මෙතෙක් කතාව
9 කොටස
තද නින්දෙන් අවදි වෙමින් පැවති නගරය..... හාත්පස සියල්ල නිසලව තිබිණ. එහෙත් එය සාමකාමී නිසලත්වයක් නොවූ බවක් කෙනෙකුට දැකිය හැකි විය. නිහඬ සැරිසරින් පිරි එය භයංකර නිසලතාවයක් විය. ජීඑස් 250 පොලිස් බයික් එකක් පාර දිගේ ඉතා වේගයෙන් ඇදී විත් නැවතිණ. එහි ඉදිරිපස අසුනේ වූයේ කාකි කළිසමකින්, හම් ජැකට්ටුවකින් හා සුදු හෙල්මටයකින් සැරසීගත් තරුණයෙකි. පසුපස අසුනින් විකුම් බිමට බැස්සේය.
‘‘ලොකු උදව්වක් මචං.....’’ විකුම්ට කීමට ඉඩ ලැබුණේ එපමණකි. දකුණතින් ඔහුගේ උරහිසට තට්ටුවක් දැමූ අනෙකා, වමතින් ක්ලච් එක මුදා හරිත්ම, මෝටර් සයිකලය සුපුරුදු වේගවත් බව ලබාගනිමින් ඉගිළිණ.
විකුම් කඩිමුඩියේ ගේට්ටුවෙන් ඇතුල් වී ගෙමිදුලට පිවිසිණ. දොරට තට්ටු කිරීමක් අවැසි වූයේ නැත. දොර ඇරගෙන අකිල එළියට ආයේ ය. ඔහුගේ මුහුණින් නිඳිබර බව බේරෙමින් තිබිණ.
දෙදෙනාම ගෙතුළට වන්හ. සාලයේ පුටුවකට බර වූ විකුම් වෙත, අකිල උණුසුම් ෆ්ලාස්කුවක් හා වීදුරු දෙකක් ගෙන ආයේය. එවිටම දොරට තට්ටු කරන හඬක් ඇසිණ. අකිල ගොස් දොර හැරියේය.
‘‘ඇඩම්.....’’ අකිල ඔහුට ඇතුල් වීමට ඉඩ දීම සඳහා පසුපසට විය.
‘‘විකුම් ආවද, අකිල?’’
‘‘මේ දැන් ආවෙ.’’
‘‘මම අර ටැක්සි ඩ‍්‍රයිවර්ගෙ කට උත්තරේ කොපියක් අරන් ආවා.’’ ඔහු දිගු කළ කඩදාසි කිහිපය අකිල අතට ගත්තේය.
‘‘එළියට වෙලා ඉන්නෙ? එන්න ඇතුළට’’
අඳුරු වස්ත‍්‍රධාරියා දොරින් ඇතුල් වී, විකුම් අසළින්ම පුටුවක වාඩි විය. අකිල සිය වීදුරුව ඔහු වෙත දිගු කළත්, ඔහු එය ප‍්‍රතික්ෂේප කළේය.
‘‘මොකද වුනේ විකුම්?’’ ඇඩම් ඇසීය.
‘‘අර කෙල්ල ගාව ඉඳං තණකොල බිස්ස දිගේ ඈතට දුවපු අඩි සළකුණු වගයක් මං දැක්කා. තැන් තැන් වල පොඩි වෙච්ච තණකොළ වලින් තමා ඒ අඩි පාර හැදිලා තිබුණෙ. ඒ දිගේ ඉස්සරහට යද්දි.....’’ විකුම් උඩ සාක්කුවට අත රුවා යමක් එළියට ගති. ‘‘.....මට මෙන්න මේක හම්බ වුණා.’’
අකිල එය අතට ගත්තේ ය. එය පැරණි මෝස්තරයකට අනුව සාදන ලද වටිනා ලෝහමය ලයිටරයක් විය.
‘‘ ඕක ගැන අපි පස්සෙ කතා කරමු. ඉතින්..... මම ඒ අඩිපාර දිගේම ගියා. ටික දුරක් ගිහින් ඒක ස්ටේෂන් රෝඩ් එකට වැටුණා. ඉතින් මම කෙළින්ම ස්ටේෂමට ගියා. උඹ දන්නවනෙ, ඒ පාර යන්නෙ ස්ටේෂමට විතරයි..... ස්ටේෂමේ හිටියෙ හිඟන්නො දෙතුන් දෙනෙකුයි, සිස්ටර් කෙනෙකුයි, කෙට්ටු කොල්ලෙකුයි විතරයි. ඉතින්..... මම ෆලෝ කරපු එකා ඒ කොල්ලම වෙන්න ඕනෙ.....’’ ඔහු අකිල දෙස බැලීය.
‘‘ඉතින් මම ඒ කොල්ලට පුළුවන් තරම් කිට්ටු වුණා. ඌ හිටියෙ අර සිස්ටර් එක්ක කතා කර කර. මට ඒ කතාව හරියට ඇහුණෙ නෑ. අන්තිමේ සිස්ටර් උගෙ ඔළුව අත් දෙකෙන් අරන්, එයාගෙ පපුවට තද කර ගත්තා.....’’
‘‘මොකක්.....!’’
‘‘ඒක මටත් තේරුම් ගන්න අමාරුයි අකිල. ඒත් පස්සෙ වෙච්ච දේවල් වල හැටියට ඒ දෙන්නගෙ තියෙන්නෙ සාමාන්‍ය යාළු කමක් නෙවෙයි කියල මට තේරුණා.
‘‘..... ටික වෙලාවකින් කොල්ලා බංකුවෙන් නැගිට්ටා. ඊට පස්සෙ දෙන්නම මං හිටපු පැත්තට, ඒ කියන්නෙ පාර පැත්තට එන්න ගත්තා. මම කෝච්චියක් එනවද කියලා බලනවා වගේ ඈත බලාගෙන හිටියා. ඒ දෙන්නා මාවත් පහුකරගෙන ඉස්සරහටම ගියා. ස්ටේෂමෙන් එළියට ඇවිත් හන්දිය ගාව තිබ්බ ලෑලි කඩේ ඇතුළට ගියා.
‘‘මම ඇතුළට ගියෙ නෑ. ඒ කඩෙන් පිටවෙන්න තියෙන්නෙ එක දොරයි. මමත් ඇතුළට ගිහින් නිකම් අපරාදෙ උන්ගෙ සැකයට ලක් වෙන්න ඕනෙ නෑනේ. මම කඩේ ඉස්සරහ පිලට වෙලා සිගරැට් එකකුත් පත්තු කරගෙන හොඳ සෝදිසියෙන් හිටියා.
‘‘සෑහෙන වෙලාවකට පස්සෙ දෙන්නා හදිස්සියෙන් වගේ එළියට ආවා. එතකොටම වගේ කෝච්චියක් එන සද්දෙත් ඇහෙන්න ගත්තා. මට තේරුණා උන් ඒ කෝච්චියෙන් යන්න ඉන්නෙ කියන එක. මට ස්ටේෂම දිහාට දුවන්නත් හිතුණා. ඒත් උන් කොහාටද යන්නෙ කියන එක හරියටම දැනගන්න එක ඊට වඩා හොඳයි කියලා මට හිතුණා. ඉතින් මම උන් එක්කම වගේ ඉස්සරහට ආවා.
‘‘ඒත්, උන්ට කිසිම හදිස්සියක් තිබුණෙත් නෑ. කෝච්චිය ස්ටේෂමෙන් පිටත් වෙද්දි, උන්ට දුවලා ගිහින් නගින්න පුළුවන් කම තියෙද්දිත් ඒ දෙන්න කළේ, නැවතිලා ඒ දිහාව බලන් ඉන්න එකයි.
‘‘කෝච්චිය ගියාට පස්සෙ කොල්ලා සිස්ටර්ගෙ බෑග් එක අතට ගත්තා. ඊට පස්සෙ දෙන්නා ආපහු ටවුම පැත්තට එන්න ගත්තා. දන්නවද දන්නෑ එතන හන්දියෙ ඉඳන් ටවුම පැත්තට නෙවෙයි, අනිත් පැත්තට මීටර් දෙසීයක් විතර යනකොට තියෙනවා පාලුවට ගිය තට්ටු දෙකේ ගොඩනැගිල්ලක්.....? පහළ තට්ටුවෙ කඩ දොරක් තියෙනවා, හැමදාටම වහපු. ඒ දොර පියන් වල අවුරුදු ගාණක් තිස්සෙ එක පිට එක පෝස්ටර් අළවලා. උඩ තට්ටුවට යන්න පිටතින් ලී පඩිපෙළක් තියෙනවා. උඩ තට්ටුවෙ ජනෙල් වල ඇතුළෙන් පත්තර කඩදාසි අළවලා තියෙනවා.’’
‘‘මට ඒතරම් මතක නෑ.....’’ අකිල කීය.
‘‘ඔය කියන්නෙ අර ජෝන් ද බැප්ටිස්ට් පල්ලිය ගාව නෙ.’’ ඇඩම් පැවසීය. ‘‘මම දන්නවා. ඉතින් කියන්න..... මට ටිකක් හදිසි අපොයින්ට්මන්ට් එකක් තියෙනවා, හදිසි කරනවට සමාවෙන්න.’’
ඔවුන් අසළින්ම වාගේ ‘බ්ර්ර්ර්ර්...........’ හඬක් නැඟෙන්නට විය. විකුම් කළිසමේ සාක්කුවට අත රුවා ජංගම දුරකථනය ඉවතට ගති.
‘‘හෙලෝ.....’’ විකුම් කිවේ එපමණකි. ඉන්පසු ඔහු තත්ත්පර කීපයක් පුරා සිදුකළේ, අනිත් පාර්ශ්වයෙන් කියන දේ අසා සිටීම පමණි.
‘‘ප‍්‍රශ්නයක් නෑ.....’’ දුරකථනය නැවත සාක්කුවේ ලාගනිමින් විකුම් ඇඩම් දෙසට හැරුණි. ‘‘එතන තමයි තැන. හැබැයි දැන් නම් එහෙ ගිහින් වැඩක් නෑ.....’’
‘‘හරි..... ඔයාගෙ කතාව කියන්නකො’’
‘‘.....මට පුදුම හිතුණෙ දෙන්නම එතන නතර වුනහම. කොල්ලා ඉස්සර වුණා, සිස්ටර් පස්සෙන්..... දෙන්නම පඩිපෙළ දිගේ උඩ තට්ටුවට නැග්ගා. මම උන් පිටිපස්සෙන් ආව විදිහටම, එතැන පහු කරගෙන ඉස්සරහට ගියා, උන්ගෙ හිතේ සැකයක් ඇති නොවෙන්න.
‘‘ටික දුරක් ගිහින් මම සිගරැට් එකක් පත්තු කරගන්න වගේ නැවතුණා. නැවතිලා බලද්දි දෙන්නම උඩ තට්ටුවට ඇතුල් වෙලා දොර වහගත්තා. මම ටිකක් වටපිට බැලුවා. මෙතන මුර කරගෙන ඉන්නත් ඕනෙ, මුන් කොහෙ හරි යන්න කලින්.....’’
‘‘මට පේන හැටියට මේ හරියෙ සිද්ධි තුනක් වුණ නිසාත්, අන්තිම සිද්ධිය ටිකක් අවුල් වුණ නිසාත්, මේ කොල්ලා පැනලා යන්න නොඉවසිල්ලෙන් ඉන්න බව පැහැදිළියි.’’ ඇඩම් කීය.
‘‘ඔව් ඇඩම්, තත්පරයක්වත් අපතෙ නොයවා පැනල යන්න සිද්ධ වෙනවා..... ඉතින් ඒ වෙලාවෙ මට හරි මහන්සියි. ඇරත් ඔයාලට මේක කියලා, ඉක්මණට මූව ෆලෝ කරන්නත් ඕනෙ.
‘‘මම වටපිට බලද්දි දැක්කා හිඟන්නෙක්ව. මගෙ තියෙනවා හිඟන්නො කීපදෙනෙක් එක්ක එක්තරා විදිහක හිතවත්කමක්. ඉන්ටඩික් වෙන්න කළින් මම හැන්ඩ්ල් කරපු කේස් කීපයකදිම මම උන්ගෙ සපෝට් එක ගත්තා ඔත්තු බලන්න වගේ වැඩ වලට. හිඟන්නන්ට පුළුවන් කාගෙවත් සැකේට අහු නොවී ඕනෙම දෙයක් හාරාවුස්සන්න.
‘‘ඉතින් මේ හිටියෙත් එහෙම එකෙක්. මම ඌ ළඟට ගිහින් කිව්වා, ඒ ගෙදර උන් දිහා ඇහැගහගෙන ඉඳලා, උන් කරන දේවල් ගැන මට කෝල් කරන්න කියලා. අතේ තිබ්බ රුපියල් පන්සීයකුත් දුන්නා. දැන් කෝල් කළේ ඌ. කිව්වා අර ජොඩුව දැන් බදුල්ලට ටිකට් අරන් කෝච්චියට නැග්ගා කියලා. සිස්ටර් ලෝගුව අතඇරලා වගේ. මොකද, අරූ කිව්වා කෙල්ල හිටියෙ නෝමල් ගවුමකුයි, ලොකු ජර්සියකුයි ඇඳගෙන කියලා.
‘‘.....ආපහු එද්දි මට හම්බවුණා පොලිසියෙ ඉන්න මගෙ යාළුවෙක්ව. ඌ බයික් එකෙන් මාව ගෙනත් දැම්මා.’’
‘‘හරි.....’’ ඇඩම් නැඟිට්ටේය. ‘‘එහෙනම් එයා ආපහු ෆයර්මවුන්ට් යයි. අපිත් අද හවස කෝච්චියෙ යං. පරක්කු කරන්න හොඳ නෑ. මේ කියන සිස්ටර් තව ගොදුරක් බවට පත් වෙන්න කලින් මේක ඉවර කරන්න පුළුවන් වෙයි අපිට.
‘‘මම දැන් යන්නම්. මං අර කියපු අපොයින්ට්මන්ට් එකට දැනටත් ටිකක් පරක්කුයි. පොඩි කරුණු ටිකකුත් හොයාගන්න තියෙනවා අපේ ගමනට කලින්.’’
කළු වස්ත‍්‍රධාරියා දොරෙන් පිටත් වූ පසු අකිල දොර වසා, ආපසු විකුම් වෙත ආයේය. කුකුළන් ගේ උදාන රාවය යාන්තමින් ඈතින් නැඟෙන්නට විය.
‘‘ඉතින්..... අර කෙල්ලට මොකද වුනේ?’’ විකුම් ඇසීය.
‘‘ඒකිව පොලිසියෙන් ගෙනිහින් හොස්පිට්ල් දැම්මා. මායි ඇඩමුයි ගියා ඒ එක්ක. ලේ හිඟකමෙන් දුර්වල වෙලා කිව්වා. ටික දවසක් යද්දි හරියයිලු. හෙට උදේ බලන්න යන්න පුළුවන්, ඇඩම් කිව්වා උඹටත් එන්න කියලා.
‘‘ඉතින්.....’’ අකිල ලයිටරය අතට ගති. ‘‘මේක අනිවාර්යෙන්ම අර වැම්පයර් එකාට අයිති එකක් වෙන්න ඇති.....’’
‘‘කොහොම වුනත්, අපිට ඕකෙන් ඕකෙ අයිතිකාරයා ගැන යමක් දැනගන්න පුළුවන්.’’
‘‘මේකෙන්.....?’’ අකිලගේ සැකමුසු ස්වරය..... ‘‘මේකෙන් මොනව දැනගන්නද?’’
‘‘ටිකක් බලපං.....’’ විකුම් කීය. කමිස සාක්කුවෙන් සිගරැට්ටුවක් එලියට ගත් හෙතෙම එය දෙතොළග රඳවා ගත්තේය. අකිල සියතෙහි වූ ලයිටරයේ ගිණිගල ගැස්සීය. සැණින් දැල්වුණු එහි ගිණි දළුව අඟල් දෙකක් පමණ උසට නැඟිණ. විකුම් එයට අල්ලා තම සිගරැට්ටුව දල්වා ගති.
අකිල සිනාසිණ. ඔහු ලයිටරය සෑම අතටම
හරවමින් පරීක්ෂා කළේය. එය සාමාන්‍ය ඉතා පැරණි ලයිටරයක් විය. ලෝහමය මතුපිටක් මත
නිතර දක්නට ලැබෙන පැරණි බවේ සීරුම් ලකුණු එහි සෑම තැනම දක්නට ලැබිණ. සෑහෙන්නට ගෙවී
ගිය ගිණි ගළ හා තදින් කළු පැහැ ගැන්වුණු ගිණි දළු විවරය ද, අකිල ඉතා සැළකිල්ලෙන් පරීක්ෂා කළේය. එහි යට
අඩියේ කුඩාවට සටහන් කළ ඉංග‍්‍රීසි අකුරු දෙකක් ද, අවුරුදු කිහිපයක් පැරණි කුඩා ලේබලයක් ද විය. ‘P 1028’ යන්න එහි ලොකු අකුරින් ලියා තිබූ අතර,
ඊට යටින් ‘MH Firemount’ යන්න මුද්‍රණය කර තිබිණ.
අකිල හිස ඔසවා මිතුරා දෙස බැලීය.
‘‘ඉතින්.....?’’ විකුම් ඇසීය. ‘‘.....මොනවද හොයාගත්තෙ?’’
අකිල දුර්මුඛ මුහුණින් ලයිටරය සිය මිතුරාගේ අත්ල මතට අත හළේය. ‘‘පරණ ලයිටරයක්..... එච්චරයි.’’
විකුම් සිනාසිණ. ‘‘එහෙනම් අහගනිං.....’’ ඔහු ලයිටරය සෑම අතකටම හරවමින් පරීක්ෂා කරන්නට විය. ඒ අතරම ඔහු පහත්
හඬින් සිය නිගමනයන් කියන්නට ගති.
‘‘කලින් පොහොසත් වෙලා තිබුණු පරණ පරම්පරාවක දැනට ඉතුරු වෙලා ඉන්න කෙනෙක් තමයි මේකෙ අයිතිකාරයා. ම්..... එතකොට මේ තැනැත්තා තදින් දුම්බොන්න ඇබ්බැහි වෙච්ච කෙනෙක්. ඒ වගේම, බොහොම නොසැළකිලිමත්..... බොහොම..... ම්..... මේ මොනවද.....? හ්ම්..... මෙයා නිතරම ඉටිපන්දම් පත්තුකරනවා..... ඒ කියන්නෙ ගෙදර කරන්ට් නෑ.
‘‘එතකොට මේ තැනැත්තා දැනට අවුරුදු කීපයකට කලින්, හරියටම කියනවනම් අවුරුදු දහයත් පහත් අතර කාලයකදී මානසික රෝහලක ඉඳලා තියෙනවා. ඒ කාලෙදි එයාට කිසිම නෑදෑයෙක්වත්, බාරකාරයෙක්වත් ඉඳලා නෑ. දැන් වුනත් මෙයා කිසිම සමාජ ආශ‍්‍රයක් නැතුව, කිසිම කිට්ටුවරයෙක් නැතුව තනියම තමයි ජීවත් වෙන්නෙ. ඒ වගේම මෙයාට තමන් ගැන කිසිම තැකීමක්, ඒ කියන්නෙ ආත්ම ගෞරවයක් නෑ.
‘‘ඒ වගේම..... තව කියන්න පුළුවන් මෙයා මානසික රෝහලෙන් එළියට ඇවිත් තියෙන්නෙ නියම ක‍්‍රියාමාර්ග අනුව, ඒ කියන්නෙ පැනලා ගිහින් නෙවෙයි. පූර්ණ සුවය ලබලා.....’’
විකුම් කියාගෙන යත්ම, අකිලගේ දෑස් පුළුල්ව විදැහී යන්නට විය. අවසන ඔහු සිනාසිණ.
‘‘උඹ විහිළු කරනවද?’’ ඔහු ඇසීය. ‘‘ඔය ඔක්කොම දේවල්.....’’
‘‘මේ ඔක්කොම දේවල් හොයාගන්න පුළුවන් සාධක මේ ලයිටරේම තියෙනව මචං.....’’ විකුම් ඔහුට බාධා කරමින් කීය. ‘‘..... ඒවා උඹත් දකින්න ඇති. ඒත් ඒවා ගැන නිගමනයකට එන්න උඹ එක්කො එඩිතර නෑ, එහෙම නැත්නම් ප‍්‍රායෝගික දැනුම අඩුයි.’’
විකුම් සිගරැට්ටුවේ ඉතිරිය සිය මිතුරාට දිගු කළේය. අකිල එය පිළිගති.
‘‘මම උඹට ඒවා පෙන්නන්නම්.....’’ විකුම් ලයිටරය සිය අත්ල මත තබා ගති. ‘‘මේක බොහොම පරණ..... බොහොම වටිනා ලයිටර් එකක්. ඒ කියන්නෙ මේක අයිති අපේ සීයලගෙ පරම්පරාවටත් කලින් පරම්පරාවට. ඉතින් මේකෙ අයිතිකාරයා පරණ පරම්පරාවකින් පැවත එන කෙනෙක් බව කියන්න අමාරු නෑ.....’’
‘‘ඒත් කෙනෙකුට ඕක සල්ලිවලට ගන්න පුළුවන්නෙ.....?’’
‘‘ඒක වෙන්න බෑ. මොකද, මේ වගේ දෙයක් ගන්න වෙන්නෙ ඇන්ටික් කඬඩේකින් ලොකු ගාණක් ගෙවලයි. එහෙම ගත්තනම් මේ හාදයා මේක පරිස්සමින් පාවිච්චි කරන්න එපැයි..... ඒත් මේ බලපං.....’’ විකුම් ලයිටරය සිය මිතුරා වෙත පෑවේය. ‘‘මේක පුරාම සීරීම් පාරවල්..... ගොඩක් ඒවා අලුත්. ඒ කියන්නෙ මෙයා මේ ලයිටරේ සාක්කුවෙ තියෙන කාසි, යතුරු වගේ දේවල් එක්ක එක්ක සාක්කුවෙ දාලා තියාගෙන ඉඳීමෙන් ඇතිවෙච්ච සීරීම්. ඉතින් වටිනා ඇන්ටික් ලයිටර් එකකට මේ විදිහට සළකන එකෙන්, මිනිහා මේක සල්ලිවලට ගත්ත එකක් නෙවෙයි වගේම, මිනිහා හරිම නොසැළකිලිමත් කෙනෙක් කියලත් කියන්න පුළුවන්.....’’
‘‘හරි..... ඒත් මෙයා මේක හොරකම් කරලා නම්.....?’’
‘‘එහෙනම් මේ මොකද්ද.....?’’ විකුම් ලයිටරයේ යටිපැත්ත උඩු අතට හැරවීය. ‘‘මේ තියෙන අකුරු බොහොම පරණයි. මේ පරණ අයිතිකාරය සටහන් කරපු ලකුණු. මේවා හූරලා දාන්න කිසිම උත්සාහයක් අරන් නෑ.....’’
‘‘උඹට හැම දේටම උත්තරයක් තියෙනවා’’ අකිල සිනාසෙමින් කීය.
‘‘එතකොට..... මේ ලයිටර් එක හොඳට වැඩ කරනවා. ඒ වගේම ටිකක් බලපං, මේකෙ ගිණිගල හොඳටම ගෙවිලා. ඒ කියන්නෙ මේක ගොඩක්, නිතර නිතර පාවිච්චි කරලා තියෙනවා. ලයිටර් එකක් නිතර නිතර පාවිච්චි කරන්නෙ දුම් බෙන්න නිසා, කියන්න පුළුවන් මේ තැනැත්තා දුම් බොන්න ඇබ්බැහි වුණ කෙනෙක් කියලා.
‘‘එතකොට මේ පේනවද.....?’’ විකුම් සිය මිතුරා වෙත ලයිටරයේ උඩු පැත්ත පැවේය. ‘‘මෙතන ගිණි දැල්ල එන තැන ඇතුළේ තුනී, ඒත් තරමක ඉටි තට්ටුවක් තියෙනවා. සාමාන්‍යයෙන් ඉටිපන්දමක් ලයිටර් එකකින් පත්තු කරද්දි, ඒකට ඉටි බින්දුවක් දෙකක් වැටුණත්, ඒක ඒ තරම් කල් රැඳෙන්නෙ නෑ, ආපහු ලයිටර් එක පත්තු කරද්දි වාෂ්ප වෙලා යනවා. මෙතන තියෙන්නෙ නිතර නිතර ඉටිපන්දම් පත්තු කරන නිසා ඇති වෙච්ච ඉටි තට්ටුවක්.....’’
‘‘හරි.....’’ අකිල කීය. ‘‘..... ඒත් උඹ කොහොමද කියන්නෙ මේ යකා පිස්සන් කොටුවක හිටපු බව? ඒක ටිකක් ඕනෙවට වැඩියි.....’’
‘‘කොහෙත්ම නෑ.....’’ විකුම් ලයිටරයේ යටි පැත්ත උඩට හැරවීය. ‘‘..... මේ ලේබලේ දැක්කද? මේ තියෙන ‘P 1028’ කියන එක?’’
‘‘ඔව්.....’’ අකිල ඒ දෙස හොඳින් බැලීය. ‘‘ඒත්.....’’
‘‘මේ MH Firemount කියන්නෙ මොකද්ද? ෆයර්මවුන්ට් වල මානසික රෝහල, ඒ ගොල්ලො කෙටියෙන් හඳුන්වන්නෙ ඒ විදිහටයි. එතකොට P කියන්නෙ පේෂන්ට් කියන එකයි. ඒ කියන්නෙ 1028 වැනි රෝගියා තමයි මේ.
‘‘..... එතකොට උඹ දන්නවද, ලෙඩෙක් ඉස්පිරිතාලෙකට ඇඞ්මිට් කරද්දි, එයා ගාව තියෙන මේ වගේ චංචල දේපළ අයින් කරලා, ඒවා දෙනවා ලෙඩාගෙ බාරකාරයන්ට. බාරකාරයෙක් නැත්නම්, ඉස්පිරිතාලෙ බාරෙට ගන්නවා. අයිතිකාරයා මාරු වෙනවට තමයි මේ වගේ ලේබල් එකක් ගහන්නෙ. ඉතින් ඒකෙන් තේරෙන තව දෙයක් තමයි, මේ හාදයා ඉස්පිරිතාලෙට ඇතුල් වෙද්දි කිසිම බාරකාරයෙක් - නෑදෑයෙක් තියා යාළුවෙක් වත් ඉඳලා නෑ.’’
‘‘ඒකද උඹ අර කිව්වෙ මෙයා කිසිම සමාජ ආශ‍්‍රයක් නැති කෙනෙක් කියලා?’’
‘‘ඒකමත් නෙවෙයි.....’’ විකුම් පිළිතුරු දින. ‘‘තමන් ගැන ආත්ම ගරුත්වයක් තියෙන ඕනෙම කෙනෙක්, තමන් පිස්සන් කොටුවක හිටිය බව එළිවෙන කිසිම සාධකයක් තමන් ගාව තියාගන්නෙ නෑ. මේ ලේබල් එක හූරලා දාන්න එයාට මඟඇරුනා වුනත්, එයාගෙ ළඟම කෙනෙක් මේක දැක්ක ගමන් ඒක හූරලා දානවා. මේ මිනිහට ඒ හේතු දෙකම නැති නිසා තමයි, පේන හැටියට අවුරුදු පහක්වත් පරණ මේ ලේබලේ තවම ඉතුරු වෙලා තියෙන්නෙ.
‘‘අන්තිම කාරණේ, මේ ලයිටර් එක මිනිහා මානසික රෝහලෙන් එළියට එද්දි ආපහු හම්බවෙලා තියෙනවනෙ. ඒ, එයා එළියට ඇවිත් තියෙන්නෙ නීත්‍යානුකූලව, පූර්ණ සුවය ලබලා නිසයි.’’
‘‘හරි හරි..... උඹ මාර දක්ෂයෙක්.’’ අකිල පිළිගත්තේය. ‘‘..... ඒක නිසා තමයි මං මේ සිද්ධියෙදි උඹ ගාවට ආවෙ.
‘‘ඒක නෙමෙයි, හොස්පිට්ල් එකේ ඉඳං අපි ආපහු එද්දි ඇඩම් මට මාර විස්තර ගොඩක් කිව්වනෙ.’’
‘‘විස්තර.....?’’
‘‘ඔව්. වැම්පයර් එකෙක් ගෙ දුර්වල කම්..... උන්ව මරන්නෙ කොහොමද..... වගේ දේවල්. එයා කියනවා, ඔය කුරුසෙට, ශුද්ධවූ ජලයට වගේ දේවල් වලට උන් බයයි කියන එක ක‍්‍රිස්තියානි කාරයො හදාගත්ත දෙයක් ලු. හිරු එළිය, සුදු ළූණු, බලු රෝස මල්, විතරයිලු උන්ට බලපාන්නෙ. ගොඩක් වැම්පයර් උන් මිනිස්සු වගේ ජීවත් වෙනවලු. වෙනස අඳුනන්න අමාරුයිලු. රත් කරලා උල් කරපු ලී උලකින් හදවත පසා වෙන්න ඇනලා හරි, හිරු එළියට නිරාවරණය කරලා හරි විතරයිලු මරන්න පුළුවන්. ඒකත් පිරිසිදු හදවතක් තියෙන කෙනෙක් හරි, ඌත් එක්ක මාරාන්තික වෛරයක් තියෙන කෙනෙක් හරිලු කරන්න ඕනෙ.....’’
‘‘ඒ කියන්නෙ, ඇඩම් කියන විදිහට මේ වැඬේ කරන්න වෙන්නෙ උඹටමයි නේ.....?’’ විකුම් සියුම් සිනහවක් නැඟුණු මුහුණකින් යුතුව ඇසීය.
‘‘ඇඩම් එහෙම දෙයක් කෙලින්ම කිව්වෙ නෑ මචං. ඒ වුණත් කිව්ව ගමන් මට හිතුණා ඒක මං ම කරන්න ඕනෙ කියලා.’’ අවසන් වචන කිහිපය කියමින් අකිල පුටුවෙන් නැඟිට්ටේය.
‘‘අකිල, අපිට ඇඩම් හම්බ වෙලා වැඩි දවසක් නෑ. එයා කියන දේවල් පොඩ්ඩක් පරිස්සමින් බාර ගනිං.’’
‘‘කොහොම වුණත් විකුමා, උඹට ඔය තරම් හැකියාව තිබිලත්, මෙච්චර දවසක් හොයාගන්න බැරිවුන දේවල්, ඇඩම් අපිට හම්බවෙලා ගත වුණ මේ දවස් දෙක තුනට
අපි හොයාගත්තනෙ.’’
මීළඟ කොටස...
මීළඟ කොටස...

