පොසොන් කළාපය පටන් ගත්තට පස්සේ මාර විදිහේ කාර්ය බහුල බවකට ඩ්‍රැකියා පත්වුණා. ඉතින් ඩ්‍රැකියාගේ පළවෙනිම පොසොන් කළාපය පෝස්ටු දෙකකට විතරක් සීමා වෙන බව තමා පේන්නෙ.
චුල්ල හත්ථිපදෝපම සූත්‍රයේ පිලෝතිකා පාරිව්‍රාජකයා සහ ජාණුස්සෝණි බමුණා අතර ඇති වූ කතාවත්, ඒකට පැහැදිලා බමුණා බුදුන් හමු වූ ආකාරයත් පොසොන් කළාපයේ
මුල් ලිපියෙන් සඳහන් වුණා. අද එතැන් සිට...
බුදුන් වහන්සේ ජාණුස්සෝණි බමුණාට කියනවා: ‘ඇත් පියසටහනේ උපමාව එතනින් නවතින්නෙ නෑ. තව විස්තර තියෙනවා‘ කියලා.
බුදුන් කියනවා: ඇතුන් වසන කැළෑවක් ආශ්‍රිතව වාසය කරන දක්ෂ මිනිහෙක් කැළේට ගිය වෙලාවක දකිනවා, දිගිනුත්, පළලිනුත් වැඩි ඇතෙකුගේ පිය සටහනක්. ඒකෙන් පමණක් එයා ‘මේ විශාල ඇතෙක්‘ කියා නිගමනය කරන්නේ නෑ. මොකද, පතුල් මහත් වුනත්, උසින් අඩු වාමනිකා කියන ඇතින්නියොත් කැළෑවෙ ඉන්න නිසා. එයා ඒ පසුපස තවත් දුරට යනවා. එතකොට දකිනවා, ගස් වල රියන් හතක් අටක් උසින් පිට අතුළ්ලපු පාරවල්. ඒකෙනුත් එයා ‘විශාල ඇතෙක්‘ කියලා නිගමනය කරන්න හදිසි වෙන්නෙ නෑ. මොකද, උස මහත වුනත් දළ උසින් පහතින් තියෙන උච්චා කාළාරිකා කියන ඇතින්නියොත් ඉන්නවා. තවත් දුර යනකොට එයා දකිනවා, උස් ගස් වල දළ පාරවල් වැදිලා තියෙනවා. ඒත් එයා හදිසි වෙන්නෙ නෑ නිගමනයකට එන්න. මොකද, පතුල් මහත වුනත් පාද හීනි උස උච්චා කණේරුකා කියන ඇතින්නියොත් ඉන්න නිසා. අන්තිමේ එයා දකිනවා, ගහක් මුල හරි, එළිමහනේ හරි, ඇවිදින හරි, හිටගෙන හරි, ලැග ඉන්න හරි විශාල ඇතෙක්. අන්න එතකොට එයා නිසැකව නිගමනය කරනවා, මෙන්න විශාල ඇතෙක් කියලා.
ඒ වගේ,
බුද්ධත්වයට පත් වෙලා, ලෝකයත් සත්ත්වයාත් මනාව අවබෝධ කරගෙන, ධර්මය දේශනා කරමින්, නිවන් මග එළිදක්වා ඇති විටක,
කෙනෙක් මේ ධර්මය අහලා, බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගන්නවා. එයා හිතනවා, ‘ගිහිගෙයි විසීම බාධා සහිතයි, රාගය වැනි කෙළස් වලට ඉඩ ලැබෙනවා. පැවිදි වීම යහපත්‘ එයා සම්පත්, නෑදෑ හිතවතුන් අතහැර පැවිදි වෙනවා.
පැවිදි වුනු කෙනා ශික්ෂාපද ඇසුරු කරමින්,
1. සතුන් මැරීම අතහරිනවා, ආයුධ අතහරිනවා, ලජ්ජාව සහ දයාව ඇත්තෙක් වෙනවා, සියලු සත්ත්වයන් ගැන අනුකම්පාවෙන් යුක්ත වෙනවා.
2. නුදුන් දේ ගැනීමෙන් වළකිනවා, සොර නැති පිරිසිදු සිතින් යුක්ත වෙනවා.
3. අයහපත් හැසිරීමෙන් ඉවත් වෙනවා, ලිංගික සංසර්ගය අත්හරිනවා.
4. බොරුව අත්හරිනවා, සත්‍යය ගැළපීමෙන්, ස්ථිර වචන ඇති වීමෙන්, ලෝකය රවටන්නෙක් බවට පත් නොවී වාසය කරනවා.
5. කේළම් කීමෙන් වළකිනවා, මිනිසුන් භේද කිරීමට වචන යොදාගැනීමෙන් වළකිනවා, භේද වූ අය සමඟි කරනවා, සමඟියට කැමති වෙනවා, සමඟිවූ අය දැක සතුටු වෙනවා, සමඟි කරන වචන භාවිතා කරනවා.
6. රළු බස් කීමෙන් වළකිනවා, නිදොස්, කණට සුවදායක, ළගන්නාසුළු, උසස්, බොහෝ දෙනා ගේ සිත් ගන්නා, වචන කියනවා.
7. හිස් බස් කීම අතහැරලා, කාලීන, අර්ථයක් ඇති, ධර්මයක් / විනයක් සම්බන්ධ, හදවතේ තැන්පත් කරගත යුතු කරුණු සහිත දේ කතා කරනවා.
8. බීජ (හට ගැනීමට පෙර තත්ත්වය) සහ භූත (හට ගත් දේ) නැසිමෙන් වළකිනවා.
9. රාත්‍රී භෝජනයෙන් වළකිනවා.
10. නැටීම්, ගැයීම්, විකට දර්ශන, මල් පැළඳීම, සුවඳ විළවුන්, සිරුරේ අඩු තැන් පිරවීම් සහ සැරසීමෙන් වළකිනවා.
11. උස් සහ මහා ආසන වලින් දුරු වෙනවා.
12. රන්, රිදී, මිළ මුදල් පිළිගැනීමෙන් වළකිනවා.
13. අමු ධාන්‍ය, අමු මස් පිළිගැනීමෙන් වළකිනවා.
14. ස්ත්‍රීන්, තරුණියන්, මෙහෙකරුවන්, එළු බැටළු ආදී සතුන්, කුකුළන් ඌරන්, ඇත් අස් ගව වෙළඹුන්, පිළිගැනීමෙන් වළකිනවා.
15. ගිහියන්ගේ පණිවුඩ පිළිගැනීමෙන්, හසුන් ආදිය ගෙන් ගෙට ගෙන යාමෙන් වළකිනවා.
16. වෙළෙඳ ගනුදෙනු වලින් වළකිනවා.
17. හොර තරාදියෙන් කිරීම, රවටා බඩු විකිණීම, හොර මිනුම් ආදියෙන් වළකිනවා.
18. අල්ලස් ගැනීම, රැවටීම, සමාන දේ දක්වා මවාපෑම, වංචා ප්‍රයෝග වලින් වළකිනවා.
19. අත පය කැපීම්, මැරීම, විළංගු ලෑම, බැඳීම, මං පැහැරීම, ගම් කොල්ලකෑම, සාහසික ක්‍රියා ආදියෙන් වළකිනවා.
ඔහු තමන්ගේ සිරුරේ පරිහරණයට ප්‍රමාණවත් සිවුරෙන්, කුසට ප්‍රමාණවත් වූ පිණ්ඩපාතයෙන්, සැහීමට පත් වෙනවා. යන තැනක පාත්‍රා සිවුරු පමණක් අරගෙන යනවා. හරියට ලිහිණියෙක් පියාසර කරද්දී උගේ පියාපත් වල බර පමණක් දරාගෙන යනවා වගේ. මෙසේ උසස් ශීලයෙන් යුක්ත වී, තමන්ගේ සිතේ ඇති වන සුවය විඳින්නට සමත් වෙනවා.
ඔහු ඇසින් දකිනා රූප අනුව, ස්ත්‍රියක් පුරුෂයෙක් කියා නිමිත්තක් සිතේ ඇති කර ගන්නේ නෑ. අත පය ආදී අවයවය වල ස්වරූපය සතට ගන්නේ නෑ. එසේ ඇස සංවර කොටගෙන වාසය කරනවා. කණින් ශබ්ද අසා, නාසයෙන් සුවඳ ලබා, දිවෙන් රසය ලබා, කයින් ස්පර්ෂ කර, සිතෙන් ධර්මතා විඳ, ඒ පිළිබඳ නිමිති ඇති කර ගන්නේ නෑ. මනස සංවර බවට පමුණුවාගන්නවා. මෙසේ ඉන්ද්‍රියන් සංවර කර ගෙන, කෙළෙස් වල නොඇලුනු නොකිළිටි බවේ සුවය විඳින්නට සමත් වෙනවා.
ඔහු මොන දෙයක් කරද්දී වුනත් මනාව දැනගෙන කරන තැනැත්තෙක් වෙනවා. ඉදිරියට යද්දී, ආපසු ඒමේදී, ඉදිරිය බලද්දී, ආපසු බලද්දී, අත් පහ දිග අරිද්දී, අකුළද්දී, කෑමේදී, බීමේදී, රස විඳීමේ දී, මළ මුත්‍රා පහකිරීමේදී, යද්දී, එද්දී, නිදා ගැනීමේදී, නිදි වැරීමේදී, කතා කිරීමේ දී, නිහඬව සිටීමේදී, ඒ දේවල් ගැන මනාව දැනුවත් ව ඒ දේවල් සිදු කරනවා.
මේ වාගේ කෙනෙක්, ජනතාව නොගැවසෙන ආරණ්‍ය, ගස් මුල්, පර්වත, කඳු, ගුහා, සොහොන්, වන ලැහැබ්, පිදුරු කුටි වැනි තැනක් වාසස්ථානය කරගන්නවා.
ඔහු දිවා ආහාරයෙන් පසු සවස් කාලයේ පළක් බැඳගෙන, කය සෘජුව තබාගෙන, සිහිය කර්මස්ථානයට එල්ල කොටගෙන ගත කරනවා. ලෝකය පිළිබඳ දැඩි ආශාව දුරු කරගෙන, සිත පිරිසිදුව තබා ගන්නවා. අන් අය ගැන ඇති ද්වේෂය ට එළඹීමෙන් වැළකී, කිසිවෙකු කෙරෙහි විරුද්ධවාදයක් සිතේ නැති කරගන්නවා. සියලුම පණ ඇති දේ ගැන අනුකම්පාවෙන් හිතවත් කමින් යුක්තව සිත පිරිසිදුව තබා ගන්නවා. අලස බව සහ එළඹ සිටි සිහියක් නොමැති කම දුරු කරනවා. කළ හොඳ නරක ගැන තැවෙමින් නොසන්සුන් සිතින් පසුවීම වළක්වාගෙන සිත පිරිසිදුව තබා ගන්නවා. කුසල් අකුසල් ආදී දේ මොනවාදැයි සැක හැර දැනගන්නා මේ තැනැත්තා පිරිසිදු සිතකින් සිටිනවා.
මේ විදිහට මේ තැනැත්තා, ඇලීමෙන් වෙන්වී, කුසල් අකුසල් මොනවාදැයි මනාව දැනගෙන, විතර්ක සහිත විචාර සහිත විවේකී බුද්ධියෙන් ඇති වුනු ප්‍රීතිය සහ සුවය ඇතිව පළමු ධ්‍යානයට පත් වෙනවා. නමුත්, උතුම් ශ්රාවකයා මේ පමණකින් බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය
කියලා නිශ්චය කරන්නේ නෑ.
මහණ වුනු තැනැත්තා, සිතේ තර්කයන් විචාරයන් සන්හිඳිලා, අධ්‍යාත්මයේ පැහැදීමත්, සිතේ ඒකාග්‍රතාවයත්, ඇති විතර්ක, විචාර නැති සමාධියෙන් ඇති වුණු ප්‍රීතිය සහ සුවය සහිත දෙවන ධ්‍යානයට එළඹෙනවා. නමුත් උතුම් ශ්රාවකයා මේ පමණකින් බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය
කියලා නිශ්චය කරන්නේ නෑ.
මහණ වූ තැනැත්තා, ප්‍රීතිය ඉක්මවූ උපේක්ෂාව ට පත් වෙලා, සිහි ඇති, උසස් නුවණක් ඇති තුන්වෙනි ධ්‍යානයට පත් වෙනවා. මෙසේ වුනත්, උතුම් ශ්රාවකයා මේ පමණකින් බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය
කියලා නිශ්චය කරන්නේ නෑ.
මහණ වු තැනැත්තා, සතුටත්, දුකත් දෙකම නැත් කරලා, අපේක්ෂාවත් සිහියත් පිරිසිදුව ඇති සතර වන ධ්‍යානයට පැමිණෙනවා. එහෙත් උතුම් ශ්රාවකයා මේ පමණකිනුත්බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය
කියලා නිශ්චය කරන්නේ නෑ.
මහණ වූ තැනැත්තා මේ විදිහට පිරිසිදු, කෙළෙස් පහ කළ, නොසැළෙන සිතක් ඇති තත්ත්වයට පත් වූ පසු, පෙර භවයන් ගැන සිහි කරනවා. එහෙම පෙර භවයන් වල තමන් මේ නමින්, මේ තැන් වල, මේ ආහාර ගනිමින්, මේ තරම් කල් ජීවත් වුනා යැයි දැනගන්නට හැකි තත්ත්වයට පත් වෙනවා. නමුත් උතුම් ශ්රාවකයා මේ පමණකින් බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය
කියලා නිශ්චය කරන්නේ නෑ.
මේ විදිහට පිරිසිදු, කෙළෙස් පහ කළ, නොසැළෙන සිතක් ඇති තත්ත්වයට පත් වූ මහණ වූ තැනැත්තා, අනෙක් සත්වයන්ගේ ඉදිරි භවයන් ගැන සිහි කරනවා. එහෙම මේ මේ සත්ත්වයින් කර්මය සහ අනික් නියාමයන් අනුව මේ නමින්, මේ තැන් වල, උපදිනවායැයි දැනගන්නට හැකි තත්ත්වයට පත් වෙනවා. නමුත් උතුම් ශ්රාවකයා මේ පමණකින් බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය
කියලා නිශ්චය කරන්නේ නෑ.
ඉන්පසු මේ තැනැත්තා, දුක, දුකට හේතුව, දුක නැති කළ හැකි බව, දුක නැති කිරීමේ මාර්ගය, යන දේවල් මනාව අවබෝධ කරගන්නවා. භවආස්රව ( සංසාරය පුරාවටම සිතේ පැලපදියම් වෙමින් පැසවමින් තිබෙන දේවල් (අයිලාස් ට ස්තූතියි)), ආස්රවයටහේතුව, ආස්‍රව නැති කළ හැකි බව, ආස්‍රව නැති කිරීමේ මාර්ගය හොඳින් අවබෝධ කරගන්නවා. නමුත් උතුම් ශ්රාවකයා මේ පමණකිනුත් බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය
කියලා නිශ්චය කරන්නේ නෑ.
මෙසේ දියුණු සිතක් ඇති තැනැත්තා ආස්‍රවයෙන් මිදෙනවා. එසේ මිදුණු බවත් අවබෝධ වෙනවා. ඉන්පසු තවත් අර්හත් මාර්ගයේ කළ යුත්තක් නැති බව දැනගන්නවා. මේ තත්ත්වයේදී උතුම් ශ්රාවකයා බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය
කියා මනාව අවබෝධ කරගන්නවා. මෙයින් තමයි ඇතෙකුගේ පිය සටහනේ උපමාව අවසන් වන්නේ.
ඩ්‍රැකියා මේ සුත්‍රය අධ්‍යයනය කළේ මේ පෝස්ටුව ලියන ගමන්මයි. මේ සූත්‍රයෙන් බුදු සසුනේ මූලික පරමාර්ථය පැහැදිලි වෙනවා. බුදුන්ගේ ධර්මයේ මූලික පරමාර්ථය වන්නේ ලෝකෝත්තර විමුක්තිය ට එළඹීමයි. ඒ නිසා සසුනේ පැවිදි වෙන තැනැත්තෙක් සෘජුවම අරමුණු කරගත යුත්තේ අර්හත් භාවයයි කියලා මේ සූත්‍රයෙන් කියවෙනවා. මිහිඳු හාමුදුරුවො මේක දේශනා කරන්න කලින් දේවානම්පියතිස්ස රජුගේ අයිකිව් චෙක් කිරීම සාධාරණ බව පේනවා. මොකද, මේ සූත්‍රය මනාව අවබෝධ කරගන්න විවේකී මනසක් සහ තීක්ෂණ බවක් අවශ්‍ය බව පේන නිසා. ඒ වගේම, මේ රටේ තමන් නියෝජනය කරන ශාසනය පිහිටුවන්න ශක්තිමත් අත්තිවාරමක් සැපයෙන දේශනාවක් නිසා මේ සූත්‍රයම තොරාගන්න ඇති බවත් පැහැදිලියි.
මේ පෝස්ටුවෙන් ඩ්‍රැකියාගේ 2013 පොසොන් කළාපය අවසන් කිරිමට සිද්ධ විම ගැන කණගාටුයි. ආයෙත් ඊළඟ අවුරුද්දේ තවත් බණවාරයකින් හමුවෙන තුරු ඩ්‍රැකියා නවතිනවා.
පින්තූරය ණයට ගත්තේ : http://www.lakehouse.lk/budusarana/2008/06/18/z_p18-Mihindu.jpg