රුහිරෙන් පුදමි - 9 කොටස

මෙතෙක් කතාව

එක්වරම පණගැන්වුනු කුළී රියේ විදුලි ආලෝකයෙන් ශාම්ගේ දෑස් නිලංකාර වී ගියේය. කෙල්ල අතහැර ආපසු හැරුණු ඔහු ප‍්‍රතිවිරුද්ධ දිශාවට දුවන්නට ගති. තව තවත් අන්ධකාරය තුළටම..... මොහොතින් මොහොත වැඩි වෙමින් නැඟී එන බල්ලන්ගේ උඩු බිරුම් හඬ තමා පසුපස ළුහුබැඳ එන්නා සේ ඔහු ට හැඟුණි.

මීටර් දෙ තුන් සියයක් යන්නට මත්තෙන් තරුණයාට හති වැටිණ. ඈතින් ඇසෙන බල්ලන්ගේ බිරුම් හඬවල් වියැකී යත්ම ඉතිරි වූයේ ශාම්ගේ සෙරෙප්පු පාර මත වදින බොල් හඬ පමණි. දිව යාම කෙමෙන් කෙමෙන් පැකිළෙන සළු පියවරයන් බවට පරිවර්තනය විය.

තම පැවැත්මේ ඇති නිස්සාරබව සිතට කාවැදීමත්, නිරාවරණය වීමේ භීතියත් විසින් තරුණයා පත්ව සිටි ගැඹුරු මෝහණය බිඳීගියේ රේල් පීලි අතර ඇති කට්ට ගල් වල පය ගැටීමෙනි. එතැනින් දුම්රිය පොළ පටුමඟට හැරුනු ඔහුගේ අරමුණ වූයේ හිස් දුම්රිය පොළයි.



අතරින් පතර විදුලි කණු සමහරක වූ විදුලි බල්බ වලින් නැඟුණු මළාණික එළියකින් දුම්රිය පොළේ අඳුර යන්තමින් මැකිණ. ලී බංකුවක, දෙකක නිදාසිටි හිඟන්නෙක්, දෙදෙනෙක් ඉඳහිට නැඟූ කෙඳිරිලි හඬ හැරෙන්නට හාත්පස වූයේ රැහැයියන්ගේ සිහින් මරු මුරුව පමණි.

දුම්රිය වේදිකාවේ වූ කුඩා කැබිනය ආසන්නයේ ම වාගේ පිහිටි ලී බංකුවක් මත ශාම් ඇද වැටිණ. හති වැටීමෙන් දුර්වල වූ හෙතෙම දහදියෙන් වැසී සිටියේ ය. සිතෙහි බලපවැත්වූ ව්‍යාකූල බව හා කම්පණය නිසා ඔහු වෙවුලන්නට ගති.

ඉදිරියට නැඹුරුව දෙදණ මත වැළමිටි ගසාගෙන, දෑත් මත හිස රඳවාගෙන තමන් කෙතරම් වේලා සිටියේදැයි ඔහුට හැඟීමක් නොවීය. තමා වෙතට එන සිහින් පියවර හඬ ඔහුට ඇසුනේ ද නැත.

‘‘ශාම්.....!’’ ඔහුට හොඳින් හුරු තරුණ කන්‍යා සොයුරියගේ හඬ.....

පාපීන් වූ අප උදෙසා දෙවියන් වහන්සේ ඉදිරියේ පෙනී සිටින මරිය මවුතුමිය.....ශාම් ට සිහිපත් විය.

තමා දෙස හිස ඔසවා බැලූ තරුණයාගේ මුහුණෙහි වූ හැඟීම නිර්මලී තවත් පුදුමයට පත් කළේය. ඈ ඔහුට තවත් ළං වූවාය.

‘‘ඔයා මොකද මෙතන කරන්නෙ?’’ ශාම් ගේ හඬ කෙඳිරිල්ලකට ආසන්න විය.

‘‘අපේ සිස්ටර්ස්ලා ඥාණකාන්ති ගිහින් ඊයෙ හවස. මම ගමනක් ගිහින් එද්දි මට පරක්කු වුණා. ඉතින් මම පාන්දරම යනවා. ඔයා මොකද මේ වෙලාවෙ? මොකද මේ ඔයා ඉන්න විදිහ.....?’’

ශාම් ඇගේ නිර්මල මුහුණ දෙස බැලිය නොහැකිව, දෑස් බිමට හරවාගති. ඇගේ සිහින් අතැඟිලි සිය හිස මත මෘදුව පිරිමැදෙද්දී..... ඔහුගේ උරහිස් තදකරගත් ඉකියකින් ගැහෙන්නට විය.

‘‘ශාම්..... ඇයි, ඇයි මේ?’’

‘‘මම..... මම..... මේ සමාජයට මහ විපතක්..... නිර්මලී’’

‘‘එහෙම කියන්න එපා ශාම්, ඔයා හරි කරුණාවන්ත කෙනෙක්.....’’

‘‘නෑ නිර්මලී..... මම..... මම.....’’ ඔහු වචන සෙවීය.

‘‘ඇයි ඔයා මෙහෙම කතා කරන්නෙ ශාම්.....?’’ ඇගේ ස්වරයේ වූ මව් උණුසුම ඔහුට හොඳින් දැනුනි.

‘‘ඇත්තටම.....’’ ඔහු හිස දෑත් තුළ ගසා ගති. ‘‘.....මට සැනසෙන්න විදිහක් නෑ, මගෙ ජීවිතය ගැන..... ඔයාගෙ යාළුව මැරුණෙත් මගෙ අතින්.....’’

නිර්මලී ඔහුගේ හිස සිය දෑතින් අල්ලා ඉහළට එසවූවාය. තම දෑස් තුළට එබුණු ඇගේ දයාන්විත දෑස් වල පැවති විස්මය ශාම් හොඳින් දුටුවේය. ඈ දෑතින් ම තරුණයාගේ හිස අල්ලාගෙන ඔහුගේ මුහුණ සිය ළය මත තද කරගත්තාය. ඇගේ සිහින් සිරුර ගැහෙනු ඔහුට දැනුනි.

නිහඬ කාලාන්තරයක් තිස්සේ ඇගේ දෙකොපුල් කඳුළින් වැසී ගියේ ය.

‘‘නෑ ශාම්, නෑ. ඔයා ඒ වගේ නෙවෙයි.....’’ හැඬුමින් ඇවිරුණු ඇගේ කටහඬ..... ‘‘ඔයා හරි කරුණාවන්ත....., හොඳ කෙනක්. පසුතැවිලි වීම උවමනා නැති ධර්මිෂ්ඨයන් අනූ නවයකට වඩා.....’’

‘‘.....පසුතැවිලි වන එක් පව්කාරයෙකු ගැන ස්වර්ගය ප‍්‍රීති වන්නේය..... මට මතකයි.....’’ ශාම් වාක්‍යය පිරවීය. ඔහු සිය මුහුණ කන්‍යා සොයුරියගේ ළය මත තද කරගනිමින් ඇගේ ඉඟවටා දෑත් පටළා ගති.

‘‘ශාම්.....’’ දිගු වේලාවකට පසු නිර්මලී නිහඬතාවය බින්දාය.

තරුණයා හිස එසවීය.

‘‘අපි මොනව හරි බොමුද.....? මේ හරියෙ තියෙනවද දන්නෑ එහෙම තැනක්?’’

දුම්රිය පොළ අවදි වෙමින් තිබූ බව පෙනුනි. ජර්සි පොරවාගත් මඟීන් කිහිප දෙනෙක් ටිකට් කවුන්ටරය අසළ පේළියක් සෑදී සිටියහ.

ශාම් සෙමෙන් නැඟිට ඇගේ ගමන් බෑගය ඔසවා ගත්තේය.

‘‘යමු.....’’

ඔහු ඉස්සර විය. කුඩා කන්‍යා සොයුරිය ඔහු පස්සෙන් වැටුණාය. දුම්රිය පොළෙන් පිටට පැමිණි ඔවුහු පින්නෙන් පෙඟුණු පටු මඟ දිගේ පියනැඟූහ. පටු මාවත හා මහපාර හමුවන තැන වූ දිළිඳු තේකඩය විවෘතව පැවතිණ. සීත වාතස්කන්ධය මැද විවෘතව පැවති එකම උණුසුම් ඒකකය එය විය.

බිත්ති වෙනුවට ලෑලි ගසා, අඩක් දිරා ගිය ටකරන් සෙවිළි කළ කුඩා තේ කඩයේ ඉදිරිපස එල්ලූ කෙසෙල් කැන් කිහිපය සෙමෙන් පැද්දිණ. පාන්දර දුම්රිය අල්ලාගැනීමට පැමිණි කිහිප දෙනෙක් එහි ඉදිරිපස සිටගෙන සිටියහ. තේ වීදුරු හෝ දැල්වෙන දුම්වැටි අතැතිව ගුමු ගුමුවක ගිළී සිටි ඔවුහු, තමන් පසු කොට කඩයට ඇතුල් වූ තරුණ යුවළ දෙස හොඳින් බැලූහ. පරණ ලෑලි වලින් සෑදුණු කවුන්ටරය පිටුපස පුටුව මත, සුරුට්ටුවක් කටේ රුවාගත් තරබාරු වයසක මිනිසෙක් අඩනින්දක පසුවිය.

කඩය ඇතුලේ තිබූ මේසය දෙපස වූ බංකු දෙක මත, දෙදෙනා මුහුණට මුහුණලා වාඩිවූහ. ස්වල්ප මොහොතකින් චීත්තයක් සහ ජර්සියක් ඇඟලා ගත් කඩිසර මහළු කාන්තාවක් ශාම් වෙත පැමිණියා ය.

‘‘ඔයා කෝපි බොනවද?’’ තරුණයා සිය මිතුරියගෙන් විමසීය.

ඈ හිස සැළුවා ය.

‘‘කෝපි දෙකයි, සිගරැට් හතරයි’’ ශාම් ඇනවුම් කළේ ය. ‘‘මොනව හරි කනවද.....?’’

ඈ හිස දෙපසට වැනුවේ ළදැරියකගේ බඳු සුරතල් බවකිනි.

මහළු කාන්තාව ගෙන ආ සිගරැට් තුනක් උඩ සාක්කුවට රුවාගෙන ඉතිරි එක මුවග රඳවාගත් තරුණයා, සිය කළිසම් සාක්කු තුළ යමක් සෙවීය. ඉන්පසු කමිස සාක්කුව තුළ..... ඔහුගේ මුහුණ ඇදී ගියේ ය.

‘‘මගෙ ලයිටරෙත් නැති වෙලා.....’’ හෙතෙම මේසය මත වූ ගිණිපෙට්ටිය අතට ගනිමින් කීය. ගිණිකූරක් ගැසූ ඔහු, සිගරැට්ටුවට මඳක් පහතින් ගිණි දැල්ල අල්ලා එහි උණුසුමින් සිගරැට්ටුව දල්වා ගන්නා අයුරු නිර්මලී උනන්දුවෙන් බලා සිටියාය.

ජෝගුවක් තුළ සීනි කූරුගානා ටක ටක හඬ කඩයේ පිටුපසින් නැඟෙන්නට විය. මොහොතක ඇවෑමෙන් දුම් දමන කෝපි කෝප්ප දෙකක් ඔවුන්ගේ මුහුණු ඉදිරිපිටට ආයේය.

‘‘ඔයා හිතන්නෙ ඔයා විතරයි කියලද.....?’’ කන්‍යා සොයුරියගේ පහත් කටහඬින් ඔහු ගැස්සිණ. හිස එසවූ ඔහුට, සිය කෝපි කෝප්පයෙන් නඟින වාෂ්පය අතරින් ඇගේ සුදුමැළි නිර්මල මුහුණ දිස් විය. ‘‘..... මටත් මේ ක‍්‍රමය ඔරොත්තු දෙන්නෙ නෑ. ජේසුතුමා දේශනා කරපු දයාවන්ත දෙවියන් වහන්සේ වෙනුවට, මෙහෙ ඉන්නෙ පොල්ලක් වගේ දැඩි..... අපිට දශමයක්වත් හෙල්ලෙන්න දෙන් නැති..... කොහොමහරි, මම බලාපොරොත්තු වුණ දේ නෙමෙයි මෙහෙ තියෙන්නෙ..... හිර කූඩුවක් ශාම්. මට යන්න වෙන තැනක් නෑ. මං හැදුණෙ අනාථ නිවාසෙක..... ඒ නිසා මෙතන ඉන්නව මිසක්.....’’

‘‘..........’’

‘‘ඔයා මොකද කරන්නෙ දැන්.....?’’

‘‘මට මෙහෙන් යන්නයි හිතෙන්නෙ.....’’

‘‘කොහෙටද යන්නෙ.....?’’ නිර්මලී ඇසුවාය.

‘‘මම..... මම යනවා ගෙදර..... බදුල්ලෙ ෆයර්මවුන්ට් වල..... මෙහෙන් හැතැප්ම ගාණක් උඩහට.....’’

දුම්රිය සංඥා කණුවේ ටං ටං හඬින් තේ කඩයේ ඉදිරිපස සිටි මිනිස්සු කළබල වූහ. තරුණ යුවළ කඩිමුඩියේ බිල ගෙවා එළියට එද්දී, දුම්රිය ඔවුන් ඉදිරියෙන් දැවැන්ත යකඩමය හඬ මාළාවක් නංවමින් ඇදී යමින් පැවතුණි. ශාම් කන්‍යා සොයුරියගේ බෑගය ද රැගෙන දුම්රිය පොළ දෙසට දිවයන්නට තැනුවද, ඈ ඔහුගේ අතින් අල්ලා එය වැළැක්වූවාය.

‘‘මාත් එනවා ඔයත් එක්ක.....’’

‘‘නිර්මලී.....?’’

‘‘මාව වළක්වන්න එපා ශාම්, මටත් මේ ඔක්කොම එපා වෙලා. කෙල්ලෙකුට මේ සමාජයෙ තනියම නැගී හිටින්න හරිම අමාරුයි. ඒත් ඔයා මට සපෝට් කරනවනං..... මම දන්නවා ඔයා එහෙම කරයි කියලා..... මටත් පුළුවන් නොදන්න පළාතකට ගිහින් ජීවිතේ අලුතෙන් පටන් ගන්න. මට ජොබ් එකක් හොයාගන්නත් පුළුවන් වෙයි.....’’


දුම්රිය සෙමෙන් සෙමෙන් සිය ගමන නැවත ආරම්භ කරද්දී, දෙදෙනා තේ කඩයෙන් එළියට බට හ. මෙතෙක් වේලා තේ කඩය තුළ අඳුරේ සැඟවී සිටි ඡායාවක් අඳුරෙන් මෑත් විය.

35 comments:

  1. දුම්රියපොලෙන් තේ කඩය ට ගොස් කෝපි බොන තැන දක්වා ලියල තියෙන විදිය නම් හරිම අපුරුයි.මැවිල පේනව.
    මෙතනින් නිමිද?ඉදිරියට අදිනවද?

    ReplyDelete
    Replies
    1. ඉවරයි කියල හිතුනට, ඉවර නෑ. තව තියෙනවා....

      ඇත්තටම කෙන්ජි සං, මාත් එක්ක ආවොත් මගෙ කතාවට යොදාගත්ත ඔය හැම සයිට් එකක් ම පෙන්නන්න පුළුවන්. ඔය කියන තේ කඩෙන්, ගොඩක් ඉස්සර මාත් වැඩ ඇරිල ගෙදර යන ගමන් ප්ලේන්ටියක් බීලා සිගරැට් එකක් පත්තු කරගෙන තියෙනවා. ඔය කඩේ හිටිය නැන්දා දැනට අවුරුදු එකහමාරකට විතර කලින් මැරුණා. ඇන් ඉන්නෙ මාමා විතරයි.

      Delete
    2. මමත් අත්විදල තියෙන නිසානෙ මල්ලියො මැවිල පේන්නෙ.
      ඔය වගේ පොඩි කඩවල උදෙන්ම ආප්ප පුච්චන සුවදත් මතක් වුනා කතාව කියවද්දි.
      ඉස්සර කොල්ලො සෙට් එක එක්ක දිග නිවාඩුවකට නම් දික්ඔය,මස්කෙළිය,නෝටන්,තලවකැලේ,නාවලපිටි,ගම්පොල පැති තමා අල්ලන්නෙ.

      Delete
    3. ප්ලේන්ටියයි, සිගරට් එකයි.....බ්‍රිස්ටල්ද? ගෝල්ඩ් ලීෆ්ද?

      Delete
    4. @ කෙංජි
      කියනකොට මතක් වුණේ. අපි වීදි නාට්‍ය කරන කාලෙ හැමදාම අපිට දෙන පොකට් මනි වලින්, රෑ උණු උණු ආප්ප කාලා, සිගරැට් පත්තු කරං, කපුගේ ගෙ සින්දු කිය කියා පාර දිගේ එන හැටි. ඒ කාලෙ අපි වින්දෙ මාර ෆැන්ටසියක්. ජීවිතේ ගැන හිතාන හිටියෙත් හරිම පටු පරාසයක්...

      අර කියපු පැති තමා ඉතින් අපේ ෆැන්ටසි හයිඩවුට් නේ?

      @ අරූ
      අපි ගෝල්ඩ්ලීෆ් පරම්පරාව මචං. මෝ, මැටහෝන් එහෙමත් සිරාවට වින්දා. හැබැයි මං විඳපු හොඳම එක තමා මාල්බරෝ හන්ඩ්‍රඩ්ස්. දැන්නං සහමුලින්ම අමද්‍යපයි.

      Delete
  2. උදෙන්ම පෝස්ට් එක දැක්ක නිසා කියවලව යන්න හිතුව මම ඊයෙ කරපු අනුමානය හරිද බලන්නත් එක්කම. හැමදාම වගේ කතාව එල. අලුතෙන්ම ලිව්ව කිව්වට රටාවෙ ලොකු වෙනසක් පේන්න නෑ.

    හරි දැන් මගෙ අනුමානෙ.

    ශාම් වැම්පයරයෙක් ඒකෙ දැන් අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. ඒත් ඇයි ශාම් ඒ ගැන පසුතැවෙන්නෙ. යටගිය කතාවක් තියෙනව කියලයි මට හිතෙන්නෙ. දැන්නම් අනුමානයක් දෙන්න බැරි තරමටම කතාව වෙනත් පැත්තකට ගලාගෙන ගිහින් තියෙනව. දැන් තියෙන ප්‍රශ්නෙ ශාම් නිර්මලිත් එක්ක යයිද? යනවනම් කොහෙට යයිද? මට හිතෙන්නෙ දෙන්නම ෆයර්මවුන්ට් යයි. මොකද ශාම් දන්නව දැන් එයාගෙ පස්සෙන් දෙතුන් දෙනෙක්ම වැටිල ඉන්නව කියල. ඒක තමන්ට එච්චර හොද නෑ කියලත් දන්නව. අනික දැන් විකුම් පස්සෙන් වැටිල ඉන්නෙ. වැම්පයර් කතාව අස්සෙ හොද රහස්පරීක්ෂකයෙකුත් මට පේනව.

    මට දැනෙන තව ප්‍රශ්නයක් තමයි. ඇයි ශාම් අරවෙලේ පැනල ගියෙ කියන එක. ශාම්ගෙ හිතේ කිසිම කෙනෙක්ව මරන චේතනාවක් නැහැ කියලයි මට හිතෙන්නෙ. ලේ බිව්වත් ඒ ජීවිතේ පවත්වාගන්න ඕන හින්දම වෙන්න ඕන. සාමාන්‍ය වැම්පයර් කතාවකට වඩා වෙනසක් පේනව.

    ReplyDelete
    Replies
    1. අම්මෝ ශානා, මේ කමෙන්ටුව දැකලා මගෙ පපුවට කිලෝ දහයක විතර බරක් දැනුනා.

      ලොකු ශානා මතුකරන පොයින්ට් හැමදැමත් වගේ හරිම වැදගත්, කතාවෙ අවසානය දක්වා යන කොට තමා ඒවගෙ වැදගත් කම පේන්නෙ. ශානා මතුකරන ප්‍රශ්න ටිකම තමා මටත් මේ කතාවෙන් මතු කරන්න ඕනෙ වුණේ. ඒ කියන්නෙ මගෙ උත්සාහය සාර්ථකයි.

      කිසි කෙනෙක් මරණ චේතනාවක් නෙවෙයි තමයි ශානා, ආපහු 8 වෙනි කොටස කියෙව්වොත් ඒක ගැන අදහසක් එයි කියලා හිතෙනවා.

      Delete
    2. අයියෝ මචං ඔච්චර හිතන්න එපා ඕක ගැන. මම මේවගේ කතාවලට කැමති නිසයි දිගට කමෙන්ට් කරේ. අනික මම කැමති දෙයක් තමයි කතාවක් කියවගෙන යද්දි ඒකෙ ඊලගට මොනව වෙයිද කියල අනුමාන කරන එක. ඒකෙ මාර ගතියක් තියෙනව.

      08වෙනි කොටස ආයෙ කියෙව්ව ඒත් ලොකු අයිඩියා එකක් ගන්න බැහැ. මට හිතෙන්නෙ ශාම්ගෙ යටගිය කතාව උබට එලිකරන්න වෙනව. එහෙම නැති උනොත් කතාව ප්‍රශ්නයක් එක්ක ඉවර වෙයි. මම හිතනව ඒක කතාවෙ සංවේදීම තැනක් වෙයි.

      Delete
    3. මේ වගේ කතාවලට වැදගත් වෙන්නෙ ඒ වගේ අනුමාන තමයි ශානා. ලියන කෙනාට, කියවන්නාගෙ අදහස් මාර විදිහට දැනෙනවා.

      ශාම් ගෙ යටගියාව ඉදිරියට දකින්න ලැබෙයි. ඒ ගැන මං දැනට මොනවත් නොකියා ඉන්නම්. පුළුවන් තරම් ප්‍රශ්න ඇති කරන එකත් මේ ශෛලියෙම ලක්ෂණයක්. ඒත් අවසානයේ හැම ප්‍රශ්නෙකටම වගේ උත්තර ලැබෙනවා.

      8 වෙනි කොටස ආපහු කියවලා, ලොකු පැහැදිළි කිරීමක් ලබා ගන්න බැරි වුණානම්, ඒකෙනුත් මගෙ සාර්ථකත්වය මටම ඔප්පු වෙනවා. මගෙ හිතේ, කතාව ඉවර වුණාට පස්සෙ ආපහු සැරයක් කියවද්දි, හැම දෙයක්ම මම කලින් කියලා තියෙනවා කියලා පෙනෙයි. ඒ වගේම මම යොදාගෙන තියෙන ලිවීමේ සහ හැංගීමේ උපක්‍රම ඔක්කොමත් එළි වෙයි.

      මේ වගේ උනන්දුවක් තියෙන පාඨකයින් වෙනුවෙන් ලියන එක මාර විදිහට දැනෙනවා. දිගටම ඇවිත් අදහසක් දෙන්න ශානා.

      Delete
  3. උඹ බොහොම ලස්සනට ලියනවා ඩ්‍රැකියා...හරිම අනර්ඝයි...මගෙත් ෂ්‍යාම් කියලා යාලුවෙක් හිටියා පාසල් කාලයේ...උගෙ බත් එකට අපි ඉස්සර හැමදාම හොරෙන් වැඩේ දෙනවා...මට ඒ අතීතයත් මතක් වුනා මේ ලියමන අස්සෙ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා. ස්තූතියි...

      මගෙත් හිටියා බොහොම ළෙංගතු, හෙණම සංවේදී යාළුවෙක් ශාම් කියලා. මම උගෙ නම තමා මේකට දැම්මෙ.

      අර මතක් වුණ අතීතය අපිට ඉදිරියෙදි කාමරෙන් කියවන්න ලැබෙයි නේ?

      Delete
    2. ඔයාල නොදන්නා ශ්‍යම් කෙනෙක් ගැන දන ගන්න තිබුන මෙතනට ගියානම්
      http://onemalaysiasinhala.blogspot.com/2013/07/blog-post.html

      Delete
    3. මම කියෙව්වා බං. උඹේ බ්ලොග් එකෙන් උඹ කරන සේවය මාර වටිනවා. රන්ජන් රාමනායක මැද පෙරදිග ගෑණු ගැන හෙළන කඳුළු වලට වඩා කෝටි වාරයක්...

      Delete
  4. ඩ්‍රැකියෝ නියමයි...ඒත් කොටස් වශයෙන් ඇදගන යන්න එපා කතාව. නීරස වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත. මෙගා කරන්න එපා. අදත් කියෙව්වා වෙනද වගේ ම.

      Delete
    2. ඩ්‍රැකියා කතාව මෙගා කරන්නෙත් නෑ, ඇදගෙන යන්නෙත් නෑ. දැන් තමයි කතාවෙ ක්ලයිමැක්ස් එක. මේ ජෙනර් එකේ කතා කොටස් වශයෙන් ලියන්න නම්, මේ විදිහට කුතුහලය ඇති තැන් වලින් කඩන්න වෙනවා. ඒ ගැන වෙරි සොරි වෙන්න ඕනෙ ඈ. තව කොටස් පහක් හයක් විතර තමා කතාව ඉවර වෙන්න තියෙන්නෙ.

      Delete
    3. මචෝ මා කීවේ ලිවිල්ලේ අඩුවක් නොවේ කොටස් වශ‍යෙන් යන එක බ්ලොග් කලාවට නොගැලපේ කියලයි. මෙය සති අන්න පුවත් පතකට වගේ නම් කදිමට ගැලපේ.

      Delete
    4. තේරුණේ දැන් තමයි නලීන්. මට පත්තර එක්ක ඒතරම් සම්බන්ධයක් නෑ. ඒ ගැන පොඩි සපෝට් එකක් දෙන්න පුළුවන්නම්, ලොකු හයියක්!

      Delete
  5. අතඇරල දාපු කෝච්චි පෙට්ටියෙ පිංතූරෙ දැක්කම මතක්වුණෙ කාලෙකට ඉස්සෙල්ල හිට්ලර්ගෙ වද කඳවුරක් බලන්න ගියපු ගමනක්.
    දැන් කතාව රබර් වෙලා තියෙන්නෙ ඩ්‍රැකී,වැඩියෙම ඇදගෙන යන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වම මට මතක් වුනේ බෘනෝ ආපිට්ස් ගෙ ‘වෘකයන් අතර නග්නව‘ පොත.

      කතාව අදින්නෙ නෑ හැලපයියේ, ඕනෙම ජවණිකා විතරයි දාන්නෙ. අයින් කරන්න දශමයක්වත් නෑ මේකෙ.

      Delete
    2. මමත් කියවපු හොදම කතාවලින් එකක්. තාමත් ආදරෙයි ඒ කතාවට

      Delete
    3. මාත් පූමා, මාත්....

      Delete
  6. කන්‍යා සොහොයුරියකට අර වගෙ නිදහසේ කෙනෙක් එක්ක ගිහිං කඩේකින් තේ බොන්න එතකොට කෙනෙක් සිපගන්න නිදහසක් නෑ නේද ඩ්‍රැකී ?මේ ඩ්‍රැක්යුලා සංවේදී හිතක් ඇති ලේ බොන්නෙක්..හ්ම්ම්..ලංකාවෙ එහෙම වෙන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. නිදහස ගැන කතිකාව සාපේක්ෂකයි නේද ලංකයියේ? හාමුදුරුවන්ට නිදහස තියෙනවද බීලා ඩ්‍රයිව් කරන්න, පන්සලේ පිටිපස්සෙ ක්‍රිකට් ගහන්න එහෙම? ඒ වගේ තමයි. නිදහස සහ සීමාවල් අපි මතට පනවන දේවල් වගේම, අපි පිළිගන්න දේවලුත් වීම මත තමයි ඒ නිදහසේ සහ සීමා වල පැවැත්ම තියෙන්නෙ. ඉතින්, නීතිය මට අපහසුවක් නම්, මට දඬුවම් කරන්න කෙනෙක් නැත්නම්, මට ඒ නීතිය පිළිපදින් නැතුව ඉන්න පුළුවන්.

      ඩ්‍රැක්‍යුලාට සංවේදී වෙන්න, ප්‍රේම කරන්න, දුක් විඳින්න බැරිද? මම මේ කතාව ලිව්වෙ 1998 දි. 2008 තිරගත වුණු forgetting sarah marshall ෆිල්ම් එකෙත් මේ මාතෘකාව ගැන පොඩි කතිකාවක් ඇති කරලා තියෙනවා.

      Delete
  7. ඉක්මනට ඉතුරුව දාපන්

    ReplyDelete
    Replies
    1. මේ ටයිප් කරනවා දමියා. මිසිස් ඩ්‍රැකියගෙන් බැණුම් අහගෙන, දිවා රෑ නැතුව ටයිප් කරනවා.

      Delete
  8. බලපං ඩ්‍රැකී බ්ලොග් එකකට කතාව ලිව්වාම පත්තරේකට සඟරාවකට ලිව්වට වඩා කික් එකක් තියෙනවා නේද ලැබෙන ලයිව් කමෙන්ට් නිසා? ඒක එක අතකට නිදසට යම් බාදාවක් වුනත්, පාඨකයත් එක්ක මේ විදියට අදහස් හුවමාරු කරගන්න නිසා ලිවීමත් දුයුණු වෙනවා මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒකනම් සිරාම ඇත්ත ඩූඩ්. ලයිව් කමෙන්ට් වලින් මාව දියුණු කරපු අය අතර ඩූඩ්, ලොකු ශානා, ඩීඩීටී, දමිත්, සහන් ආදී අය (මට මේ වෙලාවෙ නම අමතක වෙච්ච අය සමාව භාජනයකට දමත්වා!) ඉන්නවා.

      නිදහසට බාධාවක් වෙන එකත් ඉතින් හරි අඩුයි මට පේන විදිහට. පත්තර වලට ලියද්දි, ඒ අය බලාපොරොත්තු වෙන ශෛලිය අපි දෙන්න වෙනවනෙ. මගේ බ්ලොගේ මට ඕනෙ දේ ලියන්න පුළුවන්. අනිත් අයගෙ කමෙන්ට් නිසා මම නොදන්න ආකෘතිකමය දියුණු කිරීම් කරගන්නත් පුළුවන්.

      මොනව කිව්වත්, හිතට දැනෙන දේ හරියටම කියන්න අමාරුයි. කික් එක තමා නියම වචනෙ.

      Delete
  9. හ්ම්.. ඒකත් එහෙම උනා එහෙනම්.. අපේ පැත්ත පහු කරගෙන යන නිසා අවුලක් නෑ.. කතාව නම් නියමයි. මටත් මැවිලා පෙනුන පුංචි කාලේ ගෙලිඔය ස්ටේෂන් එකෙන් පාන්දර කෝච්චියට නැග්ග වෙලාව.. හම්මෝ.. අර ෆොටෝ එක නම් මාර තාත්විකයි.. කතාවට නියමෙට ගැලපෙනවා.. කොහෙන්ද හොයාගත්තේ කියල ඇහුවට කමක් නෑනේ?

    ReplyDelete
    Replies
    1. ෆොටෝ එක ගූගල් සර්ච් එකෙන් ගත්තෙ ඔෆිස් එකේදි. ලින්ක් එක දාන්න බැරි උනා. 'old station' කියල සර්ච් කළේ.

      අපිත් ගමේ යන්නෙ ගෙළිඔය පහුකරගෙන තමයි අඟහරුවා.

      Delete
    2. මෙන්න අඟහරුවා ලිංක් එක අර පින්තූරෙට -
      http://api.ning.com/files/00FyFD15-5tKCVlZE-u3DAM75YpB7Sg5HT85eChF34mv4ks7W4ABGbQmOTWN1MrKIFCcCN5qQ7Wek75QYBHOCD1QePg5cCJ2/Oldrailwaystation.jpg

      Delete
    3. ලින්ක් එකට තැන්ක්ස් වේවා!! කොහෙද ගම?

      Delete
    4. ගම කිව්වෙ මිසිස් ඩ්‍රැකියගෙ ගම, නාවලපිටියෙන් ටිකක් එහා.

      Delete
  10. ටික කාලයක් blog එක පැත්තේ ආපු නැති එකේ එක වාසියක් අද හම්බුනා. ඒක තමයි මේ කතාවේ 5 වෙනි එකේ ඉදලා එක දිගට කියවගෙන යන්න හම්බුනා. එතකොට පොතක් කියවන හැගීම තමයි එන්නේ. හැබැයි ඩ්‍රැකියෝ කතාවක් වෙන වෙනම ගත්තාම ඒක ඇතුලේ ගලා යාම සුපිරියටම තිබ්බට කතා සේරම ටික එක දිගට කියවද්දී එක කොටසක ඉදල ඊලඟ ඒකට යද්දී පොඩියක් විතර වෙනසක් දැනෙනවා. කලින් කතාවේ නතර කරපු තැනට වඩා පොඩ්ඩක් විතර වගේ එහෙ මෙහේ වෙලා ද මන්දා. ඒ උනාට කතාව නම් සුපිරි ආ.

    ReplyDelete
    Replies
    1. එහෙ මෙහෙ කළේ නෑ පූමා, කුතුහලය උපරිම තැනකින් නතර කරලා, ටිකක් හිතන්න ඉඩ තියලා, ජවණිකාවත් මාරු කළහම කියවන්නාව කතාවට බැඳගන්න පුළුවන්. ඒක අත්හදා බැලුවා විතරයි. කතාව තව ටික දවසකින් ඉවර කළහම ආයෙ එකදිගට කියවන්න. එතකොට පුළුවන් වෙයි මේකෙ ඇතුලෙ තියෙන ලිවීමේ තාක්ෂණය හොඳටම දැකගන්න.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

සාතිශය සංවේගය...

සිනමාවේ පරමාදර්ශී පෞරුෂයන් කීපයක්ම සමඟිනි, මා ගැටවර විය පසු කළේ. ඒ අතර, මුලින්ම මාගේ මනසට ඇතුලු වූයේ El Cid හි චාල්ටන් හෙස්ටන් ය. එම චිත්‍රප...

ගොඩක්ම කියවපු ලිපි