Sunday, March 16, 2025

කොස්මස් යානය ආච්චිගේ කොන්දට


පහුගිය පෝස්ට් එකට කමෙන්ට් කරපු රුසියානු ලී බෝණික්කා මරාල කොන්ත්‍රාත්තුවක් පංගනාර්තු කරපු අතර, ඒ කොන්ත්‍රාත්තුව මේ වන තුරුත් ඉවර කරගන්න බැරි උනේ ය. ඒ උනත් බ්ලොග් එක පාලුවට අරින්න බැරි කැසීමක් තිබෙන නිසා, සුනන්ද කෝදාගොඩ මහතාගේ විනෝද රසාංග පොතෙන් උපුටා ගත්ත කතාවක්, හුදී ජන රසවින්දනය උදෙසා මෙහි පල කර සිටිනවා ඇත. මීට පෙරත් ඒ පොතෙන් ම කතා දෙකක් මං පල කර ඇති අතර, ඒවාට ලිංක් පහළින් දක්වා ඇත.

1. පවු(ල්)කාරයින්ගේ සංගමය මෙහෙයවන අවුරුදු සැණකෙලිය

2. බඩුපෙට්ටියක කොළඹට ගිය ගමනක් 

*    *    *

"දඩාස්..."

"බුදු අම්මෝ..."

ආච්චිගේ ලතෝනියෙන් මම මුසපත් උනෙමි. අහළ පහළ සියලු දෙනාම ඒ දෙසට දුවගෙන එන්නට විය. ආච්චි කෙඳිරි ගාමින් සිටී.

"ඇයි...? ඇයි...?"

අල්ලපු ගෙදර පොඩි එකා ආච්චිට ළංවිය.

"කොස්... මස්... වැටුණා" උන්දෑට කියා ගන්නට ලැබුනේ එපමණකි. සිහිසන් නොමැතිව ගිය ඇය ළඟට කිට්ටු වන්නට කිසිවෙක් ඉදිරිපත් නොවීය.

"එක්කෙනක්වත් අල්ලන්න එපා..." "අයින් වෙන්න. අයින් වෙන්න." "කෝ කෑලි එහෙමත් තියෙනවද?" ගත වූයේ තත්පර කීපයකි. දහසකට අධික සංඛ්‍යාවක් අපේ ගෙවත්තට එකතු වී සිටිති. ඒ සියලු දෙනාම කොස්මස් යානය ලංකාවට කඩා වැටෙන තුරු බලාගෙන සිටි අයය.

"ඕකුන්ට ඕක උන්ගෙ රට වටේ කරකවන්න තිබුනනේ... අහවල් මගුලකට ලංකාවට එව්වද? ඕක අපේ වත්තට වැටිල මගේ පොඩි එකෙකුට තුවාලයක් උනානං එහෙම ඕකුන්ගෙ..." ඇමෙරිකාවට එදා සිටම විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරමින් සිටින ඒබරංමාමා ද අඩියක් ගසා ගෙන එතැනට පැමිණ දත්මිටි කෑවේය.

සෙනඟ හැසිරවීම සඳහා පොලීසියෙන් පැමිණි මහත්තැන්ලා බයිනෙත්තු, රයිපල් මානාගෙන අවට විපරම් කරන අයුරු මම දුටුවෙමි. රස පරීක්ෂකයන් යැයි සිතිය හැකි පිරිසක් ඒ අවට ගල්, වැලි බොරළු, අළු දූලි ආදිය එකතු කරන්නට විය. පුවත්පත් නියෝජිතයෝ හතර වටින්ම කැමරා මානාගෙන ප්‍රදේශය දෙවනත් කරමින් තොරතුරු සෙවූහ.

"කවුද මේක ඉස්සෙල්ලම දැක්කෙ...?"

"මම... මම දැක්කෙ" පුංචි කොළු ගැටයෙක් ඉදිරිපත් විය. ඌ දැක්ක කෙංගෙඩියක් නැත. සිදු වූ සියල්ල දුටුවේ මමය. එහෙත් මට ඔවුන් ඉදිරියට යා ගත නොහැකිය.

"කියන්න බලන්න මොකද්ද උනේ කියල..." කැමරා එකින් එක ළමයා වෙත උළුක් වන්නට විය. විදුලි වරුසාවක් ලෙසින් පොටෝ ගණනාවක්ම වැදුණි.

"දඩාස් ගාලා සද්දයක් ඇහිල මං කක්කුස්සියෙ ඉඳල දුවගෙන ඇවිත් බැලුව."

වාර්තා කාරයෝ නාස් තද කර ගන්නට වූහ. ළමයාට මේ වෙනස දැනුණි.

"නෑ මං හෝදගෙන ආවෙ..." එකෙනෙහිම ඇඟිලි තුඩුවලින් නාස් පොලු නිදහස් විය.

"ඉතිං ඉතිං..." පුවත් පත් වාර්තා කරුවෝ සියලු දෙනාම තවත් ළංවී කරුණු විපරම් කරන්නට වූහ.

"ඊට පස්සේ මේ ආච්චි මෙතන වැටිල ඉන්නව මම දැක්ක..."

"ඉතිං ඔය ළමට ළඟට ආව...?"

"ඔව්"

"ආච්චි ඇල්ලුවද?"

"නෑ..."

"කතා කළාද?"

"ඔව්"

"මොනවද කිව්වෙ...?"

"හරියට කතා කරගන්නවත් බෑ!" ඔව්හු සියලු දෙනාම එකම නිගමනයකට එළඹුනහ.

"කාගෙද ඔය සරම?"

"ඒකත් මේ ආච්චිගෙ ඇඟට වැටිල තිබුණෙ."

"ඉතිං මොකටද ඕක අතට ගත්තෙ. බිම දාන්න. බිම දාන්න."

කීප දෙනෙක්ම කෑගසන්නට විය. ළමයා සරම විසි කරනවාත් සමගම පොටෝ කීපයක්ම වැදුණි. රසපරීක්ෂකයින් එක්වී කිසියම් උපකරණයකින් සරම ගෙන රස පරීක්ෂණාගාරයට ගෙන යෑම සඳහා වීදුරු පෙට්ටියකට දමා ගත්තේ ය.

කිසි දිනක පිජාමා සරමක් නොදුටු එවුන් සේ හැමදෙනාම ඒ සරම නරඹන්නට විය. වෙනදා මා දෙස හොරැහින්වත් නොබලන අහළ පහළ තරුණියන් සියලුදෙනාම ඇස් කරකව කවා ඒ සරම දෙස ඉතා ආසාවෙන් බැලීම මාගේ අධිකතර චිත්ත ප්‍රීතියට හේතු විය.

"තව කවුද මේ සිද්ධිය ඇහින් දැක්කෙ...?" පොලෝසියේ මහත්තැන් කෙනෙක් මහ හඬින් මුරගාන්නට විය. එහෙත් වෙනත් කිසිවෙකු ඉදිරිපත් වෙන පාටක් නොවීය.

"බය වෙන්න එපා... තව කවුරුහරි මේ සිද්ධිය දැක්ක කෙනෙක් ඉන්නව නම් කියන්න..."

පත්තා වාර්තාකරුවෙක් පිරිසගෙන් විමසන්නට විය.

"මමත් දැක්ක..." රූමත් තරුණියක් ඉදිරියට පැමිණියාය. මගේ ඇස් මටම අදහා ගැනීමට නොහැකි විය. මම විළි ලැජ්ජාවෙන් හතර අතට ඇඹරුනෙමි. මේ සියලු විනාශයට මුල ඇය බව ඇයවත් නො දන්නවා විය හැකිය. ඒ මැගිලින් නැන්දාගේ දුවය.

"ඉතිං...? ඉතිං... මොනවද දැක්කෙ නංගී...? කියන්න බලන්න..." පුවත්පත් වාර්තාකරුවෙක් ඇගේ ඔළුව අතගාන්නට විය. මට යකා නැග්ගේය. මහසෝනා මෙන් ගහ උඩින් බිමට පැන බෙල්ල අනිත් පැත්තට කරකැවීමට සිතුනද, මා පත්ව ඇති අසරණ තත්ත්වය නිසා එම අදහස අකැමැත්තෙන් නමුත් යටකර දැමීමට සිදුවිය.

"උදේ නාන්න යන කොට මම දැක්ක... මේ ගෙදර මහත්තයයි මේ ආච්චියි මෙතන ඉන්නව."

"මොනව කර කරද හිටියෙ...?"

"උඩ බලාගෙන හිටියෙ. ඒත් එයා මං දැකලා හිනාවෙලා ආච්චිට හොරෙන් මට ඇහැකුත් ගැහුව."

"කවුද ඒ...?"

"මේ ගෙදර ඉන්න මහත්තය..."

"කවුද මේ ගෙදර ඉන්නෙ...?"

"අර නරනාටක එහෙම ලියන එක්කෙනා..."

"නෑ...! ඒ හාදයත් මෙතන හිටියද...? කෝ... ඉතිං?"

ඉන්පසුව සියලු දෙනාම මා ගැන සොයන්නට වූහ.

මා අතුරුදහන් වී ඇතැයි සමහරෙක් සැක කළහ.

"මේ තියෙන්නෙ... මේ තියෙන්නෙ..."

කවුදෝ කෙනෙක් අළු ගොඩක් පෙන්නුවේය. ඒ ඊයේ රාත්‍රී මා විසින් මරා පුච්චා දමන ලද කුණකටුවාගේ අළු ගොඩය. සියලු දෙනාම එතැනට එකතු විය. "මිනිහත් ඉවරයි එහෙනං" හිතවත් පත්‍ර කලාවේදීහූත්, රැස්ව සිටි සියලුදෙනාත් සංවේගාත්මක සුසුම් රැල්ලක් පිටකරන අයුරු මම අසා සිටියෙමි.

පරීක්ෂණය සඳහා එතැන තිබූ අළු ගොඩ එකතු කර ගන්නා විට මා පිළිබඳව දන්නා නොදන්නා හැම දෙනම මහ හඬින් හඬා වැළපෙන්නට විය.

"අයියෝ අහිංසකය..." සෙලෝ ආච්චි කම්මුලේ අත ගසා ගත්තාය.

"කාටවත් හිරිහැරයක් නැති මනුස්සය..." මැගිලින් නැන්දා කිඹුල් කඳුලු හෙලන්නට වූවාය.

"කොහේ හරි හොඳ තැනක උපදින්න ඇති." මා දුටු තැන "තුඃ!" ගා කෙළ ගසා අහක බලාගන්නා ජුසේ සීයා කොඳුරා කුරුසය ලකුණු කළේය.

දැන් ඔවුන් සිතා සිටින්නේ "කොස්මස්" යානය හිස මත පතිත වී මා අළුදූලි වන්නට ඇතැයි කියාය.

එහෙත් මම සුවසේ හිඳිමි. එනමුදු වෙනස්කම් කීපයක් සිදුවී තිබේ. මා ඉස්සර සිටියේ බිමය. දැන් උඩය. එනම් කොස් ගහ මුදුනේය. ඉස්සර සියලු සම්පත් තිබුණේය. දැන් ඇඳි වතත් අහිමි වී ඇත.

ඔබ සැමගේ දැන ගැනීම පිණිස කොස්ගස මුදුනේ අසරණව සිටගෙන වුවද ඇත්ත හෙළිකිරීම මගේ යුතුකම යැයි සිතමි.

දිවා ආහාරය සඳහා තම්බා ගෙන කෑමට කොස් ගෙඩියක් කඩා ගැනීමට අපේ වත්ත පහළ කොස් ගස ළඟට ආච්චි සමග ගිය මම ආච්චි ගහ යට තබා කොස්ගහට නැග්ගෙමි.

කොස් ගහ මුදුනේ සිට අවට සිරිනැරඹූ මට මැගිලින් නැන්දාගේ රූබර දියණිය දිය නාමින් සිටින මනස්කාන්ත විලාසය අපූරුවට දර්ශනය විය. ඒ චමත්කාර ජනක දර්ශනයෙන් මන්මත් වූ මම ගහ මුදුනේ සිටම කරණමක් ගසා ඇයට අත්පුඩියක් ගැසුවෙමි.

උඩබිම නොබලා ගැසූ කරණම නිසා කොස් අත්තක තිබූ දිමි ගොටුවක් මා හිස මතට වැටී දිමියන් මට වද දෙන්නට විය. දැවැන්ත කොස් අත්තක් අල්ලා ගත් මා බිම නොවැටී බේරී සිටියද ඇසිල්ලකින් මා හැඳ සිටි සරම ආච්චිගේ ඔළුවට වැටුණි.

සිදුවූ අකරතැබ්බයෙන් හතර විලි ලැජ්ජාවෙන් ඇඹරෙමින්, ඒ කුරිරු දිමියන්ගෙන් බේරීම සඳහා අත්තෙන් අත්තට පැන යද්දී මාගේ වම් පාදය වැදී කඩා වැටුණු කොස් ගෙඩියක් ආච්චිගේ පිට කොන්දට වැටී විසිවී ගොස් පහළ ළඳට වැටෙනවා මා බලාගෙනය.

මෙම සිද්ධියේ ආරම්භය එතැනය. එහෙත් ආච්චි සිතන්නට ඇත්තේ ද හිටිහැටියේ "කොස්මස්" යානය කඩා වැටුනා කියා විය යුතුය. සිද්ධිය පිළිබඳ සැලවූ රෝහල් නිලධාරීහු ඇම්බියුලන්ස් එකක දමාගෙන ප්‍රතිකාර සඳහා ආච්චි රෝහලට ගෙන ගියාය.

පරීක්ෂණ කටයුතු අවසන් වී පත්තර වාර්තා කරුවෙන්, රසපරීක්ෂකයන්, විද්‍යාඥයන් හා අසල්වැසියන් බොහෝ දෙනෙක් විසිර ගියද, ඒ දූෂමාන ආරංචිය ඇසූ හැම දෙනාම "කොස්මස්" යානය වැටුණු ස්ථානය හා මා මියගිය ස්ථානය නැරඹීමට වැල නොකැඩී පැමිණෙන්නට විය. ඒ අතර මා ළඟින් ඇසුරු කළ කාන්තාවෝ සහ තරුණියෝ මා මියගිය බව අසා මහ හඬින් වැළපෙන්නට වූහ.

දැවැන්ත කොස් අත්තකට මුවා වී රාහු අසුරේන්ද්‍රයා සේ දිවැසින් මෙන් මේ සියල්ල බලාගෙන සිටිය ද, සරමක් නෙමැති කමින් ගසින් බිමට බැස මට ඔවුන් සනසාලිය නොහැකි ය. ඒ නිසාම හතර වටින්ම ඝණාන්ධකාරය ගලා එනතුරු හතර විළි ලැජ්ජාවෙන් ඇඹරෙමින් මා කොස්ගහ මුදුනට වී සිටිමි.

Saturday, February 15, 2025

වේතාල කතා - 9 තරංගය

8 තරංගය

"වේතාලය, භවතා කී හෙතු දෙක ම පිවිතුරු චරිත ඇති අගමැතිහුගේ ලය පැළීමට හෙතු නො වී ය. හුදක්, 'මේ රජ සාමාන්‍යස්ත්‍රීන් කෙරෙහි ආලය කිරීමෙන් ම රාජ්‍ය පාලනය නො සලකා සිටියේ ය. දැන් වනාහි දෙවඟන කෙරෙහි ඇලුනු මොහු ගැණ කියනු ම කිම? එහෙයින් මා විසින් අපවාදයෙන් බේරීමට කෂ්ට (අමාරු) ක්‍රියාවක් කළ නමුදු දොෂ ම අධික වී ය'යි සිත‌ා තමන්ගේ අවස්ථාව ගැණ ම ශොකයට පැමිණීමෙන් මන්ත්‍රිහු ගේ පපුව පැළුනේ ය යි හඟිමි"යි රජ තෙමේ පිළිවදන් දින.

වේතාලතෙමේ පෙර මෙන් රජු කෙරෙන් පලා ගියේ ය.

9 තරංගය

1

නැවත ද වේතාලතෙමේ රජුගේ කර පිට යන්නේ "රජ්ජුරුවෙනි, අපූර්‍ව එක් කථාවක් කියමි. අසව" යි කියා තවත් කථාවක් ඇරඹී.

ජිමුතවාහන චරිතය

"රජතුමනි, හිමාලයපර්‍වතය ලොකයෙහි ඉතා ප්‍රකට ය. එතැන් සිට උත්තරමෙරුව (උත්තරධ්‍රැවය) තෙක් ලොකයෙහි තිබෙන සියලු දෙශගුණත් වැවෙන සියලුගස්වැල්ජාතිත් එක් තැන් කොට නිමවන ලද්දාක් වැනි වූ ඒ කන්දෙහි මුදුන නිතර ම හිමෙන් ගැවසී ගත්තේ ය. එය සාමාන්‍ය මිනිසෙකු තබා හිරු විසිනුදු මේ තාක් නො දක්නා ලද්දේ ය. සියලු රුවනුන්ට ආකරයක් වූ එහි තැනිතලාවෙක්හි කාංචන පුර නම් පුරයක් හිරු විසින් එක් තැන් කොට තැබූ රැස් පිඩක් මෙන් බබලයි. මහමෙරමුදුනෙහි සක්දෙව් රජු මෙන් ඒ නුවර ජිමුතකෙතු නම් විද්‍යාධරරාජයෙක් විසී ය. ඔහුගේ ගෙවුයනෙහි පරපුරෙන් පැවත එන කප්රුකෙක් පිහිටියේ ය. ඒ රජ තෙමේ ඒ කප්රුකෙහි බෙලෙන් පෙර උපන් කඳපිළිවෙළ (පංචස්කන්ධපරිපාටිය - මදැයි පාද සටහනෙන් තේරුම හෙව්වා...) සිහි කරණ, දානපති වූ, සියලුසතුන් කෙරෙහි පතළ කුළුණු ඇති, ගුරුන්ගේ වචනයන්ට නිතර අවනත වූ, බොධිසත්ව චරිත ඇති, ජිමුතවාහන නම් පුතෙකු ලැබී ය.

රජතෙමේ සියපුතුගේ යහපත්ගුණයන් හා ගුණවත් ඇමැතියන් ද විසින් මෙහෙයනලද්දේ සුදුසුකල්හි යොවුන් වයසට පත් ඒ කුමරා යුවරජකම්හි අභිෂික්ත කෙළේ ය. එක්දිනක්හි එතුමා යුවරජඅසුනෙහි වැඩහුන් කල්හි පියරජුගේ ඇමැතියෝ එතුමන් වෙත අවුත් "යුවරජ්ජුරුවන් වහන්ස, ඔබවහන්සේගේ උයනෙහි තිබෙන, කැමැති හැම දෙය දෙන, සියලුසතුන් විසිනුදු නො මැඬිය හැකි, මේ කප්රුක ඔබවහන්සේ විසින් හැමදා පිදිය යුතු ය. මේ කප්රුක අපට අනුකූල ව සිටිකල්හි ශක්‍රතෙමේ ද අප මැඬ පවතින්ට සමත‍්ථර්‍ නො වේ. අන් කෙනෙකුන් ගැණ කවර කථා ද? එහෙවින් මේ දිව්‍යවෘක‍්ෂයට ඔබ විසින් බුහුමන් කළ යුතු ය"යි සැළ කළහ.

