Tuesday, December 15, 2015

හැම දෙවියනේ පුළුවන්නං රකෝ රකෝ ! - මගේ පුස්තකාලයෙන්...

මෙදා පොටේ මගේ පුස්තකාලෙන් එළිදක්වන්නේ, සිසිර කුමාර මාණික්ක ආරච්චිගේ "සිරි ලංකා ඉල්ලං - කා" පොතයි. ඒකෙ මගෙ හිතට තදින්ම අල්ලලා ගිය, ඒ වගේම පාඨකයන් ගේ හිත් ඇදගනිතැයි මට සිතුනු පරිච්ඡේදයකින් පිටු ටිකක් පහළින් දක්වනවා.

මේ සියලු කාරණා වලට කලින්, මට මේ පොත උරුම කරදීපු, මට යන්තම් අවුරුදු හතරක් වෙනකොට මගේ කියවීමේ රුචිකත්වය ඇති කරවපු, ඇන්ටික් හැම දෙයක් ගැනම ආසාව මට උරුම කරදීපු, මට හිටපු හොඳම යාළුවා වුනු, මීට අවුරුදු හතරකට කලින් දෙසැම්බර් මාසයේ 27 වන දින අප හැර ගිය, ම‍ගේ තාත්තා වුන, වයි සේපාල මහතා ට මගේ ආදර බර කෘතඥතාවය පළ කරනවා.

පොතේ තුංවෙනි පිටුවේ තියෙන
තාත්තගෙ අස්සන...
මේ පොත 1974 දි මුද්‍රණය කරල තියෙන්නෙ නුගේගොඩ ප්‍රසන්න මුද්‍රණාලයෙ. (අපේ ත්‍රෛභාෂකයට මේකෙ සම්බන්ධයක් තියෙනවද දන්නෑ...?)

ඔන්න එහෙනම් අර කියපු පරිච්ඡේදය...

(ලොකු කර කියවීම සඳහා පිංතූර උඩ ක්ලික් කරන්න ය...)

















මේ පොත බාගත කරගන්න ආස අය ඉන්නවනං, මෙතනිං ඒක බාගන්න පුළුවං.

ප/ලි

කීප දවසක්ම මේ ගැන ලියන්න හිතාගෙන හිටියත් අමතක උනා. අපේ අතීතයෙ එක පැත්තක තිබුණ වැඩිය කතා බහට ලක් නොවුණු තැන් ගොඩක් තියෙනවා. අමද්‍යප වීරයන්ගෙ පවුල් වලට අයිති වෙලා තිබුණු ඉස්කාගාර, අරක්කු රේන්ද වගේ දේවල්... නිදහස් සටන‍ෙ වීරයන්ගෙ ඇත්ත මුහුණුවර වගේ දේවල්...

මේ දේවල් ගැන යම්තාක් දුරකට හරි කතාකරන බ්ලොග් එකක් තියෙනවා. ලියන්නෙ පුරාවිද්‍යා ඉතිහාස කියන විෂයයන් ගැන ප්‍රාමාණික විද්වතෙක් වන භූෂණ කල්හාර. මෙයා එක පැත්තකට බරව ලියන බවක් පේනවා. ඒක එයාගෙ අයිතිය. ඒ මොන හැටි උනත් අපිට දැනුමක් ලබාගන්න තියෙන මූලාශ්‍රයක් වශයෙන් මේ බ්ල‍ොග් එකට ප්‍රසිද්ධියක් දීම මගෙ යුතුකමක් හැටියට සළකනවා. මෙන්න ලිංක් එක... සිංහලේ - The Last Phase

Thursday, December 3, 2015

ඩ්‍රැක්‍යුලාගෙන් පසු - Dracula the Historical Figure - Final Part

මෙතෙක් කොටස්...
3 කොටස
http://2.bp.blogspot.com/-dk6_WbpqARw/
Uh-ii7e2iKI/AAAAAAAAd7c/
Kt23h6qFTr0/s1600/vladmissmeyet.jpg
ව්ලාඩ් ඩ‍්‍රැක්‍යුලා වටා ඇති ජනප‍්‍රවාද

ව්ලාඩ් ගේ චරිතය වටා ගෙතී ඇති සුප‍්‍රකට වෘත්තාන්ත නවක් වේ.

1. රන් කුසලානය

සිය පාලන ප‍්‍රදේශය තුළ නීතියේ පාලනය සහ අවංක කම පවත්වාගත් පාලකයෙක් ලෙස ව්ලාඩ් ප‍්‍රකටය. ඔහුගේ බල ප‍්‍රදේශය තුළ සොරුන් සිය කටයුතු කිරීමට බිය වූයේ, අල්ලාගත් පසු උලට යාමට සිදු වන නිසාය. මෙම තත්ත්වය පිළීබඳ කෙතරම් ආත්ම විශ්වාසයක් ව්ලාඩ් සතුව තිබුණේ ද යත්, ඔහු ටර්ගොවිස්ට් නගරයේ මැද රන් කුසලානයක් තබා තිබුණු බව කියැවේ. ඔහුගේ පාලන කාලය තුළ කිසිවෙකු හෝ එය සොරකම් කරන්නට එඩිතර වූයේ නැත.

2. ලෙඩුන් හා දුප්පතුන් ගේ භෝජන සංග‍්‍රහය

ව්ලාඩ් තම රටවැසියන් පොදු යහපතට දක්වන දායකත්වය ගැන ඉතා  ඕනෑ කමින් සොයා බැලීය. එක් වරක් ඔහුට නිරීක්ෂණය වූයේ දුප්පතුන්, අයාලේ යන්නන්, හිඟන්නන් සහ අබ්බගාතයන් සංඛ්‍යාත්මකව වැඩි වී ඇති බවය. තම රාජ්‍යයේ කිසිවෙකුත් සාගින්නේ නොසිටිය යුතු යැයි ප‍්‍රකාශ කළ ඔහු, වලාචියා හි සිටි සියළුම දුප්පතුන්ට සහ රෝගී වූවන් ට අගනුවර පැවැත්වෙන භෝජන සංග‍්‍රහයකට ආරාධනා කළේ ය. ඒ අනුව පැමිණි දුප්පතුන් සහ අබ්බගාතයන් නගරයේ විශාල ශාලාවක සකස් කර තිබූ භෝජන සංග‍්‍රහයකට හිඳුවන ලද අතර, ඔවුන් රෑ මැදියම වන තුරු කා බී ප‍්‍රීති වූහ. ව්ලාඞ් තමන්ම ඔවුන් අතරට අවුත් ‘‘තවත් ඔබ ආශා කරන දේ මොනවාද? ඔබ කැමතිද කරදර වලින් සහ කිසිදු හිඟකමකින් තොර ජීවිතයකට?’’ යැයි ඇසීය. ඔවුන් ඊට "ඔව්" යැයි පිළිතුරු දුන් විට ව්ලාඩ් එම ශාලාව වසා දමා, ගිණි තැබීමට අණ කළේය. එම ගින්නෙන් කිසිවෙකුත් බේරුනේ නැත. ව්ලාඩ් මෙම ක‍්‍රියාව බෝයර් වරුන්ට තේරුම් කර දෙමින්, ‘‘ඔවුන් තවදුරටත් අනෙක් මිනිසුන්ට බරක් නොවනු පිණිස සහ මාගේ රාජ්‍යයේ දුප්පතුන් නොමැති වනු පිණිස’’ මෙය කරවූ බව පැවසීය. 

3. තලප්පාවලට ඇණ ගැස්වීම

මෙම වෘත්තාන්තය ඉහතින් විස්තර කර ඇත. උරණ වූ පාලකයන් විසින් දූතයන් ගේ හිස් වැසුම් ඔවුන්ගේ හිසට තබා ඇණ ගැස්වීම, නැගෙනහිර යුරෝපයේ මෙන්ම රුසියාවේ පාලකයන් පිළිබඳ කතාන්තර අතර දක්නට ලැබේ.

4. විදේශික වෙළෙන්දා

විදේශයකින් ආ වෙළෙන්දෙක්, ටර්ගොවිස්ට් නගරයේ රාත‍්‍රියක් ගත කළේ ය. ඔහු වලාචියා හි අවංක කම හා නීතියේ පාලනය ගැන දැන සිටි හෙයින් තම කරත්තය එළියේ තබා තිබුණි. උදෑසන තම කරත්තය වෙත ගිය ඔහු ට දක්නට ලැබුණේ රන් ඩකට් 160ක් නැති වී ඇති බවය. වෙළෙන්දා වහාම ව්ලාඩ් වෙත පැමිණිලි කළේය. ඔහුගේ වස්තුව නැවත ලබාදෙන්නට පොරොන්දු වූ ඩ‍්‍රැක්‍යුලා, වහාම සොරා ඉදිරිපත් නොකළහොත් නගරය විනාශ කරන බවට ප‍්‍රකාශයක් නිකුත් කළේය. එදින රාත‍්‍රියේ තම භාණ්ඩාගාරයෙන් ඩකට් 161 ක් තම භාණ්ඩාගාරයෙන් ගෙන වෙළෙන්දාගේ කරත්තයේ තබන ලෙස ව්ලාඩ් අණ කළේය. පසුදා උදෑසන නැවත කාසි ගැන බැලූ වෙළෙන්දා නැවත ඩ‍්‍රැක්‍යුලා වෙත එළඹ තම මුදල් ආපසු ලැබුණු බවත්, ඩකට් එකක් වැඩිපුර ලැබී ඇති බවත් දැන්වීය. ඒ අතර සොරා අල්ලාගෙන සොරාගත් මුදල ද සමඟ ව්ලාඩ් ගේ මුර සෙබළුන් වෙත භාර දෙන ලදි. ඔහු එම සොරා උල තැබ්බවූ අතර, වැඩිපුර ලැබුණු ඩකට් එක ගැන වාර්තා නොකළේ නම් තමන් හට ද සොරා ගේ පසෙකින් උලක හිඳීමට සිදුවන බව වෙළෙන්දාට දැන්වීය. 

5. කුසීත ගැහැණිය

ව්ලාඩ් දිනක් ගොවිපොළක වැඩ කරන මිනිසෙක් දුටුවේය. ඒ මිනිසා ඇඳ සිටි කෆ්තානය හෙවත් කමිසය ඉතා කෙටි බව ඔහුට නිරීක්ෂණය විය. ඩ‍්‍රැක්‍යුලා නැවතී එම මිනිසාගේ බිරිඳ ගෙන්වීය. එම ගැහැණිය ගෙන ආ පසු ඔහු ඈ සිය දවස ගත කරන්නේ කෙසේදැයි ඇසීය. අසරණ බියපත් ගැහැණිය, රෙදි සේදීම, පාන් පිළිස්සීම සහ ඇඳුම් මැසීම කරන බව කීවාය. ඇගේ සැමියාගේ කෙටි කෆ්තානය ඇගේ කම්මැළි කම සහ වංකභාවය පිළිබඳ සාක්ෂියක් ලෙස දැක්වූ ව්ලාඩ්, ඇය උල තැබීමට නියෝග කළේය. එහිදී ඇගේ සැමියා තමන් ඇගේ ක‍්‍රියාකළාපය ගැන හොඳටම සෑහීමකට පත් වන බවට දැක්වූ විරෝධය ද ඔහු නොතකා හැරියේ ය. ඉන් පසු ව්ලාඩ් වෙනත් ගැහැණියකට මෙම මිනිසා සමඟ විවාහ වන ලෙස අණ කළ අතර, ඇය ද වෙහෙසී වැඩ නොකළහොත් කලින් බිරිඳගේ ඉරණම ම ඇයට ද උරුම වන බවට අවවාද කළේය.

6. සංවේදී වංශාධිපතියා

1459 ශාන්ත බර්තොලම්‍යු මුනිවරයාගේ දින (අගෝස්තු 24) ව්ලාඩ් ඩ‍්‍රැක්‍යුලා, ට‍්‍රාන්සිල්වේනියාවේ බ‍්‍රාසෝව් නගරයේ සිටි වෙළෙන්දන් සහ වංශාධිපතියන් තිස් දහසක් උල තැබ්බවීය. එය වඩා හොඳින් රසවිඳිනු පිණිස ඔහු උල තැබ්බවූ මිනිසුන් අතර භෝජන සංග‍්‍රහයක් පැවැත්වීය. සංග‍්‍රහය අතරතුර එයට ආරාධනා ලැබූ බෝයර් වරුන් අතරින් එක් අයෙකු, කැටිගැසුණු ලේ වලින් හමන දුගඳ ඉවසිය නොහැකිව, සිය නාසය මිරිකාගෙන සිටිනු ව්ලාඩ් ගේ නෙත ගැටින. එකෙණෙහිම ඒ සංවේදී බෝයර්වරයා උලතැබීමට අණ කළ ඩ‍්‍රැක්‍යුලා, අනෙක් මළ සිරුරු වලට ඉහළින් සිටින සේ උස් උලක හිඳුවීමට අණ කළේ, ඔහුට ඉවසිය නොහැකි වූ දුර්ගන්ධය ඔහුට නොදැනීම පිණිසය.

7. ඩ‍්‍රැක්‍යුලාගේ අනියම් බිරිඳ.

ව්ලාඩ් හට වරක් අනියම් බිරිඳක් විය. ඈ විසූයේ ටර්ගොවිස්ට් නගරයේ අප‍්‍රකට වීදියක ය. ඇය ඩ‍්‍රැක්‍යුලාට සිය සිහිය විකල් වන තුරු ආදරය කළ අතර, නිතර ඔහු සතුටින් තැබීමට ආශා කළාය. නිතර නිතර කෝපයෙන් හෝ ආතතියෙන් පසු වූ ව්ලාඩ් ගේ සිතේ පැටවුණු බර සැහැල්ලු කර සිත පහන් කිරීමට ඈ හැකි සෑම දෙයක්ම කිරීමට උත්සාහ කළාය. එවැනි එක් මොහොතක ඩ‍්‍රැක්‍යුලාගේ අවධානය වෙනස් කිරීම ට ඇය තමන් ගැබ්ගෙන ඇති බවට බොරුවක් කීවාය. ව්ලාඩ් එම කාන්තාව දියවඩන පාලිකාවන් ලවා පරීක්ෂා කරවා, එය අසත්‍යයක් බව දැනගත්තේය. එය දැනගත් වහාම ඔහු තම කිණිස්සෙන් ඇගේ උදරය ඉකිළියේ සිට පපුව දක්වා පළා, වේදනාවෙන් මියයන්නට හළේය. 

8. පෝලන්ත ජාතික වංශාධිපතියා

හංගේරියාවේ රජු යටතේ සේවය කළ බෙනඩික්ට් ද බොයිතොර් නම් පෝලන්ත වංශාධිපතියෙක් 1458 සැප්තැම්බර් මස එක් දිනක ව්ලාඩ් බැහැදැකීමට ටර්ගොවිස්ට් වෙත ආයේය. ඔහු සමඟ පැවති එක් රාත‍්‍රී භෝජනයක දී ව්ලාඩ් රන් හෙල්ලයක් ගෙන්වා, එම රාජකීය දූතයා ඉදිරිපිට සිටුවීමට අණ කළේය. ‘‘මෙය ගෙන්නුවේ කුමකටදැයි ඔබ දන්නවාදැ’’යි ඩ‍්‍රැක්‍යුලා විමසීය. ‘‘ඔබට වරදක් කළ බෝයර් වරයෙකුට ගෞරව දැක්වීමටයැ’’ යි තමා සිතූ බව බෙනඩික්ට් පිළිතුරු දුනි. ‘‘එය ගෙන්නුවේ ඔබට ගෞරව දැක්වීමට යැ’’යි ව්ලාඩ් එකෙණෙහි පිළිතුරු දුන්නේය. එවිට බෙනඩික්ට්, තමන් ඩ‍්‍රැක්‍යුලා හට වරදක් කර ඇත්නම්, ඊට සුදුසයැයි ව්ලාඩ් තීරණය කරන  ඕනෑම දඬුවමක් දෙන ලෙස දැන්වීය. එයින් මහත් සතුටට පත් ව්ලාඩ්, ඔහු හට තෑගි භෝග රාශියක් පිරිනැමූ අතර, ඊට වඩා වෙනස් උත්තරයක් දුන්නේ නම් එකෙණෙහිම ඔහු උල තැබ්බවීමට ඉඩ තිබූ බවද දැන්වීය.

9. දේවගැතිවරු දෙදෙනා

මෙම ප‍්‍රවාදය විවිධ වෙනස් කම් සහිතව කියැවෙන අතර, බොහොමයක් මූලාශ‍්‍ර එකඟ වන කතාන්තරය මේ අයුරින් වේ. විදේශයකින් පැමිණි පැවිද්දන් දෙදෙනෙක්, ඩ‍්‍රැක්‍යුලා බැහැදැකීමට ටර්ගොවිස්ට් හි ඔහුගේ මාළිගාවට ආහ. මෙම දේවගැති වරුන් ගේ ප‍්‍රතිචාරය කෙසේ දැයි බැලීමට ව්ලාඩ් ඔවුනට, තම අංගනයේ මිනිසුන් උල තබන ලද උල් සමූහයක් පෙන්වීය. ඒ ගැන ඔවුන්ගේ අදහස විමසූ විට, පළමු පැවිද්දා ‘‘ඔබ පාපී මිනිසුන්ට දඬුවම් කිරීමට දෙවියන් විසින් මිහිමතට එවා ඇතැ’’ යි පිළිතුරු දුන්නේය. අනෙක් දේවගැති තැනට ක‍්‍රෑර පාලකයා විවේචනය කිරීමට ප‍්‍රමාණවත් තරම් සදාචාරාත්මක ධෛර්යයක් තිබුණි. ජර්මානු අත්පිටපත් බොහොමයකට අනුව, ව්ලාඩ් ඇත්ත කියූ පැවිද්දා උල තැබ්බවූ අතර, තමන් චාටුකාර ලෙස වර්ණනා කළ තැනැත්තාට තෑගි දුන්නේය. එහෙත්, රුසියානු අත්පිටපත් සහ රුමේනියානු ජනශ‍්‍රැතියට අනුව, ව්ලාඩ් අවංක දේවගැති වරයා ට තෑගි දුන් අතර, චාටුකාරයා ගේ වංකකම නිසා ඔහු උල තබ්බවා ඇත. 

රුමේනියානු ඇගයීම

1481 සිට ලියැවුණු රුමේනියානු සහ බල්ගේරියානු ලියැවිලි වල ව්ලාඩ් නිරූපණය වන්නේ කර්කෂ නමුත් සාධාරණ ක‍්‍රමවේදයන් මඟින්, දූෂිත ධනවත් බෝයර් වරුන් අතින් රට බේරා ගැනීමට සටන් කළ වීරයෙකු ලෙසිනි. එසේම ඔහුගේ යුධ ප‍්‍රයාණයන් සියල්ල එල්ල වූයේ වලාචියාව ආක‍්‍රමණය කළ ඔටෝමන් අධිරාජ්‍යයට එරෙහිවය. ස්ලැවොනීය කතා (The Slavonic Tales) හි මෙසේ සඳහන් වේ:

‘‘ඔහු තම රට තුළ දුෂ්ට බව කෙතරම් පිළිකුල් කළේ ද යත්, කිසිවෙකු කිසියම් හාණියක්, සොරකමක් හෝ පැහැරගැනීමක්, බොරුවක් හෝ අසාධරණ ක‍්‍රියාවක් කළේ ද, ඒ කිසිවෙකුත් පණපිටින් ඉතිරි වූයේ නැත. ඒ තැනැත්තා උසස් බෝයර් වරයෙකු වූවද, පූජකයෙකු වූවද, සාමාන්‍ය මිනිසෙකු වූවද, ධනවතෙක් වූවද, ඔහුගේ මරණයෙන් ඔහු බේරාගැනීමට ඒ කිසිවකට හැකි වූයේ නැත.’’

රැගුසා හි විසූ ඉතාලි ජාතික ලේඛකයෙකු වූ මයිකල් බොසිඤොලි 1524 දී ව්ලාඞ් ගැන මෙසේ ලියයි: ‘‘එක් කලෙක, වලාචියා හි ඉතා නැණවත් සහ යුද්ධයේ දක්ෂ වූ ඩ‍්‍රැගූල් නම් කුමාරයෙක් විය.’’

කැන්ටකුසිනෝ වංශයේ ස්ටොයිකා ලූඩෙස්ක්‍යූ විසින් 1688 දී තරම ලියැවුණු ලෙටොපයිස්ටල් කැන්ටකුසිනෙස්ක් (Letopisetul cantacuzinesc) නම් ඓතිහාසික වංශකතාවෙහි ව්ලාඩ් ගේ පදවි ප‍්‍රාප්තිය විස්තර කරන කොටසෙහි අවසානයේ මෙසේ සඳහන් වේ. ‘‘වොයිවෝඞ් ව්ලාඩ් එම සාධාරණ මිනිසුන් අතර සිය රාජ්‍ය පාලනය පවත්වාගත් තාක් කාලය තුළ, දෙවියන් වහන්සේගේ ද ආධාරයෙන් බොහෝ යහපත් සහ ගෞරවාන්විත පාලකයෙකු බවට වර්ධනය වූයේය.’’

රුමේනියානු ලේඛකයෙකු සහ කීර්තිමත් ඉතිහාසඥයෙකු වූ යෝන් බුඩේ-ඩිලේන්‍යු (Ioan Budai-Deleanu) 1785 දී තරම ‘‘ටිගානියාඩා’’ නම් රුමේනියානු වීර කාව්‍යයක් ලිවීය. එහි, ව්ලාඩ් නිරූපණය වූයේ ඔටෝමන් වරුන් හා සටන් කළ රෞද්‍ර රණ ශූරයෙකු ලෙසිනි. රුමේනියානු ශ්‍රේෂඨ කවියන්ගෙන් කෙනෙක් වූ මිහායි එමිනෙස්ක්‍යූ අතින් ව්ලාඩ් ගේ චරිතය නූතන රුමේනියානු සමාජයේ ප‍්‍රසාදයට පත් කිරීමට මහත් මෙහෙයක් ඉටු විය. පැවති ජරාජීර්ණ සමාජයට එරෙහි භූමිකාවක් ලෙස ඔහු ව්ලාඩ් දක්වයි. ඔහුගේ කවි මඟින් ව්ලාඩ් ගේ දරුණු ක‍්‍රියා කළාපය පවා, සමාජය සුවපත් කිරීමේ යොදාගත් බවට ඔහු සාධාරණීකරණය කරයි.

මීට වෙනස් ස්වරූපයක් ඉදිරිපත් කරන ජර්මානු, සැක්සන් සහ හංගේරියානු මූලාශ‍්‍ර වල ව්ලාඩ් නිරූපණය වන්නේ ප‍්‍රජාපීඩකයෙකු සහ රාක්ෂසයෙකු ලෙසිනි. මීට හේතු වන්නට ඇත්තේ, ඩ‍්‍රැක්‍යුලා අතින් වධයට පත් වූ ට‍්‍රාන්සිල්වේනියානු සැක්සන් වරු සහ පසුකාලීනවතම පෞද්ගලික අවශ්‍යතාව මත මැතියාස් කෝවිනස් විසින් ඔහු අපකීර්තියට පත් කිරීමට පතුරුවා හළ ප‍්‍රවාද බවට, බොහෝ ඉතිහාසඥයෝ සහ ලේඛකයෝ එකඟ වෙති. කෙසේ වෙතත්, ව්ලාඩ් දස දහස් ගණන් මිනිසුන් දරුණු ආකාරයෙන් මැරවූ බවට බිඳ හෙළිය නොහැකි ලේඛන ගත සාක්ෂ්‍ය, රුමේනියානු සහ විදේශීය ලේඛන තුළින් හමු වන අතර, ව්ලාඩ් විසින්ම රචිත ලිපි ද ඒ අතර වේ.

බ‍්‍රෑම් ස්ටෝකර් සම්බන්ධය

ඩ‍්‍රැක්‍යුලා යන නම වැම්පයරයෙකු හා සම්බන්ධ කළේ බ‍්‍රෑම් ස්ටෝකර් ය. එම නාමය ඔහුට හමු වූයේ විලියම් විල්කින්සන් ගේ ‘‘වලාචියා හි සහ මෝල්දාවියා හි රාජ්‍යයන් පිළිබඳ ඒවා සම්බන්ධ විවිධ දේශපාලනික නිරීක්ෂණයන් සහිත ප‍්‍රකාශනයක්’’ (An Account of the Principalities of Wallachia and Moldavia: with various Political Observations Relating to Them) යන ග‍්‍රන්ථයෙන් යැයි සැළකේ. ඔහු එම පොත පිළිබඳ සටහන් තබාගෙන ඇති බව ප‍්‍රකටය. එසේම ස්ටෝකර්හට හඳුනාගන්නට ලැබුණු හංගේරියානු මහාචාර්යවරයෙකු වූ බුඩාපේස්ට් හි ආර්මින් වැම්බරි මඟින් ඔහු ජනප‍්‍රවාදයෙන් පතළ වූ ව්ලාඩ් ගේ කීර්තිය ගැන දැනගන්නට ඇතැයි ද ඇතැම්හු අදහස් කරති. ඩ‍්‍රැක්‍යුලා නවකතාවේ ආචාර්ය ඒබ‍්‍රහැම් වැන් හෙල්සිං, තමන් ඩ‍්‍රැක්‍යුලා ගැන දැනගත්තේ තම මිතුරෙකු වන ආර්මිනියස් නමැත්තෙකුගෙනැයි සඳහන් කිරීම, මෙම අදහසට රුකුල් දෙයි. (ඩ‍්‍රැක්‍යුලා - පරි. 18)

වැම්පයර් මිථ්‍යාවේ මුල

බ‍්‍රෑම් ස්ටෝකර් සිය සුප‍්‍රකට වැම්පයරයාගේ වාසභූමිය ලෙස බෝල්කන් ප‍්‍රදේශය තෝරාගැනීම ඉතාම සුදුසු වූ බව පෙනේ. ස්ටෝකර්ගේ කාලය වූ එක්දහස් අටසිය අනූ ගණන් වන විටත් බෝල්කන් ප‍්‍රදේශ සංස්කෘතිකමය වශයෙන් මධ්‍යතන අවධියේ පැවතුනි. ඒ වන විට ඔවුන් තුර්කියේ යටත් වැසියන් ව සිට එයින් නිදහස් වූවා පමණි. අඳුරු යුගයේ මිථ්‍යා විශ්වාසයන් තවමත් එම ප‍්‍රදේශයේ සාමාන්‍ය ව්‍යවහාරය ව පැවතියේය.

වැම්පයර් පුරාවෘත්තයන් ගේ මුල බෝල්කන් ප‍්‍රදේශයයි. බොහෝ සංස්කෘතීන් හි පුරාණෝක්ති අතර වැම්පයරයන්ට සමාන සත්ත්වයන් ගැන සඳහන් වේ. එසේ වුවත්, යුරෝපයට සහ එයින් අමෙරිකාවට පැතිරුණු වැම්පයර් කතා, නැගෙනහිර යුරෝපයේ ස්ලාව් සහ ග‍්‍රීක ප‍්‍රදේශ වල උපන් ජනප‍්‍රවාද ය. 

වැම්පයරයන් පිළිබඳ සංකල්පය නැගෙනහිර යුරෝපය පුරා පැතිරී යාම දහ හත් වන සියවසේ අග භාගයේ සිට දහ අට වන සියවස මුළුල්ලේ සිදුවිය. මේ කාලය තුළ හංගේරියාවේ සහ බෝල්කන් ප‍්‍රදේශයන්හි වැම්පයරයන් යැයි සැක කරන ලද සිදුවීම් මහත් රාශියක් වාර්තා වේ.බෝල්කන් ප‍්‍රදේශයන්හි සිට මෙය වසංගතයක් සේ බටහිර දෙසට පැතිරුණු අතර, අනුක‍්‍රමයෙන් ජර්මනිය, ඉතාලිය, ප‍්‍රංශය, එංගලන්තය සහ ස්පාඤ්ඤය දක්වා එය විහිද ගියේය. බෝල්කන් ප‍්‍රදේශයන් ට ගිය සංචාරකයෝ ආපසු සියරටට රැගෙන ආ නොමළවුන් පිළිබඳ කතා, මෙයට මුල් විය.

එයින්, බටහිර දාර්ශනිකයන්ගේ අවධානය මෙම සංකල්පයට යොමු විය. දොම්  ඕගස්ටින් කැල්මට් හංගේරියානු වැම්පයරයන් ගැන සිය සුප‍්‍රකට නිබන්ධන රචනා කළේ මේ කාලයේදී ය. එසේම මෙම අවධිය තුළ ගත් කතුවරුන් සහ නාට්‍ය රචකයන් මුලින්ම මෙම මිථ්‍යාව ගැන ගවේෂණය කරන්නට පටන් ගත්හ. ස්ටෝකර්ගේ නවකතාව හුදෙක්ම, බෝල්කන් ප‍්‍රදේශයෙන් වාර්තා වූ සිදුවීම් පිළිබඳව පැවති මෙම දීර්ඝ ගවේෂණ මාලාවේ අවසන් ප‍්‍රතිඵලය ලෙස සැළකිය හැක.

ඒ හැරෙන්නට, ව්ලාඩ් ඩ‍්‍රැක්‍යුලා ලේ උරා බොන අවතාරයකට හැරීමක් ගැන ජනප‍්‍රවාදමය සාක්ෂි සොයාගත නොහැක. එය හුදෙක්ම බ‍්‍රෑම් ස්ටෝකර් සිය නවකතාවේ දුෂ්ට චරිතයට මුහුණක් ලබාදීමට කරන ලද්දක් බව පෙනේ.

2011 ඔක්තෝබරයේ දී චාල්ස් කුමාරයා, තමන් ව්ලාඩ්ගෙන් වංශානුගතව පැවතෙන්නෙකු බව ප‍්‍රසිද්ධියේ පිළිගත්තේය. ඒ, ට‍්‍රාන්සිල්වේනියාවේ වනගත ප‍්‍රදේශ සංරක්ෂණ කාර්යයන්ට ආධාර දීමට ප‍්‍රතිඥා දෙමිනි.

ඩ‍්‍ර‍්‍රැක්‍යුලා සම්බන්ධ චිත‍්‍රපට
Vlad Tepes (1979) චිත්‍රපටයෙන්
http://2.bp.blogspot.com/-FTziTQvWR20/
TyzxJpYxekI/AAAAAAAACUo/LpzBybkUfh4
/s1600/Vlad-Tepes_1982_03.png
ඩ‍්‍රැක්‍යුලා චරිතය නිරූපණය වන මෙතෙක් තිරගත වූ හොඳම විත‍්‍රපට විසි අටක ලිස්ට් එකක් මෙතනින්.

මූලාශ්‍ර - 

විකිපීඩියා
වැම්පයර් සංකල්පය ගැන සවිස්තරාත්මක ලිපි මාලාවක් ළඟදීම බලාපොරොත්තු වන්න

Thursday, November 26, 2015

මම 18 ට වැඩි දුම්පානය කරන්නෙක් වී සිටියෙමි - I was a smoker above 18

http://timwilsondentistry.com/wp-content/
uploads/2012/03/mouth-and-cigarette-300x234.jpg
දුම්බීම ගැන ලියන්න හිතාගෙන උන්නෙ කාලෙක ඉඳං. මෙන්ඩ පහුගිය ටිකේම දාල තිබ්බ කමෙන්ට් කීපයක් සහ රසිකලොජිස්ට් ගෙ මේ පෝස්ටුව ඒ කාර්යය ඉක්මන් කරවන්න දායක උනා.

මං සිගරැට් බොන්න පටන් ගත්තෙ ඒ ලෙවල් ලියලා ඉවර වුනාටත් පස්සෙයි. ඒ වෙනකොටත් අපේ ඉස්කෝ‍ලෙ සගයො කීපදෙනෙක් ම අරක්කු සහ සිගරැට් පාවිච්චිය පටන් අරං ඉවරයි. ඒත් මට ගමේ තිබුණ ප්‍රතිරූපය එක්ක මම ටිකක් විතර පරක්කු වුනා ඒ දේවලට.

අපේ තාත්තා තමයි මගෙ හිතේ උන්න ලොකුම ප්‍රතිරූපය. එයා අනුව යමින් මම ඇන්ටික් දේවලට සහ ඉතිහාසයට ලොල් බව වර්ධනය කරගත්තා. ඒ වගේම පොත් කියවීම සහ පොත් එකතු කිරීම පටන් ගත්තා, කාටුන්, මුද්දර, පරණ කාසි, පරණ හින්දි සිංදු එකතු කිරීම ත් තාත්තගෙන් මට ලැබුණු උරුමයක්. වෙන එකක් තියා මම රැවුළ කපන්නෙත් තාත්තා පාවිච්චි කරපු විදිහෙ බ්ලේඩ් තල දාන පරණ මොඩල් රේසරෙන්. තාත්තගෙ පරණ බයිසිකලේ මම මේළඟදි ආපහු අළුතෙන් පේන්ට් කරවලා හදලා ගත්තා පදින්න.

අපි දන්න දා ඉඳං තාත්තා සිගරැට් බොනවා. මට මතක ඇති කාලෙ, බ්‍රිස්ටල් එකක් රුපියල් දෙකයි. තාත්ත සිගරැට් එක උරවලා, නහයෙන් දුං යවන හැටි, දුම් වළලු යවන හැටි එහෙම අපි පොඩි කාලෙ අපිට හරිම වීර වැඩක්.

තාත්තා හෘද රෝගියෙක් වුනේ 1998 දි. ඒ මම සිගරැට් බොන්න පටන් ගත්ත අවුරුද්ද. තාත්තා ගේ රෝගි බවට හේතු කීපයක් තිබුණා. තරුණ කාලෙ ඉඳං බර වැඩ කිරීම, විශ්‍රාම ගත්තට පස්සෙත් බර වැඩ කිරීම, ඒ වගේම දුම් පානය. දුම් පානය නිසා එයාගෙ රුධිර නාල වල පීඩනය වැඩි වෙන ගතියක් ආව බව තමා මට ඩොක්ටර් මාමා කිව්ව දෙයින් තේරුණේ.

සිගරුට් බොන්න පටන් ගන්න මට තිබුණු පෙළඹීම් මෙන්න මේවයි.

1. මගෙ ලෝකයේ වීරයන් දුම් බීම.
ෂර්ලොක් හෝම්ස්,
සයිමන් නවගත්තෙගම,
ක්ලින්ට් ඊස්ට්වුඩ්,
ප්‍රිඩේටර් ෆිල්ම් එකේ ආන‍ොල්ඩ් ආදී අය.

http://d2vrsup6vl2y4n.cloudfront.net/
wp-content/uploads/2015/04/cowboy.jpg

http://www.cigartime.ru/sites/
default/files/images/20142503020304.jpg
ප්‍රිඩේටර් ෆිල්ම් එකේ ආනෝල්ඩ්
2. දුම් බීමෙන් අපට ලැබෙන බවට පොදුවේ පිළිගැනෙන දේවල්.
සීතල දවස් වල අභ්‍යන්තරික උණුසුම් බවක් ඇති වන බව,
මිතුරන් අතර ෆිට් එකක් ඇතිවන බව,
වැඩිහිටියෙක් ය යන පිළිගැනීම ලැබෙන බව,
නිර්මාණ කාර්යයෙදි මනසට උත්තේජනයක් ලැබෙන බව
අපේක්ෂා භංගත්වයකදි මානසික සහනයක් ලැබෙන බව

3. තාත්ත වගේ වෙන්න ඕනෙ වීම. (උරුමය සොයා යාම)

මගෙ අත්දැකීම් වලින් මම ලියන්නෙ. ඉහළ දෙවෙනි කරුණ යටතේ විස්තර කෙරෙන දේවල් ඇත්තටම මට ලැබිල තියෙනවද?

සිගරැට් එකෙන් අපට දැනෙන තරමක උණුසුමක් ශරීරයට ලැබෙන්නෙ නෑ. ඊට හොඳයි ගිණි තපින එක.

මගෙ යාළුවො අතරෙ ඉන්නවා දුම් නොබොන යාළුවොත්. උං අර දුම් බොන්නො වගේම හෙණ ෆිට් එකේ ඉන්නවා.

දුම් බොන්නෙක් හැටියට ගමේ හංවඩු ගැහුණම ලැබෙන්නෙ වැඩිහිටියන්ට ලැබෙන ගෞරවේ නෙවෙයි. "ඌ යකාට ගිහිං", "ඌත් ඉවරයි", "කුඩුත් ගහනවද දන්නෑ" වගේ ආකල්ප.

මගෙ නිර්මාණ වලදි දුම්වැටිය සපෝට් එකක් දීලා තියෙනව තමයි. නමුත් මෑතකදි මට තේරුණ විදිහට ඒක මගෙම මනසෙ ශක්තිය මත මගෙ මනසින් ලැබෙන තල්ලුව. මොකද, මේ දවස් වල මම කතාවක් ලියනවා. (අඟහරුවාගේ ඉල්ලීම) ඒකට දුම්වැටිය අවශ්‍ය වුනේ නෑ. ඒ කාලෙ සිගරැට් එක නිසා ලැබුණු උත්තේජනය දැන් සිගරැට් එක නැතුව මම ලබනවා, හුදෙක්ම නිර්මාණ කාර්යයක් කරනවා යන හැඟීම විතරයි මට ඕනෙ.

අපේක්ෂා භංගත්වයකදි දුම්වැටියකින් හෝ අරක්කු වලින් මට ලැබිල තියෙන්නෙ තව තවත් මාව පසුගාමී කරන එක විතරයි.

සිගරැට් / සුරුට්ටු / පොදුවේ දුම්වැටි අපේ වීරයන් අතට දීලා තියෙන්නෙ කවුද?

සයිමන් නවගත්තෙගම මයෙ හිතේ කැම්පස් යන කාලෙ ඉඳන්ම බොහිමියානු ජීවිතයක් ගත කළ කෙනෙක්. මයෙ හිතේ ඒක එයාට බටහිර හිපි සංස්කෘතියෙන් ලැබුණු ආභාෂය...

ෂර්ලොක් හෝම්ස් පයිප්ප බොන එක ගොඩක් ග්ලෝරිෆයි කරනවා මම දැකල තියෙනවා ෆිල්ම් කීපයක, පොත් පිටකවර වල සහ චිත්‍රකථාවල. ඒ ව‍ගේම සිනමා කර්මාන්තය ගොඩක් ම තැන් වල දුම්වැටි ප්‍රදර්ශනය කරනවා, ඒකෙන් කතාවෙ ප්ලොට් එකට කිසිම පෝෂණයක් ලැබෙන්නෙ නැතුවම. ඒ කියන්නෙ කතාවට හාණියක් වෙන්නෙ නෑ, ඒ දුම්වැටි රූප ඉවත් කළා කියලා. අමද්‍යප ව්‍යාපාර නම් කියන්නෙ, ඒ කොටස් සිනමා ටෙලි නිර්මාණ වලට ඔබ්බවන්නෙ දුම්වැටි කර්මාන්තය විසින්ම, මුදල් ගෙවීමක් ද සහිතවයි. (ප්‍රවේගය චිත්‍රපටිය මම බලල නෑ ඒ වුනත් ඒකෙ කටවුට් වල ජැක්සන් සුරුට්ටුවක් අතේ තිය‍ාගෙන ඉන්න රූපය, ඒ චිත්‍රපටියෙ එක ජවණිකාවකවත් නෑ කියල ආරංචියි.)

මට කියන්න ඕනෙ උනේ, අපිව දුම්පානයට පොළඹවන ආකල්ප සහ පරමාදර්ශ සමාජ ගත කරන්නෙ දුම්වැටි කර්මාන්තය විසින්මයි.

දුම්වැටි වලින් අපේ ශරීරයට වෙන දීර්ඝකාලීන හාණීය ගැන මම මෙතන කතා කරන්නෙ නෑ. ඒ ගැන කියවන අයට මේ ලිපිය ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. කොහොමත්, දුම් බොන උදවිය ඒ හාණිය ගැන යම් තාක් දුරකට හෝ දැනුවත්.

මගෙ ජීවිතේ වැදගත්ම අවස්ථා එකක්වත් දකින්න මගෙ තාත්තට බැරි උනා.

මම ගේ හදද්දි, තාත්තා ගොඩක් මට බැකප් එක දුන්නා. ඒත්, ගේ හදල පදිංචි වෙන්න කළින්, තාත්තගෙ මළගෙදර කළේ මම අළුතෙන් හදපු ගෙදර.
මම ඩිග්‍රිය ගත්තා. මම ගෙදර කම්ප්ලීට් කළා. මම බැන්දා. මම රජයේ සේවයෙ උසස් වීමක් ලබා ගත්තා. මම පියෙක් උනා. මේ කිසිම දෙයක් දකින්න තාත්තට බැරි උනා. තාත්තා මියයද්දි අපේ ගෙදර එකම අවුල් ජාලයක්. මම බාගෙට හදපු ගෙයක් තියාගෙන, ඒක ඉවර කරගන්නෙ කොහොමද කියලා කල්පනා කරනවා. ඒකට සපෝට් එකක් විදිහට ඉඩමෙන්කොටසක් විකුණන්න තාත්තා මහන්සි ගත්තා. ඒක හරි ගියෙත් තාත්තා මැරිලා අවුරුද්දකට පස්සෙ. අපි කඩේට ණය වෙවී කෑවෙ බීවෙ. ඒ ණය ගෙව්වෙ තාත්ත මළාට පස්සෙ. කොටිම්ම අපි මිනිස්සු විදිහට කොන්ද කෙළින් තියාගෙන ගමේ ජීවත් වෙන හැටි තාත්තට දකින් බැරි උනා.

මේ සේරම - තාත්තා සිගරැට් බීපු නිසා.

ඒ නිසා මම මේක කියවන මගෙ සහෝදරයින්ගෙන් ඉල්ලන්නෙ එකම දෙයයි.

"තමන්ගෙ දරුවන්ගෙ අනාගතේ දකින්න. ඒ අයට උවමනා වෙලාවෙ ළඟින් ඉන්න ඕනෙ නම් - සිගරැට් බොන්න එපා... සිගරැට් එකෙන් අපිට ලැබෙන්නෙ සොච්චමයි. ඒ වෙනුවෙන් අපි කැපකරන දේවල් ඒකට සම කරන්න බෑ."

Thursday, November 19, 2015

ගමයගෙ මන්තරේ... ලංකාවෙ ජනකතාවකි.

එකෝමත් එක ගමක උන්නා ගැමියෙක්. (එහෙම නැතුව ගමක නාගරිකයෙක් ඉන්නයැ? නේද?) එයා ජීවිකාව කරගත්තෙ හේනක් කොටාගෙන. කැළෑවෙ අයිනෙ කොටාගත්ත හේනෙ, ගහක් උඩ අඩි අටක් දහයක් විතර උස දෙබළක හදාගත්ත පැලක ඉඳං තමා මෙයා හේන බලාගත්තෙ.

හැබැයි, මෙයා ‘ගෙදර උන්දැට බයේ හේනට යන - ඌරට බයේ පැලෙං බිමට ‍නොබහින’ විදිහෙ මනුස්සයෙක්. ඉතිං එයා කරන්නෙ, වේලාසන රෑට කාලා කොස් කොළ නැටි පේන නොපේන ගානට කළුවර වැටීගෙන එනකොට හේනට යනවා. පැල උඩට නගිනවා. සත්තු වටිං ගොඩිං හේනට එද්දි පැල උඩ ඉඳං කෑ කෝ ගහනවා. සත්තුත් ඒ ගෝසාව ගණං නොගෙන හිතූ මනාපෙ හේනෙ බව බෝග විනාස කරලා දාලා යනවා. ඉතිං අන්තිමේ රැකුණ හේනක් නෑ.

ගෙදර බව බෝග අහේම හිංදා, නිතරම වාගේ මේ ගමයා තමුංගෙ ගෙදර ඇත්තගෙං ආඩපාලි අහනවා. උන්නැහැත් එක එක කෙම් ජාති කරනවා හේන සත්තුංගෙන් බේර ගන්න.

ඔහොම ගිහිං මෙයාට දවසක් හම්බුනා එක මන්තරයක්. හේනට ගිහිං මන්තරේ මතුරලා, ගිණි ගොඩක් ගහල තිබ්බහම, පහුවදා එළි වෙනකල් සත්තු එන්නෙ නෑ. ඒ වගේම, ඒ මන්තරේ මතුරල තියෙද්දි කාට හරි “තෝ උඩුකුරුඤ්ඤං...” කිව්වොත්, උන්දැ එතනම මැරෙනවා.

ඉතිං දැන් ගමයා හරි සතුටින්. එයාට කරන්න තියෙන්නෙ, හේනට ගිහිං මන්තරේ මතුරලා, ගිණි ගොඩක් ගහලා. රෑ එළිවෙනකල් නිදාගන්න එකයි. මන්තරේ බලේට හේන නිකම්ම රැකුණා.

දවසක් මේ ගමයා හේනට ගිහිං, පැළට ගොඩවෙලා, ඒකෙ දිගාවෙලා, මේ මන්තරේ නිසා තමුන්ට වෙච්ච වාසිය ගැන කල්පනා කර කර ඉද්දි ඉබේටම නින්ද ගියා. එදා රෑ හරක් රංචුවක් ඇවිත් හේන එහෙම පිටිම්ම පාළු කළා.

උදේ ඇහැරිලා පැල උඩ ඉඳං බලනකොට තමා ගමයට මතක් උනේ කලිං දා හවස මන්තරේ මතුරන්න අමතක උන බව. හොර හරක් රැළ හේන පාළු කළා මදිවට, හේනෙ කොණක ලැගලා තාම වමාරගෙන කකා ඉන්නවා. ගමයට උං රැළ මරං කන්න කේන්තියි. එයා පැල උඩ ඉඳංම මන්තරේ මතුරළා, “තොපි උඩුකුරුඤ්ඤං...”  කිව්වා. කිව්වා විතරයි, හරක් රැළ එතනම වැටිලා මැරුණා.

ඒ හරක් රැළ ගමේ පෝසත් මිනිහෙකුටයි අයිති. එදා රෑ හරක් ටික මඩුවට ආවෙ නැති නිසා උං හොයන්න කියලා, පෝසතා පිටත් උනා. හරක් ගෙ අඩි පාර දිගේ හොයාගෙන හොයාගෙන ගියපු උන්දැ, අර ගමයගෙ හේනට ආවා. ඇවිත් බලනකොට හරක් රැළම මැරිලා. ගමය තාම ඉන්නව ගහ උඩ පැලේ. පෝසතා ඇහුවා ගමයගෙං “මොකද මයෙ හරක් රැළට උනේ...?” කියලා.

කුමාරොදය - හතර වන ප්‍රමාණය කියවීම් පොතෙන්

ගමයගෙ කේන්තිය තාම නිවිල තිබුණෙ නෑ. “මගෙ හරක්...” කිව්වහම ඒ කේන්තිය තවත් වැඩි උනා. ගමය ගත් කටටම කිව්වා, “උඹේ ද හරක්? එහෙනං උඹත් උඩුකුරුඤ්ඤං...” කියලා. පෝසතා එතනම මළා.

ඒ පෝසතා හොයාගෙන, පෝසතාගෙ පුතයි ගමේ ආරච්චි මහත්තයයි ගියා. ඒ උදවිය හේනට එනකොට ගමයා පැලෙං බැහැලා. ආරච්චි රාළ දැක්කා වෙලා තියෙන අලකලංචිය. උන්නැහැ ගමයගෙං ඇහුවා, “මොකද මෙතන උනේ?” කියලා.

“උනේද? හඃ උනේ නේ?” ගමය ගෙ කේන්තිය තවත් වැඩි උනා. “තොපි දෙන්නත් උඩුකුරුඤ්ඤං...” එහෙම කියාගෙන ගමය ගෙදර යන්න පිටත් උනා.

ගෙදර ඇවිත් වෙච්ච සිද්ධිය අකුරක් නෑර ගමයා කිව්වා ගම හාමිනේට. ගම හාමිනේ ඒක ඇහුව විතරයි වැළහින්න වගේ අඬා වැළපෙන්න ගත්තා, “අයියෝ, මොකද්ද මේ ඔයා කරගෙන තියෙන්නේ? දැං ඉතිං අපි මේ ගමේ වසන්නෙ කොහොමද?...” ආදී දේවල් කිය කියා. ගමයට ඉහිළුං නැතුව ගියා. ඔක්කොටම වඩා වැඩියි කණක් ඇහිලා වසන්න බැරි කම. ගමය ගත් කටටම කිව්වා, “කටවහගං. නැත්තං තෝත් උඩුකුරුඤ්ඤං” කියලා.

ඒක කිව්ව විතරයි, වැස්සක් පායලා පායලා වැස්සා ‍වගේ ගම හාමිනේගෙ කට වැහුණා. කට වැහුණෙ නිකම්ම නෙමෙයි, ගමහාමිනේ මළා.

ගමයට හරිම කේන්තියි. ඒ වගේම බඩගින්නත් නැගගෙන එනවා. එයා බැලුව කුස්සියට ගිහිං මොනවද කන්න තියෙන්නෙ කියලා. මොකවත් නෑ. ඒ ගමන එයා උයන්න ගත්තා. හාල් ටිකක් හෝදල අරං, මුට්ටියක දාලා, වතුර දාලා, ලිප උඩිං තිබ්බා. තියලා, ලිපට දර දාලා ගින්දර ඇවිලුවා. ගිණි දැල්ල ටිකක් එහෙ මෙහෙ එකෙල මෙකෙල වෙවී තිබිලා, නිවෙන්න වගේ ගියා. ගමයා පාත් වෙලා හූස් ගාලා ලිපට පිම්බා. තිබුණු ගින්දර ටිකත් නිමිල ගියා. ගමයට දැන් හොඳටම කේන්තියි. ඒ පාර ගමයට වැඩිදුර හිතන් නැතුව කියවුණා, “අනේ දෙයියනේ, මාත් උඩුකුරුඤ්ඤං...”

ගමයත් ලිප ගාව මැරිලා වැටුණා.

Thursday, November 12, 2015

ඩ්‍රැක්‍යුලාගේ වැටීම Dracula's Fall - Historical Figure of Dracula Part - 3

මෙතෙක් කොටස්
1 කොටස
2 කොටස

සමහර තුර්කි මූලාශ‍්‍ර වල වෙනත් ආකාරයකින් සඳහන් වූවද, අනෙක් සමකාලීන වංශ කථා සෑම එකක්ම පාහේ පවසන්නේ, 1462 සංග‍්‍රාමයෙන් සුල්තාන් වරයා පැරදුනු බවයි. අවසානයේ තුර්කි හමුදා කෙතරම් වේගයකින් පසුබැස්සා ද කියතොත්, 1462 ජූලි 11 වන විට සුල්තාන් වරයා ඒඩි‍්‍රයානාපොලිස් වෙත අවුත් තිබිණ. බයිසැන්ටියානු ඉතිහාසඥ කැල්කොකොන්දිල් ට අනුව, ව්ලාඩ් ගේ බාල සහෝදරයා වූ රාඩු, ඔටෝමන් වරුන් විසින් ටර්ගොවිස්ට් අගනුවර රඳවා ගොස් තිබුණි. ව්ලාඩ් ට එරෙහි පිරිස් රැුස් කර ගැනීමත්, ඔවුන් මඟින් අවසානයේ දී ව්ලාඩ් බලයෙන් පහ කොට වලාචියා හි රූකඩ පාළකයා බවට පත් වීමත් රාඩු වෙතින් අපේක්ෂා කෙරුණි.

කඩවසම් රාඩු
https://upload.wikimedia.org/wikipedia/
commons/thumb/e/e2/Radu_cel_Frumos
_of_Wallachia_2.png/220px-Radu
_cel_Frumos_of_Wallachia_2.png

රාඩු සහ ඔහුගේ ජැනිසරි සේනාවෙන් දෙවන මෙහ්මඩ් සුල්තාන් වරයා අපේක්ෂා කළේ  ඕනෑම දෙයක් කැප කර ඔටෝමන් අධිරාජ්‍යය ජයග‍්‍රහණය කරා ගෙනයාමයි. රාඩු සහ ඔහුගේ දරුණු ජැනිසරි බළ ඇණි වෙත, වෙඩි බෙහෙත් සහ ඩිනාර් සැපයීම සුල්තාන් වරයා විසින් අනවරතව පවත්වාගන්නා ලදි. එහෙයින් ඔවුන් හට ව්ලාඩ් ගේ බල ප‍්‍රදේශය තුළට කාවැදීම පහසු විය. අවසානයේ, මනාව සන්නද්ධ ව සිටි තම බළඇණි සමඟින් රාඩු, ව්ලාඩ් ගේ සුප‍්‍රකට රක්ෂස්ථානයක් වූ පොයිනරි බළකොටුව වටළන්නට සමත් විය. එහිදී ඉතා දුෂ්කර ජයක් අත් කර ගත් රාඩු, මෙහ්මඩ් විසින් වලාචියා හි බේ වරයා හෙවත් ප‍්‍රාදේශීය පාලකයා බවට පත් කරන ලදි.

පොයිනරි හිදී ව්ලාඩ් පරාජය වීමට එක් හේතුවක් වූයේ, ව්ලාඩ් විසින් බලතල කප්පාදු කරන ලද බෝයර් වරු, තම මුල් ආස්ථානයන් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් රාඩු සමඟ එකතු වීමය. එසේම, ඔවුන් හංගේරියානු රැකවරණයට වඩා, නැගී එන ඔටෝමන් අධිරාජ්‍යයේ රැකවරණය යටතේ සිටීම හොඳයැයි අදහස් කරන්නටද ඇත. එසේම, බෝයර් වරුන්ගේ පවුල් සැඟවී සිටි ස්ථාන (බොහෝවිට ස්නැගෝව් අවට වන රොද වල) තම ඔත්තුකාරයන් සහ පාවාදෙන්නන් මඟින් හෙළිදරව් කරගත් රාඩු, ඔවුන් මඟින් බෝයර් වරුන් තම පාර්ශ්වයට එක් කර ගැනීමට තර්ජනාත්මක බළපෑම් කරන ලද බව ද කියැවේ.

1462 සැප්තැම්බර් 8 වන විටත් ව්ලාඩ් තවත් යුධ ජයග‍්‍රහණ තුනක් අත් කරගෙන සිටියේය. එහෙත්, 1462 දී ඔටෝමන් වරු ව්ලාඩ් ට‍්‍රාන්සිල්වේනියාවට පළවා හරින්නට සමත් වූහ. එහිදී ඔහුගේ බිරිඳ ඔටෝමන් වරුන්ට අසුවනවාට වඩා මරණය උතුමැයි සළකා, ව්ලාඩ් ගේ බළකොටු මාළිගයේ කුළුණක සිටි ආර්ගස් නදියට පැන දිවි නසා ගත් බව සඳහන් වේ. ඩ‍්‍රැක්‍යුලා රහස් මඟකින් ට‍්‍රාන්සිල්වේනියානු කඳුකරයට පළා ගියේ ය.

දිගින් දිගට පැවතුණු යුද්ධ ව්‍යාපාරය විසින් ඔහු සතු අරමුදල් හින්දවා තිබුණි. එහෙයින් තවදුරටත් ඔහුගේ අගම්පඩි හමුදාවට වැටුප් ගෙවිය නොහැකි තත්ත්වයක් උදාවිය. ව්ලාඩ් සිය පැරණි යුධ සගයා වූ මැතියස් කෝවිනස් ගේ ආධාර අපේක්ෂාවෙන් හංගේරියාවට ගියේය. එහිදී ආධාර වෙනුවට ඔහුට ලැබුණේ අත්අඩංගුවට ගෙන, රාජද්‍රෝහී චෝදනා මත අන්තර් භෞම බන්ධනාගාරයට දැමීමයි. පාප් වහන්සේගෙන් තෙවන කුරුස යුද්ධය සඳහා ලැබුණු මුදල් තම පෞද්ගලික පරිහරණයට වියදම් කර සිටි කෝවිනස්, යුද්ධයකට පැටළීමට අදහස් කළේ නැත. ඔටෝමන් වරුන් සමඟ සාමයට එකඟ වන බවට ව්ලාඩ් ගෙන් ලිපියක් ලියවා ගත් ඔහු, එම ලිපිය මඟින් පාප් වහන්සේ වෙත යුද්ධය අතහැර දැමීමට හේතු දක්වා සිය අගනුවරම රැඳින.

පොඩු ද‘ම්බොවිෂේ පාළම අසළ ඔරේෂියා හි බළකොටුවෙහි ව්ලාඩ් සිර ගත කරන ලදි. ඉන් පසු බුඩා නගරය අසළ විසිග‍්‍රෑඩ් වෙත ගෙන යන ලදුව එහි වසර 10 ක් ගත කරන්නට ඔහුට සිදු විය. එයින් පසු ඔහු බුඩා හි සිර කර තබන ලදි.

ව්ලාඩ් සිරගතව සිටි කාලසීමාව විවාදාපන්නය. එය 1462 සිට 1474 දක්වා බව රුසියානු අත්පිටපත් මූලාශ‍්‍ර අනුව සළකාගත හැක. බුඩා හි රාජ්‍යතාන්ත‍්‍රික ලිපි ගනු දෙනු හැදෑරීමේදී එය ඊට වඩා කෙටි කාලයක් බව පෙනේ. මෙම කාලය තුළ කෙමෙන් කෙමෙන් ව්ලාඩ්, මැතියාස් කෝවිනස් ගේ හිතවත් බව දිනාගන්නට සමත් වූ බව පෙනී යන්නේ, අවසානයේ ව්ලාඩ්, මැතියාස් කෝවිනස් ගේ පවුලේ සාමාජිකාවක (කෝවිනස් ගේ සහෝදරියකැයි ද සමහර තැන් වල සඳහන් වේ.) ආවාහ කරගැනීමට සමත් වීමෙනි. එම යුවළට දරුවන් දෙදෙනෙකු ලැබුණි. 1476 දී ඩ‍්‍රැක්‍යුලා වලාචියාහි සිහසුනට නැවත පත් වන විට ඔවුන්ගේ වැඩුමල් දරුවාගේ වයස අවුරුදු 10 ක් විය.

ව්ලාඩ් සිය සිර ජීවිතයේදී පවා තම පැරණි පුරුදු අත් නොහළ බව රුසියානු මූලාශ‍්‍ර වල සඳහන් වේ. ඔහු බොහෝ විට කුරුල්ලන් සහ මීයන් අල්ලාගෙන ඔවුන් වධයට පත් කිරීමටත්, අඟ පසඟ සිඳීමටත් පුරුදු ව සිටියේය. සමහර සතුන් ගේ හිස් කැපූ ඔහු තවත් සමහර සතුන්ගේ ඇ‍ඟ‍ෙහි තාර ගා, පිහාටු අළවා අතහැරියේ ය. නමුත් බොහොමයක් සතුන් ට ඔහු කළේ කුඩා උල් වල උල තැබීමය.

රාඩු අනුගමනය කළ ඔටෝමන් ලැදි පාලන ප‍්‍රතිපත්තිය ව්ලාඩ් හට නැවත නැගිටීමට උපකාරී විය. එසේම, ඩැන්‍යුබ් නදියෙන් උතුරෙහි පිහිටි ප‍්‍රදේශයන් කෙරෙහි ඔටෝමන් අධිරාජ්‍යයෙන් එල්ල වූ පීඩනය වැඩි වත්ම, මෝල්දාවියාවේ වොයිවෝඩ් වරයා මෙන්ම ව්ලාඩ් ගේ ඥාතියෙකු ද වූ මහා ස්ටෙෆන්, තම පෞද්ගලික අභිප‍්‍රායන් ද මුල් කරගෙන, ව්ලාඩ් ගේ නිදහස වෙනුවෙන් මැදිහත් විය.

ඒ අතර, ව්ලාඩ් 1475 දී  ඕතඩොක්ස් නිකායෙන් රෝමානු කතෝලික දහම වෙත මාරු විය. එය ද මැතියාස් කෝවිනස් සතුටු කිරීමට කරන ලද්දක් ලෙස පෙනේ.

1475 දී රාඩු හදිසියේ මිය යාමෙන් පසු 1476 නොවැම්බර් 26 දින තෙවන ව්ලාඩ් ඩ‍්‍රැක්‍යුලා හංගේරියානු ආධාර ඇතිව සිය තෙවන පාලන කාලය ප‍්‍රකාශ කළේය. ට‍්‍රාන්සිල්වේනියාවේ ස්ටෙෆන් බේතරි කුමාරයාගේ සහ ව්ලාඩ් ගේ ඒකාබද්ධ හමුදා වලාචියාව ආක‍්‍රමණය කළහ. ඒ වන විට රාඩුගේ ඇවෑමෙන් වලාචියාව පාලනය කළේ ඩැනෙස්ටි පරම්පරාවේ මහළු බැසරැබ් ය. ව්ලාඩ් ගේ හමුදා හමුවේ, බැසරැබ් සිය හමුදාද සමඟ පළාගියේ ය. එහෙත් ව්ලාඩ් සිය සිහසුන නැවත අල්ලාගෙන නොබෝ දිනකින්ම ස්ටෙෆන් බේතරී සමඟ ව්ලාඩ් ගේ හමුදාවෙන් බහුතරයක්ද  ආපසු ට‍්‍රාන්සිල්වේනියාවට ගියහ. ඩ‍්‍රැක්‍යුලා නැවත සිය බළ සේනා සකස් කර ගන්නට මත්තෙන් ඔටෝමන් හමුදා වලාචියාවට ඇතුල් වූහ. ඔවුනට මුහුණ දීමට ව්ලාඩ් හට සිදු වූයේ හාර දහසකට ත් අඩු සේනාවක් සමඟිනි.

ව්ලාඩ් ගේ තෙවන පාලන සමය මාස දෙකකින් අවසන් වූයේ ඔටෝමන් වරුන් සමඟ පැවති සටනකදී ඔහු ඝාතනය වීමෙනි. ඔහුගේ මරණය සිදුවූයේ කවදාදැයි නිශ්චිත නැතත්, ඒ 1476 දෙසැම්බර් මස අග දිනක යැයි සැළකේ. කෙසේ වෙතත් 1477 ජනවාරි 10 වන විට ඔහු මියගිය බව ප‍්‍රසිද්ධ වී තිබුණි. ඔහු මිය ගිය ස්ථානය ද නිශ්චිත නැත. එය බුකාරෙස්ට් සිට ග්‍යුර්ග්‍යු දක්වා වැටී ඇති මාර්ගයේ යම් තැනකදී සිදු වූ බව පිළිගැනේ. ඔහුගේ මරණය සිදුවූ ආකාරය ගැන මත කිහිපයක් වේ. සමහරුන් වාර්තා කර ඇත්තේ ඩ‍්‍රැක්‍යුලාගේ පාර්ශ්වය ජයග‍්‍රහණයට ඉතාම ආසන්නව සිටි අවස්ථාවේ ද්‍රෝහී වලාචියානු බෝයර් වරුන් ඔහු ඝාතනය කළ බවයි. තවත් මූලාශ‍්‍ර වලට අනුව, ව්ලාඩ් සිය පාක්ෂික මෝල්දාවියානු අංගාරක්ෂක භටයන් තමන් වටා සිටියදීම, පරාජය වී වැටුණු බවය. ජයග‍්‍රාහී ව්ලාඩ් තමන්ගේම සේනාවේ අය විසින් වැරදීමකින් එල්ල කළ පහරකින් මිය ගිය බව තවත් අය කියති.

ව්ලාඩ් ගේ මළසිරුරෙන් වෙන් කරන ලද හිස ජයග‍්‍රහණයේ ස්මාරකයක් ලෙස කොන්ස්තන්තිනෝපලයට ගෙන යන ලද අතර, එහිදී මෙහ්මඩ් ගේ අණ පරිදි එය උලක ගසා ප‍්‍රදර්ශනය කරවා ඇත. ව්ලාඩ් ගේ ප‍්‍රතිවාදියා වූ බැසරැබ් ලයෝටා විසින් ව්ලාඩ් ගේ සිරුර ගෞරවාචාරයෙන් තොරව මිහිදන් කරන ලදි. ඔහු මිහිදන් කරන ලද්දේ, ව්ලාඩ් විසින් 1461 දී ආරම්භ කරන ලද කොමානා තාපසාරාමයේ බව සැළකේ. මෙකී කොමානා ආශ‍්‍රමය පසුකාලීනව විනාශ කෙරුණු අතර, 1589 දී නටඹුන් මතින් නැවත ගොඩනගන ලදි.

ව්ලාඩ් භූමදාන කර ඇත්තේ බුකාරස්ට් නගරයට නුදුරු ස්නැගෝව් හි දූපතක පිහිටි ආශ‍්‍රමයක බව කියැවෙන කිසිදු ලිඛිත සාධකයකින් ඔප්පු නොවූ ජනශ‍්‍රැතියක් 19 වන සියවසේදී රුමේනියානු ඉතිහාසඥයන් හෙළිදරව් කරගත්හ. මෙම ආරාමයේ නිර්මාපකයා ද ව්ලාඩ් බව ට කැන්ටකුසිනෝ වංශකතාවේ වන සඳහන මීට සාක්ෂියක් වන බව ඔවුන්ගේ මතය විය. නමුත්, 1855 තරම් ඈතකදී ඇලෙක්සැන්ඩෘ ඔබොබෙස්ක්‍යු විසින් මෙම ආශ‍්‍රමය 1438 ට ද කලින් සිට පවතින බව පෙන්වා දී ඇත. 1933 ජූනි මාසයේදී ඞීනූ වී රොසෙට්ටි විසින් මෙම ස්ථානය කැණීම් කරන ලදි. එයින් ස්නැගෝව් ආශ‍්‍රමය 14 වන සියවසේ අගභාගයේදී ඉදි කරන ලද්දක් බව තහවුරු විය. මෙම ආශ‍්‍රමයේ පල්ලියේ ඇති ව්ලාඩ් ගේ යැයි විශ්වාස කෙරෙන නමක් කොටා නැති සොහොන් කොතට යටින් සැබැවින්ම සොහොනක් නෙමැති බව ද එහිදී අනාවරණය විය. රොසෙට්ටි 1933 දී පැවසූ අන්දමට, ‘‘ව්ලාඩ් ගේ සොහොන යැයි කියන සොහොන් කොතට යටින් සොහොන් ගැබක් තිබුණේ නැත. තිබුණේ අශ්ව ඇටකටු සහ හනු කොටස් රාශියක් පමණි.’’ ව්ලාඩ් ගේ මරණයේ වසර 500 සංවත්සරය වෙනුවෙන් ලිපි මාළාවක් ලියූ මාධ්‍යවේදියෙකු වන සිමියොන් සැවේන්‍යු, මෙම පල්ලියේ වෙනත් ස්ථානයක තිබූ නමක් රහිත සොහොන් කොතක් පිළිබඳව ප‍්‍රසිද්ධ කළේය. කෙසේ වෙතත් බහුතරයක් රුමේනියානු ඉතිහාසඥයෝ විශ්වාස කරන්නේ ව්ලාඩ් ගේ සොහොන කොමානා ආශ‍්‍රමයේ පවතින බවය.

ඔහු ඉතිරි කර ගිය දේ.

ව්ලාඩ් ඩ‍්‍රැක්‍යුලා ජීවත්ව සිටියදී පවා, ඔහු වධ දීමෙන් හා මැරීමෙන් පරපීඩක සතුටක් ලැබූ කුරිරු පාලකයෙකු ලෙස ප‍්‍රසිද්ධියට පත්ව සිටියේ ය. ජීවත්ව සිටි කාලයේදී, අඳින ලද සමහර ගුප්ත-සිතුවම් වල කෲර පාලකයන් හෝ වධකයන් ගේ රුව ලෙස ව්ලාඩ් ගේ රූපය ඇඳ ඇත. ඔහුගේ මරණින් පසු ඔහුගේ කෲර ක‍්‍රියාවන් අතිශයෝක්තියෙන් වර්ණනා කරන ලද පත‍්‍රිකා, 1480 සිට 1560 ගණන් වෙනතෙක්ම ජර්මනියේ ද, සාර් රජවරු යටතේ රුසියාවේ මඳ වශයෙන් ද, නැවත නැවත පළ කෙරී තිබේ.

https://upload.wikimedia.org/wikipedia/
commons/thumb/9/9c/Jezus_pred
_Pilatom.jpg/371px-Jezus_pred_Pilatom.jpg
ජේසුස් වහන්සේ විනිශ්චය කරන පොන්ටියස් පිලාත් ලෙස ව්ලාඩ් ගේ රුව ඇතුළත් වූ සිතුවමක්. (1463) ල්‍යුබ්ලියානා ජාතික කෞතුකාගාරයෙනි.

ව්ලාඩ් විසින් මරා දැමුණු ගණන 40,000 සිට 100,000 දක්වා වෙතැයි සැළකේ. එය, සියවස් හතරක් තිස්සේ යුරෝපයේ සිදුවූ මායාකාරියන් සංහාරය කිරීමේ ව්‍යාපාරයන් හි ඝාතනයන් මුළු එකතුවට සමාන සංඛ්‍යාවකි. ජර්මානු කතා වල සඳහන් වන පරිදි, ඔහුගේ අනින් මිය ගිය ගණන අඩුම වශයෙන් 80,000 ක් වත් වන අතර, ඒ ඔහු සහමුළින්ම ගිණිතබ්බවා විනාශ කරන ලද ගම්මාන සහ බළකොටු වල සිටියවුන් ගණනට අමතරවය.
https://upload.wikimedia.org/
wikipedia/commons/e/eb/Tepest.jpg
1470 - 1480 කාලයේ අඳින ලද ශාන්ත ඇන්ඩෘ කුරුසියේ ඇණ ගැස්වීම සිතුවමක ඒජීයස් නම් රෝමක ආණ්ඩුකාරවරයා ලෙස ව්ලාඩ් ගේ රූපය ඇඳ ඇති ආකාරය
වියානාහි බෙල්වඩියර් චිත‍්‍රාගාරයෙන්

වධ දී මරාදැමීමට ඔහු ඉතාම ප‍්‍රිය කළ ක‍්‍රමය වූයේ උල තැබීමයි. ව්ලාඩ් එළිමහනේ ආහාර ගනිමින් සිටින අතර, පසුබිමෙන් මිනිසුන් රාශියක් උලතබන ලද උල් ද, වධකයන් මිනිසුන් කපා දමන ආකාරය ද, දැක්වෙන 15 වන සියවසේ අග භාගයටත්, 16 වන සියවසේ මුල් කාලයටත් අයත් වන ජර්මානු ලී කැටයම් කිහිපයක් වේ. ආක‍්‍රමණික ඔටෝමන් හමුදාවන්, ඩැන්‍යුබ් නදී තීරයේ වූ දහස් ගණනක් උලතබන ලද මිනිසුන් දැක බියපත්ව ආපිට හැරුණු බව වාර්තා වී තිබේ. එසේම 1462 දී ව්ලාඩ්ගේ අගනුවර වූ ටර්ගොවිස්ට් හි ප‍්‍රාකාරයෙන් පිටත උල තබන ලද මළ සිරුරු 20,000 දුටු, මනෝවිද්‍යාත්මක යුධ ප‍්‍රයාණයන්හි දක්ෂයෙකු වූ දෙවන මෙහ්මඩ් සුල්තාන් වරයා රෝගග‍්‍රස්තව ආපිට කොන්ස්තන්තිනෝපලයට හැරී ගියේය.

https://upload.wikimedia.org/
wikipedia/commons/4/43/Impaled.gif
ව්ලාඩ් එළිමහනේ ආහාර ගනිමින් සිටින අතර, පසුබිමෙන් මිනිසුන් රාශියක් උලතබන ලද උල් ද, වධකයන් මිනිසුන් කපා දමන ආකාරය ද, දැක්වෙන 1499 දී කෙරුණු ජර්මානු ලී කැටයමක්

ව්ලාඩ් ගේ කෲරත්වය ගැන පැවති ප‍්‍රවාද, මැතියාස් කෝවිනස් විසින් සිය දේශපාලනික උවමනාවන් මත අතිශයෝක්තියෙන් පතුරුවාහරින ලද ඒවා බව ද සැළකේ. ඔටෝමන් වරුන්ට එරෙහිව යුද වදිනු පිණිස යුරෝපයේ පැවති බහුතරයක් කතෝලික රාජ්‍යයන් වෙතින් අරමුදල් ලැබූ කෝවිනස්, 1462 දී තුර්කියට එරෙහි ව්ලාඩ් ගේ සටනට ආධාර නොකළේය. එය සාධාරණීකරණය කිරීමේ අරමුණින් ව්ලාඩ් ගේ කෲරත්වය හා විශ්වාස කළ නොහැකි බව සනාථ කිරීමට විවිධ ප‍්‍රවාද පතුරුවා හළ බව සැළකේ. මැතියාස් අග්නිදිග ට‍්‍රාන්සිල්වේනියාවේ අයබදු සිය ප‍්‍රයෝජනයට ගත් අතර, ව්ලාඩ් ලීවාසේ පෙනෙන පරිදි 1942 නොවැම්බර් 07 දිනැති ව්‍යාජ රාජද්‍රෝහී ලිපි සකස් කළ බව ද කියැවේ.

ජර්මානු ජනතාව ඩ‍්‍රැක්‍යුලා ගැන දැනගත්තේ 15 වන සියවසේ මුල් භාගයේදී කියවන්නන් අතර සංසරණය වූ අත් පිටපත් මඟිනි. එයින් මුල්ම අත්පිටපත ලියැවී ඇත්තේ ව්ලාඩ් අත්අඩංගුවට පත්වීමටත් පෙර හෙවත් 1462 දී යැයි සැළකේ. එය පසු කාලයකදී ජර්මනියේදී මුද්‍රණය කෙරුණු අතර, සමකාලීනව හොඳ අලෙවියක් ද ඊට ලැබිණ. මුල් පිටපතට යම් යම් වෙනස් කිරීම් සහ එකතු කිරීම් ද සහිතව වරින් වර සංස්කරණය කෙරී ඇත.

අත්පිටපත් සහ පත‍්‍රිකා වලට අමතරව, ව්ලාඩ් ගේ කතාවේ ජර්මානු අනුවාදය මයිකල් බිහයිම් ගේ ‘‘වොන් අයිනෙම් වුට්රිච් ඩර් හයිස් ට‍්‍රැකල් වයිඩා වොන් ඩර් වලාචි’’ හෙවත්, වලාචියාහි ඩ‍්‍රැක්‍යුලා නම් උමතු මිනිසාගේ කතාව යන කාව්‍යයට ද ඇතුළත් විය. 1463 ශීත සෘතුවේ දී මෙම කාව්‍යය ලියා, තෙවැනි ෆෙඩි‍්‍රක් ශුද්ධවූ රෝම අධිරාජයාගේ රාජ සභාවේදී ගායනා කරන ලදි.

මෙකී මයිකල් බිහයිම් ගේ කාව්‍යයට අමතරව, ව්ලාඩ් ගේ කතා ඇතුළත් අත්පිටපත් 4 ක් ද, පත‍්‍රිකා 13 ක් ද ලියැවී ඇත. දැනට ඇති අත්පිටපත් සියල්ල 15 වන සියවසේ අග කාර්තුවේ සිට 1500 වසර දක්වා කාල පරාසයකට අයත් වන අතර, පත‍්‍රිකා 1488 සිට 1559-1568 කාලයට අයත් වේ.

මෙම පත‍්‍රිකා වලින් අටක් 1501 ට කලින් කෙරුණු ආදී කාලීන මුද්‍රිතයන් ය. ව්ලාඩ් පිළිබඳ ජර්මානු කතා 46 ක වන අතර, අත් පිටපත්වල හෝ පත‍්‍රිකාවල හෝ, බිහයිම් ගේ කාව්‍යයේ හෝ එම කතා සියල්ලම අන්තර්ගත නොවේ. ඒ සියල්ල ආරම්භ වන්නේ පැරණි පාලකයා වූ ජෝන් හුනියඩි, ව්ලාඩ් ගේ පියා මැරවීමෙන් සහ ව්ලාඩ් හා ඔහුගේ සොහොවුරා සිය පැරණි ආගම ප‍්‍රතික්ෂේප කර ක‍්‍රිස්තියානි ඇදහිල්ල ආරක්ෂා කර පෝෂණය කිරීමට දිව්රුම් දීමෙනි. ඉන් පසු එළැඹෙන සිද්ධීන්වල අනුපිළිවෙල එක් එක් අත්පිටපත් සහ පත‍්‍රිකාවන්හි වෙනස් වෙනස් අන්දමට නිරූපණය වේ.

ව්ලාඩ් ගේ කතාවේ රුසියානු හෙවත් ස්ලාව් අනුවාදය හැඳින්වෙන්නේ ස්කැසනී ඔ ඩ‍්‍රැකුලේ වෝවොඩෙ හෙවත් හමුදා නායක ඩ‍්‍රැක්‍යුලා ගේ කතාව ලෙසිනි. එය ලියැවුණ බවට සැළකෙන්නේ 1481 - 1486 අතර කාලයේදීය. දැනට මෙහි ඉතිරිව ඇත්තේ, 15 - 18 සියවස් අතර කෙරුණු අනු අත්පිටපත් අතරින් විසි දෙකක් පමණි. ඩ‍්‍රැක්‍යුලා පිළිබඳ රුසියානු කතා පුවත් කාලක‍්‍රමාණුගත හෙවත් කාල අනුපිළිවෙලට සඳහන් නොවන අතර, එම අත් පිටපත් එකක් වත් සම්පූර්ණ ද නැත. ඒවා සැකසී ඇත්තේ ව්ලාඩ් පිළිබඳ ජනප‍්‍රවාද වල එන ඓතිහාසික මෙන්ම සාහිත්‍යමය වෘතාන්ත ද එකතු කිරීමෙනි. මෙම කතා ආරම්භ වන්නේ කෙටි හැඳින්වීමක් ද සහිතව, ඔටෝමන් දූතයන් ගේ හිස් වලට තලප්පා තබා ඇණ ගැස්වීමේ සිදුවීමෙනි. අවසන් වන්නේ ව්ලාඩ් ගේ මරණයෙන් සහ ඔහුගේ පවුලේ විස්තර වලිනි.

ඩ‍්‍රැක්‍යුලා පිළිබඳ රුසියානු කතාන්තර 19 ක් වන අතර, එයින් දහයක් ජර්මානු කතා හා සමාන වෙයි. එහෙත්, ඔහු පිළිබඳව රුසියානු ජනතාව හෙළා ඇති දෘෂ්ටි කෝණය ජර්මානුවන්ට වඩා වෙනස් ය. රුසියානු කතා වල ඔහු ශ්‍රේෂ්ඨ පාලකයෙක්, නිර්භීත රණශූරයෙක් සහ සාධාරණ රජෙක් ලෙස නිරූපණය වේ. ඔහුගේ ක‍්‍රෑරකම්, අයෝමය පාලකයෙකුගේ ක‍්‍රියාවන් ලෙස සාධාරණීකරණය කර තිබේ. කතා දහ නවයෙන් ම අතිශයෝක්තියට නඟන ලද ප‍්‍රචණ්ඩත්වය නිරූපණය වන්නේ හතරක පමණි. මෙයින් සමහර ප‍්‍රවාද පසුකාලීනව බිහිසුණු ඉවාන් රජු හට ආරෝපණය කර ඇති බව ද පෙනේ.

ව්ලාඩ් ඩ‍්‍රැක්‍යුලා වටා ඇති ජනප‍්‍රවාද

ව්ලාඩ් ගේ චරිතය වටා ගෙතී ඇති සුප‍්‍රකට වෘත්තාන්ත නවයක් වේ.

මෙම ලිපිය දිග වැඩි වන බැවින් එම වෘත්තාන්ත මීළඟ කොටසින් බලාපොරොත්තු වන්න.

මූලාශ්‍ර - 

විකිපීඩියා

Thursday, November 5, 2015

අලි ප්‍රහේලිකා අංක - 3 පිළිතුරු සහ ජයග්‍රාහකයෝ...

මීට කලින් පළ කෙරුණ සත්තු ප්‍රහේලිකා අංක 3 ට උත්තර දීම වෙනුවෙන් මෙන්ඩා සහ ප්‍රසන්න ප්‍රමුඛව සොහොයුරු කමෙන්ට් කරුවන් දක්වපු ඉමහත් උද්යෝගය ඉතා ඕනෑකමින් අගය කරන අතර, ඒ උදවිය නිසා මේ බ්ලොග් එකේ මෙතෙක් වැටුණු වැඩිම කමෙන්ට් ප්‍රමාණය වාර්තා වුණ බව හදපිරි ආතලයෙන් යුක්තව වාර්තා කරමි.

කලින් පෝස්ටුවේ පොරොන්දු වූ පරිදි ඒ ඒ පුරස්න වලටත් ඒ ඒ උත්තර පහතින් දක්වා ඇත.

මෙන්ඩයි සඳුවයි පොඩි මෙන්ඩයි
http://images.stockfreeimages.com/
593/sfi/free_5933272.jpg

1. ප්‍රශ්නය

ඒ ප්‍රශ්නයේ ඉන්නේ ගිරව් ය. උං කවුරු නමුත් කියන කියන දේ ම ඒ විදිහටම කියනවා මිසක් ඒකෙ ඇත්ත නැත්ත හොයන්නේ නැත.

නිවැරදි උත්තර දුන්නේ -

විදානෙ සහ රාජ්

2. ප්‍රශ්නය

කොකා උදේ පිට් එකේ පියාඹලා ආවට, අාපහු යන්නේ මහ දවල් ගිණී අව්වේය. "තමන් හිසට තම අතමය සෙවනැල්ල" කියා ඌ එක තට්ටක් හිසට උඩිං අල්ලාගෙන පියාඹයි. උදේ තටු දෙකෙන්ම පියාඹද්දී පැය දෙකක් ගියාට, දවල් එක තට්ටකින් පියාඹද්දී කාර්යක්ෂමතාවය බාගෙට බහියි. එ් නිසා පැය හතරක් ගතවෙයි.

නිවැරදි උත්තර දුන්නේ -

ඩබ්ලිව් මනෝජ් නිශ්ශංක ඩයස් විතරයි

3. ප්‍රශ්නය

කොකා අහස ග‍ොරවනවාට හෙණ බයය. අකුණක් ගහද්දී ඌ දෑතේ ඇඟිලි කණේ ගහගනියි. එතකොට පියාඹන්න බැරිවී එළකිරි වගේ පහතට වැටෙන්නේය.

මේකටත් නිවැරදි උත්තර දුන්නේ -

ඩබ්ලිව් මනෝජ් නිශ්ශංක ඩයස් විතරයි

4. ප්‍රශ්නය

පනු පුතා මොන්ටිසෝරි වයසේය. ඌ ගණන් කරන්නට දන්නේ නැත.

නිවැරදි උත්තර දුන්නේ - මෙන්ඩා ය සමහර විට ඌ පනුපුතා ගැන අනිත් උදවියට වඩා දන්නවා ඇති ය.

5. ප්‍රශ්නය

පනු පුතා ශිෂ්‍යත්වෙ පාස් බැවින් දැන් ගණන් කරන්නට දන්නවාය. ඌ හතරයි කියා ඇත්තේ බොරුවට ය.

කාටවත් නිවැරදි උත්තර දෙන්න පුළුවං වී නැත.

6. ප්‍රශ්නය

සත්තු කන දේ අනුව උන්ට නම් තියන්නේ නැත. උදාහරණ ලෙස, "අඹ බොන මෙන්ඩා", "පාං කන ප්‍රසන්න" ආදී ලෙස නම් තැබීමක් සිද්ධ නොවේ. ඒ නිසා මේ පනුවාගේ නම "පනුවා" ය.

ඒකටත් කවුරුවත් නිවැරදි උත්තර දුන්නේ නැත.

7. ප්‍රශ්නය

මුහුද මැද්දේ ලවණ ගතිය වැඩි නිසා යකඩ බල්ලා කන්නේ මළකඩය.

නිවැරදි උත්තර දුන්නේ -

මෙන්ඩා, විදානෙ, "වල්" මදාවියා, ඩබ්ලිව්. මනෝජ් නිශ්ශංක ඩයස්,  රාජ් සහ කුරුට්ටා

8. ප්‍රශ්නය

ජෙට් එකේ එක තට්ටක් උඩ කිලෝ හැත්තෑවක් බර වොෂිං මැෂීන් එක තබා, අනික් තට්ට උඩට කිලෝ හැත්තෑවක් බර මිනිහා නැග්ග විට දෙකෙළවර ස්කන්ධය සමබර වී, ස්කන්ධ දෙකේ මධ්‍යන්‍යය ජෙට් එකේ ගුරුත්ව කේන්ද්‍රයට සමපාත වේ. මිනිහාට අතක් දික්කර, වොෂිං මැෂින් එක අල්ලා ගත හැකි අතර, අනික් අතින් ජෙට් එක පාලනය කළ හැකිය.

කාටවත් නං මේකට නිවැරදි උත්තරේ දෙන්න පුළුවං උනේ නෑ.

9. ප්‍රශ්නය

හරකා තාප්පයට උඩිං බලන්නේ තාප්පයකට යටින් බලන්නට නොහැකි නිසාය.

නිවැරදි උත්තර දුන්නේ -

මහේෂ් රත්නායක, අවංක වඩුරියං සහ කුරුට්ටා

10. ප්‍රශ්නය

6 ප්‍රශ්නයේ සඳහන් වන, පොළොව මැද්දේ වසන පනුවා ඇමරිකන් කා‍රයො දාපු ගල් ඔක්කොම කාලා ය.

නිවැරදි උත්තර දුන්නේ -

බ්‍රාධිපති මෙන්ඩා, ප්‍රසන්න ගුරුන්නාන්සෙ, අවංක (මොකට කියනවද ඒ ගැන) ආරි, විදානෙ, රාජ්, මදාවියා සහ ඩබ්ලිව් මනෝජ් නිශ්ශංක ඩයස්

(තව දෙකයි. ඔහෙම යං)

11. ප්‍රශ්නය

8 ප්‍රශ්නයේ පරිදි ජෙට් එකේ පටවගෙන ගිය වොෂිං මැෂින් එක කෙල්ලගේ ඔළුවට වැටිලා කෙල්ල එතනම ඔන් ද ස්පොට් වී චකබ්ලාස් වෙලා ඇත.

නිවැරදි උත්තර දුන්නේ මෙන්ඩා විතරයි (දාපිය පහක් මයෙ බොක්කෝ...)

12. ප්‍රශ්නය

සිරිපාදේ ගියේ සීයයි තාත්තයි පුතයි ය. සීයත් තාත්තත් තාත්තලා දෙන්නා වන අතර, තාත්තත් පුතත් පුත්තු දෙන්නාය.

නිවැරදි උත්තර දුන්නේ -

විචාරක මාමා, මහේෂ් රත්නායක, අවංක ආරියා, විදානෙ, ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව්. මනෝජ් නිශ්ශංක ඩයස් සමඟින් ආදර බර කුරුට්ටා තුමා.

ඒ අනුව අපේ පොරවල් දී ඇති නිවැරදි පිළිතුරු මේ විදිහය...

ප්‍රසන්න - 1/12
විචාරක - 1/12
මදාවියා - 2/12
මහේෂ් රත්නායක - 2/12
මෙන්ඩා - 3/12
රාජ් - 3/12
කුරුටු - 3/12
අවංක 4රියං - 3/12
විදානෙ - 4/12
ඩබ්ලිව් මනෝජ් නිශ්ශංක ඩයස් - 5/12

ඒ අනුව මගේ කර්ණ රසායන ගායන ඇසීමේ වාසනාව කිසිවෙකුටත් හිමි නොවන අතර. බ්ලොග් එකට පැමිණි සියළුම දෙනාට කහට කෝප්පයක් සහ "හකුරු" යන සාඩම්බර නම දරන හුඹස් මැටි කෑල්ලක් බැගින් තෑගි හිමිවෙනවා ඇත.

ප/ලි

ඩ්‍රැක්‍යුලාගේ ඉතිහාස කතාවේ අවසාන කොටස මීළඟ පෝස්ටුවෙන් බලාපොරොත්තු වන්න...

Wednesday, October 28, 2015

උතුං ලඞ්කාංඩුවට ගෞරව බහුමානයෙන් යුක්තව දන්වා සිටින වගනම් - සහ අලි ප්‍ර‍‍හ‍ේලිකා අංක 3

"බිසී වීම මනුෂ්‍ය ගතියකි. ඇරියස් කවර් කිරීම දේව ගතියකි."
ආදර්ශ පාඨයකිං ලියවිල්ල ආරම්භ කිරීම ක්ලැසික් ගතියකි

මේ අපි කවුරුත් හොඳින් දන්න අඳුනන වල් මදාවියා හෙවත් විසිටරයා විසින් මා අරභයා දේශනා කරන ලද ආදුරුස පාටයකි.

මේ ආදුරුස පාටය දේශනා කරන්නට යෙදුන නිමිත්ත වූයේ මා පහුගිය දෙසතියේ අම්බානකට බිසී වීම නිසා බ්ලොග් ලෝකයේ වූ දේවල් (තියා නිවුස් මොනවක්වත් පවා) කිසිම දෙයක් නොදන්නා තත්ත්වයකට පත්වීමය.

ඩ්‍රැකියානිත් මාත් අවුරුදු තුනක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි අපේ කිරුළ හිමි ඩ්‍රැකී කුමාරයා මේ ලෝකයට බිහි වූයේ පහුගිය සතියේය.



ඉතිං මාර ආතල් ය. පාන්ද හතරට නැගිට, මෑණි පාර්ශවයත් එක්ක සෙටමෝල් වී උයාගෙන (ඒ කියන්නෙ අම්මට පොල් මිරිකා දී එයා උයා දෙන කෑම එක බැඳගෙන.) ඩ්‍රැකියානිට තේත් හදාගෙන හොස්පිටලය බලා පිටත් වන්නෙමි. ඊට පස්සෙ ගෙදර ආ වෙලේ ඉඳං, "හනේ දෝනිට මේ කෑමම දවල්ටත් දෙන්නෙ කෙ‍ාහොමදැ?" යි විස්සෝප වෙන අම්මා එක්ක තවත් මොකක් හරි වෑඤ්ජනයක් දෙකක් උයා, ඩ්‍රැකියානිගේ සහ පසුකාලීනව ඩ්‍රැකි පැටියාගේ කිලිටි රෙදි ගොන්න සෝදා දමා, අම්මාද කිහිල්ලේ ගසාගෙන දවල්ට ඩ්‍රැකියානි බලන්නට යන්නෙමි. ඒ කොල්ලා ගෙදර ඇවිත් පැය බාගෙයක් නිදාගෙන ඉන්නා මම ඊට පස්සෙ අවදි වෙන්නේ, ගේ දොර මිදුළ අතු පතු ගා, ඩ්‍රැකී පැටියා වෙනුවෙන් විශේෂ පිරිසිදු කිරීම් කොර, හවස විසිට් එක සඳහා අවශ්‍ය කළමනා ලෑස්ති කරන්ටය. හවස හොස්පිටලයෙන් ගෙදර ආ වෙලේ ඉඳන් පහුවදාට උයන්ට කළමනා ලෑස්ති කිරීම, කිළීටි රෙදි සේදීම, වේළුනු නැප්කින් අයන් කිරීම ආදී කප්පරක් කරුමාන්ත නිමවා මධ්‍යාහ්න දොළහට කිට්ටු කර (පැය එකහමාරක් විතර කිට්ටු කර) නිදාගන්නට යන්නෙමි.

මෙසේ කරන ලද දුෂ්කර කිරියාව දැන් ඩ්‍රැකී පැටියා සමඟ නයිට් ඩියුටි කිරීම දක්වා වෙනස් වී ඇත්තේය. මොකද ඩ්‍රැකියානි කියනාකාරයට ‍මූ නම් ගිය ආත්මයේ මුරකාරයෙකි. මුන්දෑ දවාලට බබා වගේ නිදාගෙන ඉඳ, රෑ තිස්සේ ගෙදර දෙවනත් කිරීමේ කාර්යයේ නිරත වෙන නිසාය.

කෙසේ වෙතත් කුළුඳුලේ පුතෙක් ලැබීම රටක් රාජ්ජයක් ලැබුණා වගේය. වැඩියත්ම වැදගත් වන්නේ අපි බලාපොරොත්තු වුනේ එක දරුවෙක් විතරක් හදන්ට නිසාය. (සිංහල ජාතිය ගැන හිතා දරුවන් පඩිපෙළක් හදන්නට කියන උන්ට මට කියන්නට ඇත්තේ, ඊට පෙර වනචර දොස්තරයන් ගේ මානසික රෝග සුවකර, නර්ස් ලා සහ මිඩ්වයිෆ්ලා ට මිනිස්සුන්ට කතා කරන්නට උගන්වන ලෙසය... අම්මප...!!!)

අවසානයේ, මෙතෙක් කලක් ඩ්‍රැකී ජූනියර් ලෙසින් හඳුන්වාගන්නා ලද මා, ගිය සතියේ සිට ඩ්‍රැකී සීනියර් ලෙස මාගේ ඊ්මේලය, සහ මූණු පොතේ එකවුන්ටය වෙනස් කරනා බවට උතුං වූ බ්ලොග් අවකාශයටත්, එහි සැරිසරනා සියල්ලන්ටමත් ‍ගෞරව බහුමානයෙන් යුක්තව දන්වා සිටින වගයි...

-------------------------

උඩිං කියන්නට යෙදුන කාරණේත් එක්ක, ඩ්‍රැක්‍යුලාගේ ඉතිහාසය ලියාගන්නට මේ සතිය වන විටත් බැරි වීම නිසා, කලිං පෝස්ටුවේ පහතින් ලියා පොරොන්දු වූ විදිහට, අලි ප්‍රහේලිකා අංක තුන, ඉදිරිපත් කරනු ලැබේ...

(චර චර චර චර... හුරේ...! ජය වේවා...!!!)

1. 
ගිරව් තුන් දෙනෙක් එකා පස්සෙ එකා සරළ රේඛාවක් විදිහට පියාඹාගෙන යනවා. ඉස්සෙල්ලම ගිය ගිරවා පිටිපස්ස හැරිලා බලලා කියනවා, "මගෙ පස්සෙං තව ගිරව් දෙන්නෙක් එනවා" කියලා. දෙවෙනි ගිරවත් පස්ස හැරිලා බලලා කියනවා,  "මගෙ පස්සෙං තව ගිරව් දෙන්නෙක් එනවා" කියලා. අන්තිම ගිරවත් පස්ස හැරිලා බලලා කියනවා,  "මගෙ පස්සෙං තව ගිරව් දෙන්නෙක් එනවා" කියලා. කොහොමද එහෙම උනේ?

2. 
මත්තල හිටපු කොකෙක් හිටියා. උගේ කෙකි කෑල්ල වැඩකළේ කොළඹ බෝඩ් වෙලා. ඉතිං හැම සෙනසුරාදම කොක‍ා උදේ හයට මත්තලිං පිටත් වෙලා පියාඹගෙන එනවා කොළඹට. ඌ කොළඹට එද්දි උදේ 8 යි. ඊට පස්සෙ කොක් ජෝඩුව වික්ටෝරියා පාක් ගිහිං, ගෝල් පේස් ගිහිං, තව තව තැං ඔල ගිහිං එහෙම, දෙන්නා සමුගන්නෙ දවල් දොළහට. දවල් දොළහට කොළඹින් පිටත් වෙන කොක‍ා, මත්තලට ළඟ වෙද්දි හවස හතරයි.
කෙටියෙං කිව්වොත්, උදේ කොක‍ාට කොළඹ එන්න පැය දෙකක් ගියාට, හවස යද්දි පැය හතරක් ගතවෙනවා. ඇයි ඒ?

3. මේ කොකාම වැහි දවසක පියාඹාගෙන යනවා. අකුණක් ගහනකොට ඌ එකපාරටම පහළට වැටෙනවා. ආපහු උඩට ඉගිළෙනවා. ආයෙ අකුණක් ගහනකොට ආයෙම පහළට වැටෙනවා. ඇයි ඒ?

4.
මෙන්ඩයි, සඳුවයි, පොඩි මෙන්ඩයි පනු තාත්තයි, පනු අම්මයි, පනු පුතයි පාරට බැස්සා. පනු පුතාව මොන්ටිසෝරියට බාර දෙන්න යන්න. පාරෙ අයිනෙන් එද්දි තඩි කන්ටේනරයක් වේගෙන් ඇවිත් ඒ අය පාස් කර‍ගනෙ ගියා. බයවෙච්ච පාර පනු පුතා කිව්වා, "තව ඩිංගෙං අපි හතර දෙනාම ඉවරයි" කියලා. කොහොමද හතර දෙනෙක් උනේ?

5.
පනු අම්මයි, පනු තාත්තයි, පනු පුතයි, පනු පුතා ශිෂ්‍යත්වෙන් පාස් වෙච්ච සතුටට ඩිනර් එකකට එළියට ගියා. හෝටලේට ඇතුල් වෙච්ච ගමං පනු පුතා කිව්වා, "අර ටේබල් එකේ නම් අපි හතර දෙනාටම ඉඩ තියෙනවා" කියලා. කොහොමද හතරක් උනේ? (උඩ ප්‍රශ්නෙට උත්තරේ මේ ප්‍රශ්නෙට භාරනොගන්නා බැවින් කරුණාවෙන් අලකන්න.)

6.
පොළොව මැද්දෙ ගල් කන පණුවෙක් ඉන්නවා. උගෙ නම මොකද්ද?

7.
මුහුද මැද්දෙ යකඩ බල්ලෙක් ඉන්නවා. ඌ කන්නෙ මොනවද?

8.
පොරක් විදේශ ගත වෙන්න හිතලා, හදිසියෙන් තමන්ගෙ දේපළ ඔක්කොම විකුණලා ගත්තා ප්‍රයිවට් ජෙට් එකක්. පොරට විකුණගන්න බැරි උනේ වොෂිං මැෂීන් එක විතරයි. ජෙට් එකට පටවන්න පුළුවන් කිලෝ සීයයි. පොර බරයි කිලෝ හැත්තෑවක්. වොෂිං මැෂින් එකත් කිලෝ හැත්තෑවක් බරයි. කොහොමද පොර වොෂිං මැෂින් එකත් අරගෙන පිටරට ගියේ?

9.
හරකෙක් තාප්පයක් අයිනෙ ගැටගහලා ඉන්නවා. ඌ විඩිං විඩේ තාප්පෙට උඩිං බලනවා. උෟ ඇයි තාප්පෙට උඩිං බලන්නෙ?

10.
ඇමරිකාවෙන් වළක් හාරගෙන හාරගෙන ගිහිං, පොළොවෙ අනිත් පැත්තෙං මතු උනා. ඒ වැඩේ හරියට වුනාද කියලා බලන්න, ඇමරිකාව පැත්තෙං ගල් කීපයක් දැම්මා වළට. ඒත් ඒවා අනිත් පැත්තෙං එළියට ආවෙ නෑ. ඇයි ඒ?

11.
කෙල්ලෙකුයි කොල්ලෙකුයි මුහුදු වෙරළට ගියා. කෙල්ල කිව්වා කොල්ලට "මට මුතු ගොඩක් ගෙනත් දෙන්න" කියලා. කොල්ලා ජබුක් ගාලා පැන්නා වතුරට. පැනල බැලින්නං පැනපු තැන මුතු බෙල්ලො විමානයයි. පොර ඔළුව වතුරෙ ඔබාගෙන බෙල්ලො අහුරු අහුරු අරං වෙරළට විසි කරන්න ගත්තා. මහ වෙලාවකට පස්සෙ කොල්ලා ආපහු ගොඩට ඇවිත් බලනකොට, කෙල්ල සුන්බුන් ගොඩක් මැද මැරිලා හිටියා. කොහොමද කෙල්ල මැරුණෙ?

12.
තාත්තල දෙන්නෙකුයි පුත්තු දෙන්නෙකුයි සිරීපාදෙ ගියා. ආපහු ආවෙ තුන් දෙනයි. ඒ ගැන ගෙදර කවුරුවත් කළබල උනෙත් නෑ. ඇයි ඒ?

මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් වුන කාට උනත්, තෑග්ග විදිහට මම කණට කරලා කර්ණ රසායන සිංදුවක් කියනවා...

ප/ලි
මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්න පුළුවන් උනොත් රවි ට හෝ ඩූඩ්ට, උන් දෙන්නාගේ ඉල්ලීම පරිදි මේ බ්ලොග් එක උන් දෙන්නාටම පවරා දෙන්නට අදහස් කරමි.

Tuesday, October 13, 2015

අලි කූඹි කතා - පිළීතුරු සහ ජයග්‍රාහකයෝ...

http://1.bp.blogspot.com/-MNZ57sVr-SM/U8-xw41y5ZI/
AAAAAAAABdQ/SBMtYXBynNg/s1600/
Marriage+Problems.jpeg

පසුගියදා මම ඉදිරිපත් කළ අලි කූඹි කතා නවයට පිළිතුරු සපයන්න සහ අදහස් දක්වන්න ඉදිරිපත් වුනු හැමෝටමත්, තවත් අලි කූඹි කතා දෙකක් එකතු කරපු මනෝ මන්දිර සහෝදරයටත් ගොඩක් ඉස්තූතියි.

මෙන්න එහ‍ෙනම් හරි පිළීතුරු සහ ජයග්‍රාහක බවතුන් ගේ ලේඛනය -

1. ප්‍රශ්නය.
අර අලියට හෙම්බිරිස්සාව නිසා කුරුම්බා බිව්වෙ නෑ.

අපේ දොස්තර මාම නං කියන්නෙ, ඒක හරි මැටි අදහසක් බවයි. කුරුම්බා තැඹිලි වගේ දේවල තියෙන්නෙ සේලයින් දියරයෙම සංයුතිය ඇති දියරයක්. එතකොට සෙම, උණ ආදී ලෙඩ හැදිලා අමාරු වෙලා ඉස්පිරිතාලෙ නෙියන ලෙඩ්ඩුන්ට සේලයින් දෙන්නත් එපා කියනවද කියලා උන්නැහැ අහනවා.

නිවැරදි පිළිතුරු දුන්න අය - 
බස්සි, මනෝ මන්දිර, යක්‍ෂ්‍යන්ත ශ්‍රීනාත් හෙවත් කැමා, ඉවෝන් ලව්පූසා, බණ්ඩා, ගබා, නිදහසේ නවාතැන

2. ප්‍රශ්නය.
අනික් අලියට සීසන් එකක් තිබුණා.

නිවැරදි පිළිතුරු දුන්න අය - 
බස්සි, මනෝ මන්දිර, කැමා, ලව්පූසා, බණ්ඩා, ගබා, කුරුට්ටා

3. ප්‍රශ්නය.
අනික් අලියා වෙන ආගමක (මුස්ලිම් හරි කතෝලික හරි නිඝණ්ඨ හරි ඔය මොකක් හරි...)

නිවැරදි පිළිතුරු දුන්න‍ෙ 
නිදහසේ නවාතැන විතරයි

4. ප්‍රශ්නය.
කූඹියා පිළීමගෙට ඇතුල් වෙද්දි ගළවලා ගියපු සෙරෙප්පු දෙක දොරටුවෙ තිබුණා. අලියා දැනගත්තෙ ඒකෙන්.

නිවැරදි පිළිතුරු දුන්න අය - 
බස්සි, මනෝ මන්දිර, කැමා, ලව්පූසා, බණ්ඩා, ගබා, නිදහසේ ගල්ආඳි

5. ප්‍රශ්නය.
කූඹියා ගොඩ හිටියෙ අලිය නෑවට පස්සෙ උගෙ ෂෝට ඉල්ලගන්න.

නිවැරදි පිළිතුරු දුන්න අය - 
බස්සි (දෙවන උත්සාහය), මනෝ මන්දිර, කැමා, ඉවෝන් ලව්පූසා, ඇංගුලිෆෝමසියා

6. ප්‍රශ්නය.
අලියට ලයිසන් තිබුණෙ නෑ. කූඹියට විතරයි තිබුණෙ.

නිවැරදි පිළිතුරු දුන්න අය - 
බස්සි (දෙවන උත්සාහය), මනෝ මන්දිර, කැමා, ඉවෝන් ලව්පූසා, බණ්ඩා, ගබා, නිදහසේ නවාතැන, මලියා

7. ප්‍රශ්නය.
කූඹියා හෙල්මට් එකක් දාගෙන හිටියා. අලියා හෙල්මට් එක අතේ දාගෙන හිටියෙ, පොලිසියෙං හිටියොත් ඔළුවෙ දාගන්න හිතාගෙන...

නිවැරදි පිළිතුරු දුන්න අය - 
බස්සි, මනෝ මන්දිර, කැමා, ඉවෝන් ලව්පූසා, බණ්ඩා, ගබා, නිදහසේ නවාතැන

8. ප්‍රශ්නය.
කූඹියා අලියට ලේ දීලා.

නිවැරදි පිළිතුරු දුන්න අය - 
බස්සි, මනෝ මන්දිර, කැමා, ඉවෝන් ලව්පූසා, බණ්ඩා, ගබා, නිදහසේ නවාතැන

9. ප්‍රශ්නය.
අලියගෙ කූඹි භාර්යාව අලිපැටියෙක් වඩාගෙන ඇවිත් හිටියා.

නිවැරදි පිළිතුරු දුන්න අය - 
මනෝ මන්දිර, කැමා, ඉවෝන් ලව්පූසා

අපේ ආදර බර තරඟකාරයන් ඒ අනුව ලකුණු ලබාගන්නේ මෙහෙමයි -

බස්සි - 07/09
මනෝ මන්දිර - 08/09
කැමා - 08/09
ඉවෝන් ලව්පූසා - 08/09
බණ්ඩා - 06/09
ගබා - 06/09
නිදහසේ නවාතැන - 07/09
කුරුට්ටා - 01/09
මලියා - 01/09
ප්‍රසන්න - 100/09

ඒ අනුව තරඟකාරයන් සියලු දෙනාට (මං කියල තිබ්බෙ නිවැරදි උත්තර දෙන දහදෙනාට කියල නේ...) කොටදෙණියාවේ පොලිසියේ නිරීක්ෂණ චාරිකාවක් සහ දින තුනක නිවාඩුවක් ද, කොටදෙණියාවේ ඕඅයිසී අනුග්‍රහයෙන් නිරෝගී දිවියකතට ආයුර්වේදීය සම්බාහනයක්ද හිමිවනවා ඇත. කරුණාකර වැල පිරවූ ලැප්ටොප් එකක් මේසය මත තබාගෙන සූදානමින් ඉන්න, ඔබට නිවසේසිටම ප්‍රවාහන පහසුකම් පොලිස් ප්‍රවාහන කොට්ඨාෂයෙන් ලැබෙනවා ඇති. අපෙන් සුභපැතුම්!!!

වැරදි උත්තර දුන්න සහ ලිස්සා ගිය උදවිය මේ අයයි -

කම්මල කම්මල,
මහේෂ් රත්නායක,
නලීන් දිල්රුක්ෂ,
අටං,
මෙන්ඩා,
අපනයනකරු,
හැලපේනියා ඔතේනියා, 
අහස් කූරා,
ලොකු පුතණ්ඩියා,
අවංක ආරියරත්න,
විචාරක හැළිවළංගොඩ,
ට්‍රාන්ස් සිල්වෙස්ටර්,
පොඩි (ඒ කාලෙ වෙන්නැති) කුමාරිහාමි,
රවිරාජ,
ඩූඩ් බෝට්ටු පුහුණුකරු,
මනෝජ් ප්‍රනාන්දු,
අඟහරුවාදා,
මළදානෙ මහතා, 
(හම්මේ... යකෝ මේ ලිස්ට් එකේ දිග...)

මේ දිග ලිස්ට් එකේ ඉන්න උදවිට සැනසිලි තෑගි ලෙසට, ගිය සිංහල අවුරුද්දට සුරංගගේ ආච්චම්මා විසින් සාදන ලද හැඳි කැවුම් එක බැගින් ඉදිරිකාලයේදී ලැබෙනු ඇත.

ප/ලි
ඩ්‍රැක්‍යුලාගේ කතාවේ අන්තිම කොටස මේ සතියෙවත් ලියාගන්න බැරි උනොත් හෙම, මේ ප්‍රෙහෙලිකාවේ තවත් කොටසක් ලෙස, ගිරා පනු සහ තවත් සත්තු කතා බලාපොරොත්තු වන්න...





Monday, October 5, 2015

අලි ප්‍රහේලිකා අංක 2 - අලි කූඹි කතා...


මෙන්න ඔබ පුල පුලා - තල තලා බලා සිටි, අලි ප්‍රහේලිකා අංක දෙක අරන් අදත් ඔබේ නිවහනට ගොඩවදින්නේ ඔබේ සුමිතුරු ඩ්‍රැකියා. සමහර උදවිය දැනටමත් හොඳින් දන්නා පෞරාණික කතන්දර කීපයක් අරගෙනයි මේ ආවේ. ඔන්න එහෙනං පුරස්න...

01.
අලි දෙන්නෙක් කැලයක් මැදින් ගමනක් ගියා. ඉන් එක අලියෙක් කුරුම්බ ගහකට නැගලා, කුරුම්බා ගෙඩි හතඅටක් කඩලා, කීපයක් බීලා, අනිකටත් බොන්න කිව්වා. ඒත් අනික් අලියා බිව්වෙ නෑ. ඇයි ඒ?

02.
අලි දෙන්නා කැළෙන් එළියට ඇවිත්, පාරටම ඇවිල්ලා බස් එකකට නැග්ගා. එක අලියෙක් ටිකට් එකක් ගත්තා. අනිකා ටිකට් එකක් ගත්තෙ නෑ. ඇයි ඒ?

03.
අලි දෙන්නා බස් එකෙන් බැහැලා පන්සලකට ගියා. එක අලියෙක්ගෙ ගජ මිතුරා වුන, කූඹියා හිටියෙ ඒ පන්ස‍ලේ. පන්සලේ හාමුදුරුවො දැකපු එක අලියෙක් ඒ හාමුදුරුවන්ට දණ ගහලා වැන්දා. අනික් අලියා වැන්දෙ නෑ. ඇයි ඒ?

04.
අලි දෙන්නා කූඹියත් එක්ක හැංගිමුත්තං සෙල්ලං කරන්න පටන් ගත්තා. අලි දෙන්නා මුලිම්ම හැංගුනා. කූඹියා ලේසියෙන්ම උන් දෙන්නව හොයාගත්තා. හැබැයි කූඹියා හැංගුනහම අලින්ට ඌව හොයාගන්න ගොඩක් අමාරු උනා. අන්තිමේ එක අලියෙක් පිළීම ගේ ළඟට ඇවිත් දැනගත්තා කූඹියා ඒක ඇතුලෙ ඉන්නෙ කියලා. අලියා කොහොමද ඒක දැනගත්තෙ?

05.
දවසක් කූඹියයි අලියයි නාන්න වැවට ගියා. දෙන්නම නාන්නයි ගියේ. ඒත් අලියා වැවට බැහැලා නාද්දි කූඹියා ගහකට හේත්තු වෙලා ඉන්නවා. ඇයි ඒ?

06.
කූඹියා අලියත් එක්ක මෝට බයික් එකකිං ගමනක් ගියා. කූඹියා තමයි බයික් එක පදින්නෙ, අලිය පිටිපස්සෙ සීට් එකේ. ඇයි කූඹියා අලියට පදින්න දුන් නැත්තෙ?

07.
ඔහෙම බයික් එකේ පල්ලමක් එක්ක වංගුවක් ගන්න ගිහිං බයික් එක පෙරළුනා. සෑහෙන්න ඩැමේජ්. අලියට හොඳටම තුවාලයි. කූඹියා හීරිලාවත් නෑ. ඇයි ඒ?

08.
අර ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ අලියට සිහිය ආවෙ ඉස්පිරිතාලෙ ඇඳක් උඩ. ඌ බලනකොට කූඹියත් අනික් ඇ‍‍ඳේ ඉන්නවා වැතිරිලා. ඇයි ඒ?

09. අලියා බැන්දා කූඹියගෙ නංගිව. බැඳලා මාස තුනයි, සංගීතයක් බලන්න ගිහිං වලියක් දාගෙන අලියා දහඅටමාසෙකට හිරේ ගියා. ඌ හිරෙන් නිදහස් වෙලා එද්දි, හිරගෙදර ඉස්සරහට කූඹි ගුලේ හැම කූඹියෙක්ම ඇවිත් තිබුණා ඌව පිළිගන්න. ඒ කූඹි රෑන අතරින්, අලියා ඈත තියාම තමන් බැඳපු කූඹිච්චිව අඳුනගත්තා. කොහොමද ඒ?
http://www.teluguone.com/tonecmsuserfiles
/Elephant%20Ant%20Joke(1).jpg

වඩැත්ම නිවැරදි උත්තර දෙන දහදෙනාට කොටදෙණියාව පොලිසියට නිරීක්ෂණ චාරිකාවක් සහ කොටදෙනියාව පොලිස් ක්වාටස් වල ඇති සම්බාහන ආයතනයේ දින තුනක පොලිස් සත්කාර සහිත නිවාඩුවක් ලබා දෙනු ලැබේ.


වැඩිපුර බලපු ලිපි