Thursday, March 31, 2022

Thursday, March 17, 2022

චීන උපහාස කතා


ඔන්න ඔය මාතෘකාව තිබුණ පොතක් තිබුණා ජපං පන්සලේ පුස්තකාලෙ. ඒ කියන්නෙ කඩවත, රම්මුතුගල තිබුණු ජපන් ආධාරවලින් හදාපු පන්සලේ පුස්තකාලෙ. මේ ළඟදි මොකක් හරි කාරණේකට මට මතක් උනා ඒ පොතේ තිබුණු කතා කීපයක්. ඔන්න එහෙනං ඒ ටික කියෝගන්ඩලා.

බාහිර වෛද්‍ය

දවසක් සෙන්පතියෙක් යුද්ධෙදි තුවාල වෙලා ගෙදර ගෙනාව. එයාගෙ හිස් කබල විනිවිද ගියපු ඊතලයක් නිසා තමයි තුවාල වෙලා තිබුණෙ. ඉතිං ගෙදර උදවියත් හදිසියට ළඟ පාත හිටපු "බාහිර වෛද්‍ය" කියලා බෝඩ් එකක් දාගෙන හිටපු වෙදෙක් එක්කරං ආවා. උන්දැ ඔලුවෙ හමට ඉතා ම ආසන්නයෙන් අර ඊතලේ කපල දාලා ගාස්තුව ඉල්ලුවා.

"ඒ මොකද ඒ? ඊතලේ අයිං කරන්ඩෙපැයි මෙයාට බෙහෙත් කරන්ඩ..." ගෙදර උදවිය ඇහුවා.

"ආ... ඒකට ගෙන්නන්ඩ වෙන්නෙ අභ්‍යන්තර වෛද්‍ය කෙනෙක්. මම වෙදකං කරන්නෙ බාහිරට විතරයි..." අර වෙදා කිව්වා.

පුරුෂ ධෛර්යය

දවසක් මනුසයෙක් ගෙදර උන්දැත් එක්ක රණ්ඩු වෙලා, ධීර වීර විදිහට දුවගෙන ගිහිං ඇඳ යටට රිංග ගත්තා. ගෙදර මායියත් කොස්ස අරගෙන ඇවිත් ඇඳ යටට එබිලා කියනව...

"වරෙං මිනිහො එළියට!"

"උඹ දැනගනිං මාත් පිරිමියෙක්!" අසංග කෑ ගැහුවා. "මම එන්නෙම නෑ එළියට. පුළුවන්නං එළියට ගනිං!"

අමතක

අමතක වෙන ලෙඩේ තදිම්ම තිබුණු පෝසත් මනුස්සයෙක් උන්නා. උන්දැට දවසක් ආරංචි වුණා හිතේ ලෙඩ වලට නොවරදින ප්‍රතිකර්ම කරන වෙද මහත්තයෙක් ඉන්නව කියලා ඈත ගමක. ඉතිං ඒ මනුස්සයා දවසක් පාන්දරිම්ම පිටත් වුණා අස්සයා පිටේ, අර වෙද මහත්තයා හම්බ වෙන්ඩ.

මගදි උන්නැහැට ශරීර කෘත්‍ය්‍ය හෙවත් $%$ කරන්ඩ උවමනා උනා. ඉතිං අස්සය පිටිං බැහැලා. ඊතලයක් බිම හිටවලා, අස්සයව ඒකෙ ගැට ගැහුවා. පස්සෙ එතනම බිම ඇණ තියාගෙන ඉඳගෙන $%$ කළා. හෝදගෙන නැගිටලා  කළිසම ඇඳ ගනිද්දි තමයි අර ඊතලේ දැක්කෙ.

"හප්පට සිරි! ඊ තලයක් නෙව! කෙස් ගහෙං බේරුණේ." කියල ඔලුව උස්සල බලනකොට, ඊතලේ ගැට ගහල හිටපු අස්සය දැක්කා.

"අඩෝ වාසනාව යකො! අස්සයෙක්!" කියල ප්‍රා ජේ ආපිට හැරුණු පාර $%$ ගොඩ පෑගුණා. 

"චිඃ! මේ වරත්තු බල්ලො! හැම තැනම ජරා කරනව!" කියාගෙන කකුල තණකොල ගොඩේ අතුල්ලලා පිහදාගත්තා.

කකුල හොඳට පිහදාගත්තු මනුස්සයා, අස්සයගෙ පිටේ නැගල ගමන පටං ගත්තා ආයෙමත්. අස්සය පුරුද්දට වට රවුමක් ගහලා ආයෙත් අර මනුස්සයගෙ ගෙදරට ම ගියා.

ඒ මනුස්සයත් අස්සයගෙ පිටෙන් බහින ගමං කල්පනා කළා. 'බොලේ මේ වෙදාගෙ ගේත් මගෙ ගෙදර වගේම නෙ.' කියල. අස්සයගෙ ලණුව ගන්ඩ ගෙදර සේවකයත් ඉස්සරහට ආවා.

"තෝ මොකද මෙතන කරන්නෙ? පලයං ගෙදරට!" කියලා අර මනුස්සය තමන්ගෙ සේවකයව ගෙදරට එළෙව්වා. 

ඒ සද්දෙ ඇහිලා උන්නැහැගෙ මායියා එළියට ආවා. "තමුසෙ අදත් අමතක කරගෙන ආපහු ආව නේද"" කියාගෙන.

"මොන අවනඩුවක්ද නෝනා මේ කියන්නෙ? මං ආවෙ සෑහෙන දුර බැහැර ඉඳලා, වෙද මහත්තයව හම්බෙන්ඩ. කෝ උන්නැහැ ඉන්නවද?" කියලා අර මනුස්සයා උත්තර දුන්නා.

බූරුවෙක්!

ඔය විදිහටම පෝසත් මිනිහෙක් උන්නා, හැබැයි අකුරු සාස්තරේ බෑ. නමුත් උන්දැට ලොකුවට උවමනාව තිබුණා තමන්ට අකුරු කියවන්ඩ පුළුවන් කියලා පෙන්නන්ඩ.

දවසක් උන්නැහැ ඉස්තෝප්පුවෙ කට්ටියක් එක්ක කතා කර කර ඉන්නකොට, ළග ගෙදරක සේවකයෙක් ලියුමක් අරං ආව. අර ලියුමෙ ලියල තිබුණේ, "මේ සේවකයා අතේ ඔබේ බූරුවෙක් එවන්න" කියලා. අර මනුස්සයත් "කෝ මෙහෙ දෙනව..." කියල අර ලියුම අරං එක එක පැත්තට හරව හරවා කියෙව්වා. කියවලා කියවලා අන්තිමේ කිව්වා, 

"හා උඹ පලයං. මං එන්නං" කියලා. 

එඩිතරකම

භාර්යාවන්ගෙන් වෙන ගැහැට ට එරෙහිව කටයුතු කරන්න පිරිමි ටිකක් හදාගත්තා සමිතියක්. ඔය සමිතියෙ පළවෙනි රැස්වීම කරගෙන යද්දි, විහිළුවක් කරන්ඩ හිතාගෙන යාළුවෙක් දුවගෙන ඇවිත් කිව්වා, "අන්න උඹලැ ‌මායියල සෙට් එක කොසු ඉදල් අරං එනව. දුවපියව්!" කියල.

ඔක්කොම සෙට් එක පණ කඩාගෙන දිව්වා එකෙක් ඇර. 

"යකෝ එක පිරිමියෙක් ඉඳලනෙ ගෑණිට බය නැති!" කියලා අර විහිළුව කරපු නිමල් අයිය ළඟට ඇවිත් බලනකොටලු දැක්කෙ, අර බය නැතුව ඉඳගත්තු තැනම ඉඳගෙන හිටපු බස්සා, එතනම මැරිලා බයටම...

Saturday, March 5, 2022

තේ කෝප්පය


"අද අරුමැක්කෙ අබේපාල මහත්තයත් එනවා. හොඳ උදැල්ලක් තෝරල තියන්ඩ ඕනැ," කී වෙද මහතා පසෙක වූ උදලු ගොඩෙන් එකක් අතට ගෙන තලය බිමට තබා තද කොට බලා පසෙකින් තැබුවේය.

"මටත් හිතුණා වෙද මහත්තයලගෙ ශ්‍රමදානෙ බලන්ඩ එන්ඩ, අද නිවාඩු දවසෙ," වෙද මහතා දුටු අබේපාල මහතා ඈත තියාම කීවේය.

"කොච්චර ‌හොඳ ද? හැබැයි වැඩ කරන්ඩ ඕනෑ. ඔන්න මම හොඳ උදැල්ලකුත් තෝරලා තිබ්බා," කී වෙද මහතා කොක්හඬ ලා සිනාසුණේය.

"ගිය සැරෙත් එන්ඩ හිතාගෙන හිටිය. ඒත් බැරිවුණා මොකක් ද හදිසි ගමනක් යෙදිලා."

"ඒකට කමක් නැහැ, ආද ආවා හොඳට ම ඇති," කියමින් උදැල්ලක් ද රැගෙන කණ්ඩියෙන් පහළට බැස්ස වෙද මහතා පාර මායිම් කිරීම සඳහා ඇද තිබුණු කොහු ලුණු පොට දිගේ බඹ හත අටක් දුරට කොටාගෙන කොටාගෙන ගියේය. අනතුරු ව ළඟ සිටි තරුණයා අතට උදැල්ල දී "කොටාගෙන යනව ඔහොම දිගට ම," යි කීවේය.

මිනිත්තු දෙක තුනක දී බඹ පනහක් පමණ දුරට පාර මායිම් කර අවසන් විය. කවුරුත් අතට අහුවුණු උදැල්ලක්, යකඩ ඉන්නක් හෝ ගල් කටුවක් ගෙන පාර කැපීමේ වැඩ පටන් ගත්හ.

උදලු බිම වදින හඬ මිනිසුන්ගේ කටහඬ මැඩගෙන පැතිර ගියේය. කුහුඹුවන් රැළක් මෙන් කඩිසර ව වැඩෙහි යෙදී සිටි මිනිසුන්ගේ උද්‍යා්‌ෙගය දුටු අබේපාල මහතාගේ සිත නව හැඟුමකින් පණ ගැන්විණි. ළමයින් මෙන් ම මහල්ලන් ද තරුණයන් සමග උරෙනුර ගැටී වැඩ කළේ තරඟයට මෙනි. අබේපාල මහතාගේ දෑත් නලියන්නට විය. වැඩ නොකර බලා සිටීම ගැන සිය යටි සිත තමාට දොස් නගන්නාක් මෙන් අබේපාල මහතාට දැනුණි.

පාර මැදට අසුවුණු පොල් ගස වට කරගත් කීප දෙනා ඒ වටේ කණින්නට වූහ. තරුණයෙක් කඹයක් රැගෙන ගසට නැග එහි කෙළවරක් මුදුනේ ගැට ගැසුවේය.

අබේපාල මහතා කමිසය ලිහා අසල වූ ගල් පොත්ත මත තබා සරම කැහැපට ගසා ගත්තේය. අබේපාල මහතාට උදැල්ලක් ඉතිරි වී නොතිබුණි. වෙද මහතා තෝරා තබන ලද උදැල්ල ද වෙනත් කෙනෙකු අතෙහි විය. පොල් ගස වටේ කණිමින් සිටි අයෙකුගෙන් යකඩ ඉන්නක් ඉල්ලා ගත් අබේපාල මහතා ද අනෙක් අය සමග හරි හරියට වැඩ කරන්නට විය.

දිනපතා කන්තෝරුවට යන අතරමගදී අබේපාල මහතාට මුණගැහෙන කම්කරුවන් කීප දෙනෙකුගේ මුහුණු ඔහු එහිදී දුටුවේය. වෙන දා නුදුටු චිත්තාකර්ෂණීය භාවයක් ඒ මුහුණුවල ගැබ් ව ඇතැයි අබේපාල මහතාට සිතුණි.

පොල්ගස මුල කණිමින් සි‌ටි එක් අයෙක් "දැන් ඇති, අදිනවා බලන්ඩ," කීවේය. තරුණයෝ දෙදෙනෙනක් උදලු අතහැර ගොස් කඹයේ කෙළවර අල්ලා ගත්හ. අබේපාල මහතා ද දිව ගොස් ඔවුන් සමග එක් විය.

"හා ඕං"එක් අයෙකු නැගූ හඬත් සමග කඹය ඇදුණේය. පොල් ගස මදක් නැවී අවුත් යළිත් ආපසු ඇදුණේය. කිට්ටුව වැඩ කරමින් සිටි වෙද මහතා ද උදැල්ල අත හැර අවුත් කඹය අල්ලා ගත්තේය. හා ඕං යයි නැවතත් හඬ නැගුණි. ගස මදකත් ඇල විය. හා ඕං යයි තුන් වැනි වරට නැගුණු හඬත් සමග ම පොල් ගස බිම ඇද වැටිණි.

වැඩ කරමින් සිටි කොලු රැළ දිව අවුත් එහෙ මෙහෙ විසිරී ගිය කුරුම්බා ගෙඩි අහුලා ගත්හ. කීප දෙනෙක් ජයග්‍රාහී ලීලාවෙන් පොල් කඳ මත වාඩි වී බුලත් සපන්නට වූහ. ඔවුන් සමග වාඩි වී සිටි අබේපාල මහතා නළලින් වැගිරෙන ඩහදිය දකුණු අත දබරැඟිල්ලෙන් සූරා දැමුවේය.

වැඩ කිරීමේ ආසාවෙන් පිබිදුණු කම්කරුවන්ගේ මුහුණු දකින අබේපාල මහතාට තමා දිනපතා කන්තෝරුවට යන අතරමගදී දක්නට ලැබෙන කම්හල සිහි විය. තැනින් තැන ඉදි කරන ලද ගොඩනැගිලිවලට ඉහළින් නැගෙන කළු දුම් වළලු ඔහුට පෙනෙන්නාක් මෙන් විය. කම්හල ඉදිරිපිට කුඩා තේ කඩය ළඟ රැස්වී තේ බීමට පොරකන කම්කරුවන් නිසා තමාට කීප දිනක් ම මොටෝරිය හසුරුවා ගැන්ම අපහසු වූ සැටි ද සිහියට නැගුණි. 

"තේ වතුර, තේ වතුර" පාරේ ඈත කෙළවරේ වැඩ කරමින් සිටි කවුදෝ කෑගැසුවේය. කවුරුත් තමන් අත වූ ආයුධ බිම තබා එදෙසට ඇදෙන්නට වූහ.

"තේ ගෙනාවෙනං හොඳ වෙලාවට," අබේපාල මහතා ගේ යටි සිත කොඳුළේය.

"යමු මහත්තය තේ වතුර ටිකක් බොන්ඩ," වෙද මහතා කීවේය.

"යමු, මාත් හිටියෙ දිව ගිලෙන්ඩ තරං පිපාසෙනුයි."

තේ බාල්දිය වට කරගෙන සිටි වැඩි දෙනා කම්කරුවෝය. විහිළු තහළුවෙන් යුතු ව තේ බීමේ යෙදී සිටි ඔවුන්ගේ ප්‍රසන්ன මුහුණු අබේපාල මහතාගේ සිත ඇදගත්තේය.

"කම්කරුවො, වැඩපළ, දාඩිය-කොයි තරං වටිනව ද" අබේපාල මහතාට සිතුණි.

වෙද මහතා ගෙනැවිත් දුන් තේ කෝප්ප්පය දෙතොළට ළං කළ අබේපාල මහතාට අමුතු සුවඳක් හා රහක් දැනුණේය. එවැනි සුවඳක් හා රසක් මින් පෙර කිසි විටෙක ඔහුට දැනී නැත.

කම්හල ළඟ කඩේ තේ ගැන පැතිර ගිය ආරංචිය ඔහුට සිහි විය. ‌ඒ කඩේ තේ පමණ රස තේ වෙනත් තැනක නැතැයි යන ආරංචිය ඇසූ තමා දිනක් තේ බීමට ඒ කඩයට ගිය සැටි සිහි විය. එක් උගුරක් පමණක් කටට ගෙන තේ රස නැතැයි මුදලාලිට කී සැටිත්, ඔහු එයට දුන් පිළිතුරත් සිහියට නැගුණි.

"දාඩිය මහන්සියෙන් වැඩ කරන අයට පමණයි මේ තේවල රස දැනෙන්නේ," එදා මුදලාලි කීවේ සැබෑවකි.

ඩහදිය හෙළන අයට ඒ කඩේ තේ පමනක් නොව, කොහේ තේත් රසයයි ඔහුට සිතුණි.

හිස් කෝප්පය රැගෙන තේ බාල්දිය ළඟට ගිය ඔහු තවත් තේ කෝප්පයක් ඉල්ලා ගත්තේය.



පරණ කියවීම් පොතකිනි.

Thursday, March 3, 2022

යුද්ධ කතාවක්...

දහ අට වන සියවසේ අග. හේතුඵලවාදයේ යුගය...

මකර මුහුණු කැටයම් කළ කාලතුවක්කුවලින් පහර දෙන දර්ශන. ඉතා අපූරු කැමරා කෝණ දෙක තුනකින් යුද්ධයේ බිහිසුණු බව සහ වින්දිතයන් පීඩා විඳින හැටි නිරූපණය වෙයි.

කඩං වැටුණු ලෝහමය අශ්වයෙකුගේ හිස සහ උරහිස් ‌කොටසක ඇතුලේ කුහරය තුළ පවුලක් යම් කිසි කෑමක් උයාගන්නා හැටි කැමරාවට හසු වෙයි. ඉහළට යොමුවෙන කැමරාවට හසුවන්නේ ඒ හිස කඩා වැටුණු ප්‍රතිමාවයි. එහි කඩුව ඇදගත් වීරයෙක් අශ්වයෙක් පිට නැගී සිටියි. අශ්වයා ඉදිරි දෙපා ඔසවාගෙන වේගයෙන් පනින සෙයක් නිරූපණය කරයි.

ප්‍රතිමාවේ පාදමේ දැන්වීම් කීපයක් ම අලවා ඇත. එයින් එකක්...

ජන රජයේ ආරක්ෂාව උදෙසා

අපගේ ආහාර තොග හිගයි

ආහාර ඉතිරි කිරීම සඳහා

අඩුවෙන් කන්න

- - -

සැබෑ පුරවැසියෝ, දේශමාමක 

පිරිමි සහ ගැහැණු නගරය පරාජය වීමට ඉඩ නොහරිති,

මේ අවශ්‍යම මොහොතේදී

- - -

පුරවැසි කමිටුව

949 වන ආඥාව

ඊටත් පහළින් ඇති වේදිකා නාට්‍යයක දැන්වීමකි. රාජකීය තියටරයේ හෙන්රි සෝල්ට් සහ පුත්‍රයා අවුරුදු තිහකට පසුව රඟදක්වන, ඇදහිය නොහැකි සත්‍යයන් පිළිබඳ කතාවක්...

"බැරන් මුන්චෝසන් ගේ වික්‍රම"

කුඩා ගෑණු ළමයෙක් ඇවිත්, නාට්‍ය දැන්වීමේ ඇති හෙන්රි සෝල්ට් සහ පුත්‍රයා යන වගන්තියේ පුත්‍රයා යන වචනය කටුගා දමයි. ඉහළට ඇදෙන කැමරාවට නගරයේ ඇති "මරණයේ" ප්‍රතිමාවේ මුහුණ ලක් වෙන අතර, ඒ ප්‍රතිමාවේ සෙවනැල්ලෙන් කුඩා ගෑණු ළමයා වැසී යයි.

කඩා වැටුණු රඟ හලේ සුන් බුන් මත නගර වැසියෝ සහ හමුදා සෙබලු වාඩි වී සිටිති. මුන්චෝසන් බැරන්වරයාගේ මුහුදු වික්‍රමයක් වේදිකාවේ රඟ දැක්වෙයි. නුපුහුණු වේදිකා කම්කරුවෝ බැරන්වරයා ගේ නැව සහ මුහුදු රැළි ක්‍රියාත්මක කරද්දී ප්‍රේක්ෂකයෝ සිනා ගැන්වෙන්නේ කතාවටත් වඩා, සිදුවන අත්වැරදීම්වලිනි. කුඩා දරුවෙක් වඩාගත් මවක් ද වේදිකා සේවකයන් අතර සිටියි.

දෙවැනි ජවණිකාව දිගහැරෙන්නේ කොන්ස්තන්තිනෝපලයේ අධිරාජ්‍යයාගේ මන්දිරයෙනි. එහෙත් නාට්‍යය ඉදිරියට යා නොදෙන්නේ හිටි හැටියේ ම නාට්‍ය ශාලාවට කඩාවදින මහළු මිනිසෙකි. හිටපු යුධ වීරයෙකු සේ ඇද පැළඳ සිටින ඔහු නරඹන්නන් අතරින් ඉදිරියට විත් වේදිකාවට කඩා වැදී සියල්ලන්ටම කෑගසයි. 

"මමයි බැරන් මුන්චෝසන්. නුඹලා මගේ ඇත්ත කතාව විකෘති කරලා නාට්‍යයක් හැටියට පෙන්වනවා."

කඩුව ඇදගෙන වනද්දී මුන්චෝසන් ලෙස රඟපාන ශිල්පියා පැළඳ සිටින කෘත්‍රිම නාසය කැපී වැටෙයි.

මුලින් නාට්‍ය දැන්වීමේ වචනයක් කටු ගෑ සැලී නම් කුඩා ගෑණු ළමයා හැර කිසිවෙකුත් ඔහු විශ්වාස නොකරති. එතනින් ආරම්භ වන්නේ ඒ මහළු මිනිහා, හයිරොනිමස් කාල් ‌ෆ්‍රෙඩ්රික් වොන් මුන්චෝසන් බැරන්වරයා ගැන තිබෙන කට කතා සියල්ල ගැන ඇත්ත විස්තර රංගශාලාවේදී විස්තර කිරීම. ඒත් සමඟම, ඔහු කියන කතාව අප ඉදිරියේ නිරූපණය වෙනවා.

අවශ්‍ය වෙලාවට අධික වේගයකින් දිවිය හැකි, වෙනත් වෙලාවල බරැති යකඩ බෝල දෙකක් කකුල් දෙකේ ගැට ගසාගෙන සිටින බර්තෝල්ඩ්, ඉතාම සූක්ෂ්ම ‌දෑසක් හිමි දක්ෂ වෙඩික්කාරයෙකු වූ ඇඩොල්ෆස්, ඈත දෙයක් පවා ඇසෙන, කටින් පිඹීමෙන් හමුදාවක් වුණත් ගසාගෙන යන්නට සැළසිය හැකි ගුස්ටාවුස් සහ අදහිය නොහැකි ශක්තියක් ඇති ඇල්බ්‍රෙක්ට්; මුන්චෝසන් බැරන්වරයාගේ සගයන්.

මැංචෝසන් චාරිකා පොතේ සඳහන් සමහරක් වික්‍රම ‌මේ කතාවේ ඉතාම විචිත්‍රවත්ව නිරූපණය වෙනවා. කාලතුවක්කු උණ්ඩයක නැගී සතුරු බළකොටුවට ගිය හැටි පෙන්වන මේ දර්ශනය ඊට උදාහරණයක්. ආපිට එද්දී ඔහුට මරණයේ දේවතාවාත් මුණ ගැහෙනවා.

මුන්චෝසන් බැරන්වරයා වරක්, රෝම දෙවියෙක් වන වල්කන් මුණ ගැහෙනවා. වල්කන් ඔහුට පෙන්වනවා, න්‍යෂ්ඨික බලය අවියක් ලෙස යොදාගන්නා හැටි. එතැනදී ඇතිවන දෙබස හාස්‍යය ඉක්මවා යනවා.

මුන්චෝසන් බැරන්: මොකද්ද මේ?

වල්කන්:    ආ, මේ අපේ මූලාකෘතියක්. අන්තර් මහද්වීපික, රේඩාර්වලට හසු නොවන, බහු ශීර්ෂක, න්‍යාෂ්ඨික මිසයිලය.

මුන්චෝසන් බැරන්: අහ්! මොකද්ද ඒකෙන් කරන්නෙ?

වල්කන්:    කරන්නෙ? සතුරන් මරණ එක.

මුන්චෝසන් බැරන්: සතුරන් ඔක්කොමද?

වල්කන්:    ඔව්. උං ඔක්කොම. උන්ගෙ භාර්යාවන්, උංගෙ දරුවන්, උන්ගෙ බැටළුවො, උංගෙ හරක්, උංගෙ බළල්ලුයි බල්ලොයි, ඔක්කොම විනාශ වෙනව.

සැලී:    ඒක බිහිසුණුයි නෙ.

වල්කන්:    ආා, ඉතිං... ඒකෙ තියෙන වාසිය තමයි, ඒ කිසිම එකෙක් මැරෙන හැටි අපට දකින්න වෙන්නෙ නැති එක. අපි මයිල දාස් ගාණක් ඈත තැනක සැප පහසුවට වාඩිවෙලා ඉන්න ගමං, සරළවම බොත්තමක් ඔබන එක විතරයි කරන්න තියෙන්නෙ.

බර්තෝල්ඩ්:    ඉතිං, මොකද්ද ඒකෙ තියෙන වින්දනය?

වල්කන් ගේ භාර්යාව වන වීනස් දෙවඟන හැටියට රඟපාන්නෙ සුරූපී උමා තර්මන්. මේ චිත්‍රපටියේ බොතිචෙල්ලීගේ "වීනස් උපත" චිත්‍රය ඉතාම සුන්දර ලෙස නිරූපණය කරනවා.


මීට කලින් චිත්‍රපට ගැන ලීවාට වඩා වෙනස් ලෙස සහ මඳක් ගැඹුරට යමින් මේ විස්තරය ලිව්වේ නිදියා ගේ සිහිකැඳවීමට විශේෂයක් කරන්නට උවමනා නිසයි. නමුත් මම වඩා කැමති, මම කියන දේට වඩා වැඩි යමක් චිත්‍රපටය නරඹා රසවිඳින්නට ඉතුරු කරන්නටයි. ඒ නිසා බැරන් මුන්චෝසන් උණුසුම් වායු බැලූනයකින් හඳට ගිය හැටිත්, ආපිට ඇවිදින් විශාල මාළුවෙකු විසින් ගිල දැමුණු හැටිත්, අවසානයේ තුර්කි හමුදාව පරදවා නගරය බේරාගත් හැටිත් විස්තර කරන්නට අදහස් කරන්නේ නෑ. මම චිත්‍රපටය බාගත්තේ ටොරන්ට් එකකින්. සමහර කොටස් ඔබේ බටේ තිබුණත්, මුළු ෆිල්ම් එක ම එතනින් බලන්න නෑ. මෙතන තියෙනවා YTS ටොරන්ට් එකක්. ඉතින් අර ජේසු තුමා කිව්වා වගේ, "බලන්න - ස්පර්ෂ කරන්න"

Sunday, February 27, 2022

රත්තරන් ඔරලෝසුව


ඉස්කෝලේ මහත්මයාගේ නම බාඩ් ය. ඔහුගේ මල්ලී ඇන්ඩර්ස් විය. අයියා මල්ලී ගැන ද, මල්ලි අයියා ගැන ද ලොකුවට සිතූහ. දෙදෙනා ම යුද හමුදාවට බැඳුනේ කට මයි. ජීවත් වූයේ එක නගරයේ මයි. යුද සමය ගෙව්වේත් එකට මයි. එක ම බළ ඇණියට අයත් ව සිටි ඔවුහු දෙදෙනා ම කෝපරල් නිලයට ද උසස් වීම් ලැබූහ. යුද සේවාව අවසානයේ ගමට පැමිණි ඔවුන් යස ඉලන්දාරි දෙදෙනෙකු ලෙස මිනිස්සු හැඳින්වූහ.

ටික කලකට පසු ඔවුන්ගේ පියා මළේය. පියා විශාල බූදලයක් ඉතිරි කර තිබුණු බැවින් එය බෙදා වෙන් කර ගැනීම අපහසු විය. මේ කටයුත්ත නිසා සිත් බිඳීමක් ඇති නොවන්නට වග බලා ගත් ඔවුහු එම දේපළ වෙන්දේසියේ විකුණන්නටත්, තම තමන් කැමති දේපළක් වෙන්දේසියේදී මිල දී ගන්නටත්, වෙන්දේසියෙන් ලැබෙන මුදල සම ව බෙදා ගන්නටත් කතිකා කර ගත්හ. එය එපරිද්දෙන් ම සිදු විය.

මුළු පළාතේ ම මහත් ප්‍රසිද්ධියට පත් වූ ලොකු රන් ඔර්ලෝසුව ඔවුන්ගේ පියා සතු ව තිබිණි. ඒ පළාතේ මිනිසුන් දැක ඇති එක ම රත්තරන් ඔරලෝසුව ද එය විය. මේ ඔර්ලෝසුව වෙන්දේසියෙන් ගැනීමට සල්ලිකාරයෝ බොහෝ දෙනෙක් ඉදිරිපත් වූහ. එහෙත් අයිය මලෝ දෙදෙනා ඔර්ලෝසුව ඉල්ලා තරක් කරන්නට වූ විට අන් අය පසු බා සිටියහ. එය තමාට ගන්නට ඇන්ඩර්ස් ඉඩ දෙතියි බාඩ් සිතුවේය. බාඩ් එසේ කරනු ඇතැයි ඇන්ඩර්ස් කල්පනා කළේය. දෙදෙනා ම මිල නංවමින් එය ඉල්ලූහ; අනෙකා පරදවන අටියෙන් මිල නැංවූහ; එසේ ඉල්ලමින් අනෙකාගේ මුහුණට රකුසු බැලුම් හෙළූහ. ඔර්ලෝසුවේ මිල ඩොලර් විස්සට නැංග අවස්ථාවේ බාඩ් සිතුවේ මල්ලී මෙසේ කිරීම ගුණේ නැති වැඩක් ලෙසය. බාඩ් එසේ සිතා ඩොලර් තිහ දක්වා ගණන උස්සා ඔර්ලෝසුව ඉල්ලීය. "මම මල්ලීට කොයිතරම් උදවු පදවු කර තිබෙනවාද? ඒ සියල්ලම මල්ලී අමතක කළා නේද? ඒ ඇරත් අයියාකමට වත් සැලකිල්ලක් තියෙන්න ඕනෑ නේද?" බාඩ් සිතුවේය.

ඔරලෝසුවේ මිල ඩොලර් තිහ ඉක්මවා ගියේය. ඇන්ඩර්ස් පසුබට වූයේ නැත. බාඩ් එක පිම්මට ඉල්ලීම ඩොලර් හතළිහ කළේ මල්ලීගේ මුහුණ වත් නොබලා මයි. වෙන්දේසි කාමරයේ දැන් ඇත්තේ නිහඬ බවකි. වෙන්දේසි කාරයා පමණක් නැවතිල්ලේ ඉල්ලුම ප්‍රතිරාවය කෙළේය. ඩොලර් හතළිහට මිල උස්සන්නට බාඩ් ට පුළුවන් නම් තමාට බැරි ඇයි දැයි ඇන්ඩර්ස් සිතුවේය. බාඩ් ඔර්ලෝසුවට මෙතරම් ගිජු නම් එය කෙසේ හෝ ගත යුතු යැයි සිතූ ඇන්ඩර්ස් ගණන තවත් උස්සා ඉල්ලුවේය. උපන්තේකට මෙහෙ ම නව නින්දාවක් කවදා වත් වුණේ නැතැයි බාඩ් සිතීය. බාඩ් ඩොලර් පනහට ගණන් ඉස්සුවේ හීන් හඬිනි. එතැන පිරී සිටි මිනිසුන් ඉදිරියේදී මේ අයුරින් මදි පුංචිකම් කිරීමට ඉඩ නොතබමියි තමාට ම කියා ගත් ඇන්ඩර්ස් ගණන තව ඉස්සුවේය. බාඩ් හයියෙන් සිනාසුණේය.

"ඩොලර් සීයයි. අයිය මලෝ කමත් හැඳි ගෑවිලා ගියදෙන්." බාඩ් කාමරයෙන් පිටවී ගියේය.

ටික වේලාකට පසු ඔහු අශ්වයාගේ සෑදලය සකස් කරමින් සිටියදී මිනිහෙක් එළියට පැමිණියේය.

"ඔරලෝසුව ඔබටයි, ඇන්ඩර්ස් ඒක අතහැරියා." මේ ආරංචිය ඇසූ කෙණෙහි දැඩි දුක් වේදනාවක් ඔහු පුරා පැතිරී ගියේය. ඔහු සිහි කළේ ඔරලෝසුව ගැන නොවේ. මල්ලීය. 

සෑදලය සකස් වී තිබුණ නමුත් අසු පිට නගිම් දෝ, නොනගිම් දෝ යන කුකුසෙන් යුතුව ඔහු අසු මත අත තබා ගෙන කල්පනා කෙළේය. වෙන්දේසි පොළෙන් පිටතට ආ බොහෝ දෙනා අතර ඇන්ඩර්ස් ද විය. ගමන් ඇරඹීමට සූදානම් ව සිටි බාඩ් ගේ සිතෙහි පෙරළෙන සිතුවිලි මොනවා දැයි නොදත් ඇන්ඩර්ස් අසු පිට නගිමින් සිටි බාඩ්ට මෙසේ කීයේය. 

"ඔරලෝසුව අරගෙන උඹ හැදියන් බාඩ්, මේ මල්ලී උඹේ පස්සේ උපෝපන් ජාති ඒවිය කියලා හිතන්න එපා; උඹේ ගෙදර පස් පාගන්න එන්නේ මම නොවෙයි."

"හිතන්න එපා මමත් උඹේ එළිපත්ත පනින්න ඒවිය කියල," බාඩ් පිළිතුරු දුන්නේය. ඔහු අසුපිටට නගින විට ඔහුගේ මුහුණ සුදුමැලි වී තිබිණි.

එදා සිට දෙදෙනාගෙන් එකෙක් වත්, තම පියා හා එකට ජීවත් වුණු ගෙට අඩිය නොතැබුවේය.

වැඩි කලක් නොගොස් ම ඇන්ඩර්ස් ගොවි පවුලකින් විවාහයක් කරගත්තේය. බාඩ්ට ඒ මගුල කීවේ නැත. බාඩ් ඒ සඳහා පල්ලියට ගියේත් නැත. විවාහ වුණු පළමු වැනි අවූරුද්දේ ම ඇන්ඩර්ස්ට සිටි එක ම එළදෙන නැති වූවාය. තමාගේ ගෙට උතුරු දෙසින් වූ කණුපළේ ම එළදෙන මැරී සිටි නමුත්, ඇය කෙසේ මැරුණා ද යන්න කිසිවෙකුටත් තේරුම් කර දිය නොහැකි විය. තවත් කරදර රාශියක් එක පිට එක කඩා වැටිණ. මේ හැම කරදරයකට ම වඩා ඉසිලිය නොහැකි නස්පැත්තිය වූයේ ශීත සෘතුවේ රැයෙක ඔහුගේ ධාන්‍ය බිස්ස මුළුමණින් ම පිළිස්සී විනාශ වී යෑමයි. "කාල ඇඳලා හොඳින් ඉන්නවාට අකමැති එකෙක් මේවා කරලා තියෙන්නේ" යි කියා ඇන්ඩර්ස් මුළු රැය ම ඇඬුවේය. ඔහු දුප්පතෙක් විය. වැඩ කිරීමේ ආශාව මුළුමණින් ම ඔහු කෙරෙන් තුරන් විය.

ගින්න හටගත් දිනට පසු දා සවස බාඩ් මල්ලීගේ ගෙදරට ගියේය. ඇඳේ වැතිර සිටි ඇන්ඩර්ස් බාඩ් දුටු සැණින් ඔහු වෙත කඩා පැන්නේය.

"උඹට මෙතැන තියෙන වැඩේ මොකක් ද?" ඔහු මුර ගෑයේය. ඔහු මුර ගෑම එපමණකින් නවත්වා, අයියා දෙස රවා බැලුවේය.

බාඩ් පිළිතුරක් දී ගත නොහැකි ව ටික  වේලාවක් බලා සිටියේය.

"ඇන්ඩර්ස්, උඹට දැන් අපල පාටයි. උඹට ටිකක් උදවු කරන්න මම කැමතියි."

"උඹේ ළපැලියාව මිසක් ඊට වැඩියෙන් මට නරකක් වෙලා නෑ. මට යකා වැහෙන්න ඉස්සෙල්ලා මෙතැනින් පලයන්."

"මල්ලී, එහෙම කියන එක වැරදියි; මට හරිම දුකයි."

"බාඩ්, පලයන් යන්න; නැත්නම් අප දෙන්නාට ම දෙයියන්ගෙ පිහිටයි."

බාඩ් පියවරක් පස්සට ගියේය.

"උඹට ඔරලෝසුව ඕනෑ නම් ඒක ගනින්." බාඩ් කීවේ වෙවුලන දෙතොලිනි.

"බා...ඩ්, පලයන් යන්න." ඇන්ඩර්ස් ගිරිය යටින් කෑ ගසද්දී බාඩ් එතැන සිටීමට නොකැමැත්තෙන් පිටවී ගියේය.

මල්ලීට විඳින්නට වූ අලාභහානි හා දුක් ගැහැට ඇසූ විට බාඩ් ගේ සිතේ කම්පාවක් ඇති වුව ද සිය ආඩම්බර සිත, ඔහුට පිහිට වීමට ඉඩ නොදුන්නේය. පල්ලියට යෑමට ඔහුට දැඩි ආශාවක් ඇති විය. හොඳ වැඩ ගණනක් කිරීමට දෙවියන් ඉදිරියේදී පොරොන්දු වූ නමුත්, ඒවා ක්‍රියාවට නැගීමට තරම් ශක්තියක් ඔහු තුළ තිබුණේ නැත. ඉඳ හිට මල්ලිගේ ගෙදර පෙනෙන තෙක් මානයට ගිය විට, ගෙතුළ සිට එළියට එන්නෙකු හෝ, අමුත්තෙකු හෝ ඔහු සුටුවේය. නැත්නම් ඇන්ඩර්ස් දර පළමින් සිටිනු දුටුවේය. එමෙසේ මල්ලී හමුවීම වැළකී ගියේය.

ශීත සෘතුවේ එක් ඉරු දිනක බාඩ් නැවතත් පල්ලියට ගියේය. එදා ඇන්ඩර්ස් ද එහි පැමිණ සිටිනු බාඩ් දුටුවේය. ඔහු සුදුමැලි වී. කෙට්ටු වී සිටියේය. ඔහු ඇඳගෙන සිටියේ අණ්ඩ දැමූ පරණ ඇඳුමකි.

යාච්ඤාව පැවැත්වෙන මුළු කාලය තුළ ම ඇන්ඩර්ස් දෙව් ගැතිතුමා දෙස ම බලාගෙන සිටියේය. ඔවුන්ගේ බාල කාලය බාඩ්ගේ සිතට නැගුණේය. ඇන්ඩර්ස් මෘදු ගුණ ඇති කෙනෙකු බව ඔහුට සිහිවිණි.

කුමකින් කුමක් වුවත්, මල්ලී සමග ඇති අමනාපකම් දුරු කරගන්නා බවට දෙවියන් ඉදිරියේ ඔහු පොරොන්දු විය. වයින් බොන විට මේ හැඟීම ඔහුගේ සිරුර පුරා පැතිරී ගියේය. මල්ලී වෙත ගොස් ඔහු ළඟින් හිඳ ගැනීමට අදහස් කළ ද, ඊටත් බාධා ඇති විය. ඇන්ඩර්ස් හිස එසවූයේ නැත. දේව ‌මෙහෙයෙන් පසු ව ද, මල්ලී අවට බැතිමතුන් සිටි බැවින් ඔහු ළඟට යාමට නොහැකි විය. ඇන්ඩර්ස්ගේ භාර්යාව ද ඔහු සමග වූවාය. බාඩ් ඈ දැන හඳුනා ගෙන සිටියේ නැත. අන්තිමේ දී ඔහු තීරණය කෙළේ, මල්ලීගේ ගෙදරට ගොස් නිවී සැනසිල්ලේ කතාබහ කිරීමටයි.

සවස් වරුවේ ඔහු ගෙදරින් පිටත් විය; මල්ලීගේ ගෙදර ළඟට ම ගොස් රැඳී, ගෙතුළ කෙරෙන කතාබහට කන් දී ගෙන සිටියේය; මල්ලීගේ භාර්යාව තමාගේ නම සඳහන් කරනු බාඩ් ට ඇසුණේය.

"අයියා උදේ වරුවේ දේව මෙහෙයට ගොහින් හිටියා. එයා ඔබ ගැන සිතූ බවට සැකයක් නැහැ." ඕ කීවාය.

"නෑ, එයා හිතන්නේ මං ගැන නොවෙයි. තමා ගැන ම පමණයි." ඇන්ඩර්ස් පිළිතුරු දුන්නේය.

බොහෝ වෙලාවක් යන තුරු ගෙදර අය නිහඬ ව සිටියහ. ඒ සීතල රාත්‍රියක් වුව ද, බාඩ්ගේ  ඇඟෙහි ඩහදිය බිංදු මතුවිය. ඇන්ඩර්ස් ගේ භාර්යාව කේතලයක වතුර උණු කරමින් සිටියාය. ලිපේ දර පුපුරන හඬ ඇසිණ. විටින් විට දරුවෙක් හැඬුවේය. ඇන්ඩර්ස් ඔහු නැළෙව්වේය.

යළිත් භාර්යාව කතා කළාය.

"ඔබ පිළිගන්නේ නැති වුණාට, දෙන්නා ම උනුන් ගැන හිතනවා..."

"අපි වෙන දෙයක් ගැන කතා කරමු." ඇන්ඩර්ස් කීය.

මඳ වේලාවකට පසු ඇන්ඩර්ස් එළියට යෑමට නැගිට්ටේය. බාඩ් දර මඩුවේ සැඟවුණේය. දර අහුරක් ගැනීමට ඇන්ඩර්ස් දර මඩුවට පැමිණීයේය. සැඟවී සිටි තැන සිට බාඩ් තම මල්ලී පැහැදිලිව ම දුටුවේය. පසුගිය ඉරු දින ඇඳ සිටි වැරහැලි ඉවත් කොට ඔහු පරණ මිලිටරි ඇඳුම් ලා ගෙන සිටිනු ඔහු දුටුවේය. සහෝදරයන් කලින් පොරොන්දු වී සිටියේ ඒ නිල ඇඳුම් නොඇඳ, දරුවන්ට උරුම කර දීමටයි.

ඇන්ඩර්ස්ගේ සවිබල ඇති සිරුර හොඳට ම වැහැරී ගොස් තිබිණ. ඇන්ඩර්ස් දර මිටි තිබෙන තැනට ගිය ද, නැමී ඒවා ඇහිඳගන්නේ නැතිව, දර ගොඩකට හේත්තු වී, තරු බබළන අහස දෙස මඳ වේලාවක් බලා සිටියේය. ඉක්බිති ඔහු දිග සුසුමක් හෙළා, "අනේ, අනේ, දෙයියනේ"යි කීය.

මේ වචන බාඩ්ට දිවි හිමියෙන් ම අමතක නොවිණි.

මල්ලී සමග දෙඩීමට බාඩ්ට  වුවමනා විය. එවිට මල්ලී කහිනු ඇසුණේය. ඒ නිසා බාඩ් පසුබා සිටියේය. මල්ලී දර කෝටු ගෙන යන විට, ඒවායේ අග්ගිස් බාඩ්ගේ මුහුණේ ගෑවෙන නොගෑවෙන තරමට ළං විය.

බාඩ් විනාඩි දහයක් පමණ හිටි තැන ම ගල්ගැසී සිටියේය. දැඩි සිත් තැවුලෙන් පෙළෙන අතර ම සීතලෙන් වෙවුලන්නට පටන් ගත්තේ නැත්නම්, ඔහු කොතරම් වේලාවක් එතැන රැඳී සිටිනු ඇද්දැයි කිව නොහැකිය. බාඩ් එතැනින් පිට වී එළියට ආ නමුත්, මල්ලී හමුවීමට පැකුළුණේය. ඒ නිසා ඔහු වෙන උපායක් ගැන කල්පනා කෙළ‌ේය.

මඳක් ඈතින් තිබුණු අළු ගොඩකින් ගිණි අඟුරු කැට කිහිපයක් අහුලා ගෙන, ඔහු ගිනි හුළක් දල්වා ගත්තේය. ඔහු තම මල්ලී හිමිදිරි පාන්දර අවුත් ලන්තෑරුම එල්ලන ඇණය ඒ හුළු ඵළියෙන් බලා ගත්තේය. ඉන්පසු බාඩ් රත්රන් ඔරලෝසුව ගෙන, එය ඇණයේ එල්ලා, හුළු එළිය නිවා දමා ගෙදර ගියේය.

සිතේ තිබුණු බරින් නිදහස් වීම නිසා ලැබූ සැනසිල්ලෙන් උදම් වුණු ඔහු හිම මත දිව්වේ තරුණයෙකු මෙනි.

පසු දින ඔහුට දැකගන්නට ලැබුණේ මල්ලීගේ පිදුරු මඩුව ගින්නෙන් දැවී ගොස් ඇති බවයි. පෙර දින තමා විසින් දල්වනු ලැබූ ගිනි හුළින් විසිරී ගිය ගිනි පුපුරුවලින් මේ ගින්න හට ගන්නට ඇතැයි ඔහුට සිතිණි.

මේ සිද්ධියෙන් බාඩ්ගේ සිත බලවත් කැළඹීමකට පත්විය. බාඩ් දවස මුළුල්ලේ ම ලෙඩෙකු මෙන්, දේව ගීතිකා ගයන්නට විය. ගෙදර සිටි අය කල්පනා කෙළේ, ඔහු තුළ කිසි යම් අමුත්තක් හටගෙන ඇති බවයි. හැන්දෑ වරුවේ බාඩ් ගෙදරින් පිට ව ගියේය.

ඔහු සඳ බබළන රාත්‍රී කාලයේ මල්ලීගේ පිදුරු මඩුවට ගොස් දැවී ගිය තැන අවුස්සා බලා පිළිස්සුණු ඔරලෝසුව  සොයා ගත්තේය. එය උණුවී රත්තරන් ගුළියක් බවට පෙරළී තිබිණි.

ඔහු එදා මල්ලී ළඟට ගියේ මේ රත්තරන් ගුළිය ඇතේ ඇතිවය. සිදු වුණු සියල්ල පැහැදිළි කොට දී සාමයක් ඇති කර ගැනීමට ඔහුට අවශ්‍ය විය.

ඔහු එදා පිදුරු මඩුව හාරමින් සිටි බව කුඩා දැරියක් කීවාය. නැටුමක් බැලීමට යන ළමයි කිහිප දෙනෙක්, බාඩ් තම මල්ලීගේ නිවස දෙසට ඉකුත් ඉරු දින යනු දුටු බව කීහ. ඔහුගේ ගෙදර සිටි අය කීවේ සඳු දින ඔහු අස්වාභාවික ලෙස හැසුරුණු බවයි. මේ කරුණු නිලධාරීන්ට සැළ කරනු ලැබු කල්හි, ගින්න පිළිබඳ ව පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු පිළියෙල කෙරිණි. බාඩ් වරදකරුවෙකු බව ඔප්පු කිරීමට කිසිවෙකු සමත් නොවූව ද ඔහු කෙරේ එල්ල වුණු සැකය ඉවත් කිරීම අපහසු විය. එහෙයින් මල්ලී වෙත යෑම නම් නොකළ හැක්කකි. පිදුරු මඩුව දැවී ගිය වේලාවේ, ඇන්ඩර්ස්ගේ සිත සෝවුරා වෙත දිව ගියේය. පසු දා සවස ඔහු සුදුමැලි මුහුණින් යුතු ව තම ගෙට පැමිණි කල්හි ඇන්ඩර්ස් මෙසේ සිතුවේය;

"ඔහු කණගාටුවට පත් වී සිටින බව පේනවා. ඒ වුණාට මේ වාගේ ලොකු වරදකට සමාව දෙන්න බැහැ. ගින්න හටගත්ත දවසේ බාඩ් අපේ ගෙදර පැත්තට එනවා මිනිස්සු දැක තියෙනවා. පරීක්ෂණයේදී නම් කිසිවක් ‌එළි වුණේ නැහැ. ඒ වුණාට මම හිතන්නේ ගේ ගිනි තිව්වේ අයියා කියලයි." එහෙත් පරීක්ෂණය පැවැත්වූ දින අයියා ගැන සැක කරනවා දැයි ඇන්ඩර්ස්ගෙන් ඇසූ විට ඔහු කීවේ නැත කියාය.

ඉන්පසු ඇන්ඩර්ස් බීමට ඇබ්බැහි විය. ඔහු ක්‍රමයෙන් පිරිහී ගියේය. බාඩ් බීමට ඇබ්බැහි නොවුුුණු නමුත්, ඔහු ද හඳුනා ගැනීමට අමාරු තරම් වෙනස් විය.

එක් සැන්දෑ වරුවක දුප්පත් ස්ත්‍රියක් බාඩ් හමුවීමට පැමිණියා ය. ඒ මල්ලීගේ භාර්යාවයි.

"අනේ කරුණාකරලා අපේ ගෙදර යන්න එන්න." ඕ කීවාය.

ඔහු සුදුමැලි විය. ඈ පැමිණියේ කවර අදහසක් ඇතිව දැයි ඔහු තේරුම් ගත්තේය. වහා ම ඇඳුම් දා ගත් බාඩ්, ඈ පසුපස ගමන් ගත්තේය. ඔහු වචනයක් වත් කතා කළේ නැත. ‍

හිමෙන් වැසී තිබුණු පාර සොයා ගැනීම අපහසු විය. ඇන්ඩර්ස්ගේ ගෙදර කවුළුවෙන් පෙනෙන, සැලෙන පහන් සිළුව දෙස බලාගෙන ඔවුහු ගමන් කළහ.

මල්ලීගේ ගෙදරට පැමිණි ඔහුට ලොකු දුගඳක් දැනුණේය. ඔවුහු ගෙට ඇතුල් වූහ. ලිප ළඟ සිටි දරුවෙක් අඟුරු කෑල්ලක් විකමින් සිටියේය. ඔහුගේ මුහුණේ දැළි ගෑවී තිබුණේය. උඩ බලා සිනාසෙන විට ඔහුගේ දත් දෙ ‌පෙළ දිලිසිණ.

රෙදි වැරහැලි පොරවාගෙන, ඇඳේ වැතිරී සිටි ඇන්ඩර්ස් ගේ මුහුණ සුදුමැලි වී තිබිණි. ඔහු දැන් හොඳට ම කෙට්ටුය. ඇස් කෙවෙනි තුළ ගිලී ගොසිනි. මල්ලී දුටු බාඩ් ගේ දෙදණ වෙවුලා ගියේය. ඔහු ඇඳ පාමුළ හිඳගෙන ඉකි බිඳිමින් හඬන්නට විය.

ඇන්ඩර්ස් අයියා දෙස බලා මුවින් නොබැණ සිටියේය.

"ඔයා පොඩ්ඩක් එළියට යනවා ද?" ඇන්ඩර්ස් සිහින් හඬින් භාර්යාවට කීය.

"නෑ, නෑ, යන්න ඕනැ නැහැ." බාඩ් කීය.

ඉක්බිති දෙ සොහොවුරෝ කතා බහ කරන්නට වූහ. ඔරලෝසුව වෙන්දේසි කළ දින සිට, අවුරුදු කීපයක් තිස්සේ වුණු සියලු ම දේ ගැන ඔවුහු සාකච්ඡා කළහ.

බාඩ් තමා ළඟ තිබූ රත්රන් ගුළියක් ගෙන මල්ලීට පෙන්වීය.

"මල්ලී, පසුගිය අවුරුදු කීපය තුළ එක දවසක් වත් මම සතුටින් සිටියේ නැහැ."

ඇන්ඩර්ස් වැඩි යමක් කතා නොකෙළේය. මල්ලී ඔත්පලව සිටි කාල‌ය තුළ දී බාඩ් මල්ලීගේ ඇඳ ළඟින් සෙලවුණේ නැත.

"මට දැන් හොඳටම සනීපයි. අපිට දැන් එකට ජීවත් වෙන්න පුළුවනි... මින් පස්සේ අපි කවදා වත් වෙන් වන්නේ නැහැ." යි දිනක් ඇන්ඩර්ස් කීවේය.

එදින රෑ ඇන්ඩර්ස් මළේය.

බාඩ් තම මල්ලීගේ භාර්යාවත්, දරුවාත් කැඳවාගෙන ගොස් ඔවුන් හොඳින් රැක බලා ගත්තේය.

බාඩ් මල්ලීත් සමග කතා බහ කළ දේ ගම රට පුරා ම පැතිරී ගියේය. ගමේ ගොඩේ සියලු දෙනා ම බාඩ්ට ගරු බුහුමන් කරන්නට වූහ. ඔවුන් බාඩ් ට සැලකුවේ දිගු කලක් කණගාටුවෙන් සිට චිත්ත සමාධිය ලබා ගත් කෙනෙකුට සලකන පරිද්දෙනි. නැත්නම් බොහෝ කලක් බැහැර ව සිට ගෙදරට පැමිණි නෑයෙකුට සලකන ලෙසිනි. සියල්ලන්ගෙන් ම ලැබුණු සුහදතාව නිසා ඔහුගේ චිත්ත ශක්තිය වර්ධනය විය.

බාඩ් ගුරුවරයෙකු ලෙස සේවය කරන්නට පටන් ගත්තේය. ඔහු ළමයින් තුළ තහවුරු කිරීමට උත්සාහ ගත්තේ කරුණාව දැක්වීමේ අගයයි.

බ්යෝර්න්ස්ටියන් බියෝර්න්සන් (1832 - 1910) ලියූ "සහෝදරයෝ" කෙටිකතාවෙනි.














(උපුටා ගැනීම, පාසල් කියවීම් පොතකින්...)

 

Tuesday, February 22, 2022

එදා අප දුටු චිත්‍රපටයකින් - මී ධාවන තරගය (Rat Race)

ඩොනල්ඩ් සින්ක්ලෙයා ලාස් වේගාස්වල කැසිනෝ හලක් අයිති කෝටිපතියෙක්. ඔහුට අවශ්‍ය, තමන්ගෙ කෝටිපති මිතුරන්ගේ සූදුවට ඇති ආශාව දිගටම පවත්වාගැනීම සඳහා අලුත් අලුත් සෙල්ලම් හඳුන්වාදෙන්න. 

ඉතින් ඔහු තමන්ගෙ කැසිනෝ හෝටලයට ආ පුද්ගලයන් හය දෙනෙක් තෝරාගන්නවා, අහඹු ලෙස. ඒ හය දෙනාට යතුරු හයක් දෙනවා. ලාස් වේගාස්වල සිට සැතපුම් 563ක් දුරින් නිව් මෙක්සිකෝ හි සිල්වර් සිටි දුම්රිය ස්ථානයේ ලොකර් එකක තියෙනවා, ඩොලර් මිලියන දෙකක්. ඒ ලොකර් එකට යතුර තමයි අර හය දෙනාට දෙන්නේ. මොන විදිහකින් හරි ඉස්සෙල්ලාම එතනට යන කෙනෙකුට ගන්න පුළුවන්. ඉතින්, සින්ක්ලෙයාගේ සූදුකාර යාළුවන් අර හය දෙනා ගැන ඔට්ටු අල්ලනවා.


තක්කඩි සහෝදරයො දෙන්නෙක්, තමන්ගෙ ජීවිතය ඉතාම අහිංසක විදිහට ගෙනියන තරුණයෙක්, යුදෙව් පවුලක්, මහ අමුතු ඉතාලි කාරයෙක්, තරගයක් පාවාදුන්න අපකිර්තිමත් ෆුට්බෝල් විනිසුරුවරයෙක්, තමන් තරුණ කාලෙ දි හදාගන්න දීපු දුව මුල්වතාවට ආපහු මුණ ගැහුණු වයසක මවක් යන අය තමයි අර සූදුවට අහුවෙන පාර්ශ්ව හය. ඒ අය නිරූපණය කරන්නෙ ප්‍රසිද්ධ ප්‍රහසන නළු නිළියො සෙට් එකක්. රෝවන් ඇට්කින්සන් හෙවත් බීන්, වූපි ගෝල්ඩ්බර්ග්, බ්‍රෙකින් මේයර්, ජෝන් ලොවිට්ස්, ඒමි ස්මාර්ට්, කූබා ගූඩිං ජූනියර්, සෙත් ග්‍රීන්, කැතී නැජිමි... ඩොනල්ඩ් සින්ක්ලෙයාගෙ  නිරූපණය කරන්නෙ ප්‍රසිද්ධ ජෝන් ක්ලීස්. ඒ වගේම තමයි මේ කතාවෙ, මේ හය දෙනා දුවන රේස් එක අතරෙදි සිද්ධ වෙන සිදුවීම් සෙට් එක.

තක්කඩි සොහොයුරන් දෙන්නා රේස් එක පටන් ගන්නෙ ම, ලාස් වේගාස්වල ගුවන් තොටුපළේ රේඩාර් එක කඩලා. ඉතින් කාටවත් නිව් මෙක්සිකෝවට ගුවනින් යන්න බැරි වෙනවා. ඒ අතරෙ අර අහිංසක තරුණයාට හමුවෙනවා හෙලිකොප්ටර් පයිලට් කෙනෙක් වුණු හරිම ආකර්ෂණීය සහ මුරණ්ඩු තරුණියක්. මුලින් මේ තරගයට එකතු නොවන්නට තීරණය කළත්, යතුර ඩස්ට් බින් එකට දැම්මත්, ඔහු ආපහු යතුරත් අරගෙන අර තරුණිය එක්ක නිව් මෙක්සිකෝවට යනවා.

යුදෙව් පවුල අතරමගදි, දුවගෙ ආසාවට සහ බිරිඳගෙ කන්දොස්කිරියාවට ඉඩ දීමක් විදිහට යනව, බාබි කෞතුකාගාරයක් බලන්න. ගියාට පසුවයි දන්නෙ, හිට්ලර්ගෙ පාර්ශ්වකරුවෙක් වන බාබි නම් ෆැසිස්ට්වාදියෙක් සමරන්න පිහිටුවපු කෞතුකාගාරයක් මිස බාබි බෝනික්කන් පිළිබඳ කටුගෙයක් නොවන බව. එතනින් පැනල එද්දි ඔවුන්ට හිට්ලර්ගෙ කාර්එක පැහැරගෙන යන්න වෙනව. මේ තියෙන්නෙ ඒ සිදුවීම...


තක්කඩි සොහොයුරන් දෙන්නා තමන්ට ලැබුණු යතුරෙන් තවත් පිටපතක් ගහගෙන, දෙන්නා බෙදිලා යන්න තීරණය කරනවා. නමුත් ඔවුන් යන යතුරු කඩේදි, ඔවුන් ගෙ කතාබහ අහගෙන ඉන්න යතුරු කපන්නා, ඒ දෙන්නට හිස් යතුරු දෙකක් දීලා, ඔරිජිනල් යතුර අරගෙන සිල්ව සිටි වෙත යනවා. ඔහු අල්ලගෙන නියම යතුර ගන්න අර සහෝදරයන් දෙන්නට සිද්ධ වෙනවා උණුසුම් වායු බැලුනයක් අරගෙන යන්න.

මේ ඒ තක්කඩි දෙන්නට සිධවෙන තව සිදුවීමක්...


සම්පූරණ ෆිල්ම් එක මෙතනින් බලන්න පුළුවන්...


කලින් වතාවල ‌වගේ මම මෙතනදිත් කියලා තියෙන්නෙ කතාවෙන් බොහොම පොඩ්ඩයි.

Friday, February 18, 2022

බිල්ලංගෙත් බිල්ලෝ හෙවත් විකී සහ ඩ්‍රැකී ගේ වික්‍රම

පහුගියදාක බකුස් තෙමේ ටිං ටිං ගැන සහ ටිං කටර් ගැන යමක් ලියමින්, මගේ චිත්‍රකතා ලෝලීත්වය ආපහු පුබුදුවන්නට සමත් වුණේ ය. එතනදී මට මතක් වුණේ සත්සිරි පත්තරේට සුසිල් ප්‍රේමරත්න ඇන්ද විකී ගේ වික්‍රම චිත්‍රකතාවයි. ටිං ටිං ගැන මෙලෝ අල බෝලයක් නොදන්නා පුංචි කාලේ දී පත්තරෙන් ලයිව් කියවන්නට යෙදුණු මේ කතාව මට මාර විදිහට හිතට අල්ලලා තිබුණු අතර, පස්සෙන් පහු චිත්‍රකතා පත්තර එකතු කරපු මිත්‍රයන් කීප දෙනෙක් ගාවම හෙව්වත් හොයාගන්නට බැරි වී තිබුණේ ය.


දෙදාස් පහළොවේ දී විතර එක පාරටම වෙබ් සයිට් එකක තිබී මේ විකී ගේ වික්‍රම කතාව පීඩීඑෆ් ගොනුවක් හැටියට බාගත කරගනන්ට හැකි වුණේ ය. ඒ කාලේ මං වැඩ කළේ ආණ්ඩුවේ මුද්‍රණාලයේ වුණු බැවින් (සහ ඒ කාලේ කඩදාසි යනු පඤ්ඤං වූ කාලයක් වූ බැවින්) මම ඒ කතාව සහ විලම්බීත ලන්තය කතාව ප්‍රින්ටවුට් අරගෙන පොත් හදාගෙන තිබූ බව මතක තිබුණේ ය.

මං උඩිම්පල්ලෙන් පොත් අල්මාරිය ඇවිස්සූ නමුත් ඒ පොත ආසාවට හොයාගන්නට බැරි විය. කොම්පියුටරේ යම් කිසි හාඩ් පාටිෂන් එකක මේ පොත හැංගී තිබෙන නමුත් දවස් දෙක තුනක් මහන්සි වුණත් හොයාගන්නට බැරි විය. 

බකුස් තෙමේ ජනෙල් එකොළෙහේ අලුත් අප්ඩේට් එකේ සෙවුම් යන්ත්‍රය දියුණු කර තිබෙන බව මේං මෙතන කියා තිබුණෙන් ආපහු මේ කතාව හොයාගන්නට තිබුණු ආසාව අලුත් විය. ඒත් කියන්නට සතුටුදායක කාරණය වන්නේ විද්‍යුත් මාධ්‍යයෙන් හොයාගන්නට බැරි වුණු එක හරියාකාර සොයා බැලීමක් පොත් අල්මාරියේ කර බැලීමෙන් පසුව භෞතික මාධ්‍යයෙන් හොයාගන්නට හැකි වීමය.

ඔන්න ඉතිං විකී ගේ වික්‍රම කඩදාසි මාධ්‍යයෙන් තිබූ පොත ආපහු පාරක් අද හවස ස්කෑන් හෙවත් පරිලෝකනය කර, යන්තං පීඩීඑෆ් ගොනුවක් කරගන්නට හැකි වුණේ ය.

ඒක මේ ලිංක් එකෙන් බාගන්නට ය.

විකී ගේ වික්‍රම තනිකරම ටිං ටිං ශෛලියෙන් ලියපු සහ ඇඳපු කතාවකි. සරළ හාස්‍ය මෙන් ම ඇඩ්වෙන්චරයද කුතුහලය ද පිරුණු කතාවකි. කතාවේ නමින් ම පෙනෙන හැටියට විකී ගේ වික්‍රම නමින් කතා මාලාවක් හදන්නට සුසිල් මාමා හිතාගෙන උන්නාට සැක නැති නමුත්, මා දන්නා විදිහට මේ කතාවෙන් පසු විකී ගේ වෙනත් කිසිම කතාවක් උන්නැහැ ඇඳ නැත.

අසූ ගණංවල හැටියට මේ කතාව ටිං ටිං ගේ ලංකා අනුවාදයක් විදිහට බොහොම සාර්ථක එකකි. ඔන්න ඉතිං රසවිඳින්න යැයි ආරාධනා කරමින් මගේ වචන සුවල්පය මෙයින් අවසන් කරනවා ය. කියවන්නට පැමිණි තමුන්නැහැලාට ඉස්තූතියි ය.

Wednesday, February 16, 2022

යථාර්ථය


රස්සාව සරසවිය

අතර සිරවුණු සිතට

දහස් වරකට වඩා,

දැණුනා ජීවිතේ රළුකම


ජීවිතේ මහ දුකක්

සිතෙන හැම විටකදි ම

සිතේ රැඳි හැම දුකම

ඔහේ කීමට ඇවැසි

මිතුරෙක් උනා නුඹ


නමක් නැති මිතුරුකම

 යහපතක් නොවන බව

දැනුණ හැම මොහොතෙදි ම

මැකුවා නුඹේ නොම්මරය,

රවා දුරකථනයට


දින ගණන් ගෙවී ගොස්

සිව්වසක් ගෙවුණු තැන

දුන්නා නුඹ ලොකු නමක්

අපේ මිත්‍රත්වයට


වසර ගණනක් ගියත්

දැනුණු විටකදී දුකක්

රවටගෙන මගේ හිත,

කියනවා අඩ අඬා

දරුවා මට ඇති කියා


එදා වාගෙම අදත්, 

අසා ඔබ මගේ දුක,

හදනවා මගේ හිත

එතෙන ලෙස ගසට වැල 


-ලිව්වේ, මාතෘකාව දැම්මේ සහ පින්තූර තේරුවේ 

ඩ්‍රැකියානි විසිනි...



Sunday, February 13, 2022

කුරුළු ගෙදරින් පුළුල් ලොවට

මුහුදු ලිහිණි පැටියා පර්වත කුහරයේ තිබුණු කැදැල්ලේ නැවතී සිටියේ හුදෙකලාවය. කලින් දින උගේ අයියාත් මල්ලීත් නංගීත් පියාඹා බැහැර ගියහ. උන් සමග පියාඹා යෑමට ලිහිණි පැටියා බිය වූයේය.

පර්වත කුහරයේ කට ළඟට පැමිණ, සිඟිති පියාපත් සලා, පියාඹා යන්නට සැරසුණු උගේ සිතට යලිත් බිය ඇතුළු විය.

ඌ ඉදිරිපස පැතිර තිබුණේ ඉඳුනිල් මිණි පැහැයෙන් බබළන සයුරයි.

සිය පියාපත් තව ම දුබලයයි සිතූ ලිහිණි පැටියා කර බාගෙන, පර්වත කුහරය තුළට රිංගා කැදැල්ලේ වැතුරුණේය.

සහෝදරයන් දෙදෙනා ද, කුඩා නංගී ද කුහර කටට පැමිණ පියාපත් සලා බැහැර පියාඹා ගිය සැටි ඌට දැනුදු සිහි කළ හැකිය. එබඳු එඩිතර පියවරක් ගැනීමට ආත්ම ශක්තියක් තමාට නැතැයි ඌ උදක් ම කල්පනා කළේය.

උගේ පියාත්, මවත් වරින් වර පැමිණ පියාඹා එළියට එන ලෙස උගෙන් ඉල්ලා සිටියහ; කෑම ගෙනවුත් නොදී කුසගින්නේ තබන බවට තර්ජනය කළහ. එහෙත් පණබයේ ගැහෙමින් සිටි ලිහිණි පැටියා පිටතට පියාඹන්නට නොහැකි යි කීවේය.

අවසන් වරට දෙමාපිය ආදීන් කැදැල්ලෙන් බැහැර ව ගියේ පෑ විසිහතරකට පමණ පෙරය. ඉන්පසු කිසිවෙක් ඌ ළඟට නොපැමිණියහ.

ලිහිණි පැටියා කුහර කටට පැමිණ සයුරු තලය දෙසත්, අහස් ගැබ දෙසත් නෙත් හෙළමින් සිටියේය.

සහෝදර, සහෝදරියන් රැව් පිළිරැව් නඟමින් අහස් ගැබේ රවුම් ගසන සැටි ලිහිණි පැටියාට පෙනිණි.

පළමු වරට මාළුවෙකු අල්ලා ගත් අයියා ගල් කුළක් මත හිඳගෙන ඌ ඉරා කන විට දෙමාපියන් ප්‍රීති රාවය නගමින් කැරකෙන සැටි ද ඌට පෙනිණි. ලිහිණි පැටියාගේ බියසුලුකම ගැන ඇනුම් පද කියමින් කුරුලු පවුලේ අන් සියල්ලෝ ම පරිවත කුහරය අසලින් පියෑඹූහ. මඳින් මඳ මුදුන් වන හිරුගේ රැස් දහර පර්වත කුහරයට ද වැටෙයි. ලිහිණි පැටියාට දැන් උණුසුම දැනෙයි. උණුසුම වඩාත් දැනෙන්නේ කුස ගින්නෙන් සිරුර දුබල ව තිබුණු නිසාය. කෑමට සුදුසු කිසිවක් එහි නොවීය. කුහරයේ මුල්ලක වේලී ගිය වරල් කැබැල්ලක් තිබෙනු ඌ දුටුවේය.

ලිහිණි පැටියාගේ කුසගින්න දැන් ඉතා දරුණුය. පිදුරුවලින් සාදනු ලැබූ කැදැල්ලේ අස්සක් මුල්ලක් නෑර ඌ පිරික්සා බැලුවේය. එහෙත් උගේ බලාපොරොත්තු සුන් විය.

අන්තිමේදී ඌ එහි තිබුණු බිත්තර කටු ලෑටි ගාන්නට විය. තමාගේ ම කොටසක් උලා කන්නාක් මෙන් ඌට දැනිණි.

දෙමාපියන් ළඟට යෑමට යම් කිසි ක්‍රමයක් ඇද්දැයි සොයනු පිණිස ඌ පර්වත කුහරයේ ඔබ මොබ ඇවිද්දේය. ඌට දක්නට ලැබුණේ ගිරිකුළ පාමුල ඇති සයුරු තලයයි. තමා සිටින්නේ දෙමාපියන්ගෙන් ඉතා ඈත බව ඌට වැටහිණි.

පියාඹන්නේ නැති ව තම දෙමාපියන් ළඟට යා නොහැකි බව නම් නියතය.

හීන් සීරුවේ පර්වත සිදුරේ කට ළඟට පැමිණි ලිහිණි පැටියා තනි පයින් සිට ගත්තේය. ඌ වරක් එක් ඇසක් පියා ගනී; තවත් වරක් අනෙක් ඇස පියා ගනී; වරක් නිදා ගන්නට යන බවක් පෙන්වයි. එහෙත් කිසිවෙක් ඌ ගැන සැලකිල්ලක් නොදැක්වූහ.

තම පවුලේ සෙස්සන් ගල් තලයක හිඳ, හිස් නමාගෙන අව්ව තපින සැටි අඩවන් නෙතින් ඌ දුටුවේය. පියා හොටයෙන් පියාපත් පීරුවේය. අම්මා පමණක් තමා දෙස ඇස් හෙළා සිටිනු ලිහිණි පැටියාට දක්නට ලැබිණි.

පයට පාගා ගත් මසෙකුගෙන් කෑලි ඉරාගෙන කමින් සිටි මව සිය හොටය ගලක ඉලුවාය. අහර දකිත් ම ලිහිණි පැටියාට ඉවසුම් නැති විය.

අම්මාට මෙන් තමාටත් මාළු අල්ලාගෙන, කෑලි කෑලි ඉරාගෙන කන්නට ඇත්නම් කොපමණ හොඳ දැයි ඌ තමාට ම කියාගත්තේය.



අහර දුටු ලිහිණි පැටියා දුක් මුසු හඬක් නැඟුවේය.

අම්මා ඊට පිළිතුරු දුන්නාය. 

"ගා.... ගා.... ගා...." පැටියා ඇඬුවේ අම්මාගෙන් අහර ඉල්ලන පරිද්දෙනි.

අම්මා පුතාට සමච්චල් කළාය.

ගත වූයේ මඳ වේලාවකි. ලිහිණි පැටියා ප්‍රීති රාවයක් නැඟුවේය. ඒ අම්මා මාළු කූරියෙකු හොටින් ගෙන තමා දෙසට පියාඹා එනු දුටු බැවිනි. ඌ ඉදිරියට නැමී, වරින් වර පා ඔසවමින් මව තමා ළඟට එන තුරු නොඉවසිල්ලෙන් සිටියේය.

මව පර්වත කුහරයේ ගැටියට ගෑවෙන නොගෑවෙන තරමට ළං වූවාය.

ලිහිණි පැටියා හොට දිගු කෙළේය.

හොට දෙක ගෑවෙන නොගෑවෙන තරමට ළං විය.

යළිත් මව මඳක් ඈත් වූවාය.

ලිහිණි පැටියාගේ සිත පෑරිණි.

"අනේ අම්මේ, එන්න මා ළඟට. මට හරියට බඩගිනියි."

මව පැටියාට ළං වූවාය;

යළිත් ඈත් වූවාය.

පැටියාට දැන් ඉවසිල්ලක් නැත. ඉදිරියට හොටය දික්කොටගෙන ඌ පියාපත් සැලුවේය.

මව යළිත් ළං වූවාය.

පැටියා එළියට පැන්නේය.

මව පියාඹා ඉවත ගියාය.

ඇගේ පියාපත් ගැටෙන හඬ ඌට ඇසෙයි.

බය බිරාන්ත වීම නිසා හදවතේ ගැස්ම නැවතුණු සේ ඌට දැනිණි.

මවගේ පියාපත් ගැටෙන හඬ නෑසී ගියේය.

තමා විසංඥ වී යන බවක් ඌට හැඟුණේය.

එහෙත් මේ තත්ත්වය වැඩි වේලාවක් පැවතුණේ නැත.

මොහොතකින් තම පියාපත් දිග හැරෙන බව ඌට දැනේ. පපුවෙහි පිහාටු සුළඟින් තෙරපෙන බව දැනේ. බඩේ පිහාටුවල ද සුළං පහර වදිනු දැනේ.

සුළං පහර කපාගෙන තමා ඉදිරියට ඇදෙන බව ඌට දැනුණේය.

තමා දැන් පහතට නොවැටෙන බව ඌට සිකුරට ම හැඟී ගියේය.

තමා හෙමින් සීරුවේ අහස් කුස උස් පහත් වන බව හැඟී ගියේය.

උගේ හිතේ දැන් කිසිදු බියක් නැත. ඌ පියාපත් සලා ඉහළ නැංගේය; ප්‍රීති රාවයක් නගමින් යළිත් පියාපත් ගැසුවේය. තව තවත් ඉහළ පියෑඹුවේය.

පපුවට සුළං පහර වදින සේ සිරුර මඳක් කෙළින් කරගෙන සිටියේය.

මේ සියල්ල දුටු මවගේ ප්‍රීතිය නිම් හිම් නැත.

පුතා කෑ ගෑවේ උතුරා යන සන්තෝසයෙනි.

පියා ද මව ද සහෝදරයෝ ද සහෝදරිය ද රැව් පිළිරැව් නගමින් ඌ වටා කරකැවුණාහ.

පියෑඹීමට නොහැකි ව සිටි බවක් වත් ඌට දැන් මතක නැත. අහස් කුස දැන් ඌට ම අයිති වුණු කලක් බඳුය. උද්දාම වුණු සිතින් හඬ නඟමින් ඌ අහසේ පියෑඹුවේය.

නැඟී බිඳෙන රැළ පෙළින් බබළන සයුරු තලය ඌට පහළින් පෙනේ. හිස දෙපසට හරවමින් ඌ ප්‍රීති ගීතිකා ගැයුවේය.

මවත්, පියාත්, නංගීත් සයුරු තලයේ පාවෙනු ඌට පෙනිණි.

පහතට පියාඹා අවුත් දෙපා දිග හළ විට තමා දියේ ගිලෙන බවක් ඌට දැනිණි.

බියෙන් කෑගැසූ ඌ දියෙන් දෙපා මුදා ගැනීමට තැත් කළේය. කුසගින්නේ සිටි නිසා උගේ සිරුර දැන් දුබල ව ඇත. ඌ ජල තලය මත වැතුරුණේය; නිරායාසයෙන් ම ජල තලයේ පාවී ගියේය.

ප්‍රීතියෙන් උදම් වූ නෑයෝ, කෑගාන්නට වූහ; ඌ පසසන්නට වූහ; තුඩින් ගත් අහර ඌට පුදන්නට වූහ.

දැන් ලිහිණි පැටියාගේ ප්‍රීතිය නිම් හිම් නැත.

ලියම් ඔ'ෆ්ලැහටිගේ කෙටි කතාවක් ඇසුරෙනි.

සිංහල කියවීම් පොතකින් උපුටා ගන්නා ලදි.

ලියම් ඔ'ෆ්ලැහර්ටි


Monday, February 7, 2022

නිදහස? සහ ජාතික වීරවරු?

ජාතික වීරයන් සහ නිදහස් දිනය ගැන කණට ඇහෙන හැම වාරයකම වාගේ අපේ තාත්තා කියපු දෙයක් තමයි, "ඔය කියන නිදහස හැබෑ නිදහසක් නෙවෙයි. ඔය කියන ජාතික වීරයො අපේ හැබෑ වීරයො නෙවෙයි" කියන එක. පහුගියදාක අසංග ලියපු මෙන්න මේ පෝස්ට් එක කියවද්දි මට මතක් වුනේ තාත්තතගෙ ඒ වචන. 

ඇත්ත. ජාතික වීරයන් කියලා අපට පාසල්වල උගන්නන්නෙ ඩී ඇස්, බණ්ඩාරනායක, බාරොන් ජයතිලක, ආරුමුග නාවලර්, සිද්දි ලෙබ්බෙ, ගුණානන්ද හාමුදුරුවො, සුමංගල හාමුදුරුවො, ධර්මපාලතුමා, පොන්නම්බලම් වරු දෙන්නා, හෙන්රි පේද්‍රිස් වගේ උදවිය ගැන. නමුත් අපි දන්නෙ නෑ ඇත්තට ම බ්‍රිතාන්‍ය පාලනය එක්ක හැප්පිලා යම් යම් දේ ලේ දහඩිය මතින් දිනාගෙන, සුදු ආණ්ඩුවට හිසරදයක් වුණු ඇත්ත වීරයන් ගැන.

බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ අනුග්‍රහයෙන් පොපිමල් විකුණද්දි එකට එක වශයෙන් සූරියමල් විකුණලා, එයින් ලංකාවෙ දරිද්‍රතාව  සහ කම්කරු අරගලයන්ට අරමුදලක් පිහිටුවපු සමසමාජ පක්ෂය තමයි, ලංකාවෙ පළවෙනි දේශපාලන පක්ෂය. ඒකත් එක්ක ම පැතිරුණු මැලේරියා වසංගතයෙදි පීඩිත මිනිස්සුන්ට උදව් කරන්න කොළඹින් මහපොළොවට බැහැපු එකම මහජන නියෝජිතයන් වුණේ ඔවුන්.

රදළවරු සහ වතුකාරයන් පාරෙ යනකොට කරේ තියෙන ලේන්සුව දෑතට අරං කාණුවට බහින්න පුරුදු වෙලා උන්න මිනිස්සුන්ගෙ කොන්දට කෙලින් කරන්න සමසමාජ කතාවලින් යම් තාක් දුරකට හැකි වුණා. (යම්තාක් දුරකට කියලා මම කියන්නෙ, ඒ පුරුද්ද වෙන වෙන මුහුණූවරින් තාමත් අපේ මිනිස්සු අතරෙ තියෙන නිසා.) ගමේ කෙල්ලන් දූෂණය කරමින්, ගම් වැසියන් පාගාගෙන ජීවිත ගෙවපු වතුකාර හාම්පුතුන් ගේ ජඩකම් එළිපිට කතා කරමින් මිනිසුන්ගේ ජීවිත නගා හිටවන්න වැඩ කළේ සමසමාජ කාරයන්. 

වැඩ මුරය පැය අටකට සීමා කරන්න, නිවාඩු සහ වැඩට සරිලන වැටුප් ලබාගන්න, සමසමාජය, වරාය කම්කරුවන් සහ වතු කම්කරුවන් එක්ක කරපු අරගල ඉතිහාසයේ සඳහන් වෙන්නේ නෑ. හොඳින් කියවලා බැලුවොත් අපේ මහාවංශයෙ ලියල තියෙන හැටියට, ඒ කාල සීමාවෙ සිද්ධ වෙලා තියෙන්නෙ සිංහල ශබ්දකෝෂය ලියාපු එක විතරයි.

සුදු ආණ්ඩුවට විරුද්ධව වැඩ කළ බ්‍රේස්ගර්ඩල් හට වෙච්ච නස්පැත්තිය සහ සමසමාජ නායකයන් ඔහු වෙනුවෙන් පෙනී සිටීම ඉතා ම ආන්දෝලනාත්මක සිදුවීමක් වුණාට, එයට සම්බන්ධ පෙරකදෝරු කොල්වින් ආර්. ද සිල්වා වඩා ප්‍රසිද්ධ ගොයං කොළේ නඩුව ගැන.

ඉදිරිපස - බ්‍රේස්ගර්ඩල් සහ කොල්වින් ආර්. ද සිල්වා


අවසානයේ ඊනියා නිදහස දීලා යන්ඩ කලින් සමසමාජ නායකයන් සිරභාරයට ගත් හැටි, දෙවෙනි ලෝකයුද්ධය එක්ක ඔවුන් හිරගෙදරින් පැන ගිහින් ඉන්දියාවේ සැඟවී කටයුතු කරපු හැටි දන්නෙ ඉතාම ටික දෙනෙක්.

ජාතියේ පියවරු සහ පුත්තු ජාතික නායකයන් තමයි. නමුත් සැබෑ සටනක් කරපු සැබෑ ජාතික වීරයන් ගැන කිසිම සඳහනක් නැතිව ඉතිහාසය ඉගැන්වෙන්නේ.



අනික් අතට, ඩොමේනියන් තත්ත්වය හැබෑ නිදහසක් නෙමෙයි. නිදහස සහ ස්වෛරීත්වය කියන්නෙ ස්වයං පාලනයක්. නමුත් 1948 දි අපට දීල ගියෙ රෝයල් නේවියක්, රෝයල් මේල් සිස්ටම් එකක්, ප්‍රිවි කවුන්සිලේ උපරිම අධිකරණ බලය වෙච්ච අධිකරණ පද්ධතියක්,  අග්‍රාණ්ඩුකාරවරයෙක් ගෙන් නියෝජනය වන රැජිණ රාජ්‍ය නායකයා වෙච්ච මහ අමුතු "නිදහසක්".

ඔන්න ඔය යටත්විජිත පෙකණිවැල කඩා ගත්තෙ අර උඩින් කියපු මහපොලොවේ සටන් කරපු ජාතික වීරයන්ගෙන් සමහර අය දායක වුණු මැතිණිගෙ ආණ්ඩුව විසින්. ඒකෙ ක්‍රෙඩිට් ඒක මැතිණි ට ගියාට, මගෙ දැනුමෙ හැටියට මූලික වුණේ සමසමාජය.

ඉතින්... අපි සමරන්නෙ සැබෑ නිදහසද? සැබෑ ජාතික වීරයන්ද?


වැඩිදුර පරිශීලනයට:

ඇන් ඇම් පෙරේරාගේ දේශපාලන දිවියේ මතක සටහන්

ඇන්. ඇම්. - චරිත කතාව.

නාඳුනන පුත්තු - ටෙලි නාට්‍යය

Thursday, February 3, 2022

කළුවර... (ගජබින්න නෙමෙයි යකො!)

 මුලිම්ම කියවන්ඩ ආපු කතාව කියවල ඉමුකො...

ඔන්න එකෝමත් එක රටක තිබුණා ගම්පහ කියල ප්‍රදේශයක්. ඒකෙ තිබුණා ගණේමුල්ල කියල හරියක්. මම ඔය කියන කතාව ට පසුබිම් වෙන කාලෙ ගණේමුල්ල කියන්නෙ නිකම්ම නිකං කඩ මණ්ඩියක් විතරයි. ඔය ගණේමුල්ල කඩමණ්ඩියෙ ඉඳල හැතැම්ම දෙක හමාරක් විතර දකුණු පැත්තට වෙන්ඩ තිබුණා, අන්දිරිස් අප්පු කියලා සූර වීර වඩු රාළ කෙනෙකුට රජ්ජුරුවො නීන්දෙ පවරලා දුන්නු ගොරකගහවත්ත කියල ඉඩමක්...

ඔන්න ඔහොම කියනකොට අපේ අනික් කතා කියවල තියෙන උදවියට මතක් වෙන්ඩ ගන්නව සුල මුල.

ඔය අන්දිරිස් අප්පුගෙ මුණුපුරා වෙච්ච විලියොං සිංඥො වාසය කළේ, අන්දිරිස් අප්පු, උන්දැගෙ මස්සිනා වෙච්ච ගොරක යකා එක්ක ගොඩ නගාපු මහ විසාල සොල්දර ගෙදර. විලියොං ආතා, ජීවිකාව හැටියට කළේ කවිමඩු පවත්වපු එක. (එයිට අමතරව කඩයක් කරපු එක, වත්ත පිටිය වගා කරපු එක සහ වඩු කර්මාන්තය කළේ විනෝදාංශ වශයෙන්...) උන්දැ බොහොම දක්ස විනෝදකාමී කවියෙක්. 

"...කවි රස බෙදා අප හැම දෙන සතුටු කළ

කවි යන් හැමට මම පුද දෙමි කෙහෙම්මල..." 

කියල ස්තූති කවියකින් උන්දැ එක කවි මඩුවක් ඉවර කරපු බව, මගෙ අර ඉස්කෝලෙ මහත්තුරු පෝස්ට් එකේ සඳහන් කරපු පොද්දල්ගොඩ මහත්තෙයගෙ නෝන මහත්තෙයට මතක තිබුණා. (මම දවසක් පොද්දල්ගොඩ මහත්තයගෙන් සාම විනිසුරු අස්සනක් ගන්ඩ ගිය වෙලාවක මාත් එක්ක කිව්වෙ...)

විලියොං ආත දවසක් මන්නෙ මුවහත් තියන්ඩ ගත්ත. උන්දැගෙ වඩු මඩුවෙ තිබ්බ, අර පණ්ඩුවාසුදේව කුමාරය සරණපාවාගත්තු භද්දකච්ඡායනා කුමරිය එක්ක ආව කුළ දහ අටෙං එකක් නෙව වඩු කුළේ. ආං ඒ වඩු කුළේ කාෂ්ඨවාහන කුමාරය දඹදිවින් ගෙනාපු ඇමරි ගල. (හෑ...! මයෙ තුං හිතකවත් තිබ්බ එව්වද බොලේ මේ ටයිප් වෙන්නෙ? මේ කී බෝඩ් එක හදාපු කොම්පැනියෙ වැට දිගට ගංජ පැල වත් ඉන්දල තිබ්බද?) ආං ඒ ඇමරි ගලේ උලල තමයි උන්දැ මන්නෙ මුවහත් තිබ්බෙ. හරි ගාණට ගණං කරලා වාර දෙකක් උලල ගත්ත නං, මන්නෙ අවුරුදු පහක් තිස්සෙ කිසි වෙනසක් නැතුව බටර් කපනව වගේ කැපෙන්ඩ ගන්නව. කොහෙ? විලියොං ආත වෙන කල්පනාවක් පිට මන්නෙ තව එක පාරක් වැඩිපුර ඇමරි ගලේ උලලා. 


තමන්ට ගාණ වැරදුනු බව දැනගෙන විලියොං ආතා බොහොම පරිස්සමට මන්නෙ මිට දෑතින් ම අල්ලලා, බොහෝම පරිස්සමට (දෙවරක් පරිස්සමට...)‌ අරං තියන්ඩ උස්සලා ගන්න කොට, ඒකෙ හෙවනැල්ල වැටිලා ඉස්තෝප්පුවෙ තිබ්බ හාංසි පුටුවෙ කකුල් හතරම කැපිලා ගියා.

දැං ඉතිං මොකද කරන්නෙ? උන්දැ පරිස්සමට කොළපත් දහ තුනක ඔතලා, මන්න පිහිය වී පෙට්ටිය යටින් තිබ්බා. ඒ කල්ලා හිටං ඇමරි ගල ගන්ඩ පාත් වෙන කොට, අත බැරිවෙලා, ඇමරි ගල බිම පෙරළි පෙරලි ගිහිං ඉස්තෝප්පුවෙන් මිදුලට වැටුණා.

ආතා, ඒ පස්සෙං ගියා ඇමරි ගල අල්ලගන්ඩ. උන්දැගෙ කකුල ලෙසටම කැපිලා ලේ ගලන්ඩ ගත්තා. ඒ කොහොම ද ඇහුවා? ඇයි අර ඇමරි ගල පෙරලි පෙරලි ගියපු ගොම මැටි පොළොව, ඇමරි ගල ඇතිල්ලිච්ච පාරට මුවහත් වෙලා.

හපෝ වෙච්ච දෙයක්! විලියොං ආතා කකුලට බෙහෙත් දාගෙන ඇවිදිං කරාපු පළවෙනි ම වැඩේ තමා ගොම මැටි පොලොවට ටයිල්... නෑ නෑ ඒ කාලෙ ටයිල් තිබ්බෙ නෑ. රෝස තිරුවාණ ගල් පතුරු අල්ලපු එක.

පස්සෙ මොකද කරන්නෙ, අර ඇමරි ගලත් පරිස්සමට අරගෙන, සුරුට්ටු පෙට්ටියක දාලා, වළ දැම්මා. තව මොක මොකවත් වෙන්ඩ කලිං.

කාලයක් ගත වෙද්දි, අර ඇමරි ගළ වළලපු තැනිං පොඩි පැලයක් පැල වුණා. ඒ පැලේ ටිකෙන් ටික ලොකු වෙලා ආව. ඒකෙ කොළ තනිකර ම කිණිසි වගේ මුවහත්. ඒ ගහ යටිං දුවපු වරත්තු බල්ලෙක්, උගෙ කරුමෙට ඒ වෙලාවෙ ම, වේලිච්ච කොළයක් උගෙ පිටට වැටිලා, බල්ලා දෙකට කැපිලා වැටුණා. 

ආං ඒ වෙලාලෙ තමා කාට කාටත් ඒ ගහේ තිබුණු අනතුරුදායක බව පෙනුණෙ. විලියොං ආතා ගස් කැපිල්ලට දක්ස තමංගෙ බාල පුතා (ඒ කියන්නෙ අපේ බාප්පා - ගුණරත්න) ට අඬ ගහලා කිව්වා, පරිස්සමට අර පැලේ කපල දාහං කියල. 

බාප්පත් මීටර් සීයක් විතර දිග මිටක් ගහපු කැත්ත අරං ගියා ගහ කපන්ඩ. ඇයි ඉතිං ඈතට වෙලා එපැයි ගහ කපන්ඩ. කැත්තෙං ගහේ කඳට එකයි ගැහුවෙ, කැත්තෙ වානේ තලේ දෙකට කැපුණා. ඔය වානේ කැත්ත හදල තිබ්බෙ රේල් පීල්ලක් තලල අරගෙන. එච්චරට හයියයි.

ඒ පාර බාප්පා කරපු වැඩේ තමං කවද හරි කන්තලේ මහ ගස් කපන්ඩ ගෙනියන්ඩ කියල තියාගෙන හිටපු මහ පොරොව ගෙනත් කෙටුවා. දෙකක් කොටන කොට අර ගහේ පතුරක් ගැළවුණා.

පස්සෙ ඒ පතුරෙන් හදාගත්ත කැති තලේකින් තමා ගහ කපල බිම දැම්මෙ. ඔය කියන ගහේ ඇටවලින් හැදිච්ච පැල තමා ඔන්න කැපුංකීරිය කියන්නෙ. අදටත් බලන්ඩ ඇස්වහක් කටවහක් නෑ... කැපුංකීරිය ගහේ කොලේ අගිසි කිණිසි වගේ උල්...

ඔය ගහ වත්ත පහලට ඇදං ගිහිං ගිණි තියල දාන්ඩ කියලා විලියොං ආත තමන්ගෙ පුත්තු තුන් දෙනාට කිව්වා. අපේ තාත්තයි මහප්පයි ගහ පරිස්සමට ඇදගෙන ගියා පහලට. ඒ අතරෙ දර කෝටු, හණසු, පොල් අතු අගිස්, එකතු කරපු බාප්පා හුළු අත්තක් හදාගත්තා. ඒ හුළු අත්ත පත්තු කළා විතරයි පළාතක් ම අන්ධකාර උනා. ඒ කොහොමද? හුළු අත්ත නිවපු බාප්පා ඒක ලෙහල බලද්දි තමයි දැක්කෙ, හුළු අත්ත මැදට වෙන්ඩ තිබුණා කළුවර ගහක කෝට්ටක්.

පස්සෙ පස්සෙ ගමේ ‌ගෙවල්වලට හොරෙක් පනින්ඩ පටං ගත්තා, මහ දවල්. උන්දැ එන්නෙ හුළු අත්තක් අරගෙන. ඒක පත්තු කරපුහාම තිත්ත කළුවරයි. ඉතිං කවදාවත්, කාටවත් හොරාව අල්ලගන්ඩ බැරි වුණා.


ඔන්න ඉතිං දෙවෙනි සෙමෙස්ටරේ අසයින්මන්ට් නං ඉවර උනා. තව සති දෙහෙකිං විතර විභාග පටං ගන්නව. ඒ අතරෙ බ්ලොග්වලට එන්ඩ පුළුවං වෙයි කියල හිතනව. අර මං උඩිම්ම කියන්ඩ ගියෙ ඒක.


වැඩිපුර බලපු ලිපි