Friday, October 30, 2020

අවසානයක් නොවේ - දා සය වන කොටස

කිරි බඳුන අවසන් වෙද්දී, ඇඩම් සක්මන් කරමින් සිටියේ ධනසේකර වළව්වේ ගෙවත්ත කෙළවර වූ ඔසු වනය අසල ය. කීස් හඬ නඟමින් ඊයක් ඔහුගේ දෙපා මුළ බිම ඇණුනේ ය. එතෙක් ගැළී සිටි වින්දනාත්මක ආලස්‍යයෙන් මිදුණු ඩ්‍රේක් ක්ෂණිකව බිමට පහත් වී, හිස පහත් කොටගෙන වටපිට බැලීය. කෙටි බැලුම් කිහිපයකින් හාත්පස සෑම අඟලක්ම නිරීක්ෂණය කළ හෙතෙම, කිසිදු අනතුරක් නොමැති බව සැක හැර ගත්තේ ය. ඊගස වටා බැඳුණු තල්පත ඔහු දුටුවේ ඉන් පසුව ය.

ඉක්මණින් තල්පත ලෙහාගත් ඇඩම්, එතැනම බිම වාඩි වී එය දිගහැරියේ ය. එහි වූයේ ලතින් අකුරින් සටහන් කළ කෙටි පණිවුඩයකි. 

පළමුවෙනි කොටස

තුන්වෙනි කොටස

පහළොස්වන කොටස

"gå inn i urteforsten 50 trinn mot nordvest - dolmen"

(ඔසු වනයට ඇතුල් වෙනු. ඊසාන දෙසට පියවර 50 ක්. ගල්මැස්ස) 

පණිවුඩය ලියා තිබුණේ නෝවීජියානු බසිනි. 

නැවතත් ඉතා පරීක්ෂාකාරීව වට පිට බැලූ නාවුකයා, ඉතා ම සැළකිල්ලෙන් කැළෑවේ ඖෂධ ගස් අතරින් තියුණු ඇස් බැල්ම යොමු කළේ ය. එහෙත් ඔහුට කිසිදු හෝඩුවාවක්, අඩුම තරමින් ගසක සියුුම් සෙළවීමක්වත් දැක ගත හැකි වූයේ නැත. ඇඩම් තල්පත හැකිළුවේ ද වනපෙත දෙස බලාගත්වන ම ය. දෑතට තරමක උණුසුමක් දැනී ඒ දෙස බලත් ම, හකුළන ලද තල්පත වටා කහ පැහැති සියුම් ගිණි දළු වෙළෙනු ඔහු දැක්කේ ය. ප්‍රතීක ක්‍රියාවලින් මෙහෙයවුණු දෑතින් තල්පත ඉවතට විසි කෙරුණේ ඇඩම් ඒ ගැන සිතීමටත් පෙර ය. තප්පර කිහිපයක දී තල්පත මුළුමණින් ම අළු වී ගියේ ය.

තවමත් අඩ දණින් සිටි ඩ්‍රේක් ගේ වමත තමන් නිතරම ඉණෙහි රුවාගෙන සිටින නාවික දුරදක්නය ට යොමු විය. එහි ඇස ට යොමුවන පැත්තේ කාචය වසා තිබුණු පියන ඉවත් කරගත් ඔහු, එය අනෙක් පිට හරවා සුරතෙහි අල්ල මත තැබී ය. එහි වූයේ මාලිමාවකි. 

නැගිටින්නට කලින් ඔහු වම් කළවයෙහි ගැටගසා රඳවාගෙන සිටි කිණිස්ස එතැන ඇති බව ට වමතින් තට්ටු කර සැක හැර ගත්තේ ය. ඇඩම් ඖෂධ වනයට ඇතුල් වූයේ සිය ඇස් සහ කන් තියුණු ව සංවේදී කරගනිමිනි.

වන රොද ට ඇතුළුව පියවර දහයක් පමණ යත්ම යුරෝපීයයාට ඇසෙන්නට වූයේ දිය ගළායන හඬ ය. තවත් පියවර පහක් පමණ යද්දී ගල් අතර ගැටෙමින් සුදු පෙණ විසුුරුවන දොළ පාරක් ගස් අතරින් දිස් විය. දිය පහරින් මට සිළුටු වූ එක එක තරමේ වට ගල්... ඒ අතර පනිමින් උඩුගං බලා පිහිනන කුඩා මසුන්... උන් ඩැහැගැනීමට මාන බලන නිල් වනින් සැරසීගත් පක්ෂීන්... 

ඉතා විපරම්කාරීව සහ ප්‍රවේසමෙන් දිය පහර තරණය කළ ඇඩම්, මාළිමාවෙන් පෙන්වන දිශාවට දිගටම පියවර ගැන්නේය. පියවර හතළිහේ දී පමණ ඉදිරියේ පිහිටි ගල් අට්ටාලයක්, ඔහු ගස් අතරින් දුටුවේ ය. කුඩා ගල් තුනක් මත රැඳී තිබූ විශාල සමතල ගල් පතුරක්, ස්වාභාවිකව ඉදි වුණු මේසයක් වැන්නක් නිර්මාණය කර තිබුණේ ය. තවත් ඉදිරියට යද්දී, ගල් මැස්ස පසුපස ගසක මුවාවේ රැඳී සිටි සුදු අශ්වයෙක් නාවුකයාගේ නෙත ගැටුණි. පණස් වන පියවර ඔහු තැබුවේ ගල් මැස්ස පාමුළ ය. එවිගස තම සුරත ග්‍රහණය කළ යමෙකුගේ අතෙහි බර ඔහුට දැනුණේ ය. දකුණුපස හැරී බැලූ නෝර්ඩික් ජාතිකයා දුටුවේ, මිත්‍ර හෙවත් උඩුමුල්ලේ නිළමේගේ සිනාමුසු මුහුණ ය. 

https://www.dreamstime.com/prehistoric-megalithic-tomb-dolmen-excavated-
reconstructed-passage-grave-larges-stones-forest-klein-image198508267

"මම ඔබ දුටුවේ නෑ මෙතනට එනකම් ම." ඇඩම් සිය මවිතය නොසැඟවීය.

"ඒක ම තමයි ඩ්‍රේක් රහස් දූරයේ විශේෂත්වය..." මිත්‍ර එතැන වූ පැතළි ගලක් මත වාඩි වෙමින්, තමා ඉදිරියේ වූ තවත් ගළක් වෙත අත දිගු කළේ ය.

ඒ අනුව යුරෝපීයයා ද අසුන් ගත්තේ ය. 

"රහස් ගමනක් යාමට ඔබ තෝරාගත්තා." මිත්‍ර කතාවට යොමු විය. "මෙතැන ඉඳන් මේ කාරණාව ගැන සඳහන් වන හැම තැනකදි ම මාව හැඳින්වෙන්නෙ 'වරුණ' නමින්. ඒක වරද්ද ගන්න එපා. ඔබ හෙට පාන්දර කුකුළන් හඬලන්නට කලින් වෙද මුදළිතුමාගේ වළව්වෙන් පිටත් වෙන්න. ඔබ නිළ කටයුත්තක් සඳහා යන බව වෙද මුදළි තුමාට කලින්ම කියා තියන්න. යන වෙලාව කීම උවමනා නෑ. වළව්වෙ කඩුල්ල ළඟ අශ්වයෙක් ඔබ වෙනුවෙන් රඳවලා තියේවි. අශ්වයා භාරව ඉන්න පුද්ගලයා එක්ක කතා කරන්න අවශ්‍ය නෑ. කරන්න තියෙන්නෙ අශ්වයා පිට නැගලා, ප්‍රධාන පාරට ඇවිත් නුවරින් පිට වෙන එකයි. තවත් අයෙක් අතරමඟදී ඔබට එකතු වෙනවා. ඒ තැනැත්තා මග පෙන්වාවි. ඒ වගේම කරන්න තියෙන රාජකාරියත් විස්තර කරාවි, අවශ්‍ය හැම උපකාරයක් මත් කරාවි."

මිත්‍ර මොහොතකට නිහඩ වී, ඇඩම්ගේ දෑස් දෙස බැලුවේ ය.

"ඊට අමතරව තව මොනවහරි දැනගන්න තියෙනවා ද?"

"මට පැවරෙන රාජකාරිය ගැන මීට වඩා මේ මොහොතෙදි කියන්නේ නැතුව ඇති?" නාවිකයා ඇසී ය. "ඒත් මේ කටයුත්ත ඉටුකළාට පසුව මට ලැබෙන්නෙ මොනවද?"

"මට කියන්න පුලුවන් මෙපමණයි. රාජකීය භාණ්ඩාගාරයට අත්‍යවශ්‍ය යමක් ලබාගැනීමටයි ඔබ යවන්නේ. එය ඔබ ඉටු කිරීමෙන් පෙන්වන දක්ෂතාව වෙනුවෙන්, රජතුමාගේ ප්‍රසාදය ඔබට ලැබේවි. - රජතුමාගේ ප්‍රසාදය කියන්නේ වරප්‍රසාද ගණනාවක එකතුවක් - ඒ වගේම රහස් දූරයේ සාමාජිකයන් ඔබ ගැන තබාගන්නා තක්සේරුව ඉහළ යාවි.

"ඔබ නියමිත වේලාවට පිටත්වීම වැදගත්. ඒ ගැන සැළකිලිමත් වෙන්න." මිත්‍ර වාඩි වී සිටි තැනින් නැගිට්ටේ ය. "එහෙනම්... ජය වේවා!"

උඩුමුල්ලේ නිළමේගේ ආචාරය අනුව ඩ්‍රේක් දැත් එකතු කර ප්‍රති-ආචාර කළේ ය.

---------------------------

ඇඩම් අවදි වූයේ සිය කුටිය අසළම ගසක සිට බකමූණෙකු නැඟූ මූසල රාවයකිනි. සාමාන්‍ය තරමට වඩා තීව්‍රතාවක් ඒ බකමූණාගේ හඬෙහි වූ බව ඔහුට සිතුණේ නින්ද කැඩීමෙන් වූ බාධාව නිසා වන්නට ඇත. ඔහු‌ පෙරදා රාත්‍රියේ නින්ද ගියේ බොහෝ වේලා ගතවූවා ට පසුව ය. පසුදා ට යෙදුණු රාජකාරි ගමන ගැන විවිධ වූ සිතුවිලි ඔහුගේ සිතෙහි විය.

කවුළුව වෙත ගිය ඩ්‍රේක්, නාවික දුරදක්නය ගෙන අහස ට යොමු කළේ ය. රාත්‍රියේ සිය දුරදක්නයට සවිකරගත් සියුම් උපකරණවල උදව්වෙන් හිමිදිරි අහසේ වූ තාරකා මැන ගත් ඔහුට වේලාව නිශ්චය කරගත හැකි විය. 

කලින්දා ලෑස්ති කර තිබූ ප්‍රංශ නාවික ඇඳුම කඩිමුඩියේ ඇඳගත් ඔහු, වම් කකුළේ පැළඳි කෙණ්ඩා ආවරණයේ බැඳ තිබූ කිණිස්සත්, ඉණෙහි එල්ලාගත් දුරදක්නයත්, කබායේ සාක්කුවේ වූ හම් බැම්මෙන් බැඳි ජ'නලයත් නැවතත් පරීක්ෂා කළේ ය. කුටියෙන් එළියට අවුත්, එහි දොර වැසූ හෙතෙම, දිගු හුස්මක් ගෙන, වළව්ව පසු කරමින්, කඩුල්ල දෙසට පිය මැන්නේ ය. 

කඩුල්ල  වෙත එත්ම, අසුන් දෙදෙනෙකු එහි සිටිනුු යුරෝපීයයාගේ නෙතට ලක් විය. එක් අසෙකුගේ පිට නැග සිටි අයෙකු අනෙක් අසුගේ රැහැන් පට ඩ්‍රේක් වෙත දිගු කළේ ය. එය බුහුටි ලෙස අතට ගත් ඇඩම්, හණික අසුපිටට නැගී අනෙක් අසරුවා අනුව අසු ධාවනය කරවන්නට ගත්තේ ය. 

හිරු උදාවට මත්තෙන් පැතිරෙමින් පැවති ළා රත් පැහැ ආලෝකය මුසු මද අඳුර තුලින් පාර පෙනුුනේ යන්තමිනි. තරමක වේගයෙන් ධාවනය කෙරුණු අශ්වයන්ගේ නාසා පුට වලින් නිකුත් වුණු වාෂ්පය, අවට පැතිරි සීතල නිසා තුනී දුම් රැළි මෙන් දිස් විය. මීදුම මුසු සීතල සුළං රැළි සිය කෙහෙරැළි පීරාගෙන පිටුපසට හමා ඇදෙද්දී නාවුකයා තව තවත් අශ්වයා වේගයෙන් ධාවනය කරවන්නට උත්සුක විය. 

කීප මොහොතකින්ම ඔවුනට නුවර කඩවත පසු කරන්නට හැකි විය. එහි වූ මුරකාවල, ඇඩම් සහ අනෙක් අසරුවා හැඳින ඔවුනට යාමට ඉඩ හළ හ. එතැන් සිට ඔවුන්ගේ ගමන් මග වැටී තිබුණේ හෙල්, වන ළැහැබ් ආදිය අතරිනි. එහෙයින් නුවරදී මෙන් වේගවත් බවක් පවත්වාගත නොහැකි විය. හාත්පස වූයේ තවත් උදෑසණක් සඳහා අවදි වෙමින් පැවති ස්වාභාවික පරිසරයයි.

--------------------------------

උදෑසණින් අවදි වූ සියොතුන්, කෑ ගසමින් පියාසර කරන්නට පටන් ගනිද්දී අසරුවෝ දෙදෙනා බලන කපොල්ල පසු කළ හ. එතෙක් පසුකළ සියලුම මුරකාවල්හිදී මෙන් ම එහිදී ද සිදු වූයේ කිසිදු ප්‍රශ්නයක් නො අසා ඔවුනට යන්නට ඉඩ දීම යි. බලන පර්වත දුර්ගය මැදින් වැටුණු පටු පාර දිගේ පහතට බසිද්දී ඇඩම් ගේ සහචරයා කාලයකට පෙර අතහැර දැමූ හෙයින් වල් බිහිවෙමින් පැවති  අතුරු පාරකට හැරුණේ ය. ඒ පාරේ වංගු හත අටක් පසු කළ පසු ගල් පඩි හත අටක් නැඟ ළඟා විය හැකි යම් කිසි පූජනීය ගොඩනැගිල්ලක් හමුවිය. 

මාර්ගෝපදේශකයා අනුව අසු පිටින් බට ඇඩම් හට යම් සැනසිල්ලක් දැනුණි. පාන්දර සිට එක දිගට ම විෂම මාර්ගවල අසු පිට යාමෙන් නැගුණු විඩාවත්, කුසගින්නත් දැනුණ ද, ඔහු එළඹෙන අභියෝගයන්ට සූදානමින් සිටියේ ය.

මගියෝ ගල් පඩි නැඟ ගොඩනැගිල්ලට ළං වත් ම, එහි පියස්සෙන් ඇසුණු සට සට හඩක් සමඟින් වවුලන් රැසක් ඉගිළී ගිය හ. රැළෙන් වෙන් වූ විශාල වවුලන් හතර පස් දෙනෙක් මිනිසුන්ගේ හිස් වටේ කැරකුණේ අභියෝග කරන්නාක් මෙනි. අවසාන පඩි දෙක තුන නඟිද්දී ඇඩම් ගේ නෙතට යොමූ වූයේ ගරාවැටෙමින් පැවති ගොඩනැගිල්ලේ විවෘත ආළින්දයේ බිම වාඩි වී සිටි මිනිස් රුවකි. ඒ දෙසට සිය සුරත දිගු කළ මගපෙන්වන්නා, ආපසු හැරී අසුන් වෙත ගියේ ය.

සංඥාව තේරුම්ගත් ඩ්‍රේක් ගොඩනැගිල්ලේ ආළින්දයට ඇතුල් විය. අසුන් දෙදෙනා ගේ කුර ගැටෙන හඬ ඇසුණේ එවිටම ය. යුරෝපීය යා ආපසු හැරී බලද්දී, එතෙක් ඔහු සමඟ පැමිණි තැනැත්තා අසුන් දෙදෙනා ද රැගෙන ආපසු යමින් සිටියේ ය.

"ඇතුළට ඇවිත් ඈඳිගන්ට" 

තමන්ට ඇසුණු මිහිරි කටහඬින් සහ එය කියැවුණු මෘදු ලීලාවෙන් ඇඩම් මවිත විය. ආළින්දයේ සිටියේ කාන්තාවක් බව ඔහු දුටුවේ එවිට ය. කලින් ඔහු දුටු අඳුරු ජරාවාස ගෙබිම වෙනුවට පළසක් ඇතිරූ පිරිසිදු ගෙබිමක්... එහි එරමිණිය ගොතාගත් සුදු ඔසරියකින් සැරසුණු  කාන්තාවක්... ඇය ඉදිරිපිට එලා තිබූ ලොකු කෙසෙල් කොළයක් මත පිළිවෙලට තබා තිබූ කිරිබත්, කැවුම්, කෙසෙල්... ඒ ඉදිරිපිට දැල්වෙමින් පැවති පොල්තෙල් පහනේ ආලෝකයෙන් ඔහු දුටුුවේ ය.

ඩ්‍රේක් බිමට පහත් වී සිය උසැති පාවහන් ගැළවූයේ නිරායාසයෙනි. නිරුවත් දෙපතුලින් ඉතිරි අඩි කිහිපය ගොස්, ඔහු කාන්තාව ඉදිරිපිට පළස මත බිම වාඩි විය. සිය දිග දෙපා පහසු ආකාරයකට තබාගන්නට කිහිප විටක් තැත්කළ ඔහු අවසානයේ වීරාසනයට ආසන්න ක්‍රමයක් සකසා ගත්තේ ය. හිස ඔසවා සිය සංග්‍රාහිකාව ගේ මුහුණ බැලුවේ ඒ සියල්ලටම පසුව ය. ඒ හිරිමල් වියේ පසුවූ තරුණියක් බව දුටු ඇඩම් මවිත විය. 

මඳ සිනහවක් පාමින් ඔහුගේ දෑස් දෙස බැලූ ඇය කැවිලි සහිත කෙසෙල් කොළය වෙත සිය සුරත දිගු කළා ය. ඇගේ ඇරයුමින් ඔහු හිස්ව තිබූ කුස පුරවාගන්නට පටන් ගත්තේ නිහඬව ම ය.

කිරිබත් වල සීතල කිරි රසයෙන් ද, කැවිලිවලින් නැඟුණු කිතුල් පැණිවල විශිෂ්ට රසයෙන් ද කුස මෙන් ම සිත ද පිරී යද්දී, ඇඩම් සංග්‍රාහිකාව ට ස්තූති කරන්නට හිස එසවී ය. එවිට ඇගේ අතෙහි වූයේ මහත රවුම් බඳකින් සහ දිග ගෙළකින් සමන්විත අඳුරු පැහැ බෝතලයකි. එය දුටු විගස නාවිකයාහට පෝට්වයින් පානයේ සුවඳ හා රසය දැනෙන්නා සේ විය. 

https://www.oceanexplorer.se/wp-content/uploads/2019/05/chr1.jpg

තරුණිය තමා වෙත දිගුකළ බෝතලය බුහුටි ආකාරයෙන් වමතින් අල්ලාගත් ඩ්‍රේක් දකුණතින් එහි මුද්‍රාව කැඩී ය. බෝතලයේ කර වටා අතැඟිලිවලින් පිරිසිදු කර, එය තොල් අතරේ රඳවා උගුරක් මුවට හලාගනිත් ම... දිව මතදී වාෂ්ප වී යන පැසුණු මිදි යුෂවල රසය සහ සුවඳ ඔහු ට විඳින්නට හැකි විය.

පෝට්වයින් බෝතලයෙන් තවත් එක් උගුරක් මුවට හළාගත් ඇඩම් බෝතලයේ ඇබය ගසා බිමින් තැබී ය.

"ඔබේ ආගන්තුක සත්කාරය නම් ඇත්තටම විශිෂ්ටයි..." මහනුවරදී හාමුදුරුවරුන්ගෙන් උගත් සිංහල භාෂාවේ උසස්ම වචන භාවිත කිරීමට නාවිකයා පරිස්සම් විය.

"හොඳා..." තරුණිය සිනාමුසුව කීවා ය. "තමුන්නාන්සෙ සතුටු වුණා නම් ඒ කියන්නෙ, මගෙ අදහස ඉටු වුණා. දැං ඉතින් ආපු කාරණාව කතා කරගෙන ඉඳිමු."

ඇඩම් හිස සලා එකඟත්වය පළ කළේ ය.


ඉතිරි කොටස...


(පහුගිය කොටසෙදි මම බලාපොරොත්තු වුණා මේ කොටස සතියක් ඇතුලත පළකරන්න. ඒත් කරගන්න බැරි වුණා. අම්මාගේ හදිසි මරණය මට පෞද්ගලික වශයෙන් ඉතාම තදින් බලපෑ කරුණක් වුණා. ඇඳිරිනීතිය නිසා කාටවත් කීවේ නෑ. නිදහසට කරුණු කීම මගේ ප්‍රතිපත්තිය නොවේ. ඒත් ඊළඟ කොටස් ඉතාම ඉක්මණින් ලියන්න පොරොන්දු වෙනවා.)

Thursday, October 8, 2020

ඇම්බැට්ටයා - තක්කඩියන් ගැන ජන කතා අංක 02 - බුරුම ජනකතාවකි...

 

https://njmonthly.com/wp-content/uploads/cache/2014/07/balloon1/76167853.jpg

ඇම්බැට්ටයා හරිම දඟකාර ළමයෙක්. පොඩි කාලෙ ඉඳන්ම මෙයා යාලුවන් බොරු කියා රවට්ටන්න පුරුදු වෙලා හිිටියා.

දවසක් එයාගෙ තාත්තා වැඩට යන්න ලෑස්ති වෙලා, එයාගෙ බත්මුල පාර ගාවට ගෙනත් දෙන්න කියලා ඇම්බැට්ටයාට කිව්වා. ඇම්බැට්ටයා ත් හොඳ ළමයා වගේ බත් මුලත් අරගෙන තාත්තගෙ පස්සෙන් ආවා. ටික දුරක් ආව ට පස්සේ එයා මග නතර වෙලා බත්මුල ලෙහාගෙන කෑවා. ඊට පස්සෙ ආයෙමත් තාත්තගෙ පස්සෙන් ගියා. මහ පාරට ඇවිත් තවත් ටික දුරක් ආවට පස්සෙ තාත්තා පිටිපස්ස හැරිලා පුතාගෙන් බත් මුල ඉල්ලුවා.

"තාත්ත කිව්වෙ බත්මුල පාරට ගෙනත් දෙන්න නෙ. මං පාරට ආවට පස්සෙ පාර අයිනෙ බත්මුල තියලා ආවා." කියලා ඇම්බැට්ටයා උත්තර දුන්නා. තාත්තට බොහොම කේන්ති ගිහිං ඇම්බැට්ටයට පාරක් ගහල ගෙදර එළෙව්වා.

ගෙදරට දුවගෙන ගියපු ඇම්බැට්ටයා අම්මට කතා කළා. 

"අම්මෙ, අම්මෙ, මගදි තාත්තට ணයෙක් ගැහුවා. තාත්තා මළා. අන්න මිනිස්සු තාත්තගෙ මිනිය උස්සගෙන එනවා” කියලා කිව්වා. අම්ම මර ලතෝණි දීලා කෑගහල අඬන්න ගත්තා.

“අම්මෙ, අර මිනිස්සු බඩගින්නෙ නෙ එන්නෙ. ඒ අයට කන්න මං උරෙක් මරලා පුච්චලා තියන්නං?” ඇම්බැට්ටයා ආයෙත් ඇහුවා. වැඩි දුර කල්පනා කරන්න තරම් සිහියක් නොතිබුණු, අම්මා හා කිව්වා. 

ඉතිං ඇම්බැට්ටයා ඌරෙක් මස් කරලා හොඳට ලුණු ඇඹුල් දාලා රෝස්ට් කරලා, බඩ කට පුරා ඌරු මස් කෑවා.

දවල් වෙද්දි තාත්තා ගෙදර ආවා. ඇම්බැට්ටයා කරල තියෙන තක්කඩිකම අහපු උන්දෑ, පුතාට හොඳටම ගහලා, “මගෙ දෑහැට නොපෙනී පළ!” කියලා එළව ගත්තා.

ඇම්බැට්ටයත් අර ඌරු මස් වලින් ලොකු කොටසක් පොදි බැඳගෙන පාරට බැස්සා. එයා ඉස්සරහට යද්දි, ගමේ මසුරු මුදලාලි ගෙවත්තෙ වැඩ කරනව දැක්කා.

“මුදලාලි, ඌරු මස් ටිකක් දෙන්ඩද?”

නිකං දෙනවනං දෙමළ පත්තරේ හරි මොකද කියලා හිතපු මුදලාලි ඇම්බැට්ටය ට “හා” කිව්වා. 

“මං රෑට කන්න ටිකක් අරගෙන, ඉතුරු ටික කුස්සියෙන් තියන්නං.” ඇම්බැට්ටයා කිව්වා. “මට පොඩි වළඳක් දෙනවද මේ මස් ටිකක් අරං යන්න?”

මුදලාලි කුස්සිය පැත්තට හැරුණා වළඳක් දෙන්න. 

“නෑ මුදලාලි කර කර හිටපු වැඩේ කරන්න. මං ගිහිං මුදලාලිගෙ හාමිනේ ගෙං ඉල්ල ගන්නං” කියලා ඇම්බැට්ටයා තනියම කුස්සියට ගියා. ගිහිං හාමිනේ ට කිව්වා, 

“මේ ඌරු මස් ටික අරගෙන මුදලාලිගෙ කාසි කැටේ මට දෙන්ඩ කියලා මුදලාලි කිව්වා.”

කාසි කැටේ පුරෝලා රත්තං කාසි තිබුණු නිසා හාමිනේ ඒක දෙන්න අදි මදි කළා.

“මෙන්න මුදලාලි දෙන්ඩ බැරිලූඌඌඌ...” ඇම්බැට්ටයා කුස්සියෙ ඉඳං මුදලාලිට කෑගැහුවා.

“පිස්සු නැතුව දීහං බාාාං” මුදලාලි ත් හාමිනේට කෑගැහුවා.

ඉතිං හාමිනේ කාසි කැටේ ඇම්ඩට දුන්නා. උන්දැ ඒකත් අරගෙන ගොඩක් දුර ඇවිත්, හතරමං හන්දියක නතර වුණා. 

ඇම්බැට්ටයා හන්දියෙ පාර මැද කීප පොළක පොඩි වළවල් හාරලා, ඒ වළකට රත්තරං කාසියක් ගානෙ දාලා, ආපහු වළවල් ටික වැහුවා. ඊට පස්සෙ ගහකිං පෙනුම තියෙන පොලු කෑල්ලක් කඩලා සුද්ද කරලා තියාගත්තා.
ටිකකිං අස්ස කුර ගැටෙන සද්දයක් ඇහුණා. ඇම්බැට්ටයා අර පොල්ලෙන් අර වළවල් හාරපු තැන් වලට තට්ටු කරන්න පටං ගත්තා. අස්සයෙක් පිටේ ආව මනුස්සයෙක් දැක්කා ඔය වැඩේ. 

“ඔය මොකද කරන්නෙ?”

ඇම්බැට්ටයා කතා නැතුව වළවල් හාරපු තැන්වලට තට්ටු කරලා, පස්සෙ ඒ වළවල් හාරලා රන්කාසි ගොඩට ගත්තා. අරගෙන යන්න ගියා.

“ඒක මාර මැජික් පොල්ලක්නෙ. මට දෙනවකො...” අර අස්සයා පිටිං ආව මනුස්සයා ඉල්ලුවා.

“බෑ.” 

“මං තමුසෙට මගෙ අස්සයා දෙන්නං”

කීප සැරයක් පෙරැත්ත කරලා ඇම්බැට්ටයා මැජික් පොල්ල දීලා අස්සයා ගත්තා. අරගෙන අස්සයගෙ පිටේ නැඟලා ගියා.

රෑ වෙද්දි ඇම්බැට්ටයා ඈත නගරෙකට ආවා. ඒ නගරෙ, ඉස්තාලයක් තියෙන ගෙයක් හොයාගෙන ගිහිං, එදා රෑ නතර වෙන්න ඉල්ලුවා. ඒ උදවියත් කැමති වුණා. එදා රෑ හොඳට නිදාගෙන, පාන්දරින් ඇහැරුණු ඇම්බැට්ටයා, ඉස්තාලෙට ගිහිං අස්ස බෙටි ඇතුලට රත්තරන් කාසි දාලා, පොඩ්ඩක් බලාගෙන හිටියා. ගෙදර අයිතිකාර මහත්තයා එළියට එනකොටම එයා අස්ස බෙටි පෙරළ පෙරළා රත්තරන් කාසි ඇහිඳින්න පටන් ගත්තා. අර මනුස්සයා පුදුම වෙලා ගල් ගැහිලා බලං හිටියා. පස්සෙ ඇම්බැට්ටයා ළඟට ඇවිත්, එයා මේ පුදුම අස්සයව ඉල්ලුවා. ඇම්බැට්ටයා කැමති වුණේ ම නෑ අස්සයව දෙන්න. පස්සෙ රන්කාසි දහ දාහකට අස්සයව විකුණන්න කැමති වුණා.

ඒ සල්ලිත් අරගෙන ඇම්බැට්ටයා තවත් ගමකට ගියා. එහෙදි රෙදි තිරයකුයි, මෝල් ගහකුයි සල්ලිවලට ගත්තා. පොඩි ගාණක් දෙන්න පොරොන්දු වෙලා ආච්චියෙකුයි එයාගෙ තරුණ මිණිපිරීයි කුළියට අඩ ගහගත්තා. ඒ දෙන්නට ඇම්බැට්ටයා පොඩි රඟපෑමක් කියා දුන්නා. කියා දීලා, හතරමං හන්දියෙ අයිනක තිරය එල්ලලා, තිරය ඇතුළට අර මිණිපිරීව යැව්වා. 

ටිකකිං ආච්චියෙකුයි සීයෙකුයි ඔතනිං යන්න ආවා. එතකොට ම ඇම්බැට්ටයා අර කුළියට අඬ ගහගත්තු ආච්චිට මෝල් ගහෙං තට්ටු කරන්න පටන් ගත්තා.

“ඔය මොකද ළමයො ඔය කරන වැඩේ?” අර තමංගෙ පාඩුවෙ තමංගෙ ගමන යන්නැතුව අනුංගෙ දේවලට හොට දාන සීයා ඇහුවා.

“මං මේ ආච්චිව තරුණ කරනවා” කියාපු ඇම්බැට්ටයා, ඒ ආච්චිව තිරය ඇතුළට යැව්වා. ටිකකිං මිණිපිරී තිරය ඇතුලෙන් එළියට ඇවිත් ඇම්බැට්ටයට ස්තූති කළා.

“අපිවත් තරුණ කරන්ඩකො ළමෙයො...” සීයා කිව්වා.

“එක්කෙනෙක් තරුණ කරන්ඩ රන්කාසි දාහයි” ඇම්බැට්ටයා කිව්වා. එතකොට අර කුළියට ගත්ත මිණිපිරී, ඇම්බැට්ටයා කලිං එයාට දීලා තිබුණු රන්කාසි දාහක් ඇම්බැට්ටයට ආපහු දුන්නා.

අර සීයයි ආච්චියි සල්ලි අරං එන්න ගෙදර ගියා. ඒ අතරෙ ඇම්බැට්ටයා අර කුළියට ගත්ත ආච්චියි මිණිපිරීයි  ගාස්තුව ගෙවලා ගෙදර යැව්වා.

අර ජෝඩුව සල්ලි අරං ආවට පස්සෙ රන්කාසි දෙදාහම අරගෙන, සීයට මෝල් ගහෙං තඩිබාලා තිරය ඇතුලට යැව්වා. ටික වෙලාවකිං සීයා කෑගහන්න ගත්ත, 

“යකෝ අතපය හතර පොලිසියෙං ගුටිකෑව වගේ රිදෙනව. ඒත් තාම මං තරුණ වුණේ නෑනෙ” කියලා

මෝල්ගහත් අරගෙන තිරය ඇතුළට ගිය ඇම්බැට්ටයා අර සීයට සිහිය නැති‌වෙනකල් තඩි බෑවා. ඊට පස්සෙ ආච්චිට කියනවා, 

“දැන්නං යන්තං සීය තරුණ වේගෙන එනවා. ඒත් ගොඩක් වෙලා යනව. ආච්චිව තරුණ කරන්නං හෙට...”

“අපෝ ඒක කරන්ඩ බෑ පුතේ. ඔය හාදයා තරුණ වෙලා එළියට ආවට පස්සෙ මම නාකි විදිහට ම උන්නොත් උන්දැ මාව දාලා වෙන ගෑණියෙක් එක්ක යයි. මාවත් අදම තරුණ කොරහං...” ආච්චි කිව්වා.

“එහෙනං ආච්චි ගිහිං තව තිරයක් හොයාගෙන එන්ඩ”

ආච්චි ගියා තිරයක් හොයාගෙන එන්න. ඒ අතරෙ සල්ලිත් අරං ඇම්බැට්ටයා මාරු වුණා.

දැන් නං ඇතිවෙන්න සල්ලි හම්බ කරගත්ත නිසා තක්කඩිකං නවත්තලා සමාජයට වැඩදායක පුරවසියෙක් වෙන්ඩ ඇම්බැට්ටයා කල්පනා කළා. ඒත් ඒ වෙනකොට උන්දැගෙ හපන්කම් ගැන රජ්ජුරුවන්ට යනකල් පැමිණිලි ගිහිං තිබුණු නිසා, රාජපුරුෂයො ඇවිත් ඇම්බැට්ටයව අල්ලගෙන රජ්ජුරුවො ළඟට ගෙනිච්චා. රජ්ජුරුවො නඩුව අහලා, ඇම්බැට්ටයා වැරදිකරු කියලා තීරණය කරලා, මරණ දඬුවම දුන්නා. මූට තවත් කපටිකම් කරන්ඩ බැරි වෙන්න ගෝණියක දාලා ගඟට දාන්න තමයි අණ ලැබුණෙ.

ඉතිං අර මං කලින් කියාපු ලොකු අප්පු වගේ මේ බුරුම ඇම්බැට්ටයත් ගෝණියක දාගෙන අගෙන ගියා ගඟට දාන්න. ඒ අතරෙ රාජපුරුෂයන්ට තිබහක් ඇති වෙලා, ගෝණිය පාර අයිනෙ තියලා රා බොන්න ගියා.
 
ටිකක් වෙලා ගෝණිය ඇතුලෙ හිටපු ඇම්බැට්ටයට ඇහුණා ඇතෙක් ගෙ සීනු සද්දෙ. “දිරි දිරි... පුරු පුරු... වකුටු දහ...” කියන ඇත් ගොව්වගෙ සද්දෙත් ඇහුණා. ඒ ඇහුණා විතරයි ඇම්බැට්ටයා කෑ ගහන්ඩ ගත්තා,

“මට යන්ඩ දියව්! මට රජ වෙන්ඩ බැරියෝ!!” කියලා.

ඇත්ගොව්වා ඇතාව පාර අයිනෙ පාක් කරලා, ඇවිත් ඇම්බැට්ටයගෙන් ඇහුව, 

“මොකද මල්ලි සීන් එක?” කියලා.

“රජ්ජුරුවන්ට දරුවො නෑලු. මාව අරං යනව රජ කම දෙන්ඩ. මට බෑ ඔය වැඩේ කොරන්ඩ. ගෙදරට වෙලා ගොවිතැනක් කරගෙන උන්නනං මට ඒ ඇති. මං බෑ කියද්දි මේ උදවිය මාව බලෙං අරං යනව.” ඇම්බැට්ටය කිව්වා.

“තමුසෙට බැරිනං මෙන්න මෙහෙ එළියට එනව.” ඇත්ගොව්වා කියලා ගෝණියෙ කට ලෙහුවා. ඇම්බැට්ටයා ගෝණියෙන් එළියට පැන්නා. ඇත්ගොව්වා රිගුවා ගෝණියට. 

“මේ පිස්සු නැතුව එළියට එනව. රජකම කියන්නෙ ලේසි පාසු දෙයක් නෙවෙයි අයිසෙ...” ඇම්බැට්ටයා පෙරැත්ත කළා. ඒත් ඇත්ගොව්වා අහන්නෙම නෑ. බැරිම තැන උන්දැව ගෝණිය ඇතුලට දාලා කට ගැට ගහපු ඇම්බැට්ටයා, ඇතාගෙ පිටේ නැගලා කැළේ  ට ගියා.

ගිහිල්ලා, ඇතාට හෙණ්ඩුවෙන් ඇනලා ඇනලා මරලා දැම්මා. ඊට පස්සෙ උගෙ බඩේ ලොකු සිදුරක් හැදුවා. ඒ කරලා ඇම්බැට්ටයා හැංගිලා බලාගෙන හිටියා. 

ඇතාගෙ මස් කන්න ගිජු ළිහිණියො ඇවිත්, අර සිදුරෙන් ඇතුළට ගියා. ගිජු ළිහිණියො සෑහෙන ප්‍රමාණයක් ඇතුළට ගියාට පස්සෙ ඇම්බැට්ටයා රෙදි පාංකඩ ලොකු ගිළියක් හදලා අර සිදුර වහලා දැම්මා. 

ඊට පස්සෙ පොල්ලක් අරං ඇතාගෙ පිටට නැගලා, පොල්ලෙං ඇතාගෙ බඳට තට්ටු කළා. ඒ සද්දෙට ගිජු ළිහිණියො බය වෙලා, ඇතා අරං ඉගිල්ලෙන්න ගත්තා. ඔන්න ඉතිං ඇම්බැට්ටයා පියාඹන ඇතෙක් පිටේ නැගලා අහසින් එනවා.

රටේ රජ්ජුරුවොත් මේ පුදුම ආරංචිය බලන්න ආවා. ඇවිත් බලන කොට තමන් මරණ දඬුවම දුන්න ඇම්බැට්ටයා. 

ඇතාගෙ බඳට තට්ටු කරන එක නතර කළාම ගිජු ළිහිණියො ආපහු පියාඹන එක නතර කළා. එතකොට ඇතා ආපහු බිමට ආවා.

රජ්ජුරුවො ළඟට ගිහිං ඇහුවා, “කොහෙන්ද මේ පියාඹන ඇතා?” කියලා.

“ඔබ වහන්සෙ මට මරණ දඬුවම දුන්නනෙ. මං මැරිලා එලොව ගියා. එහෙ රජ්ජුරුවො මට මේ ඇතා දීලා ආපහු මෙලොව එව්වා.”

රජ්ජුරුවන්ටත් ආස හිතුණා පියාඹන ඇතාට. ඒත් ඇම්බැට්ටයා කැමති වුණේම නෑ ඇතා දෙන්න. අන්තිමේ රජ්ජුරුවන්ගෙන් පස්සෙ රජකම ඇම්බැට්ටයාට දෙනව කියලා රජ්ජුරුවො ඇමතිවරු ඉස්සරහපිට පොරොන්දු වුණාට පස්සෙ තමයි ඇම්බැට්ටයා ඇතා පිටිං බැහැලා, රජ්ජුරුවන්ට අර පොඩි පොලු කෑල්ල භාර දුන්නෙ.

රජ්ජුරුවොත් ආසාවෙන් නැග්ගා ඇතා පිටේ. ඊට පස්සෙ ඇම්බැට්ටයා කියා දීපු විදිහට පොල්ලෙන් තට්ටු කළාම ඇතා උඩින් යන්න ගත්තා. සෑහෙන තරම උඩ ගියට පස්සෙ තමයි අර පාංකඩ ගුළිය රජ්ජුරුවො දැක්කෙ. ‘මේ මොකද්ද’ කියල හිතලා රජ්ජුරුවො පාංකඩ ගුළිය ඇදල දැම්මා. ඒකෙන් ආපහු ඇත් කඳේ සිදුර මතු වෙලා, ඇතුලෙ හිටපු ගිජු ළිහිණී සේරම එළියට ආවා. ඇතා රජ්ජුරුවොත් එක්කම ඉතාම වේගයෙන් බිමට පතබෑවුණා. 

අන්තිමේ ඇම්බැට්ටයා රජවුණා.


සැළකිය යුතුයි!

මේ කතාව මම බොහොම පුංචි කාලෙ කියවපු එකකි. ඒක හරි හැටි මතක තිබුණේ නැත. ඒත් මේ ළඟදි මගෙ ඉල්ලීම අනුව කට්ටකාඩුවෙ ලොකු මල්ලි දූවිලි නාගෙන උන්දැගෙ ඉස්ටෝරු කාමරේ අවුස්සා ඒ පොත හොයාගෙන, මේ කතාවයි, තව බෝනස් කතාවකුයි පොටෝ ගහලා මට වට්ස්ඇප් කොරන්නට යෙදුණු හෙයින් මේ ලස්සන කතාව මට බ්ලොග් එකේ තම දරුවන්ට කතන්දර කියා දෙන ආදුරුසමත් දෙමව්පියන් ගේ ලාම්පු සංවේගය උදෙසා පළ කරන්නට හැකි වුණේ ය. ඒ ගැන මේ කතාව කියවන හැම දෙනෙක් ම කට්ටකාඩුවෙ ලොකු මල්ලි ට කුරුතක්ඤ වෙන්ඩ උවමනා ය. 

Monday, October 5, 2020

අවසානයක් නොවේ - පහළොස් වෙනි කොටස

පළමුවෙනි කොටස

තුන්වෙනි කොටස

දා හතර වෙනි කොටස

සුමන සාකච්ඡාව ආරම්භ කළේ ය. "මිත්‍රටත් මටත් වාර්තා කරන්න සහ සැක හැර ගන්න තොරතුරු කිහිපයක් තියෙනවා. අග්නි සහ ඉන්ද්‍රට ත් අපට එකතු කරන්න දේ ඇති...

"පළමුවෙන් ම ලක්දිවට ආ විදේශිකයන් ගැන. ප්‍රංශ තානාපතිවරු වුණු බ්වාෆොන්ටීන්, නෝක්ලෑ ද ලා නෙරෝල් සහ ඔවුන්ගේ සහචරයන් පහසුවෙන්ම අපේ විමසුමෙන් ඉවත් වුණා. ඔවුන් කිසිම ආකාරයක සැක සහිත චර්යාවක් පෙන්වූයේ නෑ. ඒ වගේම මෙතෙක් අප පරංගීන්ගෙන් දැක තිබෙන විනෝදකාමී ගතිය සහ මුරණ්ඩු ගතිය ඔවුන් තුළ සාමාන්‍ය පමණින් තිබෙන බව නිරීක්ෂණය වුණා. ඊට පස්සේ කොට්ටියාරම බද කැලෑව තුළ අතරමං වුණු දෙන්නෙක් උඩරටට ආවා නේ..."

"ඔව්. ඒ ගැන මටත් යමක් කියන්න තියෙනවා." එතෙක් නිහඬව සිටි, එතැන හුන් එකම කාන්තාව හඬ අවදි කළා ය. "...ඔබගේ වාර්තාවෙන් පසුව මම ඒ ගැන කියන්නම්."

සුමන ඈ දෙස බලා, හිස පහත් කොට එකඟතාව දැක්වීය.

"උඩරට ට ආ දෙන්නාගෙන් ප්‍රධානියා ප්‍රංශ නැව් කණ්ඩායමේ එක නැවක අද්මිරාල්. නම, ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන්. වාසගමෙනුත් පෙනෙන විදිහටම නෝර්ඩික් ජාතිකයෙක්. මැද නමේ තේරුම - මකරා - අනුව, ඔහු රණශූරයෙක් මෙන්ම හිතට එන අදහස් නොපැකිළව ක්‍රියාත්මක කරන පුද්ගලයෙක් කියා පේනවා. දැනට ධනසේකර වෙද මුදළි තුමා භාරයේ ඉන්නවා. පහුගියදා ධනසේකර කුමාරිහාමි බහිරවයාට බිළි දීමේ දී මේ පුද්ගලයා තනිවම ඇය බේරාගන්න ඉදිරිපත් වුණා. ඔහු බහිරවයා සමඟ සටන් කළා. මාරාත්මක තුවාල ලැබුවා. ඒ වගේම මිනිත්තු කිහිපයක් ඇතුළත එය සුවපත් වුණා..."

ඉන්ද්‍ර, අග්නි දෙදෙනාගේම තියුණු ඇස් බැල්ම සුමන වෙත යොමු වූයේ ය.

"ඔව්. ඒක අපටත් පුදුමයක් වුණා. ඒ නිසාම ඔහු ඉතා සමීපව නිරීක්ෂණය කිරීමට අපි දෙන්නා අදහස් කළා. මේ පුද්ගලයා උඩරට සමාජයට ඉතා ටික කාලයකින්ම අනුගත වුණා. ඔහු අපේ ඇදහිලි ක්‍රම, විශ්වාස ආදිය ගැන ලොකු උනන්දුවක් දක්වන බව සමාජයේ හැසිරෙමින් ඔහු ගැමියන්ගෙන් අහන ප්‍රශ්නවලින් තේරුම් යනවා. ඒ වගේම වෙද මුදළිගේ වළව්වේ පවත්වාගෙන යන රෝහලේ වෙදකම්වලටත් මොහු හවුල් වෙමින් යම් කිසි දැනුුමක් ලබාගන්න උත්සාහ කරන බව පේනවා..."

"ටිකිරි බණ්ඩාර ඔහු ගැන හිතන්නේ මොනවද?" ඉන්ද්‍ර විමසී ය.

"ටිකිරි බණ්ඩාර ට ඔහු ගැන අවිශ්වාසයක් නැහැ. ඇත්තටම මේ නෝර්ඩික් නාවිකයා, ධනසේකර පවුලේ ම විශ්වාසය දිනාගෙන අවසන්. එය තීව්‍ර වීමට ඔහු ධනසේකර කුමාරිහාමි බේරාගන්න තම ජීවිතය අවදානමක හෙළීමත් හේතු වෙලා තියෙනවා." කියූූ මිත්‍ර, සුමන දෙස හැරී ඔහුගේ විස්තරය කරගෙන යන ලෙස සංඥා කළේ ය.

"ඉතින් අපි දෙන්නා ඇඩම් ඇන්ඩර්සන් වාසලට ගෙන්වාගෙන පරීක්ෂා කළා. ඔහු අසුුන් හැසිරවීමේ දක්ෂයෙක්. ඒ වගේම මිත්‍ර ඉතා ලස්සනට මවා පෑ හදිසි අනතුරකින් ඔහු මිත්‍ර බේරාගත්තා. මාළිගාව අසළදී අපි දුනුවායන් යොදවා හදිසි ප්‍රහාරයක් එල්ල කරද්දී, ඔහු අසු වේගයෙන් දුවන්නට සළස්වමින්, අසුගේ එක් ඇළයක එල්ලීගෙන ප්‍රහාරයෙන් ආරක්ෂා වුණා. එවැන්නක් අපි මීට පෙර කිසිම දාක දැක තිබුණේ නෑ.  

"ඉතින් අපි රහස් දූරයේ ආධුනික සාමාජිකත්වය ඇඩම්ට පිරිණැමුවා..."

"මම එකඟයි" ඉන්ද්‍ර කීයේ ය. "අපට මේ පුද්ගලයා යම් යම් කටයුතු වල යොදවා තව දුරටත් පරීක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම ළඟට ගත්ත තරමට අපට ඔහුගේ තොරතුරු දැනගන්න පුළුවන් වේවි."

"මට එකඟ වෙන්න අමාරුයි." අග්නි කීවා ය. "සුමන සහ මිත්‍රට කියන්න තියෙන දේ අපි අහලා ඉමු..."

"අපි ඔහුගෙන් විමසූ පළමු තොරතුර තමයි, ඔහු ගේ තුවාල ඉතා ඉක්මණින් සුවපත් වීම... ඇඩම් ඒ ගැන කියන්න පටන් ගත්තේ තරමක පැකිළීමකින් වුනත්, පස්සෙ අපි ඔහු අවිශ්වාස නොකරන බව දැනගෙන ඉතා උනන්දුවෙන් අපට විස්තර කිව්වා. මිත්‍ර ඒ මුළු කාලය පුරාම ඔහුගෙ නාඩි අල්ලගෙන හිටියා..." 

ඒ කියමනට සිවුදෙනාගේම මුවෙහි මඳ සිනාවක් නැඟුනි. 

"ඔහු අපට බොරු කිව්වේ නැති බව මට විශ්වාසයි. ඒත් සමහර විස්තර ඔහු නොකියා මඟඇරපු බව දැණුනා..." මිත්‍ර කීය. 

"මොනවද ඉතින් මේ ඇඩම් කියන නැවියා කිව්වේ?" ඉන්ද්‍ර ඇසීය.

"ඔහු සැක්සනියේ තිබුණු යුද්ධයකදී ඩෙවි වැදිලා, ඔහු හිතනවා තමන් මියයාමට ආසන්න තත්ත්වයට ම ආවා කියලා. ඔහු සැක්සනියේ පේගන් දේවතාවිය, ෆ්‍රේයියා විසින් අරගෙන ගිහින්. එතනදී ලෝකී ගේ දූතයෙක් ඔහුට බෙහෙතක් පොවලා. එහි ප්‍රතිඵලයක් විදිහට ඔහුගේ සිරුරට සුවපත්වීමේ බලයක් ලැබිලා තියෙනවා."

"වැදගත් දේ, ඔහු කිව්වා, ඔහුට ඇහුණාලු අර දූතයා කියනවා, ලෝකී කිව්වා කියලා..." මිත්‍ර කතාවට බාධා කළේ ය. "ඇස්ගාඩ් දෙවිවරුන්ගේ පැවැත්ම තර්ජනයට ලක් වෙලා තියෙන නිසා, මිය යන්න ආසන්න මනුස්සයෙක් මඟින් ඊට පිළියමක් සොයාගත යුතුයි කියලා..."

"ඔව් ඉතින්... අපෙත් පැවැත්ම කලින් වගේ නෙවෙයි තමයි. රෝමක ඇදහීම් යුරෝපයේ මුල්බැසගැනීම ඇස්ගාඩ් වාසීන්ට තදින් බලපෑවා..." ඉන්ද්‍ර කීය.

"ඒ වගේම, සුවපත් වුණු පසුව ෆ්‍රේයියා ඇඩම් ගෙනිහින් දාලා තියෙනවා අවුරුදු හාරසීයක් අතීතයට... ඒ කියන්නේ දැන් අපි අතරෙ ඉන්න නෝර්ඩික් නැවියා, අවුරුදු විසිපහක - තිහක ශරීරයක් තිබුණත්, ස්වභාව ධර්මයට අනුව අවුරුදු හාරසිය පණහකට ආසන්න වයසක් ඇති පුද්ගලයෙක්."

"ඒ කොටසත් ඇත්ත කියලා මිත්‍ර, ඔබට විශ්වාස ද?" අග්නි ඇසුවා ය. 

"ඒ කොටස කියද්දී ඔහුගෙ නාඩි සාමාන්‍ය ක්‍රමයට වඩා වෙනස් වේගයකින් ගැහුණේ නෑ." මිත්‍ර මඳ සිනාවක් පෑවේ ය. "ඔහු ඒ අතීතයේදි... දුටු පමණින් වසඟ වෙලා, විවාහ කරගත් තරුණිය ගැන කියද්දී හැර..."

සිව්දෙනාටම සිනා සීමට මඳ වේලාවක් ඉඩහළ  සුමන කාන්තාව දෙසට හැරුණේ ය. "අග්නි, ඔබට කියන්න ඇති දේ අපි දැන් අහමු..."

"ඔය නාවිකයන්, කොට්ටියාරම අසළ කැළෑවේ අතරමං වී එළියට එද්දී දෙන්නෙක් වුණාට, කැළෑවට ඇතුල් වෙද්දි පස් දෙනෙක්. ඒ අය ගමන් කළේ සිතියමක් සහ සටහන් පොතක් බලමින්, කොම්පාසුවකුත් අරගෙන. ඒ කියන්නෙ..." ඇය අනෙක් සාමාජිකයන් ගේ දෑස් දෙස මැරුවෙන් මාරුවට බැලුවා ය. "ඔවුන් කැළැව ඇතුලේ මොනවා හරි හෙව්වා. ඒ වගේම ඒ ගැන විස්තර ඔවුන් ළඟ තිබුණා."

"ඉතින් ඒ මොකක්ද කියලා හොයාගන්න පුළුවන් වුණා ද?"

"ඉන්ද්‍ර, මගේ ප්‍රමුඛතාව තියෙන්නේ, අනවසර ඇතුල් වන්නන් වැළැක්වීම නේ. මම ඔවුන් බිය ගන්වා ගැමියන් අතරට එළවා දැමුවා... මට උවමනා වුණේ රජුගේ අඩස්සියට ඔවුන් පත්කර ලා, පසුව තොරතුරු දැනගැනීම. ඒක සුමන සහ මිත්‍ර පටන් ගෙන තිබෙන බව මට පේනවා."

"පස් දෙනාගෙන් අහු වුණේ දෙන්නයි නේ. අනික් තුන් දෙනාට මොකද වුණේ?" ඉන්ද්‍ර අසද්දී මිත්‍ර ගේ මුවෙහි සිනා රැල්ලක් ඇති වී නැති වී යනු අග්නි නෙත් කොණින් දුටුවා ය.

"මිත්‍ර හිනා වෙන්න දෙයක් නෑ. මම දෙන්නෙක් ගිණි තිබ්බා. එකෙක් හොඳටම බය වෙලා කැලේ දෙවනත් කරගෙන දිව්වා. මම ඔහු අල්ලාගත්තා. තවමත් පැහැදිළි සිහියක් නැහැ. දිගුකාලීන මානසික ප්‍රතිකාර අවශ්‍යයි. හොඳ සිහියට එළඹුණු පසුව අපට තවත් තොරතුරු ලබා ගන්න පුළුවන් වෙයි."

"අග්නි තවමත් වැඩ කරන්නේ ඉස්සර කාලේ විදිහටම යි" මිත්‍ර කීය. 

"මම නුඹලා වගේ ශිෂ්ඨ සම්පන්න මිනිස්සු එක්ක නෙවෙයි ඉන්නෙ... මගෙ ප්‍රමුඛතාව අනවසර ඇතුල් වන්නන්. මේ ලන්දේසි ජාතිකයන් එක්ක ඒක සෑහෙන අසීරු සහ පුළුල් කටයුත්තක් වෙලා තියෙන්නෙ..."

"දැන් මේ රහස් දූරයේ සාමාජිකත්වය දීම ගැන..." ඉන්ද්‍ර කතාව නැවත පටන් ගත්තේ ය. "මේ නාවිකයන් ගැන දැනගත හැකි සියලු තොරතුරු අපි දැනගත යුතුයි. ඔවුන් මේ රටේ හොයන්නේ මොනවද කියන දේ විශේෂයෙන්."

"ආසියාකරේ නෝර්ඩික් ගවේෂණයක් ටික කාලයක ඉඳන් පවතිනවා." මිත්‍ර කීය. "මතකද ඩි ‌බොෂුවේ?" 

"මීගමුවෙ මහ රාළ..." ඉන්ද්‍ර කීය. "එයා ලන්දේසි ජාතිකයෙක්." 

"ඔව්. නමුත් ඔහු ලන්දේසීන් එන්න කලින් මෙහෙ ආවෙ. සෙනරත් රජතුමාට හිතවත් වෙලා මීගමුව නීන්දෙ ලබා ගත්තා. උඩරට හමුදාවෙ ප්‍රධානියෙක් වුණා. නාවික හමුදාව පිහිටුවන්න මුල් වුණා. පස්සෙ පරංගීන් එළවගන්න උදව් ඉල්ලන්න යුරෝපයට ගියා. තමන්ගෙ මවුබිම වුණු ඕලන්දයට ගිහින් ගිවිසුමකට එළඹෙන්න බැරිවුණු තැන ඩේන් රජු ළඟට ගියා. ඒ අනුව මෙහෙ ආව ඩේන් අද්මිරාල් ට අප එක්ක ගිවිසුමකට එළඹෙන්න බැරි වුණු ගමන, ගියේ තන්ජෝරයට. එහෙ නායික් ගෙන් ඉඩමක් ලබාගෙන ට්රැන්කියුබාර් බලකොටුව හදාගත්තා. ඩේන්වරුන්ට යටත්විජිත හෝ කුළුබඩු වෙළෙඳාම තුළ කිසිම අවස්ථාවක් ලැබුණෙ නෑ. ඒත් දැන් ආපහු තන්ජෝරය සහ ඩේන් මවුබිම අතර සම්බන්ධතා පටන් අරගෙන"

"හොඳයි. අපි රුද්‍ර ගෙන් ඒ ගැන විමසමු." ඉන්ද්‍ර කීය. "අපිත් ඔහුට අභ්‍යන්තර ගැටළු වලදි උපකාර වෙලා තියෙනව අතීතයේ. ඇරත් මේක අපේ රටට විතරක් සීමාවෙන ගැටළුවකුත් නෙවෙයි කියලා පේනවා.

"ඒ අතරේ, අපි ඇඩම් ට කෙටි රාජකාරියක් පවරලා බලමු. එයින් ඔහු තවදුරටත් පරීක්ෂා කරන්න වගේම, අපට ඔහුට සමීප වෙන්නත් පුළුවන්. අග්නි මොකද හිතන්නෙ? විරුද්ධත්වයක් තියෙනවද?"

"හොඳයි." කාන්තාව කීවා ය. "එහෙනම් එවන්න කොළඹට ආසන්න කුරුඳු කැලේට. භාණ්ඩාගාරය සඳහා උසස් තත්ත්වයේ කුරුඳු උවමනා ඇති. කුරුඳුලිහිණියන් ගෙන් කුරුඳු ඩැහැගන්න මම ඔහුට උදව් වෙන්නම්. 

"යුරෝපා මිනිස්සු කාන්තාවන්ට සළකනවා." ඇය මිත්‍ර දෙස යටැසින් බැලුවා ය. "මට නාඩි අල්ලන්නේ නැතුව ඔහුගෙන් තොරතුරු දැනගන්න පුළුවන් වෙයි..."

පුරුෂයන් තුන්දෙනාම එම කතාවට සිනාසුණහ.

https://www.pinterest.it/pin/783344928913140827/?nic_v2=1a4OvlzW4

"හොඳයි... ඊළඟට ඇඩම් නම් නාවිකයා සමඟ කන්ද උඩරටට ආ අනෙක් නැවියා ගැන..." සුමන නැවත කතාව පටන් ගත්තේ ය. "ඔහු කන්තලේ දිසානායක රටේ මහත්තයාට භාර දුන්නා. නම, ටිරෙල් ඕඩින්සන්. ඔහු ගැන තොරතුරු අපට නිතර ලැබෙනවා..."

"ඔව්." මිත්‍ර කිවේ ය. "අපේ ඔත්තු කාරයන් ට අනුව, ඔහු හොඳ කල්කිරියාවෙන් පසු වෙනවා. කන්තලේ කුඩා ගොවිතැනක් කරන ගමන් ඔහු පන්සලේ හාමුදුරුවරුන් සමඟ එකතු වී ප්‍රදේශයේ පොදු වැඩට පවා හවුල් වෙනවා. සිංහල කාන්තාවක් විවාහ කරගෙන එහි පැළපදියම් වෙලා ඉන්නෙ."

"මේ තරම් ඉක්මණට?" ඉන්ද්‍ර ඇසී ය. "ඔහු ගේ කල්කිරියාව පමණටත් වඩා හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?"

"අපි කොහොමත් ඔහු ගැන දිගටම සොයා බලමු" මිත්‍ර යෝජනා කළේ ය.

--------------

උදෑසන හිරු එළිය සමඟ පිපි කුඩා වනමල් පින්නෙන් වැසීගෙන තණපත් අතරින් හිස ඔසවාගෙන සිටියේය. සිය නිරුවත් දෙපයට පෑගෙන තණපත් සහ පිනි බිඳුවල සුවදායි බව ඇඩම් වින්දේ අපූර්වත්වයකිනි. නෝර්ඩික් ජාතිකයන් දවස පටන්ගැනීමට පුරුදුව සිටියේ රම් හෝ පෝට්වයින් පානයකින් මඳ වශයෙන් මත් වීමෙනි. එහෙත් පාරාදීසයේ ස්ථාවර වූ දා සිට ඔහුට උණුසුම් එළ කිරි පාත්‍රයක් පානය කරමින් පිනි මුසු තණපත් මත සක්මන් කිරීමේ සුවදායක උදෑසණ චර්යාව විඳින්නට ලැබුණේ ය. උණු කිරිවලින් නැඟුණු සුවඳ, කුඩා කුරුල්ලන්ගේ ප්‍රබෝධමත් කිචි බිචිය, සියොළඟ දැවටෙන සුවඳවත් සිහිල් සුළඟ... පෙරදිග වැසියෝ කෙතරම් සුවයක් අත්විඳින්නෝදැ'යි නාවුකයා ට සිතුණේ වරක් හෝ දෙවරක් නොවේ.

කිරි බඳුන අවසන් වෙද්දී, ඇඩම් සක්මන් කරමින් සිටියේ ධනසේකර වළව්වේ ගෙවත්ත කෙළවර වූ ඔසු වනය අසල ය. කීස් හඬ නඟමින් ඊයක් ඔහුගේ දෙපා මුළ බිම ඇණුනේ ය. එතෙක් ගැළී සිටි වින්දනාත්මක ආලස්‍යයෙන් මිදුණු ඩ්‍රේක් ක්ෂණිකව බිමට පහත් වී, හිස පහත් කොටගෙන වටපිට බැලීය. කෙටි බැලුම් කිහිපයකින් හාත්පස සෑම අඟලක්ම නිරීක්ෂණය කළ හෙතෙම, කිසිදු අනතුරක් නොමැති බව සැක හැර ගත්තේ ය. ඊගස වටා බැඳුණු තල්පත ඔහු දුටුවේ ඉන් පසුව ය.

ඉක්මණින් තල්පත ලෙහාගත් ඇඩම්, එතැනම බිම වාඩි වී එය දිගහැරියේ ය. එහි වූයේ ලතින් අකුරින් සටහන් කළ කෙටි පණිවුඩයකි. 

ඉතිරි කොටස...

Monday, September 28, 2020

අවසානයක් නොවේ - දා හතර වන කොටස

පළවෙනි කොටස

තුන් වෙනි කොටස

දහ තුන් වෙනි කොටස

බිම අඩ දණින් වැටුණු ඇඩම් හති ලෑවේ ය. තම මුහුණ කෙලින් පහත් වූ ගැහැණු අතක්... බීම පිරවුණු සම් මල්ලක් අල්ලාගෙන සිටි ගැහැණු අතක්... ඔහු හිස ඔසවා බලද්දී, දුටුවේ සුන්දර සිනහවක් රැඳුණු තරුණියකගේ මුහුණකි. දුන්න වමතින් අත නොහළ ඇඩම්, දකුණත දිගු කර සම් මල්ල අල්ලා ගත්තේ ය. එය මුවට ළං කරද්දී ඉන් නැඟුනු මීපැණි සහ කුළු බඩුවල සුවඳින් පමණක් හෙතෙම සෑහෙන තරමට ප්‍රකෘතිමත් විය. දෙතොලින් ඇතුල් වී දිව තෙමාගෙන උගුර හරහා ගළා ගිය මීඩ් පානයේ රසය ඔහු දෑස් පියාගෙන වින්දේ ය.

ඔහු නැවත දෑස් විවර කරද්දී, තරුණිය තමා ඉදිරිපිට තණපත් මත වාඩිවී සිටිනු දුටුවේ ය. 

"නුඹට මේ මිටියාවතෙන් පිට වීමට උවමනා බව මම දන්නවා..." ඇය ඉතා පහත් හඬින් මිමිණුවා ය. "...මම ඇස්ගාඩ් සිට මෙහි ආවේ නුඹට උපකාර කිරීමටයි."

"ඇස්ගාඩ්?" 

"ඔව්. වික්‍රමාන්විත ක්‍රියා, දේශ ගවේෂණ, ආදී නොයෙක් දේ නුඹගේ ඉදිරි ජීවිත කාලයේ දී හමු වේ වි. නුඹට ලෝකී ලබා දුන් බලය නිසා ඒ සියල්ලට නිර්භීතව, මුහුණ දෙන්නට සහ ඒ වික්‍රමයන් රසවිඳින්නට නුඹට හැකියි. ඒ සියලු දේ අතර, නුඹ ගේ ඉළක්කය විය යුත්තේ අමරණීයත්වය..."

තිගැස්සී අවදි වූ ඇඩම් වටපිට බැලී ය. හාත්පස පැතිරි සීතල දැනුණ ද, ඔහු සිටියේ දහදිියෙන් තෙත්වූ ගතිනි. මිට මෙළවූ දෑතින් දෑස් පිස දමා ආපසු බලද්දී, ධනසේකර වළව්වේ තමා රඳවා තිබූ කුටිය ඔහුට හඳුනා ගත හැකි විය... මේසයක් ලෙස ඇඩම් භාවිත කළ කනප්පුව මත තැබූ පිත්තල පොල්තෙල් පහනක මන්දාලෝකය මළාණික ලෙස හාත්පස පැතිර තිබුණි.

ස්ස්ස්... හඬ නැඟුනේ කුටියේ පැවති එකම කවුළුවට පිටතිනි. ස්කැන්ඩිනේවියානුවා ක්ෂණිකව නැගිට්ටේ ය. තවත් එක්වරක් ඒ හඬට කන් දුන් ඔහු, තමා නිදා සිටි ලී මැස්ස - එය ලී දඬුු වලින් තමන් විසින් ම තනාගත් එකක් විය - යට තිබූ මැටි කෝප්පය ගෙන කණප්පුව උඩින් තැබී ය. හම් කොපුවක රඳවා මැස්සෙහි ඉහ ඉද්දර කණුවෙහි එල්ලා තිබූ කිණිස්ස කොපුවෙන් ඇද ගත් ඇඩම්, සිය කළවයෙහි මැද කොටස වැසුනු කපු රෙද්ද මෑත් කර එතැන කිණිසි තුඩින් ඇන කුඩා තුවාලයක් කළේ ය. ඉන් ගළන්නට වූ ලෙය ඔහු එකතු කරගත්තේ මැටිකෝප්පයට ය. සුලු වේලාවකින් ම තුවාලය වටා සම ලියලා'විත් ලේ දහර නැවතිණ.

මැටිකෝප්පය වමතට ගත් ඇඩම් ජනේලය වෙත ගියේ ය. කවුළුවේ පියන පිටතට විවර කරද්දී, එය උළුවහු කඳට සවි කරන ලද මී හරක් හම් කැබලි වලින් හඬක් නොනැගුනි. ගළා ආ සඳ රැසින් එළිය වුණු හාත්පස ඔහු කිහිප විටක්ම හොඳින් නිරීක්ෂණය කර, කිසිවෙකුත් ඔහු නොදුටු බව හැක හැර ගත්තේ ය. ජනේල පඩි කඳ මත ඔහු සීරුවෙන් මැටිකෝප්පය තැබුවේ ඉනික්බිත්තෙනි.

තත්පර දෙක තුනක් යාමට මත්තෙන් සට සට හඬින් පියාපත් ගැටෙනු ඇසිණ. ලොකු බස්සෙක් වැනි කුරුල්ලෙක් අඩ අඳුරේ පහත් වී මැටි කෝප්පය අසළ ජනෙල් පඩිය මත වැසී ය. ඇඩම් අපේක්ෂා කළ පරිදි ම ඒ ස්ට්‍රිජ් පක්ෂියෙක් විය. ඌ මැටි බඳුනට පහත් වී එහි වූ ලේ රස විඳිද්දී, නාවුකයා සීරුවෙන් උගේ දකුණු කකුලේ ගැට ගසා තිබූ කුඩා පාච්මන්ට් රෝල ලෙහා ගත්තේ ය.

බඳුනේ ලේ සියල්ල අවසන් වන තෙක් උරා බිව් ස්ට්‍රිජ් කුරුල්ලා ආපසු පියාඹා ගියේ වැඩි හඬක් නො නගමිනි.

https://i0.wp.com/cdn.shopify.com/s/files/1/1601/3103/files/Baleful_
Strix_Playmat_-_Featured_1600x.jpg?resize=400%2C320&ssl=1


මැටිකෝප්පය සෝදා වතුර විසි කර, කවුළු පියන වැසූ ඇඩම් ඇන්ඩර්සන්, පාච්මන්ට් රෝල කණප්පුව මත දිග හැරියේය. ඒ මත පියවි ඇසට දැකිය හැකි කිසිදු සළකුණක් නොවී ය. ඔහු නාවික දුර දක්නය ගෙන, යන්තමින් දිගු වන සේ ඇද, එය තුළින් පාච්මන්ට් රෝල දෙස බැලීය. දුරදක්නයේ දිග ඉතා සියුම් ලෙස වෙනස් කරමින් බලද්දී, ලියවිල්ලේ අකුරු මතු වී පෙනෙන්නට පටන් ගත්තේ ය.

"මව්බිම සමඟ සබඳතා නැවත ස්ථාපිත යි. මම මුදාහැරුණා. ට්රැන්කියුබාර් හි නව පාලකයා කපිතන් සිවාඩ්ට් ඇඩෙලර්. ඔබේ ගවේෂණයේ තත්ත්වය වාර්තා කරන්න. ඩි බොෂුවේ ගැනත් තොරතුරු සොයන්න - එස්කිල්ඩ් ඇන්ඩර්සන් කොංස්බාක්"

කිහිප විටක් පණිවුඩය කියවූ ඇඩම් එය අනෙක් පිට හැරවීය. තම දුරදක්නයේ ඉහළ කොටස කරකවා ගලවා ගැනීමට ඔහුට වැය වුණේ තප්පර කීපයකි. එහි කාචය ගලවා අතට ගත් ඔහු එය දෙපලු කර කණප්පුව උඩ තබා ගත්තේ ය. සිය ලියවිලි අතර වූ දිගු පාත්ත පිහාටුවෙහි තුඩ ඒ කාචයේ කොටසක කීප විටක් ඇතිල්ලූ ස්කැන්ඩිනේවියානුවා, ඉන් නොපෙනෙන කෙටි පණිවුඩයක් පාච්මන්ට් එකෙහි සටහන් කළේ ඉතා කඩිසර සහ පළපුරුදු ලීලාවෙනි.

නැවත කවුළු පියන විවර කළ ඔහු "ස්ස්ස්..." හඬ නැඟී ය. ස්ට්‍රිජ් පක්ෂියා ආපහු පියාහඹා විත් ජනෙල් පඩි කඳ මත වැසුවේ ඉතා නිහඬව ය. පාච්මන්ට් රෝල නැවත උගේ වම් කකුළේ ගැට ගැසූ පසු කුරුල්ලා නැවත පියාඹා ගියේ ය. සඳරැසින් උගේ පියාපත් ලා කහ පැහැයෙන් දිළිසෙනු ඇඩම් ගේ නෙතට ලක්විය.

----------------------------

රෝස කිරිගරුඬ ගලින් කෙරුණු බිත්ති මත රැඳවුණු, කැකුණ තෙලින් පෙඟවුණු පන්දම්වල එළියෙන් හාත්පස දීප්තිමත්ව ආලෝකවත් වී තිබුුණි. ශාලාවේ දෙපැත්තක බිත්ති වල රැඳවුණු, සුමටව කළු ගලිින් ඉදි කෙරුණු රාක්ක තට්ටු මත පුස්කොළ පොත් දස දහස් ගණනක් අසුරා තිබුණි. එහි බිම ඔප දැමුණු කලු ගල් පොළොව මත පළස් අතුරා, ආසන පණවා තිබුණේ සිව් දෙනෙකුට මුහුණින් මුහුණ බලා සාකච්ඡා කළ හැකි වන පරිදි ය. කුළවතුන් ගේ වස්ත්‍රයෙන් සැරසීගත් ස්ත්‍රියක් සහ පුරුෂයන් තිදෙනෙක් එහි අසුන් ගෙන සිටියහ. 

සුමන සාකච්ඡාව ආරම්භ කළේ ය. "මිත්‍රටත් මටත් වාර්තා කරන්න සහ සැක හැර ගන්න තොරතුරු කිහිපයක් තියෙනවා. අග්නි සහ ඉන්ද්‍රට ත් අපට එකතු කරන්න දේ ඇති..."


ඉතිරි කොටස...

Sunday, September 20, 2020

අවසානයක් නොවේ - දහ තුන් වන කොටස...

පළවෙනි කොටස

තුන් වෙනි කොටස

දොළොස් වෙනි කොටස

"මම අර ක්‍යුනිං ගායනා කරපු තරුණිය ගෙ හඬ ඇහුණු දිහාවට යන්න පටන් ගත්තා. ගල් ගුහාව ඉදිරිපිට ලොකු තණ බිමක් තිබුණෙ. වටේටම කඳු වැටියකින් වට වෙලා. මම තව තවත් ඉදිරියට යනකොට, ඈත... සෑහෙන්න ඈත... දැවැන්ත විලක් තිබුණා. ඒ විල අයිනේ ගැමියන්ගෙ පැල්පත් ටිකකුත්, ගොවිපොලවලුුුුත්, දකින්න ලැබුණා. ඒ හැම දේකටම කලින් මම දැක්කෙ, මිටියාවතේ මැද්ද හරියෙ ගොඩැල්ලකට නැගගෙන ක්‍යුනිං ගායනා කරමින් හිටපු කෙට්ටු තරුණියක්..."

ඇඩම් එක් නිමේෂයකට නිහඬවූයේ ය. අතීතයේ සිදු වූ දේවල් නැවත ස්මරණය කිරීමත්, එය මනසින් විඳීමත්, නාඳුනන විදේශයක, අගන්තුකයන් දෙදෙනෙකු ඉදිරිපිටදී... සුදුසු නැති බව ඔහුට වැටහුුණුු බව පෙනුණි.

"කෙටියෙන් කියතොත්, මම ඒ මිටියාවතේ දි දැක්කෙ, මම හිටපු කාලයට වඩා අවුරුදු හාර සීයකට විතර කලින් තිබුණු සමාජයක්... ඒ කියන්නෙ මම කාලය හරහා අතීතයට ගෙනත් දාලා තිබුණා... සමහරවිට මම බ්‍රයිටන්ෆෙල්ඩ් සටනේ දි මිය යන්න තිබුණු කෙනෙක් නිසා, සුවපත් වුණාට පස්සෙ මම මගේම කාලයට ආපහු ඒම මඟින් මොනවා හරි රටාවක් වෙනස් වෙන්න තිබුණා වෙන්න පුළුවන් කියල මට පස්සෙ හිතුණා. මොකද, මාව ගෙනත් දාල තිබුණෙ එහෙම පිටින්ම ලෝකයෙන් හුදෙකලා වුණු මිටියාවතකට. විල ඇරුණු කොට අනික් හැම පැත්තෙන්ම තිබුණේ ඈතට ඈතට පැතිරුණු ගන කැළෑව. ඒ කැළෑවෙ ගස් මුදුන් වලට ඉහළින් බැලුවාම පෙනුනෙ බොහෝම ඈතින් පිහිටපු, හිමෙන් සුදු පාට වෙලා තිබුණු කඳුවැටි පේළියක්...

"ඒ ගැමි සමාජයට මාව භාරගත්තෙ සෑහෙන තරම් ප්‍රශ්න කිරීම් වලින් පස්සෙ. ගම පාලනය වුණේ වැඩිහිටියන් දහ දෙනෙකුගෙන් හැදුණු කමිටුවකින්. මම කියපු විස්තර ඒ අය මුලින් පිළිගත්‌තෙ නැතත්, මෙහෙදි වගේම මාව එක පවුලකට භාර දුන්නා. මම ඒ පවුලෙ ගොවිතැන්, දඩයම්, කටයුතුවලට උදව් වෙමින් ටික කාලයක් හිටියා. ටික කාලෙකට පස්සෙ, මම අර මුලින් ම දුටුව තරුණිය: ඉන්ග්‍රිඩ් මම විවාහ කරගත්තා. තුවක්කු වලින් සටන් කරපු සෙබළෙක් වෙලා හිටපු මම, දුන්න, ඊතල, පොරොව, හෙල්ල වගේ ආයුධවලින් දඩයම් කරන, හරකුන් බලාගන්න සාමාන්‍ය ගැමි මනුස්සයෙකුගේ ජීවිත කාලයක් ඒ ගමේ ගත කළා... මගෙ භාර්යාව මිය යන තුරු ම..."

දෑස් පියාගත් ස්කැන්ඩිනේවියානුවා හිස පහත් කරගෙන මඳ වේලාවක් ගත කළේ ය. අවුරුදු හාර සියයක් ගත වීත්, අතීත මතකයන් තවමත් ඔහු හැර ගොස් නැති බව ස්වදේශිකයන් දෙදෙනාට පෙනුණි... 

ඇඩම් නැවත හිස ඔසවන විට ඔහුගේ මුහුණ ඇදී ගොස් තිබුණේ ය. "මම අන්තිමේ තීරණය කළා ඒ ප්‍රදේශයෙන් පිට වෙන්න. ඒ වෙනකොට මම එහෙට ඇවිත් අවුරුදු හැටක්... ඒත් මගෙ සිරුර වයසට ගියෙ නෑ. දඩයම් කරද්දි, ගොවිතැන් කරද්දි, මුල් කාලෙ ගැමියො සමහරෙක් එක්ක රණ්ඩු කරද්දි, මට ඇතිවුණු ‍‍තුවාල ඉතාම ඉක්මණින් සුවපත්වුණා. අත පය කැඩුණු අවස්ථා පවා තිබුණා. ඒත් ඒවත් දවසක් ගතවෙන්න කලින් සනීප වුණා. 

"ඉතින් ඒ ගම වටේ තිබුණු ගන කැළෑවෙදි, එහෙම නැත්නම් කඳු වැටියෙදි, මට අනතුරක් වුණත් මගේ ගමන් වේගය අඩු වෙනවා මිසක්, මගෙ ගමන නවතින්නෙ නෑ. ඒ ගමට මාව බැඳ තිබුණු එකම බැඳීම ඉන්ග්‍රිඩ් විතරයි. නමේ අර්ථයෙන්ම එයා සුන්දර ගැහැණියක්, බාහිරින් වගේම හදවතිනුත්..."

"ඔබට දරුවො හිටියෙ නෑ?" මිත්‍ර ඇසී ය.

"නෑ. මට හිතෙන්නෙ ඒකත් අර ලෝකී ගෙ බෙහෙතෙ අතුරුඵලයක්... මොකද මට ඊට පස්සෙ කවදාවත් දරුවෙක් ලබන්න පුළුවන් වුනේ නෑ. 

"ඉතින් මම ඉන්ග්‍රිඩ් ආදාහණය කරපු දාට පහුවෙනිදා උදෙන්ම පිටත්වුණා. මම ගෙනිච්චෙ දඩයමක් කරගන්න ආයුධ ටිකක් විතරයි. කැළෑව පහුකරන්න මට දවස් හතරක් ගත වුණා. කඳුවැටිය මැදක් දුර නගිද්දි සීතලට මිදුණු පිනි එහෙමත් නැත්නම් හිම හමුවුණා. හිම ගොඩේ ලෙස්සමින් ඉතාම අමාරුවෙන් සතියක් විතර ගමන් කරලා මම කඳුයායෙන් අනික් පැත්තට යාගත්තා. එතනිනුත් සති දෙක තුනක් පයින්ම ගාටලා තමයි ආපහු ශිෂ්ට ලෝකයට ආවෙ.

"ඉතින් ඒක තමයි මගෙ කතාව... ඉතාම කෙටියෙන්. මම මේ වෙනකොට අවුරුදු හාරසිය හැටක් විතර ජීවත් වෙලා තියෙනව. ඉතාම මාරාන්තික තුවාල සෑහෙන තරමක් ලබලා තියෙනවා. ඒ එකකවත් කැළලක්වත් ඉතුරු වුණේ නෑ. සමහර වෙලාවට මට හිතෙනවා මේක මහ ශාපයක් කියලා. සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවිත කාලයක් ගත කරලා මැරිලා යන්න තියෙනව නම්, අපි ප්‍රිය කරන මනුස්සයන්ගේ වෙන්වීම් මේ තරම් දරාගන්න සිද්ධ වෙන්නෙ නෑ. නමුත් මම මටම කියාගන්නවා මට මේ ලැබිල තියෙන්නෙ තෑග්ගක්. ලෝකි මේ තෑග්ග මට දුන්නෙ යම් කිසි කාර්යයක් ඉෂ්ට කරගන්න. ඒක මම තවම ඉටු කරලා දිලා නෑ. සමහරවිට ඒක ඉටු කළාම මට ආපහු පරණ තත්ත්වයට යන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් ඒ කාර්යයෙ ප්‍රතිඵල මටත් භුක්ති විඳින්න පුළුවන් වෙයි..."

"මොකක්ද ලෝකි ගෙ අරමුණ වෙන්න ඇත්තෙ?" සුමන විමසීය.

"මට ඒ ගැන කිසිම හෝඩුවාවක් මේ වෙන තුරු ලැබිලා නෑ."

"ඔබ හිතනවද, අවුරුදු හාරසීයක් තිස්සෙ දෙවියෙක් බලාගෙන ඉඳියි කියලා? එහෙම නැත්නම් ලෝකී ඒ වෙලාවෙ කරපු දේ ප්‍රතිඵලය අවුරුදු හාරසීයක් හෝ ඊට වැඩි කාලයක් ඉදිරියට අපේක්ෂා කරයි කියලා...?"

"මිත්‍ර, ඒ ගැන දැනුමක් ඩ්‍රේක් තුළ තියෙන්න විදිහක් නෑ. එහෙම නේද?" සුමන ගේ ප්‍රශ්නය ට මිත්‍ර, එකඟ වන බව ඟවමින් හිස වැනී ය. 

"අපි ඔබගේ කතාව අසමින් තව කොපමණ වෙලාවක් වුණත් ඉන්න ආසයි." සුමන කීය. "ඒත් අප දැන් යා යුතුයි. වෙද මුදළි තුමා ඔබත් කැටුව යන්නට බලාගෙන ඇති. අපි ආපහු ඔබ කැඳවන දවසෙදි ඔබගෙන් අපි අපේක්ෂා කරන මෙහෙවර ගැන ඔබට කියන්නම්. එහෙනම්..." සුමන සහ මිත්‍ර නැගිට දෑත් එකතු කොට අද්මිරාල් වෙත ආචාර කළහ. "ආයු‌බෝවන්!"

ඇඩම් සමාචාර කරද්දී, ටිකිරි බණ්ඩාර සහ ධනසේකර මුදලිතුමා ‌එතැනට ආහ.

--------------------------------

ඝනව වැඩුණු කේතුධර වනාන්තරය පසුකරගෙන ඇඩම් (ඩ්‍රේක්) ඇන්ඩර්සන් කඳු මුදුන ඉළක්ක කරගනිමින් ඉහළට දුවමින් සිටියේ ය. පසුපසින් දිව එන වෘකයන්ගේ හතිළෑම් හඬ පියවරක් පියවරක් පාසා තමන්ට ළං වන බව ඔහුට ඇසුණි. බෑවුම් සහිත භූමියේ තැන තැන පිහිටි ගල් කුට්ටි සහ පඳුරු මතින් පනිමින් ඒකාකාරී වේගයෙන් දිව ගිය ඇඩම් කන්දේ මැද හරියේ පිහිටි ගල් පොත්ත මතට නැගගත්තේ ය. එසැණින් ඔහු ආපසු හැරුණේ උරයේ එල්ලාගෙන සිටි දුන්න පන්නා වමතට ගනිමිනි. හියොවුරෙන් හීයක් ඇදගෙන දුන්නෙහි රඳවා කණ දක්වා ඇදගනිමින් ඩ්‍රේක් තමන්ට ළඟින්ම පහතින් සිටි වෘකයා ඉළක්ක කොට මුදා හළේ ය. කෙඳිරියක් නගමින් ඊතල පහර කෑ මෘගයා පහළට පෙරළී ගියේ, උගේ පසුපසින් දුවගෙන ඒමින් සිටි සහචරයන් කිහිප දෙනෙකු බිම වට්ටවමිනි. පිට පිට ඊතළ තුන හතරක් ම මෙසේ විදින්නට සමත් වූ ඇඩම් දුන්න අත් නොහැර ආපසු හැරී කඳු මුදුනට දුවන්නට ගත්තේ, වෘක රැළ තව තවත් ළං වනු දැකීමෙනි.  ඔහු පසුපස හැරී බැලුවේ එක් වරකි. එසැණින් ගුවනට මුදාහැරුණු ඊතල රැසක්, තම හිසට ඉහළින් සිවුරුහඬලමින් ඇදී ගොස් වෘකයන්ගේ ඇඟෙහි වදිනුු ඩ්‍රේක් දුටුවේය. වෘකයන්ගේ විළාප හඬ කඳුකරය පුරා රැව් නැඟුණි. 

බිම අඩ දණින් වැටුණු ඇඩම් හති ලෑවේ ය. තම මුහුණ කෙලින් පහත් වූ ගැහැණු අතක්... බීම පිරවුණු සම් මල්ලක් අල්ලාගෙන සිටි ගැහැණු අතක්... ඔහු හිස ඔසවා බලද්දී, දුටුවේ සුන්දර සිනහවක් රැඳුණු තරුණියකගේ මුහුණකි. දුන්න වමතින් අත නොහළ ඇඩම්, දකුණත දිගු කර සම් මල්ල අල්ලා ගත්තේ ය. එය මුවට ළං කරද්දී ඉන් නැඟුනු මීපැණි සහ කුළු බඩුවල සුවඳින් පමණක් හෙතෙම සෑහෙන තරමට ප්‍රකෘතිමත් විය. දෙතොලින් ඇතුල් වී දිව තෙමාගෙන උගුර හරහා ගළා ගිය මීඩ් පානයේ රසය ඔහු දෑස් පියාගෙන වින්දේ ය.

https://shadow-of-dc.fandom.com/wiki/Frigg_Freydottir?file=Received_10156728354023714.jpeg

ඔහු නැවත දෑස් විවර කරද්දී, තරුණිය තමා ඉදිරිපිට තණපත් මත වාඩිවී සිටිනු දුටුවේ ය. 

"නුඹට මේ මිටියාවතෙන් පිට වීමට උවමනා බව මම දන්නවා..." ඇය ඉතා පහත් හඬින් මිමිණුවා ය. "...මම ඇස්ගාඩ් සිට මෙහි ආවේ නුඹට උපකාර කිරීමටයි."

"ඇස්ගාඩ්?" 

"ඔව්. වික්‍රමාන්විත ක්‍රියා, දේශ ගවේෂණ, ආදී නොයෙක් දේ නුඹගේ ඉදිරි ජීවිත කාලයේ දී හමු වේ වි. නුඹට ලෝකී ලබා දුන් බලය නිසා ඒ සියල්ලට නිර්භීතව, මුහුණ දෙන්නට සහ ඒ වික්‍රමයන් රසවිඳින්නට නුඹට හැකියි. ඒ සියලු දේ අතර, නුඹ ගේ ඉළක්කය විය යුත්තේ අමරණීයත්වය..."

තිගැස්සී අවදි වූ ඇඩම් වටපිට බැලී ය. හාත්පස පැතිරි සීතල දැනුණ ද, ඔහු සිටියේ දහදිියෙන් තෙත්වූ ගතිනි.

මීළඟ කොටස ...

Sunday, August 23, 2020

අවසානයක් නොවේ - දොළොස්වෙනි කොටස

පළවෙනි කොටස

තුන් වෙනි කොටස


එකොළොස් වෙනි කොටස


"...'හෙලවෙන්න, ඇස් අරින්න එපා දැන්ම...' ඒ වචන තමයි මම සෑහෙන කාලයකින් අහපු මිහිරිම ශබ්දය විදිහට මට මතක තියෙන්නෙ. ඒ වචන කිව්වෙ සැක්සන් තරුණියක් බව මට ඒ කටහඬේ උච්ඡාරණ විලාසයෙන් තේරුණා. එහෙම කියද්දි එයාගෙ හුස්ම මගෙ කන් පෙත්තට දැණුනා. ඒ එක්කම සියුමැළි අතකින් දිග කෙට්ටු ඇඟිලිවලින් මගෙ දකුණු අතේ ඇඟිලි අල්ලගන්නවා මට දැණුනා. ඒ අතේ මෘදු බවත්, උණුසුම් බවත් එක්ක මට පුදුමාකාර සැනසිලිමත් බවක් දැණුනා. ඒ එක්කම මට නින්ද ගියා.


"මම ඇහැරුණේ ඉතාම තියුණු ශබ්දයකින්. 'ස්කාඩී...!" කියන චවනය තප්පර කීපයක් දිගට ඇදලා, කෑගහන හඬ තමයි මට ඇහුණෙ. ඒ, මට කලින් වතාවෙ හෙලවෙන්න එපා කියපු තරුණියගෙ ම කටහඬ... මම හෙමින් පියවි සිහියට එද්දි ඉතාම තද පැණි රස සහ තිත්ත රස මිශ්‍ර වුණු දියරයක් මගෙ උගුර හරහා පහළට ගිය බව මට දැණුනා. ඒ වගේම මා ළඟ එතෙක් නැඹුරු වෙලා හිටපු ගැහැණු රුවක් වේගයෙන් එතනින් දුවපු බව ත් මට යන්තම් පෙනුණා.


"ඒ ගැහැණිය තව කීප දෙනෙක් එක්ක පොර බදන හඬත්, දිවියන් දෙන්නෙක් ගොරවන හඬත් ඊට පස්සෙ ඇහුණා. ඒ අතරෙ අර මුලින් මම කියපු සැක්සන් තරුණිය මා ළඟට ඇවිත් පහත් වෙලා මාව පරීක්ෂා කරන්න වුණා. එයා හිම වගේ සුදුයි... ලා නිල් ඇස් දෙකත් රෝස පාට තොල් දෙකත් ඇරුණහම. දිග සුදු පැහැති  කැරලි ගැසුණු හිස කෙස් ඇගේ මුහුණ දෙපැත්තෙන් පහලට එල්ලුණා. නළල දෙපැත්තෙන් ගොතපු කෙස් රොදවල් දෙකක් ඇගේ හිස පිටුපසට ඇදලා පටළවලා තිබුණා. එයාගෙ සුසුම්වල උණුසුම සහ ලා තෙත් බව පවා මගෙ මුහුණ මතට දැනෙන තරම්, ඈ මා වෙතට පහත් වුණා. එයා මගෙ තොල් අතරෙ ඇගේ ඇඟිලි  එහෙ මෙහෙ යවලා, මගෙ තොල්වල තැවරිලා තිබුණු දියරය ඇගේ ඇඟිලි තුඩුවල තවරා ගත්තා. ඊට පස්සෙ ඒ ඇඟිලි නහයට ළං කරලා බැලුවා.


"ඒ අතරෙ ගැහැණුන් තුන් දෙනෙක් තවත් ගැහැණියක් අල්ලගෙන එතනට ආවා. ඒ අය 'ෆ්‍රේයියා' කියලා අර සැක්සන් තරුණියට කතා කරද්දි, මට ඇතිවුණු හැඟීම විස්තර කරන්න අමාරුයි. මට මතක් වුණේ..."


"වානහයිම් හි ප්‍රධාන දෙවඟන?" මිත්‍ර ඇසීය. 


https://cdnb.artstation.com/p/assets/images/images/007/883/193/large/francesca-resta-freyja-nijiart.jpg?1509124926


"හරියටම හරි..." ඇඩම් විමතියට පත් වූව ද, ක්ෂණිකව පිළිතුරු දුනි. 


"...ප්‍රේමය, ලිංගිකත්වය, සශ්‍රීකත්වය, සේ-ඩර්, යුද්ධය සහ මරණය ඇගේ පරාසය... " මිත්‍ර ඇඩම් දෙස එක එල්ලේ බලමින් කීය. "නමුත් මොකද්ද 'සේ-ඩර්' කියන්නෙ?"


"ඒක ස්කැන්ඩිනේවියානු මායා අභිචාරයක්..." ඇඩම් කීය. "...එයින් අනාගතය දැනගන්න වගේම අනාගතය වෙනස් කරවන්නත් පුළුවන් කියල විශ්වාස කරනවා... ඒත්, ඔබ කොහොමද ඔය තොරතුරු දන්නෙ? නෝර්ඩික් ඇදහිලි සම්පූර්ණයෙන්ම වගේ යටපත් වෙලා ගියා මීට අවුරුදු හාරසීයකට විතර ඉස්සර." 


"අපි හැම ආකාරයකම දැනුම රැස් කරනවා ඩ්‍රේක්..." මිත්‍ර පිළිතුරු දුන්නේ ය. "අපට තොරතුරු ලැබෙන මාර්ග බොහොමයක් තියෙනවා. සංචාරකයන් සහ වෙළෙන්දන් එයින් එක ප්‍රධාන කොටසක්..."


"හරි... ඉතින් ඒ ඇය ම ද?" සුමන නැවත ඔවුන්ගේ කතා බහ ඇඩම් ගේ කතාව වෙත යොමු කළේ ය.


"ඔව්. මට ඒ බව තහවුරු වුණා ඊට පස්සෙ සිද්ධ වුණු දේවලින්." ඇඩම් නැවත කතාව පටන් ගත්තේ ය. "මම මේ වෙනකොට සෑහෙන තරම් ඉක්මණකින් ප්‍රකෘතිමත් වෙමින් ඉන්න බව මගෙ ඇඟට දැනෙමින් තිබුණා. කලින් ඇස් අරින්නවත්, සෙලවෙන්නවත් බැරුව හිටියට, මේ වෙද්දි මට ඔලුව උස්සලා අවට හොඳින් දැක බලාගන්න පුළුවන් කම තිබුණා. ඒ වගේම ඇලපතේ තිබුණු වෙඩි වැදුණු සිදුර, අර බහිරවයා මගේ පපුවෙ ඇතිකරපු තුවාලය ට වුණා වගේම, මාංශ පටක වලින් පිරෙමින් තිබුණු බව පෙනුණා. ඒත් මට ඒ ගැන පුදුම වෙමින් ගත කරන්න කාලයක් තිබුණෙ නෑ, ඒ අවට සිදු වෙමින් තිබුණු දේවල් අනුව.


"මම හිටියෙ අඩ අඳුරින් පිරුණු මහා ශාලාවක මැද හරියට වෙන්න ඇඳක් වගේ දෙයක. පිදුරු වගේ ඇඟට දැණුනු  දෙයක් ඒක මත අතුරලා තිබුණා. මගේ ඇඳුම් මොනවත් ඇඟේ තිබුණේ නෑ. ඉණෙන් පහල සියුම් සුදු රෙද්දක් පොරවලා තිබුණා. මම වගේම තවත් සිය ගණනක් ඒ අවට වැතිරවලා තියෙන හැටි මම දැක්කා. ඒ ශාලාවට එළිය ලැබුණේ, ඉතාම උසින් තනා තිබුණු පියස්සේ, තැන තැන තිබුණු රවුම් කවුලු වලින්. ශාලාවෙ සම දුරින් සිටුවපු, දැවැන්ත උස් කණු සිය ගණනක් ඒ පියස්ස දරාගෙන තිබුණා.


"ෆ්‍රේයියා අර ගැහැණුන් දෙසට හැරුණා. එතන කාන්තාවන් තුන් දෙනෙක් තවත් ස්ත්‍රියක් අල්ලාගෙන හිටියා. ඒ ස්ත්‍රිය බිම බලාගෙන හිටියෙ වරදක් කළ තැනැත්තියක් විදිහට. 'ස්කාඩි, නුඹ මොනවද මේ මනුෂ්‍යයට පෙව්වෙ? කවුද නුඹට එහෙම කරන්න කිව්වෙ?' ෆ්‍රේයියා ඉතාම පැහැදිලිව සහ කෙටියෙන් ඇහුවා.


"ස්කාඩි හිස ඔසවන්නේ නැතුව උත්තර දුන්නා. 'ලෝකි මට දුන්නෙ, ඇම්බ්‍රෝෂා...' 


"ෆ්‍රේයියා ආයෙත් අර බෙහෙත දැවටුණු ඇඟිලි නහයට ළං කරලා බැලුවා. ඊටපස්සෙ ඇගිලිතුඩු දිවේ අග යන්තම් ගාවලා, ඉතාම ඉක්මණින් අහකට කෙළ ගැහුවා. 'මේ ඇම්බ්‍රෝෂා නෙවෙයි.' ඇය කිව්වෙ තරමක වේගයෙන්. 'ඇත්ත කියනු!' ඇය ස්කාඩි දිහාවට අත දික්කරලා නියෝග කළා. 


" 'ලෝකි මට කිව්වෙ එහෙමයි.' ස්කාඩි හීන් හඬකින් කිව්වා. 


" 'ලෝකි කිව්වෙ නැද්ද ඇයි මේවා මේ මනුෂ්‍යයට දෙන්නෙ කියලා?' 


" 'මට ඔහු කිව්වෙ මෙච්චරයි. 'අපේ පැවැත්ම සෑහෙන කාලයක ඉඳන් අභියෝගයට ලක් වෙලා තියෙන්නෙ. මනුෂ්‍යයන් ලවා ඊට පිළියමක් සොයාගන්න පුළුවන්. ඒ සඳහා මේ අමරණීය බෙහෙත, ෆ්‍රේයියා එකතු කරගත් මරණයට ඉතාම ආසන්න මිනිහෙකුට දෙන්න' 


"ෆ්‍රේයියා ට කේන්ති ගිය බව පෙනුණේ, ඇය එක වරම අඩිය පොළොවෙ ගැහුව විදිහෙන්. 'ඇයි නුඹ මට ඒක කලින් නොකිව්වෙ? මම යුධ පිටියෙන් එකතු කරගන්න මිනිස්සු ගැන ඕඩින්වත් ප්‍රශ්න කරන්නෙ නෑ. ලෝකිට ඕනෙ නම් කපටි උපක්‍රම යොදන්න, ඒක ඇස්ගාඩියානුවන් එක්ක කරගන්න තිබුණා. මෙහෙට ඇඟිලි ගහන්නැතුව...' ඇය කියාගෙන කියාගෙන ගියා. ඇගේ ඇස්වලින් රතු පාටැති දියරයක්... සිහින් ඉරි දෙකක් වගේ කම්මුල් දිගේ පහළට ගළාගෙන ඇවිත්, නිකටෙන් පහළට වැටුණා. ඇය අර ගැහැණුන් තිදෙනාට සංඥා කළා ස්කාඩි එතනින් ඉවත් කරගෙන යන්න...



https://www.youtube.com/watch?v=qnkuBUAwfe0&list=PL13535B9A1EBA7856


"ෆ්‍රේයියා ඇගේ වමතින්, දකුනු අතේ මැද ඇඟිල්ලෙ තිබුණු මුද්දේ තිබුණු ලොකු මැණික් ගල ස්පර්ෂ කළා. එතකොට, ඒ මැණික් ගලේ මතුපිට, හරියටම පියනක් වගේ ගැළවිලා, වම් අතේ දබරැඟිල්ලේ රැඳුනා. එතනට ආ ගැහැණියක් මොනවා හරි දියරයක් තිබුණු කුසලානයක් ගෙනාවා. ෆ්‍රේයියා ඇගේ මුද්දේ මැණික් ගල ඒ කුසලානයට හරවලා වමතින් හෙමින් තට්ටු කළා. ඊ්ට පස්සෙ ඈ කුසලානය අතට අරගෙන මා ළඟට නැඹුරු වුණා.


" 'දැන් ඔබට ගොඩක් සුවයි.' ඇය හෙමින් කියන විට මට මීට කලින් දැනුණු සැනසිලිදායක බව දැනුණා. 'මේ බෙහෙත බොන්න. ලෝකී ඔබට දුන්න දියරයේ අයහපත් බලපෑම් මෙයින් වළකිනවා.' ඈ අර කුසලානය මගෙ තොල් මතට පහත් කළා. ඒකෙ අඩියේ දියර ටිකක් තිබුණා. මම ඒ දියරය බිව්වා. ඒවා උගුරින් පහළට යනවත් එක්කම මට සෑහෙන සැහැල්ලුවක් සහ ප්‍රබෝධමත් ගතියක් දැනුණා. ඒත් එක්කම මම ආපහු නින්දට වැටුණා.


" 'මේ මනුෂ්‍යයාට දීලා තියෙන්නෙ මොනවද, ඒකෙන් ඇතිවන ප්‍රතිඵල මොනවද, කියලා දැනගන්න තුරු මොහු වෙන් කර තබමු.' මට නින්ද යන්න කලින් ඇහුණු අන්තිම වචන ටික ඒ..."


ඇඩම් නිමේෂයක් හෝ දෙකක් නිහඬ ව යමක් මතක් කළේ ය. 


"ෆ්‍රේයියා සටන් බිමේදී මියයන සෙබළුන් ඕඩින් සමඟ බෙදා ගන්නවා කියා අසා තිබුණා." මිත්‍ර තවමත් ඇඩම් ගේ වමත තම ඇඟිලි තුඩින් අල්ලාගත් වන ම... "නමුත් ඈ ඔවුන් සුවපත් කරන බව මම දැන හිටියෙ නෑ."


"එහෙම විශ්වාසයක්, දැනීමක් අපෙත් තිබුණේ නෑ." ඇඩම් එකඟ විය. "මට හිතෙන්නෙ මම වේගයෙන් සුවපත් වුණේ ලෝකී ගේ බෙහෙතින්... මට සෙලවෙන්න, ඇස් අරින්න එපා කියලා ෆ්‍රේයියා මා මැරෙන තුරු... ඇගේ කාර්යය අවසාන කරගන්න බලා සිටියා කියලා මට දැනුණෙ. මගෙ ඉරණම හැටියට මම මැරෙන්න තිබුණෙ එතනදි වෙන්න ඇති.


"මම ආයෙත් අවදි වෙනකොට හිටියෙ හාත්පසින්ම වෙනස් තැනක... ගල් ගුහාවක. මම කලින් හිටපු ශාලාවෙදි මඳ උණුසුමක් දැණුනත්, මෙතනදි මට දැනුණෙ ලේ පවා කැටි ගැහෙන සීතලක්. මම වැතිරිලා හිටියෙ මැරුණු හිම වළහෙකුගෙ හමක් මත. මම යුද බිමේදි ඇඳගෙන හිටපු ඇඳුම මට අන්දවලා තිබුණා. ඒකෙ තැවරිලා තිබුණු ලේ, මඩ, වෙඩි බෙහෙත්, දූවිල්ල වගේ දේවල් සෝදලා, ඇඳුම පිරිසිදුවට තිබුණා. මගෙ කිණිස්ස, කඩුව, පිස්තෝලය පවා මා ළඟිින්ම බිම තියලා තිබුණා.


"මං පොඩ්ඩක් ඔලුව උස්සලා වට පිට බැලුවා. ලා රතු පාට හිරු රැස් ගල් ගුහාවෙ දොරකඩ ඉඳන් ඇතුළට ගළාගෙන එමින් තිබුණා. මට කිසිම කායික අපහසු ගතියක් දැනුණෙ නෑ. ඉතින් මං නැගිට්ටා.


"එතකොටම මට ඉතාම උස් ගැහැණු කටහඬකින් ගායනා කෙරුණු ක්‍යූනිං ගායනයක් ඇහෙන්න පටන් ගත්තා. ඒක මම එතෙක් අහල තිබුණු කිසිම ක්‍යුනිං එකකට වඩා සුන්දරයි. පොඩ්ඩක් හිතාගන්න..." ඇඩම් තෙත්ව දිළිසෙන දෑස්වලින් සුමන සහ මිත්‍ර ගේ දෑස් දෙස බැලීය. "...උදෙන්ම අවදි වුණු කුරුල්ලන්ගෙ නාදය... මඳ සුළඟට උස තණගස් සෙලවෙන හඬ... ඈත තැනිතලාවක් දිගේ ගස් අතරින් හමන සීතල සුළඟෙ නාදය... ඒ ශබ්ද එක්ක ලස්සනට මුසු වුණු තරුණියකගෙ තොල්වලින් පිට කෙරෙන, වචන නැති, විවිධ ලතාවන්ට හැරෙමින් නැගෙන හඬ...


"මම ඇස් පියාගෙන අහගෙන හිටියා. එක මොහ‌ොතකට මම පොඩි දරුවෙක් වෙලා උන්න අතීතයට ගියා. අපේ අම්මා, හරකුන් පාලනය කරන්න ඔය ක්‍යුනිං ගායනා කරන්න පුරුදු වෙලා හිටියා. මම අවදි වෙන්නෙ ඒ හඬට... හවස ගොවිපොලේ ඉඳලා තාත්තත්, සහෝදරයොත් එක්ක ගෙදර එන්න පිටත් වෙන්නෙත් අම්මා හවස ගායනා කරන ක්‍යුනිංවල හඬට...


"මම ගල් ගුහාවෙන් එළියට ආවා. මට තද ආසාවක් තිබුණා මේ ගායනය කරන කාන්තාව දැකගන්න. කටහඬේ හැටියටනම් ඇයට වයස අවුරුදු විස්සක්වත් නැති බව මට හිතුණා. 


"මම ගුහා දොරෙන් එළියට එනවත් එක්කම සෑහෙන ඉහලින් තටු ගහන ශබ්දයක් ඇහුණා. මම ඔලුව උස්සලා බලනකොට... ගල් ගුහාව තිබුණෙ කඳුයායක කොටසක් වුණු, ලොකු කන්දක් පාමුළ. ඒ කන්ද මුදුනේ ඉඳන් දැවැන්ත ෆැල්කන් කුරුල්ලෙක් ඈතට පියාඹා යනවා මම දැක්කා. ඒත් එක්කම මම දැක්කා, ඒ දිහාවටම... කන්දෙ ගස් අතරින් කළු දිවියන් දෙන්නෙකුත් දුවමින් හිටියා... ගොඩක් ඈත.


"ෆ්‍රේයියා ඔබ ගැන විමසිල්ලෙන් ඉඳලා...?" සුමන ඇසීය. "එයාගෙ ෆැල්කන් පිහාටුවලින් හැදුණු ලෝගුව යි, ඇගේ රථය අදින්න යෙදාගන්න දිවියන් දෙන්නයි වෙන්න ඇති ඒ දැක්කෙ?" 


"...ඔව් මටත් හිතෙනවා එහෙම." ඇඩම් එකඟ විය. "ඊට පස්සෙ සෑහෙන කාලයක් යනතුරුත්... ඈ මා ගැන විමසිල්ලෙන් හිටපු බවට ලකුණු තිබුණා


"මම අර ක්‍යුනිං ගායනා කරපු තරුණිය ගෙ හඬ ඇහුණු දිහාවට යන්න පටන් ගත්තා. ගල් ගුහාව ඉදිරිපිට ලොකු තණ බිමක් තිබුණෙ. වටේටම කඳු වැටියකින් වට වෙලා. මම තව තවත් ඉදිරියට යනකොට, ඈත... සෑහෙන්න ඈත... දැවැන්ත විලක් තිබුණා. ඒ විල අයිනේ ගැමියන්ගෙ පැල්පත් ටිකකුත්, ගොවිපොලවලුුුුත්, දකින්න ලැබුණා. ඒ හැම දේකටම කලින් මම දැක්කෙ, මිටියාවතේ මැද්ද හරියෙ ගොඩැල්ලකට නැගගෙන ක්‍යුනිං ගායනා කරමින් හිටපු කෙට්ටු තරුණියක්..."


උපුටා ගැනීම යොන්නා යින්ටොන් වෙතින්


දහ තුන් වන කොටස...

Monday, August 10, 2020

අවසානයක් නොවේ - එකොළොස් වන කොටස


"හොඳයි" ගලගොඩ නිළමේ ඔහු ගේ දෑස් දෙස බැලුවේ ය. "පටන් ගැන්ම වශයෙන් අපට කියන්න... මිත්‍ර මුලින් ම අහන්න ගිය කාරණාව. ඔබ එදා බහිරවයාගේ කඩු පහරින් මාරාන්තික තුවාලයක් ලැබුවා. ඒ කඩු පහර ඔබගෙ හදවත ට ලොකු හාණියක් කළා. ඒත් ඔබ මිය ගියේ නෑ. ඒ වගේම ඉතාම කෙටි කාලයකින් ඒ තුවාලය සුව වුණා.

"කොහොමද එහෙම වුණේ?"

ඇඩම් ගලගොඩ නිළමේ හෙවත් සුමන ගේ දෑස් දෙස කෙළින් බැලුවේ ය.

"ඔබ දුටු අවස්ථාවේ පටන් ඔය ප්‍රශ්නය මම බලාපොරොත්තු වුණා. ඔය ගැන මට දෙන්න තියෙන ඇත්තම උත්තරය... විය හැකි දෙයක් හැටියට ඔබ බාර ගනියිද කියන ගැටළුව මට තියෙනවා... "

"බහිරවයෙකු සමඟ සටන් කළ ඔබට... වැටහෙන්න ඕනෙ, අපට ඕනෑම විදිහක කතාවක් භාරගන්න පුළුවන් බව..." මිත්‍ර අද්මිරාල් ගේ වමත මැණික්කටුව ළඟින් අල්ලාගනිමින්, සිනාමුසු ව කීවේය. 

සුමන අද්මිරාල් දෙස බලා, හිස සැළීය. "ඔව්. ඒ ගැන සැකයක් තියාගන්න එපා. අපි මේ මිහිපිට ගොඩක් අසාමාන්‍ය දේ දැක තියෙනවා."

"දැනට අවුරුදු හතළිහකට විතර කලින්..." ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන් කතාව ආරම්භ කළේ ය. "...ඒ වෙනකොට මම අවුරුදු විස්සක තරුණයෙක්. ඒ වෙනකොටත් අවුරුදු දහ තුනක් තිස්සෙ ඇවිලුනු මහා යුද්ධයක් යුරෝපය පුරා පැතිරිලා තිබුණා. ඒක පටන් ගත්තෙ එකම ආගමේ... ඔබ දන්නව කතෝලික සහ රෙපරමාදු ආගම්වල වෙනස... අන්න ඒ ආගම් නැත්නම් නිකායන් දෙක මුල්කරගෙන. නමුත් යටින් පැවතුනේ, රෝම අධිරාජ්‍යය පිටුදකින්න ස්කැන්ඩිනේවියානු සහ යුරෝපීය රාජධානි තුළ තිබුණු ආසාව."

තමන් කියන දේ මිත්‍ර සහ සුමන කිසිදු අමුත්තක් නොදක්වා අසා සිටින බව ඇඩම් දුටුවේ ය. එයින් හැඟුනේ, සමකාලීන යුරෝපා දේශපාලනය ඔවුනට අමුත්තක් නොවූ බව ය.

"ඔය කියන යුද්ධය අවුරුදු තිහක් පුරා පැවතුණා. ඒ වගේම එයින් මියගිය අති විශාල ජීවිත ගණන... දේපළ හාණිය ගැන නොහිතා, ජීවිත හාණිය ගැන විතරක් හිතුවත් මම අහල තියෙන ඉතාම විනාශකාරී යුද්ධය තමයි ඒ.

"ඒ මහා යුද්ධය අතරෙ මගෙ මවු රට වුණු ස්වීඩනය ලබපු එක ජයග්‍රහණයක් වෙනුවෙන් මටත් හවුල් වෙන්න ලැබුණා. ප්‍රංශ රාජධානියෙ මුදල් ආධාර සමග අපේ රජතුමා වුණු ගුස්ටාවුස් අඩොල්ෆස් ගේ මෙහෙයවීම යටතේ බ්‍රයිටන්ෆෙල්ඩ් සටනට මම අශ්වාරෝහක සෙබළෙක් හැටියට සටන් කළා.

"අපි දහ තුන් දාහක හමුදාවක් පීනමුුන්ඩ වෙරළට ගොඩ බැස්සා. ඒ වෙද්දි රෝම හමුදාව අපව ඒ තරම් අවදානමක් හැටියට ගණන් ගත්තෙ නෑ. ගණන් ගත්තත්, උතුරු ඉතාලියෙ මැන්ටුවා සටනට ඔවුන් හිර වෙලා හිටියා. අපි සතුරන්ගේ පොඩි පොඩි හමුදාවන් පරාජය කරමින් දකුණට එද්දී, අතර මඟින් බඳවාගත්ත කුළී සෙබළුන් එක්ක අන්තිමේදි සැක්සනියෙ සීමාවෙදි, අපේ හමුදාව විසි තුන්දාහක් වෙලා තිබුණා. 

"‌ජොහාන් ට්සර්ක්ලෙයස් හෙවත් ටිලී හි කවුන්ට්වරයා තිස් පන්දාහක රෝමක හමුදාවක් අරගෙන අපට මුහුණ දෙන්න සැක්සනිය දක්වා ආවා, ඒ වෙනකොට අපේ පැත්තට මිත්‍ර හමුදාවනුත් එක්ක සම්පූර්ණයෙන් හතලිස් දෙදාහක හමුදාවක්, දහ තුන්දාහක විතර අශ්වාරෝහක කණ්ඩායමකුත් වඩා සැහැල්ලු කාලතුවක්කු, මස්කිට් වගේ ගිණි අවිත් අතින් අපි සන්නද්ධව හිටියා.

"එදා දවස හරිම අඳුරුයි. මීදුම යන්තම්  හරි තුනී වුණේ සෑහෙන තරම දවල් වුණාට පස්සෙ. අපේ ස්වීඩන් අශ්වාරෝහක හමුදාව බැනර් සෙනෙවියා යටතේ දකුණු පැත්තටත්, සැක්සනියෙ පාලකයා වුණු ජොහාන් ජෝජ්ගේ හමුදාව සහ කාලතුවක්කු වම් පැත්තටත් අපේ පාර්ශ්වයෙන් යොදවලා තිබුණා. මැද හරියට වෙන්න අ‌පේ කාලතුවක්කු සහ පාබල හමුදාව තිබුණා, ඉදිරියෙන් හිටපු පාබල හමුදාවට පිටුපසින් ගුස්ටාවුස් රජතුමා සීරුවෙන් හිටියා."

ඇඩම් කෝටු කැබැල්ලකින් බිම වැලි පොළොවේ සටහන් කරමින් හමුදාවන් ස්ථානගතවී සිටි ආකාරය දැක්වී ය.

"ටිලී ගෙ අශ්වාරෝහක හමුදාව අපේ දකුණු පැත්තෙන් පැපන්හයිම් සෙනෙවියා යටතේත්, ෆර්ස්ටන්බර්ග් සෙනෙවියා යටතේ වම් පැත්තේත් යෙදවුණා. ඔවුන් හමුදාව සකසා තිබුණේ තර්සියෝ ව්‍යුහයට යි. ඒ ක්‍රමයට, තනි රේඛාවක් විදිහට සිටි පාබල හමුදාවේ පිටත දාරය, හෙලි කාරයන් සහ මස්කිට් දරන්නන් ගෙන් සමන්විතයි. ඔවුන්ට ඉදිරියට එන්න පුළුවන් වුණේ හෙමින් වුණත්, අශ්වාරෝහකයන්ගේ ආක්‍රමණයට ඔරොත්තු දෙන්න විශාල හැකියාවක් ඒ ක්‍රමයෙන් ලැබුණා.

https://alchetron.com/cdn/battle-of-rocroi-7ec7e2aa-eea6-4a0d-a32b-4c0d3a2695c-resize-750.jpeg


"එයට විරුද්ධව අපි යොදවා තිබුණේ මැද පාබල හමුදාවේ තීරු දෙකක් සමඟින්, වම් සහ දකුණු පැතිවල අශ්වාරෝහකයින් සහ මස්කිට් කරුවන්. අපි ඔවුන්ට වඩා වැඩියෙන් ගිණි අවි යොදාගත්තා. 

"සටන පටන් ගත්තේ මීදුම තුනී වෙනවත් එක්කම. මුල් හෝරා දෙකේ තරම තිබුණේ ම කාල තුවක්කු ප්‍රහාර විතරයි. අපේ සම් බැම්මෙන් එතූ කාලතුවක්කු ඔවුන්ගේ ඒවාට වඩා සැහැල්ලු වීම අපට වාසියක් වුණා. කාලතුවක්කු ප්‍රහාරවලිින් නැඟුනු දුම සහ දූවිල්ල තුනී වෙනවාත් එක්කම ෆර්ස්ටන්බර්ග් ගේ හමුදාව සැක්සන්වරු වෙත කඩා පැන්නා. ඒ එක්කම අනික් පැත්තෙන් පැපන්හයිම් ගේ හමුදාව අපේ දකුණට පහර දෙන්න ආවත්, අපට ඔවුන් වළක්වාගන්න පුළුවන් වුණා. මස්කිට් තුවක්කු කරුවන් වගේම අශ්වාරෝහක අපිත් ඒකෙදි ලොකු දායකත්වයක් දුන්නා. ෆර්ස්ටන්බර්ග් ගේ ප්‍රහාරයට මුහුණ දෙන්න බැරුව සැක්සන් හමුදාව සීසීකඩ යන්න ගනිද්දී, සියලු ශබ්ද යටපත් කරගනිමින් සැක්සන් ගීතිකා ගායනා කරන පූජකයෙකුගේ කටහඬ යුද පිටිය පුරා රැව් දුන්නා. ඒ පූජකවරයා ට පුළුවන් වුණා, කැඩුණු බිඳුනු සැක්සන් හමුදාව ආපහු එකමුතු කරගෙන ඉදිරියට අරගන්න. 

"ඒ අතරෙ අපේ රජතුමා ම නායකත්වය දෙමින් අපි දකුණු පැත්තෙන් ඉදිරියට ඇවිත් ටිලී ගෙ හමුදාව වට කළා. අපට ලැබුණු ඉහළම ජය තමයි... තවත් හෝරා හතරක් තරම යද්දි අපට පුළුවන් වුණා රෝම කාලතුවක්කු අල්ලගන්න. එතන ඉඳන් අපි රෝම අධිරාජ්‍ය හමුදාවට දුවන්න ගැහුවා.

ගුස්ටාවුස් අඩොල්ෆස් රජු - බ්‍රයිටන්ෆෙල්ඩ් සටනේදී - ජොහාන් වෝල්ටර් ගේ සිතුවමකි
https://en.wikipedia.org/wiki/Battle_of_Breitenfeld_(1631)#/media/File:Gustave_Adolphe_at_Breitenfeld-Johann_Walter-f3706497.jpg


"ඔය අතරෙදි මා ළඟින්ම හිටපු අපේ රජතුමා ට වෙඩි වැදුණා. අපි ඒ වෙනකොටත් කාලතුවක්කුවලිිිින් ඇවිස්සුණු දුමෙන් සහ දූවිල්ලෙන් සෑහෙන්න වට වෙලා හිටියෙ. වෙඩි කීපයක් රජතුමාට වැදුණා, අශ්වයගෙ පිටෙන් වැටෙන්න කලින්. එතුමා ගෙ ස්ට්‍රීෆ් නම් සුප්‍රසිද්ධ අශ්වයාටත් ඒ එක්කම වෙඩි වැදුණා. ඒක දැකපු ගමන, එතෙක් මම පවත්වාගත්ත සමබරතාවය සහ පරීක්ෂාකාරී බව මගෙ හිතෙන් අයින් වුණා. මම රජතුමා වැටුණු තැනට යන්න අශ්වයා හරවාගනිද්දිම තමයි, මගෙ ඇළපත හිල්කරගෙන... පුච්චගෙන ඇතුල් වුණු මූණිස්සම් පොකුරක් පිටෙන් පදාසයක් කඩාගෙන එළියට ගියෙ. කාලතුවක්කු හඬ අපැහැදිලි වේගෙන එද්දි, මගේ කන් අගුල් වැටුණා. සුදු මැළි අතකින් මගෙ අත අල්ලගන්නවා යාන්තමින් මම දැක්කා. මම ඔලුව උස්සලා ඒ කවුද කියලා බලන්න හැදුවත් ඒක හරිගියෙ නෑ. මට දැකගන්න පුළුවන් වුණේ සුදු දිග කෙස් තියෙන, සුදුමැළි කෙට්ටු ගැහැණු මුහුණක් විතරයි. ඒ එක්කම මගෙ ඇස් අඳුරු වෙලා ගියා. මම හිතන්නෙ ඒ වෙලාවෙ මම මැරුණා කියල...

"මම පාවෙලා වගේ ඇදිලා යන බව මට තේරුණා... ටික වෙලාවක් ඒ හැඟීම මට තිබුණා. අන්තිමේ කිසිම දෙයක් දැනෙන් නැති ශාන්ත නිසසල බවකට මාව පත් වුණා. 

"ආපහු මට මගෙ ශරීරයෙ බර සහ වේදනාවන් ටිකෙන් ටික දැනෙන්න ගනිද්දි, පිදුරුවල සියුම් බූව මගෙ පිටට දැනුණා. මම ඇස් අරින්න හැදුවත්, දීප්තිමත් සුදු එළියකින් මාව අන්ධ කරනවා වගේ දැණුනා. ඇස් ආවරණය කරගන්න මම වම් අත උස්සන්න හැදුවා. ඒත් ඒ ගැන හිතුවට, මගෙ අත පය ක්‍රියාකළේ නෑ. ඒ එක්කම ඉතාම සියුම් ගැහැණු හඬක් මගෙ කණ ගාව කොඳුරනවා මට දැණුනා. 

"...'හෙලවෙන්න, ඇස් අරින්න එපා දැන්ම...' ඒ වචන තමයි මම සෑහෙන කාලයකින් අහපු මිහිරිම ශබ්දය විදිහට මට මතක තියෙන්නෙ. ඒ වචන කිව්වෙ සැක්සන් තරුණියක් බව මට ඒ කටහඬේ උච්ඡාරණ විලාසයෙන් තේරුණා. එහෙම කියද්දි එයාගෙ හුස්ම මගෙ කන් පෙත්තට දැණුනා. ඒ එක්කම සියුමැළි අතකින් දිග කෙට්ටු ඇඟිලිවලින් මගෙ දකුණු අතේ ඇඟිලි අල්ලගන්නවා මට දැණුනා. ඒ අතේ මෘදු බවත්, උණුසුම් බවත් එක්ක මට පුදුමාකාර සැනසිලිමත් බවක් දැණුනා. ඒ එක්කම මට නින්ද ගියා.

Monday, July 13, 2020

අවසානයක් නොවේ - දහ වන කොටස

සංලක්ෂය - 
කතාවේ ශෛලියට, කාලයට සහ යතාර්ථයට ගැළපෙන පරිදි ස්කැන්ඩිනේවියානු අද්මිරාල් ගේ නම ඇඩම් - ඩ්‍රේක් ඇන්ඩර්සන් ලෙස වෙනස් කරන ලදි.

මේ පිළිබඳව ඉතා උනන්දුවෙන් සිය අගනා කාලය මා හා ගත කරමින් ලබා දුන් පෝෂණය සම්බන්ධයෙන් හිතවත් Pra Jay මහතාට කෘතඥවෙමි.

පළවෙනි කොටස

තුන් වෙනි කොටස


විමසිලිමත් වූ යුරෝපීයයාගේ දෑසට, ඉදිරියෙන් ම වාගේ ඈතින් දළදා මැදුරේ වළාකුළු බැම්ම හඳුනා ගත හැකි විය. මීට පෙර ඔහු මෙම ඉසව්වට පැමිණියේ වෙනත් මාවතකිනි. සිතෙහි වූ මතකයන් සමඟ වටාපිටාව සසඳමින් බලද්දී ඊසාන දෙසින් වැවුණු දැවැන්ත ගස් අතරින් තමන් පසුගිය සති දෙකකට පමණ පෙර ටිකිරි බණ්ඩාර සමඟ දිවාකාලය ගත කළ නාථ දේවාලය සහ ඊට මෙපිටින් වූ පත්තිනි දේවාලය දැක ගත හැකි විය. 

මුරකාවල පසුකර අඩි දහයක් යන්නට ලැබුණේ නැත. කලින් ගත කළ නාවුක ජිවිතයේ දී ලබා තිබූ පළපුරුද්ද විසින්, යම් කිසිවක් වරදින්නට යන බව හෝ, සිදුවීම්වල යම් කෘත්‍රිම බවක සේයාවක් අද්මිරාල්හට දැනෙමින් පැවතිණ. දෙවියන් විසින් යක්ෂයාගෙන් සොරකම් කරන ලද මරණය පිළිබඳ ඉව ඇන්ඩර්සන් තුළ ද ක්‍රියාත්මක වෙමින්... 

"විදුව!" 

කෙටි නියමය අනුව හතර වටින් ම ගුවනට මුදාහැරුණු ඊතල සිය ගණනක් සිහින් සිවුරුහඬ නඟමින් තමන් දෙසට ඇදී එනු අසරුවන් ති දෙනාට ඇසුණි... පෙනුණි.


https://encrypted-tbn0.gstatic.com/images?q=tbn%3AANd9GcQzHdV
Kq0zyCA18mrudlLgKA-VTHbYqipSVlA&usqp=CAU

ඊතල මුදාහැරෙණ සියුම් ශබ්දයත් සමඟ ම, ඇඩම් ගේ ස්නායු සහ මොළය ක්ෂණිකව ක්‍රියාත්මක විය. අසුගේ දෑළ ට විළුඹින් ඇන, අසු වේගයෙන් පන්නවමින්, සිය උඩුකය ආපිට කරකවා, දකුණු උරහිසට උඩින් පිටුපස බැලූ ඔහු, නැවත අනෙක් පසට හැරෙමින් සිය වටපිටාව එක් බැල්මකින් පරීක්ෂා කළේ ය. ඔහුට අඩි කිහිපයක් ඉදිරියෙන් වූ  ස්වදේශික දූතයෝ දෙදෙනා ඒ වන විටත් අශ්වයන්ගේ වේගය වැඩි කරගෙන සිටිබව පෙනුණි. එසැණින් "වහං වෙමූ!" යි කෑගසමින්, ඔහු දකුණු පසට නැවී, දකුණතින් අසුගේ ගෙළෙහි ලෝම කැටියක් අල්ලාගෙන, වම් කකුල ඔසවා අසුගේ සිරුරෙහි දකුණු පැත්තට ගත්තේ ය. මේ සියල්ලට ගත වූයේ එක් නිමේෂයකි. ඊතල වර්ෂාව අසරුවන්ගේ වම්පසින් පතිත වෙද්දී, අද්මිරාල් සිටියේ, සිය සිරුර මුළුමණින්ම අශ්වයාගේ දකුණු ඇළයෙහි රඳවා එල්ලීගත් වනම, ඉතා වේගයෙන් අසු පන්නවමිනි. 

සිග්... සිග්... සිග්... වැනි හඬක් නඟමින් ඊතල වදින හඬ ද, අශ්ව ලාඩම් තණ පත් විනිවිද බොරළු පොළොව මත වේගයෙන් වදින හඬ ද, තත්පර කිහිපයක් පුරා ඇසුණේ ය. දුනුවායන්හට තවත් වටයකට ඉඩ නොතබා, අසරුවන් තිදෙනා හට රජ මැදුරේ ඇතුල් දිය අගළට ළඟාවීමට හැකි විය. 

දිය අගළ අසලින් නැවත වම්පසට හැරුණු අසරුවෝ අඩි කිහිපයක් දුරට වේගය අඩු කරගනිමින් ගොස්, දළදා මාළිගාවේ දොරකඩ අසල නැවතුණ හ. ඒ වනවිටත් ඇඩම් සිටියේ අසුගේ දකුණු ඇළයේ එල්ලීගත්වනම ය. ස්වදේශික අසරුවෝ නතර වනවාත් සමඟම යුරෝපීයයා ද, බුහුටිලෙස අසු නතරකොටගෙන බිමට පැන්නේ ය. ඔහු මුලින්ම පිරික්සුවේ තමා මෙතෙක් දුර ගෙන ආ අශ්වයා ට වී ඇති හාණියෙහි තරම ය. 

ඇඩම් අසුගේ වම්පසට යත්ම, ඊතළ විස්සක් තරම උගේ බඳ පුරා ඇළී තිබෙනු දුටුවේ ය. ඒ ඊතළ වැදුණු තැන වටා සම රතු වෙමින් පැවති නමුත් එක් ඊතලයක්වත් සම විනිවිද ගොස් නැති බව දුටු ඔහු විමතියට පත් විය. ඔහු එක් ඊගසක් ඇද, ගළවා ගත්තේ ය. එහි ලෝහමය තුඩක් නොවී ය. අගිස්ස අර්ධ ගෝලාකාර වන සේ සකස් කර ඝනකම් ලාටු විශේෂයක් ගල්වා ඒ ඊතලය සකස් කර තිබුණි.

විස්මය දනවන මුහුණින් යුක්තව ඔහු මිත්‍ර දෙසට හැරුණි. කිසිත් විමසීමට පෙර මිත්‍ර අත ඉහළට දිගුකර දළදා මැදුරට උතුරු දිගින් පිහිටි, රජ මැදුරේ සීමැදුරු කවුළුව වෙත ඇඩම් ගේ අවධානය යොමු කළේ ය. එහි සිට තමන් දෙස පරීක්ෂාවෙන් බලා සිටි පුරුෂයන් දෙ ‌දෙනෙකු අද්මිරාල් ගේ දෑසට ලක් විය. 

ඇඩම් සහ මිත්‍ර රජ මැදුර දෙසට පා ගමනින් යද්දී, අනෙක් ස්වදේශික දූතයා ඔවුන්ගේ අශ්වයන් තිදෙනා වෙනත් පැත්තකට රැගෙන ගියේ ය. රජ මැදුරේ අංගනය වෙත ඔවුන් සේන්දු වෙත්ම, සීමැදුරු කවුළුවෙහි සිටි පුරුෂයින් දෙ දෙනා ද එහි ආවෝ ය. විචිත්‍ර ආභරණයෙන් හා ඇඳුමින් සැරසී නොසිටිය ද, ඒ දෙ දෙනා ගෙන් එක් අයෙකු රාජසිංහ රජතුමා බව ස්කැන්ඩිනේවියානුවා ට හඳුනාගත හැකි විය. අනෙක් තැනැත්තා කලු රතුවන් මුල් ඇඳුම ඇඳ සිටි අතර, එහි හිස්වැස්ම ඔහුගේ වමතෙහි විය. ඇඩම් අඩ දණින් වැටී හිස නවා රජතුමා හට ආචාර කළේ ය.

රජු අද්මිරාල්ට නැඟී සිටින ලෙස අතින් සංඥා කළේ ය.

"නුඹේ පරීක්ෂණය සාර්ථකයි කියා හිතනවද ගලගොඩ?" රජතුමා සිය දකුණත් පසින් සිටි නිළමක්කාරයා ඇමතුවේ, ඇඩම් ගේ දෑස් දෙස එක එල්ලේ බලමිනි. තරුණයෙකු වූ ගලගොඩ නිළමේ එතෙක් බිමට නැඹුරු කරගෙන සිටි හිස ඔසවද්දී, ඔහුගේ මුහුණ දුටු අද්මිරාල් විස්මයට පත් විය. ඇත්දළ පැහැයෙන් යුතු වූ දිගටි රූමත් මුහුණ, සුඛනම්‍ය බව පෑ අඟ පසඟ, කළු පැහැ ඇස්, තද කළුවන් කෙස්වැටිය සහ හිස්වැස්මේ ඉදිරිපස රැඳවුණු කුඩා ධ්‍යානී බුදු රුව ඔහුට සිහිපත් කළේ, සතියකට පමණ පෙර තමාගේත්, ධනසේකර කුමාරිහාමිගේත් දිවි ගැළවූ තරුණයා ය.

"අවසරයි දේවයන් වහන්ස..." ගලගොඩ නිළමේ හඬ අවදි කළේ ය. "අප මෙතනදී දුටුවා, හදිසි අවස්ථාවක ක්ෂණිකව ක්‍රියාකිරීම, කණ්ඩාමක සාමාජිකයෙකු වශයෙන් මෙන්ම, තනිවම දිවි ගළවාගැනීම සහ ඉතා ඉක්මණ් හා ඵලදායී තීරණ ගැනීමේ හැකියාව... ඒ ගැන අප සෑහීමකට පත් වෙනවා. ඉතිරි හරිය උඩුමුල්ලේ ගෙන් අසා දැනගමු කියා හිතනවා." ඔහු රජතුමා වෙත හැරී හිස නැමී ය.

රාජසිංහ රජු මිත්‍ර දෙස සිය විමර්ශනාක්ෂිය යොමු කළේ ය. 

"අවසරයි දේවයන් වහන්ස." මිත්‍ර හෙවත් උඩුමුල්ලේ නිළමේ රජු ඇමතීය. "පරිසරයටත්, භූමියේ වෙනස්කම්වලටත් හුරුව කටයුතු කිරීම සහ අසුන් පැන්නවීම අතින් අද්මිරාල් අන්දිරිසන් ඉතාම ඉහළ මට්ටමක සිටිනවා. ඔහු හදිසි ආපදාවකදී කණ්ඩායමේ සාමාජිකයන් ගැන අවධානයෙන් සිට, සිය ජීවිතය පවා අවදානමක හෙලා වුණත් අනෙකා රැක ගැනීමට වෙහෙසෙන ඒ වගේම නිර්භීත තැනැත්තෙක් බව අප දුටුවා."

"ඊළඟ පියවර?"

"ඔබ වහන්සේ ගේ අවසරය ඇතුව, මේ රැඳවියාගේ සේවය අපගේ රහස් දූරයේ කටයතුවලට යොදා ගැනීමට අපේක්ෂා කරනවා..."යි ගලගොඩ නිළමේ කීවේ ය.

"අවසර දෙනවා." රජතුමා ගලගොඩ සහ උඩුමුල්ලේ ගේ දෑස් දෙස මාරුවෙන් මාරුවට බලමින් කතා කළේ ය. "මේතාක් කාලයකට ඔබගේ දූරය අප හෝ අපගේ රාජධානිය අනතුරේ හෙළා නෑ. ඒ වෙනුවට ඉතාම සාර්ථක ලෙස අප රාජධානිය අනතුරින් බේරාගැනීමට සියලුම අවස්ථාවල සමත් වී තිබෙණවා. ඒ වගේම කිසිවිටකත් ඔබ පැවරුණු හෝ පවරාගත් කිසිවක් ඉටු කරන්න අසමත් වෙලා ද නෑ. ඒ කීර්තිය, මේ කරුණ සම්බන්ධයෙනුත් පවත්වාගැනීම අප ද අපේක්ෂා කරනවා."

රාසිං දෙවියෝ ආපසු මැදුරට යාමට හැරුණා හ. එතුමාට හිස නවා ආචාර කළ ගලගොඩ සහ උඩුමුල්ලේ නිළමේවරු, තමන් පසුපස එන ලෙස ඇඩම් හට සංඥා කරමින්, රජ මැදුර ඉදිරිපිට අංගනයේ තනා තිබූ කණු හතරකින් යුත් විවෘත මඩුවක් කරා ගියහ. එහි වාඩි විම සඳහා ගල් පුවරු යොදා ආසන සකස් කර තිබුණි. අද්මිරාල් ඇන්ඩර්සන් හට අසුන් ගන්නා ලෙස දැන්වූ නිළමෙවරු ඔහු අසලින්ම දෙපසින් වාඩි වූ හ. 

අහන්නට හා පැහැදිලි කරවා ගන්නට කරුණු කොතෙක් තිබුණ ද, අද්මිරාල් ඒ කිසිවක් ගැන සංඥාවක් හෝ මුහුණින් නොපෙන්වා, නිළමෙවරුන් හට අවස්ථාව දී නිහඬව සිටියේ ය. "ඔබට මා මතකයි නේද?" ගලගොඩ නිළමේ කතාව පටන් ගත්තේ ය. 

"ඔව්. මම හිතා උන්නෙ, මාත් ධනසේකර කුමාරිහාමිත් එදා බහිරවයාගෙන් බේරා ගත්තේ, ඒ වගේම අපට ප්‍රතිකාර කළේ දෙවියෙක් හෝ එවැනි බලවේගයක් කියලා..."

ගලගොඩ මඳ සිනාවක් පාමින් හිස සිරස් අතට සෙලවී ය.

"ඔබ දන්නවාද කීමක් තියෙනවා, සත්‍යය මනඃකල්පිතයට වඩා විස්මය ජනකයි කියා? මම ගලගොඩ නිළමෙ. මුල් කාලයේ පටන්, අඳුනන අය මට කතා කරන්නෙ සුමන කියලා."

ඇඩම් සිය වමත නළලට කිට්ටු කර ආචාර කළේ ය. "මම ඇඩම්..."

"අපි දන්නවා ඇඩම්." සුමන ඔහුගේ කතාවට බාධා කළේ ය. "අප ඔබ දෙස බලාගෙන හිටියා, ඔබ අපගේ රටට පැමිණි දා පටන්... එදා ඔබ ධනසේකර කුමාරිහාමි බේරාගන්න ඉදිරිපත් වුණා. මට හොඳටම විශ්වාසයි ඔබ ඒ වෙලාවේ බහිරවයෙකු ගැන විශ්වාස නොකළ බව. ඒත් ඒ බහිරවයා දුටු වෙලාවේ, පසුබහිනවා වෙනුවට ඔබ ඉදිරියට ආවා. ඉතාම විශිෂ්ඨ අන්දමේ සටනක් දුන්නා. අවසානයේ මිය යන්න උනත් සූදානම් වුණා..."

"ඒ වෙලාවේ මට වෙන දෙයක් කරන්න ඉතිරි වෙලා තිබුණේ නෑ."

"ඇත්තටම වෙන දෙයක් ඉතිරි වෙලා තිබුණේ නැති එක ද ඩ්‍රේක්?" මිත්‍ර ඇසීය. "නැත්නම්..."

සුමන ඔහුගේ කතාවට බාධා කරමින් මිත්‍ර ගේ අත අල්ලා ගත්තේ ය. 

"එතනදී අප ඔබ ගැන තක්සේරුවකට ආවා. ඔබ රණ ශූරයෙක් තරමට දක්ෂයෙක්. ඒ වගේම තමන්ට ළෙංගතු උදවිය වෙනුවෙන් කැප වන්නෙක්. ඉතින් අපි තීරණය කළා, ඔබ අපගේ රහස් දූරයට එකතු කරගන්නට."

"රහස් දූරය... මේක ඇත්තටම ආරම්භ වුණේ මීට අවුරුදු දෙදාහකට උඩදි. මේ ලංකා ද්වීපයේ ඒ වනවිටත් තිබුණේ කුඩා කුඩා රාජ්‍ය කීපයක්. එහෙත් තිස්ස නම් රාජකීය ලේ ඇති පියෙකුට සහ ගාමිණි අභය නම් වුණු පුතෙකුට අදහසක් තිබුණා ඒ සියලු රාජ්‍ය එකතු කරලා තනි රාජධානියක් හැටියට, එක ක්‍රමයක් යටතේ රට පාලනය කරන්න. ඒ සඳහා උපකාරී වුණුු එක ඒකකයක් හැටියට සෙබළුන් දහ දෙනෙකුගෙන් තමයි මේ දූරය මුලින් ම හැදුණේ.

"කල් යාමේ දී මේ දූපතේ විවිධ රාජ වංශ බිහිවුණා. රාජ්‍යය කොටස් වලට කැඩුණා, නැවත එක්සත් වුණා. ඒ ඒ කාලවකවාණු වල වුණු පෙරළිත් එක්ක, රහස් දූරය ස්ථාවර ඒකකයක් බවට පත් වුණා. ඒ කියන්නෙ, රජු වෙනස් වෙන්න පුළුවන්. රාජ වංශය වෙනස් වෙන්න පුළුවන්. ඒත් රහස් දූරය වෙනස් වෙන්නෙ නෑ. ඒක දිගටම එකම විදිහට පවතිනවා. කාලෙන් කාලෙට ප්‍රබල වන, ඒ වගේම රටේ ජනතාවගෙ අපේක්ෂා ඉටු කරන, රාජ්‍යයට අපි උපකාර වෙනවා, ඒ වගේම ඒ රාජ්‍යය ආරක්ෂා කරගන්න අපි කටයුතු කරනවා.

"දැන් මේ දූරයෙ ඉන්නෙ හතර දෙනයි. එයින් දෙන්නෙක් අපි."

"එතකොට රහස් දූරය ගැන මේ වෙනකොට මේ රටේ, දන්නෙ ඔබ හතර දෙනා, මම සහ රජතුමා විතරයි ද?" ඇඩම් ඇසීය.

"ඇත්තම කිව්වොත් ඩ්‍රේක්..." මිත්‍ර ඔහුගේ උරහිසට අත තැබී ය. "රජතුමාවත් හරියටම දන්නෙ නෑ, මේ දූරයෙ සියලු දේ ගැන."

"එතකොට මගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ?" 

"ඔබ අපේ පස්වැනියා වීම තමයි අපේක්ෂා කරන්නෙ." සුමන කීවේ ය.

"ඒක ටිකක් බරපතළ අවදානමක් නෙවෙයි ද?"

"නෑ ඩ්‍රේක්... සාමාජිකත්වයෙ මට්ටම් කීපයක් ඔබට පසු කරන්න වෙනව. ඒ අභියෝග සියල්ල දිනාගත්තට පසුව තමයි ඔබ නිත්‍ය සාමාජිකයෙක් වෙන්නෙ. ඒ වෙනකොට ඔබ අපි ගැනත් අපි ඔබ ගැනත් සියල්ල දැනගෙන අවසන්. ඒ වගේම අප කාටවත් ආපසු හැරී යාමක් ඉතිරි වන්නේ නෑ..." 

"මම එකඟයි..." ඇඩම් තීරණය දීම සඳහා එක මොහ‌ොතක්වත් කල් ගත්තේ නැත.

කඩුපතක්, ලෝහමය කොපුවක් තුලට වේගයෙන් ඇතුල්වන සිහින් හඬ, අද්මිරාල් ගේ තීරණය ට පසුබිමින් ක්ෂණිකව නැගුණි. 

ඇඩම් ඉණෙහි බැඳගෙන සිටි අද්මිරාල් ධූරයේ සම්මානිත කඩුපත අඟල් දෙකක් - තුනක් ඉහළට ඇදී තිබුණුු බවත්, හඬ නැගුනේ එය එක් වරම පහතට තද කිරීමෙන් බවත් මිත්‍ර දුටුවේ එවිට ය. එය දැකීමත් සමඟ තම ගෙළ හරහට සියුම් හිරියක් දිව යනු ඔහුට දැනිණ.

"හොඳයි" ගලගොඩ නිළමේ ඔහු ගේ දෑස් දෙස බැලුවේ ය. "පටන් ගැන්ම වශයෙන් අපට කියන්න... මිත්‍ර මුලින් ම අහන්න ගිය කාරණාව. ඔබ එදා බහිරවයාගේ කඩු පහරින් මාරාන්තික තුවාලයක් ලැබුවා. ඒ කඩු පහර ඔබගෙ හදවත ට ලොකු හාණියක් කළා. ඒත් ඔබ මිය ගියේ නෑ. ඒ වගේම ඉතාම කෙටි කාලයකින් ඒ තුවාලය සුව වුණා.

"කොහොමද එහෙම වුණේ?"

Saturday, June 20, 2020

අවසානයක් නොවේ - නව වන කොටස

පළවෙනි කොටස

තුන් වෙනි කොටස


https://d2urhn0mmik6is.cloudfront.net/site/age_of_signs
/images/content_images/four-riders/FourRiders4.jpg

"රාසිං දෙවියන් ගේ වාසලට තමුුන්නාන්සේ ගේත්, තමුන්නාන්සේ ගේ භාරයේ සිටින රැඳවියාගේත් පැමිණීම අණ කර සිටිනවා!" 

රජවාසලේ පණිවුඩකරු ධනසේකර මුදලිතුමා වෙත සැළකර සිටියේ ය. 

යටිකයට ඇඳි සුදු පැහැ ධෝතියත්, ඉණ පටියේ පැළඳි කැටයම් කළ මිට සහිත කඩුපතත් දැරූ අශ්වාරෝහක දූතයා පෑවේ නිසග තෙදවත් බවකි.

වෙද මුදළි තුමා පණිවුඩකරු ගෙනැවිත් තිබූ අමතර අශ්වයා දෙස බලා මඳහසක් හෙළුවේ ය.

"මට නං දැන් අශ්වයො පිට යන්න තරම් ජවයක් නෑ..."

"නෑ මේ අශ්වයා ඔබගේ රැඳවියා ට." දූතයා පිළිතුරු දෙමින් සිය අසු හරවා ගත්තේ ය. "ඔහු දැන්ම කැඳවාගෙන එන්නටයි අණ. ඔබතුමා විවේකීව ඔබතුමාගේ තිරික්කලයෙන් ඒම ප්‍රමාණවත් "

කතාබහ ඇසී එතනට පැමිණි ඇඩම්, වෙද මුදළි දෙස බැලුවේ ගමනට අවසර ගැනීමට ය. ධනසේකර මුදළිතුමා හිස සැලීමකින් අනුමැතිය දුන්නේ ය.

"ඔබ ඉක්මණට යනවනම් හොඳයි" ටිකිරි බණ්ඩාර තිරික්කලය සූදානම් කරගැනීමට වළව්ව පිටුපස ට යන ගමන් කීවේ ය. "රාසිං දෙවියෝ ප්‍රමාදය ට අනුකම්පා කරන් නෑ. අනික පණිවුඩය එවල තියෙන්නෙත් සාමාන්‍ය පයිංඩකාරයෙක් අතේ නෙවෙයි. ඔබට යම් සැළකිල්ලක් දක්වලා තියෙනවා කියලා එයින් පේනවා."

මිනිත්තු කිහිපයක ඇවෑමෙන් අද්මිරාල් සිය යුරෝපීය ඇඳුම ඇඟලාගෙන'විත් අසු පිටට නැග්ගේ ය. පණිවුඩකරු ඔහුට තමා පසුපසින් එන ලෙස සන් කර, මගට පිළිපන්නේ ය. දූතයාගේ වේගයට ම බුහුටි ලෙස සිය අශ්වයා ද මෙහෙයවූ නෝඩික් ජාතිකයා ඉක්මණින් ම වළව්වේ කඩුල්ල පැන මහ මාවතට පිළිපන්නේ ය.

අවරට හැරුණු හිරු ගේ රන්වන් කිරණින්, ඇඩම් ගේ රන්පැහැ කෙස්, රන්වන් නූලෙන් වැඩ දැමූ කොළරය, පුළුල් බඳ පටිය හා ලෝහමය බොත්තම් මත වූ දිස්නය ඔප් නැංවිණ. සුදුවන් කළිසමත් තද නිල්පැහැ කබායත් පරණ වී තැන් තැන්වලින් ඉරී තිබුණි. එහෙත් එය අද්මිරාල්ගේ උත්තුංග පෙනුමට ලොකු හාණියක් කළේ නැත.

රැඳවියෙකු බවට පත්ව තමා පයින් ඇවිදගෙන ආ මඟ දිගේ ආපිට අශ්වයෙකු පිට යාමට සිදුවීම නාවිකයාගේ සිතෙහි ඇති කළේ සංකීර්ණ හැඟීමකි.

වෙදාණන්ගේ වළව්වේ සිට ඊසාන දෙසට වැටුණු පාර දිගේ අසරුවෝ දෙදෙනා මඳ වේගයෙන් අසුන් මෙහෙයවාගෙන ආහ. ඉදිරියේ ඇති තෙමංසලේ තවත් අසරුවෙක් සිටිනු තරමක දුරක සිට ම ඇඩම්ගේ විමසිලිමත් දෑසට ලක් විය. ඒ තවත් වංශවත් දූතයෙක් බව ළං වද්දී ඔහුගේ ඇඳුමින් සහ පැළඳුමින් සළකා ගත හැකි විය. පළමුවැනි පණිවුඩකරු සිය අසුගේ රැහැන් පටි යන්තමින් ඇද, මඳක් පමා කර, රැඳවියා හා සමපාත කර ගත්තේ ය. හන්දියේ දී දෙවන දූතයා ද ඔවුන් හා ගමනට එක් විය. ස්වදේශිකයන් දෙදෙනා යන්තම් හිස සැළීමකින් පමණක් ආචාර කරගත් බව අද්මිරාල් නිරික්ෂණය කළේ ය.

තෙමංසලෙන් තවත් ඊසාන දෙසට යොමු වූ පාරේ පියවර විස්සක් විතර ඉදිරියෙන් තවත් හතර මං හන්දියක් හමුවිය. කිසිදු කතාබහකින් තොරව හැල්මේ ආ, අසරුවෝ තිදෙනා එතැනින් ගිණිකොන දෙසට වූ පාරට හැරුණ හ. මෙතෙක් පසුකරගෙන ආ මාර්ගයේ දෙපස කඩපිල්, දෙමහල් මහ මැදුරු, උද්‍යාන ආදියෙන් ගැවසුණ ද, දැන් දැන් පාර විහිදෙන්නේ ගොවිබිම්, පඳුරු, පැල්පත් ආදියෙන් හෙබි, ජනාකීර්ණ නොවූ ප්‍රදේශයක් මැදිනි. තවත් පියවර විස්සක් තිහක් යන විට පාර වංගුවක් ගසා, නැවත ඊසාන දෙසට හැරුණි. අවට හුදෙකළා පාලු බව තවත් දැඩි වූයේ එතැන් පටන් පටු වූ පාර දෙපසින් වැවුණු ළඳු කැළෑවෙනි. පාරේ පළල ප්‍රමාණවත් වූයේ එක් අසරුවෙකුට පමණි. එහෙයින්, රජවාසල දූතයන් දෙදෙනා ඉස්සර වෙද්දී, නෝඩික් නැවියා පසුවිය.

නොනැවතී මෘදු රිද්මයකට අනුව සෙමෙන් සෙමෙන් දිව යමින් සිටි අශ්වයන් තුන්දෙනා එක්වරම කළබල වූහ. හිස් ඔසවමින් උඩු හුළඟ ඉව අල්ලන්ට වූ උන්, රැහැන්පටෙහි විධානයට අකීකරු වන්නට සූදානම් බව පෙණින. ළඟ පාතින්ම කන් බිහිරි කරවනසුළු කුංචනාදයක් ඇසුණේ එක් වරමය.

සිය අශ්වයා එක් වරම වේගයෙන් දුවන්නට පටන් ගනිද්දී, ඇඩම් හිස හරවා වම් උරහිසට උඩින් පිටු පස බැලුවේ ය. අඩි කීපයක් පිටුපසින්, දැවැන්ත අලියෙක් ළඳු කැළෑවෙන් පාරට පැන්නේ ය. උගේ ඉහළට එසවුණු හොඬවැලෙන් නිරාවරණය වූ දළ දෙක, අගිස් කපා නොතිබෙන්නට, අඩි දහයක් පමණ දිග වන්නට ඇතැයි විදේශිකයා ට සිතුණි. 

කුපිත වූ බව සෑම රෝම කූපයකින්ම පාහේ පිළිබිඹු කළ දැවැන්ත තිරිසනාගේ තේජාන්විත සුන්දරත්වය යුරෝපීයයාගේ සිතෙහි සටහන් විය. ක්ෂණිකව රැහැන්පටි තද කරගනිමින් සිය අසුගේ පාලනය සියතට ගත් ඔහු, ඉදිරිපසට නැඹුරු වෙමින්, දැනටමත් වේගයෙන් අසුන් පිට පළා යමින් උන් ස්වදේශිකයන් දෙදෙනා පිටුපසින් අසු මෙහෙයවන්නට ගත්තේ ය. 

අස් කුර, පාලු පාරේ පස්, ගල් මත වේගයෙන් වදින හඬින් හාත්පස හෙල්ලුම්කෑවේ ය. එයින් තව තවත් කුපිත වූ බව පෙන්නුම්  කළ හස්තියා වල්ගය රිටක් සේ කෙලින් කර ගෙන, සොඬට අසුවන අසුවන පඳුරු, ගල් කැට උගුල්ලා විසි කරමින් සැළකිය යුතු වේගයකින් අසරුවන් පිටුපස හඹා එන්නට ගති.

එක්වරම අනපේක්ෂිත ලෙස... තමන් භාරව ආ දූතයා සමබරතාව ගිළිහී වම් පසට ඇළ වී යනු අද්මිරාල් දුටුවේ ය. ඇඩම් වමතින් රැහැන් පටිවල මැද හරියෙන් අල්ලා ගෙන අසු මෙහෙයවමින් ම, රැහැනෙහි ඉතුරු කොටස දකුණතින් ගෙන දෙපසට වනමින්, සිය අශ්වයාගේ දෑළට පහර දෙද්දී, අසු ගේ වේගය තව තවත් තීව්‍ර විය. මොහොතකින් ඔහු ආපදාවට පත් අසරුවා ගේ දකුණු පසින් සමාන්තරව තම අසු මෙහෙයවමින් උන්නේ ය. ඒ අතර අනෙක් ස්වදේශිකයා ද ඔවුන්ට ළං විය.

සිය අශ්වයාගේ රැහැන් පටි දෙ වන දූතයා වෙත විසි කළ අද්මිරාල්, සිය දකුණු පය අසු ගේ පිට හරහා වම්පසට ඇද ගත්තේ ය. ඔහුට සෑදලය මත හරහට වාඩි වී සිටින්නට හැකි වූයේ මොහොතක් පමණි. වේගයෙන් දිවෙන අසු ගේ ගැස්සීම්වලට අනුරූපී වෙමින් ඔහු වම් පාදය හැකිතරම් ඉහළට ඔසවා, ආපදාවට මුහුණ පෑ අසු පිටට පැන, දූතයා ට පිටුපසින් වාඩි විය. ඒ ගමන් ම ඔහු පැත්තකට ඇළ වුණු අසරුවා කෙළින් කොට ඔහුගේ සිරුර දෙපසින් සිය අත් දිගු කර රඳවා ගත්තේ ය. ස්වදේශිකයා සිහිසුන්ව සිටි බව පෙනුණි. අශ්වයාගේ රැහැන්පටි තවමත් ඔහුගේ අතෙහි විය. එය මුදවාගත් අද්මිරාල්ට, අසු සිය පාලනයට නතු කර ගැනීමට හැකි විය. මේ සියල්ලට මිනිත්තුවකට වඩා කාලයක් ගත නොවී ය.

ඉදිරියෙන් බටහිර දෙසට වංගුවක් පසු කරද්දී, ලඳු කැළෑව කෙළවර වූ අතර, එතැන් සිට පාර විහිදුණේ, වෙල් යායේ මහ නියර මතිනි. හිස ඔසවා බැලූ ඇඩම් ට, ඈතින් පිහිටි දළදා මැදුරත්, ඇතුල් නුවර ගොඩනැගිලිවල කොත් පංතියත් වෙල්යාය ඉස්මත්තෙන් දිස් විය. එසැණින් පසුපස බැලූ ඔහු දුටුවේ, තමන් ආ අශ්වයා ද කැටිව හැල්මේ එන ස්වදේශික අසරුවා පමණකි. කුපිත වූ හස්තියාගේ සේයාවකුදු දකින්නට නොවීය. 

අශ්වයාහට වේගය අඩු කරගැනීමට ඉඩ හරිමින් යුරෝපීයයා මහ නියර දිගේ ඇතුල් නුවර දෙසට අසු මෙහෙයවීය. අසරුවෝ දෙදෙනා ගේ වේගවත් ගමනට විරාමයක් ලැබුණේ, වෙල් යායේ මැද පිහිටි මහ කමතට ළඟා වූ විට ය. ඇඩම්, මහනියරට වම් පසින් ගළා ගිය ඇළ පාර මත්තෙන් අසු පන්නවා කමතට පිවිසුණි. ඒ පසුපසින් ම කමතට ආ දූතයා, අසු පිටින් බැස, තවමත් සිහිසුන් ව සිටි තම සගයා අසු පිටින් බස්සවා ගැනීමට රැඳවියා හට උදව් විය. මහ ඇලෙන් දිය පොදක් ගෙන මුහුණට ඉස්ස විට ස්වදේශිකයා පියවි සිහියට එළඹියේ ය.

"ඔබ මගේ ජීවිතය බේරුවා ට පින් සිදුවේවා...!" සිහි එළඹි දූතයා ඇඩම් ගේ මුහුණ බලා, මඳ සිනහවක් පාමින් කීයේ ය. "දැන් යමු ඇතුල් නුවරට..."

සිය සගයාගේ අත වැරෙන් අල්ලාගත් හෙතෙම නැගිට පැන්නේ ය. ඔහු අද්මිරාල් ගේ අතින් රැහැන්පටි ගෙන අසුපිටට නැග්ගේ කිසිදු අමාරුවක් නොදක්වමිනි. ඒ අනුව අසුන් පිටට නැගි ඇඩම් සහ අනෙක් ස්වදේශිකයා ඔහු පිටුපසින් නැවතත් මහනියර මතට අසුන් පැන්නවූ හ. 

පළමුවැනි දූතයා, සිය සගයා හට ඉදිරියට යාමට ඉඩ හැර, මඳක් සුනංගු වී අද්මිරාල්ගේ අශ්වයා හා නැවතත් සමපාත විය.

"මම උඩුමුල්ලෙ නිළමෙ..." ඔහු රැඳවියා හට තම පපුවට තට්ටු කර දැක්වී ය. "කිට්ටුවන්තයො මට කියන්නෙ මිත්‍ර." 

මඳ සිනහවකින් යුරෝපීයයාගේ සූර්යතාපයෙන් රැළිගැසුණු ඇස් සිහින් කෙරුණි. ඔහු සිය නළල මතට වමතෙහි ඇඟිලි තුඩු දිගු කර ආචාර කළේ ය.

"මම ඇඩම් ඇන්ඩර්සන්... කිට්ටුවන්තම උදවිය මට කියන්නෙ ඩ්‍රේක්" ඔහු රැහැන්පටි වමතට මාරු කර ගෙන, සිය දකුණත මිත්‍ර දෙසට දිගු කළේ ය. පණිවුඩකරු, උඩුකය මඳක් හරවා, දකුණත දිගු කර එය අල්ලාගති. 

වෙල්යාය කෙළවර වූයේ බස්නාහිර - නැගෙනහිර අතට විහිදුණු මාවතකි. අසරුවෝ ති දෙන මහ මාවතට ගොඩ වී නැගෙනහිර දෙසට හැරෙද්දී, මාළිගාවේ හේවිසි හඬ ඔවුන්ට පැහැදිළිව ඇසුණි. අඩි කිහිපයක් ගොස් උතුරු දෙසට වංගුව හැරෙනවාත් සමඟම, ඔවුන් ඉදිරියේ වූයේ මුරකාවලකි. 

"තමුුන්නාන්සෙලා කොහෙටද යහපත් වෙන්නෙ?" හෙල්ල ගත් මුර සෙබළු ප්‍රශ්න කළහ. 

මිත්‍ර සිය ඉණතුරේ වූ කිණිස්ස ඇද, එහි මිට මුරකාවලේ ප්‍රධානියා හට පෙන්වී ය. ඒ දුටු සෙබළු දෙපසට වී, අසරුවන් ති දෙනා හට ඇතුල් වීමට ඉඩ හැරිය හ. සත්ත්ව අඟකින් සෑදුණු ඒ කිිණිස්සේ මිටෙහි වූ ඉපැරණි සූර්ය කැටයම කොහේ දී හෝ දැක පුරුදු බව ඇන්ඩර්සන් හට මතක තිබුණි. එහෙත්, ඒ කෙතැකදී දැයි සිහිපත් කර ගත නොහැකි විය. වටාපිටාව සිතෙහි ඇඳ ගනිමින් විමසිලිමත්ව ගමන් ගත් ඔහුගේ සිහියට එය සිහිපත් කර ගැනීමට තරම් විවේකයක් නොවීය. එහෙත් එය ඒ තරම් සුභදායක මතකයක් නම් නොවූ බව පමණක්, මතක තිබුණි.

මුරකාවලේ සිට පටු මාවත නැගෙනහිර දෙස ට විහිදුණි. මාවත දෙපස වූයේ මනාව නඩත්තු කරන ලද උද්‍යානයකි. ඈතින් ඇසුණු හේවිසි හඬෙහි යම් හුරු පුරුදු බවක් ඇඩම් ට හැඟුණේ ය. දින කීපයකට කලින් ටිකිරි බණ්ඩාර සමඟ නාථ දේවාලයේ පූජාවන්ට සහභාගි වෙද්දී දළදා මැදුරෙන් නැඟුණු තේවාවේ හේවිසි හඬ ට එය බොහෝ සමපාත විය. 

විමසිලිමත් වූ යුරෝපීයයාගේ දෑසට, ඉදිරියෙන් ම වාගේ ඈතින් දළදා මැදුරේ වළාකුළු බැම්ම හඳුනා ගත හැකි විය. මීට පෙර ඔහු මෙම ඉසව්වට පැමිණියේ වෙනත් මාවතකිනි. සිතෙහි වූ මතකයන් සමඟ වටාපිටාව සසඳමින් බලද්දී ඊසාන දෙසින් වැවුණු දැවැන්ත ගස් අතරින් තමන් පසුගිය සති දෙකකට පමණ පෙර ටිකිරි බණ්ඩාර සමඟ දිවාකාලය ගත කළ නාථ දේවාලය සහ ඊට මෙපිටින් වූ පත්තිනි දේවාලය දැක ගත හැකි විය. 

මුරකාවල පසුකර අඩි දහයක් යන්නට ලැබුණේ නැත. කලින් ගත කළ නාවුක ජිවිතයේ දී ලබා තිබූ පළපුරුද්ද විසින්, යම් කිසිවක් වරදින්නට යන බව හෝ, සිදුවීම්වල යම් කෘත්‍රිම බවක සේයාවක් අද්මිරාල්හට දැනෙමින් පැවතිණ. දෙවියන් විසින් යක්ෂයාගෙන් සොරකම් කරන ලද මරණය පිළිබඳ ඉව ඇන්ඩර්සන් තුළ ද ක්‍රියාත්මක වෙමින්... 

"විදුව!" 

කෙටි නියමය අනුව හතර වටින් ම ගුවනට මුදාහැරුණු ඊතල සිය ගණනක් සිහින් සිවුරුහඬ නඟමින් තමන් දෙසට ඇදී එනු අසරුවන් ති දෙනාට ඇසුණි... පෙනුණි.

දහ වෙනි කොටසට...

----------------------------------
සංලක්ෂය - 
කතාවේ ශෛලියට, කාලයට සහ යතාර්ථයට ගැළපෙන පරිදි ස්කැන්ඩිනේවියානු අද්මිරාල් ගේ නම ඇඩම් - ඩ්‍රේක් ඇන්ඩර්සන් ලෙස වෙනස් කරන ලදි.

මේ පිළිබඳව ඉතා උනන්දුවෙන් සිය අගනා කාලය මා හා ගත කරමින් ලබා දුන් පෝෂණය සම්බන්ධයෙන් හිතවත් Pra Jay මහතාට කෘතඥවෙමි.

Wednesday, May 27, 2020

අවසානයක් ‌නොවේ - අටවන ‌කොටස

පළවෙනි කොටස
දෙවෙනි කොටස
තුන් වෙනි කොටස
හතර වෙනි කොටස
පස් ‌වෙනි ‌කොටස
හය ‌වෙනි ‌කොටස
හත් වෙනි කොටස

https://creativemarket.com/Edgieus/1230921-Early-morning-sunrise-at-field-in-summer

ධනසේකර කුමාරිහාමි කුරුළු හඬ අසමින් අඩ නින්දේ ගැළී සිටියා ය. වළිකුකුළන්, දෙමලිච්චන්, ගිරවුන්, මයිනන්, ලේණුන් එක්ව නැඟූ මියුරු සංධ්වනිය පසුබිම්කරගත් බටිත්තන්ගේ සිවුරුහඬලෑම දිව්‍යමය සංගීතයක් බඳු විය. පින්නෙන් තෙත්බර වූ ගහකොළ අතරින් තීරු තීරු පෙරී ආ උදෑසන ආලෝකය, අලුත්ම දිනකට පරිසරය උණුසුම් කළේ ය. උදෑසනින් නැගිට දඟකරමින් දුව පනින වසු පැටවුන්ගේ කුර ලා තණ මත ගැටෙන හඬ පවා තරුණිය ට පැහැදිළිව ඇසුනි.

ඈ මවිතයට පත් වූණේ එක් වරම ඇසුණු කුකුළු හඬළෑමකිනි. ඒ ඈ සෑහෙන කාලයක් තිස්සේ උදෑසන අවදි කරවූ, රතු කුකුළාගේ හඬ ය.

එක්වරම අවදිවූ තරුණිය හාත්පස බැලුවා ය. ඈ සිටියේ සිය වළව්වේ ආළින්දයේ වූ වැල් ඇඳ මත ය. ඇගේ මව වැල් ඇඳේ පාමුල වාඩිවී සිටියේ ඉතාමත් ඉවසිල්ලෙන් වුව ද, කුතුහළය මහළු ළමාතැනීගේ මුහුණ පුරා ඇඳී තිබුණි.

----------------------------------------------------

ධනසේකර පවුලේ ඇත්තන්ට සිය හැඟීම් හා ආවේග නිදහසේ පවසන්නට ඉඩ ලැබුණේ වළව්වේ ඇතුල් ගැබෙහි දී ය. තරුණ කුමාරිහාමි ඇය අත්දුටු සියල්ල විස්තර සහිතව කීවා ය. ඈ මුහුණදුන් අද්භූත අත්දැකීම යටතේ වූවත්, ඇගේ සිහිකල්පනාව ඉතා නිරවුල් ව පැවතිණ. එහෙත් ඒ කතාව තුළ යතාර්ථයට, සිහින හෝ මනඃකල්පිත මායාවන් කෙතරම් දුරට මුසුව පැවතියා ද යන්න ඇයට සිතා ගත නොහැකි විය.

පසුගිය රෑ කිහිපය නිදි වර්ජිතව ගත කර තෙහෙට්ටුවෙන් සිටිය ද, ධනසේකර වෙද මුදළි තුමා හැකි ඉක්මණින් ම රජ වාසළ වෙත ගියේ ය. සිය දියණිය නිරුපදෘත ව පැමිණි බව රජ වාසළට සැළ කිරීම ඒ ගමනේ මුඛ්‍ය පරමාර්ථය විය. ඇගේ දිවි ගළවාගැනීමට තම ජීවිතය කැප කළ විදේශිකයා හමු වී, කුමාරිහාමිගේ කතාවෙහි හිස්තැන් පුරවා ගැනීම ත්, ඒ අනුව ඔහුට ධනසේකර පවුලේ කෘතඥතාව ප්‍රකාශ කිරීමත් එලෙසින්ම වැදගත් විය.

----------------------------------------------------

ඊළඟ සතිය සිදුවීම් රැසකින් පිරුණි. විදේශික නාවුකයා නැවතත් ධනසේකර පවුලේ භාරයට පත් විය. ඔහු එතෙක් එම පවුලෙන් ලද සුහද සත්කාරය ඉතා ළෙංගතු සත්කාරයක් බවට හැරවුණි. ඔහු ලද ඉතාම වැදගත් කෘතගුණ සැළකීම ලෙස ඔහු සැළකුවේ, රාජසන්තක කරන ලද ඔහුගේ ලියවිලි මිටිය ආපසු ලැබීම යි. එහි නැව්පතිගේ ලොග් පොත, පෞද්ගලික සටහන් පොත, සිතියම් සහ තාරකා සටහන් ඇතුළත් සම්පූර්ණ ලේඛන මිටිය පමණක් නොව පෑන, තීන්ත බඳුන සහ නැව්පතිගේ දුරේක්ෂය පවා ටිකිරි බණ්ඩාර ධනසේකර රාජකීය භාණ්ඩාගාරයෙන් රැගෙන ආවේ ය.

එතැන් සිට සෑම හැන්දෑවක් ම පාහේ ඇඩම් ගත කළේ තම කුටියේ වූ කණප්පුව මත විහිදුවාගත් ලියවිලි සමඟිනි. 

---------------------------------------------------

නාවුකයා ධනසේකර වළව්වට පැමිණ ගතවූ දින තුනක් ඉක්ම ගියේ ය. එදා සැන්දෑව ඉතා චමත්කාරජනක විය. දවල් කාලයේ වැටුණු මඳ වැස්සෙන් සේදී ගිය ගස් වැල්, නැවුම් බවක් විඳිමින් පසුවන බව පෙනුණි. මල්, කොළ, දළු හා තණපත් අග තැවරුණු වැසි බිඳු ලා රත් පැහැ සැඳෑ හිරු කිරණින් දිළිසුම් දුන්නේ ය. වැස්සෙන් තෙත් වූ පියාපත් දිගහැරගෙන වේලාගනිමින් සිටි කුඩා කුරුල්ලෝ, විවිධ හඩ නඟන සීනු රැසක් මෙන් කෑගැසූහ. තණ පඳුරු අතර වූ කුඩා කඩිති අතරින් වසු පැටව් උඩ පනිමින් දුවමින් සෙල්ලම් කළේ සතුටිනි. 

මේ සියල්ල සමඟින් සිය කුටිය තුළට සිර වී, ලියවිලි අධ්‍යයනය කරමින් හා සටහන් තබමින් අඩ අඳුරේ ගත කිරීමට ඇඩම් හට සිත් දුන්නේ නැත. ඔහු කුටියෙන් පිටතට පා තැබීය. බැලූ බැලූ අත දක්නට ලැබුණේ පරිසරයේ නැවුම්බව සමඟ පිබිදුනු ගහ කොළ ය, සතුන් ය.... වෙදහල පසු කරමින් සෙමෙන් පා තැබූ ඔහුට, පරිසරයේ ශාන්ත සිසිලස හා තෙත් බව සමඟ රම් අඩියක අඩුව දැනුණේ ය.

ධනසේකර වළව්වේ වත්ත එක් පැත්තක් කෙළවර වූයේ දැවැන්ත පඩිපෙළක් ආකාරයට පැතුරුණු වෙල් යායෙනි. තවත් පැත්තකින් වෙදහලේ හා වළව්වේ සේවයට නීන්දේ නිළ කර සිටි ගම් වැසියන්ගේ පැල්පත් තනා තිබුණි. අනෙක් පැත්ත ඖෂධ පැළෑටිවලින් පිරුණු ළඳු කැළෑවෙන් වැසී තිබුණේ ය. 

වෙල් යාය තෙක් ඇවිද ආ ඇඩම්, වත්ත කෙළවර පැවති කලු ගල් තලාවේ වාඩි විය. පහත වෙල් යාය හරහා මිහිදුමින් වැසුණු ඈත කඳුවළල්ල තෙක් පුළුල් දර්ශනයක් ඔහුට දැක ගත හැකි විය. වෙල් යායේ වැඩ නිමකළ ගොවියෝ උදලු කරේ තියාගෙන නියර දිගේ විවේකීව ඇවිද ගියහ. ඔවුන්ගේ දහදියෙන් තෙමුණු නිරුවත් උඩුකය හිරු රැසින් දිළිසුණේ ය. ඈත වනරොදින් එළියට ආ හරකුන් ඔවුන්ගේ වාසස්ථාන බලා නිදැල්ලේ දිව ගියේ, පසුපසින් ආ ගොපලු කොළුවන් ගේ බලපෑමෙනි.

ඈත සිහින් රිදීවන් රැළි ගැසුනු ඉරක් සේ ඇඳුනු දියපහරක් ගළා විත් ඔහුගේ දෙපා අසළින් සිළි සිළි හඬ නඟමින් පහළට ගළා යමින් තිබුණි. බැස යමින් පැවති හිරුගේ රැසින් දියපහරේ තැන් තැන්වල කුඩා රවුම් දේදුණු සැදුණේ ය. වර්ණවත් මාළු උඩ පනිමින් එකිනෙකා හඹා යමින් දිය දහරේ විසිතුරු බව නැංවූ අතර, ගෙම්බෝ හා වර්ණවත් පක්ෂීහු විටින් විට උන් අල්ලාගන්නට තැත් කළ හ. ගුප්ත අමනුෂ්‍යයන්, බලවේගයන් හා ඊටත් වඩා ගුප්ත මිනිසුන් ද, ඇදහිළි ද සඟවාගත් මේ කුඩා දිවයින ඇත්තෙන්ම ආදම් හා ඒව නැවුම්ව දිවි ගෙවූ පාරාදීසය ම නොවේදැ,යි ඔහුට සිතුනි.

පසුපසින් සියුම් හඬක් ඇසී ඔහුගේ හිස ක්ෂණිකව ඒ වෙත හැරුණි. ඔහුගේ ඇසට එක්වරම ලක් වූයේ ගල් තලාවට ගොඩවන්නට යන තරුණියකි. ඇඩම් හණික වාඩි වී සිටි තැනින් නැගිට ඒ වෙත හැරුණේ ය. එහි වූයේ ධනසේකර කුමාරිහාමි බව ඔහුට අඳුනාගත හැකි විය. ඔසරිය ඇඳ සිටි ඈ, එහි පිටුපසට වැටුණු පොට ඉණ වටා ඔතා දවටාගෙන සිටියේ වෙදහලේ කටයුතුවලදී බාධා නොවන පරිදි ය. ඇගේ දිගු වරළස තනි කරලක් ගොතා තිබුණ ද, ඊට හසු නොවූ කියඹු වැල් ඇගේ නලලත පුරා වැටී මද සුළඟේ දඟ කරමින්... ඇඩම් ගේ ඇස් දෙස කෙලින්  බැලූ තරුණිය නැවත මුහුණ පහතට යොමු කරගත්තේ ලාලිත්‍යවත් ලෙසිනි. 

"මම ඔබේ හුදෙකලා බවට බාධා කරනව ද?" තරුණියගේ පෘතුගීසි කතා බහ තුළ වූ කතෝලික ආගමික හා ලිඛිත ශෛලිය නැව්පතියාට දැනුණි. 

"ඉන්තේරුවෙම්ම නෑ.... කුමාරිහාමි," රැඳවියා උත්තර දුන්නේ ඔහු උගනිමින් සිටි සිංහල භාෂාවෙනි. ඔහුගේ සිංහල වහරට, වෙද හලේ සේවකයන්ගේ ත්, නගරයේ සාමාන්‍ය වැසියන්ගේ ත් කථන ශෛලිය මිශ්‍ර විය.

කුමාරිහාමි ගල්තලාවේ වාඩි වූවා ය. නෝඩික් නැවියා ද, ඈ අසළින් ඇයට මුහුණලා වාඩි විය.

"මං මේ රටේ beleza (='සුන්දරත්වය') බලාගෙන උන්නෙ" 

විදේශිකයා සිංහල අතරට පෘතුගීසී වචනය රිංගවූ ආකාරය තරුණියගේ මුවට සිනහ නැංවී ය.

"ඔබ ගොඩක් රටවල් දුටු කෙනෙක් නේ.... අපට වඩා ලස්සන දේ දැකලා ඇති?"

"මම වෙනස් වෙනස් තැන් දැකලා තියෙන බව ඇත්ත. නමුත් ඔබේ රට ඒ කිසිම දේකට වඩා විශේෂයි...." නැවුපතියා ප්‍රවේසමෙන් වචන හා සිතුවිලි තෝරා බේරාගනිමින් කතා කරන බව තරුණිය ට තේරුණි.

"මම මේ පාර පිටත් වුණේ ප්‍රංශයෙ රොශ්ෆෝ්ර් තොටුපොළෙන්.... මාර්සෙයි, ඇම්ස්ටර්ඩෑම්, ලිවර්පූල්, ඇලෙක්සැන්ඩ්‍රියා, ලිස්බන්.... ඔය හැම වරාය නගරයක දි ම වගේ අහන්න ලැබුණු එක පුරාණෝක්තියක් තිබුණා, පාරාදීසයක් ගැන...." ඔහු මඳකට කතාව නතර කර, කුමාරිහාමි දෙස බැලුවේ ය.

"සමහර නාවිකයො කියන්නෙ මේ රට තමයි පාරාදීසය කියලා.... මේ පළාත දුටුවා ම, මටත් එහෙම හිතෙනවා" 

"ඔබ සාහිත්‍යයටත් හුරුයි ?" 

ඇඩම් ඈ දෙස බැලුවේ විස්මයකිනි. "ඇයි එහෙම කීවේ?"

"සිංහල සාහිත්‍යයේ අංගයක් තියෙනවා, 'අලංකාර' කියලා. ඔබ අපේ රට ගැන කතා කරද්දි ඒ වගේ දේ යොදාගන්නවා..."

"මම ගොඩක් කියවලා තියෙනවා.... ඔබ අදහස් කරන්නෙ ඒ ගැන නම්.... නමුත් එයින් බහුතරය මිනිසුන් ගැන අධ්‍යයන, භූ විෂමතා, ස්වාභාව අධ්‍යයන, ඉතිහාසය ආදී දේ ගැන."

"ඔබ ඉතා දක්ෂ ලෙස සටන් කරනවා කියා මම දැක්කා. නමුත් ඔය අංශය මා දැනගත්තෙ දැන්...." තරුණිය ඔහුගේ දෑස් දෙස එක එල්ලේ බැලුවා ය. "එදා මා බේරාගන්න මාරාන්තික සටනක් කළා.... මට ඒ ගැන මුහුණට මුහුණ කතා කරන්න ඕනෙ කම තිබුණා."

"ඒක මා කළේ කැමැත්තෙන්...." රැඳවියා සිනාමුසුව කීවේ ය. "ඒත් මට මැරෙන්න වෙයි කියලා නම් හිතුණේ නෑ...."

කුමාරිහාමි ඔහුගේ නිරුවත් පපුව දෙස හොඳින් බැලුවා ය. ඈ සෙව්වේ ඔහුට සිදු වූ මාරාත්මක තුවාලයේ ලකුණු ය. 

"ඒ තුවාලය...." ඈ පැකිළුණා ය....

"ඒක ඉක්මණින්ම හොඳ වුණා. ඔබ දන්නවද අපි බේරාගත්තෙ කවුද කියලා....?" ඔහු සිය පා වහනේ කැපුණු තැන අත ගෑවේ ඉබේටම මෙනි. ඒහි සිදු වූ දරුණු තුවාලයේ ද කැළලක්වත් ඉතිරි වී නොතිබිණ.

"ඔහු මට දුන්න බෙහෙත මට හිතාගන්නවත් බැරි එකක්. මම හිතන්නෙ නෑ ඒ මනුෂ්‍යයෙක් කියලා.... අනික, ඉතාම මරණාසන්න තුවාලයක් බොහොම කෙටි කාලයකින් සුවපත් කරන්න බෙහෙතක් අපි දන්න වෛද්‍ය ශාස්ත්‍ර කිසිම එකක නෑ. කිසිම ශාක සාරයකට කරන්න බැරි ප්‍රාතිහාර්යයක් ඒක...."

"මට මතක හැටියට.... මට වරදින්න පුළුවන් ඒ වෙලාවෙ මම හිටපු තත්ත්වයත් එක්ක.... අපට වෙදකම් කරලා ඔහු ඇඟිලි තුඩුවලින් එතන ගල් තලාවට අමුතු රටාවකට අනුව තට්ටු කළා. එතකොටම, ඔක්කොම අඳුරු වෙලා ගියා. නැවත සිහිය එනකොට මම හිටියේ ඒ දවස්වල මම හිටපු මුරකුටියෙ මැස්ස මත."

"එහෙමද ඒක වුණේ? මම හිතන්නෙ ඒ වෙනකොට මම සිහි නැතුව උන්නෙ. මට බෙහෙත් පොවද්දි මම ඇහුවත්, 'ඔබ තුමා කවුද' කියලා. ඒත් වචනයක්වත් කලා කළේ නෑ."

"ඔව්. ඔහු කිසිම වෙලාවක මොනවත් කිව්වෙ නෑ."

"අන්තිමට බලද්දි, බහිරවයා ත් ඇත්ත නම්...." තරුණිය තමන්ගේ ම වචනවලින් සලිත වී ගිය බව පෙනුණි. ".... අපි බේරගත්තෙත් ඒ වගේම මොකක් හරි බලවේගයකින් වෙන්න පුළුවන්....

"නමුත්.... ඔබට මම ජිවිතයෙන් ණයගැතියි. මා බේරගන්න ඒ වෙලාවේ සාමාන්‍ය මිනිහෙක් නොකරන විදිහේ පරිත්‍යාගයක් කරන්න ඔබ පැකිළුනේ නැහැ...."

ඇඩම් කුමාරිහාමිගේ දෑස් දෙස බැලුවේ ය. ඇගේ දෑස් ලාලිත්‍යවත් බවින් යුතුව පහතට හැරවුණ ද, එක් ඇසිල්ලක් තුළ ඒ දෑසේ වූ තෙත්බර ළෙංගතු බව ඔහුගෙන් සැඟවිය නොහැකි විය. පපුව මැදින්, ඇතුළාන්තයෙන් පටන්ගත් උණුසුම් බවක් සිරුර පුරා පැතිර යනු ඔහුට දැණින.

--------------------------------------------------------

සතියේ කෙළවර වූ සෙනසුරාදා හැන්දෑවේ, ධනසේකර වළව්වේ උදවිය නාථ දේවාළය ට ගියහ. සිය නැඟණිය අකල් මරණයෙන් ගළවා දෙන ලෙස ටිකිරි බණ්ඩාර නාථ දෙවියන් හට භාර වූයේ ඊට පෙර සති‌යේ ය. වන්දනාවට ඇඩම් ද එක් වීම ඇවැසි බව ධනසේකර තරුණයා වැඩියත්ම අදහස් කළේ, භාරය වන අවස්ථාවේ තමන් සමඟ සිටියේ ඔහු පමණක් වීම නිසාත් ය.

ගමනට සූදානම් වන ලෙස දැන්වූ අවස්ථාවේ සිට ම, ලක්දිව ජනතාවගේ ඇදහිළි විශ්වාස ගැන විදේශිකයා අසන්නට පටන් ගත් ප්‍රශ්න වැලෙන් වළව්වේ කිසිවෙකුටත් ගැළවීමක් නොවී ය. 

මිනිසුන් කිහිපදෙනෙකුගෙන් සැදුණු කුඩා පෙරහැර සතර දේවාලය පිහිටි බිමට ආ ගමන්ම වාගේ හේවිසි කණ්ඩායම තම බෙර වාදනය පටන් ගත් හ. දවුල්කරුවන් දෙදෙනා නැඟූ ඩුම් ඩුම් හඬ, තම සවන් පුරවා දමමින් පිටාර ගොස් දේවාල බිත්ති වල නැඟී දෝංකාර දෙන අයුරු යුරෝපීයයා විස්මය පත් කළේ ය. එවැන්නක් ඔහු දකුණු ඉන්දියාවේ දී හෝ අත් දැක තිබූණේ  නැත. තම්මැට්ටම් කරුවන් කැරකෙමින් වේගයෙන් වයද්දී, දවුලේ හඬ පපු කුහරය තුළින් නින්නාද වෙන්නා සේ ඔහුට හැඟුණි. එවිටම වාගේ ඉතා පැරණි කාලයකට අයත් සේ දැනුණු තියුණු හඬක් නඟමින් නලා කරුවෝ ගී විරිතේ එන තනුවක් වයන්නට පටන් ගත්හ. අතිත සම්ප්‍රදායට අනුකූලව, වන්දනා කරුවන් එදිනෙදා හුරු පුරුදු ජීවිතයෙන් වෙන් කොට, වෙනමම උසස් මානයකට මනසින් සූදානම් කරවන මහා බලක් එම හේවිසි හඩෙහි ගැබ්ව තිබුණේ ය. අඩ නිරුවත් කලු පැහැ ග්‍රාම්‍ය ජාතියක් මෙවැනි විස්මයජනක සංස්කෘතියක උරුම කරුවන් වී ඇති ආකාරය ගැන ඇඩම් හට පුදුම නොවී නොසිටිය හැකි විය. එය පේගන් හෝ කතෝලික වන්දනාවන් සමඟ ඔහු සිතෙන් සසඳා බැලුවේ නිතැතිණි. 

නලා කරුවෝ ද, තම්මැට්ටම් කරුවෝ ද, දවුල් කරුවෝ ද  පිළිවෙලින් දේවාල දොරකඩ දක්වාම ගොස් එතැනදී නතර වී දෙපසට වූහ. ඔවුන් අතරින් ඉදිරියට ගිය කත් කාරයෝ දෙදෙනා පළතුරු හා සුවඳ ද්‍රව්‍ය හා බෙහෙත් ද්‍රව්‍ය පිරුණු කත් දෙක, දේවාලයේ ආවතේව කරුවන් විසින් අත් දිගු කර දක්වන ලද දිසාවකට ගෙන ගියහ. පිරුණු පළතුරු වට්ටිය තිබුණේ තරුණ කුමරිහාමි අතේ ය. ඈ මව හා පියා දෙපසින් ඇතිව දේවාලයේ පඩි නැග්ගේ ඉතා සංයමයෙනි. ඇගේ පිටුපසින් මල් හා සෙසු පූජා භාණ්ඩ රැගත් ටිකිරි බණ්ඩාර ද, ඔහුගේ ඇරයුමෙන් යුරෝපීයයා ද පියගැට පෙළ ඉහළට නැංග හ. 

"නාථ ශ්‍රී සර්ව මංගල්‍යම් - යථා දේවේන සංයුතං
සුගන්ධ දීප ධූතේන - නාථස්‌වාමි නමෝ වරං..." 

ප්‍රධාන කපු මහතා ගේ ගැඹුරු හඬ පහත් තාරතාවයෙන් යුතුව දේවාලයේ බිත්ති මත දොංකාර දෙන්නට ගනිද්දී, පිරිස දේවාලය තුළට ඇතුල් වූවා පමණි. ඇතුල් ගැබෙහි මැද එල්ලා තිබූ සුදුපැහැති තිරයක් මත ශෛලිගතව රූමත් දෙවිකෙනකුගේ රුව ඇද තිබුණි. ඒ දෙවියන් පසුපසින් සුදුවන් හංසයෙක් විය. දකුණතින් නෙලුමක් ගෙන සිටි නාථ දෙවියන්ගේ දෑසේ කරුණාර්ද්‍රබව මොනවට නිිරූපණය විය.

කපු මහතාගේ ආරාධනයෙන් ඔවුනට ඇතුලු ගැබට ගොස් දේව පිළිමය දැක බලාගෙන පූජාව ඔප්පු කරන්නට අවකාශ සැළසිණ. පූජාසනය මත සුදු පැහැ මල් කඳු ගසා තිබුණි. සුවඳ දුමින් සහ පොල්තෙල් පහන්වල මන්දාලෝකයෙන් දෙවොල තුළ වාතස්කන්ධය පිරී ගොස්... අනවරතයෙන් ගසන ලද සීනුවල මිහිරි හඩ, හා හේවිසි හඩ මැඬගෙන කපු මහතා ගේ යාදින්න ඇරඹුණේ ය 

“...සාධු සාධු සාධු... දොහොත් මුදුන් තබා වඳිමින් දෙපා නමැද වඳිමින් හුරු අත් නුහුරු කර වඳිමින් නුහුරු අත් හුරු කර වඳිමින් සැලකර සිටින්නේ සුභ්‍ර වර්ණ කීර්ති ධාරාවෙන් බැබලි බැබලී මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයෙන් තුසිතපුර ශීල සමාධීව වැඩ සිටීම අනාථනාථ වූ නාථ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස...” යනාදියෙන් ඇරඹුණු ඒ් කන්නලව්වට යුරෝපීයයා එතෙක් නොදැන සිටි සංස්කෘත හා දෙමළ වචන රාශියක් මුසු වී ගියේ ය.

පූජා භාණ්ඩ දැවැන්ත පිළිමයේ පා මුළ තැන්පත් කළ තරුණිය, වැඩිහිටියන් අනුව දෑත් එක්කොට ළය මත තබා වැඳගෙන, හිස ඔසවා දේව රූපය දෙස බලාගෙන, සිතින් පින් දුන්නා ය. දේවාලයේ ප්‍රධාන කපුමහතා ගැඹුරු හඬින්, යාදින්න කියන්නට පටන් ගනිද්දී ඇතුල් ගැබෙහි පිරුණු නිල්වන් සුවඳ දුමෙන්හි ද කපු මහතාගේ ඒකාතනමය හඬින් ද, තමන් සියුම් මායාකාරී මෝහණයකට නතු වන බව කුමාරිහාමි ට දැණින. නාථ දෙවි පිළිමය මඳින් මඳ වෙනස් වී යනු තරුණිය දුටුවාය. නිල් වන් ව වර්ණ ගන්වා තිබූ පිළිමය බිඳෙන් බිඳ තළෙළු සමෙහි පැහැයට හැරෙන්නට ගත්තේ ය. එහි ජටා මකුටයේ වූ කුඩා බුදු රුවෙන් විහිදෙන්නට ගත් සුදුවන් සෞම්‍ය ආලෝකයෙන්, දේව රූපයේ මුහුණ ආලෝකවත් කෙරුණි. ඒ මුහුණ, තමන් කොතැනදී හෝ දැක පුරුදු බව ඇයට දැණුන ද, ඇයට එය සිහිපත් කර ගැනීමට නොහැකි විය. කරුණාවෙන් හා දයාවෙන් පිරුණු ඒ මුහුණ පහතට හැරවුණි. එහි දෙනෙත් එක එල්ලේම යොමු වුණේ ඇගේ දෑස් වෙත ය.

අඩ අවදියෙන් පසුවූ ඇගේ මනසෙහි එක් වරම විදුලිය රේඛාවක් ලෙස කෙටුණේ, දේව රූපයේ මුහුණ ඊට පෙර දුටු අවස්ථාව ය. එදා ඈ ගල් ලෙණෙහි වැතිර සිටියදී, ඔවුන්ගේ ගැළවුම්කාරයා දෙතොළට ඇඟිල්ල තබා නිහඬ වන ලෙස සංඥා කළ අවස්ථාව.... පෞරුෂයෙන් ද, කරුණාවෙන් ද, ආදරයෙන් ද පිරුණු ඒ මුහුණ ය, ඈ නාථ දෙවියන්ගේ රූපය ලෙස දුටුවේ.

ඈ නැවතත් දේව රූපය දෙස බැලුවේ එය සනාථ කරගැනීම ට ය. ශෛලිගතව අඹන ලද පිළිමයේ නිල්වන් මුහුණෙහි ඈ හට හඳුනාගැනීමට හැකි කිසිදු ලක්ෂණයක් නොවී ය.

-----------------------------------------------------------

"රාසිං දෙවියන් ගේ වාසලට තමුන්නාන්සේ ගේත්, තමුන්නාන්සේ ගේ භාරයේ සිටින රැඳවියාගේත් පැමිණීම අණ කර සිටිනවා!" 

රජවාසලේ පණිවිඩකරු ධනසේකර මුදලිතුමා වෙත සැළකර සිටියේ ය. 

වැඩිපුර බලපු ලිපි