මෞයි අහස උඩට ඉස්සූ හැටි
| http://78.media.tumblr.com/2f955239197f9f2648a3fa5ed4394491/tumblr_inline_on4vp3QONj1r8a94o_500.gif |
හවායි දූපත් වල තියෙන පුරාවෘත්තයෙ හැටියට ඉස්සර
කාලෙ අහස තිබුණෙ පොළොවට හොඳටම ළඟින්. පැළෑටි වැවෙන්න පටං ගනිද්දි, අහසෙ බරට එව්වයෙ
කොළ පැතළි වුනා. දැනටත් ගස්වල කොළ පැතළිවට පළල්වට පිහිටල තියෙන්නෙ ඒ නිසයි.
පැළෑටි ටිකෙන් ටික වැවෙද්දි, අඟිලින් අඟල අහස උඩට
ඉස්සුනා. එහෙම ලැබුණු පොඩි අවකාශයෙ මිනිස්සුන්ට බඩගාගෙන තැනින් තැනට යන්න පුළුවන්
උනා.
ඔහොම ගොඩක් කල් ගියාට පස්සෙ දවසක් මෞයි ඇවිත්
ගෑණු කෙනෙකුට කිව්ව, “මට ඔයාගෙ ලබු කැටෙන් බොන්න වතුර ටිකක් දෙන්ඩ. මං අහස උඩට
උස්සන්නං“ කියල. අර ගෑණු කෙනා එයාගෙ ලබු කැටේ මෞයිට දුන්න. එයා ලොකු උගුරක් බීලා,
අහසට පිට තියලා ගස්වල මට්ටමට විතර යනකං ඉස්සුවා. ඊට පස්සෙ එයා අත් දෙක උස්සලා අහස
අල්ලගෙන කඳු මුදුනට යනකං නැග්ගා. කන්ද මුදුනෙදි එයා ගොඩක් වීරිය අරං, අහස පුළුවන්
තරම් උඩට තද කරලා දැන් අහස තියෙන මට්ටමේ රැඳෙව්වා.
මේ කටයුත්ත බලං හිටපු මනුස්සයෙක් අමාරු වැඩක්
කරන්න මෞයි මහන්සි වෙන එක ගැන විහිළු කළා. මෞයි අහස ඉහළ රඳවලා ඉවර වුනාට පස්සෙ අර
මනුස්සයා හොයාගෙන ආව, දඬුවම් කරන්න. ඒත් ඒ මනුස්සයා පැනල දිව්වා, දූපතේ
අනිප්පැත්තට. මෞයිත් අත් අරින්නැතුවම පස්සෙං පන්නගෙන ගිහිං, අන්තිමේ මුහුදු
වෙරළෙදි අල්ලගත්තා. (දැන් හවායි දූපත් වල මෞයි දූපතේ පිහිටා තියෙන ලහායිනා නගරයට
කිට්ටු වෙරළෙදි තමයි අල්ලගත්තෙ) එතනදි මෞයි මායා බලයෙන් අර මනුස්සයා කළුපාට ගළක්
බවට පත් කළා. ඒ හිරය දැන් හඳුන්වනව Black rock beach කියල.
මනිහිකි දූපත් වල තියෙන කතාවට අනුව, මෞයි එයාගෙ
තාත්තා රූ එක්ක එකතු වෙලා අහස උඩට ඉස්සුවා. රූ දකුණු පැත්තෙනුයි, මෞයි උතුරු
පැත්තෙනුයි උස්සල, අහස උඩ රැඳෙව්වට, දෙන්නගෙ උත්සාහය සමාන උනේ නැති නිසා අහස රැළි
ගැහුන. ඒ ගමන දෙන්නම ලොකු ගල් ආයුධ වලින් (adze කියල කියන
මේ ආයුධේ වෑයක් වගේ. හැබැයි තනි අතින් පාවිච්චි කරන්නෙ. ඉතිං අත් පොරොව කියනව වගේ
මේකට අත් වෑය කියන්න පුළුවං.) රැහැළ රැහැළ, ඊටපස්සෙ පොඩි ආයුධ වලිං සුමට කරල,
පොළොවට ඉහළින් අරුක්කුව වගේ හිටින්න අහස හැඩ ගැස්සුවා.
මෞයි ගින්දර හොයාගත්ත හැටි
දවසක් මෞයි ඔරුවෙ නැගල මාලු අල්ලන්න ගියා එයාගෙ
සහෝදරයො තුන් දෙනා එක්ක. මුහුදෙ ඈතට ගිහිං මාලු අල්ලද්දි මෞයි ආපහු ගොඩබිම දිහා
බැලුව. එතකොට එයා දැක්ක කඳු මුදුනෙ ගින්නක් තියෙනව. එයා අයියලට කිව්ව අපි අල්ලපු මාලු ටික
උයාගෙන කමු කියල. එහෙම තීරණය කරල කට්ටිය ඔරුව ආපහු ගොඩබිමට ගෙනිච්ච.
ඔරුවෙන් බැහැපු සහෝදරයො හතර දෙනා අර ගින්න දැකපු
තැන හොයාගෙන කන්ද නැගගෙන උඩට ගියා ඒ යද්දි ඒ අය දැක්ක, මඩ කිකිලියො (mud hen) පවුලක් එකතු වෙලා දරකෝටු පහුරු ගානව. ඒ පහුරු
ගාන තැන් වලින් ගින්දර ඇවිලෙනව. මෞයි ගෙ කට්ටිය දැකපු අර කුරුල්ලො ටික ගින්න නිවල
ඉගිල්ලිලා ගියා. මෞයි යි අයියලයි කොච්චර උතසාහ කළත් අර කුරුල්ලො වගේ ගින්දර
අවුලගන්න බැරි උනා.
![]() |
| https://bloximages.chicago2.vip.townnews.com/thegardenisland.com/ content/tncms/assets/v3/editorial/f/36/f36c9c3d-f5ed-5382-b57a-7c9a8486e606 /4d479daf26189.image.jpg?resize=593%2C619 Mud Hen කුරුල්ලෙක් |
ඉතිං ඒ අය අනික් දවසක ඇවිත් ඒ අවට
හැංගිලා හිටියා. අර මඩ කිකිලියො ටික ඇවිත් කන්ද මුදුනෙ ඉඳල මුහුද දිහා බලල, “අර
ගොල්ලො මුහුදු ගිහිං නෑ. අපි ගින්දර අවුලන හැටි බලන්න එයි. ඒ නිසා ගින්දර
අවුලන්නැතුව ඉමු“ කියල තීරණය කළා.
ඔහොම ටික දවසක් ගියා. මෞයි අයියලත්
එක්ක මුහුදු ගිය දවසට කන්ද මුදුනෙ ගින්න ඇවිලෙනව. ගොඩබිම ඉන්න දවසට ගින්න නෑ.
දවසක් මෞයි කිව්ව, අයියලට “ඔයාල මුහුදු
යන්න. මං හැංගිලා බලාගන්නම් මඩ කිකිලියො ගින්දර හදන හැටි“ කියල. එහෙම කියල එයා
කන්ද මුදුනට ගිහිං හැංගුනා.
එදා කිකිලියො ටික ඇවිත් මුහුද දිහා
බලල, ඔරුවෙ ඉන්න කට්ටිය ගැන්න. ගැනල, “ඔරුවෙ තුන් දෙනයි ඉන්නෙ. අනිකා ගොඩබිම
හැංගිල ඇති“ කියල ඉගිල්ලිල ගියා.
පස්සෙ මෞයි කරපු දේ, අනික් දවසක කපා
රෙද්දක් (හවායි ස්වදේශිකයො වියන රෙදි විශේෂයක්) රෝල් කරල මනුස්සයෙක් වගේ පේන්න
ඔරුවෙ රැඳෙව්වා. ඒ කරල අයියලට ඔරුව මුහුදට ගෙනියන්න කියල එයා කන්ද මුදුනෙ හැංගුනා.
එදත් මඩ කිකිලියො ටික කන්ද මුදුනට
ඇවිත්. ඔරුවෙ ඉන්න අය ගැන්න. එදා හතරයි. ඉතිං ඒ අය ගින්න අවුලන්න දර එකතු කරන්න පටංගත්ත.
හැංගිලා හිටිය මෞයි දැක්ක එතන ඉන්න වයසකම කිකිලි ඒ දර වලින් එක්තරා කෝටු ජාතියක්
වෙන් කරල ගන්නව. එයා පැනපු ගමං අර කිරිල්ලි අල්ලගත්ත. කොච්චර තදිං ඇල්ලුවද
කියනවනං, මඩ කිකිලි හිතුව ඌ මරන්න හදනව කියල. ඌ කිව්ව “මාව මැරුවොත් ගින්දර අවුලන
රහසත් මාත් එක්කම නැති වෙලා යයි“ කියල.
මෞයි පොරොන්දු උනා එයාට ගින්දර හදන
හැටි කියාදුන්නොත් මරන්නැතුව අත්අරිනවය කියල.
ඒගමන මඩ කිකිලි කිව්ව, දියාලු ගස්වල
අතු (දිය කූඬළු වගේ) එකට අතුල්ලන්න කියල. මෞයි මඩ කිකිලිව කූඩුවකට දාල, දියාලු ගස්
අතු දෙකක් එකට ඇතිල්ලුව. ඒක අතුල්ලන්න අතුල්ලන්න වතුර මිසක් ගින්දර නං ආවෙ නෑ. ඒ
ගමන මෞයි මඩ කිකිලිව අල්ලගෙන බෙල්ල මිරිකුව.
මඩ කිකිලි කෑ ගැහුව “නෑ නෑ... දියාලු
ගස් නෙවෙයි, වතුරෙ හැදෙන තණගස් ගැන කිව්වෙ“ කියල. ඒ ගමන මෞයි එව්ව අරං අතුල්ලන්න
ගත්ත. තණ ගස් නැමිල කැඩිලගියා. ඒ ගමන මෞයි ආපහු සැරයක් අර මඩ කිකිලිගෙ බෙල්ල
අඹරවන්ඩ ගත්ත.
මඩ කිකිලි කෙඳිරි ගාල කිව්ව, “මං
ගින්දර හැංගුවා කොළපාට දඬුවල“ කියල. මෞයි ඒකට අනුව අමු කෝටු අරං තද කරල අතුල්ලන්ඩ
ගත්ත. ඒත් මොනවත් උනේ නෑ. මීළඟ පාර මෞයි මඩ කිකිලි ගෙ බෙල්ල කරකවද්දි ඒ කිරිල්ලි
වේලිච්ච කෝටු වගයක් නම් කළා.
ඔය විදිහට මෞයි ගස් වර්ග ගණනාවක් පහු
කළා. මඩ කිකිලිගෙ පණත් යන්න ඔන්න මෙන්න තත්ත්වෙට පත්වුනා. අන්තිමේ මෞයි හරි කෝටු
වර්ගය හොයාගෙන, ගින්දර අවුලගත්තා.
“තව එක දෙයක් තියෙනව අතුල්ලන්න“ කියපු
මෞයි ගිනි ඇවිලුනු කෝටුවක් අරං අර මඩ කිකිලිගෙ ඔලුවෙ ඇතිල්ලුව. ඒකෙන් කිරිල්ලිගෙ
නළලෙ පිහාටු ඔක්කොම හැලිලා, තද රතුපාට උනා.
තවත් පොලිනීසියන් කතාවකට අනුව, මෞයි
හවසක කෑම හෙම කාල ඇලවෙලා ගිණි මැලේ දිහා බලං ඉන්න ගමන් හිතුන, කොහොමද ගින්දර
ඇතිවෙන්නෙ කියල හොයාගන්න ඕනෙ කියල. ඒ කාලෙ මිනිස්සු ගින්දර අවුලන්න දන්නෙ නෑ. අකුණකිං හරි ලැව්ගින්නකින් හරි ඇවිලුණු ගින්නකින් පෙනෙල්ලක් අවුලගෙන, ඒකෙන් ගිණිමැලයක් හදාගෙන, ඒ ගින්න නිවන්නැතුව දිගටම තියාගන්න එකයි ඒ දවස් වල මිනිස්සු කළේ. මෞයිගෙ සිතුවිල්ල කොච්චර දුර ගියාද කිව්වොත්, එයා
එදා රෑ මුලු දූපතේම තිබ්බ ගිනිගොඩවල් නිමල දැම්ම. පහුවදා ඇහැරපු ගම්මු, හරිම
ගැටළුවකට මුහුණ පෑව. පස්සෙ ඔක්කොම ගිහිං ඒ අයගෙ රංගටිරා හෙවත් මහළු උපදේශක වරිය
වුනු ටරන්ගා ගෙන් ඇහුවා මොකද කරන්නෙ කියල. ටරන්ගා කිව්වා, “මෞහිකා දෙවඟනගෙන්
ගින්දර ඉල්ලගෙන එන්ඩ කාව හරි යවන්න වෙනව“ කියල.
මෞයි ගෙ ආදී මිත්තණියක් වුනු මෞහිකා
හිටියෙ ලෝකෙ කෙළවරේ තිබුණු, ගින්දර පිරුණු කන්දක් ඇතුළෙ. ඉතිං කවුරුවත් එහෙ යන්න
ඉදිරිපත් වුනේ නෑ. ඒකෙන් මෞයිට එහෙ යන්න අවස්ථාව ලැබුණා. එයා අම්ම කියාදීපු විදිහට
ගින්දර කන්ද හොයාගෙන ගියා. ඒ කන්ද උෂ්ණෙට රතුපාටින් දිළිසෙනව. ඒ කන්දෙ පාමුළ
තිබුණු විවරයකින් මෞයි ඇතුළට ගියා. යනකොටම මෞහිකා මතුවුනා. එයාගෙ ඇඟේ හැම තැනක්ම
ගිණිගන්නව. කෙස් වෙනුවට ඔළුවෙ තිබුණෙ එකම ගිණි ගොඩක්. ඇස් වෙනුවට තිබුණෙ කළුපාට
විවර දෙකක්. එයා ඉව කරල බැලුව.
“මම මෞයි-ටිකිටිකි-අ-ටරන්ගා. “ කිව්වම
මෞහිකා තමංගෙ මී මුණුපුරා අඳුනගත්තා. එයාගෙ ඉල්ලීමට කන්දීලා ගිනි දෙවඟන එයාගෙ එක
නියපොත්තක් ගළවල මෞයිට දුන්න අරං යන්න, ඒකෙන් ගින්දර අවුලගන්න කියල.
ඒත් මෞයි ට ඕනෙ උනේ ගින්දර ඇතිකරන්නෙ කොහොමද කියල ඉගෙන ගන්න. ඉතිං මගක් දුරට ඇවිත් එයා අර නියපොත්ත විසි කළා. විසිකරල,
ආපහු ගියා මෞහිකා ගාවට. ගිහිං කිව්ව, අර නියපොත්ත වතුරට වැටුණ කියල. ඒ ගමන දෙවඟන
තව නියපොත්තක් ගළවල දුන්න.
ඔය විදිහට නියපොතු දහ නමයක්ම ඉවර උනාට
පස්සෙ මෞහිකාට කේන්ති ගියා. එයා මෞයි ගින්දරෙං වටකළා. මෞයි උකුස්සෙක්ගෙ වෙස් අරගෙන
අහසට නැගුනා. ඒත් ගින්දර කොච්චර ඉහළට නැගුනද කිව්වොත්, උකුස්සගෙ පියාපත්වල යටපැත්ත
ගින්දර සැරට රතුපාට උනා.
ඒ ගමන මෞයි වතුරට පැන්නා. ඒත් ටික
වෙලාවකින්ම වතුර උණු වෙලා නටන්න ගත්තා.
ඊට පස්සෙ එයා තමංගෙ තවත් ආදී මීමුත්තෙක් වුනු
ටාව්හිරිමාටියා හෙවත් වැස්ස දෙවියන්ගෙ උදව් ඉල්ලුවා. ටික වෙලාවකින්ම ලොකු වැහි
වළාකුළු ඇවිත් අහස වැහුණා. වැස්ස වහින්න ගත්තා. ගින්දර අඩුවෙලා මෞහිකාගෙ කන්දෙ
රතුපාට නැති වෙලා ගියා.
ඒත් එයාට කේන්තියි. එයා අන්තිම නියපොත්ත
ගළවල අරං මෞයිට දමල ගැහුව. ඒක ඉළක්කෙ වැරදිලා ගිහිං මහෝ (Mahoe), ටෝටරා (Tōtara), පටෙටෙ (Patete), පුකටෙ (Pukatea) සහ කයිකෝමකො (Kaikōmako) ගස් අතරට වැටුණා. මෞහිකාගෙ ගින්දර දිව්‍යමය
තෑග්ගක් විදිහට බාරගත්ත ඒ ගස්, ගින්දර ආරක්ෂා කරගත්තා.
මෞයි ආපහු ගමට ගියෙ ගින්දර අරගෙන
නෙවෙයි. එයා ගෙනිච්චෙ වේලිච්ච කයිකෝමකො ලී කෑලි ටිකක් විතරයි. ඒව එකට අතුල්ලල ගින්දර
මතුකරගන්න හැටි මෞයි මිනිස්සුන්ට කියාදුන්න.
ගින්දර අවුලගන්නෙ කොහොමද කියන එක මිනිස්සුන්ට
හොයල දෙන්න මෞයි තමංගෙ ජීවිතය අනතුරේ දාගත්තෙ එහෙමයි. දැනටත් හවායි දූපත් අසළ
ජීවත් වෙන උකුස්සන්ගෙ පියාපත් වල යට පැත්ත රතුපාටයි. මෞයි ගෙ ඒ ත්‍රාසජනක වික්‍රමය
නිසා.
මෞයි ගෙ තවත් ත්‍රාසජනක කතා ටිකක් මීළඟ කොටසින් ලියන්නම්. (මේක ඉවරයක් නැති වැඩක් වගේ)
මූලාශ්‍ර
http://www.sacred-texts.com/pac/maui/maui06.htm
www.sacred-texts.com/pac/maui/maui08.htm
http://eng.mataurangamaori.tki.org.nz/Support-materials/Te-Reo-Maori/Maori-Myths-Legends-and-Contemporary-Stories/How-Maui-brought-fire-to-the-world







