Thursday, November 4, 2021

හැලොවීන් සැමරුමේ ඉතිහාසය

වික්ටෝරියා රැජිණ‌ගේ පාලන සමය වන විට මහා ගිණිමැල අවුලුවා, ඒ වටා නැටීම සියලු ශාන්තුවරයන්ගේ රාත්‍රියේ විනෝදයට කළ දෙයක් බව...

පුරාණ සෙල්ටික්වරුන්ගේ වාර්ෂික සැමරුම් හතරක් තිබුණා, අලුත් සෘතුවක් ඇරඹීම සනිටුහන් කරන්නට. පෙබරවාරි 01 ට යෙදෙන ඉම්බොල්ක් (Imbolc) සැමරුමෙන් වසන්තය ඇරඹුනා. මැයි 01 දින සැමරුනු බෙල්ටේන් (Beltane) උත්සවය ගිම්හාන සෘතුව ඇරඹීම සනිටුහන් කළා. ලූනාසා (Lughnasadh) උත්සවය පැවතුනේ, සරත් සෘතුව හෙවත් අස්වනු නෙළන කාලය ආරම්භ කිරීම වෙනුවෙන්, අගෝස්තු 01. අස්වනු නෙලා අවසානයේ ශීත සෘතුව ඇරඹීම වෙනුවෙන් පැවතුනේ නොවැම්බර් 01 ට යෙදුණු සහ්වන් (Samhain) උත්සවය.

මේ කියවුණු සහ්වන් උත්සවය වසර දෙදාහකටත් වඩා පැරණියි. මෙය පටන් ගැනුණේ ඔක්තෝබර් 31 රෑ. මොකද, සෙල්ටික්වරු දිනය ආරම්භ කළේ සහ අවසන් කළේ ඉර බැස යාමෙන්.

සහ්වන් උත්සවය දා ජීවත්වන්නන්ගේ ලෝකය සහ මළවුන්ගේ ‌ලෝකය අතර පැවතුණු බෙදීම හෝ වෙන්කරන තිරය තුනී වන බව විශ්වාස කෙරුණු නිසා, ඔක්තෝබර් 31 දා රෑ යක්ෂයන්, සුර දූතයන් සහ මළවුන්ගේ ආත්ම මිහිපිටට පැමිණෙන බව සෙල්ටික්වරු ඇදහුවා.

සෙල්ටික්වරු එදා රෑ එළිමහනේ ගිණිමැළ දැල්වූ අතර, පසුගිය අවුරුද්දේ මළවුන් ගේ ආත්ම සතුටු කර තමන් වෙත පහදවා ගන්නට, ඔවුන් ට තෑගි වශයෙන් විවිධ කෑම වර්ග සකස් කළා. ඒ වගේ ම, ඔවුන් විවිධ වෙස් ගැන්වීම් කරගත්තා, මළවුන්ට තමන් හඳුනා ගන්න අපහසු වීම සඳහා.

ක්‍රිස්තියානිය පැතිරීමත් එක්ක, හත්වන සියවස වන විට, මේ උත්සවය සියලු ශාන්තුවරයන්ගේ දිනය නොහොත් සියලු ශුද්ධාත්මයන්ගේ දිනය (All Hallows' Day) විදිහට නම් කරලා, ක්‍රිස්තියානි පාලනය විසින් පේගන් සංස්කෘතිකාංග යටපත් කිරීමේ සංකල්පය ක්‍රියාත්මක කෙරුණා. නමුත් මේ දිනයට පෙර රාත්‍රිය, කලින් වගේ ම ගිණිමැළ, වෙස් ගැන්වීම්, විසිතුරු පෙළපාලි ආදියෙන් සැමරීම නතර වුනේ නෑ. ඒ රාත්‍රිය හැඳින්වුනේ සියලු ශුද්ධවන්තයන්ගේ රාත්‍රිය හෙවත් All Hallows' Eve යනුවෙන්. ඒ හැඳින්වීම පසු කාලයකදී හැලොවීන් විදිහට වෙනස් වුණා.

