Friday, January 29, 2016

අභයගිරිය විකාශය සහ ලංකාවේ දර්ශනයට එහි බලපෑම...

www.imagesofceylon.com/ruins

පණ්ඩුකාභය රජු ගේ නගර නිර්මාණ සැළසුම ට අනුව ජෛන තවුසන් ගේ ආරාම නගරය ට උතුරු දෙසින් ඉදිකෙරුණි. ඛල්ලාටනාග රජු පහ කිරීම ට කුමන්ත‍්‍රණය කළ කුමාර වරුන් ති දෙනෙක්, කුමන්ත‍්‍රණය හෙළි වීමෙන් පසු, ගිරි නම් ජෛන පූජකයෙකු ගේ ආරාමයේ වූ දර සෑය ට පැන දිවි නසා ගත් බව ද, එහි පසුව අග්නි ප‍්‍රවේශ චේතියනමින් ස්ථූපයක් ඉදි කෙරුණු බව ද පැවසේ. වළගම්බා රජු මෙම ජෛන ආරාමය බිඳ, ක‍්‍රි. පූ. 89 දී පිරිවෙන් 12 කින් යුත් අභයගිරි විහාරය කරවී ය. රජු ගේ සහ නිඝණ්ඨයා ගේ නම් එක් වීමෙන් මෙම ස්ථානය අභයගිරි නම් වී යැයි මහාවංශයේ වන සඳහන, අභයගිරියට අපහාස මුඛයෙන් කළ සඳහනක් ලෙස සැළකිය හැක. මෙම කාලයේ බොහෝ ආරාම වල නම් අවසන් වන්නේ ගිරියනුවෙනි. වෙස්සගිරි, දක්ෂිණ මේඝගිරි, චේතියගිරි, බෝ උපුල්වන් කසුප් ගිරි යනු ඒ සඳහා උදාහරණ වේ. එහෙයින් අභය රජු කරවූ ආරාමය අභයගිරි වන්නට ඇතැයි යන ටී. ජී. කුළතුංග මහතා දක්වන අදහස වඩා පිළිගතහැකි මතය කි.

උතර, අබය උතර, අබයතුරා, අබාගිරි, අබගිරි මහ වෙහෙර, අබහයිගිරි ආදී වශයෙන් සෙල් ලිපි වල සහ සාහිත්‍යයේ සඳහන් වන්නේ මෙම විහාරාරාම සංකීර්ණය ය. ඇතුල් නුවර ට උතුරින් පිහිටි හෙයින් මෙම ආරාම සංකීර්ණය උත්තර නම් වන්නට ඇත. අභයගිරිය ත්, මහාවිහාරය ත් අතර ගැටුම අභයගිරියේ උත්පත්තියේ සිට ම ඇති වූව කි. මහාවිහාරය ට මෙය ඉතා දරුණු වූයේ මහසෙන් රජ දවස ය. ආරම්භයේ දී ආවාස දොළසකින් යුක්ත වූ අභයගිරිය, වළගම්බා රජුගේ ත්, අනුප‍්‍රාප්තිකයන්ගේ ත් අනුග‍්‍රහය නිසා නොබෝ කලකින් ම ආයතනික හා සාමාජික වශයෙන් ද, විදේශ සම්බන්ධතා සහ ජනප‍්‍රියතාව අතින් ද දියුණු විය. මේ වන විට අභයගිරි විහාරය තුළ සංඝාරාම විසි හතක් විය. තොළුවිල, මිහින්තලය, පූර්වාරාමය, කිරිබත් වෙහෙර, විජයාරාමය, පන්කුළිය අශෝකාරාමය සහ දක්ඛිණ විහාරය ද අභයගිරිය යටතේ පැවති ආයතන විය. ක‍්‍රි. . 412 දී අනුරාධපුරයේ විසූ ෆාහියන් භික්ෂුව එකල අභයගිරියේ භික්ෂූණ් වහන්සේ පන් දහසක් පමණ විසූ බව සඳහන් කර තිබේ. එතුමා ට අනුව මහාවිහාරයේ සිටි භික්ෂූණ් වහන්සේ ගණන තුන් දහස කි. ඇතුල් නුවර දළදා මාළිගයේ සිට අභයගිරිය වෙත ගිය වාර්ෂික පෙරහැරක් ද එතුමා විසින් විස්තර කර තිබේ. දන්ත ධාතුවේ භාරකාරත්වය ද අභයගිරිය සතුව පැවතුණි. දළදා මැදුරේ සිට අභයගිරිය දක්වා ගමන් කළ පෙරහැරෙන් පසු අභයගිරියේ දී තෙ මසක් පුරා දළදා ප‍්‍රදර්ශනය කරවූ බව සඳහන් වේ.

දන්ත ධාතුව සේ ම, දඹදිව බෝධි මණ්ඩ විහාරයේ පැවිදි ව සිටි තෙර නමක් කේෂ ධාතු රැගෙන ආ පසු, එය ද අභයගිරි විහාරය භාරය ට පත් කෙරුණි. එම භික්ෂුව ට පසුව සිලාකාල නමින් රජවීම ට ද මෙය හේතු වන්න ට ඇත. එම රජ දවස කසී රටෙන් පූර්ණ නම් වෙළෙඳා ධර්ම ධාතුව වැඩමවූ බව ද සඳහන් වේ. බුදුන් ගේ ධර්ම කාය වෙනුවෙන් පූජා පැවැත්වීම සහ ධර්ම ධාතු නිධන් කොට චෛත්‍ය තැනවීම ආරම්භ වන්නට ඇත්තේ මෙයින් පසුව ය. ඉදිකටු සෑයේ සහ විජයාරාමයේ මෙසේ නිධන් කරන ලද ධර්ම ග‍්‍රන්ථය ක පිටපත් හමු වී තිබේ. එසේ ම අභයගිරි ස්ථූපය ද කසුප් නම් රජෙක් ධර්ම ධාතු තැන්පත් කර එකසිය විසි රියන් කොට බැඳවූ බව සඳහන් වේ.

මහා විහාර දෙක අතර හය වන සියවසේ පැවති ගැටුමෙන් මහාවිහාරය ට ජය අත් විය. ඉන්පසු රජ පැමිණි රජවරුන් මෙම ආයතන දෙක ම පිළිබඳව මැදහත් ව සිටීම නිසා අට වන සියවසේ සිට දහ වන සියවස දක්වා ප්‍රකට ගැටුමක් ඇති නොවී ය. හත් වන සහ අට වන සියවස් වන විට අභයගිරිය, උත්තර මූල, කපාරා මූල, මහනෙත් පා මූල සහ වහදු මූල නම් වූ පීඨ හතරක් සහිත උසස් අධ්‍යාපන ආයතනයක තත්ත්වය ට පත් ව තිබුණි. නව වන සියවසේ දී අභයගිරිය මඟින් ඉන්දුනීසියාව සහ ජාවා දිවයින් හි බෞද්ධ ධර්මය පැතිරවූ බව ට සාධක ඇත. මෙම රාජ්‍ය වල අභයගිරි නමින් විහාරාරාම තැනවුණු බව, එම රට වල පුරාවිද්‍යාත්මක පර්යේෂණ වල දී හමු වූ අභිලේඛන වලින් හෙළි වී තිබේ. ජාවා රටෙන් හමු වූ එවැනි එක් සෙල් ලිපියක අභයගිරි සිංහල භික්ෂූණ් ගේ ආරාමයයැයි සඳහන් වේ. චීන මූලාශ‍්‍ර වලට අනුව, චීනයේ මෙහෙණි උපසම්පදාව පිහිටුවන ලද්දේ අභයගිරියේ ලංකාරාමයේ සිට වැඩමවූ තිසාරා තෙරණිය ප‍්‍රමුඛ තෙරණි වරුන් විසින් බව කියැවේ. පාළි ව්‍යාකරණ ග‍්‍රන්ථයක් වන කච්ඡායනා වර්ණනාව ලියූ මහ විජිතාවි තෙරුන් බුරුමයේ විජයපුර අසළ පිහිටි අභයගිරි විහාරයේ විසූ තෙර නම කි.

පෙර දවස ලක්දිව පැවති මූලායතන අට කි. උත්තර මූල, ගලතුරු මූල, මහනෙත් පා මූල, වහදු මූල, දකුණු මූල, සෙනෙවිරත් පා මූල, විල්ගම් මූල සහ කපාරා මූල යනු ඒ ආයතන වේ. අනුරාධපුර යුගයේ මෙයින් හතරක ම මධ්‍යස්ථාන පිහිටියේ අභයගිරි විහාරය තුළ ය. මෙයින් පැරණිතම පිරිවෙණ වන්නේ කපාරා මූලය යි. එය දාඨෝපතිස්ස රජු (659 - 667) විසින් ආරම්භ කරවන ලදි. සංඝ නන්දි තෙරුන් විසින් පිහිටුවන ලද සෙල් ලිපියක් අනුව මෙම ආයතනය කුට්ටම් පොකුණ ට උතුරින් පිහිටි පිරිවෙණ බව හඳුනාගෙන තිබේ. (මෙහි ඇති එක් සංස්කෘත සෙල් ලිපියක නිවැරදි දින වකවාණු සහිතව ක‍්‍රි. ව. 995 ජූලි මස 14 දින සිදු වූ චන්ද්‍රග‍්‍රහණයක් පිළිබඳව සඳහන් වේ.)

පස් වන අග්බෝ රජු (718 - 721) මහා නේත‍්‍ර පාදික නම් විහාරය කරවූ බව සඳහන් වේ. බෙල් මහතා පවසන්නේ නියම්ගම් පාය, මයුරපාද, අභයසුන්දරාරාම යන නම් වලින් හැඳින්වෙන්නේ ද මහනෙත්පා මූලය ම බව ය. මානවම්ම රජු (684 - 718) ඇසක් අන්ධ වූ සිය වැඩුමල් සොහොයුරා පැවිදි කොට, උත්තර මූල විහාරය ඉදි කරවා, එහි අධිපති කම පවරා, දළදාවේ භාරකාරත්වය ද එයට පැවරී ය. මේ හේතුවෙන්, උත්තර මූලය අනෙකුත් මූලායතනයන් හට ප‍්‍රධාන විය. දෙ වන මහින්ද (777 - 797) රජු කපාරා මූලයෙහි ද, උත්තර මූලයෙහි ද ආවාස ඉදි කරවී ය. වහදු මූලය ඇරඹුනේ ද මානවම්ම රජු විසිනි.

උසස් තාක්ෂණික ඥාණයකින් කෙරුණු කාර්මික නිර්මාණ රැසක් අභයගිරිය ආශ‍්‍රිතව හමුවී තිබේ. පට්ටලයක ලියවා ඔප දැමූ පළිඟු, කිරිගරුඬ කරඬු, පළිඟු මුද්‍රා සහ කානේලියන්, අඹතේස්ත, අගස්ති ආදී පාෂාණයන් ගෙන් කපා ඔප දමන ලද පබළු, සියුම් කැටයමින්  යුත් රන් ආභරණ, ශක්තිමත්ව තනා දීප්තිමත්ව ඔප දමන ලද මෝස්තර සහිත විවිධ මැටි බඳුන් ආදිය මෙවැනි නිර්මාණ අතර වේ. අඩක් නිම කරන ලද කරඬු සහ පබළු ද හමුවීමෙන් මේවා මෙහිදී ම කරන ලද නිර්මාණයන් බව පැහැදිළි වේ. විවිධ වර්ණ ගන්වන ලද වීදුරු නිර්මාණය ද මෙකල දැන සිටි බව පෙනේ. අභයගිරි භූමියේ කැණීම් වලින් සොයාගන්නා ලද උදුන් සහ කෝව සහිත තාවකාලික සහ ස්ථාවර කම්හල් කිහිපය කි. ගොඩනැගිලි පවුරු අසළින්, පොළොව මතු පිටින් ම වාගේ හමු වන තාවකාලික කම්හල් වලින් පෙනෙන්නේ ගොඩනැගිලි ඉදි කිරීමේ දී එයට අවශ්‍ය වන ඇණ ආදී ලෝහ නිර්මාණ එහිදී ම තනා ගන්නට ඇති බව ය.

රන්කරුවෙකු ට අයත් කම්මලක් ද අභයගිරියේ උත්තර මූලයේ රන් පොකුණ අසළින් හමු වී තිබේ. උදුන් සහ කෝව ට අමතර වල ඒ අසළ ම පිහිටි පොකුණෙන් රන් කහවණු ද, රන් ඵලක පහක් ද සොයාගෙන තිබේ. එසේම හමු වී ඇති ලෝකඩ බුදු පිළිම මෙහිදී ම නිපදවාගන්නට ඇති බව ට සාධක තිබේ. යාපනයේ සේතු කාසි සහ පෘතුගීසි කාසි හැරුණු කොට, ලංකාවේ ප‍්‍රථම කාසිය වන හස් එබූ කහාපණය පටන් ඇතා සහ ස්වස්තිකය, ශ‍්‍රී ලක්ෂ්මි කාසි, ගව සිංහ කාසි ආදී සියළුම දේශීය කාසි වර්ග ද පැරණි දකුණු ඉන්දීය, රෝම, ඉන්දු - රෝම කාසි ද අභයගිරියෙන් හමුවී තිබේ. මෙහි රන් කහවණු නිපදවීම ද සිදු කෙරී ඇති බව ට ස්වර්ණ ඵලක පිණ්ඩ හමුවූ රන්කරුවාගේ කම්හල සහ ක‍්‍රි. . නව වන සියවස ට අයත් කාසි අච්චු මඟින් පැහැදිළි වේ.

අභයගිරි භූමියෙන් හමු ව ඇති සෙල් ලිපි ගණන හැටක ට අධික ය. මේවා ක‍්‍රි. පූ. පළමු වන සියවසේ සිට ක‍්‍රි. . එකොළොස් වන සියවස දක්වා කාලය ට අයත් වන අතර පැරණි සිංහලෙන් සහ සංස්කෘතයෙන් ලියවී තිබේ. මේ අතර වන බ‍්‍රාහ්මී අක්ෂරයෙන් ලියැවුණු දමිළ ගෘහපතීන් ගේ සෙල් ලිපියේ අභයගිරියේ ද්‍රවිඩ භික්ෂූණ් වහන්සේ සහ ද්‍රවිඩ දායකයින්  පිළිබඳව සඳහන් වේ.

අභයගිරි විහාරයෙන් ලියැවුණු ග‍්‍රන්ථ පිළිබඳ විස්තර අපට දැනගත හැක්කේ සෙල්ලිපි, පැරණි පොතපතේ එන සඳහන් සහ විදේශයන් හි ඇති අභයගිරි පුස්තක වල පිටපත් ආශ‍්‍රයෙනි. ඒ අනුව, මහාවංශය ට සමරූපී උත්තර විහාර වංශය, මහාවංශ අට්ඨ කථා වලට ද ගුරු වූ උත්තර විහාර වංශ අට්ඨ කථා, මහා බුද්ධරක්ඛිත හිමි විසින් රචිත පැරණිම ලෝක ඉතිහාසය ලෙස සැළකිය හැකි රාජවංශ පුස්තකය, විසුද්ධි මග්ගය ට ගුරු කොට ගත්තේයැ යි සැළකෙන උපතිස්ස හිමි ගේ කෘතියක් වන විමුක්ති මග්ගය (මෙහි දැනට ඉතිරිව ඇත්තේ සංඝපාල තෙරුන් විසින් කෙරුණු චීන පරිවර්තනයක් පමණි), පාලි ජාතකට්ඨ කථා, සම්පිණ්ඩ මහ නිදානය (තවමත් අමුද්‍රිත මෙය කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මෙහි ඇති සමහර කථා ජනප‍්‍රවාදය වෙත මුසු වී ඇති අතර, සද්ධර්මාලංකාරයේ ද අඩංගු වේ.), නමස්කාර වර්ණනා (බුත්සරණ සහ පූජාවලිය වැනි භක්තිවාදී ග‍්‍රන්ථය කි.), මැදුම් සඟි අටුවාව, සහස්ස වත්ථුව, චතුස්ශතකය, ආනන්ද හිමියන් ගේ සද්ධම්මෝපායනය ආදී කෘතීන් මෙන් ම, අභයගිරියේ සිට පළමු වන කාශ්‍යප රජු වෙත සීගිරිය ට යවන ලෙස ලියැවුණු, ලංකාවේ ප‍්‍රථම දූත කාව්‍යය විය හැකි ශ‍්‍රමණ දූතය වැනි සාහිත්‍ය ද, උත්තර මූලයේ මුගලන් හිමියන් විසින් ලියැවුණු පාළි මොග්ගල්ලාන ව්‍යාකරණය වැනි ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ ද, අභයගිරියේ කෘතීන් වේ.

චෝළ අධිරාජ්‍යයේ ආක‍්‍රමණයේ දී අනුරාධපුරයේ බොහෝ ආයතන සේම අභයගිරිය ද ව්‍යසනය ට පත් විය. පළමුවන විජයබා රජු රට එක්සත් කළ පසු බොහෝ නායක හිමි වරුන් අගනුවර සමඟම පොළොන්නරුව ට විතැන් වූ අතර කාළිංග මාඝ ගේ ආක‍්‍රමණයේ දී එම විහාරාශ‍්‍රිත අධ්‍යාපන ආයතන වනගත වී විනාශ වී ගියේ ය.

එහෙත් අභයගිරිය මඟින් ඇති කරන ලද අධ්‍යාපනික සම්ප‍්‍රදාය විනාශ නොවී ය. මහා පරාක‍්‍රමබාහු රජ ඇවෑමෙන්, දළදා මාළිගයේ ආරක්ෂාව පිණිස වේෙළෙක්කාර හමුදාව නිළ කරන ලද්දේ එවක රාජගුරු තනතුර දැරූ, උත්තර මූල නායක නායක හිමි වූ මුගලන් තෙරුනි විසිනි. අනුරුද්ධ ශතකය ලියූ අනුරුද්ධ හිමියෝ උත්තර මූල යතිවරයෙකි. කුරුණෑගල සිව්වන පරාක‍්‍රමබාහු (1302 - 1326) රජ දවස විසූ තොටගමුවේ විජයබා පිරිවෙන් පති කායසත්ති හිමියෝ ද, කෝට්ටේ යුගයේ තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියෝ ද උත්තර මූලය ට අයත් වූහ. කෝට්ටේ යුගයේ දී ලියැවුණු කුවේණි අස්න ද උතුරු මූල තෙර නමකගේ කෘතිය කි. දඹදෙණි යුගය ට අයත් පූජාවලියේ කතුවර බුද්ධපුත‍්‍ර හිමි මහනෙත් පා මූල භික්ෂූණ් වහන්සේ නම කි. සිව්වන පරාක‍්‍රමබාහු රජු, පසුව මහනෙත් පා මූලයේ මධයස්ථානයක් බවට පත් වූ වීදාගම ඝණානන්ද පිරිවෙණ කරවා, සොළී රටෙන් මෙරට පැමිණි ශ‍්‍රී රාජගුරු හිමියන් ට පූජා කළේ ය. කෝට්ටේ යුගයේ දී එහි අධිපති වූ රන්මත්ගොඩ හිමියන් ද, උන්වහන්සේ ගේ අනුප‍්‍රාප්තික වීදාගම මෛත‍්‍රය හිමියන් ද මෙම මූලායතනයේ සුප‍්‍රකට පඬිවරු වෙති.

පිරිත් දේශනා වල බලයක් ඇතැයි වන විශ්වාසය, විහාරාරාම තෙර නමක ට පෞද්ගලිකව පිදීම හා ඒ ඇසුරින් බිහි වූ භික්ෂු පරම්පරානුගතව විහාර අයිතිය පවත්වා ගැනීම, අතීත බුදුවරුන් ඇදහීම, සර්වඥ ධාතු පවතින තුරු බුදුන් වහන්සේ වැඩ සිටින බව විශ්වාස කිරීම, බෝධිසත්ත්ව සංකල්පය, ඒ හා සම්බන්ධ වන ජාතක කථා සාහිත්‍යය හා පිළිම අභිෂේකය, රජවරුන් බෝසත් වරුන් බවට පත්වීමේ සංකල්පය, බුදුන් මහා පුරුෂ ලක්ෂණ සහිත අසමසම පුද්ගලයෙකැයි යන අදහස, ධර්ම ධාතු හා ධර්ම ග‍්‍රන්ථ වන්දනය සහ භක්තිවාදී ග‍්‍රන්ථ රචනය අභයගිරියෙන් බිහි වූ මහායානික ආභාසයේ ප‍්‍රතිඵලයන් ලෙස දැකිය හැක. බුදුන් ලක්දිව වැඩමවූ බව මුල් වරට සඳහන් වන්නේ ද මහායානික සූත‍්‍රයක් වන ලංකාවතාර සූත‍්‍රයේ ය. පැරණි ත‍්‍රිපිටකයේ නොවූ, පිරිත් සූත‍්‍ර එක් කොට සතර බණවර හෙවත් පිරුවාණා පොත් වහන්සේ සංග‍්‍රහ කෙරුණේ මහායාන ආභාසයෙනි. බුදුන් ගේ දර්ශනය ඇතුළත් කොට ආනන්ද හිමියන් විසින් රැුස් කෙරුණු සූත‍්‍ර, සජ්ජායනයෙන් අහිතකර බලවේග දුරු වෙතැයි ද, ශාන්තිය සැළසේයැ යි ද යන පසුකාලීන සංකල්පයේ ආරම්භය මෙහි මුල යි.  තෝනිගල සෙල්ලිපියේ ද සඳහන් වන අරියවංශ වෘත්තිය ද මෙහි ප‍්‍රතිඵලය කි. ලක්දිව ප‍්‍රථම පිරිත් උත්සවය පැවතුණේ උපතිස්ස (366 - 410) රජ දවස ය.

මූලාශ‍්‍ර

මහාචාර්ය කුලතුංග , ටී. ජී. - අභයගිරි විහාරය
සුමංගල හිමි, පිටිපන - අභයගිරි සංස්කෘතිය
Geiger, Wilhelm - Concise Mahavamsa
Mittons, G. E. - Lost Cities of Ceylon  - 1917
Ricalton, James - The City of the Sacred Bo-Tree. (Anuradhapura.) - 1891

ප/ලි

මෙයට එකතු කරන කමෙන්ට් අදහස් වලට, අද දින පිළිතුරු දීමට මා අපොහොසත් වුවහොත්, නැවත පිළිතුරු දීමට හැකිවන්නේ සඳදා දින බව කරුණාවෙන් සළකන්න...

Thursday, January 21, 2016

ගජබින්නාලංකාරය 15 වන කොටස...

මෙතෙක් ලියා ඇති ගජබින්න වලට පටුනක් මුලින්ම...

1. බාප්පගෙ මිරිස් වගාව
2. ඉඩෝරෙට වෙලේ ළිඳක්
3. අලිමාලය
4. සුවාරිස් මුත්තගෙ දඩයම්
5. ඉර හඳ පල්ලා බොරු නෙමේ
6. අන්දිරිස් කිත්තගෙ මුහුදු වික්‍රම
7. වට්ටක්කා සහ පතෝල
8. ලබ්බෙ කානිවල් එක
9. කන්තලේ මහ වන මැද
10 බාප්පගෙ සත්ත්ව පාලනය හෙවත් හුංගා සහ එළුවා
11 බාප්පයි පුතයි
12. විලියොං ආතගෙ කාලෙ ගජබින්නයක්
13. ඩොක්ටර් වන් ෂොට් සහ ඉලෙක්ට්‍රොනික්ස්
14. බාප්පගෙ හේනෙ විත්ති

කාලෙකට පස්සෙ ලියන්න යන්නෙ, යාත්‍රාමුල්ලේ අන්දිරිස් කියන අපේ කිත්තට සිදු වෙච්ච සිද්ධියක්. මගේ වැල ගිය මුල ගිය තැං ගැන කලිම්ම සඳහන් කළත්, ඒ හත්මුතු (මගෙ දැනීමෙ සීමාවෙ හැටියට පස්මුතු) පරම්පරාව මං දන්න විදිහට ආපහු සඳහන් කිරීම කියවන්නගෙ පහසුවට හොඳයි කියා හිතේ. මේ විදිහයි මගෙ පරම්පරාව...

මම - යාත්‍රාමුල්ලගේ ප්‍රභාත් විජේවර්ධන (හෙවත් කවුරුත් දන්න විදිහට ඩ්‍රැකී)
තාත්තා - යාත්‍රාමුල්ලගේ සේපාල
ආතා - යාත්‍රාමුල්ලගේ විලියොං සිඤ්ඤො
මුත්තා - යාත්‍රාමුල්ලගේ සුවාරිස් අප්පු හෙවත් සුවාතා හෙවත් සුවාරිස් වඩුරාළ
කිත්තා - යාත්‍රාමුල්ලේ අන්දිරිස් අප්පු හෙවත් අනද වඩුරාළ

මේ කියන අනද වඩුරාළ අපේ ගමට ඇවිත් තියෙන්නෙ දකුණෙ යාත්‍රාමුල්ල කියන ගමෙං. එහෙමයි අපේ වාසගම හැදිල තියෙන්නෙ.

ඕං ඉතිං අපේ ගමට ඇවිත් පැළපදියං වෙච්ච අපේ අන්දිරිස් කිත්තා, පදිංචි උනේ ගොරකගහවත්ත කියන ඉඩමෙ. ඒ ගැන විස්තර පස්සෙ දවසක කියන්න බලාපොරොත්තු වෙනවා. (තවම ඒක ගොතා ගන්න බැරි වුනා) මේ ඉඩමෙ පහළ මායිම ඒ කාලෙ මහ විසාල ගඟකි.

ඕං අන්දිරිස් කිත්තා දවසක්දා බිලී බාන්න ගියා ඔය ගඟට.

https://s-media-cache-ak0.pinimg.com/236x/
46/e0/25/46e0256a10af45814144fba79aab9040.jpg

උන්දැ බිලී පිත්තට ගත්තෙ සාමාන්‍ය කිතුල් පිත්තක්. හැබැයි යොතට ගත්තෙ අලි කෙඳි වලිං අඹරපු ඔරිජිනල් යොතක්. මොකද, පහළ ග‍‍ඟේ උන්න මාලුවන්ගෙ සයිස් එකත් අලින්ටම දෙවෙනි නොවුන හංදා. (අපේ කිත්ත මාළුබාන්න පාවිච්චි කරපු නූල ම වැඩිදියුණු කරල තමා කිත්තං නූල් හදල තියෙන්නෙ. නමෙන්ම තේරෙනවනෙ කොපිරයිට් යන්න ඕනෙ කාටද කියල?) ටික වෙලාවකිම්ම, ඔන්න මාළුවෙක් ඇවිත් ගැහුව ඇමට. අන්දිරිස් කිත්තත් ටිකක් දුර මාලුවට ඇම ඇදං යන්න දීලා, ආපිට අදින්න ගත්තා.

කිත්තා දිනවා අදිනවා අදිනවා... කොහෙ? මාලුව එන්නෙම නෑ. ඌ තව තවත් ගැඹුරට ඇදගෙන යනව යොත.

බැරිම තැන අන්දිරිස් කිත්ත ඉඳගෙන උන්න තැනිං නැගිට්ට. කකුල් දෙකට බරදීල හිටගෙන, දෑතිම්ම බිලීපිත්ත අල්ලගෙන, මෙන්න මෙහෙම (යකඩො, ඇදපු හැටි පෙන්නන්න ගිහිං තව ඩිංගෙං කීබෝඩ් එක කැලේ...) ගස්සල ඇද්ද. ඇදපු පාර මාලුව යොතත් එක්කම කිත්තගෙ ඔළුවට උඩිං විසික් වෙලා ගියා. අන්දිරිස් කිත්ත හැරිල බලනකොට, ගං ඉවුරෙ සරුවට වැවිල තිබ්බ කොස් ගහේ මුදුන් අත්තෙ පළගත්ත කොස් ගෙඩියෙ යොත දහඅට පොටක් පැටළිලා, ඒකෙ අගිස්සෙ ගැස්සි ගැස්සි ඉන්නව තඩී.... ලූලෙක්... හරියටම විල්බැරෝවකිං එකයි ලූලා. (ඒ කියන්නෙ කොස්ගෙඩියෙං බාගෙයක් විතර)

https://s3.amazonaws.com/lowres.cartoonstock.com/
hobbies-leisure-hell-the_afterlife-devil-hades-lie-
jkn0364_low.jpg
ඉතිං මොකදැයි කරන්නෙ? ඒ ගමන අන්දිරිස් කිත්ත තේරුංගත්ත ඒ තරං සැරේට අදින්න හොඳ නැති බව. උන්දැ බිලීපිත්තත් අරං හිමීට ගහ යටට ගිහිං හිමිං සැරේ අදින්න ගත්ත යොත. කප විටක් ගස්ස ගස්ස අදිද්දි, කොස් ගෙඩිය මාලුවත් එක්කම පතබෑවුනා ගහ මුලට. ඉතිං කිත්ත "හොඳා අද කෑහැකි කොසුයි ලූල් මාලුයි" කියල හිතාගෙන ගහ යටට යද්දි, මෙන්න බොලේ අර තඩි කොස් ගෙඩිය පැනල දුවනව කැලේ කඩාගෙන.

මොකද ‍වෙලා තියෙන්නෙ?  කොස් ගහ යට නිදාගෙන හිටිය තඩි ඉත්තෑවෙක්ගෙ පිටට තමා කොස් ගෙඩිය වැටිල තියෙන්නෙ. උගෙ පිටේ කූරු වලට ඇමිණිච්ච කොස්ගෙඩියයි, ඒකෙ පැටළිච්ච ලූලයි අරං පැයට හැතැම්ම සීයක විතර වේගෙං දුවල ගිහිං ඉත්තෑව...

අන්දිරිස් කිත්ත එතනම ඉඳං එයාගෙ බාල පුතා වෙච්ච, ඒ කාලෙ යන්තම් කරදඬු උස්වෙච්ච වයසෙ හිටිය, අපේ සුවාතට අඬගැහුවා. උන්දැ පොඩිකාලෙ ඉඳම්ම ‍සූර දඩයක්කාරයා. සුවාත ඇසිල්ලකිං හොයාගත්ත ඉත්තෑවගෙ අඩිපාර. "කඩියො යමං"කියල උන්දැගෙ විස්වාසවන්ත බල්ලවත් ඉස්සර කරගත්ත සුවාත, ටී පනස් හයත් අරං වෙඩි කොටන තුවක්කුවත් අරං සීරුවෙං ගියා ඉත්තෑව ගිය පාරෙ.

ඉත්තෑව අල්ලගෙන සුවාත කැළෙං එළියට එන්න කාලාන්තරයක් ගතවුනා කියලයි ගමේ උදවියගෙ ජනප්‍රවාදයෙ තියෙන්නෙ. ඉත්තෑව කොච්චර බයවෙලාද කියනවනං, බස්නාහිර පළාතෙනුත් එළියට දුවල. අන්තිමේ සුවාත ඌව අල්ලගෙන තියෙන්නෙ මන්නාරමටත් කිට්ටටු හරියකදි. ඒ වෙනකොට ඉත්තෑවගෙ පිටේ තිබ්බ කොසේ ඉදිල, ඒකෙ පැටළිච්ච ලූල කරෝල වෙලා.

ඉත්තෑ මසුයි, වරකයි, ලූල් කරෝලයි ඔක්කොම කද බැඳගෙන සුවාත ගෙදර එද්දි, උන්දැගෙ දැළි රැවුලත් වැවිල, පෙළවාසියකුත් කරගෙනලු....

වෙච්ච සංගෙදිය හිංදා අනද වඩුරාළ කරපු වැඩේ, ගොරකගහවත්තෙ නානළිං දෙකක් කපලා, ඒ පස් ටික ගඟට දාල, ගඟ ගොඩ කරලා, කුඹුරු යායක් කළා. අදටත් අපේ ගම වෙන, කටුවාලමුල්ලෙ ඉඳං කොස්සින්න හරහා පැතිරිලා ගිය (දැන්නං පුරං වෙලා තියෙන්නෙ) කුඹුරු යාය තමා ඒ...

ඔය කුඹුරු යාය ගැනත් මං මගේ මුල් කියන පෝස්ටුවෙ පොඩි සඳහනක් කළා. අපේ අම්මගෙ තාත්තා, අපේ තාත්තගෙ ගෙවල් දොරවල් බලන්න ආපු වෙලාවෙ, අපේ බාප්පා උන්දැට ඔය කුඹුරු යාය පෙන්නලා,

"අර ලියදි - එකක් නෑ සේපාලගෙ" කිව්වලු.
(ඊට පස්සෙ වෙලෙං එගොඩ වෙලා හොරපොළකටත් ගිහිං හොඳට බොන්නත් අරං දුන්නලු...)

අපේ විලියොං අාතගෙ බීමට පිංසිද්ධ වෙන්න, අපට එක කුඹුරු ලියද්දක්වත් අයිති නෑ. ඉතිං බාප්ප කියල තියෙන්නෙ ඇත්ත.ඒක අපේ සීය හරියටම තේරුං ගත්තයි කියලත්, සීය ආපහු ගෙදර ගිහිං අපේ අම්මට කියල තියෙනව...

හමුවෙමු තවත් හරවත් ගජබින්නයක් සමඟින්. එතෙක්...

ගජබින්නාලංකාරය සමඟින් ඩ්‍රැකියා ඔබ සමඟයි සැමදා...

Thursday, January 14, 2016

ඩ්‍රැකියාවලෝකනය

http://www.best-horror-movies.com/images/barnabas-collins-in-a-coffin.jpg
දිග හුස්මක් හෙළා පටන් ගමි...

සිංහයෙකු ගමනක් යන විට, තරමක් දුර පසු කර ගොස්, ආපසු හැරී තමන් ආ මග නිරීක්ෂණය කරතැයි සංස්කෘත සාහිත්‍යය‍ේ එන අදහසක් වේ. ඊට සිංහාවලෝකනය යැයි කියනු ලැබේ.

ඩ්‍රැකියා තමන් ආ මග දෙස ආපසු හැරී බලන්නට පටන් ගත්තේ දැනට දින හතරකට පමණ පෙර ය. එයින් අදහස් වන්නේ මෙම බ්ලොග් අඩවියේ පළ වූ ලිපි ගණනේ ප්‍රමාණය නොවේ. කමෙන්ටු නැවත කියවීමේ ඇති ආස්වාදය නිසා ත්, රාජකාරි අතරතුර මෙය සිදු කළ නිසාත් එපමණ දවසක් ගතවූ බවය.

2012 නොවැම්බර් මාසෙ 30 වැනිදා මා මෙය පටන් ගත්තේ විවිධාකාරයේ විෂයයන් ගැන කතා කිරීමටය.

මුලින්ම මාගේ වැල ගිය මුලගිය තැන් ගැන සඳහන් කොට, ඉන් පසුව ආරම්භ කළේ හිට් එකක් බවට පත් වූ බව පෙනෙන ගජබින්නාලංකාරය ය. පුරා විද්‍යාව, ඉතිහාසය සහ දර්ශන ගැන මා තුළ වූ කුතුහලය නිසා ලියන ලද ලියවිලි ද කලින් කල මෙහි පළවිය. මීට අවුරුදු පහළොවකට පමණ පෙර ලියන ලද රොමෑන්ටික් රහස් පරීක්ෂක සහ වැම්පයර් කතාවක් ද කොටස් දාහතරකින් යුක්තව පළ කරන ලදි.

එසේ ගොඩනැගුනු මේ බ්ලොග් අඩවියේ විශේෂ සන්ධිස්ථානයක් අද දින සටහන් වේ. ඒ ගැන සඳහන් කිරීමට පෙර, මා බ්ලොග් ලෝකයට ආ හැටි පිළිබඳව මතක් කිරීමට සිතමි.

මා කියවූ මුල්ම බ්ලොග් ලියැවුනේ පොඩි කුමාරිහාමි, සිරා, අඩවිරජා සහ සෑම් අතිනි. මාගේ මුල් කාලීන බ්ලොග් ලිපි වල ඔවුන්ගෙන් ලද ආභාසය මනාව පිළිබිඹු වනු ඇත.

මා මුල්ම ලිපිය ලියා දින විසිපහකට පසුවය, මා ලද මුල්ම කමෙන්ටුව එහි සටහන් වූයේ. ඒ මාගේ ආදරණීය කාර්යාල සගයෙක් වන, පොඩි පුතා අතිනි.

ඉන් පසු මා සොයාගෙන අවුත් උපදෙස් දෙමින් මා දිරිමත් කළවුන් වූයේ,

නවදැලිහේනෙ තිලිණ ද සිල්වා,
ආගිය කතා ලියන හසිත ගුණසිංහ,
හදගී පොත ලියන තිස්ස දොඩංගොඩ,
හෙන්රි බ්ලොග්වෝකර්,
සරත් ලංකාප්‍රිය,
වරක් දෙකක් ආ මාරයා,
දයල්බතී,
අයිලාස් ඒ,
අටං,
කළු පූමා,
සෑමා,
නලිනි චන්දිමා,
සයිලන්ට් සහන්,
(තමන් ලියු දේ විවේචනය වන විට, ඊට තදින් පිළිතුරු දී, බ්ලොග් ලිවීම නවත්වා ඇත. සිරාවට ඉතා ඕනෑකමින් බ්ලොග් කරණයේ යෙදුනෙකි. මොන විදියට හැසිරුණත් තමන් යහපත් මිනිහෙක් බව තම ලිවීමෙන් පෙන්වූවෙක් ද වේ)
ධාරා,
චාමි ගුරුගේ,
මාතලං, සහ
මාමා

මාතලං ගේ බ්ලොග් අඩවියේ මා සටහන් කළ කමේන්ට් එකක් අනුව මා සොයා ආ මාතලං, මා ඔහුගේ සින්ඩියට එක් කරගෙන, මගේ ඉල්ලීමකින්ද තොරව හොඳ ප්‍රසිද්ධියක් ලබා දුන්නා පමණක් නොව, මුල් අවස්ථාවලදී වැදගත් උපදෙස් ද නොමසුරුව ලබා දුන්නේය. ඉන් පසු ය, මේ බ්ලොග් අඩවිය සැඩපහරට හසුවූ ඔරුවක් මෙන් අනවරත ගමනක් යාම පටන් ගත්තේ.

ඒ අනුව මේ දක්වා මම පුරාවිද්‍යාත්මක ලිපි, ජනකථා, දේශපාලන අදහස්, පැරණි පත්තර, සඟරා සහ පොත් වලින් උපුටා දැක්වීම්, බුද්ධ දර්ශනය, ජේසු තුමන්ගේ ඉගැන්වීම්, හාස්‍යෝත්පාදක කතා, ආදී වශයෙන් ලියා ඇති පෝස්ට් ගණන 99 කි.

ඉහත දැක්වූවන්ට අමතරව, මේ දක්වා මාගේ බ්ලොග් අඩවියේ තම පියසටහන් තබා ගිය වුන් පහත දැක්වේ....

මහවෙදනා,
කෙන්ජි,
හැලපයියා,
අඩවි(කොට)රජා,
මනෝජ් ප්‍රනාන්දු,
චන්දන,
(හැමෝටම උදව් කරගෙන, අගේ ඇති බ්ලොගක් කරගෙන ගහක් ගලක් වගේ හිටිය මනුස්සයා. මොකක් හරි හේතුවකට, ප්‍රොෆයිල් එකත් මකාගෙන, බ්ලොග් එකත් මකාගෙන අතුරුදන් විය...)
නිකමා,
දූෂකයා,
වෙනිවැල් අයියා,
අයි ටී නිශාන්ත,
ඉවෝන් ලව්පූසා,
මයියා,
සිරා,
ගමන් මගේ මඟියා,
කුරුටු දිලිනි,
සුළඟ,
මඩිස්සලේ නිශාන්,
එක් මානවිකාවක්,
තිසර,
සචින්,
අරුණි ශපීරෝ,
සු දී ක,
දැන් නං එච්චර සමකය වටේ යන් නැති නලීන් දිල්රුක්ෂ,
පර්යේෂකයා,
තහනම් වචන,
හිරු,
හිතුවක්කාරි,
යසිත්(ඩොට්)නෙට්,
මොරබ්බා ද මොරබ්බා,
පැතුම් රයිටර්,
ලියන්න කම්මැළි - ඉඳල ඉඳල ලිව්වම පට්ට සෙන්නා,
සංජීව මෙන්ඩිස් හෙවත් එළ ද බ්‍රා මෙන්ඩා සහෝදරයා,
හයේ හ‍තරෙ දමිත් ගුණවර්ධන,
නිල් මානෙල්,
කතන්දර කාරයා, සහ රසිකලොජිස්ට්, (දෙකාම එකෙක‍ි)
ලොකු ශානා,
අසරණයා,
කෝරළේ මහත්තයා,
උමා(දසුන්),
චමි4යූ,
වැව් ඉස්මත්ත,
රාජ්,
ප්‍රசங்NA,
සිතුම් සයුර,
දිනේශ් උමගුලිය,
DDT,
ළා දම්පාට රෙහානි,
නිර්මලා මධුෂානි,
දිනෙල්ක,
AKM,
My life as a Gaijin!
ශ්‍රීමත් අරූ,
The Modern Patriot,
මැලේ රාළ,
සඳුන් දුලාංජන හෙවත් දුලා,
අඟහරුවා,
නදිනි අබේනායක,
ටිරාජ් අධිකාරී,
බෙන් ටෙනිසන්,
තනි අලියා,
අපූර්වි ඔමායා,
සිතුවිලි දහර,
සමී,
පොඩිකුමාරිහාමි
විචාරක wicharaka
බින්දි,
කළු ජෙමා,
අමුත්තා,
නාඩියා නාඩිරත්න,
ධනා,
desh දේශ්,
පැතුම් හේරත්,
සිහින මදාරා,
හරී,
සමීර සඳරුවන්,
ඉතිහාස ගවේෂක,
ඉන්දික උපශාන්ත,
සහෝදර,
මනෝශ් සඳරුවන්,
විශ්ව රංගනාත්,
ඩී. ඇම්. ජී. බක්සා,
වනිතා හඬ,
මහේෂ් රත්නායක,
ඕනමැන්ටල්,
අ.පේ. ගලපාත,
Sa rasa,
වීර කාන්තා,
ගස් ලබ්බ,
නිමෝ,
ප්‍රදීප් ගුණරත්න,
වීරේ,
කෝකි මකබාස්,
රන් සකු,
චතුරංග ප්‍රියශාද් (ප්‍රියා),
රියර් ඇඩ්මිරල් තැන්පත් සී. ජේ. විදානෙ,
තරිඳු පින්නදූව,
අලිසන්දිරි කොටුව,
සිහින සිත්තම්,
ජීවන ප්‍රනාන්දු,
ෂර්වුඩයේ රොබින් හෙවත් කෙහෙල් කොටුවෙ චූටි මහත්තයා,
නිපුන ලියනගේ,
පත්තර බාප්පා,
සිංදු ඇනේ (වැරදුනා - ඇනෝ)
බුද්ධීක අනුරාධ,
ත්‍රී කුරුට්ටොස් බෑන්ඩ් එක,
කැන්ඩියන්,
මධු මදාවි,
හෙනහුරා,
සරත් පෙරේරා,
පොල්වත්තෙ ගෙදර මල්කොහා,
බූට් ඇනේ,
මිචිකෝ ඔගාවා,
බංඩා, (පට්ට රහස් පරීක්ෂක කතා ලියන්නෙකි.)
ලොකු ජෝන්,
වාසනාවන්ත මලින්ත ලක්මාල්,
කැමා හෙවත් යක්‍ෂ්‍යන්ත ශ්‍රීනාත්,
කම්මලේ ඩබොල් ආදිපාද,
තරිඳු රමේෂ් කැටිපෙආරච්චි,
වීදි‍ය‍ෙ බණ්ඩාර හෙවත් ලොකු පුතා,
(වීදියෙ බණ්ඩාර කියන්නෙ රස්තියාදු කාරයෙක් කියල ආර් ආර් සමරකොන්ගෙ නාට්‍යයක තිබ්බා)
නිරන්ජන් කරුණාතිලක,
සමරසේකර,
රවි,
වත්සලා, කෝ විජේරත්න?
අජිත් ධර්මකීර්ති,
හර්ෂන,
ප්‍රා ජේ,
දෙවැනි විභීෂණ,
පඩංගුවේ අයිතිකාර සජ්ජා,
සාරි කා විචාරිනී,
උගේ කිචී - ඌට කිචී,
ඊයන්,
මනා ගෙ පින්තාරුව,
ලංකා බ්ලොග් කියවනය,
උග්ගල් අලුත්නුවර එම්. පී. පී. ගුණසිංහ,
කල්‍යාණ මිත්‍ර,
බක්ෂි (යාක්ෂ්),
සිරිස් - බිරිස් - සිරි බිරිස් - සිස් - සිස්...
ඩිලාන් අකලංක,
ට්‍රාන්ස් සිල්වේනියාවේ දොස්තර මහතා,
තනි තරුව,
මල් මල් අඩවිය,
දිල්ශාන්,
නුවර උපේක්ෂා,
මනෝ මන්දිරා,
ආකාස කසුං,
නිදහසේ නවාතැනේ ඉන්නා ඇංගුලිෆෝමසියා
ඉන්දික බණ්ඩාර,
අපනයනකරු,
අවංක ආරියරත්න,
ගැබා,
මලියා,
තුශානි,
වර්ණ කුලකය,
ඉකොනොමැට්ටා,
ඩබ්ලිව්. මනෝජ් නිශ්ශංක ඩයස්,
අම්බලංගොඩ කතා,
මිත්‍ර වර්ණ (සබරෙ ඇනේ),
අනුත්තරා ඉරුගල්බණ්ඩාර,
අශාන් රවිඳු යුගාන්ත,
ටික්කා,
ලෙවියාතන්,
මහේෂ් සමන්ත කුමාර,
වැසි දැරිය,
මධ්‍යස්ථ මතධාරියා, (නොබෝදා තම බ්ලොගය අවසන් කළේ ය.)
භූෂණ කල්හාර,
සුජීවා අබේගුණවර්ධන,
කසුන් ජයනාත්,
රූපේ,
මින්,
සිතුවිලි සි,
බුරාතිනෝ,
ජගත් පතිරණ,
රංගන සහෝදරයා,
සහ නිර්නාමික කිහිපදෙනෙක්,

මේ දක්වා ඇති ඔබ සියලු දෙනා මා සමඟ නොසිටින්නට, මේ බ්ලොග් අඩවිය මළ බ්ලොග් අතරට එකතු වන්නේ උපන්ගෙයිහිදීම ය. ඔබ සියලු දෙනාගෙන් ම මා සුළු හෝ දෙයක් ඉගෙන ගත් අතර, මාගේ දැක්ම නිවැරදි කරගැනීමට ද එය මනා පිටිවහලක් විය.

ඉතින්, තවත් බර හුස්මක් හෙළා මාගේ සියවෙනි පෝස්ටුව අවසන් කරමින් මා අවසන් වරට කියන්නේ,

මා සමඟ රැඳී සිටියාට ඔබට බොහෝ පිං... 
ඔබ වැනි මිතුරන් ඇසුරු කිරීමට ලැබීම මාගේ මහත් වාසනාවක් ලෙස මම සළකමි...

Wednesday, December 30, 2015

මෝසෙස් ගේ දෙවියන් සහ ජේසුස් ගේ දෙවියන්...

ඊජිප්තුවේ වහලුන් වී සිටි ගෝත්‍ර 12 කට අයත් ඊශ්‍රායෙල් ජාතිය පාරාවෝ වරුන්ගේ පාලනයෙන් මුදවාගෙන, ඊශ්‍රායල් භූමිය වෙත කැටුව ආ මෝසෙස්, ඒ එන අතර මඟ සීනායි කඳු ප්‍රදේශයේදී, සිය ජනතාවට ජීවත් වීමේදී පිළීපැදිය යුතු ව්‍යවස්ථාවලියක් ලබා දුන්නේය. එය බෛබලයේ නික්මයාම පොතේ 20 පරිච්ඡේදයේ සඳහන් වන්නේ මෙසේය.

THE TEN COMMANDMENTS චිත්‍රපටයේ 
මෝසස් ගේ චරිතය නිරූපණය කරන චාල්ටන් හෙස්ටන්
http://i.dailymail.co.uk/i/pix/2008/03_01/
mosesHeston2703_468x611.jpg

දෙවියන් වහන්සේ කතා කොට මේ සියලු ආඥා වදාළ සේක: 

''වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම ය. "මා හැර අන් කිසි ම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය.''

''නුඹ සඳහා නෙළූ රූපයක් හෝ ඉහළ අහසෙහි වත්, පහළ පොළොවෙහි වත්, පොළොවෙන් යට ජලයෙහි වත් ඇති කිසි ම වස්තුවකට සමාන දෙයක් හෝ සාදා නොගන්න. නුඹ ඒවාට නමස්කාර නොකරන්න; ඒවාට නොවඳින්න. මන්ද, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන් වන, සතර වන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි. එහෙත්, මට ප්‍රේම කරමින් මාගේ ආඥා පිළිපදින දහස් ගණන් අයට මම කරුණාව දක්වමි.

''නුඹ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිතා නොකරව. යමෙක් ඒ නාමය අගරු ලෙස භාවිතා කරන්නේ ද ඔහුට මම දඬුවම් කරමි.''

''සබත් දවස ශුද්ධ ලෙස පැවැත්වීමට සිතට ගන්න. දවස් හයක් තුළ නුඹ වෙහෙස වී නුඹේ සියලු වැඩ කළ යුතු ය. එහෙත්, හත් වන දවස නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ සබත ය. එදින නුඹ වත්, නුඹේ පුතු වත්, දුව වත්, නුඹේ සේවකයා වත්, සේවිකාව වත්, නුඹේ සතෙකු වත්, නුඹේ වාසල් දොරටු සීමා ඇතුළ සිටින අමුත්තෙකු වත් කිසි වැඩක් නොකළ යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේ වන මම දින හයක් තුළ අහස හා පොළොව ද, සමුද්‍රය ද, ඒවායේ ඇති සියල්ල ද සාදා, සත් වන දවස නිවාඩු ගත්තෙමි. එබැවින් උන් වහන්සේ සබත් දවසට ආශීර්වාද කොට එය විශුද්ධ කළ සේක.

''නුඹේ පියාට ද, මවට ද ගෞරව කරව. එවිට නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹට දෙන රටේ නුඹ බොහෝ කාලයක් ජීවත් වන්නෙහි ය.

''මිනී නොමරව.

''කාමමිථ්‍යාචාරය නොකරව.

''සොරකම් නොකරව.

''නුඹේ අසල්වැසියාට විරුද්ධ ව බොරු සාක්ෂි නොකියව.

''නුඹේ අසල්වැසියාගේ ගෘහයට නුඹ ඇළුම් නොකරව. තවද, නුඹේ අසල්වැසියාගේ භාර්යාවට හෝ ඔහුගේ සේවකයාට හෝ සේවිකාවට හෝ ඔහුගේ ගවයාට හෝ කොටළුවාට හෝ නුඹේ අසල්වැසියා සතු වෙනත් කිසිවකට හෝ ඇළුම් නොකරව.''

(නික්මයාම - 20 පරිච්ඡේදය - 01 සිට 17 දක්වා වගන්ති)

දසපණතින් පසුව, නික්මයාම - 21 සිට 23 දක්වා පරිච්ඡේද වලින්, සමාජ හැසිරීම් වල විවිධ විවිධ අවස්ථාවලදී යුක්තිය ඉටු කළ යුතු ආකාර වෙන් වෙන් වශයෙන් විස්තර කෙරේ. එසේ විස්තර කරමින් එක් තැනක හමුරාබි නීතියේදී අපට හමුවන වගන්තියක් ද නැවත කියා තිබේ.

"එහෙත්, අනතුරක් වුවහොත් පණට පණ ද, ඇසට ඇස ද, දතට දත ද, අතට අත ද, පයට පය ද, දැවීමට දැවීම ද, තුවාළයට තුවාළය ද, පහරට පහර ද, දිය යුතුය."

අදින් වසර තුන්දහසකට පමණ පෙර සම්පාදනය කරන ලද මේ නියාමයන්, කාන්තාර ප්‍රදේශයක වාසය කළ ප්‍රාථමික ගෝත්‍ර සමාජයක සදාචාරාත්මක මට්ටමින් මැනීම සුදුසු ය. වර්තමාන සදාචාරය සමඟ මෙම නීති සැසඳීම ප්‍රායෝගික නොවේ.

ඉන් වසර දහසකට පමණ පසු බිහිවූ ජේසු තුමන් සිය අනුගාමිකයන් අමතා දේශනා කළ ධර්මය මෙයට වඩා මටසිළුටු බවින් හා මානව දයාවෙන් පිරුණකි.

එතුමා කන්ද උඩ දේශනාවේ මෙසේ කියයි:

ජේසුස් වහන්සේ ජනකාය දැක කන්දකට නැඟුණු සේක. උන් වහන්සේ වැඩහුන් කල ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත ආහ. 

එවිට උන් වහන්සේ ඔවුන්ට උගන්වමින් මෙසේ වදාළ සේක:

බැගෑ සිතින් දෙවි සරණ පතන්නෝ භාග්‍යවන්තයෝ ය;
ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය.

ශෝක වන්නෝ භාග්‍යවන්තයෝ ය;
ඔව්හු සැනසීම ලබන්නෝ ය.

නිහතමානී ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝ ය;
ඔව්හු දේශය උරුම කර ගන්නෝ ය.

යුක්තියට සාපිපාසා ඇත්තෝ භාග්‍යවන්තයෝ ය;
ඔව්හු තෘප්තිමත් වන්නෝ ය;

දයාවන්තයෝ භාග්‍යවන්තයෝ ය;
ඔව්හු දයාව ලබන්නෝ ය.

නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝ ය;
ඔව්හු දෙවියන් වහන්සේ දකින්නෝ ය.

සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝ ය;
ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය යි කියනු ලබන්නෝ ය.

යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය;
ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය;

මිනිසුන් මා නිසා ඔබට නින්දා පීඩා කොට, නානා විධ අසත්‍ය චෝදනා නඟන කල ඔබ භාග්‍යවන්තයෝ ය;

ප්‍රීති ප්‍රමෝද වන්න;
මන්ද, ස්වර්ගයෙහි ඔබේ පලවිපාකය ඉමහත් ය.
ඔබට පෙර සිටි දිවැසිවරයන්ටත් ඔව්හු එලෙස ම පීඩා කළහ.

ඔබ පොළොවේ ලුණු ය. ලුණෙහි ලුණු ගතිය නැති වුවහොත්, එයට ලුණු රස කවන්නේ කුමකින් ද? ඉන්පසු ඒවා ඉවත දමනු ලබන්නට ද, මිනිසුන්ගේ පයින් පාගනු ලබන්නට ද මිස, අන් කිසිවකට සුදුසු නැත.

ඔබ ලෝකයේ ආලෝකය ය. කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නොහැකි ය. 

මිනිස්සු පහනක් දල්වා එය බඳුනක් යට නොව පහන් රුකක් මත තබති; එවිට එය ගෙදර වැසි සියල්ලන්ට එළිය දෙයි. 

එමෙන්ම මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියෙහි බබළවන්න.

පැරණි ව්‍යවස්ථාවලිය පිළිබඳ ඉගැන්වීම් 

මම ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය අවලංගු කරන පිණිස ආවෙමි යි නොසිතන්න. මා ආයේ, ඒවා අවලංගු කිරීමට නොව, සම්පූර්ණ කිරීමට ය. 

සැබැවින් ම මම ඔබට කියමි, අහස හා පොළොව පහ ව ගියත්, සියල්ල පරිපූර්ණ වන තුරු, ව්‍යවස්ථාවලියෙන් ඉස්පිල්ලක් වත් පාපිල්ලක් වත් පහ වී නොයන්නේ ම ය. 

එබැවින් මේ ආඥාවලින් ඉතා සුළු එකක් වත් කඩ කරන හා කඩ කරන ලෙස මිනිසුන්ට උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු ය යි කියනු ලබන්නේ ය. එහෙත්, ඒවා පිළිපදින, ඒවා උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි උතුම් ය යි කියනු ලබන්නේ ය. 

මන්ද, ඔබ ධර්මිෂ්ඨකමින් විනයධරයන් ද පරිසිවරුන් ද ඉක්මවා නොගියොත්, ඔබ කිසි සේත් ස්වර්ග රාජ්‍යයට නොපිවිසෙන්නහු ය යි ඔබට කියමි.

(මෙතැන් සිට, මෝසෙස් ගේ ව්‍යවස්ථා එකින් එක ජේසුතුමන් විසින් විග්‍රහ කරනු ලැබේ.)

කෝපය ගැන

” ‘මිනී නොමරන්න; මිනී මරන කවරෙකු වුව ද විනිශ්චයට යටත් වනු ඇතැයි පැරැන්නන්ට කී බව ඔබ අසා ඇත. 

එහෙත්, මම ඔබට කියමි, තමාගේ සහෝදරයා සමඟ කෝප වන කවරෙකු වුව ද ඔහු අධිකරණයට යටත් වනු ඇත. තමාගේ සහෝදරයාට ‘මෝඩයාකියා ගරහන කවරෙකු වුව ද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට යටත් වනු ඇත; ‘ජඩයාකියා ගරහන කවරෙකු වුව ද ඔහු නිරා ගින්නට ගොදුරු වනු ඇත. 

එබැවින් ඔබ පූජාසනය වෙත පඬුරක් ගෙනෙන කල, ඔබේ සහෝදරයා ඔබට විරුද්ධ ව යම් කිසි අමනාපයක් ඇති ව සිටින බව එහි දී සිහි වී නම්

පඬුර පූජාසනය ඉදිරියෙහි තබා ගොස්, පළමුකොට සහෝදරයා හා සමගි වී, පසුව අවුත් පඬුර පුදන්න.

ඔබේ විරුද්ධකාරයා සමඟ උසාවියට යන කල, මඟ දී ම ඉක්මනින් ඔහු හා සමගි වන්න; නැත්නම් විරුද්ධකාරයා ඔබ නඩුකාරයාට භාර දෙන්නේ ය; නඩුකාරයා ඔබ උසාවියේ නිලධාරියාට භාර දෙන්නේ ය; ඔබ ද හිරගෙයි දමනු ලබන්නෙහි ය. 

සැබැවින් ම මම ඔබට කියමි, අන්තිම සතයට ම දඩය ගෙවන තෙක් ඔබ කිසි සේත් එයින් පිට වී නොයන්නෙහි ය.

කාමමිථ්‍යාචාරය ගැන

” ‘ කාමමිථ්‍යාචාරය නොකරන්නැයි කී බව ඔබ අසා ඇත. 

එහෙත්, මම ඔබට කියමි, යමෙකු ස්ත්‍රියක දෙස කාමරාගයෙන් බැලූ කෙණෙහි ම ඔහු ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කර ඇත. 

වරදට වැටීමට හේතුව ඔබේ දකුණැස නම්, එය උගුලා ඉවත ලන්න; මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත.

වරදට වැටීමට හේතුව ඔබේ දකුණත නම්, එය කපා දමන්න; මුළු ශරීරය නිරාගත වීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත.

දික්කසාදය ගැන

තවද, ‘තමාගේ භාර්යාව දික්කසාද කරන කවරෙකු වුව ද ඇයට දික්කසාද සහතිකයක් දිය යුතු යයි කියා ඇත. 

එහෙත්, මම ඔබට කියමි, වේශ්‍යාකම හැර අන් කරුණක් නිසා සිය භාර්යාව දික්කසාද කරන කවරෙකු වුව ද ඔහු ඇය කාමමිථ්‍යාචාරයට පමුණු වන්නේ ය. එසේ දික්කසාද කරනු ලැබූ ඇය විවාහ කරගන්න යමෙක් වේ ද, ඔහුත් කාමමිථ්‍යාචාරය කරන්නේ ය.

දිවුරුම් ගැන

” ‘ දිවුරුම් කඩ නොකරන්න, සමිඳාණන් වහන්සේට නුඹ දුන් දිවුරුම ඉටු කරන්නැයි පැරැන්නන්ට කී බව ඔබ අසා ඇත. 

එහෙත්, මම ඔබට කියමි, කොහෙත් ම නොදිවුරන්න. ස්වර්ගය දෙවියන් වහන්සේගේ සිංහාසනය බැවින් ඒ නමින් වත්

පොළොව දෙවියන් වහන්සේගේ පා පුටුව බැවින් ඒ නමින් වත්, ජෙරුසලම මහ රජුගේ රාජධානිය බැවින් ඒ නමින් වත් නොදිවුරන්න. 

එක හිස කෙසක් සුදු කරගන්න හෝ කළු කරගන්න හෝ ඔබට නුපුළුවන් බැවින් හිස නමින් වත් නොදිවුරන්න. 

ඔබේ අදහස එසේ යකීම නම්, ‘එසේ යකියා ද, ‘නැතකීම නම්, ‘නැතකියා ද වේ වා. ඊට වැඩිමනත් යමක් ඇද්ද, එය එන්නේ නපුරාගෙන් ය.

පළිගැනීම ගැන

” ‘ඇසට ඇස ය, දතට දත යයන කීම ඔබ අසා ඇත. 

එහෙත්, මම ඔබට කියමි, එදිරිකාරයාට විරුද්ධ ව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුල ද හරවන්න. 

යමෙකු නඩු කියා ඔබේ කමිසය ගන්න කැමැති වුවොත්, ඔහුට ඔබේ කබායත් ගන්න අවසර දෙන්න.

හේවා නිලධාරියෙකු තම බඩු පොදිය එක කිලෝමීටරයක් දුර උසුලාගෙන යන්න ඔබට බල කළොත්, ඔහු සමඟ එය කිලෝමීටර් දෙකක් උසුලාගෙන යන්න. 

ඔබෙන් ඉල්ලන්නාට දෙන්න; ඔබෙන් ණයට ගන්න කැමැති අයට පිටු නොපාන්න.

සතුරන් කෙරෙහි මෙත් සිත් වැඩීම

” ‘නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න, සතුරාට වෛර කරන්නැයි කී බව ඔබ අසා ඇත. 

එහෙත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න. 

මෙසේ ඔබ ස්වර්ගයෙහි වැඩ සිටින ඔබේ පියාණන් වහන්සේගේ පුත්‍රයෝ වන්නහු ය. කුමක් නිසා ද, උන් වහන්සේ දුදනන් හට හා සුදනන් හට තම හිරු එළිය උදා කරවන සේක; දමිටුන් හට හා අදමිටුන් හට වැසි වස්වන සේක. 

ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්නහු නම්, එයින් ඇති විපාකය කුමක් ද? අයකැමියෝ පවා එසේ නොකරත් ද

ඔබේ සහෝදරයන්ට පමණක් ඔබ ආචාර කරන්නහු නම්, එහි ඇති විශේෂය කුමක් ද? විජාතිකයෝ පවා එසේ නොකරත් ද

එබැවින් ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ සර්ව සම්පූර්ණ ව සිටින්නාක් මෙන් ඔබ ද සර්ව සම්පූර්ණ වන්න.

දන් දීම ගැන

මිනිසුන්ට පෙනෙන පිණිස ලෝකයා ඉදිරියෙහි ඔබේ පුණ්‍ය ක්‍රියා නොකරන්න බලාගන්න. එසේ කළහොත්, ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේගෙන් කිසි විපාකයක් ඔබට නොලැබෙන්නේ ය.

එබැවින් ඔබ දන් දෙන කල, මිනිසුන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස ධර්මශාලාවල දීත්, වීථිවල දීත් කෛරාටිකයන් කරන්නාක් මෙන් ඔබට පෙරටුවෙන් හොරණෑ නොපිඹින්න. සැබැවින් ම, මම ඔබට කියමි, ඔවුන්ගේ විපාකය ඔවුන්ට දැනට ම ලැබී ඇත. 

එහෙත්, ඔබ දන් දෙන කල, දකුණත කරන දෙය වමතට නොදැනේ වා. 

ඒ දන් දීම රහසක් ව තිබිය යුතු ය. එවිට රහසින් එය දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.

යාච්ඤාව ගැන

ඔබ යාච්ඤා කරන කල කෛරාටිකයන් කරන්නාක් මෙන් නොකරන්න. මිනිසුන්ට පෙනෙන පිණිස ඔව්හු ධර්මශාලාවලත්, මංසන්ධිවලත් සිටගෙන යාච්ඤා කිරීමට ප්‍රිය වෙති. සැබැවින් ම මම ඔබට කියමි, ඔවුන්ගේ විපාකය දැනට ම ඔවුන්ට ලැබී ඇත. 

එහෙත්, ඔබ යාච්ඤා කරන කල ඔබේ ම ඇතුළු කාමරයට වැද, දොර වසාගෙන, අදෘශ්‍යමාන ව වසන ඔබේ පියාණන් වහන්සේට යාච්ඤා කරන්න. එවිට රහසින් ඔබ කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.

තවද, යාච්ඤා කිරීමේ දී විජාතීන් මෙන් දිගින් දිගට හිස් වචන නොදොඩන්න. ඔවුන් දොඩන වචන රාශිය නිසා, දෙවියන් වහන්සේ ඔවුන්ට කන් දෙනු ඇතැ යි ඔව්හු සිතති. 

ඔවුන් හා සමාන නොවන්න. ඔබ ඉල්ලන්නටත් පෙර ඔබේ වුවමනා කවරේ දැ යි පියාණන් වහන්සේ දන්නා සේක. 
එහෙයින් මෙසේ යාච්ඤා කරන්න:

ස්වර්ගයෙහි වැඩ වසන අපගේ පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා,
ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා, ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු වේ වා, ස්වර්ගයෙහි මෙන් පොළොවෙහි ද එසේ ම වේ වා.

අපගේ දවස්පතා ආහාරය අද අපට දුන මැනව.
අපට වරද කළ අයට අප කමා කළාක් මෙන් අපේ වරදට අපට කමා වුව මැනව.
අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප මිදුව මැනව.

ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරද කමා කරන්නහු නම්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ ඔබටත් කමා කරන සේක. එහෙත්, ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරදට කමා නොකරන්නහු නම්, පියාණන් වහන්සේ ඔබේ වරදටත් කමා නොකරන සේක.

උපවාසය ගැන

ඔබ උපවාස කරන කල කෛරාටිකයන් මෙන් දොම්නස් මුහුණු ඇති ව නොසිටින්න. තමන් උපවාස කරන බව මිනිසුන්ට පෙනෙන පිණිස ඔව්හු මුහුණු විරූප කරගනිති. සැබැවින් ම මම ඔබට කියමි; ඔවුන්ගේ පල විපාක දැනට ම ඔවුන්ට ලැබී ඇත. 

එහෙත්, ඔබ උපවාස කරන කල, හිස තෙල් ගල්වා, මුහුණ සෝදාගන්න. 

මෙසේ, අදෘශ්‍යමාන ව වසන ඔබේ පියාණන් වහන්සේට මිස, ඔබ උපවාස කරන බව මිනිසුන්ට නොපෙනෙයි. එවිට රහසින් කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.

ස්වර්ග සම්පත් (තෘෂ්ණාව හා ලෞකිකත්වය ගැන)

මෙලොව ඔබට වස්තු රැස්කර නොගන්න. මලකඩ ද කාවෝ ද ඒවා කාදමති. සොරු ද උමං කැණ ඒවා සොරාගනිති. 

එහෙත්, ස්වර්ගයෙහි ඔබට වස්තු රැස්කරගන්න. එහි දී මලකඩ වත් කාවෝ වත් ඒවා නාස්ති නොකරති. සොරු ද උමං කැණ ඒවා සොරා නොගනිති. 

ඔබේ වස්තුව කොතැන ද ඔබේ සිතත් එතැන ය.

නිවැරදි දැක්ම 

සිරුරට පහන ඇස ය. එහෙයින් ඔබේ ඇස නීරෝගි නම්, ඔබේ මුළු සිරුර ආලෝකවත් වේ. ඔබේ ඇස රෝගී නම්, ඔබේ මුළු සිරුර ම අඳුරු වේ. ඔබ තුළ ඇති ආලෝකය අඳුරු වී ගියහොත්, එය කෙතරම් ඝන අන්ධකාරයක් ද?

දෙවිඳුන් ද? වස්තුව ද?

ස්වාමිවරුන් දෙදෙනෙකුට මෙහෙවර කිරීමට කිසිවෙකුට නුපුළුවන. මන්ද, ඔහු එක් කෙනෙකුට වෛර බැඳ අනික් අයට ප්‍රේම වන්නේ ය. නැතහොත්, එක් කෙනෙකුට ළැදි වී, අනික් අය හෙළා දක්නේ ය. දෙවියන් වහන්සේට සහ වස්තුවට සේවය කරන්න ඔබට නොහැකි ය.

කරදර වීම ගැන

එහෙයින් මම ඔබට කියමි: කුමක් කමු ද, කුමක් බොමු ද කියා ජීවිතය ගැන වත්, කුමක් අඳිමු ද කියා ශරීරය ගැන වත් කරදර නොවන්න. කෑමට වඩා ජීවිතය ද, ඇඳුමට වඩා ශරීරය ද අගනේ නොවේ ද

අහසේ කුරුල්ලන් දෙස බලන්න. උන් වපුරන්නේ වත්, කපන්නේ වත්, අටුවල රැස්කරන්නේ වත් නැත. එහෙත්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ උන් පෝෂණය කරන සේක. ඔබ ඔවුන්ට වඩා බොහෝ වටිනවා නොවේ ද

කරදර වීම‍ෙන් තමාගේ ආයු ප්‍රමාණය දික් කරගන්න ඔබ අතරෙන් කවරෙකුට පුළුවන් ද?

ඔබ ඇඳුම් ගැන කරදර වන්නේ කුමට ද? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න; ඒවා වෙහෙසෙන්නේ වත්, නූල් කටින්නේ වත් නැත. 

එහෙත්, සියලු රාජ තේජසින් විරාජ මාන වූ සලමොන් වුව ද, මේ මල්වලින් එකක් සේ සැරසී නොසිටියේ යයි ඔබට කියමි. 

ඇදහිල්ල හීන තැනැත්තෙනි! අද තිබී හෙට උදුනේ දැවීයන කෙතේ තණ කොළ දෙවියන් වහන්සේ එසේ සරසන සේක් නම්, ඊට කොපමණ වැඩියෙන් උන් වහන්සේ ඔබ නොසරසන සේක් ද

එහෙයින් කුමක් කමු ද, කුමක් බොමු ද, කුමක් අඳිමු ද කියමින් කරදර නොවන්න. 

විජාතීන් සෑම විට ම සොයන්නේත් මේවා ම ය; මේවා ඔබට ඕනෑ බව ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ දන්නා සේක. 

එහෙත්, පළමු කොට උන් වහන්සේගේ රාජ්‍යය ද ධර්මිෂ්ඨකම ද සොයන්න; එවිට මේ සියල්ලත් ඔබට දෙනු ලැබේ. 

එබැවින් හෙට දවස ගැන කරදර නොවන්න. හෙට දවසේ කරදර හෙට දවසට සෑහේ. එක දවසක කරදරවලට තව කරදර එකතු නොකරන්න.

අනුන් විනිශ්චය කිරීම

විනිශ්චය නොකරන්න; එවිට ඔබ ද විනිශ්චය කරනු නොලබන්නෙහි ය. 

ඔබ දෙන විනිශ්චයයෙන් ම ඔබත් විනිශ්චය කරනු ලබන්නෙහි ය. ඔබ මනින මිම්මෙන් ම ඔබටත් මැන දෙනු ලැබේ. 

ඔබේ ම ඇසේ ඇති ලී කොටය ගැන නොතකා ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ ගැන බලන්නේ මන් ද

නොහොත් ඔබේ ම ඇසෙහි ලී කොටය තිබිය දී, සහෝදරයාට කතා කොට, ‘ඔබේ ඇසේ තිබෙන ලී කුඩ පහ කරන්න ඉඩ දෙන්නැයි ඔහුට කියන්නේ කොහොම ද

කෛරාටිකයනි, පළමු කොට ඔබේ ඇසෙන් ලී කොටය පහ කරන්න; එවිට සහෝදරයාගේ ඇසෙන් ලී කුඩ පහ කරන්න ඔබට හොඳින් පෙනෙනු ඇත.

පූජනීය දේ බල්ලන්ට නොදෙන්න. ඔබේ මුතු ඇට ඌරන් ඉදිරියෙහි නොදමන්න. එසේ කළොත්, උන් ඒවා පයින් පාගාදමා හැරී අවුත් ඔබ කැබලි කොට ඉරාදමනු ඇත.

අධිෂ්ඨානය සහ මනසේ ශක්තිය ගැන

ඉල්ලන්න, ඔබට දෙනු ලැබේ; සොයන්න, ඔබට සම්බ වේ; තට්ටු කරන්න, ඔබට දොර අරිනු ලැබේ. 

මන්ද, ඉල්ලන්නාට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටු කරන්නාට දොර අරිනු ලැබේ. 

ඔබ අතරෙන් කවර මනුෂ්‍යයෙක් හෝ තමාගේ පුත්‍රයා පාන් ගෙඩියක් ඉල්ලුවොත් ඔහුට ගල් ගෙඩියක් දෙයි ද

මාළුවෙකු ඉල්ලුවොත්, සර්පයෙකු දෙයි ද

මෙසේ අයහපත් ඔබ, ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්න දන්නහු නම්, ස්වර්ගයෙහි සිටින, ඔබේ පියාණන් වහන්සේ තමන්ගෙන් ඉල්ලන්නන්ට යහපත් දේ ඊටත් වැඩියෙන් නොදෙන සේක් ද?”

ස්වර්ණමය අණ

අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැති ද, ඔබත් ඒ දේ ම ඔවුන්ටත් කරන්න. ව්‍යවස්ථාවලියේ හා දිවැසාවලියේ හරය එය වේ.

පටු දොරටුව

පටු දොරටුවෙන් ඇතුළු වන්න. විනාශයට යන දොරටුව විශාල ය, පාරත් පළල් ය. එයින් ඇතුළු වන්නෝ ද බොහෝ ය. 

එහෙත්, ජීවනයට යන දොරටුව පටු ය; පාර ද අවහිර ය; එය සොයාගන්නෝ ස්වල්ප දෙනෙක් පමණකි.

බොරු ඇදුරන් ගැන

බොරු දිවැසිවරයන්ගෙන් පරෙස්සම් වන්න. පිටතින් බැටළු වෙස් ගෙන පැමිණියත්, ඔව්හු ඇතුළතින් රෞද්‍ර වෘකයෝ ය. 

ඔවුන්ගේ ක්‍රියාවලින් ඔවුන් හඳුනාගත හැකි ය. මනුෂ්‍යයෝ කටු ගස්වලින් මිදි වත්, ගොකටුවලින් අත්තික්කා වත් නෙළා ගනිත් ද

හොඳ ගස හොඳ පල දරයි; නරක ගස නරක පල දරයි. 

හොඳ ගසේ නරක පල වත්, නරක ගසේ හොඳ පල වත් හටගන්නේ නැත. 

හොඳ පල නොදරන සියලු ගස් කපා ගින්නට දමනු ලැබේ. 

මෙලෙස, ඔවුන්ගේ පලවලින් නුඹලා ඔවුන් හැඳින ගන්නහු ය.

කීම සහ කිරීම

ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය මිස මට, ‘ස්වාමීනි, ස්වාමීනියි කියන සියල්ලෝ ම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝ ය. 

ඒ දවසේ දී බොහෝ දෙනෙක්, ‘ස්වාමීනි, ස්වාමීනි, අපි ඔබේ නාමයෙන් දිවැස් වැකි නොකීවෙමු ද? ඔබේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු නොකෙළෙමු ද? ඔබේ නාමයෙන් නොයෙක් ප්‍රබල ක්‍රියා නොකෙළෙමු දැයි මට කියනු ඇත. 

එවිට මම, ‘කිසි කලක ඔබ නොහැඳින්නෙමි; දුදනෙනි, මා වෙතින් අහක් ව යන්නැයි ඔවුන්ට කියන්නෙමි.

අත්තිවාරම් දෙක

එහෙයින් යමෙක් මාගේ වචන අසා, ඒවා පිළිපදී ද, ඔහු පර්වතය මත තමාගේ ගෙය තනාගත් නැණවතෙකුට සමාන ය. 
වැසි වැස, ජලය ගලා, සුළඟ හමා ඒ ගෙට ගැසී ය, එය පර්වතය මත පිහිටි බැවින් බිඳ නොවැටිණි. 

තවද, යමෙක් මාගේ මේ වචන අසා, ඒවා නොපිළිපදී ද, ඔහු වැලි මත ගෙය තනාගත් අනුවණ මනුෂ්‍යයෙකුට සමාන ය. 

වැසි වැස, ජලය ගලා, සුළඟ හමා ඒ ගෙට ගැසී ය, එය බිඳ වැටිණි. එහි වැටීම ද භයංකර විය.


ජේසුස් වහන්සේ මේ වචන කියා නිම කළ කල්හි, සමූහයෝ උන් වහන්සේගේ අනුශාසනා ගැන විස්මිත වූ හ. 

මන්ද, උන් වහන්සේ ඔවුන්ගේ විනයධරයන් මෙන් නොව, ආධිපත්‍යය ඇත්තෙකු මෙන් ඔවුන්ට අනුශාසනා කළ හෙයිනි.

(මැතිව් 5, 6, 7 පරිච්ඡේද)

BEN HUR චිත්‍රපටයේ නිරූපිත කන්ද උඩ දේශනාව
http://2.bp.blogspot.com/-ffcVOVvAqZc/UZ-kGcZcLuI/
AAAAAAAAHPw/8wb4jXqEtyE/s1600/jesus.bmp

පරණ යුදෙව් ආගමේ ව්‍යවස්ථා, ජේසුතුමා කෙතරම් මට සිළුටු සහ මානවවාදී බවට හරවා ඇත්ද යන්න විස්මය ජනකය. විශේෂයෙන්ම, ඒ අදින් වසර දෙදහසකට පමණ පෙර කාලයකදී, කර්කෂ පරිසරයකදී, අයෝමය රෝම අධිරාජ්‍යයේ පාලනය යටතේ යන වාතාවරණය සැළකිමේදී ය.

බෛබලය සිංහලෙන් ඔන්ලයින් කියවන්න ලිංක් එකක් මෙන්න.

වැඩිපුර බලපු ලිපි