Monday, April 20, 2020

අවසානයක් ‌නොවේ - හයවන ‌කොටස

පළවෙනි කොටස
දෙවෙනි කොටස
තුන් වෙනි කොටස
හතර වෙනි කොටස

මැදින් මස අව අටවක පසුවී දින ‌දෙකක් ඉක්ම ගියේ ය. කන්ද උඩරට ට එතරම් හුරු ‌නොවූ චණ්ඩ සූර්ය තාපය.... එකතැන ගල් ගැසී රත් වූ වාතස්කන්ධය.... ගහ ‌කොළ, සතා සිවුපාවුන් කුරුල්ලන් ආදී කිසිම පණඇති ‌දෙයක ‌සෙළවිමක් ‌නොවී ය. 

රාජකාරියට කැඳවීම් ලැබ, මහවාසලට ගිය ධනසේකර ‌වෙද මුදලි තුමා ආපසු ආවේ යම්කිසි අමුත්තක ‌සේයාවක් පළ කරමිනි. නියමිත දිනවලට, නියමිත ‌වේලාවට අනුකූල ‌නොවී හදිසියේ කැඳවන ලද විට එතුමා මුලු වරුවම රජවාසලේ ගත කිරීම සාමාන්‍ය සිරිත විය. එය සමහර විට දින කීපයක් දක්වා දීර්ඝ වීම ද සුපුරුදු ‌දෙයකි. එහෙත් ප්‍රස්තූත දිනයේ එතුමා ගිය පයින්ම වාගේ ආපසු ආයේ ය.

වළව්වේ කඩුල්ලෙන් ඇතුළ‌ට පැමිණි තිරික්කලය, එතැන් සිට ‌ගෝපුර දක්වා ආවේ කිසිවෙකුගේ ‌මෙහෙයවීමකින් ‌තොරව බව ‌පෙනුණි. ‌ඈත තියා එම දසුන දුටු ස්කැන්ඩිනේවියානු රැඳවියා, මැදුරේ ‌දොරකඩට ආවේ නරක ආරංචියක් බලාපොරොත්තුවෙනි. ඒ වන විට ද, තරුණ කුමාරිහාමි සහ ළමාතැනී එළිපතට වී විමසුම් ‌නෙතින් යුතුව, ඈත සිට එන තිරික්කලය ‌දෙස බලා උන්හ.

තිරික්කලයේ ‌දෙදෙනෙකු එන බව ඈතට ‌පෙනුණි. තවත් ළං වන විට  එහි ඉදිරිපස වාඩිවී ‌තෝන් ලණුව සහ ‌කෙවිට අතින් ‌ගෙන සිටිධනසේකර මුදලිතුමා‌‌ගේ තරුණ පුත්‍රයා වූ ටිකිරි බණ්ඩාර ද, තවත් ළඟට එන විට ඇතුල් ගැබෙහි වාඩිවී සිටි මුදලිතුමා ද පැහැදිළිව දැකගත හැකි විය.

තිරික්කලය ප්‍රධාන ‌‌දොරටුව ළඟ නතර කරන විට, ඇඩම් පසුපසින් එයට ළං විය. ‌වෙදහලේ ආවතේව කරුවන් ද එතැන වටකරගත්තේ අමුත්තක් දැනුණු ‌හෙයිනි. තිරික්කලයේ බක්කියේ ‌දොර ඇරගෙන දකුණු පය බිමට තැබූ මුදලිතුමා, විදේශික රැඳවියාගේ උරහිසට වාරු ‌වෙමින් බිමට බැස ගත්තේ ය. ඔහු එතැනින් ආළින්දයට ‌ගොඩවී හාන්සි පුටුවේ ඇළවිය. 

මුදලිතුමාගේ මුහුණින් ‌‌පෙනුනේ අයහපත් ආරංචිියක් ඇති බවක් පමණක් ‌නොවේ. ඔහු ‌මේ ‌වෙලාවේ වචනයක්වත් කීමට ‌නොරිසි බව ද එහි මනාව සටහන් ව තිබුණි. 

මැළවී ගිය මුහුණින් යුතු ටිකිරි බණ්ඩාර තිරික්කලය දක්කාගෙන වළව්ව පිටුපස මඩුව ‌වෙත ගියේ ‌ගොන් නාම්බාට විවේකයක් දීමට ය. ඇඩම් නිහඬව ම ඒ පසුපසින් වැටුණේ ය. වළව්ව ඉදිරිපස ‌රොක් වී සිටි ‌සෙසු උදවිය ද පවුලේ අය හට අවසර සළසමින් තම තමන්ගේ කටයුතුවලට විසිරී ගිය හ.

මඩුවේ දී ‌ගොනා ‌ලෙහා දමා, උගේ ‌ගෙළ සහ පිට ‌තෙල් ගල්වා, පුන්නක්කු හැළිය සකස් කරදීම සිරිත් පරිදි ටිකිරි බණ්ඩාර අතින් සිදු විය. ඇඩම් ඒ ‌දෙස බලා සිටිය ද වචනයක්වත් කතා කළේ නැත. ඔහුට සමස්ත සිදුවීම අසාගන්නට හැකි වූයේ ධනසේකර තරුණයා සිය කටයුතු නිමවා මඩුවේ ‌කොට බිත්තිය මත වාඩි වූ පසුවය.

------------------------------------

මහනුවර නගරයේ පිහිටි උස ම ස්ථානයක් වූ බහිරව කන්ද, විජයබා ‌කොල්ලයෙන් රයිගම් බණ්ඩාර හෙවත් පරරාජසිංහ කුමරු ලද වස්තුව නිධන් කළ තැන විය. මුලු රටට දිග් විජය කළ සපුමල් කුමරු ‌ගේ මගුල් කඩුව ද ඒ අතර වූ බව විශ්වාස ‌කෙරේ. කන්ද උඩරට පසුකාලීන පාලකයෙකු වූ කරල්ලියද්දේ හට මරු කැට, මහනුවර අල්ලාගත් ටිකිරි බණ්ඩාර ‌හෙවත් සීතාවක රාජසිංහ රජු, සිය උපදේශක වූ ආඬි ගුරු අරිට්ඨ කී ‌වෙංඩු ‌ගේ අදහස ද අනුව ‌මෙකී නිධානය ‌ගොඩ ගන්නට තැත් කළේ ය. ඒ, සිය මීමුත්තා ‌ගේ මගුල් කඩුවෙහි අනුහසින් ‌හෝ පරංගීන් ‌මෙරටින් තුරන් ‌කොට රට නැවත එක්සත් කරවන අටියෙනි.

එහෙත් රාංජසිංහ රජුගේ අවාසනාව ආරම්භ වූයේ එතැනිනි. ආඬිගුරු ‌ගේ ‌හෝමය වැරදී ගියේ ය. සියලු නිධානවලට අරක් ගත් අමනුෂ්‍ය බලවේගය වන බහිරවයා බන්ධනය කිරිමට ගත් තැත වැරදුණි. එතැන වූ යකැදුරන් කීප ‌දෙනෙකුගේ ‌බොටුව කඩා දැමූ අමනුෂ්‍යයා, බහිරව කන්ද වටා වූ ඝන කැළෑවට වැදුණේ ය.

සෙනරත් රජුගේ රාජය කාලය ඇරඹෙනවාත් සමඟම, තද නියඟයක් කන්ද උඩරටට බලපෑවේ ය. කිසි දිනක ‌ගොහොරු මඩෙන් ‌නො-තොර ‌වූ, මහනුවර මහා ‌වෙල් යාය ඉරිතළා ගියේ ය. දළදා වහන්සේ වැඩම කළ ද, යන්තම් ‌පොළ‌ොව ‌තෙමෙන්නට මිසක ගහට ‌කොලට ප්‍රමාණවත් වැස්සක් වැටුණේ නැත.

සෙනරත් රජුගේ පූර්වගාමියා වූ විමලධර්මසූර්ය රජුහට ද පුරෝහිතකම් කළ ශ්‍රී නාරායන බ්‍රාහ්මණයා ‌පේනයක් බැලී ය. ඉන් ‌හෙළි වූයේ ‌මේ විපත ඇතිවූයේ බහිරව ‌දේවතාවාගේ බලපෑමෙන් බව ය. සීතාවක රාජසිංහයන්ගෙන් සිදු වූ ගැහැට ට පළිගැනීමක් ‌ලෙස, නියඟයෙන් මහනුවර රාජධානිය පුළුස්සා දැමීමට බහිරවයා ඉටා ‌ගෙන ඇති බව කියැවුණි. 

බහිරවයාගේ ශාපයෙන් රාජ්‍යය ගළවාගැනීමට නම් වංශවත් කන්‍යාවක් බහිරව කන්දේ දී බිළි දිය යුතු විය. වර්ෂයක් පාසා එම බිලි පූජාව සිදු කළ යුතු විය. 


ඒ අනුව මේ දක්වා ‌හෙවත් ‌දෙවන රාජසිංහ රජුගේ පාලන කාලය පුරාවට ද ‌එම චාරිත්‍රය අඛණ්ඩව පැවතීගෙන එයි.

"රජතුමා ඇත්තටම අපේ අප්පච්චිට ‌ළෙංගතුයි." ටිකිරි බණ්ඩාර ධනසේකර රැඳවියාගේ මුහුණ එක එල්ලේ බලමින් කීවේ ය. "ඒකයි අපට හදිසියෙ කැඳවලා ‌මේ පණිවිඩේ කිව්වෙ. රජතුමා ‌කොහොමත් කන්‍යාවියො බිලි ‌දෙන එකට අකමැත්තෙන් හිටියෙ. 

"‌මේ පාර කවුද බිළිදෙන්නෙ කියන එක නිශ්චය කරන්න පැවැත්වෙන ‌දේව කන්නලව්වෙදි, පුරෝහිත බ්‍රාහ්මණයො ආවේශයෙන් කියල තියෙන්නෙ අපේ නංගි ගැන...."

ඇඩම් වාඩිවී සිටි තැනින් නැගිටුණේ ඊ ගසක් ‌සේ ය. දෑත් මිට ‌මොළවාගත් ඔහු විගසක් එතැන ‌නොරැඳී සිය කුටියට වැදුණේ ය.

------------------------------------

සතියක් පුරා ධනසේකර වළව්ව සහ අවට දිස් වූයේ මළගෙයක් ‌ලෙසිනි. ටිකිරි බණ්ඩාර ඒ සතියම ගත කළේ නගර මධ්‍යයේ වූ නාථ ‌දේවාලයේ විවිධාකාර පූජාවන් පවත්වමිනි. ‌වෙද මුදළිත් ළමාතැනීත් හිස්බව පිරුණු ඇස්වලින් බලාගත් අත බලාගෙන පසු වූහ. ඔවුන් හට භාර ව සිටි රැඳවියා‌ගේ බර ද රජවාසල විසින් ඔවුන්ගෙන් මුදවන ලදි. 

ඇඩම් ඇන්ඩර්සන් ‌ගේ නව වාසස්ථානය වූයේ ඇතුල් නුවරට ආසන්නයේ මුර කුටියකි. දිවා කල නගරයේ ඇවිදීමට ඔහුට දී තිබූ අවසරය නැවත අවලංගු ‌නොකෙරුණු ‌හෙයින් ඔහුට ඒ සතිය ම ටිකිරි බණ්ඩාර සමඟ නාථ ‌දේවාලයේ ගත කළ හැකි විය. එහිදී ය ‌ලංකා දිවයින සුරකිමින් වැඩ සිටින සතර වරම් ‌දෙවිවරුන් ගැන ඇඩම් සෑහෙන යමක් දැන ගත්තේ.

වරම් ‌දෙවිවරුන් සතර ‌දෙනාගෙන් ප්‍රබලතම බලවේගය, ටිකිරි බණ්ඩාර ට අනුව නාථ ‌දෙවියන් විය. සිද්ධාර්ථ ‌බෝධිසත්ත්වයන් බුද්ධත්වයට පත් ‌වෙද්දී එතැනට ආ මාර ‌සෙනඟ දැක, සියලු ‌දෙවිවරුන් පළා යද්දී, දුනු මිට දැඩිව මිට ‌මොළවාගෙන බුදුන් පසෙක හිඳිමින් රැකවරණය සැළසුවේ ද එතුමා ය. දැඩිමුණ්ඩ යන නම එතුමා ලැබුවේ එම අවස්ථා‌වේ දී ය. ‌මෙරට මිනිස්සුත් බුද්ධාගමත් සුරකින ‌ලෙස බුදුන්ගේ ශ්‍රී මුඛයෙන්ම පවරන ලද්දේ ද එතුමා ට ය. මතු බුදු වීමට පාරමිතා පුරණ අවලෝකිතේෂ්වර නාථ බෝසතාණෝ ද, එතුමා ම විය....

ටිකිරි බණ්ඩාර යම්කිසි අස්වැසීමක් අපේක්ෂා කළේ එම ‌දෙවියන් ‌වෙතිනි.

-----------------------------------------

අමාවක දින හිරු අවර ට ගියේ මහනුවර නගරය වෙනදාටත් වඩා තද අඳුරකින් වසාගනිමිනි. තරු එළි පවා වැහි වළා ගැබෙහි සැඟවී ගොස් තිබුණි. දළදා මාළිගය සහ සතර දේවාලයේ සිට පිටත් වුණු කුඩා පෙරහැරෙහි පන්දම් එළිවලින් පවා විහිදුණේ මළාණික එළියකි.

ශ්‍රී නාරායන ව්‍යාසදේව බ්‍රාහ්මණ කපු මහතා ආවතේව කරු සමඟ කුඩා මිනිස් කණ්ඩායමෙහි පෙරමුණ ගත්තේ ය. ඔහු මෙකී අභිචාරයේ ආරම්භකයා වූ ශ්‍රී නාරායන බමුණාගේ මුණුපුරා විය. දෙවැනියට ගමන් කළේ දේව දාසියන් පිරිවැරූ ධනසේකර කුමාරිහාමි ය. සර්වාභරණයෙන් සැරසවුණු ඇගේ සුකුමාර සිරුර වැසුණේ සුදුවන් ඔසරියෙනි. හදවතෙහි වූ අඳුරු අපේක්ෂා භංගත්වයට එරෙහිව ඇගේ හිස සෘජුව එසවිණි. නොදන්නා බියකරු ඉරණමක් කරා යන ගමන ඈ පිය නැගූයේ සෘජු හා නොසැලෙන ලාලිත්‍යවත් පියවරිනි. එකිනෙකාට වත්තන් වූ ධනසේකර මුදලිතුමා, ළමාතැනිය සහ ටිකිරි බණ්ඩාර ඒ අසළින් ම ගෑටූ හ. රජවාසලේ ද, ධනසේකර වළව්වේ හා නින්දගමේ ද, හිතෛශී මිනිසුන්ගේ දහදියෙන් තෙමුණු නිරුවත් උඩුකය පෙරහැර පසුපසෙහි වූ පන්දම් එළිවලින් දිළිසුණේ ය.

තද අන්ධකාරය මැදින්, නගරය පසුකර කඳු මුදුන වෙතට පටු මාර්ගය යොමු වෙද්දී, තරුණ කුමාරිහාමියගේ සිත පතුලෙහි වූ ධෛර්යය පොදින් පොද වියැකී යනු, ඇගේ මුහුණ ඉතා සියුම්ව නිරීක්ෂණය කරගෙන සිටි තැනැත්තෙක් දුටුවේ ය. ඔහු සිටියේ කන්ද මැද හරියේ ගසකට මුවා වී ගෙන ය. දුකින් පෙඟුණු මහලු දෙමාපියන්හට සවියක් වෙමින් ඈ මවා පෑ වීරත්වය ඔහුගේ නොමඳ ඇගයුමට ලක් විය.

මුලින්ම කන්ද මුඳුනට ආ කපුමහතා හා ආවතේව කාරයා අවට කහ දියරින් සහ සුවඳ දුමින් කැප කළහ. වනරොදින් වට කෙරුණු කමතක් පමණ වූ එළිමහන් භූමියෙහි මැද දැවැන්ත ලී කණුවක් සිටුවා තිබුණි. ඒ කණුව වටා පහත් නමුත් ගැඹුරු හඬින් ස්තෝත්‍ර කියමින් පැදකුණු කළ ඔවුහු පන්දම් ගෙන දුම්මල ගසමින් අවට පරිසරය එක් නිමේෂයකට ආලෝකවත් කළහ. ගනඳුර මැදින් විහිදි දුම්මල එළි, සිදුවීමෙහි වූ භයංකර බව තව තවත් තීව්‍ර කරන්නට සමත් විය.

ස්තෝත්‍රය අවසානයේ කපුමහතාගේ නියෝගයෙන්, දේවදාසීහු  තරුණිය ලී කණුව වෙත කැඳවාගෙන ගියහ. ඇගේ දෑත් හිසට උඩින් ඔසවා, කණූවෙහි මුදුනේ වූ රැහැණකට ගැට ගසණ ලදි. දෑත් එසවෙද්දී, ඇගේ ළ‌යෙහි ගැස්ම පන්දම් එළියෙන් කැපී පෙනෙණු, මහළු බමුණාගේ දෑසට ලක් විය. දෑස් පියාගත් තරුණිය සිය ඉඟ වටා ඇදුණු හණ රැහැණින් තමන් කණුවට තබා ගැට ගැසීමට ද, දෙපා එකතු කර ගැට ගැසීමට ද, ඉඩ හැරියා ය.

කපුමහතා සිය අතෙහි වූ පන්දම දිගු කර, කණූව මුදුනේ වූ විළක්කුව දැල්වී ය, ඉන්පසු එහි වූ පිරිස හා කැටිව ආපසු යාමට හැරුණේ ය. අවසන් වතාවට සිය දියණියගේ මුහුණ බැලූ මුදලි දෙමහල්ලෝ හිස් බිමට හරවාගෙන ටිකිරි බණ්ඩාර ට වත්තන් වූ හ.

සෑහෙන වේලාවක් ඉක්ම යන තුරුත් කිසිවක් සිදු වූයේ නැත. බැද තිබූ වරපටින් තරුණියගේ දෑත් දෙපා හිරිවැටීමත්, දරාගත නොහැකි ඒකාකාරී නිහැඬියාවත් මිස.... කණුව මත වූ විළක්කුව තෙල් අවසන්ව නිවී ගියපසු වැහි බර අමාවක අඳුර මැද කණාමැදිරි එළියත් සෑහෙන ආලෝකයක් විය.

බියෙන්, හුදෙකලාවෙන් හා බිඳුනු සිහිකල්පනාවෙන් තමා සියුම් මෝහණයකට නතු වන බව තරුණියට දැනෙමින් පැවතිණ. වරක වනරොදෙහි සියුම් සෙළවීමක් ඈ අඩවන් දෑසින් දුටුවාය. එක්වනම, අඳුරු ගුලියක් බිම පෙරළී අවුත් තමා බැඳ සිටි ලී කණුව වෙත ආවේයැයි ඈට දැනුණි. කුමාරිහාමි ඒ දෙස හැරීමට හෝ ආයාසයක් නොගත්තී ය. ඇයට මේ සියල්ල බියකරු සිහිනයකි. අඳුරු ගුළිය දිගහැරී මානව රූපයකට හැරුණි. එහි සුරතේ වූ යමක්, වළාකුලින් මෑත් වූ තරු එළියෙන් යන්තමින් දිළිසුණේ ය. එකවරම, සිය දෑත් ගැට ගසා ඇති රැහැණ කැපී යනු තරුණියට දැණුනි.

මාරක හූ හඬකින් හාත්පස හෙල්ලුම් කෑවේ එක් වරම ය....

හත් ‌වෙනි ‌කොටසට

21 comments:

  1. ඩ්රැකී, මට හිතෙන්නේ මෙහෙම කතාවක් ලොකු කාල පරතරයක් ඇතිව පල කරන එක හරිම නරකයි කියලා.

    මේ කතාව තිමති වීරරත්න ෆිල්ම් එකකට අරන් තිබුනා නේද?

    ReplyDelete
    Replies
    1. නරකද කියලත් අහනවා. ඉන්තේරුවෙන්ම නරකයි.

      මේ කොරෝනා කාලේ
      දවසට එක ගානේ ලියාපංකෝ රාළේ

      -ඉස්සර බ්ලොග් ලියපු පක්සියෙක් -

      Delete
    2. නිදි,

      ඇත්ත. ඒත් ගළපලා ලියන්න ‌වෙනම නිරවුල් මනසක් උවමනයි. මම ට්‍රයි කරන්නං ඉක්මණට ඉක්මණට ලියන්න. ‌මේ ‌කොටස ලියල ඉවර කළෙත් ඊ‌යෙ වැඩට ගිහින්...

      මුකබාණා,

      ඉස්සර වගේම ආපහු ලියමුකො. ලියාගෙන යද්දි තමා පරණ ට්‍රැක් එකට වැටෙන්නෙ....

      Delete
  2. මේ කතාව සතියට එකක් වත් ගානේ ඵල කරනවා නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. මම උත්සාහ කරන්නම්. ඒත් වැඩේ තියෙන්නෙ, ‌ගෙදර ඉඳන් ලියන්න අමාරුයි. රෑ 10 ට විතර පටං ගත්තහම, පාන්දර ‌වෙනකං ලියනව. ඒක හැමදාම කරන්න බෑ. අපි බලමුකො....

      Delete
  3. මම නම් ඔක්කොම ටික එක පාරට කියවල දැම්ම. කතාව එලකිරි වගේ යනවා. දිග කතාවක් ලියන්න තියෙන අමාරුව මේ දවස් වල මටත් දැනෙනවා හෙහ් හෙහ් .. ඒ හින්ද මම ලියන්න බල කරන්නේ නැහැ .. හැබැයි ඉතින් දැන් ඔක්කොම කියවපු හින්ද වැඩි කල් බලාගෙන ඉන්න නම් අමාරුයි ගොයියෝ...

    ReplyDelete
    Replies
    1. හරි හරි පැත්තා. කතාව එලකිරි වගේ ගළාගෙන යනවද කියලා මට සෑහෙන කුකුසක් තිබ්බා. ඒ සැකය පහ කළාට පිං. මම අද රෑ ඉඳල ඉතුරු ටික ලියනව. ඉක්මණට ‌දෙන්නං....

      Delete
    2. අලුත් එකත් එක්කම දෙවෙනි කොටසේ යටින් තුන්වෙනි කොටසටයි , 4 ඉඳල පහටයි එන ලින්ක් එකත් හදපන් . එක දිගට කියවගෙන යද්දී යටින් ඊළඟ කොටසට ලින්ක් එකක් තියෙන එක හෙන ලේසියි.

      Delete
    3. ඔන්න හැදුවා පැත්තා.... ඒක මං දිගටම කරගෙන යන්නං.

      Delete
  4. Replies
    1. බොටත් ජයවේවා! ‌මේ දවස්වල විවේකයක් නං නැතුව ඇති?

      Delete
  5. බහිරව කන්දේ ළමයින්වත් බිළි දීලා තියෙනවා කියලා ජනකතා වල තියෙනවා. කාෂ්මීරයේ මිහිරකුල කියලා රජෙක් ලංකාවට ඇවිල්ලා මෙහෙ රජ්ජුරුවන්ව මැරුවා කියල රාජතරංගනියේ තියෙනවා.[ඔය කිව්වට ප්‍රාදේශීය පාලකයෙක් වෙන්ට ඇති] ඒ ආවේ එයැයිගෙ බිසවගෙ හැට්ටේ රජතුමාගෙ පා සලකුනු තියෙන ලංකාවෙ මහපු එකක් නිසා. ලංකාවට ඇවිල්ලා කාල බහිරව කියලා පිලිමයක් තියලා දවසගානෙ හමුදාවෙ හිස් 108ක් පූජා කරන්න ඕන කියල නියෝගයක් කරලා තියෙමවා. සමහරවිට උඩරට බහිරව පූජා වල මුල ඒක වෙන්නත් පුලුවන්...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මිථිල. මට ඒ තරම් විස්තර තිබුණෙ නෑ මේක ලියද්දි. අර දුනුවිල නිළමෙයි, එයාගෙ කුමාරිහාමියි ගැන අහපු පොඩි විස්තරයක් තමා මම වෙනස් කරල මේ කතාවට ඇතුල් කළේ.

      තව ඉතිං අභයගිරියෙ බහිරව දේවාල විදිහට භාවිත වන මුරගල් දෙකත් ඔය වගේම කුතුහලය අවුස්සන කාරණා තමයි.

      ගොඩක් ස්තූතියි. මේ කාලෙ තියෙන වැඩවල හැටියට ප්‍රාමාණික අධ්‍යයනයක් කරන්න අමාරුයි. ඔයාලගෙන් ලැබෙන මූලාශ්‍රයක් තමයි ඉතිං....

      Delete
  6. ඒක නෙමේ ඔය ෆොන්ට් සයිස් එක කීයද... හදාගන්නෙ කොහොමද... මගෙ පොල්ගෙඩි වාගෙ ෆෝන් එකෙන් බලනකොට...

    ReplyDelete
    Replies
    1. මටත් ඒ තරං තේරුමක් නෑ. ෆොන්ට් සයිස් වැඩියි තමා. මං හදන්නං....

      Delete
    2. නෑ නෑ ඩ්‍රැකී... ඔයාගෙ බ්ලොග් එකේ ෆොන්ට් සයිස් නියම ගාන... මම කිව්වෙ මගෙ බ්ලොග් එකේ පොල්ගෙඩි වාගෙ කියල... ඔය සයිසට ගන්නෙ කොහොමද...

      Delete
    3. www.Blogger.com ගිහින්, වම් පැත්තෙ තීරුවෙ Theme ගිහින්, customise ගිහිං, එතන Advanced ගත්තම text sizes වෙනස් කරන්න පුළුවන්. පොඩ්ඩක් බලන්න.

      Delete
  7. මුලේඳලම කියෝගෙන එඤ්ඤං ආය. එතකල් ටෝච් එකක් එහෙම ලෑස්ති කරල තියාගනිං.

    මීට,
    කොරෝனයා.

    ReplyDelete
    Replies
    1. උඹ ‌කොහෙද මකබෑවෙලා හිටියෙ? ‌කොටස් ගාණක් මගෑරිලා....

      කොරෝනයා.... හැක්!

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි