Saturday, September 25, 2021

අවසානයක් නොවේ - 41

 40 කොටස...

1989 මැයි මස එක් දිනක...

ලෙෆ්ටිනන්ට් මිත්‍ර උඩුගම නතර වී ආපසු හැරී බැලුවේ අප්‍රසාදය මුසු වූ බැල්මෙනි. 

"මම කලින් ම කිව්වා, මිලිටරි සෙල්ලම එක්ක අපට අපේ වැඩේ සාර්ථක කරගන්න බැරි බව..." ඔහු පහත් හඬින් කීවේ ය.

මඳ අඳුර හාත්පස හෙවුණු දැවැන්ත පළතුරු ගස් වල අතු පතර සිට පහතට පැතිරෙමින් පැවතුණි. සිය කැදලි කරා යුහු යුහුව පියාසර කරන කුරුල්ලන් ගේ කළබලය හිස්වලට ඉහළින් ඉඳ හිට නැඟුනි. වඳුරු රංචුවක කළ කෝළහාලයක් ඈතින් ඇසෙන්නට වූයේ එකවරම ය.

"ඒ කතාව මම මීට කලින් ඇහුවෙ 71 කැරැල්ල වෙලාවෙදි." ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් සමන් ගලගොඩ තම සගයාට සමච්ඡල් කළේ ය. 

"බයවෙන්න එපා. තාරා හරි ඇවිදින් අන්තිමේ අපි බේරගනියි. තව ටික දුරයි, යං යං...!" කැප්ටන් අමරේන්ද්‍ර , මිත්‍ර ගේ උරහිසට තට්ටු කර දිරි ගැන්වීය.

"නුඹලට බරක් පතළක් නෑ." මිත්‍ර මැසිවිලි කීවේ ය. "එක අතකට තාරා කියපු දේ හරි. අපට මේක ඒ කාලෙදි ම විනාශ කරල දාන්න තිබුණෙ, ‌ඉතිහාසගත වටිනාකම මොකක් වුණත්..."

"මේක විනාශ කරල දාන්න, මේක අපේ දෙයක් ද මිත්‍ර?" අමරේන්ද්‍ර විමසූයේ නොරිස්සුමකිනි. "මේක අයිති ලෝකයට. සුදුසු පුද්ගලයන්ට උරුම කර දෙන්න, ආරක්ෂා කරන එක අපේ යුතුකම"

උරහිස් ගස්සා සිය නො එකඟතාව පළ කළ මිත්‍ර ඉදිරිය බලා පය ඉක්මන් කළේ ය.

දිවා ගුහාවේ බිහි දොර තිබුණේ ඔවුන්ට පියවර විස්සක් පමණ නොදුරින් එළිමහන් ‌කොටසක ය. බැස යමින් පැවති මළාණික රත් පැහැ හිරු රැස් හා අඩ අඳුර මැද එහි විවරය දිස් වුණේ දැවැන්ත සිංහ මුඛයක් ලෙසිනි. 

තමන් පැමිණි දිශාවට විරුද්ධ පැත්තෙන් කැළෑව මැදින් තවත් කවුරුන්දෝ පැමිණෙමින් සිටි බවට සළකුණු ඉදිරියෙන් ම ගිය මිත්‍ර දුටුවේ ය. වමතේ දබරැඟිල්ල හා මැදැඟිල්ල වී හැඩයට සකසා, සිය දෑස් වෙත යොමු කොට, නැවතත් ඉදිරිපසට යොමු කරමින් ඔහු සිය සගයන්ට සංඥා කළේ ය. මිත්‍ර සිය දකුණු උරහිසේ වූ ඒකේ 47 තුවක්කුව දකුණතට ගනිද්දී අනෙක් දෙදෙනා ද විමසිලිමත් වූ හ.

අත් ඉහළට ඔසවාගත් දෙ දෙනෙක් කැළෑවේ ප්‍රති විරුද්ධ පැත්තෙන්, එළිමහන් බිමට පිවිසිය හ. ඒ අඳුරුවන් සමැති උස් තරුණයෙක් හා බර්ගර් පෙනුමක් ඇති ආරෝහ පරිණාහ දේහ ධාරියෙක් බව හමුදා භටයෝ දුට හ.

තුවක්කු පහතට දැමූ මිත්‍ර ඔවුන් ඉදිරියට පිය නැගුවේ උනන්දුවෙනි. "ටිරෙල් ඕඩින්සනුත් දැන් රෝ ඔත්තුසේවයට ද වැඩ?" ඔහු රුද්‍ර වෙත යන්තමින් බලමින් ඇසී ය.

"රෝ එකේ වැඩ නුඹලට තව මාස දෙක තුනකින් බලා ගන්න පුළුවන් වෙයි." අඳුරුවන් තරුණයා සෙමෙන් කීය. "ආ වැඩේ කෙළවරක් කරමු දැන්..."

පස් දෙනා ගුහාවට ඇතුළු වූයේ සීරුවෙනි. නායකත්වය දුන් ජ්‍යෙෂ්ඨයා වූ කැප්ටන් අමරේන්ද්‍ර ඉදිරියෙන් යමින්...

ගුහා අභ්‍යන්තරයට යත්ම, ගෞතම නම් පුරාණ දාර්ශනිකයා මැවූ ඉන්ද්‍රජාලම අනුව නැඟුනු ධර්ම දේශනාවේ හඬ කෙමෙන් කෙමෙන් ඇසෙන්නට පටන් ගත්තේ ය. ඊට පසුබිම් වෙමින් දියත්තක් කැළඹෙන හඬක් වරක් හෝ දෙවරක් ඇසුණු බව මිත්‍ර ට දැනුණි. රම්බෝ පිහියක් සිය කෙණ්ඩාවේ ගැට ගසා තිබුණු පටි තද කරගනු වස් ඔහු මඳක් පමා විය. ඊට සියවස් තුනකට පමණ පෙර ලෝකී විසින් මවන ලද සෙවනැලි පිටපත, ගුහාවේ බිත්තියක අඳුරු මුල්ලක සිට එළියට ආවේ ද ඒ මො‌හොත‌ේ ය. ඒ වන විට ද, රුද්‍ර, ඉන්ද්‍ර, ටිරෙල් සහ සුමන අමෘත උල්පත තිබුණු අභ්‍යන්තර ගුහාවට ඇතුළු වෙමින් සිටියහ.

ගුහාවේ මැද වූ උල්පත අසළ දණ ගසාගත් දළ කුමාර, ඔහු අසළින් ම බොඩි බෑගයක බහා තිබූ රූමත් තරුණියකගේ ප්‍රාණය නිරුද්ධ සිරුර, සහ ඔවුන් අසළ සිටගෙන සිටි පැරණි නෝර්ඩික් අද්මිරාල් වරයා...

"තොපේ රහස් ඔත්තු සේවය ප්‍රමාද වැඩියි!" දළ කුමාර ගුගුළේ ය. "මගෙ පණ ගියත්, මගෙ ගිරි දේවි ආපහු නැගිටිනවා."

එකෙණෙහි ම රුද්‍ර හා ටිරෙල් කපා හෙළූ කඳන් මෙන් බිම පතිත විය. ඔවුන් වැටුණේ මිත්‍ර නිල බලා දුන් මුෂ්ටි ප්‍රහාර දෙකකින් බව ඉන්ද්‍ර හා සුමන හට තේරුම් යන පමාවෙන්, ඩ්‍රේක් ඔවුන් අසළ ය...

සිය පැති අවිය වූ 9mm ස්වයංක්‍රීය පිස්තෝලය ඇදගත් සුමන එය එල්ල කරන්නට පමා නොවී, එයින් ඩ්‍රේක් ගේ හිසට පහර දුන්නේ ය. ඇසිල්ලකින් හිස ඇල කොට එම පහර වළක්වාගත් නෝර්ඩිකයාගේ මිට මෙළවූ සුරත වේගයෙන් තම නාසය වෙත ඇදී එනු ගලෙගාඩගේ දෑසට ලක් වීමත්, එම මුෂ්ටිය සමඟ ඇදී ආ සුළං රැල්ල ඔහුගේ ඇසිපිය මත වැටීමත් සිදු වූයේ එක්වරම ය. මුෂ්ටි පහර වැළැක්වීමට කාලය මඳ වූයෙන් එය සිය නිකට කොණක වැදෙන්නට ඉඩ හැරි සුමන, එම පහරත් සමඟ සිය හිස මඳක් පිටුපසට යාමට ඉඩ දී, දකුණු පසට පිටුපසට නැවී වම් පය සිය හිසට සමාන්තරව ඔසවා වැරෙන් පහරක් එල්ල කළේ ය. එය අපේක්ෂා නොකළ ද, ඩ්‍රේක් හට පසෙකට පැන එයින් බේරෙන්නට හැකි වූයේ, රීරි යකාගෙන් ලැබී තිබූ අමානුෂික ශක්තිය හා වේගය උපකාරයෙනි.

ඒ අතර, මිත්‍ර හා දළ කුමාර එක්ව කැප්ටන් අමරේන්ද්‍ර අඩපණ කොට බිම වැතිරවා තිබූ බව සුමන ඇස් කොණකින් දුටුවේ ය. ඒ අවසරයෙන් අඩියක් පමණ උඩපැන ඩ්‍රේක් දුන් සමනළ පා පහරින් සුමන ගේ සමබරතාව බිඳී, විසිවී ගොස් උල්පතට වැටුණේ ය.

තප්පර කිහිපයක් යන තුරු ඇසුණේ, ජයග්‍රාහකයන් ගේ හුස්ම පිටකිරීමේ ශබ්දය පමණකි. මිත්‍ර කෙමෙන් කෙමෙන් අප්‍රාණික ව වැටෙණු, කැප්ටන් අමරේන්ද්‍ර ගේ අඩවන් දෑසට ලක් විය. මිත්‍ර වැටෙද්දී ඔහුගේ සිරුරින් ඉහළට නැඟුනු රැස් දහරක් මිනිස් රූපයකට හැරෙන්නට පටන් ගත්තේ ය. ගුහාවේ අඳුරු බිත්තියක සිට ඒ දෙසට ඇදී ආ සෙවනැල්ලක් ද ඊට මුසු ‌වෙමින්, සමච්ඡල් සහගත සිනාවකින් සැරසුණු ලෝකී ගේ මුහුණ හා ශරීරය නැවත නිර්මාණය විය. 

උල්පත වෙත හැරුණු ලෝකී ගේ දෑසට ලක් වුණේ එහි වැටී සිටි අලුත උපන් බිළිඳෙකි. ගිරි දේවිය කෙමෙන් කෙමෙන් ප්‍රාණවත් වන ආකාරය බලා සිටි දළ කුමාරට අත වැනූ ලෝකී, උල්පත වෙත නැඹුරු වත් ම, ඔහුගේ හිස ට අකුණු දහසක් එක විට වැදුණාක් මෙන් බලැති මිටි පහරක් වැදුණේ ය. එකෙණෙහි ම නෝර්ඩික් දුෂ්ට දෙවියා මැරී වැටුණේ ය. සිය අතෙහි වූ මිටිය නැවතත් ටිරෙල් අසළට විසි කර දැමූ ඇඩම් උල්පතෙහි වූ අමා දිය දෝතින් රැගෙන බීවේ ය. 

දළ කුමාරත්, ගිරි දේවියත්, නැවත ඔවුනොවුන් හමුවීමෙන් ප්‍රමුදිතව සිටියදී, උල්පතට වැටී උන් ළදරුවා මෘදුව වඩා ගත් නෝර්ඩික් වැම්පයරයා ගුහාවෙන් පිටව ගියේ ය.

*    *    *

ඉන්දිරා පල්ලියේ සිට නිවසට ඇවිදගෙන ආවේ බිමට බරවූ හිසිනි. ෆයර්මවුන්ට් නගරයේ වැසියන්ට, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නමට බැරවූ තවත් එක් පොලිස් නිලධරයෙකුගේ මරණයක් වූව ද, ඇගේ සැමියා ‌ගේ වියෝව තවමත් පපුවට ඇණුනු කටුවක් සෙයින් වේදනා දෙමින් පැවතිණ. 

අබලන්ව දෙපසට පැද්දෙමින්, ඩක ඩක ගාමින් ඇදී ගිය බර බාගයක් විසින් ගුරු පාරේ නොමඳ ව පැවති දුහුවිල්ල ඇවිස්සී ය. උඩුකය නිරුවත් කොල්ලන් තුන් දෙනෙක් ගේ පාවහන් රහිත පතුල් පාරේ ගැටෙන හඬින්, ඉන්දිරා පාරේ අයිනට ම තල්ලු විය. මළ හිරු ගේ අවසන් රැස් දහර ද ගිළී ගිය ඉක්බිති, හාත්පස මඳින් මඳ අඳුර පැතිර යමින්...

පැරණි ගේට්ටු පියන් විවර කර, සිය ගෙවත්තට ඇතුල් වූ ඉන්දිරා, නිවසේ එළිපත තිබූ පොදිය දැක විමසිලිමත් විය. "ඔබ අසල ඇති පාර්සලය බෝම්බයක් විය හැකියි!" නිතර දෙවේලේ රූපවාහිනියේ හා රේඩියෝවේ පළ කෙරුණු දැන්වීම් නිසා ඈ බියපත් වූවා ය. 

එකෙණෙහි ඇගේ දෙසවණට ඇසුණේ කුඩා ළදරුවෙකු ගේ දුර්වල කෙඳිරියකි. අතෙහි වූ යාඥා පොත හා අත් බෑගය බිම තැබූ ඈ කුඩා පොදිය ප්‍රවේසමින් වඩාගත්තා ය. ඔතා තිබූ මෘදු රෙදි කඩ මෑත් කර බැලූ ඈ උදා වෙමින් පැවති පුර හඳේ එළියෙන් දුටුවේ සුරතල් දරුවෙකු ගේ මුහුණකි.

"ශාම්..." ඇගේ මියගිය සැමියා ඇමතූ සුරතල් නම එය විය. "ඔයා ආයෙමත් මා ළඟට ආවද?" 

කුඩා දරුවා දත් නැති කුඩා රෝස පැහැ විදුරු මස් පෙන්වා, සිනා සෙන්නාක් මෙන් සිඟිති දෙත‌ොල් සකස් කර ගත්තේ ය. 



*    *    *

තව කොටසක්...

Saturday, September 18, 2021

එදා අප දුටු චිත්‍රපටයකින් - මොන්ටි පිඹුරා සහ ශුද්ධවූ ග්‍රේලය

1975 දි එළි දැක්වුණු බ්‍රිතාන්‍ය චිත්‍රපටියක් "මොන්ටි පයිතන් ඇන්ඩ් ද හෝලි ග්‍රේල්". මේක හැදුවෙ මොන්ටි පයිතන් නම් බ්‍රිතාන්‍ය කොමඩි කණ්ඩායම. මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිත හැම එකක්ම නිරූපණය කරන්නේ මොන්ටි පයිතන් කණ්ඩායමේ ග්‍රැහැම් චැප්මන්, ජෝන් ක්ලීස්, ටෙරී ගිලියම්, එරික් අයිඩ්ල්, ටෙරී ජෝන්ස් සහ මයිකල් පේලින් යන හය දෙනා.


මේ චිත්‍රපටියේ මුලින්ම අවධානය යොමු කළ යුතු අංගය තමයි, නාමාවලිය. නාමාවලිය ඉංග්‍රීසියෙන් දක්වන අතරෙ, ඩේනිශ් උපසිරැසියක් දානව. ටිකක් දුර යද්දි  උපසිරැසියෙ වෙන වෙන දේවල් යන්නෙ. පස්සෙ ඒ ගැන කණගාටුව පළ කරලා, උපසිරැසි හදපු අය සේවයෙන් පහ කරනව...

චිත්‍රපටිය පටන් ගන්නෙ ක්‍රි. ව. 932න්. ඌතර් පෙන්ඩ්‍රැගන් රජු ගේ පුත්‍රයා වූ ද, සැක්සන් වරු පරාජය කළා වූද, සමස්ත එංගලන්තයේ ම පාලකයා වූ ද, ආතර් රජතුමා තමන්ගෙ අතවැසියෙකුත් එක්ක වීර නයිට්වරුන් සොයමින් එංගලන්තය පුරා සැරිසරන ජවනිකාවෙන් පටන් ගන්නෙ. චිත්‍රපටියට අශ්වයන් ගන්න ප්‍රමාණවත් මුදල් නොතිබුණු නිසා, ආතර් රජු අශ්වයෙක් පිටේ යන බව පෙන්නමින් පැන පැන යන අතර, පස්සෙන් යන අතවැසියා පොල් කටු දෙකක් තට්ටු කරමින් අශ්ව කුර ගැටෙන හඬ අනුකරණය කරනවා.

එක්තරා පාළමක් තියෙනව, එතන මුර කරගෙන ඉන්නවා කළු නයිට්වරයෙක්. ඔහු පරාජය කළොත් මිස, පාළමෙන් එතෙර වීම තහනම්. ඒ කොටස, ධනාත්මක චින්තනය සහ නොපසුබට ධෛර්යය ගැන හොඳ උදාහරණයක්.


ඔය අතරේ හදිසියේ ම ආතර් රජු ඉදිරිපිට පෙනී හිටින දෙවියන් වහන්සේ, එතුමාට ශුද්ධවූ කාර්යයක් පවරනවා. ඒ තමයි, ජේසු තුමා අවසාන භෝජන සංග්‍රහයේදි මිදි රස බිවූ කුසලානය සොයා යාම. වහාම තමන්ගේ නයිට්වරු කැඳවන රජු, ඔවුන් එක් එක් දිශාවන්ට පිටත් කර හරිනවා.

ඒ එක් එක් නයිට්වරයාට විවිධ වූ අභියෝග හමුවෙනවා. තම වන්දි භට්ටයන් ද සමඟ යන සර් රොබින් නම් නයිට්වරයාට හමුවෙන ඔලු තුනේ යෝධයා ඉන් එකක්.


කාන්තාවන් පමණක් සිටි ඇන්ත්‍රැක්ස් නම් බලකොටුවට යන සර් ගැලහැඩ්, සර් ලාන්සෙලොට් විසින් ගළවා ගන්නා ආකාරය එවැනි තවත් වික්‍රමයක්.


විවිධ වික්‍රමාන්විත ක්‍රියාවන්ට මුහුණ පාන නයිට්වරුන් සහ ආතර් රජතුමා නැවත හමුවන අතර, එක් අවස්ථාවක, ගුහාවක සිටින ඉතා බිහිසුණු සතෙකුට එරෙහිව මේනාර්ඩ් සහෝදරතුමා භාරයේ පැවති "ඇන්ටියෝක් හි ශුද්ධවූ අත් බෝම්බය" යොදාගන්නවා.


ඒ ගුහාවේ දී ඔවුන්ට අරමතියාවේ ජෝසෆ් ගේ අවසාන වචන සහිත සෙල්ලිපියක් කියවන්නට ලැබෙනවා. ඉන් පසු මරණයේ පාළම අසලට යන ඔවුන්ට ඒ අතර හමුවන කළු රාක්ෂයාගෙන් බේරෙන්නට හැකි වන්නේ, ඒ රාක්ෂයා ඇනිමේට් කරමින් සිටි කාටුන් ශිල්පියා හදිසියේ හෘදයාබාධයකට ලක් වීම නිසා.

මරණයේ පාළම අසළ සිටින පිශාචයා අසන ප්‍රශ්න තුනකට නිවැරදි පිළිතුරු දෙන්නට හැකි අයහට පමණක් පාළමෙන් එගොඩ වන්නට පුළුවන් වනවා. එහිදී නිවැරදි පිළිතුරු දෙන නිර්භීත සර් ලාන්සෙලොට් එතෙර වන අතර, සර් රොබින් සහ සර් ගැලහැඩ් නිවැරදි පිළිතුරු දීමට ‌අපොහොසත්ව පාළම අසළින් යන මරණයේ ප්‍රවාහයට ‌ගොදුරු වෙනවා. ආතර් රජතුමාගෙන් පිශාචයා අසන අවසාන ප්‍රශ්නයට රජතුමා ප්‍රශ්නයකින් පැහැදිලි කිරීමක් විමසනවා. එය පිශාචයා නොදන්නා නිසා, පිශාචයා මරණයේ ප්‍රවාහයට ගොදුරු වනවා.

අවසානයේ ආතර් රජතුමා හට ශුද්ධවූ කුසලානය පවතින බලකොටුව හමුවනවා. නමුත් ගැටළුවකට ඇත්තේ, ඒම බළකොටුවේ ප්‍රංශ හමුදාවක් සිටින අතර, ඔවුන් අප්‍රසන්න අපහාසාත්මක වචනවලින් ආතර් රජුහට පරිභව කිරීමත්, ඇතුල් වීමට ඉඩ නොදීමත්, විවිධාකාර දේවලින් ඔවුන්ට දමා ගැසීමත්...

ඉතින් ආතර් රජතුමාහට ශුද්ධවූ කුසලානය ලබා ගැනීමට හැකි වේද යන්න චිත්‍රපටය නැරඹීමෙන් දැනගන්න පුළුවන්...

චිත්‍රපටිය ගැන අයිඑම්ඩීබී තොරතුරු මෙතනින්

Wednesday, September 15, 2021

අවසානයක් නොවේ - 40


තෙත්බර පාංශුමය බවකින් වාතස්කන්ධය ඝන වී තිබුණේ ය. ගොම්මන් වෙලාවේ ගන්නොරුව තොටුපොළ අවට පැවතියේ මහා පාළු ස්වභාවයකි. මූකලන් බස්සෙකු ‌ඉඳහිට නැඟූ රාවයකට ප්‍රතිචාර වශයෙන් දෝ තනි වූ නරියෙකු නැඟූ උඩු බිරුලෑමක් විටින් විට නැඟුනේ ය. 

මහනුවර නගරයේ සිට දිවෙන මැද ඇළ මහවැලි ගඟ හමුවන ‌තොටමුණ සහ ගන්නොරුව තොටුපළ රජතුමා විසින් මනාව ආරක්ෂා කරන ලද්දේ ය. ඒ කන්ද උඩරට රාජ්‍යයට පිවිසෙන ප්‍රධාන කඩවතක් ඒ ආශ්‍රිතව පැවතීම නිසා ය. මුරකාවලටත් වඩා සාමාන්‍ය මිනිසුන් ඒ පෙදෙස වර්ජනය කිරීමට තවත් හේතුවක් පැවතිණ. අමනුෂ්‍යයෙක් ගොම්මන් වෙලාවෙන් පසු එහි ගැවසෙමින් නරබිලි ගන්නා බවට වූ විශ්වාසය ඊට මුල් විය. එහෙයින් ම ගං ඉවුරේ රඳවන ලද මුරභටයෝද අඳුර වැටීමෙන් පසු තොටුපොළෙන් ඔබ්බට අඩියක් වත් එසවීමට බිය වූ හ.

මහ ඇළ, ගඟට වැටෙන තොටමූණට ආසන්න හරියක, අන්තර් භෞම උම්මග්ගයේ ගඩොලින් තැනුණු පාර්ශ්වික කුටීරය තුළ කිහිප දෙනෙකුට සුවපහසුවට වාඩිවන්නට ඉඩ කඩ පැවතුණි. බිත්ති හතක් මඟින් සප්තාස්‍රාකාර ව සැදී තිබූ කුටියේ වහළය, උඩට යන්න යන්න ම ගඩොල් එළියට පන්නමින් ආරුක්කුමය හැඩයකින් නිර්මිත විය. කුටිය මැද වූ විශාල ගල් පාත්‍රයට පිරවුණු දරින් ඇවිළුණු ගිණි මැළයක් වූ අතර, ඒ අසළින්ම වාගේ කුඩා කනප්පුවක් බඳු දැවමය ඇටවුමක් මත කළ ගෙඩි දෙකක් ද, පළහන ලදුව දුම් දමමින් පැවති වල් ඌරෙකුගේ කොටස් ද, මනාව සුද්ධ කළ පොල් කටු දෙකක් ද විය. පළහන ලද ඌරාගෙන් නැඟුනු පුළුටු සුවඳ සමඟ මුසු වූ ගිණිමැළයෙන් නැඟුණු දුම අර්ධ ගෝලාකාර පියස්සේ වූ සිදුරකින් පිටතට නික්මිණ.

කනප්පුව වටා සකස් කරන ලද ගල් ආසන කිහිපයෙන් දෙකක් මත විචිත්‍රවත් ව වියන ලද නියඳ පැදුරු එළා තිබුණි. ඉන් එකක වාඩි වූ දළ කුමාර හෙවත් වීරබාහු, වමත දිගු කර කුඩා කළයේ කරින් අල්ලා එසවීය. ඔහු සුරත දිගු කර තමා ඉදිරියේ වූ පොල්කටුව අතට ගන්නවාත් සමඟම ඩ්‍රේක් ඔහු වැලැක්වීමට දකුණත දිගු කළේ ය.

"මට තෙලිදිය බොන්න පිරියක් නෑ..."

දළ කුමාර මඳ සිනහවක් නඟන විට ගිණිමැළයේ එළියෙන් ඔහුගේ දත් කහපැහැයෙන් දිළිසුණි. ඔහු ඩ්‍රේක් ගේ විරෝධය නොසළකා කලය ඇල කොට සිය ආගන්තුකයාගේ පොල්කටුවට වත් කළේ ය. ඒ රා නොවූ බව දුටු ඩ්‍රේක් මවිත විය.
 
"තෙලිදිය බොන්නෙ නෑ, පිපාසයට..." දළ කුමාර පැවසී ය. "අනික, මම දන්නවා නුඹ ඉන්නා තත්ත්වය. මේ තියෙන්නෙ මේ වල් ඌරා පුළුස්සන්න කලින් ඉවත් කරගත්ත නැවුම් ලේ. බීපන්..."

පොල් කටුව දෑතින් ම ඩැහැගත් නෝර්ඩික් අද්මිරාල්, නාසයට ළං කොට එයින් නැඟුනු ප්‍රෝටීනමය සුවඳ වින්දේ ය. එම සුවඳින් සිය සිරුරෙහි රුධිර නාල හා ස්නායු ප්‍රබෝධවත් වී එනු හැඟෙත් ම ඔහුගේ දෑස් අඩවන් වී ගියේ ය.

තොල් අතර පොල් කටුවේ සියුම් තද බව දැනෙද්දී, දෙතොල්, දත් අතරින් දිව මතින් උකු රුධිරය පොදින් පොද ගළාගෙන උගුර තුලින් ගළනාලය ට ඇදී යද්දී, එහි ජීවමය සුවඳින් හා රසයෙන් ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන් නම් නෝර්ඩිකයා මුසපත් වී ගියේ ය.

"මේ දිවයින ප්‍රසිද්ධයි, සප්ත මහා සාගරයේ ලැබිය හැකි හොඳම ආගන්තුක සත්කාරයට..." දළ කුමාර ගේ වචන නැවතත් ඩ්‍රේක් ගේ කණට ඇසෙන්නට පටන් ගත්තේ ය. 

පෙරේත කමකින් මඳින් මඳ පොල්කටුව හිස් කළ ඇඩම් පියවි සිහියට නැවතත් එමින් සිටියේ ය.

"ඒ වගේම, ලොව ඉහළ ම දෙපිටකාට්ටුවන්ට, ස්ත්‍රී ධූර්තයන්ට සහ කපටි ආරක්ෂකයින්ටත් ඒ වගේ ම ප්‍රසිද්ධයි. නුඹ රහස් දූරයේ උන්නා නෙව? දැකලා ඇති ඉන්ද්‍ර හෙවත් මීමුරේ නිළමෙ?" ඩ්‍රේක් හිස සිරස් අතට දෙවරක් - තුන් වරක් වනා ඊට එකඟ විය. 

දළකුමාර නැවතත් පොල්කටු දෙක පිරවීය. "ආන්න ඒ ඉන්ද්‍ර තමයි මේ දිවයින සතුරු බලවේගවලින් ආරක්ෂා කරගෙන ඉන්නවාය කියන හතර වරම් රජවරුන්ගෙ නායකයා. ඒ වගේ ම මේ දිවයිනේ ඉන්නා අංක එකේ සල්ලාලයා..." ඩ්‍රේක් මවිතයෙන් දෑස් උඩුකුරු කොට තමා ඉදිරියේ ඉන්නා සංග්‍රාහකයා දෙස බැලී ය.

"ඔක්කෝටම කලින් ඉඩදීපන් මට, මාව අඳුන්වා දෙන්න. මගේ සීයා තමයි වංග දේශයේ සිංහබා. ඔහු සරණපාවා ගත්තේ ඔහුගේ ම නැගණිය. ඒක තමයි රාජකීය ලේ ඉදිරියට පවත්වාගෙන යාමේ මාර්ගය. ඔහු ගේ වැඩිමල් පුතා සිංහල හෙවත් සිංහ කුමාර මේ දූපතට ගොඩබැහැලා, මේ දිවයිනේ ගම්මාන රාශියක් එකතු කරලා, පුරයක් හැටියට පාලනය කළ පළමු රජු. ඔහු ක්ෂිත්‍රිය ධර්මය අනුව යටපත් කරගෙන සරණපාවා ගත්තා බම්බා නම් පාලකයා ගේ දියණිය. ඇගේ නම කුවණ්නා. වැද්දන් ඉඳිගොල්ලේ කිරි අම්මා කියා කියන්නේ ඇයට. ඔවුන්ට දරුවන් දෙදෙනෙක් උපන්නා. ජීවහත්ථ හෙවත් වීරබාහු, ඒ කියන්නේ මම සහ දිසාලා නම් මගේ නැගණිය. 

"අපේ අම්මා අපි කුඩා කාලෙදිම මැරුණා. තාත්තා මට විල්බා දනව්ව හෙවත් මලය රට පාලනය කරන්න දුන්නා. මගේ වීරබාහු යන නමින් තමයි විල්බාවට නම ලැබුණේ. 

"ඔන්න ඔතනදී තමයි ඇන්ඩර්සන්, වැදගත් ම කොටස මතු වෙන්නේ..." 

ඩ්‍රේක් සිය පොල්කටුව කණප්පුව මත තබා සාවධාන වූයේ ය.

"මගේ රාජධානියේ තියෙනවා සුමන කූටය කියා කඳු පංතියක්. කිසිම විදිහකින් මනුෂ්‍යයෙකුට ජනාවාසයක් හදාගන්න බැරි, පාරක් හෝ මං හසරක් හොයාගන්න බැරි මීදුමින්, කැලෑවෙන්, කුරු අලින් හා දිවියන්ගෙන්, ඊටත් වඩා අමුතු ම මායාවකින් ආකූල වුණු කොටසකයි ඔය කඳු පංතිය තියෙන්නේ. මම දවසක් දඩයමේ යද්දී අතරමං වී ඔය කියන වනාන්තරයේ ඇතුළට ඇතුළට ම යැවුණා. අන්තිමේ මට හම්බවුණා අද්භූත ගල් ගුහාවක්. ඒක ඇතුළේ තිබුණා කොළ පැහැයට හුරු නිල්වන් දියෙන් පිරුණු උල්පතක්. මම පිපාසය වැඩි කමට එයින් දිය දෝතක් අරන් බීවා. ඒ දිය මගේ උගුර හරහා යද්දී ම මට දැණුනා, මගේ සිරුරට ඒක උරාගන්නා බවත්, මගේ ශරීරයේ සැම කුඩා කොටසක් ම වෙනස් වීගෙන, ප්‍රකෘතිමත් වීගෙන යන බවත්.

"මට බොන්න හැකි වුණේ උගුරු දෙකයි. මම හිස ඔසවද්දී දුටුවේ මා දෙසට කඩුවක් අමෝරාගෙන ඉන්නා සුමන හෙවත් වෛශ්‍රවණ..."

"සුමන?" ඩ්‍රේක් සපමින් සිටි වල් ඌරු මස් කැබැල්ල ස්වාසනාලය දිගේ නොගොස් බේරුණේ යාන්තමිනි.

"ඔව්. සුමන... නැත්නම් දැන් ඉන්නා මිනිස්සු කියන විදිහට, දැඩිමුණ්ඩ නැත්නම් උපුල්වන් ඒත් නැත්නම් නාථ හෙවත් ගලගොඩ නිළමේ. ඔහු වමත ඔසවා යමක් මුමුණමින් කවාකාරව කරකැව්වා මට මතකයි. ඉන්පසු මට ඇස් ඇරුණේ ගිලී මලයේ මගේ උප වාසස්ථානයේ දී.

"මම ඒ ගුහාව හොයාගන්න, මට මතක තිබුණු හැම විදිහකින් ම ගිහින් බැලුවත්, ඊට පස්සේ කිසිම විදිහකින් මට ඒ තැන හොයාගන්න බැරි වුණා. මොකද, ඒ දිය බීව දා ඉඳන්, මම වයසට ගියේ නෑ. මට සිදුවුණු හැම අනතුරක් ම වේදනා රහිත වුණා විතරක් නෙවෙයි, ඇඟට වුණු හාණිය එවේලේම ආපහු ප්‍රකෘතිමත් වුණා. මට කෑම, බීම, වෙන දෙයක් තියා හුස්ම වත් උවමනා වුනේ නෑ ජීවත් වෙන්න."

"ඉතින් නුඹට ඔය කියනා විදිහේ වාසියක් වුණා නම්, මොකටද ඒ ගුහාව හොයන්නේ?"

"ඒක තමයි මේ කතාවේ දුක්බර කොටස ‌ඇන්ඩර්සන්..." ගරා යකා ගේ මුහුණ ශෝකයෙන් හා කෝපයෙන් මැළවී ගියේ ය. "නුඹට හිතාගන්න ම පුළුවන් විදිහට, මගේ නැඟණිය තමයි මම සරණපාවා ගත්තේ. මගේ සීයා වගේ ම, රාජකීය ලේ උරුම ඉදිරියට ගෙනයන්න තිබුණු ක්ෂිත්‍රිය ධර්මානුකූල ක්‍රමය ඒ. නමුත් ඒ විවාහය කල් පැවතුණේ නෑ.

"මගේ නංගී දිසාලා, මම සරණපාවාගත්තාට පස්සේ ගිරි ශිඛරවලින් ගහන විල්බා රටේ දේවිය යන තේරුමින් හැඳින්වුණේ ගිරි දේවිය නමින්. මේ දිවයිනේ ම හිටි සුන්දර ම ගැහැණිය තමයි ඇය. ඉන්ද්‍ර බොහෝම ප්‍රසිද්ධයි සුන්දර විවාහක ගැහැණුන් ට දක්වන ලැදියාවට." ද්වේෂයේ ලකුණු පැතිරී ගිය දළ කුමාර ගේ මුහුණ විරූපී විය.


"ඉන්ද්‍ර ට සහසැස් කියන්නේ ත් ගෞතම සෘෂි ගේ බිරිඳ අහල්‍යා සමඟ පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධය අසුවී ගෞතම සෘෂි ගේ ශාපයකට ලක් වීමෙන්. ලැජ්ජා නැති ඉන්ද්‍ර මගේ ගිරි දේවියටත් වරක් අග්‍රා ඔය අසබඩ දී නින්දිත යෝජනාවක් කළා. ඉන් කෝපයටත් ලැජ්ජාවටත් පත් වුණු ඇය අග්‍රා ඔයේ ගිළී දිවි නසා ගත්තා." 

ඩ්‍රේක් ගේ සුරත මිට මෙළවී, එහි නහර වැල් ඉල්පී අවුත් තිබිණ. කෝපයෙන් සහ අපේක්ෂා භංගත්වයෙන් බැරෑඬි වුණු හඬින් දළ කුමාර දිගටම සිය කතාව කියාගෙන ගියේ ය. 

"නමුත් ඇය දැක්වූ ආත්ම ගරුත්වයෙන් ඉන්ද්‍ර ලැජ්ජාවට පත් වුණා. මම එතනට යන විටත් ඔහු ගිරි දේවියගේ සිරුර ගොඩ ට අරගෙන. ඉන්ද්‍රගේ නියමය අනුව සේවකයෙක් ඔහු ට දිය බඳුනක් ගෙනත් දුන්නා. මගේ කෝපය පාලනය කරගන්න බැරි වුණා, ඉන්ද්‍ර මේ කර තිබෙන විනාශය දුටු විට. ඔවුන් විශ්වාස කළ නොහැකි නිසා මම ඒ දිය බඳුන උදුරාගෙන පොඩ්ඩක් බීලා බැලුවා. ඇත්තටම හොඳ වෙලාවට මම ඒක පානය කළේ. මොකද, ඒකෙන් මගේ මුළු සිරුරම විකෘති වුණා. මේ බලපන්..."

දළ කුමාරගේ මුහුණ දෙස හිස ඔසවා බැලූ ඩ්‍රේක් දුටුවේ, භයංකර දසුනකි. ඉදිරියට නෙරා ආ ඇස් ගෝල, ළියට නෙරා ආ දිගු දත් අතරින් එල්ලා වැටෙණ දිව, විශාල රවුම් කන් පෙති නාගයන් ගේ හැඩය ගත් ඉහළට එසවුණු හිස කෙස්...



එම භයංකර ගරා යක් මුහුණ තප්පර කිහිපයක් තුළ නැවතත් සාමාන්‍ය රූමත් තරුණ මුහුණට හැරුණේ ය.

"ඒ දිය බීවට පස්සෙ මට ලැබුණෙ ඔන්න ඔය මූණ තමයි. ඉන්ද්‍ර කරන්නට සැරසුණේ, ඔහුගේ නින්දිත යෝජනාවට නැමුණේ නැති මගේ ගිරි දේවියගේ මළ සිරුරෙනුත් පළි ගන්න."

තප්පර කිහිපයක් දෙ දෙනාම කිසිවක් කතා කළේ නැත. බුර බුරා ඇවිළෙන ගිණිමැළයෙන් නැඟෙන පට පටස් හඬ පමණක් නිහැඬියාව මඳක් තුනී කළේ ය.

"හරි. මට පැහැදිලියි." නෝර්ඩිකයා සෙමෙන් කීවේ ය. "ඒත් සියවස් ගාණකට කලින් සිද්ධ වෙච්ච ඔය දේ හැටියට, දැන් නුඹට අමෘත වතුර ලබාගෙන ඇති පලය මොකද්ද?"

පොල්කටුව හඬ නඟා කනප්පුව මත තැබූ දළ කුමාර නැගිට්ටේ ය. ‌"වරෙන් යන්න... මං උඹට පෙන්නන්නම්..."

ගිණි මැළය අසල වූ පන්දමක් ගෙන අවුලාගත් සංග්‍රාහකයා අනුව නැඟිට ගත් ඇඩම් ඔහුගේ පසුපසින් ගොස් සප්තාස්‍රාකාර කුටියෙන් එළියට ආවේ ය. උමඟට අයත් නොවූ පටු කොරිඩෝරයක් දිගේ ‌ඇවිද ගිය ඔවුහු පිවිසුනේ තවත් අභ්‍යන්තර කුටියකට ය. එහි පියස්සේ සිට පහළට එල්ලුණු සිහින් පිත්තල දම්වැලකින් රැඳවුණු පිත්තල පහණක් මළාණික ළියක් පැතිරවීය. එම පහණ යට නීල ගරුඬ පාෂාණයෙන් සැදුණු බෙහෙත් ඔරුවක් විය. එහි පිරී තිබූ අඳුරුවන් තෛලමය දියරය අතරින් ඇඩම් දුටුවේ මෙතෙක් ඔහු දැක තිබූ සුන්දරතම තරුණියගේ රූපයයි.

ඉඟ තෙක් දිගු වූ ඝන වරළස ඇගේ සිරුරට යටවී තිබුණේ ය. අඩ සඳ වැනි පටු වටකුරු නළලත, දිගු ඇසිපියෙන් වැසුණු දෑස්, හුරුබුහුටි නාසය, නාදල්ලක් බඳු අඳුරු රත් පැහැ දෙතොල්, රන්වන් සළු පටකින් බැඳුනු තිඹිරි ගෙඩි තරම් වූ පියයුරු, ඇත් දත් පැහැ සිරුර... 

*    *    *

“මේජර් (විශ්‍රාමික) මිත්‍ර උඩුමුල්ල“ නම සඳහන් වූ පිත්තල පුවරුව සවිකර තිබුණේ කළුගලින් බැඳ තිබූ ගේට්ටු කණුවක ය. අමානෝ තහඩුවලින් ශක්තිමත්ව තනා තිබුණු ගේට්ටුව අඩි අටක් පමණ උස් විය. කළු ගල් තාප්පය ද එපමණ උස් වූ අතර, එල් අයන්වලින් තැනුණු උල් තාප්පයේ උඩ අඟල් තුනෙන් තුනට සවි කර තිබුණේ හොරෙන් කඩා පනින්නන් වැළැක්වීමට ය. 

අමානෝ තහඩු ගේට්ටුව ඇරුණේ රතු පැහැ මස්ටෑං කාරය පැමිණි වේගය අඩු නොකර ම ඇතුළට යා හැකි වන්නට ය. ගේට්ටුව එවිගසම ආපසු වසන ලදි. කාරය වේගය අඩු කරගනිමින් ග්‍රැනයිට් ගල් පතුරු ඇල්ලූ පටු පාර දිගේ ඇදී ගොස් පැරණි දෙමහල් නිවසේ පෝටිකෝව යට නැවතුණේ ය. 

තාරා, කාරයේ එන්ජිම නවතා. දොර ඇරගනිමින් වම්පසට හිස හරවා “බහිමු“ යි කීවා ය. ඈ අනුව කාරයෙන් එළියට බට සුභාෂ්, තමන් ආ මඟ ආපිට හැරී බැලුවේය. ගේට්ටුව අසළ සිට බුහුටි පා ගමනින් ඔවුන් වෙත ආ මැදිවියේ පුරුෂයා නිවසට ඇතුල් වන ලෙස අතින් සන් කරමින් ඔවුන්ට ඉස්සර විය.


Thursday, September 9, 2021

එදා අප දුටු චිත්‍රපටයකින් - එල් සිඩ්

බස්සගෙ ආරාධනයෙන් ලියන්න ගත්තා, මම අගය කරන චිත්‍රපටි ගැන. 

‍මුලින් ම ලියන්නෙ, ආරාධනා කරපු තැනදි කිව්වා වගේ ම, මගෙ තාත්ත වගේ හැඟීමක් ඇතිකරවන චාල්ටන් හෙස්ටන් සහ සොෆියා ලොරේන් අර රංජිත් එදිරිසිංහ නිතරම කියනවා වගේ, රිදී තිරය වර්ණවත් කළ, විශිෂ්ට ගනයේ ‌චිත්‍රපටයක් වන එල් සිඩ් ගෙන්...

එල් සිඩ් කියන්නෙ, ස්පාඤ්ඤයේ සිටි නයිට් වරයෙක් වන  රොඩ්රිගො ඩයැස්. ඔහු ජීවත් වුණේ 11 වන සියවසේ. ඔහු ප්‍රසිද්ධ, රාජ පාක්ෂිකත්වයට, නිර්භීත භාවයට සහ සත්‍යගරුක බවට.

චිතුපටයට සහ ඔහු පිළිබඳව ලියැවුණු වීර කාව්‍යය වන "එල් කන්තාර් ඩි මියො සිඩ්" අනුව, රොඩ්රිගො ඩයැස් ස්පාඤ්ඤයේ  පළමුවන ෆර්ඩිනන්ඩ් රජු ගේ චැම්පියන්වරයාගේ දුව වන ෂිමේනා සමඟ ප්‍රේමයෙන් සිට, විවාහ වීමට නියමිත දිනයේ දි, ආක්‍රමණික අන්දලුස් නයිට්වරුන්ගෙන් එක්තරා නගරයක් බේරා ගන්නවා. එතනින් තමයි මා දුටු චිත්‍රපටය ඇරඹෙන්නේ. ඔහු එතනදී අත්අඩංගුවට ගන්නා අන්දලුස්වරුන් පිරිස නිදහස් කර හරිනවා. ඔහුගේ ත්‍යාගවන්ත භාවය නිසා අන්දලුස්වරුන් ඔහු, "එල් සිඩ්" නමින් හඳුන්වන අතර, උවමනා අවස්ථාවක ඔහුට සිය ණයගැතිභාවය සහ මිත්‍රත්වය ලබා දෙන්න පොරොන්දු වෙනවා.

එහෙත් ඔහු සිරකරුවන් මුදාහැරීම ගැන නොසතුටු වන රජු සහ රජුගේ චැම්පියන් ඔහු සමඟ විරසක වනවා. තම පෙම්වතිය හමුවීමට එන රොඩ්රිගෝ හට අනාගත මාමන්ඩිය හමු වී ඇතිවන ද්වන්ද සටනේ දී, රජුගේ චැම්පියන් මිය යනවා.

සිය පියා මැරීම නිසා, ෂිමේනා පත්වන්නේ දෙගිඩියාවකට. මිය ගිය පියාගේ දියණිය වශයෙන් ඇය සිය පෙම්වතා ගෙන් පළිගත යුතු වනවා. එහෙයින් රොඩ්රිගෝ හට ප්‍රේමිය අහිමි වනවා.

ඒ අතර, ස්පාඤ්ඤ රජුහට අභියෝගයක් එල්ල වනවා. සතුරු රටක චැම්පියන් අභියෝග කරන අතර, ඔහුට මුහුණ දීමට ඉදිරිපත් වන්නේ, රොඩ්රිගෝ පමණයි. "තොප කවුදැ"යි රජු, විමසූ විට ඔහු නොපැකිළව පවසනවා, "මම තමයි ඔබගේ චැම්පියන් ද්වන්ද සටනකදී මැරුවේ" කියා. ඒ සටන, සාම්ප්‍රදායික ලෙස, යකඩ ඇඳුම් ඇඟලාගෙන, දිගු හෙල්ල ගෙන, අසුන් පිට සිට සිදු කරන ඉතාම අලංකාර සටනක්. එහිදී ෂිමේනා සතුරු නයිට්වරයා ට සිය සහයෝගය දක්වන අතර, රජු ගේ දියණිය වන උරාකා කුමරිය රොඩ්රිගෝ ට සහය දක්වනවා. විය යුතු පරිදි ම රොඩ්රිගෝ එම සටනින් දිනනවා. ඉන් පසු රොඩ්රිගෝ රජු ගේ චැම්පියන් තනතුරට පත් වනවා.



(මේ කොටස ආපහු බලද්දි මට හිතුනෙ, මේ චිත්‍රපටිය ජයන්ත චන්ද්‍රසිරි කළා නං එහෙම, කොයිතරම් ස්ලෝමෝෂන් කෑලි තියෙයිද කියල...)

ඉන් පසු මට මතක හැටියට එල්ල වන තවත් අභියෝගයකට ‌අනුව රොඩ්රිගෝ රජුගේ හමුදාව රැගෙන සතුරු පෙරමුණට යනවා. ඒ යනවිට ඔහු රජතුමාගෙන් එක් ඉල්ලීමක් ඉල්ලනවා. ඒ, තමා ජයගෙන ආවොත්, ෂිමේනා තමාට විවාහ කර දෙන ලෙස.

විය යුතු පරිදි ම රොඩ්රිගෝ එම සටනින් ජය ගෙන ආපසු අවුත්, ෂිමේනා විවාහ කරගන්නවා. විවාහයෙන් පසුව වුණත් ෂිමේනා ගේ පළිගැනීමේ ‌ආකල්පය නවතින්නේ නෑ. ඇය ඔහුට ප්‍රේම කරන තරමට ම ද්වේෂ කරනවා. (මේ සංකීර්ණ චරිතයට සාධාරණයක් ඉටු කිරීමට සමත් වන්නේ මගේ අදහසේ හැටියට සොෆියා ලොරේන් ම පමණයි.)

ඒ අතර මහළු ෆර්ඩිනන්ඩ් රජු මිය යනවා. වැඩිමහල් පුත් කුමරා දෙ වන සැන්චෝ නමින් රාජ්‍යත්වයට පත් වන අතර, ඔහු තම සොහොයුරා වන ඇල්ෆොන්සෝ කුමාරයා ඝාතනය කිරිමට තැත් කරනවා. එහිදී ඉහතින් ද සඳහන් කළ රජ කුමරිය පීඩිතයා ආරක්ෂා කරන අතර, රොඩ්රිගෝ ට ඊට සහාය වන ලෙස දන්වනවා.

එම සිදුවීම් මාලාවේ දී නව රජු ඝාතනය වන අතර, බාල කුමාරයා රජු ලෙස උත්සවාකාරයෙන් කිරුළු පළඳින්නට සූදානම් වනවා. එම උත්සවයට පැමිණෙන රොඩ්රිගෝ නව රජු ගෙන් ඉල්ලා සිටිනවා, සිය සහෝදරයාගේ ලේ සම්බන්ධව තමා වගකිවයුතු නැති බව බෛබලය මත අත තබා දිවුරන ලෙස.

එහි දී ඇල්ෆොන්සෝ කුමාරයා කෝප වනවා. නමුත් රොඩ්රිගෝ බලහත්කාරයෙන් රජුගේ අත ගෙන බෛබලය මත තබා දිවුරුම ගන්නවා.


රජු දිවුරූ පසු ඔහු ඉදිරියේ දනින් වැටෙණ රොඩ්රිගෝ සිය පූර්ණ පක්ෂපාතීත්වය රජුට පුද කරනවා. එහෙත් කෝපයෙන් සිටින රජු, රොඩ්රිගෝ රටින් පිටුවහල් කරනවා.

පිටුවහල් ව යන අතරේ දී තමයි රොඩ්රිගෝ ට සිය ‌භාර්යාවගේ ප්‍රේමය සහ සහයෝගය ලැබෙන්නේ. ඒ වනවිට ඔවුන්ට දියණියන් දෙදෙනෙකු (මට මතක හැටියට) සිටිනවා.

පිටුවහල්වුණු රොඩ්රිගෝ හට මිත්‍රතත්වය දක්වන්නේ, ඔහු මුලින් නිදහස් කළ අන්දලුස් ජාතිකයන්. ඔවුන් සමඟ පුළුල් සන්ධානයක් ඇති කරගන්නා රොඩ්රිගෝ හෙවත් සිඩ්, තුර්කි ආක්‍රමණයට එරෙහිව සටන් කර, ක්‍රම ක්‍රමයෙන් ලෙවාන්තය සහ අයිබීරියානු අර්ධද්වීපය යටත් කරගන්නවා. අවසානයේ වැලෙන්සියා බලකොටුව අල්ලාගන්නා ඔහුට, එහි දී අන්දලුස්වරයෙක් කියනවා, "ඔබ දැන් වැලෙන්සියාවේ රජ." කියා. නමුත් සිඩ්, වැලෙන්සියාවේ කිරුළ ඇල්ෆොන්සෝ රජු වෙත යවනවා.

තුර්කි සටන්වලින් පරාජය වෙමින් සිටි ඇල්ෆොන්සෝ රජු අවසානයේ සිඩ් ගේ රාජපාක්ෂිකභාවය සහ සෘජු ගුණය හැඳිනගෙන ඔහු වෙත එනවා. නමුත් ඔහු එන්නේ කලින් දා සටනින් මාරාන්තික තුවාල ලබා සිටින සිඩ් වෙතයි. පසුවදා සටන, තම රජුත් සමඟ එක්ව කිරීමට හැකි වනු ඇතැයි යන ප්‍රීතියෙන් සිඩ් එදා රෑ මියයනවා. පහුවදා සටන ස්පාඤ්ඤ අන්දලුස් හමුදා ජයගන්නේ, සිඩ් ගේ මළ සිරුර, නයිට් ඇඳුමින් සරසා, කොන්දට යකඩ පටි සවිකර, අශ්වයා පිට සවිකර, සටන් පෙරමුණට ගෙන යමින්.


මේ සිනමා පටය මා මුලින් ම දුටුවේ කළු සූදු රූපවාහිනියෙන්. ටීඑන්එල් සේවය ආරම්භ වූ අලුත, ඒරියල් ඒකට තඹ සහ ඇලුමිනියම් කම්බි පුරුද්දා, වහලයේ පරාල අතරින් ඇද, සුදු පැහැ තිත් ගොඩක් මැද්දෙන්.

චිත්‍රපටය අවසන් වී පැය බාගයක් පමණ යන තුරු දිගු සුසුම් හෙළමින් එහි අන්තර්ගතය මෙනෙහි කළා මට මතකයි.


සිඩ් ඇති කළ ස්පාඤ්ඤ අන්දලුස් සංස්කෘතික මුසුව, අදටත් අන්දලුස් සහ ෆ්ලැමෙන්කෝ සංගීතය ඔස්සේ අපට අත්විඳින්න පුළුවන්. ස්පාඤ්ඤ ගිටාර් හඬ සමඟ මුසුවුණු අරාබි ඩ්‍රම් සහ ගැඹුරු ගායනා ශෛලීන් මනසට ඇති කරන්නේ අපූර්ව ස්පර්ශයක්.

මෙතැන, එල් සිඩ් සම්පූර්ණ චිත්‍රපටය තිබෙනවා.

එල් සිඩ් විත්‍රපටය ගැන අයිඑම්ඩීබී දත්ත පද්දතියේ සම්පූර්ණ විස්තර තියෙනවා.


Tuesday, September 7, 2021

සුනිල් පෙරේරා ට සමුදෙමු.

අපි සාමාන්‍ය පෙළ කරන කාලෙ සිව්දෙස සඟරාවක පළ කෙරුණා සුනිල් පෙරේරා එක්ක කරපු සම්මුඛ සාකච්ඡාවක්. ඒක කරල තිබුණෙ ශ්‍රී ලාල් ප්‍රියන්ත. ප්‍රශ්න සහ සාකච්ඡාව පළ කරලා තිබුණු විදිහෙන්, ඒ වගේම ඒ ලිපියට දාල තිබුණු මාතෘකාවෙන් පේනව සඟරාවෙ අරමුණ වුනේ සුනිල් පෙරේරා සහ ඔහු නියෝජනය කරපු  රසවින්දනාත්මක සමාජ ස්තරය පහත් බව ප්‍රකාශ කරන්න බව. වැඩි කතා නැතුව පහළින් දාන්නම් ඒ ලිපිය. 





ජිප්සීස්ලගෙ සිංදුවල කොහොමත් අපට අල්ලල යන පදමාලා ඉස්සර ඉඳම්ම තිබුණා. 

දැන දැන වැරදි කරනවා

නුඹ නාඩං නුඹ නාඩං

ඕවත් වැඩද මල්ලි

ළිඳ ළඟ සංගමය මුල්තැන

නෝනෙ මගෙ සුදු නෝනේ

සිංඥෝරේ

අයි ඩෝන්ට් නෝ වයි

ලංකාවේ

කියන්නෙ ගොතලා

ගෙදර යං

(ඔය සමහර සිංදුවලින් ඔහු දේශපාලන මතවාදයක් සමාජගත කළා, එහෙම නැත්තං තිබුණු මතවාදයක් ශක්තිමත් කළා.)


ඒ වගේම ලස්සන වෙස්ටන් ජනප්‍රිය සංගීතය...

වැඩිය අහල නැති බටහිර මියුසික් සහ තනු කොපි කරලා හදපු සිංදුත් තිබුණ. ඔජායේ, ලුණු දෙහි, කුරුමිට්ටෝ එහෙම ඒ වගේ සිංදු. 

ජොලියට කියපු සිංදු පෙළකුත් තිබුණා. හොදි, කොත්තමල්ලි, පිටි කොටපන්, වගේ ගීත.

සුනිල් පෙරේරා කොහොමත්, හොඳට කාලා බීලා, ආතල් එකේ හිටපු මනුස්සයෙක් විදිහට ප්‍රතිරූපයක් තිබුණු කෙනෙක්. තමන් හිතන දේ කියාපාන්න හරි, ඒ ගැන සිංදුවක් හදල කියන්න හරි බයක් නැති...

කොහොමත් අර, "පොළොවට ලුණු අවශ්‍යයි, හැබැයි ටිකයි" කිව්ව වගේ, සුනිල් පෙරේරා වගේ උදවිය එක්කෙනෙක් දෙන්නෙක් උන්නනං ඇති ලංකාවට. හොඳ මතකයක් රඳවලා, සමාජයේ නමක් තියලා, කරපු වැඩ ඉතුරු කරලා, ඔහු ගිය එක ගැන, ඔහුටත් දුකක් නැතුව ඇති.

ඉතිං... සුනිල් පෙරේරා රසවතාණනි, (ඔහුට, සංගීතඥයෙක්, ගායකයෙක් සහ කලා කාරයෙක් කියලා ආමන්ත්‍රණය කරන එකත් ටිකක් ඕක්වර්ඩ් විදිහට දැනෙන්නෙ, අර මං උඩ මතු කරපු ප්‍රබුද්ධ - පීචං සම්මතය නිසා කියල හිතෙනව) ඔබට ආයුබෝවන්!

Thursday, September 2, 2021

අවසානයක් නොවේ - 39

38 කොටස...

යම් කිසි වෙනසක් දැනී ඩ්‍රේක් හිස ඔසවා බැලුනේ නොරුස්නා හැඟීමෙනි. ඔහු ඉදිරියෙහි වූයේ සුදුවන්  ධෝතියක් හැඳ, රනින් හා මිනි මුතුවලින් අලංකාරවත් වූ මාල, උදර බන්ධන, හා අත් වළලුවලින් සැරසුණු, තෙදවත් පෙනුමක් සහිත රූමත් තරුණයෙකි. 

"නුඹ කවුද?" ඔහු ගේ කටහ‌ඬෙහි මෘදු නමුත් රාජකීය බවක් ගැබ් විය. "උත්තර දෙනු!"

නාවුකයාගේ අවුල් වූ සිතෙහි කෝපය අකුණු කුණාටුවක් සෙයින් නැගී ආයේ ය. "මම කවුරු උනහම නුඹට මොකද ෆාඅන්? (Faen නෝර්ඩික්) (= යකෝ) චිස් මයි ඉ රෙවා!" (Kyss meg i ræva නෝර්ඩික්) (= kiss my rear) යි පහත් තාරතාවකින් මුමුණමින් ඩ්‍රේක් සුරත මිට මොළවා බිමට ගසා වාරු ගෙන නැගී සිටියේ ය.

"චිස් මයි ඉ රෙවා?" තරුණයා පුනරුච්ඡාරණය කළේ ය. "ඒකද නුඹේ නම? මේ උමග ඇතුලේ නුඹ මොනවද කරන්නෙ?" ඔහුගේ කටහඬේ සියුම් සරදමක් ගැබ්ව ඇති බව නෝර්ඩිකයා හට වැටහිණ. 

"ඇයි? මේ උමඟ උඹේ ද? පාඩුවෙ ඉන්න දීලා පලයන් යන්න!"

තරුණයා සුරත දිගු කළේ කෝපයෙන් දිළිහෙමිනි. ඩ්‍රේක් වමතින් ඔහුගේ අත වැරෙන් අල්ලා, ඔහු වෙතට ම නවා, මිටමෙළවූ සුරත ඔහුගේ මුහුණ මතට පතිත කළේ ය. රාජකීය අමුත්තා අඩි කිහිපයක් පිටුපසට විසි කර දැමීමට තම මුෂ්ටි පහර සමත් වූ බව දුටු නාවුකයා මවිතයට පත් විය. එතරම් ශක්තියක් සිය සුරතේ වූ බව...

ඇසිපිය හෙලන පමණින් දෑත් බිම ගසා නැගී සිටි තරුණයා නැවතත් ඇඩම් වෙත පැන්නේ ය. මෙවර ඔහුගේ ඉළක්කය නිවැරදි විය. සිය ගෙළ වට‌ා සතුරාගේ දෑතේ ඇඟිලි වෙලී සිර වෙද්දී, දෑස් එළියට මතුවන්නට යත්න දරනු නෝර්ඩිකයාට දැණින. ඔහු තරුණයාගේ දෑත් සිය දෑතින් තදින් අල්ලා, සිය බෙල්ල මුදවා ගැනීමට තැත් කළේ ය. ඒ අතරම, දකුණු පාදය ඔසවා වැරෙන් පහරක් සතුරාගේ යටිබඩ පෙදෙසට එල්ල කළේ ය. අඩියක් පමණ පිටුපසට විසිවුණ ද, තෙදවත් අමුත්තා සිය දෑතේ ග්‍රහණය ලිහිල් කළේ නැත. එහෙයින් ඇඩම් ගේ සමබරතාව ද ගිළිහිණ. 

දෙ දෙනා බිම වැටී පෙරළී ගිය ඉක්බිති, එකිනෙකාගේ ග්‍රහණයෙන් මිදී, දනි පනි ගා නැගිටගත්හ. 

"මෙහෙම සළකන්න වීම ගැන ලැජ්ජයි මිත්‍රයා..."  ආගන්තුක තරුණයා ආචාරශීලිව එහෙත්, එළඹෙන ඕනෑ ම අවස්ථාවකට මුහුණ දීමේ බුහුටි බවින් යුතුව කතා කළේ ය.

"ම්හ්...!" ඩ්‍රේක් හිස පහත් කරගත්වන ම දෑස් උඩුකුරු කොට තරුණයාගේ දෑස් දෙස එක එල්ලේ බැලී ය.

"නුඹ මෙතෙක් අයිතිවෙලා හිටපු සමාජ කොටසින් දුරස් කෙරිලා තියෙන වග මට පේනවා... තේරුම් ගනින්... මේ උමඟ ඇතුලෙ ඉන්න හැමෝම එක ම උප සමාජයකට අයිති උදවිය වග."

"මම ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන්..." නිහඬව ගතවූ මිනිත්තු කිහිපයකට පසු නෝර්ඩිකයා සෙමෙන් කීවේ ය. "මම අශ්වාරෝහක සෙබ‌ළෙක් වෙලා හිටියා. දඩයක්කාරයෙක්, යුධ සෙබළෙක්, ගවේෂකයෙක්, මුහුදු කොල්ලකාරයෙක්, අද්මිරාල් කෙනෙක්..."

තරුණයා සාවධානව අසා සිටියේ ය. 

"අන්තිමේ කන්ද උඩරට රජු ගේ රැඳවියෙක් වෙලා ඉඳලා, රාජකාරියටත් බඳවාගෙන, දූරය විසින් ම මාව ද්‍රෝහියෙක් විදිහට නිගමනය කරලා..."

තරුණයා සුරත එසවීය... "නුඹ කීවේ රහස් දූරය කියල ද?"

"මම එහෙම කීවේ නෑ."

"නුඹ භයාණක විදිහට සුදුමැළියි. නුඹේ කර මුල මා දැක්කා දත් පාරවල්... ඒ වගේ ම නුඹට යකෙකුට වාගේ හයිය තියෙනවා... ඒ හැම හෝඩුවාවක් ම යොමු වෙන්නේ එක පැත්තකට..."

තරුණයා මඳකට නිහඬව සිතිවිල්ලට වැටුණේ ය. 

"මට මුලින් ම කිව්වෙ, ජීවහත්ථ හෙවත් වීරබාහු. මම මේ දිවයිනේ කොටසක් පාලනය කළා, පිය උරුමයෙන්. වැද්දො මට සළකන්නෙ උන්ගේ ආදි පියා හැටියට. මාව දේවත්වයෙන් සළකපු පසුකාලීනයො මට කිව්වේ දළ කුමාර. නමුත් දැන්..." ඔහු ඩ්‍රේක් ගේ දෑස් දෙස කෙලින් බැලුවේ ය. "දැන් මම ගරා යකා...!"

ජීවහත්ථ හෙවත් දළ, සිය සුරත ඇඩම් ගේ උරහිස මත තැබීය.

"මටත් තියෙනවා රහස් දූරය එක්ක ගනුදෙනුවක්... මාත් එක්ක වරෙන්."

මාව දේවත්වයෙන් සළකපු පසුකාලීනයො මට කිව්වේ දළ කුමාර. නමුත් දැන්...
https://www.srilankanartgallery.com/artworks/painting/raksha-warrior

*    *    *

ලක්දිව වියලි කළාපයේ පිහිටි සුවිශේෂී හුදෙකලා කන්දක් වේ. දිවයිනේ පවතින සියලුම දේශගුණික තත්ත්වයන් මෙම කඳුවැටියේ එක් එක් උස් මට්ටම්වල දී හමුවීමේ වාසිය උපයෝගී කරගෙන, සෑම ඉසව්වක ම වැවෙන ඔසු පැළ එක ම ස්ථානයක රෝපණය කර මහා ඔසු වනයක් සකස් කළේ ජයසේන ය.කාලය ගත වත් ම, කෙමෙන් කෙමෙන් ප්‍රකෘතිය අමතක වී ගොස්, ජනප්‍රවාදයට එක් වී ගිය ජයසේන, සිය ඔසු වනයේ පධානඝර භික්ෂූ ආරාමය ඉදි වී, දියුණු වී, නැවත කැළැවට ම යට වී යනු ද, මිනිසා විසින් ඉමහත් ප්‍රයත්නයෙන් ඉදි කෙරුණු දැවැන්ත ශිලා නිර්මාණ ගස් මුල් විසින් ආකූල කර දමනු ද දකිමින්, ස්වභාව ධර්මයේ ම කොටසක් වී හුදු නිරීක්ෂකයෙකු ලෙස දැනුම පමණක් රැස්කරමින් කාලය ගත කෙළේ ය. ගාමණී අභය මහරජුගේ රහස් දූරයේ සාමාජිකයෙකු අතින් පරාජයට පත් වූ පසු හෙතෙම සිය කාලය වැඩිපුර ම ගත කළේ මෙකී ඖෂධ කන්ද තුළ පිහිටි රහසිගත ගල් ලෙණක ය. 

තමන් දෑතින් ගොඩනැගූ අරිට්ඨගාමය, කාලිංග මාඝගේ ආක්‍රමණයට ද මුහුණ පා, සමෘද්ධිමත් නියම්ගමක සිට දිළිඳු පැල්පත් කිහිපයකට සීමා වෙමින් පිරිහෙද්දී, හුදෙක් දිරිමත් මිනිසුන් ගැන ලැදියාවෙන් පහතට බට ජයසේන, ගමට නායකත්වය දුන්න ද, කාලය සහ මිනිසාගේ ඉරණම වෙනස් කළ නොහැකි බව පසක් කළේ, තමා රැස් කරගත් දැනුම සමස්ත මානව සංහතිය ම සුවපත් කිරීමට කැප කරමින් ලක්දිව පුරා සැරි සැරුවේ ය. වෙසෙසින් ම, තමන් කුමනාකාරයේ යහපතක් මානව වර්ගයා වෙත පැතිරුව ද, ඊට පෙරටුව වේගයෙන් පැතිර ගිය, ජයග්‍රාහකයා ට ආවඩා පරාජිතයා හෙළා දමන අන්දමේ මහසෝන් පුරාවෘතය ඔහු නොසැළකීය, ඇත්තට ම ඔහු මහසෝන් ප්‍රතිරූපයේ ප්‍රතිලාභ රසවිඳි අවස්ථා ද වූයේ ය.

ලෝකී උදුරාගත් ප්‍රකෘති සිහිය නැවත කැඳවන තෙක් මිත්‍රගේ සිරුර ආරක්ෂිතව පවත්වාගත්තේ මෙකී හුදෙකලා කන්ද මුදුනේ පිහිටි ජයසේන ගේ රහසිගත ගල් ලෙණ තුළ ය. සැඩ සුළඟ සමඟ කඩා වැදුණු සියුම් වැලිකැට, ඝන හිරු රෂ්මිය සහ සීතල වැස්ස මඟින් සාරන ලද ආගනේය පාෂාණය තුළ වූ බාහිර ලෙණට පිටුපසින්, තවත් ඇතුල් ලෙණක් විය. පෘථිවියේ තරුණ කාලයේ දී ඉහළට නැඟුනු උණු ලාවා ගුළියක් පස් අතර වූ කුහරයක පිරී ගොස් නිර්මාණය කෙරුණු මෙම පාෂාණය මධ්‍යයේ, උපතින් ම හටගත් ගෝලාකාර කුහරයක් විය. ජයසේන ගේ වාසය හා අධ්‍යයනාගාරය වූයේ මෙම ඇතුල් ලෙණ ය. 

ලෙණ මැද ගලින් ම සාරා සකස් කරන ලද බෙහෙත් ඔරුවෙහි පුරවන ලද, අඳුරුවන් තද කොළ පැහැ කල්කයක බහා තිබුණේ මිත්‍ර ගේ ශරීරය ය. සුමන හා ඉන්ද්‍ර තම නෝර්ඩික් සිරකරුවා එම ගල් ඔරුව අසළ බිම වැතිරවූහ. ජයසේන ඔවුන් ගේ හිස්වලට ඉහළින් බිම වීරාසනයෙන් වාඩි වී, වමත ලෝකී ගේ හිස මත ද, සුරත මිත්‍රගේ හිස මත ද තබාගෙන, ප්‍රාකෘත බසින් පබැඳුනු දීර්ඝ සැහැල්ලක් ගායනා කිරීම ඇරඹී ය. ඔහුගේ පූර්ව උපදෙස් පරිදි, සුමන හා ඉන්ද්‍ර විටින් විට සිය මිත්‍රයාගේ හිසෙහි තෙල් ගෑමත්, ගල් බිත්තිවල රැඳවුණු පන්දම්වල ආලෝකය වැඩිවන පරිද්දෙන් හා හාත්පස වාතයට ඖෂධීය දුම් එකතුවන පරිද්දෙන් දුම්මල කුඩු ගැසීමත් සිදු කළහ.

කාලය හෙමින් හෙමින් ගතවී යද්දී, මිත්‍රගේ සමෙහි පැහැය නැවතත් ප්‍රකෘතිමත් වී එනු දැකගත හැකි විය. අබිරහස් මඳහසක් යාන්තමින් පෙන්නුම් කළ ලෝකී ගේ මුහුණ කෙමෙන් කෙමෙන් සුදුමැළි වී හැකිළී ගියේ ය. අවසානයේ මිත්‍ර දෑස් විවර කර සිය මිතුරන් දෙස බලා මඳ සිනහවක් පාද්දී, ලෝකී ගේ සිරුරෙහි වූ අවසන් ප්‍රාණ වායු බිඳ ද, වාතලයට මුසුවී ගියේ ය.


40 කොටස...

Tuesday, August 24, 2021

අවසානයක් නොවේ - 38

එක මොහොතකදී සිදුවීම් තුනක් සිදුවිය. පහත සිට ඉහළට විසි කෙරුණු වානේ යොත් දෙකක් ලෝකී සහ අංග්ර්බෝදා ගේ සිරුරු වටා එතුනේ සිතුවිල්ලක බඳු වේගයෙනි. ඇතෙකුගේ සොඬට හසුව ඔවුන් වාඩි වී සිටි දැවැන්ත අත්ත බිඳී ගියේ ද එවිට ම ය.

බිම පතිත වූ යෝටුනයෝ දෙ දෙනා සිහි එළවා ගනිද්දී අග්නි සහ ශක්ති සිය වානේ පාෂයන් ඔවුන්ගේ සිරුරු වටා තද කරමින් සිටි අතර, තරබාරු සිරුරැති අයියනායක හෙවත් පුල්ලෙයාර්, ඕනෑම අවස්ථාවකට සූදානම් ව ඔවුන් පිටුපස සිටගෙන සිටිනු දැකිය හැකි විය. 

37 කොටස

නෝර්ඩික් දුෂ්ඨයන්ගේ සිරුරු වටා වානේ යොත එතී තිබුණේ දෑත් ද සිරුරට තබා වෙළමිනි. එසේ සිටිවන ම, ලෝකී සුරතේ මැදැඟිල්ල හා මහපටැඟිල්ල ගටා, අසුරක් ගැසී ය. එකෙණෙහි ඔහුගේ සිරුර සිහින් හැඩයක් ගත්තේ ය. එහෙත්, වානේ මද්ද ඔහුගේ සිරුරේ ප්‍රමාණයට ම හැකිළුණා මිස, ඔහු ට කෙසගක හෝ ගැළවීමක් නොලැබුුුණි. 

"මේක නවත්තපන් ලෝකී" අග්නි ඇගේ සුරතේ වූ වක් කඩුපත නෝර්ඩික් දෙවියාගේ ගෙළට පහත් කළා ය. "නුඹේ හමුදාව ආපහු යවපන්..."

"ඔවුන් මගෙ පාලනයෙන් තොරයි." ලෝකී ගේ මුහුණේ පැවති සමච්ඡල් සහගත සිනහව පහවුනේ නැත. ඔහු ඒ අසළම සිට මහා හිම යෝධයෙකු මෙල්ල කිරීමට උත්සාහ ගන්නා සිය අඩ සොහොවුරා හෙවත් තෝර් දෙස යටැසින් බලා, හඬ උස් කළේ ය. "නුඹලට තේරෙන් නැද්ද? මම මේ උත්සාහ ගන්නේ, රැග්නරොක් යුද්ධය වළක්වන්න. නුඹලා මහා ආත්මාර්ථකාමී විදිහට අමෘතය හංගාගෙන ඉන්නවා. මම උත්සාහ කරන්නෙ ඒක සුදුසු සියලු දෙනාට ලැබෙන විදිහට බෙදා හරින්න..."

"නෑ... නුඹ වැරදියි..." කෑ ගසමින් තෝර් උඩ පනිමින්, සුරත කරකවා, හිම යෝධයාගේ නිකටට බරැති මිටි පහරක් එල්ල කළෙන්, යෝධයා ආපසු ආවාටයට ම වැටුණි.

"මේ ලෝකයේ සදාතනික ‌කිසි ම දෙයක් නෑ ලෝකී..." තෝර් අග්නි හා ශක්ති අසළට පැන්නේ ය. "අමෘතය ලබාගත් උදවිය මේ ලෝකයේ සමතුළිතයට අස්වාභාවික බාධාවක් විතරයි. ඒක තවත් වැඩි කරන්න කිසිම උවමනාවක් නෑ. රැග්නරොක් සටනින් පස්සෙ අලුත් වුණු පොලොවේ ජීවිය නැවතත් පැතිරෙනවා, ඊග්ඩ්‍රසීල් ගහ පාමුළ හැංගිලා හිටපු මිනිස්සු සහ අනෙක් අයගෙන්..."

ලෝකී හඬ නඟා සිනාසුණේ ය. "ඉස්සරහට වෙනවය කියලා කියන දේවල් විශ්වාස කරන්න උඹ සාම්ප්‍රදායික වුණාට, මම උත්සාහ කරන්නේ තියෙන දේ රැක ගන්න. බලපන් නුඹලට වෙන දේ..."

ඔහු හිස හරවා පෙන්වූ දෙස බැලූ ටිරෙල්, අග්නි හා ශක්ති දුටුවේ හිම යෝධයන් හා ඕගරයන් ගණනින් වැඩි වෙමින් පවතින ආකාරයයි. මහසෝනා ගේ පපුවේ වූ තුවාල දෙකකින් භයානක ලෙස ලේ වැගිරෙමින් තිබිණ. ඔහු නැවත නැවතත් ඉදරියට පනිමින් දෑතින් සටන් කළ ද, එන්න එන්න ම ඔහුගේ ඔද පිරිහී යනු පෙනුණි. රුද්‍ර, ඉන්ද්‍ර, ස්කන්ධ, සුමන හා ඇත්කඳ ළිහිණියා තවමත් ප්‍රකෘතිමත්ව සිටිය ද, දහසක පමණ අමනුෂ්‍ය හමුදාවක් මෙල්ල කර පළවා හැරීම අපේක්ෂා කළ නොහැකි ඉළක්කයක් වූ බව පැහැදිළි විය.

තෝර් හිස දෙපසට වනා, සිය සුරත වට දෙකක් කරකවා, මිටියෙන් දමා ගැසී ය. කරණම් ගසමින් ඉහළින් ඇදී ගිය මෙයොල්නීර් නම් මහා මිටිය, සචේතනික වස්තුවක් මෙන් ඉහළ යමින් නැවතත් පහතට වැටෙමින්, එහි වූ හිම යෝධයන් දහ දෙනෙකුගේ පමණ හිස් මත වැරෙන් වදිමින්, ගුවනේ රවුමක් කැරකී ආපිට තෝර් ගේ ම අතට ආයේ ය. එසැණින් හිස් පාත් කරගෙන දිව ආ ඕගරයෝ රෑනක් තෝර් ගේ දෙපා බදාගත් හ. විඩක් දෙකක් වැනුණු ටිරෙල් කපා හෙළූ ගසක් මෙන් ඇද වැටුණි. ශක්ති සහ අග්නි සිය දෑතේ ම වූ මුවහත් ආයුධ වලින් පහර දී තෝර් ගළවා ගන්නට යත්න දැරූ හ. 

සුමන ගේ මෙහෙයීමෙන් ‌ඇත්කඳළිහිණියා ඕගරයන් හතර පස් දෙනා බැගින් සිය දැවැන්ත නිය පහුරුවලින් අල්ලා මිරිකා දමමින් යුධ පිටියේ ඒ මේ අතර පියාසර කරනු දැකිය හැකි විය.

හාත්පස වූ අඳුර පහව ගියේ, මිහිදුම තුනී වී සීතල දුරු වී ගියේ, එක් වරම ය. හිම යෝධයන් සහ ඕගරයන් ආපිට ආවාටයට ම පසුබැස්සහ. අන්තිම ඕගරයාත් ආපිට හැරුණු විගස, ආවාටය වැසී යන්නට පටන් ගත්තේ ය. 

මවිතයට පත් වූ අග්නි හා ශක්ති එකවරටම හැරුණේ ලෝකී සහ අංග්ර්බෝදා වානේ පාෂයෙන් වෙළා දමා සිටි ගස පාමුළ වෙත ය. එහි සිරකරුවෝ දෙදෙනා තබා ආ විලසින් ම බිම පෙරළී සිටි අතර, අයියනායක ඔවුන් ගේ හිස් අසළ බිම වීරාසනයෙන් වාඩි වී සිටියේ මඳ සිනහවක් නැඟුනු මුහුණින් යුතුව ය. 

ස්කන්ධ මයුරයාගේ පිටින් බිමට බැස්සේ නෝක්කාඩුවක් කියමිනි. "අර බලන්න. අපි දාඩිය හෙළාගෙන, ලේ වගුරුවාගෙන සටන් කරනව. නමුත් අන්තිම පියවරේ දි අයියා ලකුණු දාගන්නවා."

ශක්ති සිය කඩවසම් පුත්‍රයා වැළඳ ගත්තී ය. රුද්‍ර ඔහුගේ උරහිස වටා අත යවා තමන් වෙතට ඇදගෙන පුත්‍රයාගේ  හිස ට වමතින් තට්ටු කළේ ය. "අයියා එයාට පුළුවන් දෙය හොඳට ම කරනව. මොකද, එයා ට පුළුවන් ද යුද්ධ කරන්න? නුඹ හැදිලා තියෙන්නේ ම රණ වික්‍රම වලට. කාටවත් බැහැ නුඹ ගේ මහන්සිය සහ කැපවීම ප්‍රශ්න කරන්න..."


*    *    *

මහනුවර මහා නගරය වූ කලී, සෙන්කඩ නම් මහ බලැති උග්‍ර තවුස් දම් ඇති තාපසයෙකුගේ වාසය බවට පත් ව තිබී, පසුව ජනාවාසයක් බවට පත්ව, කෝට්ටේ රාජධාණි කාලයේ පටන් නගරයක්, යුධ බළකොටුවක් සහ පරිපාලන මධ්‍යස්ථානයක් බවට සංවර්ධනය කෙරුණු පුරයක් විය. කඳුවළල්ලින් වට වූ බේසමක් වැනි නගරයට නිරන්තර වැස්සෙන් රැස්වන වැසිදිය කඳ බැහැර කෙරුණේ, පුරාතන ලාංකික දැනුමින් ඉදිකෙරුණු මහා උමං පද්ධතියකිනි. අඩි දහයක් පමණ උස්, ඕවලාකාර හරස්කඩ හැඩයක් ඇති වන පරිදි පොළොව සාරා, පිළිස්සු මැටි ගඩොලින් බිත්ති සකස් කර තැනුණු මේ මහා උමං, නගරයේ සෑම විථියක් ම යටින් මහා ජාලයක් මෙන් දිව ගියේ ය. අවසානයේ ඩ්‍රේක් හට ද රැකවරණ ස්ථානය වූයේ මේ මහා උම්මග්ග ජල මාතිකාවයි.

හිරු රැසින් දැවුණු සම සහ ඇසිපිය, නැවත ප්‍රකෘතිමත් වී එද්දී, උමං මාර්ග දෙකක් හමුවන හංදියක ඇණ තබා ඉඳගත් ඇඩම් කල්පනාවට වැටුණේ ය. සිය සිරුරේ සෑහෙන වෙනස්කම් තොගයක් සිදුවී ඇති බව, නොයෙක් සංවේදනවලින් ඔහුට දැනෙමින් තිබුණේ ය. දෑස එයින් ප්‍රධාන විය. මඳ හෝ හිරු එළිය පොදක් වැටුණු ස්ථානයක් දෙස දෑස් රිදවා නොගෙන බැලිය නොහැකි බව... අවුවට පිළිස්සුණු සම නැවත ලියලා ආව ද, මෙතෙක් කල් ඔහු සතුව තිබූ දුඹුරු පැහැය වෙනුවට සුදුමැළි බවට හැරුණු සමක්... රන්වන් හිසකේ කලු පැහැ ගැන්වී තිබූණි. භයංකර ම දෙය වූයේ සිරුර අභ්‍යන්තරයෙන් නැඟී ආ පිපාසිත බවය. 


තවත් කොටසක් ළඟදීම...

Thursday, August 19, 2021

අවසානයක් නොවේ 37

 36 කොටස...

හිරු ගේ රෂ්මිය එන්න එන්න ම දැඩි වෙමින් යද්දී, සම පිළිස්සෙන සියුම් සුවඳ නාවුකයා හට දැනිණ. වෙද මුදලි වළව්වේ ඉඩම කෙළවර ඔසු උයන ට පිවිසෙත් ම ඔහුට දැනුණේ සහනයකි. හිසට ඉහළින් වූ තුරු වියනින් හිරු රැස් වැළැක්වුණෙන්, පිළිස්සීම නතර වූව ද, හිරු එළියෙන් දෑස් දැවීම නැවතුණේ නැත.

කායික පීඩාවත් දැවෙන දෑසින් දර්ශන පථය ට වූ බාධාවත් හේතුවෙන් ඉදිරිය නොපැහැදිළි වූව ද, ඩ්‍රේක් දිව යන වේගය අඩු කළේ නැත.

*    *    *

ලෝකී තම සෙවනැල්ලෙන් නිපන් අනෙකා දෙස බලා, වමත දිගුකොට, වම් පසට වැටුණු මාර්ගය දැක්වී ය. වචනයකුදු නොතෙපළා ඒ දෙදෙනා දෙ පසට විහිදුනු පාෂාණමය කොරිඩෝ දෙක ඔස්සේ යන්නට වූ හ. ඉතා ම ප්‍රවේසමෙන් පියවරක් පියවරක් පාසා හොඳින් සැළකිලිමත් වෙමින් ඉදිරියට ගිය ඡායා ලෝකී, එක්වර ම සිය වම් පය ට පෑගුණු රවුම් ගළක් ඉතා සෙමෙන් පහළට එබී යනු හැඟී හිටිවන ම නතර විය. එ සැණින් ඔහු ගේ දෑස් අසළින් ම කොරිඩෝවේ හරස් අතට කෙටි ඊ තළ පොකුරක් ඇදී ගියේ ය. එතැන් සිට වම් පස බිත්තියෙන් මතු වී දකුණු පස බිත්තිය දෙස ට විදෙන්නට ආරම්භ වූ ඊ සර වැස්සක් කොරිඩෝවේ ඉදිරි කොටසේ අඩි විස්සක පමණ කොටසක් පුරා, පැතිරී ගියේ ය. 

ඊ සර විදෙන හඬ ඇසෙන තරම් ආසන්නයේ සිටිය ද, දකුණු පස මග ඔස්සේ ගිය ලෝකී නතර වූයේ නැත. මුලින් ඉතා සෙමෙන් ඇසෙමින් පැවති මිහිරි ලයාන්විත පිරිමි කටහඬ දැන් දැන් ආසන්න වෙමින් පවතී. එන්න එන්න ම තමන් පසුකර යන ගල් ගුහාවේ බිත්ති ග්‍රැනයිට් පාෂාණයෙන් කිරිගරුඬයට හැරෙන බව නෝර්ඩික් යෝටුන්වරයා නිරික්ෂණය කළේ ය. තවත් පියවර විස්සක් හෝ තිහක් යද්දී, කොරිඩෝවේ නැම්මක් හමුවිය. දැන් දැන් නාඳුනන ප්‍රාථමික බසකින් නැගෙන ඒකාකාරී පුරුෂ කටහඬ ඉතා ම ආසන්නයෙන් ඇසෙයි. ලෝකී ගේ අතෙහි වූ කුඩා පන්දමෙහි එළියෙන් කොරිඩෝවේ පාෂාණමය බිත්ති රෝස - රත්පැහැයෙන් බබළයි. 

කොරිඩෝවේ වංගුවට පිවිසි නෝර්ඩික් දෙවියා හට සිය දෑස් අදහාගත නොහැකි විය. වංගුවට අඩි දහයක් පමණ ඔබ්බෙන් වූයේ ප්‍රාථමික පෙනුමැති ගල් ලෙණකි. එහි බිත්ති හා පියසි ඉතා රළු වූව ද, එය තැනී තිබූ පාෂාණයේ යම් කිසි අපූර්වත්වයක් විය. එම පාෂාණය මහ පොළොවේ වෙන කිසිම තැනක දක්නට නොලැබෙන, විවිධ වර්ණයන්ගෙන් සැදි කිරිගරුඬයක් වූ බව ලෝකී දුටුවේ ය. ගුහාවේ පියස්සේ කෙළවරක වූ සිදුරකින් ඇතුළට වන් හිරු එළිය තීරුවක්, ගුහාවේ ඔපමට්ටම් නැති පොළොවින් විවිධ පැතිවලට පරාවර්තනය වී තිබුණි. එම එළිය තිරු වැටුණු විවිධ පාෂාණ කොටස් විවිධාකාරයේ වර්ණවත් ආලෝකයන් පරාවර්තනය කළේ ය. ලා නිල්, සුදු, ලා කහ, රෝස, ලා තැඹිලි...

ලෙණෙහි මැද කොටසේ කුඩා පොකුණක් විය. එහි පිරී තිබූ පැහැදිලි දිය ගුහා බිත්තිවලින් පරාවර්තිත ආලෝකයෙන් විවිධ පැහැ ගැන්විණ. පොකුණ ට ඔබ්බෙන් ඊට පිටුපා වීරාසනයෙන් වාඩි වූ පුරුෂයන් ති දෙනෙක් සහ ස්ත්‍රියක වූ හ. ඔවුන් ඉදිරිපිට වූ ගල් ආසනයක යෝගී ඉරියව්වකින් වාඩි වී සිටි, කසාවන් වස්ත්‍රයක් පොරවාගත්, හිස සහ මුහුණ මුඬුකළ මැදි වියේ පුරුෂයෙක්, ඉතා පෞරාණික ආසියාතික භාෂාවකින් යමක් දේශනා කරමින් සිටි හඬ ය, මෙතෙක් ලෝකී හට ඇසෙමින් තිබුණේ.

යෝගාවචරයා හා අනුගාමිකයින් දෙස ට යෝටුන්වරයා හට තැබීමට හැකි වූයේ පියවර දෙකක් පමණි. ඔහුට පිටුපසින් හඬක් නොනඟා ළං වූ සුමන හෙවත් ගලගොඩ නිළමේ, සිය වමතින් ලෝකී ගේ ගෙළ තදින් ග්‍රහණය කළේ ය. ඇසිල්ලකින් සතුරා පිටුපසට අඩි කිහිපයක් ඇද ගත් ගලගොඩ, ඔහුගේ ඉළ පෙදෙස එල්ල කළ බරැති පා පහරින් විසිවූ නෝර්ඩිකයා නතර වූයේ ගල් කොරිඩෝව දෙකට බෙදුණු ස්ථානයේ ය. බිම පතිත වූ ලෝකී නැඟිට්ටුවේ එහි සිටි උසැති දිවි සමින් සැරසීගත් යෝගී පෙනුමැති තරුණයා ය. රුද්‍ර ගේ සුරතෙහි ඇඟිලි සිය ගෙළ වටා අයෝමය ශක්තියකින් වෙළෙනු හැඟෙනවාත් සමඟ ම වැදුණු තවත් පා පහරකින් ලෝකී ගල් ගුහාවෙන් එළිමහනට ම විසි වී ගියේ ය. 

විසි වී අවුත් වැටෙණවාත් සමඟම කරණමක් ගැසූ ලෝකී තණ බිම මත දෙපයින් සිට ගත්තේ එළැඹෙන ඕනෑ ම දෙයකට සූදානමිනි. හිස ඔසවා බලන ඔහුගේ ඇස ගැටුණේ ස්ත්‍රීන් දෙ දෙනෙකු සහ පුරුෂයන් හතර දෙනෙකු ඔහු වටකර සිටගෙන සිටින බව ය.

හිස පහත් කරගෙන යන්තමින් දත් පෙන්වා සිනාසුණු යෝටුන්වරයා, වමතෙහි ඇඟිලි දෙකක් මුවතුලට රුවා, දිව නවා සිවුරුහන් ලෑමක් කළේ ය. එසැණින් කළු වළාකුලු රොක් වී හාත්පස අන්ධකාරය පැතිරුණි. අහසේ පිරුණු වළාකුළු වේගයෙන් පහතට ඇදී එනු ලෝකී වටකරගෙන සිටි රහස් දූරයේ වීරයෝ දුට හ. ඒවා තව තවත් පහතට එත් ම, දැවැන්ත අඳුරු නිල්වන් වෘකයන් බවට පත් වනු දුටු සුමන හෙවත් යම, සිය ඉණතුරේ තිබූ කුඩා පිත්තල නලාවක් ගෙන පිම්බේ ය. 

වෘකයන් දහ දෙනෙක් පමණ බිම පතිත වූයේ හාත්පස වූ දැවැන්ත ගස් සොළවාගෙන දැවැන්ත වළසෙක් එතැනට කඩා පනිනවාත් සමඟිනි. 

"ෆෙන්රීර්...! ෆෙන්රීර්...! පියාගේ සතුරන් මරපන්..."

“ෆෙන්රීර්...! ෆෙන්රීර්...! පියාගේ සතුරන් මරපන්...!” යි ලෝකී මුරගෑවේ ය. කලු නිල්වන් වෘකයෝ දිළිසෙන රත් පැහැ ඇස් සහ කෙළ වෑස්සෙන විරිත්තා ගත් දත් ඇතිව යෝටුන්වරයා ගේ එදිරිකාරයන් වෙත කඩා පැන්නෝ ය.  කඩු ඇදගත් මීමුරේ හෙවත් ඉන්ද්‍ර සහ ගලගොඩ ඉදිරියට පැන තමන් වෙත දිව ආ දැවැන්ත වෘකයන් හට හර දුන්හ. ඉස්බක් පමණ අහසට පැන්න රුද්‍ර, සිය සුරතින් ගත් දැවැන්ත ත්‍රිශූලය කරකවමින්, තමාගේ දෙපසින් පහර දීමට ආ වෘකයන් සිවු දෙනෙකු සමඟ එකවිට සටන් කළේ, නර්තන ශිල්පියෙකු ගේ බඳු බුහුටි බවක් පෑවේ ය. ශක්ති හා අග්නි ද දෑතින් ම වකුටු කඩුපත් හසුරුවමින් වෘකයන් මඟ හැර ලෝකී කොටු කරගන්නට උත්සාහ කළ හ. දැවැන්ත වළසා දෙපයින් සිටගෙන තමන් වෙත කඩා පිණූ, එතැන සිටි විශාලතම වෘකයා දෑතින් අල්ලා දෙකට ඉරා දැම්මේ ය. ඌ නැඟූ වේදනාත්මක උඩුබිරුමත් සමඟ ම අනෙක් වෘකයෝ කැළැව තුළට පළා ගිය හ. 

දැවැන්ත වළහා හතර පයින් දිව අවුත් සුමන අසළ නැවතුණි. ඔහු දෙපයින් සිටගනිත් දී අඩි හයකටත් වඩා උස් වූ මනුෂ්‍ය ශරීරයකට හැරුණේ ය. හැඩි දැඩි මස්පිඩුවලින් ගැවසි අත පය ද, දළ කළුවන් ලෝමයෙන් වැසුණු ළය හා උදරයෙන් හෙබි ඔහුගේ හිස වෙනුවට තිබුණේ වළස් හිසකි. ජයසේන සුරතින් ගත් ෆෙන්රීර් නම් දැවැන්ත වෘකයා ගේ හිස සුමනගේ දෙපා අසළට අතහැරියේ ය.


රුද්‍ර සිය සුරත හිසට උඩින් ඔසවා පිටුපසට ඇද, ත්‍රිශූලය ලෝකී වෙත දමා ගැසුවේ කිසිවෙකුටත් කිසිවක් සිතා ගැනීමට ඉඩක් නොතබා ය. “ඒකා පණපිටින් අල්ලා ගත යුතුයි. මිත්‍ර ගේ සිහිය ආපිට ගන්න ඔහු උවමනයි” සුමන සංස්කෘත බසින් කෑ ගසද්දී ද, බරැති ලෝකඩ ත්‍රිශූලය ලෝකී ගේ සිරුර පසාකරගෙන ගොසිනි. 

නැවතත් ගිණි පුපුරුවලට වෙන්වී විසිරුණු ලෝකී ගේ සිරුර වාතයට මුසු වෙද්දී, ඔහු නැඟූ වියරු සිනා හඬ හාත්පස රැව් නැඟුණේ ය. 

එකෙණෙහි ගල් ලෙණ ඉදිරිපිට විවෘත බිම මැද ගිලා බසිමින් දැවැන්ත වළක් මැවුණේ ය. එම වළ වැසී තිබුණේ දැඩි මිහිදුමකිනි. ඒ මිදුම දුමාරයක් මෙන් හාත්පස පැතිර යද්දී ලේ කැටි ගැසෙන තරම් සීතලෙන් සියල්ලෝ ම වෙවුලන්නට පටන් ගත්හ. 

වළෙන් එළියට බඩගා එන සතුන් මුලින් ම දුටුවේ අග්නි ය. මුලින් ම ආවේ අලුවන් ලෝමයෙන් වැසුනු කුරු වූ විකෘති මනුෂ්‍යයන් බඳු වූ ට්‍රොල් වරු ය. ගල්ගෙඩි පෙරළෙමින් එන්නාක් මෙන් බිම පෙරළෙමින් ආ ඔවුහු එකා එකා සුමන හෙවත් ගලගොඩ ගේ ද, ඉන්ද්‍ර ගේ ද, ජයසේන ගේ ද පහර කාගෙන වැටුණහ. එහෙත් ඔවුන්ගේ සංඛ්‍යාව සිය ගණනින් වැඩි වී එත් ම, දෙවියන්ට සහ යක්ෂයා ට ඔවුන් මැඩළීම අසීරු වී එන බවක් පෙනෙන්නට විය. 

කණ් බිහිරි කරවන හඬක් නඟමින් අහසින් බැස්සේ ඇත් කඳ ළිහිණියා ය. ඊට පිටුපසින් මොණර හිසක් හා දැවැන්ත පියාපත් සහිත තුරඟ සිරුරකින් යුත් මයුරයෙක් බිමට බැස ගත්තේ ය. මයුරයා ගේ පිට මත වූයේ රූමත් හැඩි දැඩි තරුණයෙකි. ඔහු සිය දෑතින් ම කඩුවක් සහ මුගුරක් ගෙන වේගයෙන් වනමින් ට්‍රොල් සතුන් හට අකුණු ගසන්නාක් මෙන් පහර දෙන්නට පටන් ගත්තේ ය. මයුරයා, මයුර වළල්ලක් සේ පෙනෙන ලෙස වේගයෙන් මෙහෙයවමින් සටන් කළ ඔහු ගේ වේගය කෙතරම් වීද යත් ඔහු එකවර අත් දොළසකින් පහර දෙන්නාක් මෙන් පෙනුනේ ය. 



ඇත් කඳ ළිහිණියාගේ ගොදුරු බවට පත් නොවී බේරුණු ට්‍රොල්වරුන් පහර කාගෙන වැටෙද්දී වළෙන් මතු වූයේ තද කොළ පැහැති කැත බකළයන් වූ ඕගරයන් ය. බිම වැටි තිබූ ත්‍රිශූලය මයුර හොටින් ඩැහැගෙන අතට ගත් ස්කන්ධ, එය රුද්‍ර ‌ගේ අතට විසි කළේ ය. තමන් මෙතෙක් සටන් කළ වක් අසිපත ශක්ති දෙසට විසි කළ රුද්‍ර බරැති ත්‍රිශූලය ගෙන සිය සිරුර ඉදිරිපසින් කරකැවුයේ ගිණි වළල්ලක් ආකාරයෙනි. ගුහාව තුළ සිට එළියට දිව ආ සුදු හා අළු පැහැති ඉරි වැටුණු හිම ව්‍යාඝ්‍රයෙක් ශක්ති අසළින් නැවතුණේ ය. උගේ පිටට පැන්න තරුණිය, වක් කඩුපත වනමින් ඕගරයන්ට පහර දුන්නා ය. අග්නි සිය වමතෙහි වූ රැහැණකින් සතුරන් එකා බැගින් ඇද, සුරතේ වූ වකුටු අසිපතකින් දෙපළු කළා ය. ඇඟ ලේ සීතල කරවන සුළු මාරාත්මක හූ හඬ නඟමින් දෑතින් සටන් කළ ජයසේන, විටෙක වළසෙකු ලෙසින් ද, විටෙක මනුෂ්‍ය රූපයෙන් ද සතුරන්ට පහර දුන්නේ ය.


ඕගරයන් පසුපසින් ගොඩට ආවේ සුදුවන් හිම යෝධයන් රංචුවකි. හාත්පස වාතාශ්‍රයේ වූ ජල වාෂ්ප සියල්ල සැණෙකින් සිතලෙන් මිදී ගියේ ය. නිවර්තන කළාපයේ වීරයන් වූ දේව මණ්ඩලය ට මිදුණු පිනි මත ලෙස්සා වැටෙමින්, ගැහෙන සිරුරින් යුතු ව සටන් කරන්නට සිදු වූ අතර, හිම යෝධයන්ගේ ඉමහත් ශක්තියට මුහුණ පෑම එන්න එන්න ම අසිරු බව පෙනී ගියේ ය. 

එක්වරම කරකැවෙමින් අහසට විසි වී ගිය දැවැන්ත මිටියක්... එහි වෙළුනු විදුලි ආරෝපණය, ලා නිල් වන් විදුලි ඉරි අහසේ ඒ මේ අත විහිදුවද්දී, හාත්පස පිරී තිබූ අඳුරු වළා සී සී කඩ ඉරී ගියේ ය. හිරු ගේ උනුසුම නැවතත් හාත්පස පැතිර යද්දී, ආපිට බිමට වැටෙන මිටිය අල්ලා ගැනීමට පිම්මක් පැන්න ටිරෙල් හෙවත් තෝර්, නැවත බිමට බැස්සේ හිම යෝධයෙකුගේ හිසට මිටි පහරක් දී එය සුණු කරමිනි. 

දැවැන්ත වළසෙකු බවට රූපාන්තරණය වූ ජයසේන, යටි උගුරින් කෑ ගසමින් ඉහළට පැන, ඉදිරියෙන් ම සිටි හිම යෝධයාගේ හිසෙහි වූ අං දෙක අල්ලාගෙන, තමන් බිම පතිත වන වේගය හා බර යොදාගෙන ඔහු බිම හෙළා ගත්තේ ය. එසැණින් එහි ළඟා වූ ස්කන්ධ, සිය කඩුවෙන් හෙණ ගසන්නාක් මෙන් පහර දෙකක් දී හිම යෝධයා නිසල කළේ ය. ආපිට හැරුණු ජයසේන, මහසොහොන් වෙස් ගනිමින් ඊළඟ හිම යෝධයා වෙත ද කඩා පැන්නේ ය. තමන් වෙත එන අනතුරට සූදානම් ව සිටි යෝටුනයා, හිස ඉදිරියට නමා ජයසේනගේ පිම්ම සිය අං දෙකෙන් පිළිගත්තෙන්, දෙ දෙනා එකා පිට එකා වැටුණි. 

සටන අතර ම, ඉදිරියට එන සතුරන්ට පහර දෙමින් පිටුපසට පියවර කිහිපයක් තැබූ අග්නි, මිහිදුම අතරින් සිය තියුණු ඇස් බැල්ම යොමු කර යමක් සෙව්වා ය. අවසානයේ, මිහිදුම සහ හිම ගළන ආවාටයට ඔබ්බෙන් දැවැන්ත ගසක අත්තක් මත හිඳ සටන රසවිඳින ලෝකී සහ අංග්ර්බෝදා හඳුනාගැනීමට ඈ සමත් විය.

තමා වෙත කඩා පිනූ ඕගරයා ගේ දෑත් වක් කඩුපතින් කපා දැමූ තාරා, අඩියට දෙකට ශක්ති වෙතට ළං වූවා ය. සිය හිම ව්‍යාඝ්‍රයා ඉදිරියට මෙහෙයවූ තරුණිය බිමට පැන, සිය මිතුරිය ගේ කෙටි සැළැස්ම අසා සිටියා ය. 

එක මොහොතකදී සිදුවීම් තුනක් සිදුවිය. පහත සිට ඉහළට විසි කෙරුණු වානේ යොත් දෙකක් ලෝකී සහ අංග්ර්බෝදා ගේ සිරුරු වටා එතුනේ සිතුවිල්ලක බඳු වේගයෙනි. ඇතෙකුගේ සොඬට හසුව ඔවුන් වාඩි වී සිටි දැවැන්ත අත්ත බිඳී ගියේ ද එවිට ම ය.

බිම පතිත වූ යෝටුනයෝ දෙ දෙනා සිහි එළවා ගනිද්දී අග්නි සහ ශක්ති සිය වානේ පාෂයන් ඔවුන්ගේ සිරුරු වටා තද කරමින් සිටි අතර, තරබාරු සිරුරැති අයියනායක හෙවත් පුල්ලෙයාර්, ඕනෑම අවස්ථාවකට සූදානම් ව ඔවුන් පිටුපස සිටගෙන සිටිනු දැකිය හැකි විය. 

*    *    *

සටන තව ම අවසන් නෑ. මීළඟ කොටස ඉතාම ළඟ දී...

Friday, August 6, 2021

අවසානයක් නොවේ - 36

1 කොටස

3 කොටස

35 කොටස

රුහිරෙන් පුදමි 14 කොටස

අඳුර වැටෙමින් තිබුණද, තාර පාර තවමත් මඳක් උණුසුම් විය. පාර දෙපස වැවුණු වියළි පඳුරු දුහුවිල්ලෙන් නැහැවී ගොස් තිබිණ. කන් පාරවන තහඩුමය හඬක් නංවමින් ට‍්‍රක් රථයක් ඇදී ගියේය. එය ඈත නොපෙනී යද්දී පාර අයින දිගේ අකිල ගැහෙමින්, වැනෙන සුළු පියවරින් ආයේය. පාරේ විරුද්ධ දිශාවේ ඈත සිට වේගයෙන් ඇදී ආ ඩබල් කැබ් රථයක් මහ හඬින් බ්‍රේක් ගසා නතර විය.

විකුම් කඩිමුඩියේ ඉදිරිපස දොරින් බිමට බැස අකිල වෙත දිව ගියේය.

‘‘මොකද වුණේ...? කෝ ඇඩම්...?’’

අකිල මළාණික දෑසින් ඔහු වෙත බැලීය.

‘‘එයාට යන්න සිද්ධ වුණා...’’ ඔහු කිවේ එපමණකි. හෙතෙම සිය මිතුරාගේ දෑත් මත ඇද වැටිණ.

විකුම් ඔහු දෑතින් වාරු කරගනිමින් රිය වෙත රැගෙන ගියේය. පිටුපස දොරින් බැසගත් ආකර්ෂා, අකිල පිටුපස අසුනට ගොඩ කිරීමට ඔහුට උදව් කළාය.

‘‘ආපහු යමු මචං,’’ විකුම් රියදුරාට කීයේය. ‘‘අපි පරක්කු වුණා වැඩියි...’’

‘‘ඔයගොල්ලො යන්න.’’ තරුණිය පිටුපස දොර වසා, විකුම් වෙත ඇවිද ආවාය. ‘‘මම නවතිනවා.’’

*    *    *

ආකර්ෂා සිය අත බැඳි ඔරළෝසුව දෙස බැලුවේ අවසන් වරට ය. ඩිජිටල් ඔරළෝසු මුහුණතේ, කළු පැහැ පසුබිමෙහි තද කොල පැහැ තිතක් නිවෙමින් දැල්වෙමින් පැවතිණ. හිස එසවූ ඈ දුටුවේ ඇයී විවර වී තිබූ සුදු පැහැ ලී ගේට්ටුවකි. ගේට්ටුවෙන් ඇතුල්වන්නට හැකි වූ ගෙඋයනෙහි, කාලයක් තිස්සේ වැවී තිබූ ආකූල පඳුරු සහ පැළෑටි සියල්ල සුද්ද කර, තැන් තැන් වල ගොඩ ගසා තිබුණි. පුපුරා ගිය සායම ඉවත් කරන ලදුව, තීන්ත ගාමින් පැවති බිත්ති සහිත නිවසක්, කුඩා මල් සහිත පාත්තිවලට ඔබ්බෙන් නැඟී සිටියේ දරුණු අපරාධයකට සාක්ෂි කියන මහල්ලෙකු සේ ය.

ගෙ මිදුලෙහි, කපන ලද කුඩා තණපතින් සැදි බිම, තරුණයෙක් සහ තරුණියක් වැටී සිටියහ. 

ආකර්ෂා ගෙඋයන වෙත දිව යද්දී, සම් පාවහනින් වැසුණු ඇගේ දෙපයින් කිසිදු හඬක් නැඟුනේ නැත. එහි  වූ දර්ශනය ඈ අපේක්ෂා කළ එකක් වුව ද, තරුණයාගේ ලෙයින් වැසුණු පපුව ත්, රත් පැහැ ගැන්වී ඉදිමී තිබූ දෑසත්, වේදනාවෙන් ඇඹරුණු අත පයත්, දකිද්දී සිය දෙපා අවසඟ වී යන්නා සේ ඇයට දැනුණි.

බිම වැටී සිටි තරුණිය වෙත ආකර්ෂා ළං වෙද්දී, මහා සුළි සුළඟකින් මෙන් ‌හාත්පස ගස් කොළන් කරකැවෙන්නට විය. පට පට හඬ නඟමින් වේගයෙන් පහත් වූ EC120 හෙළිකොප්ටරයක් තරුණයින්ගේ සිරුරු වැතිර තිබූ තැනට කෙළින්ම ඉහළින්, පැරණි නිවසේ වහලය මට්ටමට පමණ පහත් කොට එක තැන නතර විය. එහි දකුණු පැත්තේ දොර ඇරී, කේබල් ඉණිමඟක් දඟර ගැහෙමින් දිගහැරෙමින් පහතට වැටුණේ ය. එය දිගේ ඉතා වේගයෙන් පහතට රූටා ආවේ ශක්තිමත් පුරුෂයෙකි. තරුණයා ගේ සිරුර අසළින් ම බිමට බට ඔහු තමන්ගේ පිටේ සවිකර තිබූ බරැති බෑගය ගළවා ගනිමින්, ආකර්ෂා දෙස බැලුවේ ය.


"කෙල්ලට කොහොමද අග්නි?"

"සිහි නැති වෙලා විතරයි, මිත්‍ර" බිම දණගසාගත් ආකර්ෂා, නිර්මලී ගේ උරහිස් වටා දකුණත යවා සිය සිරුරට වාරු කරගෙන වත්තන් කරගත්තා ය.

සිය බෑගය දිගහැර, එහි වූ ඇලුමිනියම් දඬු සහ රෙක්සින් කොටස් කඩිනමින් එකළස් කර, සැහැල්ලු ගිලන් මැස්සක් සකස් කරගැනීමට පුරුෂයා ට ගත වූයේ ඉතා සුළු මොහොතකි. 

"ශා... ම්... ම්... ම්..." සිහින් කෙඳිරිය නැඟුනේ අඩ සිහියෙන් අවදි වෙමින් සිටි නිර්මලී ගේ වියළි දෙතොල් අතරිනි.

මිත්‍ර ඒ වන විට සිටියේ බිමට තබා ඇණ ගැසුවාක් මෙන් වූ ශාම් ගේ සිරුර මතට නැඹුරු වී ය. සිය වමතෙහි වූ අඳුරු කොළ පැහැති තෙත් බර පොදියක් ශාම් ගේ පපුව විනිවිද ගිය ලී උල වටා සිටින සේ තබා තදකර, දකුණතින් ලී උල තදින් ග්‍රහණය කළ ඔහු, එක් වරම එය ඉහළට ඇද්දේ ය. කළුවට හුරු රතුවන් කැටි ගැසුණු ලෙයින් නැහැවුණු ලී උල තරුණයාගේ බිඳුණු ඉළ ඇට අතරින් ඉවතට ඇදුණේ අපහසුවෙනි. 

කළුවන් කොළ පැහැ ඖෂධ පොදිය තරුණයාගේ පපුවෙහි වූ මාරක තුවාලයට ඉතා සැළකිල්ලෙන් ගැල්වූ මිත්‍ර, පහසුවෙන් ම ශාම් ගේ අප්‍රාණික සිරුර දෑතින් ඔසවා තමන් සකස් කළ ගිලන් මැස්ස මතින් වැතිරවා, රෙක්සින් පටි රැසකින් නොසෙල්වෙන සේ බැඳ දැමී ය. 

මිත්‍ර, ගිලන් මැස්ස කෙලින් සිටින සේ සිටුවා, එහි පිටුපස වූ පටි ‌කිහිපයක උපකාරයෙන්, සිය පිටෙහි එල්ලා ගත්තේ ය. හෙලිකොප්ටරයේ රොටරවලින් පහතට හමන, කරකැවෙන සුළං දහරට හසුව වැනෙමින් දඟර ගැසෙමින් පැවති කේබල් ඉණිමඟ අල්ලා ගත් ඔහු එහි පළමු පඩියට පය තබමින් නැවතත් තරුණියන් දෙ දෙනා දෙස බැලුවේ ය. 

අග්නි ඔහු වෙත අත වැනුවේ, සමුදීමට ය. 

*    *    *

කෙමෙන් කෙමෙන් සිය සිරුර පුරා ලේ දහරා ගළා යන ඉතා ම සියුම් දැනීම පවා, ඇඩම් හට සමට යටින් දැනෙමින් පැවතිණ. දෑසේ වූ අන්ධකාරය කෙමෙන් පහව යද්දී, මීට පෙර දහස් වතාවකටත් වඩා සිදු වී ඇති පරිදි ම, මරණයට ඉතා ම ආසන්නයේ සිට, තමන් පියවි ‌ලොවට අවදි වී එන බව ඔහුට දැනෙමින් පැවතිණ.

"තාරා... තාාා රා..." ඔහුගේ හිස තුළ දෝංකාර දෙමින් පැවති එකම හඬ ඒ විය.

දෑස් හැර බැලූ ඩ්‍රේක්, වෙද මුදලි වළව්වේ තමා රඳවා සිටි කුටියේ වහළය හඳුනා ගත්තේ ය. රවුම් ලී දඬු වලින් සැදුණු සැකිල්ලට පසුබිම් වූ වියන ලද අළුවන් පොල් අතු...

රත් පැහැ රම් බිඳක සුවඳ මුසු රසය සිහිපත් වී හෙතෙම, දිවගින් දෙතොල තෙමද්දී, දැනුණේ වියළී ඉරි තැළුණු තොල් වලින් නැඟෙන සියුම් වේදනාවය. හිස ඔසවා බැලූ නාවුකයා, විස්මයට පත් වූයේ ගොම මැටි පිරිබඩ ගෙ බිමෙහි දෙපා දණහිසින් නවාගෙන වාඩි වී, තමා වැතිර සිටි මැස්සට හිස තබාගෙන අඩපණව සිටි කුලීන තරුණිය දැකීමෙනි.

වෙදහලේ සිටි සාත්තු සේවකයෝ උදෑසණින් පිබිද, පිරිසිදු කිරීම්වල නිරතව සිටියෝ ය. ටිකිරි මැණිකේ ගේ දුර්වල සිරුර දෑතින් ඔසවාගෙන දිව එන යුරෝපීයයාගේ විලාසයෙන් ඔවුහු උණු අළු වැටුණු කඩියන් සේ කුළප්පු වූ හ. 

ලෙඩුන් පිරික්සන ලණු මැස්ස මත පිරිසිදු පන් පැදුරක් එළා, ඒ මත තරුණියගේ සිරුර වැතිරවද්දී, ඇඩම් ගේ දෑස් තෙත් වෙමින් පැවතිණ. යාන්තමින් දෙතොල් විවර කළ කුමාරිහාමි, දැඩි වෙහෙසක් ගෙන, වමත ඔසවා, නෝර්ඩික් නාවුකයාගේ අතැඟිලි අල්ලා ගත්තා ය. යාන්තමින් විවර වූ දෑසින් ඔහු ගේ දෑස් වෙත බැලූ ඈ සිනා සෙන්නට වෑයම් කරනු ඔහු දුටුවේ ය.

"කස්තුරි..."

"දෙළුම්..."

"...බඹර පැණි"

"...කස්තුරි"

"විගහට විගහට"

"අත ඉක්මන් කරහල්ලා..."

පසුබිමින් ‌නැඟෙමින් පැවති උපස්ථායකයන්ගේ හඬවල් ඩ්‍රේක් හට ඇසුණේ යාන්තමිනි. කළ යුතු, කළ හැකි වෙදකම් සියල්ල ඉටු කෙරෙන බව ඔහු දැන සිටියෙන්, තම ජීවිතය වෙනුවෙන් සිය ලේ දහර කැපකළ තරුණිය තනිකර එක මොහොතකට හෝ ඉවත්ව යාමට හෙතෙම නොසිතුවේ ය.

ලබා දීමට හැකි වූ ඉහල ම ප්‍රතිකර්ම සහ අත් බෙහෙත් සියල්ල නිරර්ථක කරමින්... ඒ දයාවන්ත තරුණිය දෑස් පියාගත්තේ, සිය අවසන් බැල්ම ද නෝර්ඩික් නාවුකයා ගේ දෑස් වෙත හෙළමිනි...

වෙදහලේ ඇතුළත වූ උණුසුම් වාතස්කන්ධය සිය හුස්ම හිර කරන්නාක් මෙන් ඇඩම් හට දැනෙමින් පැවතිණ. ප්‍රවේසමින් සිය අතැඟිලි අතර වූ තරුණියගේ ඇඟිලි මුදවාගත් ඔහු දෑතින් ම ඇගේ දෑත් එක්කොට ඇගේ ළය මතින් තබා සකස් කළේ ය. තවත් එක් මොහොතක් හෝ ඇගේ පියකරු මුහුණ දෙස බලා සිටිය නොහැකි වූ හෙයින්, ඔහු වෙදහලින් බැහැර විය. හිරු එළියට නිරාවරණය වත් ම, දෙ උරහිසින් පටන් ගෙන මුළු සිරුර පුරා පැතිර යන්නට ගත් දැවෙන්නාක් මෙන් දැනෙන හැඟීම, ඔහු තුළ පැවති චිත්ත පීඩාව තව තවත් උත්සන්න කරවී ය. එය හැඟීමක් පමණක් නොවන බව දැනෙන්නට එතරම් වේලාවක් ගත වූයේ නැත. අවුවට පිළිස්සීමෙන් බේරීමට ඩ්‍රේක් දුවන්නට පටන් ගත්තේ, තමන් දුවන්නේ කොහේ දැයි පවා නොසිතමිනි. තමන්ට පිටුපා ඔසු උයන දෙසට දිව යන යුරෝපීයයාගේ පිට මැද, පිළිස්සුණු තුවාල හරියට ම, දැවැන්ත අත්ලක... විහිදුනු ඇඟිලි පහක් පැහැදිලිව නිරූපණය වූ අත්ලක හැඩය ගත් බව, වෙද හලෙහි සිටියෝ දුට හ.


තවත් කොටසක් තියෙයි ද?

Wednesday, July 28, 2021

වෙඩිල්ල - මුකබාණා, බුරතීනෝ, නිදි, සිරිබිරිස් ඇතුළු උනන්දුවක් දක්වන සියල්ලන්ගේ ම ලාම්පු සංවේගය උදෙසා...

විභාගයෙන් බාගෙයක් ම ඉවර වේගෙන යන අතර, (තව ඉරිදාවල් දෙකක් තියෙනව...) මේං මෙතන ඇති වෙච්ච කතා බහක් එක්ක මේ පෝස්ට් එක පළ කරන්ඩ සෑහෙන කුතුහලාත්මක උනන්දුවක් ඇති වුණා. 

මේ පළ කරන්ඩ යන්නේ ඩබ්ලිව්. ඒ. සිල්වා ගේ කථා රත්නාකරය කියන කෙටිකතා සංග්‍රහයේ තුන්වෙනි පොත වන "අමෘත හස‍්තය" කියන පොතේ තිබුණු ඉතාම විශිෂ්ඨ සහ ක්ලැසික් රහස් පරීක්ෂක කතාවකට කදිම ආදර්ශයක්.

මේ පොත අපේ තාත්තා අරං තියෙන්නෙ 1975දි. (තාත්තගෙ යාලුවෙක් මේක ඉල්ලගෙන ගිහිං, අමතක කරලා, උජාරුවට එයාගෙ නමත් ගහගෙන ඉද්දි, තාත්තට ආයෙම හම්බෙලා ආපහු ගෙදර අරං ඇවිත්. ඒ්කයි ඔය මුල පිටුවෙ තියෙන නම ඉරි දෙකකින් කපල තියෙන්නෙ.) මේ පොතේ මුද්‍රණය 1958. වැඩි කතා බහකින් තොරව, පොතේ පිටකවරයේ ඉඳන් සම්පූර්ණ කතාව පහතින් පළ කරනව.


















Thursday, July 1, 2021

අවසානයක් නොවේ - 35

රීරි යකා ට හිසින් සංඥා කරමින් ඉන්ද්‍ර නැඟී සිටියේ ය. ඔහු අනුව ටිරෙල් ද, අග්නි ද, රුද්‍ර ද, ගුහාවෙන් පිට වූ හ.

 34 කොටස...

"අග්නි තමන්ට පැවරුණු කොටස ඉතා ම කදිමට ඉටු කළා..." ඉන්ද්‍ර කීවේ ය. 

රුද්‍ර ඉන්ද්‍රගේ දෑස් දෙස තියුණු ලෙස බලා, හිස සලා එකඟ විය. අග්නි ඉවත බලා ගත්තා ය. ඇගේ දෑසේ කලින් පැවති කෝපය තවත් නොවීය. ඒ වෙනුවට එහි පැවතියේ පාලු අඳුරු බවකි.

"දැන් අපි ඉක්මන් විය යුතුයි." රුද්‍ර කීය. "අපට හැම කෙනාගෙ ම ශක්තිය මේ වෙලාවෙ අවශ්‍යයි..." ඔහු අග්නි ගේ දෑස් දෙස කෙලින් බැලී ය. 

කිහිපවරක් තදින් ඇසිපිය ගැසූ අග්නි ඇසි බැම වකුටු කොට ඔරවා බැලුවා ය. "මට මොනවත් වෙලා නෑ." ඈ තමාගේ අතින් අල්ලාගන්නට ගිය ශක්ති ගේ ඇඟිලි ගසා දැමුවා ය. "මේක ඉවර කරමු. ලෝකී හැම දෙයක්ම ඉවර කරන්න කලින්..."

ශක්ති තෙත්වූ දෑසින් රුද්‍ර දෙස බැලුවා ය.

*        *        *

ලක්දිව යක්ෂයන් යහමඟට ගැනීම ට, යම හෙවත් සුමන සමග පැමිණි ගෞතම නම් දාර්ශනිකයා එතෙක් දිවයිනේ පැවති විනාශකාරී යුද්ධ මාලාව අහිංසාවෙන් සංසිඳුවී ය. අමරණීය රණශූරයන්ගෙන් සැදුණු දේවමණ්ඩලය තමන් මෙතෙක් නොදුටු විරූ දර්ශනයකින් සිදු කෙරුණු ප්‍රාතිහාර්යය කෙරෙහි පැහැදුණහ. තමන් දන්නා හොඳම සහ උසස්තම දෙයින් ගෞතම නම් බුද්ධිමතා පිදීමට සැරසුණු ඔවුන්, ඊට තෝරා ගත්තේ දිවයිනේ මධ්‍ය මණ්ඩලයේ සුන්දරතම ස්ථානයයි. 

ලක්දිව ඕනෑම උස් තැනක බැලූ විට දැකිය හැකි සුවිශේෂී කන්දක් පිහිටියේ ය. දිවයිනේ සිට දින දෙකක් යාත්‍රා කළ විට මුහුද ට ද එය දිස්වේ. මානවයන් දියුණු සමාජ ජීවීන් වන්නට පෙර අතහැර දමා තිබූ ලෙණක් එහි පැවති බව දැන සිටියේ දේව මණ්ඩලය පමණකි. ඔවුන්ගේ මගපෙන්වීමකින් තොරව එහි යන්නෙකු මංමුලා කර, දින ගණනාවක් තිස්සේ හිස හැරුණු අත ඇවිද්දවීමෙහි සමත් උපක්‍රම, ගුහාවේ සිට යොදුන් කිපයක වටප්‍රමාණයේ යොදවා තිබේ. එහෙයින් ම එහි හාත්පස පැවති නිර්මලත්වය මානවයන්ගේ අතින් කිසි දිනක කිළිටි නොවී ය.

හිරු අවර දෙසට හැරෙන්නට පෙර, ගෞතම තුමන් මියුරු ආහාරයෙන් පිදූ දෙවි වරු, අවසන, තමන් හට පිදිය හැකි උසස්තම දෙය ඒ ශ්‍රේෂ්ඨ අහිංසාවාදියා වෙත පිළිගැන්වූ හ.

ඉන්ද්‍ර, අග්නි, වරුණ සහ යම ගේ දෑස් දෙස මාරුවෙන් මාරුවට මොහොතක් නිහඬ ව බලා සිටි ගෞතමයෝ, සිය උපස්ථායකවරයා ඇමතූ හ.

"ආනන්ද,"

"ගුරුතුමනි,"

"ගෞතමයන්හට ගිණිය නොහැකි තරමේ කාලයක් ජීවත් වීමෙහි අවස්ථාව උදා වී තිබෙනවා."

සිය ගුරුතුමා උදෑසන යක්ෂයන්හට සිදුකළ දේශනාව නැවත නැවත මෙනෙහි කරමින්, සිතෙහි ධාරණය කරගනිමින් සිටි ගෝල නම, ‌සුළු වේලාවකට විපිලිසර විය. එම මොහොත් කිහිපය තුළ සිය තීරණය ගත් දාර්ශනිකයා හිස එසවී ය.

"යහපත් දෙවියනි... ඔබ දුන් ආහාර මා පිළිගත්තේ ඒ කෙරෙහි ඇලීමකින් හෝ කැමැත්තකින් නොවේ. හුදෙක් ඒ මාගේ දිවිය පවත්වාගැනීම උදෙසා ය. මන්ද, දින කිහිපයකට වඩා කුසගින්නේ සිටීම අත්ථකිලමථානුයෝගය නම් අන්තය වන නිසාත්, ඉන් මාගේ දිවිය කෙළවර වන බව මා දන්නා නිසා ත්... එහෙත් දැන් ඔබ මේ පිළිගන්වන දෙය පිළිගැනීම මා හට උචිත නොවේ. එයින් මාගේ දිවිය ඉතාම දීර්ඝ කාලයක් පවත්වාගැනීමේ ඇල්ම සහ තෘෂ්ණාව මා තුළ හට ගත හැකි වන හෙයින්... ඒ නිසා..." උන්වහන්සේ ගේ දෑස් දයාවෙන් සහ ආදරයෙන් පිරී ගොස් ඇති බව අග්නි දුටුවා ය. "...ඒ නිසා, මා ඉතාම කරුණාවෙන් මෙය ආපසු ඔබට ම පවරනවා. ඔබ මේ ලබාගෙන ඇති අමරණීයත්වය සියලුම ලෝකවාසීන් ගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමට ඔබට ලැබී ඇති තෑග්ගක් ලෙස දකින්න."

භාරතයේ සිට පැමිණීමෙන් ද, උදෑසන කරන ලද මහා යුධ සංසිඳුවීමෙන් ද විඩාපත්ව සිටි දාර්ශනිකයා දිවා ආහාරයෙන් පසු මඳක් සැතපුණ හ. උන්වහන්සේ අසල වාඩි වූ උපස්ථායක, එතුමන්ට පවන් සළමින් ම නිදි කිරා වැටෙන්නට විය. තම සිත් තුළ පිරී පැවති භක්තියෙන් මෙහෙයුනු දෙවිවරු සතර දෙන, ගෞතමයන්හට නමස්කාර කරන ඉරියව්වෙන් සිටින තමන්ගේ රූප එහි මවා තබා, දිවා ගුහාවෙන් පිටවූ හ. 

https://www.flickr.com/photos/udaraseneviratne/6153560690/

සවස් කල නින්දෙන් අවදිවූ ගෞතමයෝ දෙවිවරුන් කර ඇති මායාව දැක සිනා පහල කළහ. කුමාර අවදියේ පටන් තමන් තුළ පැවති විනෝදශීලීත්වය මෙනෙහි කළ එතුමා, නමස්කාර කර සිටින දේව රූපයන් හට දහම් දෙසන ලීලාවෙන් සිය රූපය මවා තබා, ආනන්දයන් ද කැටිව ලෙණෙන් බැහරව, කඳු මුඳුන දෙසට ගමන් කළහ.

*        *        *

මිත්‍ර හෙවත් උඩුමුල්ලේ රාළගේ මනසේ පැවති මතකයන් සියල්ල උකහාගැනීමට ලෝකී හට කාලය මඳ වූව ද, දිවා ගුහාවේ පිහිටීම සම්බන්ධ තොරතුරු සියල්ල ලබාගැනීමට ඔහු සමත් විය. ගංතලාවේ දිසානායක රටේ මහතාගේ වළව්වේ මිදුලේ සිට අතුරුදන් වූ ඔහු නැවත මතු වූයේ එම ගුහාවේ පිවිසුම අසළිනි. 

සුන්දර මලින් ගැවසි නා, පුවඟු, සල්, සපු ආදී තුරුවැලින් ගැවසි හාත්පස මල් සුවඳින් පිරුණි. සාවුන්, මීවින්නන් හා මුවන් නොබියව අවට තණපත් බුදිමින් ගැවසුණ හ. බටිති, කොවුල් ආදී කුරුල්ලන්ගේ නාදයන් විටින් විට නැඟුනේ ගස්වල පාත් අතුපතරිනි.

ලෝකී ඒ වන විට සිය නියම වෙසට පෙරැළී සිටියේ ය. මොහොතක් දෙකක් ගුහාවේ මුවවිට අසළ පොරොත්තු වූ හෙතෙම, දිගු හුස්මක් ගෙන ලය පුරවා ගත්තේ, සෙමෙන් සෙමෙන් ‌ගුහාව තුළට පිය නැඟුවේ ජයග්‍රාහී මඳහසකින් අලංකාර වූ මුහුණකිනි.

ගුහාවේ අභ්‍යන්තරයට මඳ දුරක් යත්ම, නෝර්ඩික් දෙවියා ගේ සවණට වැකුණේ ශාන්ත, සන්සුන් පිරිමි කටහඬකි. මාධූර්යයෙන් සහ පෞරුෂයෙන් පිරි භාෂාවකින් කියැවුණු එහි එක් වචනයක්වත් ලෝකී හට තේරුණේ නැතත්, ගුහාව තුළ තමන් තනි නැති බව නම් පහසුවෙන් සළකාගත්තේ ය. එතැන් සිට ඔහු ඉදිරියට ගියේ තබන තබන සෑම පියවරක් පාසා ම සැළකිලිමත් වෙමිනි.

අඩි කිහිපයක් ඉදිරියට යද්දී, ලෙණ ඇතුලට පැවති මාර්ගයේ නැම්මක් ලෝකී දුටුවේ ය. ඒ දෙසට ළං වෙද්දී වංගුවත් සමඟ පාර දෙකට බෙදෙන බව දැකිය හැකි විය. 

නෝර්ඩික් දෙවියා සිය අතෙහි වූ කුඩා යෂ්ඨියෙන් ගල් ගුහාවේ බිත්තියට තට්ටු කළේ ය. එසෙැණින් එම දණ්ඩ අග ගිණි දල්ලක් හට ගත්තේ, ගුහා අභ්‍යන්තරය එළිය කරවමිනි.  එයින් ලෝකී හට පිටුපස බිත්තියේ, ඔහුගේ ඡායාව පිළිබිඹු වී ගිණි දල්ලේ සෙලවීමට අනුරූපව නළියන්නට විය. ලෝකී ඒ දෙස බලා අත්ල මුහුණට ළං කොට පිම්බේ ය. මොහොතකින් ගල් බිත්තිය මත වූ ඡායාව, බිත්තියෙන් ගැළවී මානවයෙකු මෙන් සිට ගත්තේ ය. එහි දෙපතුලේ සිට ඉහළට වර්ණ ගැන්වී ගෙන ගොස්, අවසානයේ තවත් ලෝකී කෙනෙක් මැවිණ.


තව කොටසක් එනවා...

වැඩිපුර බලපු ලිපි