Wednesday, August 17, 2022

මමයි දුම්රියේ ගායකයා සහ තවත් අය...

දුම්රියේ රසවත් දේ දකින්නට නම් යා යුත්තේ දවල් දහයත් තුනත් අතර සහ හවස හතෙන් විතර පස්සෙ. කාර්ය බහුල වෙලාවලත් සමහර විට මම මේ කියන්නට යන උදවිය දුම්රියේ ඉන්නවා වුණාට, වඩාත් ඉඩකඩ සහිතව ගමන් කරන්නට පුළුවන් මම ඔය ඉහතින් කියා තියෙන වෙලාවල් අතරේ නිතරම වගේ මේ කියන රසවතුන් හමු වෙනවා.

ඔයින් එක්කෙනෙක් තමයි, “මමයි දුම්රියේ ගායකයා“. මේ තැනැත්තා අවුරුදු හැටක් වතර වයස, ඉතා ම පිරිසිදුවට කළිසම සහ කමිසය ඇඳ  පොඩි ටියුලිප් බෑග් එකක් දකුණතින් අරගෙන දුම්රියට නගින්නේ. ගොඩක් ම උදේ වරුවෙ තමයි මෙයා ඉන්නෙ. මෙයා කිසිම වාදන භාණ්ඩයක් නැතුව ඉතා ම සරළ විදිහට, ප්‍රසිද්ධ තනුවලට තමන් පද එකතු කරලා හදාගත්ත ගීත ගායනා කරන්නේ මඳ සිනාවකුත් සමඟින්. ඒ ගීත අතරින් මට මතක හිටිය ගීත කීපයක් මේ:

දැක්කොත් මධුරී ඩික්සිත් - ආලේ නොකරා බැරී//

කරාටේ දන්නවා සේ පෙනේ//

කරන්ට් වැදුණ සේ පෙනේ - ඇගේ දැඟලිලි

දැක්කොත් මධුරී ඩික්සිත් - ආලේ නොකරා බැරී...


බණින්නෙපා ප්‍රිය බාරිට - ගහන්නෙපා

ඔබ සමගින් ඈ ඇවිදින් ඇත්තේ

ඔබගෙන් සැනසුම් ලබන්නටයි


මමයි දුම්රියේ ගායකයා - මේ ආවා - මේ ආවා

දවාලෙ පායන සූර්යයා - මේ ආවා - මේ ආවා

රෑට ඇවිදින අවතාරේ...

ටිකට් චෙකර්ලා තට්ටෙ පළාවී දෝ

මං බය නෑ - මං බය නෑ//

ගාඩ් මහත්තය උදව් කරාවී දෝ

මගෙ මිතුරා - හොඳ මිනිහා//


ඔහු බෑඩ් බෝයි සිංදුවටත් මේ වගේ පද මාලාවක් හදාගෙන තිබුණා. ඒකේ තිබුණා බෝයි කියා අවසන් වෙන වචන සීයක් විතර. (ටාසන් බෝයි, ලයිෆ් බෝයි, කව් බෝයි, ඔය ආදී වශයෙන්...)

ගීත හතක් අටක් ගායනා කරන ඔහු ඊට පස්සේ මෙහෙම කියනවා...

“දැන් මේ මහ්තතුරු නෝනලා මට බණිනවත් ඇති, ‘මේ මනුස්සයා සිංදු කියනවා විතරයි. සල්ලි එකතු කරන්න එන්නෙත් නෑ‘ කියලා. මගෙ හැටි එහෙම තමයි. මම කෝච්චි පෙට්ටියකට නැග්ගොත් සිංදු විස්සක් තිහක් කියලා තමයි බහින්නේ.“

ඒ කියනවා වාගෙම, එයා ගණේමුල්ලෙන් නැග්ගොත්, සිංදු කීම ඉවර කරලා සල්ලි එකතු කරන්නේ කැළණියත් පහු වෙලා. 


තව කෙනෙක් හිටියා තරුණ පහේ. වයස තිහක්වත් නැති තරම්. එයා කෝච්චියට නගින්නේ ලොකු ලී රාමුවකට එක්ස්රේ කාඩ් දෙකක් විතර හයිකරලා හදාගත්ත වාදන භාණ්ඩයක් අරගෙන. ඒ රාමුවේ හයි කරලා තියෙනවා, කසළ ගොඩවල්වලින් අහුලාගෙන පිරිසිදු කරගත්ත කැඩුණු බෝණික්කෝ, ප්ලාස්ටික් මල් පොකුරු වගේ දේවල්. එයා කෝච්චි පෙට්ටියට නැගලා මෙහෙම කියනවා.

“ඔයාලට හිතෙනවද දන්නෑ මං පිස්සන් කොටුවෙ ඉඳන් එන්නෙ කියලා. මං එන්නෙ එහෙ ඉඳලා නෙවෙයි...“ එයා දවසක් අර රාමුවෙ හයි කරල තිබුණු බෝණික්කෙක් පෙන්නලා කියනවා, “මෙයාගෙ අම්මා ඕස්ට්‍රේලියාවෙ ගාමන්ට් එකේ. මං ලංකාවෙ පේමන්ට් එකේ...“

මෙයා ගොඩක් වෙලාවට දකින්න හම්බ වෙන්නෙ රෑට. මට මතකයි, 2002 හෝ 2003 දෙසැම්බර් 31 වෙනිදා, මම මරදානෙන් නැගපු දුම්රියට මේ මනුස්සයත් මරදානෙන් නැග්ගා. නැගලා තමන්ව ඉදිරිපත් කරන්න කරන කතාවෙ අන්තිමට, “මම ඔයාල හැමෝටම කැළැන්ඩරයක් ලබා දෙනවා“ කියල, පොකට් කැලැන්ඩර් වගයක් බෙදාගෙන බෙදාගෙන ගියා. එහෙම බෙදන ගමන් කියනව, “ජීවිතේ මල් - නිකං දෙන කල්“ කියල. ඒක ඇහුණුු පොඩි අඩියක් ගහල හිටපු මගියෙක් කියනව, “අපේ ජීවිත පල්!“ කියල.

ප්‍රසන්ට් කරන කතාවෙන් පස්සෙ මෙයා අර රාමුවෙ හයි කරල තියෙන පොඩි නළාවක් පිඹ පිඹ, අර රාමුවෙ එක්ස්රේ කාඩ්වලට ගහමින් සිංදු කියනව එක දිගට... ඒ සිංදුවල නං කියන්න තරම් දෙයක් නෑ. අර කලින් ගායකයා වගේ ම, ප්‍රසිද්ධ සිංදුවලට මවු ගුණ සම්බන්ධ පද අලුතින් දාලා කියන්නෙ.

මේ ඉන්දියාවෙ පොටෝ එකක්

සමහර යාචකයො ඉන්නව දුම්රියෙ පෙට්ටියකට නැගලා, සිංදු තුනක් විතර එතන ම ඉඳන් කියන. සමහර යාචකයො ඉන්නව රබානක් ගගහ, සිංදුව කියාගෙන හෙමින් හෙමින් කෝච්චිය ඇතුලෙන් ඉස්සරහට යන. එහෙම කෙනෙක් ගෙන් සම්පූර්ණ සිංදුවක් අහන්න ඕනෙ නම්, එයාගෙ පස්සෙන් යන්න වෙනව කෝච්චි පෙට්ටි පහක් විතර ඉස්සරහට.

දුම්රිය යාචකයන්ගෙ තියන එක සාරධර්මයක් තමයි, තමන් කෝච්චි පෙට්ටියකට නගිනකොට වෙන යාචකයෙක් ඒ පෙට්ටියෙ හිටියොත්, ආපහු බැහැල වෙන පෙට්ටියකට යන එක. දවසක් ඔය උඩ කිව්ව වගේ, පෙට්ටියෙ නතර වෙලා ඉඳන් සිංදු තුන හතරක් කියන වර්ගයේ යාචකයෙක් රබානක් ගහ ගහ සිංදු කිය කිය ඉන්න කොට, ඇස් පේන්නැති යාචකයෙක් පිටිපස්සෙ පෙට්ටියෙ ඉඳන් ඒ පෙට්ටියට ආව බට නළාවක් පිඹ පිඹ. අර ‘නතර වෙලා‘ ගණයේ යාචකයා, තමන්ගෙ සිංදුව නතර කරලා, අර ‘ජංගම‘ වර්ගයේ යාචකයගෙ බටනළා වාදනයේ තනුවට හරියන්න රබාන ගහන්න පටං ගත්තා, එයා ඒ පෙට්ටියෙන් යන කල් ම.

දුම්රියේ ගායක යුවළක් හිටියා රාගමින් නගින. දෙන්න ම අවුරුදු පණහට කිට්ටු කරලා. පිරිමියා සර්පිනාවක් හරි ඩෝලැක් එකක් හරි අරගෙන එන්නෙ. ඒ දෙන්නා දුම්රියේ බිම වාඩි වෙලා යුග ගීත කියනව. ඒ දෙන්නගෙන් පිරිමි කෙනා කෙට්ටුයි. වයසට ම අලු පාට වුණු කොණේඩෙ පිටිපස්සෙන් වවලා, උඩුරැවුළත් කොන් දෙක පාතට වැටෙන්න වවලා. හරියට ම කෑකෝ පප්ප වගේ මයි.

සමහර ගායකයො එනවා තනියම ත්‍රී පීස් වගේ ගහන. ගිටාර් එක හෝ ඩොලැක් එකට කම්බි වලින් හයි කරපු හාමෝනියම් එකකුත් ගහන ගමන් සිංදු කියන.

මට මතකයි අපි පොඩි කාලෙ වීදි ගායක යාචකයො ගැන “මාවතේ අපි“ කියලා වැඩසටහනක් කළා රාජ්‍ය අනුග්‍රහයෙන්. ඕක කළේ ප්‍රේමදාස ජනාධිපති ගෙ කාලෙ. ඒ වැඩසටහන අන්තිමේ එල්ෆින්ස්ටන් එකේ ලයිව් කරපු සංදර්ශනයකින් තමා අවසන් වුණේ. ඒ ගැන අපේ ලොකු අයියා - ක්ලැරන්ස් විජේවර්ධන ලස්සන සිංදුවක් කළා...


දුම්රියේ අහන්න දකින්න තියෙන දේවල් නම් එමටයි. ගොඩක් ම රෑ අට හමාරට සහ නමයහමාරට කොළඹ කොටුවෙන් අදින ඉහළ දුම්රිය මාර්ගයේ කෝච්චි දෙකේ දි මම හිතන්නෙ අදටත් ඔය වගේ රසවත් දේවලින් නිදිමත සහ වෙහෙස දුරු කරගන්න අවස්ථාව තියෙනව. 

Wednesday, August 10, 2022

ඇත්ත බොරු

ඔමේගා යනු ඇමරිකානු ආණ්ඩුවේ රහස් ඔත්තු සංවිධානයක්. ඒකේ සිටින දක්ෂ ම සහ කැපවීමෙන් කටයුතු කරන නියෝජිතයෙක් හැරී ටස්කර්. ඔහු ඕනෑම අවස්ථාවකට මුහුණ දිය හැකි, ක්ෂණික තීරණ මත ක්‍රියා කරන තැනැත්තෙක්. වරක් ඔහු තමන්ට පහර දෙන්නට ඇවිත් මෝටර් බයික් එකක් පැහැරගෙන පළා යන ත්‍රස්තවාදියෙකු පස්සෙන් ළුහුබඳින්නේ පොලිස් අශ්වයෙකු පිටින්. ත්‍රස්තවාදියා බයික් එක හෝටලයකට ඇතුල් කරගෙන, ලිෆ්ට් එකට නඟිනවිට, හැරීත් තමන්ගේ අශ්වයා පිට සිටිමින් ම අනිත් ලිෆ්ට් එකට නඟිනවා.


ආණ්ඩුවේ රහස් තමන්ගේ පවුලේ උදවිය සමඟවත් බෙදා ගත නොහැකියි. ඉතින්... හෙලන් ටස්කර් හෙවත්, හැරී ගේ බිරිඳ දන්නෙත් හැරී යම්කිසි පරිගණක අලෙවි සමාගමක නියෝජිතයෙක් බවයි. 

හැරී ගේ රාජකාරි දවසක් සාමාන්‍යයෙන් අනතුරුදායක සහ වික්‍රමාන්විත ක්‍රියාවන්ගෙන් බහුලයි. ඒ අවස්ථාවන්ට හැරී මුහුණ දෙන්නෙත් ඉතාම සාමාන්‍ය සහ එදිනෙදා හුරුපුරුදු දේවලට මුහුණ දෙන්නා වාගේ.


හැරී ගේ බිරිඳ හෙලන් පුරුද්දට වාගේ ඔහුගෙන් අහනවා, අද දවස මොන විදිහට ද ගත වුණේ කියලා. ඔහු ඉතා ම සාමාන්‍ය විදිහට ඊට උත්තර දෙනවා. ඔහුට කියන්නට බැහැ ඇත්ත සිදුවීම ගැන. ඉතින් ඔහු කියන බොරු විස්තර හෙලන් ට ඉතා ම නීරසයි. ඇය කැමතියි යම් කිසි වික්‍රමාන්විත සිදුවීම් ගැන අහන්න, කතා කරන්න, නැත්නම් තමන්ගේ ජීවිතයට යම් කිසි ත්‍රාසයක් එකතු කරගන්න.

ඔවුන් දෙදෙනාගේ දුව, ගැටවර වයසේ. සාමාන්‍ය පවුලක දරුවෙක් වාගේ ම ඇයත් දෙමාපියන්ගෙන් දුරස්තරයි. තාත්තා ගේ රාජකාරි සහ ජීවිත රටාව ඇයට අල්ලන්නේ නෑ.

ඔය අතරේ තමයි හෙලන් ට හමු වෙන්නේ සයිමන්. ඔහු හෙලන් ට පෙන්වන්නේ, රාජ්‍ය රහස් ඔත්තු සේවාවක නියෝජිතයෙක් හැටියට. 

ඒ සම්බන්ධය ගැන දැනගන්නා හැරී ටස්කර් මොකද කරන්නෙ? ඒ අතරෙ ඔහු පිටුපසින් පන්නන ක්‍රිම්සන් ජිහාඩ් ත්‍රස්තවාදියන් එක්ක ඔහු ගනුදෙනු කරලා බේරාගන්නේ කොහොමද?

බලන්න චිත්‍රපටිය... (ටොරන්ට් එක)


ටයිටැනික් සහ ටර්මිනේටර් 2 ෆිල්ම් හදපු ජේම්ස් කැමරන් ගේ ඒ කාලෙට ම අයත් නිර්මාණයක්‌ මේක. ටර්මිනේටර් 2 ෆිල්ම් එකට පස්සෙ සහ ටයිටැනික් ට කලින් වැඩිම වියදමක් දරා නිපදවපු, ඒ වගේ ම ආදායම් වාර්තා තබපු ෆිල්ම් එකක්. බලල නැත්නම් බැලුවට පාඩුවක් නෑ.

අවසාන ෆයිට් එක තමයි හොඳ ම. හැරී ටස්කර් ගෙ දුව පැහැර ගන්නා ත්‍රස්තවාදීන් එක්ක සටන් කරන්නට හැරී යන්නේ මැරීන් හමුදාවේ මිග් ප්‍රහාරක යානයකින්.

අඃ... තව ඩිංගෙන් අමතක වෙනවා. ඉතා ම ලස්සන ටැංගෝ ඩාන්ස් දෙකක් ඇතුළත් මේ චිත්‍රපටියට.


තවත් වරක් අමතක උනා කියන්ඩ... හැරියගෙ බොස් හැටියට රඟපාන්නෙ මං දේවත්වයෙන් වගේ සළකන, එල් සිඩ් ෆිල්ම් එකේ සිඩ්... චාල්ටන් හෙස්ටන්.

Wednesday, June 22, 2022

සින්ද්බාද් දුටු ලංකාව


...

මා ගොඩබැස්සේ සෙරන්දිප් නම් දිවයිනේ බැවින්, එහි අගනුවරට පැමිණෙන තුරු අපි ගමන් කෙළෙමු. කළු මිනිස්සු ඔවුන්ගේ රජතුමාට මා දැක්වූහ. මම සිංහාසනය සමීපයට ගොස් ඉන්දියා දේශයේ රජවරුන්ට හොබනා පරිද්දෙන් ආචාර කෙළෙමි.  මම එතුමාගේ පා මුල වැටී පොළොව සිඹියෙමි. රජ තෙම මට නැගිටින්ට කියා, මහත් දයාබර ලීලාවකින් මා පිළිගෙන එතුමා ළඟින් හිඳගැනීමට කීවේ ය. එ තුමා පළමුවෙන් මගේ නම ඇසී ය.

"මිනිස්සු මට සින්ද්බාද් නාවිකයා ය කියත්. එසේ කියන්නේ මා විසින් නැව් නැග බොහෝ ගමන් ගිය බැවිනි. මම බගදාද් නගර වැසියෙකැ" යි කීමි.

"එහෙත් ඔබ මගේ රජයට කෙසේ පැමිණියෙහි ද? ඔබ අන්තිම වරට කිනම් ස්ථානයක සිට ආවෙහි දැ?" යි රජ තෙමේ ඇසුවේ ය.

මම රජතුමාට කිසිත් නො සැඟවීමි. ද තමුන්නාන්සේලාට දැන් කී සියල්ල ම එතුමාට කීමි. ඒ ඇසූ රජතෙමේ කොපමණ විස්මයට පැමුණුණේදැයි යතහොත්, මගේ ඒ ගමනේ තොරතුරු රත්රන් අකුරෙන් ලියා එතුමාගේ රාජ්‍යයේ සිදු වූ ප්‍රධාන කාරණා සඳහන් වූ ලේඛනත් සමඟ තැබීමට අණ දින.

අන්තිමේ දී මගේ පහුර ගෙනවුත් එතුමා ඉදිරියෙහි දී බඩු මිටි විවෘත කළෙමු. එතුමා කිහිරි ලී සහ ඇම්බර්ග්‍රීස් රාශිය දැක පුදුම විය. එහි තිබුණ රතුකැට සහ පද්මරාග සමාන වන එක ම මැණිකක් වත් එතුමාගේ භාණ්ඩාගාරයෙහි නො තිබුණේ ය.

රජතුමා මගේ මැණික් දෙස සතුටින් බලා ඉතා හොඳ මැණික් එකිනෙක ගෙන පරීක්ෂා කරන බැව් දැක, මම එතුමා ගේ පාමුල වැටී සමු ගෙන, "දේවයන්වහන්ස, මා පමණක් නොව පහුරේ පටවා තිබෙන මගේ බඩු සියල්ලත් ඔබවහන්සේට කැමැත්තක් කරගන්නා ලෙස ඉල්ලමි" යි කීවෙමි.

එ කල රජතෙමේ සිනාසී, "සින්ද්බාද් ඔබේ බඩුවලින් කිසිත් යමකු විසින් පැහැර නොගන්නා ලෙස පරිස්සම් කරවමි. එහෙත් දෙවියන් වහන්සේ විසින් ඔබට දී තිබෙන දේවලින් කිසිත් නොගන්නෙමි. මම ඔබේ වස්තුව හීන කිරීම වෙනුවට එය දියුණු කිරීමට අදහස් කර සිටිමි. මගේ ත්‍යාගවන්තභාවය ඔබට නොපෙන්වා මගේ රාජ්‍යයෙන් ඔබට යන්ට ඉඩ නොදෙමි" යි කී ය.

ඒ ගැන ම විසින් දුන් පිළිතුර නම් උතුම් හිතක් ඇති ඒ කුමාරයාණන්ගේ අභිවෘද්ධියත්, එ තුමාගේ දයාව දියුණු වීමත් ප්‍රාර්ථනා කොට යාච්ඤා කිරීම පමණකි. එතුමා මා පරිස්සම් කර ගැනීමට මුලාදෑනියකුට භාර දී, එතුමාගේ ම වියදමින් මට සංග්‍රහ කිරීමට මිනිසුන්ට නියම කෙළේ ය. මුලාදෑනි තෙම තමන්ට නියම කරන ලද යුතුකම් මනා ලෙස ඉෂ්ට කරන්නේ මා නැවතී සිටින ස්ථානයට එකී සියලු බඩු ම ගෙනයාමට නියම කෙළේ ය.

නියම කරන ලද වේලාවට මම සෑමදා ම රජතුමා දැකීමට ගොස්, ඉතිරි කාලය නගරය සහ වෙනත් වැදගත් දේවල් බලමින් ගත කෙළෙමි. සෙරන්දිප් නම් දිවයින සූර්යයා කෙළින් පිහිටා තිබෙන බැවින්, එහි දිවා රෑ දෙකට ම දොළොස් පැය බැගින් ඇති විය. එම දිවයින ගව් අසූවක් දිග ද එපමණ ම පළල ද වූයේ ය.

එහි අගනුවර දිවයින මධ්‍යයෙහි පිහිටි ඉතා උස් කඳු අතරේ මිටියාවතෙහි කෙළවරේ වූයේ ය. තුන් දවසක් මුහුදේ යාත්‍රා කළ විට එම කඳු පෙනේ. රතුකැට සහ වෙනත් ලෝහ වර්ග බොහෝ සෙයින් තිබේ. මැණික් ගල් කපා සමතලා කිරීමට පිළිවන් ලෝහ ගල් වර්ගයකින් එහි පර්වත බොහොමයක් සැදී තිබේ. පොල් ආදී නොයෙක් දුර්ලභ ගස් වර්ග එහි වැවේ. එහි තිබෙන ප්‍රධාන ගං මෝදර මුතු පරයක් තිබේ. සමහර මිටියාවත්වල දියමන්ති සම්බ වෙන්ට තිබේ. ආදම් ඒදන් උයනෙන් පහකර ලැබූ පසු සිටි ස්ථානය වන්දනාව පිණිස යාම සඳහා එහි කන්ද මුදුනට මට නගින්ට සිදු විය.

නැවත මම අගනුවරට අවුත් මගේ සිය රටට යාමට අවසර දෙන ලෙස රජතුමාගෙන් ඉල්ලීමි. රජතෙමේ ඉතා ගෞරවාදරයෙන් ඊට අවසර දින. එතුමා මට මහත් තෑග්ගක් දෙන්ට අදහස් කර සිටි බැවින් යන්ට අවසර ගැනීමට මා ගිය කල බලාපොරොත්තු වුණාටත් වඩා වටිනා තෑගි මට දී, අපේ සියරටේ රජතුමාට දෙනු පිණිස ලියුමකුත් මට භාර දී.

"මේ ලියමන සහ තෑගිත් මා එව් බව කියා කාලිෆ් හරූන් අල් රෂීද් රජතුමාට දී මා කෙරෙහි පැවති මිත්‍ර ධර්මය ගැනත් කියව." යි කීය. මම තෑග්ගත් ලියුමත් ඉතා ගෞරවයෙන් ගෙන රජතුමාගේ වුවමනාව කී පරිද්දෙන් ඉෂ්ට කරන බව කීමි. මා නැවට නැඟීමට මත්තෙන් රජතෙමේ ඒ නැවේ කප්පිත්තා සහ වෙළෙඳුන් ගෙන්වා ඉතා ගෞරවාදරයෙන් මට සංග්‍රහ කළ යුතු බැව් කීවේ ය.

සෙරන්දිප් දිවයිනේ රජතුමා විසින් දෙන ලද හසුන සපයා ගැනීමට ඉතා දුර්ලභ වූ සතෙකුගේ සමක ලියන ලද්දකි. එම හසුන් පතේ අකුරු නිල් පාටින් ලියා තුබුණේ ය. එහි අඩංගුව තිබුණු කරුණු මෙසේ ය.

"ඉදිරියෙහි ගමන් කරන ලද ඇතුන් සියයක් ඇති රතු කැට දස දහසකින් බබලන්නාවූ මාලිගාවක වාසය කරන දියමන්තිවලින් අලංකාර කොට භාණ්ඩාගාරයෙහි රැස් කරන ලද ඔටුණු විසි දහසක් ඇති ඉන්දියා දේශයේ රජ විසින් කාලිෆ් හරූන් අල් රෂීද් රජතුමාට ලියා එවන ලදි.

"ඔබවහන්සේට අප විසින් එවන ලද තෑගි ඉතා ස්වල්ප නමුත් ඔබවහන්සේට අප කෙරෙහි පැවති කරුණාවේ ලකුණක් වශයෙන් සහෝදරයෙක් නොහොත් මිත්‍රයෙක් මෙන් එය පිළිගත මැනවි. අපිත් ඔබවහන්සේ මෙන්ම උත්තමයන් බැවින් ඔබවහන්සේත් අප කෙරෙහි මිත්‍ර ධර්මයෙන් පැවතීම අපට මහත් ප්‍රයෝජනයකැයි සිතම්හ. ඔබවහන්සේ අපේ සහෝදරයෙකු පරිද්දෙන් සලකම්හ. ඔබවහන්සේට යහපතක් ම වේවා" යනුයි.

එසේ යවන ලද තෑගිවලින් පළමුවෙනි තෑග්ග නම් රතු කැටයකින් කපන ලද අඩියක් උස්වූ අඟලක් ඝන වූ මුතුවලින් පුරවන ලද කෝප්පයකි. දෙවෙනි තෑග්ග නම් රන් මුදල් ප්‍රමාණ කොරපොතුවලින් ගැවසීගත් යමෙකු විසින් අත ගෑ කෙණෙහි ම රෝග සුවවන සුලු ගුණයක් දරන්නාවූ සර්පයෙකුගේ සමකි. තුන්වෙනි තෑග්ග නම් කිහිරි ලී අවුන්ස විසි පන්දාහක් සහ කපුරු මඤ්චාඩි තිහකි. හතරවන තෑග්ග නම් ස්වර්ණාභරණයෙන් සරසන ලද රූපශ්‍රීයෙන් යුත් තරුණ වහල් ස්ත්‍රියකි.

නැව පිටත් වී බොහෝ දවස් යාත්‍රා කළ පසු අපි බැල්සෝරා නගරයට පැමිණියෙමු. එතනින් පිටත් ව බග්දාද් නගරයට ගොස් මා විසින් කළ පළමුවෙනි කටයුත්ත නම් රජතුමාගේ පණිවිඩය ඉෂ්ට කිරීම ය.

මම සෙරන්දිප්හි රජහුගේ ලියුම රැගෙන රූපශ්‍රීයෙන් යුත් වහල් ස්ත්‍රියත් සමග තෑගිත් ගෙන්වාගෙන සුල්තාන් රජතුමාගේ මාළිගාවේ දොරටුවට ගියෙමි. වහාම මා ආ කරුණ දැන්වූ කල ඒ රජතුමාගේ සිංහාසනය වෙතට මම ගෙනයනු ලැබීමි. මම සුදුසු පරිද්දෙන් රජතුමාට ගෞරව කොට ටික වේලාවක් කථා කළායින් පසු හසුන් පත සහ තෑගිත් දුනිමි. රජ තෙමේ සෙරන්දිප් හි රජහුගේ ලියුම කියවා, එතුමා විසින් එහි කියා තිබෙණ තරම් ඇත්තෙන් ම ධනවත් දැයි ඇසී. මම දෙවනුවත් අඩදණින් වැඳ,

"දේවයන්වහන්ස, එතුමාට ඇතිවාට වඩා යමක් නොකියා තිබෙන බවට සහතික වෙමි. මම ඒ ගැන සාක්ෂි වෙමි. එතුමාගේ මාළිගාව මෙන් බැලීමට හොබනා අනර්ඝ දෙයක් නැත්තේ ය. එතුමා නගරයේ ප්‍රදර්ශනය කරන කළ ඇතෙකු පිට සවිකර තිබෙන සිංහාසනයක නැගී යයි. දෙපසින් එතුමාගේ මන්ත්‍රීහු ද, මිත්‍රයන් සහ රජවාසල වෙනත් පිරිසත් යති. එම ඇතා පිට එතුමාට පෙරමුණෙන් සිටින මුලාදෑනියෙක් රත්රන් හෙල්ලයක් ගෙන සිටියි. එම සිංහාසනය පස්සෙන් රත්රන් මුගුරක් ගත් තවත් මුලාදෑනියෙක් නැගිට සිටියි. එම රත්රන් මුගුර මුදුනෙහි අඩි බාගයක් දිග වූ, අඟලක් ඝන වූ, පද්ම රාග මාණික්‍යයක් ඔබා තිබේ. රන්කම් කළ රෙදිවලින් සහ පට පීළීවලින් සැරසුන ආරක්ෂාකාර මිනිස්සු දහයක් පමණ අලංකාර වූ ඇතුන් පිට නැග එතුමා පෙරටුවෙන් ගමන් කරති.

"රජතුමා ප්‍රර්ශනය කරන කල්හි එතුමාගේ ඇතා පිට ම පෙරමුණේ සිටි මුලාදෑනිතෙමේ වරින් වර මහත්සේ් හඬ නගා, 'රතුකැට දස දහසකින් අලංකාර කරන ලද දියමන්ති ඔටුණු විසිදාසක් ඇත්තා වූ සින්ධු දේශයෙහි අති බලසම්පන්න මහ රජතුමා බලව්. සලමොන් රජතුමා සහ බලසම්පන්න වූ මහා රජතුමාටත් වඩා උතුම් වූ මේ නරෝත්තමයා දෙස බලව්' යි කියයි.

"ඔහු මෙසේ කී කල සිංහාසනයට පස්සෙන් සිටින මුලාදෑනි තෙමේ,

" 'මේ ‌බඳු බලසම්පන්නවූ උතුම් මහරජ තුමා පවා මරු වසඟයට පැමිණෙන්නේ ය' යි කියයි.

"එ කල පෙරමුණ සිටින මුලාදෑනි තෙමේ,

" 'සදාකාලයට ම ජීවත් වන උත්තමයාණන් වහන්සේට ප්‍රශංසා වේවා!' යි කියති.

"මේ හැර සෙරන්දීප් හි රජතුමා කොපමණ ධර්මිෂ්ඨ කෙනෙක්දැයි කිවහොත්, එතුමාගේ රාජ්‍යයෙහි විනිශ්චය කාරයෝ නො සිටිය හ .ඒ රාජ්‍යයේ වැසියන්ට විනිශ්චය කාරයන් ඔ්නෑ නොකෙරේ. යුක්තායුක්ත මේ මේ යයි ඔවුනට ම මනා ලෙස වැටහේ ය." යි කීමි.

කාල්ෆ් රජ තෙමේ මා කී කරුණු ගැන බොහෝ සෙයින් සතුටු විය.

"එම රජතුමාගේ ප්‍රඥාව ඔහුගේ ලියුමෙන් පෙණී යේ. එතුමාගේ ප්‍රඥාවට මෙබඳු කුමාරයෙක් හොබනා බවත් නුඹේ කථාවෙන් පසු දැන ගතිමි."යි කීයේ ය.

එතුමා මෙසේ කියා තෑග්ගක් දී මා යැව්වේ ය.


මෙය, පස් වන ප්‍රමාණයේ මව්බස කියවීම් පොතකින් උපුටා ගත්තෙමි. මේ කතාව ඇල්බට් ද සිල්වා විසින් පරිවර්තිත අරාබි නිශොල්ලාසය පොත් පෙලේ තුන්වන වෙළුමේ 387 පිටුවේ සිට පළකර ඇති බව පසුව දැනගතිමි.

Thursday, May 12, 2022

කෘමියෙකුගේ ජීවිතය


කූඹි ජනපදයක්... 

ඔවුන් ඉතා මහන්සි වී කෑම රැස් කරනවා. නමුත් ඒ කෑම උන්ගේ ගුලට ගෙනියන්නේ නෑ. ගුලේ කට ඇති තැන උස් මුදුනක තියෙන කොලයක් මත ගොඩ ගහනවා... ඒ උන්ව බයකරගෙන පාලනය කරන තණකොල පෙත්තන් රංචුවක් උදෙසා.

ෆ්ලික් ඒ කූඹි රැලේ එක කූඹියෙක්. ඔහු නව නිපැයුම් කරන්නෙක්. නමුත් ඔහුගේ නව නිපැයුමක් මිස් ෆයර් වෙලා, තණකොල පෙත්තන් එන දවසේ ම, කූඹි රැළ දවස් ගාණක් තිස්සේ එකතු කරපු කෑම කන්දරාව, ඇලට වැටෙනවා.

තණකොල පෙත්තන් කූඹියන්ට තර්ජනය කරනවා. කොළ වැටෙන කාලය ඉවර වෙද්දී ආපහු කැම හොයලා තිබ්බේ නැත්නම් ඔවුන් විනාශ කරන බව කියමින්.

ෆ්ලික් නගරයට යනවා, තමන්ට උදව් කරන්න සූදානම් ලොකු කෘමියන් හොයාගෙන එන අදහසින්. ඔහුට හම්බ වෙන්නේ, සර්කස් කාරයන් රැළක්. ෆ්ලික් හිතන්නේ ඔවුන් වීරයන් කියලා. නමුත් ඔවුන් කරන සර්කස් එකවත් හරියට කරගන්න බැරුව නරඹන්නන් හිනස්සවන විදිහේ ෆේල් චරිත ටිකක්.

සර්කස් කාරයන් ෆ්ලික් එක්ක ආපහු කූඹි ගුලට එනවා. ඔවුන් එතනදි කූඹියන්ට පොරොන්දු වෙනවා තණකොල පෙත්තන් පරාද කරලා කූඹි රැළ බේරගන්න බවට.

මෙතන තියෙන්නේ එක සරළ සිද්ධාන්තයක්. ඒක තණකොල පෙත්තන් රැළට, ඔවුන්ගේ නායකයා වන හොපර් කදිමට විස්තර කරලා දෙනවා...


මේක වඩා පැහැදිළියි. නමුත් ඉහළ ක්ලිප් එක වඩා සවිස්තරාත්මකයි...



කූඹි රැළේ දහස් ගාණක් කූඹි ඉන්නවා. නමුත් තණකොලපෙත්තන් ඉන්නේ ටික දෙනයි. කූඹි රැළ එකා වන් ව එක ම අදහසකින් ක්‍රියා කළොත්, ඔවුන්ට පරදවන්න බැරි සතුරෙක් හෝ පාලකයෙක් නෑ... එය තේරුම් ‌නොගන්නා තාක්, කූඹි රැළ පාලනය කර මර්ධනය කර තබා ගන්න පුළුවන්. ඒ වගේ ම තණකොල පෙත්තන්ට තමන්ගෙ ජීවිකාව කරගන්න පුළුවන්.

ඒ වගේ ම තාවකාලික සුළු සුළු ජයග්‍රහණවලින් එහෙමත් නැත්තම් තණකොළ පෙත්තන්ගේ රැවටීම්වලින් නොනැවතී, තම අරමුණ සම්පූර්ණයෙන් ම ඉටු වන තෙක් සටන් කිරීම වැදගත්. (ඒක මම කිව්වෙ මේ ෆිල්ම් එක ගැන විතරක් නෙමෙයි...)

1998 දී ආපු ඉතාම වැදගත් සහ ලස්සන ෆිල්ම් එකක්, A Bug's Life. ඩිස්නි නිෂ්පාදනයක්. මෙතනින් බලන්න...

Tuesday, May 3, 2022

දොන් කිහෝටේ


ස්පාඤ්ඤයේ විසූ වංශවත් වයසක මනුස්සයෙක්, අලෙන්සෝ කිහැනෝ. ඔහු‌ මධ්‍යතන යුගය පසුබිම් වුණු කතා සෑහෙන ප්‍රමාණයක් කියවා තියෙනවා. අන්තිමේ ඔහුගේ සිහිය පොඩ්ඩක් සීරු මාරු වී, ඔහු විශ්වාස කරන්න පටන් ගන්නවා, තමන් නිර්භීත නයිට් වරයෙක් වුණු මන්චා හි දොන් කිහෝටේ බව. යකඩ ඇඳුමක් ඇඳගන්නා ඔහු අශ්වයෙකු පිට නැගී, තම වීර චාරිකාව පටන් ගන්නවා.

ඔහු අඳුනන කිහිප දෙනා ඔහුට හරි සිහිය ලබා දෙන්නට තැත් කළත් එය සාර්ථක වන්නේ නෑ. අවසානයේ දී ඔහුගේ උමතුවට ඉඩ දෙමින් ඔහු ආරක්ෂා කරගන්නට ඔවුන් කීප දෙනා තැත් කරනවා.

කිහැනෝ තමන්ගේ මිතුරෙකු වන සන්චෝ පන්තා තමන්ගේ ගමන් සගයා ලෙස තෝරාගන්නවා. ඔවුන් ඉදිරියට යන විට හමුවන සුළං මෝලක්, යෝධයෙක් හැටියට සළකා ගන්නා දොන් කිහෝටේ, එය සමග සටන් කරනවා. තවත් වරක හමුවන බැටළුවන් රැළක් සතුරාගේ හමුදාව හැටියට සළකා ගන්නවා.

ගම්බද තානායමක් බළකොටුවක් හැටියට හිතා ගන්නා දොන් කිහෝටේ, එහි වැඩ කරන තරුණියකට ආලය කරන්නට පෙළඹෙනවා.

ඔහුගේ උමතු ගමන 2000 දී තිරගත කෙරුණු දොන් කිහෝටේ නම් චිත්‍රපටියෙන් නිරූපණය වෙනවා. එහි මුල් කෘතිය වන මිගෙල් සර්වාන්තෙස් ගේ දොන් කිහෝටේ නමින් ම යුත් ලෝක ප්‍රසිද්ධ නවකතාව ඇසුරින් නිර්මාණය කෙරුණක්.

මෙතන තියෙනව ට්‍රේලර් එක...


අලෙන්සෝ කිහැනෝ හෙවත් දොන් කිහෝටේ ලෙස රඟපාන්නේ, ශ්‍රෙක් චිත්‍රපටියේ වංශාධිපති ෆාක්වාඩ් ලෙස හඬකැවූ ජෝන් ලිත්ගෝ. ඔහුට අමතරව තවත් ප්‍රසිද්ධ නලු නිළියන් රැසක් මෙහි පෙනී සිටිනවා.

මෙතන ඔබ නලයේ (පරිවර්තන අයිතිය යාන්හෑල්ලේ සුරංග සතුයි) 2000 දී තිරගත වුණු සම්පූර්ණ චිත්‍රපටිය තිබෙනවා. එය සොයද්දී 1991 - 92 කාලයේ හැදුණු සම්පූර්ණ රූපවාහිනී වෘතාත්නතයකුත්, ඕසන් වේල්ස් හදපු චිත්‍රපටියකුත් හම්බවුණා.

ඉතින් ලොකු දෙයක් නෑ මේ චිත්‍රපටිය ගැන අමුතුවෙන් කියන්නට. මේ දවස්වල යමක් නිර්මාණය කර ලියන්නට තරම් යහපත් මානසිකත්වයක් නෑ. රටේ සිද්ධවෙන පෙරළි වගේ ම, මාස්ටර් පාඨමාලාවේ අවසන් අංගය වන ස්වාධීන පර්යේෂණයේ වැඩවලින් ඔලුව ආකූල වී තියෙන්නේ.

ඒ වගේ ම සහෘදයන්ගේ බ්ලොග් ලිපි ගණනාවක් මග ඇරුණා. ඒ ගැන අවංක කණගාටුව පළ කරනවා.

Monday, April 25, 2022

සුවාතගේ තවත් වික්‍රමයක් - කකුල් තුනේ බීරි මුවා

ඔන්න ළමයි මේ ළඟදි ප්‍රවෘත්ති බල බලා ඉන්නකොට මට මතක් වුණා සුවතා ගේ තවත් වික්‍රමයක්. මේක ගොඩක් කෙටියෙන් ලියවෙන්න පුළුවන්. කමක් නෑ ඉතිං කියවමුකො...

සුවාතගේ අයියා තමයි විජයාතා. එයාගෙ පුතා නෙව අර ප්‍රසිද්ධ කලා භූෂණ කටුවාලමුල්ලේ වයි. ජිනදාස නම් කවියා. ඔන්න දවසක් ඔය කියන විජයාතට ලෝකෙ නැති ලෙඩක් හැදුණා. ඒක වුණේ හඳ සලබයා කියන මහා විසාල සලබයා...

පොඩ්ඩක් නැවතිලා හඳ සලබයා ගැන ඉගෙන ගෙන ඉම්මු. ගොඩක් අය දන්නැති කෘමි සතෙක් තමයි හඳ සලබයා. ඔය සතා ඒ තරම් ලොකු සතෙක් නෙමෙයි. වැඩිම උනොත් අප්‍රිකානු අලියෙක්ගෙ කන් දෙක විතර ඇති උගෙ පියාපත්. වරක් නං එයිට වඩා තුන් ගුණයක් විතර ලොකු හඳ සලබයෙක් ගැන දොස්තර ඩූලිට්ල් වාර්තා කරලා තිබුණා. ඒත් ඒ ගැන කිසිම සාධකයක් ඉදිරිපත් කරලා තිබුණෙ නෑ.

ඔය හඳ සලබයා මහ රෑ දොළහ - පාන්දර දෙක අතර කාලයෙ මහ පොළොවෙ ඉඳං, හඳට පියාඹනව. සලබයො කොහොමත් ආලෝකයට ඇදිලා යනවනෙ. උගෙ සයිස් එකට ඌ ආකර්ෂණය වෙන්නෙ හඳට ම විතරයි. 

ඔය ළමයි දැකල ඇති අපි රෑට පාරෙ බැහැල යනකොට හඳත් අපිත් එක්ක යනව. ඒ විදිහට රෑ හඳ එහෙ මෙහෙ යන නිසා සලබයට එක ඉළක්කයක් තියාගෙන පියාඹන්න අමාරුයි. ඒක නිසා තමයි හඳ සලබයා මිනිස්සු ඔක්කොම නින්දට ගියාට පස්සෙ හඳට පියාඹන්නෙ.

ඔය හඳ සලබයා දවසක් ඔහොම පියාඹද්දි උගෙ පියාපතකින් වැටිච්ච කුඩු ටිකක් අපේ විජයාත‌ගෙ ඇහැකට වැටිලා පොඩ්ඩක් රතු උනා. ඒකට බෙහෙත් විදිහට අපේ පැත්තෙ උන්නා වෙද මහත්තයෙක්, මට නම මතක නෑ. එයා කිව්වා කන් දෙක ම බීරි, කකුල් තුනේ මුවෙක් ගෙ ‌මොළේ අරං එන්න කියලා.

ඉතිං කොහොම ද ඔය විදිහෙ මුවෙක් හොයාගන්නෙ? 

ඔය වැඩේට ඉදිරිපත් වුණේ අපේ සුවාතා. කස්ටිය දැනට ම කියවල තියෙනවනෙ සුවාතගෙ දඩයම් විස්තර...

සුවාත ගෙදර ඇති කළා ඉබ්බෙක්. මූ එසේ මෙසේ ඉබ්බෙක් නෙමෙයි. ඌට සෑහෙන තරං වේගෙන් දුවන්න පුළුවන්. සුවාතා උගෙ පිටට නැගගත්තහම ඌ කොයිතරම් වේගෙන් දුවනවද කියතොත්, ඉබ්බව පේන්නෙ නැති තරම්...

ඉතින් සුවාතා අර ඉබ්බවත් අරගෙන ගියා මුව දඩයමේ. ගිහින් මුවො ඉන්න තැනිතලාවට ගොඩ වුණා විතරයි, සුවාතා දැක්කා හැතැම්ම තුනක් හතරක් ඈත ඉන්න මුවෙක්. උන්දැ මොකද කළේ... ඇහැට කන්ණාඩියත් දාගෙන, හොඳට ඉළක්කෙ අරං, වෙඩි තිබ්බා මුවාගෙ වං කණට. තියපු ගමං පැන්නා ඉබ්බගෙ පිටට. ඉබ්බා දිව්වා මුවා ගාවට. සුවාතා මුවා ගාවට ආපු ගමං, ඉබ්බගෙ පිටෙන් පැනලා, තුත්තිරි ගහක් අරං ගැහුවා මුවාගෙ දකුණු කණේ. මුවා පස්සගාතෙන් කණ කහන්ඩ පටං ගත්තා.

ආං එතකොට තමයි අර වෙඩි තියාපු වෙඩිල්ල ඇවිත්, මුවාගෙ වං කණෙං ඇතුල් වෙලා, දකුණු කණෙං පිට වුණේ, කණ කහ කහ හිටපු දකුණු කකුලත් කඩාගෙන.

මුවා ‌මැරෙද්දි, කන් දෙකම බීරියි, කකුල් තුනයි...


මේක කියවද්දි කාටහරි මොන මොනව හරි මතක් වෙනවනං ඒ ගැන මගේ කිසිම වගකීමක් නැත.


කලින් ලියපු ගජබින්න...

1. බාප්පගෙ මිරිස් වගාව

2. ඉඩෝරෙට වෙළේ ළිඳක්

3. අලිමාලය

4. සුවාරිස් මුත්තගෙ දඩයම්

5. ඉර හඳ පල්ලා බොරු නෙමේ

6. අන්දිරිස් කිත්තගෙ මුහුදු වික්‍රම

7. වට්ටක්කා සහ පතෝල

8. ලබ්බෙ කානිවල් එක

9. කන්තලේ මහ වන මැද

10 බාප්පගෙ සත්ත්ව පාලනය හෙවත් හුංගා සහ එළුවා

11 බාප්පයි පුතයි

12. විලියොං ආතගෙ කාලෙ ගජබින්නයක්

13. ඩොක්ටර් වන් ෂොට් සහ ඉලෙක්ට්‍රොනික්ස්

14. බාප්පගෙ හේනෙ විත්ති

15. අනද කිත්තගෙ බිලී බෑම

16. ලබ්බෙ මගුල

17. කෙටි කලබල ගජබින්න. 

18. අනද කිත්තා කටුවාලමුල්ලට ආ හැටි 

19. අන්දිරිස් අප්පු සහ ගොරක යකා

20. විකුම්ගෙ වික්‍රම

21. නුවරඑළියෙ වග

22. අරුම ගමන

23. කළුවර


Monday, April 11, 2022

පාස්කු හාවා සහ බිත්තර...

ජේසුස් වහන්සේ මරණින් නැගිට්ටායැයි විශ්වාස කෙරෙන පාස්කු ඉරිදා, හාවෙක් පාට කරපු බිත්තර හංගමින් කරන්නේ මොකද්ද?


හිටපු ගමන් මට ඇති වෙච්ච ප්‍රශ්නය ඒකයි. ඉතින් පටන් ගත්තා ඒ ගැන හොයන්න.

තවත් එදා අප දුටු චිත්‍රපටියකට ඔත්තුවක්

රෝමානු සංස්කෘතිය යුරෝපයේ, විශේෂයෙන් ඇංග්ලෝ, සැක්සන්, ගොත් ප්‍රදේශවල පැතිරෙන්නට කලින්, ඒ ප්‍රදේශවල මුල්බැහැගෙන තිබුණේ නෝර්ඩික් කළවමක් සහිත පේගන් ඇදහිලි. නත්තලේ පේගන් මුල් ගැනත් මේ වගේ ම හොයා බැලිල්ලක් මම මීට කලින් සිදු කළා.

ඉයෝස්ට්‍ර, ඔස්ටේර, හෝ ඇස්ටාර්ටේ නමින් ඇතැම් ප්‍රදේශවල හඳුන්වන, ඊස්ත්‍රා හෝ ඌස්ත්‍ර (Eostre) යැයි ඇංග්ලෝ සැක්සන් උච්ඡාරණය සහිත නමින් හැඳින්වුණේ, හිමිදිරියට සහ සරු බවට අධිගෘහිත පේගන් දෙවඟන. ඇය සැමරීම වසන්තයේ උදාවත් සමඟ ම හෙවත් අප්‍රේල් මාසයේ මුල් දෙසතිය තුළ සිදුවුණු පේගන් උත්සවයක්. ආදී ජර්මානු කැලැන්ඩරයේ, අප්‍රේල් මාසයට සමපාත වූ මාසය හැඳින්වුණේ ඌස්ත්‍රමානුද් හෙවත් ඊස්ටර් මාසය යනුවෙන්. 

පේගන් සූර්ය කැලැන්ඩරයට අනුව, වසන්ත සෘතුව ආරම්භ වී පළමු පුර හඳට පසුව එළඹුණු ඉරිදාව තමයි දැන් පාස්කු ඉරිදාව ලෙස හැඳින්වෙන්නේ. 

වසන්ත කාලයේ හාවුන් ඉතාම කාර්ය බහුල ලෙස තම ප්‍රජාවගේ සරුබව පෙන්නුම් කරන නිසා, සරළව කිව්වොත් ඉතාම කාර්ය බහුල ලෙස වර්ගයා බෝකිරීමේ ක්‍රියාවලියේ නිරත වෙන නිසා, සරු බව සංකේතවත් කරන  ඊස්ත්‍රා දේවතාවියගේ සංකේතය විදිහට හාවුන් යොදා ගන්නට ඇතැයි සැළකෙනවා.

අනික් අතට, ශීත සෘතුවේ ඉතාම අල්ප විදිහට කිකිලියන් බිත්තර දැමුවත්, වසන්තය උදා වීමත් එක්ක ඔවුනුත් සක්‍රිය වෙනවා.

වසන්තයේ උදාව ඉතාම වර්ණවත්. මොකද හැම තැනකම අලුත් දළු දැමූ ගස් අතු රිකිලි, වර්ණවත් මල්, අළු පැහැය වෙනුවට අහසේ දීප්තිමත් නිල් පැහැය දකින්න ලැබෙනවා. ඒ විදිහට ම තද පාටවල්වලින් බිත්තර වර්ණවත් කිරීම පේගන් සිරිතක් විදිහට හඳුනා ගැනෙනවා.

පාස්කුවට පෙර දින රාත්‍රිය ගිණිමැල දල්වාගෙන සමරන ලද බව 19 වන සියවසේ විසූ ජේකබ් ග්‍රිම් (ග්‍රිම් සොහොයුරන්ගෙන් කෙනෙක්) ලියනවා. පසුවදා උදෑසනින් ම ළිඳිකින් හෝ වෙනත් මූලාශ්‍රයකින් ලබා ගත් වතුර ශුද්ධ වූ හෝ සුවපත් කරවන බලයක් ඇති වතුරක් ලෙස විශ්වාස කෙරුණා. 

ජේකබ් ග්‍රිම් කියන හැටියට, ඊස්ත්‍රා කියන්නේ හිමිදිරියේ ගළාඑන හිරු එළිය. අරුණළු ගලන්නේ ඉහළ සිට පහළට නොවෙයි. හිරු මුලින් ම සිතිජයෙන්හි උඩට නැගෙද්දී, රතුවට හුරු පළමු ආලෝක දහර ගලාගෙන එන්නේ හරස් අතට. එහි දකින්නට තිබෙන චමත්කාරය නව ජීවනය සංකේතවත් කෙරුණා. වසන්ත සෘතුවේ මුල්ම දවස්වල දකින්නට ලැබෙන හිරු එළිය කොහොමත් ජීවය ගැන පොරොන්දු ඇතිකරවන්නක්.

ඉතින් පසුකාලීන ක්‍රිස්තියානියට ජේසුස් වහන්සේ නැවත මරණින් නැගිටීම සංකේතවත් කරන්නට ඊට වඩා හොඳ කාලයක් හිතාගන්නට බැරි වුණා විය හැකියි.

අනික් අතට, බෛබලයේ සුභාරංචි හතරට ම අනුව ජේසුස් වහන්නේ කුරුසයේ ඇණ ගසන ලද්දේ යුදෙව් කැලැන්ඩරයට අනුව නිසාන් මාසයේ (වර්තමාන මාර්තු - අප්‍රේල්) 14 වන දිනයේ වන අතර, යුදෙව්වන් අතර ප්‍රචලිත "පළමු පලවැල භුක්ති විඳීමේ උත්සවය" දිනයේ උන්වහන්සේ මරණයෙන් නැගිට්ට බව සළකා ගත හැකියි. මේ ‌තොරතුර අනුව බහුතරයක් දෙනා පිළිගන්නේ උන්වහන්සේ කුරුසිපත් කරන ලද්දේ සිකුරාදා දිනයක බවයි. මේ ගැන සොයා බැලූ අයිසෙක් නිව්ටන් කියන්නේ, පොන්ටියස් පිලාත් ගේ පාලන කාලය ඇතුළත (ක්‍රි. ව. 31 - 36) නිසාන් මස 14 වන දින සිකුරාදා දිනයක් වන්නට ඉඩ තිබෙන්නේ, ක්‍රිස්තු වර්ෂ 33 අප්‍රේල් මස 3 වන දිනයේ වන බවයි.

මූලාශ්‍ර

http://www.arcane-alchemy.com/blog/2020/3/5/all-about-eostre-the-pagan-goddess-of-dawn#:~:text=Eostre%20is%20the%20Germanic%20goddess,name%20for%20Spring%20Equinox%20celebrations.

https://www.countryliving.com/life/a41715/easter-bunny-origins/

https://www.goodhousekeeping.com/holidays/easter-ideas/a31226078/easter-bunny-origins-history/

https://en.wikipedia.org/wiki/Chronology_of_Jesus

Friday, April 8, 2022

LXG

සුප්‍රකට දඩයක්කාරයෙක් සහ ගවේෂකයෙක් වුණු ඇලන් ක්වාටමේන්, ලෝකයේ පළමුවන වරට තැනුණු සබ්මැරිනයෙන් මුහුද යටින් ලීග විසිදාහක් ගියපු කැප්ටන් නීමෝ, ටොම් සෝයර්, ඩ්‍රැක්‍යුලා පොතේ මීනා හාකර්, රොඩ්නි ස්කිනර් හෙවත් නොපෙනෙන මිනිසා, කිසි දිනක වයසට නොයන ඩෝරියන් ග්‍රේ, ඩොක්ටර් හෙන්රි ජෙකිල් සහ එඩ්වඩ් හයිඩ් එකතු වී සාදාගත් සමූහයක්... අසාමාන්‍ය මහත්වරුන්ගේ ලීගය. (league of extraordinary gentlemen) 

ඇලන් ක්වාටමේන් කොයිතරම් දක්ෂ සහ පරිණත ඉළක්කකරුවෙක්ද කියන වග මේ කොටසින් පේනවා...


ඇලන් ක්වාටමේන් චරිතයට සුදුස්සා ෂෝන් කොනරි මිස වෙන කවුරුද, කියා හිතෙන තරමට මේ චරිතය ඔහු නිරූපණය කරනවා. ඒ වගේම නෝටිලස් සබ්මැරිනය නිර්මාණය කළ කැප්ටන් නීමෝ හැටියට රඟපාන්නේ අසූව දශකයේ ඉන්දියාවේ සුප්‍රකට නළුවෙක් වුණු නසීරුද්දීන් ශා. 


කතාවට පසුබිම් වන්නේ වික්ටෝරියානු යුගය. ඒ වන විට මීනා හාකර් වැම්පයර් වරියක්. ටොම් සෝයර් ඇමරිකානු රහස් ඔත්තු සේවාවේ නිලධාරියෙක්.

ඔවුන්ට තියෙන අභියෝගය ෆැන්ටම්. කවුද මේ ෆැන්ටම්, කොහොමද ඔහු පරදවන්නේ, ඒ අතර සිදුවන සිදුවීම්වලට මේ අසාමාන්‍ය මහත්වරු මුහුණ දෙන්නේ කොයි විදිහටද යන්න 2003 දී එළිදැක්වුණු මේ චිත්‍රපටය නැරඹීමෙන් දැනගන්න.

මෙන්න පූර්ව ප්‍රචාරක පටය...



Friday, April 1, 2022

අවසානයේ අතුරු කතා... 1


ෆයර්මවුන්ට් කොළණිය ලෙසින් ඉංග්‍රීසි පාලකයන් විසින් නම් කෙරුණු, ගිණිමලේ ඉපැරණි ජනාවාසය වසරේ වැඩි හරියක් ම මීදුම සහ වළාකුළු නිසා අඳුරු වී පැවතුණේ ය. නිතර වැටෙන කුඩු වැස්ස, කඳු මුඳුන් ඉහළින් ගළා යන සුළඟ විසින් ඒ මේ අත විසුරුවන්නේ හිතු මතේ ය. රවුම් ගල් ගෙඩිවලින් ආකූල වුණු, සිඳී යමින් පැවති දියපාරවල් වංගු ගැසෙමින් පුරන් වූ කුඹුරු මැදින් ගලාගෙන යද්දී හිරිමල් කෙල්ලන් හෙමින් සිනාසෙන්නා මෙන් මුණු මුණු හඬ නැඟුනි. හේන් කෙටීමෙන් ම ලඳු කැලෑ බවට පත් ව තිබූ, කඳු මුහුණත් බොහොමයක් අලුතින් වල් කෙටී, කෝපි පැල ඉන්දවීමට යටත් වී තිබුණේ ය. කඳු මුදුන දක්වා ඒකාකාරීව පැතිරුණු කෝපි වගාව ඔස්සේ නෙත් හෙළූ ටිකිරි බණ්ඩා ගේ දෑස් හැකිළුණේ කඳු මුදුනේ සිටි අසරුවාගේ අඳුරු සේයාවෙනි.

"තුඃ...!" බිමට කෙළ ගැසූ ටිකිරි බණ්ඩා ආපිට හැරුණේ ය.

පුරන් වූ හෙල්මලු කුඹුරේ නියර පිටින් ලියද්දට බට ඔහු, අඩ දණින් වැටී, වියළි පස් හා දිරා ගිය පිදුරු අතගෑවේ ශෝකයෙනි.

"අප්පච්චී..." 

ටිකිරි බණ්ඩා නැගිට්ටේ ඇසිල්ලකිනි. තම අඩ දියණියගේ කටහඬ ඇසුණු දෙසට ඔහු දිවගියේ ය. යන්තමින් නවයොවුන් වියට එළඹෙමින් සිටි දැරිය ගොවි රාළගේ ගෙපැලේ මිදුලේ පසෙක වූ ගල්තලාව මත නැග, සිය කැපකරු පියා දිව එන දෙස බලා සිටියා ය.

"හා හා... මේ ගොම්මං වෙලාවෙ එලි පහලියට එන්ට එපා, මයෙ පුතේ..."

"ඉතිං අප්පච්චි ගියෙ...?" 

"හා හා... ඒ පණ්ඩිතකං තියාගමු. යමු පුතේ ගෙට." ඔහු දැරියගේ සුරතින් අල්ලාගෙන ගෙයි එළිපත්තට ගොඩ විය.

"මොකද අප්පච්චි? හැන්දෑවෙත් තියෙන්නෙ දවාලෙ තියෙන දේවල් ම තමා. මොන එහෙකට ද බය වෙන්නෙ?"

"උඹ නං කියයි ඉතිං..." ටිකිරි බණ්ඩා එළිපත්තේ වූ උස් පිළේ වාඩි වී, කරේ වූ ලේන්සුව දිගහැර, උරහිස් මතින් පොරවා ගත්තේ ය.

"අදත් අර වතුකාර හාම්පුතා අස්සයගෙ පිටේ නැගලා උන්නා කවුඩං ගල මුදුනෙ." ටිකිරි බණ්ඩා කීවේ ලොකු මැණිකේ හෙවත් සිය වැඩිමහල් දියණිය ගෙනැවිත් දුන් අඩි වළඳ අතට ගනිමිනි. "උන්දැල කන්දෙ කැලේ කැපුවට පස්සෙ තමා අපේ කුඹුරු වේළිලා ගියෙ. බඩ්ඩිංගක් කාගන්ට නෑ මේ සුදු හැතිකරේ හින්දා..." ඔහු අඩි වළඳේ වූ තලපයෙන් කඩා ගත් ‌බිඳක්, එහි ම වූ මිරිස් හොදි ආනම සමඟ දවටා මුවෙහි ලා ගත්තේ ය. 

"කොයි කාලෙත් එකයි." කීවේ බාල දියණිය ය. "සුද්දො නැත්තං රටේ රාළලා, නිළමෙලා... ඔය කොයි ඇත්තොත් කෙරුවේ තමුං සැප සුවන්දිරං විඳින එක මිසක්, ගම්මුයි ගොවිතැනුයි බලා හදාගන්න එක නෙමෙයි..." 

"මේ බලන්ටකො අප්පච්චි" ලොකු මැණිකේ පිළ මත කකුල් නවා වාඩි වුණා ය. "මේකිගෙ පැහිච්චකම! උඹ සුද්දට කලිං උන්නු ඔය කියන රටේ රාළලා, නිළමෙලා දැකල තියෙනවද මුතූ?"

"ඒ කාලෙ විතරක්යැ? ඔය දැනුත් ඉන්නෙ අපේ නල්ලමලේ ආරච්චිලා, විදානෙලා..." ඈ පිල මත සිටි ටිකිරි බණ්ඩා අසල දණ ගසාගෙන කට ඇරියේ, සුළු පියාගෙන් තලප කටක් කවා ගැනීමට ය.

*    *    *

ගිණිමලේ නියම්ගම පිහිටියේ කහටගස්තලාවේ ය. කඳු වළල්ලෙන් වටවූ තැනිතලා ප්‍රදේශය වෙත වැටුණු අඩිපාරවල් කඳු වටා ඇදුණු දැවැන්ත සර්පයන් වැනි ය. අනාගතයේ දී ජනාකීර්ණ වීමේ ඉරණම සැඟවී තිබූ කන්දෙ වැව ජලාශය සුළඟින් රැළි නඟමින් පැවතිණ. ඒ අසළින් පටන් ගන්නා කුඩා මඩු දහයක් දොළහක් පමණ වූ නියම් ගම කඩ මණ්ඩියට ඉදිරිපිටින් සති පොලේ තාවකාලික ඇටවුම් සවිකර තිබුණි. බඩු විකුණන්නන්ගේත් ගැනුම් කරුවන්ගේත් නිරන්තර ඝෝෂාවෙන් ආකූල වූවකි, කහටගස්තලාවේ ‌සති පොළ.

ටිකිරි බණ්ඩාත්, ලොකු මැණිකේත් තමන්ගේ ගෙවත්තෙන් නෙලාගෙන ඇවිත් තිබූ එළවලු හා පළතුරු ටික විකුණා ඉවර වෙන්නට ආසන්න ය. දැන් දැන් බඩුවල මිල කියන්නේ ඉතා ම අඩුවෙනි. ගැනුම් කරුවන් විසින් මුලින් මුලින් තෝරා, දැන් ඉතිරිව ඇත්තේ ද වටිනාකම කිව නොහැකි සිඟිති, අඩුපාඩු සහිත භෝග ස්වල්පයක් පමණකි.

එක්වරම වෙළෙන්දියන්ගේ කෑ කොස්සම මොහොතකට නතර විය. එසැණින් දකින්නට ලැබුණේ යටිගිරියෙන් කෑගසමින් ඒ මේ අත දුවන මිනිසුන්, ගැහැණුන් හා ළමයින් රැසකි. අසු කුර ගැටෙන හඬ ඒ හඬ ද මැඩගෙන පැතිර යන්නට විය. අසු කුරවල ගැටී ඒ මේ අත විසි වන ගල් කැට ඊතල මෙන් වේගයෙන් විසිරෙයි.

මිනිසුන්ගේ ඝෝෂාවෙන් සහ කලබැගෑනියෙන් කුළප්පු වූ අශ්වයෝ දෙදෙනෙක් ඉදිරි ගාත් ඔසවා හේෂාරවය කළහ. උන්ගේ පිටේ නැග සිටි අඳුරු කබා කාරයෝ දෙදෙනා අසුන් මෙල්ල කර ගැනීමට අසීරු තැතක් දැරූ හ. පිමි දෙක තුනක් පැන ආ එක් අශ්වයෙක් නතර වුනේ ටිකිරි බණ්ඩාගේ එළවලු පඩංගුව අසළ ය. නැවත නැවතත් ඉදිරි ගාත් ඔසවමින් බිම ගසමින් වටේ කැරකැවුණු අශ්වයාගේ කුරවලට හසුවූ පඩංගුව ඉවතට විසි වෙද්දී, දවසේ වෙළෙඳාම මඟින් ටිකිරි බණ්ඩා රැස්කරගෙන තිබූ දුම්කොළ, ලුණු, තුනපහ, රෙදි පිළි වැනි හුවමාරු භාණ්ඩ සියල්ල සීසීකඩ ගියේ ය.

අවට විසිරුණු බඩු බාහිරාදිය රැක ගැනීමට පියා දිව යාම වළක්වා ගැනීම, දියණියන් දෙ දෙනාට කළ හැක්කක් නොවීය. සමහර හදිසි අවස්ථාවන් හි දී කෙතරම් පැසුණු මිනිසෙකු වූව ද කටයුතු කරන්නේ ප්‍රකෘති බුද්ධිය විසින් නොව දෛවය විසින් මෙහෙයවීමෙනි. භයානක අත්දැකීමේ කම්පණයෙන් තැති ගැනුණු ලොකු මැණිකේ, සිය අඩ නැගණිය තදින් බදාගෙන කඩ මැස්සේ කොණක ගුළි ගැසී සිටියා, සිය දෑස් ඉදිරිපිට අශ්වයාගේ කුර පහරට සිය පියා හසුවෙනු දුටුවා ය. නැවත නැවතත් ඉහළ පහළ ගිය අස් කුර... බැස යන හිරු කිරණ වැදී රිදී පැහැයෙන් බැබළුණු ලාඩම්... ඊළඟ වාරයේ නැවතත් ඉහළට එසවෙද්දී ලාඩමේ වැකී තිබුණු ලේ...


Thursday, March 31, 2022

Thursday, March 17, 2022

චීන උපහාස කතා


ඔන්න ඔය මාතෘකාව තිබුණ පොතක් තිබුණා ජපං පන්සලේ පුස්තකාලෙ. ඒ කියන්නෙ කඩවත, රම්මුතුගල තිබුණු ජපන් ආධාරවලින් හදාපු පන්සලේ පුස්තකාලෙ. මේ ළඟදි මොකක් හරි කාරණේකට මට මතක් උනා ඒ පොතේ තිබුණු කතා කීපයක්. ඔන්න එහෙනං ඒ ටික කියෝගන්ඩලා.

බාහිර වෛද්‍ය

දවසක් සෙන්පතියෙක් යුද්ධෙදි තුවාල වෙලා ගෙදර ගෙනාව. එයාගෙ හිස් කබල විනිවිද ගියපු ඊතලයක් නිසා තමයි තුවාල වෙලා තිබුණෙ. ඉතිං ගෙදර උදවියත් හදිසියට ළඟ පාත හිටපු "බාහිර වෛද්‍ය" කියලා බෝඩ් එකක් දාගෙන හිටපු වෙදෙක් එක්කරං ආවා. උන්දැ ඔලුවෙ හමට ඉතා ම ආසන්නයෙන් අර ඊතලේ කපල දාලා ගාස්තුව ඉල්ලුවා.

"ඒ මොකද ඒ? ඊතලේ අයිං කරන්ඩෙපැයි මෙයාට බෙහෙත් කරන්ඩ..." ගෙදර උදවිය ඇහුවා.

"ආ... ඒකට ගෙන්නන්ඩ වෙන්නෙ අභ්‍යන්තර වෛද්‍ය කෙනෙක්. මම වෙදකං කරන්නෙ බාහිරට විතරයි..." අර වෙදා කිව්වා.

පුරුෂ ධෛර්යය

දවසක් මනුසයෙක් ගෙදර උන්දැත් එක්ක රණ්ඩු වෙලා, ධීර වීර විදිහට දුවගෙන ගිහිං ඇඳ යටට රිංග ගත්තා. ගෙදර මායියත් කොස්ස අරගෙන ඇවිත් ඇඳ යටට එබිලා කියනව...

"වරෙං මිනිහො එළියට!"

"උඹ දැනගනිං මාත් පිරිමියෙක්!" අසංග කෑ ගැහුවා. "මම එන්නෙම නෑ එළියට. පුළුවන්නං එළියට ගනිං!"

අමතක

අමතක වෙන ලෙඩේ තදිම්ම තිබුණු පෝසත් මනුස්සයෙක් උන්නා. උන්දැට දවසක් ආරංචි වුණා හිතේ ලෙඩ වලට නොවරදින ප්‍රතිකර්ම කරන වෙද මහත්තයෙක් ඉන්නව කියලා ඈත ගමක. ඉතිං ඒ මනුස්සයා දවසක් පාන්දරිම්ම පිටත් වුණා අස්සයා පිටේ, අර වෙද මහත්තයා හම්බ වෙන්ඩ.

මගදි උන්නැහැට ශරීර කෘත්‍ය්‍ය හෙවත් $%$ කරන්ඩ උවමනා උනා. ඉතිං අස්සය පිටිං බැහැලා. ඊතලයක් බිම හිටවලා, අස්සයව ඒකෙ ගැට ගැහුවා. පස්සෙ එතනම බිම ඇණ තියාගෙන ඉඳගෙන $%$ කළා. හෝදගෙන නැගිටලා  කළිසම ඇඳ ගනිද්දි තමයි අර ඊතලේ දැක්කෙ.

"හප්පට සිරි! ඊ තලයක් නෙව! කෙස් ගහෙං බේරුණේ." කියල ඔලුව උස්සල බලනකොට, ඊතලේ ගැට ගහල හිටපු අස්සය දැක්කා.

"අඩෝ වාසනාව යකො! අස්සයෙක්!" කියල ප්‍රා ජේ ආපිට හැරුණු පාර $%$ ගොඩ පෑගුණා. 

"චිඃ! මේ වරත්තු බල්ලො! හැම තැනම ජරා කරනව!" කියාගෙන කකුල තණකොල ගොඩේ අතුල්ලලා පිහදාගත්තා.

කකුල හොඳට පිහදාගත්තු මනුස්සයා, අස්සයගෙ පිටේ නැගල ගමන පටං ගත්තා ආයෙමත්. අස්සය පුරුද්දට වට රවුමක් ගහලා ආයෙත් අර මනුස්සයගෙ ගෙදරට ම ගියා.

ඒ මනුස්සයත් අස්සයගෙ පිටෙන් බහින ගමං කල්පනා කළා. 'බොලේ මේ වෙදාගෙ ගේත් මගෙ ගෙදර වගේම නෙ.' කියල. අස්සයගෙ ලණුව ගන්ඩ ගෙදර සේවකයත් ඉස්සරහට ආවා.

"තෝ මොකද මෙතන කරන්නෙ? පලයං ගෙදරට!" කියලා අර මනුස්සය තමන්ගෙ සේවකයව ගෙදරට එළෙව්වා. 

ඒ සද්දෙ ඇහිලා උන්නැහැගෙ මායියා එළියට ආවා. "තමුසෙ අදත් අමතක කරගෙන ආපහු ආව නේද"" කියාගෙන.

"මොන අවනඩුවක්ද නෝනා මේ කියන්නෙ? මං ආවෙ සෑහෙන දුර බැහැර ඉඳලා, වෙද මහත්තයව හම්බෙන්ඩ. කෝ උන්නැහැ ඉන්නවද?" කියලා අර මනුස්සයා උත්තර දුන්නා.

බූරුවෙක්!

ඔය විදිහටම පෝසත් මිනිහෙක් උන්නා, හැබැයි අකුරු සාස්තරේ බෑ. නමුත් උන්දැට ලොකුවට උවමනාව තිබුණා තමන්ට අකුරු කියවන්ඩ පුළුවන් කියලා පෙන්නන්ඩ.

දවසක් උන්නැහැ ඉස්තෝප්පුවෙ කට්ටියක් එක්ක කතා කර කර ඉන්නකොට, ළග ගෙදරක සේවකයෙක් ලියුමක් අරං ආව. අර ලියුමෙ ලියල තිබුණේ, "මේ සේවකයා අතේ ඔබේ බූරුවෙක් එවන්න" කියලා. අර මනුස්සයත් "කෝ මෙහෙ දෙනව..." කියල අර ලියුම අරං එක එක පැත්තට හරව හරවා කියෙව්වා. කියවලා කියවලා අන්තිමේ කිව්වා, 

"හා උඹ පලයං. මං එන්නං" කියලා. 

එඩිතරකම

භාර්යාවන්ගෙන් වෙන ගැහැට ට එරෙහිව කටයුතු කරන්න පිරිමි ටිකක් හදාගත්තා සමිතියක්. ඔය සමිතියෙ පළවෙනි රැස්වීම කරගෙන යද්දි, විහිළුවක් කරන්ඩ හිතාගෙන යාළුවෙක් දුවගෙන ඇවිත් කිව්වා, "අන්න උඹලැ ‌මායියල සෙට් එක කොසු ඉදල් අරං එනව. දුවපියව්!" කියල.

ඔක්කොම සෙට් එක පණ කඩාගෙන දිව්වා එකෙක් ඇර. 

"යකෝ එක පිරිමියෙක් ඉඳලනෙ ගෑණිට බය නැති!" කියලා අර විහිළුව කරපු නිමල් අයිය ළඟට ඇවිත් බලනකොටලු දැක්කෙ, අර බය නැතුව ඉඳගත්තු තැනම ඉඳගෙන හිටපු බස්සා, එතනම මැරිලා බයටම...

වැඩිපුර බලපු ලිපි