Friday, September 27, 2013

රුහිරෙන් පුදමි - 12 කොටස

මෙතෙක් කතාව


නිර්මලී කෙළින් වී, තමා අසළ හිඳ සිටි තරුණයාගේ ඉඟ වටා සිය දෑත් යවා බැඳ ගත්තාය. ඇගේ ළයෙහි ස්ත‍්‍රී උණුසුම ඔහුගේ පිට මතින් දැනිණ.

‘‘මට බැරිද හේතුවක් වෙන්න.....?’’ ඔහුගේ උරහිස මත සිය නිකට තබාගත් ඇය ඇසුවාය.

ශාම් මෘදුව ඇගේ දෑත් ඉවත් කරමින්, ඈ වෙත හැරිණ. තම දෑස් වෙත එක එල්ලේ බලා සිටින දීප්තිමත්, සුරතල් බැල්මකින් පිරුණු ඇස්..... ඔහු සිනාසිණ. මළාණික මඳ සිනාවක්..... එහෙයින්ම එය හෘදයංගම විය. තරුණියගේ දෙවුර මතින් දෑත් යැවූ හෙතෙම, ඈ මෘදුව ලී මැස්ස මත වැතිරවමින් ඈ අසළින් වැතිරිණ. ඔහුගේ දෑත් ඇගේ ඉඟ දෙපසින් ඇදී ගොස්, ඇගේ සිරුර ඔහු වෙත තෙරපා ගත්තේය.

ශාම් ගේ මුහුණ තමා වෙත නැඹුරු වත්දී ඇගේ දෑස් සෙමෙන් පියවී ගියේය. තරුණියගේ දෙකොපුල්, පියවුණු දිගු ඇසිපිය මත ඔහුගේ සුසුම් උණුසුම්ව පතිත විය. ඇගේ කුඩා සිහින් අත්, තරුණයාගේ සිරුර වැරෙන් අල්ලා ගති. ඇගේ සියුම් සුසුම් වලින් යන්තමින් විවර වූ තෙත් දෙතොල් මත ඔහු ගේ දෙතොල් පතිතව තෙරපී ගියේය.

දිගුම දිගු කාලයක් තිස්සේ තම දෙතොල් ශාම් ගේ දෙතොලින් උරා බොනු ඈ හැඟුවාය. ඔහුගේ සිහින් සැළෙන ඇඟිළි ඇගේ හිසකේ අතරින් ඇදී යන්නට විය. තරුණියගේ කෙස් අතරින් ඇගේ ගෙළෙහි සුමුදු සම මතට පැමිණි ඒ ඇඟිළි තුඩු වලින් එතැන සෙමෙන් පිරිමැදෙන්නට ගති.

ඈ දෑස් අඩවන්ව විවර කරගනිමින් සිහිනයකින් මෙන් සිනාසුණාය. ශාම් ගේ හිස සෙමෙන් සිය ගෙළ වෙත පහත් වෙද්දී, ඈ හිස ඇළ කරමින් ඊට ඉඩ දුන්නාය. ඇගේ ඇළ කෙරුණු හිස වමතින් දරාගත් හෙතෙම, සුරතින් ඈ තව තවත් තම උණුසුමෙහි තුරුළු කර ගති. ඔහුගේ සුසුම් සිය ගෙළ මත පතිත වත්ම, සිය සමට යටින් උණුසුම පැතිර යවමින් ලේ විහිදී යනු ඈ හැඟුවාය. ඈ සිය දෑස් පියවෙන්නට ඉඩ හැරියාය. තරුණයා ඇගේ ගෙළ මෘදුව සිපගනිද්දී, ඔහුගේ සැළෙන දෙතොලතරින් දත් වල තුඩු සිය සම මත යාන්තමින් තෙරපෙනු ඇයට දැණින.

ශාම් ගේ දෙතොලට නියමිත ඉළක්කයක් හෝ මාර්ගයක් හෝ නොවීය. හෙතෙම අතරක් නොමැතිව ඇගේ සුමුදු ගෙළ සිපගන්නට විය. ඇගේ සම ළා රත් පැහැ වන තෙක්..... එතැනින් පහතට ඒ දෙතොල් ඇදෙද්දී, ඔහුගේ ඇඟිළි තුඩින් සිය ගවුමේ කරෙහි බොත්තම් ගැළවෙද්දී නිර්මලීට සීතල දැනුනේ නැත. ඇගේ සිරුර පුරා ලා උණක් බඳු හැඟීමක් පැතිර යමින් තිබිණ. ඇගේ හදවත තදින් ගැහෙමින් පැවතුණේ, ඇගේ දෑත්..... දෙපා..... එක් ආකාරයකින් දුබල කරවමිනි.

එසේ වුවද ඇයටද නිසොල්මනේ සිටිය හැකි වූයේ නැත. සිය සිහින් දෑතින් ඔහුට තෙරැපී තුරුළු වෙමින් ඈ ඔහුගේ හිස, ගෙළ, ඇසිබැමි, නළලත පිළිවෙලකින් තොරව සිපගනිමින් සිටියාය.

තරුණයින් නොදැනුවත්වම, උදෑසන එළඹෙමින් තිබිණ. කුඩා කුරුල්ලෝ පඳුරු අතරින් එළියට එමින් ප‍්‍රබෝධමත්ව කෑගසන්නට පටන් ගෙන තිබිණ. අරුණාලෝකයේ දීප්තිමත්ව බැබළුණු පිණිකැට අතරින් කුඩා වන මල් කැකුළු විකසිත වෙමින් පැවතුණි. ගිණිමැළය පට පට හඬින් පුපුරමින් දැල්වෙන්නට ගති.

තරුණ යුවළ උණුසුම ද, සිසිලස ද එක විට විඳිමින් සිටියේ, විටෙක ශක්තිමත්ව ද, එසේම දුර්වල බවින් පිරීයමින් ද විය. තරුණයා හා තරුණිය එකිනෙකාට කෙතරම් සමීප වූවෝද යත්, දෙදෙනෙකු නොව එක් අයෙකු බවට පත්වන්නාක් මෙන්, කිසිදා වෙන් නොකළ හැකි ලෙස මනසින් එක්වන්නාක් මෙන්..... එම කාර්යයේදී විඳින්නට වන වේදනාව ද, සුවය ද, සමසේ වින්දෝය. දෙදෙන සිය සිත් වල ගැටෙමින් පැවති ප‍්‍රකෘතියේ කම්කටොළු වලින් බොහෝ ඈත්ව සිටියෝය.



ගිණිමැළය සෙමෙන් නිවී යන්නට පටන් ගති. දෙදෙන සෙමෙන් එකිනෙකාගෙන් මෑත් වද්දී, දෙදෙනාම අලූත උපන් බිළිඳුන් සේ නැවුම් වූහ. නිර්මලී ශාම්ගේ දෑතේ වැතිර සිටියාය, ඔහුගේ උණුසුමේ අඩක් තුරුළුව..... ඈ සිය විසල් දෑස් විදහා ඔහු දෙස බැලූවාය. ඇගේ දෑසේ තිරසාර ඉළක්කයක් නොවීය. ඒ දැස්..... තම දෑස් වෙත එල්ල වූ එම දෑසේ ඇසි පිය මත මුතු කැට වැනි කඳුළු කැට දිළිසෙනු තරුණයා දිටීය. ඔහු සිය හිස පහත් කොට, ඇගේ දෙතොල් ආදරයෙන් සිපගනිමින් උරන්නට විය. සිපගැනීම කෙළවර, හිස ඔසවා ඈ දෙස බැලූ හෙතෙම ඒ විසල් දෑස් තවමත් තමා වෙත එල්ල වී ඇති අයුරු දිටීය. ඇගේ මුහුණ පුරා ශාන්ත මඳ සිනාවක් පැතිර තිබිණ.

වචනයකුදු ඒ මොහොතේ වූ නිහඬ නිසලත්වයේ අසිරිය බිඳීමට නොනැඟිණ. නොබෝ වේලාවකින් උදෑසන අවදි වී එන පරිසරය නොතකා කුඩා දරුවන් මෙන් උනුන් වෙත  තුරුළුව ගුළි ගැසුණු යුවළ ශාන්ත නින්දක ගිළී ගියහ.

----------------------------------------------

සැඳෑ අඳුර පොළොව මතට වැටෙන්නට පටන් ගෙන තිබිණ. දුම්රිය පොළේ එතරම් සෙනඟක් සිටියේ නැත. ලී බංකුවක කෙළවර විකුම් හිඳගෙන සිටියේය. දෙතුන් දිනක් පැරණි රැවුළින් වැසුනු මුහුණ අතකින් පිරිමදිමින්..... ඔහු අසළින්ම අකිලගේ ගමන් බෑගයද විය.

ඇඩම් විකට් කවුන්ටරයේ සිට ඒ දෙසට පියනඟා ආයේය. අකිල ඔහු පිටුපසින් සෙවනැල්ලක් සේ පිය එසවීය.

ඔවුහු විකුම් අසළින් ඉඳගත්හ. කළු වස්ත‍්‍රධාරියාගේ හැඟීම් විරහිත මුහුණේ, කාලාන්තරයක් තිස්සේ ආ ගමනක කෙළවරට ආසන්න වීමෙන් ඇතිවන ශාන්ත නිශ්චල බව පැතිර තිබිණ.

මළාණික නළා හඬක් සමඟින්, ඈත සිට දුම්රිය දිගු සර්පයෙකු සේ ඇදී එන්නට විය.

‘‘උඹ එන්නෙ නැද්ද අපිත් එක්ක.....?’’ අකිල අවසන් වරටද ඇසීය.

‘‘නෑ.....’’ විකුම් නැගිට්ටේය. ‘‘මට මෙහෙ තව පොඩි වැඩක් තියෙනවා.’’

‘‘මොකද්ද අර ගණිකාවත් එක්ක උඹට තියෙන මහලොකු වැඩේ.....?’’ අකිල තදකරගෙන සිටි හැඟීම් පුපුරා ගියේය.

ඇඩම් කිසිවත් නෑසුණ ලීලාවෙන් ඈත බලා ගෙන සිටියේය. තරුණයන්ගේ ප‍්‍රශ්න ඔවුන්ටම විසඳා ගැනීමට ඉඩ හැරීමට ඔහු තීරණය කළ බව පෙනිණ.

‘‘උඹට තේරෙන්නෑ අකිල .....’’ විකුම් සිය සගයාගේ මුහුණ දෙස කෙළින් බැලීය. ‘‘.....ඒ කෙල්ල ගෙ තියෙන්නෙ අමුතුම තත්ත්වයක්. තමන්ට පහර දුන්න එකා ගැන ඒකි කතා කරන්නෙ හරියට බෝයිෆ්‍රෙන්ඞ් ගැන කතා කරනව වගේ.

‘‘එතන මොකක් හරි වැරැද්දක් තියෙනවා. එක්කො අපි දන්න දේවල් වල මොකක් හරි අවුලක්..... අපිට අහු නොවෙන තත්ත්වයක් මේ වැම්පයර් එකා තමන්ගෙ ගොදුරු එක්ක පවත්වාගන්නවා.....’’

දුම්රිය වේගය බාල කරමින් විත් නැවතිණ.

ඇඩම් නැගී සිටියේය.

‘‘අපි යනවා.’’ ඔහු විකුම් ඇමතීය. ‘‘මම හිතනවා අපිට ඔයාව  ඕනෙ කරන වෙලාවට ඔයා එතන ඉඳීවි කියලා.’’

‘‘මා ගැන බලාපොරොත්තු තියන්න පුළුවන්.’’ විකුම් පැහැදිළිව කීය.

දුම්රියේ පාපුවරුවට නැඟී ගෙළ හරවා බැලූ අකිල හිස දෙපසට වැනීය.

-------------------------------------------------------- 

ශාම් සිය මිතුරියද සමඟ උදෑසන පිබිදෙන මිනිසුන්ගේ ඇසට ලක් වීමට සිතුවේ නැත. තම නිවසට ඇතුල් වීමට ඔහු රාත‍්‍රිය තෝරාගති. කෙසේ වූවත් දිගු ගමනකින් පසු ඔවුන්ට විවේකයක් අවැසි විය.

අවසන ඔවුහු රාත‍්‍රියේ ශාම් ගේ නිවහනට, ඔවුන්ගේ අනාගත රක්ෂස්ථානයට යාමට පිටත් වූහ.

පදිකයන්ගේ කුතුහලයෙන් පිරි බැලූම් මඟහරිමින්, මහපාරෙන් බෑවුම් වූ පටු පාරක් දිගේ බැස ගිය ඔවුහු තැනි බිමක පාළුවට ගිය කුඩා නිවසක දිරාගිය කඩුල්ල පැන්නාහ.

වල් වැවුණු ගෙමිදුල දිගේ පියනැඟූ ශාම් වසර ගණනක හිරු රැසින් හා වැසි දියෙන් දුර්වර්ණව ගිය නිවසට ළඟා විය. නමුත් ඔවුහු බලාපොරොත්තු වූ පරිදි එය හිස්ව තිබුණේ නැත.

නිවසේ පසුපස පැත්තට වන්නට තනා තිබූ බරාඳයෙන් දුර්වල එළියක් තරුණ යුවළ දුටහ. ශාම් නිර්මළී දෙස බැලීය. නිහඬව තමා පසුපස එන ලෙස ඇයට ඉඟි කළ ඔහු සෙමෙන් සෙමෙන් ඒ දෙසට ඇදුනේය. තණකොළ පොඩිවන තරමේ ඉතා සිහින් හඬක් හෝ නොනැඟෙන පරිදි.....

ඔහු කැළයට ගිය මල් පඳුරක් අසළ ගුළි ගැසී පරෙස්සමින් එතැනින් එබී බැලීය. එසැණින් ඔහු නැවත සිය හිස පිටුපසට ගති. නිර්මලී ඔහු අසළම වූවා, ඔහුගේ මුහුණ දෙස බැලූවාය.

එබී බලන ලෙස ඔහු ඇයට මුහුණින් ඉඟි කළේය.

බියපත් තරුණියද ඔහු අනුගමනය කළාය.

මීළඟ කොටස...

Tuesday, September 24, 2013

රුහිරෙන් පුදමි - 11 කොටස

මෙතෙක් කතාව

8 කොටස
9 කොටස
10 කොටස

වේගය අඩු කරමින් ඇදී ආ දුම්රිය, දුම්රියපොළට සේන්දු විය. එහි එක් අසුනක ශාම් සහ නිර්මලී වූහ. විඩාපත් තරුණිය ශාම්ගේ උකුළෙහි හිස හොවා, නිදාගෙන සිටියාය. තරුණයා ඇගේ කම්මුලකට මෘදුව තට්ටු කළේය. ඇ සෙමෙන් දෑස් විවර කළා, තමන් වෙත නැඹුරු ව තිබූ තරුණයාගේ මුහුණ දුටුවාය.

‘‘බහිමු.....’’

නිර්මලී සෙමෙන් හිස එසවූවාය. අවුල් ව තිබූ වරළස දැතින් සකසා ගනිමින් ඈ නැගිට්ටාය. ඈ සැරසී සිටියේ චාම් ගවුමකිනි. ඒ මතින් ඈ පිරිමි ජර්සියක් ඇඳ සිටියාය. අසුනට ඉහළින් වූ රාක්කයෙන් ශාම් සිය ගමන් මළු බිමට ගති.

දෙදෙන දුම්රියෙන් බසිද්දී, අරුණෝදයේ සීත සුළඟ දෙදෙන නහවමින් ගලා බැස්සේය. තවම නිඳිබර බව පහව නොගිය තරුණියගේ දෙකොපුල් මතින්.....

‘‘ගොඩක් දුර පයින් යන්න තියෙනවා.....’’ ශාම් කීය. ‘‘පාරෙන් ගියොත් හැතැප්ම දෙක තුනක්..... කැළෑ පාරෙන් ගියොත් ළඟයි.....’’

නිර්මලී ඔහුගේ මුහුණ බැලූවාය. ‘‘කැළෑ පාර ඒතරම් කරදර නැතුව ඇති නේ.....?’’

ශාම් හිස සැළීය.

දෙදෙන දුම්රියපොළ පර්යන්තය දිගේ ඇවිද ගොස්, දුම්රිය පාරට බටහ. දුම්රිය පාරේ සිල්පර දිගේ ටික දුරක් ගිය ඔවුහු බිංගෙය ද පසු කළෝය.


https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcRgjqTWqWc_KqqmaMzvypknoDKMuugUo-18lA4pZ2z1m95NoMmhEwYA

දුම්රිය පාරේ දකුණත් පස පහළට බෑවුම් වූ අතර, අනෙක් ඉවුර කන්දක් සේ උන්නත විය. ශාම් එක් තැනක නැවතිණ. එතැන ගස්වැල්, පඳුරු අතරින් කන්ද මුදුනට දිවුණු පටු අඩිපාරක් විය.

ශාම් ගමන් මළු දෙකම දෙවුරහිසෙහි එල්ලාගෙන අඩිපාර දිගේ උඩට නැංගේය. තවමත් නිඳිබර වූ තරුණිය ඔහු අනුව ආවාය. ගස්වැල් අතරින්, ඇවැසි වූ විට කුඩා පඳුරු වල එල්ලෙමින්..... අඩිපාරේ තැන් තැන් වල වූ ගල් මතින් නඟිමින් දෙදෙන ඉදිරියටම, ඉහළට පා නැගූහ. විටෙක පාර හරහා නැමුණු, පින්නෙන් පෙඟුණු බට පඳුරු යටින් රිංගමින්..... පාර හරහා වැටී දිරාපත් වෙමින් පැවති ගස් කඳන් මතින් පනිමින්.....

පාර අයිනේ වැටී තිබූ කොටයක් අසළ ශාම් නතර විය. ගමන් මළු වල බර, කොටය මතට පවරා ඔහු තරුණිය වෙත හැරිණ.

‘‘මහන්සිද?’’

‘‘එච්චර නෑ.....’’ ඈ සිනාසුණාය.

කොටය මත වාඩි වූ ශාම් සිය ලේන්සුව එළියට ඇද කොටය මත එළීය..... නිර්මලීට වාඩිවිය හැකි වන සේ..... මාර්ගය දුෂ්කර වුවද එහි එක්තරා වින්දනයක් විය. එය එක්තරා දුරකට, ශිෂ්ඨාචාරයට පෙර මිනිසා සොබාදහම සමඟ ඒකාත්මිකව විසූ අවදියට ආපසු පියනැඟීමක් සේය. සෑම තැනම නැවුම් පින්නෙන් වැසුණු වර්ණවත් කුඩා මලින් පිරි පඳුරු විය, අඩිපාර වසාගන්නට මෙන් වැවී.....

‘‘නැග්ම තව ටික දුරයි. ඊට පස්සෙ තැනිතලාව.....’’ ශාම් කීය.

‘‘ඔයා ගාව වතුර බෝතලයක් තියෙනවද?’’ ඈ හිස ඔසවා, දැස් ඉහළ නඟා ඔහුගේ දෑස් දෙස බැලූවාය.
ශාම් හිස දෙපසට සැළීය. ‘‘මටත් තිබහයි. තව ටික දුරක් ගියාම පොඩි උල්පතක් හම්බවෙනවා. එතනින් බොමු.’’

‘‘උල්පතකින්.....?’’ දෑස් අයාගත් නිර්මලී ඇසුවාය.

ශාම් මඳ සිනාවක් පෑවේය. ‘‘ඔව්. පිරිසිදුම වතුර.....’’

ශාම් කොටය මතින් නැගිට්ටේය. පාරෙන් ඉවතට ගිය ඔහු ගසකින් දණ්ඩක් කඩා ගෙනවුත් නිර්මලීට දිගු කළේ ය.

‘‘මේක අරං ගියොත් නගින්න ලේසියි.’’

නිර්මලී සිනාමුසුව එය පිළිගත්තාය. දෙදෙන නැවත සිය ගමන පටන් ගත්හ.

මීටර් කිහිපයකදී ශාම් කීවා සේම කැළෑ රොද එක්වනම අතුරුදහන් විය. පාර වෙත නැඹුරු වූ ගස් අතු අතරින්, දැවැන්ත තැනිතලාව ඔවුන් ඉදිරියේ දිස් විය. කළුවන් පසින් සැදුනු අඩිපාර, කසාවන් තණ පඳුරු අතරින් වංගු ගැසෙමින් ඉදිරියට දිව ගියේය. කළාතුරකින් හමුවන හුදෙකළා කුරු ගසක් හැරෙන්නට පේන තෙක්මානයේ වූයේ කුඩා තණපඳුරින් පිරි තැනිතලාවයි. සීත සුළඟ තරුණ යුවළ නහවමින් අතිමානුෂික වේගයෙන් ගළා ගියේය.

නිර්මලී සිය දෑත් පොරවාගත්තාය. ශාම් ගමන්මළු බිම තබා සිය බෑගයෙන් විශාල තුවායක් එළියට ඇදගති. ඔහු එය නිර්මලීගේ උරහිස මතින් පෙරවීය. තරුණිය එහි උණුසුමෙහි ගළි වූවාය. තරුණයා සිය වැසිකබාය ගෙන ඇඟලාගත්තේය.

ශාම් නැවත ගමන් මළු කරට ගනිද්දී නිර්මලී සිය බෑගය ඔහුගෙන් උදුරා ගත්තීය.

‘‘ඔයාට දෙකම ගෙනියන්න දෙන්න බෑ.....’’ ඈ ළදැරියක සේ සුරතල් ස්වරයෙන් කීවාය. ‘‘..... තැන්නට ආවට පස්සෙ මගෙ බර මම ගෙනියන්නම්.’’

ශාම් යටහත් ලීලාවෙන් හිස වැනීය.

සිය බෑගය කරේ එල්ලාගත් ඔහු සැහැල්ලූවෙන් ඇගේ අත ගෙන ඉදිරියට පිය නැගීය.

ළා දුඹුරුවන් තණ පඳුරු අතරින් අඩිපාරේ කළු පස කැපී පෙනින. සෑම අතම කුඩා මල් කැකුළු, හිමිදිරි උදෑසන උදෑසන හිරු සමඟ පිබිදෙමින් පැවතිණ. ඔවුන්ට ඉහළින් දැවැන්තව දිගහැරුණු අහස ළා අළුවන් දිය සායම් සිතුවමක් සේ පැතිර තිබිණ. ඈත සිතිජය පෙදෙස රතුවන් පැහැයට හැරෙමින්.....

තරුණ යුවළ සෙමෙන් ඇවිද ගියහ. හදිසියකින් තොරව..... සැහැල්ලූවෙන්..... වටපිටාවේ නැවුම් බව ඔවුන්ගේ විඩාබර සිත් ප‍්‍රබෝධවත් කළේය.

දෙදෙනා කුඩා බෑවුමක් දිගේ ඉදිරියට එද්දී, තැනිතලාව හරහා ඇද ගැසුණු දිග දීප්තිමත් ඉරක් බඳු වූ දියපහරක් ඔවුන්ට දැකගත හැකිවිය. අඩිපාර දිය පහර තරණය කළේ සිහින් යකඩ ඒදණ්ඩකිනි. තවත් ඉදිරියට යද්දී තරුණයින් හට දියපහරේ සිනාබර සිරි සිරිය ඇසෙන්නට විය. ඒ තරමටම හාත්පස සාමකාමී නිසලබව පැතිර තිබිණ.


‘‘මෙතනින් වතුර බිව්වෑකි’’ දිය පහර අසළට එත්ම ශාම් කීවේය.

ඔහු ඒදණ්ඩ ගාවින් පහතට බැස දිය පහර ඉවුරේ ඇණතබාගති. අයිස් වැනි සීතල දියෙහි, ඔහුගේ ඇඟිලි හිරිවැටිණ. නැවුම් සීතල දිය ඔහු දෝතින් ගෙන බොන්නට ගති.

පරෙස්සමින් ඔහු පසුපසින් ඉවුර දිගේ බැස ආ නිර්මලී ඔහු පසෙකින් වාඩි වූවාය, පින්නෙන් වැසුණු තණපත් මත.....

‘‘සීතලද.....?’’ ඇගේ මුහුණ පිරිසිදු සිනාවකින් ආලෝකමත්ව තිබිණ.

ශාම් ඈ වෙත හැරිණ. සිය තෙත් දෑතින් ඔහු සෙමෙන් ඇගේ දෙකොපුල් පිරිමැද්දේය. ළදරුවෙකු මෙන් කෑගැසූ ඈ ඉවත හැරුණාය. අයිස් බඳු සීතලෙන් ඈ වෙව්ලූවාය.

නිර්මලී දිය පහරට නැඹුරු වූවාය. අඩියේ වූ සියුම් වැළි කැට පවා පෙනෙන තරම් දිය පහර පැහැදිළි විය. ඇ සිය දෑතින් සීතලම සීතල දිය ගෙන බීවාය. දෙතොල්, දත්, දිව අතරින් අයිස් බඳු සීතලක් ගළා ගියේය. ඈට එය අමුතුම වින්දනයක් විය.

සිහිල් දියෙන් මුහුණ දොවාගත් දෙදෙන නැගී සිටියහ, ප‍්‍රබෝධමත්ව.....

දිය පාරේ වතුර මතුපිටින් සිහින් වාෂ්පයක් නැඟෙමින් තිබිණ. පින්නෙන් පෙඟුණු යකඩ ඒදණ්ඩෙන් සියුම් මළකඩ සුවඳක් නැඟී ආයේය. ශාම් ගේ සීතල අතින් අල්ලාගත් තරුණිය ඔහු පසුපසින් ඒදණ්ඩ තරණය කළේ සීරුවෙනි.

ඒදණ්ඩ කෙළවර අඩිපාර දෙකට බෙදී තිබිණ. කෙලින් දිවුනු එක් මඟක් වඩා පැහැදිළිව තණබිම මැදින් ඇතට විහිදුණු අතර, තණ පඳුරින් අඩක් වියැකී ගිය අනෙක් පෙත්මඟ වම්පසට විහිදී, තණබිම සීමා කළ වනරොද වෙත වැටී තිබිණ.

ශාම් ස්ථිර නමුත් මෘදු පියවරින් දෙවැනි පෙත් මඟ දිගේ පියනගන්නට විය. තමා පිටුපසින් එන තරුණියද කැටිව..... සිහිල් සුළඟ තැනිතලාව හරහා කඩාවදිමින් තරුණ සිරුරු සියුම් වාෂ්පයෙන් නහවමින්, ගළා බැස්සේය.

තුනී මිහිදුමින් මඟ දෙපස වූ කුඩා වල් පඳුරු මත වූ මල් තෙත් බර පින්නෙන් නැහැවෙමින් තිබිණ. අඩක් වියැකුණු පෙත් මඟ ඔස්සේ වන රොදට ඇතුල් වෙත්ම, මෙතෙක් තෙත්බරව ඇඟට කඩා වදින සුළඟින් වූ හිරිහැරය පහව යනු නිර්මලී හැඟුවාය. එතැන් සිට ඔවුන් වටකරගත් පින්නෙන් බර වන ගහණයත්, සීතල මඳ අඳුරත් ඒතරම් අවහිරයක් වූයේ නැත.

පාර හරහා කඩා වැටී දිරා යමින් තිබූ ගස් කඳක් මත වූ වල් උඩවැඩියා මල් මුතු වන් පිණි කැට වලින් වැසී දීප්තිමත්ව තිබිණ. ඒ අසළම ගස් කඳ මතට වී හිස සළමින් සිටි, වේලාසන අවදි වූ කටුස්සෙක් තරුණ යුවළ දැකීමෙන් තිගැස්සී, පඳුරු තුළට දිව ගියේය.

පාරට නැමීගිය ගස් අතු යටින් රිංගා යමින්, කුඩා ගල් මතින් පනිමින්, දෙදෙන ඉදිරියටම පිය නැගූහ. ඒකාකාර නැග්මක් හෝ බැස්මක් හෝ නොවූ තැනිතලා බිම තරුණයින්ට අසීරුවක් ඇති කළේ නැත.

පෙත් මෙඟහි වංගුවක් පසු කරත්ම ඔවුන් ඉදිරියෙහි වූයේගස් වදුලෙන් වැසී ගියලී කඳන් වලින් සෑදූ මඩුවකි. එය නොබෝ දිනකට පෙර අත්හැර දමා ඇති බව දක්වන ලකුණු ඔවුන් ඒ වෙත ළඟාවෙද්දී දක්නට ලැබිණ.

‘‘මේකද ඔයාගෙ ගෙදර?’’ නිර්මලී සිනාසෙමින් ඇසුවාය.

ශාම් හිස සැළීය. ‘‘ගෙදර යනකල්.....’’ ඔහු කීය, ‘‘..... මේක අපේ ගෙදර වෙයි.’’

මඩුවෙහි එක් කෙළවරක රළු ලෙස සෑදූ මැස්සක් විය. ශාම් මඬුවට ඇතුල් වී සිය බෑගය ඒ මත තැබීය. තරුණිය මැස්ස මත වාඩි වූවාය. ඒ අසළම බිම වියළි දර ගොඩක් විය. ශාම් වැසි කබාය ගළවා මැස්ස මතට විසි කරමින් ඒ වෙත ගියේය.බිම ඇණ තබාගත් ඔහු දර කැබළි එකිනෙක ගෙන කඩිසර ලෙස ඒවා ගිනි මැළයක ආකාරයට එක මත එක තබන්නට විය. හිමිදිරි සීතලෙන් ද, විඩාවෙන් ද මිරිකුනු නිර්මලී දෙපය ද මැස්ස මතට ගෙන, සිය උර වටා වූ තුවායෙහි ගුලි ගැසෙමින් ඔහු දෙස බලා සිටියාය.

ශාම් සිය කලිසමේ සාක්කුවකට අත යැවීය. නැවත අත එළියට ගත් ඔහු නැගී සිට සිය දෑත් සාක්කු දෙකටම රිංගවීය.

‘‘අමතක වුනානෙ ලයිටර් එක නෑ කියලා.....’’ ඔහු මැස්ස මත වූ තරුණිය වෙත හැරිණ. ‘‘මගෙ බෑග් එකේ සයිඩ් එකේ ඇති ගිණිපෙට්ටියක්.....’’

නිර්මලී ඔහුගේ බෑගය තමා වෙත ඇද ගත්තාය. එය විවර කළ ඈ අත රුවා ගිණි පෙට්ටිය එළියට ගෙන ශාම් වෙත පෑවාය.

කීප මොහොතක ඇවෑමෙන් තරුණයා ගිණි මැළය දැල්වීය. මඳ වේලාවක් ගතවී යත්ම තරුණ සිරුරු උණුසුම් වන්නට විය. නිර්මලී තම සිරුර වටා ඔතාගෙන සිටි විශාල තුවාය මුදා ගත් ශාම්, සිය වැසි කබාය මැස්ස මත එළා, ඒ මත තුවාය ද ඇතිරීය. තරුණිය විඩා බර සිරුරින් ඒ මත වැතිරුණාය. ශාම් ඒ අසළින් වාඩි වී සිගරැට්ටුවක් කමිස සාක්කුවෙන් ගෙන මුවග රඳවාගති. ගිණි මැළයෙන් දර කැබැල්ලක් ඇද ගත් ඔහු ඉන් සිගරැට්ටුව දල්වා ගත්තේය. සිහින් සුළං රොදකට හසු වූ සිගරැට්ටුවේ දුම් රැළි ඔහුගේ සිරුර වටා එතී යන්නට විය.

නිර්මලී ඔහු වෙතට ඇදුණාය.

‘‘ශාම්.....,’’

තරුණයා ඈ වෙත හැරිණ.

‘‘කොහොමද  ඕක බොන්නෙ?’’

මඳ සිනාවක් පෑ ඔහු සිගරැට්ටුව ඈ වෙත දිගු කළේය. තරුණිය එක් අතකට වාරු දෙමින් කෙළින් වී, අනෙක් අතින් එය ගත්තාය.

‘‘ටිකක් ගන්න.....’’ ඔහු කීය. ‘‘පස්සෙ..... ඒක හුස්මක් එක්ක උඩට අදින්න.’’

නිර්මලී සිගරැට්ටුව සිය දෙතොළතර රඳවා දුම් පොදක් ඇද්දාය. ඔහු කී අයුරින්..... නැවත ප‍්‍රාශ්වාසය සමඟින් එය පිට කළ ඈ මඳ සිනාවක් පෑවාය.

‘‘මොකද්ද ඉතින් මේකෙන් ලැබෙන්නෙ.....?’’

තරුණයාද සිනාසිණ.

‘‘තව උගුරු තුන හතරක් අරන් බලන්න.....’’

තරුණිය නැවත සිගරැට්ටුව උරන්නට වූවාය.

‘‘එක පාරකට ගොඩක් ගන්න එපා.’’ ශාම් කීය. ‘‘.....කැස්ස හැදෙයි.’’

දුම්කොළ පිළිස්සුණු දුම සමඟ සිය සිරුරේ මසු පිඬු සැහැල්ලූ වී යන අයුරක් ඈ හැඟුවාය. උගුරු කිහිපයකින් ම එහි චමත්කාරජනක මෝහණයට හසුව ඇගේ දෑස් අඩවන් ව ගියේ ය.

ඈ සිගරැට්ටුවෙන් උගුරක් ගෙන එය නැවත ශාම් වෙත දිගු කළාය.

‘‘ඇද්ද.....?’’ ඔහු සිනාසෙමින් ඇසීය.

නිර්මලී මඳ සිනාවක් නැඟුණු මුහුණින් ඔහු දෙස බැලූවාය.

‘‘මේකද දැනෙන්නෙ?’’ ඈ ඇසුවාය. ‘‘මුළු ඇඟම ශාන්ත වෙලා යන මත් ගතිය?’’

ඔහු හිස සැළීය.

සිගරැට්ටුව තවත් දෙතුන් පාරක් ඉරූ හෙතෙම, එය ගිණි මැළයට විසි කළේය.

‘‘පුරුදු වෙන්න නං එපා‘‘ ඔහු කීය. ‘‘මුල් වතාවට ඔහොම දැනුනටඕක ඔයාගෙ උගුරටයි, පපුවටයි නරක බලපෑමක් කරනවා. මම අත්දැකීමෙන් දන්න විදියට, කාලයක් යද්දි හතිය, මහන්සිය ඇතිවෙනවා. අන්තිමේ උගුරෙත් පෙනහළු වලත් පිළිකා ඇති කරන්න මේ මිනිත්තු කීපයක සතුට බලපානවා.’’

‘‘එහෙනම් ඔයා බෙන්නෙ?’’

ශාම් මඳක් පැකිළිණ. වරදක් කර හසුවූ ළමයෙකු මෙන් ඔහු සිනාසිණ.

‘‘මට කොහොමත් එකයි. එක අතකට මගෙ පැවැත්ම මේ ලෝකෙට ගොඩක් වැදගත් බවක් මට දැනිලාම නැහැ වගේ. අනික් අතට, යමකට ඇබ්බැහි වුණාම නවත්වන්න අමාරුයි. ඒ වගේම මේක නොබී ඉන්න විශේෂ හේතුවකුත් නෑ’’

නිර්මලී කෙළින් වී, තමා අසළ හිඳ සිටි තරුණයාගේ ඉඟ වටා සිය දෑත් යවා බැඳ ගත්තාය. ඇගේ ළයෙහි ස්ත‍්‍රී උණුසුම ඔහුගේ පිට මතින් දැනිණ.

‘‘මට බැරිද හේතුවක් වෙන්න.....?’’ ඔහුගේ උරහිස මත සිය නිකට තබාගත් ඇය ඇසුවාය.

මීළඟ කොටස...

වැඩිපුර බලපු ලිපි