Saturday, June 15, 2024

වර තුනක් සහ කෙටි යෙදුම්

වර තුනක් ලබා දීම ගැන විවිධ ආකාර කතා මේ ලෝකය පුරා ම තියෙනවා. එයින් මේ කතාව මම ගොඩක් පොඩි කාලෙ කියවපු කතාවක්.

දුප්පත් මහළු යුවළක් හිටියා. ඒ දෙන්නා බොහොම දුකින් වාසය කළේ, සමහර වෙලාවට බඩගින්න නිවාගන්නවත් හැටියක් නැතුව. ඒ වගේ ගෙවුණු එක දවසක, සීයා හාමත් වෙමින් ඉන්න අතරෙ, එතනට ආවා සුරංගනාවියක්. ඇය මහලු යුවල අමතලා කිව්වා, "මම ඔයාලට වර තුනක් දෙනවා. දැන් ඔයාලා ඉල්ලන, ප්‍රාර්ථනා කරන පළමු ආශාවල් තුන එවෙලෙම ඉෂ්ට වෙනවා." කියලා.

ඉතින් ඒ දෙන්නා සාකච්ඡා කරන්න පටන් ගත්තා. වර තුනයි ලැබෙන්නෙ. එයින් ලබා ගන්න පුළුවන් හොඳ ම සහ උපරිම අවස්ථාව ලබා ගන්න ඕනෙ.

කල්පනා කරලා, සාකච්ඡා කරලා, වාද කරලා අන්තිමේ බැරිම තැන සීයා ට කියවුණා, "මට බොහොම බඩගිනියි. සොසේජ් එකක්වත් තියෙනවනම් මම කැමතියි." කියලා.

එහෙම කියලා මොහොතක්වත් ගත වෙන්න කලින් ඔහුගෙ ඉදිරිපිට සොසේජ් එකක් මැවුණා.


ආච්චිට බොහො ම කේන්තියි. ඇයි, වර තුනෙන් එකක් නිකම් ම සොසේජ් එකකට නාස්ති වුණා නෙ. එයා කේන්තියෙන් සීයට බණින්ඩ ගත්තා, කරපු මෝඩ වැඩේ ට. සීයා අහගෙන ඉඳලා ඉඳලා බැරිම තැන කිව්වා, "ඔය කෙහෙම්මල් සොසේජ් එක තමුසෙගෙ නහයෙ ඇලෙන්ඩ ඕනෙ". කියලා.

ඒ ආශාවත් ඔන්න එවෙලෙ ම ඉෂ්ට වුණා. සොසේජ් එක උඩ පැනලා ආච්චිගෙ නහය අගිස්සෙ ඇලුණා.

ඒ ගමන ආච්චියි සීයයි ඔක්කොම වැඩ පැත්තක තියලා, ‌අර සො‌සේජ් එක ආච්චිගෙ නහයෙන් ගළවගන්න මහන්සි ගත්තා. ඒ දෙන්නා කොයිතරම් තදින් සොසේජ් එකෙන් අල්ලලා ඇද්දත්, ඒක නම් ආච්චිගෙ නහයෙන් ගැළවුණේ ම නෑ.

අන්තිමේ හති අරිමින් සීය‌ා කිව්වා, "ඔය සොසේජ් එක තමුසෙගෙ නහයෙන් ගැළවෙන්නයි ඕනෙ, කොහොම හරි." කියලා.

ආන්න ඒ වෙලාවෙ සීයගෙ තුන්වෙනි වරයත් ඉෂ්ට වුණා.

*    *    *

වර තුනක් ගැන නූතන කතාවක් මේ...

එක කාන්තාවකට, මුහුදු වෙරළේ තිබිලා බෝතලයක් හම්බවුණා. ඇය ඒක ඇරලා බැලුව ම, බෝතලය තුලින් නිල් පාට දුමාරයක් ගළාගෙන ඇවිත්, බූතයෙක් මැවුණා. එයා කිව්වා, "බොහොම ස්තූතියි මගෙන් ප්‍රයෝජනයක් ගන්නවට. මම ඔයාට වර තුනක් දෙනවා. ඔයා කැමති ඕනෙම දෙයක් ඉල්ලන්න. හැබැයි, ඔයාට ලැබෙනවා වගේ දහ ගුණයක් ඔයාගෙ හස්බන්ඩ් ට ලැබෙනවා."

