Saturday, September 7, 2013

රුහිරෙන් පුදමි - 8 වන කොටස

මෙතෙක් කතාව


තෙත් බර සුළඟ කුළී රියේ කවුළු හරහා ගළා ගියේය. හෙම්බත් ව සුක්කානම මත හිස තබාගෙන නින්ද ගොස් සිටි වික‍්‍රම, ඇට මිදුළු දක්වා කාවදින සීත සුළඟින් නොකැමැත්තෙන් මෙන් හිස එසවීය. නිඳිමත බේරෙන දෑස ආයාසයෙන් විවර කරගත් හෙතෙම, දෑත් පොරවාගෙන ගැහෙන්නට ගති. මඳ අඳුරින් වැසී ගත් පාර අයිනේ නොඉවසිලිමත්ව උනුන් වෙත තුරුළු වූ යුවළකගේ අඳුරු ඡායාවක්, වාෂ්පයෙන් බොඳ වී ගිය වින්ඞ්ස්ක‍්‍රීනය හරහා ඔහුගේ ඇසට ලක් විය.

වික‍්‍රම දිගු හුස්මක් හෙළීය. ‘‘වාසනාවන්ත බැල්ලිගෙ පුතෙක්.....’’ ඔහු තමන්ටම කොඳුරාගති. සිය දෑස් ඔවුන්ගෙන් මුදවා ගත නොහැකි බව කුළී රියදුරාට දැණින. ඔහු ඒ සඳහා තැත් කළේ ද නැත.

පාර අයිනේ දැවැන්ත ගසක සෙවණ යට අඳුරින් වැසීගෙන, ශාම් සහ ඔහුගේ මිතුරිය නතරව උන්හ.

තරුණිය ඔහුගේ තුරුළේ උණුසුමට වැදුණාය, බර සුසුම් හෙළමින්..... ශාම් ඇගේ ඉඟ වටා යැවූ වමතින් ඇගේ උණුසුම් සිරුර තමා වෙත තෙරපා ගති. වේගයෙන් උස් පහත් වන ඇගේ ළැම ඔහුගේ ළය මත තෙරැපිණි. මුළු සිරුර පුරා ශක්තිය බෙදා හරින්නට, නහර ඔස්සේ රුධිරය විහිදුවන්නට ඇගේ හදවත තදින් ගැහෙනු ඔහුට දැණින.

තරුණියගේ දෙකොපුල්, අඩවන් ඇසිපිය මත ඔහුගේ උණුසුම් ප‍්‍රාශ්වාසය පතිත වත්ම, ඇගේ දෑස් සෙමෙන් පියවී ගියේය.ඇගේ කුඩා සිහින් අත්, ඔහුගේ සිරුර වැරෙන් අල්ලාගති. ශාම් සිය ඇඟිළි තුඩින් ඇගේ දෙකොපුල් සියුම් ලෙස පිරිමදිද්දී, ඇගේ සම මතුපිට ආරෝපණයක් මෙන් සියුම් හිරියක් දිව ගියේය.

ශාම් දෑතින්ම ඇගේ ඉඟටිය ග‍්‍රහණය කරගනිමින් ඇගේ සැළෙන තෙත් දෙතොල් මතට පහත් විය. යාන්තමින් විවර වූ ඇගේ තෙත දෙතොල් මත ඔහුගේ දෙතොල් තෙරැපී ගියේය.

සිය දෙතොල මත සියුම්ව ඔහුගේ දත් වල තුඩු තද වෙනුද, එසැණින් ම සිය දෙතොල් ඔහු තදින් උරාබොනු ද ඈ හැඟුවාය. එතැන ඇගේ දෙතොලේ සුමුදු සම මත ඔහුගේ ඔහුගේ දඩයම් දත්වල තුඩු තදින් තෙරැපී ගියේය. ඇගේ දෙතොල ඔහුගේ දත්වලින් මෘදුව සිදුරු වීමට ගතවූයේ නිමේශයකි. එසැණින් උණුසුම් රුධිරය ගළා එන්නට වන. ශාම් සිය දෙතොළින් ඇගේ දෙතොල තදින් උරා බොද්දී ඒ රුධිරය  ඔහුගේ මුව තුළට ඇදී එන්නට විය. ලේ රස තරුණයාගේ පිපාසිත උගුර හරහා ගළා ගියේය.

තරුණියගේ දෑත් ඔහුගේ ගෙළ වටා තදින් වෙළි ගියේ ඇගේ උණුසුම තවත් ශාම් මත තෙරැපෙන සේය. සරාගී මෝහනයකින් ඈ තවත් තරුණයා වෙත තුරුළු වෙද්දී, ඇගේ දෙතොල් තව තවත් ඔහුගේ දතින් ඉරී යන්නට විය.

අනන්තය තරම් දැනෙන කාලාන්තරයක් ගත වී ගියේ ය. තරුණයාගේ කෝටු වැනි සිහින් ඇඟිලි ඇගේ හිසකේ අතරින් ඇදී ගියේය. නොඉවසිලිමත් තදියමක සේයාවක් එම ඇඟිලි අතර විය.
සිය කෙස් අතරින් ගෙළෙහි සුමුදු සම මතට ඔහුගේ ඇඟිලි තුඩු පැමිණෙනු හා සමඟම, ඔහුගේ තෙත් දෙතොල් තම වියළි දෙතොල් මතින් එසවෙනු ඈ හැඟුවාය.

තරුණියගේ ඇසිපිය දුබල ලෙස සෙමෙන් එසවිණි. නිද්‍රාශීලී මෝහනයක් ඇගේ සිරුර පුරා පැතිර ගොස් තිබුණේ නිර්වින්දනයට ලක් වූවා මෙනි. ඈ හේතුවක් නොසළකා සෙමෙන් සිනාසුණාය. තරුණයාගේ ඇඟිලි තුඩු ඇගේ උගුර දෙපස වූ ධමනි මතින් ඇදී යද්දී, සියුම් ගැස්මක් ඇගේ රුධිර නාල දිගේ ඉහළට දිව ගියේ ය.
ශාම් සිය සුදුමැළි සුරතින් ඇගේ ගෙළෙහි කණ පිටුපස සුමුදුව පිරිමදින්නට ගති. සම මතින් දිව යන ඇඟිලි තුඩගින්, ගොරෝසුවට..... සිහින් හිරියක් සම යටින් දිවයන්නා සේ.....

ඈ තම සිහින් දෑතින් ඔහු තරයේ වැළඳගත්තී ය. හාත්පස වූ රැහැයියන්ගේ මරු මුරුව එක්වණම නැවතිණ..... නැවතිණ.

ඈත කඳු වළල්ල අතරින් මීදුම ගළා එන්නට විය. පාරේ දෙපස ගිළගනිමින් මීදුම සෑහෙන තරම් වේගයකින් ගළා ආයේය.

සිහින් වූ දෑසින්..... යන්තම් විවර ව සැළෙන දෙතොළින් නිකුත් වූ සිහින් කෙඳුරුමක් සමඟින් ඇගේ හිස සෙමෙන් පිටුපසට ඇළ වෙන්නට..... නිශාචරයාගේ දෑස් ඉදිරියේ ඇගේ ගෙළ නිරාවරණය වී ආයේ ය.

තරුණියගේ සිරුර වටා යැවූ එක් අතකින් ඇගේ හිස දරාගත් ශාම් අනෙක් අතින් ඇගේ ගෙළ මත පිරිමැද්දේය. ඈ සිය දෙතොල් අසළම වූ, සිය හිස දරා සිටි ඔහුගේ අතැඟිලි තුඩු සිපගන්නට තැත් කළාය.

ඇගේ ඉඟ වටා යැවූ අතින් තරුණයා සිය මිතුරිය තම සිරුරට වැරෙන් තෙරපා ගති. ඇගේ ගෙළ මතට ඔහුගේ හිස නැඹුරු විය. ඇගේ උගුර දෙපස තදින් ගැහෙන ධමනි මත ඔහුගේ තෙත් සුසුම්.....

එකිනෙක ගැටී තදවුනු දත් අතරින් වේගවත් ප‍්‍රශ්වාසයක් හෙළමින් ශාම්, ඇගේ ගෙළ මතට පහත් විය. උණුසුම් රුධිරයෙන් පිරි ධමනි මත වියරු දෙතොල් තෙරුපිණ. හෙතෙම තදින් එතැන සිපගත්තේ ය.

සිය උගුර දෙපස ධමනි මතින් ඔහුගේ දඩයම් දත් තුඩු වල පහස තරුණිය හැඟුවාය. නිමේශයකින් එතැන සම විනිවිද පිපාසිතයාගේ දත් තුඩු කිඳා බසින්නට විය.

දඩයම් දතින් ධමනි බිත්තිය සිදුරුවූ සැණින් ලේ දහරක් විදින්නට විය. සරාගී බවින් උණුසුම් වූ ඇලෙන සුළු උණුසුම් රුධිරය..... ඇගේ හද ගැස්මට අනුරූපීවම ගැස්සි ගැස්සී ශාම් විවර දෙතොලතරට විදෙන්නට ගති. ළදරුවෙකු කිරි උරාබොන්නාසේ ඔහු තරුණියගේ ගෙළෙහි සිය මුව තෙරපමින් ඇගේ ලේ දහර උරාබොන්නට වූයේය. රතුවන් උකු රුධිරයේ ප්‍රෝටීනමය රසය පිපාසිතයා ප‍්‍රාණවත් කරන්නක් විය.


වික‍්‍රම මේ අතර සිය කුළී රියේ සියළුම කවුළු වසාගෙන සිටියේය. ඔහුගේ දෑස් භීතියෙන් විදැහී තිබුණි. තවදුරටත් රැඳී සිටිමින් සිය පැවැත්මට බිහිසුණු අවසානයක් උදා කර නොගන්නට ඔහු තීරණය කළේ නිරායාසයෙනි. ඔහු හඬක් නොනැගෙන සේ කාරයේ යතුර කරකැවීය. 

කාරයේ ප්‍රධාන ලාම්පු දැල්වී, ඇන්ජිම වරක් හෝ දෙවරක් අණ ඇද නතර වූවා පමණකි. ලේ මිදෙන තරම් වූ සීතල විසින් ඇන්ජිම අප්‍රාණික කර තිබුණු සෙයකි. නැවත නැවතත් - නැවත නැවතත් වික්‍රම යතුර ඉග්නිෂන් ස්විචය වෙත කරකැවීය. දැන් නම් මෙතැනින් පැන යා යුතු ම ය. ඊට වේගවත් බව උවමනා ය... කාරය කෙසේ හෝ පණ ගැන්විය යුතු ය.

එසැණින්ම කඳුකරයේ සිට පිපාසිත උඩුබිරුමක කාලකණ්ණි රාවයක් ඇදී ආයේ ය. වේගයෙන් ගළා ආ වළා රැසකින් ආවරණය වන්නට වූ සඳෙන් ගැළූ අවසන් රස් දහරින්, තරුණයාගේ සුදුමැළි කෙට්ටු මුහුණ ගැහැණියගේ ගෙළ මතින් එසැවීතමන් වෙත හැරෙනු මීදුම බැඳී බොඳ වූ වින්ඩ් ෂීල්ඩය හරහා වික‍්‍රමගේ බියපත් දෑසට හසු විය. නිශාචරයාගේ දැස් ගිණිගෙන දැවෙන්නා සේ ඔහු දිටීය.

කාරය පනගැන්වුණු හඬ ඈත කඳුකරය දක්වා විහිදී, දෝංකාර දෙන්නා සේ රියදුරාට හැඟිණ.

එකෙණෙහි සඳ වැසී ගියේ ය. කළුවර මැද්දේ ගියර් ලිවරය කිහිප විටක් ඒ මේ අත හරවන්නට වික්‍රම ගේ වෙව්ලන වමත ට සිදු විය. අවසානයේ රිවස් ගියරය දමා, වමට හරවමින් වේගයෙන් පසුපසට ගත් කුළී රිය පසුපස වූ විදුලි පහන් කණුවේ වැදෙනු රියදුරාට දැනුණි. ලෝහමය හඩක් නගමින් පදික වේදිකාව මතට වැටුණේ කාරයේ පසුපස බම්පරය වන්නට ඇත. එය නොතැකූ ඔහු, පාර මැද දැවැන්ත යූ හැරවුමක් කොට, විදුලියක් සේ කාරය පදවන්නට ගති. එකෙන් තුනට..... තුනෙන් පහට..... ගියර මාරු වූයේ කෙසේදැයි ඔහුම නොදත්තේ ය. කඳුකරයේ සිට ඇදී ආ උඩුබිරුම් රාවය නිදිබර සිහින දකිමින් පසුවූ ගම්බද පෙදෙස වසාගෙන, ඈත එපිට දක්වා විසිරී ගෙවී යද්දී, සෑම අතකින්ම විවිධාකාර උඩුබිරුම් නැඟී වාතස්කන්ධය පිරී යන්නට විය.

තමන් වෙනදා ඉතා ප්‍රවේසමින් වාහනය පදවන පල්ලම්, හෙල්, ප්‍රපාත හා වංගු බහුල පාරේ එදා අධික වේගයෙන් රිය පැදවූයේ කෙසේදැයි වික්‍රම පසුව කල්පනා කරන්නට ඇත. එහෙත් ඒ මොහොතේ ඔහුගේ සිතෙහි වූයේ පුන පුනා කියැවුනේ "...අග්‍ර දේවදූත මිකායෙල්, මරිය මවු තුමියනි, ජේසු තුමනි මා රැක ගත මැනවි..." යන කෙටි යාඥාවයි. කාර් රථය ද  බෑවුම් සහිත පාළු පාරේ විටෙක මතුපිටට අඟල් කිහිපයක් ඉහලින් යමින් ධාවනය කෙරුණේ කාපට් පාර ඉරා දමන්නට මෙනි.

වංගු සහිත තැන් වල දී පවා කාරය ආ වේගයෙන්ම ඉදිරියට පැදවුනේ ය. බියපත් වූ සිරුරෙන් නැඟුනු දාහයෙන්, මෝටර් රථය තුළ මඳ උණුසුමක් පැතිරෙමින් තිබුණේ ය. පාරය නැමුණු දැවැන්ත ගස් අතුවල අගිසි කැඩෙන හඬ... මීදුම තුළ දිස්නය දෙන වීදි ලාම්පු වල මළාණික එළිය... ඒ අතරම, සිය ආසනය පිටුපස ඇන්ද සිතල වේගෙන යනු ද, පාංශුමය සුවඳක් සහිත සීතල තෙත්බර බවක් රථයේ පිටුපස සිට ඉදිරියට පැතිරී එනු ද වික්‍රම ට දැනුණි.

------------------------------------------------

පින්නෙන් තෙත් වූ සුදු හෙල්මටයේ වයිසරය වමතින් පිස දැමූ සාජන් තිලකරත්න, කොස්තාපල් සපරමාදු දෙස බැලී ය. 

"මොන මගුලක්ද අයිසෙ ඔය විට කෑම?" කොස්තාපල් තඹ පැහැයට හැරෙමින් තිබූ උඩු රැවුල දෙපසට විහිදී කහට බැඳුනු දත් දෙපෙළ ඉස්මතු වන සේ සිනා සී තම ජ්‍යෙෂ්ඨ සගයා දෙස බැලීය.

පොලිස් නිලධාරියන් සිටියේ, කාපට් පාර අයිනේ සිටුවා තිබූ, වේග සීමාව දක්වන පුවරුව ට අඩි කිහිපයක් ඔබ්බෙන් දැවැන්ත ගසකට මුවා වී ය. එතැනට අඩි කිහිපයක් ඈතින් පිහිටි බස් නැවතුම පිටුපස ඔවුන්ගේ සුදු පැහැ ජවාධික මෝටර් සයිකලය සඟවා තිබුණි.

"බලනවකො අයිසෙ, මේ යක්කු ගස් නගින වෙලාවෙ පාරෙ වාහනයක්වත් යනවද කියල. බම්බුවෙ ටාගට් කවර් කරන්ඩ කියල අපිව පාරට දැම්මෙ... අර ඕ අයි සී කාරය සමාදානෙ සැතපෙන්ඩ..."

පාරේ වම් පස අන්තයේ පල්ලම සීග්‍රයෙන් බසිනා මෝටර් රථයක හඬ ඈත සිට දෝංකාර දී ඇසුණි.

"අන්න අන්න... බීපු ටැක්සි කාරයෙක්ද කොහෙද... නවත්තගන්නව ආච්චිට හාල් ගරන්ඩ ඕකගෙ..." සාජන්, කොස්තාපල් ගේ උරහිසින් අල්ලා තල්ලු කළේ ය.

විට මුසු කෙළ පාරක් ගස මුලට එල්ල කළ සපරමාදු, පාරට පැන දකුණත එසවී ය. වේගය වැඩි වෙමින් ඉදිරියටම ඇදී ආ කුළී රිය තිරිිංගයට මෙල්ල නොවී ය. කොස්තාපල් දෑත ම ඔසවාගෙන පාර මැදට පැන ජීවිතය බේරා ගනිද්දී, කාරය පදික වේදිකාව උඩින් ගොස් සාජන් මුවා වූ ගසේ වැදී නතර විය. ගස හෙල්ලුම්කෑවෙන් එහි මුදුනේ සිට වවුලන් රෑනක් වළාකුළක් මෙන් ඉහළට නැඟ විසිරී ගියහ. කාරයේ ඉදිරිපස දොර දෙකෙහි වීදුරු මකුළු දැලක් මෙන් කුඩුවී ගියේ ය. වාහනයේ නළාව එකදිගට වැදෙමින් පැවතුණි.

සාජන් විදුලිපන්දම දල්වා කාරයේ ඉරි තැළුණු වින්ඩ්ෂීල්ඩය හරහා යොමු කළේ ය. කුළී රථයේ රියදුරා ඉදිරිපසට නැඹුරු වී සිටි අතර, ඔහුගේ නළල සුක්කානම මත වැටී තදවී තිබුණි.

"අයිසෙ සපරමාදු... බලනව බලනව මුුං මැරිලද කියල..."

කොස්තාපල් මහත් සේ වෑයම් කොට වම්පස ඉදිරි දොර ඇරියේ ය. 

"ඔය උලව් හෝන්නෙක නවත්තනව අයිසෙ... මළ වදයක් උනානෙ මේක..."

"ඩ්‍රයිවර් නං මැරිල නෑ සාජන්. සිහි නැති වෙලා විතරයි..."

"අනිකා?"

"මොන අනිකෙක්ද සාජන්? ඩ්‍රයිවර් විතරයි ඉන්නෙ..."

"මං දැක්කනෙ අයිසෙ පිටිපස්සෙ සීට් එකේ එකෙක් ඉන්නව වගේ. හොඳට බලනව."

සපරමාදු පිටුපස දොර ද ඇර විදුලිපන්දම දල්වා බැලී ය.

"ඔහෙ නෑ සාජන්... ඒ මීදුමට පෙනිච්ච හැටි වෙන්ඩැති..."

 ---------------------------------------------

වළා බර වූ අහසින් ගළා ආ සඳ එළිය ප‍්‍රමාණවත් වූයේ, පාර මත වූ දේවල් වල දළ හැඩය පමණක් දැකගැනීමට පමණි. හාත්පස පැතිරී තිබූ, ලේ පවා කැටිගැසෙන සීතල නොතකා පොලිස් කාරයා පාර මැද සිටගෙන සිටියේ ය. ඔහු අසළම පිටුපසින් පොලිස් ජර්කින් එකක් පොරවාගත් වික‍්‍රම සිටියේ වෙව්ලමිනි. ඔහුගේ නලලෙහි වම්පස ලෙයින් වැසි ඉදිමී ගොස් තිබුණි.

වේගයෙන් ඇදී ආ පොලිස් ජීප් රථය නැවතුණේ, පොලිස් බයික් එක පිටුපසිනි. එහි පිටුපස දොර ඇරගෙන විකුම් එළියට බැස්සේ ය. ඉන්පසු අකිල ද, ඊට පිටුපසින් ඇඩම් ද ජීප් රියෙන් එළියට බටහ. කළු වස්ත‍්‍රධාරියා ඉදිරිපස අසුනෙන් එළියට බට පොලිස් පරීක්ෂකවරයා ද සමඟ පාර මැද වූ පොලිස් නිලධාරියා වෙත ගියෙන්, තරුණයන් දෙදෙනා හට සෑහෙන නිදහසක් ලැබුණි.

‘‘මොනවත් අතින් අල්ලන්න එපා මචං, මගෙ පිටිපස්සෙන් ම හරි එහෙම නැත්තං වඩා හොඳයි උඹ පාරෙ ඉඳපන්’’ කියමින් විකුම් සිය සාක්කුවකින් ගත් සැත්කම් අත්වැසුම් යුවළක්, බුහුටි ලෙස සිය දෑත් වල පැළඳගත්තේ ය.

මුලින්ම ඔහු ගේ පිරික්සුමට ලක් වූයේ පාර අයිනේ තණ පත් මත වැතිර තිබූ ස්ත‍්‍රී සිරුරයි. ඊට හෙතෙම සැර එළියක් සහිත කුඩා විදුලි පන්දමක් ද ආධාර කරගති. තත්පර දහයක් පමණ ඔහු ඇගේ මුළු සිරුරම පිරික්සීය. වේගවත් ගිළන් රථයක හඬ ඈත සිට ළංවෙද්දී විකුම් තණපත් මත වූ යම් හෝඩුවාවන් නිරීක්ෂණය කරන්නට පටන් ගත්තා පමණි.

අකිල සිය මිතුරා වෙත ළංවිය.

‘‘හ්ම්.....’’ විකුම් කීය. ‘‘පුළුවන්නං ඇම්බියුලන්ස් එකේ නැගලා ගිහින් හරි, ඒකත් එක්ක යන වාහනේකින් ගිහින් හරි  ඔය කෙල්ලට මොකද වෙන්නෙ කියල බලාගනිං. සෑහෙන්න ලේ ගිහින් වගේ. හොඳ වෙලාවට මොළේට ලේ යන ප‍්‍රධාන ධමනි දෙකට හාණි වෙලා නෑ වගේ පේනවා. දැනට ලේ ගළන එක බොහොම අඩු වෙලා තියෙන්නෙ. කෙල්ල ජීවත් වුණොත් අපේ වැඩට ගොඩක් පහසු වෙයි. මං තව හෝඩුවාවක් දැක්කා. මං ඒක පාරෙ යනවා. පරක්කු වුණොත්..... මං උඹලෑ ගෙදර එන්නං’’

මීළඟ කොටස...

45 comments:

  1. උඹ මචෝ ශෘංගාරය නියමෙට මතූ කරනවා...ඊළඟට ඒ වගේ කතාවක් ලියමුද ...?

    ReplyDelete
    Replies
    1. (ඔළුව කසමින්)හි හි හි හි අනේ මන්දා මෙයා....

      ස්තූතියි ඉවෝන්... අපි බලමු ඉස්සරහට...

      Delete
  2. අම්මෝ මචන් ඇඟේ මයිල් කෙලින් වෙනවා බයට. හැබැයි මයිල් වලට අමතරව තව ඒවා කෙලින් වෙනවා සිදුවීම කියවගෙන යනකොට. ඉවාන් කියන ශෘංගාරය හින්ද වෙන්න ඇති ඒ ;-)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. මේ පැත්තෙ මේ ආවමයි නේ? වෙල්කම්! මේකට ශෘංගාරය කියනවනං ඉතිං අප්පා....

      Delete
  3. උබෙ ලියවිල්ල පෝස්ට් එක එක හුස්මට කියවන්න හිතෙන විදියේ හැකියාවකින් පිරුණු එකක්...

    ශෘංගාරයක මොකක්ද එක තමා ඇවිස්සෙන්නේ :ඩී

    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. දිරිගැන්වීම පපුවට ගොඩක් දැනෙනවා සෑම්. මේ කොටස කියවල තමයි අපේ සැට් එක මට මේ කාඩ් එක ගැහුවෙ.

      සෑම් නිතර නිතර ඔන්ලයින් එන්නෑ නේද දැන්?

      උඹටයි මටයි දෙන්නටම ජය වේවා!

      Delete
  4. මොකද බං තුන තුන දාලා. අපිව බයකරල මරන්නද හදන්නෙ. :)

    වැඩිය වැලකතා කියවන්න එපා යෝධයෝ, නවකතා අස්සෙන් වැලකතා එළියට පනිනව එතකොට. :P



    හ්ම් ... අපේ වැම්පයර් මෑන් මෙච්චර කල් හැංගි හැංගි වෙස් බැඳල එළිපිට නටන්න පටන් ගත්තෙ ඕන් අද. බලමුකො ඉස්සරහට කට්ටියම එකතුවෙල පොරව කොටු කරන්න ට්‍රයිකරන හැටි. කෝ.. කියවන්න ගන්නකොටම කතාව ඉවරයිනේ, ඉක්මනට ලියහන් බං ඩ්‍රැකී.

    ReplyDelete
    Replies
    1. තුන කියන්නෙ ඉතිං ශෘංගාරයට සම්බන්ධ නොම්මරයක්නෙ, නැද්ද?

      අයියෝ මේ වගේ වැලකතා කොහෙද තියෙන්නෙ? මං නං දැකල නෑ. (:-පී උඹටත්.)

      වැම්පයර් එළි වුනා කියල නේ හිතන්නෙ? අපි බලමුකො ඉස්සරහට...

      Delete
  5. අම්මෝ බයයි ..... ආසයි............ වෙන නැද්ද ????????

    ReplyDelete
    Replies
    1. තව තියෙනවා රාළෙ, තව තියෙනවා...

      Delete
  6. මවිලුයි අරවයි මෙවයි ඔක්කොම කෙලින් වෙන්න ලියල තියෙනව තමයි.කතාව දෑන් පොටකට ආව නෙ

    ReplyDelete
    Replies
    1. කෙළින් උනා කියන්නෙ උඹ නිරෝගී මිනිහෙක්. පොටක් පෑදුනා කියල තමා පේන්නෙ, නේ?

      Delete
  7. දැන් කට්ටියගෙම මයිලුයි තව මොනවදැයි කෙලින් වෙලාලු,ඔය විදියටම ලියාගෙන පලයන් කතාව සන්ධිස්ථානෙකට ඇවිත්නේ තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේ වගේ සරළ දේවල් වලිං හැලපයිය නං කෙළින් වෙන් නෑනෙ නේද? අපි ඉතිං ඔය වයස පහුකරලනෙ.

      ස්තූතියි දිගටම ඇවිත් දිරිගන්වනවට. ඒක මාර හයියක්...

      Delete
  8. උඹ මේ උඹේ ජීවිත කතාවනේ ලියන්නේ ඩ්‍රැකී.

    මට පොඩ්ඩක් ටැපලිලා මේ වික්‍රම තනියෙමද කුලී රථයේ යන්නේ නැතිනම් රියැදුරු කෙනෙකුත් ඉන්නවද කියන එක.

    ReplyDelete
    Replies
    1. හා හා සද්ද කරන්න එපා.

      මළා, ඒක අපැහැදිළියිද? වික්‍රම තමා රියදුරා.

      Delete
  9. රස වින්දනය ට හානියක් නොවෙන අයුරින් එක දිගටම ලිවිම හරිම අපුරුයි මල්ලිය.

    ReplyDelete
    Replies
    1. තැන්කිව්, තැන්කිව්. කෙංජි අයියා.

      Delete
  10. උඹ ලියනවා පණ පිහිටුවලා ඒ උනාට ලේ බොන එව්වට මම අමනාපයි

    ReplyDelete
    Replies
    1. මාත් අමනාපයි අටං අයියා, ඉස්සරහට බලමු, කතාව වෙනස් වෙන්න යන්නෙ.

      Delete
    2. අටම මනාප වෙන එවුව බොන්න නෙ

      Delete
    3. ඒක ප්‍රසිද්ධ රහසක් බං, මේ තැන්වල කියන්න හොඳ නෑ.

      Delete
  11. අදත් තුන්පාරක්ම ඇවිල්ල !! ලෙඩේ තම හරි නැ වගේ..

    ReplyDelete
    Replies
    1. ලෙඩේ හොඳ වෙන්න එස්එල්ටී එකෙන් බෙහෙතක් දෙන් නෑනෙ

      Delete
  12. ඔපීසියේ බොග් බලන්න තියෙන්නෙ ඉතාමත්ම සුලු වෙලාවක් නිසා...උඹේ මේ මාගලේ මුල් කොටස් තාම කියෝගන්න බැරුව බොල මම මේ ඉන්නෙ...

    ReplyDelete
    Replies
    1. මටද එසේමැයි, මටද එසේමැයි..... :-)

      Delete
  13. ලියමු ලියමු දිගට ම....

    ReplyDelete
    Replies
    1. කියවන්න දිගටම එනවට ඉස්තූතියි ඈ...

      Delete
  14. එතකොට ශාම් ඩ්‍රැකීගේ වර්ගයේ?

    ReplyDelete
    Replies
    1. වෙන මොනවද රෙහානි ඩ්‍රැකියගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවං?

      Delete
  15. එක දිගට කියෙවුවා ඔන් ඇ .. ලිකිත අවසරයකින් තොරව උපුටා ගැනීම තනම්ද .. මට හිතෙනෝ කතාවේ ප්‍රින්ට් අරන් පොතක් හදලා ලග තියා ගන්න එකයි ඇහුවේ ඔන් ඇ ... තරහ අවසර ඇ .. අහන නැතුව උස්සන්නේ නැ ...

    ReplyDelete
    Replies
    1. පොඩි එකාගෙ ආසාවනෙ. ඕන්නං පොතක් හදාගන්න මලේ.

      හැබැයි රජෝ, උඹ පොතක් හදාගනියි. ඊට පස්සෙ ඒක අතින් අතට යයි. අන්තිමේ කොහෙවත් ඉන්න එකෙක් මේක පොඩ්ඩක් වෙනස් කොරලා, පබ්ලිෂ් කොරයි මට කලිං. එහෙම උනොත් නං සුළඟ කියල බලන් නෑ, ලේ බොනව දැනගං.... ග්ර්ර්ර්ර්ර්ර්ර්......

      Delete
    2. හි හි එහෙම වෙන්නේ නැහැ .. හැබැයි මෙහෙම දැම්මම එහෙම වෙන්නේ නැද්ද ..

      මම අහන්නේ මේ මන් වගේ අහන්නේ නැතුව ඉස්සුවොත් එහෙම ..

      ලේ බොනවද ... :D

      Delete
    3. දැන් නම් ඉතින් ඩ්‍රැකියගෙ ලේ තමා මට බොන්න වෙන්නේ .. මේකේ ඉතුරු ටිකත් ඉක්මනට දැම්මේ නැත්නම් ...

      මොකෝ බලන්නේ ... ඇත්ත කිවුවේ .. අපිව අවුස්සලා දැන් මෙතන බලාගෙන ඉන්නෝ ඇති කෙහෙල් කාපු උගුඩුවා වගේ ...

      ඔව් .. ඔව් .. උබට තමා කිවුවේ ඩ්‍රැකියෝ ... :D

      Delete
    4. අහන්නැතුව උස්සන උන්ට නීති දාන් නෑ බං.

      ඉතුරු ටික මේ ටයිප් කරනවා බං. අත් පිටපතෙන් කොටස් කීපයක් හැලිලා. අමුතුවෙන් ලියන්න වෙලා.

      මොකා වගේ ද බලන් ඉන්නෙ කිව්වෙ?

      මටද කිව්වෙ. හිටු බොට. ග්ර්ර්ර්ර්ර්.......

      Delete
  16. මං ආව කියල කියල යනයි ආවෙ.. කියෙව්වෙ නෑ එ උනාට.. ආයෙ ඇවිත් එකේ ඉඳන් පටන් අරං කියෝනවා ඒලඟ කොටහ දාපු ගමන් ... මේ වෙලාවෙ මඟ ඇරුනු හෙන බ්ලොග් කන්දරාවකට යන්න තියෙනෝ.. ජය!

    ReplyDelete
    Replies
    1. ඕකේ සමී, ආව එකත් ලොකු හයියක් !

      Delete
  17. අම්මේ.. අද තමා ලෙසටම බය උනේ.. මම කම්පියුටරේ වැඩ කරන්නේ ලයිට් නිවාගෙන. මේ ටිකේ මෙහෙ කොහොමත් අඳුරුයි වහින නිසා.. ඉතින් කාමරේ කළුවරයි. මම මේක කියවන අතරේ අපේ මල්ලි කෙනෙක් ඇවිත් බෙල්ලෙන් ඇල්ලුවා... අම්මෝ මම උඩ නොගිය එක විතරයි..

    ReplyDelete
    Replies
    1. යකෝ මැවිලා පේනවා වෙච්ච දේ.... සුපිරි අත්දැකීමක් ඈ.

      Delete
    2. සුපිරිද අහනවා.. දැන් ඌටයි මටයි මතක් වෙද්දී මැරෙන්න හිනා.. ඔන්න ඌටත් කතාව මුල ඉඳන් කියවන්න දුන්නා.. ෆෝන් එකෙන් ඇවිත් බලයි ඌත්.

      Delete
    3. ස්තූතියි ස්තූතියි

      Delete
  18. ඩ්‍රැකී උඹ යහතින් ඉන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. මම ඉන්නවා. මේකෙ ඉතුරු ටික මේ ටයිප් කරනවා මේ දවස්වල. අත් පිටපතෙන් කොටස් කීපයක් හැලිලා. අමුතුවෙන් ලියන්න වෙලා. ස්තූතියි හොයල බැලුවට.

      Delete
  19. අදයි එන්න ලැබුනෙ මචං. ගේම සෙට්වෙලා වගේ නේද ශාම්ට. වික්‍රමත් ගේම අත ඇරල නැහැ එහෙනම් පස්සෙන්ම පන්නල තියෙනව. වික්‍රම වකුම් ටැපලිලා වටේගියා නොවැ මම. කොහෙද මේක එක දිගට ලියනවයෑ කියවන්න එහෙම උනානම් ඔය ප්‍රශ්නෙ නැහැනෙ.

    හැමදාම අනුමානයක් කරපු එකේ නිකම්ම යන්න හිතට අමාරුයි. ඒ හින්දම මොනවහරි කියන්නම්.

    අහල තියෙන විදිහට වැම්පයරයෙක් ලේ බෙල්ලෙන් ලේ බිව්වොත් ඒ පුද්ගලයත් වැම්පයර් කෙනෙක් වෙනව. එහෙනම් මේ කෙල්ලට බඩු සෙට්වෙයි වගේ. ඒක එහෙමනම් කලින් ලේ බීපු කෙල්ලන්ට මොකද උනේ. ඇයි ඒ අය වැම්පයර්ල නොවුනෙ. ශර්මන ඒකට මොනව හරි කරන්න ඇති කියලත් හිතන්න පුළුවන්. මොකද මිනිහ මොලකාරයෙක්නෙ. ඊලගට දැන් මේ කෙල්ල ලවා අර ඩ්‍රැකියුලා කතාවෙ වගේ ශාම් ඉන්න තැන හොයා ගන්න පුළුවන් වෙයිද? බලමු බලමු.

    වෙල්ඩන් ඩ්‍රැකී

    ReplyDelete
    Replies
    1. ලොකු ශානාගෙ විග්‍රහය හැමදැමත් වගේ මට මාර විදිහට වටිනවා. දිගටම කියවන්න එන එක වගේම, අනුමාන කරලා කමෙන්ට් එකක් දාන එක ගොඩක් ම වැදගත්. හොඳ පොයින්ට් එකක් මතු කරල තියෙනවා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා.

      අපි දැකල තියෙන හැම වැම්පයර් කතාවකම ගොදුර වැම්පයර් කෙනෙක් බවට පත් වීම දකින්න තියෙනවා. ඒක නිසාම දේශපාලන විද්‍යාවෙ වැම්පයර් න්‍යාය කියලා එකකුත් දකින්න තියෙනවා.

      අද තව කොටසක් දානවා මම. මේ ටිකේම ඒක අමුතුවෙන් ලිව්වා. මොකද අත්පිටපතේ ඒ කොටස හොයාගන්න බැරි වුනා. කලින් ලියපු ශෛලියට වඩා මේ කොටස වෙනස් වෙන්නත් පුළුවන්. කියවලා කලින් වගේම විග්‍රහාතාමක කමෙන්ටුවක් දාන්න ශානා.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි