බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා ගේ කයිකතන්දර පොතේ තිබෙන රජකාලේ කයි කතන්දර කීපයක් අද ලිපියෙන් ඉදිරිපත් කරනවා.
![]() |
| ඕලන්ද බටහිර ඉන්දියා වෙළෙඳ සමාගමේ බතාවියාවේ ලුතෙරන් මිනිස්ටර් වූ යාන් බ්‍රැන්ඩෙස් විසින් 1785 දී අඳින ලද රාජාධිරාජසිංහ රජතුමාගේ ආලේඛ්‍යය |
මහනුවර රාජධානි කාලේ තිබුණු එක් විනෝද ක්‍රීඩාවක් වුණේ ඇත් පොර. කැලෑවෙන් අල්ලාගත් වල් ඇතෙක්, රජතුමා ළඟ ඉන්නා හීලෑ කරන ලද ඇතෙක් සමඟ පොර ඇන්නවීම තමයි මේ ක්‍රීඩාව. රෝමක ඇරීනාවේ තිබුණු වල් සතුන් සමඟ මිනිසුන් පොර ඇන්නවීමත්, ස්පාඤ්ඤයේ ගොන් පොරත් වගේ ත්‍රාස ජනක ක්‍රීඩාවක් වෙන්නට පුළුවන්.
රාජාධි රාජසිංහ රජතුමා දවසක් මේ වගේ පොරයක් ඇන්නුවා. කල් තියා ප්‍රසිද්ධ කරන නිසා මිනිස්සුත් රාශියක් ආවා මේක බලන්න.
ඉතින් ඇත්තු දෙන්නා බොහොම වෙලාවක් පොර ඇනගෙන, අන්තිමේ හීලෑ ඇතා ඇන්න පාරකට, වල් ඇතා පිටිපස්සට විසි වෙලා, මැටි ගන්න හාරපු වළක වැටිලා ඉඳ ගැන්නුනා.
මේ ගැන කවියක් කියන්න කියලා රජතුමා ළඟ හිටපු ගලගොඩ නිළමෙ ට කීවා. එතුමා හිටිවන ම මේ කවිය කීවා, පැරදුනු වල් ඇතා කියන විදිහට...
පන්නා ගෙන ඇවිදින් මොන හොඳ ද කළේ
දන්නා තරම පොර ඇන්නෙමි වඩා ලොලේ
ඇන්නෑවේ වැටුණෙමි මැටි ගත්තු වලේ
* * *
රාජාධි රාජසිංහ රජතුමාගේ සේවාකම් කරපු තරුණයෙක් උන්නා, තිරුවා කියන නමින්. මේ කොල්ලා විහිළුවට හරිම කැමතියි. ඒ වගේ ම රජ වාසලේ හැමෝමත් මෙයාට ගොඩක් කැමතියි.
තිරුවා නිසි කල පනින්න කිට්ටුව අහල ගමකින් මනමාලියෙක් කැන්දාගෙන ආවා. ඒ තරුණිය හොඳ හැඩකාර ළමිස්සියක්.
රජතුමාට මේ දැරිවි දකින්න ආසා වුණා. කීප රවක් ම තිරුවා ට කිව්වා “උඹෙ මනමාලි එක්ක වරෙං වාසළට“ කියලා.
“අනේ හාංදුරුවනේ, උන්දැට පරංගි හැදිලා“ කියලා තිරුවා හැම වතාවෙ ම ඒක මගෑරියා.
තිරුවා කියන්නේ බොරු බව සැක කරපු රජතුමා දවසක් තිරුවා ට අඹගමුවේ ගිහින් කරන්න රාජකාරියක් පැවරුවා.
අඹගමුව වර්තමාන ගිණිගත්හේන නගරය අවට තිබෙන ප්‍රදේශයක්. නිශ්ශංකමල්ල රජතුමා ශ්‍රී පාදයට යන මාර්ගය දිව්‍යාංගනාවන්ගෙ උපකාරයෙන් හොයාගත්තා කියා ප්‍රසිද්ධ කරන්න කාලෙකට කලින් මහා විජයබාහු රජතුමා සිරිපා කරුණා කරලා, ශ්‍රීපාද රාජකාරිය සහ ආශ්‍රිත තොරතුරු ගැන විධිවිධාන පිහිටුවලා හිටුවපු අඹගමුව සෙල්ලිපියත් තියෙන්නේ ඔය ප්‍රදේශයේ ම තමයි.
ඉතින් තිරුවා ගෙදර ඇවිත්, වාසළ පයිංඩයකට අඹගමු යන විත්තිය අඹුවට කියලා, බත්මුලකුත් බැඳගෙන එදා ම හවස පිටත්වුණා. ටික දුරක් ගිහිං බත්මුල කාලා, ආපහු ඇවිත් ගෙදර ඉස්සරහ හදලා තිබුණු අතු මැස්ස යට හැංගුණා.
එදා කළුවර වැටුණට පස්සෙ රජතුමා ඇවිදිං තිරුවගෙ ගෙදර, දොර ඉස්සරහ ඉඳං මේ කවිය කිව්වා.
අඹගමුවේ වෙල හරියේ යන්දෑදෝ
පහිය අතට ගෙන බුලතුත් කන්දෑදෝ
තිරු අයියා හෙට හවසට එන්දෑදෝ
ඒක ඇහිලා තිරුවගේ අඹුව දැනගත්තා රජතුමා තමයි ඇවිත් තියෙන්නෙ කියලා. එයා දොර අරින්න කලිං තිරුවා මෙහෙම කවියක් කියාගෙන අතුමැස්ස යටින් එළියට ආවා...
ඔරුව මිසක් තොට ගෙනියන කෙනෙක් නැතී
කෙරුව රති සැපට ආලය පළක් නැතී
තිරුව මමයි මම අඹගමු ගියේ නැතී
* * *
මොරතොට ධම්මක්ඛන්ධ හාමුදුරුවෝ රාජාධි රාජසිංහ රජතුමාගේ ගුරුවරයා. රජතුමා උන් වහන්සේට බොහොම ගෞරව කරනවා. ඒ ගැන ඊර්ෂ්‍යා කරපු කීප දෙනෙක් රජතුමාට කේළම් කිව්වා, උන්වහන්සේ ගේ ආවාසෙට රෑට රෑට ස්ත්‍රියක් එන යන බව.
ඒක පරීක්ෂා කරන්න රජතුමා දවසක් ගෑණු ඇඳුම් ඇඳගෙන හාමුදුරුවන්ගෙ ආවාසෙට ගිහින්, ජනේලෙන් අත දාලා සෙළෙව්වා. අතේ දාගෙන හිටපු වළලු හඬ ඇහිලා අවදි වුණු හාමුදුරුවෝ, මෙහෙම කොළොප්පමක් කරන්න මේ රටේ ඉන්නෙ රජතුමා ම තමයි කියා දැනගෙන, මේ කවිය කීවා.
ඇසල මස දුටිමි යනවා දෙව් කෙළියේ
අසල නම් නිතර දැකුමට සිතු ඇලියේ
සකල සිරි ලකට අග රජ නුඹ ද ලියේ
ඒක ඇහුණු රජතුමා පිළිතුරු කවියක් කීවා මේ විදිහට.
විතර නොවන ගුණ නැණ සපිරි නාවන්
පවර නමැති මොරතොට පති මනාවන්
සසර වසන තුරු මට වාසනාවන්
* * *
අන්දරේ හිටියා කියන්නේත් මේ රාජාධි රාජසිංහ රජතුමාගේ සභාවේ. දවසක් රජතුමා දිය කෙළියට මහවැලි ගඟට ගිය වෙලාවක අන්දරේගෙන් ඇහුවා, “උඹට මේ වෙලාවෙත් කවි කියන්න පුළුවන් ද?“ කියා. අන්දරේ වහසි බස් කියමින් කීවා, “දේවයන් වහන්ස, කියන මිනිහා කොයි වෙලාවෙත් කියයි...“ කියලා.
ඒ ගමන රජතුමා පිරිසට අණ කළා “මුගෙ අත පය බැඳලා, ගඟට දාපියව්“ කියලා. ගඟට දාද්දි අන්දරේට කිව්වා, “එහෙනම්, දැනුත් කවියක් කියහං බලන්ඩ“ කියලා.
දියේ ගිලි ගිලී උඩට එන වාරයකට පදය ගානේ අන්දරේ මේ කවිය කිව්වා.
මෙච්චර දුකට පිහිටක් නූනු කල කිමා
රිවිකුළ රජුන් හට ඇත්තේ ගති පුදුමා
කවි කියවන්ට හැදු වේලාවක මහිමා
* * *
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කවිකාර මඩුවේ හිටි කවියෙක්, ලෝකුරු නයිදේ. දවසක් රජතුමා කවිකාර මඩුවෙ කවියන්ට අභියෝගයක් කළා, පුළුවන්නං බොරු හතක් තියෙන කවියක් කියන්න කියලා. ඒ ගමන ලෝකුරු නයිදේ කියාපු කවිය...
මිරිඟු දියෙන් නානය කර - පැලඳ දිඹුල් මල් වඩමක්
තුරඟ අඟින් රතය තනා - අඹරා ඉබි ලොමින් යොතක්
කුහුඹු අගින් රතය තනා - දැක්කිය සුරපුරට උදක්
මේ කවියෙ බොරු අටක් තියෙනවා හැබැයි.
* * *
දෙවෙනි රාජසිංහ රජතුමාගේ කාලයේ කන්ද උඩරට හිටි ප්‍රංශ ජාතිකයෙකුගේ දරුවෙක්, දස්කොන් අදිකාරම. දෙවෙනි විමලධර්මසූරිය රජතුමාගේ වාසලේ අදිකාරම් තනතුර දැරුවා. නරේන්ද්‍රසිංහ රජතුමාගේ ප්‍රමිලා බිසවට නටාපු බලියාගයකදි අදිකාරම සහ බිසව අතර පැවතුණු ප්‍රේම සම්බන්ධය ගැන එළිදරව් වෙලා, රජතුමාගෙ අණින්, හිසගසා දමන්ට ගෙනියන විටදී, දස්කොන් අදිකාරම මේ තේරවිල්ල රජතුමාට යැව්වා කියා කියවෙනවා...
ලාහෙන් මැනලා අබ තුන් පෑලක පියලි ගණන් කරලා දෙඤ්ඤා
සත් අවුරුද්දක් කන්කුණ්ඩා ගියපාරේ අඩි ගැනලා දෙඤ්ඤා
එක් පැයකට මා නොමරා ඇරියොත් මෙතුන් පදේ තෝරා දෙඤ්ඤා

































