ජේසුතුමන් ඉපදුනා යැයි සැළකෙන කාලයට බොහෝම කාලයකට පෙර ඉඳන් ම දෙසැම්බර් මාසයේ අග උත්සවයක් පැවැත්වීම නෝර්ඩික් සහ පේගන් සංස්කෘතියේ පැවතුණු බව පේනවා. උතුරු යුරෝපයේ ශීත සෘතුව ඉතාම කටුකයි, ශීතාධිකයි, ඒ වගේම දවල් දවස බොහොම කෙටියි. ඒ ලක්ෂණ අනික් පිට හැරෙන්න පටන් ගන්නෙ වර්තමාන කැළැන්ඩරයේ දෙසැම්බර් මාසෙ අග සතිය වෙනකොටයි. ශීතල අඩුවෙන්නත්, දවල් දවස දිගු වෙන්නත් පටන් ගන්නේ ඒ දවස් වන කොට.
ශීත සෘතුවේ ගෙවල්වවලට කොටුවෙලා ගත කරන කටුක කාල සීමාව ප්‍රීතියෙන් ගත කරන්න නෝර්ඩික් මිනිස්සු පුරුදු වෙලා හිටියා. තාත්තලා සහ පුත්තු දැවැන්ත ලී කොට ගෙදරට ගෙනැවිත් මහ ගිණි මැළයක් ගහනවා. ඒ ගිණි මැළය නිවෙන තුරු (සාමාන්‍යයෙන් දවස් දොළහක් විතර යනව...) ඔවුන් කමින් බොමින් විනෝද වෙනවා. ඒ මහා කොට දැවෙමින් නඟින ගිණි පුපුරුවල ගාණටම, මීළඟ වසන්තයේ දී තමන්ගේ සත්ත්ව කොටුවල ඌරන් සහ වෙනත් සතුන් පැටවු ගහනු ඇති බව ඔවුන් විශ්වාස කළා.
යුරෝපයේ බොහොම පැතිවල දෙසැම්බර් අග උත්සව පවත්වන කාලයක් වුණා. ඒ කාලෙ පවතින ශිත දේශගුණයත් එක්ක, හරකුන්ට කෑම සපයන්න තියෙන අසීරුව නිසා අලුත් හරක් මස් කෑමට හැකිවුණු, අවුරුද්දේ එකම කාලයත් මේ ශීත කාලය ම වුණා. අනික් අතට, අවුරුද්ද පුරා පෙරපු බියර් සහ වයින් බොහොමයක් පානය ට සුදුසු මට්ටමට පදම් වුනේ ශීත කාලයෙදි...
ඒ වගේම කොළපාටට ඉතුරු වුණු එකම ගස් වර්ගය වුණු සයිප්‍රස් ගහ, ශීත කාලය ගෙවිලා ගිහිං ආපහු ආලෝකය සහ ජීවය උදාවෙන බව ට තිබුණු සංකේතයක් වුණා. ඒ ගස් වල රතු ඇපල් ගෙඩි සහ ඉටිපන්දම් එල්ලලා සැරසීමෙන් වෝඩන් හෙවත් ඕඩින් සමරන්න පර්මානු ගෝත්‍රවල මිනිස්සු පුරුදු වෙලා හිටියා..
ජර්මනියේ මිනිස්සු ඇදහූ වෝඩන් හෙවත් ඕඩින් (නෝර්ඩික් ඇස්ගාඩ් නායක දෙවියන් ගෙම පේගන් මුහුණත කියමුකො) ගැන සිහිපත් කරන කාලයකුත් වුණා මේ ශීත සෘතුව. ශීත සෘතුවේ දී ඕඩින් අහසින් ගමන් කරමින් මිනිස්සුන්ව නිරීක්ෂණය කළ බවත්, ඒ මිනිස්සු අතරින් අනාගතයේදී සෞභාග්‍යය උදා කරවන්නේත්, විපතට හෙළන්නේත් කවුද කියා තීරනය කල බවත් ජර්මානුවෝ විශ්වාස කළා. මේ නිසා මිනිස්සු ගේ ඇතුළටම වෙලා ඉන්න පෙළඹුනා. ඕඩින් අහසේ ගියේ ස්ලෙප්නීර් නම් කකුල් අටක් ඇති අශ්වයෙක්ගේ පිටේ. ළමයි තමන්ගෙ බූට්වලට කැරට්, පිදුරු වගේ දේවල් පුරවලා ගිණි උඳුන ළඟ එල්ලලා තිබ්බා, අර අශ්වයාට කන්න. ඕඩින් ඒ බූට්වලට පොඩි පොඩි තෑගි දාල යනවා කියා විශ්වාස කෙරුණා. (හරියටම නත්තල් සීයා අහසින් යමින්, හොඳ ළමයින්ට තෑගි දීම වගේ ම තමයි. දෙන්නාම රතු ඇඳපු බවත්, දෙන්නාටම දිග සුදු රැවුළක් තිබුණු බවත් තව සමානකම්.)
![]() |
https://www.les2peresnoel.com/images/mythe-pere-noel/Odin.png ඕඩින් |
යුරෝපයේ පැවතුණු තවත් සම්ප්‍රදායක් තමයි වැසේලින්... ඒ නම එන්නෙ ඇංග්ලෝ සැක්සන් පදයක් වුණු "වේස් හේල්" හෙවත් යහපත් සෞඛ්‍යය කියන නමින්. ඔවුන් අවුරුද්දකට වරක් කුඩා කණ්ඩායම් විදිහට ගම පුරා යමින් හඬ නගා ගායනා කරන පුරුද්දක් ඒක. ඒ ගීත හඬ නගා ගායනා කිරීමෙන් නපුරු ආත්ම පළවා හැරීමත්, යහපත් සෞඛ්‍යය ප්‍රාර්ථනා කිරීමත් අපේක්ෂා කෙරුණා. දහතුන්වන සියවසේ දී ශාන්ත ෆ්‍රැන්සිස් තුමා මේ පුරුද්ද ආශ්‍රයෙන් නත්තල් කැරොල් ගායනා ආරම්භ කළා.
රෝමයේ දී ශීත සෘතුව උතුරු යුරෝපයේ තරම් ම කටුක වුණේ නෑ. රෝමකයෝ ශීත සෘතුව පටන් ගන්නට සතියකට කලින් සැටර්නේලියා උත්සවය පටන් ගන්නවා. කෘෂිකර්මාන්තයට අධිපති සැටර්න් දෙවියන් සමරන්න. එය මාසයක් පුරා පැවැත්වෙනවා. එතනදි රෝම සමාජය කණපිට හැරෙනවා. වහලුන් අධිපතියන් වෙනවා, සාමාන්‍ය දිළිඳු ජනතාව නගරය පාලනය කරනවා. ව්‍යාපාර සහ පාසල් වහන නිසා හැමෝටම විනෝද වෙන්න අවස්ථාව ලැබෙනවා. මේ උත්සවයේ දී හැමෝම හැමෝටම සෞභාග්‍යය පතුරුවා හැරීමේ ආකල්පයෙන් සුළු තෑගි දෙන පුරුද්දක් තිබුණා. ඒ කියන්නේ ඊළඟ අවුරුද්දේ හොඳ අස්වැන්නක් ගෙට ගෙන ඒමට හැකිවේවා කියන අරමුණින්.
මේ ශීත සෘතුවේදීම රෝමකයෝ ජුවිනේලියා හෙවත් රෝමයේ දරුවන් සමරන භෝජන සංග්‍රහය පවත්වනවා. ඒ වගේම, (වඩා වැදගත්) ඉහළ පංතියේ මිනිස්සු මිත්‍ර හෙවත් යටත් කළ නොහැකි හිරු දෙවියන්ගේ උපන් දිනය සැමරුවා. ඒ දෙසැම්බර් 25 දින. ගළකින් උපන් ළදරු දෙවියෙක් වුණු මිත්‍ර ගේ උපන් දිනය සමහර රෝමකයන්ට අනුව අවුරුද්දේ වැදගත්ම දිනය වුණා.
![]() |
https://hellenicfaithcom.files.wordpress.com/2017/09/mithras-rock-born-trio.jpg මිත්‍ර |
රෝමකයෝ තමන්ගෙ ගේ අවට ගස්වල එක එක ලෝහමය සංකේත එල්ලලා සැරසීමත් කළා, සැටර්නේලියා කාලයේ දී. මේ සංකේත වලින් හැඳින්වුනේ සැටර්න් දෙවියන් හෝ තමන්ගේ පවුලේ දෙවියන්. මේ සම්ප්‍රදායත්, ජර්මානුවන්ගේ ගස් රතු ගෙඩි සහ ඉටිපන්දම්වලින් සැරසීමත් එකතු වීමක් නත්තල් ගහේ දකින්න තියෙනවා.
හෝලි කියන්නේ කටු වගේ දැති තියෙන තද කොළ පාට කුඩා කොල සහ තද රතු පාට ගෙඩි සහිත ගස් විශේෂයක්. ඒ ගස් සැටර්න් දෙවියන්ට පූජනීයයි. ඉතින් සැටර්නේලියා උත්සවයේ දී රෝමකයෝ තෑගි දෙනකොට ඒ හෝලි ඉති වලින් තෑගි ඔතන්න පුරුදු වෙලා හිටියා. පස්සෙ ක්‍රිස්තියානිය යුරෝපයේ පැතිරෙනවත් එක්කම, ආණ්ඩු මේ නව ආගම අදහන්නන් දඩයම් කරද්දි, ක්‍රිස්තියානි ආගමිකයෝ තෑගි හුවමාරු කරගනිද්දි, ඒ අය සැටර්නේලියා සමරනවා වගේ පේන්න හෝලි ඉති වලින් තෑගි දැවටීම කරගෙන ගියා දිගටම.
![]() |
https://pixers.uk/posters/holly-leaves-and-berries-57328225 |
ක්‍රිස්තියානි ආගම ආරම්භ වුණු මුල් කාලයේ අවුරුද්දේ වැදගත්ම දිනය වුනේ පාස්කුව. හතර වෙනි සියවසේ දී තමයි පල්ලිය තීරණය කළේ ජේසු තුමාගේ උපත සමරන්න. ඒත් බෛබලයේ ඒ දිනය ගැන කිසිම සඳහනක් වුණේ නෑ. ජේසු උපන් දිනයේ දේව දූතයන්, බැටළුවන් බළා ගනිමින් එළිමහනේ හිටපු එඬේරුන් ට ජේසු තුමා ඉපදුනු බව කිව්වා. ඒ කියන්නේ ජේසු තුමා උපදුනු දිනය ශීත සෘතුවේ නම් වෙන්න ම බෑ. ශීත සෘතුවේ එඬේරුන්ට පුළුවන් කමක් නෑ එළිමහනේ රෑ ගත කරන්න. ඒ නිසා ජේසු ඉපදුනේ වසන්ත කාලයේ වෙන්න පුළුවන්.
පළමුවෙනි ජූලියස් පාප් තුමා තමයි දෙසැම්බර් 25 දිනය තෝරාගත්තේ. ඒ සැටර්නේලියා උත්සවය යටපත් කරලා කතෝලිකාගමට උපාර්ජනය කරගන්න කියලා සැළකෙනවා. එයින් ක්‍රිස්තියානිය හැමෝටම වැළඳගන්න පුළුවන් දෙයක් කරන්න උත්සාහ කළා වෙන්න පුළුවන්. මේ සම්ප්‍රදාය ඊජිප්තුවට 432 දීත්, එංගලන්තයට හයවෙනි සියවසේ දීත් පැතිරුණා.
ඉතින්... මං පහුගිය නත්තල් කළාපයක ශාන්ත නිකලස් තුමා ගැන ලිව්වා. එතනදි ජගත් පතිරණ කියා හිටියා මේ නත්තල් සීයා සම්ප්‍රදාය ඊටත් වඩා ඈතට යන බව. හොයාගෙන යද්දි තමයි මේ විස්තර හම්බුණේ. මේක අවස්ථාවක් කරගන්නවා ජගත් ට ස්තූති කරන්න, මගේ කුතුහලය අවුස්සලා, මට දැනුවත් වෙන්න අවස්ථාව සලස්සලා දුන්නට.
ඔබ සැමට ප්‍රීතිමත් නත්තලක් වේවා!!!
![]() |
https://www.qwaym.com/wp-content/uploads/2017/11/norse-god-odin.jpg |
මූූූූූලාශ්‍ර
https://www.history.com/topics/christmas/history-of-christmas
https://chefin.com.au/blog/these-6-christmas-traditions-are-actually-pagan-customs/
https://www.cbsnews.com/news/the-unexpected-pagan-origins-of-popular-christmas-traditions/#:~:text=Though%20December%2025%20is%20the,traditions%20celebrating%20the%20winter%20solstice.&text=%22In%20ancient%20Rome%20there%20was,Saturnalia%20that%20celebrated%20the%20solstice.
https://holidappy.com/holidays/twelve-christmas-traditions-with-pagan-origins