"හොඳයි." කාන්තාව කල්පනාවට වැටුණා. "මාව මේ ලෝකෙ ඉන්න ධනවත්ම තැනැත්තා කරන්න"

"මට ඔයා ධනවත් කරන්න පුළුවන්. නමුත්..." බූතයා කිව්වා. "...ඔයා ධනවත්ම තැනැත්තා වෙන්නෙ නෑ, මොක ද, ඔයාගෙ හස්බන්ඩ් ඔයා වගේ දහ ගුණයක් ධනවත් වෙනවා."

"ඒකට කමක් නෑ..." කාන්තාව හිනාවෙලා කිව්වා.

"ඔන්න ඒ ඉල්ලීම ඉෂ්ට කළා..." බූතයා කිව්වා. මොකද්ද ඊළඟ වරය?"

"මාව මේ ලෝකෙ ඉන්න ආකර්ෂණීය ම තැනැත්තා කරන්න."

"හරි. ඒකත් ඉෂ්ට කළා." බූතයා කිව්වා. ඒ වෙනකොට අර කාන්තාව බොහො ම ලස්සන, සුන්දර ගැහැණියක් බවට පත් වෙලා. "ඊළඟට ?"

"ඊ ළඟට" සොඳුරු සඳවතිය පොඩි හිනාවක් නැඟුනු මහුණින් යුක්ත ව කිව්වා, "මට දෙන්න ලාාාවට හාට් ඇටෑක් එකක්."

*    *    *

වර තුනක් ගැන තවත් අවර කතාවක් තිබුණා, ඒක පොඩි වෙනස්  කමක් කරමින් සිඩ්නි, ගජමෑන් සමග සමයං පත්තරේ පළ කළා. මේ ඒක.




ඔරිජිනල් කතාවෙ ඔය පුද්ගලයා ඉල්ලන්නෙ, "ඕනෙ රෙද්දක්" නෙවෙයි, "ඕනෙ පුකක්...!"

*    *    *

"ඕ පු" කිව්ව ම මතක් වුණේ අතුරු කතාවක්.

රජයේ සේවයේ, ඕනෙ ම වැඩක් වාර්තා වෙන්න ඕනෙ නිසා, ගොනුවකින් තමයි පවත්වාගෙන යන්නෙ. වැඩ හැම එකක් ම අදාළ ගොනුවල වාර්තා වෙනව. නුවෙ දකුණු පැත්තෙ ලිපි අමුණලා, වම් පැත්තෙ සටහන් පත්‍ර කියන, හිස් කඩදාසි අමුණනවා. ලිපි අංක කරලා, ඒ අදාළ ලිපියෙ අංකය ගැන සඳහන් කරමින්, සටහන් පත්‍රයෙ ඒ ගැන සටහනක් යොදලා ඉහළ නිලධාරියාගෙ මේසය මතට දැම්ම ම, එයා එයාගෙ නිරීක්ෂණ, නිර්දේශ, නියෝග ආදිය, සටහන් පත්‍රයේ ම සටහන් කරනවා. ඉතින් ගොනුවක සටහන් පත්‍ර බැලීමෙන්, වැඩේ වෙලා තියෙන්නෙ කොහොම ද, මොන දවස්වල ද ඒක වෙලා තියෙන්නෙ, කියන විස්තර හොයාගන්න පුළුවන්. ඔය සටහන් පත්‍රවල, සහ ලිපිවල සටහන් තබනකොට කෙටි යෙදුම් භාවිත වෙනව. "දැ. ගැ. ස." කියන්නෙ දැනගැනීම සඳහා. "කරු" කියන්නෙ කරුණාකර...

ඒක කිව්ව ම මතක් වුණේ. මං වැඩට ගිය මුල් ම කන්තෝරුවෙ, ගබඩා භාර කරු හිටියෙ "කරුණාරත්න" කියල අයිය කෙනෙක්. (ගබඩා භාර-කරු-කරු) ඒ දවස්වල, ගබඩාවෙන් මොනව හරි නිකුත් කරන්න සටහන් තබන්නෙ, "කරු. නිකුත් කරන්න." කියලා, හරියට කරුණාරත්න ට ආමන්ත්‍රණය කරලා වගේ...

ඔය වගේ දවසක් අලුතෙන් පත්වෙලා ආව ලොක්කෙකුට ෆයිල් එකක් දාලා, ඒකෙ සටහන් පත්‍රයෙ ලියල තිබුණ ලු, "කරු. අත්. ඉ. කරමි" කියල. උන්දැ ඒ කෙටි යෙදුම අඳුනගන්න බැරුව, යටින් සටහනක් දැම්මලු, "ඕ. පු." කියල.

ඒක දැකපු, සීසී හෙවත් ප්‍රධාන ලිපිකරු, ගොනුවත් අරගෙන අර ලොක්ක ගාවට ගිහිං ඇහුවලු, "මොකද්ද සර්, මේ සටහන?"  කියල.

ලොක්ක ඇහුවලු, "ඊට කලින් කියනවකො, "කරු. අත්. ඉ." කියන්නෙ මොකද්ද කියල..." 

"ඒ කියන්නෙ, "කරුණාකර, අත්සනට ඉදිරිපත් කරමි" කියන එකනෙ සර්..." කියල සීසී කිව්වලු.

"ආ... ඒක ද? "ලොක්ක හිනාවෙලා කිව්වලු, "ඔය "ඕ. පු." කියන්නෙ එහෙනං ඕනෙ පුකක් කියන එකයි" කියල.

*    *    *

ඒ වගේ කෙටි යෙදුම් ගැන තව කතාවක් කියල ම වර තුනට ආපහු සම්බන්ධ වෙමු.

සෑහෙන ඉස්සර කාලෙ, ලොකු ප්‍රොජෙක්ට් එකක් තිබුණා පිටිසර ගමක් ආශ්‍රිතව. ඔය ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන උදවිය නිතර ම ගමේ තේ කඩේට ගොඩ වෙලා, උදේට දවල් ට කන්නත්, තේ බොන්නත්ත් පුරුදු වෙලා උන්නා. 

ඔය දවස්වල, ප්‍රොජෙක්ට් එකේ ගේට්ටුවෙ දැන්වීමක් ගහල තිබුණා, "කම්කරු ඇබෑර්තු ඇත - ප්‍ර.වැ.දෙ. ප්‍ර. ඉ." කියලා.

ඔය කඩේට ආව ප්‍රොජෙක්ට් එකේ ලියන මහත්තයෙකුගෙන්, දවසක් කඩේ මුදලාලි ඇහුවා, "මොකද්ද අර බෝඩ් එකේ තියෙන කෙටි යෙදුම?" කියලා.

ලියන මහත්තයා ඉතිං මුදලාලිට කියා දුන්නා, ඒ තියෙන්නෙ, "ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව, ප්‍රධාන ඉංජිනේරු" කියන එකයි කියලා.

පහුවදා කඩෙත් බෝඩ් එකක් ගහලා තිබුණා.

"මෙහි නිකරුණේ රස්තියාදු ගැසීම තහනම් - පු. සි. මු." කියලා.

මේක අර ප්‍රොජෙක්ට් එකේ හැමෝට ම ගැටළුවක් උනා. අර ලියන මහත්තය ම ඊළඟ දවසෙ මුදලාලිගෙන් ඇහුවා, ඒ බෝඩ් එකේ තියෙන කෙටි යෙදුම මොකද්ද කියලා.

"ඇයි මහත්තයො හිතා ගන්න බැරිද?" මුදලාලිත් හිනාවෙලා ඇහුවා. "ඒ තියෙන්නෙ මගෙ නම. පුංචි සිඤ්ඤො ‌මුදලාලි කියන එකනෙ..."

ඒක කිව්වම පච්ච කතාවක් මතක් වුණ උදවිය මේ කොණට...

*    *    *

ඔය වගේ ප්‍රොජෙක්ට් එකක වැඩ කරපු උපදේශක වරයෙක් උන්නා,  පාෂාණ පිළිබඳ ආචාර්ය උපාධියක් තියෙන. හැමෝ ම එයාට ඩොක්ටර් කියල තමයි කතා කළේ. ටික දවසක් යන්න කලින්, ගමේ උදවිය එක එක ලෙඩවලට බෙහෙත් ගන්න එයා ළඟට එන්න ගත්ත. 

බැරිම තැන එයා ගමේ උදවියට කියා දුන්නා, තමුං ‌වෛද්‍ය වරයෙක් නෙවෙයි, ආචාර්ය උපාධියක් තියෙන කෙනෙක් කියලා. ඒත් ඒක ගමේ උදවියට තේරුණේ නෑ. අන්තිමේ එයා කිව්වා...

"මං මිනිස් ඩොක්ටර් කෙනෙක් නෙවෙයි, ගල් ඩොක්ටර් කෙනෙක්" කියලා.

ඊට පස්සෙත් අසංගයි ප්‍රසන්නයි කියල දෙන්නෙක් ඩොක්ටර් පස්සෙන් කැරකුණාලු, ඒ ඇයි දන්නෑ?

*    *    *

ඔය වගේ වර තුනක් දුන්න නෙ, වලහෙකුටයි හාවෙකුටයි... මේ ඒක.

Tuesday, June 4, 2024

විපතක දී මුලින් ම පළා යන්නේ...

https://qph.cf2.quoracdn.net/main-qimg-b6079f9fdff8f57e2c36bb9c61241ff9-lq

පවතින දැඩි අයහපත් කාලගුණය ගැන මුහුණුපොතේ පළවෙන විස්තර, පින්තූර සහ විවිධ පෝස්ට් දැක්ක ම මතක් වුණේ බුදුගුණාලංකාරයෙ තිබුණු කවි පෙළක්. මේකත් පරණ පාසල් පෙළ පොතකින් තමයි මම ඉස්සෙල්ල ම කියෙව්වෙ.


ඊට කලින් මාතෘකාවෙ හිස්තැන පුරවන්න තියෙනව. මේ කියමනත් මම දැක්කෙ මුහුණුපොතෙන් ම තමයි.

"විපතක දී මුලින් ම පළා යන්නේ දෙවියන් ය. විද්‍යාව සහ තාක්ෂණය පැමිණ මිනිසා බේරා ගත් පසු, පෙරලා ‌ පැමිණෙන දෙවියන් සහ කපුවන් නැවත මිනිසා සූරා කෑමට පටන් ගනිති."

එහෙනම් මෙන්න උඩ කී කවි පෙළ...

146. 
බරණැසැ පෙර කලෙක 
බමුණු මහසල් කුලයෙක 
ගුණ නැණ යුත් නිසැක 
උපන් පින් සර බමුණූ උතුමෙක


147. 

සව් සතර සමුදුර 
දැකැ නැණ නැවින් පර තෙර 
පසිදු වැ ලොවැ පතර 
තමා බිහි වන දිනෙහි ගුරුවර


148. 

නො නිවා තබා රැක 
දුන් ගිනි රැගෙනැ වනයෙක 
වැසැ අවුරුදු නොයෙක 
පුදත ගිනි දෙවියාට දවසෙක


149. 

සිඟා ගිය තැනැ ලද 
ගොනකු ගෙන‘වුත් ගසැ බැඳ 
කෙරෙමි මසින් පුද 
සිතා ගිනි දෙවිය හට මහ පුද


150. 

‘ලුණු නැති මස් පුදට 
නපුරැ” යි සිතා ගමකට 
යා දී ඔහු ලුණට 
අවුත් වලැ වැදි දනන් එ තැනට


151. 

එ ගොන‍ා මරා මස් 
පලහා කමින් නොසරස් 
උන් ගිය සඳැ ඒ ගොස් 
බලා ගොන් නඟුට කුර ඇට රැස්


152. 

‘‘අප රකිනා ත බා 
තොප සතු ගොන‍ා නො ත බා 
කන තෙක් වෙතැ ත බා 
බලා උන් කෙනෙකි තෙපි අත බා


153. 

‘‘ එයින් ගිනි දෙවි නැත 
උන් නැත පුදෙන් පල නැත 
බොරු බස් ලොව පැවැත කරන 
පුදයෙකැ නුවණ නැති සත


154. 

‘‘ගොන් මස් නොලදිනී 
මෙ පමණ කව යි ඉතිනී” 
කියමින් වල‘ගිනී 
ගසා දියවර නිවි යැ එ ගිනී


මේ බුදු ගුණාලංකාරයෙ ශිව දෙවියන් ගැන තියෙන වර්ණනාව... (බෝනස්)

https://blogger.googleusercontent.com/

159. 

තිසුලවි ගත් කරින් 
කළු පැහැ රැගත් උගුරින් 
හන් සළු ගත‘ඹරින් 
අඩක් උමයඟන ගත් සිරුරින්


160. 

දළැ අඩ සඳ බඳින 
ගොර සප් හරක් පලඳින 
රඟ කරන දිනැ දින 
මහලු ගොන් වාහනෙන් ඇවිදින


161. 

ලත් මහ පදවියා 
සිර සුර ගගින් දෙවියා 
අනඟ රුව දැවියා 
යෙහෙකැ පුද කරන මහ දෙවියා


162. 

එ මැ මහ දෙවිඳු හෝ 
නොහොත් සිව ලිංගය හෝ 
වැඳැ පිදුවොත් බොහෝ 
එතී කී ‘ලොවට සෙත ඇම හෝ


163. 

එ මැතිඳු බස් අසා 
මැති‍ඳෙක් කියයි මෙ ලෙසා 
ඇති දුක් මඳ නිසා 
තවත් දුක් ගෙනැ ලයි ද එ වසා


164. 

දෙවියෝ නම් සඟය 
පැලැඹෙන අයෙකි ස සඟය 
උන් රූ මනරඟය 
විසුළු වෙස් ඇති නො වෙයි මේ රඟය


165. 

උතුමෝ ලියන් වෙත 
නො ඉඳිති විළින් දැකැ සත 
මෙහෙසුරු උමා කත 
තබා රකිතී කියයි සිය ගත


166. 

පවතින මෙ ලොව රැක 
නැති කලැ හිරි ඔතප් දෙක 
ඔහු වැඳැ පුද නොයෙක 
කළෙ යි වැඩ සිදු වේ ද කිකලෙක


167. 

අවි අන් වැනැසුමට 
නැත වෙයි තමා රැකුමට 
එයින් තිසුලවි හට 
ඇතැ යි රා දොස් දැනෙයි මොනොවට


168. 

රා දොස් පව් මිදී 
නිසි උතුමනට නොබැඳී 
සිටි බවයෙන් බැඳී 
ඔහුට පුද කොටැ කිම් ද පැහැදී


169. 

සසරෙහි සබව දත් 
සිල්වත් දනෝ නැණවත් 
තුමූ රඟ නො කෙරෙත් 
අනුන් රඟන රඟකුත් නො බලත්


170. 

නළු වෙස් ගෙනැ එ සේ 
නටන කලැ හැම දවසේ 
උන් පිදුව යි කෙසේ 
වැඩක් සිදු වෙද ලොවට සිත සේ


171. 

දද දන බස් අසා 
කරන පුද ඔහු උදෙසා 
දිඹුලෙහි මල් නිසා 
දියැදැ දුක් විඳින වැනි නොලසා


172. 

අයකු පිළිකුල් වන 
අයකු සිත රා වඩවන 
ලිඟු සටහන් රැගෙන 
කළැ යි පුද පල කිම් ද ඉන් වන


173. 

සිත දුසිරී කිලුට 
පින් කෙත් නොවන මෙ ලොවට 
පුද කරනු ඉසුරුට 
ගලෙක වපුරන වැන්නැ බිජුවට


Saturday, June 1, 2024

ශනිදා දහයට කලින්... පොලිස් කතා සහ තවත් කතා

පහුගිය මාර්තු අප්‍රේල් මාසවල ලියන්න කියවන්න විවේකයක් නැතුව ඉද්දි, කතා කරලා දුක සැප අහපු තට්ටයියා වෙනුවෙන් මේ ලියමන ලියන්ඩ පටන් ගත්තෙ. නමුත් ඒක මාතෘකාවට සහ පළවෙනි වාක්‍යයට සීමා වෙලා ඩ්‍රාෆ්ට් අතරෙ රැඳිලා තිබුණා. 

පොලීසිය ගැන අපේ සමාජයේ තියෙන්නෙ ඒ තරම් හොඳ ප්‍රතිරූපයක් නෙවෙයි. ඒ නිසා ම උන්දැලට පහර දෙන්න විහිලු කතා ගණනාවක් ගෙතිලා තියෙනව. මං ගැටවර කාලෙ මළගෙවල්වල දි අහපු කතාවකින් පටන් ගන්නම්.


සුජාතභාවයේ ගැටළුව

දවසක් පොලිස් කාරයෙකුයි, ආමි කාරයෙකුයි බස් හෝල්ට් එකක ඉන්නව. ඔය කියන්නෙ උතුරෙ යුද්ධයේ අවසාන කාලෙ. ඒ දවස්වල ආමි එකේ මොරාල් හොඳටම අප් කරලා තිබුණෙ. කොටින් ම හිටියෙ හමුදා භටයො නෙමෙයි, රණවිරුවො. ඒ උනාට පොලිසියට ඒ තරම් සැළකිල්ලක් නෑ. ඉතින් පොලිස් කාරයට ආමි කාරයව මඩවන්න ආස හිතුණා. පොර නිකං ම අරූ එක්ක කතාවක් පටන් ගත්තා.

"නිවාඩුවට ආව නේ?"

"ඔව්" ආමි කාරයත් හිනාවෙලා කිව්ව.

"දැන් නිවාඩු එහෙමත් ඔයාලට අඩු ඇති නේ?"

"ඔව්. අවුරුද්දකටවත් සැරයක් එන්න නෑනෙ."

"ඒකනෙ..." පොලිස් කාරය දුක්මුසු මුහුණින් කිව්ව. "ඔය අතරෙ ඔයාලගෙ පවුල්වල දරුවොත් ඉපදෙනව නේ...?"

ආමිකාරය ඔලුව ඉහළ පහළ අතරට වැනුවා, "ඔව්" කියන්න.

"ඉතිං ඒ අවජාතකයන්ට මොක ද කරන්නෙ?" පොලිස් කාරයා තැනේට ඇණේ ගැහුවා, මහ කාළකන්ණි අවලං හිනාවකුත් එක්ක.

"ආ... උන් ද?" ආමිකාරයා ඇහුවා. "ඒ අවජාතකයො ලොකු වෙලා පොලිසියට බැඳෙනව."



බෝම්බ තුනේ කතාව

(මේක නම් මම මීට කලින් කොතනක හරි කියලා තියෙනවා කියලා මතකයි)

දවසක් පොලිස් කාරයො දෙන්නෙකුට බෝම්බ තුනක් හම්බුණා, පාරක් අයිනෙ හංගලා තිබිලා. දැන් ඒ බෝම්බ තුන මේ දෙන්නා අරගෙන යනව, පොලිසියට.

එහෙම යන ගමං කොස්තාපල් ට ගැටලුවක් මතුවුණා. 

"මේ සාජන් මහත්තෙය... දැං මේ බෝම්බ තුනෙන් එකක් පිපිරුවොත් ‌එහෙම අපි මොක ද කරන්නෙ?"

"වෙන මොනව කරන්ඩ ද?" සාජන් ඇහුවා. "අපි කියමු දෙකයි හම්බුණේ කියල..."



බීමතින් රිය පැදවීම

දඩයක් බා ගන්ඩ බලං හිටපු පොලිස් කාරයෙක් මහ රෑ බාර් එකක් ළඟ රැකලා හිටියා. ටික වෙලාවකිං නකතං වෙන්ඩ ගහපු මනුස්සයෙක් බාර් එකෙන් එළියට ආව. පොර ට හිටගෙන ඉන්ඩ පණ නෑ. ‌උන්දැ ඇද වෙවී වැනි වැනී කාර් පාක් එකට ඇවිත් කාර් එකක දොරට යතුර දැම්ම. ඇරුනෙ නෑ. ඊට පස්සෙ ඌ තව කාර් එකකට ගියා. ඒකත් ඇරුණෙ නෑ.

දැන් පොලිස් කරයට බඩු ෂුවර්, මේ වතාවෙදි නං දඩකොලයක් හරි නඩුවක් හරි ලැබෙනව ම තමයි. 

ඔය විදිහට කාර් හතරක් විතර පහු කරපු ඉවානයා, අන්තිමේ තමන්ගෙ කාර් එක හොයාගෙන නැග්ගා. ඊට පස්සෙ ලයිට් දැම්මා, ඩිම් කළා... ෂටර්ස් පාත් කළා, ඉස්සුවා... වයිපර්ස් ඔන් කළා, අන්තිමේ යන්තම් ස්ටාට් කරගත්තා. ස්ටාට් කරපු ගමං ඉස්සරහට ගිහිං තණකොල තීරුව උඩට ආවා.

ඔය අතරෙ පාක් එකේ තිබුණු කාර් ඔක්කොම ගියා. බාර් එකත් වැහුවා.

අන්තිමේ ඉවානයා කාර් එක පස්සට රිවස් කරලා, පාරට දාගත්තා. දාගෙන ටිකක් ඉස්සරහට යද්දි ම, පොලිස් කාරයා මූව නතර කළා. නතර කරලා, බැලුම දුන්න පුම්බන්ඩ.

හරි වැඩේ කියන්නෙ, බැලුමෙ ප්‍රතිඵලය බින්දුවයි. ඉවානයා බීලා කියල ඒකෙන් ඔප්පු වෙන් නෑ.

"මේක කැඩිලවත් ද?" පොලිස් කාරයා ට කියවුණා.

ඉවානයා හිනාවෙලා කිව්වා. "නෑ නෑ... බීපු උන් ටික ඔක්කොම ගියා. මං උන්ට බේරිලා යන්ඩ සපෝට් එකට පොඩ්ඩක් රඟපෑවා"



හිටගන්ඩ පණ නෑ

පොරක් බාර් එකට වෙලා මුළු හවස්වරුවම බිව්වා. අන්තිමේ දැන් ඇති කියලා හිතලා යන්ඩ නැගිට්ටා විතරයි, මූ මුණිං අතට වැටුණා. 

"සැහ්... මෙච්චර බොන්ඩ නරකයි ආයෙ" කියල තමන්ට කියාගෙන නමියා ආපහු නැගිට්ටා. ඒ පාරත් දඩීං ගාල වැටුණා.

ඒ ගමන මොනව කරන්ඩ ද, පොර බඩගාගෙන දොර ගාවට ගියා. ගිහිං දොර අල්ලගෙන නැගිට්ටා. ඊට පස්සෙ දොරං එළියට අඩියක් තිබ්බ විතරයි, පතෑං ගාල ආපහු වැටුණා මුණිං අතට.

ඒ ගමන නමියා හිත හදාගෙන පාර දිගේ පේමන්ට් දිගේ බඩගාගෙන ගිහිං කොහොම හරි ගෙදර ළඟට ආවා. ඇවිත් යාන්තං දොර් එල්ලිලා හිට ගත්තා. හිටගෙන, දොර බදාගෙන දොරේ අගුල ඇරගත්තා. දොර ඇරුණා විතරයි මූ ආපහු මුණිං වැටුණා. ඒ ගමන දොර අල්ලගෙන ආපහු නැගිටලා දොර වැහුවා. වහල දොර අත ඇරියා විතරයි, ආයෙ මෙකට ද මං කියන්නෙ? රවි අයියා තට්ටයගෙ කෑම්ප් එකේ දි වැටුණා වගේ උජාරුවට අරූ ආපහු වැටුණා.

ඒ ගමන බඩගාගෙන ඇඳට ගියා. ගිහිං අවසාන වතාවට කෙළිං හිටගත්තා. ඒ ගමන උගෙ වාසනාවට උන්දැ වැටුණෙ ඇඳ උඩට. එහෙම්ම නින්ද ගියා.

පහුවදා ඇහැරුණා ම වෛෆ් මුගෙන් අහපු පළවෙනි ප්‍රශ්නෙ තමයි, "තමුසෙ ඊයෙ සිහි නැතිවෙන්ඩ බිව්ව නේද?"

මිනිහත් වෙන උදවිය දෙන උත්තරේම තමයි දුන්නෙ. 

"පිස්සු ද, ඩාලිං? මං බිව්වෙ නෑ..."

"එහෙනං අර බාර් එකෙං අද උදේ ම කෝල් කළේ..." වෛෆ් කිව්වා. "තමුසෙ ඊයෙත් රෝද පුටුව එහෙ දාල ඇවිල්ලා"


ප්‍රොක්ටර්

මගෙ සුපුරුදු පෙරකොදෝරු කතාවක් නැති වුණොත් පෝස්ට් එකෙන් වැඩක් නෑ. ඒ් නිසා මේකත් කියවන්න. හැබැයි ඔයාල කියවලා හිනා වුණාට අපේ ප්‍රාජේ ට එහෙම මේක ගැන කියන්ඩ එපා.

ටවුමක තිබුණා පුණ්‍යාධාර සමිතියක්. ඒකට ටවුමෙ උන්න හැම පෝසතා ම ආධාර කළා. ඉතින් දවසක් මේ සමිතියෙ ගරු භාණ්ඩාගාරික ආධාර පොත අරගෙන කියවලා බලද්දි දැක්කා, ටවුමෙ ඉන්න ප්‍රසිද්ධම නීතිඥවරයා විතරයි මේ සමිතියට ආධාර කරලා නැත්තෙ කියලා.

ඔය භාණ්ඩාගාරිකකමට පත් කරන්නෙත් නීතීඥයො වගේ ම සූරගන්ඩ දක්ෂ මිනිස්සු. ඉතිං නිමල් අයියත් හිතාගත්තා, මං කොහොම හරි ප්‍රාජේගෙන් දතක් ගළවනවා සමිතියෙ අරමුදල වෙනුවෙන් කියලා. එහෙම හිතාගෙන ගියා අර නීතිඥවරයා හම්බවෙන්න.

ගිහින් කිව්වා "මේ බලන්න මහත්තයා. අර කඩේ මුදලාලිත් අපට ආධාර කළා. අර ෆිල්ම් ඩිරෙක්ටරුත් අපට මාස්පතා ගාණක් එවනවා. මෙහෙම බැලුවම ඔබතුමා විතරයි අපට ආධාර වශයෙන් සතයක්වත් දීලා නැත්තෙ..."

කියාගෙනනකොට ම නීතිඥ මහත්තයා අතක් උස්සලා නිමල් අයියව නැවැත්තුවා.

"දැන් ඔයා දන්නව ද, මගෙ අම්මා කාලෙයක් තිස්සෙ ලෙඩ වෙලා මැරෙන්න වැටිලා ඉන්නවා කියලා? එයාගෙ පෙන්ෂන් එක වගේ කීප ගුණයක් සල්ලි වියදම් වෙනව එයාගෙ බෙහෙත්වලට... ඔයා දන්නවද ඒක?"

ගරු භාණ්ඩාගාරිකට කටේ කෙලත් හිඳුණා. "න්න්න් නෑනෙ..." එයා යාන්තමින් කියාගත්තා.

"... ඊළඟ ට... මගෙ මල්ලි හමුදාවෙ ඉඳලා, බට්ටෙක් පෑගිලා කකුලක් කපලා රෝදපුටුවට ම සීමා වෙලා ඉන්නව කියල ඔයා දන්නව ද? ඒ මදිවට එයාගෙ ඇහැකුත් අන්ධයි..."

භාණ්ඩාගාරිකට කට උත්තර නෑ...

"තුන්වෙනුව..." ලෝයර් කියාගෙන යනවා... "මගෙ නංගිගෙ හස්බන්ඩ් මැරුණා ඇක්සිඩන්ට් එකකින්. එයාගෙ දරුවො තුන්දෙනාට උගන්නගන්ඩ එයාට සතයක්වත් ඉතුරු කරලා තිබුණෙ නෑ මස්සිනා..."

"මං ඔය කිසිම දයෙක් දැනගෙන උන්නෙ නෑ..." අන්තිමේ නිමල් අයියා කෙඳිරි ගෑවා.

"අන්න ඒකනෙ..." ප්‍රා ජේ අවසාන වචනයත් කිව්වා. "ඔය එකෙකුටවත් සතයක්වත් වියදම් කරන්නෙ නැති මං, තමුසෙලට ආධාර කරයි කියල හිතනවද මනුස්සයො?"


------------

හුටංබරස් මහතා, ඊයෙයි අදයි උදේ ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන අතරෙ හදපු "බස්සා මාමා" පහතින්...



"පොටෝ දෙකක් ගම්මු. එතකොට, මේකෙ කට අරින්නයි වහන්නයි පුළුවන් කියල පේනව. ඊට පස්සෙ බස්ස මාමට යවමු. බ්ලොග් එකෙත් දාමු" කියල උන්දැ ම තමයි කිව්වෙ...

වැඩිපුර බලපු ලිපි