Saturday, January 30, 2021

අවසානයක් නොවේ - 28

27 කොටස...

රොස්කෝ ඩි මැන්ඩෙවිල් පියවි සිහියෙන් දෑස් හැර බැලුවේ දින ගණනාවකට පසුව ය. තමා සිටින්නේ කොහිදැයි දැනගැනීම ඔහුගේ පළමු චේතනාව විය. පොල්තෙලින් දැල්වෙන පිත්තල පහනක්, ඔහු සිටි කුටියේ හරි මැද ට වන්නට වහලයෙන් එල්ලෙමින් තිබුණේ අඩ අඳුරට හුරු දෑසට සහනයක් ගෙන දෙමිනි. එහි එළිය හාත්පස වූ තනි ගලින් කෙරුණු බිත්ති මත දිළිසෙමින්... එක් බිත්තියක වූ ගලින්ම කෙරුණු උළුවස්ස හැරුණු කොට තනි ගලක් සාරා සකස් කළ හරි හතරැස් කුඩා කුටියක තමා සිටින බව යුරෝපීය නාවිකයා දුටුවේ ය. 

රොස්කෝ මෙතෙක් වැතිර සිටි පළස මතින් නැගිට දෙපා වකුටු කොටගෙන ඉඳ ගත්තේ ය. තමා ඇඳ සිටියේ තම නාවුක නිල ඇඳුමේ කලිසම පමණක් බව ඔහු දුටුවේ එවිට ය. නැගිටිනවාත් සමඟ සිය හිස වෙලා තිබූ රෙදි වෙලුම්පටි සහ හිස ගල්වන ලද ශාකමය සුවඳින් යුතු සිහිල් ඖෂධය ඔහුට දැනුණි. දෑස් පියාගත් ඔහු ගේ සිතට බිඳෙන් බිඳ අතීත සිදුවීම් ගළා එන්නට විය. 

කොට්ටියාරමේ ප්‍රචණ්ඩ සූර්යතාපය... කාලතුවක්කුවල නොවතින ගර්ජන හඬ... මරණයේ වේදනාවෙන් කෑගසන මිනිස්සු... අකුණු හඬ... ඝන වනාන්තරයේ බියකරු රාත්‍රිය... දොළපාර අසබඩ නවාතැන් ගත් පස් දෙනා... රොල්ෆ් නම් වූ නිර්භීත මිනිසා ගසක අතු පතරේ දී ගිණි ගත් හැටි... නීල්සන් අත පය ගසමින් මාරක ගසේ ඉහළට ඇදී යාම...

බියසුළු නාවිකයා වෙව්ලුවේ ය. වියළී ගිය උගුර තෙමා ගන්නට යමක් ඇත්දැයි ඔහු ගේ විපරම්කාරී දෑස හාත්පස යොමු විය. දකුණත බිම ගසා වාරු ගනිමින් නැගී සිටි ඔහු, කුටියෙන් පිටවීමට තිබූ එකම මඟ වූ ගල් උළුවස්ස වෙත පිය නැගුවේ ය. 

උළුවස්සෙන් එපිට වූයේ පටු කොරිඩෝවකි. වංගු ගැහෙමින් ඉදිරියට පැතිරුණු එය, සකස් කර තිබුණේ ද, නාවිකයා මෙතෙක් සිටි කුටිය සේම තනි කළු ගළිනි. එම පටු මාර්ගය, බිත්ති වල සවිකර තිබූ පන්දම් එළිය නොවන්නට මග සොයාගත නොහැකි වන තරමට ම වංකගිරියක සේ තියුණු වංගු සහිතව සකස් කෙරුණක් විය.

වංගු කිහිපයක් පසුකළ රොස්කෝ, එළඹුනේ පුළුල් දොරකඩකට ය. ගල් උළුවස්සේ දකුණු පස ඉහළ ද, බිම ද, සකස් කර තිබූ සිදුරු තුළින් යැවුණු අයෝමය දණ්ඩක්, සරනේරු ක්‍රමයක් ලෙස භාවිත කර ඝනකමැති දැවමය දොර පියනක් එහි යොදා තිබුණි. දොර විවර ව තිබුණෙන්, යුරෝපීයයා ට එහි ඇතුළත විපරම් කළ හැකි විය. 

තමන් අවදිවන විට සිටි ශෛලමය කුටිය මෙන් තුන් ගුණයක් පමණ විශාල වූ සම සතරැස් ශාලාවක් ඔහු දුටුවේ ය. එහි මැද, දම්වැලක් මඟින් වහලයෙන් එල්ලුණු පිත්තල පොකුරු පහනක තිර කිහිපයක් දැල්වෙමින් තිබුණි. පහනට යටින් ගෙබිම මත පළස් කිහිපයක් එකපිට අතුරා, පළස් කෙළවර රවුම් කොට්ට තබා තිබුණේ, තුන් දෙනෙකුට වාඩි විය හැකි ආකාරයෙනි. ඒ ආසන පැනවීම් අතර, පළසේ මැද කුසලානයක්, දරණුවක් මත තබන ලද කෙමියක් සහ අන්ඩක් සහිත උස් මැටි බඳුනක් සහ පළතුරු පිරවූ බටපොතු භාජන දෙකක් තබා තිබුණි. 

ශාලාවේ වම් පස බිත්තිය අසළ සිටි පැහැපත් තරුණයන් දෙ දෙනෙක්, එතෙක් තමන් අතර පැවති කතා බහ නතර කොට දොර වෙත හැරුණ හ. ඔවුන් ගේ මුහුණේ නැඟුණු මඳ සිනහව දුටු නාවුකයා තුළ ඇති වූයේ සහනදායි හැඟීමකි. තරුණයෝ දෙ දෙනා ඉණෙන් පහළට ධෝතිය වැනි වස්ත්‍ර ඇඳ, පුෂ්ටිමත් උඩුකය වැසෙන සේ උරහිස් මතින් සළුවක් දමාගෙන සිටියහ. ඔවුන්ගේ හිස් වැසුනේ තළප්පාවලිනි. 

"ඉන්ත්‍රාර් පොර් ෆවොර්..." එක් අයෙක් සුරත ඉදිරියට දිගු කර රොස්කෝ හට ආරාධනා කළේ ය. නාවිකයා ශාලාවට ඇතුල් වෙද්දී, තරුණයෝ දෙ දෙනා ශාලාව මැද ආසන පණවා තිබූ තැනට ඔහු ද සමග පිය නැගූහ.  එතැන් සිට සියලු කතා බහ සිදු වූයේ පෘතුගීසි භාෂාවෙනි. 

"කරුණාකර අසුන්ගන්න."

"මම මේ කොහෙද ඉන්නෙ?" රොස්කෝ ස්වදේශිකයන් අනුගමනය කරමින් පළස මත වාඩි වෙමින් ඇසී ය.

"මම ගලගොඩ, මේ උඩුමුල්ලෙ..." සුමන සිය සගයා දෙස අත දිගු කර දැක්වී ය. "අපි කන්ද උඩරට රාජධානියේ නිලමක්කාරයො. 

"කැලෑවෙ අතරමං වෙලා, සිහි නැතුව වැටිලා ඉඳලා ඔබ මෙතනට ගෙනාවෙ. අපේ මිනිස්සු ඔබට සත්කාර කළා. සෑහෙන කාලයක් යන තුරු ඔබගේ මනස යථාර්ථය වෙත අවදි වුණේ නෑ. නමුත් දැන් ඔබ සුවපත්..."

"ඔබට පිපාසය ඇති..." මැටි භාජනය දෑතින් ම එසවූ මිත්‍ර එයින් කුසලානයට අවර්ණ දියරයක් වත් කළේ ය. "අප දන්නේ නෑ ඔබේ ආගමික විශ්වාස ගැන. මෙය මත්වන බීමක් නොවේ. පළතුරු යුෂයෙන් පෙරාගත් පානයක්..." ඔහු දැතින් ගත් කුසලානය රොස්කෝ වෙත දිගු කළේ ය.

කුසලානය ඉතා කැමැත්තෙන් පිළිගත් බව නාවුකයාගේ මුහුණින් පෙනුණි. එය ඔසවා මුවට ළං කරද්දී නැඟුනේ  පළතුරු වර්ග කිහිපයක් මිශ්‍ර වූ සුවඳකි. උගුරු කිහිපයක් නොනවත්වා පානය කළ පසුව ය එහි අමුතු රසායනයක බඳු රසය ඔහුගේ දිව මතට දැනුණේ...

"ඔබගේ සත්කාරයට මම ණයගැතියි..." පානයෙන් උගුර තෙත් ව, ලිහිල් වූ ඉඳුරන් ඇති ව රොස්කෝ කීවේ ය.

"ඔව්... මේ දිවයිනේ අපි, අප වෙත එන හැම දෙනාටම උපරිමයෙන් ම සත්කාර කරනවා." මිත්‍ර රොස්කෝ ගේ වමතේ මැණික්කටුව අල්ලා ගත්තේ, සහෝදරත්වය සහ සුහදත්වය දැක්වීමේ සංඥාවක් ලෙසිනි. "එහෙත් අපි ඔබ ගැන කිසිවක් දන්නේ නෑ. අපි ඉතා නොඉවසිල්ලෙන් ඔබ ගැන විස්තර දැන්ගන්නට..."

"මම රොස්කෝ ඩි මැන්ඩෙවිල්." නාවුකයා තමා දෙපස වාඩි වී සිටි නිළමක්කාරයන් දෙදෙනාගේ කාරුණික මුහුණු දෙස මාරුවෙන් මාරුවට බැලී ය. "මා ගැන මොනවාද ඔබට දැනගන්න උවමනා?"

"ඔබේ සමාජය තුළ ඔබ ඉටු කරමින් උන් කාර්යය..."

"ඊට ඔබ මෙහෙයවූ සාධක සහ ඉතිහාසය..." 

"ඔබගේ සගයන් සහ ඔවුන් ගේ කාර්යයන්..."

නිළමක්කාරයෝ දෙ දෙන මාරුවෙන් මාරුවට යෝජනා කළ හ.

"හරි..." රොස්කෝ සුරතේ වූ කුසලානයෙන් තවත් උගුරක් පානය කළේ ය. "මම හැකි තරම් කෙටියෙන් සියල්ල විස්තර කරන්නම්. 

"... මුලින් ම කියතොත්, මම නෝමන්ඩියේ ධනවත් වෙළෙන්දෙකු වූ එරික් ඩි මැන්ඩෙවිල්ගේ පුතෙක්. මට වයස තිස් දෙකයි. මම හොඳින් අධ්‍යාපනය ලැබුවා පැරිසියේ නොත්‍රඩාමයේ දී. පියාගේ අපේක්ෂාව වුනේ, එවක ඉතා ධනවත් සහ බලවත් වෘත්තියක් වූ පූජකවරය මට ලබා දීම. ඒ අනුව මම වයස දාසයේ දී ප්‍රොතෙස්තන්ත සහෝදරවරයෙක් බවට පත් වුණා...

"මට ලෞකික දේ ග්‍රහණය කිරීම උගහට වුණත්, පොත පතේ ලියා තිබෙන දේ ගැඹුරින් සහ විවිධ කෝණයන්ගෙන් දකිමින් අධ්‍යයනය කිරීම ඉතා පහසු කාර්යයක් වුණු බව මට තේරුණා. මම වයසින් සහ දැනුමින් මුහුකුරා යද්දී, මට තේරුණා ධර්මය කියා අප විශ්වාස කරන්නේ කිසියම් දාර්ශනිකයෙක් ජීවිතය ගැන දේශනා කර තිබෙන දෙයක් වුණත්, එය වර්තමාන සමාජයට සහ බල මූලාශ්‍රවලට උවමනා විධියට හැඩ ගස්වා ගෙන බල මූලාශ්‍රයේ පැවැත්ම සහ වර්ධනය වෙනුවෙන් එය යොදාගැනෙන බව. අපි පූජකවරු, යුද්ධ සෙබළු, නාවිකයන්, වෙළෙන්දන්, පරිපාලකයන් ආදී සියලුම කොටස් රාජ්‍යය හෝ ආගම විසින් එක්තරා අරමුණකට මෙහෙයවීමට යොදාගන්නා මෙවළමක් බවට ධර්මය පත් වී ඇති බව මට වැටහුණා...

"දිග කතාවක් කෙටියෙන් කියතොත්, ජීවිතයේ යම් යම් සිදුවිම් නිසා මම කලින් කියූ අවබෝධයත් සමඟ තව දුරටත් මා තෝරාගත් වෘත්තියේ මට රැඳී ඉන්නට බැරි වුණා. මම මුල් කාලයේ දී මා අවබෝධ කරගත් දේ ගැන ඉහළින් ප්‍රශ්න කළා. ඒ නිසා ම ආගමික සංස්ථාවෙන් මෙන්ම නෝමන්ඩියේ සහ පැරිසියේ මා ඇතුළත් වුණු සමාජයෙන් මා පිටමං කෙරුණා.

"අවසානයේ මම නතර වුණේ මාර්සෙයියේ... නැවු තොටේ තිබුණු බීමහල්වල රාත්‍රියේ වැඩකරලා, බේබදු නැවියන්හට කෑම බීම සපයමින් ගතමනාවක් හොයාගන්න මට සිද්ධ වුණා. එතනදි මට මුණ ගැහුණා ඩ්‍රේක් ඇන්ඩර්සන් නම් විශිෂ්ඨ යාත්‍රිකයා...

"ඔහු අනෙක් නැවියන් මෙන් බීමත් වන්නේ නෑ. රම් වීදුරුවක් තොලගාමින් යම් යම් ලියවිලි පරීක්ෂා කිරීම සහ සටහන් තබාගැනීම, සිතියම් අධ්‍යයනය කිරීම ආදී කටයුතු සඳහා තමයි ඔහු බීම හලට ගොඩවන්නේ. ඔහු නිතරම ආවේ යන්තම් සැඳෑ අඳුර වැටීගෙන එන වේලාවේ. ඒ වගේම බීමහල නාවුුකයන්ගෙන් පිරී යන විට ඔහු නිහඬවම මඟහැර යන්නට පුරුදු වී සිටියා.

"ඉතින් සහජයෙන් ම කඩදාසි, පාච්මන්ට් සහ තීන්ත මගේත් ලෙයට කාවැදී තිබූ නිසා මම ඔහු ට සත්කාර කිරීම ඉතා කැමැත්තෙන් කළා. ඔහු සමඟ හුවමාරු වුණු කෙටි පිළිසඳරවලදී අපි තව තවත් එකිනෙකා හඳුනා ගත්තා. ඒ විදිහට අවසානයේදී ඔහු මගේ ජීවිතයට අරමුණක් ලබා දුන්නා.

"ඔහු ඒ වන විටත් ප්‍රංශ රාජකීය නාවුක හමුදාවේ අද්මිරාල්වරයෙක්... කැරීබියානු ප්‍රදේශවලට, සුභ පැතීමේ තුඩුවට සහ මධ්‍යධරණී කළාපයට කිහිප වරක් සාර්ථක ලෙස චාරිකා කර තිබූ ඔහු පෙරදිගට යාත්‍රාකිරීමට නොඉවසිල්ලෙන් පසුවුණේ. ඔහු ගේ සිතේ තිබුණා එක දූපතක් ගැන. පෙරදිග ඉන්දීය සාගරය මැද පවතින, කිරියෙන් පැණියෙන් ඉතිරෙන, ගංගා ඇළ දොළවල මැණික් හමුවන, අප දැන සිටි සියලු දේශගුණයන් පවතින, ආදම් ගේ පාරාදීසය සොයා ගැනීම ඔහුගේ අභිලාෂය වුණා...

"ඒ වෙනුවෙන් ඔහු මගෙන් අපේක්ෂා කළේ, බෛබලයේ සුභාරංචි, කුරාණයේ උප ග්‍රන්ථ, අප්‍රකට ක්‍රිස්තියානි ලියවිලි සහ ටෝරාව ගැන මා තුළ කටපාඩමින් තිබුණු දැනුම, ඔහු වෙනුවෙන් විශ්ලේෂණය කරලා, පාරාදීසයේ උයන සහ උල්පත, ඔහු දැන සිටි නාවුක ශාස්ත්‍රය අනුව ස්ථානීය පිහිටීම උපකල්පනය කිරීම... ඒ වෙනුවෙන් ඔහු විවිධාකාර සංචාරකයන් සංග්‍රහ කර තිබුණු සංචාරක සටහන්වලින් උපුටාගත් සටහන් මට අධ්‍යයනය කරන්න දුන්නා.

"ඔහු මා ඔහුගේ නාවුක කණ්ඩායමේ පූජකවරයෙකු විදිහට බඳවා ගත්තා. රොශ්ෆෝ වරායෙන් පිටත් වුණු පෙරදිග තානාපති වරයා වූ ද ලා හේ ගේ නැව් කණ්ඩායමට අපට ඇතුල් වෙන්නට හැකි වුණා. මගේ අධ්‍යයනය යම්කිසි මට්ටමකටවත් සම්පූර්ණ කරගන්න පුළුවන් වුණේ ඒ අතරමඟදීයි..."

"ඉතින් ඔබට හැකි වුණා ද, ඔය කියන ආත්මන්ගේ උද්‍යානය සොයාගන්න, සාහිත්‍යය මාර්ගයෙන්?" සුමන ඇසී ය.

"ආදම් ගේ... මම කීවේ ආදම් ගේ උයන..." රොස්කෝ පිළිතුරු දුන්නේ ය. "කිසිම ආගමික පාඨයක තිබුණේ නෑ ස්ථානීය තොරතුරු මොනවත් ම. ඒත් අද්මිරාල් ඇන්ඩර්සන් ළඟ තිබුණා මහා ඇලෙක්සැන්ඩර් ගේ ලේකම් මිටි, චීන පූජකයන්, ග්‍රීක සහ ලතින් වෙළෙන්දන්, ඔටෝමන් යාත්‍රිකයන්, සිතියම් කරුවන්, ස්වාභාව විද්‍යාඥයන් ආදී බොහෝ මූලාශ්‍රවලින් උපුටාගත් සටහන්... ඒ සියල්ල යොමු වුනේ ඉන්දියාවට පහළින් පිහිටි සාගරයෙන් වට වුණු කුඩා දිවයිනක් වෙත..."

*    *    *

හිමිදිරි පාන්දර... රෑ තිස්සේ ගොදුරු සොයා අහස පුරා රවුම් ගැසූ වවුලන් සිය නවාතැන්වලට පියාඹා යන්නට පටන් ගනිද්දී... තවමත් ගස් උඩ ලැගගෙන උන් කුකුළන් තවත් දවසක් පටන් ගන්නට හඬළද්දී... තණපත් මත වූ පිනි බිඳු හිරු ගේ පළමු රැස් දහරින් ළා රත්පැහැයෙන් දිළිසෙද්දී... ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන් මාඑළිය වනාන්තරයේ සීමාවට ළඟා වන්නට සමත් විය. 

ඔහුගේ සිත ප්‍රබෝධයෙන් පිරී ගොස් තිබුණේ හිමිදිරියේ පරිසරය මවා පෑ චමත්කාරයෙන් ම පමණක් නොවේ...

කුරුඳු ළිහිණි වික්‍රමයෙන් පසු ඔහුට නැවත තාරා හෙවත් අග්නි හමුවූයේ ඊට පෙර දින ය. ඇගේ රුව දැකීමෙන් පමණක් ම ඔහු තුළ හට ගැනුණු විපර්යාසය ඇගේ සියුම් නිරීක්ෂණයට හසු විය. මා එළිය ගම්මුලාදෑණියාගේ නිවසේ දොරකඩ දී ඔහු අසු පිටින් බසිද්දී, ආලින්දයේ උස් පිළෙහි වාඩිවී සිටි ඈ නැඟිට්ටේ නොඉවසිල්ලෙන් බවත්, ඉදිරියට දිව එන්නට තරම් ඈ තුළ ඇති වූ තදියම ඈ මනාව පාලනය කරගත් බවත්, නාවුකයාගේ දෑසින් ද මඟ හැරුණේ නැත.

අසරුවෝ දෙ දෙනා වනාන්තරයට ඇතුල් වෙද්දී, මඟ පෙන්වීමට සහ ගම්මුලාදෑණියාගේ ආගන්තුක සත්කාරය ප්‍රකාශ කිරීමට ඔවුන් සමඟ පසුගමන් ආ ගැමියෝ කිහිප දෙනා නැවතුණ හ. ඒ පිරිසේ සිටි වැඩිමහල් මනුෂ්‍යයා කොළ අත්තක් කඩා, එතැන වූ මහ නුග ගසෙහි එල්ලා කෙටි යාතිකාවක් කරමින්, රාජකාරිය පිණිස වනයට ඇතුල් වූ අසරුවන් දෙ දෙනා අයියනායක දෙවියන්ට භාර කළේ ය.

*    *    *

කුඩා දියපහර, නො උස් දිය ඇළි, පාසි බැඳුනු ගල්, කඩා වැටී දිරාපත් වෙමින් පැවති දැවැන්ත කොටන්, කඳුකර තෙත් කළාපීය වනාන්තරයේ පැවති ඝන යටිරෝපණය... ඒ කිසිවක් අසරුවන් දෙ දෙනාට සැළකියයුතු අවහිරයක් වූ බවක් නොපෙනිණ. එහෙත් මාර්ගය වඩ වඩා බෑවුම් සහිත වන විට, ගල් කුට්ටි බහුල වන විට... අසු පිටින් යා හැකි සීමාව ට පැමිණි බව ඔවුන් හට වැටහිණ.

සිනා හඬ නඟමින්, පෙණ බුබුළු නංවමින් ගළා ගිය දිය පහරක් අසළ නැවතුණු දුර්ගා අසු පිටින් බැස්සා ය. ඇගේ පසුපසින් ළඟින් ම ආ ඇඩම් ද ඈ අනුගමනය කළේ ය. දිය පහර අසළට ගිය ඔහු රවුම් ගළක් උඩ වාඩි විය. ගළා යන දියෙහි සිසිලස තම දෑතට දැනෙත්ම දුෂ්කර ගමනේ වෙහෙස නිවී යන්නට පටන් ගන්නා සේ නාවුකයාට දැනුණි. මුහුණට විසිකරගත් දිය බිඳු කිහිපයකින් සෑහෙන තරම් ප්‍රකෘතිමත් වූ හෙතෙම, දිගු ඇඟිලි වකුටු කරගෙන, දිය දෝතක් ගෙන අග්නි වෙත දමා ගැසී ය. 

උරහිස් වකුටු කරගනිමින් පසෙකට හැරුණු කාන්තාවගේ පිට කොන්ද සහ හිස පිටුපසින් තද කළුවන් බෝලයක් මෙන් ගැටගසාගෙන සිටි කොණ්ඩය තෙමී ගියේ ය. අශ්වයා ගේ පිට හරහට දමා තිබූ රෙදි උරය තුළට අත යැවූ දුර්ගා කොළපතක් දෙකට නවා සකස් කර තිබූ පසුම්බියක් එළියට ගත්තා ය. එය ද රැගෙන ඈ අද්මිරාල් ගෙන් පියවර කිහිපයක් ඈතින් පිහිටි ගස් සෙවණක් වෙත ඇදුණේ මවාගත් නොමනාපයක් සටහන් වූ මුහුණිනි. 

තාරා, කොළපත දිගහැරගෙන, එතුළින් එළියට ගත් අග්ගලාවක් ඇඩම් වෙත පෑවා ය. ඔහු එය ගන්නට සුරත දිගු කරගෙන තමන් වාඩි වී සිටි ගල මතින් එසවෙත් ම, ඈ බුහුටි ලෙස අග්ගලාව කටේ දමා ගත්තේ සමච්ඡල් මඳ සිනහවක් පාමිනි.

කුඤ්චනාද දහසක් එකපිට නැඟෙන්නා සේ කණ හිරිවැටෙන සුළු තියුණු හඬක් ඇසු‌නේ එක් වරමය. හාත්පස හෙවුණු ගස් අතු පතර කුණාටුවකට අසුවුණාක් මෙන් කරකැවෙන්නට විය. අශ්වයන් දෙ දෙනා කුළප්පු වී වනය තුළට දුවද්දී, දැවැන්ත අත් පසුරු දෙකකින් ඒ සතුන් දෙ දෙනා අල්ලා ගැනෙනු මඟියෝ දෙ දෙනා දුටහ. අත්තටු ගැසෙන හඬ, ගස් අතු වැනෙමින් කඩා වැටෙන හඩ, සමඟ මුසුවූ අශ්වයන්ගේ විළාප හඬ... අතර මැද, නාවුකයා සහ දුර්ගා තමන් සිටි දැවැන්ත ගසෙහි මුල් අතර ගුළි වූහ.

https://www.facebook.com/Mama955/photos/a.1776803785937354/2366976573586736/
චිත්‍ර ශිල්පී - ප්‍රසන්න වීරක්කොඩි

29  කොටස...  

(entrar por favor / ඉන්ත්‍රාර් පොර් ෆවොර් = කරුණාකර ඇතුල් වන්න (පෘතුගීසි භාෂාවෙන්))

Friday, January 22, 2021

අවසානයක් නොවේ - 27

26 කොටසට...


ඇතුල් නුවර තුළ ම පිහිටා තිබුණත්, රජ මැදුර ටත්, දළදා මැදුර ටත් පියවර දාහක් පමණ පිටුපසින් කුඩා ගල් පර්වතයක් පිට පිහිටි ගරා වැටුණු පැරණි විහාර ගෙය ඒ තරම් අවධානයට ලක් වුණු තැනක් නොවී ය. ගල් කුළ මත පිහිටි අභාවයට ගිය කවාකාර මැටි ගඩොල් ගොඩැල්ලක්, ඉතා ඈත යුගයක තැනුණු කුඩා ස්ථූපයක් සළකුණු ක‌ළේ ය. එහි පසෙකින් වූයේ හතරැස් ගොඩනැඟිල්ලකි. එහි කාලයකට ඉහත සුණු පිරියම් කර සිතුවම් ඇඳ තිබූ බව තැන තැන ඉතිරිව පැවති කපරාරුවෙන් සළකා ගත හැකි විය. හතර පළයට තැනුණු වහළය, ඉපැරණි දුෂ්කර හා මනරම් වඩු කර්මාන්තයක් ගැන සාක්ෂි සපයමින්, දීර්ඝ කාලයක් තිස්සේ අවු, වැසි, සුළං පහරට මුහුණ දෙමින් තවමත් ප්‍රකෘතිමත්ව පවතියි. පැරණි පොත්ගුල් විහාරය ට පසුබිමෙන් හෙවුණු දැවැන්ත ගස් ගොන්න වඳුරු රැළකගේ කෝළහාලයෙන් නිතර කැළඹුනේ ය.

අතීතයේ පොත්ගුල පරිහරණය කළ යතිවරුන්ගේ හා රදළයින්ගේ දෙපයින් ගෙවී ගිය, ගල් පියගැට පෙළ ඉස්මත්තේ දී මිත්‍ර හෙවත් උඩුමුල්ලේ නිළමේ මඳකට නැවතුණේ ය. කරේ වූ ඔළගුව බර වූවත්, පියගැටපෙළ දීර්ඝ වූවත්, නැග්ම ශීඝ්‍ර වූවත්, එයින් ලද විඩාවක් ඔහුගේ මුහුණින් හෝ ඉරියව්වෙන් නොපෙනුණි. ගොඩනැගිල්ල වෙත යා යුතු පියවර කිහිපය ඇවිද ගොස් ඔහු පොත්ගුලේ දොර තල්ලු කර ඇරියේ ය.

ගොඩනැගිල්ලේ ඇතුළත, පිටතින් පෙනුණු ඉපැරණි පෙනුමට හාත්පසින්ම වෙනස් විය. මනාව කපරාරු කර තීරු සිතුවම් ඇඳ තිබූ බිත්ති, පිරිසිදු ගෙබිම මත එලන ලද පන් පැදුරු, පියස්සේ කුරුපාවේ සිට දම්වැලකින් එල්ලුණු පිත්තල පහනේ තිර කිහිපයේ ආලෝකයෙන් මිත්‍රගේ දෑසට ලක් විය. 

දොර අරින හඬින් තිගැස්සුණු ටිකිරි බණ්ඩාර එකෙණෙහි හිස ඔසවා බැලී ය. ටික වේලාවක් තිස්සේ අමුත්තාගේ සියුම් පියවර හඬ අසා සිටි ඩ්‍රේක් ගේ දෑසේ වූයේ තියුණු විමසිලිමත් බවකි.

ධනසේකර තරුණයාගේ උණුසුම් ආචාරයට සිය දෑත් එකතු කර ප්‍රති ආචාර දැක්වූ මිත්‍ර, ඔළගුව පසෙකින් තබා, දෙදෙනා අතර ඉදිරිපසින් එරමිණිය ගොතාගෙන වාඩි විය. සිසාරා ගිය එක බැල්මකින් ඔවුන් අතර පැතිර තිබූ පැරණි පුස්කොල පොත් සියල්ල මිත්‍ර හඳුනාගත්තේ ය.

"චරක සංහිතා... සුශ්‍රැත සංහිතා... අෂ්ඨාංග සංග්‍රහ... සාරාර්ථ සංග්‍රහ... මාධව නිධාන... භාව ප්‍රකාශ..." මුමුණමින් ඔහු හිස ඔසවා නෝර්ඩික් නැවියා දෙස බැලීය. මිත්‍ර ගේ මුවෙහි වූ ගුප්ත මඳ සිනහව, ඇඩම් ගේ ද මුවට සිනා නැංවූයේ නිතැතිනි. "ඩ්‍රේක් සංස්කෘත කියවන්නත් දන්නවද?"

නාවිකයා මුහුණ හරවා ටිකිරි බණ්ඩාර දැක්වීය. "මම දැන් ටිකා...ක් දන්නවා. මේ තමයි මගෙ ගුරු." 

ටිකිරි බණ්ඩාර සිනාසුනා පමණි.

"එහෙනම් මම ආපු කාරණාව ලේසි වුණා..." උඩුමුල්ලේ නිළමේ ඔළගුව ඔසවා, තම ඔඩොක්කුවේ තබා ගෙන දිග අරින්නට පටන් ගත්තේ ය. "මම අරගෙන ආවෙත් ඒ වගේම රාජකාරියක්. ඔබේ මී ළඟ රාජකාරියෙ මුල් කොටස තියෙන්නේ ග්‍රන්ථ පරිශීලනය..."

ඇඩම් මිත්‍ර ගේ දෑස් දෙස බලා, නෙත් කොණින් ඉඟි කර, ධනසේකර තරුණයා දැක්වී ය.

"කොහොමත් ඔබට ටිකිරි බණ්ඩාර ගේ සහය උවමනා වෙනවා මේ වැඩේදි. ඔහු මීට කලිනුත් අපගේ යම් යම් කටයුතුවලට දායක වෙලා තියෙනවා..." මිත්‍ර, තරුණ වෛද්‍යවරයා දෙස බලද්දී, ඔහු ඉතා උද්යෝගයෙන් හිස ඉහළ පහළ වැනුවේ ය.

"ඔහුගේ මම වඩාත් ම අගය කරන දෙය වන්නේ... නිහඬබව. පේනවානේ, ටිකිරි බණ්ඩාර කතා කරන්නේ ඉතාම අඩුවෙන්."

සිය ස්වදේශික සගයා ගේ වමතෙහි සියුම් වෙව්ලීමක් ඇති වී නැති වී යනු, නාවිකයා ගේ තියුණු ඉඳුරන් ට නොදැනී නොගියේ ය.

ඔළගුවෙහි කොන් හතර එකතු කර ගසා තිබූ ගැට සියල්ල ලිහා අවසන් කළ උඩුමුල්ලේ නිළමේ එය දිග හැරියේ ය. එහි වූයේ පුස්කොළ පොත් කිහිපයක් සහ සම් කඩින් එතූ පාච්මන්ට් රෝල් කීපයක් බව දුටු ඇඩම් විස්මයට පත් විය.

"එක කාලයක, ෆා - හියන් නම් චීන පැවිදි නමක් ලංකාවට ආවා, බුදු දහම ඉගෙන ගන්න..." මිත්‍ර දිගු කතාවක් පටන් ගත්තේ ය. "එතුමා ගේ ආරක්ෂාවට සහ උපස්ථානයට ආවේ අපූර්ව යෝගී වරයෙක්. ඔහු තමන්ට කියා ගත්තේ 'ස්වර්ගයට සමාන මහා සෘෂි හෙවත් වානර රජු' කියල යි. ඇත්තටම ඔහු ස්වරූපයෙනුත් මහා වානරයෙක් වගේ තමයි... දිග දෑත්, ඉදිරියට නෙරූ මුහුණ, පළල් හකු, සහ කුදු වූ කොන්ද නිසා. ඔහු ෆා - හියන් භික්ෂුව සමඟ ලංකාවට ආවේ යමක් සොයමින්. ඔවුන් දෙදෙනා පස්යොදුන් - කුකුළු කෝරළ මායිමේ පිහිටි ගල් ලෙණක ටික කාලයක් වාසය කළා...

"තවත් කාලයක මේ ලක්දිවට ආවා අරාබි වෙළෙන්දෙක්. නම, සිංදිබාද්... ඔබ ඒ ගැන නම් කියවලා ඇති...?"

ඩ්‍රේක් හිස සැලී ය. "ඔව්. අපි කියන්නේ සේලරු සින්බෑඩ්. ඔහු ගැන මම දන්නේ කතන්දර කීපයක් විතරයි."

"එතකොට ඔබ හොඳින් ම දන්නවා ඇති මාර්කෝ පෝලෝ ගැනත්...?"

නාවිකයා නැවතත් හිස සැළී ය. 

"මේ තියෙන්නේ ඔවුන් සිය අත් අකුරින් ම සටහන් කරගත් සංචාරක සටහන්..." මිත්‍ර සිය ඔඩොක්කුවේ වූ පාච්මන්ට් රෝල් කිහිපය සහ පුස්කොළ පොතක් සුරතින් ගෙන පැදුර මත තැබී ය. "ඔවුන් ලංකාවෙන් පිට වෙද්දී රහස් දූරය විසින් මේවා රාජසන්තක කළා. මේවා මුල් පිටපත් නිසා ඉතා ප්‍රවේසමෙන් පරිහරණය කළ යුතුයි. ඒ වගේ ම, ඔබ ගවේෂණය කළ යුතු කොටස් විතරයි මම ඔබට මේ දෙන්නේ..."

ඩ්‍රේක් ගේ මුහුණේ පැවති සාමාන්‍ය පෙනුමට යටින්, ඔහුගේ දිළිසෙන දෑසේ මතු වූ උද්යෝගය මිත්‍ර දුටුවේ ය.

"මේ සියලු දෙනා ම ඉතාම උවමනාවෙන් හොයලා තියෙනවා ඇත් සොහොනක් ගැන. රංචු වශයෙන් ජීවත් වෙන සත්තු තමන් මරණයට පත් වෙන්න ආසන්න බව දැනෙන විට රංචුවෙන් ඉවත් වෙලා යනවා. බල්ලන්, නරි, වගේ සත්තු... ඊට වඩා ගොඩක් බුද්ධිමත් සතුන් කොටසක් වන අලි ඇත්තු, මරණාසන්න සාමාජිකයන් ට රැළෙන් ඉවත් වෙලා ගිහින් මරණයට පත් වෙන තුරු හොඳින් ජීවත් වෙන්න උපකාර කරනවා කියා විශ්වාස කරනවා. ඒ කියන්නේ, ශක්තිමත් තරුණ ඇත්තු කීපදෙනෙක්, මහළු ඇතුන්ට රැළෙන් පිට වෙලා එක්තරා තැනකට යන්නත්, මිය යන තුරු එතැන ජීවත් වෙන්නත් උපකාර කරනවා කියලා...

"ඒ වගේ ම මේ දූපතේ ඉන්නා සෑම අතෙක් ම වයසට ගිහින් මිය යන්න කිට්ටු වන විට තමන්ගේ ජීවිතයේ අවසාන කාලය ගත කරන්න, එක ම ස්ථානයකට යන බව විශ්වාස කරනවා. මිය ගිය අලියෙක් කියන්නේ දැවැන්ත විෂබීජ කන්දරාවක්. ඒ නිසා අලි ගැවසෙන වනාන්තරවල ඔවුන් මිය යාම සෑම සතෙකුට ම අහිතකරයි...

"ඒ වගේ ම මරණාසන්න අලි ඇතුන් සිටින තැන, සුරක්ෂිත තැනක් විය යුතු යි, ස්වාභාවික සතුරන්ට ළඟා විය නොහැකි. ඒ නිසා, සාමාන්‍යයෙන් ඇත් සොහොනක් ගැන කටකතා තිබුණත්, එහෙම තැනක් ඇහින් දුටු කවුරුවත් නෑ. 

"මේ ගැන කතන්දර පැතිරෙන්න ලොකුම හේතුව, ඒ වගේ තැනක තියෙන්න පුළුවන් ඇත් දල කන්දරාව යි. ඇත් දල කියන්නේ ලංකාවේ ඉතා ඈත අතීතයේ ඉඳන් ම කැටයම් සඳහා යොදා ගැනුණු අමුද්‍රව්‍යයක්, කල් පවතින වටිනා සුඛෝපභෝගී භාණ්ඩයක්, ඒ වගේම ජාත්‍යන්තරව පිළිගැණෙන ඉතාම වටිනා වෙළෙඳ භාණ්ඩයක්.

"අන්න ඒ නිසා... රාජකීය භාණ්ඩාගාරයේ අවධානය මේ පුරාවෘත්තය දෙස යොමු වෙලා තියෙනවා."

"නමුත් සින්බෑඩ් ගිහින් තියෙනවා නේ මේ කියන ඇත් සොහොනට." ඇඩම් කතාවට බාධා කළේ ය. "ඔහුගේ සෙරන්ඩිබ් චාරිකාවේ දී ඔහු ඇත් සොහොන දකිනවා..."

...නමුත් සින්බෑඩ් ගිහින් තියෙනවා නේ මේ කියන ඇත් සොහොනට...

https://mir-s3-cdn-cf.behance.net/project_modules/disp/be5d8921266615.562fe4c16a841.png

"නෑ..." මිත්‍ර සිනාමුසු ව පැවසි ය. "සිංදිබාද් නම් කවදාවත් ඇත් සොහොනකට ගියේ නෑ. ඔහු කළේ ඒ වගේ දේ ගැන තියෙන පරණ කතාන්දර එකතු කරපු එක විතරයි. ඒ විදිහට එකතු කරලා ඔහු ගොතපු කතාන්දර ගැන තමයි ඔබ ඔය කියන්නේ. ඔහු එකතු කරපු කතා ගැන මේ චාරිකා සටහන්වල සඳහන් වෙනවා. නමුත් මේ සියලු දෙනාගේ ම ලියවිලි ඉතා ප්‍රවේසමින් අධ්‍යයනය කරලා, ගළපා ගත්තොත්, ගොඩක් දුරට අපට ගවේෂණය කරන්න, මේ දූපතේ එක ඉසව්වක් තෝරාගන්න පුළුවන් වේවි...

"ඔබ උවමනා තරම් කාලය අරගෙන, සාවධානව මේ කටයුත්ත කරාවි කියලා අපි අපේක්ෂා කරනවා. ඒ වගේම මේ ලියවිලිවලට හාණි නොවන විදිහට, ඉතා ප්‍රවේසමෙන් පරිහරණය කිරීමත් බලාපොරොත්තු වෙනවා..."

මිත්‍ර තමන් ගෙනා සියලු දෙය නැවත ඔළගුවට බහා ඩ්‍රේක් ඉදිරිපසින් තැබී ය. ඔහු නැගිටිනවාත් සමඟ ම නාවුකයාත්, ධනසේකරත් නැඟී සිටියහ. දෑත් එකතු කර ඔවුන් දෙදෙනා ට ආචාර කළ උඩුමුල්ලේ නිළමේ දොරෙන් එළියට පිය නැඟී ය. 


http://www.internationalhero.co.uk/j/jetlimonkey.jpg
'ස්වර්ගයට සමාන මහා සෘෂි හෙවත් වානර රජු'

*    *    *

කොස් කොලවල නැටි නොපෙනී යන්නට ආසන්න තරමට ඇඳිරි වැටීගෙන එයි. දහවල් කාලය නිදැල්ලේ තණ කමින් ඒ මේ අත ඇවිද ගිය ගොනුන්, ආපිට හැරී තම ගාල් වෙත යන වේලාව යි. ඉරබටු තරුව බටහිර අහසේ පායා එන ආකාරය මුතු මැණිකේ දුටුවා ය. ඈ මිදුලේ සිටුවා තිබූ ඉද්ද සහ වතුසුද්ද ගස්වලින් මල් නෙලමින්, වමතේ වූ කුඩා මල් වට්ටිය සකසමින් සිටියේ සවස බුදුන් වැඳීමට ය. ධනසේකර වළව්වේ ඉදිරිපස මිදුලේ සවිමත් ලී කනු හතරක් සිටුවා, ඒ මත තනා තිබුණු විශාල මල් පැල, තුනී ලෑලි කෑල්ලකින් කොටස් දෙකකට බෙදා තිබුණි. වඩා විශාල කොටස බුදු පිළිමයකට වෙන් වුණු අතර අනෙක් පස වූ කුඩා පිළිමය අවලෝකිතේශ්වර නාථ බෝසතුන්ගේ විය.

කඩුල්ලෙන් ඇතුල් වූ තිරික්කලය දුටු තරුණ කුමාරිහාමි මල් වට්ටිය ද ගෙන වළව්වේ ආලින්දය වෙත පිය මැන්නා ය. තිරික්කලයෙන් බට මහළු වෙද මුදලි තුමා උරහිසේ වූ උතුරු සළුවෙන් පවන් සලා ගනිමින් ආළින්දයේ වැල් ඇඳ මත වාඩි විය.

තිරික්කලය දක්කාගෙන වළව්වේ පිටුපස ට යන ටිකිරි බණ්ඩාර ආපසු හැරී බැලුවේ තම නැගණිය ගේ පියවර හඬ ඇසීමෙනි.

හණි හනික සිය සොයුරාට ළං වූ ඈ රහසින් කතා කළා ය.

"අයියන්ඩි, මොනවද මේ වෙන්නෙ...?"

"මොනවද?"

"අනේ මන්දා..." ඈ පැකිළුණා ය.

නිහඬව ම තිරික්කලය මඩුවට ගෙන ගිය තරුණයා, ගොනා ලිහා දමා විශාල හැළියට පුන්නක්කු කළවම් කළේ ය. එය ඔසවා ගවයා ගේ මුව ට ළං කරන්නට මුතු මැණිකේ ද සිය සොයුරාට සහාය වූවා ය. 

ගව ගාලේ බංකුව මත වාඩි වූ ටිකිරි බණ්ඩාර පුවක් කෑල්ලක් කටට දමා ගනිමින් සිය නැගණිය වෙත හැරුණේ ය.

"ඇන්ඩර්සන් ගැන නං, මාත් ඒ තරම් දෙයක් දන්නෙ නෑ. රජවාසලේ මොන මොනව හරි රාජකාරි වැඩ ඒ මනුස්සයට පවරලා කියල තමයි දන්නෙ..."

"එතකොට අයියණ්ඩි දවල් වරුවෙ එයත් එක්ක මොනවද කරන්නෙ?"

"උන්දැ පොත්ගුලට වෙලා පරණ වෙද පොත් කියවනව." තරුණයා දිගු සුසුමක් හෙළා සිය පපුව සැහැල්ලු කරගත්තේ ය. "මම ඒකට උදව් කරනව. ඒක නං කරන්නෙ විනෝදයට යි, ඉගෙන ගන්න යි කියල තමයි පේන්නෙ..."

"රජ්ජුරුවො ඔය දෙන්නා ලවා පරණ නිධානයක්වත් හොයනව නෙවෙයි නේද?"

"නුහුගුනේද නගා?" ටිකිරි බණ්ඩාර නොරිස්සුම් සහගත බැල්මක් නැඟුනු මුහුණ පසෙකට හරවා ගත්තේ ය.

"රාසිං දෙයියො ගාව රාජකාරි හරිම අවදානං නේද අයියණ්ඩි? මේ මනුස්සයා රාජකාරියට අරගෙන ඕලන්දක්කාරයන්ගෙ ඔත්තු බලන්ඩවත් යවයි ද?" 

"සුදු හම නිසා නේද?"

මුතු මැණිකේ හිස වැනුවා ය.

"එහෙම දෙයක් නං අපට දැනගන්න ලැබෙයි නෙ..."

"අනේ මන්දා... මේ වතාවෙ මොන ගිණිගෙඩියද්ද දන්නෑ?" ඇගේ හඬ බිඳුණේ ය. උගුර හිර කරමින් නැඟී එන ඉකියත්, ගැහෙන්නට ගත් උර හිස් දෙකත් සඟවාගන්නට මෙන් ඈ ගෙතුළට දිව ගියා ය.

*    *    *

සේරුවාවිල මහා සෑයේ නටඹුන් ගොඩැල්ල ඉදිරිපිටදී, තම දෙපා මුල වැඳ වැටුණු විදේශිකයාගේ හිස සුරතින් පිරිමැදි ලුණුගල ධර්මකීර්ති උන්නාන්සේ, ආශීර්වාද කළේ හදවතින් ම ය.

"ටිරෙල් උන්නැහේ ගියාට පස්සේ... අපට තමයි බොහොමත් ම පාඩුව..."

"එහෙමයි අපෙ උන්නාන්සේ..."

"එහෙමයි උන්නාන්සෙ. මේක රජවාසල කැඳවීමක් නෙව..." ගන්තලාවේ රටේ මහත්තයා සිය හඬ අවදි කළේ ය. "මුන්නැහැට විතරයි එන්ඩ කියලා තියෙන්නෙ. දරු පවුලකුත් වෙච්චි එකේ, මුන්නැහැ ආපහු මේ පැත්තෙ ඒවි..." 

"අපි ගෙහුං එන්නං උන්නාන්සේ..." ඉන්ද්‍ර අවසර ගත්තේ ය.

"හා හා... හොඳා හොඳා... මීමුරේ නිළමෙ ඇත්තො... අපේ ටිරෙල් උන්නැහැ පරවේසමෙං ආපිට එවමුකො..."

සුදු අශ්වයෙකු පිට නැඟුණු ඉන්ද්‍ර ද, දුඹුරුවන් අසු ගත් ටිරෙල් ද ගුරු පාර දිගේ නොපෙනී යන තුරුත් දිසානායක රටේ මහතාත්, ධර්මකීර්ති උන්නාන්සේ ත් රැළි වැටුණු දෑසින් බලා සිටිය හ.




28 කොටස 

Thursday, January 14, 2021

අවසානයක් නොවේ - 26

"...මේ රට ඇතුළෙම ක්‍රියාත්මක වෙනවා, රටේ තියෙන සම්පත් සූරාකන, එහෙම නැත්තම් උකහාගෙන විකුණන, එහෙමත් නැත්තං විනාශ කරලා දාන කීප දෙනෙක්. අර අද අපි පස්සෙන් ආවෙ එහෙම එක්කෙනෙක්...

"ඉතිං ඇයි ඔයාලා එයාලව අල්ලලා නඩු දාන් නැත්තෙ?"

"අපි කාලෙකට කලිං ඒක උත්සාහ කළා. ඒත් නඩු කියන්න සාක්ෂි හොයන්න වෙනව. ඒ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරන්න වෙනව. අර වගේ සූක්ෂ්ම හතුරො එක්ක ඒක කරන්න බෑ. ඒගොල්ලො දෙයක් කරන්නෙ සාක්ෂි ඉතුරු කරලා නෙවෙයි. බලන්න, අර ඔයාට ඊයෙ රෑ අපි එවපු ඊමේල් එක දැනගෙන තමයි අද අර එළවලු කඩේ පිපිරෙව්වෙ අර ගොල්ල."

පළමුවෙනි කොටස

තුන්වෙනි කොටස

විසි පස්වෙනි කොටස

සුභාෂ් ගේ දෙතොල වෙව්ලීය... කිහිප මොහොතක් තිස්සේ ඔහු තම මුවින් හඬක් පිටකරගැනීමට, සිතුවිලි වචනවලට පෙරළා ගැනීමට ආයාස ගත්තේ ය.

"ඒ කියන්නෙ... ඒ අය මාව මරන්නද හැදුවෙ?"

තාරා සිය හිස සෙමෙන් සිරස්ව චලනය කළා ය. 

"ඒ විතරක් නෙවෙයි සුභාෂ්..." ඈ භෝජනාගාරයේ කවුන්ටරය පිටුපස සවි කර තිබූ රූපවාහිනිය දෙස බලන ලෙස ඔහුට හිසින් සංඥා කළා ය.

රූපවාහිනියේ ශබ්දය භෝජනාගාරයේ සිටින්නන් හට කරදරයක් නොවන පරිදි අඩු කර තිබුණි. එහි දිස් වූයේ, තරුණයන් දෙදෙනා මීට මද වේලාවකට පෙර සිටි රේල් ගේට්ටුව අසළ දර්ශනයයි. එළවලු කඩයේ ඉදිරිපස මුළුමණින්ම විනාශ වී... දුම් දමන සුන් බුන් ගොඩක් බවට පත් වී තිබෙන අයුරු එහි පිළිබිඹු විය. 

"...ගෙළිඔය ප්‍රදේශයේ හදිසි අකුණු පහරකින් වෙළෙඳ සැලක් සුන් වෙයි..." රූපවාහිනී තිරයේ පහළ ක්ෂණික පුවත් තීරුවේ සටහන් වී තිබුණි. 

සුභාෂ් ගේ පුළුල්ව විවර වූ දෑසේ සටහන් ව තිබූ විමතිය තාරා ගේ දෙනෙතට ලක් විය. 

"අකුණක්?"

"ඒක තමයි." තරුණිය පහත් හඬින් කීවාය. "...ඔයා පස්සෙ එලවන්නෙ ලේසි පාසු උදවිය නෙවෙයි."

"අකුණක්? අකුණක් ගහන්න අහසෙ වැහි වළාකුලක්වත් තිබුණෑ?"

"හිමින් කතා කරමු..." ඈ නැවතත් තම සුරත මේසය හරහා දිගු කොට, ඇඟිලි තුඩින් තරුණයාගේ අත අල්ලා ගත්තා ය. ඇගේ ස්පර්ෂයෙන් සුභාෂ් නැවතත් සිහි එළවා ගත්තේ ය.

"දැන් මම මොකද කරන්න ඕනෙ? අපේ ගෙදරටත් කරදරයක් වෙයිද?"

"නෑ සුභාෂ්... අපි ඒ සේරම බලාගන්නම්. ඔයා මාත් එක්ක යන්න දැන්ම එන්න. මම ගෙදරට පණිවිඩයක් යවන්නම්... දැන් ඔය ෆලූඩා එක ඉවර කරන්න. අපි මෙතන හිටිය කාලය හොඳටම ඇති."

තරුණයා අයිස් ක්‍රීම් දියවී ගිය ෆලූඩා වීදුරුව පානය කළේ, පිපාසයට දිය බොන්නාක් මෙන් ශීඝ්‍රයෙනි. 

"මාත් එක්ක එන්න..." තරුණිය නැඟිට කවුන්ටරය වෙත ගියා ය, පිටුපසින් එන ධනසේකර තරුණයා ද සමඟ... අයකැමි ට පිටුපසින් සවිකර තිබූ ආරක්ෂක කැමරාව දෙසට හිස ඔසවා හොඳින් බැලූ ඇය, මුදල් ගෙවා සුභාෂ් ද කැටිව දොරෙන් එළියට පියවර නැඟුවා ය.

ඔවුන් දෙපළ රතු මස්ටෑං රථයට ගොඩවී දොර වසා ගනිත් ම, පාරේ දෙපසින් ම වේගයෙන් පැමිණි රෝයල් එන්ෆීල්ඩ් බයික් දෙකක් භෝජනාගාරයේ රථ නැවතුම් අංගනයට ඇතුල් විය. ඉන් එකක වූයේ අත් නැති හම් ජැකට්ටුව ඇඳ සිටි උස මහත තරුණයා බව සුභාෂ් නෙත් කොණින් දුටුවේ ය. එකෙණෙහිම මෝටර් රථය පනගැන්විණ. යතුරු පැදි කරුවෝ බයික් නතර කොට, බසිද්දී, තාරා අත්ල සුක්කානම මත තබා කරකවමින් ශීඝ්‍ර ලෙස කාර් රථය වම්පැත්තට හරවමින් පාරට ඇතුල් කර, වැලිගල්ල දෙසට වේගයෙන් ධාවනය කරන්නට වූවා ය. ඒ දෙසට දිව ආ යතුරුපැදි කරුවෝ දෙදෙන, පාර අයිනේ නැවතුණහ. පාරේ ඈත දුහුවිල්ලෙන් වැසී යමින් තිබූ රතු පැහැ මෝටර් රථය, වංගුවත් සමඟ නොපෙණී ගියේ ය. එකිනෙකා වෙත හිස සැලූ දෙදෙනා, නැවතත් යතුරු පැදි වෙතට පිය එසවූ හ.

*    *    *

දා හත් වන සියවසේ දී, මිනිසුන්ගේ අවධානයට ලක් නොවී වේගයෙන් රිය හෝ අසු ධාවනය කරමින් සතුටු වීමට හැකියාවක් සිංහලේ රාජධානිය තුළ තිබුණේ නැත. කන්ද උඩරට භූ විෂමතාව මෙන්ම, රාජධානියේ ආරක්ෂාව තකා මං මාවත් පුළුල්ව ඉදි නොකිරීමේ සම්ප්‍රදාය ද ඊට බලපෑ තවත් කරුණු විය. එහෙත් සැන්දෑවේ මහනුවර ප්‍රධාන වීදිය දිගේ ධාවනය වූ අසුගේ සැළකිය යුතු වේගයක් තිබුණේ ය. අසු කුර ගැටෙන හඬ කණ වැකුණු පදිකයන් පාරෙන් ඉවත් වී විමසිල්ලෙන් බැලුවේ අසරුවා ගේ හැඩ හුරුකම ය. 

උසැති අසරුවා ඇඳ සිටියේ නිල් වන් ප්‍රංශ නාවික ඇඳුම ය. ඔහුගේ වැවුණු රන්වන් කෙස් වැටිය අසු උස් පත් වන රිද්මයට ම හිස පිටුපසින් සැලෙමින් පැවතිණ. නාවුක කබායේ රිදී පැහැ බොත්තම් ද, බඳ පටියේ වම් පසින් එල්ලුණු අද්මිරාල් ධූරයේ සම්මානිත කඩුපත ද බැසයමින් පැවති ලා රත් පැහැ හිරු රැසින් දිළිසුණි. එපරිද්දෙන්ම ඇඩම් ගේ සිතෙහි ප්‍රබෝධය ද, නොඉවසිලිමත්බව ද පිරී තිබුණේ ය.

"තොප වෙත පැවරුණු පළමු රාජකාරිය ම ඉතා මැනවින්, ඉතා උනන්දුවෙන් සහ කැපවීමෙන් ඉටු කිරීම අප අගය කරනවා..." යි රාසිං දෙවියෝ රාජසභාවේ දී ඔහු අගැයීමට ලක් කළේ ඊට අඩ හෝරාවකට මත්තෙනි.  "... ඕලන්දක්කාරයන්ගේ සීමාව ට ඉතා ආසන්න තැනකටයි තොප යැවුණේ. එතැනදී අනවශ්‍ය අවධානයට ලක් නොවී, ඉතා සූක්ෂ්ම ලෙස මේ රාජකාරිය ඉටු කරවාගෙන පැමිණීම අප විශේෂයෙන් අගය කරනවා..."

ධනසේකර වළව්වේ කඩුල්ල පැන්නවූ කළුවන් අශ්වයා දුටු ටිකිරි බණ්ඩාර ගෙතුළට වැදුනේ නාවුකයාගේ පැමිණීම සිය පියාට සැළකිරීමට ය. ඇතුලු ගැබෙහි කතා බහ අසා සිටි තරුණ කුමාරිහාමි ද සිය මව පිටුපසින් ආලින්දයට ඇදී ආවාය. වළව්වේ ගෝපුර අසළට අසරුවා ළඟා වෙද්දී අසු කුර හඬ ආළින්දය පුරා දෝංකාර දුන්නේ ය. 

ධනසේකර පවුලේ ඇත්තන් තමන් පිළිගැනීමට ඉතා උද්යෝගයෙන් සිටින බව ඇඩම් වටහා ගත්තේ ඔවුන්ගේ සිනාමුසු මුහුණු සහ ඉරියව්වලිනි. ධනසේකර කුමාරිහාමි ගේ රත්පැහැ ගැන්වී ආ දෙකොපුල් සහ බිමට හැරවුනු දෙනෙත් දකිත් ම, නාවුකයාහට සිය දෑත් දෙපා අවසඟ වී යන්නාක් මෙන් හැඟුණේ ය. 

*    *    *

"මම කොහෙත් ම කැමති නෑ මගෙ වැඩ ගැන කවුරුවත් ඔත්තු බලනවට" අග්නි ගේ මුහුණේ සෑම අඟලකින් ම ප්‍රකාශ වුණේ අප්‍රසාදයයි. 

ශෛලමය බිත්ති වලින් සැදුනු ශාලාවේ බිම එළන ලද පළස් මත සිව් දෙනා මුහුණට මුහුණ ලා වාඩි වී සිටියහ. ඔවුන් මැද වූ බටපොතු වට්ටි කිහිපය පිරී තිබුණේ විවිධාකාර පළතුරු, උක් දඬු, විළඳ සහ කැවිලි වලිනි. 

"අපි වාඩිලාගන්න තැන පවා කලින් සැළසුම් කරගෙන තිබුණෙ. ඒක ගැන දන්නෙ අපි හතර දෙනා විතරයි. ඒ පළාතෙ වැද්දො නෑ. කාලෙකට ඉහත පරංගි ඔත්තුකාරයො ගැවසුණු නිසා වැද්දො ඒ පළාත අතෑරලා ගිහින් සෑහෙන කල්. 

"අනික, ඒ ඔත්තු කාරයා හැසිරුණු හැටි! ඒ මනුස්සයා ගේ පියවර මට විතරක් නෙවෙයි, අර නෝර්ඩික් අද්මිරාල්ටත් දැනුණා... එහෙම අයද ඔත්තු බලන්න එවන්නෙ?"

සුමන සිය සුරත ඔසවද්දී අපේක්ෂිත තට්ටු කිරීමෙන් වැළකීමට මිත්‍ර සිය හිස ඇළින් කරගත්තේ ය. 

"ඒ රුද්‍ර..." මිත්‍ර කීවේ එක වරම ය. "එයා අකමැති වුණා අග්නි නොදැක ආපහු යන්න. මමයි එයාට කිව්වෙ අග්නි වාඩිලාගන්න හිතාගෙන උන්න තැන. මං හිතුවෙ නෑ ඔය වගේ දෙයක් කරයි කියලා..."

"රුද්‍ර කරන්නේ හිතාගන්න බැරි වැඩ තමයි. අවදානමක් ගැන කිසිම සැළකිල්ලක් නෑ. ටිකක් හිතල බලන්න එයා ඉන්න හැටි... ශක්ති ත් එයාටම ගැළපෙනවා..."

"අග්නි ගේ වාර්තාව ඉවර නම්..." ඉන්ද්‍ර සිය හඬ අවදි කළේ කාන්තාවගේ දෝෂාරෝපණයේ කෙළවරක් දැකීම ඉතා ඉක්මණින් අපේක්ෂා කළ නොහැකි බව වැටහීමෙනි. "අපි ඉස්සරහට කරන දේ ගැන කතා කරමු."

"අග්නි ඩ්‍රේක් ට කියා දුන්න ඉතිහාස කතන්දරය ප්‍රමාණවත් කියල මට හිතෙනව." සුමන කීයේ ය. "ටිකිරි බණ්ඩාර මඟින් අපට දැනගන්න පුළුවන් ඒ කතාව ඔහුගේ ගවේෂණයට බලපාලා තියෙන තරම. මුතු මැණිකේ කුමාරිහාමි බේරාගැනීමත් එක්ක ටිකිරි බණ්ඩාර ඩ්‍රේක් එක්ක බොහොම කුළුපග වුණා. අනුමානයක් නැතුව ම ඖෂධ ගැන තමන්ගෙ කුතුහලය සංසිඳුවා ගන්න ඔහු ටිකිරි බණ්ඩාර වෙත හැරෙනවා. මිත්‍ර ට පුළුවන් ඒ දෙපළ ගැන සෝදිසියෙන් ඉඳලා තවදුරටත් කරුණු දැනගන්න." 

"...එහෙම එකක් කොහෙද තියෙන්නෙ? ඒක සිංදිබාද් ගොතලා හදපු කතාවක් නේ..."

https://cdnb.artstation.com/p/assets/images/images/001/421/527/large/galina-levchenko-126-southelephantgraveyard.jpg?1446125106

මිත්‍ර හිස සළමින් එකඟතාව පළ කළේ ය. "ඒ වගේම, ඩ්‍රේක් අග්නිට යි අපටයි කියාපු කතාව ඇත්තද කියන එකයි, ඔහු අපට නොකියාපු දේ කොපමණ තියෙනවාද කියන එකයි ත් දැනගන්න පුලුවන් වෙයි. ඒ අතරෙ මම තව යෝජනාවක් කරන්න කැමතියි...

"පාරාදීසයේ උල්පත හොයාගෙන ආව අලුත්ම ආගන්තුකයා ට... මට හිතෙනව, ඒක ම හොයාගෙ ආව මුල්කාලීන සංචාරකයෙක් මුණගැස්වීම හොඳයි කියලා. මොකද හිතන්නෙ මී ළඟ රාජකාරිය විදිහට අලි ඇතුන්ගේ සුසාන භූමිය සොයාගන්න පවරමු ද?"

"එහෙම එකක් කොහෙද තියෙන්නෙ?" ඉන්ද්‍ර ඇසී ය. "ඒක සිංදිබාද් ගොතලා හදපු කතාවක් නේ."

"ඔව්. නමුත් මේ ලංකා දීපයෙ අපි නොදන්න තැනුත් තියෙන්න පුළුවන් කියන අදහස ඩ්‍රේක් ගෙ ඔලුවට දාන්නත්..." මිත්‍ර සිය වමතේ ඇඟිලි එකිනෙක දකුණතේ දබරැඟිල්ලෙන් නවමින් කියාගෙන ගියේ ය. "...සාහිත්‍ය දත්ත ඔහු කොයිතරම් ගැඹුරට අධ්‍යයනය කරනවාද කියා දැනගන්නත්, ඒ වගේම අපි ඔහුගේ සගයා සහායට ලබා දෙමු... එතකොට ටිරෙල් ඕඩින්සන් ගැනත් යමක් අපට දැනගන්නත්... පුළුවන් වෙයි."

"ඔය අදහස රාජසිංහ රජතුමාගේ හිතට ඇතුල් කරන්න නම් පුළුවන් වන්නේ යම, නුඹට ම තමා." ඉන්ද්‍ර, සුුමන ගේ දෑස්  දෙස කෙළින් බැලුවේ ය. "රණ ශූරයෙක් හැටියට නුඹ ලබාගෙන තියෙන කීර්තිය ත්, රාජ ප්‍රසාදයත් එක්ක එතුමා ගළගොඩ නිළමේ ගේ අදහස්වලට ලේසියෙන් ම එකඟ වෙනවා. නමුත්, අපි උවමනාවට වඩා දේ ඉල්ලනවා කියා එතුමාට නොසිතෙන හැටියකට කරන්න පුලුවන් නම් මම එකඟයි."

"අපි මුලින් ම පොත පතේ තියෙන දේ එකතු කරලා සොයා බලන්න පවරමු. රජතුමාටත් ඒ එක්කම අදහස ලබා දෙමු. ක්ෂේත්‍රයට යැවීම ඊට පස්සෙ කරන්න පුළුවන්. එතකොට ටිරෙල් ගැන කතා කරන්න ටික කාලයක් තියෙනවා." සුමන මිත්‍ර දෙස බලා, අග්නි දෙස නෙත් කොණින් බැලී ය. "කුරුඳු ළිහිණි රාජකාරියේ සාර්ථකත්වයත් එක්ක ම මේ කටයුත්තත් අග්නි ම ඉටු කිරීම හොඳයි කියලා මම හිතනවා."

තරුණිය ගේ තියුණු බැල්මෙන් මිදීමට සුමනත්, මිත්‍රත් ඉන්ද්‍ර දෙස බැලූ හ.

"ඔතන තියෙන අවදානම නුඹලාට පේන් නැද්ද?" අග්නි ගේ කටහඬෙ හි පාලනය කරගත් වේගවත් බවක් විය. "ඇත් සොහොන ගැන ලියවිලා තියෙන දේත්, කටකතාත් හැම එකක ම සඳහන් වෙන්නෙ සිරිපාද අඩවිය ගැන..."

 

27 කොටස...

Sunday, January 3, 2021

අවසානයක් නොවේ - 25

"ඔයා නේද සුභාෂ් බණ්ඩාර ධනසේකර? ටිකිරි බණ්ඩාර ධනසේකර මහත්තයගෙ මුණපුරා?"

පළමුවෙනි කොටස

තුන්වෙනි කොටස

විසි හතරවෙනි කොටස

"ඔයා... ඔයා කොහොමද අපෙ අත්ත ගැන දන්නෙ?"

ඈ සිනාසුනා ය. වැවු තලයක් මතට සිහින් කැටයක් වැටුණු කළ නැඟී පැතිරෙන දිය රළ සේ... ඒ සිනහව ක්ෂණිකව අතුරුදන් වී විමසිලිමත් බව ආරෝපණය විය. ඈ කෙටි බැලුම් කිහිපයකින් හාත්පස විමසුවා ය.

"මම ඒ විස්තර සේරම කියන්නම්. නමුත් දැන් හදිසි තත්ත්වයක් තියෙනව. ඉක්මණට වාහනේට නගින්න" 

තාරා ආපසුු හැරී මෝටර් රථයේ දකුණු පස දොර වෙත යද්දී, සුභාෂ් විපිළිසර විය. තරුණිය රියදුරු අසුන පැත්තේ දොර ඇර ගෙන, වම් පය වාහනය තුළට රුවා ගනිමින් ගෙළ හරවා තරුණයා දෙස බැලුවා ය. ඇගේ දෑසේ වූ තියුණු බැල්ම දෙස බලාගෙන තවත් සිටි තැන සිටිය නොහැකි බව සුභාෂ් ට හැඟුනි. ඔහු ද මෝටර් රථය වෙත දිව යන්නට පටන් ගත්තේ ය. අඩි දෙක තුනක් පැන වාහනයේ වම් පස දොර ළඟට ළඟා වී... දොර හැඬලය ඇද, දොර ඇරගෙන... ඉදිරිපස මඟී ආසනයේ වාඩිවෙත් ම, තමන් සිටි එළවලු කඩයේ පිපුරුමක් වූ බව තරුණ ධනසේකරට දැනුණේ ය. එහි ශබ්දයත් සමඟම පිපුරුමෙන් හටගත් වායු තරංග මාළාවේ කම්පණය සහ උණුසුම ඔහු ගේ ඇඟට දැනිණ. 

"දොර වහගන්න!" තාරාගේ හඬ විධානාත්මක හා නිශ්චිත විය.

තවත් කිසිවක් නොසිතූ සුභාෂ් දොර ඇද මහහඬක් නැඟෙන සේ වසා ගත්තේ ය. අවටින් නැඟුණු හඬවල් මිළින වී බොඳ වී යනු ඔහුට දැනුණි. තරුණිය ඉතා දක්ෂ අන්දමින් වාහනය පළමු ගියරයට දමා ගෙන, ඉදිරියට ගත්තා ය. දුම්රිය එන බවට සංඥා කරන සීනුව ටං ටං ටං හඬින් නාද වන්නට ගත්තේ ය. රේල් ගේට්ටුව සෙමෙන් පහත් වීගෙන එන හැටි වින්ඩ්ෂීල්ඩය හරහා තරුණයා ගේ ඇසට ලක් විය. ඇක්සලරේටරය හා ක්ලච් පැඩලය මත සිය දෙපා බුහුටි ලෙස මෙහෙයවමින්, ළඟ ළඟ ගියර් මාරු කළ තාරා, රේල් පාර හරහා මස්ටෑං රථය පදවද්දී, රේල් ගේට්ටු වැසි යන්නට පටන් ගත්තේ ය. රේල් ගේට්ටුව පසු කරද්දී මෝටර් රථය පැයට කිලෝමීටර් හැත්තෑව ද පසු කළ බව ස්පීඩෝ මීටරයෙහි කටුවෙන් දැක්වෙනු නෙත් කොණින් දුටු ධනසේකර තරුණයා, පසුපස හැරී බැලුවේ තමන් පළා යන්නේ කුමකින්දැයි දැන ගැනීමට ය. 

රේල් ගේට්ටුව වැසෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී, ඒ හරහා වේගයෙන් ධාවනය වූයේ මිලිටරි කොළ පැහැයෙන් යුතු රෝයල් එන්ෆීල්ඩ් මෝටර් සයිකලයකි. ගුඩු ගුඩු හඬින් ශබ්ද නඟමින් එය වේගයෙන් මස්ටෑං රථය පිටුපස හඹා එන බව පෙනුණි.


"කොහොම කෙනෙක් ද බයික් එකේ එන්නෙ?" - "උස මහත කොල්ලෙක්..."


"කොහොම කෙනෙක් ද බයික් එකේ එන්නෙ?" තාරා ගේ හඬෙහි හෝ ස්වරයේ කිසිදු කළබලයක් නොවී ය.

"උස මහත කොල්ලෙක්..."

"ඔහොමම පිටිපස්සෙ සීට් එකට ගිහිං, හොඳට බලලා, විස්තර කරන්න. බයිනොක්‍යුලර්ස් එකක් ඇති පිටිපස්සෙ.."

"විස්තර...? මොනවද?"

"ඇඳුම්, හැඩරුව, හැම දෙයක් ම."

තම අසුනේ ඇන්ද පහත් කරන ලීවරය සොයාගත් ඔහු එයින් ඇන්ද පිටුපසට පහත් කරගෙන, පිටුපස අසුනට සිය උසැති සිරුර තල්ලු කර ගත්තේ ය. 

"ඇලුමිනියම් පාට හාෆ් හෙල්මට් එක. ස්ලීව්ලස් ලෙදර් ජැකට් එකක් දාගෙන, නිල් පාට ඩෙනිමක් ඇඳලා..." සුභාෂ් වාර්තා කිරීම ඇරඹී ය.

"රැවුළ?" 

"මූණ පුරා රැවුල ලස්සනට වවලා... සුදු හම, ජිම් යන කොල්ලෙක්... කළු සන්ග්ලාස් දාලා."

"වම් අතේ උරිස්ස හරියෙ පච්චයක් තියෙනව පේනවද?" ඉදිරි කණ්නාඩියෙන් පසුපස බලමින් තාරා වේගයෙන් පටු කාපට් පාර දිගේ වාහනය පැදවූවා ය.

"ඔව්. මිටියකුයි, අකුණකුයි... අකුණ නිල් පාටයි, මිටිය දුඹුරු පාටයි..."

"ටිරෙල්...! දෙන්නං උන්දැට අද..."

"වම් අතේ උරිස්ස හරියෙ පච්චයක් තියෙනව පේනවද?" 

රතු මස්ටෑං කාරය පටු කාපට් පාර මැදින් වෙට්ටු දාමින් ධාවනය වූයේ පවනට බඳු වේගයෙනි. වාහනයේ ඇන්ජිමෙන් නැඟුනු හඬින් ම පාරේ සිටි මිනිසුන් හණි හණික දෙපසට පැන ගන්නා දර්ශනය පාරේ බොහො තැන්වල දකින්නට ලැබුණි. ඉදිරියෙන් ආ ත්‍රී රෝද රථ සහ කුඩා ලොරි පාරේ අයිනට හෝ අගලට හැරවීම ද, ඒඅයුරින්ම සිදු විය.

පුවක් කෑල්ලක් කටට විසි කරගනිමින් මහළු නිමල් පාරට අඩිය තැබුවා පමණි. එවිගස, එතැනින් පාස් වුණු කාර් රථය පිටුපසින් ඇදී ගිය සුළං පාරට හසු වූ පුවක් කෑල්ල මඟ වැරදී ඔහුගේ උරහිසට උඩින් ගොස් බිමට වැටුණි. 

"කොහෙ යනවද මංද මේ යක්කු..." යි මුමුණමින් පුවක් කෑල්ල සොයන්නට ආපිට හැරී පහත් වුණු මහල්ලාගේ පසුපසෙහි වැදී නොවැදී මෙන් මෝටර් සයිකලය ඉගිළුණි.

වම් පැත්තෙන් ඉදිරියෙන් වූ මුුුුුුුුස්ලිම් පල්ලිය දුටු තාරා, සුක්කානමට යටින් වූ කුඩා ලිවරයක් පහතට ඇද්දා ය. එවිගසම ඈ වාහනයට නිදැල්ලේ යාමට ඉඩ හරිමින් ක්ලච් පැඩලය පාගා ගෙන, ඇක්සලරේටරය නැවත නැවතත් පාගමින් අත හරිමින් වාහනයේ ඇන්ජිම රේස් කරද්දී, කලු දුම් වළාවක් වාහනයට පසුපසින් නැඟුණි. ඒ වන විට ඔවුන් සිටියේ මුස්ලිම් පල්ලිය අසළ වයි හංදියේ ය. හණික හෑන්ඩ් බ්‍රේක් ඇද්ද තරුණිය ක්ලච් පැඩලය අතහැර වාහනය ඇක්සලරේට් කරද්දී, රෝද කෑගස්සමින් කාර් රථය එක තැන කැරකුණේ ය. එයින් නැඟුනු දුහුවිල්ල ද කළු දුමාරයට එකතු වී ගන මීදුමක් මෙන් පැතිරෙද්දී, මෝටර් සයිකලයේ ඇංජිමෙන් නැඟුණු ගුඩු ගුඩු හඬ ද ළඟ ළඟ ම ඇසෙන්නට විය. ඒ වන විට මස්ටෑං රථය නතර වී තිබුණේ තමන් ආ දෙසට මුහුණ ලා හැරවී ය. නැවත පළමු ගියරයට මාරු කරගත් තරුණිය කාරය වේගයෙන් ඉදිරියට පැදවූවා ය. දුහුවිලි දුමාර වළාව ඉරාගෙන රතු පැහැ රථය වේගයෙන් ඉදිරියට එනු දුටු යතුරු පැදි කරුවා ට එක් මොහොතකට කළ යුත්ත සිතා ගත නොහැක විය. අගළට කැපුණු මෝටර් සයිකලය බිම පෙරළෙද්දී, යතුරු පැදි කරු අඩි කිහිපයක් පියාසර කොට කාපට් පාර සිපගත්තේ ය. 

පැති කණ්නාඩියෙන් බැලූ තරුණිය සැහැල්ලුවෙන් හඬ නඟා සිනා සුණා ය. සුභාෂ් ගේ මුහුණෙහි වූ වික්ෂිප්ත බැල්ම දුටු ඇගේ සිනහව තවත් වැඩි වී, එයින් ඇගේ දෙඋර ගැස්සෙන්නට ගති.

*    *    *

වේගය අඩු කරගනිමින් ඉදිරියට ආ රතු පැහැ මස්ටෑං රථය පාරේ වම් පස වූ දෙමහල් ගොඩනැගිල්ලක් අසළ නතර කෙරුණි. ඒ වන විට ඔවුහු ගෙලිඔය දුම්රියපොළ පසුකර කිලෝ මීටර් දෙකක් පමණ ගම්පොළ දෙසට ධාවනය කර තිබුණි. බොජුන්හලක් වූ එහි අංගනයේ වාහන කිහිපයක් නැවැත්වීමට ඉඩ තිබුණේ ය. ඒ දෙස තත්පර කිහිපයක් හොඳින් බලා සිටි තාරා, මෝටර් රථය මඳක් ඉදිරියට ගෙන දකුණු පසට හරවමින් නැවත පිටුපසට ධාවනය කර, ගොඩනැගිල්ලේ අංගනය තුළ වාහනය ගාල් කළා ය. 

"සුභාෂ්... අපි මොනව හරි බීලා කතා කරමු..." තරුණිය මෝටර් රථයේ දොර අරිමින් කීවා ය. සිය ගෙළ වම්පසට හැරවූ ඇය ඔහුගේ දෑස් දෙස බලා මඳ සිනාවක් පෑවා... ධනසේකර තරුණයා හිස සළමින් එකඟ විය. ඔහුගේ මුහුණේ ඇඳී තිබූ ගැටළු මුසු බැල්ම තාරා ගේ දෑසට මඟ හැරුණේ නැත.

වේටර් පළතුරු බීම සහ ෆලූඩා බඳුන් මේසය මත තබා ඉවත්ව යන තුරු සුභාෂ් කිසිවක් කතා කළේ නැත. 

"ඔයාට ප්‍රශ්න ගොඩක් ඇති." තාරා සෙමෙන් කීවාය. "සමහරවිට මේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම ඔයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මම එකින් එක... මුුල ඉඳන් ඔයාට විස්තර කරන එක තමයි මට පේන විදිහට හරි යන්නෙ..."

තරුණයා කිසිවක් නොකියා ඇගේ දෑස්, හුරු බුහුටි හැඩයකින් යුත් නාසය හා රත් පැහැ දෙතොල් අතර සිය දෑස් මාරුවෙන් මාරුවට එහා මෙහා යවමින් සිටියේ ය.

"ඔයා පහුගිය ඔක්තෝබර් 04 වෙනිදා ලේ දන්දීමකට ගියා..."

"ඔව්? ඒත්..."

"මම ඔක්කොම කියන්නම්..." තාරා මේසය හරහා අත දිගුකර සුභාෂ් ගේ ඇඟිලි තුඩු අල්ලා ගත්තාය. "හොඳ මල්ලි වගේ... මම කියන දේවල් අහගෙන ඉඳලා, ඊට පස්සෙ ප්‍රශ්න අහන්න..." තම ඇඟිලි තුඩුවලට දැනුණු ඇගේ ඇඟිලි වල සියුම් සුමුදු බව සුභාෂ් මවිත කරවී ය.

"ඒ ලේ දන්දීමෙදි තමයි ඔයාගේ ලේ ගණය, ඒ ලේවල තියෙන අනිකුත් සාධක ගැන පළමුවරට වාර්තා වුණේ. ඒ වාර්තාවෙන් පේනවා, ඔයා ගේ ලේවල ඉතාම දුර්ලභ ඇන්ටිජෙන් එකක් තියෙනවා කියලා. ඒ ඇන්ටිජෙන් එක මිට කලින් ලංකාවෙ වාර්තා වෙලා තිබුණෙ ඔයාගෙ අත්තා, ටිකිරි බණ්ඩාර මහත්තයා ගේ ලේවල විතරමයි. එතුමා ත් ඔයා වගේ ම නිර්ලෝභීව අවස්ථා ගණනාවක දි ලේ දන් දුන්නා. ඉතින් එයා නොදැන හිටියට, ජාතික ලේ බැංකුවෙ මං අර කියපු ඇන්ටිජෙන් වර්ගයේ සංචිතයක් තියාගෙන තිබුණා ඒ ඩොනේෂන්වලින්. පහුගිය අවුරුදු කීපයට කලින් ඔයාගෙ අත්තා මිය ගියා ට පස්සෙ, ලේ බැංකුවෙ තිබුණු සංචිතත් ටිකෙන් ටික අඩු වෙලා ගියා. ආපහු ඔයා පහුගිය ඔක්තෝබර් හතර වෙනිදා දන් දුන්නු ලේවල සාම්පලයෙන් තමයි මේ ඇන්ටිජෙන් ඒක ස්වාභාවිකවම අන්තර්ගත වුණු ලේ තියෙන ඩෝනර් කෙනෙක් අපිට අඳුනගන්න ලැබුණෙ.

"අපි ලංකාවෙ සීක්‍රට් සර්විස් එක විදිහට, මේ වගේ කේස් ආරක්ෂා කරනව. ඒ මොකද කියනවනම්, කවුරුවත් නොදන්නව වුණාට... ගොඩක් වෙලාවට ජනාධිපතිතුමත්, අඩුම ගානෙ ආරක්ෂක ලේකම්වත් දන්නෙ නෑ මෙහෙම සීක්‍රට් සර්විස් එකක් ලංකාවෙ ෆන්ෂන් වෙනව කියලවත්... මේ රට ඇතුළෙම ක්‍රියාත්මක වෙනවා, රටේ තියෙන සම්පත් සූරාකන, එහෙම නැත්තම් උකහාගෙන විකුණන, එහෙමත් නැත්තං විනාශ කරලා දාන කීප දෙනෙක්. අර අද අපි පස්සෙන් ආවෙ එහෙම එක්කෙනෙක්...

"ඉතිං ඇයි ඔයාලා එයාලව අල්ලලා නඩු දාන් නැත්තෙ?"

"අපි කාලෙකට කලිං ඒක උත්සාහ කළා. ඒත් නඩු කියන්න සාක්ෂි හොයන්න වෙනව. ඒ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරන්න වෙනව. අර වගේ සූක්ෂ්ම හතුරො එක්ක ඒක කරන්න බෑ. ඒගොල්ලො දෙයක් කරන්නෙ සාක්ෂි ඉතුරු කරලා නෙවෙයි. බලන්න, අර ඔයාට ඊයෙ රෑ අපි එවපු ඊමේල් එක දැනගෙන තමයි අද අර එළවලු කඩේ පිපිරෙව්වෙ අර ගොල්ල.


26 කොටස...

Tuesday, December 29, 2020

අවසානයක් නොවේ - 24

"ඒ දේශනාවෙ ලොකු ගැඹුරක් තියෙනවා." ඇඩම් කල්පනා බරව කීවේ ය. "කාලයක් තිස්සේ හිතේ තියාගෙන, මෙනෙහි කරමින් තේරුම් ගන්න දෙයක් එතන තියෙන්නේ..."

දුර්ගා හෙවත් අග්නි සිය යුරෝපීය සගයා හට ගෞතම දේශනාව සිතෙහි ධාරණය කරගැනීමට ඉඩ හරිමින් නිහඬ වූවා ය. 

සෑහෙන වේලාවක් තිස්සේ ඔවුන් දෙස විමසිලිමත්ව බලා සිටි ආගන්තුකයෙක් ගල් ගුහාව තුලින් පිටතට පිය එසවූයේ තවත් කිහිප මොහොතක් ගත වූ පසුව ය.

පළමුවෙනි කොටස

තුන්වෙනි කොටස

විසි තුන් වන කොටස

ගල්තලාව මත හඩ නොනැගෙන සේ පියවර තැබීමට වෑයම් කිරීමේ දී නැගෙන සියුම් ශබ්දය නාවුකයාගේ කණට ඇසුණි. ඔහු හිස හරවා බැලීමට තැත් කරනු දුටු දුර්ගා සිය තියුණු බැල්මෙන් එය වැළැක්වූවා ය. 

තමන් සිටි ඉරියව්වේම තවත් මොහොතක් ගත කළ තරුණිය ඇඩම් ගේ ඇඟිලි, සිය ඇඟිලි අතරින් මුදා හැර, නැවතත් උඩු අතට ගල් තලාව මත ඇල වූවා ය. ඇගේ නොසැළකිලිමත් ආලස්‍යය ට යටින් දිවුනු, තියුණු විමසිල්මත් බව දුටු ඩ්‍රේක් සිය ශ්‍රවණේන්ද්‍රිය කෙරෙහි අවධානය තීව්‍ර කර ගති.

නැඟුණු ඉතාම සියුම් පියවර හඬ කෙමෙන් කෙමෙන් ගල් තලාවේ ඉහළට ගොස් නෑසී ගියේ ය. ඇඩම් මුනින් අතට පෙරළී හිස මඳක් ඔසවා දෑත් මත තබා ගත්තේ අලස කල්පනාවකට වැටුණාක් මෙනි. ඔහුගේ දෑස් ගල් තලාව මත පැතිරුණු අඩ අඳුර විනිවිද ඉතාම තීක්ෂණ අයුරින් සෑම වර්ග අඟලක්ම නිරීක්ෂණය කරන්නට විය.

"අපි මෙතන වාඩිලාගෙන ටික වෙලාවකින් ම, ඔත්තු කාරයෙක් අර ගල් ලෙණට ආවා." දුර්ගා රහසින් කිවා ය. "ඒ ගැන ගණන් ගන්න එපා. ඒ වැද්දෙක්. ඒ අය බොහොම තදින් තමන්ගෙ සීමාවල් ආරක්ෂා කරනවා. එයාට උවමනා වුණේ අපි කවුද කියලා බලාගෙන, අපෙන් උවදුරක් නැති බව තහවුරු කරගන්න."

ඇඩම් දුර්ගා වෙතට ළං විය. 

"මට අහන්න ප්‍රශ්න කීපයක් තියෙනවා."

"මට වෙලාව තියෙනවා. අහන්න..."

"එතකොට ඔයාලා හත් දෙනෙක් ඉන්නවා?"

දුර්ගා හිස සිරස් අතට සෙළවූවා ය. "මුල් ම කණ්ඩායම හත් දෙනෙක්. එයින් ගෝවින්ද, රුද්‍ර සහ ශක්ති ඉන්දියාවට ගියා ඒ අයගෙ අනුගාමිකයොත් එක්ක. අනික් හතර දෙනා මෙහෙ. රුද්‍ර සහ ශක්ති ගෙ දරුවො දෙන්නත් එක්ක හය දෙනයි."

"දරුවො දෙන්නෙක්? එක්කෙනෙක් ගැන ඔයා කිව්වනෙ. අනිත් කෙනා කවුද?"

"අයියනායක හෙවත් පුල්ලෙයාර්"

"එතකොට අනික් අයට දරුවො නැද්ද?" 

"ගෝවින්ද ට මනුෂ්‍ය පෙම්වතියන්ගෙන් ලැබුණු දරුවො හිටියා. ඒත් අමරණීය දරුවො නෑ... හත් දෙනාගෙ කණ්ඩායමේ අනික් එකම ගැහැණිය මම. " 

දුර්ගාගේ හුස්ම තම මුහුණට වැටෙන තරම් තමා ඇයට ළං වී ඇති බව ඇඩම් ට දැනුනේ ය. 

"ආත්මන් ට ඊට පස්සෙ මොකද වුණේ?"

"ගෞතම තුමා ආපහු යනවත් එක්කම ඒ දෙන්නත් මේ දූපතෙන් පිටමං වුණා කියල තමයි දන්නෙ. කොහෙට ගියාද කියලා අපි හොයල බැලුවෙ නෑ. ඊට පස්සෙ ආරංචි වුණෙත් නෑ. ඒ දෙන්නගෙ දරු පරම්පරාව නම් හත් අට දෙනෙක් ඉන්නව දූපතේ. ඒ අය අපිත් එක්ක සහයෝගයෙන් කටයුතු කරනව. එක එක ප්‍රදේශ බලාගෙන, මිනිස්සුන්ට උදව් කරගෙන ඉන්නව..."

"අන්තිම ප්‍රශ්න දෙක... ඊට පස්සෙ මම නිදාගන්නව."

තරුණිය මඳහසක් පෑවා ය. "මොකද්ද?"

"රුද්‍ර සහ ශක්ති වගේ, අග්නිගෙ සහකාරයා වුණේ කවුද?"

දුර්ගා ගේ උරහිස් සහ ළැම ගැස්සෙන්නට වූයේ නවත්වාගත නොහැකි වූ සිනාවෙනි. ඈ ඇඩම්ගේ අතැඟිලි මිරිකා ගෙන සිනා සුණා ය... 

"මම ඒ ප්‍රශ්නෙ බලාපොරොත්තු වුණේ නෑ..." යන්තම් නිදහස් හුස්මක් ගත හැකි මට්ටමට ආ විගස තරුණිය කීවා ය. "අග්නි ට සහකාරයෙක් හිටියෙ නෑ කවදාවත් ම. මොකද, කාටවත් එයාගෙ හැසිරීමට, ගතිගුණවලට එකඟ වෙලා එකට ඉන්න පුළුවන් වුණේ නෑ. හැම නිතරම අග්නි වැඩ කළේ තනියම, තමන්ට හිතුණු විදිහට. කාටවත් එයාගෙ දේවල් වෙනස් කරන්න හරි නතර කරන්න බැරි වුණා." 

"එයා වගේම හිතුවක්කාර සහකාරයෙක් හම්බුණා නම් ඒක වෙනස් වෙනව."

"ඔව්..." ඇගේ තොල් අග නැවුණේ උපහාසාත්මක සිනා පොදකට ය. "අර කුරුඳු ළිහිණිය අතින් මැරුම් කන්න ගියා වගේ හිතුවක්කාරයෙක් වෙන්ටැති... මොකද්ද ඊළඟ ප්‍රශ්නෙ?"

"සිංහල භාෂාව හරිම මෘදුයි, අපේ යුරෝපිය භාෂා එක්ක බලනකොට. ඔයා සිංහල නැළවිලි ගී එහෙම දන්නවද? මට නිදි මතයි. ඒත් මේ ඉතිහාස කතාව මගෙ හිතේ තිබිය යුතු සාමදානය නැති කළා."

"නැළවිලි ගී නේද?" තරුණිය ගේ දෑස් දිප්තිමත් විය. "හොදයි... ඇස් පියාගන්න. මම කියන්නම් එකක්..."

"...දොයි දොයි දොයි... දොයිය බබා... 

"...බයි බයි බයි... බයිය බබා..." 

ඇගේ කටහඬ ඉතාම සෙමෙන්... ලාලිත්‍යයෙන් යුක්තව නැඟුනේ හරියටම වළාකුළින් සැදි තොටිල්ලක ලා සෙමෙන් සෙමෙන් දෙපසට පද්දන්නාක් මෙන් දනවමිනි... ඩ්‍රේක් ගේ දෑස් පියවී ගියේ ඉබේටම ය.

"ඔබෙ අම්මා... කොතන ගියා... පතන කැළේ... දරට ගියා...

"දර පොල්ලක්... කඩා ගෙනේ... ගුටි බැට දී... නලවන්නේ..."

"ඈ...?" 

ඇඩම් ගේ දෑස් පුළුල්ව විවර විය. ඒ දෑසට එක් වරම ලක් වූයේ, තම මුහුණට අඟිල් කිහිපයක් නුදුරින්...දකුණත වැළමිට ළඟින් නවා ගල් තලාව මත වැතිරවා, ඒ මත හිස තබාගෙන සිටි දුර්ගා ගේ සුන්දර මුහුණේ පැතිරි සමච්ඡල් සහගත සිනාව ය.

*    *    *

කුකුළන් හඬළන්නට පටන් ගත්තා පමණි. එකෙක්... ඉන්පසුව කිහිප දෙනෙක්... බැගින් කුකුළු හැඬළීම පටන් ගෙන, මිනිත්තු කිහිපයක් යද්දී සම්පූර්ණ සංගීත සංධ්වනියක් තරමට ම... හාත්පස සෑම පැත්තෙන්ම කාහල නාදය රැව් දෙමින් නැඟෙන්නට විය. රැහැයියන්ගේ හඬ කෙමෙන් කෙමෙන් සිඳී ගොස් උදෑසන හිරු ගේ නැඟීමට ප්‍රබෝධමත් ආරම්භයක් එයින් අත්කර දෙන ලදි. 

ගොනුන්ගේ ගෙල බැඳි මිණි ගෙඩිවල හඬ... ගැල් කරුවන් පහත් හඬින් කරන කතා බහ... උදෑසනින් දොවා උනු කරන කිරි බඳුන්වලින් නැඟෙන සුවඳ... තෙත්බර වාතස්කන්ධයේ සිසිල... අවට පැතිරි හිමිදිරි අඳුර මඳින් මඳ පහව යමින් අරුණාලෝකය පැතිර යන්නට ගත්තා පමණි.

කුරුඳු ලී පිරවූ කරත්ත දෙක වූයේ තවලමේ මැද හරියට වන්නට ය. ගැල් දහයක් පමණ එකක් පසුපස එකක් වශයෙන් ගමන් කරන්නට පටන් ගත්තේ ය. ලාඩම් ගැසූ ගව කුර බිම ගැටෙන හඬ, ගෙජ්ජි නාදය, හා කරත්ත රෝදවල ඩක ඩකය සමඟ මුසුවන සේ ඇද පැද ගායනා කෙරුණු කවියක් තවලමේ මුදුනා විසින් ආරම්භ කෙරුණි. මැද හරියේ කරත්තයක් මෙහෙයවමින් ගිය තවත් මිනිසෙක් එයට අත්වැල් අල්ලා ඒ කවියේ දෙවන පදය ගායනා කළේ ය...

සම්පූර්ණ නාවික නිල ඇඳුමෙන් සැරසී සිටි ඩ්‍රේක් මඟ අයිනේ වූ ගම ගෙදරක එළිපත මත සිටියේ ය. ඔහු ඉදිරිපිට සිටි දුර්ගා ඔහුගේ ගොරෝසු අත් දෙක සිය දෑතින් අල්ලාගෙන... හිස ඔසවා නාවිකයාගේ දෑස් දෙස බැලුවා ය. 

"පරිස්සමින්... හොඳ කල්පනාවෙන් යන්න." ඈ සුරතල් ස්වරයකින් අවවාද කළා ය. "අනවශ්‍ය වීරකම්වලට යන්න එපා. මේ මුස්ලිම් මිනිස්සු අනුගමනය කරන්න. ඒ අය කරදර අවස්ථාවලදි හැසිරෙන විදිහ පොඩ්ඩක් අධ්‍යයනය කරල බලන්න. ඒ උපක්‍රම මම වෙන කිසිම ජාතියක දැකලා නෑ. හරිම සූක්ෂ්ම, ඒ වගේම උදාවෙන හැම අවස්ථාවකටම අනුගත වෙන්න පුළුවන් මිනිස්සු..."

"අපි ආ‌යෙ මුණ ගැහෙන්නෙ..." ඇඩම් ගේ කටහඩ පැකිළුණි.

"රහස් දූරයේ අපි ඉන්නවනේ... ඉක්මණින්ම අපි ආපහු මුණ ගැහෙයි." ඈ ඔහුගේ නිල්වන් කබායේ ඉදිරිපස කොන්, අතැඟිලි තුඩින් නැවත නැවතත් සකස් කළා ය. "දැන් ඉක්මන් කරන්ට. අර මිනිස්සු පිටත් වෙලා..."

*    *    *

නිදිබර නෙත් දෙක දියෙන් තෙමාගත් සුභාෂ්, ආපසු ලැප්ටොප් පරිගණකයේ තිරය දෙස බැලී ය. සාලයේ බිත්තියක එල්ලා තිබූ, අත්තාගේ පැරණි ඔරලෝසුවේ ද්විත්ව සීනුව නාද වන්නට පටන් ගත්තේ ඒ අතර ය. එය දොළොස් වරක් නාද වූ බව තරුණයාට මතක ය. ඉන්පසු සිදු වූයේ නොසිතූ දෙයකි. 

ඔහු පරිගණකයේ විවෘත කරගෙන සිටි අන්තර්ජාල බ්‍රවුසරයේ නව ටැබ් පිටුවක් විවර කරගත්තේ කිසිවක් නොසිතා ය. එහි සේව් කර තිබුූ කෙටි මං ඔස්සේ තම විද්‍යුත් තැපෑල විවෘත කළේ ඇයි දැයි ඔහු ම නොදත්තේ ය. එහි ඉන්බොක්සයේ උඩින්ම වූයේ ඒ වෙලාවේම පැමිණි පණිවුඩයකි. 

"හිතවත් සුභාෂ්,

පෙ. ව. 7:30 ට ගෙලිඔය දුම්රිය ස්ථානය අසළ කළුගමුව පාරේ රේල් ගේට්ටුව අසළට එන්න.

ඉතාම වැදගත්"

'හ්ම්... මාර විහිළුව...' සිතමින් තරුණයා එම පණිවුඩය එවා ඇත්තේ කවුදැයිි බැලී ය.

"mithra.varuna@secretservice.gov.lk"

ඉන්කොග්නිටෝ ටැබ් පිටුවක් විවර කරගත් සුභාෂ් එහි ලිපින තීරුවේ www.secretservice.gov.lk ටයිප් කළේ ය. වෙබ් බ්‍රව්සරය මැද කුඩා රවුමක් කිහිප විටක් කැරකිණ. වෙබ් පිටුව විවෘත වූයේ එක්වරමය.

"RESTRICTED ACCESS" ටැබ් පිටුව මත කුඩා රතුවන් අකුරෙන් පුන පුනා සටහන් වී තිබුණේ ය.

*    *    *

සුභාෂ් නැවතත් වමත ඔසවා අත් ඔරලෝසුව දෙස බැලුවේ ය. 

07:29.30 

ඔහු සිටියේ කළුගමුව පාරේ රේල් ගේට්ටුවේ මෙහෙයුම් කුටිය ඉදිරිපස වූ කුඩා  එළවලුු කඩය ඉදිරිපිට ය. පාරේ  වංගුව නිසා ඔහු සිටි තැනට පාරේ දෙපස ම හොඳ දර්ශනයක් ලැබුණි. 

ප්‍රධාන පාර දිසාවෙන් තද රතු පැහැති 1969 ෆෝඩ් මස්ටෑං මැක් 1 කාර් රථයක් ඇදී එනුු ඔහුුුුගේ දෑසට ලක් විය. පැරණ දේ අගය කරන, එයිනුුත් මෝටර් වාහන සහ දුම්රිය ගැන සැදැහැවත් බැතිමතෙක් වූ සුුභාෂ් සිටි තැනින් ඉදිරියට ආවේ වාහනය හොඳින් දැක බලා ගැනීමට ය.


මෝටර් රථය වේගය අඩු කරමින් පැමිණ රේල් ගේට්ටුවට මීටර් කිහිපයක් තියා අයින් කර නැවැත්විණි. එහි රියදුරු පැත්තේ දොර ඇරගෙන එළියට බැස්සේ ආකර්ෂණීය තරුණියකි. කලුවන් ඩෙනිම් ජීන්සය, රතු පැහැ ලිහිල් ටී ෂර්ටය සහ හිස මත පැළඳි කළු පැහැ අවු කණ්නාඩියෙන් සැරසුණු ඇය, වටපිට බැලුවා ය. ඇගේ නෙත් තමා දෙස හැරුණු වහා ම ඇගේ මුවෙහි සිනහවක් නැඟෙනු සුභාෂ් දුටුවේ ය. ඔහු ඈ දෙසට පිය නැගුවේ, තරුණිය තමන් වෙත එනු දුටුු හෙයිනි. 

"හායි... මම තාරා..." ඇය දකුණත දිගු කළා ය. සුභාෂ් ඇගේ ඇඟිලි තුඩු යන්තමින් ස්පර්ෂ කරන්නට ප්‍රවේසම් විය.

"ඔයා නේද සුභාෂ් බණ්ඩාර ධනසේකර? ටිකිරි බණ්ඩාර ධනසේකර මහත්තයගෙ මුණුපුරා...?"



ඉතිරි කොටස ඉතාම ඉක්මණින්...

Thursday, December 24, 2020

නත්තල් සැමරුමේ පේගන් මුල්

ජේසුතුමන් ඉපදුනා යැයි සැළකෙන කාලයට බොහෝම කාලයකට පෙර ඉඳන් ම දෙසැම්බර් මාසයේ අග උත්සවයක් පැවැත්වීම නෝර්ඩික් සහ පේගන් සංස්කෘතියේ පැවතුණු බව පේනවා. උතුරු යුරෝපයේ ශීත සෘතුව ඉතාම කටුකයි, ශීතාධිකයි, ඒ වගේම දවල් දවස බොහොම කෙටියි. ඒ ලක්ෂණ අනික් පිට හැරෙන්න පටන් ගන්නෙ වර්තමාන කැළැන්ඩරයේ දෙසැම්බර් මාසෙ අග සතිය වෙනකොටයි. ශීතල අඩුවෙන්නත්, දවල් දවස දිගු වෙන්නත් පටන් ගන්නේ ඒ දවස් වන කොට. 

ශීත සෘතුවේ ගෙවල්වවලට කොටුවෙලා ගත කරන කටුක කාල සීමාව ප්‍රීතියෙන් ගත කරන්න නෝර්ඩික් මිනිස්සු පුරුදු වෙලා හිටියා. තාත්තලා සහ පුත්තු දැවැන්ත ලී කොට ගෙදරට ගෙනැවිත් මහ ගිණි මැළයක් ගහනවා. ඒ ගිණි මැළය නිවෙන තුරු (සාමාන්‍යයෙන් දවස් දොළහක් විතර යනව...) ඔවුන් කමින් බොමින් විනෝද වෙනවා. ඒ මහා කොට දැවෙමින් නඟින ගිණි පුපුරුවල ගාණටම, මීළඟ වසන්තයේ දී තමන්ගේ සත්ත්ව කොටුවල ඌරන් සහ වෙනත් සතුන් පැටවු ගහනු ඇති බව ඔවුන් විශ්වාස කළා. 

යුරෝපයේ බොහොම පැතිවල දෙසැම්බර් අග උත්සව පවත්වන කාලයක් වුණා. ඒ කාලෙ පවතින ශිත දේශගුණයත් එක්ක, හරකුන්ට කෑම සපයන්න තියෙන අසීරුව නිසා අලුත් හරක් මස් කෑමට හැකිවුණු, අවුරුද්දේ එකම කාලයත් මේ ශීත කාලය ම වුණා. අනික් අතට, අවුරුද්ද පුරා පෙරපු බියර් සහ වයින් බොහොමයක් පානය ට සුදුසු මට්ටමට පදම් වුනේ ශීත කාලයෙදි...

ඒ වගේම කොළපාටට ඉතුරු වුණු එකම ගස් වර්ගය වුණු සයිප්‍රස් ගහ, ශීත කාලය ගෙවිලා ගිහිං ආපහු ආලෝකය සහ ජීවය උදාවෙන බව ට තිබුණු සංකේතයක් වුණා. ඒ ගස් වල රතු ඇපල් ගෙඩි සහ ඉටිපන්දම් එල්ලලා සැරසීමෙන් වෝඩන් ‌හෙවත් ඕඩින් සමරන්න පර්මානු ගෝත්‍රවල මිනිස්සු පුරුදු වෙලා හිටියා..

ජර්මනියේ මිනිස්සු ඇදහූ වෝඩන් හෙවත් ඕඩින් (නෝර්ඩික් ඇස්ගාඩ් නායක දෙවියන් ගෙම පේගන් මුහුණත කියමුකො) ගැන සිහිපත් කරන කාලයකුත් වුණා මේ ශීත සෘතුව. ශීත සෘතුවේ දී ඕඩින් අහසින් ගමන් කරමින් මිනිස්සුන්ව නිරීක්ෂණය කළ බවත්, ඒ මිනිස්සු අතරින් අනාගතයේදී සෞභාග්‍යය උදා කරවන්නේත්, විපතට හෙළන්නේත් කවුද කියා තීරනය කල බවත් ජර්මානුවෝ විශ්වාස කළා. මේ නිසා මිනිස්සු ගේ ඇතුළටම වෙලා ඉන්න පෙළඹුනා. ඕඩින් අහසේ ගියේ ස්ලෙප්නීර් නම් කකුල් අටක් ඇති අශ්වයෙක්ගේ පිටේ. ළමයි තමන්ගෙ බූට්වලට කැරට්, පිදුරු වගේ දේවල් පුරවලා ගිණි උඳුන ළඟ එල්ලලා තිබ්බා, අර අශ්වයාට කන්න. ඕඩින් ඒ බූට්වලට පොඩි පොඩි තෑගි දාල යනවා කියා විශ්වාස කෙරුණා. (හරියටම නත්තල් සීයා අහසින් යමින්, හොඳ ළමයින්ට තෑගි දීම වගේ ම තමයි. දෙන්නාම රතු ඇඳපු බවත්, දෙන්නාටම දිග සුදු රැවුළක් තිබුණු බවත් තව සමානකම්.) 

https://www.les2peresnoel.com/images/mythe-pere-noel/Odin.png
ඕඩින්

යුරෝපයේ පැවතුණු තවත් සම්ප්‍රදායක් තමයි වැසේලින්... ඒ නම එන්නෙ ඇංග්ලෝ සැක්සන් පදයක් වුණු "වේස් හේල්" හෙවත් යහපත් සෞඛ්‍යය කියන නමින්. ඔවුන් අවුරුද්දකට වරක් කුඩා කණ්ඩායම් විදිහට ගම පුරා  යමින් හඬ නගා ගායනා කරන පුරුද්දක් ඒක. ඒ ගීත හඬ නගා ගායනා කිරීමෙන් නපුරු ආත්ම පළවා හැරීමත්, යහපත් සෞඛ්‍යය ප්‍රාර්ථනා කිරීමත් අපේක්ෂා කෙරුණා. දහතුන්වන සියවසේ දී ශාන්ත ෆ්‍රැන්සිස් තුමා මේ පුරුද්ද ආශ්‍රයෙන් නත්තල් කැරොල් ගායනා ආරම්භ කළා.

රෝමයේ දී ශීත සෘතුව උතුරු යුරෝපයේ තරම් ම කටුක වුණේ නෑ. රෝමකයෝ ශීත සෘතුව පටන් ගන්නට සතියකට කලින් සැටර්නේලියා උත්සවය පටන් ගන්නවා. කෘෂිකර්මාන්තයට අධිපති සැටර්න් දෙවියන් සමරන්න. එය මාසයක් පුරා පැවැත්වෙනවා. එතනදි රෝම සමාජය කණපිට හැරෙනවා. වහලුන් අධිපතියන් වෙනවා, සාමාන්‍ය දිළිඳු ජනතාව නගරය පාලනය කරනවා. ව්‍යාපාර සහ පාසල් වහන නිසා හැමෝටම විනෝද වෙන්න අවස්ථාව ලැබෙනවා. මේ උත්සවයේ දී හැමෝම හැමෝටම සෞභාග්‍යය පතුරුවා හැරීමේ ආකල්පයෙන් සුළු තෑගි දෙන පුරුද්දක් තිබුණා. ඒ කියන්නේ ඊළඟ අවුරුද්දේ හොඳ අස්වැන්නක් ගෙට ගෙන ඒමට හැකිවේවා කියන අරමුණින්.

මේ ශීත සෘතුවේදීම රෝමකයෝ ජුවිනේලියා හෙවත් රෝමයේ දරුවන් සමරන භෝජන සංග්‍රහය පවත්වනවා. ඒ වගේම, (වඩා වැදගත්) ඉහළ පංතියේ මිනිස්සු මිත්‍ර හෙවත් යටත් කළ නොහැකි හිරු දෙවියන්ගේ උපන් දිනය සැමරුවා. ඒ දෙසැම්බර් 25 දින. ගළකින් උපන් ළදරු දෙවියෙක් වුණු මිත්‍ර ගේ උපන් දිනය සමහර රෝමකයන්ට අනුව අවුරුද්දේ වැදගත්ම දිනය වුණා.

https://hellenicfaithcom.files.wordpress.com/2017/09/mithras-rock-born-trio.jpg
මිත්‍ර

රෝමකයෝ තමන්ගෙ ගේ අවට ගස්වල එක එක ලෝහමය සංකේත එල්ලලා සැරසීමත් කළා, සැටර්නේලියා කාලයේ දී. මේ සංකේත වලින් හැඳින්වුනේ සැටර්න් දෙවියන් හෝ තමන්ගේ පවුලේ දෙවියන්. මේ සම්ප්‍රදායත්, ජර්මානුවන්ගේ ගස් රතු ගෙඩි සහ ඉටිපන්දම්වලින් සැරසීමත් එකතු වීමක් නත්තල් ගහේ දකින්න තියෙනවා.

හෝලි කියන්නේ කටු වගේ දැති තියෙන තද කොළ පාට කුඩා කොල සහ තද රතු පාට ගෙඩි සහිත ගස් විශේෂයක්. ඒ ගස් සැටර්න් දෙවියන්ට පූජනීයයි. ඉතින් සැටර්නේලියා උත්සවයේ දී රෝමකයෝ තෑගි දෙනකොට ඒ හෝලි ඉති වලින් තෑගි ඔතන්න පුරුදු වෙලා හිටියා. පස්සෙ ක්‍රිස්තියානිය යුරෝපයේ පැතිරෙනවත් එක්කම, ආණ්ඩු මේ නව ආගම අදහන්නන් දඩයම් කරද්දි, ක්‍රිස්තියානි ආගමිකයෝ තෑගි හුවමාරු කරගනිද්දි, ඒ අය සැටර්නේලියා සමරනවා වගේ පේන්න හෝලි ඉති වලින් තෑගි දැවටීම කරගෙන ගියා දිගටම.

https://pixers.uk/posters/holly-leaves-and-berries-57328225

ක්‍රිස්තියානි ආගම ආරම්භ වුණු මුල් කාලයේ අවුරුද්දේ වැදගත්ම දිනය වුනේ පාස්කුව. හතර වෙනි සියවසේ දී තමයි පල්ලිය තීරණය කළේ ජේසු තුමාගේ උපත සමරන්න. ඒත් බෛබලයේ ඒ දිනය ගැන කිසිම සඳහනක් වුණේ නෑ. ජේසු උපන් දිනයේ දේව දූතයන්, බැටළුවන් බළා ගනිමින් එළිමහනේ හිටපු එඬේරුන් ට ජේසු තුමා ඉපදුනු බව කිව්වා. ඒ කියන්නේ ජේසු තුමා උපදුනු දිනය ශීත සෘතුවේ නම් වෙන්න ම බෑ. ශීත සෘතුවේ එඬේරුන්ට පුළුවන් කමක් නෑ එළිමහනේ රෑ ගත කරන්න. ඒ නිසා ජේසු ඉපදුනේ වසන්ත කාලයේ වෙන්න පුළුවන්. 

පළමුවෙනි ජූලියස් පාප් තුමා තමයි දෙසැම්බර් 25 දිනය තෝරාගත්තේ. ඒ සැටර්නේලියා උත්සවය යටපත් කරලා කතෝලිකාගමට උපාර්ජනය කරගන්න කියලා සැළකෙනවා. එයින් ක්‍රිස්තියානිය හැමෝටම වැළඳගන්න පුළුවන් දෙයක් කරන්න උත්සාහ කළා වෙන්න පුළුවන්. මේ සම්ප්‍රදාය ඊජිප්තුවට 432 දීත්,  එංගලන්තයට හයවෙනි සියවසේ දීත් පැතිරුණා.

ඉතින්... මං පහුගිය නත්තල් කළාපයක ශාන්ත නිකලස් තුමා ගැන ලිව්වා. එතනදි  ජගත් පතිරණ කියා හිටියා මේ නත්තල් සීයා සම්ප්‍රදාය ඊටත් වඩා ඈතට යන බව. හොයාගෙන යද්දි තමයි මේ විස්තර හම්බුණේ. මේක අවස්ථාවක් කරගන්නවා ජගත් ට ස්තූති කරන්න, මගේ කුතුහලය අවුස්සලා, මට දැනුවත් වෙන්න අවස්ථාව සලස්සලා දුන්නට.

සැප්‍රීතිත්ත්ක් වේවා!!!

https://www.qwaym.com/wp-content/uploads/2017/11/norse-god-odin.jpg

මූූූූූලාශ්‍ර

https://www.history.com/topics/christmas/history-of-christmas

https://chefin.com.au/blog/these-6-christmas-traditions-are-actually-pagan-customs/

https://www.cbsnews.com/news/the-unexpected-pagan-origins-of-popular-christmas-traditions/#:~:text=Though%20December%2025%20is%20the,traditions%20celebrating%20the%20winter%20solstice.&text=%22In%20ancient%20Rome%20there%20was,Saturnalia%20that%20celebrated%20the%20solstice.

https://holidappy.com/holidays/twelve-christmas-traditions-with-pagan-origins


Thursday, December 17, 2020

අවසානයක් නොවේ - 23

"මීට අවුරුදු දෙදාස් දෙසීයකට විතර ඉස්සර, ඒ විදිහට ඈතට ගියපු එක නායකයෙක් වුණු 'යම' ආපහු අර උල්පත තිබුණු බිමට ආවා. ඒ ආවෙ, ඒ කාලයේ බිහිවුණු මහා දාර්ශනිකයෙක් එක්ක..." දුර්ගා නැවතත් කතාව ආරම්භ කළා ය.

පළමුවෙනි කොටස

තුන්වෙනි කොටස

විසි දෙ වන කොටස

"ඒ දෙන්නා ආවෙ, මේ දූපතේ හිටපු අයහපත් ගෝත්‍රයක් හරිමග ට ගන්න. ඒ ගෝත්‍රය තමන්ගෙ ශරීර ශක්තිය යොදාගෙන අනෙක් ගෝ්‍ත්‍ර, කණ්ඩායම් ඔක්කොම හාමත් කරන්න උත්සාහ කළා. ඇත්තටම ඒ ඉතිහාසය බොහොම සංකීර්ණයි. නමුත් කෙටියෙන් කිව්වොත් ඒ අය ට ඉතාම අසාමාන්‍ය තණ්හාවක් තිබුණා. ඒ කාලය වෙනකොට මේ බිම, මහාද්වීපයෙන් වෙන් වෙලා තිබුණෙ. මම කලිනුත් කිව්වා වගේ අර පුරාණ නායකයන්ගෙන් මේ දූපතේ ඉතුරු වුණු තුන් දෙනා, තමන්ගෙ පරණ මිත්‍රයන්ගෙන් උදව් ඉල්ලුවා මේ තත්ත්වය වෙනස් කරන්න. 

"ආත්මන් සහ ලිලි ස්වරූපයෙන් විතරක් නෙවෙයි මනසිනුත් විකෘති වෙලා තිබුණා කියලා තේරුණේ, මේ ගෝත්‍රය දෙවියන් විදිහට අදහමින් සිටියේ ඒ දෙපළට බව දැනගත්තට පස්සෙ. ඒ දෙන්නා උත්සාහ කළේ අර ගෝත්‍රය ට ඒත්තු ගන්වන්න, ඔවුන් පැවතෙන්නෙ රාක්ෂසයින්ගෙන් කියලා. ඒකෙන් ඒ මිනිස්සුන්ට තමන් ගොඩක් ශක්තිමත්, විස්මයජනක දේ කළ හැකි ජාතියක් බව ට ආත්ම විශ්වාසය ගොඩ නැඟුවා. ඒ නිසා මේ දූපතේ තනි අයිතිය රකුස් ගෝත්‍රයට හිමි යි, අනික් ගෝත්‍ර මර්දනය කරන්න ඔවුන්ට හැකියි කියන හැඟීම රකුසන් අතර පැතිරිලා ගියා, ඉතාම ඉක්මණින්.

"රකුසුු ගෝත්‍රය කුඩා කුඩා ගෝත්‍ර යටත් කරගනිමින්, එක්‌කෝ සමූල ඝාතනය කරමින් දූපතේ නැගෙනහිර පැත්ත අල්ලා ගත්තා. ඒක අපි සියල්ලන්ටම අභියෝගයක් වෙන මට්ටමට එද්දි ඉන්ද්‍ර, මිත්‍ර සහ මා එක්ක හිටපු ජන කණ්ඩායම් අපි සූදානම් කළා එළඹෙන මොන විදිහේ අභියෝගයකට වුණත් මුහුණ දෙන්න පුළුවන් විදිහට. ඉක්මණින් ම රකුස් ගෝත්‍රය අපිත් එක්ක සටන් කරන්න පටන් ගත්තා. ඒක අවුරුදු ගානක් පුරා ඇදිලා ගියා...

"ඒත් ආයුධවලින් කරන්න පුළුවන් දේ එතනදි සාර්ථක වුණේ නෑ. සටන් කරලා ජාතියක් මර්ධනය කරන්න පුළුවන් තමයි. ඒත් ඒක බොහොම තාවකාලිකයි. ගෝපාල ගේ කපටිකමින් සහ රුද්‍ර සහ ශක්ති ගෙ රණකාමීත්වයේ සහයෝගයෙන් ඉන්ද්‍ර, අග්නි සහ මිත්‍ර ට පුළුවන් වුණා අර රකුසු ගෝත්‍රය මර්ධනය කරන්න. එතනදි රුද්‍ර සහ ශක්තිගෙ පුතෙක් වුණු ස්කන්ධ හෙවත් මුරුගන් යුධ නායකයෙක් විදිහට ලොකු මෙහෙයක් ඉටු කළා. ඒ වගේම ගුරුළු, මයුර, සිංහ, වගේ දැනට මේ දූපතෙන් වඳවෙලා ගිහින් තියෙන දැවැන්ත සතුන් ඒ යුද්ධයට යොදා ගත්තා.

https://davidcharlesmanners.files.wordpress.com/2014/06/kartikheya.jpg
රුද්‍ර සහ ශක්තිගෙ පුතෙක් වුණු ස්කන්ධ හෙවත් මුරුගන් යුධ නායකයෙක් විදිහට...
ගුරුළු, මයුර, සිංහ, වගේ දැනට මේ දූපතෙන් වඳවෙලා ගිහින් තියෙන දැවැන්ත සත්තු...


"නමුත් ආත්මන් ට පුළුවන් වුණා ආපහු ඒ රකුස් ගෝත්‍රය ගොඩනඟලා සංවිධානය කරන්න. ඒ වෙනකොට අපට හොඳටම වැටහිලා තිබුණේ යුද්ධයෙන්, ආයුධවලින්, ලේ හැලීමෙන් මේක විසඳන්න බැරි බව.

"එතනදි තමයි, යම ආවෙ, උතුරු ඉන්දියාවෙ හිටපු දාර්ශනිකයෙක් කැඳවාගෙන... එතුමාට කිව්වෙ ගෞතම්..."

"ඒ කාලෙ උතුරු ඉන්දියාව මහා දර්ශනවාද ගණනාවක නිජ බිම වෙලා තිබුණා. එයින් වඩාත්ම සාමකාමී සහ මිනිස්සුන්ට අනුගමනය කරන්න ලේසි, දරාගන්න පුළුවන් දර්ශනය බිහි කළේ ගෞතම්... එතුමා රකුස් ගෝත්‍රය හමුවෙන්න ගියේ තනියම. එතුමා එක්ක ගියෙ යම විතරයි. එයා ගෙනිච්චෙත් දුන්න සහ ඊතල විතරයි, ඒකත් ඒ රකුසු ගෝත්‍රයෙ භාවිත වුණු ප්‍රධාන ආයුධ වුණු නිසා...

"ඒ දෙන්නා දැකපු රකසු ගෝත්‍රිකයෝ ආයුධ අමෝරාගෙන ඇවිත් වටකරගත්තා. ගෞතම් කිසිම බියක් පෙන්නුවේ නෑ. ඇත්තටම එතුමා බය වුණේ නෑ. එතුමා අහසට අත දික් කළා. එදා සූර්යග්‍රහණයක් ඇතිවෙන්න නියමිත වෙලා තිබුණා. ගෞතම් රකුසන් ඉදිරියට ගියේ හරියටම ඒ වෙලාව අල්ලලා. ඉතින් එතුමා ඉහළට අත දික් කරනවත් එක්කම ටිකෙන් ටික ඇඳිරි වෙන්න ගත්තා.

"අඳුර පැතිරෙද්දී රකුසන් කළබල වුණා. ඒ අයගෙ සෙන්පතියො ඉතුරු වෙද්දි ගොඩක් දෙනා ආයුධ අත ඇරලා පැත්තකට වුණා. එතනදි ගෞතම් ඒ අයට කතා කළා...

"එතුමා කතා කළේ බය ගැන. අපි නොදන්න දේට බය වෙනව. ඒ බය වෙන්නෙ අපි ජීවිතේ ට ආසා නිසා. අපි ජීවත් වෙන්න ආසයි වගේ ම, අනික් අයත් ජිවත් වෙන්න ආසයි. අපි වගේම අනික් අයත් මරණයට බයයි... අපි අපේ පැවැත්ම උදෙසා, අනික් අය බය ගන්වන එක හොඳ දෙයක් නෙවෙයි...

"එතුමා ඒ විදිහට පටන් ගෙන සූර්යග්‍රහණය ඉවර වෙනතුරු ම ඒ අයට ජීවිතය ගැන ගොඩක් දේ කියා දුන්නා. ඒ දේවල් වැටහුණු බහුතරයක් දෙනා හරිමග ට ආවා. ඒ දේවල් වටහාගන්න හැකියාවක් හරි උවමනාවක් හරි තිබුණෙ නැති ටික දෙනෙක් හිටියා. ඒත් කාලයක් යද්දි හරිමග තේරුම් ගත්ත අය සමාජයක් විදිහට දියුණු වෙද්දි, අනික් අය කැළෑවෙ ඉතුරු වුණා.

"ඔන්න ඔය ගෞතම් තුමා තමයි, මගේ හිතේ තිබුණු දෙගිඩියාව නැති කළේ..." දුර්ගා දිගු හුස්මක් පිට කරමින් නිහඬ වූවා ය.

"ඔයාට එතුමා මොනවද කිව්වෙ?"

"මට මහා එපාවීමක් තිබුණා. අමෘතය නිසා අපි මැරුණෙ නෑ. ඒත් අපට කරන්න විශේෂ දෙයක් තිබුණෙ නෑ. කන්න බොන්න නැතත් අපි ජීවත් වුණා. ඉතින් අනික් මනුෂ්‍යයන් වගේ අපට එදිනෙදා කෑම බීම හොයන්න, ඒ වෙනුවෙන් වැඩ කරන්න සිද්ධ වුණේ නෑ. අපි දැනුම රැස් කළා. ඒත් ඒකෙන් ලැබුණු තෘප්තියක් නෑ. අපි ස්වභාව ධර්මයේ රහස් සහ රටාවන් ගණනාවක් අධ්‍යයනය කළා. ඒවා අනුකරණය කරමින් වැස්ස, සුළඟ, ගින්න... ඒ වගේ විවිධ දේ නිර්මාණය කරන්න අපට පුළුවන් වුණා. ඒත් එයින් කළ යුතු දේ මොකද්ද කියලා අපි දැනගෙන හිටියෙ නෑ.

"ගෞතම් තුමාගෙන් මම ඇහුවෙ එක ප්‍රශ්නය යි. මේ ජීවිතයේ තේරුම මොකද්ද කියන එකයි. එතුමා අපි හතර දෙනාටම ගැළපෙන්න ඒකට උත්තර දුන්නා..."

"හතර දෙනා කිව්වෙ කවුද?"

"ඉන්ද්‍ර, මිත්‍ර, යම සහ මම - අග්නි කියල තමයි මං ඒ කාලෙ හැඳින්වුණේ..."

"ඉතින් මොනවද ගෞතම් තුමා කිව්වෙ? සමහරවිට ඒ උත්තරය මටත් සැනසිල්ලක් ලබා දෙයි..."

"ඔව්. මාත් එහෙම හිතන නිසා තමයි ඔයාට මේ දිග කතාව කියන්න ගත්තෙ. මේ ටික හොඳට අහගන්න...

"එතුමා කිව්වා මෙහෙම, 'ජීවිතය කියන දේට තේරුමක් නෑ. අමරණීය කෙනෙක් වුණත්, මේ ලෝකයත් එක්කම විනාශයට යනවා. ඔබ අසීමිත කාලයක් ජීවත් වුණත්, මේ විශ්වයට ආයු කාලයක් තියෙනවා. එතනින් හරි ඔබගේ ජීවිත කාලය සීමා වෙනවා.

" 'ඉතින් ඔබට කරන්න තියෙන්නේ, හොඳින් ඔබ ගැන තේරුම් ගන්න එකයි. බාහිර ලෝකය, ස්වභාව ධර්මය ගැන ඔබ අධ්‍යයනය කරලා තියෙන ගැඹුරටත් වඩා, ඔබ ඔබ ගැන අධ්‍යයනය කරන්න. ඒ සඳහා ඔබට අවශ්‍ය තරමටත් වඩා කාලය තියෙනවා. ඔබ ඔබව ම වැඩි වැඩියෙන් තේරුම් ගන්න තරමට, ඔබට වැටහෙනවා, ඔබගේ ශක්තීන් මොනවද, ඔබගේ දුර්වලතා මොනවද කියන එක. ඒවා කායික වෙන්න පුළුවන්. මානසික වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ දෙකේම සම්මිශ්‍රණයක් වුණු හැකියාවන් හෝ බලයන් වෙන්න පුළුවන්...

" 'ඒත් එක්කම ඔබට තේරුම් යනවා බාහිර ලෝකයෙන් ඔබට ලැබෙන හොඳ සහ නරක අවස්ථාවන්. ඒක කාලයෙන් කාලයට, සිදුවීමෙන් සිදුවීමට වෙනස් වෙනවා...

" 'ඔබ ඔය කරුණු තේරුම් ගත්තට පස්සෙ, ඒ ලැබිලා තියෙන ශක්තීන් සහ හොඳ අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මේ ලෝකයේ ඔබ පවතිනතාක්කල්, මේ ලෝකයට යහපත් දේ කරන්න... මිනිසුන්ට, සතුන්ට, සොබා දහමට උදව් කරන්න... අයහපත් දේ සිදුවීම වළක්වන්න... සමහරවිට ඒ සඳහා ඔබේ ශක්තීන් විතරක් නෙවෙයි, දුර්වලතා වුණත් උපයෝගී වෙන්න පුළුවන්...'

"මම කිව්වෙ එතුමාගේ ම වචනවලින් නෙවෙයි. එතුමාගේ ම වචන ඒ හැටියටම කටපාඩම් කරගන්න පුළුවන් වුණු ශිෂ්‍යයෙක් එතුමා ට හිටියා. ආනන්ද කියලා. ඒත් එයා කටපාඩම් කරපු දේවල්, එයා තේරුම් ගන්න උත්සාහ කළේ නෑ. ඒක වෙනම කතාවක්... මේ දේවල් එතුමා අපට කියා දුන්නේ, ඔය මම කියපු විදිහට වඩා ඉතාම සරළ විදිහට. ඒ සඳහා එතුමා උදාහරණ කතා පවා යොදා ගත්තා..."

"ඒ දේශනාවෙ ලොකු ගැඹුරක් තියෙනවා." ඇඩම් කල්පනා බරව කීවේ ය. "කාලයක් තිස්සේ හිතේ තියාගෙන, මෙනෙහි කරමින් තේරුම් ගන්න දෙයක් එතන තියෙන්නේ..."

දුර්ගා හෙවත් අග්නි සිය යුරෝපීය සගයා හට ගෞතම දේශනාව සිතෙහි ධාරණය කරගැනීමට ඉඩ හරිමින් නිහඬ වූවා ය. 

සෑහෙන වේලාවක් තිස්සේ ඔවුන් දෙස විමසිලිමත්ව බලා සිටි ආගන්තුකයෙක් ගල් ගුහාව තුලින් පිටතට පිය එසවූයේ තවත් කිහිප මොහොතක් ගත වූ පසුව ය.


24 කොටස...

Thursday, December 10, 2020

අවසානයක් නොවේ - 22

 "ඒත් මේ තැනිතලාව අල්ලගෙන තනි පාවිච්චියට නතු කරගන්න උත්සාහ කරපු තවත් ගෝත්‍රයක් හිටියා. නිතරම ආත්මන් ගේ මෙහෙයවීම යටතේ මේ ගෝත්‍රය එක්ක සටන් කරන්න ඔවුන්ට සිද්ධ වුණා.

"අවසානයේ එක දවසක් හවස ගෝත්‍රයේ නායකයන් ගේ රැස්වීමකදී ගෝපාල යෝජනාවක් කළා. ඔවුන් ළඟ තිබුණු ඖෂධීය දැනුම එකතු කරලා, සටනේදී ඇතිවන තුවාල, වේදනාවල් තුරන් කරන, ධෛර්යය සහ ශක්තිය වැඩි කරවන මහා ඖෂධයක් හදන්න...

පළමු වෙනි කොටස

තුන් වෙනි කොටස

විසි එක් වෙනි කොටස


"ගෝපාලගෙ යෝජනාව ගැන ගෝත්‍රයෙ වැඩිහිටියො ඒ තරම් තැකීමක් කළේ නෑ. ඒත් ආත්මන් ඒක පිළිගත්තා. පීතෘ මූලික සමාජයක් වුණු ඒ ගෝත්‍රයෙ ආත්මන් ට කවුරුත් කිව්වෙ 'ආදි පියා' කියලයි. ඔහු සමාජයෙ තමන්ට තිබුණු ගෞරවණීය තැන උපයෝගී කරගෙන, ඒ යෝජනාවෙ වාසිදායක පැත්ත ගැන පැහැදිළි කරලා ගෝත්‍රයෙ සියලුම දෙනා ඒකට කැමති කරවගත්තා. 

"ඉතින් ඊළඟ දවස් දෙකේ හැම දෙනෙක් ම තම තමන් දන්න පෝෂ්‍ය දායක, රසවත්, ඖෂධීය ශාක කොටස්, පස් වර්ග, තෙල්, වගේ දේවල් එකතු කළා. ඒ ගෝත්‍රය හිටපුු තැනිතලාවෙ එක් ගල් කන්දක, ගලෙන් ම හැදුණු පොකුණක් තිබුණා. තුන්වෙනි දවසේ අර නායකයො හත් දෙනා ඒ පොකුණ ඉහළා පිරිසිදු කළා. ඒකෙ තිබුණු උල්පත්වලින් ආපසු පිරිසිදු වතුර පිරී ගෙන එද්දි, අර එකතු කරගත්ත බෙහෙත් ජාති ඒ පොකුණට දැම්මා. ගෝපාල ම හදාගෙන ආවා, ගල් යෂ්ටියක්. ඒක මිනිහෙක් විතර උස, වියත් දෙකක් විතර වටප්‍රමාණය තිබුණු වටකුරු ගලක්. ඒක අර පොකුණට දාලා, ආත්මන් සහ ගෝපාල පොකුණ දෙපැත්තෙන් හිටගෙන යෂ්ටියෙ උඩින් අල්ල ගත්තා. රුද්‍ර එතනට අරගෙන ඇවිත් තිබුණා, පිඹුරු හම් පදම් කරලා අඹරපු දිග යොතක්. ඒක අනික් හය දෙනා අර ගල් යෂ්ටිය වටේ ඔතලා, දෙපැත්තට අදින්න ගත්තා. ඒකෙන් අර ගල දෙපැත්තට කැරකෙමින්, පොකුණට දාපු බෙහෙත් ඇඹරිලා ඒකෙ උනන වතුරට කළවම් වෙන්න ගත්තා.

"පැය ගාණක් ඔය වැඩේ දිගට කරගෙන ගියා. ශක්ති සහ අග්නි වේලාසන ම වෙහෙසට පත් වුණා. ඒත් පිරිමි හතර දෙනා නවත්වන්නෙ නැතුව දිගටම අර හම් යොත දෙපැත්තට ඇද්දා. වෙහෙස නිවෙන තුරු පැත්තකට වෙලා හිටපු ගැහැණු දෙන්නත් ආපහු ඒ වැඩේ ට උදව් වෙන්න ආවා. අන්තිමේ දී, පොකුණෙ තිබුණු මිශ්‍රණය හොඳටම ඇඹරිලා, දිය වෙලා ඉතාම පැහැදිලිව කොටස් දෙකක් විදිහට වෙන් වෙලා පේන්න ගත්තා. එක කොටසක් කොළ පාටත්, අනික් කොටස නිල් පාටත් වුණා. එතනදි ටික වෙලාවකට බෙහෙත මත් ගාන වැඩේ නතර වුණා. 

"ගෝපාල් ට ත් කියන්න බැරි වුණා මේ කොටස් දෙක මොනවද කියලා. මත ගෑම නවත්තනවත් එක්කම අර නිල් පාට දියරය තිබුණු පැත්තට ගහක කොලයක් වැටුණා. වැටුණා විතරයි, ඒ කොළය ඇඹරිලා කලු වෙලා වාෂ්ප වුණා.

"ශක්ති බෙහොම පරිස්සමට ඒ නිල්පාට දියර කොටස බිංදුවක් වත් අහක නොයන විදිහට මැටි භාජනයකට ගත්තා. ඒත් තප්පර ගාණකින් ඒ මැටි භාජනය ඇතුල් පැත්තෙන් දිය වීගෙන යනවා පේන්න තිබුණා. ගෝපාල ගෙනත් තිබුණා ඖෂධය පුරවගන්න, ගල් පාත්‍ර කීපයක්. රුද්‍ර, ශක්ති ගෙ අතින් අර මැටි බඳුන අරගෙන ඒ විෂ දියරය ගල් පාත්‍රයකට පුරවන්න පටන් ගත්තා. ඒත් ඒක ගල් බඳුනට වැටෙන කොටම, සිහින් දුමක් දමමින් ගල් පාත්‍රය ගෙවීගෙන යන්න ගත්තා. 

" 'මේකට තියෙන්නෙ එකම විසඳුමයි' කියපු රුද්‍ර, එක පාරම අර විෂ භාජනය කටේ තියාගෙන බීගෙන බීගෙන ගියා. අනික් අයට එයා නවත්තන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. ඒක ඒ තරම් ක්ෂණිකව සිදුවුණා. ඒ වගේ වැඩක් රුද්‍ර කරාවි කියලා කවුරුවත් හිතුවේ නෑ.

"ශක්ති එතනට දුවගෙන යද්දි එයා විෂ ඔක්කොම බීලා ඉවරයි. ඔහුගෙ මුහුණේ ඉඳන් පහළට කලු වේ ගෙන ආවා. ඒ එක්කම එයා බිම වැටුණා. ශක්ති එයා බිම උඩු අතර වැතිරවලා, පිට ට ගළක් තියලා, හිස පිටුපස ට පාත් කළා. එයා හැදුවේ විෂවල බලපෑම බෙල්ලෙන් පහළට යන්න නොදී ඉන්න. ගල් දණ්ඩ අතෑරපු ගෝපාලුත්, ආත්මනුත්, අනික් අයත් ඒ දෙන්නව වට කරගත්තා...

"බෙහෙත් මත ගෑම ගොඩක් වෙලා යන වැඩක් නිසා ඒ අය වැඩ කරන අතරෙ කන්න බොන්න දේවල් ගෙනත් තිබුණා. එතන තිබුණු එළකිරි බඳුනක් ගත්ත අග්නි, ඇය දන්න බෙහෙත් ජාති කීපයක් කළවම් කරලා, අර පොකුණේ හැදුනු කොළපාට බෙහෙතෙනුත් ටිකක් ඒකට මුසු කරලා, රුද්‍ර ගේ ඔලුව ආපහු ඔසවලා, එයාගෙ කටට වත් කළා. 

"ටික වෙලාවක් යනතුරු මොනවත් වුණේ නෑ. ශක්ති බොහොම හෙමින් අඬන, ඉකි ගහන ශබ්දය විතරයි ඇහෙන්න තිබුණෙ. ඒත් ටිකෙන් ටික රුද්‍ර ගෙ හුස්ම වැටෙන බව, නාඩි ඉතාම දුර්වල විදිහට ගැහෙන බව දැනෙන්න ගත්තා. ඒකෙන් හැම දෙනාගෙම බිය දුරු වුණා.

"අන්තිමේ රුද්‍ර ආපහු සුවපත් වුණා. ඒ වෙනකොට රෑ බෝ වෙලා. ඉතින් අර පොකුණෙ හැදුණු කොළපාට දියරය ගෝපාල් ගෙනියලා තිබුණු ගල් පාත්‍රයකට පුරවගත්ත නායකයො ටික ආපහු ගෝත්‍රයේ උදවිය වාසය කරපු ගල් ගෙය ට ආවා. එදා හැම දෙනාට ම ඉතාම ප්‍රීතිමත් දවසක්. ඒ, බෙහෙත හදා ගන්න පුළුවන් වුණා ටත් වඩා, රුද්‍ර ගෙ ජීවිතය බේරුණු නිසා. හැම දෙනාගෙම යහපත වෙනුවෙන් තමන්ගෙ ජීවිතය නැති කරගන්න පසුබට නොවුණු නිසා හැම දෙනා ම එයාට ගරු කළා..."

"ඒ වගේම අග්නි ටත් ගරු කරන්න ඇති එයාගෙ පණ බේරපු නිසා...?" ඇඩම් දුර්ගා දෙස ට සිය සුරතේ දබරැඟිල්ල දිගු කරමින් ඇසී ය. 

ඇගේ මුහුණ සිනා රැල්ලකින් රැළි වැටුණේ ය. "ඒක තමයි සිදුවුණු ඇත්ත ම සිදුවීම. කාලයත් එක්ක අර කුඩා ගල් පොකුණ සාගරයක් වෙලා. ඊශ්වර දෙවියන්ට තාරා දෙවඟන මව් කිරි ත් පොවලා..." 

"ඉතින් ඊට පස්සෙ අර කියපු ගෝත්‍රය තැනිතලාව අල්ලගෙන අනික් ගෝත්‍රය පන්නා දැම්ම ද?"

"ඒ මොනවත් වුණේ නෑ. එදා මහ රෑ ගැහැණියකගෙ විළාපයක් ඇහිලා ගෝත්‍රයෙ හැමෝම ඇහැරුණා. විළාපය ඇහුණෙ ගුහාවෙ ඉස්මත්තෙ ආත්මන් නිදා හිටපු කොටසින්. ආදි පියා ගෙ බිරිඳ වුණු ලිලී, බිම වැටිලා වියරුවෙන් වගේ දඟලමින් හිටියා. ඒ අසළම ආදි පියා බිම ඇණ තියාගෙන හිසේ අත් ගහගෙන... හැමෝටම සිදු වෙලා තියෙන දේ තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.

"ලිලී ට උවමනා වුණා අර බෙහෙත බීලා බලන්න. ඈ කෑදර කෙනෙක්වත්, බලයට හෝ ශක්තියට තණ්හාවක් තිබුණු කෙනෙක්වත් නොවෙයි. ඒත් ඒක කුතුහලය, සාමාන්‍ය මනුෂ්‍ය ගතිය... ඇය ආත්මන් ටත් පෙරැත්ත කරලා, බෙහෙත තිබුණු බඳුනෙන් අරගෙන බීලා. ඒක බීපු ගමන් ම තමන්ට දැනුණු ප්‍රබෝධමත් බව ගැන කියලා, ඔහුටත් ඒ බෙහෙත ඇය පොවලා. ඔය විස්තරය කියලා තප්පර ගාණකින් ආදි පියාත් බිම වැටිලා දඟලන්න ගත්තා. 

"අග්නි ආපහු ගියා රුද්‍ර ට පොවපු කිරි බඳුන අරන් එන්න. ගෝත්‍රයේ හැම දෙනාම ඇය ට උදව් කරන්න ආවා. ඒත්  කණ්ඩායමේ කළබලයට ඒ බඳුන අතෑරුණා. ආපහු ඖෂධ ජාති හොයලා, කිරි දොවලා, ඒක හදාගෙන එද්දි, ආදි පියාත්, ලිලීත් හිටියෙ නෑ. ඔවුන් දෙන්නා ම විනාඩි කීපයක් ඇතුලත ඉතාම විරූපී බිහිසුණු පෙනුමකට හැරුණු බවත්, ඔවුන් ගල්ගුහාවෙන් එළියට දුවපු බවත් ළඟ හිටපු දරුවෙක් කිව්වා. ඒ ගමන නායකයො හත් දෙනා එළියට බැස්සා ඔවුන් හොයන්න. ඒත් ආපහු කවදාවත්, ඒ අය දකින්න හම්බ වුණේ නෑ...

"එතකොට ඒ හැදුණු බෙහෙත, බෙහෙතක් නෙවෙයි ද?" ඇඩම් විමසී ය.

"ඒ බෙහෙත සාන්ද්‍රණය ඉතාම වැඩියි. ඒකයි ලිලිත්, ආත්මනුත් අර තත්ත්වයට පත් වුණේ. ඊට පස්සෙ ගෝත්‍රයෙ කවුරුවත් ඒ බෙහෙත බොන්න එඩිතර වුණේ නෑ. 

"දවසක් රුද්‍ර දඩයමේ යද්දි ඇතෙක් ඔහු හොඬවැලෙන් අල්ලලා උඩ දාලා, බිම ගහලා පාගලා දැම්මා. ඒත් ඔහු ආපහු නැගිට්ටා, කිසිම හාණියක් නැතිව. තමන්ට කිසිම වේදනාවක් නොදැනුණු බව ඔහු කීවා. ඒ ගමන තමයි අග්නි සකස් කරලා ඔහුට පොවාපු බෙහෙත ගැන ආපහු නායකයො හත් දෙනා කතා කරන්න පටන් ගත්තෙ. 

"දිග විස්තරයක් කෙටියෙන් කියනව නම්, අග්නි කලින් හදපු බෙහෙත ආපහු හැදුවා. ඒත් සාර්ථක වෙන්න නම් අර කොළපාට බෙහෙත වගේම නිල්පාට විෂත් පොඩ්ඩක් මිශ්‍ර කරන්න උවමනා වුණා."

දුර්ගා දිගු හුස්මක් හෙළුවා ය. "විශ්වය පවතින්නෙ ඒ විදිහටයි, ඩ්‍රේක්... හොඳ සහ නරක දෙකම එකම විශ්වයෙ කොටස්..."

විශ්වය පවතින්නෙ ඒ විදිහටයි... හොඳ සහ නරක දෙකම එකම විශ්වයෙ කොටස්...
https://dbdzm869oupei.cloudfront.net/img/sticker/large/22428.jpg

"එතකොට ඔයා කියන්නෙ..." ඇඩම් තරුණියගේ දෑස් දෙස බලමින් මඳක් පැකිළුණේ ය. "ඔයා කියන්නෙ, මා ලවා ලෝකී හොයාගන්න හදන අමරණීයත්වය ලබාගන්න තියෙන ක්‍රමය ඒ බෙහෙත ද?"

ඇය කිංකිණි හඬින් සිනා සුණා ය... ඒ දෙස නාවුකයා බලා සිටියේ මව දෙස බලා සිටින නොදරුවෙකු සේ ය.

"ඒක තමයි ඔයා අර අධ්‍යයනය කළාය කියපු පාරාදීසයේ උල්පත ගැන ඇත්ත කතාව. අර ගෝත්‍රයේ නායකයො හත් දෙනා ඒ විදිහට සකස් කරගත්ත බෙහෙත බීවා. ඒ අය ඒකට කිව්වෙ 'අමෘත' කියලා. මොකද කිව්වොත්, ඇත්තටම ඒක බිව්ව අය කවදාවත් මැරුණෙ නෑ. ඒ අයට කන්න බොන්න හුස්මගන්න, ඔය ආකාරයෙන් සාමාන්‍ය මනුෂ්‍යයෙකුට පවතින්න උවමනා කිසිම දෙයක් නැතුව ජීවත් වෙන්න පුලුවන් වුණා. ඒත් ඒ ගෝත්‍රයෙ අනික් අය ඒක බොන්න පසුබට වුණා, බය වුණා. අර නායකයො හත් දෙනා, තමන්ට ලැබුණු අමරණීයත්වයත් එක්ක, කල් ගත වෙද්දි එකතු වුණු අත්දැකීම් සහ දැනුම සම්භාරත් එක්ක, සාමාන්‍ය මිනිස්සුන්ට වඩා මනසින් වෙනස් වුණා. ඒ අයගෙ අරමුණු වු‌නේ තව තවත් දැනුම එකතු කරලා, එයින් මේ ලෝකය වඩා යහපත් තැනක් කිරීම...

"ඒ වගේම ආත්මන් අදහස් කරපු විදිහට ගෝත්‍ර අතරෙ සටනක් ඇති වුණේ නෑ. නායකයො හත් දෙනා අනික් ගෝත්‍රයත් එකතු කරගෙන මහා සමාජයක් ගොඩ නැගුවා. ඔවුන්ට තැනිතලාව ඉඩ මදි වුණාම ඔවුන් මුළු දිවයිනේම, ඊට පස්සෙ එයිනුත් ඔබ්බට පැතිරිලා ගියා. සමාජය පැතිරෙනවාත් එක්කම නායකයොත් තම තමන්ගේ උප ගෝත්‍ර කොටස් එක්ක ඒ ඒ ප්‍රදේශවලට සංක්‍රමණය වුණා. කාලය ගත වෙනවාත් එක්ක ඉතිහාසය කතන්දර බවට පත් වුණා. මුත්තලා අත්තලා ඒ ඉතිහාසය ඉදිරි පරම්පරාවලට කියා දෙද්දි අතිශයෝක්තිය මිශ්‍ර වුණා. ඒකෙන් වුණේ නායකයන් අමතක වෙලා දෙවිවරුන් ගැන කතන්දර නිර්මාණය වීම. ඉතින් නායකයන්ටත් තමන් ම බිහිකරපු මහා සමාජය එක්ක මුහු වෙන්න සිද්ධ වුණා..."

...වුණේ නායකයන් අමතක වෙලා දෙවිවරුන් ගැන කතන්දර නිර්මාණය වීම
https://ramona15274028595534.googuu.xyz/
api/get.php?id=d3cc571045553498882adbb1d54

දුර්ගා මොහොතකට සිය කතාව නතර කර දෑස් පියා ගත්තා ය. "මම කිව්වෙ මේ ගතවුණු අවුරුදු හයදාහ පුරා සමාජය පැතිරිලා ගිය හැටි..."

තමන් අරමුණු කරගත් පිළිතුර ඇගෙන් නොලැබීමට ඉඩ ඇති බව ඇඩම් වටහා ගත්තේ ය. ඇයට උවමනා විදිහට කතාව විස්තර කිරීමට ඉඩහැරීම වඩා සුදුසු බව අත්දැකීමෙන් ම ඔහුට වැටහිණ. කතා කිරීමට කැමති පුද්ගලයා හට කතා කිරීමට ඉඩ හැරිය යුතුය, අනුබල දිය යුතු ය. එවිට වැල්වටාරම් දහසක් මැදින් උවමනා එකම එක කරුණ උකහා ගැනීමට ඉඩ ලැබෙනු ඇත.

"මීට අවුරුදු දෙදාස් දෙසීයකට විතර ඉස්සර, ඒ විදිහට ඈතට ගියපු එක නායකයෙක් වුණු 'යම' ආපහු අර උල්පත තිබුණු බිමට ආවා. ඒ ආවෙ, ඒ කාලයේ බිහිවුණු මහා දාර්ශනිකයෙක් එක්ක..." දුර්ගා නැවතත් කතාව ආරම්භ කළා ය.

"ඒ දෙන්නා ආවෙ, මේ දූපතේ හිටපු අයහපත් ගෝත්‍රයක් හරිමග ට ගන්න... 


ඊළඟ කොටස ඊබී විභාගයට පාඩම් කරන අතරතුර...

Saturday, December 5, 2020

කිරි කිරි බෝලේ, ගූසි ගූසි ගැන්ඩර් සහ රොක් අ බයි බේබි - ළමා කවිවල අඳුරු ඉතිහාසය

රිං අරවුන්ඩ් ද රෝසී

ලංකාවේ පොඩි දරුවො රවුමට හිටගෙන, අත් අල්ලගෙන කැරකෙන සෙල්ලමක් කරනවනෙ "කිරි කිරි බෝලේ - රැළි රැළි මාලේ" කියා පටන් ගන්න කවියක් කියමින්... ඒ වගේම තාලයකට කියන කවියක් තමයි රිං අරවුන්ඩ් ද රෝසී... ඒ කවියත් කිරි කිරි බෝලේ වගේම අත් අල්ලගෙන රවුමට රවුමට කැරකෙමින් කරන සෙල්ලමකට අදාළ කවියක්. පහත තියෙන්නෙ ඒ කවිය.

https://images.fineartamerica.com/images/artworkimages/mediumlarge
/1/ring-of-roses-frederick-morgan.jpg


Ring-a-round the rosie,

A pocket full of posies,

Ashes! Ashes!

We all fall down.


රෝසි වටේ වළල්ලක්

මල් පොකුරු පිරුණු සාක්කුවක්

අළු! අළු!

අපි ඔක්කොම බිම වැටෙනව

(වචනයට වචනය විදිහට කරපු රළු පරිවර්තනය...)


මේ කවියෙ මුල ගැන තියෙනවා මිත්‍යා කතාවක්. (ඒක ඇත්තම ඉතිහාස කතාව නෙවෙයි කියලා තර්ක කරන්න ඕනෙ තරම් සාධක තියෙනවා.)

1430 ගණංවල යුරෝපය වසාගෙන පැතිරිලා ගිය කළු මරණය (Black Death) වසංගතය ගැන මේ කවියෙ පදවලින් කියවෙනවා කියලා සැළකෙනවා. ඒ මේ විදිහට...

හමේ ඇති වෙන රතුපාට රවුම් ආසාදනයක්, තද රෝස පාට පැල්ලමක් වටේට රෝස පාට රවුමක් හිටින පරිදි ඇති වන සමේ ආසාදනයක් පළවෙනි පදයෙන් කියවෙනවා. මේ වසංගතයෙන් බේරෙන්න බෙහෙත් ලෙස සැළකුණු කොළ. දලු, රිකිලි ආදිය සාක්කුවේ දාගෙන එන්න යන්න පුරුදු වෙලා හිටපු මිනිස්සු දෙවන පදයෙන් කියවෙනවා. "ඈෂස්" කියන තුන් වෙනි පදේ ඊට ටිකක් පරණ අනුවාදයේ දි කියවුනේ "ආ ටිෂූ" කියලයි. එකෙන් කිවිසුම් යාම ඇඟවෙනවා. ඊට පස්සෙ වසංගතයෙන් රෝගාතුර වෙන මිනිස්සු අන්තිමේ බිම වැටිලා මිය යාම අවසාන පදයෙන් කියවෙනවා...

ඒත් මේ කවිය ඊට කලින් අනුවාද වලදි, ඒ වගේම රටින් රටට වෙනස් වන අනුවාද වලදි මේ පද ම යෙදෙන්නේ නෑ. ඒ වගේම සමේ ආසාදනයක් එක්ක කිවිසුම් යාමක් තිබුණු වසංගතයක් ගැන ඓතිහාසික තොරතුරුත් දකින්න නෑ. ඒ නිසා මේ පරණ මුල් ගැන තියෙන කතාවත් මිත්‍යා කතාවක් ම තමයි කියලයි බොහෝ දෙනා පිළිගන්නේ.


ගූසි ගූසි ගැන්ඩර්

මේ කවිය නම් බොහොම අපූරු ඉතිහාස කතාවක් කියනව... මෙන්න කවිය:

Goosey Goosey Gander where shall I wander,

Upstairs, downstairs and in my lady's chamber

There I met an old man who wouldn't say his prayers,

I took him by the left leg and threw him down the stairs.

පාත්ත පාත්ත පාත්තයා - මම කොහෙද කරක් ගහන්නෙ
උඩ තට්ටුවෙ යට තට්ටුවෙ සහ කාන්තාවගෙ කාමරේ
එතන මට අහුවුුුුණා යාඥා නොකරන නාකියෙක්
මං උන්දැගෙ වම් කකුලෙන් ඇදල අරං පඩිපෙලෙන් පහළට විසි කළා

http://4.bp.blogspot.com/-V7Gh3fsxBcs/Us7qVcKA_dI/AAAAAAAAA6Q
/5aYDUmutoOE/s1600/Goosey-Goosey-Gander-where-shall-I-wander.jpg


16 වන සියවසේ එංගලන්තයේ කතෝලික පූජකවරු අප්‍රසාදයට ලක් වුණු කොටසක් වුණා. බහුතරයක් දෙනා දූෂිතයන් විදිහට හංවඩු ගැහිලා හිටියෙ. මේ කවියෙ කියන නාකි මිනිහා, ඒ විදිහෙ කතෝලික පූජකවරයෙක්. පාත්තයන් කියලා ඒ කාලයේ හැඳින්වුනේ ගණිකාවො... ඒ කියන්නෙ මේ පූජකවරයා අහුවුණේ ගණිකාවකගෙ කාමරේ ඉඳලා. 

ඒ කාලෙ සැබෑ පූජකවරයෙක්ද කියලා හඳුනගන්න, යාඥාවක් කියන්න කියල කියන එක සාධාරණයි. (එක කාලයක බාල්දියක් පෙන්නලා මේ මොකද්ද කියල ඇහුව වගේ) 16 වන සියවසේ දි ලතින් භාෂාවෙන් යාඥා කිරීම පරණ සිරිත. ඉංග්‍රීසි භාෂාවෙන් කීම අලුත්... ඉතින් මේ පූජකවරයට ඉංග්‍රීසි යාඥාවක් කියන්න බැරිවෙලා. ඉතින් කකුලෙන් අල්ලලා ඇදල අරං පඩිපෙළෙන් පහළට විසි කරලා...

තව මතයකට අනුුව, 16 වන සියවසේ එංගලන්තයේ රෙපරමාදු ආගම ට අනුග්‍රහ දැක්වූ රජය විසින් කතෝලිකයන් මර්ධනය කෙරුණා. ඒ කාලෙ කතෝලික ගෙවල් වල පූජක ගුළ කියලා තැනක් තිබුණා පූජකවරුන් හංගලා තියාගන්න. එහෙම කෙනෙක් අහුවුණොත් කකුලෙන් ඇදල අරං පඩිපෙළෙන් පහළට තල්ලු කරලා මරල දාන සිරිතක් තිබුණා ලු...


රොක් අ බයි බේබි

මේකත් එංගලන්තෙ රජ පවුලේ කතාවක් ගැබ් වුණු කවියක්...

Rock-a-bye baby on the treetop,
When the wind blows, the cradle will rock.
When the bough breaks, the cradle will fall,
And down will come baby, cradle and all.

නැළවේ බබා ගහ මුදුනේ
සුළඟ හමද්දි තොටිල්ල පැද්දේ
අත්ත කැඩුණහම තොටිල්ල වැටේවි
බබයි තොටිල්ලයි ඔක්කොම බිම වැටෙයි

https://i.etsystatic.com/6911039/r/il/d4ffb7
/609084398/il_794xN.609084398_1d8s.jpg

දෙවෙනි ජේම්ස් රජතුමා ට කතෝලික උරුමක්කාරයෙක් සිටිය යුතු නිසා, රජ වාසල දරු ප්‍රසූතිය සිද්ධ වෙන කුටිය ට පිරිමි
දරුවෙන් හොරෙන් අරගෙන ගිහින් තිබ්බා කියා විශ්වාස කරනවා. ඒ දරුවා රජ ගෙදර කියන තොටිල්ලේ සිටියත්, රජුගේ නෑදෑයන් කියන සුළඟ විසින් බිමට පෙරලලා දාන්න පුළුවන් විදිහෙ අවදානම් තැනකයි සිටියේ... ඒක හරියටම දරුවෙක් ‌තොටිල්ල සමඟින් ගහක් මුදුනේ තැබීම ට සමානයි.

Wednesday, December 2, 2020

අවසානයක් නොවේ - 21

 "තේරුම් ගන්න තියෙන්නෙ ඩ්‍රේක්..." ඈ සිය සිහින් ඇඟිලි වලින් ඔහුගේ ඇඟිළි මිරිකා ගත්තී ය. "...යම් කිසි වෙනස් දෙයක් අපට ලැබෙන්නෙ, අනික් කාටවත් නොලැබී අපට ලැබෙන්නෙ, මේ ලෝකය වෙනුවෙන් යමක් ඉටු කරන්න... ඔයා හිතන්න - ඔයා දන්න දේවල් අනුව ඔයා හිතන්න ඒ මොකද්ද කියලා..."

ආදිකාල්පික වටපිටාව හා සෝම පානය ඔහුගේ සිතුවිලි ලිහිල් ස්වභාවයකට පත් කර තිබුණි. ඔහු අසළ ගල් තළාව මත වැතිර සිටි සුන්දර තරුණිය සිය මිත්‍රත්වය පිරිනමා තිබුණි... සිය සිතෙහි මෙතෙක් කල් තෙරපෙමින් තිබූ මහා ගැටළුව ට පිළිතුරු ඇගෙන් අපේක්ෂා කළ හැකි බව ඩ්‍රේක් හට වැටහුණි...

පළමුවෙනි කොටස

තුන්වෙනි කොටස

විසිවන කොටස

"ඔයා මේ තත්ත්වයට පත් වුණු විදිහ ගැන වරුණ යි සුමන යි මා එක්ක කිව්වා. ඔයා ඉස්සෙල්ලා කීව, ආදරය ගැනත් මම හිතන්නෙ, මං යමක් දන්නවා..." දුර්ගා කතා කරන්නට වූයේ ප්‍රවේසමෙන් වචන තෝරාගනිමින් බව ඇඩම් ට වැටහිණ. ඒ, නුසුදුසු වචනවලින් ඔවුන'තර පැවති සමීප බව ට හාණි නොවනු පිණිස යැයි ඔහු සිතී ය. "ඒ වගේම, ඔයා තුළ පේන්න තියෙනවා, තමන් තුළ ඇති වටිනාකම, එහෙමත් නැත්නම් තමන්ගෙන් මේ ලෝකෙට තියෙන්න පුළුවන් ප්‍රයෝජනය, කොටින්ම කියතොත් තමන්ගෙ ජීවිතයේ අරමුණ වටහාගෙන නැති බව. ඒ නිසා තමයි ඔයාට පැවැත්ම ගැන වේදනාවක් දැනෙන්නෙ..."

"මට අරමුණක් තියෙනවා..." ඇඩම් මඳක් පැකිළුණි. එහෙත්... "ඒ අරමුණ ඉටු කිරීමෙන් වාසියක් ලබන්නේ මාව මේ තත්ත්වයට පත්කරපු උදවිය ම යි." 

දුර්ගා ගේ දෑස් තුළ තියුණු බව මෙන්ම තෙත් බවක් ද වූ බව නාවුකයා දුටුවේ ය.

"මම මරණයෙන් බේරුණාට පස්සෙ, එහෙමත් නැත්තම් මාව බේරුවාට පස්සෙ, මාව ගෙනත් අතෑරපු මිටියාවතේ මම අවුරුදු පණහක් විතර හිටියා. එහෙදි මම විවාහ කරගත්ත ඉන්ග්‍රිඩ් මැරුණට පස්සෙ, මට තව දුරටත් ඒ මිටියාවතේ ජීවත් වෙන්න අරමුණක් තිබුණෙ නෑ. දකින දකින පැත්තෙ මම දැක්කෙ වේදනාත්මක මතකයන් විතරයි...

"ඉතින්, අන්තිමේ මම වෘකයො මාව කන්න එළවද්දි උන්ගේ උල් දත් වලට මුහුණ දීලා, වනාන්තරය පහු කරලා ගියා. නගින්න බැරි කඳු වැටිය ඉතාම අමාරුවෙන් නැග්ගා. කන්ද මුඳුනෙදි මට හම්බුණා අංග්ර්බෝදා කියන යෝටන් මායාකාරිය..."

මම තදින්ම වෙහෙසට පත්වෙලා හිටියෙ. එයා මට මීඩ් දුන්නා...
https://static.wikia.nocookie.net/oproleplaying/images/8/80/GA_-_Angrboda_-_
Pro.jpg/revision/latest/scale-to-width-down/350?cb=20190716025412

"පොඩ්ඩක් ඉන්න..." මඳ සිනාවක් පාමින් දුර්ගා ඔහුගේ කතාවට බාධා කළා ය. "සුමන යි වරුණයි වගේ නෙවෙයි... මං ඔය පිටස්තර දෙවිවරු ගැන දන්නෙ බොහොම ටිකයි. යෝටන් කියන්නෙ ඇස්ගාඩ් වාසීන්ගෙ විරුද්ධකාරයො කියල නං දන්නව..."

"ඔව්. හරි... ඔයා ලෝකී ගැන දන්නව ඇති නෙ?" 

"ඔව්. දන්නව..."

"අංග්ර්බෝදා තමයි ලෝකී ගෙ සහකාරිය... ඒ වගේම, රකුසන් ගේ මව. කඳුවැටිය මුදුනට එද්දි මම තදින්ම වෙහෙසට පත්වෙලා හිටියෙ. එයා මට මීඩ් බොන්න දුන්නා. මහන්සිය දුරු වෙලා, මට පොඩ්ඩක් පණ ආවට පස්සෙ එයා මට කිව්වා, 'මගෙ ඉළක්කය විය යුත්තේ අමරණීයත්වය' කියලා. ලෝකී මට දුන්නෙ ඇස්ගාර්ඩ් වාසීන් දැනසිටි උපරිම ශක්තිය යි.  සුවපත් වීමේ බලය ගැන ඒ රහස දැනගන්න ලෝකී ට එයාගෙ අයියා, බල්ඩුවර් මරන්න සිද්ධ වුණා. ඒ බලය මට ලබා දුන්නේ ඇස්ගාඩ් වෙනුවෙන් එක මෙහෙවරක් ඉටු කරන්න යි කියලා අංග්ර්බෝදා මට කිව්වා.

"ඇස්ගාඩ්වරු දෙවිවරු වුණාට, ඒ අය දවසක මිය යනවා. රැග්නරොක් එහෙමත් නැත්තම් ඇස්ගාඩ් ලෝකයේ අවසාන සටනෙදි ඒ අය ඔක්කොම මැරෙනවා. ඒ සටන පටන් ගන්නේ ලෝකී කියා චෝදනා කරන ඇස්ගාඩ් හි දොරටු පාලක හයිම්ඩාල් අවසානයේ ලෝකී මරාගෙන මැරෙනවා..."

"මම අහල තියෙනවා ඔය අනාවැකිය..." දුර්ගා තෙපළා ය. "එතකොට ලෝකී ට උවමනා කරල තියෙන්නෙ අමරණීය වෙන්න ක්‍රමයක් හොයාගෙන රැග්නරොක් සටන වළක්වන්න ද, නැත්නම් තමන් බේරෙන්නද?"

"ඔය දෙකෙන් කොයි අරමුණ වුණත්... ලෝකී වගේ රැවටිළිකාරයෙක් සටනක් වළක්වන්න තරම් පරාර්ථකාමී වෙයි කියල හිතන්න නම් බෑ. ඒ මොනව වුණත් මට බෑ කාගෙවත් ආයුධයක් වෙලා, කාටවත් වාසියක් ලබා දෙන්න මගේ ජීවිතේ කැපකරගන්න." 

"ඉතින් අමරණීයත්වය හොයාගන්න ලෝකී හරි අංග්ර්බෝදා හරි, මොනවද ඔයාට දුන්න තොරතුරු?"

"‌ලෝකී මට දුන්නේ ඉළක්කය විතරයි." ඇඩම් කීවේ ය. "ඒත් ඒ දේ ගැන හොයන්න විවිධ අවස්ථාවලදි විවිධ ආකාරයෙන් උපකාර කළා. මම මුලින් ම රෝමයේ, ඇලෙක්සැන්ඩ්‍රියාවේ සහ ඉස්තාන්බුල්වල තිබුණු ලේඛන හැදෑරුවා. ඒක වෙනුවෙන් සගයන් කීපදෙනෙක් එකතු කරගන්න ලෝකී ඔහුගේ දූතයන් මාර්ගයෙන් මට උදව් කළා...

"ගොඩක් ශිෂ්ඨාචාරවල විශ්වාස කරනවා අමරණීයත්වය දෙන පානයන් ගැන... ග්‍රීක - ලතින් ජාතීන්ට ඇම්බ්‍රෝෂා... යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් කාරයන් අතර පාරාදීසයේ උල්පතක් ගැන කතන්දර තියෙනවා. ජේසුතුමා අවසානවරට මිදි යුෂ පානය කරපු කුසලානය සෙවීමේ ප්‍රයත්නයක් තිබුණා කුරුස යුද්ධ කාලයේ. හින්දුවරු විශ්වාස කරනවා අමෘතය ගැන. මාත් එක්ක හිටපු නාවික සගයෙක් සදාකාලික තරුණ බව ලබා දෙන උල්පතක් හොයාගෙන බටහිර පැත්තට ගියා...

"ඔය ඔක්කොම අදහස්, දේශාටන වාර්තා සහ ආගමික ලියවිලි එක්ක සසඳනකොට මට පේන්නෙ, මනුෂ්‍ය ශිෂ්ඨාචාරයේ තියෙන ඔක්කොම මිත්‍යා කතා වල ආරම්භය යොමුවෙන්නෙ ආසියාකරේ මැද හරියට. සේද මාවතේ මැද... 

"මමත් කලින් කියපු සගයනුත් එක එක ප්‍රදේශ ඉළක්ක කරගෙන පරණ ලේඛන ගවේෂණය කළා. මට වැටහුණේ නාවික සින්බෑඩ්, ඉබ්න් බතූතා, මාර්කෝ පෝලෝ, ෆා-හියන් වගේ දේශාටකයන් ලංකාව ඇඩම් ගේ පාරාදීසය කියා සඳහන් කරන්නේ නිකමට නෙවෙයි... ඒ වගේම කීප තැනක පාරාදීසයේ උල්පත ගැනත් ඒ අය ලියා තියෙනවා. ව්‍යාකූල විදිහට... ඒත් ඒ හැම කෙනෙක්ම ඇසින් දුටුවේ නැති ස්ථානයක් ගැන එක සමාන විස්තර විවිධ කාලවල ලියා තියෙනවා..."

 "හොඳයි... මං ප්‍රශ්නයක් අහන්නම්. ඒකට මට හිතට එන පළවෙනි උත්තරේ ම දෙන්න හැබැයි..." දුර්ගා මඳ සිනාවක සැඟවුණු ස්ථිරසාර බැල්මකින් ඩ්‍රේක් ගේ දෑස් දෙස බැලුවා ය. "මම ඔයා නම්, මම කොහොම හරි අමරණියත්වය හොයා ගන්නවා. ඒක ලෝකීට දෙන්න කලින්, මම අමරණීය වෙනවා. එහෙම වුණොත්, ඊට පස්සෙ ඒ ලැබෙන අමරණීයත්වයෙන් ඔයා මොකද්ද කරන්නෙ?"

"මං අවුරුදු හාරසීයකට වැඩි කාලයක් තිස්සෙ එක එක දේවල් වෙනුවෙන් සටන් කරලා තියෙනවා..." ඇඩම් උත්තර දුන්නේ එකවරම ය. දැන් දැන් තමන්ගේ මුවට අදහස් එන්නේ කෙලින්ම ගැඹුරු සිතෙහි හටගන්නා හැඟීම්වලින්ම බව ඔහුට දැනුණි. එය හරියටම, ඔහු ඊට පෙර අසා තිබූ 'ඇත්ත ප්‍රකාශ කරවීමේ ඔසුවක්' පානය කර ඇති විටක දී මෙන් විය. "... මම හෙම්බත් වෙලා ඉන්නෙ ලේ දැකලා, මිනිස්සුන්ගෙ මාරාන්තික වේදනාවන් දැකලා... මට මේ වේදනාත්මක ජීවිතයෙන් මිදෙන්න පුළුවන් නම්, මම හැම උත්සාහයක්ම දරනවා, එකිනෙකා මරා ගැනීමේ ආශාව, යුද්ධ කිරීමේ ආශාව මේ මනුස්ස සංහතියෙන් තුරන් කරලා දාන්න..."

"මිනිස්සුන්ට ඒකට උවමනාවක් නැත්නම්? එහෙමත් නැත්නම් රජවරු සහ ආක්‍රමණිකයෝ ලේ මතින් ම තමන්‌ගෙ අරමුණු දිනාගන්න තද බල ලෙස ම ලැදි යි නම්...?"

"හැම ලැදියාවකටම කෙළවරක් ඇති..." ඇඩම් කීවේ ය. "අනික, ලේ හලන්න, තව කෙනෙක් වේදනාවට පත් කරන්න ආසාවක් ඇති වෙන්නෙ වේදනාත්මක ජීවිතයක් ගත කරන, පීඩාවට පත් වුණු කෙනෙක් තුළ විතරයි..."

දුර්ගා ගැඹුරු හුස්මක් හෙළුවා ය. ඇඩම් ගේ ඇඟිලි අතරින් සිය අතැඟිලි මුදා ගත් ඈ, දෑතම ගල් තලාවට තද කරමින් කෙලින් වී වාඩි විය.

ඈ බැරෑරුම් කතාබහකට සූදානම් වූ අයුරු දුටු නාවිකයාහට තව දුරටත් ගල් තලාවේ ඇල වී සිටීම සුදුසු නැතැයි හැඟුනි.

ගිණි මැළය අසල ගැයුුම් සහ නැටුම් නතර වී තිබුණි. අසළ ගොඩ ගසා තිබූ දරකොට වලින් ගිණි මැළය තවත් ප්‍රකෘතිමත් කළ කුරුම්බර, ඔහුගේ සගයන් අසළින් ම ඇළවී, මඳ වේලාවකින් ම ගොරවන්නට පටන් ගත්තේ ය.

"හොඳයි... මම ඔයාට කතාවක් කියන්නම්." දුර්ගා දෑත් ඔසවා පසුපසට යොමා, සිය දිගු කෙස්වැටිය ගුළියක් ලෙස හිස පිටුපසින් ගැට ගසා ගත්තා ය. "බොහෝම ඉස්සර... ඒ කියන්නෙ, දැනට අවුරුදු හයදාහකට විතර ඉස්සර... යාලුවො හත් දෙනෙක් හිටියා. 

"ඒ තරම් ඈත අතීත කාලයේ හිටපු මිනිස්සු ස්වභාවධර්මය එක්ක ජීවත් වුණේ. පරිසරය ගැන ලොකු කුතුහලයක් වගේම, ඒ දේවල් ගැන හොයන්න විවේකයත් ඒ අයට ඇති තරම් තිබුණා. ඉතින් ස්වභාවයෙන්ම, ඒ අය තමන්ගෙ වටාපිටාවෙ තියෙන සම්පත් වගේම බලවේගයන් ගැන හොඳ අවබෝධයක් තිබුණු උදවිය වුණා...

"ඉතින් අර යාලුවො හත් දෙනා ට විවිධ පැතිවල දැනුම තිබුණා. හැම දේකම ඇති රිද්මය ගැන හොඳ අවබෝධයක් තිබුණු රුද්‍ර, ධෛර්යවත් කාන්තාවක් වුණු ශක්ති, සත්ත්ව පාලනය ගැන දක්ෂ ගෝපාල, ආලෝකය සහ අඳුර ගැන කුතුහලයක් තිබුණු මිත්‍ර, ගෝත්‍රයේ ආරවුල් සාධාරණව විසඳලා යුක්තිය ඉටු කරපු යම, වෙදකම, මාතෘත්වය සහ රැකවරණය ගැන සියල්ලටම වැඩියෙන් සළකපු අග්නි... මේ අයගේ නායකයා වුණු ඉන්ද්‍ර ඉතාම දක්ෂ මෙහෙයවන්නෙක් වුණා...

ස්වභාවයෙන්ම, ඒ අය තමන්ගෙ වටාපිටාවෙ තියෙන සම්පත් වගේම
බලවේගයන් ගැන හොඳ අවබෝධයක් තිබුණු උදවිය...

https://1.bp.blogspot.com/-Q5fflObdq_A/WszK91J7r2I/AAAAAAAAAqI/
QuNb6wo0m8kv8WsffTUG40fFWKR7VH6wACLcBGAs/s1600/Social-And-Religious-Life-Indus-valley-civilization.jpg


"මේ හත් දෙනා තමයි ගෝත්‍රයේ ආරක්ෂකයන් වුණේ. පීතෘ මූූූූලික ගෝත්‍රය ම‌ෙහෙයවූ නායකයා වුණේ ඔවුන් සියල්ලන්ගේ ම වැඩිහිටියා වුුනු ආත්මන්... ඔවුන්ට තිබුණා එක අභියෝගයක්. මේ ගෝත්‍රය ජීවත් වුණේ තැනිතලා උස් බිමක. එතන ගෝත්‍රයකට සාමයෙන් ජීවත් වෙමින්, දඩයම් කරමින්, වගා කරමින්, පළවැල රැස් කරමින් ඉතාම හොඳින් වාසය කරන්න උවමනා සම්පත් තිබුණා. පිරිසිදු දිය උල්පත්, වන සතුන්, ධාන්‍ය වර්ග, ගල් ලෙන්, හිතකර දේශගුණය... 

"ඒත් මේ තැනිතලාව අල්ලගෙන තනි පාවිච්චියට නතු කරගන්න උත්සාහ කරපු තවත් ගෝත්‍රයක් හිටියා. නිතරම ආත්මන් ගේ මෙහෙයවීම යටතේ මේ ගෝත්‍රය එක්ක සටන් කරන්න ඔවුන්ට සිද්ධ වුණා.

"අවසානයේ එක දවසක් හවස ගෝත්‍රයේ නායකයන් ගේ රැස්වීමකදී ගෝපාල යෝජනාවක් කළා. ඔවුන් ළඟ තිබුණු ඖෂධීය දැනුම එකතු කරලා, සටනේදී ඇතිවන තුවාල, වේදනාවල් තුරන් කරන, ධෛර්යය සහ ශක්තිය වැඩි කරවන මහා ඖෂධයක් හදන්න...


22 කොටස...

වැඩිපුර බලපු ලිපි