ජිමුතවාහන යුවරජ තෙමේ එබස් අසා "අඳෝ ම ය! (අඳෝමය! යනු 'අනේ පුදුමයි' (Alas!) යන අත්ථර්‍ ඇති නිපාතයකි.) මෙබඳු කාමදායක වූ කප්රුකක් ලැබ ගෙණත් අපගේ පූර්‍ව පුරුෂයන් විසින් කිසි ම මහත්ඵලයක් නො ලබන ලදි. හුදෙක් ඒ සමහර දිළින්දන් විසින් ස්වල්පමාත්‍ර ධනයෙක් ම ලබන ලදි. එයින් ඔවුන් විසින් තුමූ ද මේ මහත්ආනුභාව ඇති වෘක්ෂරාජයා ද යන දෙ පක්ෂය ම සැහැල්ලුබවට පමුණුවන ලදහ. එහෙත් මම මේ දිව්‍යවෘක්ෂයාගෙන් මහත් ඵල ලබන්නෙමි" යි සනිටුහන් කොට ගෙණ පියරජු වෙත ගොස් වැඳ එකත්පස් ව සිට මෙසේ සැළ කෙළේ ය:-

"පියානන් වහන්ස, මේ සසරසයුරෙහි සියලු ධන සම්පත්තිය ස්ථිර නො වෙයි. ශ්‍රී තොමෝ නො බෝ කල් සිටිනා, දුටු කෙණෙහි ම නැති වන, සැන්දෑවිදුලියක් මෙන් අස්ථිර ය. කිසි කලෙක්හි කිසිතැනෙක රඳා නො සිටියි. මේ සංසාරයෙහි එක ම පරොපකාරය නො නස්නාසුලු වූයේ යුග සියගණන් පවත්නේ පින් හා යශස් උපදවයි. පියානන් වහන්ස, එහෙයින් නැසෙනසුලු වූ මේ ධනසම්පත්තිය උදෙසා අප විසින් කවර හෙයින් කප්රුක රකිනු ලැබේ ද? 'මගේ කප්රුක ය, මගේ කප්රුක ය' යනාදීන් තෘෂ්ණා උපදවමින් මේ රුක රැකි අපේ මුතුන්මිත්තෝ කොහි ගියෝ ද? එයින් ඔහු කුමක් කළෝ ද? ඔවුනතුරෙන් කාහට මේ රුක අයිති ද? මේ රුකට ඔහු කවරහු ද? එහෙයින් ඔබ වහන්සේ අවසර දෙතොත් මේ කල්පවෘක්ෂයෙන් පරොපකාර නැමැති උතුම් ඵලය සිද්ධ කරන්ට කැමැත්තෙමි."

ඉක්බිති පියරජහු විසින් අනුදන්නා ලද්දේ (යහපතැයි පිළිගන්නා ලද්දේ) කප්රුක වෙත ගොස් "දෙවය, ඔබ විසින් අපගේ පුරාතනයන්ට සිතූ පැතූ සැපත් දෙන ලදි. මවිසින් ද පතනු ලබන එක ම කැමැත්තක් සිද්ධ කෙරේවා. යම් සේ මුලුපොළොව නො දිළිඳු වේ නම්, දෙවය, ඔබ එසේ කරණු මැනව. එහෙයින් මම දිළිඳු ලොකයාට ඔබ දෙන්නෙමි. පොහොසත් වූ අපට ඔබෙන් කම් නැත. එහෙයින් ලොව සුවපත් කරන්ට යනු මැනව. ඔබට යහපතක් වේවා" යි පැතී ය. "මම එසේ කරන්නෙමි"යි වචනයක් කප්රුකින් පහළ වී ය. එකෙණෙහි ම ඒ කප්රුක අහසට නැඟ මුලුලොවට ධනය වස්වා දෙව්ලොවට ම ගියේ ය. එයින් ජිමුතවාහනයුවරජහුගේ කීර්‍තතිය ද මුළුලොව පතළේ ය.

ඉක්බිති ඔහුගේ ගොත්‍රයෙහි වූවෝ මසුරුකමින් හා ජිමුතවාහනගේ රාජ්‍යයට ලොභ කිරීමෙන්ත ද නො ඉවසන්නාහු කප්රුක රහිත ඒ ජිමුතවාහන හා ඔහු පියරජ ද පහසුවෙන්  පැරදවිය හැකිකැයි සිතා යුද සඳහා ආහ. ජිමුතවාහන තෙමේ පියරජු වෙත ගොස් "පියානන් වහන්ස, අවි දැරූ ඔබවහන්සේ හා යුද කරන්ට කවරෙකුට ශක්තිය ඇද් ද? එහෙත් කවරෙක් මේ වැනසෙනසුලු සිරුර පිණිස නෑයන් මරා රාජයය රැකගන්ට සතුටු වේ ද? එහෙයින් අපට රාජ්‍යයෙන් කිම? අන් තැනකට ගොස් දෙලෙව්හි ම යහපත සිද්ධ කරණ පින්දහම් කරමු. රාජ්‍යලොභී වූ මේ දීන බන්ධූහු තුටු වෙත්වා"යි සැළ කෙළේ ය.

පියරජ තෙමේ ද "මම නුඹ උදෙසා ම රාජ්‍යය රැක ගන්ට කැමැති වෙමි. ඉදින් නුඹ විසින් නෑයන් කෙරෙහි කරුණාවෙන් එය අත්හරිණු ලැබේ නම්, මේ මහලු මට ද එයින් පලක් නැත. එහෙයින් නුඹේ අදහසට මම ද සතුටු වෙමි"යි කියා බිසොව හා පුත්‍ර වූ ජිමුතවාහන ද සමග වින්ධ්‍යපර්‍වතයට ගොස් එහි විසී ය. එහි දී ජිමුතවාහනයුවරජ එහි වසන සිද්ධ රාජයෙකුගේ පුත් වූ මිත්‍රාවසු නම් කුමරෙකු දැක කථා කොට මිත්‍ර වීය.

2

ලොවට මිහිරි වූ වසන්තකාලය සම්ප්‍රාප්ත වී ය. දකුණු දිගින් හෙමින් හෙමින් පවන් හමන්ට පටන් ගත. මීඅඹ, නික, රත්හෝපලු, කෑල ඈ රුක් මල්බරින් නැමීගත. බිඟූහු ගුමුගුමුනද කරමින් මලින් මලට පියාඹමින් මුවරද රොන් රැස් කළහ. කොවුලෝ පලරස විඳ මිහිරිනදින් ගයන්ට වන්හ. තරුණතරුණියෝ ලඟ දී පැමිණෙන අවුරුදුඋලෙළ සඳහා අළුත්රෙදිපිළි ආදිය පිළියෙල කළහ.

මේ මනරම් වූ වසන්තකාලයෙහි එක්දිනෙක්හි යුවරජ තෙමේ එහි වූ උමාදෙවොලකට ගියේ දෙව්පුදට වෙණ වයමින් සිටි මනරම්රූසිරින් සිරිකත දිනූ කිසියම් කාන්තාවක දැක්කේ ය. එකෙණෙහි ජිමුතවාහනතෙමේ ඇස් නැමැති දොරටුවෙන් ඇතුල් වූ ඒ කාන්තාව විසින් පැහැරගන්නාලද සිත් ඇත්තේ වී ය. ඕතොමෝ ද ඒ උයනට අබරණක් වූ, මෙහෙසුරා විසින් අනඞ්ගයා දැවීමෙන් හටගත් ශොකයෙන් තපස් රකිනු පිණිස වනයට පැමිණි අනංගමිත්‍ර වූ මධූහු (වසන්තකාලය) වැනි ලලනාවන්ගේ නෙත්‍රයන්ට මිහිරක් වූ, ඒ යුවරජු දැක කලබල සහිත වූවා.

ජිමුතවාහනතෙමේ ඇගේ යෙහෙළිය ලඟට ගොස් "භද්‍රාව, ඔබගේ යෙහෙළියගේ නමෙහි ඇතුළත් වීමෙන් කවර අක්ෂරයෝ පින්වත් වෙත් ද? මෑ විසින් කවර වංශයෙක් අලඞ්කාර කරණු ලැබේ ද? මෑගේ මුවසඳමඬලින් කවර දෙසක්හි භාග්‍යවත්තරුණයන්ගේ නෙත්‍රචකාරයෝ (නෙත් නමැති ඇටිකූලෝ) සැනසෙත් දැ"යි විචාළේ ය.

"මෝ තොමෝ වින්ධ්‍යවතී නමු. මෙතුමියගේ පියානෝ විශ්වාවසු නම් සිද්ධරාජයන් වහන්සේ ය. මිත්‍රාවසු කුමර තෙමේ මෑගේ සහෝදරයා ය"යි පිළිවදන් දී "ඔබතුමානන්ගේ භාග්‍යවත් නාමය කුමක් ද? කවර දෙසක් ඔබගේ උත්පත්තියෙන් පවිත්‍ර වූයේ ද? කවරහෙයින් මෙහි පැමිණීම වී දැ?"යි ඕ තොමෝ ද විචාළා ය. යුවරජ තමන් පිළිබඳ පුවත් සැකෙවින් දැන්වී ය.

ඉක්බිත්තෙන් ඒ යෙහෙළිතොමෝ වින්ධ්‍යවතියඅමතා "යෙහෙළිය, මේ විධ්‍යාධරරාජකුමාරයෙකි. අප විසින් අතිථි (ආගන්තුක) සත්කාරයෙන් පුදන්ට වටී. මෙතුමා මුළුලෝවැසියා විසින් ම පුදනු ලැබේ ය"යි කීවා.

වින්ධ්‍යවතිතොමෝ ද ලැජ්ජාවෙන් අවනත වූ මුඛ ඇත්තී 'මාගෙන් පූජා ගණු ලැබේවා'යි කියමින් යුවරජුහට මල්මාලාවක් පිළිගැන්වූ ය. ජිමුතවාහනතෙමේ ද ප්‍රෙමභාරයෙන් නැමුනේ මාලාව පිළිගෙණ ඇගේ ගෙලෙහි ම පැලඳවී ය. ඕතොමෝ ද සිනිඳු කටාක්ෂනිරීක්ෂණ (ඇස්කොණින් බැලීම්) නමැති නිල්මහනෙල්මල්දම් ඔහුගේ සිරුරෙහි පැලඳවූ.

මෙසේ ඔවුන් දෙදෙනා ස්වයංවරය කොට සිටි කල්හි එක්තරා වේටිකාවක් අවුත් සිද්ධරාජදුහිතෘවට "රජකුමරිය, මවුමෙහෙසිය ඔබ කැඳවයි. වහා වඩිනු මැනවැ"යි සැළකළා.

ඕතොමෝ සියගෙට ගියා, ප්‍රියවරහයෙන් පීඩිත වූවා, මවුබිසොව දැක, යහනට ගොස් සැතපුනා ය. මෙසේ ආතුර වූ ඒ රජකුමරියගේ නෙත් කැලඹුනේ ය. උණුසුමින් ගත දැවුනේ ය. කඳුලු වැගුරුණේ ය. යෙහෙළියන්ගේ චන්දන විලේපනයෙන් (ඇඟ ගානා සඳුන් කල්කයෙන්) හා පියුම්පතින් ගැසූ පවනින් ද මඳක් සැනසුම් ලද්දී කොතැනක වත් සැපතක් නො දැක්කා ය. ඉක්බිති සුදුවන්දහවල්දවස රත්වන්සැන්දෑවත් සමග කිසියම් තැනක ගියකල්හි, සඳ ද සිනාසෙන පෙරදිගඟනගේ (නැගෙනහිර දෙස නැමැති කාන්තාවගේ) මුව සිඹිනාකල්හි, ඒ කාන්තාතොමෝ ජීවිතාශාවක් නැත්තී ලජ්ජාවෙන් ස්වකීය මනොරථය සම්පූර්‍ණ කිරීමට උපා යෙදීමෙහි අසමත්ථර්‍ වූවා, ඒ රැය දුක සේ ගෙවා අලුයම ඒ උමාදෙව්මැඳුරට ම ගියා ය.

ජිමුතවාහන ද එහි ගොස් සැඟවී සිටියේ ය. ඒ අතර රාජදුහිතෘව ද එහි පැමිණ උමාදෛවිය පිදූ. පුදා මෙසේ පැතූ. "මෑනියන් වහන්ස, මේ අසරණ මට පැහැදෙනු මැනව. මේ ජාතියෙහි ම ජිමුතවාහන මාගේ ස්වාමියා වන සේ කරුණා කරණ සේක්වා! එසේ නො හැකි නම් අනතුරු (ඊලඟ) ජාතියෙහි වත් එසේ වන ලෙස අනුකම්පා කරණ සේක්වා!"

"දුව, විද්‍යාධරචක්‍රවර්‍තති වන ජිමුතවාහන මේ ජාතියෙහි ම නුඹගේ ස්වාමියා වන්නේ ය! යන ශබ්දයෙක් අහසින් ඇසින. ජිමුතවාහන තෙමේ ද එකෙණෙහි ම එහි පැමිණියේ ප්‍රියාව සැනසී ය.

එකෙණෙහි ම එක් යෙහෙළියක් කුමරිය වෙත පැමිණ මෙසේ සැළ කළා ය: "පින්වතිය, කැමැත්ත සිද්ධ වන හෙයින් භාග්‍යයෙන් වැඩෙන්නෙහි ය. අපේ මිත්‍රාවසු කුමාරයා අපේ දෙවයන් වහන්සේ වෙත ගොස්, මාත් අසා සිටිය දී "පියානන් වහන්ස, සියකප්රුක පරොපකාරය පීණිස පරිත්‍යාග කළ, තුන්ලෝවැසියා විසින් බුහුමන් කරණු ලබන, යම් ඒ ජිමුතවාහන නම් විද්‍යාධරයුවරාජයෙක් වේ නම්, හෙතෙමේ මෙහි පැමිණ සිටියි. එතුමා අප විසින් ද පිදිය යුතු ය. භාර්‍ය්‍යාවකට එතුමා වැනි හිමියෙක් ලොව කොතැනක වත් නැත. එහෙයින් එතුමාට කාන්තාරත්නයක් වූ වින්ධ්‍යවතිය පුදමු" යි සැළ කෙළේ ය. අපේ දෙවයන් වහන්සේ ද ඒ අදහස අනුමත කළ සේක. දැන් ඔබගේ සොහොයුරු ඒ මිත්‍රාවසු කුමාරතෙමේ ජිමුතවාහන යුවරජ්ජුරුවන් වහන්සේගේ නිවාසස්ථානයට ගියේ ය. ඔබගේ විවාහය වහා ම සිද්ධ වන්නේ ය යි සිතමි. එහෙයින් මෙහි නො සිට වහා රජමැඳුරට ම යනු මැනව."

යුවරජතෙමේ ද මේ කථාව අසා මිත්‍රාවසුකුමරා පිළිගැණීමට සියනිවෙසට ම ගියේ ය. මිත්‍රාවසු ද අවුත් සිය අදහස දැන්වී ය. යුවරජු හා එතුමාගේ මව්පිය දෙදෙන ද මිත්‍රාවසුගේ යොජනාව පිළිගත්හ.

සුබදවසෙක්හි ඒ තරුණයුවලගේ විවාහමඞ්ගලය මහොත්සවයෙන් සිද්ධ කරණ ලදි.

3

එක් දිනෙක්හි කෞතුකදර්‍ශනයෙහි (පුදුම දේවල් දැකීමෙහි) ලොල් වූ යුවරජ තෙමේ මිත්‍රාවසු සමග තන්හි තන්හි හැසිරෙන්නේ මුහුදු තෙරට පැමිණියේ එහි වැටී තුබුනු ඇටසැකිලි රැසක් දැක්කේ ය. "මේ ඇටසැකිලි කාගේ දැ?"යි විචාළේ ය. මිත්‍රාවසු ඒ පිළිබඳ වෘත්තාන්තය සැකෙවින් කී ය:-

"පෙර නාගමාතෘ වූ කද්‍රැ තොමෝ ගරුඬ ('ගරුඬ' යනු මහාපක්ෂිජාතියකි) මාතෘ වූ විනතාව සූදුවෙන් පරදවා සිය දැස්සක කළා ය. විනතාපුත්‍ර ගරුඬරාජ තෙමේ ඒ නිමිති කොට වෛර බැඳ, සියමව දාසභාවයෙන් මුදා, බලාත්කාරයෙන් පාතාලලොකයට වැද නයින් මරා කන්ට පටන් ගත්තේ ය. මෙසේ කල් යන අතර නාගයෝ පිරිහෙන්නට වන්හ. னாගරාජ වූ වාසුකී තෙමේ මෙය දැක ගුරුළු රජු වෙත ගොස් සියනයින් නො මරණ ලෙස අයැද සිටියේ ය.දිනපතා ගුරුළුරජුට අහර පිණිස එක් නයෙකු දකුණුදිග මුහුදුවැල්ලට එවන ලෙසට ද පොරොන්දු වූයේ ය. ගුරුළුරජ ද 'එකවිට බොහෝ නයින් මැරුණු කල්හි මගේ භොජනාගාරය වහා පිරිහෙයි. මෙසේ වූ කල මගේ කිසි වෙහෙසක් නැති ව ම මගේ ආහාරය මා වෙත ම පැමිණේ ය'යි සිතා නා රජුගේ ඉල්ලීම පිළිගත. එදා පටන් ගුරුළුරජ දින පතා එක එක නයා බැනිග් මේ වැලිතෙලෙහි දී කා දමයි. මේ පර්‍වතශිඛරයක් වැනි ඇට රැස කනලද ඒ නයින්ගේ ය."

ජිමුතවාහන මේ කථාව අසා ශොකයට පත් වූයේ "තමන්ගේ ප්‍රජාවන් සියඅතින් ම සියසතුරු වූ ගුරුළුරජුට බිලි දෙන ඒ නාරජ දීනයෙකි. ඔහුට ඇතැයි කවීන් විසින් කියනු ලබන මුව දහස අතුරෙන් එක් මුවෙකින් වත් 'එම්බල ගුරුළ, මා පළමු කොට කව'යි කියන්නට නො හැකි වූ හෙතෙමේ පිරිමියෙක් නො වේ. කෙසේ නම් ඒ නපුංසකයා සියකුලනෑයන් නසන ගුරුළාට යටත් වූයේ ද? ඒ වීර වූ ගුරුළුරජ මෙබඳු නිහීන ක්‍රියාවක් කෙසේ නම් කෙරේ ද? අහෝ! මොහයක මහතැ!"යි කියා "තමන්ගේ නිසරුසිරුස පුද කිරීමෙන් එක් නයෙකුගේවත් දිවි රැක දුන හොත් යෙහෙකැ"යි සිතී ය.

එකෙණෙහි ම පියරජුගේ පනිවුඩයක් ගෙණ දූතයෙත් මිත්‍රාවසු වෙත පැමිණියේ ය. මිත්‍රාවසු පියරජුගේ අණ අසා යන්නට සැරසින. ජිමුතවාහන ඔහු පළමු කොට යවා තෙමේ නැවැත්තේ අදහස් කළ ක්‍රියාව සිදු කරන්ට කැමැත්තෙන් ඔබ මොබ හැසුරුණේ ය. එකෙණෙහි ම මඳක් ඈත උස් ගලක් වෙත රාජපුරුෂයෙකු විසින් ගෙණවුත් නවත්වන ලද මනහරඅයුරු ඇති දුඃඛිත වූ එක් තරුණපුරුෂයෙකු හා ඔහු විසින් සියගෙට වහා යන මෙන් ඉල්ලනු ලබන, කඳුළින් තෙත් මුහුණු ඇති ව වැලපෙමින් සිටි, මැහැල්ලක ද දැක්කේ ය.

ජිමුතවාහන ඒ දෙදෙනා ගැණ දැනගන්නා අටියෙන් ලං ව සැඟවී සිටියේ ය. මැහැල්ල ද "අනේ! මගේ එක ම පුතේ, ශංඛවුඩ, උඹේ පෙම්වත් මුහුණ දැකීම අදින් ඉවරයි! අහෝ! උඹ හැදුවේ කොපමණ දුක් ගෙණ ද? ඉතින් උඹ කවදා දකින්ට ද? අය්යෝ! උඹ නැති වුනා ම උඹේ මහලු පියා කෙසේ ජීවත් වේ ද?" යනාදිය කියමින් අඬමින් සිටියා ය. තරුණයා ද "අම්මේ, දුකින් පීඩිත වූ මට උඹේ වැලපීම ඉතා දුක් දෙයි. මට ආදරය ඇත් නම්, මට තවත් දුක් නො දී ගෙදර යන්න. මේ නුඹගේ අවසාන දැක්මයි. අන්තිමප්‍රණාමය යි. (වැඳීම) ගුරුළා එන්නට ලඟයි. ඉක්මනින් ගෙදර යන්නැ"යි කී ය. මැහැලිතොමෝ ඒ අසා "අනේ මගේ රත්තරන් පුතා රැකගන්ට කවුරු වත් නැත් දෝ"යි කියමින් වටපිට බැලුවා ය.

ජිමුතවාහන මේ සියල්ල දැක ද අසා ද "අඳෝ ම ය! මේ ශංඛවුඩ නම්, වාසුකි විසින් ගුරුළාට අහර පිණිස එවන ලද්දෙකි. මේ මැහැල්ල මොහුගේ මවු ය. එක ම පුතු නැති වීමේ දුකින් වැලපෙන්නී ය. මෙසේ සොවින් පෙළුනු මැහැල්ල නො සැනසුවොත් මගේ උත්පත්තිය නිෂ්ඵල ය! එසේ නො කළොත් පරහිතකරණයෙහි නිරතුරු බද්ධපක්ෂ වූ (අනුන්ට උපකාර කිරීමෙහි නිතර ම ලෑස්ති වූ.) මට නින්දා වේවා!" යි සිතා මැහැල්ල ලඟට ගොස් "මෑනියෙනි, මම නුඹගේ පුතා රැක දෙන්නෙමි. අඬන්නට එපා. මගේ මේ නිසරුසිරුර ගුරුළාට දී සරු වූ පරොපකාරය කර ගන්නෙමි"යි කී ය.

මැහැල්ල එය අසා ඒ අමුත්තා ගුරුළා ම ය යි සිතා තැති ගෙණ "ගුරුළුරජතුමනි, මා කා මගේ මේ එක ම පුතා හරිණු මැනවැ"යි යාච්ඤා කළා ය. ශංඛවුඩතෙමේ එය දැක "මෑනියන්වහන්ස, මේ උතුමා ගුරුළා නොවේ. මෙතුමා සඳ සේ සෞම්‍ය මුඛයක් ඇත්තේ කෙසේ නම් ඒ කුරිරු ගුරුළා හා සම වේ ද? එහෙයින් තැති නො ගත මැනවැ"යි සැනසී ය.

"මම විද්‍යාධරයෙක්මි. නුඹගේ පුතා රැක දෙනු පිණිස පැමිණියෙමි. මේ සිරුර වස්ත්‍රයෙන් මුවහ කොට කෂුධිත (බඩගිනි ඇති) වූ ගුරුළාට දෙමි. නුඹ පුතා සමග ගෙදර යනු මැනව. මම පරොපකාරය උදෙසා දිවි පුදා පින් සිදු කර ගන්නෙමි"යි ජිමුතවාහනතෙමේ මැහැල්ලගෙන් ඉල්ලා සිටියේ ය.

වෘද්ධාව (මැහැල්ල) එය අසා "මගේ මෙබඳු දුකක් බලා මට පිහිට වන්ට ආ භවත්තෙමේ මගේ මේ කුසින් වැදූ පුතුට ද වඩා ආදරවන්තදරුවෙකි. ඉතින් නුඹ බඳු කරුණාවන්ත පින්වත් දරුවෙකු කුරිරුගුරුළාට කෙසේ දෙම් දැ?" යි ජිමුතවාහනගේ යාච්ඤාව ප්‍රතික්ෂෙප කළා ය.

ජිමුතවාහන ද නැවතත් බොහෝ කරුණු කියා සිය මනදොළ පුරාගන්නට අවකාශ ඉල්ලී ය. ශංඛවුඩතෙමේ ජිමුතවාහනගේ ඉල්ලීමට විරුද්ධ වූයේ ය. "උතුමානෙනි, ඔබ විසින් සැබවින් ම කරුණාව දක්වන ලදි. මම වනාහි ඔබගේ සිරුර දී මගේ පණ රැක ගන්ට කැමති නො වෙමි. රුවන් නසා කලුගල්කැබැල්ලක් රැකගන්නේ කවරෙක් ද? මුළුලෝවැසියන්ට ම අනුකම්පා කරණ ඔබ වැනි උතුමෝ විරලයහ. පින්වතානන් වහන්ස, මම අකටයුත්තක් කොට සක්පල් නාරජකුලයට කැලලක් ඇති කරන්ට සතුටු නො වෙමි"යි කියා මවට ද ගෙදර යන්ට අවවාද කොට දෙවියන් පුදනු පිණිස මුහුදුබඩ පිහිටි එක් දෙවොලකට ගියේ ය.

"මේ වේලෙහි ගුරුළා ආවොත් මාගේ මනදොළ පිරෙන්නේ ය"යි ජිමුතවාහන සිතී ය. සිතනු සමග ම ගුරුළා ද අවුත් ඔහු ඩැහැගෙණ ගොස් එක් ගල්කුළකට බැස කන්නට වන. "උපනුපන් ජාතියක් පාසා මෙ පරිද්දෙන් ම මාගේ දෙහය පරොපකාරය පිණිස වේවා!. පරොපකාරය රහිත වූ සවර්‍ගමොක්ෂයෝ පවා නො වෙත්වා!"යි ජිමුතවාහන තෙමේ ගුරුළා සියසිරුරෙහි මස් උදුර උදුරා කද්දීත්, ප්‍රාර්‍තථනා කෙළේ ය. එකෙණෙහි ඔහු මත අහසින් මල් වැසි වට. දෙවියෝ අහස පුරා සිට සාධුකාර දුන්හ.

ගුරුළා ජිමුතවාහන ඩැහැ ගෙණ යන අතර ඔහුගේ සිළුමිණ (ඔටුන්න මුදුනෙහි බැඳි මැණික) වින්ධ්‍යවතියගේ ඉදිරියෙහි වැටින. ඕ තොමෝ ලෙයින් වැකුනු එය දැක ඉතා කැලඹුනී නැඳිමයිලන්ට දැක්වූවා ය. ඔහු ද එය දැක "මේ කිමෙක්දැ?"යි භ්‍රාන්ත වූහ. ඉක්බිති ඔහු තුමූ ස්වකීයවිද්‍යාබලයෙන් සියලු තොරතුරු දැන වින්ධ්‍යවතිය ද සමග වහා එහි යන්ට පිටත් වූහ. ශංඛවුඩතෙමේ ද දෙව්පුද කොට පූර්‍වස්ථානයට ආයේ ලෙයින් වැකුනු ගල්පව්ව දැක "අහෝ! පවිටු මම නැසුනෙමි. ඒ කරුණාවන්ත උතුමා මා උදෙසා සියසිරුර ගුරුළාට පුද කළ බව පෙණේ. හතුරා විසින් ඒ උතුමා කොහි ගෙණ යන ලද දැ යි සෙවිය යුතු ය. ඉදින් එතුමා ජීවත් ව සිටියොත් අපවාද නමැති මඩෙහි නො ගිලෙන්ට හැකි වෙමි" යි සිතා වැටුනු ලේදහර අනු ව වහවහා ගියේ ය.

4

මේ අතර ඒ ජිමුතවාහන කමින් සිටි ගුරුළුතෙමේ කිසි දුකක් නො පෙන්වා හුදක් සතුටු වෙමින් සිටි ඔහු දැක "අහෝ, මෙතෙමේ කිසියම් ආශ්වය්‍ය ර්‍ මහාසත්වයෙකි. මවිසින් කනු ලබන්නේ ද සතුටු වෙයි. නො මැරෙයි. මා උපකාරිකයෙකු කොට සිතන බව පෙණේ. තව දුරටත් මොහු නො කමි. කරුණු විචාරමි"යි සිතන්නට වන.

ජිමුතවාහනතෙමේ ඔහුගේ ප්‍රමාදය බලා "පක්ෂිරාජය, කවර හෙයින් නැවැත්තෙහි ද? තව ද මාගේ දෙහයෙහි ලේමස් තිබේ. ඔබ තෘප්තියට පැමිණි බවකුදු නො පෙණේ. එහෙයින් තවත් කව"යි පක්ෂියා මෙහෙයී.

ගුරුළා ඉතා පුදුම වූ මෙබස් අසා "මහතානෙනි, මම රැවටුනෙමි. ඔබ නාගයෙකු විය නො හැකි ය. භවත්තෙමේ කවරෙක් ද? කියනු මැනැවැ"යි ප්‍රශ්න කෙළේය.

"මා னයෙකු වීමෙන් හෝ නො වීමෙන් නුඹට කම් කිම? නුඹේ මේ ප්‍රශ්නය කුමක් ද? පටන් ගත් ක්‍රියාව කරව. පටන් ගත් ක්‍රියාවට විරුද්ධ දෙය කරන්නේ කවර මෝඩයෙක් දැ?"යි ජිමුතවාහන කියන කෙණෙහි ම "ගුරුළුරජානෙනි, මහපව් නො කරව. මේ තාගේ කිනම් මොහයෙක් ද? තා විසින් කනු ලබන්නේ නාගයෙක් නො වේ. තට ආහාර පිණිස එවන ලද නාගයා නම් මම"යි කෑ ගා කියමින් ශංඛවුඩතෙමේ ද එහි පැමිණියේ ය. ගුරුළුතෙමේ ඒ දෙදෙනාගේ බස් අසා ඉතා කැලඹුනේ ය.

ශංඛවුඩ ගුරුළාගේ සැකය දුරු කරණු පිණිස තව දුරටත් කථා කෙළේ ය:- "ගුරුළානෙනි, නුඹේ මේ මෝහය කුමක් ද? මාගේ පෙණය හා දිව් දෙකත් නො දක්නෙහි ද? තා විසින් කනු ලබන උතුමාගේ සෞම්‍යාකාරය නො දක්නෙහි ද? එහෙයින් එතුමා හැර වහා මා කා දමව. දැන දැන මේ ගුණවත් උතුමා තව දුරටත් කෑවොත් තාගේ උදරය එකාන්තයෙන් ම පැළෙන්නේ ය. මට අනුකම්පා කරව. මගේ කිත්සිරුරෙහි (කීර්තිශරිරයෙහි) කළු ලප නො උපදව."

එකෙණෙහි ම ජිමුතවාහනගේ මවුපිය දෙදෙනා හා භාර්‍ය්‍යාවත් එහි පැමිණියාහු, "අහෝ! ජිමුතවාහන, කවර හෙයින් අපට නො දන්වා මෙසේ සැහැසිකමක් කෙළෙහි දැ?"යි වැළපෙන්නට වන්හ.

ගුරුළා ද තමන් විසින් කනලද්දේ ලොව පතළ යශස් ඇති ජිමුතවාහනයුවරජතුමා ය යි දැන පසුතැවෙන්නට වන. "අහෝ! මා විසින් කුමක් කරණ ලද ද? මෙතුමා මළ කල මා ජීවත් ව සිටීමෙන් පලක් නැත. ගිනි වැද මිය යෑම සුදුසු ය. අධර්‍ම නමැති විෂවෘක්ෂයෙහි මිහිරි ඵලයෙක් කෙසේ හටගණී ද?" යනාදීන් සිතමින් ගුරුළා සිතිවිලි අවුලෙන් වෙළී සිටින අතර ජිමුතවාහනතෙමේ ව්‍රණපීඩාවෙන් (තුවාලවල වේදනාවෙන්) මළේ ය.

ඒ දැක සියල්ලෝ අඬන්ට වන්හ. ශොකය නිසා 'කටයුතු කුමක් දැ'යි නිශ්චය කිරීමෙහි අසමර්‍ථ වූහ. ගුරුළා හා ශංඛවුඩ ද තමන්ට ම නින්දා කරගත්හ. වින්ධ්‍යවතීතොමෝ පෙර වර (තපස් රැකීමාදියෙන් දෙවියන් ආදීන්ගෙන් බලාපොරොත්තු වන දෙය) දුන් උමාදෙවියට දොස් කියන්ට වූවා ය:- "උමා දේවියනි, 'විද්‍යාධරචක්‍රවර්‍තති වන ජිමුතවාහන නුඹගේ ස්වාමියා වන්නේ ය'යි ඔබ විසින් කියන ලදි. එහෙයින් දැන් මාගේ අභාග්‍යයෙන් ඔබවහන්සේ මිථ්‍යාවාදී (බොරු කියන කෙනෙක්) වූ සේක."

එකෙණෙහි ම උමාව පහළ වූවා. "පුත්‍රිය, (දුව) මාගේ වචනය බොරු නො වන්නේ ය"යි කියා කෙණ්ඩියෙන් අමා පැන් ගෙණ ජිමුතවාහනගේ, ඇට පමණක් ඉතිරි වූ, සිරැරට ඉස්සේ ය. එයින් ජිමුතවාහන පෙරට ද වඩා ශොභාසම්පන්න රූපයෙන් යුක්ත ව සියල්ලන්ගේ හර්‍ෂයත් සමග නැගී සිටියේ ය.

උමාදේවිය ද, "පුත්‍රය, ජිමුතවාහන, නුඹගේ මේ පරොපකාරයෙන් මම නුඹ කෙරෙහි පැහැදුනෙමි. මම දැන් නුඹ විද්‍යාධරචක්‍රවර්‍තතිපදවියෙහි අභිෂෙක කරන්නෙමි"යි කියා ඔහු මත අමාපැන් වක්කර අතුරුදහන් වූවා ය. අහසින් මල්වැසි වැස්සේ ය. දිව්‍යභෙරීහු ගුගුළහ.

ගුරුළුරජ විද්‍යාධරචක්‍රවර්‍තතිරජු වැඳ සිටියේ "සක්විති රජතුමනි, උදාර අදහස් ඇති ඔබ විසින් මුළුතුන්ලොව ම පුදුමයට පත් කරණ විසිතුරක් කරණ ලදි. ඔබගේ මේ අධික වීර්‍ය්‍යයෙන් පැහැදුනෙමි. එහෙයින් මට අණ දෙනු මැනව. මගෙන් ද අභිමතවරයක් ගණු මැනවැ"යි වර ගන්නා ලෙස ඉල්ලා සිටියේ ය.

"තෝ මා කෙරෙහි Praසන්ன වූයෙහි නම්, මට අනික් වරයකින් කම් නැත. මම එක ම වරයක් ඉල්ලමි. මෙතැන් සි‌ට මේ නයින් නො කව. පෙර කෑ නයින් ද ජීවත් වන ලෙස සලසව"යි සක්විතිතෙමේ ගුරුළාට අණ දින. ගුරුළුතෙමේ 'එසේ කෙරෙමැ'යි ගිවිස දෙව්ලොවට ගොස් අමා පැන් ගෙණ අවුත් තමන් විසින් කන ලද නයින්ගේ ඇට රැස මතුවෙහි ඉස්සේ ය. මළා වූ සියලු නාගයෝ පෙර මෙන් ම නො බුන් (නො කැඩුනු) සිරුරු ඇති ව නැගී සිටියහ.

*    *    *    *

වේතාලතෙමේ මේ කථාව කියා, "රජතුමනි, ශංඛවුඩ, ජිමුතවාහන යන දෙදෙනා අතුරෙන් කවරෙක් වීර්‍ය්‍යයෙන් අධික තර වේ දැ?" විචාරා පෙර මෙන් ශාපය ද සිහි කරවී ය.

-------------------------------------------

මේ මට අලුතෙන් හම්බ වුණු බ්ලොග් එකක්. නම අන්ධකාරය. තියෙන්නෙ ම කෙටියෙන් ලියපු අන්ධකාර කතා. ගිහින් ධෛර්යවත් කරල එන්න...

Saturday, January 18, 2025

පිය සමර හෙවත් භාරත ගී

මට භාරතීය සිනමාව සමීප කළේ අපේ තාත්තා. ඔහු පුදුමාකාර සංගීත රසවිඳින්නෙක්. මගේ ගැටවර වියේ දී තාත්තත් එක්ක රසවිඳපු භාරතීය සංගීත කොටස් ටිකක් මට මතක් වුණා, මේ ළඟ දි මට අහම්බෙන් වගේ මීනා කුමාරි ගැන කියවන්න ලැබුණු ෆේස්බුක් ලිපියකින්... 

මේ ඒ ගැන කෙටි ලියවිල්ලක්.

පළමුවෙන් ම, "හදවත තමන්ගේ වුණත් ප්‍රීතිය අනුන්ගේ..."

දිල් අප්නා ඕර් ප්‍රීත් පරායී රංජිත් එදිරිසිංහ ගේ වචනවලින් කියනවා නම් 1960 දී භාරත රිදී තිරය ර්ණත් කළ කළු සුදු චිත්‍රපටයක්. එහි නිරූපණය වුනේ සුශීල් නම් වෛද්‍යවරයා (රාජ් කුමාර්) සහ කරුණා නම් හෙදිය (මීනා කුමාරි) අතර ඇතිවන ප්‍රේමය. ඊට මැද්දට එන්නේ, සුශීල් ගේ පියාගේ මරණාසන්න කැමැත්ත (මට මතක හැටියට). පියාගේ කැමැත්ත අනුව සුශීල්ට සිද්ධ වෙනවා, ඔවුන්ගේ පවුලේ මිතුරෙකුගේ දියණිය වන කුසුම් (නදීරා) විවාහ කරගන්නට. ඒ ආරංචිය කරුණා දැනගන්නේ දීපාවලී උත්සවය දවසේ රෑ. 

මේ චිත්‍රපටයේ මම දකින අසාමාන්‍ය සහ දක්ෂ භාවිතයක් තමයි, ඉතා ම සතුටුදායක අවස්ථාවන් - ඉතා ම දුක්බර අවස්ථාවන් සමග සංකලනය කිරීමෙන් දුක තීව්‍ර ලෙස ඉස්මතු කර දැක්වීම. ඒක සංගීතයෙනුත් (ශංකර් සහ ජායිකිෂන්) ඉතා ම දක්ෂ විදිහට නිරූපණය කරනවා.

ඉතින් ඒ වගේ අවස්ථාවක් තමයි කරුණා පත්වන දුක්බර තත්ත්වය, දීපාවලී උත්සවයේ මල් වෙඩි සහ ආලෝකවත් සැමරීම් එක්ක නිරූපණය කිරීම. මේ ඒ අවස්ථාවේ සංගීතමය නිරූපණය. පොඩ්ඩකට විඳින්න, ආරම්භයේ දී අහන්නට ලැබෙන පියානෝ වාදනය...


චිත්‍රපටියේ දිගට ම නිරූපණය වෙනවා, සුශීල් තම පියාගේ කැමැත්ත ඉටු කිරීමට හිත හදා ගත් පසුවත්, කරුණා සමග ඇති කරගත් ප්‍රේමය මරා දමන්නට බැරි කමින් දුක් විඳන ආකාරය. ඒ වගේ ම කරුණා ඔහුගේ හැඟීම් තේරුම් ගෙන ඒ නිසා ම මුහුණ පාන දුක්ඛිත තත්ත්වය. එක් තැනක දී කරුණා, කැමැත්තෙන් ම තමන් ගැන කිසි ම තොරතුරක් සොයා ගන්නට බැරි වන ආකාරයට අතුරුදහන් වෙනවා. ඒ අවස්ථාවේ දී සුශීල් ශෝකයෙන් සහ අපේක්ෂාභංගත්වයෙන් පෙළෙමින් මුහුදු වෙරළට යනවා. එතැන වීදි ගායකයෙක් වේග රිද්ම ගීයක් ගායනා කරනවා. එහි අදහස තමයි, "කොහේ ගියා ද දන්නේ නෑ - කොහේ ගියා ද දන්නේ නෑ - මගේ හදවතත් අරගෙනයි ඈ ගියේ..."


මේ මම රස විඳි වෙනත් චමත්කාරජනක සංගීත කොටසක්. මෙහිත් රඟපාන්නේ රාජ් කුමාර් සමඟ මීනා කුමාරී. චිත්‍රපටය පාකීසා. මේ අවස්ථාව මට මතක හැටියට, අලුතින් එක් වූ යුවළක් අත් දකින චමත්කාරය. එය නිරූපණය කරන්නේ සුවිශේෂී සංගීත නාද සහ එහි දෝංකාරමය නිරූපණය සමගින්... සඳ එළියෙන් ආලෝකවත් වූ තෙත්බර රාත්‍රියක හැඟීමක් ඇති කරනවා...


මෙහි සංගීතය ගුලාම් මොහොමඩ් විසින්.

මී ළඟට පපුවේ ඇනුණු පිහිපාරක් වගේ දැනෙන "ආජාරේ... පර්දේසී..." (එන්න... පිට ගං කාරයෝ...) 


බිමල් රෝයිගේ මධුමති ඉතා ම සුන්දර කවියක් වාගේ නිර්මාණයක්. එය පුරා ම පැතිරී තිබෙන ඉතාම සරළ, සුන්දර, සැහැල්ලු සංගීතය සලීල් චෞද්රි විසින්.

මධුමති චිත්‍රපටය ගැන සඳහන් වුණු අතරේ, මම දැකපු එක් සුවිශේෂී දෙයක් තමයි, දිලිප් කුමාර්ගේ රංගන ශෛලිය. වැඩි ඔප දැමීම් නැතුව, ඉතා ම සාමාන්‍ය සහ තාත්වික රංගනයක් තමයි ඔහු ඉදිරිපත් කරන්නෙ. ටෝනි රණසිංහගේ රඟපෑමත් ඊට සමානයි කියා මම හිතනවා. එයට පරිබාහිරව, දිලිප් ඉතා ම විචිත්‍ර සහ දඟකාර චරිතයක් නිරූපණය කරනවා, ගංගා ජම්නා චිත්‍රපටියේ දී. මේ එයට කදිම උදාහරණයක්... 


මෙහි සංගීතය නෞෂාද් අලි විසින්...

දිලිප් සහ වෛජයන්තිමාලා ඉතා අපූරු ජන කලාත්මක රංගනයක් ඉදිරිපත් කරන තවත් අවස්ථාවක් මේ. මේ ගීතයේ තනුව ශ්‍රී ලංකාවටත් ඉතා ම හුරු පුරුදු වුණේ, මෙහි අනුකරණයක් විදිහට සිංහල විකට යුග ගීතයක් බිහි වුණු නිසා. 


ඉහත ගීත සියල්ල ගායනා කළේ මොහම්මද් රෆි සමඟ ලතා මංගේෂ්කර්. නමුත් මෙය ගායනා කරන්නේ ලතා ගේ නැඟනිය වුණු, ආශා භෝංස්ලේ. ගිතය ඇතුළත් වුණේ නයා දෝර් චිත්‍රපටියට. සංගීතය ඕ. පී. නයියාර් විසින්.

දිලිප් ගේ දක්ෂ නිරූපණයක් සහිත ගීතයක් කොහිනූර් චිත්‍රපටයෙන් උපුටා දක්වන්න කැමතියි, පෝස්ටුව අවසාන කිරීම විදිහට. මෙහි අන්තිම හරියේ ඔහු ඉතා ම හුරු බුහුටි ලෙස සිතාරය වාදනය කරනවා...


මෙහි සංගීතය නෞෂාද් අලි, ගී පද ශකීල් බදායුනි, ගායනය මොහම්මද් රෆි.

Sunday, December 29, 2024

වේතාල කථා - 8 තරංගය

වෙතාලයා මේ කථාව කියා, "රජතුමනි, ඔවුන් දෙදෙනා අතුරෙන් කවරෙක් සමුද්‍රපතනයෙහි (මුහුදට පැනීමෙහි) දී අධිකවීර්‍ය්‍ය ඇත්තේ වී ද? නො වළහා කියව. නැත් නම් පෙර කළ ශාපය ම වන්නේ ය"යි කී ය. 

7 තරංගය

රජ තෙමේ ප්‍රශ්නය විසඳී- "වේතාලාධිපතිය, ඒ දෙදෙනා අතුරෙන් සත‍්වශීල ම වඩා අධිකවීය්‍යර්‍ ඇත්තේ යයි මාගේ හැඟීම යි. හෙතෙමේ පළමු කොට කිසි හසරක් (පාරක්) නො දැන ජීවිතයෙහි ආශා නැති ව ම මුහුදට පැන්නේ ය. චණ‍්ඩසිංහ රජ සත්වශීලගෙන් තොරතුරු දැන ගෙණ ම මතු බලාපොරොත්තු සහිත ව මුහුදට පැන්නේ ය."

ප්‍රශ්නවිසර්ජනාවසානයෙහි (ප්‍රශ්න විසඳීමේ අවසන්හි) වේතාලයා පෙර මෙන් ස්වස්ථානයට ගියේ ය.

8 තරංගය

රජතෙමේ පෙර මෙන් ම ශිංශපාවෘක‍්ෂමූලයට ගොස් ඒ වේතාලයා උසුලා ගෙණ එන්නට වන. වේතාලයා ද "රජ්ජුරුවෙනි, මෙසේ ගමනාගමනයෙන් නො කලකිරෙණ යුෂ්මතා මට වඩවඩා ප්‍රිය වෙහි ය. එහෙයින් නුමේ මහන්සිය දුරු වන පිණිස ඉතා සිත්කලු ආඛ්‍යායිකාවක් (කථාවක්) කියමි. එය අසව"යි කියා තවත් කථාවක් පටන් ගත්තේ ය.

විදුදරඟන (විද්‍යාධරකාන්තාව) ලැබූ පරිදි

පෙර අඟුරට රුවින් අනඞ‍්ගයා පැරදවූ යශොවර්‍ධන නම් රජකේ වී ය. බාහුබලයෙන් සියලු සතුරන් දිනූ ඒ රජ තුමා එක් කලෙක්හි තාරුණ්‍යමදයෙන් ('තරුණයෙක්මි'යි සිතීමෙන් වන මත් වීම) හා රූපමදයෙන් ද මත් වූයේ ස්වකීය රාජ්‍යභාරය දීර්‍ඝදර්ශි නම් මහනැණැති අහ ඇමතියාට දී තෙමේ අන්තඃපුරයට වී කම්මැළි ජීවිතයක් ගත කෙළේ ය. හෙතෙම නළඟනන්ගේ මිහිරි ගී මිස හිතෛෂීන්ගේ ඔවදන් නො ම ඇසී ය.ඇත්පුරලියන්ගේ (අන්තඃපුර ස්ත්‍රීන්ගේ) නැටුම් මිස රාජ්‍යයෙහි කටයුතු නො ම බැලී ය. පස්කම් සුව විඳුම ම ජීවිතයෙහි එක ම ඵලය යි සිතා ධර්‍මමාර්‍ගයෙන් පහ වී ය. සියතෙදමහිමෙන් ම සතුරන් පහ වෙතැයි සලකා රට රැකුම පිළිබඳ කාර්‍ය්‍යන්හි උද්‍යුක්ත (උත්සාහවත්) නො වී ය. දීර්‍ඝදර්ශිතෙමේ රාජ්‍යය පිළිබඳ කර්‍ය්‍යයන් කරමින් නිතර ප්‍රමාදරහිත ව විසී ය.

"අපගේ රජතුමා ව්‍යසනයෙහි ලා මහඇමැතිතෙමේ රාජ්‍යශ්‍රීය වළඳන්නේ ය"යි නාගරිකයන් අතර අපවාදයෙක් පැන නැංගේ ය. එය මහඇමැතියාගේ කණට ද පැමිණියේ ය. හෙතෙමේ නුවණැති ස්වගෘහණිය (ස්වකීය භාර්‍ය්‍යාව) ඒ ගැණ මන්ත්‍රණය කෙළේ ය: "සොඳුර, රජතුමා කම්සුව විඳීමෙහි ඇලී වසන කල්හි ඔහු විසින් ඉසිලිය යුතු රාජ්‍ය භාරය ඔහුගේ ම අනුදැනීමෙන් ධර්‍මනීති නො ඉක්මවා උසුලන්නා වූ මට ද 'මොහු විසින් රාජයය නසනලදැ'යි මහත් අපකීර්තියක් ඉපදී තිබේ. ලෝකාපවාදය මහතුන්ට ද දොස් එළවයි. රාමකුමාරතෙමේ ද ජනයන්ගේ අපවාදයෛන් සීතාදේවිය නො හළේ ද? හළේ ම ය. එහෙයින් දැන් මවිසින් කුමක් කට යුතු ද?"

"ස්වාමිනී, ඔබ රජතුමන් වෙත ගොස් තීර්ථයාත්‍රාව පිණිස අවසර ඉල්ලනු මැනව. ඔබ තීර්ථථයාත්‍රාවෙහි යෙදුනු කල්හි ඒ අපවාදය නවත්නේ ය. ඔබ පැමිණි කල්හි අගමැතිපදවිය නින‍්දාව ක් නැති ව ම ලැබිය හැකි ද වන්නේ ය"යි ඕතොමෝ  කීවා.

ඇමැතිතෙමේ රජු වෙත ගියේ ය. රජතුමා සිරිත් වූ ලෙස එතුමා පිළිගත්තේ ය. බොහෝ වේලා බොහෝ දේ ගැණ සාකච්ඡා කෙළේ ය. අවසන්හි ඇමැති තෙමේ "දේවයන් වහන්සැ"යි රජු ඇමතී ය. "මම දැන් මහල්ලෙමි. මම යොවුන්වියෙහි දී රාජකාය්‍යර්‍ කෙළෙමි. ශිෂ්ටධර්‍මය නො ඉක්මමවා පස්කම්සුව වින්දෙමි. මෙතෙක් කල් ඇමැතිකම්හි මිස පරලොව සුව එළවන පින්කම්හි නො යෙදුනෙමි. දෙවයිනි, මෙ සසර නිසරු ය. රොග කව දා පැමිණේදැ යි නො දනිමි. මරුවා කෙස්වැටිය ගෙණ අදින බව හැඟේ. ඔහුගේ යටතට කවර මොහොතක යන්ට වේ දැ යි කීමට කවරෙක් සමර්ථ වේ ද? මනුෂ්‍යජීවිතයෙන් ගතයුතු එක ම ඵලය නම් සසර ලුහුඬු කරණ කුසල් කිරීමයි. එහෙයින් පූජනීය ස්ථාන වඳින්නට යනු පිණිස අවසර දෙනු මැනවැ"යි අවසර ඉල්ලී ය.

රජතෙමේ එය'සා "ඇමැතිතුමනි, මෙසේ නො කළ මැනව. පින් වනුයේ පූජනීයස්ථාන වැඳීමෙන් ද? දානාදීයෙන් පින් සිදු නො වේ ද? සියගෙහි සිට ම දානාදියෙන් ස්වර්‍ගමොක‍්ෂසාධන නො කට හැකි ද? මම ධනය දෙමි. එයින් සියගෙිහි සිට ම පින් කරන්නැ"යි කී ය.

"දෙවයන් වහන්ස, දේශාටනය වනාහී මිනිකෙු ගේ දියුණුුවට ඉතා අවශ්‍ය වූවකි. ලදරු සිතෙහි දෙශාටනයට ඇල්මක් ස්වභාවයෙන් ම ඇකි වන නමුදු මවුපියන්ගේ විරුද්ධත්වය නිසා ලදරුකල්හි ඊට ඉඩ නො ලැබේ. තරුණ බවට පත් වන විට ම ජීවිකාව පිළිබඳ අදහස්වලින් මිනිසා ගේ සිත පිරෙන්නේ ය. එයින් දේශාටනය පිළිබද අදහස් නසා දමනු ලැබේ. ඊළඟට, එබඳු උතුම් අදහස් ඇති වන්නේ මහලුකල්හි ය. මහලුකලත් ගත වූවොත් මේ සිරුරෙන් සිට ගෙණ දේශාටනය කිරීමට ඉඩ නො ලැබේ. අප වැනි රාජකාර්‍ය්‍යයන්හි නියුක්තයන්ට විශේෂයෙන් ම දේශ සඤ්චාරය ඉතා ප්‍රයෝජනවත් වේ. එයින් අපේ දුර්‍වල තැන් සොයා ගත හැකි ය. නොතර තැන් තර කරන අයුරු ඉගෙණ ගත හැකි ය. පිටරැටියන්ගේ අදහස් දත හැකි ය. ඔවුන්ට අපේ රටෙන් වුව මනා දෙය දැන එය සැපයීමෙන් රටෙහි වෙළෙඳාම හා ඔබතුමන්ගේ ආදායමත් වැඩිදියුණු කළ හැකි ය. මෙසේ කරුණු පවත්නා හෙයින් මගේ මේ දේශාටනයෙන් ඔබවහන්සේට මහත් ප්‍රයෝජන වන්නේ ය. තවද, දේවයන්වහන්ස, වන්දනීයස්ථාන වනාහි නිත්‍යයෙන් ශුද්ධ ය. නුවණැතියන් විසින් ඇවිදීමෙහි ශක්තිය තිබෙන කල්හි ම ඒ ස්ථානයන්ට ‌ගොස් වැඳිය පිදිය යුතු ය. එසේ නො වූයේ නම් විශ්වාස නො කට හැකි මේ සිරුර ඒ වන්දනීයස්ථාන හා කෙසේ එක් වේ ද? එහෙයින් ද මවිසින් යා යුතු ම ය."යි අමාත්‍යතෙමේ කී ය.

එකෙණෙහි ම දියවඩනනිලමේ පැමිණියේ ය. "දෙවයිනි, සූර්‍ය්‍යයා අහස්මැදට පැමිණියේ ය. නානුමුර ද සූදානම් ය. එහෙයින් වඩිනු මැනව. නානවේලාව ඉකුත් ව යන්නේ ය"යි සැළ කෙළේ ය. රජතෙමේ ඒ අසා නාන පිණිස එතැනින් නැගිට ගියේ ය. මන්ත්‍රිතෙමේ ද රජු වැඳ ගෙට ගියේ තමා අනු ව යන්නට සැරසුනු භාර්‍ය්‍යාව නවතා සියමෙහෙකරුවන්ට ද නො දැනෙන සේ යාත්‍රාරම්භ කෙළේ ය.

2

ඇමැතිතෙමේ පිළිවෙළින් නොයෙක් දනව්හි සරමින් තීර්ථ‍ස්ථාන වැඳගෙණ කඳුහෙල් පැන ගෙණ ඔඩ්ඩිරටට පැමිණියේ මුහුදුතෙර පිහිටි එක් පටුනක මෙහෙසුරු දෙවොලකට ගොස් එහි මිදුලෙහි එක් පසෙක්හි හිඳ ගත.  දෙව්පුද සඳහා එහි පැමිණි එක්තරා වෙළෙඳෙක් හිරු රැසින් තැවුනු සිරුරු ඇති, දුරුකතර ඊමෙන් වෑරුණු, ඔහු දැක පුනනූලින් හා ශරීරලක‍්ෂණයෙන් ද දුර සිට පැමිණි ද්විජ (බ්‍රාහ්මණ) ශ්‍රෙෂ්ඨයෙකැයි සලකා සියගෙට කැඳවා ගෙණ ගොස් සත්කාර කොට තොරතුරු විචාළේ ය. ඇමැතියා තමන් පිළිබඳ තමන් පිළිබඳ තොරතුරු කීය. වෙළෙඳ තෙමේ "මම වෙළෙඳාම් පිණිස ස්වර්‍ණද්වීපයට යන්නට බලාපොරොත්තුව සිටිමි. භවත් ‌තෙමේ බොහෝ දුර ගමන් කිරීමෙන් වෙහෙසුනේ ය. එහෙයින් මා එන තෙක් මෙහි නැවතී විශ්‍රාම ගණු මැනෑව"යි නිමන්ත්‍රණය  (ආරාධනා) කෙළේ ය.

"මා මෙහි සිටීමෙන් කම් නැත. ඔබ සමග මම ද එහි යනු කැමැත්තෙමි"යි ඇමැතියා කී හෙයින් වෙළෙඳතෙමේ ඔහුත් සමග නැව් නැංගේ ය. ඔහු චණ්ඩ වූ මෝරුන් ආදි මහමසුන්ගෙන් ගහන, කුදුමහත් රළපෙළින් අතරක් නැති, රත්නයන්ට කෙසේ වෙතත් ලුනට ආකර වූ, ජලට නිධාන වූ, මහසයුර තරණය කොට ස්වර්‍ණද්වීපයට පැමිණ මඳ කලක් එහි වැස පෙරළා එන්නාහු මුහුද මැද දඹරන්මුවා කඳ ඇති ඉඳුනිල්මිණිමුවා කොළ ඇති මිණිමුවා පල ඇති මනහර මලින් හෙබුනු කප්රුකක් ද, එහි වෙළෙපෙහි (අතු බෙදී ගිය තැන) රත්නමයපර්‍ය්‍යඞ්කයෙක්හි (රුවන් පුටුවෙක්හි) හුන් මනරම් රුවින් සිරිකත පැරයූ කිසියම් කාන්තාවක ද දුටහ. ඕතොමෝ වෙණ වයමින් ගීයක් කැයූ. "පෙර කළ කම් පරිදි සත‍්වතෙමේ විපාක විඳියි. සත්වයා විසින් පෙර කළ කම් මහබඹහු විසිනුදු වෙනස් කළ නො හැක්ක. යම් කෙනෙකුන්ට යමක් විය යුතු නම්, හෙතෙමේ ඒ විය යුත්ත විසින් ම යටත් කරණු ලැබ සුදුසු ස්ථානයට පමුණුවනු ලැබේ" යනු ඒ ගීයෙහි අර්‍ථය යි.

ඒ අඞ්ගනාව ඒ ගීය ගයා එහි ම ගිලුනා. "අද මවිසින් දුටු මේ ආශ්චර්‍ය්‍යය කුමක් ද? මහමුහුද කොහි ද? දුටු පමණින් නැතු වූ දෙවඟන සහිත කල්පවෘක්ෂය කොහි ද? (මුහුද හා දෙවඟන සහිත කල්පවෘක්ෂය එකිනෙකට බොහෝ ඈත ය. මුහුදෙහි දෙවඟනන් සහිත කප්රුක් විය නො හැක්කැයි කී අයුරුයි.) ඉදින් මුහුද හැමදා මෙබඳු නම්, සිරිකත සඳ කප්රුක යනාදිය මේ සමුදුරෙන් පහළ වීමෙහි කිනම් සැකයෙක් දැ?"යි ඇමැති තෙමේ සිතමින් විස්මිත ව බලා සිටියේ ය.

ඔහුගේ විලස දුටු කර්‍ණධාරාදීහු "මහතානෙනි, අපට මෙහි පුදුමයෙක් නැත. මේ උත්තමාඞ්ගනාව හැම කල්හි මෙහි පෙණේ. දුටු කෙණෙහි ම දියෙහි ගිලේ. ඔබට වනාහි මෙය අළුත් දර්‍ශනයෙකැ"යි කීහ.

මන්ත්‍රී තෙමේ වෙළෙඳා සමග කීප දිනකින් සමුදුර තරණය කොට වෙළෙඳාගේ ගෙට ම ගොස් බොහෝ දවස් එහි ම වැස පහසු ගෙණ වෙළෙඳාට ආශිර්‍වාද කොට පිටත් ව සියදෙසට ගියේ ය.

අඟුරට රජහු විසින් සියඅගමැතියා වූ ඔහු සොයනු පිණිස යොදන ලද චරපුරුෂයෝ ඔහු දුර දී ම දැක අවුත් රජු හට සැළකළහ. රජතුමා නගරය සරසවා මහපෙරහැරින් ගොස් අගමැතිහු පිළිගෙණ රජමැඳුරට ම කැඳවා ගෙණ ආයේය. බොහෝ සත්කාර සම්මානයෙන් අගමැතිහු පිදී ය. "ඇමැතිතුමනි, අප හැර ගොස් කවර හෙයින් මේ දුක් වින්දෙහි ද? එසේ වේවා. කිසි හෙතුවක් නැති ව තීත්ර්‍ථාදීභ්‍රමණයෙහි (පූජනීයස්ථානාදියෙහි ඇවිදීමෙහි)ඔබගේ සිත හැරවූ සර්‍වබලපරාක්‍රම භවිතව්‍යයා (විය යුත්ත) ගේ විසිතුරුගතිය කවරෙක් දනී ද? දැන් කියනු මැනව:- කවර කවර දෙශයෝ ඔබ විසින් යන ලදහු ද? කිනම් අභිනව වස්තු දක්වාලද දැ?"යි විචාළේ ය.

අගමැතිතෙමේ සියගමන් පිළිබඳ සියලු වාර්‍තා සැළ කෙළේ ය. රජතෙමේ දෙවඟන ගැණ අසා ඇය නැති රාජ්‍යයත් නිෂ්ඵල ය යි සිතී ය. "අමාත්‍යශ්‍රෙෂ්ඨයානෙනි, ම විසින් ඕතොමෝ අවශ්‍යයෙන් ම දැක්ක යුත්තී ය. නො එසේ වී නම්, මාගේ දිවි තිබෙතැයි නො සලකනු මැනව. භවිතව්‍යතාවට ම ගරු කොට ඔබ කී මගින් යමි. ඔබ මා නො වළක්වනු මැනව. අනුගමනය ද නොකට යුතු ය. මා එන තෙක් මගේ මේ රාජ්‍යය රකිනු මැනව. ඔබගේ රජ වූ මාගේ මේ අණ වෙනස් නො කළ යුතු ය"යි සිය අදහස රහසින් අගමැතියාට දැන්වී ය.

ඇමැතිතෙමේ ද රජුගේ අධිෂ්ඨානය අසා මහත් උලෙළෙහි (උත්සවයෙහි) ද දොම්නස් සහිත වී ය. ස්වාමියා මහත් වූ ව්‍යසනයෙක් හි වැටුනුකල්හි සන්මන්ත්‍රීන්ට සැපයක් කොයින් ද? හේ නොයෙක් සුභාෂිතයන්ගෙන් රජුගේ අදහස වෙනස් කරන්නට යත්න කෙළේ ය. සර්‍වබලපරාක්‍රම භවිතව්‍යතාව කවදා කුමකින් පැරදේ ය?

ඉක්බිති ඒ රජතෙම රාජ්‍යය අගමැතිහට භාර කර තවුස්වෙස් ගෙණ රාත්‍රියෙහි නුවරින් පිටත් වී ය. පිළිවෙළින් ගම් නියම්ගම් දනවුමඬුලු (ජනපදසමූහ) ගෙවා යන්නේ මඟ දී දිවැස් ඇති එක් තවුසෙකු දැක්කේ ය. රජතෙමේ තවුසා වෙත ගොස් වැඳ සිටියේ ය. "දරුව, මෙනම් වෙළෙඳා සමග නැවු නැග ගොස් අභීෂ්ට (බලාපොරොත්තු වන) කාන්තාව ලබන්නෙහි ය"යි තවුසා විසින් කී තෙපුල් අසා ඉතා පිණා ගියේ වහා එයින් නික්ම ගොස් ඒ වෙළෙඳා සමග නැව් නැංගේ ය. මහමුහුද මැද දී අගමැති කී පරිදි දෙවඟන සහිත කල්පවෘක්ෂය පහළ වී ය. රජ එය දැක ඇසිල්ලක් නිශ්චල ව සිටියේ ය.


3

"පින්වත් රත්නාකරය, (සමුද්‍රය) ඔබට නමස්කාර වේවා. යම්බඳු තොප විසින් මේ දෙවඟන සඟවා ගෙණ සිරිකතගෙන් විෂ්ණුතෙමේ රවටන ලද ද, ඒ ඔබ ශරණ කොට පැමිණියෙමි. ඔබ මාගේ කැමැත්ත සිද්ධ කරණු මැනව. දෙවියන් ඔබ කලඹා ඔබගේ හස්තසාර ධන සියල්ල ම පැහැර ගතැයි අඥයෝ කියති. දෙවියන් පැහැර ගත් අමෘතය කුමක් ද? මේ කාන්තාවගේ දර්‍ශනය ම අමෘතය නො වේ ද? දෙවියන් මෙන් මම ඔබ නො කලඹමි. එබඳු බලයක් නරයෙකු වූ මට කොයින් ද? මම ඔබට මගේ දිවි පුදමි. මා කෙරෙහි පැහැදෙනු මැනව" යනාදීන් රජ තෙමේ මුහුදට ස්තූති කරන්නට පටන් ගත. එකෙණෛහි ම කප්රුක සහිත ඒ දෙවඟන මුහුදෙහි ගිලෙන්නට වන. රජ ද එය දැක ඒ අනුව මුහුදට පැන්නේ ය. මුහුදෙහි ගිලුනු රජතෙමේ හදිසියෙන් ම කිසියම් දෙව්පුරයක් දැක්කේ ය. විස්මයසහිත වූයේ මිණිමුවාටැඹින් හා රන්මුවාබිතුපෙළින් ද, ලෙලදෙන මුතුලැලින් (මුතුවැලින්) යුත් පලඟින් ද මනරම් මැඳුරු සියගණනින් බබලන, තන්හි තන්හි නන්වන් මිණිරුවනින් බැඳි පියගැටපෙළින් විසිතුරු පොකුණුවලින් හා සිතු පැතූ දෙය දෙන කප්රුක්වලින් ද සමෘද්ධ උද්‍යානයන් ගෙන් හොබනා එනුවර දැක, අනෙක සම්පත්තියෙන් පිරිපුන් වුව ද ජනයන් නැති එහි ඒ කාන්තාව සොයනු වස් ගෙයක් පාසා ගියේ ය. අවසන්හි එක් මිණිමුවාමහපහයෙක්හි අගනා ඇඳෙක්හි හිස සිට දෙපතුලට පොරවා ගෙණ හෝනා (නිදන) ඇය දැක්කේ ය. ඕතොමෝ ද මනාවිලස් ඇති රජහු දැක වහා යහනින් නැඟී සිටියා, අතිථිසත්කාර කළාය. තොරතුරු ද විචාළා ය:- "පින්වතානෙනි, භවත් තෙමේ කවරෙක් ද? කෙසේ මේ රසාතලයට (පාතාල ලෝකයට) පැමිණියේ ද? රාජලක්ෂණයෙන් පිරිපුන් ඔබගේ මේ සිරුරෙහි තවුස්පිරිකර කිම් ද?

රජතෙමේ සියල්ල විස්තර කොට ඈ පිළිබඳ තොරතුරු විචාළේ ය:- "පින්වත් යුවතිය, භවතිය කවරක් ද? කවර හෙයින් ශූන්‍ය (හිස්, පාලු) වූ මේ ස්ථානයෙහි තනි ව වසන්නී ද? මට මෙය මහත් පුදුමයකි. ප්‍රහේලිකාවකි. භවතියගේ මවුපියෝ කවුරු ද? නම කුමක් ද? ඔබට පැමිණ තිබෙන විපත කුමක් ද? කියනු මැනව. මගේ මේ අගනා ජීවිතය පුදා වත් අසරණ වූ නුඹ විපතින් ගලවා ගන්නට උත්සාහ කරමි. මම ඔබගේ දැක්මෙන් ම බැඳ දාසභාවයට පත් කරණ ලද්දෙමි. එහෙයින් මට නො වළහා කියනු මැනව."

"මහතානෙනි, මෘගාඞ්කෙස්න නම් ශ්‍රීමත් විද්‍යාධරාධිපතියෙක් ඇත. මම ඔහුගේ දූ වූ මෘගාඞ්කවතී වෙමි. මගේ ඒ පියතෙමේ මා මේ නුවර තනි කර දමා පුරවැසියන් හා කොහි කවර හෙයින් ගියේ දැ යි නො දනිමි. එහෙයින් මම මේ ශූන්‍යස්ථානයෙන් නික්ම මුහුදෙන් මතු වී කප්රුකට නැඟී ගායනා කරමි"යි ඕතොමෝ තමන් පිළිබඳ පුවත් විස්තර කළා ය.

රජතෙමේ නානාවිධමෘදුවචනයන්ගෙන් ඇය සිත් ගත්තේ ය. ඕතොමෝ ද ඔහුගේ භාර්‍ය්‍යාව වන්නට ගිවිසියා ය. "ආර්‍ය්‍යපුත්‍රය, මසක් පාසා පුර අව දෙපස්හි තුදුස්වක්හි ද අටවක්හි දැ යි යන සිවුදිනයන්හි මම ඔබට අයත් නො වෙමි. යම්කිසි තැනකට යන මම ඔබ විසින් නො වැළැක්විය යුතුද නො සෙවිය යුතු ද වෙමි. ඊට හෙතුව ද නො විචාළ යුතු ය"යි පොරොන්දුවක් ද ඉල්ලී ය. රජතෙමේ සතුටින් ම "එසේ ‌වේවා"යි ඇගේ ඉල්ලීම පිළිගෙණ ඇය විවාහ කොට ගෙණ එහි ම විසී ය.

කළුවරරැයින් සැරසුනු අවතුදුස්වක (කළුවර පක්ෂයෙහි 14 වැනි දිනය) පැමිණියේය. ඒ අංගනාතොමෝ දිව්‍යසම්පත්තියෙන් පිණමින් සිටි රජු වෙත ගියා. ගොස් ඉකි බිඳිමින් ඇඬුවා:- "අහෝ! මගේ පවක මහත! අද ඔබගෙන් වෙන් විය යුතු දවසෙකි. නො වැළැක්විය හැකි කිසියම් කටයුත්තක් සඳහා මම පිටත යමි. හෙට නො වරදවා එන්නෙමි. එතෙක් ඔබ මෙහි සැප සේ සිටිනු මැනව. තෙල (අර) පෙණෙන පළිඟුමුවා ගෙට නො යනු මැනව. එහි වූ වැවට නොබසිනු මැනව. එහි බැස්සොත් නිසැකයෙන් මිනිස්ලොවට යන්නෙහි ය! මා එන තෙක් පරිස්සමින් සිටිනු මැනවැ"යි කීවා ය. රජ ඇයගේ කඳුළින් තෙත් මුවපියුම් සියඋතුරුසළුපටින් පිසදැම්මේ ය. හද පැළී යන තරම් සොවින් ඇගේ ඉල්ලීමට අවසර දුන්නේ ය. ඕතොමෝ ද පිටත්ව ගියා ය.

රජතෙමේ ද 'විය යුත්තක් වේවා'යි සිත දැඩි කොට ගෙණ ඒ ගමන ගැණ දැනගණු පිණිස කඩුව හා දුනුහී ද රැගෙණ ඇය පසුපසින් ම ඇයට නො පෙණී ගියේ ය. ඇය නුවරින් පිට වූ කෙණෙහි ම බිහිසුණු රකුසෙක් ගොරනාද කරමින් ඉදිරියට පැන ඇය අල්ලා නරාවළක් වැනි මුවතුළ බහා ගිල්ලේ ය. රජ එය දැක අතිශයින් කිපුනේ එකෙණෙහි ම මහ අසිපත ඇද ගෙණ දිවගොස් ඒ රකුසාගේ හිස සිඳ ලී ය. කඩුසිළින් (කඩුවේ උලෙන්) රකුසාගේ උදරය පැළී ය. එකෙණෙහි ම මෘගාඞ්කවතී තොමෝ එයින් නික්ම ආවා ය. රජතෙමේ ඇය දැක පිණා ගියේ ඇය සතුටින් ආලිඞ්ගනය කෙළේ ය. "ප්‍රියාව, මේ කිම? සිහිනයක් ද? නොහොත් මායාවක් දැ?" යි විචාළේ ය.

4

ඒ විද්‍යාධරකාන්තා තොමෝ ද තමන් පිළිබඳ තතු සිහි කොට රජුට ඒ සියල්ල කීවා ය:- "උතුමානෙනි, අසනු මැනව. මෙය ස්වප්නයක් නො වේ. මායාවක් ද නො වේ. මෙය විද්‍යාධරරාජ වූ මාගේ පියා විසින් කරණ ලද ශාපයක විපාකයකි. මගේ ඒ පියානන් වහන්සේ බොහෝ දරුවන් ඇති ව මෙහි විසූ සේක. මා කෙරෙහි වැඩි ආදරයක් දැක්වූ සේක. මා නැති ව කිසිවිටෙක අහරක් නො ගත් සේක. මම ද මෙහෙසුරුපුදෙහි (පූජාවෙහි)  ඇලුනෙම් හැම තුදුස්වක්හි හා අටවක්හි මෙහෙසුරුදෙවොලට ගියෙමි. එක් දිනෙක්හි දෙව්පුද සඳහා ආ මම මුළු දවස ම දෙවොලෙහි ගත කෙළෙමි. ඒදිනෙහි ද පියතෙමේ මා එන තෙක් බලාපොරොත්තු වූයේ ආහාරපානයක් නො ගත්තේ ය. රාත්‍රියෙහි ආ සාපරාධ මා කෙරෙහි කිපුනු පියතෙමේ ශාප කෙළේ ය:-

'තී බඩසාදුකින් පෙළුනු මා මුළුදවසෙහි ම සිහි නො කෙළෙහි ය! එහෙයින් කෘතාන්ත නම් බිහිසුණු රකුසෙක් මසක් පාසා අටවක්හි හා තුදුස්වක්හි ද ඉසුරුපුදට නගරයෙන් බැහැර යන තී ගිල දමාවා! ඉක්බිති තී ඔහුගේ ලය බිඳගෙණ පිටත එව! මේ ශාපය ද රකුසා ගිලීමෙන් වූ දුක ද සිහි නැති වේවා! තනිව ම මෙහි හිඳුව!'

"ඉක්බිත්තෙන් බිය පත් වූ මා විසින් දීන (බැගෑපත්) වචනයන්ගෙන් සනහන ලද හෙතෙමේ ශාපයාගේ අවසානයක් දැක්වී ය:-

'කුරිරු තැනැත්තිය, මගේ වචන නිෂ්ඵල නො වන්නේ ය. එහෙයින් කලක් තී මේ ශාපය වින්ද යුතු ය. යම් කලෙක්හි අඟුරට රජ මෙහි පැමිණ තීගේ ස්වාමියා වී රකුසා විසින් තී ගිලිනු දැක ඒ රකුසා මරන්නේ ද, එකල්හි තිගේ ශාපය ගෙවෙන්නේ ය. එවිට ම ස්වකීය විද්‍යාවෝ නැවතත් සිහියට එන්නාහු ය.'

"මෙසේ ශාපාවසානකාලය කියා මා මෙහි තනි කර දමා පිරිවර සහිත ව හිමාලයපර්‍වතයට ගියේ ය. මම එතුමාගේ නියමයෙන් ශාපබලයෙන් කිසිවක් නො දැන මෙහි සිටියෙමි. දැන් ඔබගේ අනුග්‍රහයෙන් ශාපය ගෙවින. හැම දෙය පිළිබඳව මගේ ස්මෘතිය ද උපන්නේ ය. එහෙයින් අද පියානන් වහන්සේ වෙත යන්නෙමි. 'ශාපාවසානයෙහි සියගතියට පැමිණෙන්නේ ය' යනු නියමය යි. ඔබතුමා මෙහි ම සිටිනු මැනව. නැතහොත් සිය රටට යනු මැනව. ඒ කරුණෙහි ඔබගේ ම කැමැත්තක් වේවා."

රජ තෙමේ ඇයගේ බස් අසා දුඃඛිත වූයේ "සුන්දරිය, නුඹ තවත් සත්දවසක් මා සමග මෙහි ම සිටිය යුතුය. කිසිවක් නො කියා ... මේ උයනෙහි නුඹ සමග සත්දවස මුළුල්ලෙහි ක්‍රීඩා කරමින් ... කනගාටුව දුරු කරන්ට උත්සාහ කරමි. ඉන්පසු නුඹට නුඹගේ පියා සිටින තැනට ද, මට මගේ රටට ද යා හැකි"ය ඈහට කී ය. ඕතොමෝ ද ... පිළිගත්තා ය.

රජ සත්වැනි දවසෙහි ප්‍රයොගයෙන් ඇයත් සමග මිනිස්ලොවට පැමිණෙන දොරටුව වූ පොකුණ ඇති පළිඟුමුවා ගෙට ගියේ වහා ඇගේ අත දැඩි සේ අල්ලා ගෙන පොකුණට පැන්නේ සියපුරයෙහි උයනෙහි පොකුණින් මතු වී ය! උයන්පල්ලෝ මිනිස් ඇසට උත්සවයක් බඳු ඒ කාන්තාව සමග පැමිණි රජු දැක අගමැතිහට ඒ බව සැල කළහ. මන්ත්‍රිතෙමේ පුරවැසියන්ට දන්වා මහොත්සව කොට පෙරහරින් ගොස් ඒ කාන්තාව සහිත රජතුමා කැඳවා ගෙණ ආයේ ය.

"අහෝ! අහසෙහි විදුලියක් මෙන් ඇසිල්ලක් පමණ කල් පෙණුනු මේ දෙවඟන මේ රජතෙමේ කෙසේ ලබා ගත්තේ ද? බඹහු විසින් යමෙකුගේ ලලාටයෙහි යමක් කොටන ලද නම් එය කොතරම් දුෂ්කර වූවත් එකාන්තයෙන් ම සිද්ධ වන්නේ ය"යි අමාත්‍යතෙමේ සිතී.

මෘගාඞ්කවතිය ද රජු සියදෙසට පැමිණ සිටින බව හා සත්දවස පිරුණු බවත් දැක සිය පියා වෙත යන්ට සිතුවා, එහෙත් එවිට උත්පතනවිද්‍යාව (අහසට නැඟීමට උපකාර වන මන්ත්‍රය) සිහියට නො ආයේ ය. ඕතොමෝ එයින් අතිශයශොකයට පැමිණියා ය. "ප්‍රියාව, කවර හෙයින් මෙසේ ශොක කරන්නෙහි ද? කියව"යි රජු විසින් විචාරණ ලද්දී "රජතුමනි, මම ශාපයෙන් මිදුනු නමුත් මෙපමණ කල් ඔබගේ ස්නෙහබන්ධනයෙන් බැඳී සිටියෙමි. එයින් මගේ විද්‍යාවෝත් දිව්‍යගතිත් නටහ. ආලය, තෘෂ්ණාව, ක්‍රොධය, ඊර්‍ෂ ්‍යාව යනාදී ක්ලෙශයෝ සියල්ලන්ගේ ම ප්‍රඥාව හා මනශ්ශක්තියත් නසන්නාහ"යි පිළිතුරු දුන්නා ය.

රජතෙමේ "මේ දෙවඟන දැන් මට අයත් වූයේ ය යි සතුටට පැමිණියේ මහත් උත්සව පැවැත්වී ය. අගමැතිතෙමේ එය බලා ගෙට ගොස් ශයනගත වූයේ වහා ලය පැළීමෙන් මළේ ය. රජතෙමේ ද ඒ මෘගාඞ්කවතිය සමග යෙහෙන් රාජ්‍යපාලනය කරමින් ස්වර්‍ගසම්පත්ති වැනි සැප විමින් බොහො කල් සිටියේ ය.

වේතාලයා මේ කථාව කියා "රජතුමනි, මේ කරුණ පිළිබඳ ව මා තුළ මහත් සැකයක් තිබේ. ස්වාමි වූ රජතුමාට එතරම් අභිවෘද්ධියක් වූ කල්හි ද ඔහුගේ අගමැතිහුගේ හෘදය ස්ඵුටිත (පැළින) වී ය. ඊට හෙතුව කුමක් ද? 'මවිසින් දෙවඟන නො ලබන ලදැ'යි සිතීමෙන් වූ ශොකය ද? නැතහොත් රජු නැවත පැමිණිබව දැක්මෙන් රාජ්‍යය අයත් කර ගැන්මෙහි අපෙක්ෂාවෙන් සිටි ඔහු තුළ ඇති වූ ඊර්‍ෂ ්‍යාව ද? මේ මාගේ සැකය සිඳුව. දැන දැන මෙය මට නො කීයෙහි නම්, නුඹගේ හිස සියක් කඩකට පුපුරන්නේ ය"යි තර්ජනාන්ත ප්‍රශ්න විචාළේ ය.

මීළඟ කොටස ළඟ දී ම...

පරණ පොතේ පිටුවක් ඉරී තිබීම නිසා සමහර තැන් හිස් තැන් වශයෙන් ම තැබීමට සිදු වූ බව කරුණාවෙන් සළකන්න.

Saturday, December 7, 2024

කන්දේ සුරඟන සහ වීදුරු ශිල්පියා

පීටර් නම් වීදුරු ශිල්පියා දිළින්දෙක්. ඔහුට සිටි එක ම පුතා අන්ධයි. දරුවා උදෙන් ම “තාත්තා... තාත්තා...“ කියමින් දුවගෙන එද්දී වැටුණ හැටි දුටු පීටර් ගොඩක් ම දුකට පත් වුණා. ඔහු බිරිඳත් එක්ක කතා කළේ මේ ගැන කරන්න පුළුවන් දේ ගැන.

ස්පෘට්ස්ලන්ඩ් නම් නගරයේ ඇස් වෙද කෙනෙක් ඉන්නවා. ඔහු ගේ වෙදකම් ගැන මුළු පළාතේ ම ප්‍රසිද්ධයි. නමුත් ගැටළුව තමයි මුදල් නැති කම. දැනටමත් පීටර්, පොහොසත් මෝල් හිමියාට සෑහෙන මුදලක් ණයයි. 

කඳුකරයෙන් එහා පැත්තේ ගමක වීදුරු සවිකරන වැඩක් තිබෙන බව පීටර්ට ආරංචියි. ඔහු එහි යන්න ලෑස්තිය. නමුත් බිරිඳ ඔහුට අනතුරු ඇඟවූවා.

“දන්නව නේ ද, ඔය කඳුකරයේ ඉන්නවා සුරංගනාවක්? එයා දකින දකින අයට කරදර කරමින් සතුටු වෙනවා.“

“ඇත්ත. ඒත් ඒ වගේ කෙනෙක්, පොහොසත් මෝල් හිමියා තරම් ම නරක වෙන එකක් නෑ“ පීටර් තමන්ගෙ දරුවා සුවපත් කිරීම වෙනුවෙන් අවදානම භාර ගන්නවා. නමුත් වීදුරු ගන්න උවමනා මුදලවත් ඔහු ළඟ නෑ. 

ඒ අතර, මසුරු මෝල්හිමියා උදෑසන තමන්ගේ කෙත් යාය බලන්නට ගියා. රසැති සහ ගුණැති උදේ ආහාරයෙන් බඩ පිරී සතුටින් සිටි ඔහු දුටු දර්ශනය ඔහුට එතරම් සතුටුදායක වුණේ නෑ. ඔහුගේ දාසයන් වැඩ කරන්නේ කම්මැලි කමින්.

මෝල් හිමියා ඔහුගේ ගණන් තබන සේවකයාට කතා කළේ කෝපයෙන්.

“ටොම්, ටොම්, මෙහෙ එනවා.“

ටොම් දුවගෙන ආවා...

“අර බලනවා. අර දාසයො ඔක්කොම මහ කම්මැලියො. උන් කතා කර කර විවේක ගන්නව. උන්ට කඩිසරව වැඩ කරන්න කියනවා. නැත්තං මං උන්ට ගෙවන පඩියෙන් හොඳ ගාණක් කපල දානව.“

ටොම් ආපහු කෙත් යාය දෙසට දුවගෙන ගියා. 

“වැඩ කරපල්ලා... වැඩ කරපල්ලා“ මෝල් හිමියා කෑගැසුවා.

ටොම් ආපහු දුවගෙන ආවා.

“සර්, වෙළෙන්දො ටිකක් ඇවිල්ලා“

“එක්කරගෙන එනවා බලන්න“

ටොම් වෙළෙන්දන් තුන් දෙනෙක් එක්කරගෙන ආවා.

“මා ළඟ තියෙනවා, ඉස්තරම් තිරිඟු. ගෝණියක් ඩොලර් පහයි සර්...“ එක වෙළෙන්දෙක් කීවා.

ගෝණියක් ඇරලා තිරිඟු අහුරක් අරන් කටේ දාගත්ත මෝල් හිමියා, අප්‍රසන්න විදිහට ආපිට කෙළ ගැහුවා. ඒ තිරිඟු ඇත්තට ම ඉතා ම හොඳයි. නමුත් ඒවාට නියම වටිනාකම ගෙවන්න මෝල් හිමියා සතුටු වුණේ නෑ. “මේ තිරිඟු නීරසයි, ගඳයි, ඒ මදිවට තෙතයි. මට ඕන්නෑ මේව...“

“අනේ නෑ සර්. මේ තිරිඟු හොඳයි. මට කන්න දෙන්න පවුලක් ඉන්නවා. මේවා ගන්න සර්...“ වෙළෙන්දා බැගෑපත් වුනා.

“හොඳයි හොඳයි... කමක් නෑ. මං දෙන්නම් ඩොලර් තුන ගාණෙ“

“ඒකත් ලොකු උදව්වක් සර්.“ වෙළෙන්දා සල්ලි අරගෙන ස්තූති කරලා පිටවෙලා ගියා.

"මගෙ කුඹුරුවලයි මෝලෙයි වැඩ කරන්න බූරුවෙකුයි, දාසයොයි තව ඕනෙ. ඔයාටත් ඕනෙ නං වැඩ කරන්න එන්න." මෝල් හිමියා වෙළෙන්දාට කිව්වා.

තවත් වෙළෙන්දියන් දෙන්නෙක් එළවලු සහ පලතුරු කූඩ දෙකක් ගෙනත්.

මෝල් හිමියා ඒවාත් පරීක්ෂා කරලා බැලුවා. ඒවා නැවුම් බව දුටුවත්, මෝල් හිමියා ඒ බව පෙන්නුවෙ නෑ. ඩොලර් දහයක් සහ අටක් ඒ කූඩ දෙකට වෙළෙන්දියන් ඉල්ලුවේ. 

“මොනවා?“ මෝල් හිමියා පුදුම වුණා. “ඔයාලා විකුණන්නෙ, එලුවො, හරක් ද? ගාණ බොහොම වැඩියි “ 

ඔයාලා විකුණන්නෙ, එලුවො, හරක් ද?

“අනේ සර්“ වෙළෙන්දියො බැගෑපත් වුණා. මේවා හොඳ එළවලු, පළතුරු. අපි මේව විකුණලා අපේ දරු පවුල්වලට කන්න දෙන්නෙ...“

“හොඳයි හොඳයි. මං ඔයාට දෙන්නං ඩොලර් හයක්, ඔයාට දෙන්නං ඩොලර් පහක්“ මෝල් හිමියා තමන්ගෙ පසුම්බියෙන් සල්ලි එලියට ඇද්දා. නමුත් ඒ සල්ලි දෙන්න ම වගේ ගිහින් ආපහු ගත්තා. “ඔයා මට කොච්චරක් ණයයි ද?“

වෙළෙන්දියගේ මූණ දුකෙන් ඇඹුල් වුණා. “ඩොලර් පහළොවයි සර්.“

“ටොම්... ණය පොත ගේන්න මෙහෙට“

ටොම් ලොකු ලෙජරයක් උස්සගෙන දුවගෙන ආවා.

“බලන්න මෙයා කොච්චර ණයයි ද කියලා.“

“ඩොලර් දහ අටයි සර්...“


වෙළ‍ෙන්දිය පුදුම වුණා. “එහෙම වෙන්නෙ කොහොම ද? මාස පහකට කලින් කිව්වෙ පහළොවයි නෙ.“

“ඒක එහෙම තමයි.“ මෝල් හිමියා උත්තර දුන්නා. “මාස පහකට කලින් පහළොවයි, දැන් ඒක දහ අටයි. ලබන මාසෙ වෙද්දි විස්සක් වෙයි. මං මේ ඩොලර් හය ණයෙන් අඩු කරගන්නම්.“

වෙළෙන්දියො දෙන්නා ආපහු යන ගමන් මෝල් හිමියාගේ මසුරු කම සහ කපටි කම ගැන ශාප කළා.

ඒ අතරෙ වීදුරු ශිල්පියා තමන්ගෙ බිරිඳත් පුතාත් එක්ක එන හැටි දුටු මෝල් හිමියා ගේ මුහුණේ සිනාවක් මතුවුණා.

“සුභ උදෑසනක් පීටර්... ඔයා ආවෙ මගෙන් ණයට ගත්ත සල්ලි ගෙවන්න ද?“

“නෑ සර්... මං ආවෙ තව සල්ලි ටිකක් ණයට ඉල්ල ගන්න“ මෝල් හිමියාගේ සිනා මූණ අඳුරු වෙන හැටි දුටු පීටර් මෙහෙමත් කීවා. “කන්දෙන් එහා ගමේ වැඩක් තියෙනවා. මම ඒක ඉවර කරලා, වැඩියෙනුත් එක්ක ගෙවන්නම්.“

“හ්ම්...“ මෝල් හිමියා ටිකක් වෙලා කල්පනා කළා. “හොඳයි. හැබැයි මට වැඩිපුර ආපිට ගෙවන්න වෙනවා.“ මසුරා පීටර් ඉල්ලපු මුදල දුන්නා.

“පොඩ්ඩක් ඉන්න“ පීටර් තමන්ගෙ පවුලෙ අයත් එක්ක ආපිට යන්න හැරෙද්දි ම මෝල් හිමියා ඔවුන් නැවැත්තුවා. “මට තමුසෙ ව විශ්වාස නෑ. ඔය සල්ලි ආපහු ගෙවනකම්, ඔයාගෙ බිරිඳත් දරුවත් මා ළඟ හිටියාවෙ“

“හෑ...!“ පීටර් ට කියවුණා.

"ඔයාට සල්ලි ඕනෙ  ද, නැද් ද?"  මෝල් හිමියා ඇහුවා.

නමුත් බිරිඳ ඔහු අස්වැසුවා. “කමක් නෑ. ඔයා ගිහින් පරිස්සමට ආපහු එනකම් අපි මෙහෙ ඉන්නම්.“

පීටර් දුකෙන් පිටවෙලා ගියා. 

“තාත්තා... අපිව දාල යන්න එපා.“ පුතා කෑ ගැහුවා.

තාත්තා...! යන්ඩ එපා!

“ටොම්...“ මෝල් හිමියා තමන්ගෙ සේවකයාට කතා කළා. “මේ ගැහැණියට කරන්න වැඩ බාර දෙන්න.“

“පීටර්... තමුසෙට බූරුවෙක් එහෙම හම්බුණොත් මට ගේනවා. මං මගෙ මෝලෙ වැඩට බූරුවෙක් හොයනවා.“ මෝල් හිමියා ඈත යමින් හිටපු පීටර්ට කීවා.

*    *    *

ඈතින් බර වීදුරු පොදියක් උස්සගත්ත මනුස්සයෙක් එනවා, කඳුකර සුරංගනාවි දැක්කා. ඇයට විනෝද වෙන්න කාව හරි ලැබෙන්නෙ බොහොම කලාතුරකින්. ඉතින් එයා හිතා ගත්තා ඔහුට විහිළුවක් කරන්න. ඇය විශාල ගසක් විදිහට වෙස් මාරු කරගත්තා.

පීටර්ට වීදුරු ටික උස්සගෙන කැලේ මැදින් ගොඩක් දුර ඇවිත්, හොඳට ම මහන්සියි. ගිමන් හරින්න හොඳ සෙවණක් තියෙන විශාල ගසක් දුටුවෙ ඒ අතරෙ දියි. ඔහු වීදුරු ටික ගසට හේත්තු කරලා, බිම වාඩිවෙලා ගසට හේත්තු වුණා. දන්නෙ ම නැතුව ඔහුට නින්ද ගියා.

අයි ඈම් ගෲට් (ලු)

පීටර් ට නින්ද ගිය බව දුටු ගස, හිනා වුණා. “මං ඔහු හොඳට ම පුදුම කරන්නම්...“ කියපු ගස, අතු දෙකකින් ඔහුගෙ ඔලුවට තට්ටු කරලා, අතුරුදහන් වුණා. පීටර් බිම වැටුණා. විශාල හඬක් නගමින් වීදුරු ටික බිම වැටිලා බිඳුනා.

දැන් මොකද කරන්නේ? වීදුරු ටික කෑලි කෑලි වලට බිඳිලා. දැන් කොහොම ද, වීදුරු වැඩ නිම කරලා, සල්ලි හොයා ගන්නේ? දරුවයි බිරිඳයි නපුරු මෝල් හිමියාගෙන් බේර ගන්නේ, දරුවගේ ඇස් සනීප කරගන්නේ, මේ මොනවත් කර ගන්නේ කොහොම ද?

මේ ගැන හිතද්දි පීටර්ට දැනුණේ පුදුමාකාර දුකක්. ඔහු විලාප තියමින් අඬන්න පටන් ගත්තා.

කඳුකර සුරංගනාවිට පුදුමයි. ඇයි මේ මිනිහා බිඳිච්ච වීදුරුවක් ගැන මේ තරම් අඬන්නේ? “ඒ ඇයි කියලා මං හොයා ගන්න ඕනෙ.“ එහෙම හිතපු සුරඟන, සංචාරකයෙක් විදිහට වෙස් මාරු කරගත්තා.

“මොක ද ඔයාට වුණේ? ඇයි ඔයා අඬන්නේ?“ සංචාරකයා පීටර් ළඟට ඇවිත් ඇහුවා.


“ඔයා කවුද මහත්තෙය? මම මේ අඬන්නෙ, මේ වීදුරු ටික බිඳුනු නිසා. මේ වීදුරු ටික එහා ගමේ ගෙදරකට සවි කරන්න මම අරං ගියෙ. ඒ වැඩෙන් මට ගොඩක් මුදල් ලැබෙනවා. මගෙ පුතාගෙ ඇස් පේන්නෙත් නෑ. ඒ මුදල් වලින් මගෙ දරුවගෙ ඇස් සනීප කරගන්නත්, මෝල් හිමියාට තියෙන ණය ගෙවන්නත් තිබුණා.“

“ඉතින් අඬන්නෙ? තව වීදුරුවක් ගන්න පුළුවන්නෙ.“

“මම හරි දුප්පත්. මේ වීදුරු ටිකත් ගත්තෙ, මෝල් හිමියගෙන් ණයට සල්ලි අරගෙන. ඒ සල්ලි ආපිට ගෙවනකං එයා මගෙ බිරිඳයි දරුවයි එයා ළඟ තියා ගත්තා. මෝල් හිමියා හරිම නපුරුයි, කපටියි.“

“අඬන්න එපා දැන්. මං ඔයාට උදවු කරන්නම්.“

“ඔයා කොහොම ද මට උදවු කරන්නෙ? “

“ඔයා දන්නෑනෙ මම කවුද කියලා. ඔන්න බලා ගන්න.“

එහෙම කියපු සංචාරකයා, එක්වරම කඳුකර සුරංගනාවි බවට පත් වුණා.

“මම ඔයාට උදවු කරන්නම්, ඔය කපටි මෝල් හිමියට හොඳ පාඩමක් උගන්නන්න. මම බූරුවෙක් විදිහට වෙස් මාරු කරගන්නම්. ඔයා ගිහින් බූරුවා මෝල් හිමියාට විකුණලා, ණයත් බේරගෙන, දරු පවුලත් නිදහස් කරගන්න.“

පීටර් එකඟ වුණා.

*    *    *

පීටර් බොහෙම කඩවසම් බූරුවෙකුත් අරගෙන මෝල් හිමියා ගේ ගෙදර ආවා. බූරුවා දැකපු මසුරා බොහොම සතුටු වුණා. නමුත් ඒ බව පිටතට නොපෙන්වන්න මෝල් හිමියා පරිස්සම් වුණා.

“කොහෙන් ද පීටර් මේ බූරුවා?“

“මේ බූරුවා මගෙ සීයගෙත් සීයගේ...“ පීටර් කීවා. “මම එහා ගමට යද්දි එයා මට මුණ ගැහිලා මේ බූරුවා දුන්නෙ. ඩොලර් දෙ දාහකට දෙන්නම් සර්.“

“ඩොලර් දෙ දාහක් හොඳට ම වැඩියි. මූ මහ කම්මැලි පෙනුමයි. ඒ මදිවට කකුලකුත් කොරයි...“ කියනකොට ම බූරුවා මෝල් හිමියගෙ කකුලට පයින් ගහලා, දුවන්න තියා ගත්තා.

“ඔය බූරුවව අල්ලපන්“ කකුල අල්ලගෙන උඩපනිමින් මෝල් හිමියා කෑගැහුවා. 

කකුල කකුල කකුල ආ...!

ටොම් බූරුවා පස්සෙන් දුවන්න ගත්තා. කොයිතරම් වේගයෙන් දිව්වත් ටොම්ට බූරුවා අල්ලගන්න බැරි වුණා. ටොම් අන්තිමේ බිම වැටුණා.

“ඔය බූරුව අල්ලපන්, මං ඩොලර් දාහක් දෙන්නම්.“ මසුරා පීටර්ට කිව්වා. 

“සර් කිව්ව නේ ද, බූරුවා කම්මැලියි, කොර ගහනවයි කියලා. මට දාහක් මදි.“

“හරි හරි, මං එක්දාස් පන්සීයක් දෙන්නං. බූරුව අල්ලල දෙන්න“

පීටර් වැඩේට බැස්සා. “ඔයාගෙ දාසයන්ටත් එන්න කියන්න.“

“මේ බූරුව අල්ලන්න වරෙල්ලා...“ මෝල් හිමියා දාසයන්ට කෑගැහුවා.

“අපිට වැඩියෙන් පඩි ගෙවනව නම් අපි බූරුවා අල්ලන්නම්.“ දාසයොත් එක හඬින් කියා හිටියා.

“හරි හරි. මං පඩි ගෙවන්නම්. බූරුවා අල්ලලා දීපල්ලා.“ මසුරා එකඟ වුණා.

ඒ ගමන ඒ සියලු දෙනාම එකතු වෙලා බූරුවා පස්සෙන් එලවලා, අල්ලා ගත්තා. 


“ටොම්, මේ අයගෙ පඩි ගෙවපන්.“ මෝල් හිමියා මුදල් පසුම්බිය ටොම්ට දුන්නා. පීටර්ටත් ඉල්ලපු ගාණ ලැබුණා. බිරිඳටත් පුතාටත් පීටර් දකින්න ලැබීම ලොකු සතුටක් වුණා. 

ඔහු ආපසු යන්න කලින්, බිරිඳත් පුතාත් බූරුවා ළඟට එක්ක ඇවිත් රහසක් කිව්වා. ඒ තුන් දෙනාම බූරුවාට ආදරෙන් සමු දීලා ගෙදර ගියා.

ටැංකිව් ඩොංකී

මෝල් හිමියාටත් හරි ම සතුටුයි. “ඩොලර් දෙදාස් පන්සීයක් විතර වටින, බොහොම ශක්තිමත් බූරුවෙක් මට බොහොම අඩු ගාණකට ගන්න ලැබුණා. ටොම්, මූට පිදුරු ටිකක් දීහං.“

ටොම් පිදුරු ගේන්න ගියා. 

“පිදුරු? කවු ද පිදුරු කන්නෙ?“ බූරුවා කිව්වා. “රෝස්ට් කරපු හරි තම්බපු හරි ටර්නිප් අලයක් නම් මං ආසයි.“ එහෙම කියලා, බූරුවා අතුරුදන් වුණා.

පිදුරු අරං ආපු ටොම්, බූරුවා හැම තැනම හෙව්වා. අන්තිමේ ඔහු ගිහින් මසුරාට කිව්වා බූරුවා නැති බව. 

“අයියෝ! මගෙ සල්ලී...“ මසුරාට කියවුණා.

අයියෝ සල්ලී!

(ඉහත දැක්වුණේ මධ්‍යම පළාත් පාසල් අතර ඉංග්‍රීසි මාධ්‍ය වේදිකා නාට්‍ය තරගයෙන් දෙවෙනි ස්ථානය ගත් අපේ හුටංබරස් සහ යාළුවන් රංගනයෙන් දායක වුණු වේදිකා නාට්‍යයේ කතාව යි.)

කතාව සහ තිර පිටපත: මේරි ටීචර්
පුහුණු කිරීම සහ සම්බන්ධීකරණය: සශිකලා ටීචර් සහ පවිත්‍රා ටීචර්

රංගනයෙන් දායක වුණේ:

කඳුකර සුරඟන - ආන්‍යා
පීටර් - අභීත
මෝල් හිමියා - ගනිඳු
ටොම් - මැක්
පීටර් ගේ බිරිඳ - තීෂ්‍යා
පීටර් ගේ පුතා - විබෝධ
සංචාරකයා - ලියම්
ගස සහ බූරුවාගේ පිටුපස - සවිදු (හුටංබරස්)
බූරුවාගේ ඉදිරිපස - ශෙනෝන්
වෙළෙන්දෝ - දිස්ම, තුක්ෂතා, සශ්විකා


වමේ සිට - ශෙනෝන්, සවිදු, ලියම්, ගනිඳු, ආන්‍යා, අභීත, විබෝධ, තීෂ්‍යා, දිස්ම, තුක්ෂතා, සශ්විකා, මෑක්


Friday, October 18, 2024

විරෝධාකල්ප ගී

පවතින සමාජ ක්‍රමයේ හෝ පාලන තන්ත්‍රයේ ඇත්ත ස්වරූපය දකින්නත් යම් කිසි ලැබීමක් තිබෙන්න ඕනේ කියා සිතෙනවා. බහුතරයක් මනුෂ්‍යයන්ට තමන් සමාජක්‍රමය විසින් හැඩගස්වා තිබෙන තරමේ හැටියට, ඒක තුළ තිබෙන දැති රෝද කරකැවෙන බලවේගයන් සහ අරමුණු පේන්නෙ නැතුව යනවා. ඒ වගේ ම තමන් අයිති සමාජය තමයි ලෝකෙන් ම උතුම් ම ක්‍රමය කියන ස්වෝත්තමවාදී අදහසත් ළමා කාලයේ සිට ම ගිල්ලවන බවකුත් පේන්න තියෙනවා.

නමුත් තමන් අයත් සමාජයේ සහ පාලන තන්ත්‍රයේ අප්සට් බව හෙවත්, අර්බුධයට යාම දකින සුළු ප්‍රතිශතය, තමන් දකින දේ අනික් අයට පැහැදිලි කර දීම තම යුතුකම ලෙස සළකමින්, යම් යම් ආකාරවලින් තම සහෝදර ජනතාව දැනුවත් කරන්න උත්සාහ කරනවා. ඒ අය පළ කරන අදහස් විප්ලවීය අදහස් විදිහට පේන්නෙ, පවතින සමාජක්‍රමය විවේචනය කිරීම සහ එහි අර්බුධය විග්‍රහ කිරීමත්, වඩා යහපත් සමාජ ක්‍රමයක් මේ ආකාරයේ විය යුතු යැයි ඇදහීමත් නිසා. කලින් කලට මතුවන එවැනි උදවිය සමාජයට මතක හිටින යමක් ප්‍රකාශ කරලා, සමාජය යම් තරමකින් වෙනස් කරලා තිබෙන බවත් පේනවා. බුදුන්, සොක්‍රටීස්, ජේසු, කොන්ෆියුසියස් ආදී පුද්ගලයන් මේ විදිහේ විප්ලවකාරීන් හැටියට හඳුනාගන්න පුළුවන්.


මෙවැනි ප්‍රකාශන සංගීත ශිල්පීන් සහ පද්‍ය රචකයන් අතින් කෙරෙනකොට, වඩා තහවුරු ලෙස සමාජය ඇතුළට ඒ අදහස් කාවද්දන්න හැකියාවක් ලැබෙනවා. වික්ටර් හාරා, බොබ් මාලේ වැනි ජාත්‍යන්තර සංගීත ශිල්පීන් වගේ ම ලංකාව තුළත් එවැනි ම කර්ත්‍රව්‍යයක් සිදු කළ කලා කරුවන් අපට දකින්න පුළුවන්. 

මේ මම ඉහතින් සඳහන් කරපු, සමාජ තන්ත්‍රයට අනුගත වීමෙන් මස්තිෂ්ක නිර්වින්දනය වීමේ අර්බුධය ගැන තැනුණු එක් නිර්මාණයක්.


ඈත ඉඳන් කණකොකා හඩනවා
අපට ඇහෙන්නේ නෑ
දෝංකාර දී කැසට් පටයකින්
ගී හඬ පැතිරෙනවා
කිට්ටු වෙවී කණ කොකා හඬනවා
අපට ඇහෙන්නේ නෑ
නිලංකාර වී දෑසම 
විතකින් රහමෙර උතුරනවා

බැලූ බැලූ තැන උත්සවයක සිරි
විලාසිතාවන් ඇස පිණවනවා
තිරේ පිටුපසින් නූල් ඇදෙද්දී
රූකඩ සෙල්ලම ජයට නටනවා
උස්සාපන් අත - අපි උස්සනවා
ගහපන් කරණම් - අපිත් ගහනවා
ඇඳිවත නොදැනි ම ගිළිහී ගිය දෙන්
ගහන පදේකට අපිත් නටනවා

ඈත ඉඳන් කණකොකා හඩනවා
අපට ඇහෙන්නේ නෑ
දෝංකාර දී කැසට් පටයකින්
ගී හඬ පැතිරෙනවා
කිට්ටු වෙවී කණ කොකා හඬනවා
අපට ඇහෙන්නේ නෑ
නිලංකාර වී දෑසම 
විතකින් රහමෙර උතුරනවා

සිංදු ඇහෙනවා පිරිත් ඇහෙනවා
වෙලාවකට මේ දෙක පැටළෙනවා
බුද්ධාලම්බන ප්‍රීතිය උතුරා
සාදු කිය කියා අපිත් නටනවා
බෝ මළුවේ බයිලා ලෙලදෙනවා
බාර් එකේ මුණි වදන් ඇහෙනවා
පුවත් නොදැන අපි බමන මතින්
වග වළසුන් කොටි සමග නටනවා

ඈත ඉඳන් කණකොකා හඩනවා
අපට ඇහෙන්නේ නෑ
දෝංකාර දී කැසට් පටයකින්
ගී හඬ පැතිරෙනවා
කිට්ටු වෙවී කණ කොකා හඬනවා
අපට ඇහෙන්නේ නෑ
නිලංකාර වී දෑසම 
විතකින් රහමෙර උතුරනවා

පද රචනය - උපාලි අත්තනායක

සංගීතය - රංජිත් යාපා ද අල්විස්

ජවිපෙ විසින් නිර්මාණය කෙරුණු විමුක්ති ගී මට දැනෙන හැටියට ලංකාවේ බිහි කෙරුණු පළමු නූතන විරෝධාකල්ප ගී. ඊට පෙර වෙල්ලස්සේ කැරැල්ල ආශ්‍රිතව තැනුණු කවි ගැනත් මතක් කිරීම වටී...


අපේ රටේ භීෂණ සමය එක්ක විරෝධාකල්ප ගී රැල්ලක් ද නිර්මාණය වුණා. එයින් ප්‍රකට ම වුණේ නන්දා මාලනීගේ පවන සහ කපුගේ ගේ කම්පන. මේ මට දැනුණු හොඳ ම නිර්මාණයක්, නන්දා සහ සුනිල් ආරියරත්න සංයෝගයෙන් තැනුණු...


මියෙන්න පුතුනේ මියෙන්න වධ විඳ...
හෙලන්න පුතුනේ හෙලන්න ලේ කඳ...
කකියන දඬු කුරුසේ...
වාවා ගන්නම් මගෙ හද ඉකිබිඳ
මිරිකා කඳුළු ඇසේ...

“ඔවුන් මගේ පුත්‍රයාට කටු ඔටුනු පලන්දා
කස පහර දී මුහුණට කෙළ ගසා
කුරුස ගසේ තබා ඇණගසලා…”

ගලවා සළුපිලි අධර්මයේ 
ගලවා අභරණ අයුක්තියේ ..
පෙන්වූයේ පුත නුඹමයැ නිරුවත
පාලක ඝාතක ජඩයන්ගේ...
පාහර පූජක ගවයන්ගේ...

“ඔහු කළ මහා පාප කර්මය එයයි..
අධර්මයේ නිරුවත අයුක්තියේ නිරුවත
පෙන්වා දීමයි..”

ඉපදී පොඩි ගව මඩුවේ 
හැදී වැඩී වඩු මඩුවේ…
මාළිග මන්දිර මණ්ඩප පුපුරා නැගූ කෙසර හඬ
අයෝමයයි පුතුනේ...
අභීත මැයි පුතුනේ...

“මං දුක් වෙන්නේ නැහැ පුතේ නුඹ ගැන...”

සෙබළුනි මන්ද විරාමය හෙල්ලට
අනිව් අනිව් මගෙ පුතුගේ ඇලයට
සෙළවෙන්නේ පුතු සිරුරේ ලේ පමණයි...
සැඟවෙන්නේ මා පුතු පණ නළ පමණයි...

“කිසා ගෝතමිය සිද්ධාර්ථට කියූ
නිබ්බුත පදමැයි පුතේ මේ අහිංසක මරියා
කුරුස ගහ යට අඬ අඬා කියන්නේ...”
නිබ්බුතා නූන සා මාතා...
නිබ්බුතා නූන සෝ පිතා...
නිබ්බුතා නූන සා නාරී..
යස්සායං ඊදිසෝ පතී...

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.

සංගීතය - ස්ටැන්ලි පීරිස්.


මේ මා කැමති ම තවත් ගීයක්...


දඟගෙයි දඬුවම්‌ සියුමැලි වැඩිනම්‌
අළුගෝසුවනේ එල්ලාපන්‌..
අළුගෝසුවනේ එල්ලාපන්‌
කටු ඉඹුලේ අප එල්ලාපන්‌

යුක්තිය උදෙසා.. කෑමොර දීමයි
යුත්තිය උදෙසා කෑමොර දීමයි
දඟගෙයි ලෑමට අප සැම කළ පව
මුකවාඩම්‌ බැඳ  එකෙකු නසන කල
දනිවු සුවහසක්‌ තව උපදින බව

වරදට එරෙහිව.. අවි ඔසවන්නේ
වරදට එරෙහිව අවි ඔසවන්නේ
රටකට දැයකට හිත ඇති මිනිසුන්‌
ශාන්තිවාදී තපස්‌ රකින්නේ
පිට කොඳු බිඳ ගත්‌ ඔල මොල නිවටුන්‌

දඟගෙයි දඬුවම්‌ සියුමැලි වැඩිනම්‌
අළුගෝසුවනේ එල්ලාපන්‌..
අළුගෝසුවනේ එල්ලාපන්‌..
කටු ඉඹුලේ අප එල්ලාපන්‌..

ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය: ගුණදාස කපුගේ

ගායනය - විජය කුමාරණතුංග

රටට වෙලා තියෙන දේ ගැන මහාචාර්ය සුනිල් ආරියරත්න රචනා කළ මේ ගීයත්, නන්දා මාලනියගේ පවන ඇල්බම් එකෙන්...


අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ...
ලේකිරි දුන් උන් ලේත් උරාබී ලේ කළඳක් වත් නෑ දෙතනේ...
දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොරදෙටුවෝ...
දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ...

උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත්...
මගෙ රජදරුවන් මගෙ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත්...
තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනෑ කමක් නැතී...
ගේ දොර කණ කර උකසට තියලා වළඳත් විකුණා ගෙන බුදිතී...

උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙතී...
මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන්  මරතී...
අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනී...
මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේසොර මුළුවෙන් මා ගළවනු මැනවී…

පද රචනය :- මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය:-  ස්ටැන්ලි පීරිස්

ඒ වාගේ ම විය යුතු දේ ගැන, ජයතිලක බණ්ඩාරයන්ගේ මේ ගීයත් අමතක කරන්ඩ ම බැරි නිර්මාණයක්... 

ජනතාවට අන්තිමේ දි ජය අත් වෙනවා.


ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා
මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා

මොහොමඩ් එර්ෂාඩ් කලක් බංග්ලාදේශේ
මහ ලොකු ජාතියෙන් නේද කෙරුවේ වාසේ
අන් අයගෙන කුලියට ලියවාගෙන ගැදි පැදි
චින්තන උල්පතක් වාගෙ පෙනුණා කලකදි
ගහගෙන තම කයිවාරුව තම පුර වරුණේ
යුග පුරුෂය පහල වුණා කියලය පෙනුණේ‍
ධර්මය රැක ගන්න පහළ වුණු ලෙස පෙන්නා‍
මර්දනයෙන් බොරුවෙන් රජ කරගෙන උන්නා
එක්සත්වී මහජන බලවේගය නැග්ගා‍
තක්කඩි ඒ පාලකයා හිරගෙයි ලැග්ගා

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා
මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා

කලක් සියා උල්හක් නැග බලස්ථානෙට
සයිස් දමාගෙන හිටියා පකිස්ථානෙට
මිනීමරු පාලන ගඳ පිහිටුවා වටපිටේ
තනි මතයට රජ කරගෙන  හිටියෙ ඒ රටේ
එක් දවසක් හක් අහසට නැගල යනකොට
ඩොග් ගෑවා කෑලි තමයි වැටුණෙ පොළවට

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා
මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා

ෂා කෑවේ ඉරානයම එයාගෙ වාගේ
සාර්ථකද කටයුතු අන්තිමට එයාගේ
ඉරාන ජන මතය නැගුණි ගම්බිම් පාසා
පරාණ කූඩුව අරගෙන පැන දිවූවා ෂා

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා
මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා

ඉඩි අමින්ගෙ හැඩි දැඩි පාලනය කොහොමද
දැඩි මහජන මතය හමුවෙ කෙළින් හිටියද

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා
මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා

මාකොස් පීලිපීනයෙ බලවතා හැටියට
පෑ පිස්සුව ඇල්ලුවෙ නෑ එරට වැසියට
පෙන්නාගෙන බොරු සාධාරණය තමුන්නේ
ඡන්ද මගඩි වලිනුයි ඔහු බලයෙහි උන්නේ
තම රූපය මහජනයා හමුවෙ ඇටෙව්වා
සමනල ගල වැනි මහ උස ගලක කෙටෙව්වා
අරන් මහා ජන මුදලින් විදුලි බල එලී
තොරන් බැදන් රට පුරාම කෙළියෙ සැණකෙළී
ගඳ ගහද්දි මාකොස්ගේ මිනීමරුකම
ළඳ සෝබන මොඩ් බඩුවක් වුණා රටටම
ජනමතයක් මුලු පිලිපීනයේ මතුවුණා
හොනලොලුවට යන්නට මාකොස්ට සිදුවුණා‍

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා
මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා

මාකොස්ටත් පිලිපීනෙන් යන්න සිදුවුණේ
මේ බොස්ටත් ඒ පාඩම ගන්න බැරි වුණේ
සෙනේවන්තයෝම රටේ බලයට එත්වා
අනේ වනේ වන හතුරොත් ජීවත්වෙත්වා

ගීත රචනය: සිරිලාල් කොඩිකාර

සංගිතය : විශාරද ගුණදාස කපුගේ

*    *    *

විරෝධාකල්ප ගී ගැන අපේ සහෘදයෙකු වන දයානන්ද රත්නායකයන්ගේ සටහන මෙතැනින්...

Sunday, September 8, 2024

ඡන්ද ආශ්‍රිත විහිලු කතා


මේ දවස්වල ඡන්ද උණුසුමත් එක්ක වෙන මොනවත් ලියන්න බැරි තත්ත්වයක් තිබේ. ඒත් අපට දේශපාලන මතවාද ගැන ප්‍රසිද්ධියේ අදහස් පළ කරන්න තහනම් නිසා, සීමාව තුළ ඉඳගෙන ලියන්න හැකියාව ඇත්තේ, පොඩි පොඩි කතා ටිකක් විතරකි. එයින් මුලින් ම මට මතක් වෙන්නේ අසූ ගණංවල මුල භාගයේ තිබුණු ලංකාවේ පළවෙනි ජනාධිපතිවරණයයි. ඒ 1982 දී ය. මට මතක එක ම සිදුවීම නම්, අපේ නාන ළිඳ ළඟ දී අපේ මහප්පා, (උග්‍ර යූඇන්පී කාරයෙකි...) "කොබ්බෑකඩුවගෙ ඡන්දෙත් හොරට දාලලු නේ?" යි හිනා වෙමින් කියූ හැටි ය.

මට මතක ඇති කාලයක ඉඳං අපේ තාත්තා මුල් කොටගෙන අපේ මුළු පවුල ම, පවතින ආණ්ඩුවට විරුද්ධ පැත්තේ ය. මට මතක මුල් ම කාලයේ, අපි ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව පිළිකුල් කළෙමු. අම්මා කියන හැටියට, ඊට කලින් පැවති මැතිණිගෙ ආණ්ඩුව ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණු අපේ තාත්තා, ජේ ආර් විසින් ආර්ථිකය විවෘත කළාට පසු, "අපේ ඡන්දෙන් තොපිත් කාපියව්" යි කඩමණ්ඩියේ දී මහ හඬින් කියා තිබුණි.

1989 තිබූ ජනාධිපතිවරණයේ දී යූඇන්පී ආණ්ඩුවට එරෙහි ව ඡන්දය ප්‍රකාශකිරීමට අවස්ථාව ලැබීමෙන් උද්දාමයට පත් වූ අපේ ගමේ ශ්‍රී ලංකා කාරයන් ඡන්දය දා හවස ගමේ මහ පාර දිගේ පෙළපාලියක් ද ගියෝ ය.

1994 දී බහුතරයගේ ආශීර්වාදයෙන් පළාත් සභා මැතිවරණය සහ පාර්ලිමේන්තු මහ මැතිවරණය දිනමින් ඉතා වේගවත් ගමනක් ගිය චන්ද්‍රිකා මැතිණිය, වූවත් අපේ පවුලේ අප්‍රසාදයට ලක් වීමට වැඩි කාලයක් ගත වුණේ නැත.

ලංකාවේ මා දන්නා දේශපාලනික ඉතිහාසය ඔය විදිහ ය. එතනින් ඉදිරියට යමක් කීමට මගේ වෘත්තීමය සීමාවන් අනුව මේ අවස්ථාවේ දී බැරි ය. පහතින් මා ලියන්නේ මාතෘකාවේ හැටියට ම මා අසා ඇති ඡන්ද හා දේශපාලනය පසුබිම් කරගත් කතා ටිකකි...


පළවෙනි කතාව මම ඇහුවේ අරේ සහ මරේ නම් සීයලාගේ රේඩියෝ වැඩසටහනෙනි.

කොල්ලෙක් බයිසිකලෙන් ඇවිත් බැහැලා, දේශපාලන පක්ෂ මැතිවරණ කාර්යාලයක් ළඟ. ඇහුවලු, 

"චණ්ඩි ඉන්නව ද?" කියලා.

ඇහැට ඇඟිල්ලෙන් අණින ‌තුරු බලාගෙන හිටියා වගේ, දහ දෙනෙක් විතර එළියට පැනලා, අර කොල්ලට වැලේ වැල් නැතිව යන්ඩ තඩි බෑවලු.

පැයක් විතර උඩ දාගෙන ගහලා ගහලා, අන්ති‍මේ කට්ටිය හති දාන්ඩ ගත්තට පස්සෙ අර කොල්ල කිව්වලු, 

"අනේ අයියෙ... මේ ගෙදර උන්නා චන්දි කියල ගෑල්ලමයෙක්. මං මේ එයා ඉන්නව ද කියල ඇහුවෙ." කියලා.

ඒක කිව්වම සමාන කතාවක් මතක් වුණා...

දවසක් පිස්සංකොටුවෙ හිටපු සුපුං කියල එකෙක් තාප්පෙන් පැනලා ගමට ගිහිං ගමේ එකෙකුට ගහල ආපහු ඇවිත්.

පහුවදා, ගමේ ම ඉන්න කොල්ලො සෙට් එක ආවලු පිස්සං කොටුවට. ඇවිත් සුපුං ව හොයනවලු. අන්තිමේ  "මං තමයි සුපුං" කියල එකෙක් පිළිගත්තලු. ඉතිං අර කොල්ලො සෙට් එක අරූට වඩාගෙන ගැහුවලු කුඩු සම්බෝල වෙන්ඩ. ගහල ගහල අරුං සෙට් එක යන්ඩ යනකොට, ගුටිකාපු එකා කියනවලු...

"අඩෝ! හූ! මං සුපුං නෙමෙයි, ප්‍රසක්ඥ" කියල.

අඹගෙඩියක් වගේ රටක ජනාධිපති කෙනෙක් වරක් ඔස්ට්‍රියාවට සංචාරයක් ගියා. එහෙ එයා‌පෝට් එකේ දි එයාව පිළිගත්තෙ ඔස්ට්‍රියාවෙ අගමැති. ඉතිං අඹගෙඩි ජනාධිපති එයාගෙ කස්ටිය අඳුන්වලා දුන්නා, 

"මේ අපේ ආර්ථික සංවර්ධන ඇමති, අධ්‍යාපන ඇමති, විද්‍යා හා තාක්ෂණ ඇමති, නීතිය හා සාමය පිළිබඳ ඇමති..."

ඉතිං ඔස්ට්‍රියාවෙ අගමැතිත් එයා එක්ක හිටපු පිරිස අඳුන්වලා දුන්නා...

"මේ අපේ ආර්ථික කටයුතු ඇමති, අධ්‍යාපන ඇමති, අධිකරණ ඇමති, වරාය සහ නාවුක කටයුතු ඇමති."

ඒක කියනකොට අර අඹ රටේ ජනාධිපතිට හිනා. ඔස්ට්‍රියාවෙ අගමැති ඇහුව ඇයි හිනා වෙන්නෙ කියලා.

"බොලාට මුහුදු තීරයක් තියෙනවයැ? හතර වටින් ම ගොඩබිමින් වට වෙච්ච රටක්නෙ ඔස්ට්‍රියාව. ඉතිං වරාය හා නාවුක කටයුතු ඇමති කියල කිව්වම මට හිනා ගියා." අඹ ජනාධිපති කිව්වා. ඒ ගමන ඔස්ට්‍රියාවෙ අගමැති අප්සට් එකේ අහනව...

"ඉතිං මම හිනා වුණායැ ඔයාලගෙ අධ්‍යාපන ඇමති, ආර්ථික සංවර්ධන ඇමති, නීතිය හා සාමය පිළිබඳ ඇමති, විද්‍යා හා තාක්ෂණ ඇමති කියල කියනකොට? හරි නං මං හතර ගුණයක් හිනා වෙන්ඩ එපැයි..."

ඔය අඹගෙඩි රටේ ජනාධිපති කෙනෙක් වරක් ඊශ්‍රායෙල් ගිහිං, එහෙ දි මළා. ඊශ්‍රායෙල් රජයෙන් ඇහුවා, අපි මෙතුම ව මෙහෙ මිහිදන් කරන්නං කියලා. නමුත් අඹ රටේ කට්ටිය ඒකට කැමති වුණේ නෑ. ඒකට හේතුව හැටියට කිව්වෙ,

"එක සැරයක් ඔයාලගෙ රටේ කුරුසෙට තියල ඇණ ගහල මරපු කෙනෙක්, වළලලා, දවස් තුනකින් ආපහු නැගිට්ටා. අපට බෑ ඒ වගේ රිස්ක් එකක් ගන්න. ඒ නිසා අපි මෙතුමගෙ මෘත දේහය ගෙනිහිං අපේ රටට, රාජ්‍ය ගෞරව ඇතුව ආදාහණය කරනව."

දවසක් අඹගෙඩිය වගේ රටේ මනුස්සයෙක්, "බලු ආණ්ඩුව" කියල බැණල... එදා රෑම ඌව උස්සලා ගෙනිහිං ප්‍රශ්න කළාලු, නිල නොලත් පොලිසිය විසින්...

එතන දි අරූ කිව්වලු, "මං බලු ආණ්ඩුව කිව්වෙ මේ රටේ ආණ්ඩුව ගැන නෙමෙයි, වෙන රටක ආණ්ඩුවක් ගැන" කියල. 

ඒ වුණාට නිල නොලත් පොලිස් කාරයන්ගෙ නායකය, රැවටුනේ නෑලු.

"තෝ කෙහෙ ද බොල මාව තම්බන්නෙ?" පොර ඇහුවලු කේන්තියෙන්... "වෙන කොයි රටේ ද බොල බලු ආණ්ඩුවක් තියෙන්නෙ?"

ඒ කිව්ව ම තව කතාවක් මතක් වුණා. 

දවසක් හිටපු ජනාධිපති කෙනෙක්ට "පිස්සා" කියල. (ඔව්. අර අඹගෙඩි රටේ තමයි) ඒ මනුස්සයට විරුද්ධව නඩුවක් විභාග කළා ලු. අන්තිමේ නඩු කාරය තීන්දුව ප්‍රකාශ කරද්දි කිව්වලු, "යුෂ්මතාට විරුද්ධව තියෙන චෝදනා දෙක ම ඔප්පු වුණා. එකක් තමයි රටේ ජනාධිපති ට අපහාස කිරීම. අනික තමයි, රටේ වැදගත් රාජ්‍ය රහසක් ප්‍රසිද්ධියේ හෙළි කිරීම." කියලා

තව කතාවක් කියන්ඩ ද? එපා? හා එහෙනං යන්නං. කියවලා කමෙන්ටුවක් දානවනං, වෙරි නයිස්...!

Wednesday, September 4, 2024

මී හරක් සංදේශය



සැරද මී හරකා කළු කුමරාට සුමිතුරු
පෙර සමතෙක් තරඟෙට රජුට කවි බැඳ
ලැබිය ගමක් නුඹ සන්දා මිතුරු සඳ
එකවිය කීම ම සෑහේ නුඹ වැනීමට

කර ගල ගගා එනවා මම් නොදනිම් ද
කර ගල ගගා එනවා මම් නොදනිම් ද
කර ගල ගගා එනවා මම් නොදනිම් ද
කර ගල ගගා එනවා මම් නොදනිම් ද

මෙප මණ වැණුම් ලද සුමිතුරු මීහර    ක
කොප මණ මෙදින නෑවද නුඹ මඩවල    ක
තොප එන අතරමග ආවෙද නොවී දු    ක
සැප තකි ඉන්ට ඇත්නම් මෙ නුඹ දැක දැ    ක

නොමදින් තද දුකට පත් වී සිටින ම    ට
වෙන අන් කෙනෙකුගෙන් නොලැබේ ම ය පිහි    ට
එබැවින් ලොවට වැඩ වන පණිවිඩයක     
සැරසෙන් අළුත් නුවරට අද යන ලෙස     ට

දනවත් දන හොඳට කාබී සැප ලෙසි    
සිටිතත් මෙරට නොතකති අප දුගී ද    න
එහෙමත් සිටින උන් හට දැන් පත් මගි    න
පසසත් උතුමන් ය කියමින් යුතු සුගු    න

තමන් ගේ පාඩුවේ සැප විඳින ද    න
උතුම් බවට පැමිණෙන්නේ කොයි ලෙසි    න
මෙවන් කරුණු දැන දැන කුහක ගතියෙ    න
ඔවුන් හට කරති පැසසුම් අමන ද    න

එබැවින් මිතුරු මී හරකෝ ගුණ නැණැ     ති
තගොසින් අළුත් නුවරට විගස නො නැව    ති
දකිමින් කළු කුමරු නම් යක්ෂ සෙන්ප    ති
පවසන් මේ අවනඩුව මුළු ලොවට වැඩ වෙ    ති

ඉතින් නුඹ කොළඹ මරදානෙන් ගොසි    නි
දකින් කැළණිය ද පෑලියගොඩ හොඳි    නි
එයින් පසු ව හුණුපිටිය ද රාගමි    නි
හොරෙන් හොරෙන් යව මඩ වගුරු අතරෙ    නි

ගනේමුල්ල හෙනරත්ගොඩ බෙම්මු    ල්
පත්තල ගෙදර වේයන්ගොඩ සිරි දු    ල්ල
පල්ලේවෙල මීරිගම පොල් තුරු නි    ල්ල
පසු කර අඹේපුස්සට යව නොව මැ    ල්ල

අලව්වේ වලව්වල නොම නැවතී    ලා
වලකුඹුරේ කුඹුරකට බැස දිය බී    ලා
පොල්ගහවෙල රඹුක්කන ගම් පසුකර    ලා
කඩුගන්නාවෙ කන්දට නගිනු සැරසී    ලා

බලනේ විලස සිහලුන් දක්වා පො    රණ
බලනේ පරංගින් වැනසුව පැමිණි    රණ
බලනේ කන්ද නැග සුමිතුරු නොව උ    රණ
බලනේ නම් යෙහෙකි ඒ ලේ වැකි දෙ    රණ

එතනින් ගොසින් අනතුරු නොව කඳු උඩි    නි
පලයන් අළුත් නුවරට ගරු සරු සිති    නි
පසෙකින් දැඩිමුණ්ඩ දෙවියන් සිට බැති    නි
නමදින් සතර ගාතෙන් බිම පෙරලෙමි    නි

පුරා තන පටන් සිරිලක රැක ග    ත්තු
විරා ජිත පවර එසුරිඳු සිරිම    ත්තු
සුරා වනසන්ට වීරිය පෙර ග    ත්තු
හැරා සිටිනු කිම දැයි විමසිය යු    ත්තු

අළු කර තෙද නලින් දුදනන් දුරු ව    න්ඩ
ඇළු මිය කරණ සුදනන් සැප සලස    න්ඩ
දිළු යස විකුම් දෙවිඳන් වැඳ දැඩිමු    ණ්ඩ
කූළ කුමරා සිටින දෙවොලට රිංග    න්ඩ

නැග මී හරකෙකුගෙ පිට රුදු යකා ලෙ    
සිටිනා කළු කුමරු සඳ දැක වඩා තො    ස
වැඳ ලා හතර ගාතෙන් නුඹ නො වී ල    ස
මෙලෙසින් තුති කරන් ඒ යකුට නිසි ලෙ    ස

රීරා මහසොහොන් දහ අට එ සමය    මේ 
ගෝරා අබිමාන යකු මහ සූනිය    මේ
නෑරා මෙ සැම සහ වසනා මිතුරුව    මේ
තෝරා ගතැකි පහනා කළු කුමරු ය    මේ

තුම්මන් සලේ රැක ඉඳ ලෙඩ කරන     යකා
ගොම්මන් වෙලාවට දිස්ටිය හෙලන     යකා
යන්තම් රුවැති ලියටත් බැල්ම ලන    යකා
පන්දම් එළිය දැක නටනා රුදුරු     යකා

මෙලෙසින් තෙද විකුම් යුත් කළු කමරු හ    ට
මබසින් සතර ගාතෙන් නමැඳ තුති කො    ට
පෙරවුන් උතුම් සිංහලයන් ගේ නම    ට
සතුටින් සවන් දෙන්නට කිය මේ බස    ට

දැනට සිරි ලකේ සිටිනා බොහෝ දෙ    න
සුරා පෙරා විකුණාලා විදි ලෙසි    න
මුදල් බොහොම සපයා ගෙන සුරන් මෙ    න
කන්නන් අඳින්නන් බොන්නන් රිසි ලෙසි     න

තවත් සමහරෙක් ඉංග්‍රිසි සත ඉගෙන    න
ලොකු නිලතල ලබා මුදලුත් සපය ගෙ    න
ලොකු ලොකු වලව්වල ඉන්නන් සුරන් මෙ    න
මෙලෙසින් දැන් ඉන්න අයගේ නැත ගණ    න

මොවුන් මෙලෙස ඉන්නා මුත් සිරි සැපෙ    න
සුරා බිබී වැනසෙති කොටසක් අම    න
සිප් සතරක් ඉගෙන ගැනුමට නැති කමි    න
යකුන් ලෙසට ලොකු වෙති දරුවෝ දුකි    න

කරන්නට රැකී රක්සා නැති බැවි    න
හිඟන්නන් වෙලා තව කොටසක් සිටි    න
වෙළෙඳම් සියළු වෙන රට අයට අත් වු    න
හිඟා නොකා අපි හිඟමනට පත් වු    න

අනුරාපුර කුඹුරු තැනුමට ඇතත් ඉ    ඩ
නොතකති දනවතුන් හට ඒ නොවේ වැ    ඩ
සියළු ම ලක් දනට සැපසේ ඉන්ට ඉ    ඩ
තිබෙතත් දනවතුන් නොතකති රටේ වැ    ඩ

බිබී ජින් බ්‍රැන්ඩි ෂැම්පින් මත් කර    න
කකා මස් පාන් ආදිය රස වැහෙ    න
මොටෝ කාර්වල යන එන සිතු ලෙසි න
වලව්වල දෙවෙනි මාලෙහි සැප විඳි    න

මිනිසුන් උතුමන් ය කියමින් කපටි ද    න
උතුමන් හටත් ගරහති සුනක ගතියෙ    න
එබැවින් කළු යකානෙනි තද තෙදැති ව    න
බලමින් ඔබෙ කුරිරු ඇස් දෙක නෙරවමි    න

වැඩක් රටට නොකරන ලොකු ලොකු අය     
ඔවුන් උතුමන් ය කියනා කපටින්     ද
නරඹා කළු කුමරු මරු අවතාර ල    ද
කළ මැන සුදුස්සක් ලෝ වැඩ වැඩෙන ලෙ    ද

කියා ලා මෙවග කළු යකුට නම ක    ර
අයා මුව රටේ සතුරන්ට දෙස් ක    ර
සොයා ගෙන ගොසින් නුඹෙ වනගත කුඹු    
දයා වෙන් වසනු මැනවී ගොන් මිතු    ර

- පියදාස සිරිසේන

(විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය පොතෙනි)

https://archive.roar.media/sinhala/main/health-lifestyle/scary-black-prince-who-looks-at-ladies

වැඩිපුර බලපු ලිපි