ඇමරිකාවට ආ යුරෝපීය සාංක්‍රමණිකයෝ මේ උත්සවයත් අරගෙන ආවා. 1800 ගණං වනවිට, අයිරිෂ් සාංක්‍රමණිකයන්ගේ සංස්කෘතිකාංගත් මේ උත්සවයට එකතු වුණා. වර්තමානය වෙද්දි, හැලොවීන් කුඩා දරුවන් වෙස් මාරුකරගෙන ගෙයින් ගෙට ගොසින්, රසකැවිලි එකතු කරගැනීම ප්‍රමුඛ කරගත් මළවුන් සහ දුෂ්ටාත්ම උත්සවාකාරයෙන් සමරන විනෝද උත්සවයක් බවට පත් වෙලා තියෙනවා දකින්න පුළුවන්.

දා සය වන සියවස වෙද්දි එංගලන්තයේ දුප්පත් මිනිස්සු, සියලු ශාන්තුවරයන්ගේ දිනය තුළ, ආහාර ඉල්ලාගෙන ගෙයින් ගෙට යාමේ සිරිතක් තිබී ඇති බව පේනවා. පසුකාලීනව කුඩා ළමයින් රසකැවිලි ඉල්ලමින් ගෙයින් ගෙට යාම දක්වා වෙනස් වී තියෙන්නේ මේ සිරිත බව පේනවා.

වික්ටෝරියා රැජිණ‌ගේ පාලන සමය වන විට මහා ගිණිමැල අවුලුවා, ඒ වටා නැටීම සියලු ශාන්තුවරයන්ගේ රාත්‍රියේ විනෝදයට කළ දෙයක් බව වාර්තා වලින් පේනවා. ඒ වගේ ම විසි වන සියවස වෙද්දී, විනෝදමත් ව රාත්‍රිය ගත කරන්නන් ජනේල සෙලවීම, දොරවල් අරින්නට බැරි වනසේ ගැට ගැසීම, කෘෂි උපකරණ සොරකම් කර වහලවල් උඩ රැඳවීම වගේ විහිළු (ට්‍රික්) කරන පුරුද්දක් තිබුණා. (ලංකාවේ නම් දැනට ත් ගැටවරයන් මේ වගේ දේවල් කරනවා, නිදි වරාගෙන රාත්‍රියක් ගත කරන අවස්ථාවලදී) ඒ විදිහේ විහිළුවලින් තමන්ගේ දේපොළ බේරාගන්න සමහර මිනිස්සු ඔවුන් සමඟ සටන් කළ අවස්ථා තිබුණු අතර, නීති ආරක්ෂකයින්, මේ වගේ අවස්ථා ඇතිවීම වළක්වාගන්න තම තමන්ගේ දරුවන් ගැන අවධානයෙන් ඉන්නැයි පුරවැසියන්ට දැනුවත් කිරීම් කර තිබෙණවා. තවත් සමහරුන් මෙවැනි විහිළු වලින් ආරක්ෂා වීම සඳහා විනෝද වෙන ගැටවරයන් සහ ළමයින්ට සංග්‍රහ කිරීම් කරන්නට පෙළඹී තිබෙනවා.

"විහිලුවක් හෝ සංග්‍රහයක්" (trick or treat) කියමින් ගෙයින් ගෙට යාම මේ විදිහට පරිණාමනය වුණු දෙයක් කියා සිතාගත හැකියි.

හැලොවීන් උත්සවයේ අනිවාර්ය අංගයක් ‌තමයි ලන්තෑරුමේ ජැක් හෙවත් Jack o' Lantern නමින් හඳුන්වන, ඝනකම වට්ටක්ක ගෙඩියක් කපා සකස් කරගන්නා ලන්තෑරුම්. ඒ ගැන ඉතා කුතුහලාත්මක කතාවක් තියෙනවා.


අයිරිෂ් පුද්ගලයෙක් හිටියා මසුරු ජැක් නමින්. ඔහු දවසක් යක්ෂයා ට ආරාධනා කළා අඩියක් ගහන්න. නමුත් නමේ හැටියට ම මසුරෙක් වුණු ජැක් සූදානම් වුණේ නෑ බීම ට ගෙවන්න. ඒ නිසා ඔහු යක්ෂයා ට කිව්වා, කාසියක් බවට පත් වෙන්න, ඒ කාසියෙන් බීමවලට ගෙවන්නම් කියලා. 

යක්ෂයා ඊට එකඟ වෙලා කාසියක් බවට පත් වුණහම, ජැක් ඒ කාසිය තමන්ගෙ පසුම්බියෙ තිබුණු රිදී කුරුසයක් ළඟින් තියා ගත්තා. ඒ නිසා යක්ෂයා ට තමන්ගෙ නියම ස්වරූපය ලබා ගන්න බැරි වුණා.

අවසානයේ ජැක් යක්ෂයා නිදහස් කළා, කොන්දේසියක් උඩ. ‌කොන්දේසි වුණේ, අවුරුද්දක් යනතුරු යක්ෂයා ජැක් ට කරදර නොකළ යුතුයි. ඒ අවුරුද්දේ ජැක් මිය ගියොත් යක්ෂයා ඔහුගේ ආත්මය අයිති කර නොගත යුතුයි. ඒ විදිහට අවුරුද්දක්  ගත වුණාට පස්සෙ යක්ෂයා ජැක් අල්ලාගන්න ආවා.

එතනදිත් ජැක් යක්ෂයා රවටලා, පළතුරු ගෙඩියක් කඩාගන්න ගහක් උඩට නැග්ගෙව්වා. යක්ෂයා ගහට නැග්ගට පස්සේ ජැක් ගහේ කඳේ කුරුසයක් කොටපු නිසා යක්ෂයා ට ගහෙන් බිමට බහින්න බැරි වුණා. එතනදි යක්ෂයා ජැක් ට පොරොන්දු වුණා තවත් අවුරුදු දහයක් යනතුරු ජැක් ට කරදර නොකරන්න.

ඒ අවුරුදු දහය අතර ජැක් මිය ගියා. ඒ වගේ විශ්වාස කළ නොහැකි රැවටිළිකාරයෙක් ස්වර්ගයට ගන්න කැමති නොවුණු දෙවියන් වහන්සේ ජැක් ගේ ආත්මය භාරගත්තේ නෑ. තමන් වුණු පොරොන්දුව නිසා යක්ෂයාත් ඔහුගේ ආත්මය භාර ගත්තේ නෑ. යක්ෂයා ඔහු ට ගිණි අඟුරක් දීලා අඳුරු රාත්‍රියට පිටත් කර හැරියා. ඉතින් ජැක් ගේ ආත්මය, ඒ ගිණි අඟුර, මැද හාරපු ටර්නිප් අලයක් ඇතුලේ දාගෙන එදා ඉඳන් මේ දක්වා හැම තැන ම ඇවිදිනවා. මේ මළ ආත්මය ට අයිරිෂ් ජාතිකයන් කියන්නට පටන් ගත්තා, "ලන්තෑරුමේ ජැක්" කියා.

අයර්ලන්තයේ සහ ස්කොට්ලන්තයේ උදවිය, ජැක් ඔ ලැන්ටර්න් සහ අනිකුත් දුෂ්ටාත්මයන් පළවා හරින්නට, තම තමන්ගේ ම ජැක් ඔ ලැන්ටර්න් හදන්නට පටන් ගත්තා. ටර්නිප්, අර්තාපල් වගේ අලවලින් බියකරු මුහුණු සකස් කරලා ඒවා ජනේල් පඩි සහ දොරවල් අසළ තැබීමෙන් දුෂ්ටාත්ම පළවා හරින්න පුළුවන් බව ඔවුන් විශ්වාස කළා. එංගලන්තතයේ මේ සඳහා විශාල බීට් අල යොදාගත්තා. මේ රටවල්වලින් ඇමරිකාවට පැමිණි සාංක්‍රමණිකයන් ට රතු ඉන්දියානුවන් ළඟ තිබී ශක්තිමත් කටුවක් සහිත වට්ටක්කා වර්ගයක් හමුවුනා. සාම්ප්‍රදායික දේවලට වඩා ලස්සන සහ විශාල ලන්තෑරුම් ඒවායින් සකස් කරන්න පුළුවන් වුණු නිසා, ඒ වට්ටක්කා වර්ගයෙන් ජැක් ඔ ලැන්ටර්න් සකස් කිරීම ප්‍රචලිත වුණා.

ක්‍රිස්තියානි විශ්වාසයන්ට අනුව නොවැම්බර් 01 දින මළවුන්ගේ දිනය හැටියටත්, නොවැම්බර් මාසය මළවුන්ගේ මාසය ලෙසත් සැළකීම උඩ සඳහන් කරන ලද සහ්වන් උත්සවයේ මූලාශ්‍රයෙන් ම ඇවිදින් පසුව ක්‍රිස්තියානිකරණය ට ලක්වුණු දෙයක් විදිහට සළකන්න පුළුවන්. අප්‍රේල් 30 ජර්මානු ජනතාව සමරන වල්පූගිස්නාහ්ට් හෙවත් ශාන්ත වල්පුර්ගිස් ගේ රාත්‍රියත් සහ්වන් උත්සවයෙන් ම බිඳී ආවක් විදිහට සැළකෙනවා.


මූලාශ්‍ර:

https://www.nationalgeographic.com/culture/article/the-history-of-trick-or-treating-and-how-it-became-a-halloween-tradition

https://en.wikipedia.org/wiki/Samhain

https://en.wikipedia.org/wiki/Imbolc

https://en.wikipedia.org/wiki/Beltane

https://en.wikipedia.org/wiki/Lughnasadh

https://www.history.com/news/history-of-the-jack-o-lantern-irish-origins

25 comments:

  1. අපි නම් සැමරුවා. අද මුල්ම යකා මමද කොහෙද

    ReplyDelete
    Replies
    1. ආාා... ඔව් ඔව්... පේගන් මුල් කියනකොට මට මතක් උනේ ඔය දෙපළ තමයි. ඒකයැ, අරක අවසානයක් වුණා නෙ. දැක්කද?

      Delete
  2. හැලොවීන් දවස නං මෙහෙ සැමරෙන්නෙ නැත
    තුන්සිය හැටපහම ඒ වගෙ දවස් වෙත
    දනන් මුලා කරවන ජැක්ලා දසත
    Trick විතරයි අපට, සංග්‍රහ ඇත්තෙ නැත

    මුන්ව දිවිය ලෝකේකට ගන්නෙ නැත
    යකා වුණත් මුන් එනවට කැමති නැත
    මුන් ඉන්නා එකෙන් අපටම වෙයි විපත
    වරෙන් යකෙක් බිලි ගන්නට මේ හැත්ත

    ReplyDelete
    Replies
    1. යකෙක් එති කියා හිතුවත් අපි රොත්ත
      ගෙන්නා ගන්න යකු වෙයි හැමට ම හපන
      දියසෙන්ලා යක්කු ගැන නොම කර පැතුම
      අපි අපි එකතු වී පළවා හළ යුතුය

      Delete
    2. හොඳ අය නරක අය වෙන ජාතියෙ වාසී
      තියෙනව වගෙයි මේ ක්‍රමයේ ගොඩක් ගැසී
      රට දැය පළමුකොට සිතනා කෙනෙකු නිසී
      බලයට නාවොතින් සිරිලක යාවි නැසී!

      Delete
    3. බලයට එන්න තියෙනා ක්‍රම පද්ධතිය
      හදා තියෙන්නේ එක වැනි පෙළකට ය
      සේවය කරන්නට ලැදි පරකාමීන්ට
      මුහුණ දෙන්න අසීරුවෙයි තරගයට

      Delete
  3. https://sweden.se/culture/celebrations/halloween-the-swedish-way

    ReplyDelete
    Replies
    1. ඒකනෙ... සෙල්ටික්, පේගන් සංස්කෘතිවල නෝර්ඩික් මුල් තියෙනව.

      Delete
  4. නියමයි නෙව 😃😃😃
    හැමදේම කාලයත් එක්ක වෙනස් වෙනව කියන්න හොඳම උදාහරණයක්
    හැලෝව් ස් ඊව් ත් දැං අන්තිම වාණිජකරණය වෙලා නෙව.
    ඔය ඇමරිකාවෙ හැදෙන කහ පාට වට්ටක්කෙ ලංකාවෙ හදන්න බැරිද දන්නෑ. අනික ඒවයි සයිස්සෙක. මනුස්සයන්ට වඩා ලොකුව හදනව නෙව
    කොහොම කනවද මංද 😃😃😃🙈🙈

    ReplyDelete
    Replies
    1. //Top-10 Pumpkin Products in the U.S. Retail Channel
      Pie Filling $134.8.
      Cream $47.9.
      Coffee $32.7.
      Baking Mixes $25.7.
      Baked Bread $24.2.
      Dog Food $12.9.
      Yogurt $11.4.
      Ice Cream $9.8.//

      Delete
    2. මහේෂ් දැක්කද මං නත්තල ගැනයි නත්තල් සීය ගැනයි ලියපු කොටස්?

      ඔය වට්ටක්ක කනවද කියල මං දන්නෑ. ඝනකම ලෙල්ලක් තියෙන ජාතියක්.

      Delete
    3. ඔන්න ප්‍රා දාල තියෙනව මෙන්‍යු එක... අරං කනඑකයි මහේෂ්...

      Delete
  5. බොහොම හොඳ විස්තරයක්. නොදන්න විස්තර හුඟක් දැන ගත්තා. ආයෙ එන්නම්.🙏👌😊

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඔය අන්තිමට දාල තියෙන මුද්‍රව ගැන අසංග පට්ට කතාවක් කියල තිබුණ, නිදි ගෙ අඩවියෙ...

      Delete
  6. මගේ යාලුවෙක් මළඋං සමරල මළා.

    ReplyDelete
  7. මේ විස්තර ටික අගෙයි. හැබැයි ඉතිං ලංකාවෙ වෙසක් කාලෙට නටෝන සමහර ඔලුබක්කන්ට ඔය ඕන යකෙක් බයවෙනව වට්ටක්කෙට වඩා.

    ReplyDelete
    Replies
    1. ඇයි නයි පටෝනකොටත් බයවෙන්නෙ 😌😌

      Delete
    2. වවුල්ලු බය උනාට අනික් උං ඒවට බයවෙන්නෑ බ්‍රෝ.

      Delete
    3. ප්‍රසා,
      ඔය කොයි උත්සවෙත්, ජනතාව විනෝද වන උත්සවයක් ම තමා.

      මහේෂ්,
      නයි නං ලොරියකට පටවන්ඩ ඉන්නව ගොඩකවෙල...

      ප්‍රසා,
      දෂ්ට කරනව කරනව කිය කියා ඉඳල, තිබුණු බයත් ගියා.

      Delete
  8. වැටක් ගහන්න ආවානම් ගහලා පලයල්ලා අතන මෙතන ඇන දාන්නේ නැතිව. ඇනයක් වැදිලා නින්දට වැටුනා වැටිල්ලක් ඩ්‍රැකියානි ගැලැව්වේ නැත්නම් තාම පෙට්ටියේ දොයි.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියානිට නෙමෙයිද ඇනේ වැදුනෙ.

      Delete
    2. ඔරියා,
      මං හිතුවෙ පෙට්ටියට ම ඇණ වැදිල කියල. සෑහෙන කාලෙකින් දැක්කෙ නැති ගමන...

      ප්‍රසා,
      බොටත් ඔ්න්නැති ඇනෙයක් නෑ...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි