Thursday, January 14, 2021

අවසානයක් නොවේ - 26

"...මේ රට ඇතුළෙම ක්‍රියාත්මක වෙනවා, රටේ තියෙන සම්පත් සූරාකන, එහෙම නැත්තම් උකහාගෙන විකුණන, එහෙමත් නැත්තං විනාශ කරලා දාන කීප දෙනෙක්. අර අද අපි පස්සෙන් ආවෙ එහෙම එක්කෙනෙක්...

"ඉතිං ඇයි ඔයාලා එයාලව අල්ලලා නඩු දාන් නැත්තෙ?"

"අපි කාලෙකට කලිං ඒක උත්සාහ කළා. ඒත් නඩු කියන්න සාක්ෂි හොයන්න වෙනව. ඒ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරන්න වෙනව. අර වගේ සූක්ෂ්ම හතුරො එක්ක ඒක කරන්න බෑ. ඒගොල්ලො දෙයක් කරන්නෙ සාක්ෂි ඉතුරු කරලා නෙවෙයි. බලන්න, අර ඔයාට ඊයෙ රෑ අපි එවපු ඊමේල් එක දැනගෙන තමයි අද අර එළවලු කඩේ පිපිරෙව්වෙ අර ගොල්ල."

පළමුවෙනි කොටස

තුන්වෙනි කොටස

විසි පස්වෙනි කොටස

සුභාෂ් ගේ දෙතොල වෙව්ලීය... කිහිප මොහොතක් තිස්සේ ඔහු තම මුවින් හඬක් පිටකරගැනීමට, සිතුවිලි වචනවලට පෙරළා ගැනීමට ආයාස ගත්තේ ය.

"ඒ කියන්නෙ... ඒ අය මාව මරන්නද හැදුවෙ?"

තාරා සිය හිස සෙමෙන් සිරස්ව චලනය කළා ය. 

"ඒ විතරක් නෙවෙයි සුභාෂ්..." ඈ භෝජනාගාරයේ කවුන්ටරය පිටුපස සවි කර තිබූ රූපවාහිනිය දෙස බලන ලෙස ඔහුට හිසින් සංඥා කළා ය.

රූපවාහිනියේ ශබ්දය භෝජනාගාරයේ සිටින්නන් හට කරදරයක් නොවන පරිදි අඩු කර තිබුණි. එහි දිස් වූයේ, තරුණයන් දෙදෙනා මීට මද වේලාවකට පෙර සිටි රේල් ගේට්ටුව අසළ දර්ශනයයි. එළවලු කඩයේ ඉදිරිපස මුළුමණින්ම විනාශ වී... දුම් දමන සුන් බුන් ගොඩක් බවට පත් වී තිබෙන අයුරු එහි පිළිබිඹු විය. 

"...ගෙළිඔය ප්‍රදේශයේ හදිසි අකුණු පහරකින් වෙළෙඳ සැලක් සුන් වෙයි..." රූපවාහිනී තිරයේ පහළ ක්ෂණික පුවත් තීරුවේ සටහන් වී තිබුණි. 

සුභාෂ් ගේ පුළුල්ව විවර වූ දෑසේ සටහන් ව තිබූ විමතිය තාරා ගේ දෙනෙතට ලක් විය. 

"අකුණක්?"

"ඒක තමයි." තරුණිය පහත් හඬින් කීවාය. "...ඔයා පස්සෙ එලවන්නෙ ලේසි පාසු උදවිය නෙවෙයි."

"අකුණක්? අකුණක් ගහන්න අහසෙ වැහි වළාකුලක්වත් තිබුණෑ?"

"හිමින් කතා කරමු..." ඈ නැවතත් තම සුරත මේසය හරහා දිගු කොට, ඇඟිලි තුඩින් තරුණයාගේ අත අල්ලා ගත්තා ය. ඇගේ ස්පර්ෂයෙන් සුභාෂ් නැවතත් සිහි එළවා ගත්තේ ය.

"දැන් මම මොකද කරන්න ඕනෙ? අපේ ගෙදරටත් කරදරයක් වෙයිද?"

"නෑ සුභාෂ්... අපි ඒ සේරම බලාගන්නම්. ඔයා මාත් එක්ක යන්න දැන්ම එන්න. මම ගෙදරට පණිවිඩයක් යවන්නම්... දැන් ඔය ෆලූඩා එක ඉවර කරන්න. අපි මෙතන හිටිය කාලය හොඳටම ඇති."

තරුණයා අයිස් ක්‍රීම් දියවී ගිය ෆලූඩා වීදුරුව පානය කළේ, පිපාසයට දිය බොන්නාක් මෙන් ශීඝ්‍රයෙනි. 

"මාත් එක්ක එන්න..." තරුණිය නැඟිට කවුන්ටරය වෙත ගියා ය, පිටුපසින් එන ධනසේකර තරුණයා ද සමඟ... අයකැමි ට පිටුපසින් සවිකර තිබූ ආරක්ෂක කැමරාව දෙසට හිස ඔසවා හොඳින් බැලූ ඇය, මුදල් ගෙවා සුභාෂ් ද කැටිව දොරෙන් එළියට පියවර නැඟුවා ය.

ඔවුන් දෙපළ රතු මස්ටෑං රථයට ගොඩවී දොර වසා ගනිත් ම, පාරේ දෙපසින් ම වේගයෙන් පැමිණි රෝයල් එන්ෆීල්ඩ් බයික් දෙකක් භෝජනාගාරයේ රථ නැවතුම් අංගනයට ඇතුල් විය. ඉන් එකක වූයේ අත් නැති හම් ජැකට්ටුව ඇඳ සිටි උස මහත තරුණයා බව සුභාෂ් නෙත් කොණින් දුටුවේ ය. එකෙණෙහිම මෝටර් රථය පනගැන්විණ. යතුරු පැදි කරුවෝ බයික් නතර කොට, බසිද්දී, තාරා අත්ල සුක්කානම මත තබා කරකවමින් ශීඝ්‍ර ලෙස කාර් රථය වම්පැත්තට හරවමින් පාරට ඇතුල් කර, වැලිගල්ල දෙසට වේගයෙන් ධාවනය කරන්නට වූවා ය. ඒ දෙසට දිව ආ යතුරුපැදි කරුවෝ දෙදෙන, පාර අයිනේ නැවතුණහ. පාරේ ඈත දුහුවිල්ලෙන් වැසී යමින් තිබූ රතු පැහැ මෝටර් රථය, වංගුවත් සමඟ නොපෙණී ගියේ ය. එකිනෙකා වෙත හිස සැලූ දෙදෙනා, නැවතත් යතුරු පැදි වෙතට පිය එසවූ හ.

*    *    *

දා හත් වන සියවසේ දී, මිනිසුන්ගේ අවධානයට ලක් නොවී වේගයෙන් රිය හෝ අසු ධාවනය කරමින් සතුටු වීමට හැකියාවක් සිංහලේ රාජධානිය තුළ තිබුණේ නැත. කන්ද උඩරට භූ විෂමතාව මෙන්ම, රාජධානියේ ආරක්ෂාව තකා මං මාවත් පුළුල්ව ඉදි නොකිරීමේ සම්ප්‍රදාය ද ඊට බලපෑ තවත් කරුණු විය. එහෙත් සැන්දෑවේ මහනුවර ප්‍රධාන වීදිය දිගේ ධාවනය වූ අසුගේ සැළකිය යුතු වේගයක් තිබුණේ ය. අසු කුර ගැටෙන හඬ කණ වැකුණු පදිකයන් පාරෙන් ඉවත් වී විමසිල්ලෙන් බැලුවේ අසරුවා ගේ හැඩ හුරුකම ය. 

උසැති අසරුවා ඇඳ සිටියේ නිල් වන් ප්‍රංශ නාවික ඇඳුම ය. ඔහුගේ වැවුණු රන්වන් කෙස් වැටිය අසු උස් පත් වන රිද්මයට ම හිස පිටුපසින් සැලෙමින් පැවතිණ. නාවුක කබායේ රිදී පැහැ බොත්තම් ද, බඳ පටියේ වම් පසින් එල්ලුණු අද්මිරාල් ධූරයේ සම්මානිත කඩුපත ද බැසයමින් පැවති ලා රත් පැහැ හිරු රැසින් දිළිසුණි. එපරිද්දෙන්ම ඇඩම් ගේ සිතෙහි ප්‍රබෝධය ද, නොඉවසිලිමත්බව ද පිරී තිබුණේ ය.

"තොප වෙත පැවරුණු පළමු රාජකාරිය ම ඉතා මැනවින්, ඉතා උනන්දුවෙන් සහ කැපවීමෙන් ඉටු කිරීම අප අගය කරනවා..." යි රාසිං දෙවියෝ රාජසභාවේ දී ඔහු අගැයීමට ලක් කළේ ඊට අඩ හෝරාවකට මත්තෙනි.  "... ඕලන්දක්කාරයන්ගේ සීමාව ට ඉතා ආසන්න තැනකටයි තොප යැවුණේ. එතැනදී අනවශ්‍ය අවධානයට ලක් නොවී, ඉතා සූක්ෂ්ම ලෙස මේ රාජකාරිය ඉටු කරවාගෙන පැමිණීම අප විශේෂයෙන් අගය කරනවා..."

ධනසේකර වළව්වේ කඩුල්ල පැන්නවූ කළුවන් අශ්වයා දුටු ටිකිරි බණ්ඩාර ගෙතුළට වැදුනේ නාවුකයාගේ පැමිණීම සිය පියාට සැළකිරීමට ය. ඇතුලු ගැබෙහි කතා බහ අසා සිටි තරුණ කුමාරිහාමි ද සිය මව පිටුපසින් ආලින්දයට ඇදී ආවාය. වළව්වේ ගෝපුර අසළට අසරුවා ළඟා වෙද්දී අසු කුර හඬ ආළින්දය පුරා දෝංකාර දුන්නේ ය. 

ධනසේකර පවුලේ ඇත්තන් තමන් පිළිගැනීමට ඉතා උද්යෝගයෙන් සිටින බව ඇඩම් වටහා ගත්තේ ඔවුන්ගේ සිනාමුසු මුහුණු සහ ඉරියව්වලිනි. ධනසේකර කුමාරිහාමි ගේ රත්පැහැ ගැන්වී ආ දෙකොපුල් සහ බිමට හැරවුනු දෙනෙත් දකිත් ම, නාවුකයාහට සිය දෑත් දෙපා අවසඟ වී යන්නාක් මෙන් හැඟුණේ ය. 

*    *    *

"මම කොහෙත් ම කැමති නෑ මගෙ වැඩ ගැන කවුරුවත් ඔත්තු බලනවට" අග්නි ගේ මුහුණේ සෑම අඟලකින් ම ප්‍රකාශ වුණේ අප්‍රසාදයයි. 

ශෛලමය බිත්ති වලින් සැදුනු ශාලාවේ බිම එළන ලද පළස් මත සිව් දෙනා මුහුණට මුහුණ ලා වාඩි වී සිටියහ. ඔවුන් මැද වූ බටපොතු වට්ටි කිහිපය පිරී තිබුණේ විවිධාකාර පළතුරු, උක් දඬු, විළඳ සහ කැවිලි වලිනි. 

"අපි වාඩිලාගන්න තැන පවා කලින් සැළසුම් කරගෙන තිබුණෙ. ඒක ගැන දන්නෙ අපි හතර දෙනා විතරයි. ඒ පළාතෙ වැද්දො නෑ. කාලෙකට ඉහත පරංගි ඔත්තුකාරයො ගැවසුණු නිසා වැද්දො ඒ පළාත අතෑරලා ගිහින් සෑහෙන කල්. 

"අනික, ඒ ඔත්තු කාරයා හැසිරුණු හැටි! ඒ මනුස්සයා ගේ පියවර මට විතරක් නෙවෙයි, අර නෝර්ඩික් අද්මිරාල්ටත් දැනුණා... එහෙම අයද ඔත්තු බලන්න එවන්නෙ?"

සුමන සිය සුරත ඔසවද්දී අපේක්ෂිත තට්ටු කිරීමෙන් වැළකීමට මිත්‍ර සිය හිස ඇළින් කරගත්තේ ය. 

"ඒ රුද්‍ර..." මිත්‍ර කීවේ එක වරම ය. "එයා අකමැති වුණා අග්නි නොදැක ආපහු යන්න. මමයි එයාට කිව්වෙ අග්නි වාඩිලාගන්න හිතාගෙන උන්න තැන. මං හිතුවෙ නෑ ඔය වගේ දෙයක් කරයි කියලා..."

"රුද්‍ර කරන්නේ හිතාගන්න බැරි වැඩ තමයි. අවදානමක් ගැන කිසිම සැළකිල්ලක් නෑ. ටිකක් හිතල බලන්න එයා ඉන්න හැටි... ශක්ති ත් එයාටම ගැළපෙනවා..."

"අග්නි ගේ වාර්තාව ඉවර නම්..." ඉන්ද්‍ර සිය හඬ අවදි කළේ කාන්තාවගේ දෝෂාරෝපණයේ කෙළවරක් දැකීම ඉතා ඉක්මණින් අපේක්ෂා කළ නොහැකි බව වැටහීමෙනි. "අපි ඉස්සරහට කරන දේ ගැන කතා කරමු."

"අග්නි ඩ්‍රේක් ට කියා දුන්න ඉතිහාස කතන්දරය ප්‍රමාණවත් කියල මට හිතෙනව." සුමන කීයේ ය. "ටිකිරි බණ්ඩාර මඟින් අපට දැනගන්න පුළුවන් ඒ කතාව ඔහුගේ ගවේෂණයට බලපාලා තියෙන තරම. මුතු මැණිකේ කුමාරිහාමි බේරාගැනීමත් එක්ක ටිකිරි බණ්ඩාර ඩ්‍රේක් එක්ක බොහොම කුළුපග වුණා. අනුමානයක් නැතුව ම ඖෂධ ගැන තමන්ගෙ කුතුහලය සංසිඳුවා ගන්න ඔහු ටිකිරි බණ්ඩාර වෙත හැරෙනවා. මිත්‍ර ට පුළුවන් ඒ දෙපළ ගැන සෝදිසියෙන් ඉඳලා තවදුරටත් කරුණු දැනගන්න." 

"...එහෙම එකක් කොහෙද තියෙන්නෙ? ඒක සිංදිබාද් ගොතලා හදපු කතාවක් නේ..."

https://cdnb.artstation.com/p/assets/images/images/001/421/527/large/galina-levchenko-126-southelephantgraveyard.jpg?1446125106

මිත්‍ර හිස සළමින් එකඟතාව පළ කළේ ය. "ඒ වගේම, ඩ්‍රේක් අග්නිට යි අපටයි කියාපු කතාව ඇත්තද කියන එකයි, ඔහු අපට නොකියාපු දේ කොපමණ තියෙනවාද කියන එකයි ත් දැනගන්න පුලුවන් වෙයි. ඒ අතරෙ මම තව යෝජනාවක් කරන්න කැමතියි...

"පාරාදීසයේ උල්පත හොයාගෙන ආව අලුත්ම ආගන්තුකයා ට... මට හිතෙනව, ඒක ම හොයාගෙ ආව මුල්කාලීන සංචාරකයෙක් මුණගැස්වීම හොඳයි කියලා. මොකද හිතන්නෙ මී ළඟ රාජකාරිය විදිහට අලි ඇතුන්ගේ සුසාන භූමිය සොයාගන්න පවරමු ද?"

"එහෙම එකක් කොහෙද තියෙන්නෙ?" ඉන්ද්‍ර ඇසී ය. "ඒක සිංදිබාද් ගොතලා හදපු කතාවක් නේ."

"ඔව්. නමුත් මේ ලංකා දීපයෙ අපි නොදන්න තැනුත් තියෙන්න පුළුවන් කියන අදහස ඩ්‍රේක් ගෙ ඔලුවට දාන්නත්..." මිත්‍ර සිය වමතේ ඇඟිලි එකිනෙක දකුණතේ දබරැඟිල්ලෙන් නවමින් කියාගෙන ගියේ ය. "...සාහිත්‍ය දත්ත ඔහු කොයිතරම් ගැඹුරට අධ්‍යයනය කරනවාද කියා දැනගන්නත්, ඒ වගේම අපි ඔහුගේ සගයා සහායට ලබා දෙමු... එතකොට ටිරෙල් ඕඩින්සන් ගැනත් යමක් අපට දැනගන්නත්... පුළුවන් වෙයි."

"ඔය අදහස රාජසිංහ රජතුමාගේ හිතට ඇතුල් කරන්න නම් පුළුවන් වන්නේ යම, නුඹට ම තමා." ඉන්ද්‍ර, සුුමන ගේ දෑස්  දෙස කෙළින් බැලුවේ ය. "රණ ශූරයෙක් හැටියට නුඹ ලබාගෙන තියෙන කීර්තිය ත්, රාජ ප්‍රසාදයත් එක්ක එතුමා ගළගොඩ නිළමේ ගේ අදහස්වලට ලේසියෙන් ම එකඟ වෙනවා. නමුත්, අපි උවමනාවට වඩා දේ ඉල්ලනවා කියා එතුමාට නොසිතෙන හැටියකට කරන්න පුලුවන් නම් මම එකඟයි."

"අපි මුලින් ම පොත පතේ තියෙන දේ එකතු කරලා සොයා බලන්න පවරමු. රජතුමාටත් ඒ එක්කම අදහස ලබා දෙමු. ක්ෂේත්‍රයට යැවීම ඊට පස්සෙ කරන්න පුළුවන්. එතකොට ටිරෙල් ගැන කතා කරන්න ටික කාලයක් තියෙනවා." සුමන මිත්‍ර දෙස බලා, අග්නි දෙස නෙත් කොණින් බැලී ය. "කුරුඳු ළිහිණි රාජකාරියේ සාර්ථකත්වයත් එක්ක ම මේ කටයුත්තත් අග්නි ම ඉටු කිරීම හොඳයි කියලා මම හිතනවා."

තරුණිය ගේ තියුණු බැල්මෙන් මිදීමට සුමනත්, මිත්‍රත් ඉන්ද්‍ර දෙස බැලූ හ.

"ඔතන තියෙන අවදානම නුඹලාට පේන් නැද්ද?" අග්නි ගේ කටහඬෙ හි පාලනය කරගත් වේගවත් බවක් විය. "ඇත් සොහොන ගැන ලියවිලා තියෙන දේත්, කටකතාත් හැම එකක ම සඳහන් වෙන්නෙ සිරිපාද අඩවිය ගැන..."

 

27 කොටස...

26 comments:

  1. මරු මරු කතා එක දිගටම ඈඳෙනවා
    සත්තයි නිසොල්ලාසය පැරදිල යනවා
    ඇත් සොහොනිනුත් ජය ගෙන මේ සුරවිරුවා
    දිවා ගුහාවට ගෙනියනවද හිතුවා!

    ReplyDelete
    Replies
    1. ඔය අදහස්වලින් කතාව හැඩ වෙනවා
      තව ඉදිරියට ලියනට අදහස් එනවා
      සිිංබාදුයි බුදුනුයි ගැන ගළපනවා
      ලියන්ට කල් යල් බලමින් පසු වෙනවා

      Delete
  2. දැන්නම් මට මේක කියවනකොට මතක් වෙන්නෙ Michael Crichtonගෙ Time Line. මේ දෙකම කාලපරාස දෙකක් අතර යන හින්ද වෙන්න ඇති මෙහෙම හිතුනෙ. කතාව හොඳයි. චිත්‍රපටියක දර්ශන සිහිගන්වනව.

    ReplyDelete
    Replies
    1. ඔව් අපෙ හාමුදුරුවනේ. මට මතකයි ඒ් වගේ කතාවක ෆිල්ම් එකක් ගැන... නමුත් මයිකල් ක්‍රික්ටන්ගෙ නෙවෙයි. සමහරවිට ඒ්කෙ ආභාෂය ලැබෙන්න ඇති. පොත ගැන ඔත්තුවට ගොඩක් පිං.

      Delete
    2. /Michael Crichtonගෙ Time Line// ඒ වගේ තමා හැබෑටම . මාත් ක්‍රික්ටන් ෆෑන් කෙනෙක්. පොත් හතර පහක්ම තියනවා.

      Delete
    3. ඒකනෙ... මං ආසම 13th warrior

      Delete
  3. https://www.houseofnames.com/tirrell-family-crest

    ReplyDelete
    Replies
    1. කතාවෙ තුන්වෙනි කොටස ලියද්දි ස්කැන්ඩිනේවියන් නම් හෙව්ව, අද්මිරාල්ගෙ කෲ එකේ අයට දාන්න. එතනිං තෝරගෙන කැබින් බෝයී ට දාපු නම ටිරෙල්. ඊට පස්සෙ කොටස්වලදි, පිච්චිලා මැරිලා, නැත්තං බයවෙලා දුවලා, ඉතුරුවුනේ ටිරෙල් විතරයි. ටිර් නැත්තං ටියර් කියන දෙවියන්ගෙ නමින් හදාගත්ත පුද්ගල නමක් කියල කියවන්න ලැබුණා. 25 කොටසේ ඔයාගෙ කමෙන්ට් එකෙන් තමයි ඔය අකුණු ගැන සම්බන්ධය හැදුනෙ...

      Delete
  4. Lokiත් එයිද?

    ඩ්‍රැකීට අල්ලලයයි මාවල් කොමික්ස්වල Eternals කතා. වැඩිපුරම ඔරිජින්ස් ගැන කෑල්ල.
    එක ස්ටෝරිලයින් එකක හුගක් pantheonsවල සාමාජිකයන් ඉන්නව. ග්‍රීක රෝම නෝර්ස් හා හින්දුවලට අමතරව අප්‍රිකානු, ජපන් , රතු ඉන්දියානු වගේ අයත්

    ReplyDelete
    Replies
    1. මටත් හිතයි එහෙම ලියන්න. ලංකාවෙම ඉන්නව විවිධ පැන්තියන්වල දෙවිවරු සහ යක්කු. හින්දු, ස්වදේශික, වැදි... දෙවිවරු+යක්කු හයිබ්‍රිඩ්, ඇයි සාන්තුවරු එහෙමත් ඉන්නව. කියවන්නන්ට නීරස වෙයිද, ඒකාකාරී වෙයිද කියන බය මිසක් නැත්තං අත දිගෑරල ලියනව...

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ඇත් සොහොන? හ්ම්... එහෙනං එහෙ අලි අවතාරත් ඇති නේද? දැන් වෙලාව රෑ දෙකහමාරයි. ඔහෙට කියන්න ඩ්‍රැකියෝ, මට එලියෙන් නීනියට කුංචනාද හඩක් ඇහුනයි කියහංකො?

    ReplyDelete
    Replies
    1. හෑ...?

      රුසියන් පොතක් තිබුණ නේද "කුඤ්චනාද" කියලා...?

      රෑ දෙකහමාර කියන්නෙ බස්සෙක්ට ගිණි මද්දහන නෙ.

      ඇත් සොහොනක් ගැන ඩිස්නි ලෑ "ලයන් කිං" එකෙත් තියෙනව

      Delete
    2. Golden Island - Dennis Clark
      (Translation රන් දිවයින)


      http://libuop.lib.pdn.ac.lk/cgi-bin/koha/opac-detail.pl?biblionumber=224533

      Delete
    3. ස්තූතියි ප්‍රා... මං මේ පොත හොයනව තකහණියක්... කියෙව්ව මතකයි කලිං. ඒ්ත් තිබුණු දේවල් මොනවත් මතක නෑ.

      Delete
  7. උඹට ඔය විදියට ඩ්‍රේක් ලව්වා තියෙන ඔක්කොම ෆැන්ටසි ගවේශනය කරවන්න පුළුවන්. ඒකත් නරක නෑ.. කවද හරි සීරීස් එකක් විදියට හදන්න තරම් කතා තියෙයි..

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඇඩමගෙ මුලු ජීවිතේම අර ඇලන් ක්වාටර්මේන් වගේ සීරීස් එකක් ලියන්ඩ බඩු තියෙනව. ඒ ගැන පස්සෙ... මට උවමනා මූ කොහොම හරි අර පරණ කතාවට ඈඳලා මේක මෙතනිං දැනට ඉවර කරන්න. (අහන්ඩත් සංතෝසයි නේද මේක ඉවර වෙනව කියලා...)

      Delete
    2. ඉවර කරන්ඩ.... පිස්සුද ? දැන් නේ පටන් ගත්තේ...

      Delete
    3. හපෝ... මේක ඉක්මණට ඉවර කරන්ඩ ඔ්නෙ. නැත්තං මගෙ මොළේ ස්නායු ගැට ගැහෙයි මේකෙ කරන්ඩ තියෙන ගැළපිල්ලට. පස්සෙ අතුරු කතා ලියන්ඩ බැරියැ අත දිගෑරලා...

      Delete
  8. පුදුමයි අර අඟහරුව මරන්න ප්ලෑන් කරන උං කෝච්චියක් පීලි පැන්නෙවුවෙ නැතුවා. මොකද ඌව මරන්න පුලුවං ලේසිම ක්‍රමේ ඒක තමයි මට හිතෙන විදියට. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔව්. මං ඕකව ළඟදිම මරණව මේ කතාවෙදි. අර පරණ ගල් අඟුරු කෝච්චිය ඉල්ලල තියෙන්නෙ සීජීආර් එකෙන්. ඒක හම්බුණාම පෙරළනව දෙමෝදර වගේ ඓතිහාසික තැනකදි. වන්ෂොට්!

      Delete
  9. ඔන්න කතාව තේරීගෙන එනකොට ආයි දැම්ම කොහාටද මන්ද, ආපහු මුල ඉඳන් කියවන්නද කියන්නේ, මම හිතුවේ අර තාරා දෙවඟන ඩ්රෙක් එක්ක සෙට් කියල. දැන් කුමාරිහාමි ලු. එක හිතක් හදා ගනින්කෝ

    ReplyDelete
    Replies
    1. ඉතිං හිතන්ඩකො. අජිත් අයියට දැනුණු දේම වෙන්ඩ බැරිද ඩ්‍රේක් ටත් දැනුණෙ, කුමාරිහාමි ගෙ මූණ දකින කොට?

      තාරා දෙවඟන ඩ්‍රේක්ට ගැළපෙනව, දෙන්නම මැරෙන දවස ඉතා ඈත නිසා, ඒ වගේම වීරත්වය අතින්. නමුත් තමන් වෙනුවෙන් මැරෙන්න ලෑස්ති පිරිමියෙක් ගැන කාන්තාවකගෙ හද පතුලෙ බුර බුරා නැගෙන ලෙංගතුකම අමතක කරන්ඩ පුළුවනෑ...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි