Thursday, April 23, 2020

අවසානයක් ‌නොවේ - හත්වන ‌කොටස

පළවෙනි කොටස
දෙවෙනි කොටස
තුන් වෙනි කොටස
හතර වෙනි කොටස
පස් ‌වෙනි ‌කොටස
හය ‌වෙනි ‌කොටස

බියෙන්, හුදෙකලාවෙන් හා බිඳුනු සිහිකල්පනාවෙන් තමා සියුම් මෝහණයකට නතු වන බව තරුණියට දැනෙමින් පැවතිණ. වරක වනරොදෙහි සියුම් සෙළවීමක් ඈ අඩවන් දෑසින් දුටුවාය. එක්වනම, අඳුරු ගුලියක් බිම පෙරළී අවුත් තමා බැඳ සිටි ලී කණුව වෙත ආවේයැයි ඈට දැනුණි. කුමාරිහාමි ඒ දෙස හැරීමට හෝ ආයාසයක් නොගත්තී ය. ඇයට මේ සියල්ල බියකරු සිහිනයකි. අඳුරු ගුළිය දිගහැරී මානව රූපයකට හැරුණි. එහි සුරතේ වූ යමක්, වළාකුලින් මෑත් වූ තරු එළියෙන් යන්තමින් දිළිසුණේ ය. එකවරම, සිය දෑත් ගැට ගසා ඇති රැහැණ කැපී යනු තරුණියට දැණුනි.

මාරක හූ හඬකින් හාත්පස හෙල්ලුම් කෑවේ එක් වරම ය....

එක් ‌මොහොතකට තරුණියත්, ඇගේ ගැළවුම්කාරයාත් ගල් ගැසුණහ. කුමාරිහාමි සිහි එළවාගැනීමට තැත් කරද්දී ම, ඇගේ ‌දෙපා ගැටගසන ලද වර පට ද මුවහත් ආයුධයෙන් කැපී ගියේ ය.

දෙ වන හූ හඬ ඇසෙද්දී, අබිරහස් අමුත්තා තරුණියගේ බඳ වටා ‌වට කිහිපයක් ‌වෙළා තිබූූන රැහැන්පට ඉතා කඩිසරව කපමින් සිටියේ ය. ‌වෙහෙසින් සහ බියෙන් අප්‍රාණික වූ රූමතිය පසෙකට ඇල වී යද්දී, අන්තිම රැහැන් පටත් සිඳි අමුත්තා, ඈ වත්තන් කරගැනීමට යුහුසුළු විය. ඔහුගේ අත්‌ලේ ‌ගොරෝසු බවත්, දෑතේ අයෝමය ශක්තියත් කුමාරිහාමි ට දැනුණේ ය.

තෙවන හූ හඬ නැගුනේ ඉතාම ආසන්නයෙනි. ඒ සමඟම, අඩි තුනක් පමණ උසැති, වළසෙකු බඳු රුවක් වනරොදින් මෑත් ව එළිමහන් බිමෙහි ‌දෙපයින් සිටගත්තේ ය. එකෙණෙහි ම, වධක කණුව මුදුනේ වූ විළක්කුව ගිණි පුපුරු නඟමින්, නැවතත් දීප්තිමත්ව ඇවිළෙන්නට පටන් ගති.

තරුණියට ඉතා සැළකිල්ලෙන් හා ප්‍රවේසමෙන් කණුව පිටුපස බිම වැතිරෙන්නට සැළැස්වූ ආගන්තුකයා, නැඟිට සිය ආයුධය ද අමෝරාගෙන ඉදිරියට ආවේ ය. විළක්කුවේ එළියෙන් ඔහුගේ සුදුවන් උසැති සිරුරත්, පිට මතට වැටුණු රන්වන් ‌කෙස් කළඹත් දුටු තරුණිය එකෙණෙහිම ඔහු හැඳින ගත්තා ය. ‌ඇඩම් - සැබැවින්ම ඒ ඔහු විය - සැරසී සිටියේ ඉණෙහි වූ රෙදි කඩකින් පමණි. ඔහුගේ සුරතේ වූයේ සම්මානිත කඩුපතකි, අද්මිරාල් ධූරයට ලද උසස් වීම සමඟ පිරිනැමුණු සංකේතාත්මක කඩුපත... එය තමා සන්තකයේ ම තබාගැනීමට සිංහලේ රජු ගෙන් ඉල්ලූ විදේශික රැඳවියාහට, එය කිසිදු ආකාරයේ ප්‍රචණ්ඩ කටයුත්තක යොදා නොගන්නා බවට ඉතා ගාම්භීර දිවුරුමක් දීමට සිදු විය.

විදේශික රැඳවියා තමන් මුහුණ පා සිටි‌යේ මනුෂ්‍යයෙකුට නම් ‌නොවන බව දුටුවේ ය. පිරුණු රවුම් මුහුණ පුරා පැතිරුණු කුරිරු බැල්ම, ඒ පිට වැටී අවුල් වූ ‌හැඩපලු ‌ගෙතුනු කෙහෙ රැළිවලින් යන්තමින් වැසුණේ ය. ඉතා ‌කෙටි දෑත් හා ‌දෙපය ඉතා පුෂ්ටිමත් විය. දුඹුරුවන් ‌කෙටි වස්ත්‍රයකින් ඔහුගේ යටිකය වැසී තිබුණු අතර, උඩුක‌යෙහි වූයේ පුන නූලක් පමණි. ‌මේ සියල්ලටම කලින් අද්මිරාල් ඇන්ඩර්සන් දුටුවේ සතුරාගේ දෑතෙහි වූ ශ්‍රී වත්සය සහ ‌කෙටි කඩුව ය.

තත්ත්වය තමන් සිතා සිටි තරම් ලඝු ‌නොවන බව ‌නාවුකයා ට තේරුම් ගිය ද, දැන් ප්‍රමාද වැඩි ය. ඔහු සුරතින් තරයේ කඩුමිට අල්ලාගෙන කඩුපත ‌දෙතුන් විටක් කරකවමින් එහි සැහැල්ලුවත්, සුහුරුව හැසිරවිය හැකි බවත් මැන ගත්තේ ය. පිටිය මැද ට පිය නැගූ ‌හෙතෙම, සිය ‌දෙපා සෘජු කෝණිකව සුඛනම්‍ය පරතරයකින් තබාගෙන, සුරත පිටුපසට ඇද වැළමිටින් නවා, සිය හිස ට පිටුපසින් ‌පොළ‌ොවට සමාන්තරව කඩුව තබා ගනිමින්, වමත ඉදිරියට ‌යොමු කරමින් ඉදිරියට නැඹුරු වූයේ ය. එම ඉරියවුව ඔහුට ඉතා හුරු පුරුදු විය. මුහුදු කොල්ලකාරයන් සමඟ කරන ලද ගිණිය නොහැකි තරම් වූ සටන් වලදී, පැද්දෙන නැව් තට්ටුව මත සමතුළිතව සිටීමට දෙපය එකකට එකක් සෘජු කෝණිකව තබා ගැනීමට ඔහු හුරුව සිටියේ ය. රැඳවියෙකු ලෙස සිටි කාලය තුළ නොලද ත්‍රාසජනක අවස්ථාව ඉතා මැනැවින් රසවිඳීමට ඔහු ඉටා ගති.
 
http://www.route2.org/10-1/damsel-in-distress

එසැණින් ‌කෝපයෙන් වියරු වූ බව සියලු ඉරියව්වලින් මොනවට පළ කරමින් බහිරවයා ඇඩම් ‌වෙත දිව ආයේ ය. අමනුෂ්‍යයා ‌මෙන් ‌දෙගුණයක් ඔහුගේ ප්‍රතිවාදියා උස් වූව ද, එහි අමුතු වාසියක් නාවිකයා ට ‌නොවී ය. පියවර ‌දෙක තුනක් තබා අහසට පැන්න බහිරවයා, සිය සතුරා හට හට දෑතින්ම පහර එල්ල කළේ ය. සිය දකුණැළය ට පහත් වූ ඇඩම් එල්ල වූ කඩු පහර ‌ලේසියෙන් වළකා හරිමින්, ශ්‍රී වත්සය ගත් අමනුෂ්‍යයාගේ වමතට සිය කඩුවෙන් තද පහරක් දුන්නේ ය. එසැණින් පියවර මාරු කරමින් අඩ කවාකාරව හරහට පැන යමින් කරකැවී අර්ධ සමනල පා පහරක් බහිරවයාගේ මුහුණට දීමට ඔහුට හැකි විය.

ඒ ප්‍රහාරයන් ‌දෙකෙන් ස-උල් ආයුධය අමනුෂ්‍යයාගේ අතින් ගිළිහී ‌ගොස්,  ඔහු අඩි කිහිපයක් පිටුපසට වැටෙනු අද්මිරාල් දුටුවේ ය. එවිගස බහිරවයා කඩුව වනමින් ආපිට නැගිට පැන්නේ ය. එතරම් ක්ෂණික පියවරක්  අපේක්ෂා ‌නොකළ ඇඩම් ‌ගේ, වම් පාදයේ වූ අබලන් උස් සපත්තුවෙහි සම කපාගෙන සතුරාගේ කඩු පහර ඔහුගේ ‌කෙණ්ඩය ට වැදුණේ ය. සිය හිතවතාට වැදුණු පහරින් තරුණියට කෑගැසුණි. ඈ දෑත් ගුළිකර සිය පපුවට තද කර‌ ‌ගනිමින්, සිය හැඟීම් සමනය කරගන්නට තැත් කළා ය.

සිය ප්‍රතිවාදියා ‌ගේ ‌වේගය අඩාල වූ බව දුටු වාමනයා, නැවතත් කඩුපත අමෝරාගෙන අහසට පැන්නේ ය. සිහි එළවා ගත් අද්මිරාල් අහකට පැන කඩුපහර වළකාගනිමින්, සිය කඩුපත අත් ‌නොහැර දෑත මිට ‌මොළවා, නිදහසේ පහතට වැටෙන අමනුෂ්‍යයාගේ ඉළ ‌පෙදෙසට බරැති මුෂ්ටි ප්‍රහාරයක් දුන්නේ ය.

කන් බිහිරි කරවනසුළු තියුණු හඬක් යටි ගිරියෙන් පිටකරමින් බහිරවයා ආපසු ද නැගිට පැන්නේ ය. කෙතරම් පහර කෑවද අමනුෂ්‍යයා ‌වෙහෙසට පත්වූයේ ඉතා ‌සෙමිනි. ඊට සාපේක්ෂව; කඨෝර අවස්ථාවන්ට මුහුණ පා පළපුරුදු, රණශූර‌යෙකු වූ නෝවීජියානුුුුවා ඉක්මණින් ‌වෙහෙසට පත්විය. අග්‍රිප්පා, විජියානි හා තිබෝ වෙතින් උගත් මධ්‍ය යුරෝපීය විචිත්‍ර කඩු සටන් ශෛලීන් මේ දිවයිනේ දී තමන්ට උපකාර නොවන බව දැනෙද්දී ඔහු සෑහෙන තරම් විඩාවට පත්ව සිටියේ ය. බහිරවයා පහර දුන්නේ සිය සිරුරේ ශක්තිය ද කඩු පහරේ බරට මුසු කරමිනි. ඊට මුහුණ දීමට පැරණි නෝඩික් ජාතිකයන් භාවිත කළ බරැති කඩුවක් සහ ඊට අනන්‍ය ශක්තිමත් රළු ප්‍රහාර ශෛලිය අවශ්‍ය විය.

ඔහු දිගින් දිගටම අමනුෂ්‍යයාගේ පහර වළකමින් දක්ෂ ‌ලෙස පහර දුන්න ද, වම් පාදයේ තුවාලයෙන් නැගී එන ‌වේදනාවෙන් ද, සටනේ ‌වෙහෙසින් ද එන්න එන්නම දුර්වල වී යන බව තරුණිය දුටුවා ය. ඈ කණුව අල්ලාගෙන නැගිට ගත්තී, තම හිතවතා හට සහාය වීමට ‌පොටක් බැලුවා ය.

ඊළඟ වාරයේ බහිරවයා අහසට පැන කඩුපහර එල්ල කළේ ඇඩම්ගේ ‌ගෙළ ‌පෙදෙසට ය. දණින් නැවී ඒ කඩු පහරට නිදැල්ලේ යන්නට ඉඩ හළ නාවිකයා නැවත ද බර මුෂ්ටි පහරක් වාමනයාගේ මුහුණට එල්ල කරන්නට තැත් ක‌ෙළේ ය. එහෙත් අමනුෂ්‍යයා ඊට වඩා ‌වේගවත් විය. ඔහුගේ වමතට හසුවූ අද්මිරාල්ගේ දකුණත සැණෙකින් නැවී එහි වූ කඩුපතෙහි තුඩ ඇඩම්ගේ පපුව විනිවිද යැවුණේ ය. කුමාරිහාමිගේ විළාපය මැද, නාවුකයා අප්‍රාණික ‌වෙමින් බිම ඇද වැටුණේ ය. ඔහුගේ පපුවෙන් උණු ලේ දහරක් උඩට විදුණි.

තරුණිය සිටි තැනින් මෑත් වී සිය හිතවතා වැටුණු තැනට ‌වෙවුලන දෙපයින් පියනගා එද්දී, බහිරවයා ‌ගොදුර ‌වෙත සිය ‌කෙටි ‌දෙපයින් දිව ආයේ ය.

පියවී යන ඇස් පිය අතරින් ඔහු එක් මොහොතකට නීල්සන් හා රෝල්ෆ් තමන් වෙත නැඹුරු ව සිටිනු දුටු බව සිතී ය. කැරීබියානු රම් බිඳිත්තක රස උගුරට දැනෙමින් නොදැනෙමින්... සිය දෑස් අඳුරු වී යනු ස්කැන්ඩිනේවියානුවා ට හැඟුණි.  එහෙත් සැනෙකින් ඒ අඳුර පහව යමින් ඉතා දීප්තිමත් ආලෝකයක් ඔහුගේ දෑස් ‌මොහොතකට අඳ කළේ ය.

දීප්තිමත් එළිය ‌පහළ වූයේ වාමනයාත්, ඔහුගේ ‌ගොදුරත් අතර මැද ය. එය මො‌හොතකින් වියැකී යද්දී එහි ඉතිරි වූයේ සුදුවන් වස්ත්‍රයෙන් සැරසුණු පුෂ්ටිමත් තරුණ පුරුෂයෙකි. ඔහු නැවී, ඇඩම්ගේ පපු‌වේ ගිළි තිබූ අසිපත ඇද ‌ගෙන, බහිරවයා ‌වෙත පැන්නේ අතිමානුෂික ‌වේගයකිනි. ඔහු එල්ලකළ එකම පහරකින් බහිරවයා ‌ගේ හිස කැපී වැටුණේ ය.

සිදුවූ සියල්ලෙන් ව්‍යාකූල වූ තරුණිය ඇඩම්ගේ පසෙකින් විසඥව වැටුණා ය.

--------------------------------------------

දිය පහරක සිරි සිරියෙන් ද, ගතට දැණුනු ‌සෞම්‍ය මඳ උණුසුමෙන් ද, තරුණිය පිබිදුනා ය. දිය පහරේ හඬින් ඇගේ සිත තුළ ඇති වූයේ සිහිල් සුවපහසු හැඟීම කි. මඳින් මඳ ඇය පියවි සිහියට එත්ම, සිය සිරුරේ සෑම ‌කොටසකින් ම නැඟුනු ‌වේදනාව ඇයට දැනෙන්නට විය. ඇගේ හදවත ඊටත් වඩා පීඩාවට පත් වූයේ, තම ජිවිතය ‌බේරාගැනීමට විදේශිකයාගේ ජීවිතය කැප වුණු බව සිහිපත් වූ විට ය.

දෑස් හැරි ඇයට ‌සෞම්‍යව පැතිරුණු පන්දම් එළියකින් සිය වටපිටාව දැක ගත හැකි විය. ඈ වැතිර සිටියේ ගල් තලාවක් මත බව ඈ දුටුවා ය. ඒ, කුඩා ගල් ‌ලෙණක බිම ය. ඇගේ වම් පසින් ගුහාවේ ඇතුළට වන්නට ඇඩම් ‌ගේ සිරුර වැතිර තිබුණි. ඒ ‌වෙත නැඹුරුව සිටියේ, ඔවුන් බහිරවයාගෙන් ගළවා ගත් ආගන්තුකයා බව ඈ හඳුනා ගත්තා ය.

"ඔබතුමා.... කවුද?" කුමාරිහාමි පැකිළෙමින් සිහින් හඬින් ඇසුවා ය. ඈ ‌දෙස බැලූ අමුත්තා සිය ‌දෙතොල් මත සුරතෙහි දබරැඟිල්ල තබා නිහඬවන ‌ලෙස සන් කළේ ය.

ඔහුගේ දිගැති මුහුණ, කළුවන් ඇස්, රන්වන් සම, තද කළු පැහැති ‌කෙස්, හිස වටා ‌වෙළුණු ජටාව, එහි ඉදිරිපස වූ ඉතා කුඩා ධ්‍යානී බුදු රුව.... ඒ ඉතා රූමත් සහ සුඛනම්‍ය සිරුරකින් යුත් තරුණයෙක් බව ඈ එක් බැල්මකින් දුටුවා ය.

ඇඩම් ‌ගෙන් මෑත් ව නැගිට ගත් තරුණයා, ඇය ‌වෙත ආවේ ය. ඔහු තමා ළඟට එත්ම, කස්තුරි වැනි සුවඳක් තරුණිය ට දැණින. ඇය ළඟින් වීරාසනයෙන් වාඩි වූ ඔහු සිය සුරතින් ඇගේ උරහිස වාරු කරගනිමින්, ඇයට වාඩිවිමට උදව් කළේ ය. ඒ දෑ‌තෙහි සියුමැලි බවත්, ග්‍රහණයෙහි මෘදු බවත් තරුණියට දැනුණි. අමුත්තාගේ වමතේ ‌පළල් ‌කොළයකින් තැනුණු ‌ගොටුවක් විය. එය ඇගේ ‌දෙතොලට ලං කරද්දී, ඇය සිය විසල් දෑස් විහිදා තරුණයා ‌‌දෙස බැලුවා ය. ඔහු සිය හිස යන්තම් ‌පහත් කර, එය පානය කරන ‌ලෙසට සන් කළේ ය. දෑස් පියාගත් කුමාරිහාමි සිය ‌දෙතොළට ළං කළ ‌කොළ ‌ගොටුවේ වූ දියරය බීවා ය. ඈ දැන සිටි ‌ඖෂධ අතරින් ඒ දියරය සමාන වූයේ පිරිසිදු වතුරට මුසු කළ මී පැණිවල රසටය.

මඳින් මද තම සියොළඟ පැතිර තිබූ ‌වේදනාවන් පහව යනු දැනෙද්දී තරුණිය නැවතත් ගල් තලාව මත වැතිරුණා ය.

"වෙම් එර් යේයි" සිහින් කෙඳිරුමක් ඇසී නැවතත් ඇස් ඇර බැලූූ ඈ දුටුවේ අමුත්තාගේ අතෙහි වාරුවෙන් ‌කෙළින් වී ගල් තලාව මත වාඩිවී සිටි ඇඩම් ය. ඔහුගේ පපුවෙන් ගළමින් පැවති ‌ලේ දහර නතර වි, එහි වූ තුවාලය ‌සෙමෙන් ‌සෙමෙන් කුඩා ‌වෙමින් ‌ගොස්, නැත්තටම නැති වී ගියේ ය.

------------------------------------------------------

23 comments:

  1. ඉවර නැහැනේ?

    මේ වගේම ඉක්මනින් ඉතිරි කොටසත් ලියන්න. ගෙදරනේ ඉන්නෙත්....

    ReplyDelete
    Replies
    1. මම උත්සාහ කරන්නං නිදි. නිදි වර්ජිතව ඒක හුස්මට ලියන්නෙ, ආවේෂයෙන් වගේ. ඊට පස්සෙ පැත්ත පළාතෙ බලන් නැතුව ටික දවසක් ඉඳලා, එඩිට් කරනව. ගෙදරදි අමාරුයි ඔය වැඩේ. පොඩි එක්කෙනා පස්සෙන්මයි හැම තිස්සෙම. ඔපිස් එකේදිි සමහර දවස්වලට ඉස්පාසුවක් ලැබෙනව.

      ඒක නෙමෙයි, අර තිමති වීරරත්නගෙ ෆිල්ම් එක මොකද්ද?

      Delete
  2. බහිරවයා විදිහට එන්නෙ දේවාලෙ පූසාරියා කියලනෙ කලින් අහල තිබ්බෙ. මේ යන විදිහ හොඳා. ඔහොම යං.

    -බකුස්-

    ReplyDelete
    Replies
    1. ඒක ඔරිජිනල් කතාවනෙ බකුස්.... මේක ෆික්ෂන්. මම ඒකමයි කපුමහත්තය ගැන පොඩ්ඩක් වැඩිපුර සඳහන් කළෙත්. එතකොට කියවන්නා වෙන පාරක යනව....

      Delete
    2. :). Nice plot twist.

      -බකුස්-

      Delete
    3. හැක් හැක්....

      BTW, Nice to see you in the old profile.

      Delete
  3. එල එල. මේ වගේ පුරාන බහිරව කතා කියවන්න මම හරි ආසයි . වැඩිය හොයා ගන්න නැහැනේ ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මාත් මනාපයි ඔව්වට. හොයාගන්ඩ නැති දේවල් මම හදාගන්නව....

      Delete
  4. එල ද බ්‍රා ..පරන ටික කියවන්නම්

    ReplyDelete
    Replies
    1. ඉඳපං මං කතන්දරයක් ලියන්නං ඊළඟ පාර, බාගෙට ලියල තියෙන්නෙ....

      Delete
  5. ***************
    විචාරක දියණිය

    ReplyDelete
  6. අහල තියන, හිතාගෙන හිටි විදියට වඩා වෙනස් උනා. දැන් ඉතිං ඉක්මනට ඊළඟ කොටහත් දාන්න. මේක අර කාලෙකට කලින් (2013) කතුවරී බ්ලොග් එකේ කතාව දැම්ම වගේ.

    ReplyDelete
    Replies
    1. අටවෙනි කොටස ලිව්ව. හැබැයි සැටිස් නෑ. ආපහු ලියනව.

      අර කතුවරී බ්ලොග් එකේ කතාව මොකද්ද? ලිංක් එකක් දෙන්ඩකො.

      Delete
  7. kalin ahala thibba ekata wadaa meka hodayi ne. ikamanata eelaga ekka danna draki ayiyaa..

    ReplyDelete
    Replies
    1. ගල් ආඳි දැකපු කල්... කොහෙද ගිහිං හිටියෙ?

      Delete
  8. ෂා මරු ඈ කතාව... මම හිතුවා බහිරවයා ෂර්මයිල්ට ඇන්නට පස්සේ අනිත් මනුස්සයා කඩුව ආපහු ඇද්ද හැටියෙ ෂර්මයිල් මැරුනා තමා කියල...

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න තිබුණා. ඊට වඩා මොනවත් කියන්න බෑ මේ වෙලාවෙ...

      Delete
  9. මේක මග ඇරුනේ කොහොමද? මුලට ගිහින් බලලම එන්නං
    ++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. වෙල්කම් බෑක් කිව්ව....

      Delete
  10. බහිරව කන්දේ කතාව මේ වගේ නේද? නුවර කන්දකට බිල්ලක් ලෙස යවන කුමරිය ගැන

    ReplyDelete
    Replies
    1. http://www.saaravita.lk/travel/515719/%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%AF-%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A-%E0%B7%83%E0%B7%90%E0%B6%9F%E0%B7%80-%E0%B6%AD%E0%B7%92%E0%B6%B6

      Delete
    2. ඔව්. මේක ලිව්වෙ ඒ ඇත්ත කතාව ඇසුරු කරගෙන. දුනුවිල කුමාරිහාමි ගැන නෙ ඒ කතාව...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි