Monday, March 28, 2016

හදවතින්ම...

-------------------------------------------------------------------
මේ ලිපියට කලිං පලවෙන්නට නියමිතව තිබූ "අවසානයක් නොවේ" කතාවේ දෙවෙනි කොටස, මගේ කරුම දෝෂයක් හේතුවෙන් පළ නොවෙන අතර, එය මීළඟ පෝස්ටුවෙන් බලාපොරොත්තු විය හැකි බවට පාඨකයෝ කරුණාවෙන් අල කන්ඩය. (ආනයනික අර්තාපල් ගණං අඩු ය. පකිස්ථාන් අල ඒ අතරිනුත් ඉතාම හොඳය. ඒවා ගොඩක් දුරට ලංකා අර්තාපල් වගේම ය.)
-------------------------------------------------------------------

ගරු - තර සභාවෙන් අවසරයි...

මම මේ වෙලාවෙ මුලින්ම ස්තූති කරන්ඩ කැමතියි, මට ඉතිහාස කැටගරියෙ තුංවෙනි ස්ථානය ලබා දෙන්ඩ තීරණය කළ විනිශ්චය මණ්ඩලයට.

ඒ වගේම මේ නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙල පවත්වාගෙන යන්ඩ උරදෙන, තිරයෙන් පිටිපස්සෙ ඉන්න මම නොදන්න ගරු මහත්වරුන්ට, අජිත් ධර්මකීර්ති අයියට, නොසෑහෙන්න මහන්සි වුන බව අපි දෑහිම්ම දැක්ක කළ්‍යාණ මිත්‍ර සුමිත් කළණසිරි ට, සංගීතයෙන් අපේ දෙසවන් පුරවලා උතුරවා දාපු මනා, සජ්ජා, ඇතුළත් වාද්‍ය වෘන්දයට, කෙටි නාට්‍ය ආදිය අපට දැකගන්ඩ සළස්වපු උදවියට, කොටිම්ම කියතොත් නෙළුම්යාය 2015 සම්මාන උළෙලෙ කුදු මහත් සෑම අංගයක්ම සාර්ථක ලෙස ඉටු කරපු හැම දෙනාටම (නැත්තං මේ කතාව කොහෙං නවතියිද දන්නෑ...) ගොඩක් ස්තූතියි.

මා ඉතිහාසය විෂයට නැඹුරු ‍වන්නට මුල් අඩිතාලම සැපයූ මගෙ (දැනට ජීවතුන් අතර නැති) තාත්තට, අපේ ඕලෙවල් ඉතිහාස ගුරුතුමිය වුනු බන්දුමතී මහත්මියට සහ අපේ බාහිර උපාධි පන්තියෙ පුරාවිද්‍යා ලොකු සර් වුණු ශාන්ත බණ්ඩාරනායක මහත්මයට මීළඟට මගෙ කෘතඥතාවය පිරිනමන්න කැමතියි.

බ්ලොග් එකක් ලියන්න මුල් අදහස් බීජය මා තුළ රෝපණය වුනේ "‍පොඩි කුමාරිහාමි", "සිරාගෙ කාමරේ", "සෑම් ගෙ කතාව" සහ "තහනම් අඩවිය" බ්ලොග් ආශ්‍රයෙන්. ඒ නිසා මං මීළඟට ස්තූති කරන්නෙ ප්‍රවීණා පලීපාන මහත්මියට, සංජීව සිරිවර්ධන මහතාට, සමින්දික ශ්‍රීමන්ත පෙරේරා මහතාට සහ  හර්ශන අධිකාරී තරුණ මහතාට.

මගෙ බ්ලොග් එකේ මුල් කාලෙදි මාව දිරිමත් කරපු සදාදරණීය කමෙන්ට් කරුවන් සහ සින්ඩිකේටර් කරුවන් සියළු දෙනාටම මාව මේ තරම් දුරක් ගෙනඒම සම්බන්ධයෙන් මගේ හද පිරි කෘතඥතාවය... මේ තාක් කාලයක් මගේ බ්ලොග් එක ආශ්‍රය කරපු සියළුම පාඨකයන් ද මේ අවස්ථාවෙදි සිහිපත් කළ යුතුයි.

සම්මාන උළෙලට පාර කියූ ගූගල් මැප් එකට සහ ඒ අටමගලෙ විශ්වාස කරලා මං බීඑම්අයිසීඑච් පැත්තට යන්න යද්දි නියම මග පෙන්වපු සුරංග ට ඊළඟට ස්තූතියි.

සම්මානයක් ගන්ඩ තරංවත් දෙයක් ලියන්ඩ පසුබිම සැපයූ, උලතියන ව්ලාඩ් හවත් ව්ලැඩිස්ලෝස් ඩ්‍රැගූලියා වොයිවෝඩ් වරයාට, උන්දැට එහෙම හැසිරෙන්න බලපෑ මැතියාස් කෝවිනස් නම් හංගේරියානු රජුට සහ මෙහ්මඩ් නම් ඔටෝමන් පාලකයාට, ඩ්‍රැක්‍යුලා ගැන මුඛපරම්පරාගත් තොරතුරු සහ ඓතිහාසික ලියවිලි පවත්වාගත් සියලු දෙනාට, උන්දැගෙ නම අරං පොත් ලියපු බ්‍රෑම් ස්ටෝකර්ට සහ ඒ පොතෙන් ගහපු බයිස්කෝප් වල ඩ්‍රැකියුලාට නැටුව ක්‍රිස්ටෝෆර් ලී මහත්තෙයට මගෙ ප්‍රමාණය ප්‍රණාමය පුදකරනවා.

අවසානයට, මට මේ කාඩ් එක ගහපු මහතුවා හෙවත් දීපාල් කාන්චන කුලරත්න ට සහ ඩිකී හෙවත් සෝබන (කස්තුරි) ශ්‍රියන්ත ට ද, ඒ කාඩ් එක ප්‍රොමෝට් කරපු සාගල, ඉන්දික (ශාන්ත ෆෝකා මුනිතුමා) සහ ආසිරි (හර්කියුලීස්) මිතුරන්ට ද ඉස්තූති කරමින්,

අන්තිමටම, මාව සම්මාන උළෙලට වැදගත් විදිහට අන්දවලා එවමින්, "යන්න. ඔයාට එකක් අනිවාර්යෙන්ම ඇති." කියා දිරිගන්වපු මගේ ආදරණීය බිරිඳ මෙන්ම මගේ හොඳම යාළුවාද වන, නිලන්ති දිසානායක හෙවත් ඩ්‍රැකියානි ට සහ මට ‍සම්මාන උළෙලට එන්න පුළුවන් වෙන විදිහට, කලින් දවසෙ හවස රාගම රෝහලෙන් ටිකට් කපාගෙන ගෙදර ආව මාස පහක් වයස මගෙ පොඩි පුතා ට ආදර බර ස්තූතිය ‍ද මේ අවස්ථාවෙ පිරිණමමින්, මගේ වචන සුවල්පය (හොඳ සුවල්පය...! මාගලත් මීට වඩා කොටයි) මෙයින් අවසන් කරනවා.

http://image.slidesharecdn.com/
random-150629132542-lva1-app6891/95/-31-638.jpg?cb=1435584547


---------------------------

සම්මානයක් ගත්ත එවුං වේදිකාවෙන් බහින්ඩ කලිං මයික් එකට ළං වෙලා ස්තූති කරන සිරිතක් මං දැක තිබේ. ඒත් මේකෙ සම්මාන දුන්න විදිහට එහෙම කතා කොරන්ඩත් දුන්නනං, සම්මාන උළෙ‍ල මේ වෙනකොටත් පැවැත්වෙනවාට කිසිම සැකයක් නැත. එහෙයිං මං ලෑස්ති කරං ආව කතාව තව ටිකක් ඔපමට්ටං කර පෝස්ටුවක් විදිහට දානවා ය. සුධීහු කමත්වා ය.

---------------------------

මේ සම්මාන උළෙලට ආව එක මට ගොඩක් හොඳය. රූපෙ (ඌ නං උගෙ ප්‍රොෆයිල් කාටුන් එක වගේමය), දිනේශ් උමගුලිය, වත්සලා කෝ විජේරත්න, මාතලං, රසිකලොජිස්ට්, ටෙක් සයුරා, විභීෂණ ‍ද සෙකන්ඩ්, චෙෆාකි, රන්දිල්, බස්සියි බස්සයි, අජිත් ධර්ම, නාලක ගුණවර්ධන, මනෝ මන්දිර, රියර් ඇඩ්මිරල් සහ මාෂල් නාමධාරී සමපෝෂ රිවස් විදානෙ, ආදරණීය ඕනෙ, ඇටම්පහුර, හයේ හතරෙ දමිත් ගුණවර්ධන, ලියන් නෑ හෙවත් වෙනී අයියා, විචාරක මාමා, ඩයිනෝසරයා ගෙන් කටුස්සා පැවතෙන බවට ජීවමාන සාධකයක් ආදී (නම ලියන්ඩ බැරි උන උදවිය සමා වෙන්ඩය) ගොඩාක් දෙනා හමුවෙලා කතා කරන්ඩත්, ඉයන්, පැරා ආදී තවත් බොහොමයක් අය දැකගන්ඩත් හම්බුණ එකම ඇතිය. අහසිං කසුං එක්ක කතා කොරන්ඩ බැරිවීම මහා දුකකි. සිංදු ඇනෝගේ නම මයික් එකේ කියවෙද්දී, සම්මානය ගන්ඩ මෙන් නැගිටලා ඇවිත් වේදිකාව ගාවිං දොර ඇරගෙන එළියට ගිය උන්දෑ මට අහුවුනොත්... ඒ ඔක්කොටමත් වැඩිය මෙච්චර කාලෙයක් මට මුණ නොගැහුණු මගෙ බාල සහෝදරයා වුන සුරංග (මෙටෆොරිකලි කිව්වෙමි. සිරා ගන්ට එපාය) හමුවීම ඉහටත් උඩිං ය.

සම්මානෙත් එක්ක හම්බුණ පොත සහ ඉයන් ගෙ සීඩී එක, ගොඩක් වටිනවාය. සල්ලි ටිකකුත් ගෙනාවනං තවත් පොත් ගන්ඩත් තිබුණේ ය. අර හම්බුණ පෙන් ඩ්‍රයිව් එක ඩ්‍රැකියානිට ගොඩක් ප්‍රයෝජන වනු ඇති අතර, සම්මානෙත් එක්ක හම්බුණ සල්ලි ටික එවෙලේ මගෙ හිතේ තිබ්බ කළබොලේට (මයෙ හිතේ) ඔඩිටෝරියම් එකේ ක්ලීනිං සර්විස් එකට මා විසින් සද්භා‍වයෙන් පරිත්‍යාග කර ඇති බව වැටහේ.

Thursday, March 17, 2016

අවසානයක් නොවේ... 1 කොටස

https://s-media-cache-ak0.pinimg.com/736x/34/af/d9/34afd93436083ab8578493316f641a8b.jpg

හාත්පස පැතිරි මඳ අඳුර කෙමෙන් කෙමෙන් වර්ධනය වන්නට පටන් ගෙන තිබුණි. පටු මාවත දෙපස වැවුනු වල් පඳුරු වල මුල් අතර සිට මීදුම තෙත් බර බවින් පිරී යමින් පාර පුරා පැතිර යන්නට විය.

තරුණ කන්‍යා සොයුරිය ලේ මිදෙන තරම් සීතලෙන් බේරෙන්නට සිය දෑත් ළය මත බැඳගත්තාය. ඇගේ දෙපයට ඇය ගෙන යා හැකි උපරිම වේගයෙන් ඈ පටු පාර දිගේ පිය නඟා යමින්...

පොද වැස්ස පටන්ගත්තේ හිටිවනම ය. හාත්පස තෙත්බර කරමින් හමා ආ මඳ සුළඟ, දෙපස හෙවුණු ගස් අතු අතර කරකැවෙමින් සියුම් මූසල හැඬුම් රාවයක් නංවමින් තරුණිය තව තවත් බියපත් කරන්නට වැර ගන්නා සෙයක් පෙනුනි. සිරි සිරි පොදය කෙමෙන් කෙමෙන් උග්‍ර අතට හැරුණා මිස, දැන් දැන් නතර වෙතැයි ලකුණකුදු දක්නට නොවීය. වැස්සෙන් සහ සීතලෙන් ආවරණය පතා යා හැකි තැනක්, පටු පාරේ පෙනෙන තෙක් මානයක කන්‍යා සොයුරියට පෙනුනේ නැත.

පටු මාවත අයිනෙන් පටන් ගෙන, රූස්ස ගස් අතරින් වංගු ගැසෙමින් උඩහට දිවෙන අතුරු පාර අද්දරට ආ ඈ මොහොතකට නතර වූවාය. අක් මුල් නැති වැල් ගාලින් වැසුණු, අඩක් වියැකී ගිය පුවරුවක් එහි පසෙක විය. පැරණි වී ගිය නිල ලෝගුවේ සාක්කුවකින් ගත් කුඩා විදුලි පන්දම දල්වා ගත් ඈ, ඉන් නිකුත් වූ ආලෝක දහර දිරාගිය පුවරුවට එල්ල කළා ය.

කහ පැහැ ගැසී, ඉරි තැළී ගිය පැරණි සුදු තීන්ත තට්ටුව මත කළු තීන්තෙන් ‘‘ANDERSEN GRANGE’’ යන්න, කාලයකට කලින් ලියැවී තිබූ බවට සලකා ගත හැකි වූයේ යාන්තමිනි.

අවසන් වරට ද පාරේ දෙපස බැලූ කන්‍යා සොයුරිය අතුරු පාරට හැරුණා ය.

අඳුරින් වැසුණු අතුරු පාර කෙළවර වූයේ ඇයී විවර වූ, දිරාගිය යකඩ ගේට්ටුවකි. කාලයකින් මිනිස් පහසක් නොලද වල් වැවුණු අංගනයකට එය විවර වී තිබිණ. කලකට පෙර කලාකාමී සැලසුම් කරුවෙකු අතින් නිමැවුනක් බවට ලකුණු අංගනය හාත්පස පැතිර තිබිණ. අංගනය මැද වූ දේව දූතයෙකුගේ විසල් පිළිමයක්, ඉණක් තරම් උසට ගනව වැවුණු තණ පඳුරක් විසින් කෙමෙන් කෙමෙන් ගිළ ගැනීමට තැත් කරමින් පැවතින. අංගනය හරහා වැටනු පාරට අල්ලා තිබූ කළු ගල් කුට්ටි ගෙවී තිබුණේ කාලයකට පෙර නිතර ගැටුණු අශ්ව ලාඩම් සහ අස් රිය රෝද වල යකඩ පට්ටම් වලිනි.

අංගනය කෙළවර වූයේ හාත්පස පැතිරි අඳුර මැද නැඟී සිටි කළුවන් භූතයෙකු වැනි ගරා වැටෙමින් පැවති මන්දිරය කි. එහි දැවන්ත පෝටිකෝව යටට කන්‍යා සොයුරිය දිව යත්ම, මහ වැස්ස ගඩ ගඩ හඬින් ඈ ලූහුබැඳ ආයේ ය.

ඇය හතිලමින් මොහොතක් ගත කළාය. සාක්කුවකින් ගත් කුඩා අත් ලේන්සුවකින් තරුණිය සිය මුහුණත් දෑතත් පිසදාගත්තා පමණි. මන්දිරයේ ප්‍රධාන දොරෙහි වම්පස පියන මළකඩ හඬක් නඟමින් විවර විය.

කන්‍යා සොයුරිය තිගැස්සිණ. සිය අත්බෑගය උරහිසින් පන්නා සුරතට ගත් ඈ, පසුපස හැරී බැලූවාය.

දෙවන කොටස...

Wednesday, March 16, 2016

අජන්තා රණසිංහ සහ මරණ දැන්වීම් කීපයක් (ඇරියස් කවර් කිරීමක් සහ කම්මැලිකම...)

අජන්තා රණසිංහ සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් පළවුනු ශ්‍රී සඟරාවක් මගේ මතකයේ තිබුණා. පහුගිය සති අන්තයේ තමයි ඒක හොයාගෙන ස්කෑන් කරන්නට වෙලාවක් ලැබුණේ. මේ පළවෙන්නේ ඒ සම්මුඛ සාකච්ඡාව...

පින්තූර උඩ ක්ලික් කරල ලොකු කරගන්න.




මේ දෙවෙනි පිටුව කපල තියෙන්නෙ ඉතිං මංතුමා ම තමයි පොඩි කාලෙ. අපසාදෙ...



ඒ එක්කම, මීට කලින් “සාගරයක් මැද - අමන රටක් ඇත“ පොත හඳුන්වා දුන් පෝස්ටුවේ කමෙන්ටුවක් කොටමින් කටුසු හදවත, සිරිබිරිස් සහ බුරාතිනෝ මරණ දැන්වීම් දෙකක් ගැන සඳහන් කළා. එයින් එකකට ලිංක් එකත් බුරාතිනෝ සැපයුවා.

එයින්, මගේ ළඟ තිබුණ ඒ විදිහෙ දැන්වීම් කීපයක් පළකරන්න අදහසක් ඇති වුනා. මේ පහත දැක්වෙන දැන්වීම්, Hooked on Mad කියන වෝනර් පොතේ තිබුණෙ. මේ තියෙන්නෙ ඒ පොත.


මෙන්න එහෙනං මරණ දැන්වීම් ටික. මටනං හොඳම එක තමයි තැපැල් සේවයෙ මළගම...




පොලිසියෙන් පුවක්! (බුලත්, දේවාල අසල ඇති කඩවලින් මිලදී ගත හැක)

කටුස්සා මේ වෙනකොට සීයක් ලියලලු. ඌට සුභපැතුම් එක්කරන්නේ, ඩ්‍රැකියා, ඩ්‍රැකියානි, ඩ්‍රැකි පැට්ටා, ඩ්‍රැකි කුක්කා සහ පූසො දෙන්නා ඇතුළු ඩ්‍රැකී පවුලේ සියළුම දෙනා.

නොබෝදා තම පවුලට අලුත් සාමාජිකයෙක් එකතු කරගත් කල්‍යාන මිත්‍රයා හට, උන්නැහැගේ මායියා හට සහ, මේ ආරංචිය හෝල් සේල් කර සිටි සුරංගයා හට උඩිං නම් කරපු කෂ්ටියගේ උණුසුම් සුභපැතුම්...

Tuesday, March 1, 2016

කලබලේට විසුරුවපු කෙටි සරළ ගජබින්න (-:

බහුතරය‍කගේ ඉල්ලීම සහ මරණ තර්ජන හේතුවෙන් ඉතාම සරළ ගජබින්න දෙකක් මෙහි ලියා දක්වනවා ඇත.

දවසක් මං පොල් වත්තක් මැදිං යනව... අපේ ගමේ තිබුණ ලොකු පොල් වතු දෙකක්. එකක් නිළමෙගෙ වත්ත, අනික මුර වත්ත. මුර වත්ත මැදිං තමා මං ගියෙ. අපේ වත්ත පල්ලැහැං වෙළට පැනල, වෙළෙං එගොඩ වෙලා මුරවත්ත මැදිං ගියාම පරකන්දෙණියට යාගත්තෑකි කෙටි පාරක් තිබ්බ.

ඉතිං මං දවසක් පොල් වත්තක් මැදිං යනව. යද්දිං මට ඇහෙනව බොහොම හීනි කටහඬිං මොනවද කියනව. කවුරුවත් පේන්නත් නෑ. පේළිියට වවපු පොල් ගස්, අතරිං පතර වැවුණ කුරුඳු, ගොරක, කජු වගේ ගස් කීපයක් විතරයි තිබුණෙ. මං කන්දීල බැලුව... ඇහෙනව තමා... 

“මෙන්න.“ 
“මේකත් ගනිං.“ 
“කෝ මෙහෙ දියං.“ 
“ඉඳා ගනිං“ 
“අල්ල ගනිං“ 
“දීපං ඉතිං“ 
“ඕං“
"කෝ බං ටිකක් අත ඉක්මං කරහං"
"දීපිය හු$#"
"ආ ගනිං ප#$"

වගේ වචන තමා ඇහෙන්නෙ. ඒ වුනාට කවුරුවත් නෑ පේන මානෙක. මං තවත් අවධානයෙන් කන් දීගෙන ඒ සද්දෙ එන පැත්ත හොයාගත්ත. එතන තිබ්බෙ තඩි කුරුඳු ගහක්. ඒකෙ පාත අත්තක දිමියො සෙට් එකක් කොළ එක එක වකුටු කර කර දිමි ගොට්ටක් හදනව. උං වැඩකරද්දි උං අතරෙ වෙන කතා බහ තමා මට අර ඇහිල තියෙන්නෙ....

-----------####----------

තව දවසක් මං පොඩි කාලෙ. අපේ ගමේ තිබ්බ බේකරි කඩයක්. ඕකට මං යනව රෑ හතට අටට විතර ටෝච් එකකුත් අරං. යනකොට පාර අයිනෙ රිදී පාටට බැබළි බැබලි ඉන්නව - කවුද? නයිහාමි. මේං මේ සයිස් පත නයා. මං මොකද කළේ? කෙලල ඇරිය ටෝච් එකෙං නයාට. ඌට වැදුනද කියල බලන්නවත් උන්නෙ නෑ, දුවන්ඩ ගත්ත දෙපයට වැර දීලා.

දුවගෙන දුවගෙන යද්දි, මේං බොලේ පස්සෙං ටෝච් එළියක් වැදුන. තව කවුරු හරි වැඩිහිටියෙක් බේකරිය පැත්තට යනව ඇති. මටත් උන්දැත් එක්ක යන්න පුළුවං. කියල හිතල මං පස්ස හැරිල බලද්දි...

මේං බොලේ නයා ටෝච් එක ගහ ගහ මාව හොයාගෙන එනව පාර දිගේ...

http://freedesignfile.com/upload
/2012/05/0021a7f2_medium23.jpg


කලිං ලියපු ගජබින්න වලට පටුනක්.

10 බාප්පගෙ සත්ත්ව පාලනය හෙවත් හුංගා සහ එළුවා

Thursday, February 25, 2016

සාගරයක් මැද - අමන රටක් ඇත... (සිසිර කුමාර මානික්ක ආරච්චිගේ තවත් පොතක්)

මෙන්න ආයෙමත් සිසිර කුමාර මානික්ක ආරච්චි‍ ගෙ පොතක් ඉදිරිපත් කරනවා.

මේ පොතේ නොයෙකුත් පරිච්ඡේද අතරින් මම මෙතන ඉදිරිපත් කරන්නෙ "ලෝකෙන් උතුම් රටේ කැතකම්" කියන පරිච්ඡේදයයි. මෙයිට වඩා හොඳ කියමන් අනික් පර්ච්ඡේද වල දැකගන්නට මේ පොත බාගත කරගන්නා හුදී ජනයාට පුළුවන් වනවා ඇත. විශේෂයෙන්ම දෙවි දේවතාවුන් අදහන බහුද්දයන්ට රෙද්ද පල්ලෙන් යන්නට බැට දී ඇති මුල් පරිච්ඡේදය විශේෂ ය. ඉන් පස්සේ "කැතම සතා" වන ධනේශ්වර සමාජවාදී දේශපාලුවා ගැන ලියා ඇති කොටස නොම්බර එක ය.

මේ පොත අපේ තාත්තා මිළදී ගත් රිසිට් එක මෙන්න මුලිම්ම.



මෙන්න එහෙනං ‍ලෝකෙං උතුං රටේ කැතකං...
































මේ පොත ඕනෑම කෙනෙකුට මෙතනින් බාගන්න හැකියාව ඇත.

-----------------------------

මේ කියන්නට යන්නේ එක් අතුරු කතාවකි. මේ කතාව කියන කල් කට කහන බැවින් ද,  මේ කතාව එක් පෝස්ට් එකක් වශයෙන් පළකරන්නට බැරි හෙයින්ද මෙතන ඔබා දක්වන බව සළකන්ට ය.

රැවුල් කොට සහිත හුරතල් මූණක් ඇති, මහත්තයෙක් දවසක්දා මාටිං මාමාගේ ගෙට ගොඩවිය.

“අපි සාලෙ බලමු...“ මහත්තයා මාටිං මාමාට කීවේය.

“ඒ මොකටද? කොහෙං ආපු ගොබිලෙක්ද ඕයි තමුසෙ අපේ මේ සාලෙ බලන්ට...? “

“මං අඳුනන් නැද්ද මාමෙ?“ හුරතල් මූණා මහතා ඇහුවේය. “මං අහවල් දිසාසේකර. අර ටෙලි නාට්ටිය වල එහෙම ඉන්නෙ. මං මේ පොඩි ගතමනාවක් උපයගන්ඩ ගෙවල් වලට ගිහිං ඒ ගෙවල් වල එක එක කොටස් වලට ලකුණු දෙනවා...“

“ආං එහෙම කියන්ඩ.“ මාටිං මාමා (ට) එ්කත් පස් විය. “එතකොට ඔය ලකුණු වලිං අපිට මොකද්ද ලැබෙන්නෙ?“

“ඒක මාමෙ, මේං මේ නොම්බරේට කතා කරල අහගන්ඩ“ හුරතල් මූණා වැසිකිලියක් මුද්‍රණය කර තිබූ කාඩ් එකක් දුන්නේය. “දැං බලමු සාලෙ...“

මාමා හුරතල් මූණා සාලෙට එක්කරං ගියේ ය. හුරතල් මූණා සාලෙ කනප්පුව උඩිං ලොකුවට දහයෙ ඉළක්කමක් ලියා තිබුණු කාඩ් එකක් හිටෙව්වේය.

“දැං බලමු කුස්සිය...“ මාටිං මාමා ඒකටත් අර මහත්තෙයාව එක්කරං ගියේය. කුස්සියෙ හිරමනේ උඩත් අර විදිහෙම දහයෙ කාඩ් එකක් තියවුනේ ය.

“දැං යං වැසිකිළියට...“

“මොන කිළීයට?“ මාටිං මාමා ඔළුව කසමින් අැහුවේය.

“අර කක්ක දාන තැන...“ හුරතල් මූණා හුරතලේට කීවේය.

“ආ... එහෙම කියන්ඩෙපැයි. මෙච්චර වෙලා කතා කර කර උන්නෙ. ඕක කලිම්ම කිව්වනං ඉවරයි නෙව.“ මාටිං මාමා හුරතල් මූණා මහතා පිළිකන්නට එක්කරං ගියේය.

“ආං අර පේනව නේද...“ මාටිං මාමා අත දික්කර පෙන්වීය. “ආං අර හරියෙං ලන්දට මුවාවෙලා පාත් වෙන්ඩ මහත්තයො. පොඩි ළමයෝ.... පොඩි ළමයෝ... මේ මහත්තෙයට වතුර බාල්දියක් ලන්දට ගිහිං දීපිය...“

Wednesday, February 17, 2016

කැකිල්ලෙ රජ්ජුරුවන්ගේ කතා මාලාව - අංක 1 - පුදුම සතා

කැකිල්ලේ රජ, මහදැනමුත්තා, ගමරාළලාගේ කතා ආදිය අපේ ඓතිහාසික රජවරුන් සමච්ඡලයට ලක් කිරීම, කුඩා දරුවන්ගේ සිත් වලට කාවැද්දීම සඳහා මිෂනාරී පාසල් වලදී ගෙතූ කතා වන්නට පුළුවන් ය. එහෙයින් කියවීම සහ තමංගේ ළමයින්ට කියාදීම ඉතා ප්‍රවේසමෙන් කළ යුත්තකි.

කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කතා ඇතුළත් ළමා පොතක් මට උරුම උනේ අපේ අම්මාගේ අම්මාගෙනි. එයින් මගේ හිතට තදින්ම ඇල්ලූ කතාව මුලිම්ම පළකරන්නට අදහස් කරමි.

එක්තරා කාලයක, එක්තරා රටක කැකිල්ලේ රජ නම් රජකෙනෙක් සිටියා. කැකිල්ල කියන්නේ පඹ වැල් මෙන් ගාලට හැදෙන ගණ සැර වැල් ජාතියක් යැයි ඉහත පොතේම සඳහන් වෙනවා. ඒ කැකිල්ල ගාලක පැටළුන කෙනෙකුට ලේසියෙන් ගැලවෙන්නට බැරිය. තව තවත් පැටළි පැටළී අවුල් ජාලාව මැදටම යන්නට සිද්ධ වන්නේය. ඒ නිසා, මෝඩකම් පිට මෝඩකම් කරමින් සියල්ල අවුල් කරගන්නා රජාට කැකිල්ළේ රජු කියා නම් කර ඇති බව තිබුණේ ද ඒ පොතේම ය.

හොඳයි ඔන්න එහෙනං කතාව.


දවසක්  කුණාටුවකට අහුවුන වෙළෙඳ නැවක් මේ රටට සේන්දු වුනා. ඔය නැවේ හිටපු ඔටුවෙක් කොහොමින් හරි ගොඩබිමට ඇවිත්, බල්ලන්ට, මිනිස්සුන්ට, වන සත්තුන්ට බයේ රට මැදටම ආවා. මේ ඔටුවා දැකපු මිනිස්සු මේ මොන සතෙක්දැයි පුදුම වුනා. කොහොමින් කොහොමින් හරි මේ සතා ගැන රජවාසළටත් ආරංචි වුනා. ඉතිං රජ්ජුරුවොත් දෝළාවෙන් පිටත් වුනා මේ සතා බලන්ඩ.

රජතුමා යනකොට, සතා එක තැනක උලා කකා ඉන්නව. කොහොම සතෙක්ද කියල දන්නැති නිසා මිනිස්සු ඌව අල්ලන්ඩ ළං වෙන්ඩ බයයි. රජතුමා දෝළාවෙන් බැහැල, එතුමට හදල තිබුණ ආසනයක ඉඳගත්ත. එතනට ළං වුන මහඅධිකාරම රජතුමාගෙන් බොහෝම යටහත් පහත්ව ඉල්ලා සිටිය, “මේ සතා මොකෙද්දැයි කියල මේ අසරණ නුනුවණ මිනිස්සුන්ට තෝරා දෙන්ඩ“ ය කියල.

රජතුමා අර සතා දිහා හොඳට බැලුවා. බලල එකපාරටම රජතුමාට කඳුළු ආව ඇස් දෙකට. එයිට ටික වෙලාවකට පස්සෙ රජතුමා හොඳටම හිනා වෙන්න පටං ගත්තා.

දැන් නං මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නෙ මේ සතු මොකාද කියන එක නෙවේ. රජතුමා ඇඬුවෙ ඇයි, ඊට පස්සෙ හිනා වුනේ ඇයි කියන එක තමා ලෝකෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ ය. ඉතිං එක එකා කසු කුසු ගගා, පරණ සමාජයෙ ධූරාවලියෙ අනුපිළිවෙලට ප්‍රශ්නෙ ඇවිත් මහ අධිකාරම ළඟටම ආවා ය. මහාධිකාරමත් රජ්ජුරුවන්ට ළං වෙලා, රජතුමාගෙන් බොහොම යටහත් පහත්ව කිව්වා, “මේ සතා මොකෙද්දැයි අපට පසුව කියා දෙනු මැනවි. ඊට කලින් ඔබතුමා ඇඬුවේ ඇයිද, හිනාවුනේ ඇයිද කියන කාරණේ මේ අසරණ මිනිස්සුන්ට කියා දෙන්ඩ“ ය කියලා.

“බොලව්...“ රජතුමා උත්තර දෙන්ඩ පටං ගත්තා. “අනේ තොපි වගේ ගොං රැළක්. තොපි මොකෙක් හරි සතෙක් දැක්කහම ඒකත් තෝරල දෙන්ටය කිය කියා මා ගාවටමයි එන්නෙ. මං නැති කාලෙක තොපිට පිහිට වෙන්ඩ ඉන්නෙ කවුද කියලා මට තොපි ගැන බොහොම දුකයි. ඒකයි මට කඳුළු ආවෙ.“

“එතකොට හිනාවුනේ?“ මහාධිකාරම ආයෙමත් පාත් වෙලා පහත් හඬින් ඇහුවා.

“තොපිට තියා මටවත් මේ සතා අඳුරගන්ඩ බෑ බොලව්. මාත් උපන්තේකට මෙහෙම සතෙක් දැකල නෑ. ඒක මතක් වෙලා පස්සෙ මටම හිනා ගියා“ කැකිල්ලෙ රජතුමා මහ හයියෙං හිනාවෙලා, කියල දැම්මා.

ප/ලි
ඊට පස්සෙ රජා ඔටුවටයි මහ අධිකාරමටයි මඩුවලිගෙං ගහන්ඩ නියම කළා ද කියා ඒ පොතේ තිබුනෙ නැත.

මීට කලිං ලියන ලද ජන කථා මෙන්න.





Monday, February 8, 2016

ලබ්බෙ මගුල

මේ වගන්තිය බාගදා මට මේ පෝස්ටුව අන්තිමට කියා දක්වන්නට බැරි වෙන්නට පුළුවන. එහෙයින්, මුලිම්ම:

මේ පෝස්ටුවේ කියවෙන වෙඩිමේ බැඳපු දෙදෙනාට සුභ මගුලක් වේවා!
කිරි පැණි සේ එකට වාසය කරන්නට හැකි වේවා!!
සාලිය - අශෝකමාලා, රෝමියෝ - ජුලියට්, ඩ්‍රැකියා - ඩ්‍රැකියානි වාගේ ඉතිහාසගත ප්‍රේමයකින් දිවි ගෙවන්නට හැකිවේවා!!!

කියා ප්‍රාර්ථනා කරන්නේ හදවතිම්මය...

එකෝමත් එක දවසක මට නොදන්නා නම්බරේකිං කෝල් එකක් ආවේය. ඒ ආවේ මේ සම්මජ්ජාතියෙ මං අහලා නැති විදිහේ පණිවිඩයක්ය. බ්ලොග් ලෝකයේ පණ දෙන්ට ඉන්නා මිත්තරයන් කිසිම කෙනෙක් මේ දක්වා, තමුං  දැකලා අහලා නැති අන්තර්ජංජාල යාළුවන්ට වෙඩිං කියන රටක් මං අහලා තිබ්බේ නැත. ඒත් මේ ආව පණිවුඩෙං කියැවුනේ අපේ ආදරබර ගස්ලබ්බ ලියන අකලංකලංකලං කොළු ගැටයා යුවතිපතියෙක් වන්නට යන බවය.

ඒකත් හොඳ ප්‍රවණතාවයකි. මං කිව්වේ කොල්ලන් බඳින එක ගැන නෙවේය. බ්ලොග් ලියන එකෙක් බඳිනකොට අනික් බ්ලොග් ලියන උන්ට ආරාධනා කරන එකය. ගස්ලබු ගැටයා කියන හැටියත්, ඒක හරියට ගෙට්ටුගෙදර් එකක් වාගේ එකක් වන්නට ඉඩ ඇති නිසාය.

ඉතිං ලබ්බා කතා කරපු වෙලාවේ සිට තොරතෝංචියක් නැතුව මට කෝල් දිදී, තමංගෙ මුළු සේසතම මොබිටෙල් කොම්පැනියට වියදං කරපු මනෝමන්දිරයා වෙඩිමට යන උං පෙළගස්සවන්නට ඇප කැපවී උනන්දු වී වැඩ කළේය. උගේ උනන්දුව නිසාම අපේ ගමනට මාත්, මනෝමන්දිරයාත්, අටමාත්, කසුනාත් යන බරපතළ නඩය එකතු උනේය.

ගස්ලබ්බාට බදාදා දිනයක වෙඩිං කොරන්නට නැකැත් හදාදුන් ජ්‍යෝතීර්වේදියාණන් වෙත, රජයේ සේවකයන්ට බදාදා දින හෙවත් මහජන දිනයේ නිවාඩු දාන්නට බැරි බවට නිකුත් කර ඇති චක්‍රලේඛය ලැ‍බී නැතුවාට කිසි සැකයක් නැත. මා වෙනුවට වැඩ ආවරණය කරන්නට හිටි එකාටත්, එදාටම උසාවි යන්නට සිද්ධ වී තිබුණේ "බීමත්ව අන්තරායදායක ලෙස රියපැදවීම" ගැන වග උත්තර බඳින්නටය. එහෙයින් යන්ටම බැරි තත්ත්වයක් උදාවී තිබුණත්, මං බෙල්ල කඩාගෙන හරි එද් උදේ රැයින් බස්එකේ නැගගෙන ගනේමුල්ල ධූමරථපොළට ළඟාවුනෙමිය.

එතන ඉඳං සීසන් එක ගන්ට පෝළිමේ ඉන්නා විට බොහොම අහිංසක සුනීත විනීත ස්වරයකින් එනවුන්ස් කෙරුනේ ඇ‍ඟේ මයිල් ඉස්මයිල් වෙන වගවාසගමකි.

"කරුකාරුමික දෝෂයක් හේතුවෙන් අද දින සියළුම දුම්රියන් නියමිත වේලාවටම ධාවනය වන බව මඟීන් කරුණාවෙන් සළකන්න..."

ඉතිං බඩු සුවර් නිසා කෝකටත් මං නැගගත්ත ‍කෝච්චියෙන් ගොහිං රාගම ස්ටේෂමෙන් බැසගත්තෙමිය. ඉන් පසු මං මනොවාට කෝල් කළෙමිය. ආකාස කසුන් කොටුවෙං දුම්රියට නඟින බැවින් ඌට උදව් වීමට මනොවා බස් එකේ නැඟී, (සතියේ දවසක - කාර්යාල වෙලාව තුළ - කඩවත සිට කොටුවට - බස් එකෙන්) කොටුව යන ගමන් යැයි දැනගන්නට ලැබුණේය. පස්සේ ඒ ගමනේ ආදීනව දැනී, ඌ බස් එකෙන් බැස ආපහු යන බස් එහෙකට නැගී පොල්ගහවෙල බලා යන බවද ඊට පැයකට විතර පසු  මනොවා ම අප්ඩේට් කළේ ය. පරංගියා කෝට්ටේ රජවාසල ට එක්කරගෙන ගියේ ද මනොවාගේම පරම්පරාවේ කිරි අත්තෙක් ලු ය.

මං රාගම සිට අටමාට කතා කරන විට ඌ ඇ‍ඳෙං නැගිට්ටවන්නට අටමී ගහපු වතුර බාල්දියේ සද්දයද ටැලිපෝනයෙන් ඇහුනේය.

කොහොමින් හරි නැගගන්නට බැරි වෙතැයි, මනොවා අම්බානක බයෙන් සිටි ආකාස කසුවා, කෝච්චියද හොයාගෙන, නැගගෙන, උන්දෑ නැගගත් පෙට්ටිය මොකද්දැයි මට ද ටැලිපෝනයෙන් දැනුවත් කළේය. ඒ කෝච්චිය රාගමට එන්නට විනාඩි විස්සකට විතර කලිං අටමා ද රාගමට ආවේ ය.

අපි ඒ පරිදි පොල්ගහවෙල ස්ටේසමට සැටමෝල් උනෙමුය. කැමා ද එතනට ඇවිත් හිටියේය. ඊටපසු අපට තිබුණේ එතනිං මල්පිටිය හංදියට ගොහිං විචාරක මාමාට කෝල් එකක් දීම පමණිය.

මල්පිටිය හංදියට යන තුරු කැමාගෙන් බේරිමක් නැත. ඒ වෙඩිමෙං පසු උන්ගේ ගම බලාගෙන එන්නට යන්න අපට ආරාධනා කරන නිසාය. කැමා කියන විදිහට, පැය දෙකෙන් දෙකට තියෙනා තට්ටු ලොරියක හෝ බක්කි කරත්තයක නැගී හැතැම්ම බාගයක් ගිය තැන ඇති වැලක එල්ලී පැද්දී ගොහිං සංගිලි පාළමකින්ද එගොඩ වී කන්දක් නැග්ග පසු උන්ගේ ගමට ළඟා විය හැක. උන්ගේ මිදුලේ ඇති පුවක් ගහේ කරටියට නැගගත්තොත්, පුවක් වලු අස්සෙන් මුළු වයඹ පළාතම බලා ගත හැක ලු ය.

මල්පිටිය හංදියට ගිහිං විචා මාමාට කෝල් කර පැයක් යන්නට මත්තෙන්, T55 යුද්ධ ටැංකියක් පිඹගෙන ආවේය. එයිං එළීයට ඔලුව දැමු විචා මාමා "නැගපල්ලා වියකල් එක පාරෙ නතර කරං ඉන්න අමාරුයි" කිව්වේය.

රජයේ උසස් නිලතල දරණ උදවියට, පැන්ෂන් යන විට තමන් පාවිච්චි කළ වාහනය සුළු ගාණක් ගෙවා ගෙදර ගෙනයා හැකිය. විචා මාමා යුද්ධ ටැංකිය අරං ඇත්තේ එහෙමය. ඒ විදිහටම මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩකළ උන්දැගේ මස්සිනෙක් ගල් රෝලක් ගෙදර ගෙනිහිං තිබුණේය.

"අපරාදෙ ගල්රෝලක් ගෙනිච්චෙ" කතාව කියමින් විචා මාමා අපට කීවේය. "බැකෝ එකක් ගෙනිච්චනං කුළීයට දෙන්න තිබ්බ. අන්තිමේ අපේ මහගෙදර වත්තෙ තිබ්බ, උල්කාපාතයක් වැටිල හැදිච්ච වළක් වහන්න අර ගල්රෝල ඒ වලට දැම්ම..."

කතා කරමින්ම විචා මාමා මල්පිටිය හන්දියෙන් මහපාරට යුද්ධ ටැංකිය දමා ගයනුකිත්තානුසාරී හැරවුමක් කළේය. (ඒකට යූ ටර්න් එකක් යැයි කියන්නට බැරිය)

අපි වෙඩිං හෝල් එකට එන අතර මග වෙන වෙන සිද්ධී සිද්ධ වුනේ නැත. උනත් ඒ ගැන කියන්නට ගොහිං මේ පෝස්ටුව දික් කරගන්නට බැරිය.

ලබ්බා ඉතා අසරණ ආකාරයෙනුත්, අභීනව ලබුපතිනිය ජයග්‍රාහී ආකාරයෙනුත් ඉන්නා හැටි අපට සැලියුට් හෝල් එකට ආ විට දැකගන්නට හැකි විය. ඒ හෝල් එක තිබුණේ දැවැන්ත ‍ පොල් වත්තක් ඇතුලේය. ඒක කොච්චර දැවැන්තද කියතොත්, සිරිමාවෝ ගේ රජයෙන් වතු ජනසතු කරද්දී ඒ වත්ත බේරාගෙන තියෙ‍න්නේ වත්තේ අයිතිකාරයා අල්මාරිය දාලා අස්සේ හංගගෙනය. ඒ හෝල් එකේ පැත්තකින් වැවක් තිබුණේය. ඒකේ රැල්ලත් ගහනවාය. වැව පුරා නෙළුං පිපී තිබුණ අතර, ඒ නෙළුං නෙලන ගැටිස්සියන් දහ දෙනෙක් විතර ඔරු වල නැ‍ගී නෙලුං කවි කියමින් සිටියෝය. ගස්ලබ්බාට දෑවැද්දට ලැබෙන අලි දෙන්නා ඒ ගෝල් එකේ කණු දෙහෙක ගැට ගසා සිටියෝය.

අපි හත් අට දෙනා (මම, අටං, ආකාස කසුන්, මනෝ, කැමා සහ විචා) ඒ වැව අයිනේ තිබුන කොටසේ ඈඳිගත්තෙමු. එහෙයින් අපට වෙඩිං කේක් වෙනුවට දුන් දැවැන්ත චොකලට් එකත්, කරපු වල්කම් වෙනුවෙන් දෙන වෙල්කම් ඩ්‍රින්ක් එකත් මගෑරුනේය. ඒ උනාට ටිකකිං පීප්ප හතරක් පෙරලාගෙන පෙරලාගෙන ආව වේටර් ලා හතරදෙනෙක් අපිට වෙනම වෙල්කම් ඩ්‍රින්ක් එකක් දෙන්නට පටං ගත්තෝය. පීප්ප වල තිබුණේ කිතුල් රා, බ්‍රැන්ඩි, විස්කි සහ පොල් අරක්කු ය. බයිට් වලට සෙක්සි පෝක්, ගෝන මාලු, මුව මස්, කචල් ෆිෂ් ඩෙවල්, සහ බැදපු කකුළුවන් තිබුණේය.

මේ පිංතූරෙ මගෙ ෆෝන් එකෙං කැමා ගත්තට, මෙතන දැම්මෙ විචාරක මාම
 එයාගෙ බ්ලොග් එකේ පළ කරපු තැනිං උස්සලා බව කරුණාවෙන් සළකන්න ය
දෙවෙනි පාර අපි බාර් එක වෙත ගිහිං එන අතරෙ අටමාට බෝතලේක මූඩියක් පෑගුණේය. ඒ උනාට ඌ හෙන හොඳය. අටමා කසුන් ගේ සියලු වගකීම් කරට ගත් අතර, කන්නට බත්පතක් ද කොත ගසා බෙදා දී, ඉන්පසු ආපහු ගිහිං හැම ජාතියකම ඩෙසට් වලිං පීරිසියක් පුරෝගෙන විත් කසුවා ගාවින් තියා, ඊට ඇඟල්ලක් වත් ගැහුවොත් අපිට කරනා දේත් කීවේය. ඒ කියපු වචන, මේ වගේ තැනකවත් කියන්නට බැරි තරං සුනීත විනීතය. වෙන එකක් තියා අර වැවේ හිටපු ගැටිස්සියන්ට කසුනා වෙනුවට ටෝක් ද කළේ අටමා ම ය.

අන්තිමේ සියල්ල හමාර වී ලබු යුවළ පිටත් වුනු පසුව අපි හතර දෙනා (මම, කසුවා, අටං, මනෝ) පොතුහැර ඉස්ටේසම වෙත ගෙනත් දැම්මේ විචාමාමා තනියම ය. ඒ තරං උන්දැ හෙන ෆිට් ය. ගෝන මස් හා වල් ඌරු මස් හැර වෙන කිසිම දෙයක් නොකන වෙජිටේරියන් ය.

පොතුහැර හැර ඉන්නා විට රේල් බස් දෙකක් එකට ඈඳුන මොකද්දෝ එකක් ආවේය. ඒකට නැගගෙන ඉන්නා විට අටමා ෆුට්බෝඩ් එකට බැස කැමාට ගෙදරට කියන නම කියා කෑගැසුවේය.

"ඒයි මෝඩයා මෙහෙ වරෙං..."

ඉතිං කැමා ගෙත්, වෙන්ට කැමී ගෙත් රෙදි නැත. අටමගෙත් නැත. එ් උනාට ඌට වගේ වගක් නැත.

කැමාත්, වෙන්ට කැමීත් දුවගෙන ඇවිත් අපි හිටපු බස් එකටම නැග්ගෝය. වෙන්ට කැමී ට ඇහෙන්නට අටමා, මගේ බෙල්ල මිරිකා තර්ජනය කර, ලස්සන වගන්තියක් කියවා ගත්තේය.

"මේ වගේ අහිංසක, හුරතල්, සුකුමාල, සුවිනීත, සාන්ත දාන්ත, කෙල්ලෙක් - මේ වගේ ගටිකන මූණක් ඇති, මල් පොන්නයෙකුට ගැළපෙන් නෑ"

ඉතිං අපි හැමෝගෙම රෙදි නැත. කැමාට පොන්නයෙක් කිව්වත් කමක් නැත. ඒකට එකතු කරපු මල් මල් විශේෂණය තමා ය හරි නැත්තේ.

අටමාගේ අදහස නම්, නර්ස් කෙනෙක් කවදාවත් හරි හමං මිනිහෙක් බඳින්නේ නැති බවය. ඌ ඊට උදාහරණ විදිහට දක්වපු නම් ලැයිස්තුව මෙතන කිව්වොත් මට අනිවා, ගෙට්ටුවකදී බඩ කට පුරා කන්නට ලැබෙනවා සහතික ය.

පොල්ගහවෙලිං අපි හරිහමං කෝච්චියකට නැග්ගෙමු ය.  එතෙන්දී අටමා දුවගෙන ගොහිං වතුර බෝතලයක් අරං ආවේය. ඒකත් අපි හතර දෙනා උගුරු දෙක දෙක බීවාට පසු, ඉවර වුනේය. උගේ කරුමෙට ඌ ගිය කඩේ සිගරැට් තිබී නැත. ඉතිං ඌ හෙන අමාරුවෙං ඇඹරි ඇඹරී යන්තම් ගණේමුල්ලට ආවේය. ගනේමුල්ලෙං මං බහිද්දී ඌ මගේ බෙල්ල බදාගෙන තව පොඩ්ඩෙං තොත්තුවකුත් දී කඩේකට දුවගොස් සිගරැට් දෙකක් ගෙනත් දෙන ලෙස ඉල්ලුවේය.

මාත් ඉතිං ගමේ අවුරුදු උත්සවේ මීටර් සීය දුවනාකාරයෙන් දුවගෙන ගොහිං සිගරැට් දෙකක් අරං ආපහු හැරෙනකොට, කෝච්චිය අද්දලාය. එතනම ඉඳං අටමාට කෝල් කළ විට,

"දැං ඉතිං මොනව කරන්නද, උඹ ඕක ගෙදර ගෙනිහිං ඩ්‍රැකියානිගෙං ගුටි කාපන්" යැයි අටමා මට කීවේය.

මට හෙන දුකය. ඒ,

අටමා පොල්ගහවෙල ඉඳං ම සිගරැට්ටුවක් නැතුව දුකසේ ඇවිදිං, මගේ හෝම් ටවුමෙන් ඌට සිගරැට් අරං දෙන්න බැරි වීම නිසා නෙවේය.

අර සිගරැට් දෙක ගෙදර ගෙනිහිං ගුටි කන්නට වෙන නිසාත් නෙවේය.

එයිං බේරෙන්න ඒ සිගරැට් දෙක විසික්කා කරන්න වෙන නිසාත් නෙවේය.

ගනේමුල්ලෙං මං බහිද්දී අටමාගේ ලයිටරය ඉල්ලාගෙන බහින්න බැරිවීම නිසාය.

ඉතිං බස් එකේ ගෙදර යන ගමං බස් එකේ ජනේලෙං සිංගරැට් දෙක විසික් කරපු මං, ඒ විසික් කරපු තැන බස් එකේ ජනේලේ තීන්ත නියපොත්තෙං හූරා මාක් කළේ, පහුවදා වැඩට එන ගමං එතනිම්ම අහුල ගන්නට හිතාගෙන ය.

Friday, January 29, 2016

අභයගිරිය විකාශය සහ ලංකාවේ දර්ශනයට එහි බලපෑම...

www.imagesofceylon.com/ruins

පණ්ඩුකාභය රජු ගේ නගර නිර්මාණ සැළසුම ට අනුව ජෛන තවුසන් ගේ ආරාම නගරය ට උතුරු දෙසින් ඉදිකෙරුණි. ඛල්ලාටනාග රජු පහ කිරීම ට කුමන්ත‍්‍රණය කළ කුමාර වරුන් ති දෙනෙක්, කුමන්ත‍්‍රණය හෙළි වීමෙන් පසු, ගිරි නම් ජෛන පූජකයෙකු ගේ ආරාමයේ වූ දර සෑය ට පැන දිවි නසා ගත් බව ද, එහි පසුව අග්නි ප‍්‍රවේශ චේතියනමින් ස්ථූපයක් ඉදි කෙරුණු බව ද පැවසේ. වළගම්බා රජු මෙම ජෛන ආරාමය බිඳ, ක‍්‍රි. පූ. 89 දී පිරිවෙන් 12 කින් යුත් අභයගිරි විහාරය කරවී ය. රජු ගේ සහ නිඝණ්ඨයා ගේ නම් එක් වීමෙන් මෙම ස්ථානය අභයගිරි නම් වී යැයි මහාවංශයේ වන සඳහන, අභයගිරියට අපහාස මුඛයෙන් කළ සඳහනක් ලෙස සැළකිය හැක. මෙම කාලයේ බොහෝ ආරාම වල නම් අවසන් වන්නේ ගිරියනුවෙනි. වෙස්සගිරි, දක්ෂිණ මේඝගිරි, චේතියගිරි, බෝ උපුල්වන් කසුප් ගිරි යනු ඒ සඳහා උදාහරණ වේ. එහෙයින් අභය රජු කරවූ ආරාමය අභයගිරි වන්නට ඇතැයි යන ටී. ජී. කුළතුංග මහතා දක්වන අදහස වඩා පිළිගතහැකි මතය කි.

උතර, අබය උතර, අබයතුරා, අබාගිරි, අබගිරි මහ වෙහෙර, අබහයිගිරි ආදී වශයෙන් සෙල් ලිපි වල සහ සාහිත්‍යයේ සඳහන් වන්නේ මෙම විහාරාරාම සංකීර්ණය ය. ඇතුල් නුවර ට උතුරින් පිහිටි හෙයින් මෙම ආරාම සංකීර්ණය උත්තර නම් වන්නට ඇත. අභයගිරිය ත්, මහාවිහාරය ත් අතර ගැටුම අභයගිරියේ උත්පත්තියේ සිට ම ඇති වූව කි. මහාවිහාරය ට මෙය ඉතා දරුණු වූයේ මහසෙන් රජ දවස ය. ආරම්භයේ දී ආවාස දොළසකින් යුක්ත වූ අභයගිරිය, වළගම්බා රජුගේ ත්, අනුප‍්‍රාප්තිකයන්ගේ ත් අනුග‍්‍රහය නිසා නොබෝ කලකින් ම ආයතනික හා සාමාජික වශයෙන් ද, විදේශ සම්බන්ධතා සහ ජනප‍්‍රියතාව අතින් ද දියුණු විය. මේ වන විට අභයගිරි විහාරය තුළ සංඝාරාම විසි හතක් විය. තොළුවිල, මිහින්තලය, පූර්වාරාමය, කිරිබත් වෙහෙර, විජයාරාමය, පන්කුළිය අශෝකාරාමය සහ දක්ඛිණ විහාරය ද අභයගිරිය යටතේ පැවති ආයතන විය. ක‍්‍රි. . 412 දී අනුරාධපුරයේ විසූ ෆාහියන් භික්ෂුව එකල අභයගිරියේ භික්ෂූණ් වහන්සේ පන් දහසක් පමණ විසූ බව සඳහන් කර තිබේ. එතුමා ට අනුව මහාවිහාරයේ සිටි භික්ෂූණ් වහන්සේ ගණන තුන් දහස කි. ඇතුල් නුවර දළදා මාළිගයේ සිට අභයගිරිය වෙත ගිය වාර්ෂික පෙරහැරක් ද එතුමා විසින් විස්තර කර තිබේ. දන්ත ධාතුවේ භාරකාරත්වය ද අභයගිරිය සතුව පැවතුණි. දළදා මැදුරේ සිට අභයගිරිය දක්වා ගමන් කළ පෙරහැරෙන් පසු අභයගිරියේ දී තෙ මසක් පුරා දළදා ප‍්‍රදර්ශනය කරවූ බව සඳහන් වේ.

දන්ත ධාතුව සේ ම, දඹදිව බෝධි මණ්ඩ විහාරයේ පැවිදි ව සිටි තෙර නමක් කේෂ ධාතු රැගෙන ආ පසු, එය ද අභයගිරි විහාරය භාරය ට පත් කෙරුණි. එම භික්ෂුව ට පසුව සිලාකාල නමින් රජවීම ට ද මෙය හේතු වන්න ට ඇත. එම රජ දවස කසී රටෙන් පූර්ණ නම් වෙළෙඳා ධර්ම ධාතුව වැඩමවූ බව ද සඳහන් වේ. බුදුන් ගේ ධර්ම කාය වෙනුවෙන් පූජා පැවැත්වීම සහ ධර්ම ධාතු නිධන් කොට චෛත්‍ය තැනවීම ආරම්භ වන්නට ඇත්තේ මෙයින් පසුව ය. ඉදිකටු සෑයේ සහ විජයාරාමයේ මෙසේ නිධන් කරන ලද ධර්ම ග‍්‍රන්ථය ක පිටපත් හමු වී තිබේ. එසේ ම අභයගිරි ස්ථූපය ද කසුප් නම් රජෙක් ධර්ම ධාතු තැන්පත් කර එකසිය විසි රියන් කොට බැඳවූ බව සඳහන් වේ.

මහා විහාර දෙක අතර හය වන සියවසේ පැවති ගැටුමෙන් මහාවිහාරය ට ජය අත් විය. ඉන්පසු රජ පැමිණි රජවරුන් මෙම ආයතන දෙක ම පිළිබඳව මැදහත් ව සිටීම නිසා අට වන සියවසේ සිට දහ වන සියවස දක්වා ප්‍රකට ගැටුමක් ඇති නොවී ය. හත් වන සහ අට වන සියවස් වන විට අභයගිරිය, උත්තර මූල, කපාරා මූල, මහනෙත් පා මූල සහ වහදු මූල නම් වූ පීඨ හතරක් සහිත උසස් අධ්‍යාපන ආයතනයක තත්ත්වය ට පත් ව තිබුණි. නව වන සියවසේ දී අභයගිරිය මඟින් ඉන්දුනීසියාව සහ ජාවා දිවයින් හි බෞද්ධ ධර්මය පැතිරවූ බව ට සාධක ඇත. මෙම රාජ්‍ය වල අභයගිරි නමින් විහාරාරාම තැනවුණු බව, එම රට වල පුරාවිද්‍යාත්මක පර්යේෂණ වල දී හමු වූ අභිලේඛන වලින් හෙළි වී තිබේ. ජාවා රටෙන් හමු වූ එවැනි එක් සෙල් ලිපියක අභයගිරි සිංහල භික්ෂූණ් ගේ ආරාමයයැයි සඳහන් වේ. චීන මූලාශ‍්‍ර වලට අනුව, චීනයේ මෙහෙණි උපසම්පදාව පිහිටුවන ලද්දේ අභයගිරියේ ලංකාරාමයේ සිට වැඩමවූ තිසාරා තෙරණිය ප‍්‍රමුඛ තෙරණි වරුන් විසින් බව කියැවේ. පාළි ව්‍යාකරණ ග‍්‍රන්ථයක් වන කච්ඡායනා වර්ණනාව ලියූ මහ විජිතාවි තෙරුන් බුරුමයේ විජයපුර අසළ පිහිටි අභයගිරි විහාරයේ විසූ තෙර නම කි.

පෙර දවස ලක්දිව පැවති මූලායතන අට කි. උත්තර මූල, ගලතුරු මූල, මහනෙත් පා මූල, වහදු මූල, දකුණු මූල, සෙනෙවිරත් පා මූල, විල්ගම් මූල සහ කපාරා මූල යනු ඒ ආයතන වේ. අනුරාධපුර යුගයේ මෙයින් හතරක ම මධ්‍යස්ථාන පිහිටියේ අභයගිරි විහාරය තුළ ය. මෙයින් පැරණිතම පිරිවෙණ වන්නේ කපාරා මූලය යි. එය දාඨෝපතිස්ස රජු (659 - 667) විසින් ආරම්භ කරවන ලදි. සංඝ නන්දි තෙරුන් විසින් පිහිටුවන ලද සෙල් ලිපියක් අනුව මෙම ආයතනය කුට්ටම් පොකුණ ට උතුරින් පිහිටි පිරිවෙණ බව හඳුනාගෙන තිබේ. (මෙහි ඇති එක් සංස්කෘත සෙල් ලිපියක නිවැරදි දින වකවාණු සහිතව ක‍්‍රි. ව. 995 ජූලි මස 14 දින සිදු වූ චන්ද්‍රග‍්‍රහණයක් පිළිබඳව සඳහන් වේ.)

පස් වන අග්බෝ රජු (718 - 721) මහා නේත‍්‍ර පාදික නම් විහාරය කරවූ බව සඳහන් වේ. බෙල් මහතා පවසන්නේ නියම්ගම් පාය, මයුරපාද, අභයසුන්දරාරාම යන නම් වලින් හැඳින්වෙන්නේ ද මහනෙත්පා මූලය ම බව ය. මානවම්ම රජු (684 - 718) ඇසක් අන්ධ වූ සිය වැඩුමල් සොහොයුරා පැවිදි කොට, උත්තර මූල විහාරය ඉදි කරවා, එහි අධිපති කම පවරා, දළදාවේ භාරකාරත්වය ද එයට පැවරී ය. මේ හේතුවෙන්, උත්තර මූලය අනෙකුත් මූලායතනයන් හට ප‍්‍රධාන විය. දෙ වන මහින්ද (777 - 797) රජු කපාරා මූලයෙහි ද, උත්තර මූලයෙහි ද ආවාස ඉදි කරවී ය. වහදු මූලය ඇරඹුනේ ද මානවම්ම රජු විසිනි.

උසස් තාක්ෂණික ඥාණයකින් කෙරුණු කාර්මික නිර්මාණ රැසක් අභයගිරිය ආශ‍්‍රිතව හමුවී තිබේ. පට්ටලයක ලියවා ඔප දැමූ පළිඟු, කිරිගරුඬ කරඬු, පළිඟු මුද්‍රා සහ කානේලියන්, අඹතේස්ත, අගස්ති ආදී පාෂාණයන් ගෙන් කපා ඔප දමන ලද පබළු, සියුම් කැටයමින්  යුත් රන් ආභරණ, ශක්තිමත්ව තනා දීප්තිමත්ව ඔප දමන ලද මෝස්තර සහිත විවිධ මැටි බඳුන් ආදිය මෙවැනි නිර්මාණ අතර වේ. අඩක් නිම කරන ලද කරඬු සහ පබළු ද හමුවීමෙන් මේවා මෙහිදී ම කරන ලද නිර්මාණයන් බව පැහැදිළි වේ. විවිධ වර්ණ ගන්වන ලද වීදුරු නිර්මාණය ද මෙකල දැන සිටි බව පෙනේ. අභයගිරි භූමියේ කැණීම් වලින් සොයාගන්නා ලද උදුන් සහ කෝව සහිත තාවකාලික සහ ස්ථාවර කම්හල් කිහිපය කි. ගොඩනැගිලි පවුරු අසළින්, පොළොව මතු පිටින් ම වාගේ හමු වන තාවකාලික කම්හල් වලින් පෙනෙන්නේ ගොඩනැගිලි ඉදි කිරීමේ දී එයට අවශ්‍ය වන ඇණ ආදී ලෝහ නිර්මාණ එහිදී ම තනා ගන්නට ඇති බව ය.

රන්කරුවෙකු ට අයත් කම්මලක් ද අභයගිරියේ උත්තර මූලයේ රන් පොකුණ අසළින් හමු වී තිබේ. උදුන් සහ කෝව ට අමතර වල ඒ අසළ ම පිහිටි පොකුණෙන් රන් කහවණු ද, රන් ඵලක පහක් ද සොයාගෙන තිබේ. එසේම හමු වී ඇති ලෝකඩ බුදු පිළිම මෙහිදී ම නිපදවාගන්නට ඇති බව ට සාධක තිබේ. යාපනයේ සේතු කාසි සහ පෘතුගීසි කාසි හැරුණු කොට, ලංකාවේ ප‍්‍රථම කාසිය වන හස් එබූ කහාපණය පටන් ඇතා සහ ස්වස්තිකය, ශ‍්‍රී ලක්ෂ්මි කාසි, ගව සිංහ කාසි ආදී සියළුම දේශීය කාසි වර්ග ද පැරණි දකුණු ඉන්දීය, රෝම, ඉන්දු - රෝම කාසි ද අභයගිරියෙන් හමුවී තිබේ. මෙහි රන් කහවණු නිපදවීම ද සිදු කෙරී ඇති බව ට ස්වර්ණ ඵලක පිණ්ඩ හමුවූ රන්කරුවාගේ කම්හල සහ ක‍්‍රි. . නව වන සියවස ට අයත් කාසි අච්චු මඟින් පැහැදිළි වේ.

අභයගිරි භූමියෙන් හමු ව ඇති සෙල් ලිපි ගණන හැටක ට අධික ය. මේවා ක‍්‍රි. පූ. පළමු වන සියවසේ සිට ක‍්‍රි. . එකොළොස් වන සියවස දක්වා කාලය ට අයත් වන අතර පැරණි සිංහලෙන් සහ සංස්කෘතයෙන් ලියවී තිබේ. මේ අතර වන බ‍්‍රාහ්මී අක්ෂරයෙන් ලියැවුණු දමිළ ගෘහපතීන් ගේ සෙල් ලිපියේ අභයගිරියේ ද්‍රවිඩ භික්ෂූණ් වහන්සේ සහ ද්‍රවිඩ දායකයින්  පිළිබඳව සඳහන් වේ.

අභයගිරි විහාරයෙන් ලියැවුණු ග‍්‍රන්ථ පිළිබඳ විස්තර අපට දැනගත හැක්කේ සෙල්ලිපි, පැරණි පොතපතේ එන සඳහන් සහ විදේශයන් හි ඇති අභයගිරි පුස්තක වල පිටපත් ආශ‍්‍රයෙනි. ඒ අනුව, මහාවංශය ට සමරූපී උත්තර විහාර වංශය, මහාවංශ අට්ඨ කථා වලට ද ගුරු වූ උත්තර විහාර වංශ අට්ඨ කථා, මහා බුද්ධරක්ඛිත හිමි විසින් රචිත පැරණිම ලෝක ඉතිහාසය ලෙස සැළකිය හැකි රාජවංශ පුස්තකය, විසුද්ධි මග්ගය ට ගුරු කොට ගත්තේයැ යි සැළකෙන උපතිස්ස හිමි ගේ කෘතියක් වන විමුක්ති මග්ගය (මෙහි දැනට ඉතිරිව ඇත්තේ සංඝපාල තෙරුන් විසින් කෙරුණු චීන පරිවර්තනයක් පමණි), පාලි ජාතකට්ඨ කථා, සම්පිණ්ඩ මහ නිදානය (තවමත් අමුද්‍රිත මෙය කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මෙහි ඇති සමහර කථා ජනප‍්‍රවාදය වෙත මුසු වී ඇති අතර, සද්ධර්මාලංකාරයේ ද අඩංගු වේ.), නමස්කාර වර්ණනා (බුත්සරණ සහ පූජාවලිය වැනි භක්තිවාදී ග‍්‍රන්ථය කි.), මැදුම් සඟි අටුවාව, සහස්ස වත්ථුව, චතුස්ශතකය, ආනන්ද හිමියන් ගේ සද්ධම්මෝපායනය ආදී කෘතීන් මෙන් ම, අභයගිරියේ සිට පළමු වන කාශ්‍යප රජු වෙත සීගිරිය ට යවන ලෙස ලියැවුණු, ලංකාවේ ප‍්‍රථම දූත කාව්‍යය විය හැකි ශ‍්‍රමණ දූතය වැනි සාහිත්‍ය ද, උත්තර මූලයේ මුගලන් හිමියන් විසින් ලියැවුණු පාළි මොග්ගල්ලාන ව්‍යාකරණය වැනි ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ ද, අභයගිරියේ කෘතීන් වේ.

චෝළ අධිරාජ්‍යයේ ආක‍්‍රමණයේ දී අනුරාධපුරයේ බොහෝ ආයතන සේම අභයගිරිය ද ව්‍යසනය ට පත් විය. පළමුවන විජයබා රජු රට එක්සත් කළ පසු බොහෝ නායක හිමි වරුන් අගනුවර සමඟම පොළොන්නරුව ට විතැන් වූ අතර කාළිංග මාඝ ගේ ආක‍්‍රමණයේ දී එම විහාරාශ‍්‍රිත අධ්‍යාපන ආයතන වනගත වී විනාශ වී ගියේ ය.

එහෙත් අභයගිරිය මඟින් ඇති කරන ලද අධ්‍යාපනික සම්ප‍්‍රදාය විනාශ නොවී ය. මහා පරාක‍්‍රමබාහු රජ ඇවෑමෙන්, දළදා මාළිගයේ ආරක්ෂාව පිණිස වේෙළෙක්කාර හමුදාව නිළ කරන ලද්දේ එවක රාජගුරු තනතුර දැරූ, උත්තර මූල නායක නායක හිමි වූ මුගලන් තෙරුනි විසිනි. අනුරුද්ධ ශතකය ලියූ අනුරුද්ධ හිමියෝ උත්තර මූල යතිවරයෙකි. කුරුණෑගල සිව්වන පරාක‍්‍රමබාහු (1302 - 1326) රජ දවස විසූ තොටගමුවේ විජයබා පිරිවෙන් පති කායසත්ති හිමියෝ ද, කෝට්ටේ යුගයේ තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියෝ ද උත්තර මූලය ට අයත් වූහ. කෝට්ටේ යුගයේ දී ලියැවුණු කුවේණි අස්න ද උතුරු මූල තෙර නමකගේ කෘතිය කි. දඹදෙණි යුගය ට අයත් පූජාවලියේ කතුවර බුද්ධපුත‍්‍ර හිමි මහනෙත් පා මූල භික්ෂූණ් වහන්සේ නම කි. සිව්වන පරාක‍්‍රමබාහු රජු, පසුව මහනෙත් පා මූලයේ මධයස්ථානයක් බවට පත් වූ වීදාගම ඝණානන්ද පිරිවෙණ කරවා, සොළී රටෙන් මෙරට පැමිණි ශ‍්‍රී රාජගුරු හිමියන් ට පූජා කළේ ය. කෝට්ටේ යුගයේ දී එහි අධිපති වූ රන්මත්ගොඩ හිමියන් ද, උන්වහන්සේ ගේ අනුප‍්‍රාප්තික වීදාගම මෛත‍්‍රය හිමියන් ද මෙම මූලායතනයේ සුප‍්‍රකට පඬිවරු වෙති.

පිරිත් දේශනා වල බලයක් ඇතැයි වන විශ්වාසය, විහාරාරාම තෙර නමක ට පෞද්ගලිකව පිදීම හා ඒ ඇසුරින් බිහි වූ භික්ෂු පරම්පරානුගතව විහාර අයිතිය පවත්වා ගැනීම, අතීත බුදුවරුන් ඇදහීම, සර්වඥ ධාතු පවතින තුරු බුදුන් වහන්සේ වැඩ සිටින බව විශ්වාස කිරීම, බෝධිසත්ත්ව සංකල්පය, ඒ හා සම්බන්ධ වන ජාතක කථා සාහිත්‍යය හා පිළිම අභිෂේකය, රජවරුන් බෝසත් වරුන් බවට පත්වීමේ සංකල්පය, බුදුන් මහා පුරුෂ ලක්ෂණ සහිත අසමසම පුද්ගලයෙකැයි යන අදහස, ධර්ම ධාතු හා ධර්ම ග‍්‍රන්ථ වන්දනය සහ භක්තිවාදී ග‍්‍රන්ථ රචනය අභයගිරියෙන් බිහි වූ මහායානික ආභාසයේ ප‍්‍රතිඵලයන් ලෙස දැකිය හැක. බුදුන් ලක්දිව වැඩමවූ බව මුල් වරට සඳහන් වන්නේ ද මහායානික සූත‍්‍රයක් වන ලංකාවතාර සූත‍්‍රයේ ය. පැරණි ත‍්‍රිපිටකයේ නොවූ, පිරිත් සූත‍්‍ර එක් කොට සතර බණවර හෙවත් පිරුවාණා පොත් වහන්සේ සංග‍්‍රහ කෙරුණේ මහායාන ආභාසයෙනි. බුදුන් ගේ දර්ශනය ඇතුළත් කොට ආනන්ද හිමියන් විසින් රැුස් කෙරුණු සූත‍්‍ර, සජ්ජායනයෙන් අහිතකර බලවේග දුරු වෙතැයි ද, ශාන්තිය සැළසේයැ යි ද යන පසුකාලීන සංකල්පයේ ආරම්භය මෙහි මුල යි.  තෝනිගල සෙල්ලිපියේ ද සඳහන් වන අරියවංශ වෘත්තිය ද මෙහි ප‍්‍රතිඵලය කි. ලක්දිව ප‍්‍රථම පිරිත් උත්සවය පැවතුණේ උපතිස්ස (366 - 410) රජ දවස ය.

මූලාශ‍්‍ර

මහාචාර්ය කුලතුංග , ටී. ජී. - අභයගිරි විහාරය
සුමංගල හිමි, පිටිපන - අභයගිරි සංස්කෘතිය
Geiger, Wilhelm - Concise Mahavamsa
Mittons, G. E. - Lost Cities of Ceylon  - 1917
Ricalton, James - The City of the Sacred Bo-Tree. (Anuradhapura.) - 1891

ප/ලි

මෙයට එකතු කරන කමෙන්ට් අදහස් වලට, අද දින පිළිතුරු දීමට මා අපොහොසත් වුවහොත්, නැවත පිළිතුරු දීමට හැකිවන්නේ සඳදා දින බව කරුණාවෙන් සළකන්න...

වැඩිපුර බලපු ලිපි