ඩ්‍රැකියගෙ අඩවියෙ නිතර සැරිසරන්නෝ

රුහිරෙන්පුදමි - අවසාන කොටස

මෙතෙක් කතාව



නිර්මලී ජනේලයක් අසළට වී වැස්ස දෙස බලා සිටියාය. අවට තැනිතලාව වැසි පොදින් තෙමෙමින් පැවතිණ. තණපත් මතට වැටී රැඳුනු වැසිබිඳු මුතු කැට සේ දිළිසණ. එළියේ වූ සියල්ලක්ම සේදී පිරිසිදුව තිබිණ.

කුස්සියේ දොර සෙමෙන් ඇරෙනු ඇසී තරුණිය ඒ වෙත හැරුණාය. දොරින් ඇතුල් වූ ශාම් තෙමුණු කුකුළෙකු මෙන් වැසි දියෙන් නෑවී සිටියේය. ඔහු නිර්මලී දෙස බලා සිනාසෙන්ට ගති. තරුණිය හැඳ සිටියේ ශාම්ගේ ලොකු කොට කළිසමකි. එය ඇගේ දණහිසිනුත් පහතට යන තෙක් පැතිරිණ. අත් නැවූ කමිසයද ඇයට බොහෝ විශාල විය.

නිර්මලී ද සිනාසුණාය. බොහෝ කලකට පසු ඈ හඬනඟා සිනාසුණාය. එය අභ්‍යන්තරයෙන්ම ආ ප‍්‍රබෝධයෙන් පිරුණු සිනහවක් විය.

------------------------------------------------ 

සුදු පැහැ බිත්ති... සුදු පැහැ සීලිම... සුදු ආලෝකය පැතිරූ විදුලි පහන්... සියල්ලෙන්ම පමණටත් වඩා පිරිසිදු බවක් පැතිරුණ කොරිඩෝරය දිගේ විකුම් තරමක වේගයකින් පිය නැඟීය. විටින් විට ඔහු විසින් පසු කෙරුණු සුදුවතින් සැරසී ගත් හෙදියන්... හාත්පස පැතිරීගිය විෂබීජනාශක වල සුවඳ...

කොරිඩෝරය දිගේ දිගටම පියනඟා ගිය විකුම් එක් කාමරයක දොර අසළ වූ බංකුවක් ළඟ නැවතිණ. ඒ බංකුව මත එකම එක තරුණියක වූවාය. සුදුවන් ලිහිල් ගවුමකින් සැරසී...

තමන් අසළ සිටගත් තරුණයාගේ මුහුණ දෙස ඈ හිස ඔසවා බැලූවාය. මඳ සිනහවක් ඇගේ මුහුණ පුරා පැතිරිණ.

‘‘කොහොමද ආකර්ෂා...?’’

‘‘ම්... දැන් ගොඩක් හොඳයි...’’ ඇගේ කටහඬ ප‍්‍රබෝධමත් විය. ‘‘ඩොක්ට කිව්වා ඇඳටම වෙලා ඉන් නැතුව ටිකක් ඇවිදින්න කියලා. සමහර විට හෙට දිහාට ගෙදර යන්නත් පුළුවන් වෙයි.’’

විකුම් සිනාසිණ.

‘‘අද තනියම...?’’ ආකර්ෂා  ඕනෑවට එපාවට මෙන් ඇසුවාය.

‘‘යාළුවො දෙන්නා ඊයෙ හවසම දුර ගමනක් ගියා. අපට අරයගෙ ගෙදර ගැන හෝඩුවාවක් හම්බවුණා.’’

‘‘ශාම්...?’’ තරුණිය ගේ දෑස් පුළුල්ව විදැහී ගියේය. ‘‘කොහෙද... කොහෙද එයා ඉන්නෙ?’’ තම කටහඬේ වූ අපූර්ව උද්යෝගය ඇයටම නොදැණින.

‘‘හෙමින්... හෙමින්...’’විකුම් ඈ අස්වැසීය. ‘‘ඔච්චර කළබල වෙන්න එපා...’’

‘‘ඔයා ගියෙ නැද්ද?’’

‘‘මමත් යනවා...’’

‘‘එහෙනම්...’’ ඈ විකුම්ට බාධා කළාය. ‘‘මාවත් එක්ක යන්න. මට... මට... ශාම් එක්ක කටයුත්තක් තියෙනවා බේර ගන්න...’’

කළබලයට ඈ මිට මොළවාගෙන සිටි සුරත දිග හැරිණ. එහි වූයේ අඩක් සපා කෑ අමු සුදුළූණු බිකකි.

‘‘මොනවා...!’’ විකුම් ගේ දෑස් නළලට ගියේය. ‘‘...ඔයා සුදුළූණු කනවද?’’

‘‘ඔව්...? ඇයි?’’

‘‘සොරි සොරි ආකර්ෂා... දැනටමත් පරක්කුයි.’’ විකුම් නැගිට්ටේය. කළිසම් සාක්කුවට අත රුවා ජංගම දුරකථනය ඇද ගත් ඔහු පය ඉක්මන් කළේය.

-------------------------------------------------------- 

මීදුම වළා පටළයක් සෙයින් මුළු හාත්පස පිරී පැතිර තිබිණ. ඒ අතරින් යාන්තමින් දිළුණු සුදුපැහැ ඡායාවන් මහපාරේ දෙපස වූ විදුලි කණු සළකුණු කළේය.

ඩබල් කැබ් රියක් වේගයෙන් ආයේය. මහපාර බද්දට ගත්තාක් මෙන්... පාර පුරා පැතිරුණු ළා නිල්වන් මිහිදුම ඉරා දමන්නට එහි මීදුම් පහන් දුර්වල උත්හාසයක් ගත්තේය.

ඩබල් කැබ් රියෙහි වූයේ තිදෙනෙකි. රියදුරු අසුනේ කාකි කළිසමකින්ද, හම් ජැකට්ටුවකින්ද සැරසුණු තරුණයා විය. තමන්ගේ අධික වේගයෙන් ආස්වාදයක් ලබන්නා සේ පෙනුණු ඔහුද, ඉදිරිපස මඟී අසුනේ බර කල්පනාවක ගැළී සිටි විකුම් ද, නිහඬවම ඉදිරිය බලාගත් ගමන් වූහ. පසුපස අසුනේ, ආකර්ෂා ඝන පොරවණයක එතී අඩ නින්දක පසුවූවාය.

----------------------------------------------------------

කෑම කාමරයේ මේසය මත හිස ගසා ගත් වනම තරුණිය නින්දත් නොනින්දත් අතර සිටියාය. වසර ගණනක් පාළුවට ගිය නිවස නැවත මනුෂ්‍ය වාසයක් බවට පත් කිරීමේ වෑයමෙන් විඩාපත්ව... දහවල පුරා පැතිර පැවති වෙහෙස තුනී කරමින් සැඳෑ සුළඟ විවට ජනේලයෙන් ඇතුළුව නිර්මලීගේ ගත පුරා දැවටෙමින් තිබිණ.

ශාම් නිහඬ පියවරින් කාමරයට ඇතුල් විය. ඔහු පියවරින් පියවර සෙමෙන් සෙමෙන් ඇදී අවුත් තරුණිය පිටුපසින් සිටගති. හෙතෙම සිය දෝතේ යමක් රඳවාගෙන සිටියේය. ඔහු එක්වරම සිය දෑත් විදාහරිනවාත් සමඟම, රෝස මල් කිහිපයකින් ගිළිහුණු මල් පෙති රැසක් හිම පියළි සේ කරකැවෙමින් තරුණියගේ හිස පුරා ඇද හැළිණ.

ඈ සිය හිස හරවා බැලූවාය. ඇගේ මුහුණ පුරා සුන්දර මඳ සිනාවක් පැතිර ගියේය.

‘‘ශාම්...’’ ඈ සෙමෙන් නැගිට්ටාය. තරුණයා වෙත ළං වූ ඈ ඔහුගේ උණුසුමෙහි තුරුළු වූවාය. ඇගේ සිහින් අත් තරුණයාගේ ගෙළ වටා ඇදින. ශාම් ඇගේ බඳ වටා දෑත් යවා ඈ තමා වෙත තද කර ගති.

‘‘නිර්මලී...,’’ නිසංසල කිහිප මොහොතකට පසු ශාම් හඬ අවදි කළේය. තරුණිය ඔහුගේ පපුව මතින් හිස ඔසවා බැලූවාය. සුරතෙහි ඇඟිලි තුඩින් ඇගේ නිකට ස්පර්ෂ කළ ඔහු මෘදුව ඇගේ දෙතොල් මතට පහත් වෙද්දී, ඇගේ දෑස් පියවිණ.

‘‘කෝපි බොමු...?’’ දිගු සිපගැනීමක අවසන, ශාම් සුරතල් දරුවෙකුගේ ස්වරයෙන් ඇසීය.

‘‘අනේ..... මට මහන්සියටම පොඩ්ඩක් නින්ද ගියානෙ... ඉන්න මං හදන්නම්.’’

‘‘මං ලෑස්ති කළානෙ... යං එළියට.’’

ශාම් ඇගේ අතින් අල්ලාගෙන, පසුපස ගෙවත්තට කැටිව ගියේය. එහි සැඳෑ මන්දාලෝකයේ නැහැවෙමින් පැවති කොන්ක‍්‍රීට් මේසය මත පෝසිලේන් පෝච්චියක් හා කෝප්ප දෙකක් ද, විස්කෝතු බන්දේසියක් ද විය. ඒ සියල්ල, මැද වූ රෝස මල් පොකුරක් දැමූ මල් බඳුනකින් සම්පූර්ණ විය. නිර්මලී ළදරුවෙකුගේ වැනි උද්දාමයකින් ඒ වෙත දිවගොස් එක් අසුනක වාඩි වූවාය.

‘‘මගෙ වැම්පයර් කොල්ලා මාර සෞන්දර්යවාදියෙක් නේ...’’ නිර්මලීගේ ස්වරයෙහි වූයේ සැහැල්ලූ සමච්ඡලයකි.

ශාම් නිහඬව කොන්ක‍්‍රීට් මේසය වෙතට පිය නගා ආයේය. නිර්මලී සිනහවින් යුතුවම, කෝප්ප දෙකකට කෝපි වත් කළාය.

‘‘ඔයා දන්නවද... ?’’ ශාම් කෝප්පයක් අතට ගනිමින් කෙඳිරීය.

නිර්මලී ඔහුගේ මුහුණ දෙස බැලූවාය. ඇගේ සිනහව වියැකී ගියේය.

‘‘... ඔයා දන්නවද, එදා අර පොඩි උන් මා ගැන කියපු කතාව... ඒ කතාවෙ ගොඩක් දේවල් ඇත්ත...’’

‘‘මොකද්ද...?’’ නිර්මලී ඔහු දෙස බැලූවාය.

‘‘මම මුල ඉඳන් කියන්නම්...’’ ශාම් දිග කතාවක් පටන් ගන්නට මෙන් ඈ අසළින් වාඩි විය.

‘‘මගෙ තාත්තා මැරිලා තියෙන්නෙ මම ඉපදෙන්නත් කලින්. මගෙ අම්මා මම ඉපදෙද්දි නැතිවෙලා...’’ ශාම් තෙපළේය. ‘‘ඉතින් උපතින්ම මට දෙමාපියන්ගෙ ආදරේ හිමිවුනේ නෑ. මාව බලාගත්තෙ මගෙ නැන්දා කෙනෙක්. බොහොම ආගමානුකූල පරිසරයකයි මම ඇති දැඩි වුනේ. මට මගෙ වයසෙ යාළුවො හිටියෙ නෑ... නැන්දා කිව්වෙ ගමේ ඉස්කෝලෙ කොල්ලොන්ගෙ ආශ‍්‍රයට වැටුනහම නරක් වෙයි කියලයි. එයා මගෙ එකම අරමුණ කරල තිබුණෙ ෆාදර් කෙනෙක් වෙන එකයි...

‘‘නැන්දට  ඕනෙ වුණ විදිහට මම හැදුණා. මගෙ ළමා කාලය පුරාම පිරිලා තිබුණෙ පොත් පත් වලිනුයි, හිස් කල්පනා වලිනුයි. හැම ඉරිදම බොහොම භක්තියෙන් පාපොච්ඡාරණය කරපු, ගෑණු ළමයෙක් දිහා බලලවත් නැති, ඒ විදිහෙ ජීවිතයක් තමයි මට තිබුණෙ. මම හැම දෙයක්ම කලේ නැන්දගෙ ඇස් බැල්ම යටතෙයි.

‘‘ඔය අතරෙ, අපේ ජීවිත වලට දෙන්නෙක් මැදිහත් වුණා. මම දන්නෙ නෑ කොහෙදිද කියලා, එක්කො මාකට් එකේදි, එහෙම නැත්නම් බස් හෝල්ට් එකකදි... කොහෙදි හරි නැන්දට මුණ ගැහිලා තියෙනවා, වයස තිහක විතර කෙනෙක්... සනත් කියලා. කොහොම හරි නැන්දගෙ හොඳම යාළුව වෙන්න සනත් ට ගත වුණේ ටික දවසයි. මිනිහා අපේ ගෙදරත් - ඒ කියන්නෙ මේ ගෙදරටත් - යන්න එන්න ගත්තා.

‘‘මිනිහගෙ ඇසුරත් එක්ක, නැන්දත් මාත් අතර තිබුණ සම්බන්ධය ටික ටික වෙනස් වුණා. ඒක පැහැදිලිවම දකින්න නොලැබුණත්, නැන්දා මගෙ කටයුතු දිහා බලන්න ගත්තෙ අලූත් ඇහැකින්. මම ඉස්කෝලෙ යද්දිත්, පුස්තකාලෙට යද්දිත්, වෙන එකක් තියා පාපොච්ඡාරණය කරද්දිත්, නැන්දගෙ විමසිලිමත් ඇහින් මට බේරෙන්න බැරි වුණා. පුදුමාකාර පීඩනයක් මගෙ පිටට වැටුණෙ...

‘‘ඒත් එක්කම තවත් කෙනෙක් අපේ ජීවිත වලට එකතු වුණා... එතකොට මට වයස පහළොවයි. මොන විදිහකින් හරි නැන්දට නෑදෑකමින් දුවෙක් වෙන ගෑණු ළමයෙක් හිටපු ගමන් කොහෙද ඉඳලා මතු වුණා. - මට දැනුනෙ එහෙමයි. මොකද නැන්දා කිසිම නෑයෙක්ව ආශ‍්‍රය කළේ නෑ - එයාගෙ නම මධූ... මගෙම වයසෙ විතර, ඉගෙන ගන්න කියලා තමයි අපේ ගෙදර නැවතුණේ.

‘‘මෙතුවක් කාලෙකට කිසිම යාළුවෙක්නැතුව හිටපු, ගෑණු ළමයෙක් දිහා ඇහැකින්වත් නොබලපු මට මේ තත්ත්වය හරි අමුතු එකක් වුණා. අපේ මුළු ගෙදරම ජීවයෙන් පුරවපු සුරංගනාවියක් වගෙයි මට මේ ගෑණු ළමයව පෙනුනෙ.

‘‘කොහොමින් හරි අපි දෙන්නා අතරෙ හරිම සමීප සම්බන්ධයක් ගොඩනැඟුණා. ඒක වුණේ අපි දෙන්නම දැනුවත්වමයි. මාව දකිනකොට එයාගෙ මූණ පුරා අමුතුම, ලස්සනම ලස්සන හිනාවක් මතු වෙනවා. ඒ හිනාව මට ඇති මුළු දවසෙම මට සිද්ධ වෙන කරදර වලටත්, මගෙ ජීවිතය මත පැටවෙන පීඩනයටත් මුහුණ දෙන්න.

‘‘ඇත්තටම... මගෙ ජීවිතේ හැම තප්පරයක් ගානෙම විමසිලිමත් වුණ නැන්දටත්, සනත් අංකල්ටත් මේක රහසක් වුණේ නෑ. නමුත් ඒක ඒ ගොල්ලො පෙන්නුවෙ නෑ. මට දැන් හිතෙන්නෙ එහෙමයි.

‘‘ඒ කාලෙ මට තිබුණෙ එකම ප‍්‍රශ්නයයි. මට උදව් වෙන්න කරුවත් හිටියෙ නෑ. මම සුමාන ගාණක් කල්පනා කරලා, කරලා, අන්තිමේ මගෙ හිත හදාගත්තා...මම ඔයාට ආදරෙයිකියලා කියන්න.

‘‘කොහොම වුනත්, ඒ අවස්ථාව හරිම ආශ්චර්ය ජනක දෙයක්. තරුණ වයසට පය තියපු හැටියෙම ඇති වෙන ආදරය හරිම සුන්දර, සැහැල්ලූ අත්දැකීමක්. ඒ මතට කිසිම දුෂ්ටත්වයක හෙවනැල්ලක්වත් නොවැටී, අපේ ආදරය ලස්සනට ගළාගෙන යන්න තිබුණා.

‘‘ඒ අතරවාරෙදි දවසක් හවසක සනත් අංකල් නැන්දත් එක්ක පැය ගාණක් තිස්සෙ මොනවදෝ කතා කළා. එයා නැන්දට මොනවා කිව්වද කියලා මට තේරුණේ නෑ. නමුත්...

‘‘ඊට පස්සෙ පහුවදා උදේ නැන්දත් මධූ ට ඒ වගේම දිග දේශනයක් දුන්න බව මම දැක්කා. එවෙලෙ ඉඳලා, මගෙ ජීවිතේ නියම අවාසනාවන්තකම පැහැදිළිව එළියට ආවා. ඒ මොහොතේ ඉඳන්... මධූ මා දිහා බලන්න ගත්තෙ අමුතුම පිළිකුල් බැල්මකින්...

‘‘මට හිතාගන්න බැරි වුණා. ඒත් මම එයාට කතා කළා. මට අහන්න  ඕනෙ වුණා ඇයි මේ කියලා... ඒත් එයා මට කිසිම චාන්ස් එකක් දුන්නෙ නෑ.

‘‘මම පුදුම දුකක් වින්දා. මට තිබුණ ඔක්කොම කරදර මට ඉවසන්න ශක්තියක් තිබුණෙ එයා නිසයි. එයාගෙ එක හිනාවක් වෙනුවෙන් මට මගේ සිරුරෙ ලේ ඔක්කොම වුණත් වැය කරන්න පුළුවන් කම තිබුණා. ඒත්...

‘‘අන්තිමේ මම එයාව පැත්තකට කොටු කරගත්තා... මම එයාගෙන් ඇහුවා මොකද්ද වෙලා තියෙන්නෙ කියලා. එයා කිව්වෙ මොකද්ද දන්නවද...?’’

නිර්මලී දෑස් විදහා ශාම් දෙස බැලූවාය.

‘‘ ‘මගෙන් අහන්න එපා. ඔයා හරියට දන්නෙ නෑ වගේ...එයා කිව්වෙ ඒකයි. මම ආයෙත් ඇහුවා. එයා කිව්වා, ‘ඔයත් එක්ක තව කතා කරන්න දෙයක් නෑ. මම ඔක්කොම දැනගත්තා. ආයෙත් මට කරදර කරන්න එපා.කියලා.

‘‘මම ඇහුවා මොනවද දැනගත්තෙ කියලා. එයා කිව්වා දැනගත්ත හරිය හොඳටම ඇති කියලා.

‘‘ඒ හරිය ඇති කෙනෙකුට පිස්සෙක් වෙන්න. ඇත්තටම මම ඒ දවස් දෙක තුන ගෙව්වෙ පිස්සුවෙන් වගේ. ටිකක් හිතල බලන්න, තමන් එක්ක බොහොම ලෙංගු කමින් හිටපු කෙනෙක්, තමන් දකින දකින ගානෙ ලස්සනට හිනාවෙලා බොහොම ආසාවෙන් කතා කරපු කෙනෙක්, දැන් දකින දකින ගානෙ පිළිකුල් කරද්දි, එයත් එක්ක එක ගෙදර ජීවත් වෙන එක කොච්චර අමාරුද කියලා...

‘‘මට තවත් මේක දරාගන්න අමාරු වුනා. දවසක් ඔක්කොම නිදි අතරෙ මම එයාගෙ කමෙරේට ගියා. මධූ ඇඳේ වැතිරිලා පොතක් කියවමින් හිටියෙ. මාව දැක්කා විතරයි එයාගෙ ලස්සන ශාන්ත මූණ කළුවෙලා ගියා. මොකද...? මොනවද  ඕනෙ...?’ මට තාම මතකයි ඒ වචන. ඒවා කිව්වෙ පුදුම නපුරු කටහඬකින්. මට පුදුම බයක් ඇති වුණා. මට පිරිමි යාළුවො වත් හිටියෙ නෑ. ගෑණු ළමයෙක් වුණත් නපුරු විදියට කතා කරනකොට...

‘‘මම හෙමින් කිව්වා, මට මේක කතා කරලා තේරුම් බේරුම් කරගන්න  ඕනෙ කියලා... තවත් කතා කරන්න දෙයක් නෑ. මට තවත් ඔය මූණ බලන්නවත්  ඕනෙ නෑ. කරුණාකරලා මට මගෙ පාඩුවෙ ඉන්න දීලා යන්න. නැත්නම් මම හැමෝටම ඇහෙන්න කෑගහනවා...මට ඉවසන් ඉන්න බැරිවුණා.ඔයාට කලිනුත් කිව්වා වගේ මට බොහොම හොඳ ප‍්‍රතිරූපයක් තිබුණා. හැමෝම මට කිව්වෙ පුංචි සාන්තුවරයා කියලයි. අනික් අතට මම ගොඩක් ආදරය කරන මේ කෙල්ල මගෙ ජීවිතයත් එක්ක නේද මේ සෙල්ලම් කරන්නෙ කියලා මට හිතුණා. මම එයාගෙ ඇඟට කඩා පැනලා, කට මගෙ වම් අතින් තදකරලා වහගත්තා. කෙල්ල හයියෙන් දඟලන්න ගත්තා. මම හිටිය තත්ත්වයෙ හැටියට, මට ආපහු ඒමක් නෑ. මගෙ අතට අහුවුනේ පළතුරු කපන පිහියක්...’’

නිර්මලී දෑත් සිය කම්මුල් මත තදකරගත්තාය.

‘‘මම කාමරේට එනකොට ගෙනාවා ලොකු මල් පොකුරක්. සාමාන්‍යයෙන් මධූ මල් වලට හරි ආසයි. ඒ මල් පොකුර හදාගන්න පාවිච්චි කරපු පළතුරු කපන පිහිය මගෙ සාක්කුවක තිබුණා. මම ඒකෙන් එයාගෙ බෙල්ලට ඇන්නා. උගුරු දණ්ඩට වම්පැත්තෙන් හරියටම නහරයක් උඩට පිහිපාර වැදුණෙ. වැදුණා විතරයි, එතනින් ලේ විදින්න ගත්තා. මගෙ මූණ නෑවිලා ගියා ලේ වලින්. ඒ ලේ, මගෙ කටට, මගෙ දිවට දැනුනෙ අමුතුම රසයක්...’’

නිර්මලී මුහුණ දැතින් වසා ගත්තාය.

‘‘ජරා කතාවක් කියලා හිතන්න එපා නිර්මලී, ඇත්තටම ලේ වල තියෙනවා අමුතුම ඛනිජමය රසයක්. ඒක හරියටම, කියමනක් තියෙන්නෙ, ‘ලේ තමයි ජීවිතයකියලා... ඇත්තටම ඒක හරියට ජීවිතය රසවිඳිනවා වගෙයි.

‘‘කොහොම වුණත්, මට රස දැනුණට පස්සෙ, මම මධූගෙ බෙල්ලට කට තියලා ලේ උරාබොන්න ගත්තා. මම දන්නෑ ඒකට කොච්චර වෙලාවක් ගියාද කියලා. නමුත් ඒකෙන් මම වින්දෙ අමුතුම කාමුක තෘප්තියක්. ටිකෙන් ටික කෙල්ලගෙ දැඟලිල්ල අඩු වුණා. මුළු ඇඟම සුදුමැළි වෙලා ගියා. අන්තිමේ මම එයාගෙ සිරුරින් මෑත් වෙද්දි මම එයාව දැක්කෙ හරියටම සුරංගනාවියක් වගෙ ශාන්තව. මං එයාගෙ ආසා කළෙත් ඒ ශාන්ත ලස්සනට...

‘‘මම හෙමින් සීරුවෙ එයාගෙ ඇඳ හැදුවා. කිසිම පොඩි වුණ තැනක් නොහිටින්න ඇඳ රෙද්දත්, එයාගෙ ඇඳුමත්, ඔක්කොම... එයාගෙ අත් දෙක පපුව මත එකතු කරලා, මම ගෙනාව මල් පොකුර අත් දෙකේ තිබ්බා.

‘‘ඊට පස්සෙවත් මම කරපු දේ බරපතළ කම මට හරියට දැනුණේ නෑ. මම හෙමින් සීරුවේ ගෙදරින් පිට වෙලා ගියා. අර ඈත පේන කැළෑව මැද තිබුණා, ගස් කපන්න ආව මිනිස්සු වගයක් හදපු වාඩියක්. මම ඒකෙ හැංගිලා හිටියා දවස් කීපයක්. දවසින් දවස මට තේරුනා මම කරපු දේ. මට තේරුනා කවුද මේවා පිටිපස්සෙ හිටියෙ කියලා. මම අන්තිමේදි දිවුරගත්තා, නැන්දව මේ කරපු හැම දේටම අල්ලගන්නවය කියලා...’’

ශාම් නිර්මලීගේ අතකින් අල්ලා ගත්තේය.

‘‘මම දන්නෙ නෑ ඔයා මාව මොන විදියට තේරුම් ගනියිද කියලා. ඒත්... ඒත් සිද්ධ වුනේ ඔය විදියටයි. එක ජීවිතයක් නැති කරපු කෙනෙකුට, ඊටත් වඩා ද්වේෂයෙන් යුක්තව තවත් ජීවිතයක් නැති කරන්න අමාරු නෑ. මම නැන්දටත් ඒ දේම කළා. ඒත්, ඒත්... අන්තිමේ සනත් පොලිසියත් එක්ක ඇවිත් මාව අල්ලගත්තා.

‘‘මගෙ නඩුවට ටවුන් එකේ හැමෝම ආවා හරියට සර්කස් එකක් බලන්න වගේ. ඔක්කොටම  ඕනෙ වුණේ ලේ බොන පිස්සෙක්ව බලන්න. ඇත්තටම මම ඒ වෙනකොට හිටියෙ හරියටම පිස්සෙක් වගේ තමයි.

‘‘නඩුවෙදි නීතිඥයො කිව්වෙත් මේක උමතුවකින් කරපු දෙයක් කියලයි. එහෙමයි මගෙ තරුණ ජීවිතේ අවුරුදු හතරක් පිස්සන් කොටුවෙ ගත වුණේ.

කීප මොහොතක් ගතවිය.

‘‘ඒ සනත්... එයා කවුද?’’ නිර්මලී ඇසුවාය.

‘‘සනත්...’’ ශාම් කල්පනාභරිතව කීය. ‘‘මට දැන් හිතෙන්නෙ ඒ ඔක්කොම වුණේ සනත් නිසයි. ඒත් ඒ හැම දේකටම හැම කෙනාටම හේතුවක් තියෙන්න ඇති. ඒ හේතු සාධාරණ වුනත්, නැතත්...

‘‘පිස්සන් කොටුව මට දරාගන්න බැරි වුනා. ඒකෙ තියෙන්නෙ උහුල ගන්න බැරි පීඩනයක්. හැමෝම බලන්නෙ පුදුම අවඥාවකින්. මොකද, උන්ට හොඳ සිහිය තියෙනවා, යථාර්ථය පේනවා. අපිට හොඳ සිහිය නෑ, අපි පිස්සො කියලා... ඒ වගේ පරිසරයකින් ඇත්තටම කෙනෙක් පිස්සෙක් බවට පත්වෙන්න පුළුවන්.

‘‘කොහොමින් හරි මම එතනින් නිදහස් වුණා, අවුරුදු හතරකට පස්සෙ. මගෙ තාත්තගෙන් මට උරුම වුණු බූදලයත්, නැන්දගෙ කණකර බඩුත්, මට නීතියෙන්ම හම්බවුණා. ඒ ඔක්කොම තියෙන්නෙ, සාලෙ තියෙන තාත්තගෙ පොටෝ එකට පිටිපස්සෙ බිත්තියෙ හයි කරලා තියෙන සේප්පුවෙ. කී කම්බිනේෂන් එක මට කවදාවත් මතක හිටියෙ නෑ. මේ තියෙන්නෙ ඒක...’’

ඔහු කළිසමෙහි පිටුපස සාක්කුවෙන් වොලට් එකක් එළියට ගත්තේය. එය පිරී තිබුණේ මුදල් නෝට්ටු වලිනි. එහි එක් පැත්තක අංක පෙළක් උල් කටුවකින් සීරීමෙන් සටහන් කර තිබිණ. හෙතෙම වොලට්ටුව මේසය මත තබා, පාර දෙස බැලීය.

අවුල් වූ ඇඳුමින්ද, හිසකෙසින් ද යුත් තරුණයෙක් මඳ අඳුරින් හා මීදුමින් වැසුණු ගෙවත්ත හරහා තමන් දෙසට පිය නඟා එනු ශාම් ට පෙනිණ. දෙදෙන තමන් සිටි ඉරියව්වෙන්ම හිස් ඔසවා ඔහු දෙස බලා සිටියහ. තරුණයා ශාම් අසළට පැමින නැවතිණ. ඔහු - අකිල - ගේ මුහුණෙහි වූයේ අධිෂ්ඨාන පූර්වක අයෝමය නිසලතාවකි.

‘‘පොඩ්ඩක්... එන්න පුළුවන්ද? පොඩි ගනුදෙනුවක් කතාකරගන්න තියෙනවා.’’ ඔහුගේ පෙනුමට එතරම් නොගැළපෙන මෘදු බවක් කටහඬෙහි විය.

ශාම් නැගී සිටියේය.

‘‘මම ඉක්මණට එන්නම්.’’ ඔහු නිර්මලීට කීය.

තරුණයන් දෙදෙනා නිවසෙහි ඉදිරිපසට ඇවිද යනු තරුණිය බලා සිටියාය.

අකිල වදනකුදු නොදොඩා ශාම් ද කැටිව ඉදිරියට ගියේය. නිවෙස ඉදිරිපස මිදුලේ ඔවුන්ට පිටුපා සිටගෙන සිටි කළුවන් පිට කබායත් ලාගත් උස් තැනැත්තා ශාම් ගේ නෙතට ලක් විය.
එක්වරම, අකිල ආපසු හැරිණ.

‘‘මේක...’’ ඔහු පහත් හඬින් කීය. ‘‘... මේක නෙල්කා වෙනුවෙන්.’’ ඔහුගේ මිට මෙළවූ වමත වැරෙන් ශාම් ගේ මුහුණ හරහා වැදිණ. කිසිවක් සිතාගත නොහැකි වූ තරුණයා උඩු අතට ඇද වැටිණ, තණ බිස්ස මත.
එකෙණෙහිම ආපසු හැරුණු කළු වස්ත‍්‍රධාරියා ළය මත බැඳගත් දැතින් යුතුව තමා වෙත එනු ශාම් දිටීය. ඔහුගේ දැස් මවිතයෙන් විදැහී ගියේය.

‘‘සනත්...?’’ අපැහැදිලි කටහඬින් ඔහුට කියාගත හැකි වූයේ එපමණකි.

ෂර්මන් සැණින් ඔහු මතට පැන්නේය. තරුණයාගේ හිස පැත්තෙන් පහත් වූ ඔහු සිය දෙදණහිස් ශාම්ගේ දෑත් මත, ඒවා බිමට තෙරපෙන සේ තද කරගති. ඝන අත්වැසුමින් වැසුණු ඔහුගේ සුරත ශාම්ගේ ලේ වැකුණු නාසයද, මුවද වසා ගනිමින් තද විය. තමා වැරෙන් බිමට තද කරගනිමින්පහත් වූ ෂර්මන් ගේ දුර්ගන්ධවත් හුස්ම සිය මුහුණ මත වැටෙනු ශාම් හැඟුවේය.

අකිල පසෙක බිම තබා තිබූ සිය බැගය විවර කළේය. එතුළින් ඇදගත් ලී උලක් වමතට ගත් ඔහු බරැති මිටිය සුරතින් ගති. ද්වේෂයෙන් දැවෙන්නා වැනි මුහුණින් යුතුව අකිල තමන් වෙත එද්දී ශාම්ගේ දෑස් මරණයේ භීතියෙන් විවරව විදැහී ගියේය. ඔහු අසළ බිම දණගසාගත් අකිල, ඔහුගේ කමිසය ඉරා විවර කළේය. එතැන, පපුවේ හරිමැද සම මතට ලී උල ඔහු සිය වමතින් තද කළේය. ශාම් දඟලන්නට, දඟලමින් ගැළවෙන්නට ගත් උත්සාහය ෂර්මන්ගේ අතිමානුෂික ශක්තියෙන් නැවැත්විණ. අකිල වමතින් ලී උල සිය පපුව මත තදකරමින්, සුරතෙහි වූ මිටිය හිසටත් උඩින් ඔසවත්ම ශාම් දෑස් පියාගති. සැනින් අකිල මිටිය ලී උල මතට වැරෙන් හෙළීය. තම පපුවේ සම, මාංශ පටක විනිවිද ලී උලබසිනු ශාම් හැඟීය. පපු ඇටය මත ලී උල නතර විය. ලෙයින් නැහැවී ලිස්සනසුළු වූ උල මතට වන් තවත් එක් මිටි පහරකින්, එය ශාම්ගේ පපු ඇටය සුණු විසුණු කරමින් ඇතුළටම බැස්සේය. අති දරුණු වේදනාවෙන් ශාම්ට කැගැසිණ. එහෙත් ෂර්මන් ගේ සවිමත් සීතල අතින් ඇවිරුණු ඔහුගේ මුවින් කෙඳිරියකුදු පිටවීමට ඉඩක් නොවීය.

වේදනාව ශබ්දයෙන් පිටකරගත නොහී තරුණයාගේ උගුර දෙපස මස් පිඩු, නහරවැල් ඉල්පී ආවේය. ලේ පැහැයට හැරුණු ඔහුගේ දෑස් වියරුවෙන් විදැහී එළියට නෙරා ගියේය. අකිල නොනවත්වා ගසන්නට වූ බරැති මිටි පහරවල් ශාම්ගේ පපු ඇටය හරහා, හදවතට කිඳාබසින්නට විය. හදවත සිදුරුවත්ම එතැනින් උණුසුම් ලේ දහරාවක් ඉහළට විහිදින. අකිලගේ මුහුණ නහවමින්...

ශාම්ගේ දැඟලිල්ලේ ශක්තිය කෙමෙන් දුබල වී නැත්තටම නැතිවී ගියේය. මරණයේ වේදනාවෙන් විකෘති වී ගිය ඔහුගේ මුහුණ මතින් සිය අත ඉවතට ගත් ෂර්මන් නැගී සිටියේය. ද්වේෂයෙන් වියරු වැටී සිටි අකිල නතර වූයේ ලී උල තරුණයාගේ තවමත් ගැහෙමින් පෙණ මුසු ලේ උතුරුවන හදවත ද පසා කර පොළොවටම කිඳාබැස්වීමෙන් පසුවය.

----------------------------------------------------- 

නිර්මලී මේසය වෙතින් සෙමෙන් නැගිට්ටාය. ඈ ගේ දෙසට පියනගන්නට වූයේ කුතුහළයෙනි. ඈ ඉදිරියට යත්ම, ශාම් කැටිව ගිය තරුණයා කළුවන් දිග කබායක් ලාගත්තෙකු සමඟ පාර දිගේ ඇවිද යනු ඈ දුටුවාය.
ගෙහි ඉදිරිපසට එත්ම, ඇගේ නෙත ගැටුණු දසුන ඈට අදහාගැනීමට අවැසි නොවීය.

‘‘ශා... ම්...!’’ ඇයට එතරම් තදින් කෑගැසිය හැකි බව ඇය වත් දැන සිටියේ නැත. ඇඳුමේ රැළි සුළඟේ පා කරවමින් ඈ ඒ වෙත දිව ගියාය. ඇගේ විසල් දෑස් තෙත්වෙමින් විදැහී ගියේය. බිම වැටී සිටි තරුණයා අසළට දිව ආ ඈ එතැන දණින් වැටුණාය. තරුණයාගේ පෙණ මුසු ලෙයින් පිරි පපුව දෙස බැලීමට ඇයට හැකියාවක් නොවීය. කඳුළින් බොඳ වූ දෑසින් ඈ ශාම්ගේ මුහුණ දුටුවේ ද, අපැහැදිලි ලෙසය.

ඈ ඔහුගේ ප‍්‍රාණයෙන් තොරහිස දෑතින් ඔසවා උකුළ මත හොවාගත්තාය. අවුල් වූ ඔහුගේ හිසකෙස් අතර ඇඟිලි තුඩු රුවමින් ඈ නැවත නැවතත් කීවේ එකම වචනයකි. ඉකියෙන් හිරවූ උගුරින්...

තරුණයාගේ ලේ වැකුණු මුහුණ ඇගේ කඳුළින් සේදී යන්නට විය. ඈ ඉකි ගසමින් නැවත නැවතත් ඔහුගේ මුහුණ සිපගත්තාය.

----------------------------------------------------

අඳුර වැටෙමින් තිබුණද, තාර පාර තවමත් මඳක් උණුසුම් විය. පාර දෙපස වැවුණු වියළි පඳුරු දුහුවිල්ලෙන් නැහැවී ගොස් තිබිණ. කන් පාරවන තහඩුමය හඬක් නංවමින් ට‍්‍රක් රථයක් ඇදී ගියේය. එය ඈත නොපෙනී යද්දී පාර අයින දිගේ අකිල ගැහෙමින්, වැනෙන සුළු පියවරින් ආයේය. පාරේ විරුද්ධ දිශාවේ ඈත සිට වේගයෙන් ඇදී ආ ඩබල් කැබ් රථයක් මහ හඬින් බ්‍රේක් ගසා නතර විය.

විකුම් කඩිමුඩියේ ඉදිරිපස දොරින් බිමට බැස අකිල වෙත දිව ගියේය.

‘‘මොකද වුණේ...? කෝ ෂර්මන්...?’’

අකිල මළාණික දෑසින් ඔහු වෙත බැලීය.

‘‘එයාට යන්න සිද්ධ වුණා...’’ ඔහු කිවේ එපමණකි. හෙතෙම සිය මිතුරාගේ දෑත් මත ඇද වැටිණ.

විකුම් ඔහු දෑතින් වාරු කරගනිමින් රිය වෙත රැගෙන ගියේය. පිටුපස දොරින් බැසගත් ආකර්ෂා, අකිල පිටුපස අසුනට ගොඩ කිරීමට ඔහුට උදව් කළාය.

‘‘ආපහු යමු මචං,’’ විකුම් රියදුරාට කීයේය. ‘‘අපි පරක්කු වුණා වැඩියි...’’

‘‘ඔයගොල්ලො යන්න.’’ තරුණිය පිටුපස දොර වසා, විකුම් වෙත ඇවිද ආවාය. ‘‘මම නවතිනවා.’’

-----------------------------------------------------

පාළු බවින් පිරි පරිසරයෙහි සෑම දෙයක්ම නිසලව තිබිණ.

නිර්මලී සහ ආකර්ෂා පාළු දුම්රිය පොළෙහි හිස් ලී බංකුවක් මත වාඩි වී සිටියෝය. වේදිකා අංකය සඳහන් යකඩ තහඩුව කිරි කිරි හඬ නඟමින් සෙමෙන් කැරකිණ. නිර්මලීගේ පාළුව පිරුනු විසල් දැසින් කිසිදු හැඟීමක් පළවූයේ නැත. ඒ දැස් වියළී ගොස්, සදහටම වියළි ගිය සෙයක් විය.

පෙරදා වට මහ වැස්සෙන් පසු හාත්පස පරිසරයම සේදී ගොස්... කිසිවක් ඉතිරි නොකර සේදී ගොස් තිබිණ. මල් සුවඳ, කුරුළු කිචි බිචිය, මඳ සුළඟේ සිරි සිරිය... කිසිවකුදු ඉතිරිව තිබුණේ නැත.

තරුණියන්ට පිටුපසින් වූ උස් රෝස පඳුර හදිසියේ ආ සුළං රොදකින් සෙළවිණ. එයින් නිර්මලීගේ හිස මතට රෝස පෙති අහුරක් ගිළිහී වැටිණ. තරුණිය තිගැස්සුණාය. හනික පිටුපසට හැරුණු ඈ සිය වියළි විසල් දෑස් විදහා හාත්පස බැලූවාය.

එහෙත්... එහි වූයේ පෙති ගිළිහුණු එකම එක මලක වියළි නටුවකින් යුත් කණාටු රෝස පඳුර පමණි.

ඈ සිය දැත් මත හිස ගසාගත්තීය. ඇගේ උරහිස් වෙවුලන්නට විය. කඳුළු බිඳු ඇගේ දෙකොපුළ නහවමින් ගළා විත් ඇගේ නිකටින් වැස්සෙන්නට ගති. ආකර්ෂා ඇගේ උරහිස මතින් අත යවා ඈ සිය සිරුරට තදකරගත්තාය.

------------------------------------------------------- 

සැඳෑ අඳුර පාළු වතුයාය මැද වූ ගරා වැටුනු මන්දිරයේ නටබුන් මත ලැගුම් ගනිමින් සිටියේය. බැස යන හිරුගේ රත් පැහැ රැස් දහර මන්දිරයේ බිත්ති මත වැතිර තිබිණ. අකිල සිය අබිරහස් සහකාරයාත් සමඟින් ආයුධ වලින් සන්නද්ධව එයින් නික්මී ගොස් දින දෙක තුනකට වඩා ගතවී නොතිබිණ. එහි අන්ධකාර බිම්ගෙහි හිස දෙපළු වූ ඇටසැකිල්ලට ඔබින් වූ අඩක් දිරාගිය මිනී පෙට්ටිය තවදුරටත් හිස්ව තිබුණේ නැත.

කළුවන් දිගු කබායෙන් වැසුණු උස් සිරුරක් එතුළ වැතිර තිබිණ. එහි අජීවී සුදුමැළි මුහුණේ බියකරු දෙතොලතර ජයග‍්‍රාහී සිනාවක ශේෂයක් රැඳි තිබිණ.

----------------------------------------------------- 

රත් පැහැ මල් පිරුණු මැයි මාර ගසක සෙවණ යට සිමෙන්ති බංකුවක් මත තරුණයෝ තිදෙනෙක් වූහ. ඉන් එකෙක් වූ අකිලගේ මුහුණේ වූ මළාණික පෙනුම තවමත් පහව ගොස් නොතිබිණ. විකුම් අනෙකා සහ අකිල එකිනෙකාට හඳුන්වා දුන්නේය.

‘‘මේ අකිල මගෙ හොඳම යාළුවෙක්. මේ ප්‍රොෆෙසර් හසිත ගුණසිංහ, කැම්පස් එකේ ඉතිහාස අධ්‍යයනාංශයෙ අංශාධිපති.’’

‘‘ඔව් විකුම්, වෙරි සොරි, මට ගොඩක් වෙලාව නෑ...’’ මහාචාර්යවරයා සමාව ඉල්ලීය. ‘‘... ඔයා කියල එව්ව විස්තරේ ගැන රිසර්ච් එක කළෙත් මගෙ ගෝළයො ටිකකට බාර දීලා. මේ දවස් වල එක්ස්ටර්නල් සෙමිනාර් වගයක්...

‘‘සම්පූර්ණ විස්තර මේ ඩොකට් එකේ තියෙනවා...’’ ඔහු ගොනුවක් සහ සංගත තැටියක් විකුම් වෙත දිගු කළේය. ‘‘මං කෙටියෙන් කියන්නම් ඒකෙ තියෙන දේවල්...

‘‘විකුම් අහල එවපු ෂර්මන් ෆර්නැන්ඩස් කියන නම අපිට ඉතිහාසයෙ කීප අවස්ථාවක හම්බ වෙලා තියෙනවා. ඉස්සෙල්ලම, මේ අද්මිරාල් ෂර්මයිල් ෆර්නැන්ඩස්කි.’’ ඔහු ගොනුවෙන් ඇදගත් ආලේඛ්‍ය පින්තූරයක් තරුණයින් වෙත පෑවේය.

‘‘මෙයා තමයි...’’ අකිල ට එක්වරම කියැවිණ.

‘‘හැබැයි මෙයා අපිට හම්බවෙන්නෙ 1672 දී. දෙවෙනි රාජසිංහ රජතුමාගේ පාලන කාලයේ ත‍්‍රිකුණාමලයට ආව ප‍්‍රංශ ජාතික ද ලාහේ ගේ නැව් කණ්ඩායමේ හිටිය අද්මිරාල් කෙනෙක් තමයි මෙයා. ද ලාහේ ගේ තානාපති විදියට මහනුවරට ආව ද ලැනරෝල් එක්ක ආව මෙයා, ද ලැනරෝල් එක්කම ලංකාවෙ පදිංචි වුනා කියලයි පේන්නෙ.

‘‘ඊට පස්සෙ දෙවෙනි විමලධර්මසූරිය රජතුමා බුරුමයට යැව්ව දූත පිරිසට මෙයා එකතු වෙලා තියෙන බව, ඒ ගැන තියෙන සංදේශ වල මෙයාගෙ නම සඳහන් වීමෙන් පේනවා. 1763 දී කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමාගෙ කාලෙදි මහනුවර ආක‍්‍රමණය කරපු ලන්දේසි හමුදාවේ නායකයා උමතු වෙලා, සේනාවෙන් වැඩිහරිය ලෙඩ වුණේ, මහනුවර කටුකැලේ ප‍්‍රදේශයෙ හිටිය සරිමල් පුරනන්ද කියන මහළු සුදු මිනිහෙක් කරපු ශාපයක් නිසයි කියලා පරණ ජනකවි පෙළක තියෙනවා. අපිට හිතන්න පුළුවන් නම් මේ කියන්නෙත් අර අද්මිරාල් ගැනමයි කියලා, එහෙමනම් මෙයාට ඒ වෙනකොට වයස අවුරුදු සීයක්වත් වෙන්න  ඕනෙ.

‘‘ඊට පස්සෙ මේ තැනැත්තා අපිට 1818 වෙල්ලස්සෙ කැරැල්ළෙදි හම්බ වෙනවා...’’ හසිත තවත් ආලේඛ්‍යයක් ඉදිරිපත් කළේය. ආලේඛ්‍ය දෙකේ වෙනස වූයේ ශෛලියේත්, අයත් වූ කාලයේත් පමණක් බව පෙනිණ. ‘‘වෙල්ලස්ස කැරැල්ළ අසාර්ථක වෙන්න සිංහලයින්ගෙ අසමගිය වගේම මාෂල් ලෝ එකත් බලපෑවා. මෙතෙන්දි වඩාත්ම දරුණුතම විදියට හැසිරුණ ඉංග‍්‍රිසි සෙන්පතියෙක් තමයි මේ. මෙයා මේජර් ෂර්මන් ඩි ෆර්නැන්ඩස්. මෙයා ගැන තමයි අර ජන කවියක කියන්නෙ සිංහල දරුවන් උඩ විසි කරලා අමුණයි බයිනෙත්තුවෙ මුදුනේ...කියලා.

‘‘1838 දී බදුල්ලේ ෆයර්මවුන්ට් නගරය ඉංග‍්‍රිසි කොළනියක් විදිහට ආරම්භ කරන්න පුරෝගාමී වුණ මේජර් ෆර්නැන්ඩස්, ලංකාවෙ කෝපි වැවිල්ලේ පුරෝගාමියෙක්. ඒ කාලේ පෝලෝ සමාජ වල, දඩයම්කරුවන්ගේ වාර්තා වල, මුතු කිමිදීමේ කණ්ඩායම් වල, මෙයා ගැන සඳහන් නොවුණු තැනක් නෑ. ඒත්, කෝපි වලට හෙමිලියා වැස්ටෙට්රික්ස් කියන වසංගතේ හැදිලා, පෙරදිගින් කෝපි වැවිල්ල අතු ගෑවිලා ගියාට පස්සේ මෙයා ගැනත් කිසිම සඳහනක් හම්බ වෙන්නෙ නෑ.

‘‘ඔය කියපු දේවල විස්තරාත්මක තොරතුරු මේ ඩොකට් එකේ ඇති. දැන් මට සමාවෙන්න, මට දැන් ලෙක්චර් එකක් තියෙනවා.’’ නැගිට කඩිමුඩියේ දෙදෙනාට අතට අත දුන් මහාචාර්ය වරයා අඩිය ඉක්මන් කර අසළ වූ දේශන ශාලාව දෙසට පිය නැගිය.

නිමි


http://www.thelmagazine.com/binary/
e891/1314320942-ckane-the-end-title.jpg

Comments

  1. අන්තිමේදි මගෙ එහෙන් මෙහෙන් ගහපු අනුමාන හරි ගියා නේද? ශාම් වැම්පයරයෙක් නෙමෙයි කියන එක එහෙම. ශාම් වැම්පයරයෙක් නොවුන නිසයි ශාම් ලේ බීපු අනිත් අය වැම්පයරයන් නොවුනෙ කියල දැන් අපිට හිත හදා ගන්න පුළුවන්. අපේ රහස් පරීක්ෂකය විකුම් ඒක දැන ගද්දි සෑහෙන්න පරක්කු උනා ඒකයි ප්‍රශ්නෙ උනේ. එහෙම නොවෙන්න ශාම් නිර්මලී එක්ක සතුටින් ඉන්න ඉඩ සැලසෙන්න තිබුන.

    ඒ වගේම ශර්මන්ගෙ මේකට සම්බන්දයක් තිබුන. උබ මේක සම්භාව්‍ය ගනයට දාල ඉවරකරපු එක තාම ප්‍රශ්නෙ. බලහන් අපිට ප්‍රශ්න කීයක්නම් ඉතුරු කරල තියෙනවද උත්තර හොයා ගන්න. අර ශර්මන් කාරයට ශාම් එක්ක ජම්මාන්තර වෛරයක්නෙ තිබිල තියෙන්නෙ. මට කොහොමත් දිගින් දිගටම ඕකව පෙන්නන්න බැරුවනෙ හිටියෙ. දැන් අපි හිතා ගන්න ඕන මේ යකාගෙ මොකක්ද තිබුන ප්‍රශ්නෙ ශාම් එක්ක කියල. අම්මප පසු විපරමට කොටසක් ලියන්න බැරිද උබට. මටනම් හිතුන අකිල, විකුම්, නිර්මලී, ආකර්ෂා මේ හතර දෙන එකතු කරල මේ ගැන බරට සාකච්ඡා කරන පොස්ට් එකක් ලියන්න මේ තියෙන ප්‍රශ්න ඔක්කොම විසදෙන විදිහෙ.

    උබේ ලියවිල්ල ගැන නම් ඉතින් හැමදාම වගේ කියන්න දෙයක් නෑ පට්ටම තමයි. ඒත් උබ ඔහොම අපිව අමාරුවෙ දාපු එකටනම් මම එක හෙලාම විරුද්දයි. ලියපන් තව කොටසක් මේක සම්භාව්‍ය නොකර.

    ජයවේවා...!!!

    ReplyDelete
    Replies
    1. අඩේ මම අද මුලින්මද? ඒකත් හොදයි උබේ අන්තිම කොටසට හරි මුලින්ම කමෙන්ට් එකක් දාන්න ලැබුන එක.

      Delete
    2. ස්තූතියි ලොකු ශාන්,

      ෂර්මන්ට මොකද්ද තිබුණ ජම්මාන්තර වෛරය?

      මං හිතන්නෙ පොර නම සනත් කියලා වෙනස් කරගෙන ශාම්ගෙ නැන්දට ආදරය කරන්න ඇති. කෙල්ලොන්ගෙ ලේ බොන වැම්පයර් කෙනෙක්, තමන්ගෙ ඇස් මානයෙ ඉන්න ළාබාල කෙල්ලෙක් වෙන කොල්ලෙක්ට ආදරය කරන එක ගැන ඊරිසියා නොකර ඉඳියිද?

      ශාන් අද 1... මාත් කැමතියි උඹට මේ කොටසෙ මුලින්ම කමෙන්ට් කරන්න ලැබුණ එකට සිරාවටම.

      Delete
    3. ඇත්තටම බං මට කතාවට ශර්මන් එන්ටර් උන වෙලේ ඉදලම පොරව දිරෙව්වෙ නෑ.උබටත් මතක ඇතිනෙ මම එදා ඉදන්ම ශර්මන්ට විරුද්දව කතා කලා. කොහොම හරි අන්තිමට කතාවෙ දුෂ්ටයත් ශර්මන්මනෙ.

      Delete
    4. ඒක තමයි ඉව. රහස්පරීක්ෂක කතා නිතර නිතර කියවීමේ ප්‍රතිඵලය තමයි ඒ... නැද්ද?

      Delete
    5. ඔව්.. ශාම්ගේ ප්‍රශ්නෙට උත්තරේ ලැබුන.. මේ මම කලින් පෝස්ට් එකට අන්තිමට දාපු කමෙන්ට් එක ආපහු මෙතන දානවා..
      "මම පොඩි අනුමානයක් කරන්නම්.. මම මේකට ශාම්ව වගේම අපේ කවුන්ට්වත් ගාවගන්නම්.. ශාම් අර්ධ වැම්පයරයෙක් උනත් කවුන්ට් සම්පූර්ණ වැම්පයර් කෙනෙක්.. ඒ උනත්, මම හිතනවා ඒ ලේ බීපු අයගේ මරණින් පස්සේ වැම්පයර්ල වෙන කට්ටිය එයාල බිහි කරන්න දායක වෙච්ච වැම්පයර්ල මැරුණම ඒ ජීවිතත් ඉවර වෙනවා ඇති කියල. එක්කෝ එයාල පත් වෙන්නේ අර්ධ වැම්පයර් තත්වෙට වෙන්න පුළුවන්.. අනික තමා මම බලපු චිත්‍රපටියක්,, නම මතක නෑ.. ඒකෙ තියන හැටියට වැම්පයර් කෙනෙක් අව්වට නිරාවරණය වෙලා ආපහු ජලයට වැටුනම එයා ආපහු සාමාන්‍ය තත්වෙට එනවා. ඒ වගේම වැම්පයර් කෙනෙක් තව වැම්පයර් කෙනෙක්ගේ ලේ බිව්වම ඒ බීපු කෙනා සාමාන්‍ය තත්වෙට එනවා.."

      Delete
    6. ඩ්‍රැක්‍යුලා ලුසීගේ ලේ බිව්වම, ලුසී වැම්පයර් කෙනෙක් වුණේ එයයාගෙ මරණින් පස්සෙයි. එයා මැරුණෙ ලේ අඩුකමින්, ඒකියන්නෙ ඩ්‍රැක්‍යුලා දිගින් දිගටම එයාගෙ ලේ බිව්ව නිසා. ඒත් වැන්හෙල්සිං ලුසීගෙ වැම්පයර් ආත්මය මරලා දාලා තමයි ඒ ශාපය නැවැත්තුවේ. මීනා වැම්පයර් කෙනෙක් නොවුනේ එයා මැරුණෙ නැති නිසයි. ඒකෙන් මට නම් තේරෙන්නෙ, ඇල්ෆා වැම්පයර් මැරුවත් නැතත්, එයා නිසා වැම්පයර් වෙච්ච අය මැරිය යුතුයි.

      අනිත් දේවල් ගැන නම් මට මොකුත් කරුණු හම්බවෙලා නෑ.

      අඟහරුවගෙ උනන්දුව ගැන ගොඩක් ස්තූතියි.

      Delete
  2. මේ වැම්පයර් කේස් වලට කැමති නැති නිසා නොබලාම කමෙන්ට් කළා.

    ReplyDelete
    Replies
    1. කොහොම හරි සුදික ආවනෙ. කියවලම තීරණය කරනවනම් මේ කතාව මොන වගේ එකක්ද කියලා... මං වඩා මනාපයි.

      Delete
  3. මටත් ප්‍රශ්න ගනනාවක් ඉතුරුයි මචො.අර කෙල්ල ඇයි සුදුලුනු කන්නෙ ?. සනත් මොනව කියලද අර කෙල්ලට ශාම් එපාකලෙ ? .ශර්මන් නොහොත් සනත් මැරුවෙ කවුද ?. අර කෙල්ලො දෙන්න එකතුවුනෙ ඇයි ?.ටියුබ් ලයිට් නිසාද මන්ද ?.මොනව උනත් කතාව මරු ඇ.

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රශ්න වලින් එකකට ඇරෙන්න අනිත් ඒවටනම් මම උත්තර දෙන්නම් අනුමානෙට.

      අර කෙල්ල ඇයි සුදුලූණු කන්නෙ?
      ඒකනම් සාමාන්‍ය දෙයක් වෙන්න ඕන. සමහර විට ඒක ඒ කෙල්ලගෙ පුරුද්දක් වෙන්න ඇති. නමුත් ඒක ඩ්‍රැකිය මෙතනට දාල තියෙන්නෙ හේතුවක් ඇතුව. ඒ කෙල්ල සුදුලූණූ කනව කියල දැන ගත්ත හින්ද තමයි විකුම් දැන ගන්නෙ ශාම් වැම්පයරයෙක් නෙමේ කියල.

      සනත් මොනව කියලද අර කෙල්ලට ශාම් එපාකලේ?
      මේකට තමයි උත්තර දෙන්න බැරි. මොකද ඒක ශාම් දැනගෙන හිටියෙත් නැහැනෙ. ඕක දන්නෙ මට පෙන්නන්න බැරි අර ශර්මන් කාරයම තමා. නැත්නම් ශාම්ගේ නැන්දව හරි අර කෙල්ලව හරි මරණෙන් නැගිට්ටවන්න වෙනව ඒක දැන ගන්න. හැබැය ඊට වඩා ලේසිවෙයි ශර්මන් කාරයව ඇහැරව ගන්න එක.

      ශර්මන් නොහොත් සනත් මැරුවෙ කවුද?
      මේක ටිකක් පැහැදිලි මදි. කතාවෙ හැටියට ශර්මන් කාවවත් මරල නැහැ වගේම ශර්මන්ව කවුරුත් මරලත් නැහැ. හැබැයි මට හිතෙන විදිහට මේකෙ වැම්පයරය තමයි ඔය ශර්මන් කාරය. ඌව විනාශ කරන්න හොද ශුද්ද වන්තයෙක්ව ඕන. ශාම් ඒ තත්වෙන් වැඩිගෙන එනව කියල ඕක දැන ගත්ත ඒ හින්ද ශාම්ට ගේම සෙට්කරා වෙන්න පුළුවන්.

      අර කෙල්ලො දෙන්න එකතුවුනේ ඇයි?
      මේකටනම් උබත් උත්තරේ දන්නව බං. බවලත්තු මට කමා කරත්වා.... ඇයි බං බොල ශාම් නිර්මලීට කියනව මතකද තාත්තගෙ බූදලෙයි නැන්දගෙ බඩු ටිකයි ගැන ශාම් නිර්මලීට කිව්ව. ඒවගේම ශාම් ඕක අකාර්ෂාටත් කියන්න ඇති. ඉතින් උන් දෙන්න සෙට්වෙල ඕක ගත්තෙ නැහැ කියල කාටනම් කියන්න පුළුවන්ද?

      කතාවෙම රුදිල හිටියනම් ඔය ටියුබ් ලයිට් ගතිය නැතුම යනව දමිත්.

      Delete
    2. @ දමිත්
      ගොඩක් ප්‍රශ්න වලට මගේ දකුණත් ශ්‍රාවක, ලොකු ශාන් පිළිතුරු දීලා තියෙනවනේ. :-)

      සනත් නැන්දා ලවා අර කෙල්ලට කිව්වෙ මොනවද කියන එක මාත් දන් නෑ. ඒක පාඨකයගෙ පරිකල්පනයට බාර දෙයක්.

      මං මෙච්චරයි කියන්නෙ, ඔය වයසෙ කෙල්ලො කොල්ලෙක්ට හිත ගිය ගමන් ඌ තමයි ලෝකෙ ඉන්න හොඳම කොල්ලා. හැබැයි උගෙ පොඩි හරි අප්සට් එකක් ආරංචි වෙච්ච ගමන් කළකිරෙනවා. ඒ වගේම මාර විදිහට ඌ ගැන දුක් විඳිනවා.

      ෂර්මන් කවුද මැරුවෙ? මේ ප්‍රශ්නය මට පහැදිළි නෑ. ඒකෙන් කියවෙන්නෙ ෂර්මන් මිනීපෙට්ටිය ගාවදි කාවද මැරුවෙ කියන එකනම්, ඒක මේ කතාවෙ ස්කෝප් එකෙන් පිට දෙයක්.

      අර කෙල්ලො දෙන්න එකතු වුනේ ඇයි? ශාම් ව බලන්න එන ආකර්ෂා එන්නෙ මළගෙදරකට. එතන ඉන්නෙත් තමන් වගේම ශාම්ට ආදරය කරන කෙල්ලෙක්. මං හිතන්නෙ සමාන දුක් විඳින දෙන්නෙක් එකිනෙකාගේ සම්බන්ධයෙන් ශක්තිමත් වෙන එකයි වෙන්නෙ.

      @ ලොකු ශාන්
      උඹ කතාව රස විදින විදිහට මට මාර ආසයි මචං. උඹේ පරිකල්පන ශක්තිය, මම අර චැට් එකකදිත් කිව්ව වගේ, මටත් වඩා ඉහළයි. අර බූදල් කතාව තමයි මං දැකපු හොඳම අයිඩියා එක....

      Delete
  4. යකෝ මේ අන්තිමට තියෙන නම් ගම් ටිකත් එක්ක මගේ ඇඟේ මයිල් කෙළින් උනා...උඹලැයි ගම් පළාත් කොහෙද ? ඇත්ත කියපන් ....!



    අද්මිරල් ෆර්නැන්ඩස්කිගේ සියවස් කීපයක නාවික අද්දැකීම් 01....

    ReplyDelete
    Replies
    1. ලිංක් එකට ස්තූතියි සහන්...

      මම සිරාගෙ පළාතෙ... මට පේනවා මේ කතාවෙ මේකින් එක ගැන පෝස්ටුවක් දාන්න වෙනවා. එතකොට ඔක්කොම පැහැදිලි කරන්නම්...

      Delete
  5. ඔන්න ෂර්මන් වැම්පයරයෙක් කියලා මාත් දැනගෙන උන්නා. කතාව ඔක්කොම කියවලා ඉවර කලේ අදයි. අන්තිම පෝස්ටුව දාලා කියලා දැනගත්තේ දැනුයි.

    කතාව ලංකාවට ගැලපෙන විදියට, ඇඟේ හිරිගඬු පිපෙන විදියට ලියලා. කන්‍යාරාම, කන්‍යා සොහොයුරියන්, කුරුස, පැරණි දේවස්ථාන , රෝස්මල් මේ ඔක්කොම අපිව ලේස්යෙන් ඒ පරිසරයට ගෙනියනවා. ඩ්‍රැකී නියම වැම්පයර් කෙනෙක් වගේ පසුබිම විස්තර කරලා තියෙනවා. පරිසරය ගැන කියලා තියෙන විදිය ලස්සනයි.

    අපරාදේ කතාව ඉවර උණේ...:(

    ReplyDelete
    Replies
    1. අපරාදේ... නේන්නං පොඩි නෑනො... :-ඩී

      ඉෂ්ටූටියි ඉෂ්ටූටියි ඇගයීමට... අඩුපාඩුත් පෙන්නලා දෙනවනං තමා ඉතිං වටිනාකම.

      වැම්පයර් කෙනෙක්ගෙ දෘෂ්ටිකෝණයෙන් තමා මටත් මේක ලියන්න ඕනෙ වුණේ. පොඩ්ඩි බලල තියෙනවද, Forgetting Sarah Marshal ෆිල්ම් එක?

      Delete
  6. යකෝ ඉවරත් වෙලා.. හාකෝ හාකෝ.. ඒත්.. ඒත් දෙවෙනි කොටසක් එයි කියල මම බලන් ඉන්නවා.. මොකද දැන් ෂර්මන්ට මොකද වෙන්නේ, එයා වැම්පයර් කෙනෙක් නිසා එයාට සදාකාලිකව ජීවත් වෙන්න දෙනවද කියන ප්‍රශ්නේ එනවා.. (සදාකාලික කියන වචනේ මොන තේරුම තිබ්බත්) ඊලඟට මටත් ආපු ප්‍රශ්නයක් තමයි සුදු ළූණු. ඒකට මම පොඩි උත්තරයක් හොයාගත්තා... අර කවුන්ට්ගේ කතාවේදී මහාචාර්ය වෑන් හෙල්සින්ග් කියනවා "වැම්පයර්ලට විරුද්ධව යොදාගන්න පුළුවන් ආයුද. වුල්ෆ්බෙන් පැළෑටිය, ශුද්ධ වූ ජලය, කුරුසිය, ආගම හා සම්බන්ද දේ සහ, සුදුලූනු, එයාලව මරන්න පාවිච්චි කරන්නේ සුදුලූනු මල් එල්ලපු ලී උලක්. ඒ වගේම, අර මම ලියපු අවතාර ගැන පෝස්ට් එකේ කිව්වා වගේ, ෂර්ලොක් හෝම්ස් සම්බන්ධ කතාවේදී කියනවා ලුසීට වැම්පයර් ගැහුවම වෑන් හෙල්සින්ග් කරේ ජනේලේ සුදු ළූණු එල්ලපු එක කියල. ඒ කියන්නේ වැම්පයර්ල සුදු ළූණු වලට බයයි. ආකර්ෂා සුදු ළූණු කනවා කියන්නේ එයා වැම්පයර් කෙනෙක් නෙවේ, ඒ වගේම එයාගේ ලේ බීල තියන්නෙත් වැම්පයර් කෙනෙක් නෙවේ.. මේක හරිද මන්ද..
    අවසාන උන විදිය නම් තිගැස්මක් ඇති කළා..
    ඒ මොක උනත්, වටිනා, බොහොම ආශාවෙන් කියවන්න පුළුවන් කතාවක් අපිට දුන්නට බොහොම ස්තුතියි...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිගටම කියවන්න ආවට උනන්දුවෙන්.

      වැම්පයර්ලා වගේම, මම ශාම්ගෙ චරිතය ගොඩනඟපු, මගෙ හොඳම යාළුවෙක් වෙන, රංග ත් සුදුළූණු වලට කැමති නෑ. සුදුළූනු වල සුවඳට ඌට හුස්ම හිරවෙන ඇලජි එකක් තියෙනවා. (ඒ ගැන මම මේ කතාවෙ මේකින් එක ගැන ‍පෝස්ටුවෙන් විස්තර දාන්නම්.)

      මට තේරෙන විදිහට, වැම්පයර් කෙනෙක්ගෙ ගොදුරක් වුණු ජීවත්ව ඉන්න කෙනෙකුට උනත්, වැම්පයර් වරුන්ට ඔරොත්තු දෙන්නෙ නැති දේවල් ඔරොත්තු දෙන්නෙ නෑ. ඩ්‍රැක්‍යුලා කතාවෙ මීනා හාකර්ගෙ නළල, ශුද්ධවූ පූපයක් නිසා පිච්චෙන්නෙ ඒකයි.

      Delete
  7. මොකද සද්ද බද්ද නැත්තේ මේ ටිකේ

    ReplyDelete
    Replies
    1. මං උන්නද මළාද කියලා හොයලා බැලුවට දේශකයට ගොඩක් ස්තූතියි. මේ දවස් වල ගෙදර ගජරාමෙට වැඩ, කොම්පියුටරේ ගළවලා දැනට දවස් ගාණක්. හිතේ නිදහසෙන් ලියන්න අමාරුයි, කාල වේලාවක් හොයාගන්නත් අමාරුයි. ඒකයි.
      තව දවස් කීපයකින් ඔක්කොම යථා තත්ත්වෙට පත් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

      Delete

Post a Comment

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

ගොඩක්ම කියවපු ලිපි

ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර

ඒක්තරා අැත්ත කතාවක්...

හැම දෙවියනේ පුළුවන්නං රකෝ රකෝ ! - මගේ පුස්තකාලයෙන්...

මෝසෙස් ගේ දෙවියන් සහ ජේසුස් ගේ දෙවියන්...

ගජබින්නාලංකාරය 15 වන කොටස...

හොඳම කම්මැලියා - කැකිල්ලේ කතා...

සාගරයක් මැද - අමන රටක් ඇත... (සිසිර කුමාර මානික්ක ආරච්චිගේ තවත් පොතක්)

ගමයගෙ මන්තරේ... ලංකාවෙ ජනකතාවකි.

කාලිදාස ගෙ කතාවක්

ඩ්‍රැක්‍යුලාගෙන් පසු - Dracula the Historical Figure - Final Part