Friday, February 18, 2022

බිල්ලංගෙත් බිල්ලෝ හෙවත් විකී සහ ඩ්‍රැකී ගේ වික්‍රම

පහුගියදාක බකුස් තෙමේ ටිං ටිං ගැන සහ ටිං කටර් ගැන යමක් ලියමින්, මගේ චිත්‍රකතා ලෝලීත්වය ආපහු පුබුදුවන්නට සමත් වුණේ ය. එතනදී මට මතක් වුණේ සත්සිරි පත්තරේට සුසිල් ප්‍රේමරත්න ඇන්ද විකී ගේ වික්‍රම චිත්‍රකතාවයි. ටිං ටිං ගැන මෙලෝ අල බෝලයක් නොදන්නා පුංචි කාලේ දී පත්තරෙන් ලයිව් කියවන්නට යෙදුණු මේ කතාව මට මාර විදිහට හිතට අල්ලලා තිබුණු අතර, පස්සෙන් පහු චිත්‍රකතා පත්තර එකතු කරපු මිත්‍රයන් කීප දෙනෙක් ගාවම හෙව්වත් හොයාගන්නට බැරි වී තිබුණේ ය.


දෙදාස් පහළොවේ දී විතර එක පාරටම වෙබ් සයිට් එකක තිබී මේ විකී ගේ වික්‍රම කතාව පීඩීඑෆ් ගොනුවක් හැටියට බාගත කරගනන්ට හැකි වුණේ ය. ඒ කාලේ මං වැඩ කළේ ආණ්ඩුවේ මුද්‍රණාලයේ වුණු බැවින් (සහ ඒ කාලේ කඩදාසි යනු පඤ්ඤං වූ කාලයක් වූ බැවින්) මම ඒ කතාව සහ විලම්බීත ලන්තය කතාව ප්‍රින්ටවුට් අරගෙන පොත් හදාගෙන තිබූ බව මතක තිබුණේ ය.

මං උඩිම්පල්ලෙන් පොත් අල්මාරිය ඇවිස්සූ නමුත් ඒ පොත ආසාවට හොයාගන්නට බැරි විය. කොම්පියුටරේ යම් කිසි හාඩ් පාටිෂන් එකක මේ පොත හැංගී තිබෙන නමුත් දවස් දෙක තුනක් මහන්සි වුණත් හොයාගන්නට බැරි විය. 

බකුස් තෙමේ ජනෙල් එකොළෙහේ අලුත් අප්ඩේට් එකේ සෙවුම් යන්ත්‍රය දියුණු කර තිබෙන බව මේං මෙතන කියා තිබුණෙන් ආපහු මේ කතාව හොයාගන්නට තිබුණු ආසාව අලුත් විය. ඒත් කියන්නට සතුටුදායක කාරණය වන්නේ විද්‍යුත් මාධ්‍යයෙන් හොයාගන්නට බැරි වුණු එක හරියාකාර සොයා බැලීමක් පොත් අල්මාරියේ කර බැලීමෙන් පසුව භෞතික මාධ්‍යයෙන් හොයාගන්නට හැකි වීමය.

ඔන්න ඉතිං විකී ගේ වික්‍රම කඩදාසි මාධ්‍යයෙන් තිබූ පොත ආපහු පාරක් අද හවස ස්කෑන් හෙවත් පරිලෝකනය කර, යන්තං පීඩීඑෆ් ගොනුවක් කරගන්නට හැකි වුණේ ය.

ඒක මේ ලිංක් එකෙන් බාගන්නට ය.

විකී ගේ වික්‍රම තනිකරම ටිං ටිං ශෛලියෙන් ලියපු සහ ඇඳපු කතාවකි. සරළ හාස්‍ය මෙන් ම ඇඩ්වෙන්චරයද කුතුහලය ද පිරුණු කතාවකි. කතාවේ නමින් ම පෙනෙන හැටියට විකී ගේ වික්‍රම නමින් කතා මාලාවක් හදන්නට සුසිල් මාමා හිතාගෙන උන්නාට සැක නැති නමුත්, මා දන්නා විදිහට මේ කතාවෙන් පසු විකී ගේ වෙනත් කිසිම කතාවක් උන්නැහැ ඇඳ නැත.

අසූ ගණංවල හැටියට මේ කතාව ටිං ටිං ගේ ලංකා අනුවාදයක් විදිහට බොහොම සාර්ථක එකකි. ඔන්න ඉතිං රසවිඳින්න යැයි ආරාධනා කරමින් මගේ වචන සුවල්පය මෙයින් අවසන් කරනවා ය. කියවන්නට පැමිණි තමුන්නැහැලාට ඉස්තූතියි ය.

57 comments:

  1. මේක නං සමාජ සත්කාරයක් ඩ්‍රැකියො. අනෙක් අතට නැතිවෙලා යන කලා නිධාන සංරක්ෂණයක්. 🙏👌😊

    ReplyDelete
    Replies
    1. සංරක්ෂණයක් නං තමා. අනික, මම කිසි දෙයක් අතාරින්නැතුව දෙන්න දෙන්ඩ පුළුවන් දානයක්. ඉලෙක්ට්‍රොනික් මාධ්‍යයේ තියෙන විශේෂත්වය ඒකයි.

      Delete
  2. ඒ කියන්නෙ ලාංකීය ටිං ටිං.....නෙ

    ReplyDelete
  3. අපේ තට්ට මහත්තයා කිව්වා, "ටෝනිගේ වික්‍රම" කියල කතාවක් ගැනත්. මට යාන්තමට මතකයි, කතාවෙ "සුදූ" කියලා බල්ලෙක් හිටියා. ඌත් නියම ගේම් දෙන සතා. මේ කතාවෙ බල්ලෙක් නැති නිසා, මට මතක අනිත් කතාවද මන්දා?

    කොහොම වුනත්, නිකං උන්න අපට අහල ගියත් මඳෑ?🙏👌🤣

    ReplyDelete
    Replies
    1. ඔව්. තට්ටයිය තමා කිව්වෙ. නිදිටත් එහෙම එකක් මතකයි කිව්ව හැට ගණංවල.

      මේ කතාවෙ ඉන්නෙ ගිරවෙක්. ඒ වගෙ ම අසූ ගණංවල ඉතා නූතන අදහසක් වුණු ප්ලාස්ටික් සර්ජරිත් තියෙනව. ඒ වගෙම විකීගෙ වයිෆ් ත් ඉන්නව. ටිං ටිං නං තනිකඩයනෙ.

      Delete
  4. ටිං ටිං ලයිට් :D
    තැන්කූ ඩ්රැක්!

    ReplyDelete
  5. ඒ කාලෙම ටිං ටිං එක පරිවර්තනය වෙලා. මාරයි. මම අවුරුදු දෙක තුනකට කලින් පරිවර්තන රයිට්ස් ඉල්ලුව ලැබුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. නෑ ලොකු අයියෙ මේක නං පරිවර්තනයක් නෙමෙයි. අනුවර්තනයෙන් හදාපු කතාවක්.

      Delete
  6. කිසිම ලෝබකමකින් තණ්හා නැතිව
    තමන්ගේ නිධන් රැක ගන්නේ නැතිව
    මෙලෙස දීම ගැන තුති පුද දී තුටුව
    පතමි පිරෙන්නට පොත් තියෙනා අටුව!

    ReplyDelete
    Replies
    1. තමන් ගෙ දේ අත්හරින්න
      වෙන්නෙ නැතුව බෙදාගන්න
      හැකි විදිහක් තිබෙයි මෙතන
      ඉස්තූතියි එ'පැතුම ගැන

      මං මේ ලෙස බෙදාගත්ත
      එක එතරම් ‌කජ්ජක් යෑ
      ඔබ මට දුන් පොත් කන්දට
      පිං දී ඉවරක් වෙයි යෑ

      Delete
  7. මමත් ඒ දවස් වල ලංකාදීප එකේ ගිය චිත්‍රකතා එකතු කරල හදපු පොත් දෙකක් තියං හිටිය. නමුත් යම් යම් අවුල් සහගත කාලයන් එනවනේ. ඒ වගේ කාලෙක අස්ථානගත වෙලා මිසිං වෙලා. අදටත් ඒ සෙට් එකේ තිිබ්බකතාවක් මතකයි. ඇලන් ක්වාටමේන් එකේ අනුවාදයක් ඒක. නයෝමි කියල
    මුලින්ම ඇලන් ක්වාටමේන් ගැන දැනගන්නත් කලිං කියව්ව ඇලන් ක්වාටමේන් පොතක චිත්‍රකතාවක් 😃😃😃

    ස්තූතියි ඩ්‍රැක් 🙂🙂🙂 මේක බාගන්නං ❤️

    ReplyDelete
    Replies
    1. මට නං වාසනාවට ඇලන් ක්වාටමේන් සිංහල පොත් කියවන්න ලැබුනා. ඇලන්ගෙ නඩයෙ ඉන්න "ගුඩ්" ලව්සික් ගහලා රෑ ජාමෙ සිංදු කියන්න ගන්නවා. ඇලන් ගොයියා, එල්ලෙ බලල අරිනවා සපත්තුවක් සද්දෙ එන පැත්තට. ඒ සිදුවීම ලස්සනට ලියල තිබ්බා කියල මතකයි.

      ලව්පූස්ගෙ බුකියෙ ප්‍රේම විලාපයත් ඒවගේ තමයි. එල්ලෙ බලල සපත්තු බස්නෙ දුන්න නං.....

      Delete
    2. මහේෂ්,
      හ්ම්. මං දන්න කාලෙක නං ලංකාදීපෙ ගියෙ "දයිගල මහත්තයා" වගේ කතා. ඇලන් ක්වාටමේන් ගෙ කතා හැටියට මං කියවල තියෙන්නෙ රත්නාගාරය විතරයි. ඒක කියවපු කාලෙ හිතුණා, මේ මොන මළ සමයමක්ද කියලා. පස්සෙ තමයි ඒකෙ තියෙන ෆැන්ටසි රස දැනුණෙ.

      බකස්, ලව්පූස් කිව්වෙ ඉවාන් ලව්පූස ද?

      Delete
    3. ඇලන් ක්වාර්ටමන් චරිතයක් විතරයි. (නිවැරදි කරුණු ලියා තියන එක වැදගත් නිසයි කියන්නේ.)

      රයිඩර් හැගාර්ඩ් තමයි ඒ පොත්වල කතුවරයා. එයාගේ ෂී, ෂී රිටර්න්ස්, පොත් දෙක කියවලා බලන්නම වටිනවා. මම නම් කියෙව්වේ අරිවර්තනයන්. අයේෂා හෙවත් නොනැසෙන රැජිණිය, අයේෂා ආපසු එයි. තව පොත් ගොඩක් තියෙනවා.

      Delete
    4. //ලව්පූස් කිව්වෙ ඉවාන් ලව්පූස ද?//

      ආයෙ වෙන කව්ද? වන් ඇන්ඩ් ඔන්ලි, යුවර්ස් ටෲලි තමයි.
      රයිඩර් හැගාර්ඩ්ගෙ පොත් වලට කැමති අයට:
      Congo 1995

      Delete
    5. මං එක කොංගෝ එකක් කියවල තියෙනව, මයිකල් ක්‍රික්ටන් ගෙ. මේකත් කියවන්නං. ඉස්තූතියි.

      Delete
    6. නිදි,
      ඔව් ඔව් ලොකුස්. මං අර උඩ කිව්වෙ, අර, "ෂර්ලොක් හෝම්ස් කතා" ‌වගේ කියමනක්.

      Delete
  8. ආර්ට් වර්ක් සහ රූපවල ලයින්ස් Tintin සහ Joe,Zette & Jocko චිත්‍රකතා වගේමයි. කතාවත් ඒ ආභාෂයෙන්. Herge ගෙ ස්ටයිල් එක පැහැදිලි රේඛා ( clear line, මං හිතන්නෙ ප්‍රංශ වචනයක් තියනවා ඒකට. ඒකෙ පුරෝගාමියා Herge). පොඩි වෙනසකට තියෙන්නෙ Hergeට වඩා පොඩ්ඩක් ශේඩින් තියනව. මේවා කලර්වලින් කලානම් කොහොමට වෙයිද කියල මට හිතුනා. Herge නම් shading, fading, darkening නැතුව එකම කලර් ශේඩ් එක තැනට එන විදිහට කලේ.

    ReplyDelete
    Replies
    1. https://en.m.wikipedia.org/wiki/Ligne_claire තමයි ස්ටයිල් එක

      Delete
    2. Thank you very much Count Dracky.

      Delete
    3. අහා! Ligne_claire- ලීන්‍ය ක්ලෙය
      මම මේ ඉට්ටැයිල් එකට පට්ට ආසයි. shading, fading, darkening නැති ඒත් සරල රේඛා චිත්‍රවලින්, හැඟීම් නියමෙට මතුකරන ක්‍රමයක්. පස්සෙ ආපු ටිංටිං චිත්‍රපටියෙ අවුල දැන් තේරෙනවා. සිබිල් වෙත්තසිංහ නෝනගෙ තිබ්බෙත් ඒ වගේ පැතලි රටාවල් නේද? තව ඩ්‍රැකියා දාපු පරණ ඉස්කෝල පොතක කවරෙ තිබ්බා, ඔහොම රේඛා චිත්‍ර රටාවක්. හැබැයි ඒක හතරැස්, පෙට්ටි ආකාරයේ ක්‍රමයක්.

      දීපු ලින්ක් දිගේ ගිහින්, සෑහෙන දෙයක් දැණගත්තා. ස්තූතියි.

      Delete
    4. ඔව් බස්තුමනි. ටිංටිං චිත්‍ර ස්ටයිල් එකේ තියනව calm attraction එකක්. විශේෂයින් උද්‍යාන, මන්දිරවල වත්ත, මන්දිර ඇතුලත, ගොවිබිම්, countryside, village centres, ගස්වැල් සහිත පාරවල් වගේ සීන්ස්වලදි.
      සිබිල් වෙත්තසිංහ චිත්‍රවලත් clear & thick lines සහ ශේඩින් නැතිඑක ඒ වගේ තියනව. ඒත් ඇයගේ සිග්නේචර් ස්ටයිල් එක flowing & rounded (not angular ) රූප.

      මගෙ පොඩි කාලෙ (ඒක ඉවර වෙන එකකුත් නෙමෙයි වගේ ඇත්තටම ) මතක හිටින විදිහට ආස චිත්‍ර ස්ටයිල් දෙකක් තිබුන. ඔය පැහැදිලි ලයින්ස් සහ පාට එක ටිංටිං.
      ශේඩින් ස්ටයිල් එකේ ස්පිට්ල්/ඒ.පී.ගුණරත්න මැකී ගිය දඩමං හා වන සරණ , විලාඩ් ප්‍රයිස්ගෙ ඇඩ්වෙන්චර් සීරීස් එක සහ හුගාක් ආටිස්ටික් රෝස්මරී සට්ක්ලිෆ්ගෙ වයිකින් හා බ්‍රිටිශ් කතාවල චිත්‍ර.
      ඒ ආර්ටිස්ට්ස්ලගෙ නම් හොයල බලන්න ඕනෙ.
      (ඔබතුමා හොද සර්ච් එන්ජින් එකක් ගැන ලිව්ව නේද? කොහෙද ඒවායේ ටැක්නිකල්බව මගෙ හිසට උඩින් යන කපුටාස්ටත් උඩින්නෙ)

      Delete
    5. බස්තුමා, කවුන්ට් හෝ වෙනත් අය ඉන්ටරෙස්ටඩ්ද දන්නෙ නෑ ඒත් මං ඉන්ටරෙස්ටෙඩ්නෙ. හොයාගත්ත.

      මැකීගිය දඩමං - Gordon Davey

      Willard Price Adventures - Pat Marriott
      මං ඉස්සර ඒ පොත්වල පොඩි ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍රූප බලාගෙන ලොකු චිත්‍ර (line drawing විතරයි පුලුවන්) අදිනව.

      වයිකිං සහ ඒ වගේ අයිතිහාසික පොත්වල චිත්‍ර - Victor Ambrus & Charles Keeping.
      Keepingගෙ චිත්‍ර මතක හිටින හුගක් artistic සමහරවිට disturbing ඒවා. බස්තුමා ආසනම් ඉමේජ් සර්ච්කරල බැලුවෑකි.

      Delete
    6. ආසද කියලත් අහනවා? මේ යනවා ඉතුරු ටික හොයන්න.👌🙏😊
      ඉස්සර, කෙහෙල් කොටුවෙ පොඩි මහත්තයාගෙ සිත්තර වලත් ඔය ශෛලිය තිබුනා.

      සර්ච් එන්ජින් නම් ඉතිං ගූගල්ට වඩා විකල්පයක් නෑ. ඒත් සර්ච් කරන ආකාරය තමයි අනුව තමයි, සැබෑ වෙනසක් දෙන්නෙ.
      https://www.ocs.help/blog/tips-for-effective-google-searching

      මේ මොකක්ද මේ හැමෝම කියන කපුටාස් කතාව? බැරිද ලින්ක් එකක් දෙන්න?🤔

      Delete
    7. අපොයි බෑ. ලින්ක් හිටිං කැනේඩියන් එයාර්ලයින්ස් ඔන් හිටං ඉන්න පොල්ගසස්.

      Delete
    8. හරි කී වර්ඩ් එක පාවුච්චි කලාම හම්බවුනා.
      හෙන ගහපං, ගණන් බලාපං. කපුටාස් විදේශ ආයෝජකයොන්ට කොටලා නේද?
      පුටිං ගාබේජ් කියලත් කිව්වා. හොඳ වෙලාවට, මැලියං තුමාට ඇහිල නෑ.🤣

      Delete
    9. මැලියංතුමාට තදවුනොting වැඩස් ගෝ රෝන්ග් හුගක්ස්. එස්කේප් අන්පොසිබල්. ගැලමැජික් ඉස් බෙස්ට් උපක්‍රමයබල්

      Delete
    10. මැලියංතුමාට මෙහෙම ගින්දර වගේ Ligne_claire එකක් පෙන්නුවොත් ලිස්ස්ල ගියෑකි.
      https://i.pinimg.com/originals/b6/4a/4f/b64a4f1309ba285dd697adb370e97891.jpg

      Delete
    11. හෑ, අර වරත්තුවා, අපේ සනුහරේ ගාන්නෙ දැලි නේද?

      Delete
    12. බස්තුමා, ටිංටිං ක්ලියර් ලයින් හොදම එක.
      ඔය මං කිව්ව අනිත් නම් ඒකෙ විරුද්ධ පැත්තෙ (ශේඩින්) මම දැකපු බෙස්ට්.

      මිස්ටර් තෝමස්, සනුහරේ මෙම්බර්ශිප් කාටද තියෙන්නෙ?

      Delete
    13. මිස්ටර් තෝමසා ඔය කියන්නෙ, ස්නෝවි ගිහින් යටින් බලන එක ගැන වෙන්ටෑ.

      Delete
    14. ප්‍රා,
      මං නැති ටිකට මෙතන රජ වෙලා තියෙන්නෙ. බොහොම සන්තෝසයි ඔය විදිහෙ කතිකාවකට මේක ගෙන ගිය එක ගැන. ඇත්තටම මං චිත්‍ර ශෛලිය ගැන හිතුවෙ ම නෑ. ඔය කිව්වම තමයි ඒ ශෛලිවල වෙනස්කම් දැක්කෙ.

      වෙල්කම්...

      බකුස්, අර සරළ රේඛාමය පෙට්ටිමය ශෛලිය තිබුණා අපේ කාලේ ඉස්කෝල පොත්වල. දයා රාජපක්ෂගෙ ශෛලියත් ටිකාක් දුරට ඒ වගේ.

      ප්‍රා,
      මැකී ගිය දඩමං පොතේ වගේම, සුදු වැද්දා පොතෙත් ඉතාම උසස් රේඛා චිත්‍ර තිබුණා. දවසක් මං ෆේස්බුක් එකේ දැම්මා සුදු ගෝණා පොතේ චිත්‍රයක්. ඒක දිහා හරියට බලං හිටියහම ඇත්තටම එතන ගල් පර්වතය උඩ ඉඳං පහළ බලනකොට දැනෙන ඔලුව කරකැවෙන හැඟීම ඇතිවෙනව. මේ තියෙන්නෙ ඒක. https://www.facebook.com/prabath.wijewardana.311/posts/248264726742600

      ටොමියො,
      මං හිතන්නෙ ඌ දැලි වගේ යමක් දැකල පුදුම වෙලා ඉන්නව කියල...

      මං ඔය වගේ සෙක්සි කොමඩි සීන් තියෙන ෆිල්ම් එකක් දැක්කා හෙණ කාලෙකට කලිං ටීඑන්එල් එකේ. ඒකෙ ලස්සන ගෑල්ලමයෙක් ඉන්නව, මහළු නිවාසෙක වැඩ කරන. දවසක් ඔය වගේම බල්ලෙක් එයාගෙ ගවුමෙං අදිනව ගැළවිල යන්ඩ. වයසක සීයල විසිල් ගහ ගහ බලං ඉන්නෙ...

      Delete
    15. අඩේ ඩ්‍රැකියො අර සුදු වැද්දා පොතේ පිංතූරෙ මාරයි නෙව? ඇත්ත තමයි, බලාගෙන ඉන්නකොට ඔලුව කරකැවෙනවා. කැමරා කෝණය හා පරිමාණය ඉතාමත් නිවැරදිව කල විරළ නිර්මාණයක්.

      Delete
    16. හරියට හරි බකුස්. ආාාන්න ඒකයි මං ඒ පින්තූරෙට ඔය තරං ආසා.

      Delete
  9. විජය පත්තර කන්තෝරුව මැදිහත්වෙලා මල්මාමා PDF පොතක් හදනවා නම් ලොකු සේවයක්.

    ReplyDelete
    Replies
    1. ඔය කන්තෝරු වලට තියා, ඒව්වා ඇඳපු අයගෙ අයටවත් එහෙම සේවයක් කරන්න ඕනෙ කමක් තියනවා කියල හිතන්න අමාරුයි. මේ ඩ්‍රැකියා වගේ, පාඨකයො එකතුවෙලා යමක් කලොත් එව්වා රැකෙයි. නැත්නම් වඳවෙලා යාවි.🤔😒

      Delete
    2. ලස්ස හයාමාරක් දායකයො ඉන්න මීකිරි දෙයියගෙ දේවාලෙ නැහ්ද මේ වගේ චිත්‍රකතා? ආං එහෙම එකක්වත් දීලා සේවයක් කරනවකො, බැටන් එකත් අරං බ්ලොග් ලියන අප්පුල පස්සෙ පන්නන්නෙ නැතුව.

      Delete
    3. මිහිර පත්තරේ ලේන් පැට්ටා කියලා කතාවකුත් ගිහින් තියෙනවා.

      Delete
    4. පඞිතුමා, බූ ගැන දන්නවා වුනාට, ලේන් පැට්ටා ගැන දන්නෙ නෑ.🤔

      Delete
    5. ඒකේ කතාව තේරුන හැටියට මෙහෙමයි.
      ගෑණු ළමයෙක් එයාගේ අම්මත් එක්ක ඉන්නවා.
      එයාට මායා පින්සලක් ලැබෙනවා. ඒකෙන් අඳින දේ ඇත්ත වස්තූන් විදියට මැවෙනවා.
      ඒක නිසා එයාලට වෙන දේවල් ගැනයි කතාව යන්නේ

      Delete
    6. https://www.ebay.com/itm/Soviet-Russian-Children-propaganda-book-Pencil-Skrewbolt-Adventures-in-English-/184562570199

      මං ආස ඒ ජාතියෙ පොතක්

      Delete
    7. හ්ම්...ඒක නං අගේ ඇති ප්ලොට් එකක් වගේ.

      Delete
    8. ජගත්,
      මට මතකයි මකාගෙ යළක් කතාව මුළ ඉඳං ම. ඒක බොරු එක පිට එක ගොතලා කොයිතරං කාලයක් නං රසවත්ව ඇදගෙන ගියාද කිව්වොත්, පියල් මාමට සිද්ද වුණා, මැද හරියෙදි මල්මාම ලවා ම ඒකෙ මුල හරිය ආපහු මතක් කරවලා දෙන්න, පස්සෙ කාලෙකදි බලන්න පටං ගත්ත ළමයි වෙනුවෙන්. පියල් මාම නං දැන් ඩිජිටල් විදිහටත් අඳිනව. ෆේස්බුක් පිටුවකුත් තියෙනව. හැබැයි එයා ගාවවත් නැතුව ඇති එයා ඇඳපු කතා හැම එකක්ම.

      බකුස්,
      මං ගාව ඇති වේයො කාලා ඉතුරු වෙච්ච විජය පත්තර පිටු කිපයක්. හොයල බලන්න ඔ්නෙ. සමහරවිට කැලේ කතාව කැලි එහෙම තියෙන්ඩ පුළුවං.

      ජගත්,
      මට මතකයි කපුටුලන්ද, යෝධයා, පඬිතුමා, සිඟිති, පුංචිත්තා, අර දඩයක්කාරයයි හේනක් කරපු ළමයි දෙන්නයි එහෙම. ලේන්පැට්ටා මයෙ හිතේ පසුකාලයක ගිය කතාවක් වෙන්ඩැති. එස් ඒ දිසානායක තමයි ඒ කාලෙ මිහිර පත්තරේ රජ කරගෙන හිටියෙ.

      ප්‍රා,
      ඔය වගේ තමයි, කුකුලා හා පාට, පොල්ලෙ බලේ, නොගැළපෙන රෝද, වැඩබැරිදාස... ඔය හැම එකකින්ම ළමා මනස වර්ධනය කරවන දේවල් තමා කළේ.

      Delete
  10. ඩ්රැකී, පුරවිජය ෆොන්සේකා මහත්තයා ගැන මතක් කරන්නම වෙනවා චිත්‍රකතා පිළිබඳව කතා කරද්දී,ඒ දවස්වා දිනපතා ලංකාදීපය අපේ ආච්චී නොවරදවාම ගෙන්නා ගත්තා, එහි තිබුණු තනි තීරුවේ චිත්‍රකතාව නිසා. මායාකාරී, සඳ කුමරිය, මැණික් කුමාරි එහෙම පළවුණු කතා තුනක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒ කාලේ තිබුණා ෆැන්ටසි ලෝකයක්. එදා ඔයා මට දුන්න පහන්තරුව ආන්න ඒ වගේ. පස්සෙ පස්සෙ ඔය සුමති ජෝති ලා වෙනම පැත්තකට ගෙන ගියා.

      Delete
  11. මෙහෙම කතන්දර හොයාගන්න ක්‍රමයකුත් තියෙනවා. වියදම් වැඩි.

    Pra Jay මහතා සමඟ රාජ්‍ය ලේඛනාගාරයට ගිය නිසා දැන ගත්තේ. එහි තියෙනවා 1978 ට පෙර පත්තර සඟරා පොත් සේරම, කැටගරි කරලා. ප්‍රශ්නේ තියෙන්නේ ඒවා පිටපත් කර ගැනීමයි.
    මට නිකමට හිතෙනවා ආයතනික මට්ටමින් ඉල්ලීමක් කරලා සහනදායී මිලකට ඒවායේ පිටපත් ගන්න ක්‍රමයක්- අවසරයක් ලැබ ගන්න බැරිද කියලා. කාලය හා ඉඩකඩ තියෙන ශාස්ත්රාභිලාශී කෙනෙකුගේ ඇස ගැටේවා කියලයි මේ විත්තිය ලිව්වේ.

    ReplyDelete
    Replies
    1. ශාස්ත්රාභිලාශී කෙනෙක් හම්බවුනත්, ලේඛනාගාරෙ උන්දැගෙ පොකට් එක හිඳියි නේද? , කෙරෙන්න ඕනෙ, ඔය තියෙන ටික, මීයොයි, වේයොයි කන්න ඉස්සෙල්ලා ඩිජිටයිස් කරන්න ඕන එකයි.🤔

      Delete
    2. ඇත්ත නිදි සහ බස්...

      මං ලේඛනාරක්ෂක දෙපා, ගියොත් ඩිජිටයිස් කරවලා සංරක්ෂණය කරනව.

      Delete
  12. මේකට මොකක් හරි කියන්න මං ආයෙ එඤ්ඤං. මේ හොඳ වෙලාව නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. මොකක් ද අර්බුදය ප්‍රසා?

      Delete
  13. මට නම් දයා රාජපක්ශගෙ චිත්‍රකතා වලට ඔක්කොම පරාදයි.. සාම්ප්‍රදායික විදිහට ඔහේ ගිය චිත්‍ර කතා ශෛලිය හිටි හැටියෙම මහපොලොවට ගෙනාවෙ ඔහු.
    සරත් ලංකාප්‍රිය

    ReplyDelete
    Replies
    1. හ්ම්. ඔව් දයා රාජපක්ෂගෙ තිබුණෙ වෙනම ම දැක්මක්. මට මතකයි විජය පත්තරේ ගියපු ළමා චිත්‍රකතා. ඒ හැම එකක ම අමුතු යථාර්ථවාදයක් තිබුණා.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි