මෙතෙක් කතාව
නිර්මලී කෙළින් වී, තමා අසළ හිඳ සිටි තරුණයාගේ ඉඟ වටා සිය දෑත් යවා
බැඳ ගත්තාය. ඇගේ ළයෙහි ස්ත‍්‍රී උණුසුම ඔහුගේ පිට මතින් දැනිණ.
‘‘මට බැරිද හේතුවක් වෙන්න.....?’’
ඔහුගේ උරහිස මත සිය නිකට තබාගත් ඇය ඇසුවාය.
ශාම් මෘදුව ඇගේ දෑත් ඉවත් කරමින්,
ඈ වෙත හැරිණ. තම දෑස් වෙත එක එල්ලේ බලා සිටින
දීප්තිමත්, සුරතල් බැල්මකින් පිරුණු ඇස්..... ඔහු
සිනාසිණ. මළාණික මඳ සිනාවක්..... එහෙයින්ම එය හෘදයංගම විය. තරුණියගේ දෙවුර මතින්
දෑත් යැවූ හෙතෙම, ඈ මෘදුව ලී මැස්ස මත වැතිරවමින් ඈ අසළින්
වැතිරිණ. ඔහුගේ දෑත් ඇගේ ඉඟ දෙපසින් ඇදී ගොස්, ඇගේ සිරුර ඔහු වෙත තෙරපා ගත්තේය.
ශාම් ගේ මුහුණ තමා වෙත නැඹුරු වත්දී
ඇගේ දෑස් සෙමෙන් පියවී ගියේය. තරුණියගේ දෙකොපුල්, පියවුණු දිගු ඇසිපිය මත ඔහුගේ සුසුම් උණුසුම්ව පතිත විය. ඇගේ කුඩා
සිහින් අත්, තරුණයාගේ සිරුර වැරෙන් අල්ලා ගති. ඇගේ
සියුම් සුසුම් වලින් යන්තමින් විවර වූ තෙත් දෙතොල් මත ඔහු ගේ දෙතොල් පතිතව තෙරපී
ගියේය.
දිගුම දිගු කාලයක් තිස්සේ තම දෙතොල්
ශාම් ගේ දෙතොලින් උරා බොනු ඈ හැඟුවාය. ඔහුගේ සිහින් සැළෙන ඇඟිළි ඇගේ හිසකේ අතරින්
ඇදී යන්නට විය. තරුණියගේ කෙස් අතරින් ඇගේ ගෙළෙහි සුමුදු සම මතට පැමිණි ඒ ඇඟිළි
තුඩු වලින් එතැන සෙමෙන් පිරිමැදෙන්නට ගති.
ඈ දෑස් අඩවන්ව විවර කරගනිමින්
සිහිනයකින් මෙන් සිනාසුණාය. ශාම් ගේ හිස සෙමෙන් සිය ගෙළ වෙත පහත් වෙද්දී, ඈ හිස ඇළ කරමින් ඊට ඉඩ දුන්නාය. ඇගේ ඇළ කෙරුණු
හිස වමතින් දරාගත් හෙතෙම, සුරතින් ඈ තව තවත් තම උණුසුමෙහි තුරුළු
කර ගති. ඔහුගේ සුසුම් සිය ගෙළ මත පතිත වත්ම, සිය සමට යටින් උණුසුම පැතිර යවමින් ලේ විහිදී යනු ඈ හැඟුවාය. ඈ සිය
දෑස් පියවෙන්නට ඉඩ හැරියාය. තරුණයා ඇගේ ගෙළ මෘදුව සිපගනිද්දී, ඔහුගේ සැළෙන දෙතොලතරින් දත් වල තුඩු සිය සම මත
යාන්තමින් තෙරපෙනු ඇයට දැණින.
ශාම් ගේ දෙතොලට නියමිත ඉළක්කයක් හෝ
මාර්ගයක් හෝ නොවීය. හෙතෙම අතරක් නොමැතිව ඇගේ සුමුදු ගෙළ සිපගන්නට විය. ඇගේ සම ළා
රත් පැහැ වන තෙක්..... එතැනින් පහතට ඒ දෙතොල් ඇදෙද්දී, ඔහුගේ ඇඟිළි තුඩින් සිය ගවුමේ කරෙහි බොත්තම් ගැළවෙද්දී නිර්මලීට සීතල
දැනුනේ නැත. ඇගේ සිරුර පුරා ලා උණක් බඳු හැඟීමක් පැතිර යමින් තිබිණ. ඇගේ හදවත
තදින් ගැහෙමින් පැවතුණේ, ඇගේ දෑත්..... දෙපා..... එක් ආකාරයකින්
දුබල කරවමිනි.
එසේ වුවද ඇයටද නිසොල්මනේ සිටිය හැකි
වූයේ නැත. සිය සිහින් දෑතින් ඔහුට තෙරැපී තුරුළු වෙමින් ඈ ඔහුගේ හිස, ගෙළ, ඇසිබැමි, නළලත පිළිවෙලකින් තොරව සිපගනිමින්
සිටියාය.
තරුණයින් නොදැනුවත්වම, උදෑසන එළඹෙමින් තිබිණ. කුඩා කුරුල්ලෝ පඳුරු
අතරින් එළියට එමින් ප‍්‍රබෝධමත්ව කෑගසන්නට පටන් ගෙන තිබිණ. අරුණාලෝකයේ දීප්තිමත්ව
බැබළුණු පිණිකැට අතරින් කුඩා වන මල් කැකුළු විකසිත වෙමින් පැවතුණි. ගිණිමැළය පට පට
හඬින් පුපුරමින් දැල්වෙන්නට ගති.
තරුණ යුවළ උණුසුම ද, සිසිලස ද එක විට විඳිමින් සිටියේ, විටෙක ශක්තිමත්ව ද, එසේම දුර්වල බවින් පිරීයමින් ද විය. තරුණයා හා තරුණිය එකිනෙකාට
කෙතරම් සමීප වූවෝද යත්, දෙදෙනෙකු නොව එක් අයෙකු බවට පත්වන්නාක්
මෙන්, කිසිදා වෙන් නොකළ හැකි ලෙස මනසින්
එක්වන්නාක් මෙන්..... එම කාර්යයේදී විඳින්නට වන වේදනාව ද, සුවය ද, සමසේ වින්දෝය. දෙදෙන සිය සිත් වල ගැටෙමින් පැවති ප‍්‍රකෘතියේ
කම්කටොළු වලින් බොහෝ ඈත්ව සිටියෝය.
![]() |
ගිණිමැළය සෙමෙන් නිවී යන්නට පටන් ගති.
දෙදෙන සෙමෙන් එකිනෙකාගෙන් මෑත් වද්දී, දෙදෙනාම
අලූත උපන් බිළිඳුන් සේ නැවුම් වූහ. නිර්මලී ශාම්ගේ දෑතේ වැතිර සිටියාය, ඔහුගේ උණුසුමේ අඩක් තුරුළුව..... ඈ සිය විසල්
දෑස් විදහා ඔහු දෙස බැලූවාය. ඇගේ දෑසේ තිරසාර ඉළක්කයක් නොවීය. ඒ දැස්..... තම දෑස්
වෙත එල්ල වූ එම දෑසේ ඇසි පිය මත මුතු කැට වැනි කඳුළු කැට දිළිසෙනු තරුණයා දිටීය.
ඔහු සිය හිස පහත් කොට, ඇගේ දෙතොල් ආදරයෙන් සිපගනිමින් උරන්නට
විය. සිපගැනීම කෙළවර, හිස ඔසවා ඈ දෙස බැලූ හෙතෙම ඒ විසල්
දෑස් තවමත් තමා වෙත එල්ල වී ඇති අයුරු දිටීය. ඇගේ මුහුණ පුරා ශාන්ත මඳ සිනාවක්
පැතිර තිබිණ.
වචනයකුදු ඒ මොහොතේ වූ නිහඬ නිසලත්වයේ
අසිරිය බිඳීමට නොනැඟිණ. නොබෝ වේලාවකින් උදෑසන අවදි වී එන පරිසරය නොතකා කුඩා දරුවන්
මෙන් උනුන් වෙත තුරුළුව ගුළි ගැසුණු යුවළ
ශාන්ත නින්දක ගිළී ගියහ.
සැඳෑ අඳුර පොළොව මතට වැටෙන්නට පටන් ගෙන
තිබිණ. දුම්රිය පොළේ එතරම් සෙනඟක් සිටියේ නැත. ලී බංකුවක කෙළවර විකුම් හිඳගෙන
සිටියේය. දෙතුන් දිනක් පැරණි රැවුළින් වැසුනු මුහුණ අතකින් පිරිමදිමින්..... ඔහු
අසළින්ම අකිලගේ ගමන් බෑගයද විය.
ඇඩම් විකට් කවුන්ටරයේ සිට ඒ දෙසට
පියනඟා ආයේය. අකිල ඔහු පිටුපසින් සෙවනැල්ලක් සේ පිය එසවීය.
ඔවුහු විකුම් අසළින් ඉඳගත්හ. කළු වස්ත‍්‍රධාරියාගේ
හැඟීම් විරහිත මුහුණේ, කාලාන්තරයක් තිස්සේ ආ ගමනක කෙළවරට
ආසන්න වීමෙන් ඇතිවන ශාන්ත නිශ්චල බව පැතිර තිබිණ.
මළාණික නළා හඬක් සමඟින්, ඈත සිට දුම්රිය දිගු සර්පයෙකු සේ ඇදී එන්නට විය.
‘‘උඹ එන්නෙ නැද්ද අපිත් එක්ක.....?’’
අකිල අවසන් වරටද ඇසීය.
‘‘නෑ.....’’ විකුම් නැගිට්ටේය. ‘‘මට
මෙහෙ තව පොඩි වැඩක් තියෙනවා.’’
‘‘මොකද්ද අර ගණිකාවත් එක්ක උඹට තියෙන
මහලොකු වැඩේ.....?’’ අකිල තදකරගෙන සිටි හැඟීම් පුපුරා
ගියේය.
ඇඩම් කිසිවත් නෑසුණ ලීලාවෙන් ඈත බලා
ගෙන සිටියේය. තරුණයන්ගේ ප‍්‍රශ්න ඔවුන්ටම විසඳා ගැනීමට ඉඩ හැරීමට ඔහු තීරණය කළ බව
පෙනිණ.
‘‘උඹට තේරෙන්නෑ අකිල .....’’ විකුම් සිය සගයාගේ මුහුණ දෙස කෙළින් බැලීය. ‘‘.....ඒ කෙල්ල ගෙ තියෙන්නෙ අමුතුම තත්ත්වයක්. තමන්ට
පහර දුන්න එකා ගැන ඒකි කතා කරන්නෙ හරියට බෝයිෆ්‍රෙන්ඞ් ගැන කතා කරනව වගේ.
‘‘එතන මොකක් හරි වැරැද්දක් තියෙනවා.
එක්කො අපි දන්න දේවල් වල මොකක් හරි අවුලක්..... අපිට අහු නොවෙන තත්ත්වයක් මේ
වැම්පයර් එකා තමන්ගෙ ගොදුරු එක්ක පවත්වාගන්නවා.....’’
දුම්රිය වේගය බාල කරමින් විත් නැවතිණ.
ඇඩම් නැගී සිටියේය.
‘‘අපි යනවා.’’ ඔහු විකුම් ඇමතීය. ‘‘මම
හිතනවා අපිට ඔයාව ඕනෙ කරන වෙලාවට ඔයා එතන
ඉඳීවි කියලා.’’
‘‘මා ගැන බලාපොරොත්තු තියන්න පුළුවන්.’’
විකුම් පැහැදිළිව කීය.
දුම්රියේ පාපුවරුවට නැඟී ගෙළ හරවා බැලූ
අකිල හිස දෙපසට වැනීය.
ශාම් සිය මිතුරියද සමඟ උදෑසන පිබිදෙන
මිනිසුන්ගේ ඇසට ලක් වීමට සිතුවේ නැත. තම නිවසට ඇතුල් වීමට ඔහු රාත‍්‍රිය තෝරාගති.
කෙසේ වූවත් දිගු ගමනකින් පසු ඔවුන්ට විවේකයක් අවැසි විය.
අවසන ඔවුහු රාත‍්‍රියේ ශාම් ගේ නිවහනට,
ඔවුන්ගේ අනාගත රක්ෂස්ථානයට යාමට පිටත් වූහ.
පදිකයන්ගේ කුතුහලයෙන් පිරි බැලූම්
මඟහරිමින්, මහපාරෙන් බෑවුම් වූ පටු පාරක් දිගේ බැස
ගිය ඔවුහු තැනි බිමක පාළුවට ගිය කුඩා නිවසක දිරාගිය කඩුල්ල පැන්නාහ.
වල් වැවුණු ගෙමිදුල දිගේ පියනැඟූ ශාම්
වසර ගණනක හිරු රැසින් හා වැසි දියෙන් දුර්වර්ණව ගිය නිවසට ළඟා විය. නමුත් ඔවුහු
බලාපොරොත්තු වූ පරිදි එය හිස්ව තිබුණේ නැත.
නිවසේ පසුපස පැත්තට වන්නට තනා තිබූ
බරාඳයෙන් දුර්වල එළියක් තරුණ යුවළ දුටහ. ශාම් නිර්මළී දෙස බැලීය. නිහඬව තමා පසුපස
එන ලෙස ඇයට ඉඟි කළ ඔහු සෙමෙන් සෙමෙන් ඒ දෙසට ඇදුනේය. තණකොළ පොඩිවන තරමේ ඉතා සිහින්
හඬක් හෝ නොනැඟෙන පරිදි.....
ඔහු කැළයට ගිය මල් පඳුරක් අසළ ගුළි
ගැසී පරෙස්සමින් එතැනින් එබී බැලීය. එසැණින් ඔහු නැවත සිය හිස පිටුපසට ගති.
නිර්මලී ඔහු අසළම වූවා, ඔහුගේ මුහුණ දෙස බැලූවාය.
එබී බලන ලෙස ඔහු ඇයට මුහුණින් ඉඟි
කළේය.

