Monday, February 7, 2022

නිදහස? සහ ජාතික වීරවරු?

ජාතික වීරයන් සහ නිදහස් දිනය ගැන කණට ඇහෙන හැම වාරයකම වාගේ අපේ තාත්තා කියපු දෙයක් තමයි, "ඔය කියන නිදහස හැබෑ නිදහසක් නෙවෙයි. ඔය කියන ජාතික වීරයො අපේ හැබෑ වීරයො නෙවෙයි" කියන එක. පහුගියදාක අසංග ලියපු මෙන්න මේ පෝස්ට් එක කියවද්දි මට මතක් වුනේ තාත්තතගෙ ඒ වචන. 

ඇත්ත. ජාතික වීරයන් කියලා අපට පාසල්වල උගන්නන්නෙ ඩී ඇස්, බණ්ඩාරනායක, බාරොන් ජයතිලක, ආරුමුග නාවලර්, සිද්දි ලෙබ්බෙ, ගුණානන්ද හාමුදුරුවො, සුමංගල හාමුදුරුවො, ධර්මපාලතුමා, පොන්නම්බලම් වරු දෙන්නා, හෙන්රි පේද්‍රිස් වගේ උදවිය ගැන. නමුත් අපි දන්නෙ නෑ ඇත්තට ම බ්‍රිතාන්‍ය පාලනය එක්ක හැප්පිලා යම් යම් දේ ලේ දහඩිය මතින් දිනාගෙන, සුදු ආණ්ඩුවට හිසරදයක් වුණු ඇත්ත වීරයන් ගැන.

බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ අනුග්‍රහයෙන් පොපිමල් විකුණද්දි එකට එක වශයෙන් සූරියමල් විකුණලා, එයින් ලංකාවෙ දරිද්‍රතාව  සහ කම්කරු අරගලයන්ට අරමුදලක් පිහිටුවපු සමසමාජ පක්ෂය තමයි, ලංකාවෙ පළවෙනි දේශපාලන පක්ෂය. ඒකත් එක්ක ම පැතිරුණු මැලේරියා වසංගතයෙදි පීඩිත මිනිස්සුන්ට උදව් කරන්න කොළඹින් මහපොළොවට බැහැපු එකම මහජන නියෝජිතයන් වුණේ ඔවුන්.

රදළවරු සහ වතුකාරයන් පාරෙ යනකොට කරේ තියෙන ලේන්සුව දෑතට අරං කාණුවට බහින්න පුරුදු වෙලා උන්න මිනිස්සුන්ගෙ කොන්දට කෙලින් කරන්න සමසමාජ කතාවලින් යම් තාක් දුරකට හැකි වුණා. (යම්තාක් දුරකට කියලා මම කියන්නෙ, ඒ පුරුද්ද වෙන වෙන මුහුණූවරින් තාමත් අපේ මිනිස්සු අතරෙ තියෙන නිසා.) ගමේ කෙල්ලන් දූෂණය කරමින්, ගම් වැසියන් පාගාගෙන ජීවිත ගෙවපු වතුකාර හාම්පුතුන් ගේ ජඩකම් එළිපිට කතා කරමින් මිනිසුන්ගේ ජීවිත නගා හිටවන්න වැඩ කළේ සමසමාජ කාරයන්. 

වැඩ මුරය පැය අටකට සීමා කරන්න, නිවාඩු සහ වැඩට සරිලන වැටුප් ලබාගන්න, සමසමාජය, වරාය කම්කරුවන් සහ වතු කම්කරුවන් එක්ක කරපු අරගල ඉතිහාසයේ සඳහන් වෙන්නේ නෑ. හොඳින් කියවලා බැලුවොත් අපේ මහාවංශයෙ ලියල තියෙන හැටියට, ඒ කාල සීමාවෙ සිද්ධ වෙලා තියෙන්නෙ සිංහල ශබ්දකෝෂය ලියාපු එක විතරයි.

සුදු ආණ්ඩුවට විරුද්ධව වැඩ කළ බ්‍රේස්ගර්ඩල් හට වෙච්ච නස්පැත්තිය සහ සමසමාජ නායකයන් ඔහු වෙනුවෙන් පෙනී සිටීම ඉතා ම ආන්දෝලනාත්මක සිදුවීමක් වුණාට, එයට සම්බන්ධ පෙරකදෝරු කොල්වින් ආර්. ද සිල්වා වඩා ප්‍රසිද්ධ ගොයං කොළේ නඩුව ගැන.

ඉදිරිපස - බ්‍රේස්ගර්ඩල් සහ කොල්වින් ආර්. ද සිල්වා


අවසානයේ ඊනියා නිදහස දීලා යන්ඩ කලින් සමසමාජ නායකයන් සිරභාරයට ගත් හැටි, දෙවෙනි ලෝකයුද්ධය එක්ක ඔවුන් හිරගෙදරින් පැන ගිහින් ඉන්දියාවේ සැඟවී කටයුතු කරපු හැටි දන්නෙ ඉතාම ටික දෙනෙක්.

ජාතියේ පියවරු සහ පුත්තු ජාතික නායකයන් තමයි. නමුත් සැබෑ සටනක් කරපු සැබෑ ජාතික වීරයන් ගැන කිසිම සඳහනක් නැතිව ඉතිහාසය ඉගැන්වෙන්නේ.



අනික් අතට, ඩොමේනියන් තත්ත්වය හැබෑ නිදහසක් නෙමෙයි. නිදහස සහ ස්වෛරීත්වය කියන්නෙ ස්වයං පාලනයක්. නමුත් 1948 දි අපට දීල ගියෙ රෝයල් නේවියක්, රෝයල් මේල් සිස්ටම් එකක්, ප්‍රිවි කවුන්සිලේ උපරිම අධිකරණ බලය වෙච්ච අධිකරණ පද්ධතියක්,  අග්‍රාණ්ඩුකාරවරයෙක් ගෙන් නියෝජනය වන රැජිණ රාජ්‍ය නායකයා වෙච්ච මහ අමුතු "නිදහසක්".

ඔන්න ඔය යටත්විජිත පෙකණිවැල කඩා ගත්තෙ අර උඩින් කියපු මහපොලොවේ සටන් කරපු ජාතික වීරයන්ගෙන් සමහර අය දායක වුණු මැතිණිගෙ ආණ්ඩුව විසින්. ඒකෙ ක්‍රෙඩිට් ඒක මැතිණි ට ගියාට, මගෙ දැනුමෙ හැටියට මූලික වුණේ සමසමාජය.

ඉතින්... අපි සමරන්නෙ සැබෑ නිදහසද? සැබෑ ජාතික වීරයන්ද?


වැඩිදුර පරිශීලනයට:

ඇන් ඇම් පෙරේරාගේ දේශපාලන දිවියේ මතක සටහන්

ඇන්. ඇම්. - චරිත කතාව.

නාඳුනන පුත්තු - ටෙලි නාට්‍යය

78 comments:

  1. ඉසසෙල්ලාම කම්කරු සටන් වලට නායකත්වය දුන්නා කියන ගුණසිංහව හැලිලානේ. රජ ක්‍රමයෙන් ධනවාදය මඟ හැරලා එක පාරටම සමාජවාදයට යන්න ගිය එක තමයි මෙයාලා කළ වරද

    ReplyDelete
    Replies
    1. ඊ ඒ ගුණසිංහ මහත්තය ඉන්නෙ ඉස්කෝලවල උගන්නන ඉතිහාස ලැයිස්තුවෙ. මම මෙතන කතා කළේ ඉතිහාසයෙන් අයින් වුණු උදවිය ගැන. ඒ්කයි වෙනස නට් මෑන්.

      Delete
  2. ඒ උනාට රට්ටු නම් දැන් කියන්නේ සුද්දෝ හිටියනම් හොඳයි කියල නේද ? ජාතික වීරයෝ කියන ඔය මිනිස්සු ඔක්කොම කරලා තියෙන්නේ යස අපුරුවට එංගලන්තේ වගේ ඉන්ඩ තිබ්බ චෑන්ස් එක නැති කරලා දාපු එක නෙමේ ද ..? අනේ මන්ද මම මේ නොරටක ඉඳන් ෆේස්බුක් එකෙන් නිව්ස් බලද්දී හිතෙන හැටි ...හෙහ් හෙහ් ..

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්නේ පැතුම් සුද්දෝ යනකොට ලංකාව ආසියාවේ ෆොහොසත් රටක් නිසා. තේරුමක් නැති කතාවක්. එහෙම වුනානම් සිංහලෙන් වෙනුවට අපි ඉංග්‍රීසියෙන් විතරක් බ්ලොග් ලියයි. හේ හේ
      මරු ලිපිය ඩ්රකි

      Delete
    2. තේරුමක් නැති කතාවක් කියලම හිතෙන්නෙ නෑ, තාක්ෂණික දෑවැන්තයින් බිහිකරපු තායිවානය දිහා බලන කොට. ඒත් සහජයෙන්ම කම්මැලි අපි, චීන්නු නොවන නිසා එහෙමම නොවන්න ඉඩ තියනවා. වමේ සමාජවාදී සිහිනය සැබෑ වුනා නම්, ලංකාවත් මෙහෙම වෙයිද?

      https://www.youtube.com/watch?v=7tEwaEx9OG4

      Delete
    3. නිදහස නොලැබුණා නම් හොඳයි කියා කියන්නේ සහ තමන්ට english බැරිකමට බණ්ඩාරනායකට බනින්නෙ අමුම අමු ගොං මෝඩයෝ. උංව එක තර්කයෙන් බිම දාන්න පුළුවන්.

      බ්‍රිටිෂ් පාස්පෝට් එක පිළිබඳව දැන් ඇතිවෙලා තිබෙන ආසාවට නම් හේතුව මෝඩ කමට වඩා ලංකාව එපා වීම විය හැකියි.

      Delete
    4. නිදහස ලැබීම කොහොම උනත් හරි දැක්මක් ඇති නායකයෝ ලංකාවේ බිහි නොවීම අපේ අවාසනාව...

      Delete
    5. පැතුම්,
      ඒක දර්ශනයේ එක සංකල්පයක් නේද? ඉස්සර තමා හොඳම කියල හිතාගන්න එක. ඒ අයට අනුව, ප්‍රේමදාස හොඳයි, ඇඟලුම් කම්හල් එහෙම ඉදි කරලා අපනයන වැඩි කළා. මැතිණි හොඳයි දේශීය ආර්ථිකය දියුණු කළා, ඩඩ්ලි හොඳයි වගා සංග්‍රාමයක් කළා, ඩී ඇස් හොඳයි ගොවිජනපද ඇති කළා, සුද්දො හොඳයි රට නවීකරණය කළා ඔන්න ඔය විදිහට...

      ස්තූතියි අජිත්, මට හිතෙන්නෙ ලංකාව එදා තිබුණු ස්ථානය‌ට බලපාන සාධක ගොඩක් පසුකාලීනව වෙනස් වුණා. විශේෂයෙන් ගෝලීය ආර්ථිකය සහ ආර්ථික නැඹුරුතාවන්...

      බස්සා,
      මට හිතෙන්නෑ වමේ සමාජවාදී සිහිනයක් තිබුණා ම කියලා. සමසමාජයේ පසුකාලීන වැඩපිළිවෙලත් එක්ක. සමාජවාදය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක එකට යන් නැතිබව මගෙ අදහස. අනිත 53 හර්තාලය වෙලාවෙත් සමසමාජ කඳවුරට ඇත්තට ම ආණ්ඩු බලය විප්ලවීය විදිහට ගන්න තිබුණා. නමුත් එහෙම කළේ නෑ. අර මාණික්කආරච්චි කියනව වගේ, "ධනවාදී රාමුව බිඳ හෙළන්න අරගල කරලා, පාර දෙපැත්තෙ ජනෙල් රාමු බිඳ හෙළීමක්" තමා කළේ. නමුත් නිදහස ලබාගැනීමට සහ අයිතීන් දිනාගැනීමට සමසමාජය සෑහෙන වැඩසටහනක් දියත් කළා. ඒ ගැන ඉතිහාසය නිහඬයි.

      රසික,
      ඇත්ත. ඒ කාලෙ ඉංග්‍රීසි මාධ්‍යයෙන් මධ්‍ය මහා විදුහල් වලින් ඉගෙන ගත්ත අය පිරිවෙන්වලින් සිංහල පාලි සංස්කෘත ඉගෙන ගත්තා. දැන් කාලෙ පාසල්වලින් සිංහලෙන් ඉගෙනගෙන පිරිවෙන්, ටියුෂන් පංතිවලින් ඉංග්‍රීසි ඉගෙන ගන්නව. ආකල්පවල තමා වෙනස තියෙන්නෙ. විෂයමාලාවලත් ‌අඩුපාඩු තියෙනව. ඒකෙන් තමා දැන් සමාජයෙ ඉන්න ආත්මාර්ථකාමී ගොන්නු බිහිවෙලා තියෙන්නෙ.

      පැතුම්,
      සමාජයේ ඉන්නෙ මොනවගේ උදවියද, ඒකෙම සාම්පලයක් තමා මහජන නියෝජිතයො විදිහට දකින්න තියෙන්නෙත්...

      Delete
  3. Replies
    1. සීසර් වගේ. වෙනි විඩි විකි...

      Delete
  4. මට හිතෙන දෙයක් තමයි ඔය නිදහස ලැබුන කලින් වැඩියි කියන එක. ඉන්ගලන්තෙ දැන් තියන ප්‍රජාතන්ත්‍රවාදය අවු 900ක් විතර හිමින් ක්‍රමක්‍රමයෙන් දියුණු වෙලා ආපු එකක් ( සැක්සන් Witan රැස්වීම සැලකුවොත් 900ට වඩා හුගක් වැඩියි) දැනට අවු 200-300 කට ඉහතත් ඉන්ගලන්ත පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාකිරීමේදි හුගක් අඩුපාඩු තිබුන. ඒවා අඩු කරගෙන ක්‍රමයෙන් දියුණුවුන එකක් ඒක. ප්‍රභූන්ගෙන් පාලනය වෙන වැඩවසම් ක්‍රමයක් හැර වෙනත් දේශීය අත්දැකීම් නැති ජනතාවකට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා ඒ ගැන දැනුම දියුණු නොවී නිදහස ලැබුනාම ඉතින් කවුරුහරි පස්සෙ යෑම, දේශපාලන කතා සම්පූර්ණයෙන්ම විස්වාස කිරීම, මහජන නියෝජිතයින් ප්‍රභූන් ලෙස සලකා වැදීම පිදීම හෝ අනිත් අන්තයෙන් ප්‍රජාතන්ත්‍රවාදය නොව මාක්ස්වාදය හෝ ඒකාධිපති ක්‍රමයක් හෝ ප්‍රචණ්ඩත්වයට යොමුවීම වගේ දේවල් වෙනවා. අධ්‍යාපනය හා අත්දැකීම්වලින් දියුණු නොවී ඉන්ගලන්තෙ ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථක වෙන්නෙ නෑ. නිදහස ලැබුනෙ ඊට හුගක් කලින්

    ReplyDelete
    Replies
    1. ඒකත් එක අදහසක්. සමාජ ක්‍රමය ක්‍රමිකව විකාශය නොවී උඩින් පාත්වෙන ක්‍රමවේද. නමුත් එහෙනං ඉන්දියාවෙ මේ විදිහෙ මජර ක්‍රමයක් නැත්තෙ (එහෙම නැත්තං මජරබව අඩු) ඇයි? යටත් විජිත බොහොමයක් නූතන ජාතික රාජ්‍ය බවට පත් වුණේ ඔය විදිහට තමා. අනික ලංකාවෙත් ඩොනමෝර්, කෝල්බෲක්, සෝලබර් ප්‍රතිසංස්කරණ කියන්නෙ කාලීන අවශ්‍යතා අනුව සිද්ධ වුණු පරිනාමණයන් කියල මට හිතෙනව.

      Delete
    2. ඉන්දියාවෙ බ්‍රිතාන්‍යයන් ඇති කරපු සිවිල් සේවය, අධිකරණ මෙහෙ තරම් දේශීයකරණයවෙලා දේශපාලනයට යටවුනේ නෑ.

      Delete
    3. ආන්න ඒකයි ප්‍රා, ක්‍රමික විකාශය වගේම, ජාතික චින්තනයළ නායකයන්ගේ ආකල්ප සහ සාමූහික ලැජ්ජා සහගත ජාතික චින්තනය වගේ සාධකත් බලපානව.

      Delete
  5. අපූරු සටහනක්. 1948 ගැන කියන විදිහට මම විශ්වාශ කරන්නෙ අපට නිදහස ලැබුනෙ 1972 කියල. අනික් අතට 1948 ගැන කරන වාර්ෂික සිහිකිරීම මාධ්‍යය සහ දේශපාලනය උස්සා ගෙන යන ප්‍රචාරක ව්‍යාපාරයක්. අපි කථා කරන්න ඕන ලාංකිකයින් වශයෙන් අපට තිබුණු හැකියාවලින් දේශපාලන පක්ෂ එකක වත් ගැත්තෝ නොවී එකිනෙකා සහයෝගයෙන් අපේ ආකල්ප වලින් නිදහස් වෙන එක ගැන කියලයි මට හිතෙන්නෙ. ලෝකෙ කොහේ වුණත් තමන්ගෙ මහන්සියෙන් දියුණු වුණු චරිත මිසක් ඉබේ පහලවුනු එක චරිතයක් වත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. "නිදහස"ත්, අනික් සංකල්ප වගේ ම මාකට් කරන්න පුළුවන්, විකුණං කන්ඩ පුළුවන් පාරිභෝගික භාණ්ඩ. ඒතකොට හොඳටම මාකට් කරන්න පුළුවන් පරණම දිනය. කොහෙ හරි කියල තිබුණා අපි මහජන නියෝජිතයන් පත් කරගන්න කලින්, සබුද්ධික ඡන්දදායකයන් පිරිසක් පත් කරගන්න ඔ්නෙ කියල.

      Delete
  6. ඇණයා සහ ප්‍රාජේගෙ අදහස් හරියි කියල හිතෙනවා.

    අද තියන "ණය වෙලා හරි ගිතෙල් තමයි වළඳන්න ඕනෙ" ආකල්පයත්, ආයෝජකයො ඇවිත් අපට තාක්ෂණය සහ අරමුදල් දී, අපට ගොඩදාන තෙක් බලා සිටීමේ සිහිනයත් සලකා බැලූවිට, එදා අසාර්ථක වුනත් යමක් කරන්න උත්සාහයක් ගත්තා කියල හිතෙනවා.

    සීනි කම්හල්, තුනී ලෑලි කම්හල, ටයර් කම්හල වගේ දෑවැන්ත ව්‍යාපාර අසාර්ථක වීම පසුපස, වෙනම සංකීර්ණ කතාවක් ඇති. "තිත් යාකල හැක්කේ පසු-පසට පමණයි" කියල කතාවක් තියන නිසා, මේක වෙනමම කතා කලයුතු මාතෘකාවක්.

    ReplyDelete
    Replies
    1. මම ලිපි මාලාවක් ලීවා පරණ වම ගැන. විජේවීර කරපු ලොකුම වැරැද්දක් තමයි ඔවුන් අගය නොකිරීම. (පස්සේ ආපු කොපයේ දූෂිත සෙට් එක නෙමේ - සෝවියට් දේශයට ළමයි යවපු ) https://kolambagamaya.blogspot.com/2018/04/blog-post.html

      Delete
    2. බකුස්,
      සමහරවිට එදා ලංකාවෙ තිබුණු කර්මාන්ත බිඳවැටුණේ අන්තර්ජාතිකව ආව බලපෑම් නිසා වෙන්නත් පුළුවන්. තව තර්කයක් තමයි ආර්ථිකය විවෘත කළ ගමන්, දේශීයව නිපදවන දේට වඩා මිලෙන් අඩු භාණ්ඩ ආනයනය කරන්න පටන් ගත්ත බව. දැනටත් ලංකාවෙ තේ හා ඇඟලුම් කර්මාන්තය වට්ටන්න විවිධාකාර බලපෑම් තියෙනව. ඉලෙක්ට්‍රික් කාර් ව්‍යාප්තිය ෆොසිල ඉන්ධන කර්මාන්තයට අහිතකර වීම වගේ පැති තියෙනව. උපාලි විජේවර්ධන ගේ වැටීමත් ඒ අතරෙ එක සිදුවීමක්.

      අජිත්,
      ජවිපෙ පන්ති පහෙන් හතරවැන්න මයෙ හිතේ පරණ වම ගැන. ඔවුන්ගෙ තර්කය වුණේ පරණ වම ප්‍රතිංස්කරණවාදීයි මිසක් විප්ලවකාරී නෙවෙයි කියන එක. එහෙම දෙසපු ජවිපෙ ම අනූ ගණංවල වැටෙන්න ගිය චන්ද්‍රිකා මැතිණියගෙ ආණ්ඩුවට සේලයින් දුන්නා. එයින් ස්වාධීන කොමිෂන් සභා දිනාගත්තත්, ඒක ඒ තරම් ප්‍රායෝගිකව සාර්ථක වුණේ නෑ. පස්සෙ අගමැති මහින්ද ජනපති කරවමු කියලා කරේ තියාගත්තා.

      අපේ තාත්ත කියන දේවලුත් එක්ක මගෙ හිතේ තියෙන්නෙ, සමසමාජය වැටුණේ කලින් තිබුණු තරුණ ජව නොමැති විමත්, ලෝකයේ සමාජවාදී කඳවුර බෙදීයාම අනුව ලංකාවෙ සමාජවාදී පක්ෂ කැඩි යාමත් නිසා කියල. ඒ පක්ෂ රාශියක් එකතු වී 53 හර්තාලය කළත්, ආණ්ඩුබලය ඇල්ලීමට ඔවුන් තුළ අරමුණක් තිබුණේ නෑ.

      Delete
  7. බ්‍රේස්ගර්ඩල් ගැන දන්න කෙනෙක් විස්තර දානවද?

    අධිරාජ්‍ය විරෝධීන් ලෙස සාර්ථක වුනත්, සමසමාජ/කොමියුනිස්ට් නායකයන් ගැන විවේචන තියනවා නේද? පසුකලෙක පැරණි වම දියවෙලාම යන්නත්, ඔවුන්ගේ න්‍යාය පත්‍රයට පරස්පර ජීවන රටාවම හේතු වෙන්න ඇති කියලත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. Buddy Google showed me these:

      https://thuppahis.com/2013/01/13/the-bracegirdle-incident-how-an-australian-communist-ignited-ceylons-independence-struggle/

      https://www.colombotelegraph.com/index.php/the-bracegirdle-incident-2/

      https://www.dailynews.lk/2020/05/11/features/218271/look-back-%E2%80%9Cbracegirdle-incident%E2%80%9D

      Delete
    3. ස්තූතියි හැට්ටර්. විස්තර ටිකක් දැණගත්තා. පේන හැටියට, ඒ යුගයේ පැවතුන ධනවාදය, ප්‍රවේණි-දාස ක්‍රමය තරම්ම කුරිරුයි කියලයි හිතෙන්නෙ.

      හ්ම්.. යටත් විජිතවාදී හුදීජන ජීවිතයත් සෑහෙන කටුක එකක් වගෙයි.

      Delete
    4. බසු, මේ ඉන්නේ බ්‍රේස්ගර්ඩ්ල් ගැන මට කියා දීපු කෙනා . ඒ සුද්ද අපේ මේ කියන නැන්දා ගේ යහළුවෙක් වන බර්ගර් කාන්තාවකගේ තාත්ත හෝ සීයා ගේ ගෙදර හැංගිලා හිටියලු. කවුද කියල මතක නැහැ. https://kolambagamaya.blogspot.com/2018/05/blog-post_30.html
      පුලුවන්නම් ප්‍රා ජේ ට කියල මේ පොත හොයා ගන්න. https://www.librarycat.org/lib/AISLS-Colombo/item/138361075

      Delete
    5. විකි එකේ - https://en.wikipedia.org/wiki/Mark_Anthony_Bracegirdle

      Delete
    6. ස්තූතියි අජිත්. අමතක වෙලා තිබ්බ ලිපියක් ආයෙ කියෙව්වා. ඒ ලිපිය සහ මා දන්නාදේ අනුව, පැරණි වමේ පසුකාලීන ක්‍රියාකලාපය ප්‍රශ්ණාත්මකයි.🤔😒

      Delete
    7. රොබට් ගුණවර්ධන ලියු "සටනක සටහන්" පොතේ බ්‍රේස්ගර්ඩල් ගැන සවිස්තරාත්මකව ලියවී ඇත.

      Delete
    8. මම යමක් දැනගත්තෙ නාඳුනන පුත්තු ටෙලියෙන්. හොයාගන්න නං නෑ මට පේන විදිහට. "ඇන්ඇම්" පොතේ තියෙනව විස්තරාත්මකව. බස්ස කියන විදිහටම, යටත්විජිත සමයේ වතු අයිතිකාරයන් ඉතාම කුරිරු වැඩවසම් පාලනයක් තමයි ගෙන ගියෙ. උන්ගෙ උවමනා එපාකම් පිරිමහගන්න බිලිවුණු ප්‍රවේණි දාසයන් වගේ තමයි දුප්පත් ගම්මුන්ව තියාගෙන හිටියෙ. ඒ තත්ත්වය වෙනස් කරන්න පාරට බැස්සෙ සමසමාජ කාරයන් ම විතරයි. අනික් දේශපාලකයන්ට ඉතාම හොඳ රුකුලක් වුණා දුප්පත් ගම්මු දුප්පත් විදිහට ම තියාගන්න එක. මුලින් මුලින් සමසමාජ නායකයන් තරුණ ගැම්මත් එක්ක ඉතාම ප්‍රගතිශීලී වුණු බව පේනව. මම දැනගෙන හිටපු ඒ වගේ එක් අයෙක් තමයි සරත් මුත්තෙට්ටුවගම.

      Delete
  8. ඇත්ත. සමසමාජේ විතරක් නෙවෙයි ඊට කලිනුත් මහ පොළොවේ සටන් කරපු අය එලියට එන්නේ ඉතාම කලාතුරකින්.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔය ඉතිහාසය වහල දැම්මෙ, ඩීඇස් හාමු ජාතියේ පියා කරපු උදවිය ම තමයි.

      Delete
  9. සුද්දො හිටියනම් හොඳයි කියන එක අළුත් අදහසක් නෙමෙයි.

    මෝසස්ට යුදෙව්වො කිව්වෙත් ඒකම තමයි.

    ReplyDelete
    Replies
    1. හපොයි! මානසික වහල්බව ඔ්නෙම කඳවුරක දකින්න තියෙනව ජගත්, එක්තරා මට්ටමකට...

      Delete
    2. මෝසස්ගේ කතාව වෙන විදියකට කියවන්නත් පුළුවන්.
      යුදෙව් ජනගහනය වැඩිවීම පාරාවෝට ප්‍රශ්ණයක් වුනා.
      උන්ව බලෙන් යවන්න හැදුවොත් මිසරයට විරුද්ධව කැරලි ගහලා රටෙන් කෑල්ලක් අල්ලාගන්නත් ඉඩ තිබුනා.
      ඉතින් එයා මෝසස් කියලා චර පුරුශයෙක් යොදවලා යුදෙව්වන්ව රටෙන් යවා ගත්තා.

      Delete
    3. හරි නේන්නම්. අර අලුත් අයිඑස් නායකයාත් ඇමරිකානු කඳවුරකින් එළියට දාපු කෙනෙක් වූ කල, ඔසාමා බින් ලාඩන් හිටපු සීඅයිඒ කාරයෙක් වූ කල, මෝසස් කියන්නෙත් රැමසීස් රජු හදාගත්ත යුදෙව් කොලුවෙක් වූ කල, ජගත්ගෙ අදහස හරියටම හරි වෙන්න පුළුවන්.

      කොහොමත් පාරාවෝවරු යුදෙව් ජනගහණය මර්ධනය කරන්න පිරිමි දරුවන් මැරවීම පවා කරල තියෙනව මෝසස් ට කලින්. බෛබලයේම තියෙනවා යුදෙව් ජනතාව වැඩී වර්ධනය වන්නට වූ විට පාරාවෝවරුන් එය තර්ජනයක් ලෙස සැළකූ බව.

      Delete
  10. ලංකාවට තියෙන ලොකුම ප්‍රශ්ණය පාංශු ඛාදනය. මට ඒකෙන් වැඩක් නෑ.

    සිංහලයාට තියෙන ලොකුම ප්‍රශ්ණය සිංහල ජාතියට මේ රටතුල හිමිවියයුතු තැන අහිමිවීම.
    ලංකාව සුද්දන්ගෙන් නිදහස ගන්නේ නැතුව දෙවෙනි ලෝක යුද්ධයේ ප්‍රතිඵලය කනපිට හැරිලා ජර්මානු ජාතික සමාජවාදින් සහ ජපන් අධිරාජ්‍යය දිනලා ලංකාව දශක කිහිපයක් ජපන් යටත්විජිතයක් ලෙස තිබිලා නිදහස ලැබුනා නම්
    සිංහලයන්ට ගොඩක් වාසිවෙන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. ජපන්නු කරපු නැංකින් රේප් එක හලඅහල තියනවද ජගත් ? (චීනයට විරුද්ධව )

      Delete
    2. විකල්ප ඉතිහාසය ඉතා සිත් ඇදගන්නාසුළු මාතෘකාවක්. ඒ වගේ ම හිට්ලර්ට කැමති උදවිය අදත් ලංකාවෙත් ඉන්නව. හිට්ලර්ගෙන් ඉගෙන ගන්න තියෙන වටිනාම දේ තමයි තමන්ව මාකට් කිරීම සහ ඒ ආශ්‍රිත කළමනාකරණය.

      අජිත්,
      ස්තූතීයි. ඒ ගැන දැනගෙන උන්නෙ නෑ.

      Delete
    3. ජාතික සමාජවාදීන් කලායැයි කියන අපරාධ වලට වගකිවයුත්තේ චාල්ස් ඩාවින්.
      ඔහු පරිණාමවාදය ඉදිරිපත් කලාම. බටහිරයන් අතර විවාද ඇතිවුනා මිනිසා තිරිසනාගෙන් පැවත එන්නෙක් නම් මිනිස් වර්ග අතරින් වඩා “මනුෂ්‍ය“ කවුද කියලා. ඒ සම්බන්ධව විවිධ මකවාද ඇතිවුනා.
      රජය විසින් ඉදිරි පරම්පරාව ගෙනයන්න සුදුසු අය තෝරාගත යුතුයි. නුසුදුස්සුන් වඳභාවයට පත්කල යුතුයි වගේ අදහස් ඒබ්‍රහම් ටී කොවුර් වගේ අයත් කියලා තියෙනවා.
      ජාතික සමාජවාදීනුත් එයින් ආභාෂය ලැබුවා.
      ඒ වගේ මතවාද නොතිබුනා නම් ජාතික සමාජවාදින් වෙනස්වෙන්න තිබුනා.

      Delete
    4. ඔව් ඒක හරි. ඇමෙරිකාවේ තමයි ඒක පටන් ගත්තේ. සුජ්නන විද්‍යාව කියන්න ඒකට . කෝවිඩ් වයිරසය චීනය හෝ ඇමෙරිකාව එලියට දැම්මේ අනවශ්‍ය අය අයින් කරන්න කියන එක මුලික මතයක්. මොකද දියුණු බටහිර රටවල ලෙඩ තියන අය බලාගන්න රජයෙන් හුඟක් වැය කරන නිසා. මේ මම ලියපු එකක් ඒ ගැන.
      https://kolambagamaya.blogspot.com/2020/04/blog-post_83.html

      Delete
    5. මා නොදැන හිටි පැත්තක්. ගොඩක් ස්තූතියි ජගත් සහ අජිත්. හිට්ලර් කරන්න හැදුවෙත් ඔය විදිහෙ දෙයක් වෙන්නැති සුපිරිසිදු රයික් ආර්ය ජනවර්ගයක් ප්‍රොෙමා්ට් කරලා. නමුත් වඩාත්ම විශිෂ්ඨයන් බිහිවෙන්නේ ජාන මිශ්‍රණයකින්. එතනදි දුර්වල ජාන කියන්නේ මොනවද කියන එක රජයකින් හෝ සමාජ ව්‍යාපාරයකින් තීරණය කරනවාට වඩා ස්වභාව ධර්මය ම තීරණය කිරීම සුදුසු ඇති.

      Delete
  11. ඉංග්‍රීසි කාරයෝ කව කාලයක් හිටියනම් ආතර් සී ක්ලාක්ගේ පොත්වල තියෙන ලංකාව වගේ දෙමළ-ලන්සි ලංකාවක් හදලා යන්නේ.

    ReplyDelete
    Replies
    1. අසූ ගණංවල මැද හරිය වන තෙක් ලංසි සහ දෙමළ ජාතිකයන් ලංකාවෙ රාජ්‍ය සේවයෙ (විශේෂයෙන් ම සිවිල් සේවයෙ) කැපී පෙනෙන කොටසක් වෙලා තිබුණා. ඊට හේතුව ඔවුන් අධ්‍යාපනයේ පල නෙලාගත් එක කියල මට හිතෙනව. පසුකාලිනව ඔවුන් සැළකිය යුතු අන්දමින් රට හැර ගියා. සුද්දන් ම නෙවෙයි ඔවුන් සමාජයේ ඉහළට යාමට හේතුව.

      පන්සල්වලින් අපේ සල්ලි කඩාගනිද්දී, මුස්ලිම් පල්ලිවලින් දුප්පතුන්ට උදව් කරද්දී අපි මුස්ලිම් ව්‍යාප්තවාදයට බැණීම වගේ කාරණයක් තමා ලන්සින්ට ඒරෙහිව අපි නගන තර්කත්...

      Delete
    2. ලංකාවේ සංගීත ක්‍ෂේත්‍රයේ කතෝලික නියෝජනය වැඩියි. නමුත් ඒක කාටවත් ගැටළුවක් වෙලා නෑ.
      දකුනේ වෙලෙන්දෝ වැඩිදෙනෙක් පැවත එන්නේ කේරල සංක්‍රමණිකයන්ගෙන්. ඒකෙත් ප්‍රශ්නයක් නෑ.
      ඒ වගේම ජයවර්ධන, විජයවර්ධන පවුල් පැවත එන්නේ දෙමළ කතා කල සිටුවරුන්ගෙන් (පාලි : සෙට්ඨි, දෙමළ: චෙට්ටි)
      මෙතනදිත්
      සිංහල කියන්නේ මේ රටේ ජාතිය කියන පිලිගැනීම තිබුනා නම්. ලංසි සහ දෙමළ ජාතිකයන් ලංකාවෙ රාජ්‍ය සේවයෙ (විශේෂයෙන් ම සිවිල් සේවයෙ) කැපී පෙනෙන කොටසක් වෙලා තිබීම ගැටළුවක් වන්නේ නෑ.
      ඉංග්‍රීසින් සිංහල ජාතිය ජාතිය කියන තත්වයෙන් පහලට ඇද දැම්ම නිසා තමයි ගැටළුව ඇතිවුනේ.

      Delete
    3. ඉතිහාසය පුරාවට මම නම් දකින්ව ජගත්, රටට එන විජාතිකයන් සිංහල බවට පත්වීමේ ප්‍රවණතාවක් තිබුණු බව. හරිශ්චන්ද්‍ර විජේතුංග මහත්තයත් වරක් ඒක කිව්වා. සිංහල කියන්නෙ විජය රජතුමා බිහිකළ ජාතිය නම්, පණ්ඩුකාභය රජුගේ කාලය වන විට යක්ෂයන් මිශ්‍ර වුණා. පසුකාලීනව අනුරාධපුරයෙ දෙමළ බෞද්ධයන් පවා හිටියා. ෆාහියන් භික්ෂුව කියනවා, අනුරාධපුර නගරයේ පදිංචි මධ්‍යධරණී වාසීන් හිටියා කියලා. කන්දඋඩරට කාලය වන විට නායක්කර්වරු, මුක්කරු, පරවරු ආදීන් සිංහල ජාතියට එකතු වුණා. ඔය විදිහට එංගලන්තයට ආව සාංක්‍රමණිකයන් මිශ්‍ර වී ඉංග්‍රීසි ජාතිය හැදුණා වගේ මේ රටේ සිංහල ජාතියක් බිහිවෙන්න තිබුණා, බෙදා වෙන්කර පාලනය කළ ඉංග්‍රීසීන් සහ පසුකාලීන බලලෝභීන් ගේ ව්‍යාපාර නොවන්නට, කියලා හිතෙනව.

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. ජාතික දිනයත් තනිකරම ෆැන්ටසියක් විතරයි අයියෙ දැන්. ටීවි එක ඉස්සරහ ඉඳඟෙන සන්නද්ධ රථ, ගුවන් යානා බලන එක විතරයි දැන් ඒක.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. සියල්ලක්ම වෙළඳ භාණ්ඩ විදිහට විකිණෙන ෆැන්ටසි තමයි මල්ලි. අලුත් අවුරුද්දත් එහෙමයි, වෙසක් එකත් එහෙමයි, නත්තලත් එහෙමයි, මැයි පළවෙනිදත් එහෙමයි...

      Delete
  14. මට හිතෙන්නේ අපේ රටේ සමජ පෙරලියක් සිදුවෙන්න යද්දී එ පැත්තට පෙරලිලා තමන් හා තමන්ගේ පැලැන්තිය බේරගත් රදළයෝ පිරිසක් තමා ඔය කියන පිරිසත්.මොකද එයාලගෙන් පැවැතගෙන දැන් පරම්පරාවත් හැසිරෙන්නේ කොහොමද කියා බැලුවාම හොදට තේරෙනවා...

    ReplyDelete
    Replies
    1. හ්ම්...වෙනත් අදහසක් වුනත්, ඇත්තක් නැත්තෙමත් නෑ. කොහොමත් වීරයො සාපේක්ෂයි නෙව? එක් කෙනෙක්ගෙ වීරයෙක්, තව කෙනෙක්ගෙ ද්‍රෝහියක්.

      ඒත් මට හිතෙන්නෙ හැමෝටම ඕනෑ වුනේ, බලය අතට ගන්න. ඒකට බණ්ඩාරනායක ජාතිවාදයත්, පැරණි වම සමාජවාදයත් යොදා ගත්තා. ඒත් ඒ කාටවත්, ඇති-නැති පරතරය අවම කරන්න ඕනකමක් නොතිබ්බා වෙන්න ඇහැකි. එදා සිට අද දක්වාම, රට දුවන්නෙ two-tier system එකට.

      Delete
    2. අසංග, ඔහොම හිතෙන්නෙ සමසමාජය බිහිවෙන්නෙත් සමාජයේ උගත් තරුණයන්ගෙන් විම නිසා. ඒ අවදියේ උගත්තු අනිවාර්යයෙන් ම මුදලාලිලාගේ සහ සල්ලිකාර රදළයන්ගේ දරුවො. ඒකනෙ අර මාර්ටින් වික්‍රමසිංහ යුගාන්තයෙ පෙන්නන්නෙ... වැඩේ තියෙන්නෙ බොහොමයක් ලංකාවෙන් ඉගෙනගන්න එංගලන්තයට ගිය තරුණයන් එහෙදි වර්ගවාදය විසින් කොන් වෙනව. ඔවුන් ග්‍රහණය කරගන්නෙ එංගලන්තයෙ කම්කරු පක්ෂය විතරයි. ආපිට ලංකාවට ආවම සමහරෙක් ආපහු සමාජයෙ ඉහළ පංතියට නගින අතරෙ, සමහරු එංගලන්තයෙදි උකහාගත්ත සමාජවාදී අදහස් අනුව වැඩකරන්න ගන්නව. සමසමාජ කාරයන් අවස්ථාවාදී වුණේ නෑ කියන එකයි මගෙ මතය. පසුකාලීනව වාසු හා ගුණවර්ධනවරු ධනවාදයේ නැට්ටෙ එල්ලුනාට, පරණ සමසමාජ කාරයන් ඒ තරම් ම වෙස් පෙරලුවේ නෑ. ඔවුන්ගේ සහාය බණ්ඩාරනායකලාට උවමනා වුණා. ඒ මාර්ගයෙන් සමසමාජය තමන්ගේ සටන්පාඨ ක්‍රියාත්මක කරවා ගත්තා. (බස් ජනසතුව, අඳ ගොවි පණත වාගේ දේවලින්)

      බස්,
      සමසමාජයට මුල්කාලයේ බලය අතට ගන්නවට වඩා වෙනත් උණක් තිබුණු බව මගෙ දැක්ම. ඔවුන්ට උවමනා වුණේ ඔවුන් ගෙනාපු සමාජවාදී සංකල්ප අනුව ල්කාවෙ තේ ගොවියන්, කම්කරුවන් ආදී උදවියගෙ ජීවන තත්ත්වය නගා සිටුවන්න බව පේනව. නමුත් කවදාවත් පාර්ලිමේන්තු ක්‍රමයක දි සමාජවාදය ජයගන්නෙ නෑ. එතකොට ඔවුන්ට සිද්ධ වෙනව එක්කෝ වඳවෙලා යන්න. නැත්නම් විප්ලවයකින් හෝ කුමන්ත්‍රණයකින් බලය අල්ලන්න, නැත්නම් ධනවාදයට මුක්කු ගහල ප්‍රතිසංස්කරණ ඇති කරන්න.

      Delete
  15. පසුගිය නිදහස් දිනයේදී අසන්නට ලැබුණු දිග කතාවෙත් ඔය කියන ආකාරයේ ජාතික වීරයන් කිසිකෙනෙකු ගැන සඳහන් උනේ නැහැ නේද? ඒ උනත් රජවරු ගැන සඳහන් කළේ 'වෙනත් අදහසක්' ජනතාවට දීම සඳහාද?

    ReplyDelete
    Replies
    1. මම ඇහුවෙ නෑ ඒ කතාව දයා මහත්තයා. කොහොමත් අපේ ලේ උණු කරවපුවාම, බලවාදී නායකයන්ට පාලනය කිරීම ලේසියි. ඊට හොඳ ම සංකල්පය තමා ප්‍රෞඪ ඉතිහාසය... මට වැඩි දෙයක් කියන්න බෑ ඒ ගැන. ඔබතුමා දන්නවනෙ...

      Delete
  16. ලංකාව නිදහස දිනා ගත්තා නොවේ. බ්‍රිතාන්‍ය විදේශ ප්‍රතිපත්තිය යුද්ධයෙන් පසු වෙනස් වුණා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඇන්ඇම්ලා, ඩීඇස්ලා, ජයතිලකලා, ධර්මපාලතුමා ලා කරපු සටනකින් නෙවෙයි. කොහොමත් යුධ වියදම නිසා යටත්විජිත පාලනය අසීරු වුණා. ඒකට හොඳ ම විසඳුම වුණේ ඩොමේනියන් පාලන ක්‍රමය.

      Delete
  17. ලංකාවෙ ජාතික වීරයො කියල දෙයක් නෑ පුතා. ජාතික විරයො කියන්නෙ සෙලවෙන අහවල් එකක් විතරයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්...සමහර වෙලාවට එහෙමත් හිතෙනවා. බලාගෙන ගිහාම හැමෝගෙම ඇජෙන්ඩා එකක් තිබිල තියනවා. නැත්නම් මුලදි හොඳ චේතනාවෙන් පටන් ගත්තත්, පස්සෙ දිනේෂ්ල, වාසුල වගෙ රජාගෙ සාක්කුවට බැහැල තියනවා. අපේ ගමරාළගෙ පහළ පෝස්ටුවෙ අන්තිම කොටස බලන්න.

      https://kolambagamaya.blogspot.com/2018/05/blog-post_30.html

      Delete
    2. ප්‍රසා,
      ඇත්ත. ස්වදේශානුරාගය කියන්නෙත් සෙලවෙන යමක් විතරයි. ඔය සෙලවෙන දේවල් අවුලලා ගත්තොත් හරක් රැළක් පාලනය කරන්න ලේසියි.

      බස්,
      ඇත්ත. සමාජවාදය පාර්ලිමේන්තුවට ආවම ඒක තමයි වෙන්නෙ. ජවිපෙ ත් පාර්ලිමේන්තුවෙදි ධනවාදී පක්ෂ දෙකට සප් එක දිම මිසක්, කලින් කිව්ව වගේ පාර්ලිමේන්තුවෙ රිමෝට් එක දිනාගෙන කරපු දෙයක් නෑ.

      Delete
  18. නිදහසක් කියල එකක් තියේද.
    කවුද කියන්නෙ..??

    මම හිතන්නෑ 😒😒
    පරිප්පු මහත්තයල කරපු ඒවැං බාගයක් තියා කාලක් දැං ඉන්න අවජාතක සක්කිල් කරන්නෑ. කරන්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. හා හා මහේෂ්... ආවේග ශීලී වෙන්න එපා.

      ඇත්ත. නිදහස කියල එකක් ඇමරිකාවෙත් නෑ. ස්විට්සර්ලන්තෙත් නෑ. කොහොමත් රාජ්‍ය ඔත්තු බැලීම් ආදිය මගින් ජනතාවගෙ මතය ගැන සෙවිල්ලෙන් ඉන්න අතර, ඉතාම දියුණු මාධ්‍ය භාවිතය මගින් මහජනමතය වෙනස් කරමින්, පාලනය කරමින් ඉන්නව.

      පරිප්පු මහත්තයලා කරපු දේ දැන් කාලෙ මහපොළොවට බැහැල කරන්න ගියොත් ඉතිං ඒ උදවියට දෙයියංගෙම පිහිටයි.

      Delete
    2. මාධ්‍ය කිව්වම සබ්බ සියලු මාධ්‍ය ගන්න පුලුවන් කියල හිතනව.
      ඒත් ලංකාවෙ නං පාලනයට වඩා මර්ධනයක් තමා දකින්නෙ.
      ආවේගශීලි ම ත් නෑ. කණගාටුයි දුකයි. අපි ගැනත් තරහයි

      Delete
    3. ඔව්. විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ලෙසට ම භාවිත කරනව රටේ දේශපාලන “ව්‍යාපාරයේ“ තරග කරන්නන්ගේ ප්‍රතිරූප ගොඩනගන්න. මර්ධනය නම් අපි හිතපු තරම් නෑ කියලයි මට පේන්නෙ. අර වගේ මොළ ශෝධනයක් සාර්ථකව කරද්දි මොකටද මර්ධනයක්?

      ඇත්ත. දුකයි තරහයි තමා...

      Delete
  19. ජාතික වීරයින් ගැන සමහර සමාජ මාධ්‍යය වල කතාබහ නම් අන්ත අසික්කිතයි. අපි සමරන විරුවන් තනිකරම අමනයින් ගානට දමා ඔවුන් කතා කරන්නෙ. එහි සත්‍ය අසත්‍යය තාව කෙසේ වෙතත් ඔවුන් කිසිම දෙයක් කර නැද්ද. ධර්මපාලතුමාට පාවා අමුකුණුහරුපයෙන් බැන වදිනවා. මෙහෙම ගරහන අය පූර්ණ නිවැරදි, පව් නොකෙරු අයද. අපි ඔවුන් නියමුවන් නොවේ නම් නිවැරදි උන් හඳුනා ගනිමු. ඔවුන්ගේ ගුණ මතු පරපුරට බෙදමු. අහසට කෙල ගසා එය මුහුණට නැවත කැන්දා නොගෙන.

    blog වල සංවරයෙන් මේ ගැන කතාබහක් දුටු නිසයි මේ අදහස එක් කරන්නෙ. තෙරුවන් සරණයි!

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ, සමාජ මාධ්‍යවලින් තම තමන්ගෙ අදහස් පළ කරන්න වේදිකාවක් තැනෙනවනෙ. ඉතින් කලින් පත්තරවල වගේ නෙවෙයි ඔ්නෙම කෙනෙකුට ලියන්න අවස්ථාව ලැබෙනව. පත්තරවලට ලියද්දි වැදගත් විදිහට අදහස් ප්‍රකාශ කරන්න හොඳ දැනුමක් උවමනා වුණත්, දැන් එහෙම ඔ්නෙ නෑ. ඉතිං මොනව හරි විරුද්ධ මතයක් කිව්වොත් උත්තර දෙන්නෙ කුණුහරුපෙන්.

      ධර්මපාලතුමා ගැන විවිධ මතවාද තියෙනව. නමුත් ජාතිවාදය හරි ආගම් වාදය හරි ගැන කියලා ලඝු කරන්න බැරි සංකීර්ණ භූමිකාවක් උන්වහන්සේ ගෙ තිබුණු බව පේන්න තියෙන ඉතිහාසය දිහා බලද්දි.

      Delete
    2. සමාජ වේවා මුද්රිත වේවා දෙයක් හරිහැටි නොදැන කොහොමද අදහස් දක්වන්නෙ. ඉතිහාස බලං හිටිය වගේ කතාව

      Delete
    3. ඇත්ත ඇත්ත... ඔ්නෙම කෙනෙකුට කතා කරන්න වේදිකාව ලැබෙනවනං, අප්පුඩි ගහන්න පිරිසක් ලැබෙනවනම්, උඩ පැන පැන දෙසීමක් තමයි අපේක්ෂා කරන්න පුළුවන්. ඔබතුමා තරහ වෙයිදදන්නෑ, සෝම හාමුදුරුවො කළෙත් ඒ වගේ දෙයක්.

      Delete
  20. සෑහෙන දුරට පිලිගත හැකි පිළිතුරු ටිකක්, ඩ්‍රැකී. ඒවගේම ඔබ, අපට වඩා මැදහත් ලෙස මේ මාතෘකාව දෙස බලල තියනවා කියල හිතුනා. වෙන,වෙනම ලියන්නෙ නැතුව , මෙතන කිව්වෙ ඔක්කොම පිලිතුරු සඳහායි. ආවේගශීලී නොවී, සංයමයකින් දේශපාලනය කතා කරන්න ලබා දුන්න, විරල අවස්ථාව ගැන ස්තූතියි.👌🙏

    ReplyDelete
    Replies
    1. මට දේශපාලන මතවාද වෙනුවෙන් පෙනී හිටින්න බෑ බකුස්, පෙන්ෂන් යනකල්. නමුත් අසංගගෙ පෝස්ට් එකෙන් ඇවිස්සුනු අදහස් ලියා දක්වන්න ඔ්නෙ වුණා අසංගට කරන සපෝට් එකක් විදිහටත්. අනික, අපි වයසින් සහ අත්දැකීම්වලින් මෝරනකොට සන්සුන් වෙනව නේ? මගෙ පරණ දේශපාලනික පෝස්ට් ආපහු බලනකොට මටම හිතෙනව මං හෙන ආවේගශීලී වැඩියි කියල.

      ඊයෙ අපේ බොස් මරු කතාවක් කීවා. අපි ළඟ රුපියල් කෝටියක් තිබුණත් වැඩක් වෙයිද, ගෑස් එකක් ගන්ඩ බැරිනං කඩෙන්? ෆෙරාරියක් තිබුණත් වැඩක් වෙයිද, රටේ තෙල් නැත්තං? අපි හැමෝටම මේ රට දාල යන්න බැරි නිසා අපේ යුතුකම මේ රට ගොඩගන්න එක...

      Delete
    2. මට තේරුම් ගත හැකියි.

      //සමාජයේ ඉන්නෙ මොනවගේ උදවියද, ඒකෙම සාම්පලයක් තමා මහජන නියෝජිතයො විදිහට දකින්න තියෙන්නෙත්//

      මේක තමයි තිත්ත ඇත්ත. මක්ඛලීඝෝසාල ජීවන රටාව, බොරුව සහ වංචාව අද සමාජගත වෙලා. බොරු කියන්න කිසිම ලැජ්ජාවක් නෑ. මම හිතන්නෙ, ඇත්ත ඇති හැටියෙන් තේරුම් ගැනීම, හොඳ ආරම්භයක් විය හැකියි.

      Delete
    3. ඔව්. ආං ඒ නිසා තමයි පාලකයෙකුට විතරක් රටක විනය හදන්ඩ බැරි. පරණ කුමාරොදයවල් එහෙම කියවද්දි පේනව ඒ කාලෙ සමාජය පොඩිකාලෙ ඉඳන්ම හැඩගස්වන්න ලේඛකයො, ගුරුවරු, වැඩිහිටියො දක්වල තියෙන උනන්දුව. නමුත් අද කාලෙ තියෙන්නෙ තරගයක් විතරයි. මේක චක්‍රයක් වගේ දුවනව බකුස්. මොන ක්‍රමයකින් හරි සල්ලි හම්බකරන්න තරග කරනව. (විවාහ උත්සවවල තියෙන සංකීර්ණ බව ම බලන්න. ඒ ඒකට සම්බන්ධ ව්‍යාපාර විසින් ම ඇති කරන උවමනාවල්) ඒකෙන් ජීවන වියදම උඩ යනව. ඊට පස්සෙ ජීවන වියදම පියවගන්න තව තවත් සල්ලි හම්බ කරන්න සිද්ධ වෙනව. ඔන්න ඔය විදිහට...

      Delete
    4. ඇත්ත, මේක විශම චක්‍රයක්. බල්ලො මරල හරි සල්ලි හොයන්න ඕනෙ කියන, මානසිකත්වයට වැටුනාම, ආචාර ධර්ම, විනය බල්ලට යනවා.

      Delete
    5. බල්ලො මරන්ඩ වෙන්නෙ සල්ලි හිග වුණාම. බල්ලො මරන පොරේදි උද්ධමනය ඉහළ යනව.

      Delete
  21. Bresgardal සිටින පින්තුරයේ ඔහුට පිටුපසින් සිටින්නේ විල්මට් ඒ පෙරේරා සහ ආර් ජී. සේනානායක

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දයා මහත්තයා. මං හිතන්නෙ එතන අර බෑග් එකක් තියාගෙන ඉන්න උස කෙනා ලෙස්ලි ගුණවර්ධන කියලා...?

      Delete
  22. ආවේ ගොඩක්කල් පසුවී කියවන්න
    සාරයි කමෙන්ටුත්, වැටිලනෙ සෑහෙන්න
    හරි සතුටුයි මෙහෙම දේවල් දැක ගන්න
    සුපැතුම්! ඩ්රැකී ලිව්වට සිත් කළඹන්න

    ReplyDelete
    Replies
    1. ඔබටත් මෙයට එක් කරනට කරුණු ඇති
      කමෙන්ට්වලින් මා දැනගත් දේ රැසකි
      ඉස්තූතියි සුබපැතුමට සහ කවට
      නිදිගේ දැකුම සහ කෝපිය රසවත්ය

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි