Tuesday, July 12, 2016

හතර බීරි කතා - ජන කතා ඇසුරිනි

පහුගිය දාක (ඒ කියන්නෙ අවුරුදු පහ හයකටත් කලින් දාක) අපි (අශෝක හෙවත් අර දේවාරූඪයෙන් ටීවී හදන පොර සහ රංග වික්‍රමසිංහ සමඟ මම) දොම්පෙ ගියා. අපි ගියෙ කේන්දර බලන කෙනෙක්වත් හම්බවෙන්ඩයි. පොරගෙ ගෙදර තියෙන ඉසව්ව ගැන හරි මතකයක් නොතිබුණ නිසා අපි පාරෙ ගිය පොරක්ගෙං පාර ඇහුව. උන්දැ අපිට කියපු පාර හරියටම අනුගමනය කරපු අපි, ඒ කියපු කියපු හන්දි වලිං කියපු කියපු පැත්තට හැරි හැරී, කියපු කියපු මඟ සළකුණු ෆලෝ කරගෙන කරගෙන ගිහිං අන්තිමේ නතර වුනේ,....

අරූ ගෙං පාර අහන්න නතර කරපු තැනමයි.

“දොම්පෙට යන පාර කියල ජන කතාවක් තියෙන්නෙ නිකං නෙමෙයි...“ කියල අශෝක කිව්ව.

නොදන්නා කවුරු හරි ඉන්නවනං, මෙන්න ඒ කතාව.

දවසක් එක මනුස්සයෙක් දොම්පෙට යන්න පිටත් උනා. ඒ දවස්වල ගමන බොහෝ විට පයිං. ගොඩක් දුර නං තවලමක් එක්ක යන්න පුළුවං, ඒත් පයිම්ම තමා.

ඔහෙම යද්දි මේ මනුස්සයට පාර වැරදුනා කියල හිතුන. ඉතිං එයා ඉස්සෙල්ලම හම්බෙන මනුස්සයගෙං පාර අහනව කියල හිතාගෙන ඉස්සරහට ගියා.

ඔහොම යනකොට එයාට හම්බුනා හේනක්. ඒකෙ සරුවට වැවිල තිබ්බ බතල ගාළක් ළඟ උන්න ගොයියෙක්. අර මනුස්සයත් ගොයිය ගාවට ගිහිං,

“ආයිබෝං! දොම්පෙට යන පාර පොඩ්ඩක් මට කියනවද?...“ කියල ඇහුව.

“ආ... බතල ද? හොඳට බැහැල තමා තියෙන්නෙ. හාරල දෙඤ්ඤං. කොච්චරක් විතර ගන්ඩද?“ ගොයිය ඇහුව.

“බතලෙයක් නෙමෙයි ආයිබෝං. දොම්පෙ දොම්පෙ...“

“හරි හරි ඉතිං. හාරල දෙඤ්ඤං. එච්චර වෙලාවක් යන්නෑ. හාරපුව නෑ. නරක් වෙයි කියල හෑරුවෙ නැත්තෙ...“

මේ යකා නං බීරෙක් කියල හිතාගත්ත මගිය, වට පිට බලද්දි දැක්ක ගොයියගෙ මහගෙයි, එයාගෙ දුවයි එනව ගොයියට තේ අරං.

එක්කො මං මහගෙ ගෙං අහගන්නව කියල හිතාගෙන පොර ඉස්සරහට ගිහිං ගම මහගෙ ගෙං ඇහුව දොම්පෙට යන පාර.

“මං හොඳ ගල්ලැහැ පැදුරක් නං වියල ඉවර කළා විතරයි.“ මහගෙ ගත් කටටම උත්තර දුන්න. “...සායං දාන්න විතරයි තියෙන්නෙ...“

දෝනියන්දැ අත කටිං වහගෙන හිනාවෙලා අහක බලා ගත්ත.

මේ උන්නංදැත් බීරියි කියල හිතපු මගිය, දුවට කිට්ටු වෙලා අහනව,

“...මේ නංගි ඔයාවත් කියනවද දොම්පෙට යන පාර?“

“අනේ මංද අයිය, මං දන්නෑ තාත්ත මොනව කියයිද කියල. අපේ නං අමනාපයක් නෑ...“ නගා ඇදල පැදල එහෙම කියල හේනෙ පැළට දුවල ගියා.


-----------------------------

මේ වගේම හතරබීරි කතාවක් බුරුම ජනකතා අතරෙ තියෙනව. ඒක නං ඔරිමජිනල් හතර බීරි කතාවක්. එහෙම කිව්වෙ හතර දෙනෙක්ම ඉන්න නිසා...

බුරුමෙ පන්සලක ලොකු හාමුදුරුවො පොඩි හාමුදුරු කෙනෙක්ට කිව්ව,

“ගමට ගිහිං දුංකොළ කෑල්ලක ඉල්ලං එන්ඩ උන්නාන්සෙ...“ කියල.

පොඩි හාමුදුරුවංගෙ කණ පොඩ්ඩක් ඇහෙන්නෑ. එයාට ඇහුනෙ, ගමට ගිහිං වෑඤ්ජනයක් ඉල්ලං එන්ඩ කියල කිව්ව වගෙයි.

ඉතිං උන්නාන්සෙ ගමට ගියා. ගිහිං පාර අයිනෙම තිබුණ, අත්යන්ත්‍ර රෙදි වියන වැඩපොළක් එක්ක ගෙයක්. එතන ගෑල්ළමේකුත් උන්න. පොඩිනම අර ගෑල්ළමෙයට කිට්ටු වෙලා කිව්ව,

“පිංවතිය, පන්සලේ දවල් දානෙට මාළුවක් පූජා කරන්ඩෙයි කියල ලොකු හාමුදුරුවො කියනව...“ කියල.

ගෑල්ළමෙයගෙත් කණ හොඳටම ඇහෙන්නෑ. එයා හිතුවෙ එයාගෙ රෙදි වැඩපොළ සල්ලිවලට ගන්ඩ අහනව කියල.

“රෙදි වැඩපොළ රන්කාසි සීයයි...“ එයා රෙදිවැඩපොළට අත දික්කරල කිව්ව.

“හරි හරි ඕකට කෑගහන්ඩ ඕනෙය? “ පොඩි හාමුදුරුවො කිව්ව. “පිංවතියට වැඩ නං මංම ගිහිං ගන්නං“

පොඩිනම ගෙදර කුස්සියට ගිහිං උයල තිබ්බ වෑඤ්ජනයක් හට්ටිය පිටිම්ම අරං ගියා.

කෙල්ලට හරි ප්‍රශ්නෙ මේක. එයා ගිහිං අම්මට කිව්ව,

“අම්මෙ හරි වැඩේ නෙ. අද පන්සලේ පොඩි හාමුදුරුවො ඇවිත් මගෙ රෙදි වැඩපොළ සල්ලිවලට ගන්ඩ අැහුව. මං ඒකෙ ගාණ කිව්ව විතරයි උන්නාන්සෙ කුස්සියට වැඩල හට්ටියක් උස්සගෙන වැඩ්ඩ...“

අම්මට කේන්ති ගියා.

“උඹට තව වයස තියෙනව මගුල් ගැන හිතන්ඩ. ඒක කල වයස ආවම තාත්තයි මායි තීරණය කරන්නං. උඹ උඹේ වැඩක් කරගෙන ඉඳපං...“ අම්මත් බීරියි.

කෙල්ලට බැණල බැණල අම්ම ගියා තාත්ත ගාවට, වාර්තාකරණය උදෙසා. කෙල්ලගෙ තාත්තා රස්සාවට කරන්නෙ බටපොතු වියන එක. ගිහිං අම්ම කියනව තාත්තට,

“බලන්ඩකො ඒයි. අපේ දුවට දැම්මම මගුල් විසේ ඉහට ගහලනෙ. දැං කාලෙ හැදෙන එව්වො නං...“

තාත්ත හිනා වුනා.

“ඉතිං තමුසෙටම නෙ වැරදිල තියෙන්නෙ...“ තාත්ත කිව්ව. “...වට්ටියක්නං රවුං, බටපොතු පෙට්ටියක් නං හතරැස්...“

තාත්තත් බීරියි.

------------------------------------

බීරි කතාවක් නොවුනත්, හස්ත මුදා සංවාදයක් ගැන සෙන් කතාවක් තියෙනව, ඒකත් මතක් වෙච්ච වෙලේ ලියා දාන්න හිතුනෙමි.

එක්තරා පන්සලක ලොකු හාමුදුරු කෙනෙකුත් පොඩි හාමුදුරු කෙනෙකුත් හිටියා. ඒ පොඩි හාමුදුරුවන්ගෙ එක ඇහැක් අන්ධයි.

ඒ පන්සලේ නියමයක් තියෙනව, ඒ පන්සලේ කවුරු හරි ආගන්තුක හාමුදුරු කෙනෙක් නවාතැන් ගන්ඩ එනවනං, එයා ඒ පන්සලේ හාමුදුරු කෙනෙක් එක්ක වාද කරල දිනන්න ඕනෙයි කියල.

ඔන්න දවසක් එහෙම ආගන්තුක හාමුදුරු කෙනෙක් ඇවිදිං නවාතැන් ඉල්ලුව. එයාට අර ඉහත නීතිය පැහැදිලි කරල දුන්න ලොකු හාමුදුරුවො, වාද කිරීම පොඩි හාමුදුරුවන්ට භාර දුන්න.

ලේසියෙන් දිනන්න හිතාගෙන පොඩිහාමුදුරුවො ආගන්තුක නමට කිව්ව, මේ වාදය කෙරෙන්නෙ හස්ත මුද්‍රාව‍ෙන්ය කියල.

එහෙම එකඟ වෙලා දෙන්නම වාද කරන සාලාවට ගියා.

ටිකකින් අර ආගන්තුක හාමුදුරුවො තමංගෙ ගමන් මල්ලත් අරං ලොකු නම මුණගැහ‍ෙන්ඩ ඇවිත්, වැඳල යන්ඩ පිටත් වුනා.

“මං පරාදයි.“ එයා කිව්ව. “ඔබතුමන්ගෙ ගෝල නම හරිම දක්ෂයෙක්.“

“කොහොමද වාදය සිද්ධ වුනේ?“ ලොකු හාමුදුරුවො ඇහුව.

“මෙහෙමයි.

“ඔන්න මම එක ඇඟිල්ලක් එයාට දික්කළා. ඒකෙන් මම අදහස් කළේ අපි හැමෝගෙම ශාස්තෘවරයාණන් වන බුදුන් වහන්සෙ.

“එතකොට පොඩි නම ඇඟලි දෙකක් දික් කළා. එකෙන් එයා අදහස් කළා බුදුන් සහ සද්ධර්මය.

“එතකොට මම ඇඟිලි තුනක් දික් කළා. එකෙන් මම අදහස් කළා බුදුන්, දහම් සහ සංඝයා වහන්සේ.

“එතකොට පොඩි නම, ඒ තුනම එකට සම්බන්ධ, වෙන්කළ නොහැකි කාරණා බව කියාපන්න, අත මිටමොළවලා දික්කළා...“

කියල ආගන්තුක හාමුදුරුවො යන්න ගියා.

එතකොටම එතනට හයි හයියෙං වැඩමකළා පොඩි නම.

“හඃ... කෝ අරූ...?“ උන්නාන්සෙ කේන්තියෙන් ඇහුවා.

“පොඩ්ඩක් ඉන්ඩ පොඩ්ඩක් ඉන්ඩ...“ ලොකු හාමුදුරුවො ගෝලයව සන්සුන් කළා. “...මොකද උනේ?“

“මොකද උනේ තමයි...!“ පොඩි නම වාඩිවෙලා කියන්ඩ ගත්ත.

“ඔන්න අර හාදය වාදය පටංගන්ඩ, මට තියෙන්නෙ එක ඇහැයි කියන්ඩ එක ඇඟිල්ලක් දික් කළා.

“මට යකා නැග්ග. ඒත් මං ඉවසුව. ඉවසගෙන මං, කමක්නෑ ඔහේට ඇස් දෙකක් තියෙනවනෙ කියන්ඩ මං ඇඟිලි දෙකක් දික් කළා.

“ඒ ගමන මූ, අපි දෙන්නටම තියෙන්නෙ ඇස් තුනයි කියන්ඩ ඇඟිලි තුනක් දික්කළා කියනවකො...!

“මට මළ පැනල, උගෙ හොම්බට අනින්ඩ අත මිටමො‍ළෝල ගත්ත විතරයි, ඌ  පැනල දිව්ව...“

ප/ලි

තවමත් මගේ ඉන්ටර්නෙට්ටුව හරියාකාරව වැඩ නොකරන හෙයින් (අමාත්‍යාංශයේ අයිසීටී ඔපිසර තැනද මාගේ පරිගණකය පරීක්ෂා කර බැලුවාය. ඇයටත් මගේ නිල ජල පහසුකම හදා දෙන්නට බැරි විය.) මගේ බොක්කේ ෆිට් උදවියගේ බ්ලොග් කියවීම අම්බානක මිස් උනේය. ඒ ගැන මට මං ගැනම දුකය.


Wednesday, June 22, 2016

හක වස්තුව - the journey of the Valampuri

http://maxuncommon.weebly.com/uploads/2/6/9/1/26919294/1321652_orig.jpg

මේ පෝස්ටුව අතිශයින්ම අවර ය. අර පමණක් අය වැඩිහිටියන්ට පමණකි නැත්නම් 18+ කියා ලේබල් කරන වර්ගයේ එකකි. එහෙයින්, මෙය නොඉවසන පාඨකයෝ, හොරෙන් කියවීම සහ නිර්නාමිකව අදහස් දැක්වීම හැරුණු කොට, මෙම පෝස්ටුව මගහැර, මා මීළඟට පළ කරන ලිපිය කියවීමට සටහන් කරගෙන හැරී යාම මැනවි.

තුන් යහළු වික්‍රමය (ප්‍රවේශ කතාව)

http://images.mid-day.com/2013/dec/Chashmebuddoor.jpg


(ප්‍රධාන කතාවට කිසි සම්බන්ධතාවයක් නැති කවි පද දෙකක් හෝ හතරක් එහෙමත් නැත්නම් ගාථාවක් හෝ කතාවක් කියා, කතාවක් පටං ගැනීම අපේ චිරාත්කාලීන සම්ප්‍රදායකි. මේ කතාව ලියන්නේ ඒ අඛණ්ඩ, ලාංකේය සම්ප්‍රදාය රැකීමට ය. වල් අලි මරා හෝ සම්ප්‍රදාය රැකිය යුත්තේ ය. නැත්තං සිංහල ජාතිය වඳ වෙන්නේ ය.)

ලෙත්තේ, ලෙයියේ සහ පාම්බේ ගජ යාළුවෝ ය. දවසක් උන් ‍තුන් දෙනා උංගේ තවත් බොක්කෙ ෆිට් එකක් වන ඇම්බේ මුණගැහෙන්නට උගේ ගෙදර යන්නට පිටත් උනෝ ය.

කොහොමත් කොල්ලො තුං දෙනෙක් සෙට් උනාම බහුලව කෙරෙන දේ වන්නේ, දෙන්නෙක් එකතු වී අනිකාව චාටර් කිරීමය. මේ ගමනේදී ද ඒක ඒ හැටියෙන්ම කෙරුණේ ය. වැඩියෙම්ම චාටර් උනේ, චාටරය ඉවසන්නට බැරි ලෙයියේ ය.

පාර අයිනේ පොඩි මුඩුක්කු දේවාලයක් තියෙනවා යාළුවන් තුන් දෙනා දැක්කේ මේ අතර ය. ළඟ කඩේකින් පොල්ගෙඩියක්ද අරං දේවාලයට රිංගූ ළාමක ලෙයියේ පළි ගැහුවේ තමං චාටර් කරන එවුන්ට හත්පොළේ හැඳිගෑවෙන්ඩ ය.

අනික් උං දෙන්නට මේ වැඩෙං තවත් ආතල් ය. මේක මතක් වෙන මතක් වෙන පාරට ලෙත්තේ හූ කීවේය. පාම්බේ කොක දාගෙන හිනා වුනා පමණකි.

කොහොමිං කොහොමිං හරි තුන්දෙනා ඇම්බේ ගේ ගෙට සේන්දු වුනෝ ය. උං යාළුවාට කතා කරද්දී, ඇම්බේ කිතුලේ ය. රා මදින්නට ගොහිනි.

හක වස්තුව

(මේක ඉතිහාස කතාවක් ය. මං මේක ලියන්නේ මූලාශ්‍ර සහිතවය. ...එහ්හ්හ්හෙනං! ය...)

මහාසම්මත මනු කුළයෙන් ඔක්කාක රාජ වංශයෙන් පැවතෙන, තම කුළ පරම්පරාවෙන් මිහිකතට ස්වාමීත්වය දරණ, සූර්ය වංශයට සූරියකාන්ත මලක් වැනි, චන්ද්‍රවංශයට තරුවක් බඳු, නයි-ක ශ්‍රීන් විරාජමාන මහරජ්ජුරුවන්ගේ (රජාට නමක් දාන්නට බැරි නිසා වන්නම් කීපයක් මුලිං එකතු කළෙමි. කියවන්නන්ට නම මගඇරීමට මං කළ කපටිකම නොපෙනේවා!!!) හරක් පට්ටිය භාර නිළමෙ කෙනෙක් උන්නේ ය. උන්නැහේ පට්ටම් තකා වත්, පඩි තකා වත් නොව, හුදෙක් රාජකාරිය දේවකාරිය වසයෙන් සළකා සූර වීර වික්‍රමයෙන් හරක් බලාගන්නා නිසා, එයාගේ රාජපාක්ෂික භාවය ගැන සතුටු වූ මහරජ්ජුරුවෝ ඒ නිළමෙට මුකදාන නම් අභිධානයක් පටබැඳ රටේ ඉහළම පූජනීය වස්තුව වූ වමට කැරකුණු හක්ගෙඩියක් ප්‍රදානය කළ සේක. මතු කියවෙන්නේ ඒ හකේ කතාවය.

https://nawammawatha.files.wordpress.com
/2011/10/31-10-2011.jpg?w=630
හරක් පට්ටිය බලාගන්නා නිසා මුකදාන නිළමේ රටේ ප්‍රසිද්ධ වුනේ පට්ටියෙ මුකදාන නිළමෙ කියා ය. උන්දෑ ඔය තමුන්ට රජාගෙන් ලැබුණු හක ගැන කොච්චර ආඩම්බර උනාද කියතොත් යන යන හැම තැනම හක පං මල්ලෙ දාගෙන අරං ගියේ ය. නාන්ඩ ගඟට ගියෙත් පං මල්ලෙ හක අරගෙන ය.

දවසක් නාන්ඩ ගියපු නිළමෙ, හක සහිත පංමල්ල ගං ඉවුරේ තියා ගඟට බැස්සේ ය. පැත්ත පළාතට වැස්සේ නැති උනත්, ග‍‍ඟේ උඩහට වැටුණු වැස්සකින් ගඟේ වතුර මට්ටම වැඩි උනේ නිළමෙටත් නොදැනී ම ය. නිළමේ දකින විට ඉවුරේ තියා ආ හක පාවෙලා යනවාය. නිළමේද ටක් ගාලා හක පලෝ කරන්නට පටං ගත්තේ ය.

පාවෙලා පාවෙලා ආව හක පං ගොල්ලක රැඳුනේ ය.

මෙතැනින් කතාව වෙනස් වන්නේය. හකාවංශය නම් පැරණි පුස්තකය අනුව කතාව එක විදිහකි. සක්ධර්මරත්නාවලියේ කතාව ඊට වඩා බොහෝ විස්තරාත්මකව හා රසවත්ව ලියා ඇත. 

හකාවංශයේ සඳහන් පරිදි...

එහා ඉවුර දෙසට පාවෙලා පාවෙලා ආව හක පං ගොල්ලක රැඳුනේ ය. එතන පං වගා කරන පං ගොයියා ඒක දැක්කේ ය. ඒ එක්කම එතනට පීනාගෙන ආව මුකදාන නිළමේ තමංගේ හක අරගෙන යන්නට හැරුණේ ය. පං ගොයියා ඊට විරුද්ධ වුනු හෙයින් දෙන්නා අතර හකට පයිට් එකක් ඇති උනේ ය. මොනව කළත් බේරන්නට බැරි විය. අහළක හිටිය රාජපුරුෂයෝ තුන්දෙනෙක්ද මැදිහත් උනේ ය. ඒත් පරහට හිටින්නේ හකමය. හරි කැතයි ය. කෑවට හරි නෑ වගේ හිටියට පංගොයියාද සටන අත අරින්නේම නැත.

අන්තිමේ අංගම් ශිල්පය දක්වා මුකදාන නිළමේ ගොවියා අඩපණ කොට හක පුරවාගෙන ගෙදර ගියේය. එදා පටන් හක පංමල්ලේ දාගෙන යාම නැවතුනේ ය. ආරක්සාවට නිළමේ හක පරාලේ ගසා තැබුවේය.

සක්ධර්මරත්නාවලියේ සඳහන් පරිදි...

හක එහා ඉවුරේ පංගොල්ලක රැඳුනේය. ලලනාවන් තුන් දෙනෙක් ඒ වෙලාවේ පං නෙළන්නට ඇවිත් හිටි‍යෝ ය. ඉං එකෙක් හක දැක  ටක ටක ගා ළං වී ඒක අතට අරං බැලුවාය. ඒ විගසට, අනික් උන් දෙන්නාද ඒක දැක්කෝ ය. දැං ගෑණූ තුන්දෙනා හකට පයිට් ය. එකාට එකා දෙවෙනි නැත. අවසානයේ මුං තුන්දෙනා මහෞෂධ පණ්ඩිතයන් ගාවට ගෙනියන්නට සිද්ධ වුනේ ය.

මහෞෂධ පණ්ඩිතයෝ අර ගෑණුන් තුන්දෙනා වෙන වෙනම ළඟට කැඳවා හක ගැන ඇහුවෝ ය. ඒ තුන්දෙනා හක ගැන තමන්ගේ ඇති අයිතිය කීමට කීවේ කතා තුනකි.

"මං මේක ඉස්සෙල්ලම දැක්කෙ. පං ගොල්ලෙ තිබිලයි මට මේක හම්බුනේ. මේක මට පං දෙයියො දුන්න මගේම පං හක" ඒ මුලින් ආ කාන්තාවගේ කතාවය.

"අනේ මේ හක, අපේ ගෙදර පාලි පොත උඩ තියල තිබ්බ පාලි හක..." දෙවෙනි කාන්තාව එහෙම කිව්වාය.

"මේක අපේ සීයා පන්දුරුවාවෙන් ඇවිත් මෙහෙ පදිංචි වෙද්දි ගෙනාවෙ. මේක අපේ පන්දුරු හක..." ඒ තුන්වෙනි කාන්තාවය.

කොටිම්ම මහෞෂධ පණ්ඩිතයන්ටත් බැරි විය, හකට නියම අයිති කාරයා හොයා ගන්නට. බැරිම තැන පඬිතුමා මෙහෙම නියෝග කළේ ය.

"ඔය ගෑණු තුන්දෙනාටම හකෙන් පත ගානෙ දීලා යවපියව්...!"

ලලනාවො තුන්දෙනාම ඒ නියෝගයට දෝත මුදුන් දී කැමති වුන බව වැඩි දුරටත් සක්ධර්මරත්නාවලියේ සඳහන් වේ.

--------------------------------------------------
මූලාශ්‍ර,
Conciese Hakawamsa - Vilhelm Geiger
හකාවංසො (පාළි)
සක්ධර්මරත්නාවලිය (සිංහල)
සිංහල පුරාණ රස කතා - කස්තුරි ශ්‍රියන්ත

වැඩිදුර කියවීමට:
මුකදාන අපදානය සහ තවත් සිනමාපට
පුරාණ ලාංකේය ගැමි සමාජයේ ඛේදජනක වෙනස්වීම්
මහරජා, ලෙයියා සහ හක
මහරජා පංචිකයා සමග නිධන් හෑරීම

Friday, June 10, 2016

Training සහ New Post (දුම්රියකරණය & අලුත් තැපෑල)

http://i1.trekearth.com/photos/14423/funny_train.jpg
අපේ උසස්වීම වෙනුවෙන් ලැබුණ කාර්යාරම්භක පුහුණුව හරි සෝක් ය. ඒකෙන් ගොඩාක් වැදගත් දේවල් ඉගෙනගත්තාට අමතරව, සිරා යාළුවන් බර ගාණක්ද අඳුරගත්තෙමි ය.

මට ඉගෙන ගැනීමට පුළුවන් වූ පාඩම් බර ගාණකි.

පැය තුනක දේශනයකින් විෂයයක් උගන්වන්නට බැරි බව ඉන් එකකි. පුළුවන් වූයේ මෙහෙම විෂයයක් තියෙනවා ය කියා කියාදෙන්නට විතරය. ගොඩක් උදවිය ඒ විෂය හඳුන්වාදෙන ගමන් වැල් බයිලා ගායනා කරමින් අපිව නිදිමතින් මුදවා ගත්තෙමු ය. ඒ අතරේ සාලිය ධර්මවර්ධන, නිශාන්ත කමලසිරි, සුමිත් (නමේ අග කොටස කිව්වෙ නෑ) සහ විජය වික්‍රමරත්න යන මහත්වරු ලැබුණ කෙටි කාලය තුළ අපේ නව තනතුරේ වගකීම්, කාර්යභාරය සහ රාජකාරි වලදී කළ යුතු / නොකළ යුතු දේ ද, ඉගෙනගත හැකි මූලාශ්‍ර ද කියා දීමට වෙහෙසුනෝ ය. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ කොට ලේකම් දඩල්ලගේ උන්නැහැ ඇවිත් පෝඩියම් එක බදාගෙන හීන් හඬින් මොකද්දෝ දරු නැළවිල්ලක් කිව්වා කියාත් මතක ඇත.

අපේ සම මට්ටමේ පරණ නිලධාරීන් තුළ, "බොලාට ඔයිට වඩා ඉහළට යන්ඩ බෑ..." යන ආකල්පය වර්ධනය කරවීමේ වෑයමක අපේ යූනියන් එක සිටින බව දැනගැනීම තවත් දෙයකි. ඒකේ වාසි හා අවාසි ඇති බැවින් ඒ ගැන වැඩිදුරට කියන්ඩ මගේ බලාපොරොත්තුවක් නැත.


ඉගෙන ගත් වැදගත්ම පාඩම වූයේ පරිපාලන සේවයේ නිලධාරීන් තුළ අ‍පේ තනතුර ගැන තියෙන ආකල්පය ය. බොහොමයක් දේශකයන් කියූ විදිහට, ආයතනයක හැම උලව්වටම වගකියන්ඩ ඕනේ අපිය. ආයතනයේ පරිපාලනය, ඉහළ පහළ ඉන්න දෙගොල්ලො අතර සන්නිවේදනය (ඒ කියන්නෙ පහළ උං ගැන ඉහළට කේළම් කීම සහ පහළ උදවිය එක්ක එකතු වී ඉහළ උං ට බැණීම වගේ වැදගත් දේවල්), හදිස්සියෙ ඉහ මතට කඩා වැටෙන සිද්ධි කළමනාකරණය කරගැනීම, උත්සව සංවිධානය, ඒ උත්සව වලදි මයික් එක අතේ අළෝගෙන සිටිමින් වෙන එකෙකුටවත් කතා කරන්නට නොදී බයිලා ගායනා කිරීම, හැම රෙගුළාසියක්ම ගැන හොඳින් දැනගෙන ඉන්න ගමං ඉහළ නිලධාරීන් වැඩ අනාගත් විට ඒකෙ වගකීම බාරගැනීම... ඔය ආදී අටෝරාසියකට වගකියන්ඩ ඉන්නේ අපි ලු ය.

පරිපාලන සේවයේ ආකල්පය ගැන හොඳ කතාවක් ධර්මාචාර්ය මහාචාර්ය තිලකසිරි කිව්වා ය. ඒ කතාව දඩයක්කාරයෙක්, බල්ලෙක් සහ දඩයක්කාරයාගේ යාළුවෙක් ගැනය.

දඩයක්කාරයෙක්ට වැව ළඟදි බල්ලෙක් හම්බුනා. ඒ බල්ලට දිය මතුපිට දුවන්ඩ පුළුවං. ඉතිං දඩයක්කාරයා තමංගෙ යාළුවෙකුත් වැව ගාවට අඬගහගෙන ගිහිං බල්ලගෙ වික්‍රමය පෙන්නුවා. යාළුවා ඇහුවා, "ඒ බං, උඹේ බල්ලට පීනන්ඩ බෑ නේද?" කියලා.

ඔය යාළුවා අපේ ධර්මාචාර්ය මහාචාර්ය තුමා උනානං කියන්නේ ඕක නෙමෙයි ලු ය. එහෙනං උන්නැහැ බල්ලව අටපට්ටමේ පෙන්නා, ඊට පස්සෙ ප්‍රසිද්ධ ස්ථාන වල ප්‍රදර්ශනය කරවා, යාළුවාටත් ගාණක් හම්බ කර දී, තමනුත් ගාණක් හම්බ කර ගන්නවා ලු ය.

මේ කතාවේ ඇත්ත තේරුම සහ මේ කතාව ඇසුරින් අපි ගැන පරිපාලන සේවයේ ඇති නියම ආකල්පය වැටහුනේ, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා සහන සමීක්ෂණ වැඩට අපිව අපේ ට්‍රේනිං එක අතර තුරේ යෙදවීමෙන් පසුව ය. අපට ධර්මාචාර්ය තිලකසිරිතුමා කීවේ දවස් දෙකක් හෝ තුනක් යන්නට වෙන බවය. ඒ කරලා හිටං අපව යෙදෙව්වේ, ගංවතුරට අහු වූ ගෙවල් ගානේ ගොහිං ෆෝම් එකක් පුරවාගැනීම ට ය. ඇත්තටම ඒ ෆෝම් එක පුරවා ගන්නට, ගමකට හැටක් විතර පත්කරලා ඉන්න ආණ්ඩුවේ රැකියාලාභී උපාධිධාරී (වෙන විභාගයක් කරලා රස්සාවකට එන්ට බැරි හෝ කම්මැළි, බහුතරයක්ම ගෙදර ඉඳං පඩිගන්නා) උදවිය යෙදවලා කරගන්ඩ තිබුණාය. අනික, අපි යොදවපු වසමේ ග්‍රාමසේකරයා අපිට අණ දෙන්නට ආවේය. එව්වට සෙකන්ඩ් වෙන්ඩ අපි කවුද, ඌ කවුද ය. අපි හරිනං උංගෙ පරිපාලන බලධාරියා වන පරිපාලන ග්‍රාමනිලධාරී ගේ මට්ටමේ ය.

දෙවෙනි දවසේදී අපට ආරංචි වුනේ ධර්මාචාරියගේ දෙමව්පියන් මතක් කළ යුතු වන විදිහේ ආරංචියකි. අපිව ඒ සතියම ඕන්නං තියාගෙන මේ වැඩය කරවා ගන්නා ලෙස ඌ කොළඹ දිසාපති හට කියා තිබුණේ ය. ඒ ගමන අපි අපේ කණ්ඩායම් නායකයා එක්ක කතා කර, ලොකු තැන ගෙන් විමසන්නට ගියෙමු ය. ඒ තුංවැනි දවස ය. එදා නායකයා අපි වෙනුවෙන් කතා කරන්ඩ උඩට ගිහිං, අපට තියෙන නියෝග ටික අහගෙන ඉඳලා ඇවිත් අපිට කිව්වෙමු ය. ඒ වෙලාවේ නං උගෙත් මාළුකන්නට මට පෞද්ගලිකව හිතුනේ ය.

කොයිහැටි වෙතත් දවස් හතරකට ඇදුනු ආපදා සමීක්ෂණ වැඩෙං අපේ කෂ්ටිය ගොඩක් ෆිට් උන එක ලොකු දෙයකි. ජයලාල්, චම්මි, දීපානි, ජග්ග, චමින්ද, චින්තක, අචින්ත, උදේ කුමාර (හවස උගුඩුවද දන්නෑ...), කුමාර සිල්වා, රුවනි ආදී (මෙතන නම් ලියන්න එකපාරටම මතක් නොවිච්ච, පස්සෙ අද රෑ නින්දට යද්දි මතක් වෙලා, රෑට හීනෙන් පේන උදවිය සමාව බාජනේකට දාන්ඩ ය.) පට්ට යාළුවො සෙට් එකක්ම සෙට් උනේ මේ ආපදා සහන වැඩෙං ය.

මේ වැඩේ නිසා, අර උඩිං ධර්මාචාර්ය තිලකසිරි උන්නැහැගෙ කතාව හරියටම තේරුණේ ය. ඒ අනුව, අපි වතුරෙ දුවවන්ඩ පුළුවං බල්ලො සෙට් එකක් උන අතර, අපිව යොදාගෙන ලකුණු හම්බකරගත්තේ තිලකෙ අයියා ය.

ඒකත් පුහුණුවෙදිම වැටහීම හොඳ දෙයකි ය. ඒක දැනගත්තට පස්සෙ අපි අලුත් තනතුරු වල වැඩකරද්දි ඉහළ නිලධාරීන් අපිට අරිද්දී අපේ බලාපොරොත්තු කඩ වෙන්නේ නැති ය.

ගහට ගහක් හම්බුනෙත් මේ ට්‍රේනින් එකේදිය. ඒ ආදරණීය වෙනිවැල් අයියා ය. උන්දැ එතන ඉහළ තනතුරක් දරන, බොහොම චාමෙට ජීවත් වෙන, රාජකාරිය ඇතුලෙ ලැබෙන අවස්ථාවලින් හොඳට ජීවිතය විඳින පොරකි ය.

පුහුණුව අතරෙ අපිට කතා පවත්වන්ඩ දුන්න විනාඩි පහකිං උපරිම ප්‍ර‍යෝජන ගත්ත මං (ඒ කියන්නෙ විනාඩි පහ විනාඩි දොළහකට ඇදපු එක ගැන ය),  බ්ලොග් ලෝකය ගැන අපේ සැට් එක දැනුවත් කළෙමු ය.

ඒ වගේම කළමනාකරණය ගැන සිංහලෙං බ්ලොග් එකක් ලියන නිශාන්ත කමලදාස මහත්තයත් දෙපාරක්ම අපට ලෙක්චර් දුන්නෙමු ය.

මීට දෙපෝයකට උඩින්, "මං ගිහිං එන්නං" කියා සමුගත් මා, බ්ලොග් එක පැත්තට ආවේ ඊයේ ය. කලිං පෝස්ටුවේ ප්‍රතිචාර වලට උත්තර දෙන්නට දවස් එකහමාරක්ම ගත උනේ ය. අලුත් තැන මට තවම හරිහමං අන්තර්ජාල පහසුකම් නැත. ඇත්තේ තප්පරෙං තප්පරේට එරර් මැසේජ් විකසිත වන, කෞතුකාගාර දෙපාර්තමේන්තුවට යැවීමට ඉල්ලා ඇතත් දුන්නේ නැති පෙන්ටියම් හතරේ පරිගණකයක් විතරය. ඉතිං සූධීහු කමන්ඩ ය.

මොකද, මං හිතාගෙන ඉන්නෙ, මෙතන වැඩ කරලා, මගෙ උපරිම දායකත්වය දීලා, මෙතන අත්‍යාවශ්‍ය පුද්ගලයෙක් බවට පත්වුනායිං පස්සෙ මට ඕනෙ කරන දේවල් ඉල්ලන්ඩ ය. එතකොට ඒවා මං උපයාගත්තා වෙන අතර, ඉහළ උදවියට "එව්ව දෙන්ඩ බෑ" කියන්ඩ බැරි තත්ත්වයක් එන්නේ ය.

එතෙක් මට ‍ගොඩක් බ්ලොග් වලට එන්ඩ බැරි වෙයි ය. මට මගඇරෙන එව්ව ගැන හිතෙන කොට මට මං ගැනම දුකයි ය. සුරංග මල්ලිගෙ චූටි මැණිකෙ පොළොස් උයන හැටි කියෙව්වෙත් ආපදා සහන වැඩේට යන ගමං ය. ඒක මං සෑහෙන දෙනෙකුට පෙන්නුවෙමු ය. පට්ට පෝස්ටුවකි ය.

මට ලැබුණ අලුත් තැන ගොඩක්ම හොඳය. මං බලාපොරොත්තු උනාට වඩා අන්තිම ඉහළය. එතන ස්ටාෆ් එක වැඩ සහ දැනුම අතිං මාර ‍පොහොසත් ය. ඒ අය මිනිට් එකක් දානකොට, කාරණාව කෙටියෙං කියා, ඊට අදාළ චක්‍රලේඛ ආදී විධීවිධානත් කියා, යෝජනාත් කර, දානවය. කාර්යාල ක්‍රම තිතටම වෙනවාය. මිනිට් වල මෙන්ම ලියුං වල ද හරස් සඳහන් කරනවාය. ඒවගේ උදවිය එක්ක වැඩ කරන්ඩ බොහොම ලේසි ය.

ඒවගේම අපේ අතිරේක ලේකම් මහත්තයත්, හරිම නිවිච්ච මනුස්සයෙකි. තමුං වැඩ ගොඩගහගෙන කරන අතරෙ, මං අලුත් නිසා වැඩ පුහුණුවෙනකල් කියා ටික ටික පොඩි පොඩි වැඩ මට එවනවා මිසක, තමංගෙ වර්ක් ලෝඩ් එක මට පවරා දුන්නේ නැත. කොටිම්ම තාත්තෙක් වගේය.

අන්තිම වශයෙන් කියන්ට තියෙන්නේ, අලුත් පෝස්ට් එක (මං කිව්වෙ අලුත් තනතුර) නිසා, අර කලිං ලිපියෙදි මෙන්ඩ කිව්ව වගේ මගෙ වෙනස්කම් වගයක් වෙනවාය. එව්වා පහළින් කියා දක්වන්නෙමි ය.

1 අද පටන් තමුන්නාන්සෙලා මට "ඔපිසර හාමුදුරුවෝ" කියා ඇමතිය යුතුය.
2 මගේ ආදර බර බාරියාව "ඩ්‍රැකියානි මුදියන්සෙ හාමුරුවෝ" නමින් ඇමතුම් ලබනු ඇත.
3 අපේ අම්මා "ඩිංගිරි හාමුදුරුවෝ" වෙන අතර,
4 අපේ ගෙදර බල්ලා ගැන කීමෙදී "චූටි කුකූ උන්නාන්සෙ" කියා කිය යුතුය.

(උදාහරණයක් කියතොත් - "වලව්වෙ කවුද, උන්නාන්සෙ කයිද වළඳයිද?" කියා අහගෙන අපේ ගෙදරට ආ යුතුය.)

Monday, May 16, 2016

පිටස්තරයෙකුගේ වාර්තාවක්...

"...ප්‍රධාන මෙහෙයුම් අංශය,

මා අද වාර්තාවෙන් මගේ සමීක්ෂණයට ලක්වන ග්‍රහලෝකයේ ජීවීන් ගැන වාර්තා කරමි.

මේ ග්‍රහලෝකයේ ජීවීන් වර්ග  දහස් ගණනක් වාසය කළද, ඔවුන් සියල්ල එක් ප්‍රධාන වර්ග දෙකකට බෙදීමට අදහස් කරමි. ඒ ආහාර නමැති මූලික සාධකය මුල්කරගෙන ය. ඒ අනුව, ආහාර නිපදවන්නන් සහ ආහාර නිපදවීමේ හැකියාව නොමැති ජීවීන් ලෙස මොවුන් වර්ග දෙකකට බෙදේ.

ආහාර නිපදවන්නන්...

මොවුහු සූර්යයාගේ ආ‍ලෝක ශක්තිය උපයෝගී කරගනිමින්, තම ශරීරයේ අග කොටස් වලදී ආහාර නිපදවති.

එම ආහාර තම ශරීරයේ විවිධ කොටස් වල ගබඩා කරන අතර, සිය වර්ගයා බෝ කිරීමට නිපදවන කොටස් වලද මෙම ආහාර තැන්පත් කරති.

මොවුහු ඉතාම වැඩි වශයෙන් මෙන්ම, අනෙක් ජීවී වර්ගයා සමඟ සැසඳීමේදී, සංචරණය නොකරති. උපන් තැනට සීමා වෙති. එහෙත් තම අනාගත පරපුර ඉපදීමට පෙර විවිධ ස්ථාන කරා පතුරුවා හැරීමට විවිධ උපක්‍රම යොදාගනිති.

දියුණු ක්‍රමවේදයක් මඟින් තම වර්ගයා අතර හැඟීම් සන්නිවේදනය කරති.

මෙම ග්‍රහලෝකය මත අනෙකුත් ජීවීන් හට පැවතීමට සිදුසු පාරිසරික හා දේශගුණික තත්ත්වයන් පවත්වාගැනීමට සක්‍රිය ව දායක වෙති.

අවසාන කරුණ සහ ආහාර නිපදවීමේ හැකියාව නිසාම, මෙම වර්ගය මෙම ග්‍රහලෝකය මත සිටින උසස්ම ජීවී වර්ගය ලෙස හැඳන්විය හැක.

ආහාර නිපදවීමේ හැකියාව නැත්තන්...

මොවුන් ආහාර නිපදවීමේ හැකියාව නොමැති නිසාම අනෙක් ජීවීන් මත යැපෙති. ආහාර නිපදවන්නන් ගේ ශරීර කොටස් මෙන්ම, අනෙක් ජීවීන්ගේ ශරීර කොටස්ද ආහාරයට ගැනීම මොවුන්ගේ පැවැත්මට ඉවහල් වේ.

සංචරණ හැකියාව ඇත.

ආහාර යන සාධකය සහ වෙනත් සාධක ද මත ඉහතින් කී ආහාර නිපදවන ජීවී වර්ගයා ගේ පරපුර බෝ කිරීමට දායක වෙති.

සන්නිවේදනයට ශබ්දය නම් වායු තරංගය භාවිතා කරති.

මොවුන් අතරින් ඉතා වේගයෙන් බෝවී ඇති, මුළු ග්‍රහලෝකය පුරාම ව්‍යාප්ත වෙමින් එහි සහ අනෙකුත් ජීවීන් ගේ පැවැත්මට බලපෑම් එල්ල කරමින්, සියල්ල වෙනස් කිරීමේ හැකියාව ඇති එක් ජීවී වර්ගයක් වෙති. ඔවුන්,

දෙපයින් මෙන්ම, ඔවුන් විසින් නිපදවන ලද යාන්ත්‍රික සිරුරු වලින් සංචරණය කරති.

අනෙකුත් සියළුම ජීවී වර්ගයන් බෝකරති, පාලනය කරති, ඔවුන්ගේ සිරුරු වල ව්‍යුහය පවා සිය අභිමතයට වෙනස් කරති.

එහි අතුරුඵලයක් ලෙස තම වර්ගයාට අහිතකර ජීවීන් පවා  අනතුරුදායක ලෙස විකෘති කරති.

ඔවුන්ගේ ආහාරයට ලක් නොවන ජීවී වර්ගයක් මෙම ග්‍රහලෝකයෙහි නැත.

‍මොවුන්, ආහාර නිපදවීමේ හැකියාව නැති ජීවීන් ආහාරයට ගන්නේ ඔවුන් ඝාතනය කිරීමෙන් පසුව හෙවත් ඔවුන්ගේ මළසිරුරු කොටස් වශයෙනි.

එහෙත් මොවුන් අතින් භයානකම වධයට ලක්වන්නේ ආහාර නිපදවන්නන් ය. ඔවුන් ගේ ශරීර කොටස් කපා හෝ කඩා ගන්නේ මරණයට පත් කිරීමෙන් තොරවය. මෙම ජීවීන්ගේ ග්‍රහණයට ලක් නොවන කොටසක් නැත. ආහාර නිපදවන කොටස්, ආහාර බඩා කරන කොටස් පමණක් නොව, නව පරපුරක් බිහිකිරීමට සකස් වී ඇති කොටස් පවා මොවුහු ආහාරයට ගනිති. සමහර විට මොවුන් ගේ වර්ගයා බෝකරන බීජ වර්ග යන්තම් සක්‍රිය වීමට ඉඩහැර, ඇතිවන ළපටි ජීවීන් ආහාරයට ගනිති. මෙම බොහෝ ශරීර කොටස් නටන ජලයෙහි තම්බන අතර, සමහර විට බැදීම සහ පිළීස්සීම කරති. බහුතරයක් අවස්ථාවන්හිදී මෙම ජීවී කොටස් මියයන්නේ මෙසේ සකස් කරන අවස්ථාවේ දීය. සමහර විට ජීවය සහිත කොටස් සිහින්ව ලියා, ජීවය තිබියදීම ආහාරයට ගන්නා අවස්ථා ද ඇත.

මොවුන්, අනෙක් ජීවී විශේෂයන් බහුතරයක් කෘතිමව බෝ කර සිය ආහාරයට ගනිති.

ආහාරය සඳහා පමණක් නොව වෙනත් බොහෝ උවමනාවන් සඳහා මොවුහු ජීවී විශේෂ බෝකරති.

මොවුන් මුළු ග්‍රහලෝකයම කොටස් වලට බෙදාගෙන එම බිම් කොටස් වල වෙසෙන අනෙකුත් ජීවී ‍වර්ග පාලනය කරති. ඔවුන්ට අවශ්‍ය නැති තැන් වල සිටින ජීවීන් ඉවත් කරන අතර, අවශ්‍ය අවශ්‍ය ස්ථානයන්හි ජීවීන් රෝපණය කරති.


https://s-media-cache-ak0.pinimg.com/736x/da/62/17/da621715efec807827eb9a98b340e058.jpg

ඔවුන් බෙදා වෙන්කරගෙන ඇති භූමි කොටස් වල අයිතිය වෙනුවෙන් ඔවුන් සිය ජීවී වර්ගය්ම සාමාජිකයන් සමඟද ඇණ කොටාගැනීම ද විශේෂත්වයකි..."

-------------------------

http://1.bp.blogspot.com/__6X6hqq7nro/S9CYK5K7VfI
/AAAAAAAAEaI/67gu9e7KMIQ/s1600/earth-day.gif


"ඔයා මොකද මේ දවල් තිස්සෙ ඇහැරගෙන කරන්නෙ?" ඩ්‍රැකියානිගේ හඬ නැගුනේ මා පිටුපසිනි.

"මං හැදුව රේඩියෝ රිසීවර් එකක්. බලන්නකො මේ අහුවෙච්ච එක..." මම නැවත පටිගත වූ දෙය ප්‍රතිවාදනය කළෙමි.

ඇගේ මුව ඇපල්ගෙඩියක හැඩයට විවර වීමට වැඩි වේලාවක් ගතවූයේ නැත.

"මේ කියන්නෙ... මේ කියන්නෙ... "





















ප/ලි

මා මෙතෙක් සේවය කළ සේවාස්ථානයට සමුදීම තව ඇත්තේ එක් දිනකි. 18 වන දා සිට සේවයේ ශ්‍රේණිගත උසස්වීමක් සඳහා ආරම්භ වන දෙසතියක පුහුණුවකට යාමට සිදු‍වී තිබේ. මා මීළඟට අනුයුක්ත කෙරෙන්නේ කුමන ආයතනයකටදැයි තවම නොදනිමි. එතැනට ගොස් නැවතත් ජාලගත වීමට පහසුකම් සකසා ගැනීමට තවත් ටික කලක් ගතවනු ඇත.

පසුගිය සති කීපයේ මා හට සුහද බ්ලොග් කරුවන් හමුවීමට, ඔවුන් හා සංවාද ගොඩනගා ගැනීමට තිබූ ඉඩකඩ අඩු විය. ඒ මා කාරණා කීපයක් උදෙසා කාර්ය බහුල වීම නිසා ය. (මා බ්ලොග් ලොවට එන්නේ කාර්යාලීය ජාලයෙනි.)

එසේම, ඉදිරි සති කීපයේදී බ්ලොග් ලෝකය විසිට් කිරීමට මට හිමිවනුයේ ඉතාම අල්ප අවකාශයකි.

ටිකදිනකින් මා නැවත එනතුරු, මගේ සහෘදයන්, මගේ පරමාදර්ශයන් සහ මගේ සගයන් වන ඔබ සැමට කෙටිකාලීනව සමුදෙමි. ඔබ ඇසුරින් මා පෝෂණය වූ අතර, භාව විශෝධනයටද ඔබ සමඟ කළ සංවාදය ඉවහල් විය... ඒ සියල්ලට ඔබට මාගේ ප්‍රණාමය !

https://media0.giphy.com/media/l0NwC1UnHzAHfC50c/200.gif


http://sd.keepcalm-o-matic.co.uk/i/
keep-calm-and-i-ll-see-you-later.png

Thursday, May 5, 2016

හොඳම කම්මැලියා - කැකිල්ලේ කතා...

http://static.fjcdn.com/pictures/King_8b19de_327898.jpg

ඕං දවසක්දා රාජ භෝජන වළඳලා එහෙම, විටක් හප හපා හිටපු කැකිල්ලෙ සජ්ජුරුවන්ට මරු අයිඩියා එකක් පහළ උනා. සජවරුන්ට මරු මරු අයිඩියා පහළ වෙනව තමා ඉතිං කාලෙං කාලෙට.

"රටේ ඉන්න හොඳම කම්මැළිය තෝරල ඌට සම්මානෙයක් දෙන්ඩ ඕනෙ" ඒක තමා කැකිල්ලෙ රජ්ජුරුවන්ට ආපු අදහස. ඉතිං පහුවදා ම රාජසභාවෙදි ආ‍ඥාවක් නිකුත් කළා.

ඒ අණට අනුව රාජපුරුෂයො, පස්ස කැඩිච්ච කඩි වගේ, ටාගට් කවර් කරන්ඩ බැරිවෙච්ච පොලිස් රාළහාමිල වගේ රට පුරා ඇවිදින්ඩ ගත්ත.

ඔහොම ගොඩකවෙල පැත්තට ගියපු රාජපුරුෂයො දෙන්නෙක් දැක්ක දවසක් පාර ට කිට්ටුව තිබ්බ වෙරළු ගහක් යට දෙන්නෙක් ඉඳගෙන ඉන්නව, වෙරළු ගහට පිට දීල. එකෙක්ගෙ කම්මුලේ ගහෙං වැටිච්ච වෙරළු ගෙඩියකුත් රැඳිල තිබුණ. ඌ දිව දික්කරල ඒක කටට දාගන්ඩ මාර ගේමක් දෙනව. ඒත් දිව දිග මදි.

මුං දෙන්න දැකපු රාජපුරුෂයො දෙන්න, අර බෝම්බ තුන හොයාගත්ත කොස්සො දෙන්න වගේ එතෙන්ට දුවගෙන ගියා.

(ඔහෙල දන්නවද බෝම්බ තුනේ උපකතාව?

ඕං මෙහෙමයි. 

දවසක් බෝම්බ තුනකට පොලිස් කොස්තාපල්ල දෙන්නෙක් කොස්තාපල්ල දෙන්නෙක්ට බෝම්බ තුනක් හම්බුණා කාණුවක තිබිල. උං මාර ආසාවෙං ඔන්න ඒකත් අරං යනව පොලිසියට.

යද්දි එක කොස්සෙක් ඉදළගෙං අනික් කොස්සගෙං අහනව,

"ඒ බං පත්තරෙය, මාර වැඩේ. දැං මේ බෝම්බෙයක් පිපිරුවොත් එහෙම අපි මොකද කරන්නෙ?"

"වෙන මොනව කරන්ඩද මෙන්ඩො?" අරූ කියනවලු... "අපි ඕඅයිසීට කියමු දෙකයි තිබ්බෙ කියල...")

ඉතිං අර වෙරළු කම්මැලියො දෙන්න ගාවට ගියපු රාජපුරුෂයො දෙන්නගෙං එකෙක් අහනව,

"ඒයි! බොලා‍ දෙන්න මොකද කරන්නෙ?"

"ඒකට උත්තරදෙන්ඩ නං බැරියැ..." අර කම්මුලේවෙරළු ගෙඩියක් තියෙන බුවා කිව්ව ඇස් අරින්නෙවත් නැතුව. "ඊට කලිං මෙන්න මේ වෙරළු ගෙඩිය මගෙ කටෙං තියනවකො උන්නැහැ..."

රාජපුරුෂයට මළපැනල, "තෝ වගේ කම්මැලියෙක්...!" කියල අරූට පයිං එකකුත් ඇන්න.

ඒ පයිං පාරෙ සද්දෙට අනික කියනව,

"හොඳ වැඩේ. ඕකට තව දෙකතුනක් අයින්ඩයි තියෙන්නෙ, ඔය කම්මැළීකම යන්ඩ. උන්නැහැට කියන්ඩ, පෙරේද බල්ලෙක් ඇවිත් මයෙ මූණ ලෙවකනව. ඉවසන්ඩම බැරි තැන, මං මූට කිව්ව මේ බල්ල එළවපං කියල. කොහෙද? මූ ගාණකටවත් ගත්තෙ නෑනෙ. පස්සෙ බල්ල මගෙ ඇඟට හුජ්ජත් කරල පස්ස ගාත් දෙකෙං බිම පහුරු ගාල පසුත් විසික්කරල ගියා යන්ඩ."

මේ නං රියල් බුලට් දෙකක් කියල දැනගත්ත රාජපුරුෂයො දෙන්න, මුං දෙන්නවත් කුදලගෙන සජ්ජුරුවො ගාවට අරං ගියා.

යනකොට රට වටෙම්ම අල්ලගත්ත කම්මැළීයො සීයක් විතර රජමාළිගාවෙ මිදුලෙ...

"මට ඕනෙ ලොකුම කම්මැළිය." කැකිල්ලෙ රජ්ජුරුවො කිව්ව. මේ මිනිස්සු අතරිං ලොකුම කම්මැළියව මට තෝරල දෙනවල"

ඇමතිවරු කල්පනා කරන්ඩ ගත්ත කොහොමද බොලේ කම්මැලිකම ටෙස් කරන්නෙ කියල. එ් අතරෙ රාජපුරුෂයො ටික වෙරළු කම්මැලියො දෙන්නව රජාට පෙන්නල කියනව,

"මුං දෙන්න තමා රජතුමෝ අපි දැකපු ලොකුම කම්මැලියො දෙන්න. මුං හදිසියකට අතක්කත් උස්සන්ඩ කම්මැලියි." කියල

"මට දෙන්නෙක්ගෙං වැඩක් නෑ. මුං දෙන්නගෙං ලොකුම එකා හොයල දෙනවලා..."

"රජා තමයි බොලේ බැලින්නං ලොකුම කම්මැලිය" එක රාජපුරුසයෙක් තව එකෙක්ගෙ කණට කොඳුරල කිව්ව. "දැං අපිද මූට හොයල දෙන්ඩ ඕනෙ ලොකුම එකා?"

"දෙමුද ලොක්කට මූණ බලන කණ්නාඩියක්?" තව එකා, එක රාජපුරුසයගෙ කණට ආපහු කෙඳිරුවා.

ඔය අතරෙ රජවාසල කවටය දුන්න හොඳ අයිඩියා එකක්...

ඒ අනුව ටක් ගාල රජ වාසල මිදු‍ල‍ෙ පිදුරු වලිං ඇටෙව්ව පැල්පතක්. ඒකෙ පැදුරු දෙකක් දාල, අර වෙරළු කම්මැලියො දෙන්න නිදිකෙරෙව්ව. "අපි මේ කොහෙද එක්කරං යන්නෙ, මොකද මේ අපිට කරන්ඩ යන්නෙ..." වගේ මෝඩ ප්‍රශ්න අහන්නැතුව අරුං දෙන්නත් පැදුරෙ දාපු ගමං ගොරෝ ගොරෝ නිදාගන්ඩ ගත්ත.

රාජපුරුසයො සෙට් එකක් වතුර බාල්දි, වැලිබාල්දි, විල්බැරැක්ක, යුද්ධටැංකි, බුලත් හෙප්පු වලිං සන්නද්ධ කරල ස්ටෑන්ඩ්බයි තියල, අර පැල්පතට ගිණි තිබ්බ.

ගින්න ඇවිලීගෙන එද්දි එක කම්මැලියෙක් ඇහැක් යාන්තමිං ඇරල බලල, අනිකට කියනව,

"මචං ටිකක් රස්නෙයි වගේ බං. කොහෙං හරි එළියකුත් වැටෙනව. පොඩ්ඩක් බලහංකො මොකද වෙන්නෙ කියල..."

"අනේ පළයං බං යන්ඩ." අනික කියනව. "ඔහෙ ඕනෙ එකක් වෙච්චදෙං මං නං ඇහැක් ඇරල බලන්නෑ" කියල ඌ අනික් පැත්ත හැරිල හොඳට බුදියෑව.

ආං ඌ තමයි ලොකුම කම්මැලිය කියල තෝරගත්ත කැකිල්ලෙ රජ්ජුරුවො, ඌට ගෙයක්, හැම ආවතේවයක්ම කරන්ඩ සේවකයො. සනීපෙට බුදියගන්ඩ ඇඳක්හෙපන්ඩ මහන්සි නොවී ලේසියෙං ගිළින්ඩ පුළුවං කෑම... ආදිය මැරෙනකං සප්ලයි කරන්ඩ රාජාඥාවක් පැනෙව්ව.

මේ කතාව රට පුරා ප්‍රසිද්ධ උනාට පස්සෙ රටේ කම්මැලියො සූ ගාල වැඩිවෙන්ඩ ගත්ත...

http://www.generalcomics.com/funny-directory/10/1007-funny-cartoon.jpg

---------------------------------------------

මෙතෙක් කතාව සහ පාඨකයන්ගෙං කරන විශේෂ ඉල්ලීම...

ගොඩ දවසකින් හරිහමං විදිහට බ්ලොග් අවකාශයට එන්න බැරි වුනා. අපේ කන්තෝරුවෙ ප්‍රොක්සි සර්වර් එක මැරිලලු. ඉතිං,

අනේ ඉන්ටනෙට් නෑ...
ඉන්ටනෙට් නෑ...
ඊ්මේල් නෑ...
‍බ්ලොග් නෑ...
අපිත් නෑ...

බැරිම තැන පරණ ඩොංගල් එක හොයල අරං, මකුළුදැල් කඩල, අන්ලොක් කරල, සිම් එකක් දාගෙන රිලෝඩ් එකකුත් දාගත්ත. කොම්පියුටරේට ගහල සයිට් දෙක තුනකට යනකොට ‍ඩේට ඉවරලු. හවස කම්පියුටරේ ෂට්ඩවුන් කරනකොට, මෙන්න බොලේ මැසේජ් එකක් එනව, වින්ඩෝස් අප්ඩේට් කරගත්තලු, ප්ලග් එක ඕෆ් කරන්ඩ එපාලු. (මේ යකා, මගෙ ඩේට ටිකෙං උගෙ ජනේලේ අප්ඩේට් කොරගෙන.)

කොහොම හරි ඕං, අද තමයි හරිහමං විදිහට බ්ලොග් අවකාශයට ගොඩවදින්ඩ ලැබුණෙ. ඉතිං මට හිතුණා මේ අල්ලපනල්ලෙ "ඓතිහාසික පුද්ගලයන් ගේ අභිලේඛන" කියල කැටගරියක් පටං අරං, අපි කියවල තියෙන ඉතිහාසගත පුද්ගලයන්, අපට කියවගන්න පුළුවන් වෙන්න ලියවලා තියෙන දේවල් ගැන මහා හරබර, භූගර්භ සාරගර්භ, පොඩි ළමයින්ගෙ දැනුම දියුණු වෙන, වැඩිහිටියන්ගෙ දැනුම මුවහත් වෙන ලිපි පෙලක් ලියන්න. හිතුව විතරක් නෙමෙයි, ඉන්ටනෙට් නැතුව ලකා ගහං හිටපු ටිකේ පළවෙනි ලිපිය ලියලත් ඉවර කළා.

අපි දෙබළකට නැග්ගොත් ඒකෙත් ගිරවෙක් ය කියල කතාවක් තියෙනවනෙ. මීට බොහොම කාලෙකට කලිං එක්තරා සයිට් එකක් තිබුණ, (මට මතක හැටියට රාජකීය ආසියාතික සංගමේ සයිට් එක) ඒකෙ සෙල් ලිපි වල නම්බර් එක දුන්නම, සෙල්ලිපියෙ ස්පර්ෂ පිටපතේ බොහොම පොඩි පින්තූරයක් පෙන්නව. මං උන්නෙ ඒ පින්තූරත් එක්කම බොහොම පොහොසත් ලිපි ටිකක් ලියන්න. දෙබළෙ උන්න ගිරව තමයි, ඒ පේජ් එක දැන් වැඩ කරන්නෑ.

ඉතිං මේ ලිපිය කියවන හුදී ජනයාගෙන් බොහොම කරුණාවෙන් ඉල්ලා සිටින්නෙ, මට පුළුවන්නං Inscriptions of Ceylon පොත් ටික හොයල දෙන්න සතියකට මං මොනවත්ම හාණියක් නොකර තිබුණ වගේම හොඳට පොත් ටික ආපහු භාර දෙන්න පොරොන්දු වෙනව. දෙන්න බෑම කියල හිතෙනවනං ...(අර
පුස්තකම් ඩීවීඩී රත්නම් - පරහස්ත ගතෝ ගතම්
කියල සෘෂි භාෂිතයක් තියෙන්නෙ)
එහෙම හිතෙනවනං, මං ලබාදෙන ප්ලේට් නම්බර් ටිකට අනුව, ප්ලේට් ටික ස්කෑන් කරල එවන්න පුළුවන්නං ඒකත් මට ඇති.

කවුරුන් හෝ පිං කරන නෝනා කෙනෙක් මහත්තැං කෙනෙක් ඉන්නවනං මට මේල් එකක් දාන්ඩය.
drackey@gmail.com මගෙ මේල් ඇඩ්‍රස් එක.

Thursday, April 7, 2016

කවුරු - කාටද? ඩ්‍රැකියාවෙලී විග්‍රහයකි...

දවසක් පිස්සෙක් පිහියක් අමෝරාගෙන තව පිස්සෙක් පස්සෙං එළවන්නට විය. ඒ පිස්සා ද පණ එපා කියා දුවන්නේ ය. පිහිය අතැති පිස්සා‍ එක එක දේ කියමින් කෑගහමින් ළඟ - ළඟම එළවං එයි.

"තෝ කනව යකෝ!"
"ඔහෙ හිටපිය!"
"මරණව තෝ!"
"කනව යකෝ කටු පිටිං!"

ආදී භයානක තර්ජන කරමින් අර පිස්සා මාරාවේශයෙන් ‍වගේ එළවං එද්දී, අනික් පිස්සා බල්ලට මෙන් හති ලමින් දුවන්නේය.

ඌ දුවගෙන දුවගෙන කොහොමින් හරි තාප්ප මුල්ලකට කොටු උනේය. බේරෙන්නට යන්ඩ තැනක් නැත. මිනීමරු පිස්සාට අතේ කෝට් ය.

මිනීමරු පිස්සා උගේ බෙල්ලෙන්ම අල්ලගත්තේය. අනික් අතේ තිබ්බ පිහිය අරූගේ අතේ තියා,

"දැං උඹ මයෙ පස්සෙං පන්නපං" කියා ආපසු හැරී දුවන්නට ගත්තේය.

-------------------------------------------

හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මේළඟදී "බැරිනං මට දෙන්ඩ. මං කරල පෙන්නන්නං" යැයි කීවේය. ඒ කීවේ පාර්ලිමේන්තුවේදී නෙවේය. මහජන රැළියකදීය.

එහෙම රාජ්‍ය පාලන බලය කෙනෙක් අතින් තව කෙනෙක් අතට පවරා දීමට ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ නැත. එක්කෝ මහමැතිවරණයකින් හෝ ජනාධිපතිවරණයකින්, පාර්ලිමේන්තුවේ බහුතරය වෙනස් කරගැනීමෙන්, හමුදාවක් යොදවා රට අල්ලාගැනීමකින් බිහි කරන ඒකාධිපති පාලන ක්‍රමයකින් වගේ ක්‍රමයකින් මිසක් වෙන ක්‍රමයක් නැත.

------------------------------------------

දේශපාලන පළිගැනීම් නතර කරන්නැයි කියා ඒකාබද්ධ විපක්ෂය පොල් ගැසුවෝය. 

ඒ පොල් ගහපු අය අවංකවම දෙවොල් දෙවියන් විශ්වාස කර, තම කන්නලව්ව අසා දෙවොල් දෙවියන් තම තෙද අණසක පතුරුවා ආණ්ඩුව ගෙදර යවනු ඇතැයි අවංකව විශ්වාස කළා යැයි, අපි විශ්වාස කළොත් අපිට වඩා සුදුසු වන්නේ බත් නොවේ ය.

--------------------------------------------

මෙකී නොකී හැම කෙළියම සිද්ධ වෙන්නේ මහජන ප්‍රදර්ශනය සඳහා ය.

ඇත්තටම මහින්දට රාජ්‍ය බලය දිනාගැනීමට උවමනාව තිබුණි. ඒ වෙනුවෙන් ඔහු පහුගිය ජනාධිපතිවරණයේදීත් මහමැතිවරණයේදීත් මහන්සි විය.

එහෙත් දැන් ඔහුට රාජ්‍ය බලය දිනාගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ ඕක නොවේ. තවමත් ශක්තිමත් දේශපාලන සංවිධානයක් වන එක්සත් ජනතා නිදහස් සංධානයේ ඔළුගෙඩි සියල්ලක්ම තමන් වෙත නතු කරගෙන, සුළුපක්ෂ ද දිනාගෙන පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමය. පහුගිය අයවැයේදී අයවැය පරාජය කිරීමට මහන්සි විය යුතුව තිබුණි. එය රාජ්‍ය බලය ආපහු දිනාගැනීමට තිබූ හොඳම අවස්ථාව ය.

ඒ වෙනුවට ඔහු කරන්නේ ඒකාබද්ධ ත්‍රීවීල් එකක් (කොපි රයිට් - විභීෂණ) දක්කමින්, සිංහල ජාතිකත්වය ප්‍රොමෝට් කරමින්, ආණ්ඩුවට විරුද්ධ ජනබලය ආමන්ත්‍රණය කරමින්, (ඔවුන් හට ආණ්ඩුව පෙරළීමට නායකත්වය නොදෙමින්) කොටිම්ම පහුගිය මහින්ද පාලන සමයේදී (ජනවාරි අටේ සිද්ධියේදී නොවේ) චම්පිකලා විමල්ලා නටපු නාඩගම නැටීමය.

"කෙනෙක්ගේ ක්‍රියාවක පරමාර්ථය සෙවීමට නම්, ඒ ක්‍රියාවෙන් වාසි සැළසෙන්නේ කාටදැයි බලන්න" කියා අපට කියන්නට ෂර්ලොක් හෝම්ස් අවශ්‍ය නැත.

මහින්දගේ සහ ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාවලියෙන් සිද්ධ වන්නේ, 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙපිළක අතරමං වීමය.
එයින් කැපුවත් නිල් ඡන්දදායකයා ද වැට උඩට යාමය.

සමහර ශ්‍රී ලංකා කාරයන් නම් මහින්දට එකෙන්ම සපෝට් කරති (මා කියන්නේ මගතොටේදී ඇහෙන කතා ආශ්‍රයෙනි.) එහෙත් මෛත්‍රීපාලටත්, ජාතික ආණ්ඩුවේ අැමතිකම් දරණ නරිහාමිලාටත් ඡන්ද පදනමක් ඇති බව අමතක කළ යුතු නැත.

මේ වගේ තත්ත්වයකදී තමංගේ ඡන්ද පදනම රැක ගන්නට රනිල් උන්නැහැට:

තමංගේ ප්‍රතිරූපය නංවාගැනීම,
පොරොන්දු ඉටු කිරීම,
ජීවන බර අඩු කිරීම,
බදු අඩු කිරීම,
ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක කිරීම... ආදී දහසකුත් දේ කරන්නට තෙල් පුච්චාගන්නට අවශ්‍ය වන්නේ නැත.

අන්තිමේදි බලනකොට මහින්දත් රනිල්ගේ පැත්තේය. 

ඉතිං රනිල් ලා ඡන්ද කාලෙදි කියාපු දහසකුත් එකක් හොරකම් අල්ලන්නට දැන්නම් හදිසි නොවිය යුතු ය. මහින්දානන්දලා, මහින්දලා, නාමල්ලා, විමල්ලා, ගම්මංපිලලා, බන්ධුලලා, ගොඨාභයලා, සජින් ද වාස් ගුණවර්ධන ලා, අලි රොෂාන්ලා ආදීන් ට එරෙහිව භාරදුන්න අල්ලස් චෝදනා සහ අනිකුත් චොදනා හමස් පෙට්ටියේ පුස්කන්නට ඉඩ දිය යුතුය.

කොටිම්ම ඒකාබද්ධ විපක්ෂය යහතින් පැවතිය යුතුය. රනිල්ට පහසු හෙටක් උදාවන්නේ එතකොට ය.

රොබින් හුඩ් නාට්ටියේ සර් ගයි ඔෆ් ගිස්බන්ව ‍ෙකාච්චර වාර ගාණක් රොබින් හුඩ්ට කොටු උනත් පුකට තට්ටු කර ආපහු නොටිංහැම් එළවන්නේ ඒක ය.

http://www.ushistory.org/gov/images/00020713.gif

අන්තිමේදි බලනකලට - අන්දරේල අපි සේරම
අන්තිමේදි බලනකලට - අන්දරේල අපි සේරම
අන්දරේ ලා...

Friday, April 1, 2016

අවසානයක් නොවේ... 2 කොටස


අංගනය කෙළවර වූයේ හාත්පස පැතිරි අඳුර මැද නැඟී සිටි කළුවන් භූතයෙකු වැනි ගරා වැටෙමින් පැවති මන්දිරය කි. එහි දැවන්ත පෝටිකෝව යටට කන්‍යා සොයුරිය දිව යත්ම, මහ වැස්ස ගඩ ගඩ හඬින් ඈ ලූහුබැඳ ආයේ ය.

ඇය හතිලමින් මොහොතක් ගත කළාය. සාක්කුවකින් ගත් කුඩා අත් ලේන්සුවකින් තරුණිය සිය මුහුණත් දෑතත් පිසදාගත්තා පමණි. මන්දිරයේ ප‍්‍රධාන දොරෙහි වම්පස පියන මළකඩ හඬක් නඟමින් විවර විය.

කන්‍යා සොයුරිය තිගැස්සිණ. සිය අත්බෑගය උරහිසින් පන්නා සුරතට ගත් ඈ, පසුපස හැරී බැලූවාය.

අද එතැන් සිට...

විවට දොර පියන අතරින් එළියට ආවේ කාලවර්ණ පැරණි දිග කබායකින් සැරසි මහල්ලෙකි. සුරතේ වූ සැරයටියකින් ඔහුගේ දුබල කයට වාරු ලැබුණි. වයස අසූවක් වත් ඇතැයි කිව හැකි රැළි වලින් පිරුණු ඔහුගේ මුහුණ දෙස බැලූ තරුණිය වෙවුලුවා ය. හාත්පස පැතිරි තද කළුවර පසුබිම් කර ගත් එම සුදුමැළි මුහුණෙහි, කාරුණික මඳ සිනාවක සේයාවක් විය.

‘‘තද වැස්ස...’’ ගැඹුරු ළිඳක පතුලේ සිට නැඟී ආවක් වැනි දුබල හඬකින් මහල්ලා ඈ ඇමතීය.

වේගයෙන් ගැහෙමින් පැවති සිය පපුව මත වමත තබා ගත් කන්‍යා සොයුරිය, හිස පහත් කර ඊට එකඟතාවය පළ කළා ය.

‘‘ඇතුළට එනවද? මෙතන හිරිකඩ නෙ.’’

කෘතඥතාපූර්වක බැල්මකින් මහල්ලා දෙස බැලූ ඇය, විවට දොරෙන් ඇතුල් වත්ම, දොරපියන මළකඩ හඬ නඟමින් සෙමෙන් සෙමෙන් වැසී ගියේය.

දෙදෙනා ඇතුල් වූයේ, චිමිනි ලාම්පුවක දුබල දැල්ලෙන් යන්තම් ආලෝකවත් වූ විසාල ශාලාවකට ය. අපිළිවෙල එහි හාත්පස ලියැවී තිබුණි. දොර කෙලින්ම, ශාලාවේ අනෙක් පස වූයේ දැවයෙන් නිමැවූ දැවැන්ත කවාකාර තරප්පු පෙළකි. අඟුරු, අළු හා ඇති තරම් දුහුවිල්ලෙන් වැසී ගිය පැරණි තාලයේ ගිණි උඳුනක් ඊට වම් පසින් විය. කැඩුණු බිඳුණු ගෘහ භාණ්ඩ, විවිධ මෙවළම් ආදියෙන් ශාලාවේ බිත්ති කොන් ඇහිරී තිබිණ. 

ගිණි උඳුනට මුහුණලා තබා තිබූ වූ බරසාර ඇඳි පුටුවක් වෙත මහල්ලා සිය සැරයටිය දික් කළේය. කන්‍යා සොයුරිය එදෙසට යාමට හැරුණා ය.

මහල්ලා උදුන අසළ තබා තිබූ අඩක් දිරාපත් වෙමින් පැවති ලී පෙට්ටියක් ඇර, ඉන් ගල් අඟුරු දෝතක් ඉවතට ගත්තේ ය.

‘‘දැන් ගල් අඟුරු හොයාගන්න තැනක් නෑ. පේනවනෙ, කොච්චර කාලෙකින් මේ චිමිනිය පත්තු කරල නැද්ද කියල.’’

ඔහු ගල් අඟුරු ටික උඳුනට දමා, කනප්පුව මත වූ චිමිනි ලාම්පුවෙන් තෙල් ස්වල්පයක් වත් කර, ගිණි තැබීය. මොහොතකින් ගල් අඟුරු රතුවන් ව ඇවිලෙන්නට ගති.

http://www.saltwater.co.uk/images/wallpaper/Coal-Fire-1024x768.jpg

කන්‍යා සොයුරිය සිය උරහිසෙහි වූ අත්බෑගය උරහිස ගස්සා ඉදිරියට ගනිමින් උදුන දෙසට පිය එසවූවා ය. ඇගේ ඇඟිලි තුඩු අත්බෑගයේ පැත්තක වූ ටික් අගුලෙහි දැවටෙත්ම එම අගුල විවර වී, සහල් ඇට වැස්සක් වැගිරෙන්නට පටන් ගති. සට සට හඬින් බිම පතිත වූ සහල්, නැවත නැවතත් උඩ පනිමින් ශාලාව පුරා විසිරෙන්නට ගත වූයේ තප්පර දෙක තුනකි.

මහල්ලාගේ ඇස් රතු විය. වකුටු වූ ඝන ඇසිබැමි යටින් ඒ දෑස් විසල් ව විවර වී, යොමු වූයේ තරුණියගේ මුහුණට ය.

ඇගේ මුහුණ බියපත්ව සුදුමැළි විය.

අපැහැදිළි හඬින් යම්කිසිවක් මුමුණමින් මහල්ලා ශාලාවේ බිමට නැඹුරු විය. හාත්පස විසිරී ගිය සහල් ඇට ඔහු එකින් එක සිය සුරතේ දිගු ඇඟලි තුඩු වලින් අහුලමින්, ගොටු කරගත් වමතට එකතු කරන්නට පටන් ගත්තේ ය.

කන්‍යා සොයුරිය ඔහු වෙත යොමු වූ දෑසින් යුතුව, සෙමෙන් සෙමෙන් ප‍්‍රධාන දොර දෙසට ඇදුණා ය. ඒ අතරම, සාක්කුවෙන් ගත් ජංගම දුරකථනයෙහි ඩයල් බොත්තම දෙවරක් එබුවා ය.

තරුණිය දොර අසලට අවුත්, ඉන් වම්පසට අඩි කිහිපයක් ගියා පමණි, මහ හඬක් නගමින් දොර පියන් දෙක බිඳී ගියේ ය. කැඩුණු දොර පියන් වල ලී කැබලි ශාලාව ඇතුළට විසි වෙද්දී, එතැනින් ඇතුළට ආ වේගවත් රිදීපැහැ ලෑන්ඞ් රෝවරයක්, ගලක් ගැසුවාක් මෙන් ශාලාව මැද නතර විය.

Monday, March 28, 2016

හදවතින්ම...

-------------------------------------------------------------------
මේ ලිපියට කලිං පලවෙන්නට නියමිතව තිබූ "අවසානයක් නොවේ" කතාවේ දෙවෙනි කොටස, මගේ කරුම දෝෂයක් හේතුවෙන් පළ නොවෙන අතර, එය මීළඟ පෝස්ටුවෙන් බලාපොරොත්තු විය හැකි බවට පාඨකයෝ කරුණාවෙන් අල කන්ඩය. (ආනයනික අර්තාපල් ගණං අඩු ය. පකිස්ථාන් අල ඒ අතරිනුත් ඉතාම හොඳය. ඒවා ගොඩක් දුරට ලංකා අර්තාපල් වගේම ය.)
-------------------------------------------------------------------

ගරු - තර සභාවෙන් අවසරයි...

මම මේ වෙලාවෙ මුලින්ම ස්තූති කරන්ඩ කැමතියි, මට ඉතිහාස කැටගරියෙ තුංවෙනි ස්ථානය ලබා දෙන්ඩ තීරණය කළ විනිශ්චය මණ්ඩලයට.

ඒ වගේම මේ නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙල පවත්වාගෙන යන්ඩ උරදෙන, තිරයෙන් පිටිපස්සෙ ඉන්න මම නොදන්න ගරු මහත්වරුන්ට, අජිත් ධර්මකීර්ති අයියට, නොසෑහෙන්න මහන්සි වුන බව අපි දෑහිම්ම දැක්ක කළ්‍යාණ මිත්‍ර සුමිත් කළණසිරි ට, සංගීතයෙන් අපේ දෙසවන් පුරවලා උතුරවා දාපු මනා, සජ්ජා, ඇතුළත් වාද්‍ය වෘන්දයට, කෙටි නාට්‍ය ආදිය අපට දැකගන්ඩ සළස්වපු උදවියට, කොටිම්ම කියතොත් නෙළුම්යාය 2015 සම්මාන උළෙලෙ කුදු මහත් සෑම අංගයක්ම සාර්ථක ලෙස ඉටු කරපු හැම දෙනාටම (නැත්තං මේ කතාව කොහෙං නවතියිද දන්නෑ...) ගොඩක් ස්තූතියි.

මා ඉතිහාසය විෂයට නැඹුරු ‍වන්නට මුල් අඩිතාලම සැපයූ මගෙ (දැනට ජීවතුන් අතර නැති) තාත්තට, අපේ ඕලෙවල් ඉතිහාස ගුරුතුමිය වුනු බන්දුමතී මහත්මියට සහ අපේ බාහිර උපාධි පන්තියෙ පුරාවිද්‍යා ලොකු සර් වුණු ශාන්ත බණ්ඩාරනායක මහත්මයට මීළඟට මගෙ කෘතඥතාවය පිරිනමන්න කැමතියි.

බ්ලොග් එකක් ලියන්න මුල් අදහස් බීජය මා තුළ රෝපණය වුනේ "‍පොඩි කුමාරිහාමි", "සිරාගෙ කාමරේ", "සෑම් ගෙ කතාව" සහ "තහනම් අඩවිය" බ්ලොග් ආශ්‍රයෙන්. ඒ නිසා මං මීළඟට ස්තූති කරන්නෙ ප්‍රවීණා පලීපාන මහත්මියට, සංජීව සිරිවර්ධන මහතාට, සමින්දික ශ්‍රීමන්ත පෙරේරා මහතාට සහ  හර්ශන අධිකාරී තරුණ මහතාට.

මගෙ බ්ලොග් එකේ මුල් කාලෙදි මාව දිරිමත් කරපු සදාදරණීය කමෙන්ට් කරුවන් සහ සින්ඩිකේටර් කරුවන් සියළු දෙනාටම මාව මේ තරම් දුරක් ගෙනඒම සම්බන්ධයෙන් මගේ හද පිරි කෘතඥතාවය... මේ තාක් කාලයක් මගේ බ්ලොග් එක ආශ්‍රය කරපු සියළුම පාඨකයන් ද මේ අවස්ථාවෙදි සිහිපත් කළ යුතුයි.

සම්මාන උළෙලට පාර කියූ ගූගල් මැප් එකට සහ ඒ අටමගලෙ විශ්වාස කරලා මං බීඑම්අයිසීඑච් පැත්තට යන්න යද්දි නියම මග පෙන්වපු සුරංග ට ඊළඟට ස්තූතියි.

සම්මානයක් ගන්ඩ තරංවත් දෙයක් ලියන්ඩ පසුබිම සැපයූ, උලතියන ව්ලාඩ් හවත් ව්ලැඩිස්ලෝස් ඩ්‍රැගූලියා වොයිවෝඩ් වරයාට, උන්දැට එහෙම හැසිරෙන්න බලපෑ මැතියාස් කෝවිනස් නම් හංගේරියානු රජුට සහ මෙහ්මඩ් නම් ඔටෝමන් පාලකයාට, ඩ්‍රැක්‍යුලා ගැන මුඛපරම්පරාගත් තොරතුරු සහ ඓතිහාසික ලියවිලි පවත්වාගත් සියලු දෙනාට, උන්දැගෙ නම අරං පොත් ලියපු බ්‍රෑම් ස්ටෝකර්ට සහ ඒ පොතෙන් ගහපු බයිස්කෝප් වල ඩ්‍රැකියුලාට නැටුව ක්‍රිස්ටෝෆර් ලී මහත්තෙයට මගෙ ප්‍රමාණය ප්‍රණාමය පුදකරනවා.

අවසානයට, මට මේ කාඩ් එක ගහපු මහතුවා හෙවත් දීපාල් කාන්චන කුලරත්න ට සහ ඩිකී හෙවත් සෝබන (කස්තුරි) ශ්‍රියන්ත ට ද, ඒ කාඩ් එක ප්‍රොමෝට් කරපු සාගල, ඉන්දික (ශාන්ත ෆෝකා මුනිතුමා) සහ ආසිරි (හර්කියුලීස්) මිතුරන්ට ද ඉස්තූති කරමින්,

අන්තිමටම, මාව සම්මාන උළෙලට වැදගත් විදිහට අන්දවලා එවමින්, "යන්න. ඔයාට එකක් අනිවාර්යෙන්ම ඇති." කියා දිරිගන්වපු මගේ ආදරණීය බිරිඳ මෙන්ම මගේ හොඳම යාළුවාද වන, නිලන්ති දිසානායක හෙවත් ඩ්‍රැකියානි ට සහ මට ‍සම්මාන උළෙලට එන්න පුළුවන් වෙන විදිහට, කලින් දවසෙ හවස රාගම රෝහලෙන් ටිකට් කපාගෙන ගෙදර ආව මාස පහක් වයස මගෙ පොඩි පුතා ට ආදර බර ස්තූතිය ‍ද මේ අවස්ථාවෙ පිරිණමමින්, මගේ වචන සුවල්පය (හොඳ සුවල්පය...! මාගලත් මීට වඩා කොටයි) මෙයින් අවසන් කරනවා.

http://image.slidesharecdn.com/
random-150629132542-lva1-app6891/95/-31-638.jpg?cb=1435584547


---------------------------

සම්මානයක් ගත්ත එවුං වේදිකාවෙන් බහින්ඩ කලිං මයික් එකට ළං වෙලා ස්තූති කරන සිරිතක් මං දැක තිබේ. ඒත් මේකෙ සම්මාන දුන්න විදිහට එහෙම කතා කොරන්ඩත් දුන්නනං, සම්මාන උළෙ‍ල මේ වෙනකොටත් පැවැත්වෙනවාට කිසිම සැකයක් නැත. එහෙයිං මං ලෑස්ති කරං ආව කතාව තව ටිකක් ඔපමට්ටං කර පෝස්ටුවක් විදිහට දානවා ය. සුධීහු කමත්වා ය.

---------------------------

මේ සම්මාන උළෙලට ආව එක මට ගොඩක් හොඳය. රූපෙ (ඌ නං උගෙ ප්‍රොෆයිල් කාටුන් එක වගේමය), දිනේශ් උමගුලිය, වත්සලා කෝ විජේරත්න, මාතලං, රසිකලොජිස්ට්, ටෙක් සයුරා, විභීෂණ ‍ද සෙකන්ඩ්, චෙෆාකි, රන්දිල්, බස්සියි බස්සයි, අජිත් ධර්ම, නාලක ගුණවර්ධන, මනෝ මන්දිර, රියර් ඇඩ්මිරල් සහ මාෂල් නාමධාරී සමපෝෂ රිවස් විදානෙ, ආදරණීය ඕනෙ, ඇටම්පහුර, හයේ හතරෙ දමිත් ගුණවර්ධන, ලියන් නෑ හෙවත් වෙනී අයියා, විචාරක මාමා, ඩයිනෝසරයා ගෙන් කටුස්සා පැවතෙන බවට ජීවමාන සාධකයක් ආදී (නම ලියන්ඩ බැරි උන උදවිය සමා වෙන්ඩය) ගොඩාක් දෙනා හමුවෙලා කතා කරන්ඩත්, ඉයන්, පැරා ආදී තවත් බොහොමයක් අය දැකගන්ඩත් හම්බුණ එකම ඇතිය. අහසිං කසුං එක්ක කතා කොරන්ඩ බැරිවීම මහා දුකකි. සිංදු ඇනෝගේ නම මයික් එකේ කියවෙද්දී, සම්මානය ගන්ඩ මෙන් නැගිටලා ඇවිත් වේදිකාව ගාවිං දොර ඇරගෙන එළියට ගිය උන්දෑ මට අහුවුනොත්... ඒ ඔක්කොටමත් වැඩිය මෙච්චර කාලෙයක් මට මුණ නොගැහුණු මගෙ බාල සහෝදරයා වුන සුරංග (මෙටෆොරිකලි කිව්වෙමි. සිරා ගන්ට එපාය) හමුවීම ඉහටත් උඩිං ය.

සම්මානෙත් එක්ක හම්බුණ පොත සහ ඉයන් ගෙ සීඩී එක, ගොඩක් වටිනවාය. සල්ලි ටිකකුත් ගෙනාවනං තවත් පොත් ගන්ඩත් තිබුණේ ය. අර හම්බුණ පෙන් ඩ්‍රයිව් එක ඩ්‍රැකියානිට ගොඩක් ප්‍රයෝජන වනු ඇති අතර, සම්මානෙත් එක්ක හම්බුණ සල්ලි ටික එවෙලේ මගෙ හිතේ තිබ්බ කළබොලේට (මයෙ හිතේ) ඔඩිටෝරියම් එකේ ක්ලීනිං සර්විස් එකට මා විසින් සද්භා‍වයෙන් පරිත්‍යාග කර ඇති බව වැටහේ.

Thursday, March 17, 2016

අවසානයක් නොවේ... 1 කොටස

https://s-media-cache-ak0.pinimg.com/736x/34/af/d9/34afd93436083ab8578493316f641a8b.jpg

හාත්පස පැතිරි මඳ අඳුර කෙමෙන් කෙමෙන් වර්ධනය වන්නට පටන් ගෙන තිබුණි. පටු මාවත දෙපස වැවුනු වල් පඳුරු වල මුල් අතර සිට මීදුම තෙත් බර බවින් පිරී යමින් පාර පුරා පැතිර යන්නට විය.

තරුණ කන්‍යා සොයුරිය ලේ මිදෙන තරම් සීතලෙන් බේරෙන්නට සිය දෑත් ළය මත බැඳගත්තාය. ඇගේ දෙපයට ඇය ගෙන යා හැකි උපරිම වේගයෙන් ඈ පටු පාර දිගේ පිය නඟා යමින්...

පොද වැස්ස පටන්ගත්තේ හිටිවනම ය. හාත්පස තෙත්බර කරමින් හමා ආ මඳ සුළඟ, දෙපස හෙවුණු ගස් අතු අතර කරකැවෙමින් සියුම් මූසල හැඬුම් රාවයක් නංවමින් තරුණිය තව තවත් බියපත් කරන්නට වැර ගන්නා සෙයක් පෙනුනි. සිරි සිරි පොදය කෙමෙන් කෙමෙන් උග්‍ර අතට හැරුණා මිස, දැන් දැන් නතර වෙතැයි ලකුණකුදු දක්නට නොවීය. වැස්සෙන් සහ සීතලෙන් ආවරණය පතා යා හැකි තැනක්, පටු පාරේ පෙනෙන තෙක් මානයක කන්‍යා සොයුරියට පෙනුනේ නැත.

පටු මාවත අයිනෙන් පටන් ගෙන, රූස්ස ගස් අතරින් වංගු ගැසෙමින් උඩහට දිවෙන අතුරු පාර අද්දරට ආ ඈ මොහොතකට නතර වූවාය. අක් මුල් නැති වැල් ගාලින් වැසුණු, අඩක් වියැකී ගිය පුවරුවක් එහි පසෙක විය. පැරණි වී ගිය නිල ලෝගුවේ සාක්කුවකින් ගත් කුඩා විදුලි පන්දම දල්වා ගත් ඈ, ඉන් නිකුත් වූ ආලෝක දහර දිරාගිය පුවරුවට එල්ල කළා ය.

කහ පැහැ ගැසී, ඉරි තැළී ගිය පැරණි සුදු තීන්ත තට්ටුව මත කළු තීන්තෙන් ‘‘ANDERSEN GRANGE’’ යන්න, කාලයකට කලින් ලියැවී තිබූ බවට සලකා ගත හැකි වූයේ යාන්තමිනි.

අවසන් වරට ද පාරේ දෙපස බැලූ කන්‍යා සොයුරිය අතුරු පාරට හැරුණා ය.

අඳුරින් වැසුණු අතුරු පාර කෙළවර වූයේ ඇයී විවර වූ, දිරාගිය යකඩ ගේට්ටුවකි. කාලයකින් මිනිස් පහසක් නොලද වල් වැවුණු අංගනයකට එය විවර වී තිබිණ. කලකට පෙර කලාකාමී සැලසුම් කරුවෙකු අතින් නිමැවුනක් බවට ලකුණු අංගනය හාත්පස පැතිර තිබිණ. අංගනය මැද වූ දේව දූතයෙකුගේ විසල් පිළිමයක්, ඉණක් තරම් උසට ගනව වැවුණු තණ පඳුරක් විසින් කෙමෙන් කෙමෙන් ගිළ ගැනීමට තැත් කරමින් පැවතින. අංගනය හරහා වැටනු පාරට අල්ලා තිබූ කළු ගල් කුට්ටි ගෙවී තිබුණේ කාලයකට පෙර නිතර ගැටුණු අශ්ව ලාඩම් සහ අස් රිය රෝද වල යකඩ පට්ටම් වලිනි.

අංගනය කෙළවර වූයේ හාත්පස පැතිරි අඳුර මැද නැඟී සිටි කළුවන් භූතයෙකු වැනි ගරා වැටෙමින් පැවති මන්දිරය කි. එහි දැවන්ත පෝටිකෝව යටට කන්‍යා සොයුරිය දිව යත්ම, මහ වැස්ස ගඩ ගඩ හඬින් ඈ ලූහුබැඳ ආයේ ය.

ඇය හතිලමින් මොහොතක් ගත කළාය. සාක්කුවකින් ගත් කුඩා අත් ලේන්සුවකින් තරුණිය සිය මුහුණත් දෑතත් පිසදාගත්තා පමණි. මන්දිරයේ ප්‍රධාන දොරෙහි වම්පස පියන මළකඩ හඬක් නඟමින් විවර විය.

කන්‍යා සොයුරිය තිගැස්සිණ. සිය අත්බෑගය උරහිසින් පන්නා සුරතට ගත් ඈ, පසුපස හැරී බැලූවාය.

දෙවන කොටස...

Wednesday, March 16, 2016

අජන්තා රණසිංහ සහ මරණ දැන්වීම් කීපයක් (ඇරියස් කවර් කිරීමක් සහ කම්මැලිකම...)

අජන්තා රණසිංහ සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් පළවුනු ශ්‍රී සඟරාවක් මගේ මතකයේ තිබුණා. පහුගිය සති අන්තයේ තමයි ඒක හොයාගෙන ස්කෑන් කරන්නට වෙලාවක් ලැබුණේ. මේ පළවෙන්නේ ඒ සම්මුඛ සාකච්ඡාව...

පින්තූර උඩ ක්ලික් කරල ලොකු කරගන්න.




මේ දෙවෙනි පිටුව කපල තියෙන්නෙ ඉතිං මංතුමා ම තමයි පොඩි කාලෙ. අපසාදෙ...



ඒ එක්කම, මීට කලින් “සාගරයක් මැද - අමන රටක් ඇත“ පොත හඳුන්වා දුන් පෝස්ටුවේ කමෙන්ටුවක් කොටමින් කටුසු හදවත, සිරිබිරිස් සහ බුරාතිනෝ මරණ දැන්වීම් දෙකක් ගැන සඳහන් කළා. එයින් එකකට ලිංක් එකත් බුරාතිනෝ සැපයුවා.

එයින්, මගේ ළඟ තිබුණ ඒ විදිහෙ දැන්වීම් කීපයක් පළකරන්න අදහසක් ඇති වුනා. මේ පහත දැක්වෙන දැන්වීම්, Hooked on Mad කියන වෝනර් පොතේ තිබුණෙ. මේ තියෙන්නෙ ඒ පොත.


මෙන්න එහෙනං මරණ දැන්වීම් ටික. මටනං හොඳම එක තමයි තැපැල් සේවයෙ මළගම...




පොලිසියෙන් පුවක්! (බුලත්, දේවාල අසල ඇති කඩවලින් මිලදී ගත හැක)

කටුස්සා මේ වෙනකොට සීයක් ලියලලු. ඌට සුභපැතුම් එක්කරන්නේ, ඩ්‍රැකියා, ඩ්‍රැකියානි, ඩ්‍රැකි පැට්ටා, ඩ්‍රැකි කුක්කා සහ පූසො දෙන්නා ඇතුළු ඩ්‍රැකී පවුලේ සියළුම දෙනා.

නොබෝදා තම පවුලට අලුත් සාමාජිකයෙක් එකතු කරගත් කල්‍යාන මිත්‍රයා හට, උන්නැහැගේ මායියා හට සහ, මේ ආරංචිය හෝල් සේල් කර සිටි සුරංගයා හට උඩිං නම් කරපු කෂ්ටියගේ උණුසුම් සුභපැතුම්...

Tuesday, March 1, 2016

කලබලේට විසුරුවපු කෙටි සරළ ගජබින්න (-:

බහුතරය‍කගේ ඉල්ලීම සහ මරණ තර්ජන හේතුවෙන් ඉතාම සරළ ගජබින්න දෙකක් මෙහි ලියා දක්වනවා ඇත.

දවසක් මං පොල් වත්තක් මැදිං යනව... අපේ ගමේ තිබුණ ලොකු පොල් වතු දෙකක්. එකක් නිළමෙගෙ වත්ත, අනික මුර වත්ත. මුර වත්ත මැදිං තමා මං ගියෙ. අපේ වත්ත පල්ලැහැං වෙළට පැනල, වෙළෙං එගොඩ වෙලා මුරවත්ත මැදිං ගියාම පරකන්දෙණියට යාගත්තෑකි කෙටි පාරක් තිබ්බ.

ඉතිං මං දවසක් පොල් වත්තක් මැදිං යනව. යද්දිං මට ඇහෙනව බොහොම හීනි කටහඬිං මොනවද කියනව. කවුරුවත් පේන්නත් නෑ. පේළිියට වවපු පොල් ගස්, අතරිං පතර වැවුණ කුරුඳු, ගොරක, කජු වගේ ගස් කීපයක් විතරයි තිබුණෙ. මං කන්දීල බැලුව... ඇහෙනව තමා... 

“මෙන්න.“ 
“මේකත් ගනිං.“ 
“කෝ මෙහෙ දියං.“ 
“ඉඳා ගනිං“ 
“අල්ල ගනිං“ 
“දීපං ඉතිං“ 
“ඕං“
"කෝ බං ටිකක් අත ඉක්මං කරහං"
"දීපිය හු$#"
"ආ ගනිං ප#$"

වගේ වචන තමා ඇහෙන්නෙ. ඒ වුනාට කවුරුවත් නෑ පේන මානෙක. මං තවත් අවධානයෙන් කන් දීගෙන ඒ සද්දෙ එන පැත්ත හොයාගත්ත. එතන තිබ්බෙ තඩි කුරුඳු ගහක්. ඒකෙ පාත අත්තක දිමියො සෙට් එකක් කොළ එක එක වකුටු කර කර දිමි ගොට්ටක් හදනව. උං වැඩකරද්දි උං අතරෙ වෙන කතා බහ තමා මට අර ඇහිල තියෙන්නෙ....

-----------####----------

තව දවසක් මං පොඩි කාලෙ. අපේ ගමේ තිබ්බ බේකරි කඩයක්. ඕකට මං යනව රෑ හතට අටට විතර ටෝච් එකකුත් අරං. යනකොට පාර අයිනෙ රිදී පාටට බැබළි බැබලි ඉන්නව - කවුද? නයිහාමි. මේං මේ සයිස් පත නයා. මං මොකද කළේ? කෙලල ඇරිය ටෝච් එකෙං නයාට. ඌට වැදුනද කියල බලන්නවත් උන්නෙ නෑ, දුවන්ඩ ගත්ත දෙපයට වැර දීලා.

දුවගෙන දුවගෙන යද්දි, මේං බොලේ පස්සෙං ටෝච් එළියක් වැදුන. තව කවුරු හරි වැඩිහිටියෙක් බේකරිය පැත්තට යනව ඇති. මටත් උන්දැත් එක්ක යන්න පුළුවං. කියල හිතල මං පස්ස හැරිල බලද්දි...

මේං බොලේ නයා ටෝච් එක ගහ ගහ මාව හොයාගෙන එනව පාර දිගේ...

http://freedesignfile.com/upload
/2012/05/0021a7f2_medium23.jpg


කලිං ලියපු ගජබින්න වලට පටුනක්.

10 බාප්පගෙ සත්ත්ව පාලනය හෙවත් හුංගා සහ එළුවා

වැඩිපුර බලපු ලිපි