෙදකමින්. කෝ, ඇය වෙනත් රාජකාරියක ගිහින් ද?"


https://i.pinimg.com/736x/ec/d0/aa/ecd0aad7ffdda4cc45dfadcdf27e1c16.jpg

"ඔව්. ඇත්තටම රාජ-කාරියක් ඉටු කරන්න පහත රටට ගියා"

"මට කියන්න උවමනා කළේ..." රුද්‍ර පළතුරු වට්ටිය බිමින් තැබී ය. "අපි එදා, ඒ මුල්ම කාලේ උන්නා වගේ එකට කටයුතු කරන්න සිදු වෙනවා. මේ අභියෝගය දැනට ඉතාම සුළු දෙයක් වුණා ට, අපේ රටවල සිදුකෙරෙන මේ රහස් ගවේෂණය ගැන හැකි තරම් තොරතුරු අපි රැස් කරන්නත්, ඒ තොරතුරු හුවමාරු කරගන්නත් පටන් ගත යුතුයි."

"ඒක තමයි..." ඉන්ද්‍ර කීවේ ය. "අග්නි ගියෙත් ඒ වගේ කටයුත්තකට. මේ රටට ආව නෝඩික් ජාතිකයන් තුන් දෙනාගෙන් නායකයා එක්ක යම් කිසි රාජකාරියක් කරන අතර, ඔහු ගැන හැකි තරම් තොරතුරු දැනගැනීමට යි. ඈ ගියේ."

"කවුද ඔවුන්ගේ නායකයා?"

"ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන්. අද්මිරාල් කෙනෙක්, ඒ වගේම රණ ශූරයෙක්..."

"ඇත්තද? මම අර කලින් කිව්ව තන්ජෝරයේ හිටපු පාලකයා, දැන් අර පාමීර් කඳුකර ප්‍රදේශයේ ගවේෂණ කරන්නේ... ඔහුගේ නම එස්කිල්ඩ් ඇන්ඩර්සන්"

*    *    *

අන්ධකාරය ගනකම ඇති කළුවන් පොරවණයක් සේ හාත්පස වෙළාගෙන තිබුණේ ය. එලිමහනේ ගැවසි කණාමැදිරියන් ටිකෙන් ටික ඉහළට ඇදී ගොස් පුළුල් අහසේ පැතිර තිබූ තරු සමඟ එක් වන්නා සේ ඇඩම් ට දැනුණි. පිළිස්සූූ දඩමසින් සහ සෝම පානයෙන් ඔහුුුුගේ කුස පිරී තිබූණි. දහවල වික්‍රමාන්විත ක්‍රියාවලින් ලද තෘප්තියෙන් ද, වනචාරින්ගේ ගායනා සහ නැටුම්වලින් ද, හාත්පස පැතිරි සාමදානයෙන් ද ඔහුගේ සිත තෘප්තිමත්විය. 

ඝන වනාන්තරය මැද රියන් සීයක පමණ වටා ප්‍රමාණය එළි පෙහෙලි වි තිබුණේ, පැතිර තිබූ ගල් තළාව හේතුවෙනි. පසුපස ගල් කන්දෙහි, කාලය සහ සැඩ සුළඟ විසින් සාරා සකස් කර තිබූ දැවැන්ත ගල් ලෙණක් විය. එහි සිට පහතට බෑවුම් වී ආ ගල් තලයේ අනෙක් කෙළවර ගිණි මැළයක් දැල්වෙමින් පැවතිණ. ඉන් ගිණිපුපුරු ඉහළට නැඟෙමින් අඳුරේ ඉගිළෙන කණාමැදිරින් සමඟ මුසුවිය.

ගිණිමැළය අසළ ගලක් මත වාඩි වී සිටි කුරුම්බර, සිය උදරය දෙපසට තාලයකට දෑතින් තට්ටු කරමින් ඇද පැද ගීයක් ගායනා කරමින් සිටියේ ය. ඒ ගීයේ පද, ඉතා පුරාණ භාෂාවකින් සැදුණකි. සිංහලේ පූර්වජ භාෂාවක් වූ එහි වක්‍රොක්ති බහුල වූ බැවින්, එම ගීයෙන් කියවෙන කතාව තේරුම් ගැනීමට උත්සාහ කිරීම නාවිකයා අත්හැර දැම්මේ ය. ගීයට අත්වැල් ඇල්ලූ අනෙක් මිනිසුන් තිදෙනා, ගිණිමැළය වටා තාලයකට පාද බිම ගසමින් නැටූ හ.

ඇඩම්, සිටියේ ගිණිමැළයට මඳක් ඈතිනි. ගල් තලාව මත ඇළවි, සිය වැළමිටි දෙක බිම ගසා පිට කොන්දෙන් අඩ වශ‌යෙන් එසවී ගෙන සිටි ඔහුගේ දණහිස් මඳක් නැවී තිබිණ. ඔහු ගිණිමැළය වටා පැවති ආදිකාල්පික දර්ශනය රසවින්දේ ය. තම ලේ නහර දිගේ මොළයට ගමන් කරමින් තිබූ සෝම පානය ඒ රසවින්දනයට උපකාරී වූ බව ඔහුට දැනෙමින් පැවතිණ. 

යුරෝපීයයා, හිස හරවා තමාගේ වම්පසින්, මඳක් ඈතින් ගල් තලාව මත වැතිර සිටි දුර්ගා දෙස බැලී ය. 

ඈ උඩුකුරුව වැතිරී, සිය දෑත් මත හිස තබාගෙන ඉහළ අහස දෙස නෙත් යොමාගෙන සිටියා ය. "මොකද හිතන්නෙ ඩ්‍රේක්?" ඈ අහස දෙස බලාගත් වනම ඇසුවාය. "අපි මේ මොහොතේ විඳින මේ සාමදානය, කන්ද උඩරට දී හරි, යුරෝපයේ දී හරි ඔයාට විඳින්නට ලබිලා තියෙනවද?"

"මාත් කල්පනා කළේ ඒක තමයි..." ඩ්‍රේක් එකඟ විය. "ඊටත් වඩා මම කල්පනා කළේ මොකද්ද දන්නවද?"

"මොකද්ද?" ඈ නෙත් කොණින් ඔහු දෙස බලද්දී. ඇගේ දෙතොළ සමච්ඡලයට මෙන් වක් වෙනු ඔහු ගිණි මැළයේ එළියෙන් දුටුවේ ය.

"දිය යට කෙනෙකුට සාමාන්‍යයෙන් ඉන්න පුළුවන් උපරිම විනාඩි දෙකක් හෝ තුනක්. ඒත් ඔයා ඊට වඩා කාලයක් හිටියා. ඊටත් වඩා, මගෙ හුස්ම හිර වෙන්න එද්දි ඔයා මට හුස්ම පිරෙව්වා..."

ඇගේ සිහින් මුණු මුණු සිනහවෙන් ඇඩම් ගේ කතාව මඳකට නැවතිණ. ඈ සිනාසෙද්දී, ඇගේ ළය ගැහෙමින් උස් පහත් වන ආකාරය අඩ අඳුරේ ඔහුගේ නෙතට චමත්කාරී දසුනක් විය.

"ඔයාම නේද මට කිව්වෙ, අර ඊශ්වර දෙවියන් බේරාගත්තතා වගේ ඔයාවත් තාරා දෙවඟන බේරාගනියි කියලා..." ඇගේ සරදම්කාරී සුරතල් හඬ...

දුර්ගා, නැවියා දෙසට හෙවත් දකුණැලයට හැරී, සිය සුරත, වැළමිටෙන් නවා එහි අත්ල මත හිස රඳවා ගත්තා ය. 

"කතන්දරවල තියෙන හැම දෙයක්ම සම්පූර්ණ ඇත්ත නෙවෙයි ඩ්‍රේක්. ඒත් මට ඉතාම සුළු දේවලින් ජිවිතය පවත්වාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා." 

මිනිත්තු කිහිපයක් තිස්සේ ඇගේ මුහුණ දෙස ඇඩම් බලා සිටියේ ය. ඇගේ සුපුරුදු සරදම්කාරී විලාසය එවේලේ දකින්නට නොවී ය.

"ඒ්ත, මට කියන්න," දුර්ගා නිහැඬියාව බින්දා ය. " ඔයා මොකද අර වගේ අනතුරුදායක දෙයක් කළේ?" 

"ඇත්තටම ඔයා නොහිටින්න මම මැරෙන්න තිබුණා තමයි." ඩ්‍රේක් කීය. "ඒත් ඇත්තටම, මගෙ තත්ත්වයට ඔයා පත් වෙලා හිටියනම්, ඔයාට තේරේවි.

"හිතන්න, ඔයාට තුවාල වෙනව. වේදනාව දැනෙනව. ඒත් ඉක්මණටම සුවපත් වෙනව. මාරාන්තික තුවාලයක් වුණහම මැරෙන්න තරම් වේදනාව ඇති වෙනව. එහෙම වුණහම මැරෙන එක සැනසිමක්. ඒත් ඔයා ආපහු තරමක වෙලාවක් ගිහින් සුවපත් වෙනව. අවුරුදු හාරසීයක් තිස්සෙ නිරන්තරයෙන් ඔහොම වෙනව කියන්නෙ, තනිකර වේදනාවෙන් පිරුණු ජීවිතයක්...

"ඒක කායික වේදනා ගැන. අනික් අතට හිතන්න ඔයා කාට හරි ආදරය කරනව. තමන්ගෙ ජීවිතය කැපකරන්න තරම් ආදරය කරනව. ඒත් එයා අන්තිමේ මිය යනව. ඔයා ට මැරෙන්න හිතෙනව. ඒත් මැරෙන්නෙ නෑ...

"ඉතින් ඒ විදිහට දිගට ජීවත් වෙන්න සිද්ධ වුණහම..."

දුර්ගා සිය වමත දිගු කර ඇඩම් ගේ සුරත අල්ලා ගත්තා ය. ඇගේ අත්ලේ සහ සිහින් ඇඟිළිවල සුමුදු බව සහ උණුසම ඔහු‌ගේ අත්ලෙහි ගොරෝසු සමට දැනිණ. 

"මට තේරෙනව." මොහොතකට පසු ඈ සිහින් හඬින් කීවා ය. "සම්පූර්ණයෙන් ම නොවුනත්, මට ඒ හැඟීම තේරෙනව... ඉතින් ඔයා මොකද කරන්න හිතන්නෙ? මට උදව් කරන්න පුළුවන් දෙයක් ඇති...?"

සිතේ ඇතිි දෙය ඈ හා කීමට තමන් පැකිළෙන්නේ ඇයි දැයි යුරෝපියයාට තේරුම් ගත නොහැකි විය. කීප මොහොතක් උත්සාහ කර සිතෙහි පෙළ ගස්වා ගත් වචන, අවසානයේ ඔහු මුවින් පිට කරගත්තේ ය.

"ඔයා වතුර යට දි දැක්කම... මම කිව්වෙ, අර කලින් කියපු දේ. ඒ කියන්නෙ... ඔයා හුස්ම අල්ලගෙන ගොඩක් වෙලා හිටපු එක, ඒ වගේම මට හුස්ම දුන්න එක... 

"ඒක දැක්කම මට හිතුණා, ඔයා මට වඩා සම්පූර්ණයි කියලා..."

"මට තේරෙනවා ඔයා අහන දේ ඇඩම්..." දුර්ගා මෘදුව තෙපළා ය. "මේ අනික් අය වගේ නෙවෙයි මම... ඔයා දැකල තියෙන හැම දේකටම වඩා මම වෙනස්. ඒ මම හැදිලා තියෙන හැටි. මට සෑහෙන කාලයක් තිස්සෙ ඔයාට ඔය තියෙන ගැටළුව වගේ දෙයක් තිබුණා. 

"නියම ම ප්‍රශ්නය තමයි... අපි මොන හේතුවකට ද, මෙහෙම හැදිලා තියෙන්නෙ කියන එක. මට ඒක තේරුම්ගන්න සෑහෙන කාලයක් ගතවුණා. ඒ වෙනතුරු මාත් ඔයා වගේම අවිනිශ්චිත... දෙගිඩියාවක පාවෙමින් හිටියෙ...

"පස්සෙ මට මේ හැම දේකම හැබෑ තේරුමක් නැති බවත්, අපි තේරුමක්, අරමුණක් ඇති කරගන්න උවමනා බවත්, තේරුම් ගියා. ඇත්තටම වුණේ, මට ඒක තේරුම් ගන්න උදව් කළා එක තැනැත්තෙක්. එයා අමරණීය කෙනෙක් නෙවෙයි. එයා සියල්ල අතහැරලා, කිසිම දෙයක් ගැන අරමුණක් නැතිව අවසානයෙ මරණයට මුහුණ දුන්නා. නමුත් මට එයා අරමුණක් දුන්නා.

"තේරුම් ගන්න තියෙන්නෙ ඩ්‍රේක්..." ඈ සිය සිහින් ඇඟිලි වලින් ඔහුගේ ඇඟිළි මිරිකා ගත්තී ය. "...යම් කිසි වෙනස් දෙයක් අපට ලැබෙන්නෙ, අනික් කාටවත් නොලැබී අපට ලැබෙන්නෙ, මේ ලෝකය වෙනුවෙන් යමක් ඉටු කරන්න... ඔයා හිතන්න - ඔයා දන්න දේවල් අනුව ඔයා හිතන්න ඒ මොකද්ද කියලා..."

ආදිකාල්පික වටපිටාව හා සෝම පානය ඔහුගේ සිතුවිලි ලිහිල් ස්වභාවයකට පත් කර තිබුණි. ඔහු අසළ ගල් තළාව මත වැතිර සිටි සුන්දර තරුණිය සිය මිත්‍රත්වය පිරිනමා තිබුණි... සිය සිතෙහි මෙතෙක් කල් තෙරපෙමින් තිබූ මහා ගැටළුව ට පිළිතුරු ඇගෙන් අපේක්ෂා කළ හැකි බව ඩ්‍රේක් හට වැටහුණි...


මීළඟ කොටස 


30 comments:

  1. ++++++++++++++++

    අහවලා ඇවිත් ගහන්න කලින් ගැහුවා වැට :)

    ඩබල් ඒජන්ට් ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන්. හ්ම්....

    ReplyDelete
    Replies
    1. ප්‍රා ට තව වැටක් ගහන්න පුළුවන්. පුරාණ බළකොටුවල තියෙනවනෙ පව්‍රරු තුනයි, අගල් තුනයි...

      මට පෙන්නන්න උවමනා උනේ, (මේකෙ " ඔ් " ටයිප් කරන්න බෑ නෙව...) ඔය හැමෝම මනුස්සයො කියන එක...

      Delete
    2. මෙන්න බස්සො බොට "හූම්" කියලා. වැටයි "හූම්" එකයි මාරුව ඇරගල්ලා...

      Delete
  2. අම්මප ඩ්රැකියො ඔහෙ නම් මහ ගල් ආඳෙක්
    ලෝකෙම ජනශ්රුති කියවල තියෙන කෙනෙක්
    මත ගෑ කිරි සයුර මෙහාට ගෙනැත් වගක්
    දැන ගත්තාම සුරයෝ කැළඹේවි ගොඩක්

    ඉබන් බතුත, අලිසන්දිරි, සින්බැඩ්ද
    රුද්‍ර, තාර ගිනි තිළිණය කළවුන්ද
    අගත- අනාගත කාලය කජ්ජක්ද
    තවත් අනාගන්නට දේ ඉතිරියිද?

    ReplyDelete
    Replies
    1. අමා සොයා මතගෑමේ කතන්දරේ
      කියවන කාලෙ මං උන්නේ පහ වසරේ
      ඒකතාව තුළ තියෙනා ලංකාරේ
      මගේ හිතේ ගලේ කෙටී ඇත මිතුරේ

      ඔය හැම දේම අතිශයෝක්ති කතා තමයි
      ඒවා ඇතුලෙ ඉතිහාසය ගැබ්ව තිබෙයි
      දෙයියන් යකුන් කීවත් ඒ මිනිස්සුමයි
      මට ඔ්නෑ එහෙම එකක් ලියන්නටයි

      Delete
    2. ග්‍රීක දෙවිවරුත් එනවද තව වැඩියෙන්
      මෙතෙක් එයාලා ආවේ හරි අඩුවෙන්
      කොහොම නමුත් ලියලා තව වැඩි-වැඩියෙන්
      අපේ හුස්ම ටික ගන්නට ඉඩ දීහන්!

      Delete
    3. ග්‍රීක ලතින් දෙයියන් හට ඉඩක් නැත
      ඒ ඒ ජාතිවල උදවිය මේකෙ නැත
      ඇඩමා නෝර්ස් උන හින්දා ලෝකි ඇත
      නොසිතන විදිහෙ දේවල් ඉතිහාසෙ වෙත

      Delete

  3. මට තියෙන පස්න

    සෝම කියන්නේ අරක්කු වගේ ජාතියක් ද ?
    ඔය තන්ජෝරය කියන්නේ වර්තමාන කොහෙටද ?
    රුද්‍ර කියන්නේ මොන දෙවියොද ?
    අර ඖෂධ ගඟට දාපු ජනකතාවක් තියෙනවද නැත්නම් උඹ හදල දාපු එකක් ද ?

    මම අර කලින් කොටසේ කිව්වා වගේ උඹ මේකට මේ දවසින් දවස එකතු කරන ජනකතා, දේවකතා එක්ක ලොවෙත් නැති කතාවක් ලියන්න පුළුවන් ... හෙහ් හෙහ් ..

    ReplyDelete
    Replies
    1. //සෝම කියන්නේ අරක්කු වගේ ජාතියක් ද ?// ඔය කියන්නෙ සෝමය හැන්දෑවට අනුමත වෙන ජාතියකට.

      Delete
    2. පැතුම්,

      වෙරි සොරි පරක්කු උනාට...

      සෝම කියන්නෙ සෘග් වේදයේ සඳහන් වෙන පානයක්. ශරතුස්ත්‍ර ආගමේ අවෙස්තා පොතෙත් සඳහන් වෙනවා හෝම කියලා පානයක් ගැන. පරණ ඉන්දු ඉරානීයයන් අතරෙ තිබිලා තියෙනවා, සෞම කියලා පානයක්. ඔය තුනම එකයි කියලයි විශ්වාස කරන්නෙ. ඒක හදන්නෙ පැළෑටියකින් හරි එහෙම නැත්තං බිම්මල් හෝ වෙනත් දිලීර විශේෂයකින් කියලා සැළකෙනවා. ඔය බීම කොයිතරම් නැගලා ගියාද කියතොත්, දේවත්වයට නැංවුනා පසුුකාලයකදි. සෝම කියන්නෙ දෙවියෙක් අන්තිමේ.

      තන්ජාවුර් කියන්නෙ තමිල්නාඩුවෙ තියෙන නගරයක්. කලින් කිව්වෙ ටැන්ජෝර්. ඩේන් බළකොටුවක් තිබුණා ඔහෙ 17 වන සියවසේ දි. ඔය රුද්‍ර ඔතන කියන කතාව ඓතිහාසික කරුණු මත ලිව්වෙ... (ස්තූතිය ප්‍රාජේ ට)

      රුද්‍ර කියන්නෙ ශිව ට මුල් කාලෙදි කියාපු නමක්. ඉන්දු නිම්න ශිෂ්ඨාචාර කාලෙදි මයෙ හිතේ. පශුපති, රුද්‍ර ආදී නම් තමයි පස්සෙ කාලෙකදි ශිව නමින් යටපත් වෙලා ගිහින් තියෙන්නෙ.

      දිග කතාවක්. දුර්වාසා සෘෂිවරයගෙ ශාපයක් නිසා සුරයො බලයෙන් පිරිහුණා. අසුරයො දිව්‍යලොකෙ අල්ලගත්ත. ඔතනදි විෂ්ණු යෝජනාවක් කළා අමෘතය හොයාගන්න, කිරි සයුර කළඹන්න. ඒකට සුරයො විතරක් මදි නිසා අසුරයොත් එකතු කරගත්තා, අමෘතය දෙකට බෙදාගන්න හකඟ වෙලා. විෂ්ණු මහ තඩි ඉබ්බෙක් වෙලා මුහුදු පතුළට ගියා. එයාගෙ කටුව උඩ මහ මේරු පර්වතය තියලා, මහ කෙල னයා අල්ලගෙන මහ මෙර වටේ වට දෙක තුනක් ඔතලා, ඔලුව පැත්ත අසුරයන්ට දීලා, නැට්ට පැත්ත සුරයො අල්ලගෙන, දෙපැත්තට අදින්න ගත්තා. ඊට කලින් කිරි මහුදට එක එක බේත් ජාති දැම්මා අමෘතය හැදෙන්න. එහෙම දිගටම එහෙට මෙහෙට අදිනකොට එක එක දේවල් කිරි මුහුදෙන් මතු වෙන්න ගත්තා. ලක්ෂ්මි දෙවඟන, කෞස්තුභ පාෂාණය, සුරාව, හඳ, හලාහල විෂ, වගේ දේවල්. ඔතනදි හලා හල විෂ පැතිරිලා විශ්වය විනාශ වෙයි කියලා ශිව දෙය්යා ඒක බිව්වා. ඒක බීලා සිහි නැති වුණාම තාරා දෙවඟන මව් කිරි පොවලා එයාව සනිප කළා. ඒ වුණාට විෂ නිසා බෙල්ල නිල් පාට වුණා. සෑහෙන වෙලාවක් දෙපැත්තට ඇදලා ඇදලා னයාට හෙණ මහන්සියි. ඌ විෂ දුමක් පිම්බා. ඒකෙන් අසුරයො අඩපණ වුණා. අන්තිමේ මතුවුණා අමෘතය අතින් ගත්ත ධනවන්තරී සෘෂිවරයා. ඔය අමෘතය දෙගොල්ලො අතරෙ බෙදන්න බාර ගත්තෙ විෂ්ණු, මෝහිණී අවතාරය මවාගෙන. උන්දැට ඔය හැමෝම වශී වෙලා ඔ්නෙ දෙයක් කරගන්න ඉඩ දුන්නා. එයා සුරයො පෙළ ගස්වලා අමෘතය පෙව්වා. අසුරන්ට හම්බුණේ නෑ. කපටි එක අසුරයෙක් සුරයෙක් වගේ වෙස් වළාගෙන සුර පෝළිමේ ඉඳලා අමෘතය බිව්වා. ඒක චන්ද්‍රයා පෙන්නලා දුන්නහම, විෂ්ණු ද කොහෙද ඒ අසුරයව දෙකට කැපුවා. එයිං එක කෑල්ලක් රාහු උනා, අනික කේතු වුණා. කේළම කිව්වට චන්්‍රය එක්ක මළ පැනපු රාහු, කාලෙං කාලෙට හද ගිළිනව. යට කෑල්ල නැති නිසා ආපහු හඳ එළියට එනව...

      අනෙ අම්මෝ බං හෙණ දිගයි ඔය කතාව. මං හෙණ කෙටියෙං කිව්වෙ.

      Delete
    3. னයෝ,

      ඉස්සර නං මෙහෙත් තිබුණ උදේ හවස අනුමත වෙන ජාති. ඒ කාලෙ පාන්දර සීයල ආතල හැරමිටි ගහගෙන වෙව්ල වෙව්ල ඇවිත්, බීල ආපහු යනකොට හැරමිටි කරකෝ කරකෝ යන්නෙ...

      Delete
    4. අඩෝ එල එල තැන්ක්යූ. සැහෙන්න මහන්සි වෙලා කමෙන්ට් එක දැම්මට. මම ඔය කතා අහල නැහැ මීට කලින්.

      අපරාදේ කියන්න බැහැ னයා ඒ කාලේ ඉඳල සුර අසුර කේස් වලටත් මැදිහත් වෙලා තියෙනවා නේද ?

      අර මේ දවස් වල නැගල යන Shiva Trilogy The Immortals of Meluha කියන සීරීස් එක ගැන උඹ දන්නවද ?

      මට ඒක කියවන්න ආසයි. ගෙන්න ගන්න විදියක් නැතුව ඉන්නේ මේ

      Delete
    5. මට උත්තර ලියන්න සෑහෙන වෙලාවක් ගියාට, මං ගොඩක් ආසයි මේ මිත්‍යා සාහිත්‍යය ගැන උඹේ තියෙන කුතුහලේට... ඉතිං බොහොම කැමැත්තෙන් තමා ඒ කතාව දැම්මෙ. නිදි ලියල තිබුණා ඔය කතාව ගැන...

      னයි කොහොමත් ඉන්දු සංස්කෘතියෙ ඉන්නව. වහින කාලෙට ගෙවල්වලට එනව. ඉතිං වැස්ස, වතුර, னයි වගේ ගඟවල් ආදිය නිසා ඔය සංස්කෘතියට னයි හෙණ සමීපයි. අනික මොකක් හරි කලත්තනව කිව්වනං අපේ னයා එතන ඇති. කළ දුටුකල වළ ඉහගං කියලා...

      අර ශිව ට්‍රිලොජිය මාත් අහල තියෙනව. කියවන්න තමා පසුබට වෙන්නෙ මේ දවස්වල. මට මතක හැටියට සිංහලට පරිවර්තනය කරන වෑයමකුත් යනව මේ ටිකේ, එක්කො පරිවර්තනය කරල පළ කරලත් ඇති ද මංදා.

      Delete
    6. මෙහෙ ෆියුචරිස්ටික් ෆිල්ම් එකක් ටීවී සීරිස් එකක් ගියා බ්‍රේව් නිව් වල්ඩ් . ඒකෙත් සෝම පානය කියලා එකක් තියනව. මැරෙන්නේ නැතිව ඉන්න. දුක අමතක කරන්න .
      https://www.imdb.com/title/tt9814116/

      Delete
    7. ඉස්සරලාම මම තන්ජෝරය ගැන දැනගත්තේ 'ලංකාදීප' පත්තරේ පළවුණු 'මැණික් කුමාරි' චිත්රකතාවෙන්. ලිව්වේ කවුද කියලා නම් හරියටම මතක නෑ. (ධර්ම ශ්‍රී කල්දේරා මහතා වගෙයි) පුරවිජය ෆොන්සේකා මහත්තයා තමයි ඇන්දේ...

      ඒ කතාවේ, මැණික් කුමාරිගේ පෙම්වතා ජයනාද සෙනෙවියා තන්ජෝරයෙදී සටන් කරලා මැරෙනවා... මැණික් කුමාරි සති පූජාව කරනවදත් කොහෙද...

      Delete
    8. අජිත් අයියා,

      සෝම ගැන වගේම, සමස්ත හින්දු මිත්‍යා ගැන ම අපි දැනගන්නෙ මෝක්ෂ මූල (මැක්ස් මුලර්) පඬිවරයා නිසා වෙන්න ඔ්නෙ. ඔය සීරීස් එකේ තියෙන 'සෝම' අමරණීය පානයක් ද එතකොට? ඒ ගැන කුතුහලය ඇවිස්සුණා. දැන් ඉතිං බේව් නිව් වර්ල්ඩ් සීරීස් එක බලන්නම වෙනව.

      Delete
    9. නිදි,

      පරණ චිත්‍රකතා ගොඩක් සූරිය ප්‍රකාශකයො ආපහු ගහල තියෙනව. පොඩ්ඩක් අහල බලන්න ඔ්නෙ, මැණික් කුමාරි ගැන... පේනවනෙ, මේක ලියන්න කොයිතරං කියවන්න වෙලාද කියලා...

      Delete
    10. //අර ඖෂධ ගඟට දාපු ජනකතාවක් තියෙනවද නැත්නම් උඹ හදල දාපු එකක් ද ?//

      https://www.lenntech.com/water-mythology.htm

      Delete
    11. වතුර, විශේෂයෙන්ම ජලාශ කියන්නෙම මිත්‍යා වලට තෝතැන්නක්. ජලාශ ගැඹුරුයි, ගුප්තයි, ජීවිතය නැතිකරවන සුළුයි. හැංගිච්ච ගොඩක් දේවල් තියෙනව. ඒ වගේම ජීවිතය පවත්වාගන්න උපකාරී වන දෙයක්. ලොක් නෙස් මන්ස්ටර් වුණත් ඔය වගේ මිත්‍යාවක් තමා...

      Delete
  4. මේක දැං ඉලව් ඉස්ටෝරියක් වේගනද එන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේ කතාවට னයෙක් ඔ්නෙයි කිව්වම ඒකත් කොහොම හරි එබ්බුව. දැං ඉළව් ස්ටෝරියකුත් ඔ්නෙ කියලද කියන්නෙ? ඉඳපං ඒකත් දෙන්නං...

      Delete
    2. ඉලව් ස්ටොරියක් නැත්නම් පරිප්පු නැති හෝටලේ වගේනේ ප්‍රසාන්

      Delete
    3. ඇත්ත. ඩබ්ලිව්. ඒ. සිල්වාගෙ ලක්ෂ්මි පොතෙත් තියෙනවා බොහොම ගුප්ත ආදර කතාවක්... මේ වගේ ඇඩ්වෙන්චර් එපික්වල වට්ටෝරුවෙ ප්‍රේමය, සටන්, සොයා යන දෙයක්, දුෂ්ටයා, වීරයා, බොහොම පැහැදිලිව ඉරි ගහල වෙන් කරලා දක්වන එක සිරිත.

      Delete
    4. //දුෂ්ටයා, වීරයා, බොහොම පැහැදිලිව ඉරි ගහල වෙන් කරලා දක්වන එක සිරිත//

      ඉලියඩ් සහ විශේෂයෙන් මහාභාරත මගෙ ප්‍රියතම ප්‍රබන්ධ වෙන්නෙ එහෙම ඉරි නැති නිසා

      Delete
    5. ඉලියඩ් එකේ ඇකිලීස් නරක කෙනෙක් නෙවෙයි. එය‌ා දේවාල කොල්ල කාලා, දේවාල දාසියන් පැහැරගෙන එන්නෙ ඒක ඒ කාලෙ තිබුණු ක්ෂිත්‍රිය ධර්මය නිසා. හෙක්ටර් ගෙ මිනිය පැහැරගෙන එන්නෙත් ඒකයි. කලු මිශ්‍ර චරිතයක් නෙවෙයි ම නෙවෙයි. සමහරවිට අපි අපට කාවැදුණු පුරුෂාර්ථ එක්ක වීර කාව්‍ය ආපහු කියවන විට ඒ ඒ චරිතවලතියෙන සංකීර්ණ ලක්ෂණ අපට ඉස්මතු වෙනව ඇති කියල හිතෙනව.

      හැබැයි ඔය උදාහරණ දෙකේම හැබැයි හෙණ සංකීර්ණ චරිත තියෙනව. දෙවිවරු පවා...

      Delete
    6. පාඨனයා ට ඕන විදියටයි මේව සිද්දවෙන්න ඕන ඉඳගෙන.

      Delete
    7. னයා නෙවෙයි, கයා... கයා...

      Delete
  5. http://www.lankalibrary.com/books/sinhala3.htm

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඒ ගොල්ලො මුල්ම භාෂාව උපකල්පනය කරද්දි ජර්මන් හුරුවට වැඩි තැනක් දීලා කියල පේනව...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි