Sunday, September 20, 2020

අවසානයක් නොවේ - දහ තුන් වන කොටස...

පළවෙනි කොටස

තුන් වෙනි කොටස

දොළොස් වෙනි කොටස

"මම අර ක්‍යුනිං ගායනා කරපු තරුණිය ගෙ හඬ ඇහුණු දිහාවට යන්න පටන් ගත්තා. ගල් ගුහාව ඉදිරිපිට ලොකු තණ බිමක් තිබුණෙ. වටේටම කඳු වැටියකින් වට වෙලා. මම තව තවත් ඉදිරියට යනකොට, ඈත... සෑහෙන්න ඈත... දැවැන්ත විලක් තිබුණා. ඒ විල අයිනේ ගැමියන්ගෙ පැල්පත් ටිකකුත්, ගොවිපොලවලුුුුත්, දකින්න ලැබුණා. ඒ හැම දේකටම කලින් මම දැක්කෙ, මිටියාවතේ මැද්ද හරියෙ ගොඩැල්ලකට නැගගෙන ක්‍යුනිං ගායනා කරමින් හිටපු කෙට්ටු තරුණියක්..."

ඇඩම් එක් නිමේෂයකට නිහඬවූයේ ය. අතීතයේ සිදු වූ දේවල් නැවත ස්මරණය කිරීමත්, එය මනසින් විඳීමත්, නාඳුනන විදේශයක, අගන්තුකයන් දෙදෙනෙකු ඉදිරිපිටදී... සුදුසු නැති බව ඔහුට වැටහුුණුු බව පෙනුණි.

"කෙටියෙන් කියතොත්, මම ඒ මිටියාවතේ දි දැක්කෙ, මම හිටපු කාලයට වඩා අවුරුදු හාර සීයකට විතර කලින් තිබුණු සමාජයක්... ඒ කියන්නෙ මම කාලය හරහා අතීතයට ගෙනත් දාලා තිබුණා... සමහරවිට මම බ්‍රයිටන්ෆෙල්ඩ් සටනේ දි මිය යන්න තිබුණු කෙනෙක් නිසා, සුවපත් වුණාට පස්සෙ මම මගේම කාලයට ආපහු ඒම මඟින් මොනවා හරි රටාවක් වෙනස් වෙන්න තිබුණා වෙන්න පුළුවන් කියල මට පස්සෙ හිතුණා. මොකද, මාව ගෙනත් දාල තිබුණෙ එහෙම පිටින්ම ලෝකයෙන් හුදෙකලා වුණු මිටියාවතකට. විල ඇරුණු කොට අනික් හැම පැත්තෙන්ම තිබුණේ ඈතට ඈතට පැතිරුණු ගන කැළෑව. ඒ කැළෑවෙ ගස් මුදුන් වලට ඉහළින් බැලුවාම පෙනුනෙ බොහෝම ඈතින් පිහිටපු, හිමෙන් සුදු පාට වෙලා තිබුණු කඳුවැටි පේළියක්...

"ඒ ගැමි සමාජයට මාව භාරගත්තෙ සෑහෙන තරම් ප්‍රශ්න කිරීම් වලින් පස්සෙ. ගම පාලනය වුණේ වැඩිහිටියන් දහ දෙනෙකුගෙන් හැදුණු කමිටුවකින්. මම කියපු විස්තර ඒ අය මුලින් පිළිගත්‌තෙ නැතත්, මෙහෙදි වගේම මාව එක පවුලකට භාර දුන්නා. මම ඒ පවුලෙ ගොවිතැන්, දඩයම්, කටයුතුවලට උදව් වෙමින් ටික කාලයක් හිටියා. ටික කාලෙකට පස්සෙ, මම අර මුලින් ම දුටුව තරුණිය: ඉන්ග්‍රිඩ් මම විවාහ කරගත්තා. තුවක්කු වලින් සටන් කරපු සෙබළෙක් වෙලා හිටපු මම, දුන්න, ඊතල, පොරොව, හෙල්ල වගේ ආයුධවලින් දඩයම් කරන, හරකුන් බලාගන්න සාමාන්‍ය ගැමි මනුස්සයෙකුගේ ජීවිත කාලයක් ඒ ගමේ ගත කළා... මගෙ භාර්යාව මිය යන තුරු ම..."

දෑස් පියාගත් ස්කැන්ඩිනේවියානුවා හිස පහත් කරගෙන මඳ වේලාවක් ගත කළේ ය. අවුරුදු හාර සියයක් ගත වීත්, අතීත මතකයන් තවමත් ඔහු හැර ගොස් නැති බව ස්වදේශිකයන් දෙදෙනාට පෙනුණි... 

ඇඩම් නැවත හිස ඔසවන විට ඔහුගේ මුහුණ ඇදී ගොස් තිබුණේ ය. "මම අන්තිමේ තීරණය කළා ඒ ප්‍රදේශයෙන් පිට වෙන්න. ඒ වෙනකොට මම එහෙට ඇවිත් අවුරුදු හැටක්... ඒත් මගෙ සිරුර වයසට ගියෙ නෑ. දඩයම් කරද්දි, ගොවිතැන් කරද්දි, මුල් කාලෙ ගැමියො සමහරෙක් එක්ක රණ්ඩු කරද්දි, මට ඇතිවුණු ‍‍තුවාල ඉතාම ඉක්මණින් සුවපත්වුණා. අත පය කැඩුණු අවස්ථා පවා තිබුණා. ඒත් ඒවත් දවසක් ගතවෙන්න කලින් සනීප වුණා. 

"ඉතින් ඒ ගම වටේ තිබුණු ගන කැළෑවෙදි, එහෙම නැත්නම් කඳු වැටියෙදි, මට අනතුරක් වුණත් මගේ ගමන් වේගය අඩු වෙනවා මිසක්, මගෙ ගමන නවතින්නෙ නෑ. ඒ ගමට මාව බැඳ තිබුණු එකම බැඳීම ඉන්ග්‍රිඩ් විතරයි. නමේ අර්ථයෙන්ම එයා සුන්දර ගැහැණියක්, බාහිරින් වගේම හදවතිනුත්..."

"ඔබට දරුවො හිටියෙ නෑ?" මිත්‍ර ඇසී ය.

"නෑ. මට හිතෙන්නෙ ඒකත් අර ලෝකී ගෙ බෙහෙතෙ අතුරුඵලයක්... මොකද මට ඊට පස්සෙ කවදාවත් දරුවෙක් ලබන්න පුළුවන් වුනේ නෑ. 

"ඉතින් මම ඉන්ග්‍රිඩ් ආදාහණය කරපු දාට පහුවෙනිදා උදෙන්ම පිටත්වුණා. මම ගෙනිච්චෙ දඩයමක් කරගන්න ආයුධ ටිකක් විතරයි. කැළෑව පහුකරන්න මට දවස් හතරක් ගත වුණා. කඳුවැටිය මැදක් දුර නගිද්දි සීතලට මිදුණු පිනි එහෙමත් නැත්නම් හිම හමුවුණා. හිම ගොඩේ ලෙස්සමින් ඉතාම අමාරුවෙන් සතියක් විතර ගමන් කරලා මම කඳුයායෙන් අනික් පැත්තට යාගත්තා. එතනිනුත් සති දෙක තුනක් පයින්ම ගාටලා තමයි ආපහු ශිෂ්ට ලෝකයට ආවෙ.

"ඉතින් ඒක තමයි මගෙ කතාව... ඉතාම කෙටියෙන්. මම මේ වෙනකොට අවුරුදු හාරසිය හැටක් විතර ජීවත් වෙලා තියෙනව. ඉතාම මාරාන්තික තුවාල සෑහෙන තරමක් ලබලා තියෙනවා. ඒ එකකවත් කැළලක්වත් ඉතුරු වුණේ නෑ. සමහර වෙලාවට මට හිතෙනවා මේක මහ ශාපයක් කියලා. සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවිත කාලයක් ගත කරලා මැරිලා යන්න තියෙනව නම්, අපි ප්‍රිය කරන මනුස්සයන්ගේ වෙන්වීම් මේ තරම් දරාගන්න සිද්ධ වෙන්නෙ නෑ. නමුත් මම මටම කියාගන්නවා මට මේ ලැබිල තියෙන්නෙ තෑග්ගක්. ලෝකි මේ තෑග්ග මට දුන්නෙ යම් කිසි කාර්යයක් ඉෂ්ට කරගන්න. ඒක මම තවම ඉටු කරලා දිලා නෑ. සමහරවිට ඒක ඉටු කළාම මට ආපහු පරණ තත්ත්වයට යන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් ඒ කාර්යයෙ ප්‍රතිඵල මටත් භුක්ති විඳින්න පුළුවන් වෙයි..."

"මොකක්ද ලෝකි ගෙ අරමුණ වෙන්න ඇත්තෙ?" සුමන විමසීය.

"මට ඒ ගැන කිසිම හෝඩුවාවක් මේ වෙන තුරු ලැබිලා නෑ."

"ඔබ හිතනවද, අවුරුදු හාරසීයක් තිස්සෙ දෙවියෙක් බලාගෙන ඉඳියි කියලා? එහෙම නැත්නම් ලෝකී ඒ වෙලාවෙ කරපු දේ ප්‍රතිඵලය අවුරුදු හාරසීයක් හෝ ඊට වැඩි කාලයක් ඉදිරියට අපේක්ෂා කරයි කියලා...?"

"මිත්‍ර, ඒ ගැන දැනුමක් ඩ්‍රේක් තුළ තියෙන්න විදිහක් නෑ. එහෙම නේද?" සුමන ගේ ප්‍රශ්නය ට මිත්‍ර, එකඟ වන බව ඟවමින් හිස වැනී ය. 

"අපි ඔබගේ කතාව අසමින් තව කොපමණ වෙලාවක් වුණත් ඉන්න ආසයි." සුමන කීය. "ඒත් අප දැන් යා යුතුයි. වෙද මුදළි තුමා ඔබත් කැටුව යන්නට බලාගෙන ඇති. අපි ආපහු ඔබ කැඳවන දවසෙදි ඔබගෙන් අපි අපේක්ෂා කරන මෙහෙවර ගැන ඔබට කියන්නම්. එහෙනම්..." සුමන සහ මිත්‍ර නැගිට දෑත් එකතු කොට අද්මිරාල් වෙත ආචාර කළහ. "ආයු‌බෝවන්!"

ඇඩම් සමාචාර කරද්දී, ටිකිරි බණ්ඩාර සහ ධනසේකර මුදලිතුමා ‌එතැනට ආහ.

--------------------------------

ඝනව වැඩුණු කේතුධර වනාන්තරය පසුකරගෙන ඇඩම් (ඩ්‍රේක්) ඇන්ඩර්සන් කඳු මුදුන ඉළක්ක කරගනිමින් ඉහළට දුවමින් සිටියේ ය. පසුපසින් දිව එන වෘකයන්ගේ හතිළෑම් හඬ පියවරක් පියවරක් පාසා තමන්ට ළං වන බව ඔහුට ඇසුණි. බෑවුම් සහිත භූමියේ තැන තැන පිහිටි ගල් කුට්ටි සහ පඳුරු මතින් පනිමින් ඒකාකාරී වේගයෙන් දිව ගිය ඇඩම් කන්දේ මැද හරියේ පිහිටි ගල් පොත්ත මතට නැගගත්තේ ය. එසැණින් ඔහු ආපසු හැරුණේ උරයේ එල්ලාගෙන සිටි දුන්න පන්නා වමතට ගනිමිනි. හියොවුරෙන් හීයක් ඇදගෙන දුන්නෙහි රඳවා කණ දක්වා ඇදගනිමින් ඩ්‍රේක් තමන්ට ළඟින්ම පහතින් සිටි වෘකයා ඉළක්ක කොට මුදා හළේ ය. කෙඳිරියක් නගමින් ඊතල පහර කෑ මෘගයා පහළට පෙරළී ගියේ, උගේ පසුපසින් දුවගෙන ඒමින් සිටි සහචරයන් කිහිප දෙනෙකු බිම වට්ටවමිනි. පිට පිට ඊතළ තුන හතරක් ම මෙසේ විදින්නට සමත් වූ ඇඩම් දුන්න අත් නොහැර ආපසු හැරී කඳු මුදුනට දුවන්නට ගත්තේ, වෘක රැළ තව තවත් ළං වනු දැකීමෙනි.  ඔහු පසුපස හැරී බැලුවේ එක් වරකි. එසැණින් ගුවනට මුදාහැරුණු ඊතල රැසක්, තම හිසට ඉහළින් සිවුරුහඬලමින් ඇදී ගොස් වෘකයන්ගේ ඇඟෙහි වදිනුු ඩ්‍රේක් දුටුවේය. වෘකයන්ගේ විළාප හඬ කඳුකරය පුරා රැව් නැඟුණි. 

බිම අඩ දණින් වැටුණු ඇඩම් හති ලෑවේ ය. තම මුහුණ කෙලින් පහත් වූ ගැහැණු අතක්... බීම පිරවුණු සම් මල්ලක් අල්ලාගෙන සිටි ගැහැණු අතක්... ඔහු හිස ඔසවා බලද්දී, දුටුවේ සුන්දර සිනහවක් රැඳුණු තරුණියකගේ මුහුණකි. දුන්න වමතින් අත නොහළ ඇඩම්, දකුණත දිගු කර සම් මල්ල අල්ලා ගත්තේ ය. එය මුවට ළං කරද්දී ඉන් නැඟුනු මීපැණි සහ කුළු බඩුවල සුවඳින් පමණක් හෙතෙම සෑහෙන තරමට ප්‍රකෘතිමත් විය. දෙතොලින් ඇතුල් වී දිව තෙමාගෙන උගුර හරහා ගළා ගිය මීඩ් පානයේ රසය ඔහු දෑස් පියාගෙන වින්දේ ය.

https://shadow-of-dc.fandom.com/wiki/Frigg_Freydottir?file=Received_10156728354023714.jpeg

ඔහු නැවත දෑස් විවර කරද්දී, තරුණිය තමා ඉදිරිපිට තණපත් මත වාඩිවී සිටිනු දුටුවේ ය. 

"නුඹට මේ මිටියාවතෙන් පිට වීමට උවමනා බව මම දන්නවා..." ඇය ඉතා පහත් හඬින් මිමිණුවා ය. "...මම ඇස්ගාඩ් සිට මෙහි ආවේ නුඹට උපකාර කිරීමටයි."

"ඇස්ගාඩ්?" 

"ඔව්. වික්‍රමාන්විත ක්‍රියා, දේශ ගවේෂණ, ආදී නොයෙක් දේ නුඹගේ ඉදිරි ජීවිත කාලයේ දී හමු වේ වි. නුඹට ලෝකී ලබා දුන් බලය නිසා ඒ සියල්ලට නිර්භීතව, මුහුණ දෙන්නට සහ ඒ වික්‍රමයන් රසවිඳින්නට නුඹට හැකියි. ඒ සියලු දේ අතර, නුඹ ගේ ඉළක්කය විය යුත්තේ අමරණීයත්වය..."

තිගැස්සී අවදි වූ ඇඩම් වටපිට බැලී ය. හාත්පස පැතිරි සීතල දැනුණ ද, ඔහු සිටියේ දහදිියෙන් තෙත්වූ ගතිනි.

මීළඟ කොටස ...

Sunday, August 23, 2020

අවසානයක් නොවේ - දොළොස්වෙනි කොටස

පළවෙනි කොටස

තුන් වෙනි කොටස


එකොළොස් වෙනි කොටස


"...'හෙලවෙන්න, ඇස් අරින්න එපා දැන්ම...' ඒ වචන තමයි මම සෑහෙන කාලයකින් අහපු මිහිරිම ශබ්දය විදිහට මට මතක තියෙන්නෙ. ඒ වචන කිව්වෙ සැක්සන් තරුණියක් බව මට ඒ කටහඬේ උච්ඡාරණ විලාසයෙන් තේරුණා. එහෙම කියද්දි එයාගෙ හුස්ම මගෙ කන් පෙත්තට දැණුනා. ඒ එක්කම සියුමැළි අතකින් දිග කෙට්ටු ඇඟිලිවලින් මගෙ දකුණු අතේ ඇඟිලි අල්ලගන්නවා මට දැණුනා. ඒ අතේ මෘදු බවත්, උණුසුම් බවත් එක්ක මට පුදුමාකාර සැනසිලිමත් බවක් දැණුනා. ඒ එක්කම මට නින්ද ගියා.


"මම ඇහැරුණේ ඉතාම තියුණු ශබ්දයකින්. 'ස්කාඩී...!" කියන චවනය තප්පර කීපයක් දිගට ඇදලා, කෑගහන හඬ තමයි මට ඇහුණෙ. ඒ, මට කලින් වතාවෙ හෙලවෙන්න එපා කියපු තරුණියගෙ ම කටහඬ... මම හෙමින් පියවි සිහියට එද්දි ඉතාම තද පැණි රස සහ තිත්ත රස මිශ්‍ර වුණු දියරයක් මගෙ උගුර හරහා පහළට ගිය බව මට දැණුනා. ඒ වගේම මා ළඟ එතෙක් නැඹුරු වෙලා හිටපු ගැහැණු රුවක් වේගයෙන් එතනින් දුවපු බව ත් මට යන්තම් පෙනුණා.


"ඒ ගැහැණිය තව කීප දෙනෙක් එක්ක පොර බදන හඬත්, දිවියන් දෙන්නෙක් ගොරවන හඬත් ඊට පස්සෙ ඇහුණා. ඒ අතරෙ අර මුලින් මම කියපු සැක්සන් තරුණිය මා ළඟට ඇවිත් පහත් වෙලා මාව පරීක්ෂා කරන්න වුණා. එයා හිම වගේ සුදුයි... ලා නිල් ඇස් දෙකත් රෝස පාට තොල් දෙකත් ඇරුණහම. දිග සුදු පැහැති  කැරලි ගැසුණු හිස කෙස් ඇගේ මුහුණ දෙපැත්තෙන් පහලට එල්ලුණා. නළල දෙපැත්තෙන් ගොතපු කෙස් රොදවල් දෙකක් ඇගේ හිස පිටුපසට ඇදලා පටළවලා තිබුණා. එයාගෙ සුසුම්වල උණුසුම සහ ලා තෙත් බව පවා මගෙ මුහුණ මතට දැනෙන තරම්, ඈ මා වෙතට පහත් වුණා. එයා මගෙ තොල් අතරෙ ඇගේ ඇඟිලි  එහෙ මෙහෙ යවලා, මගෙ තොල්වල තැවරිලා තිබුණු දියරය ඇගේ ඇඟිලි තුඩුවල තවරා ගත්තා. ඊට පස්සෙ ඒ ඇඟිලි නහයට ළං කරලා බැලුවා.


"ඒ අතරෙ ගැහැණුන් තුන් දෙනෙක් තවත් ගැහැණියක් අල්ලගෙන එතනට ආවා. ඒ අය 'ෆ්‍රේයියා' කියලා අර සැක්සන් තරුණියට කතා කරද්දි, මට ඇතිවුණු හැඟීම විස්තර කරන්න අමාරුයි. මට මතක් වුණේ..."


"වානහයිම් හි ප්‍රධාන දෙවඟන?" මිත්‍ර ඇසීය. 


https://cdnb.artstation.com/p/assets/images/images/007/883/193/large/francesca-resta-freyja-nijiart.jpg?1509124926


"හරියටම හරි..." ඇඩම් විමතියට පත් වූව ද, ක්ෂණිකව පිළිතුරු දුනි. 


"...ප්‍රේමය, ලිංගිකත්වය, සශ්‍රීකත්වය, සේ-ඩර්, යුද්ධය සහ මරණය ඇගේ පරාසය... " මිත්‍ර ඇඩම් දෙස එක එල්ලේ බලමින් කීය. "නමුත් මොකද්ද 'සේ-ඩර්' කියන්නෙ?"


"ඒක ස්කැන්ඩිනේවියානු මායා අභිචාරයක්..." ඇඩම් කීය. "...එයින් අනාගතය දැනගන්න වගේම අනාගතය වෙනස් කරවන්නත් පුළුවන් කියල විශ්වාස කරනවා... ඒත්, ඔබ කොහොමද ඔය තොරතුරු දන්නෙ? නෝර්ඩික් ඇදහිලි සම්පූර්ණයෙන්ම වගේ යටපත් වෙලා ගියා මීට අවුරුදු හාරසීයකට විතර ඉස්සර." 


"අපි හැම ආකාරයකම දැනුම රැස් කරනවා ඩ්‍රේක්..." මිත්‍ර පිළිතුරු දුන්නේ ය. "අපට තොරතුරු ලැබෙන මාර්ග බොහොමයක් තියෙනවා. සංචාරකයන් සහ වෙළෙන්දන් එයින් එක ප්‍රධාන කොටසක්..."


"හරි... ඉතින් ඒ ඇය ම ද?" සුමන නැවත ඔවුන්ගේ කතා බහ ඇඩම් ගේ කතාව වෙත යොමු කළේ ය.


"ඔව්. මට ඒ බව තහවුරු වුණා ඊට පස්සෙ සිද්ධ වුණු දේවලින්." ඇඩම් නැවත කතාව පටන් ගත්තේ ය. "මම මේ වෙනකොට සෑහෙන තරම් ඉක්මණකින් ප්‍රකෘතිමත් වෙමින් ඉන්න බව මගෙ ඇඟට දැනෙමින් තිබුණා. කලින් ඇස් අරින්නවත්, සෙලවෙන්නවත් බැරුව හිටියට, මේ වෙද්දි මට ඔලුව උස්සලා අවට හොඳින් දැක බලාගන්න පුළුවන් කම තිබුණා. ඒ වගේම ඇලපතේ තිබුණු වෙඩි වැදුණු සිදුර, අර බහිරවයා මගේ පපුවෙ ඇතිකරපු තුවාලය ට වුණා වගේම, මාංශ පටක වලින් පිරෙමින් තිබුණු බව පෙනුණා. ඒත් මට ඒ ගැන පුදුම වෙමින් ගත කරන්න කාලයක් තිබුණෙ නෑ, ඒ අවට සිදු වෙමින් තිබුණු දේවල් අනුව.


"මම හිටියෙ අඩ අඳුරින් පිරුණු මහා ශාලාවක මැද හරියට වෙන්න ඇඳක් වගේ දෙයක. පිදුරු වගේ ඇඟට දැණුනු  දෙයක් ඒක මත අතුරලා තිබුණා. මගේ ඇඳුම් මොනවත් ඇඟේ තිබුණේ නෑ. ඉණෙන් පහල සියුම් සුදු රෙද්දක් පොරවලා තිබුණා. මම වගේම තවත් සිය ගණනක් ඒ අවට වැතිරවලා තියෙන හැටි මම දැක්කා. ඒ ශාලාවට එළිය ලැබුණේ, ඉතාම උසින් තනා තිබුණු පියස්සේ, තැන තැන තිබුණු රවුම් කවුලු වලින්. ශාලාවෙ සම දුරින් සිටුවපු, දැවැන්ත උස් කණු සිය ගණනක් ඒ පියස්ස දරාගෙන තිබුණා.


"ෆ්‍රේයියා අර ගැහැණුන් දෙසට හැරුණා. එතන කාන්තාවන් තුන් දෙනෙක් තවත් ස්ත්‍රියක් අල්ලාගෙන හිටියා. ඒ ස්ත්‍රිය බිම බලාගෙන හිටියෙ වරදක් කළ තැනැත්තියක් විදිහට. 'ස්කාඩි, නුඹ මොනවද මේ මනුෂ්‍යයට පෙව්වෙ? කවුද නුඹට එහෙම කරන්න කිව්වෙ?' ෆ්‍රේයියා ඉතාම පැහැදිලිව සහ කෙටියෙන් ඇහුවා.


"ස්කාඩි හිස ඔසවන්නේ නැතුව උත්තර දුන්නා. 'ලෝකි මට දුන්නෙ, ඇම්බ්‍රෝෂා...' 


"ෆ්‍රේයියා ආයෙත් අර බෙහෙත දැවටුණු ඇඟිලි නහයට ළං කරලා බැලුවා. ඊටපස්සෙ ඇගිලිතුඩු දිවේ අග යන්තම් ගාවලා, ඉතාම ඉක්මණින් අහකට කෙළ ගැහුවා. 'මේ ඇම්බ්‍රෝෂා නෙවෙයි.' ඇය කිව්වෙ තරමක වේගයෙන්. 'ඇත්ත කියනු!' ඇය ස්කාඩි දිහාවට අත දික්කරලා නියෝග කළා. 


" 'ලෝකි මට කිව්වෙ එහෙමයි.' ස්කාඩි හීන් හඬකින් කිව්වා. 


" 'ලෝකි කිව්වෙ නැද්ද ඇයි මේවා මේ මනුෂ්‍යයට දෙන්නෙ කියලා?' 


" 'මට ඔහු කිව්වෙ මෙච්චරයි. 'අපේ පැවැත්ම සෑහෙන කාලයක ඉඳන් අභියෝගයට ලක් වෙලා තියෙන්නෙ. මනුෂ්‍යයන් ලවා ඊට පිළියමක් සොයාගන්න පුළුවන්. ඒ සඳහා මේ අමරණීය බෙහෙත, ෆ්‍රේයියා එකතු කරගත් මරණයට ඉතාම ආසන්න මිනිහෙකුට දෙන්න' 


"ෆ්‍රේයියා ට කේන්ති ගිය බව පෙනුණේ, ඇය එක වරම අඩිය පොළොවෙ ගැහුව විදිහෙන්. 'ඇයි නුඹ මට ඒක කලින් නොකිව්වෙ? මම යුධ පිටියෙන් එකතු කරගන්න මිනිස්සු ගැන ඕඩින්වත් ප්‍රශ්න කරන්නෙ නෑ. ලෝකිට ඕනෙ නම් කපටි උපක්‍රම යොදන්න, ඒක ඇස්ගාඩියානුවන් එක්ක කරගන්න තිබුණා. මෙහෙට ඇඟිලි ගහන්නැතුව...' ඇය කියාගෙන කියාගෙන ගියා. ඇගේ ඇස්වලින් රතු පාටැති දියරයක්... සිහින් ඉරි දෙකක් වගේ කම්මුල් දිගේ පහළට ගළාගෙන ඇවිත්, නිකටෙන් පහළට වැටුණා. ඇය අර ගැහැණුන් තිදෙනාට සංඥා කළා ස්කාඩි එතනින් ඉවත් කරගෙන යන්න...



https://www.youtube.com/watch?v=qnkuBUAwfe0&list=PL13535B9A1EBA7856


"ෆ්‍රේයියා ඇගේ වමතින්, දකුනු අතේ මැද ඇඟිල්ලෙ තිබුණු මුද්දේ තිබුණු ලොකු මැණික් ගල ස්පර්ෂ කළා. එතකොට, ඒ මැණික් ගලේ මතුපිට, හරියටම පියනක් වගේ ගැළවිලා, වම් අතේ දබරැඟිල්ලේ රැඳුනා. එතනට ආ ගැහැණියක් මොනවා හරි දියරයක් තිබුණු කුසලානයක් ගෙනාවා. ෆ්‍රේයියා ඇගේ මුද්දේ මැණික් ගල ඒ කුසලානයට හරවලා වමතින් හෙමින් තට්ටු කළා. ඊ්ට පස්සෙ ඈ කුසලානය අතට අරගෙන මා ළඟට නැඹුරු වුණා.


" 'දැන් ඔබට ගොඩක් සුවයි.' ඇය හෙමින් කියන විට මට මීට කලින් දැනුණු සැනසිලිදායක බව දැනුණා. 'මේ බෙහෙත බොන්න. ලෝකී ඔබට දුන්න දියරයේ අයහපත් බලපෑම් මෙයින් වළකිනවා.' ඈ අර කුසලානය මගෙ තොල් මතට පහත් කළා. ඒකෙ අඩියේ දියර ටිකක් තිබුණා. මම ඒ දියරය බිව්වා. ඒවා උගුරින් පහළට යනවත් එක්කම මට සෑහෙන සැහැල්ලුවක් සහ ප්‍රබෝධමත් ගතියක් දැනුණා. ඒත් එක්කම මම ආපහු නින්දට වැටුණා.


" 'මේ මනුෂ්‍යයාට දීලා තියෙන්නෙ මොනවද, ඒකෙන් ඇතිවන ප්‍රතිඵල මොනවද, කියලා දැනගන්න තුරු මොහු වෙන් කර තබමු.' මට නින්ද යන්න කලින් ඇහුණු අන්තිම වචන ටික ඒ..."


ඇඩම් නිමේෂයක් හෝ දෙකක් නිහඬ ව යමක් මතක් කළේ ය. 


"ෆ්‍රේයියා සටන් බිමේදී මියයන සෙබළුන් ඕඩින් සමඟ බෙදා ගන්නවා කියා අසා තිබුණා." මිත්‍ර තවමත් ඇඩම් ගේ වමත තම ඇඟිලි තුඩින් අල්ලාගත් වන ම... "නමුත් ඈ ඔවුන් සුවපත් කරන බව මම දැන හිටියෙ නෑ."


"එහෙම විශ්වාසයක්, දැනීමක් අපෙත් තිබුණේ නෑ." ඇඩම් එකඟ විය. "මට හිතෙන්නෙ මම වේගයෙන් සුවපත් වුණේ ලෝකී ගේ බෙහෙතින්... මට සෙලවෙන්න, ඇස් අරින්න එපා කියලා ෆ්‍රේයියා මා මැරෙන තුරු... ඇගේ කාර්යය අවසාන කරගන්න බලා සිටියා කියලා මට දැනුණෙ. මගෙ ඉරණම හැටියට මම මැරෙන්න තිබුණෙ එතනදි වෙන්න ඇති.


"මම ආයෙත් අවදි වෙනකොට හිටියෙ හාත්පසින්ම වෙනස් තැනක... ගල් ගුහාවක. මම කලින් හිටපු ශාලාවෙදි මඳ උණුසුමක් දැණුනත්, මෙතනදි මට දැනුණෙ ලේ පවා කැටි ගැහෙන සීතලක්. මම වැතිරිලා හිටියෙ මැරුණු හිම වළහෙකුගෙ හමක් මත. මම යුද බිමේදි ඇඳගෙන හිටපු ඇඳුම මට අන්දවලා තිබුණා. ඒකෙ තැවරිලා තිබුණු ලේ, මඩ, වෙඩි බෙහෙත්, දූවිල්ල වගේ දේවල් සෝදලා, ඇඳුම පිරිසිදුවට තිබුණා. මගෙ කිණිස්ස, කඩුව, පිස්තෝලය පවා මා ළඟිින්ම බිම තියලා තිබුණා.


"මං පොඩ්ඩක් ඔලුව උස්සලා වට පිට බැලුවා. ලා රතු පාට හිරු රැස් ගල් ගුහාවෙ දොරකඩ ඉඳන් ඇතුළට ගළාගෙන එමින් තිබුණා. මට කිසිම කායික අපහසු ගතියක් දැනුණෙ නෑ. ඉතින් මං නැගිට්ටා.


"එතකොටම මට ඉතාම උස් ගැහැණු කටහඬකින් ගායනා කෙරුණු ක්‍යූනිං ගායනයක් ඇහෙන්න පටන් ගත්තා. ඒක මම එතෙක් අහල තිබුණු කිසිම ක්‍යුනිං එකකට වඩා සුන්දරයි. පොඩ්ඩක් හිතාගන්න..." ඇඩම් තෙත්ව දිළිසෙන දෑස්වලින් සුමන සහ මිත්‍ර ගේ දෑස් දෙස බැලීය. "...උදෙන්ම අවදි වුණු කුරුල්ලන්ගෙ නාදය... මඳ සුළඟට උස තණගස් සෙලවෙන හඬ... ඈත තැනිතලාවක් දිගේ ගස් අතරින් හමන සීතල සුළඟෙ නාදය... ඒ ශබ්ද එක්ක ලස්සනට මුසු වුණු තරුණියකගෙ තොල්වලින් පිට කෙරෙන, වචන නැති, විවිධ ලතාවන්ට හැරෙමින් නැගෙන හඬ...


"මම ඇස් පියාගෙන අහගෙන හිටියා. එක මොහ‌ොතකට මම පොඩි දරුවෙක් වෙලා උන්න අතීතයට ගියා. අපේ අම්මා, හරකුන් පාලනය කරන්න ඔය ක්‍යුනිං ගායනා කරන්න පුරුදු වෙලා හිටියා. මම අවදි වෙන්නෙ ඒ හඬට... හවස ගොවිපොලේ ඉඳලා තාත්තත්, සහෝදරයොත් එක්ක ගෙදර එන්න පිටත් වෙන්නෙත් අම්මා හවස ගායනා කරන ක්‍යුනිංවල හඬට...


"මම ගල් ගුහාවෙන් එළියට ආවා. මට තද ආසාවක් තිබුණා මේ ගායනය කරන කාන්තාව දැකගන්න. කටහඬේ හැටියටනම් ඇයට වයස අවුරුදු විස්සක්වත් නැති බව මට හිතුණා. 


"මම ගුහා දොරෙන් එළියට එනවත් එක්කම සෑහෙන ඉහලින් තටු ගහන ශබ්දයක් ඇහුණා. මම ඔලුව උස්සලා බලනකොට... ගල් ගුහාව තිබුණෙ කඳුයායක කොටසක් වුණු, ලොකු කන්දක් පාමුළ. ඒ කන්ද මුදුනේ ඉඳන් දැවැන්ත ෆැල්කන් කුරුල්ලෙක් ඈතට පියාඹා යනවා මම දැක්කා. ඒත් එක්කම මම දැක්කා, ඒ දිහාවටම... කන්දෙ ගස් අතරින් කළු දිවියන් දෙන්නෙකුත් දුවමින් හිටියා... ගොඩක් ඈත.


"ෆ්‍රේයියා ඔබ ගැන විමසිල්ලෙන් ඉඳලා...?" සුමන ඇසීය. "එයාගෙ ෆැල්කන් පිහාටුවලින් හැදුණු ලෝගුව යි, ඇගේ රථය අදින්න යෙදාගන්න දිවියන් දෙන්නයි වෙන්න ඇති ඒ දැක්කෙ?" 


"...ඔව් මටත් හිතෙනවා එහෙම." ඇඩම් එකඟ විය. "ඊට පස්සෙ සෑහෙන කාලයක් යනතුරුත්... ඈ මා ගැන විමසිල්ලෙන් හිටපු බවට ලකුණු තිබුණා


"මම අර ක්‍යුනිං ගායනා කරපු තරුණිය ගෙ හඬ ඇහුණු දිහාවට යන්න පටන් ගත්තා. ගල් ගුහාව ඉදිරිපිට ලොකු තණ බිමක් තිබුණෙ. වටේටම කඳු වැටියකින් වට වෙලා. මම තව තවත් ඉදිරියට යනකොට, ඈත... සෑහෙන්න ඈත... දැවැන්ත විලක් තිබුණා. ඒ විල අයිනේ ගැමියන්ගෙ පැල්පත් ටිකකුත්, ගොවිපොලවලුුුුත්, දකින්න ලැබුණා. ඒ හැම දේකටම කලින් මම දැක්කෙ, මිටියාවතේ මැද්ද හරියෙ ගොඩැල්ලකට නැගගෙන ක්‍යුනිං ගායනා කරමින් හිටපු කෙට්ටු තරුණියක්..."


උපුටා ගැනීම යොන්නා යින්ටොන් වෙතින්


දහ තුන් වන කොටස...

Monday, August 10, 2020

අවසානයක් නොවේ - එකොළොස් වන කොටස


"හොඳයි" ගලගොඩ නිළමේ ඔහු ගේ දෑස් දෙස බැලුවේ ය. "පටන් ගැන්ම වශයෙන් අපට කියන්න... මිත්‍ර මුලින් ම අහන්න ගිය කාරණාව. ඔබ එදා බහිරවයාගේ කඩු පහරින් මාරාන්තික තුවාලයක් ලැබුවා. ඒ කඩු පහර ඔබගෙ හදවත ට ලොකු හාණියක් කළා. ඒත් ඔබ මිය ගියේ නෑ. ඒ වගේම ඉතාම කෙටි කාලයකින් ඒ තුවාලය සුව වුණා.

"කොහොමද එහෙම වුණේ?"

ඇඩම් ගලගොඩ නිළමේ හෙවත් සුමන ගේ දෑස් දෙස කෙළින් බැලුවේ ය.

"ඔබ දුටු අවස්ථාවේ පටන් ඔය ප්‍රශ්නය මම බලාපොරොත්තු වුණා. ඔය ගැන මට දෙන්න තියෙන ඇත්තම උත්තරය... විය හැකි දෙයක් හැටියට ඔබ බාර ගනියිද කියන ගැටළුව මට තියෙනවා... "

"බහිරවයෙකු සමඟ සටන් කළ ඔබට... වැටහෙන්න ඕනෙ, අපට ඕනෑම විදිහක කතාවක් භාරගන්න පුළුවන් බව..." මිත්‍ර අද්මිරාල් ගේ වමත මැණික්කටුව ළඟින් අල්ලාගනිමින්, සිනාමුසු ව කීවේය. 

සුමන අද්මිරාල් දෙස බලා, හිස සැළීය. "ඔව්. ඒ ගැන සැකයක් තියාගන්න එපා. අපි මේ මිහිපිට ගොඩක් අසාමාන්‍ය දේ දැක තියෙනවා."

"දැනට අවුරුදු හතළිහකට විතර කලින්..." ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන් කතාව ආරම්භ කළේ ය. "...ඒ වෙනකොට මම අවුරුදු විස්සක තරුණයෙක්. ඒ වෙනකොටත් අවුරුදු දහ තුනක් තිස්සෙ ඇවිලුනු මහා යුද්ධයක් යුරෝපය පුරා පැතිරිලා තිබුණා. ඒක පටන් ගත්තෙ එකම ආගමේ... ඔබ දන්නව කතෝලික සහ රෙපරමාදු ආගම්වල වෙනස... අන්න ඒ ආගම් නැත්නම් නිකායන් දෙක මුල්කරගෙන. නමුත් යටින් පැවතුනේ, රෝම අධිරාජ්‍යය පිටුදකින්න ස්කැන්ඩිනේවියානු සහ යුරෝපීය රාජධානි තුළ තිබුණු ආසාව."

තමන් කියන දේ මිත්‍ර සහ සුමන කිසිදු අමුත්තක් නොදක්වා අසා සිටින බව ඇඩම් දුටුවේ ය. එයින් හැඟුනේ, සමකාලීන යුරෝපා දේශපාලනය ඔවුනට අමුත්තක් නොවූ බව ය.

"ඔය කියන යුද්ධය අවුරුදු තිහක් පුරා පැවතුණා. ඒ වගේම එයින් මියගිය අති විශාල ජීවිත ගණන... දේපළ හාණිය ගැන නොහිතා, ජීවිත හාණිය ගැන විතරක් හිතුවත් මම අහල තියෙන ඉතාම විනාශකාරී යුද්ධය තමයි ඒ.

"ඒ මහා යුද්ධය අතරෙ මගෙ මවු රට වුණු ස්වීඩනය ලබපු එක ජයග්‍රහණයක් වෙනුවෙන් මටත් හවුල් වෙන්න ලැබුණා. ප්‍රංශ රාජධානියෙ මුදල් ආධාර සමග අපේ රජතුමා වුණු ගුස්ටාවුස් අඩොල්ෆස් ගේ මෙහෙයවීම යටතේ බ්‍රයිටන්ෆෙල්ඩ් සටනට මම අශ්වාරෝහක සෙබළෙක් හැටියට සටන් කළා.

"අපි දහ තුන් දාහක හමුදාවක් පීනමුුන්ඩ වෙරළට ගොඩ බැස්සා. ඒ වෙද්දි රෝම හමුදාව අපව ඒ තරම් අවදානමක් හැටියට ගණන් ගත්තෙ නෑ. ගණන් ගත්තත්, උතුරු ඉතාලියෙ මැන්ටුවා සටනට ඔවුන් හිර වෙලා හිටියා. අපි සතුරන්ගේ පොඩි පොඩි හමුදාවන් පරාජය කරමින් දකුණට එද්දී, අතර මඟින් බඳවාගත්ත කුළී සෙබළුන් එක්ක අන්තිමේදි සැක්සනියෙ සීමාවෙදි, අපේ හමුදාව විසි තුන්දාහක් වෙලා තිබුණා. 

"‌ජොහාන් ට්සර්ක්ලෙයස් හෙවත් ටිලී හි කවුන්ට්වරයා තිස් පන්දාහක රෝමක හමුදාවක් අරගෙන අපට මුහුණ දෙන්න සැක්සනිය දක්වා ආවා, ඒ වෙනකොට අපේ පැත්තට මිත්‍ර හමුදාවනුත් එක්ක සම්පූර්ණයෙන් හතලිස් දෙදාහක හමුදාවක්, දහ තුන්දාහක විතර අශ්වාරෝහක කණ්ඩායමකුත් වඩා සැහැල්ලු කාලතුවක්කු, මස්කිට් වගේ ගිණි අවිත් අතින් අපි සන්නද්ධව හිටියා.

"එදා දවස හරිම අඳුරුයි. මීදුම යන්තම්  හරි තුනී වුණේ සෑහෙන තරම දවල් වුණාට පස්සෙ. අපේ ස්වීඩන් අශ්වාරෝහක හමුදාව බැනර් සෙනෙවියා යටතේ දකුණු පැත්තටත්, සැක්සනියෙ පාලකයා වුණු ජොහාන් ජෝජ්ගේ හමුදාව සහ කාලතුවක්කු වම් පැත්තටත් අපේ පාර්ශ්වයෙන් යොදවලා තිබුණා. මැද හරියට වෙන්න අ‌පේ කාලතුවක්කු සහ පාබල හමුදාව තිබුණා, ඉදිරියෙන් හිටපු පාබල හමුදාවට පිටුපසින් ගුස්ටාවුස් රජතුමා සීරුවෙන් හිටියා."

ඇඩම් කෝටු කැබැල්ලකින් බිම වැලි පොළොවේ සටහන් කරමින් හමුදාවන් ස්ථානගතවී සිටි ආකාරය දැක්වී ය.

"ටිලී ගෙ අශ්වාරෝහක හමුදාව අපේ දකුණු පැත්තෙන් පැපන්හයිම් සෙනෙවියා යටතේත්, ෆර්ස්ටන්බර්ග් සෙනෙවියා යටතේ වම් පැත්තේත් යෙදවුණා. ඔවුන් හමුදාව සකසා තිබුණේ තර්සියෝ ව්‍යුහයට යි. ඒ ක්‍රමයට, තනි රේඛාවක් විදිහට සිටි පාබල හමුදාවේ පිටත දාරය, හෙලි කාරයන් සහ මස්කිට් දරන්නන් ගෙන් සමන්විතයි. ඔවුන්ට ඉදිරියට එන්න පුළුවන් වුණේ හෙමින් වුණත්, අශ්වාරෝහකයන්ගේ ආක්‍රමණයට ඔරොත්තු දෙන්න විශාල හැකියාවක් ඒ ක්‍රමයෙන් ලැබුණා.

https://alchetron.com/cdn/battle-of-rocroi-7ec7e2aa-eea6-4a0d-a32b-4c0d3a2695c-resize-750.jpeg


"එයට විරුද්ධව අපි යොදවා තිබුණේ මැද පාබල හමුදාවේ තීරු දෙකක් සමඟින්, වම් සහ දකුණු පැතිවල අශ්වාරෝහකයින් සහ මස්කිට් කරුවන්. අපි ඔවුන්ට වඩා වැඩියෙන් ගිණි අවි යොදාගත්තා. 

"සටන පටන් ගත්තේ මීදුම තුනී වෙනවත් එක්කම. මුල් හෝරා දෙකේ තරම තිබුණේ ම කාල තුවක්කු ප්‍රහාර විතරයි. අපේ සම් බැම්මෙන් එතූ කාලතුවක්කු ඔවුන්ගේ ඒවාට වඩා සැහැල්ලු වීම අපට වාසියක් වුණා. කාලතුවක්කු ප්‍රහාරවලිින් නැඟුනු දුම සහ දූවිල්ල තුනී වෙනවාත් එක්කම ෆර්ස්ටන්බර්ග් ගේ හමුදාව සැක්සන්වරු වෙත කඩා පැන්නා. ඒ එක්කම අනික් පැත්තෙන් පැපන්හයිම් ගේ හමුදාව අපේ දකුණට පහර දෙන්න ආවත්, අපට ඔවුන් වළක්වාගන්න පුළුවන් වුණා. මස්කිට් තුවක්කු කරුවන් වගේම අශ්වාරෝහක අපිත් ඒකෙදි ලොකු දායකත්වයක් දුන්නා. ෆර්ස්ටන්බර්ග් ගේ ප්‍රහාරයට මුහුණ දෙන්න බැරුව සැක්සන් හමුදාව සීසීකඩ යන්න ගනිද්දී, සියලු ශබ්ද යටපත් කරගනිමින් සැක්සන් ගීතිකා ගායනා කරන පූජකයෙකුගේ කටහඬ යුද පිටිය පුරා රැව් දුන්නා. ඒ පූජකවරයා ට පුළුවන් වුණා, කැඩුණු බිඳුනු සැක්සන් හමුදාව ආපහු එකමුතු කරගෙන ඉදිරියට අරගන්න. 

"ඒ අතරෙ අපේ රජතුමා ම නායකත්වය දෙමින් අපි දකුණු පැත්තෙන් ඉදිරියට ඇවිත් ටිලී ගෙ හමුදාව වට කළා. අපට ලැබුණු ඉහළම ජය තමයි... තවත් හෝරා හතරක් තරම යද්දි අපට පුළුවන් වුණා රෝම කාලතුවක්කු අල්ලගන්න. එතන ඉඳන් අපි රෝම අධිරාජ්‍ය හමුදාවට දුවන්න ගැහුවා.

ගුස්ටාවුස් අඩොල්ෆස් රජු - බ්‍රයිටන්ෆෙල්ඩ් සටනේදී - ජොහාන් වෝල්ටර් ගේ සිතුවමකි
https://en.wikipedia.org/wiki/Battle_of_Breitenfeld_(1631)#/media/File:Gustave_Adolphe_at_Breitenfeld-Johann_Walter-f3706497.jpg


"ඔය අතරෙදි මා ළඟින්ම හිටපු අපේ රජතුමා ට වෙඩි වැදුණා. අපි ඒ වෙනකොටත් කාලතුවක්කුවලිිිින් ඇවිස්සුණු දුමෙන් සහ දූවිල්ලෙන් සෑහෙන්න වට වෙලා හිටියෙ. වෙඩි කීපයක් රජතුමාට වැදුණා, අශ්වයගෙ පිටෙන් වැටෙන්න කලින්. එතුමා ගෙ ස්ට්‍රීෆ් නම් සුප්‍රසිද්ධ අශ්වයාටත් ඒ එක්කම වෙඩි වැදුණා. ඒක දැකපු ගමන, එතෙක් මම පවත්වාගත්ත සමබරතාවය සහ පරීක්ෂාකාරී බව මගෙ හිතෙන් අයින් වුණා. මම රජතුමා වැටුණු තැනට යන්න අශ්වයා හරවාගනිද්දිම තමයි, මගෙ ඇළපත හිල්කරගෙන... පුච්චගෙන ඇතුල් වුණු මූණිස්සම් පොකුරක් පිටෙන් පදාසයක් කඩාගෙන එළියට ගියෙ. කාලතුවක්කු හඬ අපැහැදිලි වේගෙන එද්දි, මගේ කන් අගුල් වැටුණා. සුදු මැළි අතකින් මගෙ අත අල්ලගන්නවා යාන්තමින් මම දැක්කා. මම ඔලුව උස්සලා ඒ කවුද කියලා බලන්න හැදුවත් ඒක හරිගියෙ නෑ. මට දැකගන්න පුළුවන් වුණේ සුදු දිග කෙස් තියෙන, සුදුමැළි කෙට්ටු ගැහැණු මුහුණක් විතරයි. ඒ එක්කම මගෙ ඇස් අඳුරු වෙලා ගියා. මම හිතන්නෙ ඒ වෙලාවෙ මම මැරුණා කියල...

"මම පාවෙලා වගේ ඇදිලා යන බව මට තේරුණා... ටික වෙලාවක් ඒ හැඟීම මට තිබුණා. අන්තිමේ කිසිම දෙයක් දැනෙන් නැති ශාන්ත නිසසල බවකට මාව පත් වුණා. 

"ආපහු මට මගෙ ශරීරයෙ බර සහ වේදනාවන් ටිකෙන් ටික දැනෙන්න ගනිද්දි, පිදුරුවල සියුම් බූව මගෙ පිටට දැනුණා. මම ඇස් අරින්න හැදුවත්, දීප්තිමත් සුදු එළියකින් මාව අන්ධ කරනවා වගේ දැණුනා. ඇස් ආවරණය කරගන්න මම වම් අත උස්සන්න හැදුවා. ඒත් ඒ ගැන හිතුවට, මගෙ අත පය ක්‍රියාකළේ නෑ. ඒ එක්කම ඉතාම සියුම් ගැහැණු හඬක් මගෙ කණ ගාව කොඳුරනවා මට දැණුනා. 

"...'හෙලවෙන්න, ඇස් අරින්න එපා දැන්ම...' ඒ වචන තමයි මම සෑහෙන කාලයකින් අහපු මිහිරිම ශබ්දය විදිහට මට මතක තියෙන්නෙ. ඒ වචන කිව්වෙ සැක්සන් තරුණියක් බව මට ඒ කටහඬේ උච්ඡාරණ විලාසයෙන් තේරුණා. එහෙම කියද්දි එයාගෙ හුස්ම මගෙ කන් පෙත්තට දැණුනා. ඒ එක්කම සියුමැළි අතකින් දිග කෙට්ටු ඇඟිලිවලින් මගෙ දකුණු අතේ ඇඟිලි අල්ලගන්නවා මට දැණුනා. ඒ අතේ මෘදු බවත්, උණුසුම් බවත් එක්ක මට පුදුමාකාර සැනසිලිමත් බවක් දැණුනා. ඒ එක්කම මට නින්ද ගියා.

Monday, July 13, 2020

අවසානයක් නොවේ - දහ වන කොටස

සංලක්ෂය - 
කතාවේ ශෛලියට, කාලයට සහ යතාර්ථයට ගැළපෙන පරිදි ස්කැන්ඩිනේවියානු අද්මිරාල් ගේ නම ඇඩම් - ඩ්‍රේක් ඇන්ඩර්සන් ලෙස වෙනස් කරන ලදි.

මේ පිළිබඳව ඉතා උනන්දුවෙන් සිය අගනා කාලය මා හා ගත කරමින් ලබා දුන් පෝෂණය සම්බන්ධයෙන් හිතවත් Pra Jay මහතාට කෘතඥවෙමි.

පළවෙනි කොටස

තුන් වෙනි කොටස


විමසිලිමත් වූ යුරෝපීයයාගේ දෑසට, ඉදිරියෙන් ම වාගේ ඈතින් දළදා මැදුරේ වළාකුළු බැම්ම හඳුනා ගත හැකි විය. මීට පෙර ඔහු මෙම ඉසව්වට පැමිණියේ වෙනත් මාවතකිනි. සිතෙහි වූ මතකයන් සමඟ වටාපිටාව සසඳමින් බලද්දී ඊසාන දෙසින් වැවුණු දැවැන්ත ගස් අතරින් තමන් පසුගිය සති දෙකකට පමණ පෙර ටිකිරි බණ්ඩාර සමඟ දිවාකාලය ගත කළ නාථ දේවාලය සහ ඊට මෙපිටින් වූ පත්තිනි දේවාලය දැක ගත හැකි විය. 

මුරකාවල පසුකර අඩි දහයක් යන්නට ලැබුණේ නැත. කලින් ගත කළ නාවුක ජිවිතයේ දී ලබා තිබූ පළපුරුද්ද විසින්, යම් කිසිවක් වරදින්නට යන බව හෝ, සිදුවීම්වල යම් කෘත්‍රිම බවක සේයාවක් අද්මිරාල්හට දැනෙමින් පැවතිණ. දෙවියන් විසින් යක්ෂයාගෙන් සොරකම් කරන ලද මරණය පිළිබඳ ඉව ඇන්ඩර්සන් තුළ ද ක්‍රියාත්මක වෙමින්... 

"විදුව!" 

කෙටි නියමය අනුව හතර වටින් ම ගුවනට මුදාහැරුණු ඊතල සිය ගණනක් සිහින් සිවුරුහඬ නඟමින් තමන් දෙසට ඇදී එනු අසරුවන් ති දෙනාට ඇසුණි... පෙනුණි.


https://encrypted-tbn0.gstatic.com/images?q=tbn%3AANd9GcQzHdV
Kq0zyCA18mrudlLgKA-VTHbYqipSVlA&usqp=CAU

ඊතල මුදාහැරෙණ සියුම් ශබ්දයත් සමඟ ම, ඇඩම් ගේ ස්නායු සහ මොළය ක්ෂණිකව ක්‍රියාත්මක විය. අසුගේ දෑළ ට විළුඹින් ඇන, අසු වේගයෙන් පන්නවමින්, සිය උඩුකය ආපිට කරකවා, දකුණු උරහිසට උඩින් පිටුපස බැලූ ඔහු, නැවත අනෙක් පසට හැරෙමින් සිය වටපිටාව එක් බැල්මකින් පරීක්ෂා කළේ ය. ඔහුට අඩි කිහිපයක් ඉදිරියෙන් වූ  ස්වදේශික දූතයෝ දෙදෙනා ඒ වන විටත් අශ්වයන්ගේ වේගය වැඩි කරගෙන සිටිබව පෙනුණි. එසැණින් "වහං වෙමූ!" යි කෑගසමින්, ඔහු දකුණු පසට නැවී, දකුණතින් අසුගේ ගෙළෙහි ලෝම කැටියක් අල්ලාගෙන, වම් කකුල ඔසවා අසුගේ සිරුරෙහි දකුණු පැත්තට ගත්තේ ය. මේ සියල්ලට ගත වූයේ එක් නිමේෂයකි. ඊතල වර්ෂාව අසරුවන්ගේ වම්පසින් පතිත වෙද්දී, අද්මිරාල් සිටියේ, සිය සිරුර මුළුමණින්ම අශ්වයාගේ දකුණු ඇළයෙහි රඳවා එල්ලීගත් වනම, ඉතා වේගයෙන් අසු පන්නවමිනි. 

සිග්... සිග්... සිග්... වැනි හඬක් නඟමින් ඊතල වදින හඬ ද, අශ්ව ලාඩම් තණ පත් විනිවිද බොරළු පොළොව මත වේගයෙන් වදින හඬ ද, තත්පර කිහිපයක් පුරා ඇසුණේ ය. දුනුවායන්හට තවත් වටයකට ඉඩ නොතබා, අසරුවන් තිදෙනා හට රජ මැදුරේ ඇතුල් දිය අගළට ළඟාවීමට හැකි විය. 

දිය අගළ අසලින් නැවත වම්පසට හැරුණු අසරුවෝ අඩි කිහිපයක් දුරට වේගය අඩු කරගනිමින් ගොස්, දළදා මාළිගාවේ දොරකඩ අසල නැවතුණ හ. ඒ වනවිටත් ඇඩම් සිටියේ අසුගේ දකුණු ඇළයේ එල්ලීගත්වනම ය. ස්වදේශික අසරුවෝ නතර වනවාත් සමඟම යුරෝපීයයා ද, බුහුටිලෙස අසු නතරකොටගෙන බිමට පැන්නේ ය. ඔහු මුලින්ම පිරික්සුවේ තමා මෙතෙක් දුර ගෙන ආ අශ්වයා ට වී ඇති හාණියෙහි තරම ය. 

ඇඩම් අසුගේ වම්පසට යත්ම, ඊතළ විස්සක් තරම උගේ බඳ පුරා ඇළී තිබෙනු දුටුවේ ය. ඒ ඊතළ වැදුණු තැන වටා සම රතු වෙමින් පැවති නමුත් එක් ඊතලයක්වත් සම විනිවිද ගොස් නැති බව දුටු ඔහු විමතියට පත් විය. ඔහු එක් ඊගසක් ඇද, ගළවා ගත්තේ ය. එහි ලෝහමය තුඩක් නොවී ය. අගිස්ස අර්ධ ගෝලාකාර වන සේ සකස් කර ඝනකම් ලාටු විශේෂයක් ගල්වා ඒ ඊතලය සකස් කර තිබුණි.

විස්මය දනවන මුහුණින් යුක්තව ඔහු මිත්‍ර දෙසට හැරුණි. කිසිත් විමසීමට පෙර මිත්‍ර අත ඉහළට දිගුකර දළදා මැදුරට උතුරු දිගින් පිහිටි, රජ මැදුරේ සීමැදුරු කවුළුව වෙත ඇඩම් ගේ අවධානය යොමු කළේ ය. එහි සිට තමන් දෙස පරීක්ෂාවෙන් බලා සිටි පුරුෂයන් දෙ ‌දෙනෙකු අද්මිරාල් ගේ දෑසට ලක් විය. 

ඇඩම් සහ මිත්‍ර රජ මැදුර දෙසට පා ගමනින් යද්දී, අනෙක් ස්වදේශික දූතයා ඔවුන්ගේ අශ්වයන් තිදෙනා වෙනත් පැත්තකට රැගෙන ගියේ ය. රජ මැදුරේ අංගනය වෙත ඔවුන් සේන්දු වෙත්ම, සීමැදුරු කවුළුවෙහි සිටි පුරුෂයින් දෙ දෙනා ද එහි ආවෝ ය. විචිත්‍ර ආභරණයෙන් හා ඇඳුමින් සැරසී නොසිටිය ද, ඒ දෙ දෙනා ගෙන් එක් අයෙකු රාජසිංහ රජතුමා බව ස්කැන්ඩිනේවියානුවා ට හඳුනාගත හැකි විය. අනෙක් තැනැත්තා කලු රතුවන් මුල් ඇඳුම ඇඳ සිටි අතර, එහි හිස්වැස්ම ඔහුගේ වමතෙහි විය. ඇඩම් අඩ දණින් වැටී හිස නවා රජතුමා හට ආචාර කළේ ය.

රජු අද්මිරාල්ට නැඟී සිටින ලෙස අතින් සංඥා කළේ ය.

"නුඹේ පරීක්ෂණය සාර්ථකයි කියා හිතනවද ගලගොඩ?" රජතුමා සිය දකුණත් පසින් සිටි නිළමක්කාරයා ඇමතුවේ, ඇඩම් ගේ දෑස් දෙස එක එල්ලේ බලමිනි. තරුණයෙකු වූ ගලගොඩ නිළමේ එතෙක් බිමට නැඹුරු කරගෙන සිටි හිස ඔසවද්දී, ඔහුගේ මුහුණ දුටු අද්මිරාල් විස්මයට පත් විය. ඇත්දළ පැහැයෙන් යුතු වූ දිගටි රූමත් මුහුණ, සුඛනම්‍ය බව පෑ අඟ පසඟ, කළු පැහැ ඇස්, තද කළුවන් කෙස්වැටිය සහ හිස්වැස්මේ ඉදිරිපස රැඳවුණු කුඩා ධ්‍යානී බුදු රුව ඔහුට සිහිපත් කළේ, සතියකට පමණ පෙර තමාගේත්, ධනසේකර කුමාරිහාමිගේත් දිවි ගැළවූ තරුණයා ය.

"අවසරයි දේවයන් වහන්ස..." ගලගොඩ නිළමේ හඬ අවදි කළේ ය. "අප මෙතනදී දුටුවා, හදිසි අවස්ථාවක ක්ෂණිකව ක්‍රියාකිරීම, කණ්ඩාමක සාමාජිකයෙකු වශයෙන් මෙන්ම, තනිවම දිවි ගළවාගැනීම සහ ඉතා ඉක්මණ් හා ඵලදායී තීරණ ගැනීමේ හැකියාව... ඒ ගැන අප සෑහීමකට පත් වෙනවා. ඉතිරි හරිය උඩුමුල්ලේ ගෙන් අසා දැනගමු කියා හිතනවා." ඔහු රජතුමා වෙත හැරී හිස නැමී ය.

රාජසිංහ රජු මිත්‍ර දෙස සිය විමර්ශනාක්ෂිය යොමු කළේ ය. 

"අවසරයි දේවයන් වහන්ස." මිත්‍ර හෙවත් උඩුමුල්ලේ නිළමේ රජු ඇමතීය. "පරිසරයටත්, භූමියේ වෙනස්කම්වලටත් හුරුව කටයුතු කිරීම සහ අසුන් පැන්නවීම අතින් අද්මිරාල් අන්දිරිසන් ඉතාම ඉහළ මට්ටමක සිටිනවා. ඔහු හදිසි ආපදාවකදී කණ්ඩායමේ සාමාජිකයන් ගැන අවධානයෙන් සිට, සිය ජීවිතය පවා අවදානමක හෙලා වුණත් අනෙකා රැක ගැනීමට වෙහෙසෙන ඒ වගේම නිර්භීත තැනැත්තෙක් බව අප දුටුවා."

"ඊළඟ පියවර?"

"ඔබ වහන්සේ ගේ අවසරය ඇතුව, මේ රැඳවියාගේ සේවය අපගේ රහස් දූරයේ කටයතුවලට යොදා ගැනීමට අපේක්ෂා කරනවා..."යි ගලගොඩ නිළමේ කීවේ ය.

"අවසර දෙනවා." රජතුමා ගලගොඩ සහ උඩුමුල්ලේ ගේ දෑස් දෙස මාරුවෙන් මාරුවට බලමින් කතා කළේ ය. "මේතාක් කාලයකට ඔබගේ දූරය අප හෝ අපගේ රාජධානිය අනතුරේ හෙළා නෑ. ඒ වෙනුවට ඉතාම සාර්ථක ලෙස අප රාජධානිය අනතුරින් බේරාගැනීමට සියලුම අවස්ථාවල සමත් වී තිබෙණවා. ඒ වගේම කිසිවිටකත් ඔබ පැවරුණු හෝ පවරාගත් කිසිවක් ඉටු කරන්න අසමත් වෙලා ද නෑ. ඒ කීර්තිය, මේ කරුණ සම්බන්ධයෙනුත් පවත්වාගැනීම අප ද අපේක්ෂා කරනවා."

රාසිං දෙවියෝ ආපසු මැදුරට යාමට හැරුණා හ. එතුමාට හිස නවා ආචාර කළ ගලගොඩ සහ උඩුමුල්ලේ නිළමේවරු, තමන් පසුපස එන ලෙස ඇඩම් හට සංඥා කරමින්, රජ මැදුර ඉදිරිපිට අංගනයේ තනා තිබූ කණු හතරකින් යුත් විවෘත මඩුවක් කරා ගියහ. එහි වාඩි විම සඳහා ගල් පුවරු යොදා ආසන සකස් කර තිබුණි. අද්මිරාල් ඇන්ඩර්සන් හට අසුන් ගන්නා ලෙස දැන්වූ නිළමෙවරු ඔහු අසලින්ම දෙපසින් වාඩි වූ හ. 

අහන්නට හා පැහැදිලි කරවා ගන්නට කරුණු කොතෙක් තිබුණ ද, අද්මිරාල් ඒ කිසිවක් ගැන සංඥාවක් හෝ මුහුණින් නොපෙන්වා, නිළමෙවරුන් හට අවස්ථාව දී නිහඬව සිටියේ ය. "ඔබට මා මතකයි නේද?" ගලගොඩ නිළමේ කතාව පටන් ගත්තේ ය. 

"ඔව්. මම හිතා උන්නෙ, මාත් ධනසේකර කුමාරිහාමිත් එදා බහිරවයාගෙන් බේරා ගත්තේ, ඒ වගේම අපට ප්‍රතිකාර කළේ දෙවියෙක් හෝ එවැනි බලවේගයක් කියලා..."

ගලගොඩ මඳ සිනාවක් පාමින් හිස සිරස් අතට සෙලවී ය.

"ඔබ දන්නවාද කීමක් තියෙනවා, සත්‍යය මනඃකල්පිතයට වඩා විස්මය ජනකයි කියා? මම ගලගොඩ නිළමෙ. මුල් කාලයේ පටන්, අඳුනන අය මට කතා කරන්නෙ සුමන කියලා."

ඇඩම් සිය වමත නළලට කිට්ටු කර ආචාර කළේ ය. "මම ඇඩම්..."

"අපි දන්නවා ඇඩම්." සුමන ඔහුගේ කතාවට බාධා කළේ ය. "අප ඔබ දෙස බලාගෙන හිටියා, ඔබ අපගේ රටට පැමිණි දා පටන්... එදා ඔබ ධනසේකර කුමාරිහාමි බේරාගන්න ඉදිරිපත් වුණා. මට හොඳටම විශ්වාසයි ඔබ ඒ වෙලාවේ බහිරවයෙකු ගැන විශ්වාස නොකළ බව. ඒත් ඒ බහිරවයා දුටු වෙලාවේ, පසුබහිනවා වෙනුවට ඔබ ඉදිරියට ආවා. ඉතාම විශිෂ්ඨ අන්දමේ සටනක් දුන්නා. අවසානයේ මිය යන්න උනත් සූදානම් වුණා..."

"ඒ වෙලාවේ මට වෙන දෙයක් කරන්න ඉතිරි වෙලා තිබුණේ නෑ."

"ඇත්තටම වෙන දෙයක් ඉතිරි වෙලා තිබුණේ නැති එක ද ඩ්‍රේක්?" මිත්‍ර ඇසීය. "නැත්නම්..."

සුමන ඔහුගේ කතාවට බාධා කරමින් මිත්‍ර ගේ අත අල්ලා ගත්තේ ය. 

"එතනදී අප ඔබ ගැන තක්සේරුවකට ආවා. ඔබ රණ ශූරයෙක් තරමට දක්ෂයෙක්. ඒ වගේම තමන්ට ළෙංගතු උදවිය වෙනුවෙන් කැප වන්නෙක්. ඉතින් අපි තීරණය කළා, ඔබ අපගේ රහස් දූරයට එකතු කරගන්නට."

"රහස් දූරය... මේක ඇත්තටම ආරම්භ වුණේ මීට අවුරුදු දෙදාහකට උඩදි. මේ ලංකා ද්වීපයේ ඒ වනවිටත් තිබුණේ කුඩා කුඩා රාජ්‍ය කීපයක්. එහෙත් තිස්ස නම් රාජකීය ලේ ඇති පියෙකුට සහ ගාමිණි අභය නම් වුණු පුතෙකුට අදහසක් තිබුණා ඒ සියලු රාජ්‍ය එකතු කරලා තනි රාජධානියක් හැටියට, එක ක්‍රමයක් යටතේ රට පාලනය කරන්න. ඒ සඳහා උපකාරී වුණුු එක ඒකකයක් හැටියට සෙබළුන් දහ දෙනෙකුගෙන් තමයි මේ දූරය මුලින් ම හැදුණේ.

"කල් යාමේ දී මේ දූපතේ විවිධ රාජ වංශ බිහිවුණා. රාජ්‍යය කොටස් වලට කැඩුණා, නැවත එක්සත් වුණා. ඒ ඒ කාලවකවාණු වල වුණු පෙරළිත් එක්ක, රහස් දූරය ස්ථාවර ඒකකයක් බවට පත් වුණා. ඒ කියන්නෙ, රජු වෙනස් වෙන්න පුළුවන්. රාජ වංශය වෙනස් වෙන්න පුළුවන්. ඒත් රහස් දූරය වෙනස් වෙන්නෙ නෑ. ඒක දිගටම එකම විදිහට පවතිනවා. කාලෙන් කාලෙට ප්‍රබල වන, ඒ වගේම රටේ ජනතාවගෙ අපේක්ෂා ඉටු කරන, රාජ්‍යයට අපි උපකාර වෙනවා, ඒ වගේම ඒ රාජ්‍යය ආරක්ෂා කරගන්න අපි කටයුතු කරනවා.

"දැන් මේ දූරයෙ ඉන්නෙ හතර දෙනයි. එයින් දෙන්නෙක් අපි."

"එතකොට රහස් දූරය ගැන මේ වෙනකොට මේ රටේ, දන්නෙ ඔබ හතර දෙනා, මම සහ රජතුමා විතරයි ද?" ඇඩම් ඇසීය.

"ඇත්තම කිව්වොත් ඩ්‍රේක්..." මිත්‍ර ඔහුගේ උරහිසට අත තැබී ය. "රජතුමාවත් හරියටම දන්නෙ නෑ, මේ දූරයෙ සියලු දේ ගැන."

"එතකොට මගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ?" 

"ඔබ අපේ පස්වැනියා වීම තමයි අපේක්ෂා කරන්නෙ." සුමන කීවේ ය.

"ඒක ටිකක් බරපතළ අවදානමක් නෙවෙයි ද?"

"නෑ ඩ්‍රේක්... සාමාජිකත්වයෙ මට්ටම් කීපයක් ඔබට පසු කරන්න වෙනව. ඒ අභියෝග සියල්ල දිනාගත්තට පසුව තමයි ඔබ නිත්‍ය සාමාජිකයෙක් වෙන්නෙ. ඒ වෙනකොට ඔබ අපි ගැනත් අපි ඔබ ගැනත් සියල්ල දැනගෙන අවසන්. ඒ වගේම අප කාටවත් ආපසු හැරී යාමක් ඉතිරි වන්නේ නෑ..." 

"මම එකඟයි..." ඇඩම් තීරණය දීම සඳහා එක මොහ‌ොතක්වත් කල් ගත්තේ නැත.

කඩුපතක්, ලෝහමය කොපුවක් තුලට වේගයෙන් ඇතුල්වන සිහින් හඬ, අද්මිරාල් ගේ තීරණය ට පසුබිමින් ක්ෂණිකව නැගුණි. 

ඇඩම් ඉණෙහි බැඳගෙන සිටි අද්මිරාල් ධූරයේ සම්මානිත කඩුපත අඟල් දෙකක් - තුනක් ඉහළට ඇදී තිබුණුු බවත්, හඬ නැගුනේ එය එක් වරම පහතට තද කිරීමෙන් බවත් මිත්‍ර දුටුවේ එවිට ය. එය දැකීමත් සමඟ තම ගෙළ හරහට සියුම් හිරියක් දිව යනු ඔහුට දැනිණ.

"හොඳයි" ගලගොඩ නිළමේ ඔහු ගේ දෑස් දෙස බැලුවේ ය. "පටන් ගැන්ම වශයෙන් අපට කියන්න... මිත්‍ර මුලින් ම අහන්න ගිය කාරණාව. ඔබ එදා බහිරවයාගේ කඩු පහරින් මාරාන්තික තුවාලයක් ලැබුවා. ඒ කඩු පහර ඔබගෙ හදවත ට ලොකු හාණියක් කළා. ඒත් ඔබ මිය ගියේ නෑ. ඒ වගේම ඉතාම කෙටි කාලයකින් ඒ තුවාලය සුව වුණා.

"කොහොමද එහෙම වුණේ?"

Saturday, June 20, 2020

අවසානයක් නොවේ - නව වන කොටස

පළවෙනි කොටස

තුන් වෙනි කොටස


https://d2urhn0mmik6is.cloudfront.net/site/age_of_signs
/images/content_images/four-riders/FourRiders4.jpg

"රාසිං දෙවියන් ගේ වාසලට තමුුන්නාන්සේ ගේත්, තමුන්නාන්සේ ගේ භාරයේ සිටින රැඳවියාගේත් පැමිණීම අණ කර සිටිනවා!" 

රජවාසලේ පණිවුඩකරු ධනසේකර මුදලිතුමා වෙත සැළකර සිටියේ ය. 

යටිකයට ඇඳි සුදු පැහැ ධෝතියත්, ඉණ පටියේ පැළඳි කැටයම් කළ මිට සහිත කඩුපතත් දැරූ අශ්වාරෝහක දූතයා පෑවේ නිසග තෙදවත් බවකි.

වෙද මුදළි තුමා පණිවුඩකරු ගෙනැවිත් තිබූ අමතර අශ්වයා දෙස බලා මඳහසක් හෙළුවේ ය.

"මට නං දැන් අශ්වයො පිට යන්න තරම් ජවයක් නෑ..."

"නෑ මේ අශ්වයා ඔබගේ රැඳවියා ට." දූතයා පිළිතුරු දෙමින් සිය අසු හරවා ගත්තේ ය. "ඔහු දැන්ම කැඳවාගෙන එන්නටයි අණ. ඔබතුමා විවේකීව ඔබතුමාගේ තිරික්කලයෙන් ඒම ප්‍රමාණවත් "

කතාබහ ඇසී එතනට පැමිණි ඇඩම්, වෙද මුදළි දෙස බැලුවේ ගමනට අවසර ගැනීමට ය. ධනසේකර මුදළිතුමා හිස සැලීමකින් අනුමැතිය දුන්නේ ය.

"ඔබ ඉක්මණට යනවනම් හොඳයි" ටිකිරි බණ්ඩාර තිරික්කලය සූදානම් කරගැනීමට වළව්ව පිටුපස ට යන ගමන් කීවේ ය. "රාසිං දෙවියෝ ප්‍රමාදය ට අනුකම්පා කරන් නෑ. අනික පණිවුඩය එවල තියෙන්නෙත් සාමාන්‍ය පයිංඩකාරයෙක් අතේ නෙවෙයි. ඔබට යම් සැළකිල්ලක් දක්වලා තියෙනවා කියලා එයින් පේනවා."

මිනිත්තු කිහිපයක ඇවෑමෙන් අද්මිරාල් සිය යුරෝපීය ඇඳුම ඇඟලාගෙන'විත් අසු පිටට නැග්ගේ ය. පණිවුඩකරු ඔහුට තමා පසුපසින් එන ලෙස සන් කර, මගට පිළිපන්නේ ය. දූතයාගේ වේගයට ම බුහුටි ලෙස සිය අශ්වයා ද මෙහෙයවූ නෝඩික් ජාතිකයා ඉක්මණින් ම වළව්වේ කඩුල්ල පැන මහ මාවතට පිළිපන්නේ ය.

අවරට හැරුණු හිරු ගේ රන්වන් කිරණින්, ඇඩම් ගේ රන්පැහැ කෙස්, රන්වන් නූලෙන් වැඩ දැමූ කොළරය, පුළුල් බඳ පටිය හා ලෝහමය බොත්තම් මත වූ දිස්නය ඔප් නැංවිණ. සුදුවන් කළිසමත් තද නිල්පැහැ කබායත් පරණ වී තැන් තැන්වලින් ඉරී තිබුණි. එහෙත් එය අද්මිරාල්ගේ උත්තුංග පෙනුමට ලොකු හාණියක් කළේ නැත.

රැඳවියෙකු බවට පත්ව තමා පයින් ඇවිදගෙන ආ මඟ දිගේ ආපිට අශ්වයෙකු පිට යාමට සිදුවීම නාවිකයාගේ සිතෙහි ඇති කළේ සංකීර්ණ හැඟීමකි.

වෙදාණන්ගේ වළව්වේ සිට ඊසාන දෙසට වැටුණු පාර දිගේ අසරුවෝ දෙදෙනා මඳ වේගයෙන් අසුන් මෙහෙයවාගෙන ආහ. ඉදිරියේ ඇති තෙමංසලේ තවත් අසරුවෙක් සිටිනු තරමක දුරක සිට ම ඇඩම්ගේ විමසිලිමත් දෑසට ලක් විය. ඒ තවත් වංශවත් දූතයෙක් බව ළං වද්දී ඔහුගේ ඇඳුමින් සහ පැළඳුමින් සළකා ගත හැකි විය. පළමුවැනි පණිවුඩකරු සිය අසුගේ රැහැන් පටි යන්තමින් ඇද, මඳක් පමා කර, රැඳවියා හා සමපාත කර ගත්තේ ය. හන්දියේ දී දෙවන දූතයා ද ඔවුන් හා ගමනට එක් විය. ස්වදේශිකයන් දෙදෙනා යන්තම් හිස සැළීමකින් පමණක් ආචාර කරගත් බව අද්මිරාල් නිරික්ෂණය කළේ ය.

තෙමංසලෙන් තවත් ඊසාන දෙසට යොමු වූ පාරේ පියවර විස්සක් විතර ඉදිරියෙන් තවත් හතර මං හන්දියක් හමුවිය. කිසිදු කතාබහකින් තොරව හැල්මේ ආ, අසරුවෝ තිදෙනා එතැනින් ගිණිකොන දෙසට වූ පාරට හැරුණ හ. මෙතෙක් පසුකරගෙන ආ මාර්ගයේ දෙපස කඩපිල්, දෙමහල් මහ මැදුරු, උද්‍යාන ආදියෙන් ගැවසුණ ද, දැන් දැන් පාර විහිදෙන්නේ ගොවිබිම්, පඳුරු, පැල්පත් ආදියෙන් හෙබි, ජනාකීර්ණ නොවූ ප්‍රදේශයක් මැදිනි. තවත් පියවර විස්සක් තිහක් යන විට පාර වංගුවක් ගසා, නැවත ඊසාන දෙසට හැරුණි. අවට හුදෙකළා පාලු බව තවත් දැඩි වූයේ එතැන් පටන් පටු වූ පාර දෙපසින් වැවුණු ළඳු කැළෑවෙනි. පාරේ පළල ප්‍රමාණවත් වූයේ එක් අසරුවෙකුට පමණි. එහෙයින්, රජවාසල දූතයන් දෙදෙනා ඉස්සර වෙද්දී, නෝඩික් නැවියා පසුවිය.

නොනැවතී මෘදු රිද්මයකට අනුව සෙමෙන් සෙමෙන් දිව යමින් සිටි අශ්වයන් තුන්දෙනා එක්වරම කළබල වූහ. හිස් ඔසවමින් උඩු හුළඟ ඉව අල්ලන්ට වූ උන්, රැහැන්පටෙහි විධානයට අකීකරු වන්නට සූදානම් බව පෙණින. ළඟ පාතින්ම කන් බිහිරි කරවනසුළු කුංචනාදයක් ඇසුණේ එක් වරමය.

සිය අශ්වයා එක් වරම වේගයෙන් දුවන්නට පටන් ගනිද්දී, ඇඩම් හිස හරවා වම් උරහිසට උඩින් පිටු පස බැලුවේ ය. අඩි කීපයක් පිටුපසින්, දැවැන්ත අලියෙක් ළඳු කැළෑවෙන් පාරට පැන්නේ ය. උගේ ඉහළට එසවුණු හොඬවැලෙන් නිරාවරණය වූ දළ දෙක, අගිස් කපා නොතිබෙන්නට, අඩි දහයක් පමණ දිග වන්නට ඇතැයි විදේශිකයා ට සිතුණි. 

කුපිත වූ බව සෑම රෝම කූපයකින්ම පාහේ පිළිබිඹු කළ දැවැන්ත තිරිසනාගේ තේජාන්විත සුන්දරත්වය යුරෝපීයයාගේ සිතෙහි සටහන් විය. ක්ෂණිකව රැහැන්පටි තද කරගනිමින් සිය අසුගේ පාලනය සියතට ගත් ඔහු, ඉදිරිපසට නැඹුරු වෙමින්, දැනටමත් වේගයෙන් අසුන් පිට පළා යමින් උන් ස්වදේශිකයන් දෙදෙනා පිටුපසින් අසු මෙහෙයවන්නට ගත්තේ ය. 

අස් කුර, පාලු පාරේ පස්, ගල් මත වේගයෙන් වදින හඬින් හාත්පස හෙල්ලුම්කෑවේ ය. එයින් තව තවත් කුපිත වූ බව පෙන්නුම්  කළ හස්තියා වල්ගය රිටක් සේ කෙලින් කර ගෙන, සොඬට අසුවන අසුවන පඳුරු, ගල් කැට උගුල්ලා විසි කරමින් සැළකිය යුතු වේගයකින් අසරුවන් පිටුපස හඹා එන්නට ගති.

එක්වරම අනපේක්ෂිත ලෙස... තමන් භාරව ආ දූතයා සමබරතාව ගිළිහී වම් පසට ඇළ වී යනු අද්මිරාල් දුටුවේ ය. ඇඩම් වමතින් රැහැන් පටිවල මැද හරියෙන් අල්ලා ගෙන අසු මෙහෙයවමින් ම, රැහැනෙහි ඉතුරු කොටස දකුණතින් ගෙන දෙපසට වනමින්, සිය අශ්වයාගේ දෑළට පහර දෙද්දී, අසු ගේ වේගය තව තවත් තීව්‍ර විය. මොහොතකින් ඔහු ආපදාවට පත් අසරුවා ගේ දකුණු පසින් සමාන්තරව තම අසු මෙහෙයවමින් උන්නේ ය. ඒ අතර අනෙක් ස්වදේශිකයා ද ඔවුන්ට ළං විය.

සිය අශ්වයාගේ රැහැන් පටි දෙ වන දූතයා වෙත විසි කළ අද්මිරාල්, සිය දකුණු පය අසු ගේ පිට හරහා වම්පසට ඇද ගත්තේ ය. ඔහුට සෑදලය මත හරහට වාඩි වී සිටින්නට හැකි වූයේ මොහොතක් පමණි. වේගයෙන් දිවෙන අසු ගේ ගැස්සීම්වලට අනුරූපී වෙමින් ඔහු වම් පාදය හැකිතරම් ඉහළට ඔසවා, ආපදාවට මුහුණ පෑ අසු පිටට පැන, දූතයා ට පිටුපසින් වාඩි විය. ඒ ගමන් ම ඔහු පැත්තකට ඇළ වුණු අසරුවා කෙළින් කොට ඔහුගේ සිරුර දෙපසින් සිය අත් දිගු කර රඳවා ගත්තේ ය. ස්වදේශිකයා සිහිසුන්ව සිටි බව පෙනුණි. අශ්වයාගේ රැහැන්පටි තවමත් ඔහුගේ අතෙහි විය. එය මුදවාගත් අද්මිරාල්ට, අසු සිය පාලනයට නතු කර ගැනීමට හැකි විය. මේ සියල්ලට මිනිත්තුවකට වඩා කාලයක් ගත නොවී ය.

ඉදිරියෙන් බටහිර දෙසට වංගුවක් පසු කරද්දී, ලඳු කැළෑව කෙළවර වූ අතර, එතැන් සිට පාර විහිදුණේ, වෙල් යායේ මහ නියර මතිනි. හිස ඔසවා බැලූ ඇඩම් ට, ඈතින් පිහිටි දළදා මැදුරත්, ඇතුල් නුවර ගොඩනැගිලිවල කොත් පංතියත් වෙල්යාය ඉස්මත්තෙන් දිස් විය. එසැණින් පසුපස බැලූ ඔහු දුටුවේ, තමන් ආ අශ්වයා ද කැටිව හැල්මේ එන ස්වදේශික අසරුවා පමණකි. කුපිත වූ හස්තියාගේ සේයාවකුදු දකින්නට නොවීය. 

අශ්වයාහට වේගය අඩු කරගැනීමට ඉඩ හරිමින් යුරෝපීයයා මහ නියර දිගේ ඇතුල් නුවර දෙසට අසු මෙහෙයවීය. අසරුවෝ දෙදෙනා ගේ වේගවත් ගමනට විරාමයක් ලැබුණේ, වෙල් යායේ මැද පිහිටි මහ කමතට ළඟා වූ විට ය. ඇඩම්, මහනියරට වම් පසින් ගළා ගිය ඇළ පාර මත්තෙන් අසු පන්නවා කමතට පිවිසුණි. ඒ පසුපසින් ම කමතට ආ දූතයා, අසු පිටින් බැස, තවමත් සිහිසුන් ව සිටි තම සගයා අසු පිටින් බස්සවා ගැනීමට රැඳවියා හට උදව් විය. මහ ඇලෙන් දිය පොදක් ගෙන මුහුණට ඉස්ස විට ස්වදේශිකයා පියවි සිහියට එළඹියේ ය.

"ඔබ මගේ ජීවිතය බේරුවා ට පින් සිදුවේවා...!" සිහි එළඹි දූතයා ඇඩම් ගේ මුහුණ බලා, මඳ සිනහවක් පාමින් කීයේ ය. "දැන් යමු ඇතුල් නුවරට..."

සිය සගයාගේ අත වැරෙන් අල්ලාගත් හෙතෙම නැගිට පැන්නේ ය. ඔහු අද්මිරාල් ගේ අතින් රැහැන්පටි ගෙන අසුපිටට නැග්ගේ කිසිදු අමාරුවක් නොදක්වමිනි. ඒ අනුව අසුන් පිටට නැගි ඇඩම් සහ අනෙක් ස්වදේශිකයා ඔහු පිටුපසින් නැවතත් මහනියර මතට අසුන් පැන්නවූ හ. 

පළමුවැනි දූතයා, සිය සගයා හට ඉදිරියට යාමට ඉඩ හැර, මඳක් සුනංගු වී අද්මිරාල්ගේ අශ්වයා හා නැවතත් සමපාත විය.

"මම උඩුමුල්ලෙ නිළමෙ..." ඔහු රැඳවියා හට තම පපුවට තට්ටු කර දැක්වී ය. "කිට්ටුවන්තයො මට කියන්නෙ මිත්‍ර." 

මඳ සිනහවකින් යුරෝපීයයාගේ සූර්යතාපයෙන් රැළිගැසුණු ඇස් සිහින් කෙරුණි. ඔහු සිය නළල මතට වමතෙහි ඇඟිලි තුඩු දිගු කර ආචාර කළේ ය.

"මම ඇඩම් ඇන්ඩර්සන්... කිට්ටුවන්තම උදවිය මට කියන්නෙ ඩ්‍රේක්" ඔහු රැහැන්පටි වමතට මාරු කර ගෙන, සිය දකුණත මිත්‍ර දෙසට දිගු කළේ ය. පණිවුඩකරු, උඩුකය මඳක් හරවා, දකුණත දිගු කර එය අල්ලාගති. 

වෙල්යාය කෙළවර වූයේ බස්නාහිර - නැගෙනහිර අතට විහිදුණු මාවතකි. අසරුවෝ ති දෙන මහ මාවතට ගොඩ වී නැගෙනහිර දෙසට හැරෙද්දී, මාළිගාවේ හේවිසි හඬ ඔවුන්ට පැහැදිළිව ඇසුණි. අඩි කිහිපයක් ගොස් උතුරු දෙසට වංගුව හැරෙනවාත් සමඟම, ඔවුන් ඉදිරියේ වූයේ මුරකාවලකි. 

"තමුුන්නාන්සෙලා කොහෙටද යහපත් වෙන්නෙ?" හෙල්ල ගත් මුර සෙබළු ප්‍රශ්න කළහ. 

මිත්‍ර සිය ඉණතුරේ වූ කිණිස්ස ඇද, එහි මිට මුරකාවලේ ප්‍රධානියා හට පෙන්වී ය. ඒ දුටු සෙබළු දෙපසට වී, අසරුවන් ති දෙනා හට ඇතුල් වීමට ඉඩ හැරිය හ. සත්ත්ව අඟකින් සෑදුණු ඒ කිිණිස්සේ මිටෙහි වූ ඉපැරණි සූර්ය කැටයම කොහේ දී හෝ දැක පුරුදු බව ඇන්ඩර්සන් හට මතක තිබුණි. එහෙත්, ඒ කෙතැකදී දැයි සිහිපත් කර ගත නොහැකි විය. වටාපිටාව සිතෙහි ඇඳ ගනිමින් විමසිලිමත්ව ගමන් ගත් ඔහුගේ සිහියට එය සිහිපත් කර ගැනීමට තරම් විවේකයක් නොවීය. එහෙත් එය ඒ තරම් සුභදායක මතකයක් නම් නොවූ බව පමණක්, මතක තිබුණි.

මුරකාවලේ සිට පටු මාවත නැගෙනහිර දෙස ට විහිදුණි. මාවත දෙපස වූයේ මනාව නඩත්තු කරන ලද උද්‍යානයකි. ඈතින් ඇසුණු හේවිසි හඬෙහි යම් හුරු පුරුදු බවක් ඇඩම් ට හැඟුණේ ය. දින කීපයකට කලින් ටිකිරි බණ්ඩාර සමඟ නාථ දේවාලයේ පූජාවන්ට සහභාගි වෙද්දී දළදා මැදුරෙන් නැඟුණු තේවාවේ හේවිසි හඬ ට එය බොහෝ සමපාත විය. 

විමසිලිමත් වූ යුරෝපීයයාගේ දෑසට, ඉදිරියෙන් ම වාගේ ඈතින් දළදා මැදුරේ වළාකුළු බැම්ම හඳුනා ගත හැකි විය. මීට පෙර ඔහු මෙම ඉසව්වට පැමිණියේ වෙනත් මාවතකිනි. සිතෙහි වූ මතකයන් සමඟ වටාපිටාව සසඳමින් බලද්දී ඊසාන දෙසින් වැවුණු දැවැන්ත ගස් අතරින් තමන් පසුගිය සති දෙකකට පමණ පෙර ටිකිරි බණ්ඩාර සමඟ දිවාකාලය ගත කළ නාථ දේවාලය සහ ඊට මෙපිටින් වූ පත්තිනි දේවාලය දැක ගත හැකි විය. 

මුරකාවල පසුකර අඩි දහයක් යන්නට ලැබුණේ නැත. කලින් ගත කළ නාවුක ජිවිතයේ දී ලබා තිබූ පළපුරුද්ද විසින්, යම් කිසිවක් වරදින්නට යන බව හෝ, සිදුවීම්වල යම් කෘත්‍රිම බවක සේයාවක් අද්මිරාල්හට දැනෙමින් පැවතිණ. දෙවියන් විසින් යක්ෂයාගෙන් සොරකම් කරන ලද මරණය පිළිබඳ ඉව ඇන්ඩර්සන් තුළ ද ක්‍රියාත්මක වෙමින්... 

"විදුව!" 

කෙටි නියමය අනුව හතර වටින් ම ගුවනට මුදාහැරුණු ඊතල සිය ගණනක් සිහින් සිවුරුහඬ නඟමින් තමන් දෙසට ඇදී එනු අසරුවන් ති දෙනාට ඇසුණි... පෙනුණි.

දහ වෙනි කොටසට...

----------------------------------
සංලක්ෂය - 
කතාවේ ශෛලියට, කාලයට සහ යතාර්ථයට ගැළපෙන පරිදි ස්කැන්ඩිනේවියානු අද්මිරාල් ගේ නම ඇඩම් - ඩ්‍රේක් ඇන්ඩර්සන් ලෙස වෙනස් කරන ලදි.

මේ පිළිබඳව ඉතා උනන්දුවෙන් සිය අගනා කාලය මා හා ගත කරමින් ලබා දුන් පෝෂණය සම්බන්ධයෙන් හිතවත් Pra Jay මහතාට කෘතඥවෙමි.

Wednesday, May 27, 2020

අවසානයක් ‌නොවේ - අටවන ‌කොටස

පළවෙනි කොටස
දෙවෙනි කොටස
තුන් වෙනි කොටස
හතර වෙනි කොටස
පස් ‌වෙනි ‌කොටස
හය ‌වෙනි ‌කොටස
හත් වෙනි කොටස

https://creativemarket.com/Edgieus/1230921-Early-morning-sunrise-at-field-in-summer

ධනසේකර කුමාරිහාමි කුරුළු හඬ අසමින් අඩ නින්දේ ගැළී සිටියා ය. වළිකුකුළන්, දෙමලිච්චන්, ගිරවුන්, මයිනන්, ලේණුන් එක්ව නැඟූ මියුරු සංධ්වනිය පසුබිම්කරගත් බටිත්තන්ගේ සිවුරුහඬලෑම දිව්‍යමය සංගීතයක් බඳු විය. පින්නෙන් තෙත්බර වූ ගහකොළ අතරින් තීරු තීරු පෙරී ආ උදෑසන ආලෝකය, අලුත්ම දිනකට පරිසරය උණුසුම් කළේ ය. උදෑසනින් නැගිට දඟකරමින් දුව පනින වසු පැටවුන්ගේ කුර ලා තණ මත ගැටෙන හඬ පවා තරුණිය ට පැහැදිළිව ඇසුනි.

ඈ මවිතයට පත් වූණේ එක් වරම ඇසුණු කුකුළු හඬළෑමකිනි. ඒ ඈ සෑහෙන කාලයක් තිස්සේ උදෑසන අවදි කරවූ, රතු කුකුළාගේ හඬ ය.

එක්වරම අවදිවූ තරුණිය හාත්පස බැලුවා ය. ඈ සිටියේ සිය වළව්වේ ආළින්දයේ වූ වැල් ඇඳ මත ය. ඇගේ මව වැල් ඇඳේ පාමුල වාඩිවී සිටියේ ඉතාමත් ඉවසිල්ලෙන් වුව ද, කුතුහළය මහළු ළමාතැනීගේ මුහුණ පුරා ඇඳී තිබුණි.

----------------------------------------------------

ධනසේකර පවුලේ ඇත්තන්ට සිය හැඟීම් හා ආවේග නිදහසේ පවසන්නට ඉඩ ලැබුණේ වළව්වේ ඇතුල් ගැබෙහි දී ය. තරුණ කුමාරිහාමි ඇය අත්දුටු සියල්ල විස්තර සහිතව කීවා ය. ඈ මුහුණදුන් අද්භූත අත්දැකීම යටතේ වූවත්, ඇගේ සිහිකල්පනාව ඉතා නිරවුල් ව පැවතිණ. එහෙත් ඒ කතාව තුළ යතාර්ථයට, සිහින හෝ මනඃකල්පිත මායාවන් කෙතරම් දුරට මුසුව පැවතියා ද යන්න ඇයට සිතා ගත නොහැකි විය.

පසුගිය රෑ කිහිපය නිදි වර්ජිතව ගත කර තෙහෙට්ටුවෙන් සිටිය ද, ධනසේකර වෙද මුදළි තුමා හැකි ඉක්මණින් ම රජ වාසළ වෙත ගියේ ය. සිය දියණිය නිරුපදෘත ව පැමිණි බව රජ වාසළට සැළ කිරීම ඒ ගමනේ මුඛ්‍ය පරමාර්ථය විය. ඇගේ දිවි ගළවාගැනීමට තම ජීවිතය කැප කළ විදේශිකයා හමු වී, කුමාරිහාමිගේ කතාවෙහි හිස්තැන් පුරවා ගැනීම ත්, ඒ අනුව ඔහුට ධනසේකර පවුලේ කෘතඥතාව ප්‍රකාශ කිරීමත් එලෙසින්ම වැදගත් විය.

----------------------------------------------------

ඊළඟ සතිය සිදුවීම් රැසකින් පිරුණි. විදේශික නාවුකයා නැවතත් ධනසේකර පවුලේ භාරයට පත් විය. ඔහු එතෙක් එම පවුලෙන් ලද සුහද සත්කාරය ඉතා ළෙංගතු සත්කාරයක් බවට හැරවුණි. ඔහු ලද ඉතාම වැදගත් කෘතගුණ සැළකීම ලෙස ඔහු සැළකුවේ, රාජසන්තක කරන ලද ඔහුගේ ලියවිලි මිටිය ආපසු ලැබීම යි. එහි නැව්පතිගේ ලොග් පොත, පෞද්ගලික සටහන් පොත, සිතියම් සහ තාරකා සටහන් ඇතුළත් සම්පූර්ණ ලේඛන මිටිය පමණක් නොව පෑන, තීන්ත බඳුන සහ නැව්පතිගේ දුරේක්ෂය පවා ටිකිරි බණ්ඩාර ධනසේකර රාජකීය භාණ්ඩාගාරයෙන් රැගෙන ආවේ ය.

එතැන් සිට සෑම හැන්දෑවක් ම පාහේ ඇඩම් ගත කළේ තම කුටියේ වූ කණප්පුව මත විහිදුවාගත් ලියවිලි සමඟිනි. 

---------------------------------------------------

නාවුකයා ධනසේකර වළව්වට පැමිණ ගතවූ දින තුනක් ඉක්ම ගියේ ය. එදා සැන්දෑව ඉතා චමත්කාරජනක විය. දවල් කාලයේ වැටුණු මඳ වැස්සෙන් සේදී ගිය ගස් වැල්, නැවුම් බවක් විඳිමින් පසුවන බව පෙනුණි. මල්, කොළ, දළු හා තණපත් අග තැවරුණු වැසි බිඳු ලා රත් පැහැ සැඳෑ හිරු කිරණින් දිළිසුම් දුන්නේ ය. වැස්සෙන් තෙත් වූ පියාපත් දිගහැරගෙන වේලාගනිමින් සිටි කුඩා කුරුල්ලෝ, විවිධ හඩ නඟන සීනු රැසක් මෙන් කෑගැසූහ. තණ පඳුරු අතර වූ කුඩා කඩිති අතරින් වසු පැටව් උඩ පනිමින් දුවමින් සෙල්ලම් කළේ සතුටිනි. 

මේ සියල්ල සමඟින් සිය කුටිය තුළට සිර වී, ලියවිලි අධ්‍යයනය කරමින් හා සටහන් තබමින් අඩ අඳුරේ ගත කිරීමට ඇඩම් හට සිත් දුන්නේ නැත. ඔහු කුටියෙන් පිටතට පා තැබීය. බැලූ බැලූ අත දක්නට ලැබුණේ පරිසරයේ නැවුම්බව සමඟ පිබිදුනු ගහ කොළ ය, සතුන් ය.... වෙදහල පසු කරමින් සෙමෙන් පා තැබූ ඔහුට, පරිසරයේ ශාන්ත සිසිලස හා තෙත් බව සමඟ රම් අඩියක අඩුව දැනුණේ ය.

ධනසේකර වළව්වේ වත්ත එක් පැත්තක් කෙළවර වූයේ දැවැන්ත පඩිපෙළක් ආකාරයට පැතුරුණු වෙල් යායෙනි. තවත් පැත්තකින් වෙදහලේ හා වළව්වේ සේවයට නීන්දේ නිළ කර සිටි ගම් වැසියන්ගේ පැල්පත් තනා තිබුණි. අනෙක් පැත්ත ඖෂධ පැළෑටිවලින් පිරුණු ළඳු කැළෑවෙන් වැසී තිබුණේ ය. 

වෙල් යාය තෙක් ඇවිද ආ ඇඩම්, වත්ත කෙළවර පැවති කලු ගල් තලාවේ වාඩි විය. පහත වෙල් යාය හරහා මිහිදුමින් වැසුණු ඈත කඳුවළල්ල තෙක් පුළුල් දර්ශනයක් ඔහුට දැක ගත හැකි විය. වෙල් යායේ වැඩ නිමකළ ගොවියෝ උදලු කරේ තියාගෙන නියර දිගේ විවේකීව ඇවිද ගියහ. ඔවුන්ගේ දහදියෙන් තෙමුණු නිරුවත් උඩුකය හිරු රැසින් දිළිසුණේ ය. ඈත වනරොදින් එළියට ආ හරකුන් ඔවුන්ගේ වාසස්ථාන බලා නිදැල්ලේ දිව ගියේ, පසුපසින් ආ ගොපලු කොළුවන් ගේ බලපෑමෙනි.

ඈත සිහින් රිදීවන් රැළි ගැසුනු ඉරක් සේ ඇඳුනු දියපහරක් ගළා විත් ඔහුගේ දෙපා අසළින් සිළි සිළි හඬ නඟමින් පහළට ගළා යමින් තිබුණි. බැස යමින් පැවති හිරුගේ රැසින් දියපහරේ තැන් තැන්වල කුඩා රවුම් දේදුණු සැදුණේ ය. වර්ණවත් මාළු උඩ පනිමින් එකිනෙකා හඹා යමින් දිය දහරේ විසිතුරු බව නැංවූ අතර, ගෙම්බෝ හා වර්ණවත් පක්ෂීහු විටින් විට උන් අල්ලාගන්නට තැත් කළ හ. ගුප්ත අමනුෂ්‍යයන්, බලවේගයන් හා ඊටත් වඩා ගුප්ත මිනිසුන් ද, ඇදහිළි ද සඟවාගත් මේ කුඩා දිවයින ඇත්තෙන්ම ආදම් හා ඒව නැවුම්ව දිවි ගෙවූ පාරාදීසය ම නොවේදැ,යි ඔහුට සිතුනි.

පසුපසින් සියුම් හඬක් ඇසී ඔහුගේ හිස ක්ෂණිකව ඒ වෙත හැරුණි. ඔහුගේ ඇසට එක්වරම ලක් වූයේ ගල් තලාවට ගොඩවන්නට යන තරුණියකි. ඇඩම් හණික වාඩි වී සිටි තැනින් නැගිට ඒ වෙත හැරුණේ ය. එහි වූයේ ධනසේකර කුමාරිහාමි බව ඔහුට අඳුනාගත හැකි විය. ඔසරිය ඇඳ සිටි ඈ, එහි පිටුපසට වැටුණු පොට ඉණ වටා ඔතා දවටාගෙන සිටියේ වෙදහලේ කටයුතුවලදී බාධා නොවන පරිදි ය. ඇගේ දිගු වරළස තනි කරලක් ගොතා තිබුණ ද, ඊට හසු නොවූ කියඹු වැල් ඇගේ නලලත පුරා වැටී මද සුළඟේ දඟ කරමින්... ඇඩම් ගේ ඇස් දෙස කෙලින්  බැලූ තරුණිය නැවත මුහුණ පහතට යොමු කරගත්තේ ලාලිත්‍යවත් ලෙසිනි. 

"මම ඔබේ හුදෙකලා බවට බාධා කරනව ද?" තරුණියගේ පෘතුගීසි කතා බහ තුළ වූ කතෝලික ආගමික හා ලිඛිත ශෛලිය නැව්පතියාට දැනුණි. 

"ඉන්තේරුවෙම්ම නෑ.... කුමාරිහාමි," රැඳවියා උත්තර දුන්නේ ඔහු උගනිමින් සිටි සිංහල භාෂාවෙනි. ඔහුගේ සිංහල වහරට, වෙද හලේ සේවකයන්ගේ ත්, නගරයේ සාමාන්‍ය වැසියන්ගේ ත් කථන ශෛලිය මිශ්‍ර විය.

කුමාරිහාමි ගල්තලාවේ වාඩි වූවා ය. නෝඩික් නැවියා ද, ඈ අසළින් ඇයට මුහුණලා වාඩි විය.

"මං මේ රටේ beleza (='සුන්දරත්වය') බලාගෙන උන්නෙ" 

විදේශිකයා සිංහල අතරට පෘතුගීසී වචනය රිංගවූ ආකාරය තරුණියගේ මුවට සිනහ නැංවී ය.

"ඔබ ගොඩක් රටවල් දුටු කෙනෙක් නේ.... අපට වඩා ලස්සන දේ දැකලා ඇති?"

"මම වෙනස් වෙනස් තැන් දැකලා තියෙන බව ඇත්ත. නමුත් ඔබේ රට ඒ කිසිම දේකට වඩා විශේෂයි...." නැවුපතියා ප්‍රවේසමෙන් වචන හා සිතුවිලි තෝරා බේරාගනිමින් කතා කරන බව තරුණිය ට තේරුණි.

"මම මේ පාර පිටත් වුණේ ප්‍රංශයෙ රොශ්ෆෝ්ර් තොටුපොළෙන්.... මාර්සෙයි, ඇම්ස්ටර්ඩෑම්, ලිවර්පූල්, ඇලෙක්සැන්ඩ්‍රියා, ලිස්බන්.... ඔය හැම වරාය නගරයක දි ම වගේ අහන්න ලැබුණු එක පුරාණෝක්තියක් තිබුණා, පාරාදීසයක් ගැන...." ඔහු මඳකට කතාව නතර කර, කුමාරිහාමි දෙස බැලුවේ ය.

"සමහර නාවිකයො කියන්නෙ මේ රට තමයි පාරාදීසය කියලා.... මේ පළාත දුටුවා ම, මටත් එහෙම හිතෙනවා" 

"ඔබ සාහිත්‍යයටත් හුරුයි ?" 

ඇඩම් ඈ දෙස බැලුවේ විස්මයකිනි. "ඇයි එහෙම කීවේ?"

"සිංහල සාහිත්‍යයේ අංගයක් තියෙනවා, 'අලංකාර' කියලා. ඔබ අපේ රට ගැන කතා කරද්දි ඒ වගේ දේ යොදාගන්නවා..."

"මම ගොඩක් කියවලා තියෙනවා.... ඔබ අදහස් කරන්නෙ ඒ ගැන නම්.... නමුත් එයින් බහුතරය මිනිසුන් ගැන අධ්‍යයන, භූ විෂමතා, ස්වාභාව අධ්‍යයන, ඉතිහාසය ආදී දේ ගැන."

"ඔබ ඉතා දක්ෂ ලෙස සටන් කරනවා කියා මම දැක්කා. නමුත් ඔය අංශය මා දැනගත්තෙ දැන්...." තරුණිය ඔහුගේ දෑස් දෙස එක එල්ලේ බැලුවා ය. "එදා මා බේරාගන්න මාරාන්තික සටනක් කළා.... මට ඒ ගැන මුහුණට මුහුණ කතා කරන්න ඕනෙ කම තිබුණා."

"ඒක මා කළේ කැමැත්තෙන්...." රැඳවියා සිනාමුසුව කීවේ ය. "ඒත් මට මැරෙන්න වෙයි කියලා නම් හිතුණේ නෑ...."

කුමාරිහාමි ඔහුගේ නිරුවත් පපුව දෙස හොඳින් බැලුවා ය. ඈ සෙව්වේ ඔහුට සිදු වූ මාරාත්මක තුවාලයේ ලකුණු ය. 

"ඒ තුවාලය...." ඈ පැකිළුණා ය....

"ඒක ඉක්මණින්ම හොඳ වුණා. ඔබ දන්නවද අපි බේරාගත්තෙ කවුද කියලා....?" ඔහු සිය පා වහනේ කැපුණු තැන අත ගෑවේ ඉබේටම මෙනි. ඒහි සිදු වූ දරුණු තුවාලයේ ද කැළලක්වත් ඉතිරි වී නොතිබිණ.

"ඔහු මට දුන්න බෙහෙත මට හිතාගන්නවත් බැරි එකක්. මම හිතන්නෙ නෑ ඒ මනුෂ්‍යයෙක් කියලා.... අනික, ඉතාම මරණාසන්න තුවාලයක් බොහොම කෙටි කාලයකින් සුවපත් කරන්න බෙහෙතක් අපි දන්න වෛද්‍ය ශාස්ත්‍ර කිසිම එකක නෑ. කිසිම ශාක සාරයකට කරන්න බැරි ප්‍රාතිහාර්යයක් ඒක...."

"මට මතක හැටියට.... මට වරදින්න පුළුවන් ඒ වෙලාවෙ මම හිටපු තත්ත්වයත් එක්ක.... අපට වෙදකම් කරලා ඔහු ඇඟිලි තුඩුවලින් එතන ගල් තලාවට අමුතු රටාවකට අනුව තට්ටු කළා. එතකොටම, ඔක්කොම අඳුරු වෙලා ගියා. නැවත සිහිය එනකොට මම හිටියේ ඒ දවස්වල මම හිටපු මුරකුටියෙ මැස්ස මත."

"එහෙමද ඒක වුණේ? මම හිතන්නෙ ඒ වෙනකොට මම සිහි නැතුව උන්නෙ. මට බෙහෙත් පොවද්දි මම ඇහුවත්, 'ඔබ තුමා කවුද' කියලා. ඒත් වචනයක්වත් කලා කළේ නෑ."

"ඔව්. ඔහු කිසිම වෙලාවක මොනවත් කිව්වෙ නෑ."

"අන්තිමට බලද්දි, බහිරවයා ත් ඇත්ත නම්...." තරුණිය තමන්ගේ ම වචනවලින් සලිත වී ගිය බව පෙනුණි. ".... අපි බේරගත්තෙත් ඒ වගේම මොකක් හරි බලවේගයකින් වෙන්න පුළුවන්....

"නමුත්.... ඔබට මම ජිවිතයෙන් ණයගැතියි. මා බේරගන්න ඒ වෙලාවේ සාමාන්‍ය මිනිහෙක් නොකරන විදිහේ පරිත්‍යාගයක් කරන්න ඔබ පැකිළුනේ නැහැ...."

ඇඩම් කුමාරිහාමිගේ දෑස් දෙස බැලුවේ ය. ඇගේ දෑස් ලාලිත්‍යවත් බවින් යුතුව පහතට හැරවුණ ද, එක් ඇසිල්ලක් තුළ ඒ දෑසේ වූ තෙත්බර ළෙංගතු බව ඔහුගෙන් සැඟවිය නොහැකි විය. පපුව මැදින්, ඇතුළාන්තයෙන් පටන්ගත් උණුසුම් බවක් සිරුර පුරා පැතිර යනු ඔහුට දැණින.

--------------------------------------------------------

සතියේ කෙළවර වූ සෙනසුරාදා හැන්දෑවේ, ධනසේකර වළව්වේ උදවිය නාථ දේවාළය ට ගියහ. සිය නැඟණිය අකල් මරණයෙන් ගළවා දෙන ලෙස ටිකිරි බණ්ඩාර නාථ දෙවියන් හට භාර වූයේ ඊට පෙර සති‌යේ ය. වන්දනාවට ඇඩම් ද එක් වීම ඇවැසි බව ධනසේකර තරුණයා වැඩියත්ම අදහස් කළේ, භාරය වන අවස්ථාවේ තමන් සමඟ සිටියේ ඔහු පමණක් වීම නිසාත් ය.

ගමනට සූදානම් වන ලෙස දැන්වූ අවස්ථාවේ සිට ම, ලක්දිව ජනතාවගේ ඇදහිළි විශ්වාස ගැන විදේශිකයා අසන්නට පටන් ගත් ප්‍රශ්න වැලෙන් වළව්වේ කිසිවෙකුටත් ගැළවීමක් නොවී ය. 

මිනිසුන් කිහිපදෙනෙකුගෙන් සැදුණු කුඩා පෙරහැර සතර දේවාලය පිහිටි බිමට ආ ගමන්ම වාගේ හේවිසි කණ්ඩායම තම බෙර වාදනය පටන් ගත් හ. දවුල්කරුවන් දෙදෙනා නැඟූ ඩුම් ඩුම් හඬ, තම සවන් පුරවා දමමින් පිටාර ගොස් දේවාල බිත්ති වල නැඟී දෝංකාර දෙන අයුරු යුරෝපීයයා විස්මය පත් කළේ ය. එවැන්නක් ඔහු දකුණු ඉන්දියාවේ දී හෝ අත් දැක තිබූණේ  නැත. තම්මැට්ටම් කරුවන් කැරකෙමින් වේගයෙන් වයද්දී, දවුලේ හඬ පපු කුහරය තුළින් නින්නාද වෙන්නා සේ ඔහුට හැඟුණි. එවිටම වාගේ ඉතා පැරණි කාලයකට අයත් සේ දැනුණු තියුණු හඬක් නඟමින් නලා කරුවෝ ගී විරිතේ එන තනුවක් වයන්නට පටන් ගත්හ. අතිත සම්ප්‍රදායට අනුකූලව, වන්දනා කරුවන් එදිනෙදා හුරු පුරුදු ජීවිතයෙන් වෙන් කොට, වෙනමම උසස් මානයකට මනසින් සූදානම් කරවන මහා බලක් එම හේවිසි හඩෙහි ගැබ්ව තිබුණේ ය. අඩ නිරුවත් කලු පැහැ ග්‍රාම්‍ය ජාතියක් මෙවැනි විස්මයජනක සංස්කෘතියක උරුම කරුවන් වී ඇති ආකාරය ගැන ඇඩම් හට පුදුම නොවී නොසිටිය හැකි විය. එය පේගන් හෝ කතෝලික වන්දනාවන් සමඟ ඔහු සිතෙන් සසඳා බැලුවේ නිතැතිණි. 

නලා කරුවෝ ද, තම්මැට්ටම් කරුවෝ ද, දවුල් කරුවෝ ද  පිළිවෙලින් දේවාල දොරකඩ දක්වාම ගොස් එතැනදී නතර වී දෙපසට වූහ. ඔවුන් අතරින් ඉදිරියට ගිය කත් කාරයෝ දෙදෙනා පළතුරු හා සුවඳ ද්‍රව්‍ය හා බෙහෙත් ද්‍රව්‍ය පිරුණු කත් දෙක, දේවාලයේ ආවතේව කරුවන් විසින් අත් දිගු කර දක්වන ලද දිසාවකට ගෙන ගියහ. පිරුණු පළතුරු වට්ටිය තිබුණේ තරුණ කුමරිහාමි අතේ ය. ඈ මව හා පියා දෙපසින් ඇතිව දේවාලයේ පඩි නැග්ගේ ඉතා සංයමයෙනි. ඇගේ පිටුපසින් මල් හා සෙසු පූජා භාණ්ඩ රැගත් ටිකිරි බණ්ඩාර ද, ඔහුගේ ඇරයුමෙන් යුරෝපීයයා ද පියගැට පෙළ ඉහළට නැංග හ. 

"නාථ ශ්‍රී සර්ව මංගල්‍යම් - යථා දේවේන සංයුතං
සුගන්ධ දීප ධූතේන - නාථස්‌වාමි නමෝ වරං..." 

ප්‍රධාන කපු මහතා ගේ ගැඹුරු හඬ පහත් තාරතාවයෙන් යුතුව දේවාලයේ බිත්ති මත දොංකාර දෙන්නට ගනිද්දී, පිරිස දේවාලය තුළට ඇතුල් වූවා පමණි. ඇතුල් ගැබෙහි මැද එල්ලා තිබූ සුදුපැහැති තිරයක් මත ශෛලිගතව රූමත් දෙවිකෙනකුගේ රුව ඇද තිබුණි. ඒ දෙවියන් පසුපසින් සුදුවන් හංසයෙක් විය. දකුණතින් නෙලුමක් ගෙන සිටි නාථ දෙවියන්ගේ දෑසේ කරුණාර්ද්‍රබව මොනවට නිිරූපණය විය.

කපු මහතාගේ ආරාධනයෙන් ඔවුනට ඇතුලු ගැබට ගොස් දේව පිළිමය දැක බලාගෙන පූජාව ඔප්පු කරන්නට අවකාශ සැළසිණ. පූජාසනය මත සුදු පැහැ මල් කඳු ගසා තිබුණි. සුවඳ දුමින් සහ පොල්තෙල් පහන්වල මන්දාලෝකයෙන් දෙවොල තුළ වාතස්කන්ධය පිරී ගොස්... අනවරතයෙන් ගසන ලද සීනුවල මිහිරි හඩ, හා හේවිසි හඩ මැඬගෙන කපු මහතා ගේ යාදින්න ඇරඹුණේ ය 

“...සාධු සාධු සාධු... දොහොත් මුදුන් තබා වඳිමින් දෙපා නමැද වඳිමින් හුරු අත් නුහුරු කර වඳිමින් නුහුරු අත් හුරු කර වඳිමින් සැලකර සිටින්නේ සුභ්‍ර වර්ණ කීර්ති ධාරාවෙන් බැබලි බැබලී මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයෙන් තුසිතපුර ශීල සමාධීව වැඩ සිටීම අනාථනාථ වූ නාථ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස...” යනාදියෙන් ඇරඹුණු ඒ් කන්නලව්වට යුරෝපීයයා එතෙක් නොදැන සිටි සංස්කෘත හා දෙමළ වචන රාශියක් මුසු වී ගියේ ය.

පූජා භාණ්ඩ දැවැන්ත පිළිමයේ පා මුළ තැන්පත් කළ තරුණිය, වැඩිහිටියන් අනුව දෑත් එක්කොට ළය මත තබා වැඳගෙන, හිස ඔසවා දේව රූපය දෙස බලාගෙන, සිතින් පින් දුන්නා ය. දේවාලයේ ප්‍රධාන කපුමහතා ගැඹුරු හඬින්, යාදින්න කියන්නට පටන් ගනිද්දී ඇතුල් ගැබෙහි පිරුණු නිල්වන් සුවඳ දුමෙන්හි ද කපු මහතාගේ ඒකාතනමය හඬින් ද, තමන් සියුම් මායාකාරී මෝහණයකට නතු වන බව කුමාරිහාමි ට දැණින. නාථ දෙවි පිළිමය මඳින් මඳ වෙනස් වී යනු තරුණිය දුටුවාය. නිල් වන් ව වර්ණ ගන්වා තිබූ පිළිමය බිඳෙන් බිඳ තළෙළු සමෙහි පැහැයට හැරෙන්නට ගත්තේ ය. එහි ජටා මකුටයේ වූ කුඩා බුදු රුවෙන් විහිදෙන්නට ගත් සුදුවන් සෞම්‍ය ආලෝකයෙන්, දේව රූපයේ මුහුණ ආලෝකවත් කෙරුණි. ඒ මුහුණ, තමන් කොතැනදී හෝ දැක පුරුදු බව ඇයට දැණුන ද, ඇයට එය සිහිපත් කර ගැනීමට නොහැකි විය. කරුණාවෙන් හා දයාවෙන් පිරුණු ඒ මුහුණ පහතට හැරවුණි. එහි දෙනෙත් එක එල්ලේම යොමු වුණේ ඇගේ දෑස් වෙත ය.

අඩ අවදියෙන් පසුවූ ඇගේ මනසෙහි එක් වරම විදුලිය රේඛාවක් ලෙස කෙටුණේ, දේව රූපයේ මුහුණ ඊට පෙර දුටු අවස්ථාව ය. එදා ඈ ගල් ලෙණෙහි වැතිර සිටියදී, ඔවුන්ගේ ගැළවුම්කාරයා දෙතොළට ඇඟිල්ල තබා නිහඬ වන ලෙස සංඥා කළ අවස්ථාව.... පෞරුෂයෙන් ද, කරුණාවෙන් ද, ආදරයෙන් ද පිරුණු ඒ මුහුණ ය, ඈ නාථ දෙවියන්ගේ රූපය ලෙස දුටුවේ.

ඈ නැවතත් දේව රූපය දෙස බැලුවේ එය සනාථ කරගැනීම ට ය. ශෛලිගතව අඹන ලද පිළිමයේ නිල්වන් මුහුණෙහි ඈ හට හඳුනාගැනීමට හැකි කිසිදු ලක්ෂණයක් නොවී ය.

-----------------------------------------------------------

"රාසිං දෙවියන් ගේ වාසලට තමුන්නාන්සේ ගේත්, තමුන්නාන්සේ ගේ භාරයේ සිටින රැඳවියාගේත් පැමිණීම අණ කර සිටිනවා!" 

රජවාසලේ පණිවිඩකරු ධනසේකර මුදලිතුමා වෙත සැළකර සිටියේ ය. 

Thursday, April 23, 2020

අවසානයක් ‌නොවේ - හත්වන ‌කොටස

පළවෙනි කොටස
දෙවෙනි කොටස
තුන් වෙනි කොටස
හතර වෙනි කොටස
පස් ‌වෙනි ‌කොටස
හය ‌වෙනි ‌කොටස

බියෙන්, හුදෙකලාවෙන් හා බිඳුනු සිහිකල්පනාවෙන් තමා සියුම් මෝහණයකට නතු වන බව තරුණියට දැනෙමින් පැවතිණ. වරක වනරොදෙහි සියුම් සෙළවීමක් ඈ අඩවන් දෑසින් දුටුවාය. එක්වනම, අඳුරු ගුලියක් බිම පෙරළී අවුත් තමා බැඳ සිටි ලී කණුව වෙත ආවේයැයි ඈට දැනුණි. කුමාරිහාමි ඒ දෙස හැරීමට හෝ ආයාසයක් නොගත්තී ය. ඇයට මේ සියල්ල බියකරු සිහිනයකි. අඳුරු ගුළිය දිගහැරී මානව රූපයකට හැරුණි. එහි සුරතේ වූ යමක්, වළාකුලින් මෑත් වූ තරු එළියෙන් යන්තමින් දිළිසුණේ ය. එකවරම, සිය දෑත් ගැට ගසා ඇති රැහැණ කැපී යනු තරුණියට දැණුනි.

මාරක හූ හඬකින් හාත්පස හෙල්ලුම් කෑවේ එක් වරම ය....

එක් ‌මොහොතකට තරුණියත්, ඇගේ ගැළවුම්කාරයාත් ගල් ගැසුණහ. කුමාරිහාමි සිහි එළවාගැනීමට තැත් කරද්දී ම, ඇගේ ‌දෙපා ගැටගසන ලද වර පට ද මුවහත් ආයුධයෙන් කැපී ගියේ ය.

දෙ වන හූ හඬ ඇසෙද්දී, අබිරහස් අමුත්තා තරුණියගේ බඳ වටා ‌වට කිහිපයක් ‌වෙළා තිබූූන රැහැන්පට ඉතා කඩිසරව කපමින් සිටියේ ය. ‌වෙහෙසින් සහ බියෙන් අප්‍රාණික වූ රූමතිය පසෙකට ඇල වී යද්දී, අන්තිම රැහැන් පටත් සිඳි අමුත්තා, ඈ වත්තන් කරගැනීමට යුහුසුළු විය. ඔහුගේ අත්‌ලේ ‌ගොරෝසු බවත්, දෑතේ අයෝමය ශක්තියත් කුමාරිහාමි ට දැනුණේ ය.

තෙවන හූ හඬ නැගුනේ ඉතාම ආසන්නයෙනි. ඒ සමඟම, අඩි තුනක් පමණ උසැති, වළසෙකු බඳු රුවක් වනරොදින් මෑත් ව එළිමහන් බිමෙහි ‌දෙපයින් සිටගත්තේ ය. එකෙණෙහි ම, වධක කණුව මුදුනේ වූ විළක්කුව ගිණි පුපුරු නඟමින්, නැවතත් දීප්තිමත්ව ඇවිළෙන්නට පටන් ගති.

තරුණියට ඉතා සැළකිල්ලෙන් හා ප්‍රවේසමෙන් කණුව පිටුපස බිම වැතිරෙන්නට සැළැස්වූ ආගන්තුකයා, නැඟිට සිය ආයුධය ද අමෝරාගෙන ඉදිරියට ආවේ ය. විළක්කුවේ එළියෙන් ඔහුගේ සුදුවන් උසැති සිරුරත්, පිට මතට වැටුණු රන්වන් ‌කෙස් කළඹත් දුටු තරුණිය එකෙණෙහිම ඔහු හැඳින ගත්තා ය. ‌ඇඩම් - සැබැවින්ම ඒ ඔහු විය - සැරසී සිටියේ ඉණෙහි වූ රෙදි කඩකින් පමණි. ඔහුගේ සුරතේ වූයේ සම්මානිත කඩුපතකි, අද්මිරාල් ධූරයට ලද උසස් වීම සමඟ පිරිනැමුණු සංකේතාත්මක කඩුපත... එය තමා සන්තකයේ ම තබාගැනීමට සිංහලේ රජු ගෙන් ඉල්ලූ විදේශික රැඳවියාහට, එය කිසිදු ආකාරයේ ප්‍රචණ්ඩ කටයුත්තක යොදා නොගන්නා බවට ඉතා ගාම්භීර දිවුරුමක් දීමට සිදු විය.

විදේශික රැඳවියා තමන් මුහුණ පා සිටි‌යේ මනුෂ්‍යයෙකුට නම් ‌නොවන බව දුටුවේ ය. පිරුණු රවුම් මුහුණ පුරා පැතිරුණු කුරිරු බැල්ම, ඒ පිට වැටී අවුල් වූ ‌හැඩපලු ‌ගෙතුනු කෙහෙ රැළිවලින් යන්තමින් වැසුණේ ය. ඉතා ‌කෙටි දෑත් හා ‌දෙපය ඉතා පුෂ්ටිමත් විය. දුඹුරුවන් ‌කෙටි වස්ත්‍රයකින් ඔහුගේ යටිකය වැසී තිබුණු අතර, උඩුක‌යෙහි වූයේ පුන නූලක් පමණි. ‌මේ සියල්ලටම කලින් අද්මිරාල් ඇන්ඩර්සන් දුටුවේ සතුරාගේ දෑතෙහි වූ ශ්‍රී වත්සය සහ ‌කෙටි කඩුව ය.

තත්ත්වය තමන් සිතා සිටි තරම් ලඝු ‌නොවන බව ‌නාවුකයා ට තේරුම් ගිය ද, දැන් ප්‍රමාද වැඩි ය. ඔහු සුරතින් තරයේ කඩුමිට අල්ලාගෙන කඩුපත ‌දෙතුන් විටක් කරකවමින් එහි සැහැල්ලුවත්, සුහුරුව හැසිරවිය හැකි බවත් මැන ගත්තේ ය. පිටිය මැද ට පිය නැගූ ‌හෙතෙම, සිය ‌දෙපා සෘජු කෝණිකව සුඛනම්‍ය පරතරයකින් තබාගෙන, සුරත පිටුපසට ඇද වැළමිටින් නවා, සිය හිස ට පිටුපසින් ‌පොළ‌ොවට සමාන්තරව කඩුව තබා ගනිමින්, වමත ඉදිරියට ‌යොමු කරමින් ඉදිරියට නැඹුරු වූයේ ය. එම ඉරියවුව ඔහුට ඉතා හුරු පුරුදු විය. මුහුදු කොල්ලකාරයන් සමඟ කරන ලද ගිණිය නොහැකි තරම් වූ සටන් වලදී, පැද්දෙන නැව් තට්ටුව මත සමතුළිතව සිටීමට දෙපය එකකට එකක් සෘජු කෝණිකව තබා ගැනීමට ඔහු හුරුව සිටියේ ය. රැඳවියෙකු ලෙස සිටි කාලය තුළ නොලද ත්‍රාසජනක අවස්ථාව ඉතා මැනැවින් රසවිඳීමට ඔහු ඉටා ගති.
 
http://www.route2.org/10-1/damsel-in-distress

එසැණින් ‌කෝපයෙන් වියරු වූ බව සියලු ඉරියව්වලින් මොනවට පළ කරමින් බහිරවයා ඇඩම් ‌වෙත දිව ආයේ ය. අමනුෂ්‍යයා ‌මෙන් ‌දෙගුණයක් ඔහුගේ ප්‍රතිවාදියා උස් වූව ද, එහි අමුතු වාසියක් නාවිකයා ට ‌නොවී ය. පියවර ‌දෙක තුනක් තබා අහසට පැන්න බහිරවයා, සිය සතුරා හට හට දෑතින්ම පහර එල්ල කළේ ය. සිය දකුණැළය ට පහත් වූ ඇඩම් එල්ල වූ කඩු පහර ‌ලේසියෙන් වළකා හරිමින්, ශ්‍රී වත්සය ගත් අමනුෂ්‍යයාගේ වමතට සිය කඩුවෙන් තද පහරක් දුන්නේ ය. එසැණින් පියවර මාරු කරමින් අඩ කවාකාරව හරහට පැන යමින් කරකැවී අර්ධ සමනල පා පහරක් බහිරවයාගේ මුහුණට දීමට ඔහුට හැකි විය.

ඒ ප්‍රහාරයන් ‌දෙකෙන් ස-උල් ආයුධය අමනුෂ්‍යයාගේ අතින් ගිළිහී ‌ගොස්,  ඔහු අඩි කිහිපයක් පිටුපසට වැටෙනු අද්මිරාල් දුටුවේ ය. එවිගස බහිරවයා කඩුව වනමින් ආපිට නැගිට පැන්නේ ය. එතරම් ක්ෂණික පියවරක්  අපේක්ෂා ‌නොකළ ඇඩම් ‌ගේ, වම් පාදයේ වූ අබලන් උස් සපත්තුවෙහි සම කපාගෙන සතුරාගේ කඩු පහර ඔහුගේ ‌කෙණ්ඩය ට වැදුණේ ය. සිය හිතවතාට වැදුණු පහරින් තරුණියට කෑගැසුණි. ඈ දෑත් ගුළිකර සිය පපුවට තද කර‌ ‌ගනිමින්, සිය හැඟීම් සමනය කරගන්නට තැත් කළා ය.

සිය ප්‍රතිවාදියා ‌ගේ ‌වේගය අඩාල වූ බව දුටු වාමනයා, නැවතත් කඩුපත අමෝරාගෙන අහසට පැන්නේ ය. සිහි එළවා ගත් අද්මිරාල් අහකට පැන කඩුපහර වළකාගනිමින්, සිය කඩුපත අත් ‌නොහැර දෑත මිට ‌මොළවා, නිදහසේ පහතට වැටෙන අමනුෂ්‍යයාගේ ඉළ ‌පෙදෙසට බරැති මුෂ්ටි ප්‍රහාරයක් දුන්නේ ය.

කන් බිහිරි කරවනසුළු තියුණු හඬක් යටි ගිරියෙන් පිටකරමින් බහිරවයා ආපසු ද නැගිට පැන්නේ ය. කෙතරම් පහර කෑවද අමනුෂ්‍යයා ‌වෙහෙසට පත්වූයේ ඉතා ‌සෙමිනි. ඊට සාපේක්ෂව; කඨෝර අවස්ථාවන්ට මුහුණ පා පළපුරුදු, රණශූර‌යෙකු වූ නෝවීජියානුුුුවා ඉක්මණින් ‌වෙහෙසට පත්විය. අග්‍රිප්පා, විජියානි හා තිබෝ වෙතින් උගත් මධ්‍ය යුරෝපීය විචිත්‍ර කඩු සටන් ශෛලීන් මේ දිවයිනේ දී තමන්ට උපකාර නොවන බව දැනෙද්දී ඔහු සෑහෙන තරම් විඩාවට පත්ව සිටියේ ය. බහිරවයා පහර දුන්නේ සිය සිරුරේ ශක්තිය ද කඩු පහරේ බරට මුසු කරමිනි. ඊට මුහුණ දීමට පැරණි නෝඩික් ජාතිකයන් භාවිත කළ බරැති කඩුවක් සහ ඊට අනන්‍ය ශක්තිමත් රළු ප්‍රහාර ශෛලිය අවශ්‍ය විය.

ඔහු දිගින් දිගටම අමනුෂ්‍යයාගේ පහර වළකමින් දක්ෂ ‌ලෙස පහර දුන්න ද, වම් පාදයේ තුවාලයෙන් නැගී එන ‌වේදනාවෙන් ද, සටනේ ‌වෙහෙසින් ද එන්න එන්නම දුර්වල වී යන බව තරුණිය දුටුවා ය. ඈ කණුව අල්ලාගෙන නැගිට ගත්තී, තම හිතවතා හට සහාය වීමට ‌පොටක් බැලුවා ය.

ඊළඟ වාරයේ බහිරවයා අහසට පැන කඩුපහර එල්ල කළේ ඇඩම්ගේ ‌ගෙළ ‌පෙදෙසට ය. දණින් නැවී ඒ කඩු පහරට නිදැල්ලේ යන්නට ඉඩ හළ නාවිකයා නැවත ද බර මුෂ්ටි පහරක් වාමනයාගේ මුහුණට එල්ල කරන්නට තැත් ක‌ෙළේ ය. එහෙත් අමනුෂ්‍යයා ඊට වඩා ‌වේගවත් විය. ඔහුගේ වමතට හසුවූ අද්මිරාල්ගේ දකුණත සැණෙකින් නැවී එහි වූ කඩුපතෙහි තුඩ ඇඩම්ගේ පපුව විනිවිද යැවුණේ ය. කුමාරිහාමිගේ විළාපය මැද, නාවුකයා අප්‍රාණික ‌වෙමින් බිම ඇද වැටුණේ ය. ඔහුගේ පපුවෙන් උණු ලේ දහරක් උඩට විදුණි.

තරුණිය සිටි තැනින් මෑත් වී සිය හිතවතා වැටුණු තැනට ‌වෙවුලන දෙපයින් පියනගා එද්දී, බහිරවයා ‌ගොදුර ‌වෙත සිය ‌කෙටි ‌දෙපයින් දිව ආයේ ය.

පියවී යන ඇස් පිය අතරින් ඔහු එක් මොහොතකට නීල්සන් හා රෝල්ෆ් තමන් වෙත නැඹුරු ව සිටිනු දුටු බව සිතී ය. කැරීබියානු රම් බිඳිත්තක රස උගුරට දැනෙමින් නොදැනෙමින්... සිය දෑස් අඳුරු වී යනු ස්කැන්ඩිනේවියානුවා ට හැඟුණි.  එහෙත් සැනෙකින් ඒ අඳුර පහව යමින් ඉතා දීප්තිමත් ආලෝකයක් ඔහුගේ දෑස් ‌මොහොතකට අඳ කළේ ය.

දීප්තිමත් එළිය ‌පහළ වූයේ වාමනයාත්, ඔහුගේ ‌ගොදුරත් අතර මැද ය. එය මො‌හොතකින් වියැකී යද්දී එහි ඉතිරි වූයේ සුදුවන් වස්ත්‍රයෙන් සැරසුණු පුෂ්ටිමත් තරුණ පුරුෂයෙකි. ඔහු නැවී, ඇඩම්ගේ පපු‌වේ ගිළි තිබූ අසිපත ඇද ‌ගෙන, බහිරවයා ‌වෙත පැන්නේ අතිමානුෂික ‌වේගයකිනි. ඔහු එල්ලකළ එකම පහරකින් බහිරවයා ‌ගේ හිස කැපී වැටුණේ ය.

සිදුවූ සියල්ලෙන් ව්‍යාකූල වූ තරුණිය ඇඩම්ගේ පසෙකින් විසඥව වැටුණා ය.

--------------------------------------------

දිය පහරක සිරි සිරියෙන් ද, ගතට දැණුනු ‌සෞම්‍ය මඳ උණුසුමෙන් ද, තරුණිය පිබිදුනා ය. දිය පහරේ හඬින් ඇගේ සිත තුළ ඇති වූයේ සිහිල් සුවපහසු හැඟීම කි. මඳින් මඳ ඇය පියවි සිහියට එත්ම, සිය සිරුරේ සෑම ‌කොටසකින් ම නැඟුනු ‌වේදනාව ඇයට දැනෙන්නට විය. ඇගේ හදවත ඊටත් වඩා පීඩාවට පත් වූයේ, තම ජිවිතය ‌බේරාගැනීමට විදේශිකයාගේ ජීවිතය කැප වුණු බව සිහිපත් වූ විට ය.

දෑස් හැරි ඇයට ‌සෞම්‍යව පැතිරුණු පන්දම් එළියකින් සිය වටපිටාව දැක ගත හැකි විය. ඈ වැතිර සිටියේ ගල් තලාවක් මත බව ඈ දුටුවා ය. ඒ, කුඩා ගල් ‌ලෙණක බිම ය. ඇගේ වම් පසින් ගුහාවේ ඇතුළට වන්නට ඇඩම් ‌ගේ සිරුර වැතිර තිබුණි. ඒ ‌වෙත නැඹුරුව සිටියේ, ඔවුන් බහිරවයාගෙන් ගළවා ගත් ආගන්තුකයා බව ඈ හඳුනා ගත්තා ය.

"ඔබතුමා.... කවුද?" කුමාරිහාමි පැකිළෙමින් සිහින් හඬින් ඇසුවා ය. ඈ ‌දෙස බැලූ අමුත්තා සිය ‌දෙතොල් මත සුරතෙහි දබරැඟිල්ල තබා නිහඬවන ‌ලෙස සන් කළේ ය.

ඔහුගේ දිගැති මුහුණ, කළුවන් ඇස්, රන්වන් සම, තද කළු පැහැති ‌කෙස්, හිස වටා ‌වෙළුණු ජටාව, එහි ඉදිරිපස වූ ඉතා කුඩා ධ්‍යානී බුදු රුව.... ඒ ඉතා රූමත් සහ සුඛනම්‍ය සිරුරකින් යුත් තරුණයෙක් බව ඈ එක් බැල්මකින් දුටුවා ය.

ඇඩම් ‌ගෙන් මෑත් ව නැගිට ගත් තරුණයා, ඇය ‌වෙත ආවේ ය. ඔහු තමා ළඟට එත්ම, කස්තුරි වැනි සුවඳක් තරුණිය ට දැණින. ඇය ළඟින් වීරාසනයෙන් වාඩි වූ ඔහු සිය සුරතින් ඇගේ උරහිස වාරු කරගනිමින්, ඇයට වාඩිවිමට උදව් කළේ ය. ඒ දෑ‌තෙහි සියුමැලි බවත්, ග්‍රහණයෙහි මෘදු බවත් තරුණියට දැනුණි. අමුත්තාගේ වමතේ ‌පළල් ‌කොළයකින් තැනුණු ‌ගොටුවක් විය. එය ඇගේ ‌දෙතොලට ලං කරද්දී, ඇය සිය විසල් දෑස් විහිදා තරුණයා ‌‌දෙස බැලුවා ය. ඔහු සිය හිස යන්තම් ‌පහත් කර, එය පානය කරන ‌ලෙසට සන් කළේ ය. දෑස් පියාගත් කුමාරිහාමි සිය ‌දෙතොළට ළං කළ ‌කොළ ‌ගොටුවේ වූ දියරය බීවා ය. ඈ දැන සිටි ‌ඖෂධ අතරින් ඒ දියරය සමාන වූයේ පිරිසිදු වතුරට මුසු කළ මී පැණිවල රසටය.

මඳින් මද තම සියොළඟ පැතිර තිබූ ‌වේදනාවන් පහව යනු දැනෙද්දී තරුණිය නැවතත් ගල් තලාව මත වැතිරුණා ය.

"වෙම් එර් යේයි" සිහින් කෙඳිරුමක් ඇසී නැවතත් ඇස් ඇර බැලූූ ඈ දුටුවේ අමුත්තාගේ අතෙහි වාරුවෙන් ‌කෙළින් වී ගල් තලාව මත වාඩිවී සිටි ඇඩම් ය. ඔහුගේ පපුවෙන් ගළමින් පැවති ‌ලේ දහර නතර වි, එහි වූ තුවාලය ‌සෙමෙන් ‌සෙමෙන් කුඩා ‌වෙමින් ‌ගොස්, නැත්තටම නැති වී ගියේ ය.

------------------------------------------------------

Monday, April 20, 2020

අවසානයක් ‌නොවේ - හයවන ‌කොටස

පළවෙනි කොටස
දෙවෙනි කොටස
තුන් වෙනි කොටස
හතර වෙනි කොටස

මැදින් මස අව අටවක පසුවී දින ‌දෙකක් ඉක්ම ගියේ ය. කන්ද උඩරට ට එතරම් හුරු ‌නොවූ චණ්ඩ සූර්ය තාපය.... එකතැන ගල් ගැසී රත් වූ වාතස්කන්ධය.... ගහ ‌කොළ, සතා සිවුපාවුන් කුරුල්ලන් ආදී කිසිම පණඇති ‌දෙයක ‌සෙළවිමක් ‌නොවී ය. 

රාජකාරියට කැඳවීම් ලැබ, මහවාසලට ගිය ධනසේකර ‌වෙද මුදලි තුමා ආපසු ආවේ යම්කිසි අමුත්තක ‌සේයාවක් පළ කරමිනි. නියමිත දිනවලට, නියමිත ‌වේලාවට අනුකූල ‌නොවී හදිසියේ කැඳවන ලද විට එතුමා මුලු වරුවම රජවාසලේ ගත කිරීම සාමාන්‍ය සිරිත විය. එය සමහර විට දින කීපයක් දක්වා දීර්ඝ වීම ද සුපුරුදු ‌දෙයකි. එහෙත් ප්‍රස්තූත දිනයේ එතුමා ගිය පයින්ම වාගේ ආපසු ආයේ ය.

වළව්වේ කඩුල්ලෙන් ඇතුළ‌ට පැමිණි තිරික්කලය, එතැන් සිට ‌ගෝපුර දක්වා ආවේ කිසිවෙකුගේ ‌මෙහෙයවීමකින් ‌තොරව බව ‌පෙනුණි. ‌ඈත තියා එම දසුන දුටු ස්කැන්ඩිනේවියානු රැඳවියා, මැදුරේ ‌දොරකඩට ආවේ නරක ආරංචියක් බලාපොරොත්තුවෙනි. ඒ වන විට ද, තරුණ කුමාරිහාමි සහ ළමාතැනී එළිපතට වී විමසුම් ‌නෙතින් යුතුව, ඈත සිට එන තිරික්කලය ‌දෙස බලා උන්හ.

තිරික්කලයේ ‌දෙදෙනෙකු එන බව ඈතට ‌පෙනුණි. තවත් ළං වන විට  එහි ඉදිරිපස වාඩිවී ‌තෝන් ලණුව සහ ‌කෙවිට අතින් ‌ගෙන සිටිධනසේකර මුදලිතුමා‌‌ගේ තරුණ පුත්‍රයා වූ ටිකිරි බණ්ඩාර ද, තවත් ළඟට එන විට ඇතුල් ගැබෙහි වාඩිවී සිටි මුදලිතුමා ද පැහැදිළිව දැකගත හැකි විය.

තිරික්කලය ප්‍රධාන ‌‌දොරටුව ළඟ නතර කරන විට, ඇඩම් පසුපසින් එයට ළං විය. ‌වෙදහලේ ආවතේව කරුවන් ද එතැන වටකරගත්තේ අමුත්තක් දැනුණු ‌හෙයිනි. තිරික්කලයේ බක්කියේ ‌දොර ඇරගෙන දකුණු පය බිමට තැබූ මුදලිතුමා, විදේශික රැඳවියාගේ උරහිසට වාරු ‌වෙමින් බිමට බැස ගත්තේ ය. ඔහු එතැනින් ආළින්දයට ‌ගොඩවී හාන්සි පුටුවේ ඇළවිය. 

මුදලිතුමාගේ මුහුණින් ‌‌පෙනුනේ අයහපත් ආරංචිියක් ඇති බවක් පමණක් ‌නොවේ. ඔහු ‌මේ ‌වෙලාවේ වචනයක්වත් කීමට ‌නොරිසි බව ද එහි මනාව සටහන් ව තිබුණි. 

මැළවී ගිය මුහුණින් යුතු ටිකිරි බණ්ඩාර තිරික්කලය දක්කාගෙන වළව්ව පිටුපස මඩුව ‌වෙත ගියේ ‌ගොන් නාම්බාට විවේකයක් දීමට ය. ඇඩම් නිහඬව ම ඒ පසුපසින් වැටුණේ ය. වළව්ව ඉදිරිපස ‌රොක් වී සිටි ‌සෙසු උදවිය ද පවුලේ අය හට අවසර සළසමින් තම තමන්ගේ කටයුතුවලට විසිරී ගිය හ.

මඩුවේ දී ‌ගොනා ‌ලෙහා දමා, උගේ ‌ගෙළ සහ පිට ‌තෙල් ගල්වා, පුන්නක්කු හැළිය සකස් කරදීම සිරිත් පරිදි ටිකිරි බණ්ඩාර අතින් සිදු විය. ඇඩම් ඒ ‌දෙස බලා සිටිය ද වචනයක්වත් කතා කළේ නැත. ඔහුට සමස්ත සිදුවීම අසාගන්නට හැකි වූයේ ධනසේකර තරුණයා සිය කටයුතු නිමවා මඩුවේ ‌කොට බිත්තිය මත වාඩි වූ පසුවය.

------------------------------------

මහනුවර නගරයේ පිහිටි උස ම ස්ථානයක් වූ බහිරව කන්ද, විජයබා ‌කොල්ලයෙන් රයිගම් බණ්ඩාර හෙවත් පරරාජසිංහ කුමරු ලද වස්තුව නිධන් කළ තැන විය. මුලු රටට දිග් විජය කළ සපුමල් කුමරු ‌ගේ මගුල් කඩුව ද ඒ අතර වූ බව විශ්වාස ‌කෙරේ. කන්ද උඩරට පසුකාලීන පාලකයෙකු වූ කරල්ලියද්දේ හට මරු කැට, මහනුවර අල්ලාගත් ටිකිරි බණ්ඩාර ‌හෙවත් සීතාවක රාජසිංහ රජු, සිය උපදේශක වූ ආඬි ගුරු අරිට්ඨ කී ‌වෙංඩු ‌ගේ අදහස ද අනුව ‌මෙකී නිධානය ‌ගොඩ ගන්නට තැත් කළේ ය. ඒ, සිය මීමුත්තා ‌ගේ මගුල් කඩුවෙහි අනුහසින් ‌හෝ පරංගීන් ‌මෙරටින් තුරන් ‌කොට රට නැවත එක්සත් කරවන අටියෙනි.

එහෙත් රාංජසිංහ රජුගේ අවාසනාව ආරම්භ වූයේ එතැනිනි. ආඬිගුරු ‌ගේ ‌හෝමය වැරදී ගියේ ය. සියලු නිධානවලට අරක් ගත් අමනුෂ්‍ය බලවේගය වන බහිරවයා බන්ධනය කිරිමට ගත් තැත වැරදුණි. එතැන වූ යකැදුරන් කීප ‌දෙනෙකුගේ ‌බොටුව කඩා දැමූ අමනුෂ්‍යයා, බහිරව කන්ද වටා වූ ඝන කැළෑවට වැදුණේ ය.

සෙනරත් රජුගේ රාජය කාලය ඇරඹෙනවාත් සමඟම, තද නියඟයක් කන්ද උඩරටට බලපෑවේ ය. කිසි දිනක ‌ගොහොරු මඩෙන් ‌නො-තොර ‌වූ, මහනුවර මහා ‌වෙල් යාය ඉරිතළා ගියේ ය. දළදා වහන්සේ වැඩම කළ ද, යන්තම් ‌පොළ‌ොව ‌තෙමෙන්නට මිසක ගහට ‌කොලට ප්‍රමාණවත් වැස්සක් වැටුණේ නැත.

සෙනරත් රජුගේ පූර්වගාමියා වූ විමලධර්මසූර්ය රජුහට ද පුරෝහිතකම් කළ ශ්‍රී නාරායන බ්‍රාහ්මණයා ‌පේනයක් බැලී ය. ඉන් ‌හෙළි වූයේ ‌මේ විපත ඇතිවූයේ බහිරව ‌දේවතාවාගේ බලපෑමෙන් බව ය. සීතාවක රාජසිංහයන්ගෙන් සිදු වූ ගැහැට ට පළිගැනීමක් ‌ලෙස, නියඟයෙන් මහනුවර රාජධානිය පුළුස්සා දැමීමට බහිරවයා ඉටා ‌ගෙන ඇති බව කියැවුණි. 

බහිරවයාගේ ශාපයෙන් රාජ්‍යය ගළවාගැනීමට නම් වංශවත් කන්‍යාවක් බහිරව කන්දේ දී බිළි දිය යුතු විය. වර්ෂයක් පාසා එම බිලි පූජාව සිදු කළ යුතු විය. 


ඒ අනුව මේ දක්වා ‌හෙවත් ‌දෙවන රාජසිංහ රජුගේ පාලන කාලය පුරාවට ද ‌එම චාරිත්‍රය අඛණ්ඩව පැවතීගෙන එයි.

"රජතුමා ඇත්තටම අපේ අප්පච්චිට ‌ළෙංගතුයි." ටිකිරි බණ්ඩාර ධනසේකර රැඳවියාගේ මුහුණ එක එල්ලේ බලමින් කීවේ ය. "ඒකයි අපට හදිසියෙ කැඳවලා ‌මේ පණිවිඩේ කිව්වෙ. රජතුමා ‌කොහොමත් කන්‍යාවියො බිලි ‌දෙන එකට අකමැත්තෙන් හිටියෙ. 

"‌මේ පාර කවුද බිළිදෙන්නෙ කියන එක නිශ්චය කරන්න පැවැත්වෙන ‌දේව කන්නලව්වෙදි, පුරෝහිත බ්‍රාහ්මණයො ආවේශයෙන් කියල තියෙන්නෙ අපේ නංගි ගැන...."

ඇඩම් වාඩිවී සිටි තැනින් නැගිටුණේ ඊ ගසක් ‌සේ ය. දෑත් මිට ‌මොළවාගත් ඔහු විගසක් එතැන ‌නොරැඳී සිය කුටියට වැදුණේ ය.

------------------------------------

සතියක් පුරා ධනසේකර වළව්ව සහ අවට දිස් වූයේ මළගෙයක් ‌ලෙසිනි. ටිකිරි බණ්ඩාර ඒ සතියම ගත කළේ නගර මධ්‍යයේ වූ නාථ ‌දේවාලයේ විවිධාකාර පූජාවන් පවත්වමිනි. ‌වෙද මුදළිත් ළමාතැනීත් හිස්බව පිරුණු ඇස්වලින් බලාගත් අත බලාගෙන පසු වූහ. ඔවුන් හට භාර ව සිටි රැඳවියා‌ගේ බර ද රජවාසල විසින් ඔවුන්ගෙන් මුදවන ලදි. 

ඇඩම් ඇන්ඩර්සන් ‌ගේ නව වාසස්ථානය වූයේ ඇතුල් නුවරට ආසන්නයේ මුර කුටියකි. දිවා කල නගරයේ ඇවිදීමට ඔහුට දී තිබූ අවසරය නැවත අවලංගු ‌නොකෙරුණු ‌හෙයින් ඔහුට ඒ සතිය ම ටිකිරි බණ්ඩාර සමඟ නාථ ‌දේවාලයේ ගත කළ හැකි විය. එහිදී ය ‌ලංකා දිවයින සුරකිමින් වැඩ සිටින සතර වරම් ‌දෙවිවරුන් ගැන ඇඩම් සෑහෙන යමක් දැන ගත්තේ.

වරම් ‌දෙවිවරුන් සතර ‌දෙනාගෙන් ප්‍රබලතම බලවේගය, ටිකිරි බණ්ඩාර ට අනුව නාථ ‌දෙවියන් විය. සිද්ධාර්ථ ‌බෝධිසත්ත්වයන් බුද්ධත්වයට පත් ‌වෙද්දී එතැනට ආ මාර ‌සෙනඟ දැක, සියලු ‌දෙවිවරුන් පළා යද්දී, දුනු මිට දැඩිව මිට ‌මොළවාගෙන බුදුන් පසෙක හිඳිමින් රැකවරණය සැළසුවේ ද එතුමා ය. දැඩිමුණ්ඩ යන නම එතුමා ලැබුවේ එම අවස්ථා‌වේ දී ය. ‌මෙරට මිනිස්සුත් බුද්ධාගමත් සුරකින ‌ලෙස බුදුන්ගේ ශ්‍රී මුඛයෙන්ම පවරන ලද්දේ ද එතුමා ට ය. මතු බුදු වීමට පාරමිතා පුරණ අවලෝකිතේෂ්වර නාථ බෝසතාණෝ ද, එතුමා ම විය....

ටිකිරි බණ්ඩාර යම්කිසි අස්වැසීමක් අපේක්ෂා කළේ එම ‌දෙවියන් ‌වෙතිනි.

-----------------------------------------

අමාවක දින හිරු අවර ට ගියේ මහනුවර නගරය වෙනදාටත් වඩා තද අඳුරකින් වසාගනිමිනි. තරු එළි පවා වැහි වළා ගැබෙහි සැඟවී ගොස් තිබුණි. දළදා මාළිගය සහ සතර දේවාලයේ සිට පිටත් වුණු කුඩා පෙරහැරෙහි පන්දම් එළිවලින් පවා විහිදුණේ මළාණික එළියකි.

ශ්‍රී නාරායන ව්‍යාසදේව බ්‍රාහ්මණ කපු මහතා ආවතේව කරු සමඟ කුඩා මිනිස් කණ්ඩායමෙහි පෙරමුණ ගත්තේ ය. ඔහු මෙකී අභිචාරයේ ආරම්භකයා වූ ශ්‍රී නාරායන බමුණාගේ මුණුපුරා විය. දෙවැනියට ගමන් කළේ දේව දාසියන් පිරිවැරූ ධනසේකර කුමාරිහාමි ය. සර්වාභරණයෙන් සැරසවුණු ඇගේ සුකුමාර සිරුර වැසුණේ සුදුවන් ඔසරියෙනි. හදවතෙහි වූ අඳුරු අපේක්ෂා භංගත්වයට එරෙහිව ඇගේ හිස සෘජුව එසවිණි. නොදන්නා බියකරු ඉරණමක් කරා යන ගමන ඈ පිය නැගූයේ සෘජු හා නොසැලෙන ලාලිත්‍යවත් පියවරිනි. එකිනෙකාට වත්තන් වූ ධනසේකර මුදලිතුමා, ළමාතැනිය සහ ටිකිරි බණ්ඩාර ඒ අසළින් ම ගෑටූ හ. රජවාසලේ ද, ධනසේකර වළව්වේ හා නින්දගමේ ද, හිතෛශී මිනිසුන්ගේ දහදියෙන් තෙමුණු නිරුවත් උඩුකය පෙරහැර පසුපසෙහි වූ පන්දම් එළිවලින් දිළිසුණේ ය.

තද අන්ධකාරය මැදින්, නගරය පසුකර කඳු මුදුන වෙතට පටු මාර්ගය යොමු වෙද්දී, තරුණ කුමාරිහාමියගේ සිත පතුලෙහි වූ ධෛර්යය පොදින් පොද වියැකී යනු, ඇගේ මුහුණ ඉතා සියුම්ව නිරීක්ෂණය කරගෙන සිටි තැනැත්තෙක් දුටුවේ ය. ඔහු සිටියේ කන්ද මැද හරියේ ගසකට මුවා වී ගෙන ය. දුකින් පෙඟුණු මහලු දෙමාපියන්හට සවියක් වෙමින් ඈ මවා පෑ වීරත්වය ඔහුගේ නොමඳ ඇගයුමට ලක් විය.

මුලින්ම කන්ද මුඳුනට ආ කපුමහතා හා ආවතේව කාරයා අවට කහ දියරින් සහ සුවඳ දුමින් කැප කළහ. වනරොදින් වට කෙරුණු කමතක් පමණ වූ එළිමහන් භූමියෙහි මැද දැවැන්ත ලී කණුවක් සිටුවා තිබුණි. ඒ කණුව වටා පහත් නමුත් ගැඹුරු හඬින් ස්තෝත්‍ර කියමින් පැදකුණු කළ ඔවුහු පන්දම් ගෙන දුම්මල ගසමින් අවට පරිසරය එක් නිමේෂයකට ආලෝකවත් කළහ. ගනඳුර මැදින් විහිදි දුම්මල එළි, සිදුවීමෙහි වූ භයංකර බව තව තවත් තීව්‍ර කරන්නට සමත් විය.

ස්තෝත්‍රය අවසානයේ කපුමහතාගේ නියෝගයෙන්, දේවදාසීහු  තරුණිය ලී කණුව වෙත කැඳවාගෙන ගියහ. ඇගේ දෑත් හිසට උඩින් ඔසවා, කණූවෙහි මුදුනේ වූ රැහැණකට ගැට ගසණ ලදි. දෑත් එසවෙද්දී, ඇගේ ළ‌යෙහි ගැස්ම පන්දම් එළියෙන් කැපී පෙනෙණු, මහළු බමුණාගේ දෑසට ලක් විය. දෑස් පියාගත් තරුණිය සිය ඉඟ වටා ඇදුණු හණ රැහැණින් තමන් කණුවට තබා ගැට ගැසීමට ද, දෙපා එකතු කර ගැට ගැසීමට ද, ඉඩ හැරියා ය.

කපුමහතා සිය අතෙහි වූ පන්දම දිගු කර, කණූව මුදුනේ වූ විළක්කුව දැල්වී ය, ඉන්පසු එහි වූ පිරිස හා කැටිව ආපසු යාමට හැරුණේ ය. අවසන් වතාවට සිය දියණියගේ මුහුණ බැලූ මුදලි දෙමහල්ලෝ හිස් බිමට හරවාගෙන ටිකිරි බණ්ඩාර ට වත්තන් වූ හ.

සෑහෙන වේලාවක් ඉක්ම යන තුරුත් කිසිවක් සිදු වූයේ නැත. බැද තිබූ වරපටින් තරුණියගේ දෑත් දෙපා හිරිවැටීමත්, දරාගත නොහැකි ඒකාකාරී නිහැඬියාවත් මිස.... කණුව මත වූ විළක්කුව තෙල් අවසන්ව නිවී ගියපසු වැහි බර අමාවක අඳුර මැද කණාමැදිරි එළියත් සෑහෙන ආලෝකයක් විය.

බියෙන්, හුදෙකලාවෙන් හා බිඳුනු සිහිකල්පනාවෙන් තමා සියුම් මෝහණයකට නතු වන බව තරුණියට දැනෙමින් පැවතිණ. වරක වනරොදෙහි සියුම් සෙළවීමක් ඈ අඩවන් දෑසින් දුටුවාය. එක්වනම, අඳුරු ගුලියක් බිම පෙරළී අවුත් තමා බැඳ සිටි ලී කණුව වෙත ආවේයැයි ඈට දැනුණි. කුමාරිහාමි ඒ දෙස හැරීමට හෝ ආයාසයක් නොගත්තී ය. ඇයට මේ සියල්ල බියකරු සිහිනයකි. අඳුරු ගුළිය දිගහැරී මානව රූපයකට හැරුණි. එහි සුරතේ වූ යමක්, වළාකුලින් මෑත් වූ තරු එළියෙන් යන්තමින් දිළිසුණේ ය. එකවරම, සිය දෑත් ගැට ගසා ඇති රැහැණ කැපී යනු තරුණියට දැණුනි.

මාරක හූ හඬකින් හාත්පස හෙල්ලුම් කෑවේ එක් වරම ය....

හත් ‌වෙනි ‌කොටසට

Sunday, March 29, 2020

අවසානයක් නොවේ - පස්වන කොටස...

පළවෙනි කොටස
දෙවෙනි කොටස
තුන් වෙනි කොටස
හතර වෙනි කොටස

අවරට හැරුනු හිරු ගේ රැස් මළාණික ලෙසින් කන්ද උඩරට පුරා වැතිරී, නුවර කසාවන් එලියකින් පිරවීය. නිසල වූ පරිසරය.... ගහ කොළක සෙලවීමක්වත් ඇති නොකළ නිශ්චල තෙත්බර වාතස්කන්ධය.... නගරය සිවුකොණ සිට, තවත් හෝරා කීපයකින් හාත්පස වසා ගැනීමට බලා සිටි මීදුම.... සියල්ල නිසල විවේකී ආලස්‍යයක ගැළී පැවතිණ.

(අන්තර්ජාලයෙනි)

සිංහලේ මහරජ්ජුරුවන් යමක් පිළිබඳ විනිශ්චයක් ලබාදීමට ප්‍රිය කළේ දවසේ හවස් වරුවයි. දිවා භෝජනය වළඳා, මඳක් සැතපී විවේකීව සිට, ගැටළුවක් හෝ ප්‍රශ්නකාරී සිදුවීමක් ගැන නැවුම් මනසකින් බැලිය හැකි බව එතුමෝ විශ්වාස කළෝ ය.

විචක්ෂණශීලී පරිපාලකයෙකු වූ රාසිං දෙවියෝ සිය රාජසභාව වෙත එක් අවසන් බැල්මක් හෙළමින්, එහි සිටි සියලු දෙනා ගේ සිත් තුළ පැවති ආකල්පය මැන ගත්තේ ය. මහාධිකාරම, තුප්පහියා හෙවත් භාෂා පරිවර්තකයා ලෙස කටයුතු කළ පරංගි රැඳවියා, හමුදාව නියෝජනය කළ ගලගොඩ නිළමේ, කටුපුල්ලේ මහ නිළමේ, ලේකම් මඩුවේ නිළමේ සහ රාජකීය වෛද්‍යවරයා වූ ධනසේකර වෙද මුදලි යන අයට අමතරව එහි වූයේ ස්කැන්ඩිනේවියානු නාවුකයන් දෙදෙනා සහ ඔවුන් භාරව පැමිණි රටේ මහත්තයා ය.

නිළමක්කාරයෝ සියලු දෙනා තූෂ්ණිම්භූතව සිටියේ, පෙරදින සිදුවූ අභාග්‍ය සම්පන්න සිදුවීම හේතුවෙනි. ප්‍රංශ රජය වෙනුවෙන් රාසිං දෙවියන් සමඟ පෙරදිග රාජ්‍ය සම්බන්ධව සාකච්ඡා කිරිමට පැමිණි තානාපතිවරයා වූ ද ලා නරෝල්, රජතුමා විසින් පිළිගැනුණේ දින දෙකකට පෙර ය. එහෙත් සාකච්ඡා සම්පූර්ණ කිරීමට ඔහුට හැකිවූයේ නැත. ලක්දිව අනාගතය සමහරවිට එකහෙළාම වෙනස් වීමට ඉඩ සැළසූ සිදුවීම වූයේ එදින සවස ය. උදෑසන පානයට ලැබුණු තෙලිදිය කැටය, එහි වූ මිහිරි රසය හේතුවෙන් සවස් වන තුරු තබාගන්නා ලෙස තානාපතිවරයා සිය සහායකයා ට පැවරීය. සවස පානය කළ පෝට්වයින් කුසලානයට වත්කරගන්නා විට ඒ තෙලිදිය පැසී තිබෙනු ඇතැයි ඔහු සිතුවේ නැත.

බෞද්ධ භික්ෂූණ් වහන්සේ හැරුණු කොට සෙසු සියල්ලෝම රජවාසල ඉදිරිපට පාරේ ගමන් කළේ පයිනි. එහෙත් එතැන දී අසු පිටින් බැසීමට ලා නරෝල් සූදානම් වූයේ නැත. රජතුමා හමුවීමට පෙර ආචාර විධියක් ලෙස තානාපතිවරුන් හෝරා දෙකක් පොරොත්තු කරවීම සිංහලේ රජවරුන්ගේ සම්ප්‍රදාය වූවත්, මිනිත්තු පහළොවක් ගත වී යත්ම, තමා සහ ප්‍රංශයේ සූර්ය රජු පෙරදිග කළුවන් රජු විසින් අපහාසයට ලක් කෙරුණු බව තානාපතිවරයා ට හැඟුණි.

ද ලා නරෝල් මඟුල් මඩුවේ සිට කෝපයෙන් නවාතැනට හැරී එද්දී, ඔහු එයින් වළක්වාලීමට තැත් නොකළ කෙනෙක්, නොකළ දෙයක් නොමැත. එහෙත් අභාග්‍යය සහ මත් පැනින් හිසට ආරූඪ වූ මමත්වය  විසින් ඔහුගේ විමර්ශනාත්මක බුද්ධිය නිද්‍රවට පත් කර තිබුණි.

පරංගි තානාපතිවරයා බීමත්ව යකා නටන බව සැළවීමෙන් බිඳුනේ රජතුමාගේ සිතේ සැනසිල්ල පමණක් නොවේ. සිය ඇතුල්නුවර සාමය සහ පාලනය කඩ කරන ලද විදේශිකයා කෙරෙහි ඔහු ගේ කෝපය, දමා ගසනු ලැබූ කිණිස්සක් මෙන් එල්ල විය.

නෝක්ලෑර් ද ලා නරෝල් සහ ඔහුගේ පිරිවර බහිරව කන්දට ගෙන ගොස් ප්‍රසිද්ධියේ සිහි සන් වන තුරු කෝටුමස් කිරීම සහ සිරගෙයි ලෑම පසුදින අලුයම කන්ද උඩරට සිදු වූ පළමු රාජකාරිය විය.

ඒ සිදුවීමෙන් හටගත් ආන්දෝළනය පසුබිම් ව, රාසිං දෙවියන්ගේ උදහස මේ වැරහැලි ඇඳගත් විදේශිකයන් දෙදෙනා කෙරෙහිද එල්ලවනු ඇත් දැ යි හටගත් කුකුස, රාජසභා මණ්ඩපය පුරා පැතිරි ගල්ගැසුණු ස්වභාවයට හේතු විය.

“සිංහලේ පරිපාලනය, සමාජ සංස්ථාවේ සැකැස්ම, සාරධර්ම සහ සංස්කෘතිය ගැන නොදන්නා කමින්, එහෙමත් නැත්නම් නොතැකීමෙන් ඉතාම අභාග්‍යසම්පන්න සිදුවීමක් ඇතිවෙලා වැඩි දවසක් නෑ....” රජතුමා හඬ අවදි කළේ ය. “....තොපත් ඒ තානාපතිවරයාගේ පිරිසේම කොටසක්....

“තොප දෙදෙනා දිහා බැලුවාම පේනවා, තොප කියූ පරිදි ම අවාසනාවන්ත විදිහට කැළේ අතරමංවී දින කිපයක් ගත කර ඇති බව. කොයි හැටි වුණත් තොප ගැන තීන්දුවක් අප දෙන තුරු තොපට මේ රටෙන් පිටතට යාමට අවසර නෑ. ඒ වනතෙක් තොප දෙදෙනාට අප භාර කාරයන් නම් කරනවා.”

පරංගි රැඳවියා හට එය සිරකරුවන් දෙදෙනාට තේරුම් කර දීමට අවස්ථාව සළසා රජතුමා සුළු මොහොතකට නිහඬ විය.

භාෂා පරිවර්තනය අවසන් වූ පසු රාජසිංහ රජතුමා අද්මිරාල් ඇන්ඩර්සන් දෙස සිය දබරැඟිල්ල දිගු කළේ ය.  “අද්මිරාල් අන්දිරිසන්....” රජතුමාට පෘතුගීසි භාෂාවත්, එහි වරනැඟීමුත් නුහුරු නොවූව ද, යුරෝපීය වදන් සියබසට හුරුකර උච්ඡාරණය කිරීම සිය පෞරුෂය විදේශිකයන් වෙත පැටවීමේ මාර්ගයක් ලෙස සැළකී ය. “තොපගේ යාළුවා අප බාර දෙනවා තොප මෙතනට ගෙනෙන තුරු සියලු වගකීම් ඉටුකළ දිසානායක රටේ මහත්තයා ට.”

රටේ මහතා දණින් වැටී සිය රාජකාරිය බාර ගත්තේය.

“අද්මිරාල් අන්දිරිසන්, තොප කීප දවසක් යනතුරු මේ අවට ම රඳවා ගැනීම අපගේ අපේක්ෂාවයි. තොපගේ ජාතිය අධ්‍යයනය කිරීමට වටිනා, ඉතා ම කැපී පෙණෙන ලක්ෂණවලින් යුක්ත මනුෂ්‍ය කොට්ඨාශයක්...”

රජතුමා ගලගොඩ නිළමේ දෙස බැලී ය, මහාධිකාරම දෙස ද බැලී ය, අවසානයේ....

“ධනසේකර වෙද මුදළි, අප දැනට මේ නැව්පතියා ගේ භාරය තොපට පවරනවා.” යි වදාළේ ය.

පරංගි රැඳවියා ගේ භාෂණ පරිවර්තනය අවසානයේ, අද්මිරාල් දණගසා, දෑත් දෙපසට විහිදුවා, හිස නමා රජතුමා හට ආචාර කළේ ය.

“ඔබතුමාගෙන් ඉතා කාරුණිකව ඉල්ලීමට එකම එක ඉල්ලීමක් තිබෙනවා.”

“ගැත්තා දේවයන් වහන්සේගෙන් ඉතා බැගෑපත්ව එක ම එක ඉල්ලීමක් කරනවා” පරිවර්තකයා ඊට වැඩිදුරටත් බැහැපත්බව එක් කළේ ය.

“කියනු!” රජතුමාගේ කුතුහලාත්මක මන්දස්මිතිය එතුමාගේ කට කොණින් යාන්තමින් දැක්විණ.

අද්මිරාල් ටිරෙල් වෙත අත දිගු කළේ ය. “අප දෙදෙනා වෙන් වීමට නියමිත නිසා, අද රාත්‍රිය පමණක් හෝ අප දෙදෙනාට එක කුටියක ගත කිරීමට ඔබතුමා අවසර දෙනු ඇතැයි මා අපේක්ෂා කරනවා.”

“කොන්සෙජීදෝ.” කියමින් රජතුමා නැගී සිටියේ පරංගි පරිවර්තකයා කට අරින්නටත් පෙර ය.
-----------------

මසක් ගත වන විට ඇඩම් ඇන්ඩර්සන් හට ධනසේකර වළව්ව ඉතා හුරු පුරුදු තැනක් වී තිබිණ. ඔහු රැඳවුණේ වළව්වට යාබදව තැනුණු මෙහෙකරු කුටි පෙළෙහි වුව ද, වෙද මුදලි තුමාගේ පවුලේ උදවිය ඔහු ට කුළීන රැඳවියෙකුට මෙන් සැළකූ හ. මුදලිවරයා රාජකාරිය සමඟ කාර්ය බහුල වූ නමුත්, සෑම විටකම පාහේ වළව්ව පරිශ්‍රය ප්‍රතිකාර ගන්නා ජනයාගෙන් නොසිස් විය. එහි ආ ගිය හැම සමාජ ස්තරයකට ම අයත් ගිළනුන්ට ප්‍රතිකාර කෙරුණේ වෙද මුදලිගේ තරුණ දුවගේත්, පුතාගේත් මඟ පෙන්වීම යටතේ ය. ආයුර්වේදය මෙන්ම පුරාණ හෙළ වෙදකමත්, ශාන්ති කර්මත් ආදී වශයෙන් එවක දිවයිනේ පැවති සියලුම ක්‍රමවේදයන් එහි දී අනුගමනය කෙරුණි.

දෙමසක් ගත වෙද්දී ධනසේකර මුදලිතුමා මාර්ගයෙන් කරන ලද ඉල්ලීම අනුව, ස්කැන්ඩිනේවියානු රැඳවියා හට ගමෙහි ඇවිද සිංහල සමාජයට අනුගත වීමේ අවසරය ලැබුණි. නොබෝ දිනකින් ම, සුදුවන් කපු රෙද්දකින් ඉණෙන් පහළ පමණක් වසාගත්, සුදුමැළි සමකින් යුතු සිරකරුවා නිගම ස්ථානයෙහි, වෑ කන්දෙහි, වෙල්යායෙහි, දැකගත හැකි විය. ඔහුගේ කැඩුණු සිංහල හා දෙමළ වචන මිශ්‍ර භාෂාව, රන්වන් කෙහෙරැල්ල සහ වැවුණු කෙටි රන්වන් රැවුළ, ලාරත්පැහැගත් ඇස්, පිටිනුවර වැසියන්ට එදිනෙදා හමුවන සාමාන්‍ය දෙයක් බවට පත් විය. රටේ සමාජයේ විවිධ උපචාර ගැන ඔහු ඇසූ ප්‍රශ්න වැඩිහිටියන්ගේ මුවෙහි සිනහ ඉපිදවීය. උඩරට සමාජයේ අංග සහ අභිචාර ගැන ඔහුගෙන් දැකගත හැකි කුඩා දරුවෙකුගේ වැනි කුතුහලයක් සහ නොතේරුම්කමකි.

එහෙත් ධනසේකර වළව්වේ සාමකාමී නිසල බව බිඳ වැටුණු සිදුවීමක් වූයේ මේ අතර ය....

හය ‌වෙනිි ‌කොටස...

සංලක්ෂය : 
කොන්සෙජිදෝ යනු පෘතුගීසි බසින් "අවසර දෙමි" යන්නයි.

වැඩිපුර බලපු ලිපි