මෙතෙක් කතාව
ශාම් දුවමින් සිටියේ ය. තව තවත් අන්ධකාරය තුළටම..... මොහොතින් මොහොත වැඩි වෙමින් නැඟී
එන බල්ලන්ගේ උඩු බිරුම් හඬ තමා පසුපස ළුහුබැඳ එන්නා සේ ඔහු ට හැඟුණි.
මීටර් දෙ තුන් සියයක් යන්නට මත්තෙන්
තරුණයාට හති වැටිණ. ඈතින් ඇසෙන බල්ලන්ගේ බිරුම් හඬවල් වියැකී යත්ම ඉතිරි වූයේ
ශාම්ගේ සෙරෙප්පු පාර මත වදින බොල් හඬ පමණි. දිව යාම කෙමෙන් කෙමෙන් පැකිළෙන සළු
පියවරයන් බවට පරිවර්තනය විය.
තම පැවැත්මේ ඇති නිස්සාරබව සිතට
කාවැදීමත්, නිරාවරණය වීමේ භීතියත් විසින් තරුණයා
පත්ව සිටි ගැඹුරු මෝහණය බිඳීගියේ රේල් පීලි අතර ඇති කට්ට ගල් වල පය ගැටීමෙනි.
එතැනින් දුම්රිය පොළ පටුමඟට හැරුනු ඔහුගේ අරමුණ වූයේ හිස් දුම්රිය පොළයි.
අතරින් පතර විදුලි කණු සමහරක වූ විදුලි
බල්බ වලින් නැඟුණු මළාණික එළියකින් දුම්රිය පොළේ අඳුර යන්තමින් මැකිණ. ලී බංකුවක,
දෙකක නිදාසිටි හිඟන්නෙක්, දෙදෙනෙක් ඉඳහිට නැඟූ කෙඳිරිලි හඬ හැරෙන්නට
හාත්පස වූයේ රැහැයියන්ගේ සිහින් මරු මුරුව පමණි.
දුම්රිය වේදිකාවේ වූ කුඩා කැබිනය
ආසන්නයේ ම වාගේ පිහිටි ලී බංකුවක් මත ශාම් ඇද වැටිණ. හති වැටීමෙන් දුර්වල වූ හෙතෙම
දහදියෙන් වැසී සිටියේ ය. සිතෙහි බලපවැත්වූ ව්‍යාකූල බව හා කම්පණය නිසා ඔහු
වෙවුලන්නට ගති.
ඉදිරියට නැඹුරුව දෙදණ මත වැළමිටි
ගසාගෙන, දෑත් මත හිස රඳවාගෙන තමන් කෙතරම් වේලා
සිටියේදැයි ඔහුට හැඟීමක් නොවීය. තමා වෙතට එන සිහින් පියවර හඬ ඔහුට ඇසුනේ ද නැත.
‘‘ශාම්.....!’’ ඔහුට හොඳින් හුරු තරුණ කන්‍යා සොයුරියගේ හඬ.....
‘පාපීන් වූ අප උදෙසා දෙවියන් වහන්සේ
ඉදිරියේ පෙනී සිටින මරිය මවුතුමිය.....’ ශාම් ට සිහිපත් විය.
තමා දෙස හිස ඔසවා බැලූ තරුණයාගේ
මුහුණෙහි වූ හැඟීම නිර්මලී තවත් පුදුමයට පත් කළේය. ඈ ඔහුට තවත් ළං වූවාය.
‘‘ඔයා මොකද මෙතන කරන්නෙ?’’ ශාම් ගේ හඬ කෙඳිරිල්ලකට ආසන්න විය.
‘‘අපේ සිස්ටර්ස්ලා ඥාණකාන්ති ගිහින් ඊයෙ
හවස. මම ගමනක් ගිහින් එද්දි මට පරක්කු වුණා. ඉතින් මම පාන්දරම යනවා. ඔයා මොකද මේ
වෙලාවෙ? මොකද මේ ඔයා ඉන්න විදිහ.....?’’
ශාම් ඇගේ නිර්මල මුහුණ දෙස බැලිය
නොහැකිව, දෑස් බිමට හරවාගති. ඇගේ සිහින් අතැඟිලි
සිය හිස මත මෘදුව පිරිමැදෙද්දී..... ඔහුගේ උරහිස් තදකරගත් ඉකියකින් ගැහෙන්නට විය.
‘‘ශාම්..... ඇයි, ඇයි මේ?’’
‘‘මම..... මම..... මේ සමාජයට මහ විපතක්.....
නිර්මලී’’
‘‘එහෙම කියන්න එපා ශාම්, ඔයා හරි කරුණාවන්ත කෙනෙක්.....’’
‘‘නෑ නිර්මලී..... මම..... මම.....’’
ඔහු වචන සෙවීය.
‘‘ඇයි ඔයා මෙහෙම කතා කරන්නෙ ශාම්.....?’’
ඇගේ ස්වරයේ වූ මව් උණුසුම ඔහුට හොඳින් දැනුනි.
‘‘ඇත්තටම.....’’ ඔහු හිස දෑත් තුළ ගසා ගති. ‘‘.....මට සැනසෙන්න විදිහක් නෑ, මගෙ ජීවිතය ගැන..... ඔයාගෙ යාළුව මැරුණෙත් මගෙ
අතින්.....’’
නිර්මලී ඔහුගේ හිස සිය දෑතින් අල්ලා
ඉහළට එසවූවාය. තම දෑස් තුළට එබුණු ඇගේ දයාන්විත දෑස් වල පැවති විස්මය ශාම් හොඳින්
දුටුවේය. ඈ දෑතින් ම තරුණයාගේ හිස අල්ලාගෙන ඔහුගේ මුහුණ සිය ළය මත තද කරගත්තාය.
ඇගේ සිහින් සිරුර ගැහෙනු ඔහුට දැනුනි.
නිහඬ කාලාන්තරයක් තිස්සේ ඇගේ දෙකොපුල්
කඳුළින් වැසී ගියේ ය.
‘‘නෑ ශාම්, නෑ. ඔයා ඒ වගේ නෙවෙයි.....’’ හැඬුමින් ඇවිරුණු ඇගේ කටහඬ..... ‘‘ඔයා හරි කරුණාවන්ත....., හොඳ
කෙනක්. පසුතැවිලි වීම උවමනා නැති ධර්මිෂ්ඨයන් අනූ නවයකට වඩා.....’’
‘‘.....පසුතැවිලි වන එක් පව්කාරයෙකු ගැන
ස්වර්ගය ප‍්‍රීති වන්නේය..... මට මතකයි.....’’ ශාම් වාක්‍යය පිරවීය. ඔහු සිය මුහුණ කන්‍යා සොයුරියගේ ළය මත තද
කරගනිමින් ඇගේ ඉඟවටා දෑත් පටළා ගති.
‘‘ශාම්.....’’ දිගු වේලාවකට පසු නිර්මලී නිහඬතාවය බින්දාය.
තරුණයා හිස එසවීය.
‘‘අපි මොනව හරි බොමුද.....? මේ හරියෙ තියෙනවද දන්නෑ එහෙම තැනක්?’’
දුම්රිය පොළ අවදි වෙමින් තිබූ බව
පෙනුනි. ජර්සි පොරවාගත් මඟීන් කිහිප දෙනෙක් ටිකට් කවුන්ටරය අසළ පේළියක් සෑදී
සිටියහ.
ශාම් සෙමෙන් නැඟිට ඇගේ ගමන් බෑගය ඔසවා
ගත්තේය.
‘‘යමු.....’’
ඔහු ඉස්සර විය. කුඩා කන්‍යා සොයුරිය
ඔහු පස්සෙන් වැටුණාය. දුම්රිය පොළෙන් පිටට පැමිණි ඔවුහු පින්නෙන් පෙඟුණු පටු මඟ
දිගේ පියනැඟූහ. පටු මාවත හා මහපාර හමුවන තැන වූ දිළිඳු තේකඩය විවෘතව පැවතිණ. සීත
වාතස්කන්ධය මැද විවෘතව පැවති එකම උණුසුම් ඒකකය එය විය.
බිත්ති වෙනුවට ලෑලි ගසා, අඩක් දිරා ගිය ටකරන් සෙවිළි කළ කුඩා තේ කඩයේ
ඉදිරිපස එල්ලූ කෙසෙල් කැන් කිහිපය සෙමෙන් පැද්දිණ. පාන්දර දුම්රිය අල්ලාගැනීමට
පැමිණි කිහිප දෙනෙක් එහි ඉදිරිපස සිටගෙන සිටියහ. තේ වීදුරු හෝ දැල්වෙන දුම්වැටි
අතැ’තිව ගුමු ගුමුවක ගිළී සිටි ඔවුහු,
තමන් පසු කොට කඩයට ඇතුල් වූ තරුණ යුවළ දෙස හොඳින්
බැලූහ. පරණ ලෑලි වලින් සෑදුණු කවුන්ටරය පිටුපස පුටුව මත, සුරුට්ටුවක් කටේ රුවාගත් තරබාරු වයසක මිනිසෙක් අඩනින්දක පසුවිය.
කඩය ඇතුලේ තිබූ මේසය දෙපස වූ බංකු දෙක
මත, දෙදෙනා මුහුණට මුහුණලා වාඩිවූහ. ස්වල්ප
මොහොතකින් චීත්තයක් සහ ජර්සියක් ඇඟලා ගත් කඩිසර මහළු කාන්තාවක් ශාම් වෙත පැමිණියා
ය.
‘‘ඔයා කෝපි බොනවද?’’ තරුණයා සිය මිතුරියගෙන් විමසීය.
ඈ හිස සැළුවා ය.
‘‘කෝපි දෙකයි, සිගරැට් හතරයි’’ ශාම් ඇනවුම් කළේ ය. ‘‘මොනව හරි කනවද.....?’’
ඈ හිස දෙපසට වැනුවේ ළදැරියකගේ බඳු
සුරතල් බවකිනි.
මහළු කාන්තාව ගෙන ආ සිගරැට් තුනක් උඩ
සාක්කුවට රුවාගෙන ඉතිරි එක මුවග රඳවාගත් තරුණයා, සිය කළිසම් සාක්කු තුළ යමක් සෙවීය. ඉන්පසු කමිස සාක්කුව තුළ.....
ඔහුගේ මුහුණ ඇදී ගියේ ය.
‘‘මගෙ ලයිටරෙත් නැති වෙලා.....’’ හෙතෙම මේසය මත වූ ගිණිපෙට්ටිය අතට ගනිමින් කීය.
ගිණිකූරක් ගැසූ ඔහු, සිගරැට්ටුවට මඳක් පහතින් ගිණි දැල්ල
අල්ලා එහි උණුසුමින් සිගරැට්ටුව දල්වා ගන්නා අයුරු නිර්මලී උනන්දුවෙන් බලා
සිටියාය.
ජෝගුවක් තුළ සීනි කූරුගානා ටක ටක හඬ
කඩයේ පිටුපසින් නැඟෙන්නට විය. මොහොතක ඇවෑමෙන් දුම් දමන කෝපි කෝප්ප දෙකක් ඔවුන්ගේ
මුහුණු ඉදිරිපිටට ආයේය.
‘‘ඔයා හිතන්නෙ ඔයා විතරයි කියලද.....?’’
කන්‍යා සොයුරියගේ පහත් කටහඬින් ඔහු ගැස්සිණ.
හිස එසවූ ඔහුට, සිය කෝපි කෝප්පයෙන් නඟින වාෂ්පය අතරින්
ඇගේ සුදුමැළි නිර්මල මුහුණ දිස් විය. ‘‘..... මටත් මේ ක‍්‍රමය ඔරොත්තු දෙන්නෙ නෑ. ජේසුතුමා දේශනා කරපු දයාවන්ත
දෙවියන් වහන්සේ වෙනුවට, මෙහෙ ඉන්නෙ පොල්ලක් වගේ දැඩි..... අපිට
දශමයක්වත් හෙල්ලෙන්න දෙන් නැති..... කොහොමහරි, මම බලාපොරොත්තු වුණ දේ නෙමෙයි මෙහෙ තියෙන්නෙ..... හිර කූඩුවක් ශාම්.
මට යන්න වෙන තැනක් නෑ. මං හැදුණෙ අනාථ නිවාසෙක..... ඒ නිසා මෙතන ඉන්නව මිසක්.....’’
‘‘..........’’
‘‘ඔයා මොකද කරන්නෙ දැන්.....?’’
‘‘මට මෙහෙන් යන්නයි හිතෙන්නෙ.....’’
‘‘කොහෙටද යන්නෙ.....?’’ නිර්මලී ඇසුවාය.
‘‘මම..... මම යනවා ගෙදර..... බදුල්ලෙ
ෆයර්මවුන්ට් වල..... මෙහෙන් හැතැප්ම ගාණක් උඩහට.....’’
දුම්රිය සංඥා කණුවේ ටං ටං හඬින් තේ
කඩයේ ඉදිරිපස සිටි මිනිස්සු කළබල වූහ. තරුණ යුවළ කඩිමුඩියේ බිල ගෙවා එළියට එද්දී,
දුම්රිය ඔවුන් ඉදිරියෙන් දැවැන්ත යකඩමය හඬ
මාළාවක් නංවමින් ඇදී යමින් පැවතුණි. ශාම් කන්‍යා සොයුරියගේ බෑගය ද රැගෙන දුම්රිය
පොළ දෙසට දිවයන්නට තැනුවද, ඈ ඔහුගේ අතින් අල්ලා එය වැළැක්වූවාය.
‘‘මාත් එන්නම් ඔයත් එක්ක...?’’
‘‘නිර්මලී....’’
‘‘මාවත් එක්ක යන්න ශාම්, මටත් මේ ඔක්කොම එපා වෙලා. මං දන්නව ඔයා මේ ඉන්න අවස්ථාව එහෙම දෙයක් ඉල්ලන්න සුදුසු නෑ තමයි. ඒත්... මටත් වෙන තරන්න දෙයක් නෑ. කෙල්ලෙකුට මේ සමාජයෙ
තනියම නැගී හිටින්න හරිම අමාරුයි. ඒත් ඔයා මට උදව් කරනවනං..... මම දන්නවා ඔයා
එහෙම කරයි කියලා..... මටත් පුළුවන් නොදන්න පළාතකට ගිහින් ජීවිතේ අලුතෙන් පටන්
ගන්න. මං බරක් වෙන්නෙ නෑ ඔයාට. මට රස්සාවක් හොයාගන්නත් පුළුවන් වෙයි.....’’
දුම්රිය සෙමෙන් සෙමෙන් සිය ගමන නැවත
ආරම්භ කරද්දී, දෙදෙනා තේ කඩයෙන් එළියට බට හ. මෙතෙක්
වේලා තේ කඩය තුළ අඳුරේ සැඟවී සිටි ඡායාවක් අඳුරෙන් මෑත් විය.
මීළඟ කොටස...
මීළඟ කොටස...



