අද අපි කියවන්න යන්නේ මේජර් රොජර්ස් ගැන.
ලංකාවේ වැඩිම අලි ඇතුන් සංඛ්‍යාවක් දඩයම් කළ තැනැත්තා වන මේජර් තෝමස් විලියම් රොජර්ස්, 19 වන සියවසේ මෙහි සේවය කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ස්ටෝරි (1907) සඳහන් කරන හැටියට 1400 කට වැඩි ගණනකුත්, ග්‍රිල්ස් (1848) සඳහන් කරන හැටියට 2000 කුත්, ඔහු මරා දැමූ අලි ඇතුන් ගණන හැටියට සඳහන් වෙනවා.
1804 දී උපන් තෝමස් විලියම් රොජර්ස් ලංකාවට ආවේ 1824 දී කියා වාර්තා වෙනවා. ඔහු ලංකාවේ යුධ හමුදාවේ රයිෆල් රෙජිමේන්තුවට බැඳෙන්නේ 1824 ජනවාරි 7, දෙවන ලුතිනන් වරයෙකු හැටියට. 1826 දී ඇජුටන්ට්වරයෙකු වන ඔහු, 1827 දී කපිතාන් තනතුරට පත්වුණා. අලුපොත අණ දෙන නිලධාරි හැටියට 1828 සිට 1833 දක්වා සේවය කළ ඔහු, 1834 දී බදුල්ල උප දිසාපති සහ දිස්ත්‍රික් මහේස්ත්‍රාත් තනතුරට පත්වුණා. දක්ෂ පරිපාලකයෙකු වූ මේජර් රොජර්ස්, බදුල්ලේ තිබෙන බොහොමයක් තානායම් ද, බොහොමයක් මං මාවත් ද තැනවූවා. ඌව පළාතේ තිබෙන අනෙක් මං මාවත් සළකුණු කළේ ඔහු යි. මේ අතර නුවරඑළිය - බදුල්ල මාර්ගය ද ඔහු විසින් තැනවූණක්.
වෙල්ලස්සේ කැරැල්ළ, මාෂල් ලෝ මඟින් කෲර ලෙස මර්ධනය කළ පසු, බොහෝමයක් ගම්මාන පාළු වුණා. කැළෑව විසින් ගිළ ගැනුණු පිටිසර ප්‍රදේශවලට අලි ඇතුන්ගෙන් හානි වීම නිතර අසන්නට ලැබුණු පුවතක් වුණා. මේ වගේ පසුබිමක යුරෝපීය කෝපි වවන්නන්, හමුදා සහ සිවිල් නිලධරයන් අලි ඇතුන් දඩයම් කිරීම, ත්‍රාසජනක ක්‍රීඩාවක් වුණා. ඒ වගේ ම, මහජනතාවට කරන සේවයක් විදිහට පිටිසර ජනතාව සැළකුවා.
ඒ අනුව ලංකාවේ අලි ඇතුන් දඩයම් කළ දක්ෂතම දඩයක්කාරයා වුණේ මේජර් රොජර්ස්. ඌව ට සංක්‍රමණය වීමෙන් පසු ගත කළ අවුරුදු 11 තුළ ඔහු දඩයම් කළ අලි ඇතුන් ගනන 1400 කට වැඩියි. ඉන් 60කට වැඩි ගණනක් දළ ඇතුන්. 1840 ගණන්වල ඔහු හමුවීමට වෝල්ඩමර් කුමරු සමඟ පැමිණි වෛද්‍ය හොෆ්මයිස්ටර් වාර්තා කරන විදිහට, "ඔහුගේ මුළු නිවස ම පිරී තිබුණේ ඇත් දළවලින්. ඒ, ඔහු මැරූ සතුන් අතරින් හැටකට වඩා දල ඇතුන් වූ බැවින්. ඔහුගේ බරාඳයේ සෑම දොරක ම සිටුවන ලද දැවැන්ත ඇත් දළ තිබූ අතර, ඔහුගේ කෑම කාමරයේ සෑම මුල්ලක ම ඊට සමාන ජයග්‍රාහී සංකේත තිබුණා..."
 |
මේජර් තෝමස් විලියම් රොජර්ස් |
ඔහු ගේ අවසාන අවුරුදු දෙකේ දී, කෝපි වවන්නන් අතර ඔහු හැඳින්වුනේ ක්‍රීඩකයෙකු ලෙස නොව දරුණු ඝාතකයෙකු ලෙසයි. ලංකාවේ සිටි සිංහල බෞද්ධයන් මේ දැවැන්ත සත්ත්ව ඝාතන හෙලා දුටු නිසා, ඔහුට සේවය කිරීම පිළිකෙව් කළා. ඔහුගේ පෞද්ගලික සේවක, කෝකි අප්පු, තුවක්කුව රැගෙන යන්නා ආදී සියලු ම සේවකයන් මැලේ හෝ දෙමළ ජාතිකයන් වුණා.
1845 ජනවාරි මාසයේ දී තවත් දඩයමක් සඳහා මොරවල කෝරළේ කෝපි වැවිලිකරුවන් කීප දෙනෙකු සමඟ, ඔහුගේ නිල නිවාසය පැවති බදුල්ල පැරණි ගම්මානයේ සිට, මින්නේරි පාරේ ගමන් කරමින් සිටින විට, ඔවුන් ට බෞද්ධ භික්ෂුවක් මුණ ගැසුනා. ඒ, මාර්ගය අසළ බෝ ගස් ගොන්නක් මැද පැවති පුරාණ දාගැබක් අසළ දී.
භික්ෂුව සන්සුන් ලෙස තම අත මේජර් රෝජර්ස් වෙත දිගු කොට මෙසේ කීවා, "සුදු මහත්තයෝ, තමුන්නාන්සෙගෙ වෙලාව බොහොම ළඟයි. තමුන්නාන්සෙ අපේ සහෝදරයන් මරා දමමින්, ඔවුන්ගේ ආත්මවල සැනසීම විනාශ කර දමමින් යන්නෙ. තමුන්ගෙ පවු මල්ල දැන් පිරිලා තියෙන්නෙ, හොඳට ම. ආපහු ඒ වගේ දරුණු වැඩකට තමුන්නාන්සෙ ගෙ ආවුදේ ඔසවන්න කලින්, තමුන්නාන්සෙ ට හෙණ ගහණව!"
බොහො ම ශාන්ත විදිහට ඒ වචන කියා, භික්ෂුව ආපසු ගියත්, අවට සිටි වැවිලිකරුවන් තුළ ඒ වචනවලින් ඇති කළ බලපෑම අති මහත්. මේජර් රොජර්ස් සෑහෙන වෙලාවක් ගත වන තුරු අශ්වයා පිට නොසෙල්වී සිටි අතර, ඔහුගේ දෑස් භික්ෂුව සිටි ස්ථානය වෙත එල්ල වී තිබුණා.
මේ කතාව සෑම තැනක ම පැතිරී ගියා. ඔහු ගිය සෑම තැනකදී ම පාහේ ඒ ගැන විහිළු කතා ඔහුට එල්ල වුණා. උදාහරණයක් හැටියට, ඔහු කොළඹ නාවුක සහ යුධ හමුදා සමාජ ශාලාවල දී ඔහු පිළිගැනුණේ මේ විදිහට, "හෙලෝ රොජර්ස්, තවමත් පණපිටින් නේ? අකුණ තාම වැදුනෙ නෑ නේ? අනතුරු ඇඟවුණු මිනිස්සු දිග කාලයක් ජීවත් වෙනවා..."
නමුත් මේජර් රොජර්ස් වෙනස් වුණා. ඔහු අලි දඩයම ගැන සඳහන් වුණු සෑම අවස්ථාවක දී ම වේදනාත්මක මුහුණකින් ඊට මුහුණ දුන්නේ.
නමුත් මාස කීපයකින්, බදුල්ලට ආසන්න ස්ථානයක, තනි අලියෙකු පහර දී කරත්තකාරයන් දෙදෙනෙකු මරා දැමුණා. උප දිසාපති හැටියට ඔහු ඒ තනි අලියා ගේ උවදුර අවසන් කිරීම සඳහා දඩයම් පාටියක් සංවිධානය කළා. ඊට ඇතුළත් වුණා, මධ්‍යම පළාතේ දිසාපතිවරයාත්, ඔහුගේ බිරිඳත්. ඔවුන් බදුල්ලෙන් පිටත් වී දවල් කෑමට හපුතලේ තානායමට ආවා. එතන දී හදිසියේ ඇදහැළුණු ඝර්ම කළාපයට පොදු අකුණු සහිත වැස්සකට ඔවුන් කොටු වුණා.
වැස්ස නැවතුණු පසු, වැස්ස හොඳට ම නතර වුණා දැයි බලන්න මේජර් රොජර්ස් තානායමින් එළියට අඩිය තිබ්බා. එවිට එකපාරට ම වැදුණු අකුණකින් පිළිස්සී ඔහු එතැන ම මිය ගියා. ඒ 1845 ජූනි 7...
මිය යන විට ඔහු ගේ වයස අවුරුදු 41 ක් පමණයි. ඔහුගේ දේහය භූමදාන කළේ, නුවරඑළියේ කුඩා දේවස්ථානයක සුසාන භූමියේ. අපි මේ සුසානය බලන්න ගිය විට එහි සිටි ආරක්ෂකයෙකු මට කීවා, එය බැලීමට ආ තවත් කෙනෙකු කී හැටියට, මුලින් ම ඔහු භූමදාන කළේ බදුල්ලේ වූ අතර, එතැනට අකුණු ගසන නිසා පසුව හපුතලේටත්, අවසානයේ නුවරඑළියටත් දේහය ගෙනැවිත් තිබෙන බව. කොහොම නමුත් වාර්තාවල සඳහන් වන ආකාරයට මෙහි සොහොන මත තබා තිබෙන සොහොන් ගළට සිය වතාවක් පමණ අකුණු ගසා තිබෙනවා. අදටත් ඒ සොහොන් ගල කැබලිවලට කැඩී ගොස් තිබෙනවා දැකගන්නට පුලුවන්.
මේ සොහොන තිබෙන්නේ, නුවරඑළිය ගෝල්ෆ් පිටියට අයත් භූමියේ. ඊට ප්‍රවේශ වන්නට පුළුවන්, සම්පත් බැංකුව සහ අගමැති නිල නිවාසය පිහිටි හතරමං හංදියෙන් ග්‍රෑන්ඩ් හෝටලය පාරට හැරී අඩි විස්සක් පමණ ගිය තැන ඇති ට්‍රාන්ස්ෆෝමරය අසළින් වමට හැරී, පඩිපෙල දිගේ ඇවිද යාමෙන්. ගොල්ෆ් පිටියේ කාර්ය මණ්ඩලය ඉතා ම මිත්‍රශීලී මිනිසුන්. ඔවුන් අදාළ ස්ථානය පෙන්වීමටත්, ඒ ගැන කරුණු කියා දීමටත් ඉතා කැමැත්තෙන් මැදිහත් වනවා.
මේ තියෙන්නේ ඒ ගැන ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතා කළ විඩියෝව...
පහතින් තියෙන්නේ අපේ හුටංබරස් මහතා කළ විඩියෝව...
හොඳයි - වටියි කියලා හිතනවා නං, Eco with Savidu යූ ටියුබ් චැනල් එක බලන්න... මේක හැදුවෙ, පාසලේ පරිසර කමිටුවේ අමතර වැඩක් හැටියට.
මූලාශ්‍ර
https://amazinglanka.com/wp/major-rogers-en/
https://www.greenholidaytravels.com/cemetery-of-major-thomas-william-rogers/