Friday, September 13, 2013

රුහිරෙන් පුදමි - 9 කොටස

මෙතෙක් කතාව

ශාම් දුවමින් සිටියේ ය. තව තවත් අන්ධකාරය තුළටම..... මොහොතින් මොහොත වැඩි වෙමින් නැඟී එන බල්ලන්ගේ උඩු බිරුම් හඬ තමා පසුපස ළුහුබැඳ එන්නා සේ ඔහු ට හැඟුණි.

මීටර් දෙ තුන් සියයක් යන්නට මත්තෙන් තරුණයාට හති වැටිණ. ඈතින් ඇසෙන බල්ලන්ගේ බිරුම් හඬවල් වියැකී යත්ම ඉතිරි වූයේ ශාම්ගේ සෙරෙප්පු පාර මත වදින බොල් හඬ පමණි. දිව යාම කෙමෙන් කෙමෙන් පැකිළෙන සළු පියවරයන් බවට පරිවර්තනය විය.

තම පැවැත්මේ ඇති නිස්සාරබව සිතට කාවැදීමත්, නිරාවරණය වීමේ භීතියත් විසින් තරුණයා පත්ව සිටි ගැඹුරු මෝහණය බිඳීගියේ රේල් පීලි අතර ඇති කට්ට ගල් වල පය ගැටීමෙනි. එතැනින් දුම්රිය පොළ පටුමඟට හැරුනු ඔහුගේ අරමුණ වූයේ හිස් දුම්රිය පොළයි.



අතරින් පතර විදුලි කණු සමහරක වූ විදුලි බල්බ වලින් නැඟුණු මළාණික එළියකින් දුම්රිය පොළේ අඳුර යන්තමින් මැකිණ. ලී බංකුවක, දෙකක නිදාසිටි හිඟන්නෙක්, දෙදෙනෙක් ඉඳහිට නැඟූ කෙඳිරිලි හඬ හැරෙන්නට හාත්පස වූයේ රැහැයියන්ගේ සිහින් මරු මුරුව පමණි.

දුම්රිය වේදිකාවේ වූ කුඩා කැබිනය ආසන්නයේ ම වාගේ පිහිටි ලී බංකුවක් මත ශාම් ඇද වැටිණ. හති වැටීමෙන් දුර්වල වූ හෙතෙම දහදියෙන් වැසී සිටියේ ය. සිතෙහි බලපවැත්වූ ව්‍යාකූල බව හා කම්පණය නිසා ඔහු වෙවුලන්නට ගති.

ඉදිරියට නැඹුරුව දෙදණ මත වැළමිටි ගසාගෙන, දෑත් මත හිස රඳවාගෙන තමන් කෙතරම් වේලා සිටියේදැයි ඔහුට හැඟීමක් නොවීය. තමා වෙතට එන සිහින් පියවර හඬ ඔහුට ඇසුනේ ද නැත.

‘‘ශාම්.....!’’ ඔහුට හොඳින් හුරු තරුණ කන්‍යා සොයුරියගේ හඬ.....

පාපීන් වූ අප උදෙසා දෙවියන් වහන්සේ ඉදිරියේ පෙනී සිටින මරිය මවුතුමිය.....ශාම් ට සිහිපත් විය.

තමා දෙස හිස ඔසවා බැලූ තරුණයාගේ මුහුණෙහි වූ හැඟීම නිර්මලී තවත් පුදුමයට පත් කළේය. ඈ ඔහුට තවත් ළං වූවාය.

‘‘ඔයා මොකද මෙතන කරන්නෙ?’’ ශාම් ගේ හඬ කෙඳිරිල්ලකට ආසන්න විය.

‘‘අපේ සිස්ටර්ස්ලා ඥාණකාන්ති ගිහින් ඊයෙ හවස. මම ගමනක් ගිහින් එද්දි මට පරක්කු වුණා. ඉතින් මම පාන්දරම යනවා. ඔයා මොකද මේ වෙලාවෙ? මොකද මේ ඔයා ඉන්න විදිහ.....?’’

ශාම් ඇගේ නිර්මල මුහුණ දෙස බැලිය නොහැකිව, දෑස් බිමට හරවාගති. ඇගේ සිහින් අතැඟිලි සිය හිස මත මෘදුව පිරිමැදෙද්දී..... ඔහුගේ උරහිස් තදකරගත් ඉකියකින් ගැහෙන්නට විය.

‘‘ශාම්..... ඇයි, ඇයි මේ?’’

‘‘මම..... මම..... මේ සමාජයට මහ විපතක්..... නිර්මලී’’

‘‘එහෙම කියන්න එපා ශාම්, ඔයා හරි කරුණාවන්ත කෙනෙක්.....’’

‘‘නෑ නිර්මලී..... මම..... මම.....’’ ඔහු වචන සෙවීය.

‘‘ඇයි ඔයා මෙහෙම කතා කරන්නෙ ශාම්.....?’’ ඇගේ ස්වරයේ වූ මව් උණුසුම ඔහුට හොඳින් දැනුනි.

‘‘ඇත්තටම.....’’ ඔහු හිස දෑත් තුළ ගසා ගති. ‘‘.....මට සැනසෙන්න විදිහක් නෑ, මගෙ ජීවිතය ගැන..... ඔයාගෙ යාළුව මැරුණෙත් මගෙ අතින්.....’’

නිර්මලී ඔහුගේ හිස සිය දෑතින් අල්ලා ඉහළට එසවූවාය. තම දෑස් තුළට එබුණු ඇගේ දයාන්විත දෑස් වල පැවති විස්මය ශාම් හොඳින් දුටුවේය. ඈ දෑතින් ම තරුණයාගේ හිස අල්ලාගෙන ඔහුගේ මුහුණ සිය ළය මත තද කරගත්තාය. ඇගේ සිහින් සිරුර ගැහෙනු ඔහුට දැනුනි.

නිහඬ කාලාන්තරයක් තිස්සේ ඇගේ දෙකොපුල් කඳුළින් වැසී ගියේ ය.

‘‘නෑ ශාම්, නෑ. ඔයා ඒ වගේ නෙවෙයි.....’’ හැඬුමින් ඇවිරුණු ඇගේ කටහඬ..... ‘‘ඔයා හරි කරුණාවන්ත....., හොඳ කෙනක්. පසුතැවිලි වීම උවමනා නැති ධර්මිෂ්ඨයන් අනූ නවයකට වඩා.....’’

‘‘.....පසුතැවිලි වන එක් පව්කාරයෙකු ගැන ස්වර්ගය ප‍්‍රීති වන්නේය..... මට මතකයි.....’’ ශාම් වාක්‍යය පිරවීය. ඔහු සිය මුහුණ කන්‍යා සොයුරියගේ ළය මත තද කරගනිමින් ඇගේ ඉඟවටා දෑත් පටළා ගති.

‘‘ශාම්.....’’ දිගු වේලාවකට පසු නිර්මලී නිහඬතාවය බින්දාය.

තරුණයා හිස එසවීය.

‘‘අපි මොනව හරි බොමුද.....? මේ හරියෙ තියෙනවද දන්නෑ එහෙම තැනක්?’’

දුම්රිය පොළ අවදි වෙමින් තිබූ බව පෙනුනි. ජර්සි පොරවාගත් මඟීන් කිහිප දෙනෙක් ටිකට් කවුන්ටරය අසළ පේළියක් සෑදී සිටියහ.

ශාම් සෙමෙන් නැඟිට ඇගේ ගමන් බෑගය ඔසවා ගත්තේය.

‘‘යමු.....’’

ඔහු ඉස්සර විය. කුඩා කන්‍යා සොයුරිය ඔහු පස්සෙන් වැටුණාය. දුම්රිය පොළෙන් පිටට පැමිණි ඔවුහු පින්නෙන් පෙඟුණු පටු මඟ දිගේ පියනැඟූහ. පටු මාවත හා මහපාර හමුවන තැන වූ දිළිඳු තේකඩය විවෘතව පැවතිණ. සීත වාතස්කන්ධය මැද විවෘතව පැවති එකම උණුසුම් ඒකකය එය විය.

බිත්ති වෙනුවට ලෑලි ගසා, අඩක් දිරා ගිය ටකරන් සෙවිළි කළ කුඩා තේ කඩයේ ඉදිරිපස එල්ලූ කෙසෙල් කැන් කිහිපය සෙමෙන් පැද්දිණ. පාන්දර දුම්රිය අල්ලාගැනීමට පැමිණි කිහිප දෙනෙක් එහි ඉදිරිපස සිටගෙන සිටියහ. තේ වීදුරු හෝ දැල්වෙන දුම්වැටි අතැතිව ගුමු ගුමුවක ගිළී සිටි ඔවුහු, තමන් පසු කොට කඩයට ඇතුල් වූ තරුණ යුවළ දෙස හොඳින් බැලූහ. පරණ ලෑලි වලින් සෑදුණු කවුන්ටරය පිටුපස පුටුව මත, සුරුට්ටුවක් කටේ රුවාගත් තරබාරු වයසක මිනිසෙක් අඩනින්දක පසුවිය.

කඩය ඇතුලේ තිබූ මේසය දෙපස වූ බංකු දෙක මත, දෙදෙනා මුහුණට මුහුණලා වාඩිවූහ. ස්වල්ප මොහොතකින් චීත්තයක් සහ ජර්සියක් ඇඟලා ගත් කඩිසර මහළු කාන්තාවක් ශාම් වෙත පැමිණියා ය.

‘‘ඔයා කෝපි බොනවද?’’ තරුණයා සිය මිතුරියගෙන් විමසීය.

ඈ හිස සැළුවා ය.

‘‘කෝපි දෙකයි, සිගරැට් හතරයි’’ ශාම් ඇනවුම් කළේ ය. ‘‘මොනව හරි කනවද.....?’’

ඈ හිස දෙපසට වැනුවේ ළදැරියකගේ බඳු සුරතල් බවකිනි.

මහළු කාන්තාව ගෙන ආ සිගරැට් තුනක් උඩ සාක්කුවට රුවාගෙන ඉතිරි එක මුවග රඳවාගත් තරුණයා, සිය කළිසම් සාක්කු තුළ යමක් සෙවීය. ඉන්පසු කමිස සාක්කුව තුළ..... ඔහුගේ මුහුණ ඇදී ගියේ ය.

‘‘මගෙ ලයිටරෙත් නැති වෙලා.....’’ හෙතෙම මේසය මත වූ ගිණිපෙට්ටිය අතට ගනිමින් කීය. ගිණිකූරක් ගැසූ ඔහු, සිගරැට්ටුවට මඳක් පහතින් ගිණි දැල්ල අල්ලා එහි උණුසුමින් සිගරැට්ටුව දල්වා ගන්නා අයුරු නිර්මලී උනන්දුවෙන් බලා සිටියාය.

ජෝගුවක් තුළ සීනි කූරුගානා ටක ටක හඬ කඩයේ පිටුපසින් නැඟෙන්නට විය. මොහොතක ඇවෑමෙන් දුම් දමන කෝපි කෝප්ප දෙකක් ඔවුන්ගේ මුහුණු ඉදිරිපිටට ආයේය.

‘‘ඔයා හිතන්නෙ ඔයා විතරයි කියලද.....?’’ කන්‍යා සොයුරියගේ පහත් කටහඬින් ඔහු ගැස්සිණ. හිස එසවූ ඔහුට, සිය කෝපි කෝප්පයෙන් නඟින වාෂ්පය අතරින් ඇගේ සුදුමැළි නිර්මල මුහුණ දිස් විය. ‘‘..... මටත් මේ ක‍්‍රමය ඔරොත්තු දෙන්නෙ නෑ. ජේසුතුමා දේශනා කරපු දයාවන්ත දෙවියන් වහන්සේ වෙනුවට, මෙහෙ ඉන්නෙ පොල්ලක් වගේ දැඩි..... අපිට දශමයක්වත් හෙල්ලෙන්න දෙන් නැති..... කොහොමහරි, මම බලාපොරොත්තු වුණ දේ නෙමෙයි මෙහෙ තියෙන්නෙ..... හිර කූඩුවක් ශාම්. මට යන්න වෙන තැනක් නෑ. මං හැදුණෙ අනාථ නිවාසෙක..... ඒ නිසා මෙතන ඉන්නව මිසක්.....’’

‘‘..........’’

‘‘ඔයා මොකද කරන්නෙ දැන්.....?’’

‘‘මට මෙහෙන් යන්නයි හිතෙන්නෙ.....’’

‘‘කොහෙටද යන්නෙ.....?’’ නිර්මලී ඇසුවාය.

‘‘මම..... මම යනවා ගෙදර..... බදුල්ලෙ ෆයර්මවුන්ට් වල..... මෙහෙන් හැතැප්ම ගාණක් උඩහට.....’’

දුම්රිය සංඥා කණුවේ ටං ටං හඬින් තේ කඩයේ ඉදිරිපස සිටි මිනිස්සු කළබල වූහ. තරුණ යුවළ කඩිමුඩියේ බිල ගෙවා එළියට එද්දී, දුම්රිය ඔවුන් ඉදිරියෙන් දැවැන්ත යකඩමය හඬ මාළාවක් නංවමින් ඇදී යමින් පැවතුණි. ශාම් කන්‍යා සොයුරියගේ බෑගය ද රැගෙන දුම්රිය පොළ දෙසට දිවයන්නට තැනුවද, ඈ ඔහුගේ අතින් අල්ලා එය වැළැක්වූවාය.

‘‘මාත් එන්නම් ඔයත් එක්ක...?’’

‘‘නිර්මලී....’’

‘‘මාවත් එක්ක යන්න ශාම්, මටත් මේ ඔක්කොම එපා වෙලා. මං දන්නව ඔයා මේ ඉන්න අවස්ථාව එහෙම දෙයක් ඉල්ලන්න සුදුසු නෑ තමයි. ඒත්... මටත් වෙන තරන්න දෙයක් නෑ. කෙල්ලෙකුට මේ සමාජයෙ තනියම නැගී හිටින්න හරිම අමාරුයි. ඒත් ඔයා මට උදව් කරනවනං..... මම දන්නවා ඔයා එහෙම කරයි කියලා..... මටත් පුළුවන් නොදන්න පළාතකට ගිහින් ජීවිතේ අලුතෙන් පටන් ගන්න. මං බරක් වෙන්නෙ නෑ ඔයාට. මට රස්සාවක් හොයාගන්නත් පුළුවන් වෙයි.....’’

දුම්රිය සෙමෙන් සෙමෙන් සිය ගමන නැවත ආරම්භ කරද්දී, දෙදෙනා තේ කඩයෙන් එළියට බට හ. මෙතෙක් වේලා තේ කඩය තුළ අඳුරේ සැඟවී සිටි ඡායාවක් අඳුරෙන් මෑත් විය.

මීළඟ කොටස...

Saturday, September 7, 2013

රුහිරෙන් පුදමි - 8 වන කොටස

මෙතෙක් කතාව


තෙත් බර සුළඟ කුළී රියේ කවුළු හරහා ගළා ගියේය. හෙම්බත් ව සුක්කානම මත හිස තබාගෙන නින්ද ගොස් සිටි වික‍්‍රම, ඇට මිදුළු දක්වා කාවදින සීත සුළඟින් නොකැමැත්තෙන් මෙන් හිස එසවීය. නිඳිමත බේරෙන දෑස ආයාසයෙන් විවර කරගත් හෙතෙම, දෑත් පොරවාගෙන ගැහෙන්නට ගති. මඳ අඳුරින් වැසී ගත් පාර අයිනේ නොඉවසිලිමත්ව උනුන් වෙත තුරුළු වූ යුවළකගේ අඳුරු ඡායාවක්, වාෂ්පයෙන් බොඳ වී ගිය වින්ඞ්ස්ක‍්‍රීනය හරහා ඔහුගේ ඇසට ලක් විය.

වික‍්‍රම දිගු හුස්මක් හෙළීය. ‘‘වාසනාවන්ත බැල්ලිගෙ පුතෙක්.....’’ ඔහු තමන්ටම කොඳුරාගති. සිය දෑස් ඔවුන්ගෙන් මුදවා ගත නොහැකි බව කුළී රියදුරාට දැණින. ඔහු ඒ සඳහා තැත් කළේ ද නැත.

පාර අයිනේ දැවැන්ත ගසක සෙවණ යට අඳුරින් වැසීගෙන, ශාම් සහ ඔහුගේ මිතුරිය නතරව උන්හ.

තරුණිය ඔහුගේ තුරුළේ උණුසුමට වැදුණාය, බර සුසුම් හෙළමින්..... ශාම් ඇගේ ඉඟ වටා යැවූ වමතින් ඇගේ උණුසුම් සිරුර තමා වෙත තෙරපා ගති. වේගයෙන් උස් පහත් වන ඇගේ ළැම ඔහුගේ ළය මත තෙරැපිණි. මුළු සිරුර පුරා ශක්තිය බෙදා හරින්නට, නහර ඔස්සේ රුධිරය විහිදුවන්නට ඇගේ හදවත තදින් ගැහෙනු ඔහුට දැණින.

තරුණියගේ දෙකොපුල්, අඩවන් ඇසිපිය මත ඔහුගේ උණුසුම් ප‍්‍රාශ්වාසය පතිත වත්ම, ඇගේ දෑස් සෙමෙන් පියවී ගියේය.ඇගේ කුඩා සිහින් අත්, ඔහුගේ සිරුර වැරෙන් අල්ලාගති. ශාම් සිය ඇඟිළි තුඩින් ඇගේ දෙකොපුල් සියුම් ලෙස පිරිමදිද්දී, ඇගේ සම මතුපිට ආරෝපණයක් මෙන් සියුම් හිරියක් දිව ගියේය.

ශාම් දෑතින්ම ඇගේ ඉඟටිය ග‍්‍රහණය කරගනිමින් ඇගේ සැළෙන තෙත් දෙතොල් මතට පහත් විය. යාන්තමින් විවර වූ ඇගේ තෙත දෙතොල් මත ඔහුගේ දෙතොල් තෙරැපී ගියේය.

සිය දෙතොල මත සියුම්ව ඔහුගේ දත් වල තුඩු තද වෙනුද, එසැණින් ම සිය දෙතොල් ඔහු තදින් උරාබොනු ද ඈ හැඟුවාය. එතැන ඇගේ දෙතොලේ සුමුදු සම මත ඔහුගේ ඔහුගේ දඩයම් දත්වල තුඩු තදින් තෙරැපී ගියේය. ඇගේ දෙතොල ඔහුගේ දත්වලින් මෘදුව සිදුරු වීමට ගතවූයේ නිමේශයකි. එසැණින් උණුසුම් රුධිරය ගළා එන්නට වන. ශාම් සිය දෙතොළින් ඇගේ දෙතොල තදින් උරා බොද්දී ඒ රුධිරය  ඔහුගේ මුව තුළට ඇදී එන්නට විය. ලේ රස තරුණයාගේ පිපාසිත උගුර හරහා ගළා ගියේය.

තරුණියගේ දෑත් ඔහුගේ ගෙළ වටා තදින් වෙළි ගියේ ඇගේ උණුසුම තවත් ශාම් මත තෙරැපෙන සේය. සරාගී මෝහනයකින් ඈ තවත් තරුණයා වෙත තුරුළු වෙද්දී, ඇගේ දෙතොල් තව තවත් ඔහුගේ දතින් ඉරී යන්නට විය.

අනන්තය තරම් දැනෙන කාලාන්තරයක් ගත වී ගියේ ය. තරුණයාගේ කෝටු වැනි සිහින් ඇඟිලි ඇගේ හිසකේ අතරින් ඇදී ගියේය. නොඉවසිලිමත් තදියමක සේයාවක් එම ඇඟිලි අතර විය.
සිය කෙස් අතරින් ගෙළෙහි සුමුදු සම මතට ඔහුගේ ඇඟිලි තුඩු පැමිණෙනු හා සමඟම, ඔහුගේ තෙත් දෙතොල් තම වියළි දෙතොල් මතින් එසවෙනු ඈ හැඟුවාය.

තරුණියගේ ඇසිපිය දුබල ලෙස සෙමෙන් එසවිණි. නිද්‍රාශීලී මෝහනයක් ඇගේ සිරුර පුරා පැතිර ගොස් තිබුණේ නිර්වින්දනයට ලක් වූවා මෙනි. ඈ හේතුවක් නොසළකා සෙමෙන් සිනාසුණාය. තරුණයාගේ ඇඟිලි තුඩු ඇගේ උගුර දෙපස වූ ධමනි මතින් ඇදී යද්දී, සියුම් ගැස්මක් ඇගේ රුධිර නාල දිගේ ඉහළට දිව ගියේ ය.
ශාම් සිය සුදුමැළි සුරතින් ඇගේ ගෙළෙහි කණ පිටුපස සුමුදුව පිරිමදින්නට ගති. සම මතින් දිව යන ඇඟිලි තුඩගින්, ගොරෝසුවට..... සිහින් හිරියක් සම යටින් දිවයන්නා සේ.....

ඈ තම සිහින් දෑතින් ඔහු තරයේ වැළඳගත්තී ය. හාත්පස වූ රැහැයියන්ගේ මරු මුරුව එක්වණම නැවතිණ..... නැවතිණ.

ඈත කඳු වළල්ල අතරින් මීදුම ගළා එන්නට විය. පාරේ දෙපස ගිළගනිමින් මීදුම සෑහෙන තරම් වේගයකින් ගළා ආයේය.

සිහින් වූ දෑසින්..... යන්තම් විවර ව සැළෙන දෙතොළින් නිකුත් වූ සිහින් කෙඳුරුමක් සමඟින් ඇගේ හිස සෙමෙන් පිටුපසට ඇළ වෙන්නට..... නිශාචරයාගේ දෑස් ඉදිරියේ ඇගේ ගෙළ නිරාවරණය වී ආයේ ය.

තරුණියගේ සිරුර වටා යැවූ එක් අතකින් ඇගේ හිස දරාගත් ශාම් අනෙක් අතින් ඇගේ ගෙළ මත පිරිමැද්දේය. ඈ සිය දෙතොල් අසළම වූ, සිය හිස දරා සිටි ඔහුගේ අතැඟිලි තුඩු සිපගන්නට තැත් කළාය.

ඇගේ ඉඟ වටා යැවූ අතින් තරුණයා සිය මිතුරිය තම සිරුරට වැරෙන් තෙරපා ගති. ඇගේ ගෙළ මතට ඔහුගේ හිස නැඹුරු විය. ඇගේ උගුර දෙපස තදින් ගැහෙන ධමනි මත ඔහුගේ තෙත් සුසුම්.....

එකිනෙක ගැටී තදවුනු දත් අතරින් වේගවත් ප‍්‍රශ්වාසයක් හෙළමින් ශාම්, ඇගේ ගෙළ මතට පහත් විය. උණුසුම් රුධිරයෙන් පිරි ධමනි මත වියරු දෙතොල් තෙරුපිණ. හෙතෙම තදින් එතැන සිපගත්තේ ය.

සිය උගුර දෙපස ධමනි මතින් ඔහුගේ දඩයම් දත් තුඩු වල පහස තරුණිය හැඟුවාය. නිමේශයකින් එතැන සම විනිවිද පිපාසිතයාගේ දත් තුඩු කිඳා බසින්නට විය.

දඩයම් දතින් ධමනි බිත්තිය සිදුරුවූ සැණින් ලේ දහරක් විදින්නට විය. සරාගී බවින් උණුසුම් වූ ඇලෙන සුළු උණුසුම් රුධිරය..... ඇගේ හද ගැස්මට අනුරූපීවම ගැස්සි ගැස්සී ශාම් විවර දෙතොලතරට විදෙන්නට ගති. ළදරුවෙකු කිරි උරාබොන්නාසේ ඔහු තරුණියගේ ගෙළෙහි සිය මුව තෙරපමින් ඇගේ ලේ දහර උරාබොන්නට වූයේය. රතුවන් උකු රුධිරයේ ප්‍රෝටීනමය රසය පිපාසිතයා ප‍්‍රාණවත් කරන්නක් විය.


වික‍්‍රම මේ අතර සිය කුළී රියේ සියළුම කවුළු වසාගෙන සිටියේය. ඔහුගේ දෑස් භීතියෙන් විදැහී තිබුණි. තවදුරටත් රැඳී සිටිමින් සිය පැවැත්මට බිහිසුණු අවසානයක් උදා කර නොගන්නට ඔහු තීරණය කළේ නිරායාසයෙනි. ඔහු හඬක් නොනැගෙන සේ කාරයේ යතුර කරකැවීය. 

කාරයේ ප්‍රධාන ලාම්පු දැල්වී, ඇන්ජිම වරක් හෝ දෙවරක් අණ ඇද නතර වූවා පමණකි. ලේ මිදෙන තරම් වූ සීතල විසින් ඇන්ජිම අප්‍රාණික කර තිබුණු සෙයකි. නැවත නැවතත් - නැවත නැවතත් වික්‍රම යතුර ඉග්නිෂන් ස්විචය වෙත කරකැවීය. දැන් නම් මෙතැනින් පැන යා යුතු ම ය. ඊට වේගවත් බව උවමනා ය... කාරය කෙසේ හෝ පණ ගැන්විය යුතු ය.

එසැණින්ම කඳුකරයේ සිට පිපාසිත උඩුබිරුමක කාලකණ්ණි රාවයක් ඇදී ආයේ ය. වේගයෙන් ගළා ආ වළා රැසකින් ආවරණය වන්නට වූ සඳෙන් ගැළූ අවසන් රස් දහරින්, තරුණයාගේ සුදුමැළි කෙට්ටු මුහුණ ගැහැණියගේ ගෙළ මතින් එසැවීතමන් වෙත හැරෙනු මීදුම බැඳී බොඳ වූ වින්ඩ් ෂීල්ඩය හරහා වික‍්‍රමගේ බියපත් දෑසට හසු විය. නිශාචරයාගේ දැස් ගිණිගෙන දැවෙන්නා සේ ඔහු දිටීය.

කාරය පනගැන්වුණු හඬ ඈත කඳුකරය දක්වා විහිදී, දෝංකාර දෙන්නා සේ රියදුරාට හැඟිණ.

එකෙණෙහි සඳ වැසී ගියේ ය. කළුවර මැද්දේ ගියර් ලිවරය කිහිප විටක් ඒ මේ අත හරවන්නට වික්‍රම ගේ වෙව්ලන වමත ට සිදු විය. අවසානයේ රිවස් ගියරය දමා, වමට හරවමින් වේගයෙන් පසුපසට ගත් කුළී රිය පසුපස වූ විදුලි පහන් කණුවේ වැදෙනු රියදුරාට දැනුණි. ලෝහමය හඩක් නගමින් පදික වේදිකාව මතට වැටුණේ කාරයේ පසුපස බම්පරය වන්නට ඇත. එය නොතැකූ ඔහු, පාර මැද දැවැන්ත යූ හැරවුමක් කොට, විදුලියක් සේ කාරය පදවන්නට ගති. එකෙන් තුනට..... තුනෙන් පහට..... ගියර මාරු වූයේ කෙසේදැයි ඔහුම නොදත්තේ ය. කඳුකරයේ සිට ඇදී ආ උඩුබිරුම් රාවය නිදිබර සිහින දකිමින් පසුවූ ගම්බද පෙදෙස වසාගෙන, ඈත එපිට දක්වා විසිරී ගෙවී යද්දී, සෑම අතකින්ම විවිධාකාර උඩුබිරුම් නැඟී වාතස්කන්ධය පිරී යන්නට විය.

තමන් වෙනදා ඉතා ප්‍රවේසමින් වාහනය පදවන පල්ලම්, හෙල්, ප්‍රපාත හා වංගු බහුල පාරේ එදා අධික වේගයෙන් රිය පැදවූයේ කෙසේදැයි වික්‍රම පසුව කල්පනා කරන්නට ඇත. එහෙත් ඒ මොහොතේ ඔහුගේ සිතෙහි වූයේ පුන පුනා කියැවුනේ "...අග්‍ර දේවදූත මිකායෙල්, මරිය මවු තුමියනි, ජේසු තුමනි මා රැක ගත මැනවි..." යන කෙටි යාඥාවයි. කාර් රථය ද  බෑවුම් සහිත පාළු පාරේ විටෙක මතුපිටට අඟල් කිහිපයක් ඉහලින් යමින් ධාවනය කෙරුණේ කාපට් පාර ඉරා දමන්නට මෙනි.

වංගු සහිත තැන් වල දී පවා කාරය ආ වේගයෙන්ම ඉදිරියට පැදවුනේ ය. බියපත් වූ සිරුරෙන් නැඟුනු දාහයෙන්, මෝටර් රථය තුළ මඳ උණුසුමක් පැතිරෙමින් තිබුණේ ය. පාරය නැමුණු දැවැන්ත ගස් අතුවල අගිසි කැඩෙන හඬ... මීදුම තුළ දිස්නය දෙන වීදි ලාම්පු වල මළාණික එළිය... ඒ අතරම, සිය ආසනය පිටුපස ඇන්ද සිතල වේගෙන යනු ද, පාංශුමය සුවඳක් සහිත සීතල තෙත්බර බවක් රථයේ පිටුපස සිට ඉදිරියට පැතිරී එනු ද වික්‍රම ට දැනුණි.

------------------------------------------------

පින්නෙන් තෙත් වූ සුදු හෙල්මටයේ වයිසරය වමතින් පිස දැමූ සාජන් තිලකරත්න, කොස්තාපල් සපරමාදු දෙස බැලී ය. 

"මොන මගුලක්ද අයිසෙ ඔය විට කෑම?" කොස්තාපල් තඹ පැහැයට හැරෙමින් තිබූ උඩු රැවුල දෙපසට විහිදී කහට බැඳුනු දත් දෙපෙළ ඉස්මතු වන සේ සිනා සී තම ජ්‍යෙෂ්ඨ සගයා දෙස බැලීය.

පොලිස් නිලධාරියන් සිටියේ, කාපට් පාර අයිනේ සිටුවා තිබූ, වේග සීමාව දක්වන පුවරුව ට අඩි කිහිපයක් ඔබ්බෙන් දැවැන්ත ගසකට මුවා වී ය. එතැනට අඩි කිහිපයක් ඈතින් පිහිටි බස් නැවතුම පිටුපස ඔවුන්ගේ සුදු පැහැ ජවාධික මෝටර් සයිකලය සඟවා තිබුණි.

"බලනවකො අයිසෙ, මේ යක්කු ගස් නගින වෙලාවෙ පාරෙ වාහනයක්වත් යනවද කියල. බම්බුවෙ ටාගට් කවර් කරන්ඩ කියල අපිව පාරට දැම්මෙ... අර ඕ අයි සී කාරය සමාදානෙ සැතපෙන්ඩ..."

පාරේ වම් පස අන්තයේ පල්ලම සීග්‍රයෙන් බසිනා මෝටර් රථයක හඬ ඈත සිට දෝංකාර දී ඇසුණි.

"අන්න අන්න... බීපු ටැක්සි කාරයෙක්ද කොහෙද... නවත්තගන්නව ආච්චිට හාල් ගරන්ඩ ඕකගෙ..." සාජන්, කොස්තාපල් ගේ උරහිසින් අල්ලා තල්ලු කළේ ය.

විට මුසු කෙළ පාරක් ගස මුලට එල්ල කළ සපරමාදු, පාරට පැන දකුණත එසවී ය. වේගය වැඩි වෙමින් ඉදිරියටම ඇදී ආ කුළී රිය තිරිිංගයට මෙල්ල නොවී ය. කොස්තාපල් දෑත ම ඔසවාගෙන පාර මැදට පැන ජීවිතය බේරා ගනිද්දී, කාරය පදික වේදිකාව උඩින් ගොස් සාජන් මුවා වූ ගසේ වැදී නතර විය. ගස හෙල්ලුම්කෑවෙන් එහි මුදුනේ සිට වවුලන් රෑනක් වළාකුළක් මෙන් ඉහළට නැඟ විසිරී ගියහ. කාරයේ ඉදිරිපස දොර දෙකෙහි වීදුරු මකුළු දැලක් මෙන් කුඩුවී ගියේ ය. වාහනයේ නළාව එකදිගට වැදෙමින් පැවතුණි.

සාජන් විදුලිපන්දම දල්වා කාරයේ ඉරි තැළුණු වින්ඩ්ෂීල්ඩය හරහා යොමු කළේ ය. කුළී රථයේ රියදුරා ඉදිරිපසට නැඹුරු වී සිටි අතර, ඔහුගේ නළල සුක්කානම මත වැටී තදවී තිබුණි.

"අයිසෙ සපරමාදු... බලනව බලනව මුුං මැරිලද කියල..."

කොස්තාපල් මහත් සේ වෑයම් කොට වම්පස ඉදිරි දොර ඇරියේ ය. 

"ඔය උලව් හෝන්නෙක නවත්තනව අයිසෙ... මළ වදයක් උනානෙ මේක..."

"ඩ්‍රයිවර් නං මැරිල නෑ සාජන්. සිහි නැති වෙලා විතරයි..."

"අනිකා?"

"මොන අනිකෙක්ද සාජන්? ඩ්‍රයිවර් විතරයි ඉන්නෙ..."

"මං දැක්කනෙ අයිසෙ පිටිපස්සෙ සීට් එකේ එකෙක් ඉන්නව වගේ. හොඳට බලනව."

සපරමාදු පිටුපස දොර ද ඇර විදුලිපන්දම දල්වා බැලී ය.

"ඔහෙ නෑ සාජන්... ඒ මීදුමට පෙනිච්ච හැටි වෙන්ඩැති..."

 ---------------------------------------------

වළා බර වූ අහසින් ගළා ආ සඳ එළිය ප‍්‍රමාණවත් වූයේ, පාර මත වූ දේවල් වල දළ හැඩය පමණක් දැකගැනීමට පමණි. හාත්පස පැතිරී තිබූ, ලේ පවා කැටිගැසෙන සීතල නොතකා පොලිස් කාරයා පාර මැද සිටගෙන සිටියේ ය. ඔහු අසළම පිටුපසින් පොලිස් ජර්කින් එකක් පොරවාගත් වික‍්‍රම සිටියේ වෙව්ලමිනි. ඔහුගේ නලලෙහි වම්පස ලෙයින් වැසි ඉදිමී ගොස් තිබුණි.

වේගයෙන් ඇදී ආ පොලිස් ජීප් රථය නැවතුණේ, පොලිස් බයික් එක පිටුපසිනි. එහි පිටුපස දොර ඇරගෙන විකුම් එළියට බැස්සේ ය. ඉන්පසු අකිල ද, ඊට පිටුපසින් ඇඩම් ද ජීප් රියෙන් එළියට බටහ. කළු වස්ත‍්‍රධාරියා ඉදිරිපස අසුනෙන් එළියට බට පොලිස් පරීක්ෂකවරයා ද සමඟ පාර මැද වූ පොලිස් නිලධාරියා වෙත ගියෙන්, තරුණයන් දෙදෙනා හට සෑහෙන නිදහසක් ලැබුණි.

‘‘මොනවත් අතින් අල්ලන්න එපා මචං, මගෙ පිටිපස්සෙන් ම හරි එහෙම නැත්තං වඩා හොඳයි උඹ පාරෙ ඉඳපන්’’ කියමින් විකුම් සිය සාක්කුවකින් ගත් සැත්කම් අත්වැසුම් යුවළක්, බුහුටි ලෙස සිය දෑත් වල පැළඳගත්තේ ය.

මුලින්ම ඔහු ගේ පිරික්සුමට ලක් වූයේ පාර අයිනේ තණ පත් මත වැතිර තිබූ ස්ත‍්‍රී සිරුරයි. ඊට හෙතෙම සැර එළියක් සහිත කුඩා විදුලි පන්දමක් ද ආධාර කරගති. තත්පර දහයක් පමණ ඔහු ඇගේ මුළු සිරුරම පිරික්සීය. වේගවත් ගිළන් රථයක හඬ ඈත සිට ළංවෙද්දී විකුම් තණපත් මත වූ යම් හෝඩුවාවන් නිරීක්ෂණය කරන්නට පටන් ගත්තා පමණි.

අකිල සිය මිතුරා වෙත ළංවිය.

‘‘හ්ම්.....’’ විකුම් කීය. ‘‘පුළුවන්නං ඇම්බියුලන්ස් එකේ නැගලා ගිහින් හරි, ඒකත් එක්ක යන වාහනේකින් ගිහින් හරි  ඔය කෙල්ලට මොකද වෙන්නෙ කියල බලාගනිං. සෑහෙන්න ලේ ගිහින් වගේ. හොඳ වෙලාවට මොළේට ලේ යන ප‍්‍රධාන ධමනි දෙකට හාණි වෙලා නෑ වගේ පේනවා. දැනට ලේ ගළන එක බොහොම අඩු වෙලා තියෙන්නෙ. කෙල්ල ජීවත් වුණොත් අපේ වැඩට ගොඩක් පහසු වෙයි. මං තව හෝඩුවාවක් දැක්කා. මං ඒක පාරෙ යනවා. පරක්කු වුණොත්..... මං උඹලෑ ගෙදර එන්නං’’

මීළඟ කොටස...

Monday, September 2, 2013

රුහිරෙන් පුදමි - හත් වෙනි කොටස

(සඟරාවෙ පළ වුනු තරම එච්චරයි... ඉතිරි ටික තිබුණු අත්පිටපත හොයාගන්න ටිකක් දවස් ගියා. සමහර තැන් අලුතින් ලියන්නත් වුනා. ඩ්‍රැකියගෙ භවනෙ මේ දවස් වල බාස්ලා යකා නටනවා, හරියට ලබ්බෙ කානිවල් එක වගේ. සුධීහු කමත්වා....)

මෙතෙක් කතාව

3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස

දෙදෙනාම බලා සිටියේ අඩක් විවර ලී ගේට්ටු අතරින් ඇතුල් වන අඳුරුවන් රුව දෙස ය.

විකුම් වමත ඔසවා ඔරලෝසුව දෙස බැලීය.

‘‘හයයි..... හරියටම.’’

කළු වස්ත‍්‍රධාරියා අකම්ප්‍ය පද පාතයෙන් මිතුරන් දෙදෙනා වෙත පියනඟා ආයේය.

විකුම් නැඟී සිටියේ ය. ඔහුගේ මුවෙහි නැඟුණු සුහද සිනාව එලෙසම ගල් ගැසිණ. ආගන්තුකයාගේ හැඟීම් රහිත සුදුමැළි මුහුණින්, තරුණයාගේ මිත‍්‍රශීලී බව නතර කෙරුණාක් මෙනි.


‘‘ඔයා කලින්ම ඇවිත්’’ ඔහු දිගු කළ අත විකුම් අල්ලාගත් විට තරුණයා ගේ සිරුර පුරා සියුම් වෙව්ලීමක් දිව ගියේ යැයි අකිල සිතීය.

‘‘ඔයාගෙ යාළුවා.....’’

‘‘මේ අකිල.....’’ විකුම් තම මිතුරා දෙස බලා මඳ සිනාවක් පෑවේය. ‘‘මේ ඇඩම් ඇන්ඩර්සන්’’

‘‘අඳුනගන්න ලැබීම සතුටක්’’ ඇඩම් තම සුරත දිගු කළේය. එය අල්ලාගත් අකිලට තම ඇඟිලි මත මෘදු සීතල පහසක් දැණින.එම දිගු ඇඟිලි තුළ වූ අයෝමය ශක්තිය ද ඔහුට නොදැනී නොගියේ ය. කෙසේ හෝ එය සුරක්ෂිත බවින් පිරුණු සුරතක් විය.

‘‘ඉතින්,’’ ඇඩම් ඔවුන් දෙදෙනා අතරින් ඉඳගති. ‘‘අපි අඳුනගත්තා....., අපි දෙගොල්ලොම එක පැත්තෙ බව දැන නොගන්න, ඔය දෙන්නා අපරාදෙ මා පස්සෙ ඇවිත් මහන්සි වෙනවා.’’ ඒ සීතල ස්වරයේ, තමන් ගැනම වූ අධිතක්සේරුවක සේයාවක් විකුම් ට හැඟිණ.

‘‘හොඳයි..... අපි කතාව පටන් ගමු එහෙනම්. මම හිතන්නෙ ඉස්සරවෙලාම මම පැහැදිළි කරන්න  ඕනෙ, ඇයි මම මේකට මැදිහත් වෙන්නෙ කියන එක.’’ ඇඩම් දෙදෙනා දෙසම බැලීය.

‘‘මම පැරාසයිකොලොජිස්ට් කෙනෙක්.....’’

අකිල විකුම් දෙස බැලීය. ඔහුගේ දෙනෙතේ වූ බැල්ම ඇඩම්ට හසු නොවී ගියේ නැත. ඔහු මඳ සිනාවක් පැවේය.

‘‘මම..... ඒ කියන්නෙ..... අපි මෙහෙම තේරුම් ගමු. දැන්..... මේ ලෝකෙ, මේක භෞතිකයිනෙ. ඒ කියන්නෙ, අපිට පේන, ඇහෙන, ස්පර්ෂ වෙන දේවල් තමයි තියෙන්නෙ. ඒ කියන්නෙ..... ඒ කියන්නෙ ඒ හැම දේකම පැවැත්ම අපිට තාර්කිකව ස්ථිර කරන්න පුළුවන්. නමුත්, කොහොමද, අපට එහෙම තාර්කිකව ඔප්පු කරන්න බැරි දේවල් ගැන?’’

‘‘ඒ කිව්වෙ?’’ අකිල අමුතු දෙයකට හුරු වීමට තැත් කරන දරුවෙකු, වැඩිහිටි ගුරුවරයෙකු දෙස බලන්නා සේ ඇඩම් දෙස බැලීය. විකුම් සිය සුරතේ ඇඟිලි තුඩු මතට හිස පහත් කරගති.

‘‘මේ ගැන හිතන්න, මනෝ විද්‍යාව කියලා ලොකු විෂයයක් තියෙනව, යුරෝපයේ නම් දැනට අවුරුදු දෙසීයකට වඩා කල් ඉඳන්, පෙරදිග නම් අවුරුදු දෙදාහකට වඩා කල් ඉඳන් මේ ගැන කතිකාවල් ඇති වෙලා තියෙනවා. ඒත්, මිනිස් මනස තියෙන්නෙ සිරුරේ මොන ප‍්‍රදේශයකද? සිරුර මිය ගියාට පස්සෙ මනස ට මොකද වෙන්නෙ? මිනිස් මනස අපි කොහොමද තියෙනවද නැද්ද කියලා භෞතිකව ඔප්පු කරන්නෙ?’’

අකිල ඇසි පිය නොහෙළා පාරමනෝවිද්‍යාඥයා දෙස බලා සිටියේ ය. විකුම් සිගරැට්ටුව එක දිගට උරමින් ගැඹුරු කල්පනාවකට වැටී සිටින බවක් පෙනිණ.

‘‘.....අන්න ඒක තමා මගෙ සබ්ජෙක්ට් එක. අරමුණක දැඩිව එල්බ ගෙන හිටපු මනසක්, සිරුර මිය ගියාට පස්සෙත් ඒ අරමුණ ඉටුකර ගන්න උත්සාහ ගන්න අවස්ථා, සෑම සංස්කෘතියකින්ම වගේ, සෑම කාලයකදිම වගේ වාර්තා වෙලා තියෙනවා......’’

‘‘හොල්මන්, අවතාර වගේ දේවල් කොහොමද අපේ කටයුත්තට සම්බන්ධ වෙන්නෙ?’’ අකිල හරස් කැපීය.

විකුම් සිගරැට්ටුව උගුරු දෙක කිහිපයක් තිබියදී බිම අතහැර, එය නිවෙන පරිදි පයින් පෑගීය. අඳුරු වස්ත‍්‍රයෙන් සැරසුණු මිනිසා අකිල දෙස හෙළූ බැල්මේ වූයේ අමුතුම හැඟීමකැයි තරුණයාට සිතින.

‘‘මම එන්න ආවෙ එතනට තමයි.’’ ඇඩම් සෙමෙන් කීය. ‘‘.....කෙල්ලො දෙන්නෙක් දැනටම මැරිලා..... ඇඟේ ලේ පොදක්වත් නැතුව..... මළ සිරුරු මල් වලින් සරසන පුරුද්දකුත් පේන්න තියෙන හින්දා මේ දේවල් කරන්නෙ සතෙක් නෙවෙයි කියලා හොඳටම සහතිකයි..... කෙල්ලන්ගෙ ලේ උරාගෙන මරලා දාන්නෙ වෙන මොකෙද්ද අමනුෂ්‍යයෙක් නෙවෙයි නම්?’’ ‘අමනුෂ්‍යයෙක් යන වදන ඔහුගේ මුවින් පිටවූයේ ඊටම ආවේණික වූ ස්වරයකිනි.

දුර්මුඛ වූ අකිල ඔහු දෙස අසිපිය නොහෙලා බලා සිටියේ ය.

‘‘ඔයාගෙ සබ්ජෙක්ට් එක අනුව නම් ඒක හරි.’’ විකුම් හරස් කැපීය. ‘‘.....ඒත් දන්නවද මානසික රෝග, ලේ සම්බන්ධ ජානමය රෝග තියෙනවා.....’’

‘‘පොර්ෆීරියා, හීමැටෝඩිප්සියා වගේ.....’’ කළු වස්ත‍්‍රධාරියා කීය. ‘‘මම දන්නවා මහත්තයා..... මේවත් බලන්න එහෙනම්.’’ ඔහු සිය කබායේ ඇතුල් සාක්කුවකින් ගත් ගොනුවක් විකුම් වෙත දිගු කළේය.

පැරණි, අව පැහැ ගැන්වුනු ගොනු කවරයකට මැදිවූ කහ පැහැ ගත් පත්තර පිටු රැසක් විකුම් දිගහැරියේ ය. දිවයිනේ උප නගර කිහිපයකින් වසර ගණනාවකදී වාර්තා වූ සිදුවීම් එම ගොනුවේ පැවති බව පෙනිණ.

‘‘මේ සිද්ධි රැල්ල මම අධ්‍යයනය කරන්නෙ කොයි කාලෙ ඉඳන්ද කියල පේනවා ඇති. පටන් ගත්තෙ බදුල්ලෙ ෆයර්මවුන්ට් වලින්. එක ටවුමක මරණ දෙක තුනකට වඩා වුනේ නෑ. මම මේ තැනැත්තා හොයාගන්න ළං වෙනකොටම, ඒ ටවුමෙන් අතුරුදහන් වෙලා, ආයෙ ටික කාලෙකින් වෙන තැනකින් මතු වෙනවා. ’’ ඔහු තරුණයන් දෙදෙනා දෙස ක්ෂණික බැල්මක් හෙළීය. ‘‘මේ වගේ දක්ෂ මිනිස්සුන්ගෙ උදව් මට කලින් ගිය කිසිම තැනකින් ලැබුනෙ නෑ. මේ පාර අපිට මඟඇරෙන එකක් නෑ කියල මට විශ්වාසයි.’’

-------------------------------------------------

කොණක මේසය මත වූ ඉටි පන්දම් කොටය වටා වූ කුඩා ප්‍රදේශය හැර, මුළු කාමරයම අඩ අඳුරේ ගිළී තිබිණ. මේසය අසළ වාඩි වී, මේසය මත හිස ගසාගෙන සිටි තරුණයාගේ දෙවුර හා හිස මත ඉටි පන්දමේ මළාණික ආලෝකය වැතිර තිබිණ.

ශාම් අත දිගහැර මේසය මත වූ වතුර ජොග්ගුව ගත්තේය. මෙයින් පිළියමක් නොවන බව ඔහු දත්තේ ය. සිය නිදහස් චර්යාව තවදුරටත් තාර්කිකව සියල්ල හරිවූයේ නැත. පසෙකින් තම ශරීරාභ්‍යන්තරයෙන් පැණ නැඟී දින ගණනක් තිස්සේ දැවෙන පිපාසිත බව ය. තවත් අතකින්.....

ශාම් නැගිට්ටේය. ජොග්ගුව වැරෙන් එසවූ හෙතෙම, එය දෙතොළට තබා, එහි වූ දිය, උගුරු දෙක තුනට හිස් කළේ ය. අවසන් පොද දක්වා දැල්වුනු වූ ඉටි පන්දමේ කිරි මත වැතිරුණු තිරයෙන් නැගි සිළ, දැවී කෙළවර වන්නට පෙර දීප්තිමත් ආලෝකයක් විහිදා, අවසන් හුස්ම මරුවිකල්ලෙන් මෙන් දැඟලීය. තරුණයා වැසිකබායත්, කැප් තොප්පියත් ගෙන දොරින් පිටතට අඩිය තබනවාත් සමඟ..... ඉටිපන්දම් දැල්ල එක්වරක් උඩ පැන අතුරුදන් විය.

සිතිවිලි වලට ඉඩ නොදීමට මෙන් ශාම් සෙමෙන් නමුත් ඒකාතනමය පියවරින් ලී තරප්පු පෙළ බැස ආයේ ය. මීදුමින් හා අඩ අඳුරින් වැසී ගිය පාරේ සෑම අතකම මිනිසුන්ගේ අඳුරු ඡායාවන් පිරී තිබිණ. හාත්පස සෙමෙන් පැතිරී ගිය සීතල සුළඟින් ඔහුගේ ගත පුරා හිරිගඬු නැංවිණි. එතරම් ආයාසයක් නොදරමින් හෙතෙම පාර මතට පිය ගැසීය.

-----------------------------------------------------

භෝජනාගාරය ඇතුළත පැතිරුණු උණුසුම හුස්ම හිර කරන්නට තරම් විය. සිගරැට් දුම මීදුමක් සේ තුනීව හාත්පස පැතිර තිබිණ. බීමත් වූවන්ගේ ඝෝෂාවෙන් වායුගෝළය ඉතා ප‍්‍රාණවත් බවක් ඉසිළීය.

ඈත මුල්ලක වූ මේසයක කෙසඟ සුදුමැළි තරුණයා වූයේය. ඔහු ඉදිරිපිට හිස්වන්නට ආසන්න බියර් බෝතලයක් විය. මත්පැනේ මෝහනයට වෙනස්, ගැඹුරු මත් බවකින් අඩවන්ව තිබූ ඔහුගේ ඇස්,පිටතට ප‍්‍රකට නොවූ දීප්තිමත් ගින්නකින් ඇවිළෙමින් තිබිණ. පෙනෙන්නට තිබුණේ, ඔහු පීඩා විඳිමින් සිටි අභ්‍යන්තර ව්‍යාකූලත්වය තව තවත් වැඩි වන බවකි.

‘‘මිනිහව මම කලින් මෙහෙදි දැකල නෑ.....?’’කවුන්ටරයට පිටදී ආලස්‍ය ලීලාවෙන් සිටගෙන සිටි තරුණිය බාර් කරු ට කීවාය.

‘‘පුරුදු කාරයෙකුත් නෙවෙයි වගේ.....’’ බැරෑඬි කටහඬින් පිරිමියා පිළතුරු දුනි. ‘‘එක බියර් බෝතලේටනේ ඔය ඇද වෙලා ඉන්නෙ’’

තරුණිය මඳ සිනාවක් පෑවාය.

‘‘මිනිහට බියර් බෝතලේට වඩා දෙයක් නම් දෙන්න පුළුවන් වගෙයි’’ බාර් කීපර් කෞතුක බැල්මක් මුහුණට නඟ ගනිමින් කීය.

‘‘හ්ම්.....’’ තරුණිය ශාම් දෙස නැවතත් බැලූවාය. ‘‘මට දෙනවද කහපාට ටින් එකක්? වැඩ ඉවර කරල යද්දි ගෙවන්නම්...’’

සියුම් සිනහවකින් උඩු තොළ ඇද කරගත් පිරිමියා පමණට වැඩි අවධානයක් යොමු නොවන සේ කවුන්ටරය පහතට අත යොමා බියර් කෑන් එකක් රැගෙන දුන්නේය. තරුණිය එයද රැගෙන අලස ලාලිත්‍යයෙන් ශාම් ගේ මේසය වෙත පිය නැඟුවාය.

‘‘එක්ස්ක්‍යූස් මී.....’’

ශාම් ගේ හිස සෙමෙන් ඉහළට හැරවිණි. මනස්කාන්ත සිනහවකින් මුව සරසාගත් යුවතියක්.....

‘‘මම මෙතන ඉඳගන්නද?’’

ශාම් හිස සැළීය. ඒ අතර ඔහුගේ අඩවන් දෑස් නිදැල්ලේ ඇගේ සිරුර පුරා දිව ගියේය. සනීපාරක්ෂක සමාගමක නම සඳහන් වූ, ඇඟට ඇළුණු කළුවන් ඇඳුම, තද රත් පැහැ තොල් ආලේපන, අඳුරුවන් දෑස්..... ඇගේ සිරුරේ ආකර්ෂණීයත්වය තවත් වැඩි කළේය.


මීළඟ කොටස...

Tuesday, August 27, 2013

අපේ රටේ ආර්ථිකේ අනාගතේ අනා ඇතේ !


ජේ. ආර්. ජයවර්ධන සහ ආර්. ප්‍රේමදාස කියන අපේ රටේ උන්න කීර්තිමත් දේශපාලකයන් දෙන්නා අපායට ගියේ එකට නෙවෙයි. ඒත් යමරජු කියන්නේ බොහොම සාධාරණ කෙනෙක් නෙ. (උන්නැහැට ධර්ම රාජ කියන්නෙ ඒකයි. මහා භාරතයෙ යුධිෂ්ඨිර යම රජු ගෙ පුතෙක් ය කියනවනෙ.) ඉතින් එයා ජේ ආර් ටයි ප්‍රේමදාසටයි දඬුවම් කළේ එකටයි. මොකද්ද ඒ දඬුවම?

දෙන්නට දුන්නා කඩල බේසමකුයි, රටකජු බේසමකුයි. ‘තොපි දෙන්නා දැනගන්න ඕනෙ ලංකාවෙ අසරණ මිනිස්සු කොහොමද එදා වේල හම්බකරගන්නෙ කොහොමද කියලා. ඉතිං ඔය බේසම් දෙක ගෙනිහිං විකුණගෙන වරෙව්‘ කියලා යමරජ්ජුරුවො මේ දෙන්නට අණකළා.

ඉතිං ඕං අපේ තකට තක පාලකයො දෙන්නත්, අර බේසම් දෙක උස්සගෙන මිනිස් ලෝකෙට ආවා. අතර මගදි ජේ ආර් උන්නැහැට පුළුවන් වුනා, බිම වැටිල තිබ්බ රුපිල් දහයක් අහුලගන්න.

පොට් එකට ඇවිල්ලා දෙන්න බිස්නස් එක පටන් ගත්තා. කොහොමද? මුලින්ම ජේ ආර් ප්‍රේමදාසගෙන් රුපියල් දහයක රටකජු කනවා, පස්සෙ ප්‍රේමදාස ජේ ආර් ගෙන් රුපියල් දහයක කඩල කනවා. ආයෙ ජේ ආර් ප්‍රේමදාසගෙන් රුපියල් දහයක රටකජු කනවා, ඊට පස්සෙ ප්‍රේමදාස ජේ ආර් ගෙන් රුපියල් දහයක කඩල කනවා. ඔහොම ඔහොම බිස්නස් එක ඉවර කරගෙන, දෙන්නම යමරජ්ජුරුවන්ට ගිහිං දුන්නලු රුපියල් දහය, ‘ඕං අපේ දවසෙ ආදායම‘ කියල.

යමරජුජ්රුවො කිව්වලු, ‘තොපි දෙන්න මිනිස් ලෝකෙ ඉන්න කාලෙත් කොළේ ඕකම තමා‘ කියලා.

ලංකාවෙ ආර්ථිකය ගැන අපේ මාගල් මුදියන්සේ නොහොත් සහන් සිරා විග්‍රහයක් කරලා තියෙනවා. මේ වගේ සරළ එකක් නෙවෙයි, ඒත් අපේ රට මුහුණ දීලා තියෙන සැබෑ අනතුර මොකද්ද කියලා හොඳින් ම තේරුම් ගන්න පුළුවන් සරළ, විස්තරාත්මක පෝස්ටුවක්. මෙතනින් ගිහින් බැලුවෑකි.

ඉතින් අපි තවත් මේ කාබාසිනියා පවුලට අපේ රට කාලා විනාශ කරන්න ඉඩ දෙමින් ඒ අය අපිට දෙන තාවකාලික ආතල් විඳිමින් ගොන් රැළක් සේ කල් අරිමුද? අපිට තීරණය කරන්න කාලය....


වැඩිපුර බලපු ලිපි